හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

01 October 2015

අපිට බයිසිකල් පදින්නවත් බැරිද?

Cyclist
අනේ මන්දා, අලුතෙන් ක්‍රීඩා ඇමති කෙනෙක් පත්වෙලා ඉන්නවා. උන්නැහේට අර, එක එක ජාතියේ සෙල්ලම් දාන්න එහෙම, දැනුම තියනවනේ. ඒ නිසා, ක්‍රීඩා සෙල්ලම් ගැනත්, එතුමා යමක් කමක් කොරයි කියලා, බොහෝදුරට හිතනවා. හැබැයි, එතුමා අනික් ඔක්කොම සෙල්ලම් නවත්තලා, අපේ රටේ ක්‍රීඩා ක්‍ෂේත්‍රය නගා හිටුවීමේ සෙල්ලම තමයි පටන්ගන්න ඕනේ. සෙල්ලම් වැරදුනොත්, ඊළඟ මැතිවරණෙදී සල්ලම් වෙන බව, එතුමා දන්නවා ඇතැයි හිතනවා.


Dayasiri in Action

   මේ ටික කිව්වේ, ඊයේ පෙරේදා, චන්ද්‍රිකා රූපවාහිනිය ඔස්සේ, Eurosport නාලිකාව නරඹමින් සිටියදී, හිතට දැනුණු, වේදනාත්මක සිතුවිලි නිසයි. ඒ නාලිකාව ඔස්සේ, පසුගිය දිනවල, ලෝකප්‍රකට Tour de France බයිසිකල් තරගාවලිය මෙන්ම, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය, ස්පාඤ්ඤය, වැනි රටවල් ගණනාවක පැවැත්වුණු, අන්තර්ජාතික මට්ටමේ තරගාවලි, නරඹන්නට හැකිවුණා. මේ තරගාවලි නරඹන අතරේ, මට බොහෝ වාර ගණනක් හිතුනේ, අපේ රටේ, බයිසිකල් පැදීමේ ක්‍රීඩාව දියුණු කරන්නට බැරි ඇයි කියලයි.

   ඇත්තෙන්ම, බයිසිකල් පැදීමේ ක්‍රීඩාව අතින් අපි ඉන්නේ, තවම ප්‍රාථමික අවධියේ කියලයි, මටනම් හිතෙන්නේ. බයිසිකල් පැදීම කිව්වම, අපි තවමත් හිතන්නේ, මාර්ග ධාවන තරග ලෙස පැවැත්වෙන, බයිසිකල් තරග පමණයි. නමුත්, අද ලෝකය අපිට වඩා බයිසිකල් තරග අතින්, බොහෝ දුරට ඉදිරියට ගොස් තිබෙනවා. අපි, අන්තර් ජාතික මළල ක්‍රීඩා අතින්, යම් දියුණුවක් ලබාගෙන ආවත්, දැන් එය අඩාළවී ගිහින්. අපි පාපන්දු, රග්බි වැනි ක්‍රීඩා වලින් ඉහළට යන්න උත්සාහ කළත්, සාර්ථක නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවත්, ආයෙත් බින්දුවෙන් පටන්ගන්න වෙලා වගේ. අපි බිලියර්ඩ්/ස්නූකර් ලෝක ශූරයකු බිහිකළා. නමුත් එතනින් එහා දියුණුවක් නැහැ.

(පරිගණකයෙන් ස්නූකර් ගහන්න ඕනෙනම්, මෙන්න මේක දාගන්න. හමුදා කඳවුරු වලදී, මා බිලියර්ඩ් සහ ස්නූකර් දෙකම, ක්‍රීඩා කර තිබෙනවා. මේ පරිගණක ක්‍රීඩාව, අදත් සමහරවිට මා ක්‍රීඩා කරනවා)

   බයිසිකල් පැදීම, පහසුවෙන්, ගම්බද ප්‍රදේශවල පවා ව්‍යාප්ත කරන්න පුළුවන්. අද අපේ රටේ, පාසල් සිසුන් දස දහස් ගණනක්, දිනපතා බයිසිකලයෙන් පාසල් යනවා. විශේෂයෙන් උතුර, නැගෙනහිර, වයඹ, සහ උතුරු මැද යන පළාත්වල, එසේ බයිසිකලයෙන් ගමන් කරන, පාසල් සිසුන් මෙන්ම, සාමාන්‍ය ජනතාවද, සෑහෙන්න ඉන්නවා. මෙය, බයිසිකල් පැදීමේ ක්‍රීඩාව නංවන්න, හොඳ අවස්ථාවක් කරගතහැකි බව, මගේ විශ්වාසයයි. 

   හෙට අනිද්දා දවසක ශ්‍රී ලංකාවේ ජාතික පාසල් අතර, වාර්ෂික පාපැදි ධාවන තරගය, කොළඹදී පැවැත්වෙන බව දැනගන්නට ලැබුණා. ඔබ දන්නවද වාර්ෂිකව මෙහෙම තරගයක් පැවැත්වෙනවා කියා? ක්‍රිකට් තරග වලට දෙන පූර්ව ප්‍රචාරය, මේවාට දෙන්නේ නැත්තේ ඇයි? මේ පාසල් දරුවන්, මේ සඳහා පුහුණු කළේ කුමන පුහුණුකරුවන් යටතේද? ඔවුන්ගේ සුදුසුකම් මොනවාද? ඒ පුහුණුව සම්මත න්‍යාය සහ ක්‍රීඩා නීති රීති වලට එකඟද? තරගකරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය සහ ශාරීරික යෝග්‍යතාව ගැන, සම්පූර්ණ පුහුණු කාලයට අදාළ වාර්තා තිබේද? තරගයට කලින් දින, තරගකරුවකු වෙනුවෙන්, වෛද්‍ය සහතිකයක් ගැනීම පමණක් ප්‍රමාණවත්ද? මේවා ඉතා ගැඹුරින් සලකා බැලියයුතු කරුණු.

    අපි පාසල් සිසුන් ලෙස හිටිය කාලේ, යාලුවෙකුගේ බයිසිකලයක් හෝ පැද්දා. කියන්න ලැජ්ජයි, මම එක් වරක්, අලුතෙන් හමුදාවට බැඳුන සොල්දාදුවන් පිරිසකගේ, පශ්චාත් පුහුණු කටයුතු අධීක්ෂණය කරමින් හිටිය අවස්ථාවක, නිකමට ඇහුවා, බයිසිකල් පදින්න දන්නා අය අත උස්සන්න කියලා. එතන හිටිය පිරිසෙන් තුනෙන් එකකට පමණ, බයිසිකල් පදින්න බැහැ. මම වහාම නියෝග කළා, ඔවුන් භාරව හිටිය නිළධාරියාට, ඒ සියලුම දෙනාට, සතියක් තුළ බයිසිකල් පැදීම උගන්වා, කි.මී. 10 ක පමණ බයිසිකල් රේස් එකක් පවත්වන ලෙස. (හදිස්සියකට බයිසිකලයක්වත් පැදගන්න බැරි මුන් එක්ක යුද්ද කරානම්, යුද්දේ පරාදයි)

   අවංකව කියන්න, ඔබට මේ දැන්, හදිසියක් සඳහා, නගරයේ වාහන තදබදය මැද්දෙන් බයිසිකලයක් පදින්න පුළුවන්ද? එමු බලන්න, නාකියා එක්ක බයිසිකල් පදින්න, කුරුණෑගල නගරයේ, උදේ 7 - 9 අතර. ඇත්තටම බයිසිකලයක් පදින්න දැන සිටීම, ඉතාම වැදගත්. එයට ගැහැණු පිරිමි භේදයක් තිබියයුතු නැහැ.

'සයිකල් පැදපු කෙල්ලෙක් - කිසිදා බඳින්නෙපා' සංකල්පය, දැන් නැහැ නේද?

   අද සෑම නගරයකම පාහේ, පිටරටවලින් ගෙන්වන ලද පාවිච්චි කළ බයිසිකල්, විකිණීමට තිබෙනවා. මිළ රු 4000 පමණ සිට ඉහළට තිබෙන්නේ, මට මතක හැටියට. කුරුණෑගල නගරයේ නම්, බයිසිකල් දහස් ගණනක්, එලෙස විකුණන්නට තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වලින් එන ලොරි වලින්, විශාල තොග රැගෙන යනවා. නරකද ඔබේ පැත්තෙත් හොයලා, එකක් අරන්, සති අන්තයේදීවත් ටිකක් පැද්දොත්? ශරීර සෞඛ්‍යයට බොහොම හොඳයි නේද?

   හොඳයි, අපේ රටේ බයිසිකල් පැදීමේ ක්‍රීඩාව දියුණු කරන්න මොනවද කරන්න පුළුවන්? පළමුවෙන්ම බයිසිකල් පුහුණුව සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් හොඳ පුහුණුකරුවන් බිහිකරගත යුතුයි. අපේ රටේ තියනවා නේද බයිසිකල් පෙදරේරු ෆෙඩරේෂන් ද මොකක්ද කියලා එකක්. මම හොයලා බැලුවා. මෙන්න මෙච්චරයි හම්බවුණේ. ඉතිං අපේ කිරීඩා ඇමෑත්ත තුමාට, පණ දාගෙන, හිටගෙන පාගන්න වෙනවා, නග්ගලා ගන්න. (බයිසිකලේ බයිසිකලේ........., ආයේ වෙන මොන කෙහෙල්ගෙඩියක්ද නග්ගලා ගන්නේ)

   හොඳ විද්‍යාත්මක දැනුමක් තියන බයිසිකල් පුහුණු කරුවන් දහදෙනෙක්, හදාගන්න පුළුවන් නම්, වේගවත් වැඩපිළිවෙලක් යටතේ, එක පළාතකට එක බයිසිකල් පුහුණු පාසලක් හදලා, මේ ක්‍රීඩාව නංවන්න පුළුවන්. නමුත් ඉතින්, පුහුණුව සඳහා පිට රටකට යවන අය, එහෙදි අතුරුදහන් වෙනවානම් ප්‍රශ්නය බරපතලයි. ඒ වෙනුවට, විදේශීය පුහුණු උපදේශකයන් මෙහාට ගෙනෙන එක තමයි හොඳ. අඩු ගණනේ,  මෙන්න මේ වගේ පොත් ටිකක්, සිංහලට/දෙමළට පරිවර්තනය කරලා, පහසු මිළට ගන්න ක්‍රමයක් හදන්න බැරි ඇයි? පොත් විතරක් අරගෙන මදිනේ. බයිසිකලුත් පහසුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕනෙනේ.

   ඔබ අපි කවුරුත් දකිනවා, සමහර විට, තනි තනිව හෝ දෙන්නා තුන්දෙනා බැගින්, දිනපතාම පාහේ, මහා මාර්ගවල, මාර්ග ධාවන තරග සඳහා බයිසිකල් පැදීම පුහුණුවන තරුණයන්. කලාතුරකින් (සිංහල අවුරුදු උත්සව කිට්ටුව) තරුණියන්. නමුත් මා හිතන්නේ නැහැ, ඔවුන් කිසියම් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව, ඒ පුහුණුව ලබනවා කියා. ව්‍යායාම, අභ්‍යාස, පෝෂණය, තරග කිරීමේ තාක්ෂණික ක්‍රම, බයිසිකලය නඩත්තු කිරීම, වැනි විෂයයන් පිලිබඳව, ඔවුන්ට ඇත්තේ, අසා දැනගත් දැනුමක් පමණයි කියා, මා හිතනවා.

   අන්තර්ජාතික මට්ටමේ තරග සඳහා සුදුසු බයිසිකල්වල, මිල ගණන් දැක්කම, ඇඟ හිරිවැටෙනවා. මේ බලන්නකෝ.

Screenshot (53)

   විදේශ වෙළඳපොළේ තිබෙන, ජාත්‍යන්තර තරග සඳහා සුදුසු බයිසිකල් වල මිළ, පහත දක්වනවා. මේ තියෙන්නේ, මේවා ලංකාවට ගෙන්වීමේදී අය කරන තීරුබදු සහ වෙනත් විවිධ බදු නැතිව මිළ.

Screenshot (54)


Screenshot (56)


Screenshot (57)

   ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. කොහොමද ඉතිං මේ ක්‍රීඩාව නංවන්නේ? මේ බදු රහිත මිළ, බැංකු ණයක් හැටියට ලබාදෙන්න පුළුවන්නම්, කොච්චර වටිනවද? හැබැයි ඉතිං එහෙම හිතන ලොකු උන්නාන්සේලා, මේ රෙටේ ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ.

   මාර්ග ධාවන බයිසිකල් තරග විතරක් නෙවෙයිනේ. අද තියනවා, ගෘහ අභ්‍යන්තර බයිසිකල් ධාවන තරග, රළු භූමි ප්‍රදේශ ආශ්‍රිත බයිසිකල් තරග, කඳුකර බාධක තරණ බයිසිකල් තරග, ආදී වශයෙන්, මේ ක්‍රීඩාවේ විවිධ අංශ ගණනාවක්. ඒ ඒ අංශයට ගැලපෙන බයිසිකල් වෙනම තියනවා. බයිසිකල් ධාවනයද ඇතුළත්, තුන් ප්‍රයාම තරගත්, ඔය අතරේ අමතක කරන්න බැහැ.

   බයිසිකල් තරග පැදීම මගින්, ශරීර සෞඛ්‍යය රැකීමට අමතරව, තියුණු ලෙස කල්පනාකාරී වීම, අභියෝගයන්ට මුහුණ දීම, දරාගැනීමේ හැකියාව වැඩිවීම, වැනි මානසික ශක්තීන් ද දියුණු වෙනවා. ඇත්තටම පාසල් දරුවන් මේ සඳහා සෑහෙන දුරට යොමුකරන්න පුළුවන්.

   දැන් ඔය නිල් බලකායවල් තිබ්බට, ක්‍රීඩා නැංවීමක් වුණේ නැහැනේ. ඉතිං එහෙනම්, කොළ බලකාය හරි, තණකොළ බලකාය හරි, සම්මුතිවාදී බලකාය හරි කියලා එකක්වත් හදලා, නරකද මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත්?

   අද, (2015/09/28) රූපවාහිනී ප්‍රවෘත්ති වල මම දැක්කා, ප්‍රවීණ ක්‍රීඩිකා, සුසන්තිකා ජයසිංහ, ක්‍රීඩා පුහුණු ආයතනයක් පටන්ගන්න යන බව. ඇය කිව්වේ, අද අපේ රටේ මළල ක්‍රීඩා, පසුබෑමකට ලක්ව තිබෙන නිසා, මෙවැනි දෙයක් අරඹන්නට කල්පනා කළ බවයි. මෙය අගය කරමින්, යෝගානන්ද විජේසුන්දර, ඩර්වින් පෙරේරා වැනි, ක්‍රීඩා විශේෂඥයන් අදහස් දැක්වුවා.

   දැන් අපේ රටේ මාර්ග පද්ධති, සෑහෙන තරම් දියුණුවකට පත්වී තිබෙන අතර මාර්ග සංවර්ධන කටයුතු නොකඩවා සිදුවෙමින් පවතිනවා. අධිවේගී මාර්ග පද්ධතියද (ඒවා හයිවේ, අපිට ගම්වල ඉතුරු වෙලා තියෙන්නේ බුරුල්වේ ද? :D ) දියුණු වෙමින් පවතින නිසා, පළාත්බද ප්‍රධාන මාර්ග, තරමක් නිදහස් වෙමින් පවතිනවා. තවමත් තිබෙනවා, අවධානය යොමු නොවුන අතුරු මාර්ග, මෙවැනි බයිසිකල් ධාවන තරග සඳහා දියුණු කළහැකි. දැනට ලංකාවේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පවත්වන බයිසිකල් තරග නැහැ නේද? ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වාර්ෂිකව පවත්වන, මාර්ග ධාවන බයිසිකල් තරගයේ ප්‍රමිතිය, මා දන්නේ නැහැ.

   යුද හමුදාව සහ නාවික හමුදාවත්, මේ ක්‍රීඩාවට සම්බන්ධ කර, යම්කිසි ප්‍රමිතියකට අනුව, ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කළහැකිවනු ඇතැයි මා හිතනවා.  යුද හමුදාවේ විවිධ රෙජිමේන්තු විසින්, මෝටර් රථ සහ මෝටර් බයිසිකල් යොදාගනිමින්, තරග පවත්වනවා ඉතා සාර්ථකව. එහෙනම්, බයිසිකල් තරග සංවිධානය කිරීමත්, මහලොකු දෙයක් නෙවෙයි. ඒ සඳහා, ක්‍රීඩා අමාත්‍යාංශයත් සම්බන්ධ වෙනවානම්, වැඩේ බොහොම සාර්ථකව ආරම්භ කරන්න පුළුවන් වෙයි.

මොකද මේ ගැන හිතන්නේ?

2015 සැප්තැම්බර් මස 29 වැනි දින 0021 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }