හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 June 2015

මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ............. (පළමුවැනි කොටස)


519px-Peter_Pace_in_dress_uniform_2005
    බලන්නකෝ මේ පින්තූරේ ඉන්න හමුදා නිළධාරියාගේ නිළ ඇඳුමේ එල්ලගෙන ඉන්න පදක්කම් ගොඩ. ඒ මදිවට පපුවේ දකුණු පැත්තේ තවත් මොනවද පාට පාට කෑලි වගයක් ගහගෙන ඉන්නවා. ඔබත් දැකලා ඇති ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන් තම නිළ ඇඳුමේ මෙවැනි දේවල් එල්ලාගෙන ඉන්න හැටි.

   පොදුවේ සලකා බැලුවොත්, ඔබෙන් සෑහෙන දෙනෙක් දන්නවා, ඒ තියෙන්නේ පදක්කම් කියලා කියන්න. පාසල් බාලදක්ෂයන් හෝ ශිෂ්‍ය භටයන් ලෙස කටයුතු කළ අයනම්, පහසුවෙන් හඳුනාගන්නවා, මේ තියෙන්නේ පදක්කම් කියන එක. නමුත් මේ පදක්කම් මොනවාද? ඒවා දෙන්නේ මොකටද? කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

   සමහරු කියයි, යුද්ධයේදී දැක්වූ දක්ෂකම් නිසා මේවා දෙන්නේ කියලා. ඒ එක හේතුවක් පමණයි. දක්ෂකම් නැතත් ලැබෙන පදක්කම් තියනවා. සමහරවිට ඔබේ පවුලේ සාමාජිකයකු, ත්‍රිවිධ හමුදාවෙන් එකක සිටියත්, ඔබෙන් වැඩි දෙනෙක් ඔහුගෙන්/ඇයගෙන් අහලා නැතුව ඇති, මොනවද ඔය පදක්කම් කියලා. හොඳයි, අපි අද කතාකරමු, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත පිරිනැමෙන පදක්කම් ගැන. නමුත් එක දෙයක් කිවයුතුයි. අපේ ත්‍රිවිධ හමුදාවේ, (ලෝකයේම ත්‍රිවිධ හමුදා වල) ඒ ඒ හමුදාවට පමණක් ආවේනික, පදක්කම් සහ ලාංඡන තිබෙනවා. ඒ සියල්ල ගැන මා දන්නේ නැහැ. දන්නා දේ පමණක් ලියන්නම්.

   ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පදක්කම් සහ සම්මාන පිරිනැමීම, අද ඊයේ සිදුවුණ දෙයක් නෙවෙයි. ලෝකයේ පැරණි රාජධානි පැවති කාලවලදී පවා, පදක්කම් පිරිනැමීම සිදුවී තිබෙනවා. ත්‍රිවිධ හමුදාවට පමණක් නොව, පොලිස් සේවයේද පදක්කම් පිරිනැමීම සිදුවෙනවා. එමෙන්ම, යම්කිසි රටක සාමාන්‍ය පුරවැසියන් වෙත ද, මෙවැනි සම්මාන ප්‍රදානය සිදුකරනවා, ඔවුන් විසින් රටට, ලෝකයට කරන අනභිබවනීය සේවා වෙනුවෙන්. මේ ලිපියේදී මා ඒ ගැන මීට වඩා විස්තර කියන්නට යන්නේ නැහැ.

   මම හැමදාම ලිපියක් ලියනකොට විවිධ වර්ගීකරණයන් පෙන්වා දෙනවා ඔබට මතක ඇති. ඉතින් පදක්කම් පිළිබඳව කතා කරනකොටත් සමස්ත ලෝකයේම හමුදා සඳහා ලබාදෙන පදක්කම් වල වර්ගීකරණයන් තිබෙනවා. සාමාන්‍යයෙන් පදක්කම් වර්ගීකරණය කර තිබෙන්නේ මෙහෙමයි.

1.  වීරක්‍රියා සඳහා පිරිනැමෙන පදක්කම් = Bravery Medals
ජාත්‍යන්තර වශයෙන් සලකන කල, ත්‍රිවිධ හමුදාවේ ඔනෑම සාමාජිකයකු විසින් සංග්‍රාමයේදී කරනු ලබන වීරක්‍රියා වෙනුවෙන් පිරිනමන පදක්කම්.

2. විශේෂ කුසලතා/දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන පදක්කම් =  Meritorious Awards & Medals

3. සේවය ඇගයීමේ පදක්කම් = Service Decorations & Medals

4. ක්‍රියාන්විත/මෙහෙයුම් වෙනුවෙන් පිරිනැමෙන පදක්කම් = Campaign Medals

   සංග්‍රාමික කාලයකදී සිදුකරන, විශේෂ හමුදා මෙහෙයුම් සඳහා, සක්‍රිය දායකත්වය දැක්වීම වෙනුවෙන් පිරිනැමෙන පදක්කම්.

5. රාජ්‍ය පරිපාලන කටයුතු සම්බන්ධ විශේෂ පදක්කම් = Coronation/Inauguration Medals

යම්කිසි රාජ්‍යයක විශේෂ අවස්ථා, (නිදහස ලැබීම, පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹීම, ජනරජයක් බවට පත්වීම, විධායක ජනාධිපති ක්‍රමය ඇරඹීම වැනි) අනුස්මරණය කිරීම සඳහා පිරිනැමෙන පදක්කම්.

6. සංවත්සර පදක්කම් = Anniversary medals

හමුදාවට හෝ රටට අදාළ සංවත්සර ( නිදහස ලබා 50 වසරක් ගතවීම වැනි) සඳහා නිකුත් කරන පදක්කම්.

7. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය සඳහා පිරිනැමෙන පදක්කම් = United Nations' Service Medals

 මීට අමතරව, ඒ ඒ රටවලට විශේෂ අවස්ථා වෙනුවෙන් සැකසූ පදක්කම් මෙන්ම, ඒ ඒ හමුදාවට පමණක් විශේෂ වන අවස්ථා සැමරීමටත්, පදක්කම් පිරිනමනු ලබනවා. සාමාන්‍යයෙන් මේ සියලුම පදක්කම් නිත්‍ය හමුදාවට මෙන්ම ස්වේච්ඡා හමුදාවටත් කිසිදු භේදයකින් තොරව ලබාදෙනවා. නමුත්, පදක්කම් සමහරක්, නිත්‍ය හමුදාවට පමණක් සීමාවන අතර, තවත් පදක්කම් කීපයක් ස්වේච්ඡා හමුදාවට පමණක් සීමා වෙනවා. එමෙන්ම වීර පදක්කම්, විශේෂ කුසලතා ඇගයීමේ පදක්කම්, සහ සේවා පදක්කම් හිමි අයවලුන්ට එම පදක්කමට අදාළ කෙටි යෙදුම, තම නමට අගින් ලියන්නට පුළුවන්. උදාහරණ කෝප්‍රල් ගුණපාල කේබී RSP මෙතනදී, කේබී කියන්නේ, කෝප්‍රල්ගේ නමේ මුල අකුරු, RSP කියන්නේ, රණශූර පදක්කම කියන එකයි. රශූප කියලා ලියන්නත් පුළුවන්. 

   එක කරුණක් මතක් කරන්නට තිබෙනවා. වීර පදක්කම් පිරිනැමීමේදී, ඒ සඳහා බලපවත්වන නිර්නායකයන් තිබෙනවා. යුදපිටියේ සිටින ක්‍ෂේත්‍ර අණදෙන්නන් Field Commanders විසින් තමයි, පළමුවෙන්ම මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඒ නිර්දේශය, පිළිවෙලින්, ඊට ඉහළින් සිටින අණදෙන්නන් වන, බලසේනාධිපති Brigade Commander, සේනාංකාධිපති Division Commander, ආරක්ෂක සේනා ආඥාපති Security Force Commander විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව, (බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, එව්වා කියලා දීලා හුඟක් කල් ඈ) යුදහමුදාපති විසින් කාලීනව පත්කරනු ලබන මණ්ඩලයක් විසින්, සළකා බලනවා. එහිදී, එම නිර්දේශිත පුද්ගලයාට, වීර පදක්කමක් පිරිනැමීමට හේතුවන සිදුවීම/සිදුවීම් වලට අදාළ සියලු සංග්‍රාමික වාර්තා, නැවත සලකා බලනවා. ඒ අනුව සමහරවිට, නිර්දේශිත පදක්කමට වඩා ඉහළ මට්ටමේ පදක්කමක් ලැබෙන්නට පුළුවන්, ඊට පහළ මට්ටමක පදක්කමක් ලැබෙන්නටත් පුළුවන්, නොලැබී යන්නටත් පුළුවන්. මන්ද, සමහර අවස්ථා වලදී, නිර්දේශය සඳහා ඉදිරිපත් කරන තොරතුරු, අදාළ නිර්නායකයන් සමග නොගැලපෙන නිසා. නමුත්, ඒ විදිහට පදක්කමක් නොලැබී යන අවස්ථා, අතිශයින් විරලයි.

   පදක්කම් සඳහා සකස් කෙරෙන එම මණ්ඩලයේ නිර්දේශය, ආරක්ෂක ලේකම්ගේ නිර්දේශයෙන්, ජනාධිපතිතුමා වෙත යැවෙන අතර, එතුමාගේ අනුමැතිය ලැබීමෙන් පසුවයි, පිරිනමන්නේ. සෑම වීර පදක්කමක්ම පිරිනමන්නේ සේනාධිනායක වන ජනාධිපති විසින්, ඒ සඳහාම පැවැත්වෙන විශේෂ උත්සවයකදී. 

   මෙතැන්සිට අපි බලමු, අපේ රටේ ත්‍රිවිධ හමුදාවට පිරිනමන, ඒ ඒ වර්ගීකරණයට අයත් පදක්කම් මොනවාද කියා. මෙහිදී, ඉහළම පදක්කමේ සිට පහළට යන ආකාරයට තමයි විස්තර කරන්නේ. සෑම වීර පදක්කමක් පිරිනැමීමේදී, ඒ ඒ පදක්කමට අදාළ, හේතු පාඨයක් citation තිබෙනවා. මා ඉතා කණගාටුවෙන් සඳහන් කරනවා, විශාල උත්සාහයක් දැරුවත්, ඒ හේතුපාඨ සොයාගන්නට නොහැකිවුණා. ඊට ආසන්න වශයෙන් තමා, මා මෙහි විස්තර දක්වන්නේ.  


1.  වීරක්‍රියා සඳහා පිරිනැමෙන පදක්කම් = Bravery Medals

1. පරම වීර විභූෂණය = PWV
1
   ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ඕනෑම නිළයක අයකුට පිරිනැමෙන, ඉහළම වීර පදක්කම මෙයයි. මේ පදක්කම, ජීවතුන් අතර සිටින කෙනෙකුට පිරිනැමුණහොත්, ඔහු යම්කිසි උත්සව අවස්ථාවකට පැමිණෙන විට, ජනාධිපති වරයාද නැගීසිටිය යුතුයි, ත්‍රිවිධ හමුදාවේ සෑම නිළයකටම අයිති සියලු දෙනා, ආචාර කළයුතුයි. ත්‍රිවිධ හමුදාව තුළ, එදිනෙදා දකින හමුවන සෑමවිටම ද, සියලු නිළයන් එසේ ආචාර කළයුතුයි. මෙය, මෙරූන් වර්ණයෙන් යුත් පීත්ත පටියක (ribbon) රඳවන ලද, මිශ්‍ර ලෝහයකින් නිමවා, රන් ආලේපිත, පදක්කමක්. ඉදිරිපස තිබෙන්නේ ජාතික කොඩියේ ඇති සිංහ ලාංඡනයයි. පසුපස තිබෙන්නේ රාජ්‍ය ලාංඡනයයි. තම ජීවිතය විනාශවීමට හොඳටම ඉඩ ඇති බව දැන දැනත්, තම හමුදාවේ සහ රටේ ගෞරවය, ජයග්‍රහණය, තම සගයින්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන්, තම ජීවිතාරක්‍ෂාව ගැන නොසලකා සංග්‍රාමික ක්‍රියාවල යෙදෙන අයට මේ පදක්කම පිරිනැමෙනවා. දැනට අපේ ත්‍රිවිධ හමුදාවේ මෙම පදක්කම ලද ජීවතුන් අතර සිටින්නන් කිසිවකුත් නැහැ. පදක්කම් ලාභීන්ගේ විස්තරයක්, මෙතනින් බලන්න පුළුවන්.



2. වීරෝදාර විභූෂණය WV
2
   මිශ්‍ර ලෝහයෙන් නිමවා, රිදී ආලේපිත පදක්කම, දම් පැහැති වර්ණ පටි දෙකකට මැදිවූ, නිල් පැහැති වර්ණ පටියකින් යුත්, පීත්ත පටියක රඳවා තිබෙන අතර, පදක්කමේ ඉදිරිපස, පැරණි ලාංකික කැටයම් වල නිරූපිත, හස්තියකුගේ ලාංඡනයක් දැක්වෙන අතර,  පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා. හමුදා ක්‍රියාන්විත රාජකාරියට අදාලව මෙන්ම ඉඳුරාම හමුදා රාජකාරියට අදාළ නොවන එහෙත් මහජන සුබ සිද්ධිය වෙනුවෙන්, තම ජීවිතාරක්‍ෂාව ගැන නොතකා කරන වීරක්‍රියා වෙනුවෙන් මෙය පිරිනමනවා. ජීවත්ව සිටින අයකු මේ පදක්කම ලබා ඇද්දැයි මා දන්නේ නැහැ. පදක්කම් ලාභීන් ගැන විස්තර මෙතනින් බලන්න.  



3. වීර වික්‍රම විභූෂණය - WWV
3
   මිශ්‍ර ලෝහයකින් නිමවා, රිදී පැහැය ආලේප කර ඇති මෙම පදක්කමේ ඉදිරිපස, පැරණි සිංහල සොල්දාදුවන් දෙදෙනෙකුගේ සටන් විලාශයක් පිළිබිඹු කරන අතර, පසුපස රාජ්‍ය ලාංඡනය නිරූපණය වෙනවා. සම ප්‍රමාණයේ, මෙරූන් පැහැති වර්ණ පටි තුනක්, රන් පැහැති පසුබිමක දැක්වෙන පීත්ත පටියක, මෙම පදක්කම රඳවා තිබෙනවා. මෙම පදක්කම් පිරිනැමීමේදී, තම ජීවිතාරක්‍ෂාව ගැන නොසලකා කරන, හමුදා සේවයට අදාළ වීරක්‍රියා මෙන්ම, සුළි සුළං, ගංවතුර, නායයෑම්, සුනාමි, වැනි ස්වභාවික විපත් වලදී සහ, බෝම්බ තර්ජන, වැනි අවස්ථා වලදී, තම ජීවිතාරක්‍ෂාව ගැන නොසලකා, ජීවිත බේරා ගැනීමට ක්‍රියාකිරීම වෙනුවෙන් පිරිනැමෙනවා. පදක්කම් ලාභීන්ගේ නම්, මෙතනින් බලන්න පුළුවන්




4. රණවික්‍රම පදක්කම RWP
4
   මිශ්‍ර ලෝහයකින් නිමවා, රිදී පැහැය ආලේපිත මෙම පදක්කම, දෙපස රිදී පැහැති වර්ණ පටි දෙකක් සහ මැද තද රතු වර්ණ පටියකින් යුත්, පීත්ත පටියක රඳවා ඇති අතර, ඉදිරිපස වී කරල් දෙකක් වැනි කැටයමකට මැදිව, ත්‍රිවිධ හමුදාව නිරූපණය කෙරෙන සංකේතයකින් යුක්ත වෙනවා. පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා. තමන්ට නියෝග නොලැබුනත්, තම ජීවිතාරක්‍ෂාව ගැන නොසලකා, ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී කරනු ලබන සංග්‍රාමික වීරක්‍රියා වෙනුවෙන්, මෙම පදක්කම පිරිනමනවා. පදක්කම් ලාභීන් රාශියක්‌ සිටියත්, මෙතනින් දැක්වෙන්නේ, ප්‍රධාන පෙළේ පදක්කම් ලාභීන් ගැන පමණයි. 




5. රණශූර පදක්කම RSP
5
   ලෝකඩ වැනි පෙණුමකින් යුත්, මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති මෙම පදක්කමේ ඉදිරිපස, ත්‍රිවිධ හමුදා ලාංඡනත්, පසුපස රාජ්‍ය ලාංඡනයත් නිරූපණය වෙනවා. දෙපස රතු පැහැති සහ මැද නිල් පැහැති පීත්ත පටියක, මෙම පදක්කම රඳවා තිබෙනවා. සතුරා ඉදිරියේ නොසැලී, අභීතව සටන් කරමින්, දක්වන්නාවූ අති විශේෂ දක්ෂතා වෙනුවෙන්, මෙම පදක්කම පිරිනමනු ලබනවා. මේ පදක්කම් ලාභීන් අතිවිශාල සංඛ්‍යාවක්, අපේ ත්‍රිවිධ හමුදාවේ සිටිනවා. එයින් ප්‍රධාන පෙළේ අයගේ නම් කීපයක්, මෙතනින් බලන්න පුළුවන්

   ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වෙනුවෙන් පිරිනමන වීර පදක්කම් තිබෙන්නේ, ඉහත සඳහන් කළ පදක්කම් පහ පමණයි. මේ ලිපියට අදාලව කරුණු දක්වන පදක්කම් සංඛ්‍යාව 27 ක්. තව කොටස් කීපයක් ඉදිරියෙදී එනවා. මා හිතනවා ඔබට සෑහෙන්න ප්‍රශ්න ඇතිවෙයි. එයින් සමහරකට ඉදිරි කොටස් වලදී ඉබේම පිළිතුරු ලැබෙයි. නමුත් ප්‍රශ්න අහන්න පසුබට වන්න එපා. ප්‍රස්තුතයට අදාළ ප්‍රශ්න වලට පමණක් ඉඩ ලැබේ.



2015 ජූනි මස 21 වැනි දින 2308 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }