හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label හමුදාවේ කතා. Show all posts
Showing posts with label හමුදාවේ කතා. Show all posts

03 November 2017

පියෙකුගෙ කඳුළු මුතුකැට වුණි දරුකමට

ශ්‍රී ලංකාවේ  පැවති මානුෂීය මෙහෙයුමේ අවසාන භාගයේ සිදුවූ සත්‍ය සිදුවීම් දෙකකි. මෙකල මගේ පියා සේවය කළේ වවුනියාව මැණික් ෆාම් කඳවුරේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරියා ලෙසය . 

යුද්ධයේ අවසාන භාගයේදී උතුරේ සිටි දමිළ ජනයා  ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන ඔවුන්ගේ සුභ සාධන කටයුතු කිරීම සිදුවෙම්න් පැවතිණි. මේ කාලයේ මුලින්ම පැමිණි දමිළ සිවිල් වැසියෝ ඔවුන්ට  හැකි සැමදේම රැගෙන පැමිණියහ. උදාහරණ ලෙස ගවයන් , බයිසිකල්, අත් ට්‍රැක්ටර් වැනි දෑ ඒ අතර විය . ඔවුන් පැමිණි පසු  මුලින්ම සිදුකරන්නේ ඔවුන්ව ලියාපදිංචිකර ඒ ඒ කඳවුරු වලට බස් රථ වලින් රැගෙන යාමයි. එහි පළමු සිදුවීම වූයේ එවැනි අවස්වථාකය .

දිනක් උදෑසන වන විට ඉකුත් දිනවල පැමිණි දමිළ ජනතාව විශාල ප්‍රමාණයක් සිටියහ. ඊලඟට කළයුතු  කාර්යය වශයෙන් තිබුණේ ඔවුන් කඳවුරුවලට රැගෙන යාමයි. මේ අවස්ථාවේදී ඔවුන් හැසිරෙන්නේ ඉතා කලබලයෙනි. ඊට හේතුව ඔවුන්ගේ බිය , සංකාව , අහිමිවීම් සියල්ල එක්තැන් වීම් හේතුකොටගෙනය. කෙසේවෙතත් බස්රථ 5 කින් පමණ ඔවුන්ව කඳවුරුවලට රැගෙන ගියහ. ඉන් මද වෙලාවකට පසු සෙබළෙ පැමිණ පැවසුවේ මෙවන් කථාවකි .

සෙබළා -  සර් බ්ලොක් එකේ  සිවිලියන්ලා දෙන්නෙක් හොඳටම අඬනවා සර් . ඒ අය  කියනවා සර්. ඒ අයගේ ළමයි දෙන්න නැතිවෙලා කියලා.  ළමයි දෙන්න නැගලා තියෙන්නේ වෙන බස් එකකට කියලා. 

මගේ පියා - හරි,  තමුන් යනවා. මම බලන්න  එන්නම් මොකක් ද කියලා. 

එකෙණහිම තවත් කඳවුරක  රාජකාරියේ යෙදෙමින් සිටි සෙබළෙක් දුරකථනයෙන් මගේ පියා අමතන ලදී. 

සෙබළා - සර්  මෙතන පොඩි ප්‍රශ්නයක්. පිරිමි ළමයි දෙන්නෙක් හොඳටම අඬනවා. ඒ දෙන්න කියනවා අම්මයි තාත්තයි මෙතන නෑලු. හොයලා දෙන්නලු.  ඒ දෙන්නා වැරදි බස් එකේලු නැගලා තියෙන්නේ  කියලා .

මගේ පියා - හරි මම කියනකන් ළමයි දෙන්න හොඳට බාලාගන්නවා .   (මේ සිද්ධිය රහසිගත වියයුතු බවත් ප්‍රකාශ කළේය. )

මගේ පියා විසින් දමිළ දෙමවුපියෝ දෙදෙනා මුණ ගැසුණු අතර, ඔවුන් කියා සිටියේ ළමයි දෙන්න සැමවිටම තමා ළඟ සිටියමුත් බස්රථවලට නගින අවස්ථාවේදී ඔවුන් දුවගොස් නැගතිබෙන්නේ වෙනත් බස්රථයකට බවයි.

ඉන්පසු මගේ පියා විසින් ළමයි දෙදෙනා සිටින කඳවුරටද ගියේය. එහිදී  අවුරුදු 12 ක 8 ක් පමණ වයසැති පිරිමි ළමුන් දෙන්නෙක් මුණ ගැසිණි. ඔවුන් ද ප්‍රකාශ කළේ  බස්රථවලට නගින අවස්ථාවේ තම දෙමවුපියන්ගෙන් වෙන්වී ඇති බවයි. තම පියා වැනි කෙනෙක් බස්රථයට නගිනවා දුටුව නිසා ඒ බසයට නැගුනත්, ඒ තම පියා නොවන බව දැනගත්තේ කඳවුර තුළට පැමිණි පසු බව වැඩිමහල් පිරිමි දරුවා පැවසීය. 


ඉන්පසු මගේ පියා ඔවුන් දෙදෙනා කැටුව ඔවුන්ගේ දෙමවුපියන් සිටින කඳවුරට ගොස් ඔවුන් වාහනයේ රඳවා දරුවන්ගේ දෙමවුපියන් දෙදෙනා කඳවුරෙන් පිටතට ගෙන්වා ළමයින්ට දර්ශනය වීමට සලස්වා ඔවුන්ගෙන් අර සිටින්නේ තම දෙමවුපියන් ද යන්න හඳුනාගන්නා ලෙස පැවසීය . එවිට ඔවුන් පවසා සිටියේ ඒ තම දෙමවුපියන් බවයි. ඉන්පසු වාහනයේ දොර විවෘත කර ඔවුන් දෙදෙනාට ඔවුන් ලඟට යනලෙස මගේ පියා පවසා ඇත. 


දරුවන් දෙදෙනා එක පිම්මේ ගොස් ඔවුන් වැළඳ ගත් අයුරුත් දෙමවුපියන් දෙන්නාද ඔවුන් වැළඳ ගත් අයුරුත් සතුරු කඳුළු වගුරවන මගේ පියා සැනසිල්ලේ බලා සිට ඇත. ඒ අවස්ථාවේ සෙබලෙක් පවසා සිටියේ
සර්..........  මාර වැඩේ නේද තව ටිකෙන්  වෙන්නේ  යනුවෙනි . 



( මෙහි ඇති සුවිශේෂිතාවය නම් රජයේ ප්‍රතිපත්තිය වී තිබුණේ  කඳවුරු තුළට  දැමූ පසු කිසිවෙකුත්  මොනම හේතුවකටවත් කඳවුර මාරුකිරීම කළනොහැකි අවස්ථාවක වගකීම  තමන් සතුකරගත් මගේ පියා එම කාර්යය සිදු කිරීමයි ) 


මේ කලාවකවානුවේම තවත් සංවේදී සිද්ධියකට මුහුණ පෑමට මගේ පියාට සිදුවිය . දිනපතා රැයක් එළිවනවිට දමිළ සිවිල් ජනතාව බොහෝ දෙනෙක් හමුදා සීමාවට පැමිණෙමින් සිටියහ . ත්‍රස්තවාදිවිසින් එසේ පලායන දමිළ ජනතාවට ද වෙඩි තැබීමට පසුබට නොවුහ.


දිනක් එදින පැමිණි සිවිල් ජනාතාවගේ අවශ්‍යතා සැපයීම සඳහා කඳවුරු භූමිය පරික්ෂාවක යෙදී සිටියදී මගේ පියා ගේ නෙත ගැටී ඇත්තේ අවුරුදු 4 ක පමණ දැරියක් නොනවත්වා හඩන අයුරු හා ඇය ළඟ සිටින පිරිමි පුද්ගලයා ( ඇයගේ පියා යයි සිතන  ) ඉතා දුකින් පසුවන ආකාරයත් දුටුවේය. පසුව ඔවුන්  දෙදෙනා තම කාර්යාලයට රැගෙන එන ලෙස උපදෙස් දී මගේ පියා ඉන් පිටත් විය. ඉන්පසු ඔවුන් දෙදෙනා කාර්යාලයට පැමිණ තිබුණි. 


ඉන්පසු ඔවුන්ගේ කථාව මගේ පියා  පියා අසා තිබුණි.  මෙම කුඩා දැරියට  මවත් පියාත් සහෝදරයෙකුත් සිට ඇත. ඔවුන් සියලු දෙනා රැයවල් 2 කට ප්‍රථම තම නිවසින් පිටත්වූයේ කොටි ත්‍රස්තයන්ගෙන්  මිදී  හමුදා පාලන ප්‍රදේශ කරා පැමිණෙන විට ඇයගේ මවත් සහෝදරයාත් කොටි වෙඩි පහරට ලක්ව මරුමුවට පත්ව ඇත . ඔවුන් රාත්‍රියේ කාලයේ කැලෑ ප්‍රදේශයක් මැදින්  ගමන් කිරීමේදී කොටි පිරිසකගේ ග්‍රහණයට අසුව ඇති අතර , දියණිය සමග පියා සැඟවුණත් මවට හා පුතුට දිවි බේරා ගත නොහැකි වී ඇත. අවසන් කාලයේ දමිළ වැසියන්  හමුදා පාලන ප්‍රදේශවලට යාම ඔවුන්ට වලක්වා ගත නොහැකි වියරුවෙන් ඔවුන් ඒ දේවල් සිදුකරන ලදී. 


කෙසේ වෙතත් දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ මගේ පියාද ඒ මොහොතේ ඇයව වඩාගෙන  සුරතල් කර ඇත. කෙසේ වෙතත් ඉන්පසු  එම කඳවුරට යන සාම අවස්ථාවකම අර කුඩා දැරිය 


පෙරිය දොරේ ...................... කියා  කෑ ගසමින් මගේ පියා අසලට පැමිණෙන අතර එවිට ඇය වඩා ගතයුතු බව මගේ පියා අප සමග පවසන ලදී . ඒ වන විට විශ්‍රාම යාමට ආසන්නයේ සිටි මගේ පියා  ඇය පිළිබඳව සැබවින්ම සංවේදී වූ බව ඔහුගේ කථාබහෙන්  අපට වැටහී තිබුණි . 


කඳවුරු භූමියේ ඇය සිටියදීම 2009 පෙබරවාරි මස 27 වන දින යුධබිමේ සියල්ල අතහැර මතකය පමණක් රැගෙන විශ්‍රාම දිවිය ගතකරන්නට මගේ පියා නිවසට පැමිණියේය . 


විචාරක දියණිය උදෑසන 9.00 පැයට 

15 October 2017

සිහිනෙන් ඇවිදීම හා වෙරි හිඳීම




පියා අහිමිවීමේ ප්‍රතිඵලයක් ලෙස මට සිදුවූ පළමු ඇබැද්දිය පසුගිය 25 අළුයම  සිදුවිය. එනම් රාජකාරියට යාමට නිවස ඉදිරිපිට පාර මාරුවීමේදී මෝටර් බයිසිකලයක ගැටීමය. දින දෙකක් රෝහල් ගත වීමෙන් පසුව අතපය නොකැඩුනත් සිදුවුණු තැලීම් සීරීම් හමුවේ  තරමක් සුවය ලබන්නේ දැන්ය. එදවස ඔහු මා මෝටර් රථයෙන්  දුම්රිය පොළට ගෙනයන අතර එතැන් සිට රාජකාරී ස්ථානයට යනතුරු දුරකථන ඇමතුම් 3ක් වත් ලබාදෙයි . ගිය බවද ඔහුට නොකීවහොත් උදෑසන 9.00 පමණ වන විට නැවත ගනී . ඔහු ගියදා පටන් මා දිනපතා මව සමග පාරට ගොස්  බසයෙන් හා දුම්රියෙන් රාජාකාරියට වාර්තා කරයි. මෙම අනතුර සිදුවූයේ එබැවිණි.


පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ ................................

අද කථාන්දරය මෙසේ අරඹමි.



යුධ හමුදා කඳවුර නුවරඑළිය


මගේ පියා යුධ හමුදා සේවයේ යෙදී සිටියේ ඔහුගේ මවු ඒකකය වූයේ  3 ශ්‍රී ලංකා සිංහ  රෙජිමේන්තුවයි. මෙම රෙජිමේන්තු මූලස්ථානය පිහිටියේ සුන්දර නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉස්මත්තේය . එම නිසා එය රමණීය ස්ථානයක් විය. මෙහි ඇති තවත් සුවිශේෂී කරුණ වන්නේ මෙම ස්ථානය හා ගොඩනැගිල්ල  ඉංග්‍රීසි පාලන සමයේ එවකට ලංකාවේ වතුඅධිකරිවරුන් හා බ්‍රිතාන්‍ය  පාලකයන්ගේ  ළමයින් ඉගෙනගත්  පාසලක් වීමයි.  එම නිසා එය "හිල් ස්කූල් " නමින්  හඳුන්වයි. 


මෙම හමුදා කදවුරට ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස පැමිණ උප අණදෙන නිලධාරියෙකු වනතුරු තම මවු ඒකකයේ ඔහු සේවය කළේය . කෙසේ වෙතත් එහි ඇති නිලධාරී නිවස්නය හා කඳවුර ඉදිරිපිට ඇති රෝස උද්‍යානය එයට ෙප්‍රෘඩතත්වය එක්කරන ලදී . එම රෝස උයන නුවරඑළියේ  වසන්ත සැණකෙළියට සමගාමීව පවත්වන රාජ්‍ය සේවා ගෙවතු තරඟය සඳහා සෑම වර්ෂයකම තරඟ කරන අතර ජයග්‍රහණ ද  ලබා ගනී.

හරි දැන් අටුවා ටීකා ඇති කතාවට එන්ටර් වෙමුකෝ .....................

මේ නිලධාරී නිවස්නයේ විවිධ හේතූන් පදනම් කරගනිමින් සාද පවත්වනු ලබයි. නිලධාරීන්ගේ විශ්‍රාම ගැනීම් , උසස්වීම්, සංවත්සර  ආදිය ප්‍රධාන වේ . එහිදී  නිලධාරීන්ගේ පවුල්වල අයටද ඒවාට සහභාගී වීමට අවස්ථාව හිමිවේ. මෙයත් එවැනි අවස්ථාවකි . එවැනි අවස්ථාවක් එනතුරු මමත් නංගීත් බලා සිටින්නේ ඇත්තටම නුවරඑළියේ යාම හා ඇවිදීම අතිශය ප්‍රිය උපදවන කටයුත්තක් නිසාය. කෙසේ වෙතත් දිනක් එවැනි සාදයකට යාමේ අදහසින් අපි නුවරඑළියේ ගියෙමු . 

                                            රෝස උයනේ මගේ පියා සමග නංගියි මමයි  


එදින සවස පැවති උත්සවය සඳහා උදෑසන පිටත් වූ  අපි  දහවල් වනවිට කඳවුරට ලඟාවුනෙමු . උත්සවය නිමවන්නේ පසුදා අළුයම බව දන්නා නිසාම ( මධ්‍යසාර නැති උත්සව හමුදාවේ නැතිනිසා ) නවතින්නට පැමිණෙන බව කල්තියා පියා විසින් දැනුම් දී තිබුණි. ඒ අනුව මහල් දෙකකින් යුත් නිලධාරී නිවස්නයේ දෙවන මහලේ කෙලවරේ පිහිටි කාමරයක් අපට ලැබුණි . මදි නොකියන්න සීතලද තිබුණි. මේ කාමරයට පැමිණිමේදී  හැඩයට බැසිය යුතු සිමෙන්ති තරප්පු පෙළක් නැගීමෙන් අනතුරුව විශාල කොරිඩෝවක් පසුකර යුතු අතර කොරිඩෝව අවසානයේ  පොඩි ලොබියක්  තිබේ . එම ලොබියේ දකුණු පසින් කාමර දෙකක් තිබෙන අතර පළමු කාමරය අපගේ විය.  මා මෙය පැවසුවේ කථාවේ ඉදිරියට එය අවැසි බැවිනි . කෙසේ  වෙතත් පළමු මහලේ ( OFFICER'S MESS ) හිදී උත්සවය පටන් ගත් අතර  අප වැනි තවත් පවුල් කීපයක් ද නිලධාරීන් තනිවම ද උත්සවයට සහභාගී වූහ. නැටුම් ගැයුම් වැයුම් මැද මධ්‍යම රාත්‍රිය එළඹි අතර ඒ වනතුරුත්  නිලධාරීන් කිසිවෙක් ආහාර ගෙන නොතිබුණි. කාන්තාවන් හා දරුවන් පමණක් අහාර ගෙන සිටි අතර , ළමයින් එකා දෙන්නා උකුල් උඩ නිදියද්දී  කාන්තාවන්ට උත්සවය නිමා කළ හැකි බව පවසා අපි සියලු දෙනාම එතනින් පිටවී  අදාළ කාමර කරා පැමිණියහ. 




විවිධ උත්සව අවස්ථාවල ලබාගත් ඡායාරූප 

එහෙත් මගේ පියා ඇතුළු ඔහුගේ මිතුරන් මධුවිත තොලගාමින් තවදුරටත් රැඳී සිටියහ.( එකල එයට කිසිවක් කිවනොහැක්කේ  සැමදා කැලයක දිවිගෙවන ඔවුන්ට සතුටු වීමට අවස්වථාක් සපයා දුන්නේ  එවැනි  උත්සවයක් පමණක් වීමය. ) කෙසේ වෙතත් මගේ පියා එදින කාමරයට පැමිණි වෙලාව මා දන්නේ නැත. අධික සීතල පවතී බැවින් ජර්සියක් හා බ්ලැන්කට්ටුවක් පෙරවා සිටියද සීතල අධික විය .  එම නිසා නින්ද කඩින් කඩ සිදුවිය. මා තනි ඇඳකත්  අම්ම තාත්තා හා නංගි තවත් ඇඳකත්  නිදියන ලදී. වරක් බලන විට තාත්තා පැමිණ ඇතිබව දක්නට ලැබුණි. ඉන්පසු අනෙක් පසට හැරීනිදාගත් අතර එකවරම සිහිනෙන් මෙන් දුටුවේ කාමරේ දොර කවුරුන් හෝ විවර කරගෙන එළියට ගිය  බවයි. තවත් නිමේෂයක් ගතවෙද්දී අපේ අම්මා මහා හඬ දී කෑ ගැසුවේ ළමයා නෑ අනේ නැගිටින්නකෝ ළමයා නෑ යනුවෙනි . මා එකවර නැගිට කාමරයේ ලයිට් දැමූ අතර තාත්තා  විදුලි වේගයෙන් දිව ගියේය . අම්මගේ කෑගැහිල්ලට අසළ කාමරයේ තාත්තගේ මිතුරන් දෙන්නෙකු ද පැමිණි අතර සුළු වෙලාවකට පසු තාත්තා නංගි හරහට වඩාගෙන පැමිණි අතර  ඇය නින්දේ පසුවිය.  මගේ පියා පැවසූ පරිදි  ඔහුට ඇයව හමුවී තිබුනේ පහල මාලයේ සාදය තිබුණු  විශාල  ආලින්දයේ දොර ළඟදී බවයි . ඇයව තාත්තා  හුරතලයට කතා කලේ "බබ්‍බා" යනුවෙනි . එසේ  කතාකලත්  ඇය නින්දේ පසුවූ බව පවසයි .


                                        කාන්තාව සිටගෙන සිටින්නේ ආලින්දයේ දොර ළඟය 
                                         මගේ පියා සිටින්නේ තරප්පු පෙළ පාමුලය 



මේ සිදුවීම වනවිට පාන්දර 3.00 පමණ වී තිබූ අතර  කරදරයක් වූ නැතිහෙයින් සියලු දෙනා පසුව නිදා ගැනුණි. පසුදා උදයේ අපේ කාමරයට සියලු දෙනා නැගණිය බැලීමට පැමිණි අතර , ඇයට  කිසිවක් මතක නොතිබුණි . වෙරි මතින් නිදාගත් මගේ පියාගේ වෙරි හිදුන බව සියලු දෙනා හිනා ගස්වමින් ඔහු ප්‍රකාශ කළේය . එවකට මගේ නැගණියට අවු 10 ක් පමණ වූ අතර ජීවිත කාලයටම සිහිනෙන් ඇවිද ගිය පළමු හා අවසාන අවස්ථාව මෙය විය .


එම සිදුවීම සිදුවී  මාස කීපයක් ගිය පසු එම උත්සවයට නොපැමිණි  මගේ පියාගේ      යාලුවෙක් පවසා ඇත්තේ එම කාමරයෙදීම වෙනත් දවසකදී  ඔහුද එවැනි අත්දැකීමකට මුහුණ දුන් බවයි. 


විචාරක දියණිය  පස්වරු 16.00 පැයට

23 September 2017

අලිමංකඩ පසුබැසීම හා කැලෑ උණ


එය 1998 වසර විය. මා එවකට 10 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි. එවකට මගේ පියා වවුනියාවේ සේවය කළ අතර, ඔහු අණදෙන නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන ලදී . ඔහුගේ නිලයට  එවකට ඔහුට  නවීනතම කැබ් රථයක් ලබාදී තිබුණි.  එකල  ඉදිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබුණි. දහවල් කාලයේ කඳවුරුවල රැඳී සිටියද රාත්‍රියට සියලු දෙනා කැලෑවේ බංකර තුළ දිවි  ගෙවුහ. එදිනද  එවන් එක්  රැයක් විය. පසුදා අළුයම ඔහුට අනුරාධපුරයේ  රැස්වීමකට යාමට සිදුව තිබුණි. එම නිසා ඔහු කැබ් රථය වෙනදා තබන ස්ථානයේ නොව  කැලය තුළට ගෙන්වා ගත්තේය. ඒ පසුදා අළුයමින්ම යායුතු වූ බැවිනි. 

සියල්ල කණපිට පෙරළීමට ගත වූයේ නිමේෂයකි. දිලිසෙන වෙඩි වරුසාවක්තඋතුරු අහසේ ලෙළ දෙන්නට විය . එකෙනෙහිම කාලතුවක්කු මෝටාර් ප්‍රහාර දසත ගිගුම් දෙන්නට විය. ත්‍රස්තවාදීහු අඳුරු රැයේ අලිමංකඩ  හමුදා කඳවුරේ  වතුර ළිං අත්පත් කරගනිමින් සිටියහ. ඒ විජලනය ඇතිකරමින් අප හමුදා අඩපණ කොට අලිමංකඩ යලිත් ඔවුන් සතුකරගන්නටය. ඒ රැය ඔවුන්ට ජයග්‍රහණයද  අප හමුදා විරුවන්ට මරණයද උරුමකර දුන්හ . බොහෝ සෙබළු විජලනය හේතුවෙන් මිය ගියහ. පසුදා උදෑසන වනවිට තත්වය තවත් දරුණු කරමින් අහසින් හෝ මුහුදෙන් ලඟා විය නොහැකි පරිදි කඳවුර වටකොට තිබුණි.  මුළු ඉදිරි ආරක්ෂක වළල්ලම පසුදා උදෑසන වනවිට  පසු බැස තිබුණි . තවත් වරුවක් ගතවන විට ඔහුගේ බල සේනාධිපති ඔහුව අමතන ලදී .මේ වනවිට සියලු දෙනා පසුබසින බව මගේ පියාගේ සවනත වැකුණද මෙතරම් පසු බැස්මක්  ඔහු අපේක්ෂා නොකළේය . 

බලසේනාධිපතිතුමා -  ගුනේ තවටික වෙලාවක් යනකොට ඔයා බැටෑලියන් එක අරන්  ක්ලියර් කරගෙන පස්සට යන්න . ඔයාට හමුවෙන බැටෑලියන් ඔක්කොම  එකතු කරගන්න.

මගේ පියා - සර් පස්සට යන්න. 

බලසේනාධිපතිතුමා -  ඔව් මම නැවත සනාත කරනවා.  පස්සට යන්න.

තවත් සුළු මොහොතකින් අතට ගත හැකි සියල්ල  එකතුකර ගනිමින්  ඔවුන් වනය මැදින් ගමන් ආරම්භ කරන ලදී . එහි තිබූ ප්‍රධාන ගැටලුව නම් කවර පෙදෙසකට යායුතු දැයි නිශ්චය කරගත නොහැකි වීමයි එමෙන්ම දින කීයක් කවර පැයක්  ගතවේවිදැයි කිව නොහැකි තත්වයක් උදාවී තිබුණි. 

සියලු දෙනා ඉතා දුක්මුසු වුවත් විපරමින් සතුරා පිලිබඳ විමසිල්ලෙන් ගමන් ආරාම්භ කරන ලදී .  මාර්ගයේ පයින් යාහැකිවූ නමුදු වාහනයක් ගෙනයා හැකි තත්වයක් නොතිබුණි. පුළුවන් තරමක් දුර කැබ් රථය වනය මැදින්  ගෙන ආ අතර ඉන් එහාට යා යුත්තේ අඩි පාරක් ඔස්සේය.  අකමැත්තෙන් හෝ කැබ් රථයට සමුදිය යුතුව තිබුණි. එහෙත් සතුරා අතට පත් වීමටද ඉඩ හැරිය නොහැකිය. 

අවසානයේදී  කැබ් රථය නතර කර එහි පෙට්‍රල් ටැංකියට වෙඩිතබා එය පුපුරවා විනාශ කරන ලදී. තමාගේ  බෙල්ල මිරිකනවා වැනි හැඟුමකින් එය අවසන් කර ඔවුහු  වනයේ ඉදිරියට ගමන් කරන ලදී. මගදී ඔවුන්ට තවත් එලෙස පසු බසින තවත් මගේ පියාගේ යහළුවෙකුගේ බෑටෑලියන් එකක් මුණ ගැසිණි. මේ වනවිට ඔවුන් දින දෙකකින් පමණ අහාර ගෙන  නොතිබුණි. මගේ පියාගේ යහළුවා කීවේ ද ඔවුන්ද දින කිහිපයකින් අහාර නොගත් බවයි. මහා වන මැද ඔවුන් හැකි පමණින් බත් උයාගෙන අහාර ගෙන තිබුණි. මේ වනවිට අප නිවසට  යම් පණිවිඩ ඔහු ද මගේ පියාගේ මළනුවන් ද  අපට දන්වා තිබුණි. එකම සැනසිල්ල  වූයේ ඔහු පසු බැස හෝ ජීවත්වීමය. 

තවත් සතියක් පමණ ගතවනවිට සියල්ල තරමක්  සමථයට පත්වූ අතර , ඔහු නිවාඩු ලබා ගෙදර පැමිණියේය . එහෙත් ඔහු  ඉතා  දුකට හා මහන්සියට පත්වසිටි නිසා අපි කිසිවක් නොඇසුවෙමු.   ඔහුගේ කැබ් රථයේ රියදුරා වූ සාජන් ගුණපාල පොඩි දරුවෙකු සේ අඩා වැටුණි. තවත් දවසක් ගතවන විට මගේ පියාට අධික උණ තත්වයක් ඇතිවූ අතර   ගැහෙන තත්වයටද උණ විකාරයෙන් දොඩන තත්වයටද පත්විය.  අධික බියට පත් අප සිතුවේ  කැලෑවේ  සති ගාණක් සිටි නිසා කැලෑ උණ හෙවත් මැලේරියාව සැදී ඇති බවයි . කෙසේ වෙතත් යුධ හමුදා රෝහලට ඇතුළත් කළ පසු  දැනගන්නට ලැබුණේ ඔහුගේ පිත්තාශයේ  ගල් සෑදීම නිසා  පිත්තාශය ඉවත් කළයුතු බවයි. දීර්ඝ කාලයක්  කිවුල් වතුර බීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මේ තත්වය ඇතිවී තිබුණි . 

පහතින් ඔබට එම කැබ් රථයේ ඡායාරූපයක් දැකිය හැකියි. එහි මැද සිටින්නේ මගේ පියා වන අතර , දකුණු පසින් සාජන් ගුණපාලත්  වම් පසින් උප අණදෙන නිලධාරී මේජර් ප්‍රසන්න ලියනගේත් සිටිති .




විචාරක දියණිය  00.20 පැයට 





30 November 2016

තුවක්කුවෙන් වෙඩි තියන්න පතරොම් ඕනේ...................... ඒ පතරොම් දාන්න හොඳ බටයක් ඕනේ.................

  ඒ විතරක් නෙවෙයි අනේ, වෙඩි තියන්න දක්‍ෂ මිනිහෙකුත් ඕනේ. ඈ? මක්කිව්වා? මාතෘකාව සින්දුවක් ගැනද කියලා නේද ඇහුවේ? නෑ නෑ සින්දුවක් ගැන නෙවෙයි. නමුත් ඉතින් සින්දුවක් ඇසුරෙන් තමා මාතෘකාව දැම්මේ. අද කාලේ සින්දු, බයිලා, නැතුව මොකුත් කරන්න බැහැ නේ. බලන්න ඔය රූපවාහිනියේ, ගුවන්විදුලියේ යන දැන්වීම් කන්දරාවේ, කොච්චර සින්දු කෑලි තියනවද. ඒ නිසා, බ්ලොග් ලිපියක මාතෘකාවටත් සින්දු කෑල්ලක් දැම්මම මොකද නේද? 

  මේ මාතෘකාව දැම්මේ, මෙන්න මේ ගීතය ඇසුරෙන්. අහලා බලන්නකෝ. 


   කෙළ මලියක් වුනා. මේ ලිපිය ලිය ලියා ඉන්දැද්දී, බ්ලොග් රයිෆලයේ ට්‍රිගර් එක වැරදීමකින් මිරිකිලා, මිස්ෆයර් එකක් වැදුනා. දැන් ඔක්කොමලා අහන්න පටන්ගනියි, මේ මොකද මාතෘකාවක් විතරක් පල කරලා තියෙන්නේ කියලා. මක්කා කොරන්නද, කාටත් ඔහොම දේවල් වෙනවා. 

   හොඳයි, ආපහු යමුකෝ කතාවට. අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ, ගිනි අවියක් නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියන එකයි. මීට පෙර කීප වතාවක්ම, මා මගේ ලිපිවල සඳහන් කර ඇති එක්තරා කරුණක්, මෙතනදී යළි සිහිපත් කරන්න කැමතියි. 

   ඔබ අතරින් සෑහෙන පිරිසක්, පරිගණක ක්‍රීඩා වල නියැලෙනවා. සමහරු කියනවා, 'මම අහවල් තුවක්කුවෙන් සුපිරියට වෙඩි තියනවා' කියලා. නමුත් මතක තබාගන්න. ඔබ ඒ දක්‍ෂතාව දක්වන්නේ පරිගණක ක්‍රීඩාවකදී විනා, ඇත්තම තුවක්කුවෙන් නොවෙයි. ඔබ අතිදක්‍ෂ ලෙස පරිගණක ක්‍රීඩාවෙදී පාවිච්චි කරන තුවක්කුව, ඔබ අතට දී, වෙඩි තියන්නැයි කිව්වොත්, ඔබ, මරණීය අනතුරු පවා කරගන්නට ඉඩ තිබෙනවා. බලපත්‍ර අවශ්‍ය නැති වායු රයිෆලයක් සොයාගෙන ඉලක්කපතකට වෙඩි තබා බලන්න,  (ඒවා වෙඩි නෙවෙයි, තනි මූනිස්සමකින් (pellet) එල්ල කරන ප්‍රහාරයක්) ඔබේ ඉලක්කය වරදින හැටි. පරිගණක ක්‍රීඩාවට වඩා, ප්‍රායෝගික තත්වය බොහොම වෙනස්.

   හොඳයි, තුවක්කුවකින් සාර්ථක වෙඩි තැබීමක් කරන්න නම්, මොනවද සම්පූර්ණ වියයුතු කරුණු? අන්න ඒක තමයි මාතෘකාව අර විදිහට දැම්මේ. අර සින්දුව අහන්න කිව්වේ. අපි බලමු මොනවද ප්‍රධාන මූලධර්ම කියලා.

1. තමන් පාවිච්චි කරන තුවක්කුව ගැන, හොඳ පුහුණුවක් සහ ප්‍රායෝගික අත්දැකීමක්, අවබෝධයක්, ඇති පුද්ගලයකු සිටිය යුතුයි. 

2. මනා ක්‍රියාකාරීත්වයෙන් යුත් තුවක්කුවක් තිබිය යුතුයි.

3. ඒ තුවක්කුවට හරියටම ගැලපෙන, තුවක්කුවේ යාන්ත්‍රනය ආධාරයෙන් උපරිම ප්‍රතිඵල ලබාදෙන, පතරොම් තිබිය යුතුයි.

   ඔන්න ප්‍රධාන මූලධර්ම තුන. දැන් බලමු ඒ ගැන ටිකක් සවිස්තරව.

1. වෙඩිතබන්නා 


   ගිනි අවියක් පාවිච්චි කරන පුද්ගලයකු තුළ තිබිය යුතු ප්‍රධානතම ගුණාංගය තමයි, විනය. ගිනි අවි පරිහරණය පිළිබඳ විනය. අවියෙන් ප්‍රයෝජන ගතයුත්තේ ඇත්තවශයෙන්ම අවශ්‍යතාවක් ඇත්නම් පමණයි. නිකම් සරාගොයියා වගේ තුවක්කු වනන්නේ, ගිනි අවි විනය නැති උදවියයි. සමහර ආරක්‍ෂක අංශ සාමාජිකයන් පවා, සරාගොයියා වගේ තුවක්කු ගෙනයාම ශෝචනීයයි, භයානකයි, වහාම පාලනය කලයුතුයි. අනුන්ට වගේම තමන්ටත් අනතුරු වෙන්න පුළුවන්. මේ බලන්න, බලලා මට බනින්න, සංවේදී පින්තූර දැම්මා කියලා.  



   හදිසියකදී තුවක්කුව ක්‍ෂණයකින් අතට ගන්න පුළුවන් ඉරියව්වකින් ගෙනයායුතුයි. පය පැකිලී බිම වැටීමෙන්, බලාපොරොත්තු රහිතව තුවක්කුව පත්තුවීම, තමන්ට හෝ වෙනත් කෙනෙකුට වෙඩි වැදීම, තුවක්කුවට හානිවීම, සිදුවිය හැකියි. මේ බලන්න, සරාගොයියා වගේ යනහැටි. මේ ඉරියව් වැරදියි. 


   මෙහෙමයි තුවක්කුවක් ගෙනයන නිවැරදි ඉරියව්. මීට අමතරව පිටේ එල්ලගෙන යන්නත් පුළුවන්. 



2. තුවක්කුව 

  මුලින් සඳහන් කලානේ, දෙවැනි මූලධර්මය තමයි හොඳ තුවක්කුවක් වීම කියන එක කියලා. හැබෑටම මොකක්දහොන්ද තුවක්කුවක් කියන්නේ. භයානක හෝ අලංකාර පෙනුමක් තිබීම? පෙනුම කන්ඩයැ. වැඩ නේ ඕනේ. ඒ නිසා තුවක්කුවේ මනා ක්‍රියාකාරිත්වයයි වැදගත්. මනා ක්‍රියාකාරීත්වයෙන් තුවක්කුව පවත්වාගෙන යනවිට එහි පෙනුමත් හොඳයි.  


   තුවක්කුවක මනා ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යන්නට නම් තුවක්කුවේ ප්‍රධාන කොටස් තුනක් අනිවාර්යයෙන්ම හොඳින් ක්‍රියාකළ යුතුයි. 

ඒ තමයි;

1. පතරොම් ඇතුළු කිරීම, පත්තු කිරීම හිස් පතරොම් කොපු පිට කිරීම යන කොටස් වලට අදාළ යාන්ත්‍රණය. පතරොම් ගැබෙහි (Magazine) ඇති පතරොම්, කිසිදු හිරවීමකින් තොරව තුවක්කුවේ බැරලයේ මුල කොටසේ පිහිටි චේම්බරය වෙත යොමු කිරීම, එම පතරොම, තුවක්කු බටයේ මධ්‍ය ලක්ෂ්‍යය වෙත නිවැරදිව යොමුකර, පතරොම පත්තුවනතුරු නොසෙල්වී තබාගැනීම, මේ යාන්ත්‍රණයට අයත්. අපි බලමු පැරණි .303 රයිෆලයක ප්‍රධාන යාන්ත්‍රණය.



2. ඇදකුද නැති, අවහිරතා නැති, හොඳ පන්නරයක් සහිත, උසස් තත්වයේ ලෝහයෙන් නිමවූ, තුවක්කු බටයක් තිබීම. තුවක්කු බටයට ඇස තබා ආලෝකයට අල්ලා බැලූවිට එහි ඇතුලත පිරිසිදුව තිබිය යුතුයි. මලකඩ හෝ වෙනත් අපද්‍රව්‍ය ඇත්නම් එය පාවිච්චියට සුදුසු නැහැ.



   අද වනවිට තුවක්කු බටය නිකම් තියන්නේ නැහැ. නවීන දෘෂ්ටි උපකරණ මගින්, වෙඩි තැබීමේ හැකියාව වැඩිදියුණු කර තිබෙනවා. මේ ඒ ගැන උදාහරණ කීපයක්. 


  මෙවැනි දෘෂ්ටි උපකරණ වලින් ඉලක්කය දෙස බැලූවිට, ඒ ඒ දෘෂ්ටි උපකරණය අනුව, ඉලක්කය හසුකරගැනීමට ආධාර වන නිර්දේශක, මෙන්න මේ වගෙයි.



3. තුවක්කුව නොගැස්සෙන සේ, වෙඩි තබන්නාට අපහසුවක් ඇති නොවන සේ, අල්ලාගත හැකි, උරහිසට හේත්තු කරගත හැකි, මිටක් තිබීම. ඒ ඒ තුවක්කුවෙන් ගන්නා ප්‍රයෝජනය අනුව තුවක්කු මිට සැකසෙනවා.






තුවක්කු මිටේ, උරහිසට හෙත්තුවන ස්ථානය, කාලීනව වෙනස්වී ඇති ආකාරය,


අවශ්‍යතාව අනුව, සීරුමාරු කළහැකි මිටක් සහිත, නවීන තුවක්කු.






තුවක්කුවෙන් වෙඩිතියන්න පතරොම් ඕනේ.......

   හරි හරි මේ දෙඤ්ඤා. ඒ ඒ අවශ්‍යතාව අනුව, ඒ ඒ තුවක්කුවේ ස්වභාවය අනුව, විවිධ හැඩයේ, විවිධ වර්ගයේ, පතරොම් නිෂ්පාදනය වෙනවා. 


පතරොම ඇතුලේ මොනවද තියෙන්නේ? 

  ඔය ඉස්සරහින් තියන උල වගේ කෑල්ල තමයි වෙඩි තියපුවාම ගිහින් ඉලක්කයේ වදින්නේ. ඒක ඇතුලේ ඊයම් පුරවලා තියෙන්නේ. ඒ ඊයම් උනුවෙලා ද්‍රව ස්වභාවයට පත්වෙනවා වෙඩි තිබ්බම. ඉතින් ඉලක්කය පුච්චාගෙන යන්න පුළුවන් ඒ ඊයම් වලින්. ඒකනේ වෙඩිල්ල වැදුන පැත්තට වඩා වෙඩිල්ල පිටවුණ පැත්තේ සිදුර විශාල වෙන්නේ. 

   අර කොපුව ඇතුලේ වෙඩි බෙහෙත් පුරවලා තියෙන්නේ. ඒවා ක්‍ෂණිකව ගිනි ඇවිලෙනසුළුයි. විවිධ වර්ගයේ වෙඩිබෙහෙත් තියනවා.  ස්ඵටික ස්වභාවයෙන් තියෙන්නේ. මේ බලන්න.



පතරොම පත්තුවෙන්නේ කොහොමද? 

  පතරොමේ පිටිපස්සේ තියනවා කැප් එක කියලා කොටසක්. තුවක්කුව ඇතුලෙදි, එතනට වේගයෙන් වදිනවා ඇණයක්. ඒ වේගෙට, කැප් එක ඇතුලේ තියන වෙඩි බෙහෙත් පත්තුවෙනවා. ඒ ගින්දරෙන්, කොපුව ඇතුලේ තියන වෙඩිබෙහෙත් එකවරම ඇවිලිලා, මහා පීඩනයක් දෙනවා. ඒ පීඩනයට, පතරොමේ අර උල කෑල්ල ගැලවෙලා, තුවක්කු බටෙන් එලියට විදිනවා. 


හරියට වෙඩිල්ලක් තියන්නේ කොහොමද?

 නිවැරදිව ඉලක්කයක් ගන්න නම්, ඉලක්කය, තුවක්කුවේ බටය, වෙඩි තබන්නාගේ ඇස, සමපාතව පිහිටන්න ඕනේ. ඒ වගේම, වෙඩිල්ල තියන්න කලින්, හුස්ම පාලනය කරන්න ඕනේ. එක්කෝ, හුස්ම ඉහලට ඇද නවත්වා, පාලනයේ තියාගන්න ඕනේ. නැත්නම්, හුස්ම පහත හෙලා, පාලනයේ තියාගන්න ඕනේ. හැබැයි යුද්දෙදි හැමවිටම මෙහෙම කරන්න අමාරුයි. මෙහෙම කරන්නේ, වෙඩි තැබීම් පුහුණුවේදී සහ වෙඩි තැබීමේ තරග වලදී. 


අදට ඇති නේද? ආයෙත් තුවක්කු ගැන කතා කරමුකෝ ඉදිරියේදී.

2016 දෙසැම්බර් මස 01 වැනි දින 0017 පැය.

10 October 2016

ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ............. ඔන්න මම කියලා දෙනවා...................... (තුන්වැනි කොටස)

   ඉතින් කොහොමද? මේ ලිපි මාලාව, ඔබේ සිත තදින්ම පැහැරගත් බව, බොහොමයක් ප්‍රතිචාර වලින් පෙනෙනවා. ලිපියේ මීට පෙර කොටස්, තවමත් කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. මා සිතා සිටියාට වඩා බොහොමයක් කරුණු ගැන, ඔබ දක්වන උනන්දුව ගැනත්, ඔබට ස්තුතිවන්ත වෙනවා. සමහර පාඨකයන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට සිදුව තිබෙන නිසා, කලින් සිතා නොසිටි සමහර කරුණු ද, මේ කොටසට ඇතුලත් කරන්න සිදුවුණා. 

   මේ කොටස ආරම්භයේදීම, ඔබට AK 47 තුවක්කුවේ කොටස් සහ, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සරල අවබෝධයක් ලබා දියයුතුයැයි මා සිතුවා. ඒ නිසා, අපි මුලින්ම, මේ අවියේ කොටස් හඳුනාගනිමු.



   හොඳයි, බොහොම සංකීර්ණයි වගේද පෙනෙන්නේ? ඇතුලේ කොටස් මොකුත් නැතුව, බාහිර පෙනුම විතරයි මෙතන පෙන්නන්නේ. ඔක්කොම කියන්න ගියොත් මෙන්න මේ වගේ සංකීර්ණයි.




  මේ ඔක්කොම ඕනේ නැහැනේ? මොකද විභාගයකට ඉගෙනගන්නවා නෙවෙයිනේ.  ඒ වගේම හොඳින් බලන්න, ඉහත පින්තූරය සහ මේ පින්තූරය අතර, කොටස්වල නම් ලිවීමේදී, වෙනසක් තියනවා. මා ලියා තිබෙන්නේ, අපේ රටේ පුහුණුවේදී කියන නම්. 

   ඉහත පින්තූරයේ තියන කොටස් වලින් මොනවද වෙන්නේ කියා, කෙටියෙන් සරලව කියන්නම්.

  • බට් ප්ලේට් = තුවක්කුවේ මිටේ පසුපසින්ම සවිකර තිබෙන මේ ලෝහ තහඩුවෙන් තුවක්කු මිටේ ලීය ආරක්‍ෂා වෙනවා. මේකේ පොඩි දොරක් තියනවා. තුවක්කුව පිරිසිදු කිරීමේ උපකරණ තියෙන්නේ ඒ දොර ඇරියම, තුවක්කු මිට ඇතුළේ.


  • බට් = තුවක්කු මිට. ලීයෙන් හදලා තියෙන්නේ. විවිධ මෝස්‌තර අනුව මෙහි හැඩය සහ සාදා ඇති ද්‍රව්‍යය වෙනස් වෙනවා.


  • රිලීසිං කැච් = ඒ කියන්නේ තුවක්කු බඳෙන් එලියට ඇවිත් තියන අර පුංචි හතරැස් බොත්තම. මේක ඔබලා, ඊට ඉහලින් තියන රිසීවින් කවර් එක හෙවත්, තුවක්කුවේ යාන්ත්‍රික කොටස් වැසී තිබෙන ආවරණයත්, තුවක්කුවේ රිටන් ස්ප්‍රින් යනුවෙන් හඳුන්වන දුන්න සහ, පිස්ටන් බ්ලොක් එකත් ගලවන්න පුළුවන්. (ඇයි ගලවන හැටි පහුගිය කොටසේදී වීඩියෝ එකකින් කියලා දුන්නනේ) 






  • සිලෙක්ටර් = ඒ කියන්නේ, වෙඩි තැබීම සහ අගුලු දැමීම කරන පාලකය. මෙය ඉහලටම එසවූ විට, තුවක්කුව අගුළු වැටෙනවා. පහතට එක වරක් දැමුවිට, ස්වයංක්‍රීය තත්වයට පත්වෙනවා. ඒ කියන්නේ, නොකඩවා සියලුම පතරොම් වෙඩි තැබිය හැකියි. තවත් වරක් පහතට දැමුවාම, අර්ධ ස්වයංක්‍රීය තත්වයට එනවා. එවිට, තුවක්කුවේ කොකා මිරිකන සෑම වාරයකටම, එක් පතරොම බැගින් පත්තු වෙනවා. 








  • රියර් සයිට් = මෙයින් තමයි වෙඩි තැබීමේ දුර සකසාගැනීම සහ ඉලක්කය ගැනීම සිදුකරන්නේ. 






  • අපර් හෑන්ඩ් ගාඩ් = තුවක්කුව හොඳින් ග්‍රහණය කරගැනීමට මේ කොටස උදව් වෙනවා.

  • ගෑස් වෙන්ට්ස් = මෙයින් කරන්නේ පතරොමකින් නිකුත් කෙරෙන අධික වායු පීඩනයෙන්, කොටසක් මුදා හැරීමයි. තුවක්කුව තුළ අනවශ්‍ය වායු පීඩනයක් ඇතිවීම වලකිනවා.

  • ගෑස් ටියුබ් = මෙතන විශ්මයජනක ක්‍රියාවක් සිද්ධ වෙනවා. පතරොමක් පත්තුවී ඇතිකරන මහා වායු පීඩනයෙන් කොටසක්, තුවක්කු බටය දිගේ උණ්ඩය ඉදිරියට තල්ලු කරගෙන යන අතර, මෙතනදී එම අධික වායු පීඩනයෙන් කොටසක්, ගෑස් ටියුබ් එක දිගේ ඉහලට ගොස්, ගෑස් චේම්බරයට යනවා. එය කොපමණ අධික පීඩනයක්දැයි කිවහොත්, තුවක්කුවේ පිස්ටනය, සම්පූර්ණයෙන් පසුපසට තල්ලුකර යවනවා. ඒ ක්‍රියාවලියෙන් තමයි, ඊළඟ පතරොම පත්තුවීමේ ක්‍රියාවලිය, ස්වයංක්‍රීයව සැකසෙන්නේ.

  • ෆෝ සයිට් පිලර් = රියර් සයිට් එකෙන් විතරක් ඉලක්කය ගන්න බැහැනේ. වෙඩි තබන්නාගේ ඇස, රියර් සයිට් එකේ අර කට්ටය, (බැට්ල් හෝල්) එක, ෆෝ සයිට් පිලර් එක තුළ තිබෙන ෆෝ සයිට් ටිප් එක, ඉලක්කය, කියන ඔක්කොම, එකම සරල රේඛාවක සමපාතව පිහිටන්න ඕනේ, නිවැරදිව ඉලක්කය ගන්න නම්. 




  • මස්ල් = තුවක්කු කට 
  • ක්ලීනින් රොඩ් = තුවක්කු බටය පිරිසිදු කරන කූර


  • බේනට් = බයිනෙත්තුව (මෝස්‌තර කීපයක් තියනවා. අපේ රටේ පාවිච්චි කරන්නේ මේ මෝස්තරය. මෙය තුවක්කු බටය යට පිහිටන සේ නවන්න පුළුවන් අවශ්‍යවිට.) 


  • බැරල් = තුවක්කු බටය 
  • ෆෝහෑන්ඩ් ගාඩ් = මෙතනින් තමයි වෙඩි තියනවිට ඉදිරියට යොමුවන අතින් තුවක්කුව අල්ලාගන්නේ. 
  • මැගසින් = පතරොම් ගැබ. මෙහි පතරොම් 30 ක් පිරවිය හැකියි. පොඩ්ඩක් බලන්නකෝ පුරවන හැටි. හැබැයි මෙයා පුරවන්නේ, ලෙඩ කපුටා වැල ගිලින වේගෙන්. යුද්දෙදි අපේ කොල්ලෝ පුරවන්නේ, ඇහිපිල්ලම් ගහන වේගෙන්. 




   පතරොම් දැම්මා වගේ නෙවෙයි ඒවා අයින් කරන හැටිත් දැනගන්න එපායැ. ඔන්න බලාගන්න, කොහොමද පතරොම් ඉවත්කර තුවක්කුව ආරක්ෂක තත්වයට ගන්නේ කියලා. මේ වීඩියෝව පසුව එකතු කළේ , 
ගේ කමෙන්ට් එක කියෙව්වට පස්සෙයි.




  • මැගසින් කැච් = මැගසින් මාරුකරන්න මේක ඉදිරි පැත්තට මිරිකලා මැගසින් එක ගලවන්න පුළුවන්.


  • ට්‍රිගර් ගාඩ් = තුවක්කුවේ කොකාගේ ආරක්ෂාවට තියන යකඩ පටිය.

  • ට්‍රිගර් = තුවක්කුවේ කොකා 

  • පිස්ල් ග්‍රිප් = මේක හරියට පිස්තෝලෙක මිට වගේ නේද? ඒකයි මේ නම කියන්නේ. තුවක්කුව අල්ලාගන්නා අත් දෙකෙන්, පසුපස තියන අතින් තමයි, මෙතන අල්ලාගන්නේ.

  • ස්වයිවල් රිං = තුවක්කුව එල්ලාගෙන යන පටියේ එක කොනක් මෙතනට හයිවෙනවා. එතන දිගටි හැඩයේ මුද්දක් තියෙන්නේ. 

   දැන් හරි නේද කෑලිටික? දැන් පොඩ්ඩක් බලමුද ඔය කෑලිටික එකතුවෙලා, මේ තුවක්කුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ වීඩියෝව නොවරදවාම බලන්න.




   මේ තුවක්කුවේ ගතිලක්‍ෂණ, Characteristics දැනගැනීම තමයි, ඊළඟට වැදගත් වෙන්නේ. මෙන්න ඒ විස්තරය. වැදගත්ම කරුණු පමණයි.


  • වර්ගීකරණය = ප්‍රහාරක රයිෆලය 
  • මෝස්තරය = AK 47 
  • ස්ථිර ලී මිට සහිත මෝස්තරයේ තුවක්කුවේ දිග = මි.මී. 880 (අඟල් 35)
  • මැගසින් එක රහිතව බර = කි.ග්‍රෑම් 3.7 
  • පතරොම් පිරවූ මැගසින් එකක් සහිතව බර කි.ග්‍රෑම් 4.75 
  • තුවක්කු බටයේ දිග = මි.මී. 415 (අඟල් 16.3)
  • යොදවන පතරොම් කැලිබරය = 7.62 x 39 මි.මී. 
  • යොදවන පතරොම් වර්ග = 
  • (1) 7.62 x 39 සාමාන්‍ය, 
  • (2) 7.62 x 39 Armour Piercing = සන්නාහ විනිවිද යන, 
  • (3) 7.62 x 39 Incendiary = ගිනි අවුළුවන, 
  • (4) 7.62 x 39 Tracer = රාත්‍රී කාලයේදී ඉලක්ක පෙන්වන.
  • (5) 7.62 x 39 Blank = පුහු පතරොම් 
  • තුවක්කුව ක්‍රියාකරන න්‍යාය = වායු පීඩනයෙන් ක්‍රියාත්මක. කරකැවෙන බෝල්ට් ක්‍රමය Gas operated, rotating bolt 
  • වෙඩි තැබීමේ වේගය = විනාඩියකට උණ්ඩ 600 යි. 
  • තුවක්කු කටෙන් උණ්ඩ පිටවන වේගය = තත්පරයකට මීටර් 715 (අඩි 2350)
  • ප්‍රතිඵලදායක වෙඩි දුර = මීටර් 350 

   මේ තුවක්කුව,  වෙනත් සංග්‍රාමික ක්‍රියාකාරකම් සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි, මේ තුවක්කුව බෝම්බ විදිනයක් ලෙස පාවිච්චි කිරීම. මේ සඳහා යම්කිසි වෙනස්කමක් කරන්න වෙනවා. පහත වීඩියෝ වලින් ඔබට එය කරන ආකාරය බලන්න පුළුවන්.






   
   මේ අවියට සයිලන්සරයක් සකස් කරන්න, ලෝකයේ විවිධ රටවලදී උත්සාහ ගෙන තිබෙනවා. අපේ විශ්වකර්ම දොස්තර මහතාත්, මෙය සාර්ථකව කර තිබෙනවා. නමුත් එය දකින්න නොලැබීම, අපේ අවාසනාවක්. මේ බලන්න එලෙස ගෙදර හදපු සයිලන්සරයක ක්‍රියාකාරිත්වය. 



   හොඳයි, පසුගිය ලිපියේදී මම ඔබට කිව්වා, මේ තුවක්කුවට නෑදෑයන් ඉන්නවා කියා. ඒ අය අතරින් ළඟම නෑයන් දෙදෙනෙකු පමණයි, මා ඔබට හඳුන්වා දෙන්නේ. එහෙම නැත්නම් 25 කට වඩා ඉන්න නෑයන් ගැන කියන්න ගියොත්, තව ලිපි 25 ක් ලියන්න වෙයි.

T 56 ප්‍රහාරක රයිෆලය 

   චීනයේ නිෂ්පාදිත මේ රයිෆලය, 1956 වර්ෂයේදී තමයි, භාවිතයට ගෙන තිබෙන්නේ. ඒ නිසයි මෙය, Type 1956 හෙවත් T 56 යනුවෙන් හඳුන්වන්නේ. මුලදී නම් මෙය, සෝවියට් AK 47 අවියේ ගෙඩිපිටින් කොපියක් ලෙසයි නිපදවා තිබෙන්නේ. අද මෙය අතිසාර්ථකව නිෂ්පාදනය වන ලෝක වෙළඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් තියන අවියක්. අපේ ත්‍රිවිධ හමුදාවත් පාවිච්චි කරන්නේ මේ අවියයි. චීනයේ නොරින්කෝ සමාගමයි මේ අවිය නිපදවන්නේ. ගති ලක්ෂණ 99% ක් AK 47 ට සමානයි.




T 81 ප්‍රහාරක රයිෆලය 

   මේ අවියත් චීනයේ නිෂ්පාදනයක්. 1981 දී තමයි භාවිතයට ගෙන තිබෙන්නේ.  ඒ නිසයි T 81 යනුවෙන් හඳුන්වන්නේ. මූලික න්‍යාය AK 47 ම තමයි. සියලුම කොටස් ඒ හා සමානයි. තුවක්කු බටයේ සැකැස්මේ සුළු වෙනසක් තියනවා. එමෙන්ම මේ අවියේ සිලෙක්ටරය, ඉතා කුඩාවට අවියේ වම් පැත්තේ සවිකර තියනවා. මේ නිසා වැරදීමකින් තුවක්කුව පත්තුවීමේ අවදානම වැඩියි. එසේ සිදුවූ අවස්ථා මා දැක තිබෙනවා.  AK 47 ට සහ T 56 ට වඩා බරෙන් වැඩියි. ගැස්සීමත්, ශබ්දයත් වැඩියි. මේ අවියත් අපේ ත්‍රිවිධ හමුදාවල තියනවා. නමුත් දැන් භාවිතය බොහොම අඩුයි. 






   දැන් ඉතින්, මේ ලිපි මාලාවේ අවසානයටයි අපි පැමිණ තිබෙන්නේ.

   ලෝක සංග්‍රාමික භූමියේ විප්ලවයක් කල, විශ්මයජනක අවියක් ගැනයි අපි මේ ලිපි මාලාවෙන් කතාකලේ.

   ඇත්තෙන්ම මේ අවියේ නිර්මාතෘ ලුතිතන් ජෙනරල් මිඛායිල්  කලෂ්නිකොව් මේ අවිය නිපදවුවේ නැත්නම්,  සෝවියට් දේශය ලෝක සිතියමෙන් අතුගෑවී යන්නට ඉඩ තිබුණා.  ඔහු, මේ අවිය, තම ජාතියේ නිදහස වෙනුවෙන් නිපදවා පරිත්‍යාග කළා විනා, එයින් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවූ, සැබෑ දේශමාමක නිලධාරියකු බව, මෙහිදී අවධාරණය කලයුතුයි.

   ඔහුට ලබාදියහැකි උපරිම ගරු සම්මාන සෝවියට් දේශය විසින් ලබාදුන් අතර, ඔහුගේ කියමන් පවා, ආදර්ශ පාඨ ලෙස, ප්‍රචලිතව තිබෙනවා. එයින් එක් කියමනක් මෙහි දක්වමින්, මේ ලිපිමාලාව මෙතෙකින් අවසන් කරනවා.



2016 ඔක්තෝබර් මස 10 වැනි දින 0033 පැය 

03 October 2016

ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ............. ඔන්න මම කියලා දෙනවා...................... (දෙවැනි කොටස)

   කාලෙකට පස්සේ, යුද අවියක් ගැන ලියන්නට පටන්ගත්, මේ ලිපියේ පළමුවැනි කොටසට සාර්ථක ප්‍රතිචාර ලැබීම පිළිබඳව, සතුටුවෙනවා.  මේ අඩවියේ ආරම්භයේ සිටම, ඔබේ දැනුම වර්ධනය සඳහා මා ඉදිරිපත් කළ විවිධ සංග්‍රාමික තොරතුරු කෙරෙහි, ඔබේ විශේෂ අවධානය යොමුවීම ගැනත්, මා නිහතමානීව සතුටුවෙනවා.යුද අවි ගැන, සාමාන්‍ය සමාජය දැනගතයුත්තේ ඇයි කියන ප්‍රශ්නයට, පිළිතුරු කීපයක් දෙන්න පුළුවන්. 

  • හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව පලවන මාධ්‍ය වාර්තා කියවීමේදී/නැරඹීමේදී/ඇසීමේදී/ වඩාත් පුළුල් අවබෝධයකින් යුක්තව, කරුණු සලකා බලන්නට හැකි වෙනවා.

  •  යුද අවි පාවිච්චි කරමින්, සිවිල් සමාජය තුළ සිදුකෙරෙන අපරාධ පිළිබඳව, වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවීම.  මෙන්ම එවැනි සිදුවීම් වලට  අදාළ  ඇසින් දුටු සාක්‍ෂි වලදී, එවැනි දැනුමක් තිබීම, ඉතා වැදගත් වනවා.

  • යම් යම් ගවේෂණාත්මක කරුණු සම්පිණ්ඩනය කිරීම් සඳහා, මෙවැනි දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. 

  • විනෝදාංශයක් ලෙස, යුද හමුදා තොරතුරු අධ්‍යයනය කරන, එක්රැස් කරන අයට, වැදගත් වෙනවා. 
   පසුගිය කොටසෙන් අප සාකච්ඡා කරන්නට පටන්ගත්, AK 47 අවිය ගැන, ඔබ අතරින් සෑහෙන පිරිසකට යම් සතුටුදායක දැනුමක් තිබෙන බව මා දන්නවා. ඔබ පාසල් ශිෂ්‍ය භටයකු හෝ ආරක්ෂක හමුදා සාමාජිකයකු ලෙස සිටි/සිටින අයකු නම්, සතුටුදායක නොව, හොඳ දැනුමක් ඔබට ඇති.

   ඒ දැනුම නැති/අඩු අය වෙනුවෙනුයි මේ ලිපිය කියවෙන්නේ. 

   AK 47 කියන්නේ, සම්පූර්ණ ස්වයංක්‍රීය (Automatic) තුවක්කුවක්. 

මොකක්ද ස්වයංක්‍රීය තුවක්කුවක් කියන්නේ? 

   ස්වයංක්‍රීය තුවක්කුව නිර්වචනය කරන්නේ මෙහෙමයි:- තුවක්කුවේ ට්‍රිගරය (කොකා) මිරිකාගෙන සිටින තුරු, එම තුවක්කුවට සපයා ඇති පතරොම් සියල්ල, නොකඩවා, එකක් පසුපස එකක් වශයෙන් වෙඩි තැබීමට හැකි තුවක්කුව, ස්වයංක්‍රීය තුවක්කුවයි. මේ බලන්න.






    ස්වයංක්‍රීය තුවක්කු නිපදවන්න කලින් තිබුණේ අර්ධ ස්වයංක්‍රීය තුවක්කු. (Semi Automatic Gun) ඒ තුවක්කු වලින් වෙඩි තැබීමේදී, සෑම පතරොමක් වෙනුවෙන්ම, තුවක්කුවේ කොකා මිරිකන්න ඕනේ. 

   (අනේ මේ, කොකා ගස්සනවා කියලා, කියන්න ලියන්න එපා හොඳේ? කොකා ගස්සන්න ගියොත්, තුවක්කුව හෙලවෙලා, ඉලක්කය වරදිනවා. ඒ නිසා, හරියට ඉලක්කය අරං, කොකා මිරිකන්න) 

   ඒ වගේ අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවකට උදාහරණයක් තමා, 'ස්වයංක්‍රීයව පතරොම් ඇතුළුවන තුවක්කුව Self Loading Rifle = SLR' මේ බලන්න, හැම වෙඩිල්ලක් සඳහාම, කොකා මිරිකන්න ඕනේ. 0.40 සිට තත්පර 10 ක් බැලුවම ඇති. 

   (දැන් ඔන්න පොටෝ කෙළින උන්නැහේලා කියයි, SLR කියන්නේ, Single Lence Reflex කියන එකයි කියලා. හරි හරි, ඒකත් ඇත්ත, නමුත් මේකත් ඇත්ත)




 දැන් බලන්න පූර්ණ ස්වයංක්‍රීය (Full Automatic) කිව්වම, කරුණු කීයක් සම්පූර්ණ විය යුතුද කියා. 

  • පළමුව මේ තුවක්කුවට විශාල පතරොම් ගණනක් සපයා තිබිය යුතුයි.
  • දෙවනුව ඒ පතරොම් ස්වයංක්‍රීයව තුවක්කුවට ඇතුළු වියයුතුයි.
  • තුන්වනුව ඒ පතරොම් සියල්ල පත්තු කිරීම සඳහා, ස්වයංක්‍රීය යාන්ත්‍රික ක්‍රමවේදයක් තිබිය යුතුයි.  (automated mechanism)
   ඒ විතරක් නෙවෙයි, මෙවැනි යාන්ත්‍රණයක් සහිත තුවක්කු, නිකම්ම නිකම් තුවක්කු නෙවෙයි. ඒවා, 'ප්‍රහාරක රයිෆල් (Assault Rifle)'  කියන අවි ගණයට තමයි අයත්වන්නේ.

   මොනවද ප්‍රහාරක රයිෆල් කියන්නේ? 

   ඊට කලින් බලමුද රයිෆලයක් කියන්නේ මොකක්ද කියලා? 

   රයිෆලය යනු, එහි මිට හෙවත් බට් කොටස,  පුද්ගලයකුගේ උරහිසට හේත්තු කර වෙඩි තැබීම කළහැකි, සර්පිලාකාර කාණු සහිත බටයකින් යුත්, ගිනි අවියකි. 



   යම්කිසි ගිනි අවියක් 'ප්‍රහාරක රයිෆලය' කියන තත්වය ලබන්න නම්, සුදුසුකම් කීපයක් සම්පූර්ණ කලයුතු වෙනවා.  රයිෆලයක බටය barrel වෙනත් සාමාන්‍ය තුවක්කුවකට වඩා වෙනස්. (මෙව්වා කලිනුත් කියලාදීලා තියනවා, කොහෙද ඔලුවේ තියාගන්න එකක්යැ) ඒ බටය තුළ, සර්පිලාකාර හැඩයකට සැකසූ කාණු තිබෙනවා ඒවා හඳුන්වන්නේ, 'රයිෆ්ලිංග් Rifling' යනුවෙන්. මේ බලන්න. 





හරි, දැන් බලමු ප්‍රහාරක රයිෆලයක් කියන්නේ මොකකටද කියලා.

  • ප්‍රහාරක රයිෆලයක් නම්, එහි වෙඩි තැබීමේ ක්‍රමය, (mode) වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, අවශ්‍ය විට, අර්ධ ස්වයංක්‍රීය තත්වයටත්,  සමහරවිට, එකවර උණ්ඩ තුනක්, පහක්, වැනි ගණනක් මුදාහල හැකි, සීරුමාරු යාන්ත්‍රණයක්, තිබිය යුතුයි. (selective fire)







  • මධස්ථ ප්‍රමාණයේ බලයකින් යුත් පතරොම් යෙදීමට හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, පිස්තෝල පතරොම් මෙන් කුඩා ඒවා නොවිය යුතු අතර, විශාල බලයක් සහිත රයිෆල් පතරොමක්ද නොවිය යුතුයි.

















  

   ප්‍රහාරක රයිෆලයට යොදන පතරොම්, ගැලවීමට, යලි සවිකිරීමට හැකි, පෙට්ටි හැඩයේ පතරොම් ගැබකින් magazine සැපයිය යුතුයි.









   අවම ප්‍රතිඵලදායී වෙඩි දුර (minimum effective range) මීටර් 300 ක් වත් වියයුතුයි. ඒ කියන්නේ, මීටර් 300 ක් දුරින් පිහිටි ඉලක්කයක්, සාර්ථකව ලබාගැනීමේ හැකියාව, අනිවාර්යයෙන් තිබිය යුතුයි.



ඉතිං ඔච්චර ගොඩක් ප්‍රහාරක රයිෆල් වර්ග තියනවද? අපිනම් දන්නේ ඔය AK 47, T 56, M 16, වගේ ඒවා තමයි. 



  හෙහ් හෙහ්, ඔබ දන්නවද, තවම ලෝකයට නොපෙන්වපු, අවශ්‍ය වෙලාවට එලියට දාන්න බලාගෙන ඉන්න ප්‍රහාරක රයිෆල් වර්ග පවා, සමහර රටවල තියනවා. 


දැන් මොකද හිතෙන්නේ? 

මෙච්චර ගොඩක් ප්‍රහාරක රයිෆල් වර්ග තියනවනම්, ඇයි මේ AK 47 රයිෆලයට විශේෂ තැනක් ලැබෙන්නේ? 


 හේතු ගොඩක් තියනවා. මෙන්න ඒ අතරින් ඉතා වැදගත් හේතු කීපයක්.


  • ප්‍රහාරක ශක්තිය අතින් AK 47 බොහොම ඉහලයි. කාටත් තේරෙන වචන වලින් කියනවනම්, කුඩු යන්ඩ දෙන්ඩ පුළුවන්.

  • මෙය ප්‍රබල අවියක් වුනාට බොහොම සරලයි. ටක් ගාලා ගලවලා හයි කරන්ඩ පුළුවන්. එච්චර කෑලි බෑලි නෑ, වෙනත් බොහොමයක් ප්‍රහාරක රයිෆල් එක්ක තියලා බැලුවම.  ගලෝලා බලමුද? (රයිෆල් එක රයිෆල් එක, ආයේ වෙන මොන ලබ්බද?) ඔන්න ගැලෙව්වා. හැබැයි පුතෝ ගැලෙව්වා වගේ නෙවෙයි, තිබ්බ විදිහටම හයි කරන්ඩත් ඕනේ හරිද? 




කොහොමද? අමාරුද වැඩේ? මොන පිස්සුද, මේක හරිම පහසු වැඩක්. පොඩි කොල්ලෝ කෙල්ලොත් මේවා ඉගෙනගන්නවා, ශිෂ්‍යභට පුහුණුවේදී. 

තවත් කරුණු ටිකක් කියන්නම්. මේ අවිය ගැන.

  • මේ අවිය තරම් අනුකරණයට ලක්වූ තවත් ප්‍රහාරක රයිෆලයක්, ලෝකයේ කොහෙවත් නැහැ.  මේ අවිය අනුකරණය කොට නිපදවන ලද මෝස්‌තර විසිපහකට වඩා, අද ලෝකයේ විවිධ රටවල තිබෙනවා.







  • ශක්තිමත් බව සහ කල්පැවැත්ම අතින්, මේ අවිය ඉතා පුදුමාකාරයි. හිම, ජලය, මඩ, ආදියට යටවී, වසරක් පමණ ගෙවුණු AK 47 අවි, ගොඩගත් වහාම වෙඩි තැබීමට පුළුවන්වී තිබෙනවා.  යුද්ධ ටැංකියකට යටවීමෙන් පසුවත්, හානි නොවුණු AK 47 අවියක් ගැන වාර්තා තිබෙනවා.  මේ බලන්න වතුරට දාලා තිබුනත් වැඩකරනවා.





      • නියම (genuine) AK 47 අවියක්, හොඳින් නඩත්තු කරන්නේ නම්, වසර 50 - 60 අතර කාලයක් පාවිච්චි කළහැකි අතර, නොසැලකිල්ලෙන් පාවිච්චි කලත්, අවම වසර 15 - 20 ආයුකාලයක් තිබෙනවා. 


      • සංකීර්ණ කොටස් නැති නිසා, සාමාන්‍යයෙන්, අත්‍යවශ්‍ය පහසුකම් තිබෙන කම්හලක, AK 47 අවියේ බාල අනුකරණයක්, පහසුවෙන් නිපදවන්න පුළුවන්. හොර අවි වෙළෙන්දන්ගෙන්, ඩොලර් 10 - 50 අතර ගණනකට මිළදී ගන්න පුළුවන්. මේ නිසා, සමහර රටවල, හොර අවි කම්හල් වැහි වැහැලා තියනවා. විශේෂයෙන්  බටහිර, මධ්‍යම, නැගෙනහිර,  අප්‍රිකානු රටවල. එවැනි රටවල ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධාන, බොහෝදුරට පාවිච්චි කරන්නේ, මේ ආකාරයේ AK 47 හොර කොපි. 
      (ඇයි තමුසෙලා වින්ඩෝස් හොරකොපි පාවිච්චි කොරනවානම්, අපි AK 47 හොරකොපි පාවිච්චි කළාම මොකද වෙන්නේ?  - මීට ත්‍රස්තවාදියෙක්)


      • ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන ප්‍රහාරක රයිෆලය AK 47. අද වනවිට ලෝකය පුරා AK 47 තුවක්කුවේ විවිධ මෝස්‌තර, මිලියන 100 කටත් වඩා පාවිච්චි කරනවා. ඒ කියන්නේ, ලෝක ජනගහනයෙන් සෑම 60 දෙනෙකුටම, එක AK 47 තුවක්කුව බැගින් තියනවා. 


      • වර්තමානයේ, ලෝකයේ සටන් නිසා ඇතිවන, හමුදා සෙබළුන්, සන්නද්ධ විප්ලවකාරී සංවිධාන සාමාජිකයන්,  සහ සාමාන්‍ය වැසියන්ගේ මරණ, වැඩියෙන්ම සිදුවන්නේ, AK 47 තුවක්කු ප්‍රහාර වලින්. සාමාන්‍යයෙන් වසරකට එලෙස මියයන සංඛ්‍යාව, ආසන්න වශයෙන් 250,000 ක්.

      • අවම වශයෙන් ලෝකයේ රටවල් 106 ක් පමණ, තම හමුදා සඳහා ලබාදී තිබෙන්නේ, AK 47 හෝ එහි අනුකරණ මෝස්‌තර.

      • මෙපමණ විශ්මයජනක මේ රයිෆලයේ, තවත් පුදුමයක් වන්නේ, යාන්ත්‍රිකව චලනයවන කොටස් 8 ක් පමණක් තිබීම. (moving parts)

         මේ වීඩියෝ එකනම් බලන්නම වෙනවා, හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා. මෙහි පෙන්වනවා, මේ අවියේ තිබෙන සියලුම චලනය වන කොටස් ක්‍රියාකරන ආකාරය. බොහොම දුර්ලභ සහ ඉතා දක්‍ෂ ලෙස සකසා ඇති වීඩියෝවක්.



         අදට මේ ඇති නේද? ඊළඟ කොටසේදී, අවියේ කොටස් වල නම්, වෙඩි තියන හැටි, පතරොම් වර්ග, අවියේ වෙනත් ප්‍රයෝජන, මේ අවියේ ළඟම නෑදෑයෝ, සහ තවත් දේ ගැන කතාකරමු. 

      2016 ඔක්තෝබර් මස 03 වැනි දින 2227 පැය 
      .emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }