හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

10 February 2013

වෙන අය වගේ නෙවෙයි අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී (දෙවැනි කොටස) – Military Psychological Operations (Part Two)


gossippng clip art  අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී ලිපියේපළමුවැනි කොටස මා ලිව්වේ ඔබ කුමන ආකාරකින් ඒ ලිපිය බාරගනියිද කියන සැකය සහිතවයි. එහෙත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරය ඒ ලිපිය අගය කර තිබුනා. ඔබෙන් ලද ධෛර්යය මත දෙවැනි කොටස ලියනවා. මේ කොටසේදී මම ඔබට තරමක් ගැඹුරු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් ඒ න්‍යායාත්මක කරුණු මා ඔබ වෙනුවෙන් හැකි තරම් සරල ආකාරයට ඉදිරිපත් කරන්න සියලු උත්සාහ ගන්නවා. ඒ නිසා සමහර කොටස් යන්තමින් සඳහන් කිරීම පමණයි කරන්නේ.
  මේ විෂයය ගැන දැනුමක් ඇති අය වෙත මා කාරුණිකව දන්වා සිටින්නේ සමහර ගැඹුරු කොටස් මේ ලිපියට ඇතුලත් කර නැත්තේ ලිපිය නීරස වෙයි යන හැඟීම නිසා බවයි.
  මේ ලිපියේදී මා මුලින්ම අවධානය යොමු කරන්නේ සයි ඔප්ස් සම්බන්ධ පිළිවෙත පිළිබඳව කරුණු සඳහන් කරන්නයි. නේටෝ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) (NATO = North Atlantic Treaty Organization) වැනි ලෝක සම්මත මහා පරිමාන සංවිධාන වල සිට, ඕනෑම පුංචි රටක් දක්වා සෑම පිළිගත් රාජ්‍ය සංවිධානයකටම සයි ඔප්ස් පිලිබඳ ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. පොදුවේ ගත් කල ඒ සෑම සංවිධානයකම මූලික සයි ඔප්ස් ප්‍රතිපත්තිය වන්නේ;
1.  තම දේශපාලන, ආර්ථික, සමාජයීය, රාජ්‍ය පරිපාලන,  අරමුණු සහ අභිමතාර්ථ අභියෝගයට ලක්නොවී පවත්වාගෙනයාම සඳහාත්
2. තමන්ගේ තක්සේරුව සහ බුද්ධි තොරතුරු අනුව අනාගතයෙදී ඇතිවියහැකි යයි උපකල්පනය කරන සංග්‍රාමික තත්වය වෙනුවෙන් ගන්නා මූලෝපාය ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීම සඳහා යුධමය ක්‍රියාමාර්ග නොගෙන අනුගමනය කළහැකි විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙසත්
සයි ඔප්ස් යොදාගැනීමයි.
  සයි ඔප් එකක් අපි හිතන තරම් සරලව හෝ සැහැල්ලුවෙන් ගෙන ක්‍රියාකරන්න බැහැ. සයි ඔප් එකක් කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක්, එහෙමත් නැත්නම් යවපු මිනිහාවම හොයාගෙන ආපහු එන පිල්ලියක්, බූමරංගයක්, පාරාවළල්ලක්, වෙන්නත් ඉඩ තියනවා. ඒ නිසා සයි ඔප් එකක් කරන්න පෙර ඉතා කල්පනාකාරී සැලසුමක් හැදිය යුතුයි. එහිදී පදනම් කරගන්නා ප්‍රධාන සාධකය වන්නේ රාජ්‍ය බුද්ධි අංශ සහ හමුදා බුද්ධි අංශ මගින් සොයාගන්නා බුද්ධි තොරතුරුයි. බුද්ධි අංශ කියන්නේ යුද්ධයක් තිබුනත් නැතත් නොකඩවා ක්‍රියාත්මකව පවතින කාර්ය භාරයක්. මම හිතනවා ඔබෙන් බොහෝ දෙනා දන්නවා ලෝකයේ බොහොමයක් රටවල් පිට රටවල තිබෙන තම තානාපති කාර්යාල මගින් බුද්ධි තොරතුරු හොයන බව. ඊට අමතරව ඒ රටවල ඇති විශේෂ රැකියා (උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ නාසා ආයතනයේ ඉහල මට්ටමේ රැකියාවක්) සඳහා තමන්ගේ රටේ කෙනෙක් රිංගවා ඔත්තු බැලීමත් කෙරෙනවා. නමුත් ඒ රටවල් නපුංසකයෝ නෙවෙයිනේ. ඒ රටවල් එවැනි අය පිළිබඳව නිරතුරුව ඇහැ ගහගෙනයි ඉන්නේ. ඔබ අහලා/කියවලා/දැකලා ඇති සමහර රටවල් ‘මෙන්න මේ තානාපති කාර්යාල නිලධාරියා අපේ රට ගැන ඔත්තු බැලුවා’ කියා ඔවුන්ව තම රටෙන් ආපසු යවන අවස්ථා. ඒවා සුළුපටු සිදුවීම් නෙවෙයි.
  micඅපේ රටෙත් රාජ්‍ය සහ හමුදා බුද්ධි අංශ උපරිම මට්ටමෙන් සිය සේවය ඉටුකරනවා. ඒ සේවා නොතිබෙන්නට එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග තිබුන සටන මීට වඩා බොහොම බරපතල වන්නට හොඳටම ඉඩ තිබුනා. ශ්‍රී ලංකා යුදහමුදා සන්නද්ධ බුද්ධි බලකාය (ස.බු.බ.) (SLAMIC = Sri Lanka Army Military Intelligence Corps) කල සේවය වචනයෙන් කියන්නට බැරි තරම් අගනා සේවයක්. ඒ බලකාය විසින් ඉතා දැඩි දුෂ්කර තත්වයන්ට මුහුණ දෙමින් ලබාදුන් තොරතුරු පදනම් කරගෙන විශාල සයි ඔප්ස් ගණනක් දියත් කරන්නට හැකිවුනා.  (හැබැයි සන්නද්ධ බුද්ධි බලකායෙන් ලැබෙන තොරතුරු බහුල ලෙස පාවිච්චි කරන්නේ සයි ඔප්ස් වලද වඩා සාමාන්‍ය යුද මෙහෙයුම් වලටයි) මේ බලකාය වඩාත් සංවිධානාත්මකව ආරම්භ කෙරුනේ 1990 දශකයේ මුල් භාගයේදීයි.  
  හොඳයි, මීළඟට මා ඔබ සමග සාකච්ඡා කරන්නේ, සයි ඔප්ස් වර්ග මොනවාද? ඒ සයි ඔප්ස් වර්ග දියත් කරන්නේ කෙසේද? යන්න පිළිබඳවයි. මෙහිදී මේ තොරතුරු ඔබවෙත ගෙන එන්නට මා පදනම් කරගන්නේ නේටෝ සංවිධානයේ සයි ඔප්ස් ප්‍රතිපත්ති මාලාවයි. ඔබ නැවතත් සයි ඔප්ස් නිර්වචනය මතක් කරගත්තානම් හොඳයි.  තවත් දෙයක් මෙතනදී ඉතා අවධාරණයෙන් මතක් කරන්න ඕනේ. සයි ඔප්ස් හමුදාවේ ඉන්න සෑම අණදෙන නිලධාරියාටම අවශ්‍ය විදිහට කරන්න බැහැ. අපේ රටේනම් යුද හමුදා මූලස්ථානයේ අනුමැතිය යටතේ සේනාංක මූලස්ථානයක (Division Headquarters) මට්ටමෙන් තමයි සයි ඔප්ස් දියත් කෙරෙන්නේ. නමුත් ආරක්‍ෂක අමාත්‍යාංශය මට්ටමෙන් තමයි බොහෝ සයි ඔප්ස් සැලසුම් කෙරෙන්නේ සහ දියත් කෙරෙන්නේ. ඒ තමයි ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ක්‍රමය. ඒ වගේම තමයි සයි ඔප් එකකට සම්බන්ධ කරගන්නා නිලධාරීන්ට සහ සෙබළුන්ට ඒ පිලිබඳ පූර්ව දැනුම, පුහුණුව, සහ අවබෝධය තිබිය යුතුයි. එමෙන්ම යුද හමුදා ක්රියාන්විතයකදී ඉතා ඉහලින් පවත්වාගෙන යන ‘දැනගතයුතු අය පමණක් අවශ්‍ය දේ දැන සිටීම’ (need to know basis) යන ප්‍රමිතිය දැඩිව ආරක්ෂා කරගත යුතුයි.
  සයි ඔප්ස් වර්ග යනුවෙන් මා අදහස් කලේ ඒ ඒ මට්ටමෙන් සිදුවන සයි ඔප්ස් පිළිබඳවයි. මෙයින් අදහස් කරන්නේ එක් එක සයි ඔප් එක කොපමණ විශාල ඉලක්කගත පිරිසක් වෙත එල්ලවන්නේද යන්නයි. අපි බලමු ඒ ඒ මට්ටම කුමක්ද යනවග.
මූලෝපාය පදනම් කරගත් මනෝවිද්‍යාත්මක මෙහෙයුම්
Strategic Psychological Operations
  මේ වර්ගයේ සයි ඔප්ස් තමයි බොහොම බරපතල ගණයට වැටෙන්නේ. ඒ කියන්නේ මෙවැනි සයි ඔප් එකක් යම්කිසි රටක් කරන්නේ ප්‍රධාන වශයෙන් තම රටේ ආරක්ෂාව, ඒකීය භාවය, පිළිබඳව වෙනත් රටවලින් එල්ලවන තර්ජන අවම කරගැනීම සඳහායි. උදාහරණයක් කියන්නම්. ඉරානය, උතුරු කොරියාව වැනි රටවල් පහුගිය කාලයේ කීප වරක් ප්‍රදර්ශනය කළා තමන් නිපදවූ අලුත්ම යුද අවි. විශේෂයේ දිගු දුර ඉලක්ක වලට පහර දිය හැකි මිසයිල. මේගොල්ලෝ මෙහෙම කරන්නේ ඇයි? ඔවුන් තුල සාධාරණ සැකයක් තිබෙනවා ලෝකයේ වෙනත් රටවලින් තමන්ට යුදමය තර්ජන එල්ලවෙයි කියා. ඉතින් ඔවුන් කරන්නේ ‘අපිත් ඕනේ එකකට ලෑස්තියි’ කියලා ලෝකෙට පෙන්නන එකයි. සමහරවිට ඒ අවි කියන තරම් ප්‍රබල ඒවා නොවෙන්න පුළුවන්. නමුත් අරවගේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනයක් කිරීම (තමන්ගේම රට තුලදී ඒ මිසයිල ගුවනට යවා, ඒවා වීඩියෝ කර, ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන වෙත ලබාදීම මගින් ලෝකෙටම පෙන්වීම) තුලින් එයාලා කරන්නේ මූලෝපාය මට්ටමේ සයි ඔප් එකක්. එවැනි සයි ඔප්ස් සඳහා තීරණ ගන්නේ, රටේ නායකයන්, ඇමති වරුන්, හමුදා ප්‍රධානීන් ගෙන් සමන්විත ජාතික ආරක්ෂක කමිටුවක් විසින්. ඒ නිසා එය ඉහලම මට්ටමේ සයි ඔප්ස් ගණයට වැටෙනවා.  
සංග්‍රාමික මනෝවිද්‍යාත්මක මෙහෙයුම්
Military Operations based Psychological Operations
යම්කිසි රටක දැන් සිදුවෙමින් පවතින හමුදා ක්‍රියාමාර්ගයක් (අභ්‍යන්තර කැරැල්ලක් මැඩපැවැත්වීම, සිවිල් යුද්ධයක්, විදේශීය ආක්‍රමණයක්, වැනි) සඳහා ආධාර වශයෙන් (ඒ කියන්නේ තමන්ගේ හමුදාවට මහජන සහයෝගය ලබාගැනීම මෙන්ම සංග්‍රාමික රාජකාරියේ යෙදී සිටින හමුදා සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යය ඉහල මට්ටමකින් පවත්වාගැනීම) කෙරෙන සයි ඔප්ස් මේ ගණයට වැටෙනවා. මේ සයි ඔප්ස් පිලිබඳ තීරණ හමුදා ප්‍රධානීන් විසින් ගෙන ඒ සයි ඔප් එකේ ප්‍රබලත්වය අනුව රජයේ අනුමතිය ඇතිව හෝ හමුදා ප්‍රධානීන්ගේ තීරණ මත දියත් කෙරෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්කිසි රටක යුද හමුදාව රටේ අභ්‍යන්තර ගැටුමක යෙදී සිටියදී අධෛර්යයට පත්ව සිටිනවා කියා. ඔවුන්ගේ චිත්ත ධෛර්යය නැවත නගාසිටුවීම සඳහා විශේෂ දේශන, හමුදා උපක්‍රම ගැන නැවත මතක් කරදීම, පසුගිය කාලයේ ලද ජයග්‍රහණ මෙන්ම මේ දිනවල එම හමුදාවේම වෙනත් සේනාංක ලබා සිටින ජයග්‍රහණයන් පෙන්වාදීම වැනි දේ කලහැකියි. හැබැයි බොරු කරන්න බොරු කියන්න බැහැ. සියල්ල ඇත්ත දේ වියයුතුයි.
උපක්‍රමික මනෝවිද්‍යාත්මක මෙහෙයුම්
Tactical Psychological Operations
  මෙවැනි සයි ඔප්ස් සාමාන්‍යයෙන් කරන්නේ දැන් සිදුවෙමින් පවතින සංග්‍රාමයකට අවශ්‍ය ආධාරක බලවේගයක් ලෙස යොදා ගැනීම සඳහායි.
  සරල උදාහරණයක් කියන්නම්. ආපහු යමුකෝ අපේ රටේ එල්.ටී.ටී.ඊ. යුද්දෙට. අපිට ඕනේ මුලතිව් ප්‍රදේශය අල්ලගන්න. නමුත් සතුරා මුලතිව් ප්‍රදේශයේ ශක්තිමත්ව ඉන්න බව බුද්ධි තොරතුරු මගින් දැනගන්න ලැබෙනවා. ඒ වගේම අපි ගුවන් ප්‍රහාර, කාලතුවක්කු ප්‍රහාර එල්ල කලොත් මුලතිව් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට හානිවෙන්න ඉඩ තියනවා. දැන් මොකද කරන්නේ? දැන් තමයි ඔලුවෙන් ගහන්න ඕනේ.
  අපි මෙහෙම දෙයක් කරනවා. A 9 මාර්ගයේ (මහනුවර – යාපනය) වවුනියාව ප්‍රදේශයේ ගමන් කරන දෙමල මහජනතාවට පෙනෙන්න, ප්‍රධාන මාර්ගයට ඈතින්, ලී කොට, ගෝනි, වැනි විවිධ අමුද්‍රව්‍ය වලින් කාලතුවක්කු, යුද්ධ ටැංකි හදලා, ඇත්තම ඒවා වගේ පෙනෙන විදිහට තියනවා. ඇත්ත කාලතුවක්කු සහ යුද්ධ ටැංකි එකක් දෙකක් පාර අසලත් තියනවා. ඊළඟට අපි ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රචාර වලින් (විශේෂයෙන් දෙමල භාෂාවෙන්) දෙමල පුවත්පත් වලින් ප්‍රචාරයක් යවනවා ළඟදීම හමුදාව කිලිනොච්චි නගරය අල්ලන්න සුදානම් කියලා. වවුනියාවේ සිට කිලිනොච්චි පැත්තට යන මහජනතාව අතට ද්‍රවිඩ බසින් සකසන ලද අත් පත්‍රිකා බෙදා දෙනවා වහාම කිලිනොච්චි ප්‍රදේශයෙන් ඈත්වන්න ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ළඟදීම ඒ ප්‍රදේශයට පැමිණෙන බව දන්වා. මේ අදහසම තියන පත්‍රිකා හෙලිකොප්ටරයක් මගින් කිලිනොච්චි ප්‍රදේශයට ඉහල අහසේ විසුරුවා හරිනවා.  දැන් මොකද වෙන්නේ? අපේ සයි ඔප් එක සාර්ථකනම් සතුරා ගොනාට අඳිනවා.    
helicopters%20vehicles%20uh60%20black%20hawk%204288x2848%20wallpaper_wallpaperswa_com_33
සතුරාට එතරම් පිරිස් බලයක් නැහැ. දැන් ඔහු කරන්නේ මුලතිව් ප්‍රදේශයේ සිටින තමන්ගේ භට පිරිස් වහාම කිලිනොච්චියට යොමු කිරීමයි. අපිටත් ඕනේ ඒ වැඩේ කරගන්නයි. දැන් අපි කරන්නේ හොර රහසේම මුලතිව් වලට ආසන්න ප්‍රදේශයක සඟවා සිටි අපේ හමුදාව යොදවා මුලතිව් අල්ලා ගැනීමයි. බලනකොට සයි ඔප්ස් කියන්නේ ‘කේර මලියක්’ නේද? නිකම් ‘බීරි මස්කට්’ කකා ඔව්වා කරන්න බැහැ.  :D  
  දැන් ඔබට වැටහෙනවා ඇති සයි ඔප්ස් කියන්නේ තනිකරම ප්‍රචාරක යුද්ධයක් කියලා. ඔව් එක අතකට ඒක සම්පූර්ණයෙන්ම ප්‍රචාරක යුද්ධයක්. කොහොමද මේ ප්‍රචාරය කරන්නේ. මූලෝපාය සයි ඔප් එකක්නම් විශාල ජාත්‍යන්තර ප්‍රචාරයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන වල (බී.බී.සී,  සී.එන්.එන්,  අල් ජසීරා, වැනි)  සහාය ලබාගත් යුතුයි. එකත් නිකම්ම කරන්න බැහැ, කිසියම් පූර්ව සබඳතා ගොඩ නගාගත යුතුයි. අපි හිතමු අපිට සයි ඔප්ස් දාන්න ඕනේ රට අපේ රටට ආසන්නව තියෙන්නේ කියලා. එහෙනම් අපිට පුළුවන් අපේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා (චන්ද්‍රිකා නාලිකාද ඇතුළුව) වලින් අර රටට එරෙහි ප්‍රචාර (ඒ රටේ අයගේ භාෂාවෙන් කරන්න පුලුවන්නම් බොහොම ඉහලයි) කරගෙන යමින්, ඒ රටේ ජනතාවගේ අදහස් වෙනස් කිරීමේ යුද්ධයක යෙදෙන්න.
satcom
එපමණක් නෙවෙයි ඒ රටට ඉතා ඉහල අහසේ පියාඹන, විශේෂයෙන් සැකසූ ගුවන් යානා වල සිට මෙවැනි ප්‍රචාර කල හැකියි. මෙවැනි ගුවන්යානා විශේෂයෙන්ම යොදවාගන්නේ ගුවන්විදුලි ප්‍රචාරක මධ්‍යස්ථාන ලෙසයි.
ec130dsa2
DN-SD-04-01674
සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අපේ පාලනය යටතේ පවතින ප්‍රදේශ වල ප්‍රචාරණ කටයුතු සඳහා ශබ්දවිකාශන යන්ත්‍ර සවිකළ හමුදා වාහන යොදාගන්නවා. එහිදී සංගීතය ප්‍රචාරය කරමින් ජනතා අවධානය ලබාගෙන අපේ සයි ඔප් එකට අදාළ ප්‍රචායද කරගන්නවා.
640px-PSYOPS3ap
407559_360544257377537_420100426_npsyops-loudspeakers
මීට අමතරව බහුල වශයෙන් යොදාගන්නා ක්‍රමය වන්නේ පෝස්ටර් මගින් ප්‍රචාරය කිරීමයි. මිනිසුන්ගේ අදහස් වෙනස්වෙන ආකාරයට, සිතුම් පැතුම් වලට බලපෑමක් වන ආකාරයට, පෝස්ටර් සකසා ඒවා ඉලක්කගත් ජනතාව සිටින ප්‍රදේශවල ඇලවීම බොහොම ප්‍රතිඵල දායකයි.
GraffitiCover
psyops_offr_2
psyops_offr_1
හැබැයි මේ සියල්ලේ සාර්ථකත්වය රඳා පවතින්නේ එක්තරා මූලධර්ම තුනක් මත බව විශේෂයෙන් සඳහන් කල යුතුයි.  ඒ මූලධර්ම වන්නේ;
  1. සයි ඔප්ස් පිලිබඳ සිද්ධාන්ත අවබෝධ කරගෙන සිටීම.
  2. ඉලක්කගත පිරිස කවුරුන්ද යන්න මනාව අවබෝධ කරගෙන තිබීම.
  3. තමන් කරන සයි ඔප් එකෙහි ප්‍රබලත්වය කොතරම් දුරට යෙදවිය යුතුද යන්න අවබෝධ කරගෙන සිටීම.
  ලෝකයේ සමහර රටවල් තම රටේ ආරක්ෂාව, ඒකීය භාවය සඳහා මූලෝපාය සයි ඔප්ස් වල යෙදෙන බව මම ඉහත සඳහන් කල බව ඔබට මතක ඇති. ඉරානය, උතුරු කොරියාව වැනි රටවල් එවැනි සයි ඔප්ස් කරනවා යයි අපි සිතමු. තම යුද ශක්තිය පිලිබඳ ප්‍රචාරණ වැඩපිළිවෙල එවැනි සයි ඔප්ස් වලට හොඳ උදාහරණ. නමුත්, ඒවා වහාම තහනම් කලයුතුයි කියලා ඇමරිකාව වගේ රටවල් කෑගහන්නේ ඇයි? 
  ඔන්න මම මෙච්චරවෙලා නොකිව්ව දෙයක් කියන්නයි යන්නේ. ඔබ අහලා තියනවා නේද පරණ සිංහල කියමන් තියනවා, ‘දියරෙද්දෙන් බෙල්ල කපනවා’, ‘දිය යටින් ගින්දර ගෙනියනවා’ කියලා. ඒ කියන්නේ තමන්ගේ අරමුණු කූඨ විදිහට ඉෂ්ඨ කරගන්නවා කියන එකයි. ඉතින් ඇමරිකාව වගේ රටවල් අර සයි ඔප් එකට විරුද්ධව කෑ ගැසීම ‘ප්‍රති සයි ඔප්’ එකක්. මතක තියාගන්න ප්‍රති සයි ඔප්ස් (Counter Psycholigical Operations) කියලා ජාතියකුත් තියනවා. ඒ කියන්නේ අර සයි ඔප් එක කපලා යන්න අපිත් එකක් ආපහු කරනවා කියන එකයි. ඇමරිකාවේ පියාඹන පීරිසි වැනි යුද ගුවන් යානා තියනවා, ඒවා ක්ෂණයකින් ඕනෑම තැනකට යැවිය හැකියි, ඒවාට රේඩාර් වලට අසු නොවී පියවි ඇසට නොපෙනී ගමන් කල හැකියි, වැනි දේ ප්‍රති සයි ඔප්ස් කියලා හිතන්න ඉඩ තියනවා.
 මම ඉහත සඳහන් කළා මතක ඇති, ගුවන්විදුලි සහ රූපවාහිණී ප්‍රචාර පිළිබඳව. එම විකාශන සංඥා අවුල් කිරීම, සම්පූර්ණයෙන් වැලැක්වීම සඳහා එම සංඛ්‍යාත ඔස්සේම අර ප්‍රති විරුද්ධ රටෙන් වෙනත් සංඥා යැවීම කෙරෙනවා. මෙය විද්‍යුත් සංග්‍රාමයක් (Electronic Warfare) ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා සංඥා අවුල් කරමින් (Jam) සැරිසරණ විශේෂ ගුවන් යානා, නැව්, ජංගම රථ, යොදවනවා.
මේ ලිපියේ පළමුවැනි කොටසේදී මම ඔබට පුංචි කතාවක් කිව්වා අර මරාගෙන මැරෙන බෝම්බකාරියගේ කතාව. මතකයි නේද? නැත්නම් දුවලා ගිහින් කියවලා එන්න. ඒ කතාවේදී අපි ජයගත්තා බෝම්බකාරිය සතුරු කඳවුරකදී ඒ කඳවුරු නායකයා අතින් දූෂණය වූ බව කියලා. මේකට කොහොමද ප්‍රති සයි ඔප් එකක් කරන්නේ. සතුරාත් ලියනවා අර බෝම්බකාරියගේ අත් අකුරු කියලා අතින් ලියන ලද ලිපියක්. සතුරාවත් අපිවත් ඇත්ත අත් අකුරු දන්නේ නැති වෙන්න පුළුවන්. මිනිස්සු විස්වාස කරන්නේ අත් අකුරු නෙවෙයි කතාව. කතාව ආපහු හරවමින් සතුරා කියනවා, ඇත්ත කතාව මේකයි, මේ කාන්තාව දැනට කලකට ඉහතදී අපේ හමුදාව විසින් මාර්ග බාධකයකදී පැහැරගෙන ගොස් දූෂණය කර ඇති බව. ඒ පැහැරගැනීම සියැසින් දුටු බවට තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ ඡායාරූපද සහිතව විස්තරයක් දානවා. මේ කාන්තාව සතුරු හමුදාවට බැඳෙන්නට පෙර, අපේ හමුදාව ඇය දූෂණය කල බව සඳහන්, ඇගේ අත් අකුරින්ම ලියන ලද ප්‍රකාශයද පල කරනවා. මේ කාන්තාව බෝම්බ පුපුරවන්නට පෙර සැඟවී සිටි කඳවුරේ තරුණියන් ලෙස කියමින් තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශ දානවා ඒ කඳවුරේ කවදාවත් කාන්තාවන්ට හිරිහැර නොවෙන බවත්, සුළු හිරිහැරයක් හෝ සිදුවුනොත් ඉතා ඉහල දඬුවම් ලැබෙන බවත්, සඳහන් කරමින්.  මේ කරුණු විශ්වාස කරන අපේ හමුදාවේ අයත් සාමාන්‍ය ජනතාවත් විශ්වාස කරන්නට ඉඩ තිබෙනවා මෙය ඇත්ත බව. 
  සෑම දේකම දෙපැත්තක් තිබෙනවානේ.  ඒ තත්වය සයි ඔප්ස් වලටත් පොදුයි. ඉතින් දැන් අපි මේ ලිපියේ අවසානයට ළඟාවෙනවා. ඉතා සංකීර්ණ මාතෘකාවක් ඔබ වෙනුවෙන් හැකි තරම් සරලව සැකසූ බව නැවතත් අවධාරණය කරමින් ලිපිය අවසන් කරනවා.  කලකට ඉහතදී මට අවස්ථාවක් ලැබුනා අපේ රටට පැමිණි ඇමරිකානු යුද හමුදා උපදේශකයන් යටතේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පිළිබඳව පාඨමාලාවක් හදාරන්නට. ඒ දැනුම මේ ලිපිය සැකසීමට මහත් පිටුවහලක් වුනා.
  මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප Google Images වෙතින් ලබාගත් ඒවාය.  
  මූලාශ්‍ර
My Signature for Blog2013 පෙබරවාරි මස 10 වැනි දින 2326 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }