හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

14 June 2014

කටපුංචලාගේ ලොකු අයියලා (හතරවැනි කොටස) - Machine Guns and There Applications (Part Four)


Dog
     තුවක්කු ගැන කියවෙන තවත් ලිපි මාලාවක අවසාන කොටස තමයි මෙසේ අද ඔබ වෙත ගෙන එන්නේ. පසුගිය ලිපි තුන මගහැරුණු කෙනෙක් ඉන්නවානම්, පළමුවැනි ලිපිය මෙතැනින්දදෙවැනි ලිපිය මෙතැනින්දතුන්වැනි ලිපිය මෙතැනින්ද, බලන්නට පුළුවන්. පසුගිය ලිපි තුනේදී, ඔබෙන් සෑහෙන දෙනෙක්, තම සිතේ පහලවූ ගැටළු විමසා, පිළිතුරු ලබාගැනීම ගැන මා සතුටු වෙනවා. ඇත්තෙන්ම, යුද්ධායුධ පිළිබඳ දැණුමක් නැති ඔබෙන් බහුතරයකට, ඒ පිලිබඳ සරල දැණුමක් ලබාදෙන්නට මා දරන උත්සාහය සාර්ථක බව, ඔබේ ප්‍රතිචාර වලින් පැහැදිළි වෙනවා. මේ වනවිට, මා ඔබට විවිධ තුවක්කු වර්ග ගැන විස්තර කියාදී තිබෙනවා. ඉදිරියේදීත්, මීටත් වඩා නවීන තුවක්කු ගැන, ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා.


   දැන් ඔබට සෑහෙන තරම් සතුටුදායක අවබෝධයක් තිබෙනවා, පාබල හමුදා, යුද භූමියේදී පාවිච්චි කරන ප්‍රධාන මැෂින් තුවක්කු වර්ග දෙකක් ගැන. ඒ තමයි සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු හෙවත් Light Machine Gun = LMG, සහ මධ්‍යම පරිමාන මැෂින් තුවක්කු හෙවත්, Medium Purpose Machine Gun = MPMG, General Purpose Machine Gun = GPMG. ඉතින් ඒ අවබෝධයත් සහිතව, අද කතාකරන්නේ, මහා පරිමාණ හෙවත්, බර මැෂින් තුවක්කු, Heavy Machine Guns ගැනයි.

   සාමාන්‍යයෙන් සංග්‍රාමික කටයුතු වලදී බර මැෂින් තුවක්කු පාවිච්චි කරන්නේ පාබළ බළඇණියක Infantry Battalion ආධාරය සඳහායි. මතකද මේ ලිපි පෙළේ මුලින්ම කියාදුන් සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව පාවිච්චි කරන්නේ සෙබල පෙළක section ආධාරය සඳහායි. දෙවනුව කියාදුන් මධ්‍යම පරිමාණ යාන්ත්‍රික තුවක්කු යොදාගන්නේ පාබල කණ්ඩායමක  company ආධාරය සඳහායි. බර මැෂින් තුවක්කු වලින් සම්පූර්ණ බලඇණියක ආරක්ෂාව සපයන්න පුළුවන්. ඒ සඳහා ආධාරක කණ්ඩායම support company නමින් වෙනමම කණ්ඩායමක් පාබල බලඇණියක පිහිටුවා තිබෙනවා. එහි ඉන්නේ බලඇණි ආධාරක අවි battalion support weapons (මැෂින් තුවක්කු, මෝටාර්, ආර්.සී.එල්. තුවක්කු, ආර්.පී.ජී.) පිළිබඳව විශේෂඥ පුහුණුව ලද අයයි. 

   පසුගිය ලිපියෙදීත් මා ප්‍රකාශ කළ ආකාරයට ලෝකයේ තිබෙන සෑම බර මැෂින් තුවක්කු වර්ගයක් ගැනම මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. එවිට ලිපිය සංකීර්ණ වීම පමණයි සිදුවන්නේ. ප්‍රධාන වශයෙන් බර මැෂින් තුවක්කු වර්ග දෙකක් ගැන පමණයි කතාකරන්නේ. හොඳයි, අපි මුලින්ම බලමු අද අපි ඉගෙනගන්න පළමුවැනි තුවක්කුව දෙස. 


.50 බ්‍රව්නිං මැෂින් තුවක්කුව

.50 Browning Machine Gun


 m2-50-cal-heavy-machine-gun    ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මේ මැෂින් තුවක්කුව අදත් පාවිච්චියට ගන්න ප්‍රධාන පෙළේ මැෂින් තුවක්කුවක්. මෙහි ඇති ප්‍රබල ක්‍රියාකාරිත්වය නිසාමයි, මෙය අද දක්වාම ලෝකයේ හමුදා බොහොමයක් පාවිච්චි කරන තුවක්කුවක් බවට පත්ව තිබෙන්නේ. මට මතකයි, 1991 වර්ෂයේදී මා කන්කසන්තුරේ ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටියදී, අප සේවය කළ ආරක්ෂක වලල්ලේ සිට, මීටර් 1000 කට පමණ ආසන්න දුරකින් පිහිටි, බ්ලොක් ගල් වලින් සකසා තිබුණු, එල්.ටී.ටී.ඊ. බංකර් වලට, මේ අවියෙන් පහර දී කඩා දැමූ හැටි. නමුත් ඔවුන් ඒවා නැවත නැවතත් ඉදිකරන නිසා, ඊට වඩා ප්‍රබල අවි යොදවා, ඒ බංකර් සුණු විසුණු කරන්නට අපිට හැකිවුණා.

   මේ අවිය මගින්, තරමක් ඝන ස්ථර විනිවිද යන්නට වෙඩි තැබිය හැකියි. ගුවන් යානා නාශක අවියක් ලෙසත් යොදවන්න පුළුවන්. මේ අවිය, ගොඩබිමේදී, ආධාරක මත සවිකර හෝ සන්නද්ධ රථවල සවිකර පාවිච්චි කල හැකි අතර, නාවික යාත්‍රා වලත්, ගුවන් යානා වලත් සවිකර, ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. මෙය කිසිසේත් අතේ තබාගෙන වෙඩි තියන්නට බැහැ. මෙය ඒ ආකාරයට සකසා නැහැ. එමෙන්ම මෙය කිලෝ 30 කටත් වඩා බරයි. හොඳින් බලන්න මේ අවියට මිටක් butt නැහැ. එමෙන්ම මා ඔබට පෙන්වන්නම් මේ අවිය අල්ලන්නෙත් අනික් තුවක්කුවක් අල්ලන ආකාරයට නෙවෙයි. මේ බලන්න වෙඩි තියන හැටි.

  


   හොඳට බලන්න මේ වීඩියෝවේ, වෙඩි තියන එක්කෙනා තුවක්කුව අල්ලාගෙන ඉන්න හැටි. පැහැදිළිව පේනවා නේද වෙන තුවක්කුවකින් වෙඩි තියන විදිහට නෙවෙයි මේ තුවක්කුවේ කොකා මිරිකන්නේ කියන එක. මෙන්න බලන්න එතන තියෙන්නේ කොහොමද කියලා.


DSC00074-07

මේ අලි තුවක්කුවට තියෙන්නෙත් අලි පතරොමක්. මෙන්න බලන්න සයිස් එක.


50-bmg-cartridge



ammo_50cal_m2_drwg


   දැන් හිතාගන්න පුළුවන් නේද අඟල් 5  1/2 ක් විතර දිග පතරොමකින්, අඟල් දෙකක් විතර දිග උණ්ඩයක් පිට කලාම, කොච්චර ප්‍රබලද කියන එක. ඒ වගේම, මේ තුවක්කුවෙන්, විවිධාකාර පතරොම් වර්ග වෙඩි තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් යොදන පතරොම් වැලක, සෑම පතරොම් 5 කට එකක් ට්‍රේසර් tracer වර්ගයේ උණ්ඩයක් සහිතයි. එහෙම කරන්නේ, වෙඩි තබන්නාට සහ, ඔහුගේ කණ්ඩායමේ අයටත්, උණ්ඩ වදින්නේ කොතනටද කියලා පහසුවෙන් බලාගන්නටයි. ඝන ලෝහ තහඩු විනිවිද යන, ආමර් පියර්සින්ග් Armour Piercing, ඒ වගේම, වැදුණු තැන්වල ගිනි අවුළුවන, ඉන්සෙන්ඩයරි Incendiary, උණ්ඩ මෙන්ම, ඒ සියලු ලක්ෂණ කැටිවුණු උණ්ඩත්, වෙඩි තියන්න පුළුවන්. මේ පහත දක්වන්නේ, ඒ උණ්ඩ වර්ග පිලිබඳ විස්තරයයි.




m2ammunitiontypes



   මේ මේ මේ, දැන් අහන්ඩ එපා...............මම හැමදාම කියනවනේ මම දෙන්නේ එදාට එදාට විතරක් හරියන, 'එදාවේල දැණුමක්' නෙවෙයි කියලා. පතරොම් වර්ග ගැන කතාකලේ කොච්චර කාලෙකට ඉස්සරද? ඒවා මතක නැති කරාට මමද පළි? කලින් පාඩම මතක තියන ළමයා, ඉක්මනින් දුවලා දුවලා අපේ ගෙදර ආවොත්, .50 වර්ගයේ හිස් පතරොම් වැලක් තෑගි දෙනවා. බර කිලෝ 20 ක් විතර ඇති. පිත්තල වටිනාකමට වික්කත් හොඳ ගාණක් ගන්න පුළුවන්. (විකුණන්න ගිහින් කූඩුවේ ඉන්නත් පුළුවන් :D)


   හරි, එහෙනම් බලමු නේද තුවක්කුවේ තාක්ෂණික විස්තර.


  • වර්ගීකරණය : බර මැෂින් තුවක්කුව - Heavy Machine Gun
  • මුලින්ම නිපදවූ රට : ඇමරිකා එක්සත් ජනපදය
  • නිෂ්පාදිත වර්ෂය : 1933 (මුලින්ම සැලසුම් කලේ 1918 දී)
  • තුවක්කුවේ බර : කි ග්‍රෑම් 38 යි
  • තුවක්කුවේ දිග : මීටර් 1.654
  • තුවක්කු බටයේ දිග : මීටර් 1.154
  • යොදන පතරොම් වර්ගය : .50 බ්‍රිතාන්‍ය මෝස්තරය හෝ 12.7 x 99 NATO 
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 750 - 850
  • උණ්ඩ පිටවීමේ වේගය : තත්පරයකට මීටර් 890 යි
  • සඵල වෙඩි දුර : මීටර් 1800 යි
  • උපරිම වෙඩි දුර : මීටර් 6800 යි


12.7 බර (මහා පරිමාණ)  මැෂින් තුවක්කුව

12.7 Heavy Machine Gun



Doushka_desert (1)    මේ තුවක්කුව රුසියානු නිෂ්පාදනයක්. අපේ හමුදාව පාවිච්චි කරන්නේ මේ තුවක්කුවේ පාකිස්ථානයේ නිෂ්පාදිත මෝස්තරයයි. (රුසියානු සහ පාකිස්ථානු මෝස්‌තර දෙක අතර ලොකු වෙනසක් නැහැ) අපේ හමුදාවේ සාමාන්‍යයෙන් මෙය හඳුන්වන්නේ 12.7 මැෂින් තුවක්කුව කියලයි. මේ සම්පූර්ණ නම තියෙන්නේ රුසියන් භාශාවෙන්. ඒ මෙන්න මෙහෙමයි. The DShK 1938 (ДШК, for Дегтярёва-Шпагина Крупнокалиберный, Degtyaryova-Shpagina Krupnokaliberny, 'Degtyaryov-Shpagin Large-Calibre') is a Soviet heavy machine gun firing the 12.7×108mm cartridge. මේ අවියත්, ගොඩබිමේ පාබල හමුදා මෙන්ම, යුද්ධ ටැංකි සහ සන්නද්ධ රථ වලත්, නාවික යාත්‍රා වල සහ ප්‍රහාරක ගුවන් යානා වලත්, පාවිච්චි කරනවා. මේ අවියද බලඇණි ආධාරක අවියක් ලෙසයි පාබල හමුදා විසින් සලකන්නේ.


flatpack_dshk


   මේ තුවක්කුවෙන් ගොඩබිමේදී වෙඩි තැබීමේදී 'මාර පුරස්නයක්' එනවා. මේක හදපු එකා මට අහු වුනානම් මම උගේ කර අඹනවා. ඒ මොකැයි කියලා කිව්වොත්, මේ තුවක්කුවෙන් වෙඩි තියනකොට හිස් කොපු පස්සට වේගයෙන් විසිවෙලා, අපේ ඇඟේ 'වැදගත් තැනක' වදිනවා. අපේ කොල්ලෝ දක්ෂයෝ නිසා තුවක්කුවේ පසුපසට ගෝනි කෑල්ලක් එල්ලගෙන තමා වෙඩි තියන්නේ. එතකොට හිස්කොපු ඒ ගෝනි කෑල්ලේ වැදිලා බිම වැටෙනවා. කොහොමද ටිකිරි මොලේ? ඉතිං යුද්ද කරන අතරේ ගෝනි කෑල්ල වැටුනොත්?..... 'පොඩ්ඩක් හිටපාන් මච්චාන්' කියලා කොටියට කෑගහලා කියලා, ආපහු ගෝනිය එල්ලගන්නවා.......... අම්මපා?........... අම්මපා නෙවෙයි ඇන්ටිපා..............


img125



   පේනවා නේද මේ තුවක්කුව හරි සද්දන්තයි. ඒ වගේම ප්‍රබලයි. පොඩි ගෙයක් වුනත් විනාඩි පහකින් දහයකින් කඩන්න පුළුවන්. ඒ වගේම කණ පැලෙන සද්දයක් තියනවා. (ඇත්තටම මේ මෑතකදී මට දැනිලා තියනවා මගේ කන් ඇහීම ටිකක් දුර්වල බව. 'ජයසිකුරු' මෙහෙයුමේදී කාලතුවක්කු වෙඩි නිසා මගේ ඔලුවේ හෝ ගාන සද්දයක් තිබුණා සෑහෙන දවසක්. කන් ඇහීමත් අඩුවුණා. පස්සේ හරිගියා කියලා දැණුනත් එහෙම වෙලා නැහැ. නමුත් කවදාවත් ඒකට බෙහෙත් ගන්න ලැබුනෙත් නැහැ) රෑට වෙඩි තියනකොට මහා ගින්දරක් පිටවෙනවා. දැන් අහන්න එපා ඒ ගින්දර සතුරා දකින්නේ නැද්ද කියලා. දෙගොල්ලොම දෙගොල්ලන්ගේම තුවක්කු වල ගිනි එලිය දකිනවා. ඒක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ තුවක්කුවක් යොදවන තැන ඕනෑතරම් භට පිරිස් ඉන්නවා ඕනෑම අවස්ථාවකට මූණ දෙන්න. මේ තුවක්කුවේ තියනවා අවශ්‍ය විට සවිකරගතහැකි ආධාරක දෙකක්. ඒ ආධාරක අපේ උරහිස් දෙකටයි හේත්තුවෙන්නේ. එය හඳුන්වන්නේ Shoulder Stock කියලයි. 


on8003__2


600px-Rambo3-DSHK_02a (1)
600px-Rambo3-DSHKa


   දැන් තියෙන්නේ මේ තුවක්කුවෙන් වෙඩි තියන හැටි බලන එක නේද? ඔන්න බලාගන්න. මේක බලන්නම වටිනා වීඩියෝ එකක් නිසා තත්පර 10 ක් වත් බලන්න. 







මෙන්න තුවක්කුවේ තාක්ෂණික විස්තර.

  • වර්ගීකරණය : බර මැෂින් තුවක්කුව - Heavy Machine Gun
  • නිෂ්පාදිත වර්ෂය : 1938
  • තුවක්කුවේ බර : තුවක්කු කඳ පමණක් කි.ග්‍රෑම් 37 යි. සියලු උපාංග සවිකළ පසු කි.ග්‍රෑම් 157 යි.
  • තුවක්කුවේ දිග : මීටර් 1.625 යි
  • තුවක්කු බටයේ දිග : මීටර් 1.070 යි
  • යොදවන උණ්ඩ වර්ගය 12.7 x 108  (ඒ කියන්නේ ඉහත දැක්වූ .50 තුවක්කුවට යොදන උණ්ඩ වලට සමාන උණ්ඩ තමයි මේ තුවක්කුවටත් යොදන්නේ. මේ තුවක්කුවෙනුත් ඉහත සඳහන් කල .50 තුවක්කුවෙන් වෙඩි තියන විවිධ වර්ගවල උණ්ඩ වෙඩි තියන්න පුළුවන්)
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 600 ක් පමණ
  • උණ්ඩ පිටවීමේ වේගය : තත්පරයකට මීටර් 800 යි.
  • සඵල වෙඩි දුර : මීටර් 2000 යි
  • උපරිම වෙඩි දුර : මීටර් 2500 යි.

   හමුදා සිතියමක, බර මැෂින් තුවක්කුවක් පෙන්වන්නේ, පහත දැක්වෙන සංකේතයෙන්.


1


   ඔන්න ඉතින් තුවක්කු ගැන ලියන ලද තවත් ලිපි මාලාවක අවසානයට අපි මෙසේ ළඟාවෙනවා. මා හිතනවා මෙයින් ඔබේ දැනුමට යමක් එකතුවන්නට ඇතැයි කියා. ඉදිරි කාලයේදී තවත් මෙවැනි ලිපි වලින් හමුවෙමු.



my-signature-for-blog[1]    2014 ජූනි මස 13 වැනි දින 2334 පැය





.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }