හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label විශේෂ. Show all posts
Showing posts with label විශේෂ. Show all posts

09 December 2016

වටු කිරිල්ලී හමුවීම සහ කැකිරිහේනේ රජ්ජුරුවෝ

ඔය ඇත්තන්ට මතකද මම ටික දොහකට උඩදී කතාවක් හෙවත් කටන්තරයක් ලිව්වා, වඩු කිරිල්ලියෙක් ගැන. අපේ ඉකොනොමැට්ටා තුමා, ඒ කතාව කියවලා මතයක් ප්‍රකාශ කළා, එය වඩු කිරිල්ලී වෙන්න බැහැ, වටු කිරිල්ලී වියයුතුයි කියලා. 

හරිනේ වැඩේ. බලනකොට වටු කිරිල්ලී නේන්නම්. ඊයේ පෙරේදා මගේ අසල්වැසියකුගේ නිවසේ ඉඳලා, මේ වටු කිරිල්ලිව මට අහම්බෙන් මුණගැහුණේ නැතෑ. ඕකනේ කියන්නේ, අර අහවල් එකට අහවල් එකක්, අහවල් දිහාවේදී හමුවෙනවා කියලා. මේ ඉන්නේ වටු කිරිල්ලී.



මේක ලස්සන ජනකතා එකතුවක්. ඒ.පී.ගුණරත්න මහතා ගැන තමුන්නාන්සේලාට අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැනේ. එතුමාගේ පරිවර්තන කෘති කියවා නැත්නම් වැඩක් නෑ හරිය? 

මේ පොතේ කථා 40 ක් තියනවා. මේ නිවාඩු කාලේ කියවන්න කියලා, පාසල් දරුවන්ට මේ පොත අරං දුන්නොත් නාකද? නිකං කාටුන් බල බලා, පෝන් ගේම් ගගහා ඉන්න වෙලාවේ, මොළයට යමක් දාගැනීම සඳහා. අනික විෂයය බාහිර කියවීම් අතින් අපේ දරුවන් බොහොම දුර්වලයි. 

ඔන්න මේ පොතේ තියන කතාවක් පහළින් දානවා. අනේ මේ, මට තේරෙන්නේ, මේක කතාවක් කියලා විතරයි. ඔය ඉකොනොමැට්ටා තුමා, රාජ් ගොයියා, අර නාහෙට නාහන මාතලන් ගොයියා, අපේ ඉයන් උන්නැහේ, මේ කතාව කියවලා මොන මොන අර්ථකථන දෙයිද මන්දා. මම මේ කතාව දාන්නේ පාසල් නිවාඩුව ගතකරන ළමයින්ට කියවන්නයි. මක්කිව්වා? ඔව් ඉතින් දියවන්නා පාසලේ දරුවන්ටත් ගැලපෙනවා මේ කතාව. 




හ්ම්.............මටත් කැකිරිහේනක් තිබුණානම්................

2016 දෙසැම්බර් මස 09 වැනි දින 2330 පැය 

05 December 2016

කස්ත්‍රෝට පෙර කියුබාව සහ කස්ත්‍රෝට කැමති ඇමරිකාව

   කස්ත්‍රෝට පෙර කියුබාව කිව්වම නම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, කස්ත්‍රෝට කැමති ඇමරිකාව කිව්වම නම්, එතන මොකොක්දෝ පොඩි පටලැවිල්ලක් තියනවා වගේ නේද? හොඳයි කමක් නැහැ, අද වැඩිය ලියන්නේ නැහැ. කෙටි වාක්‍ය සමග, පින්තූර ගොඩක් පෙන්නන්නයි හදන්නේ. 

   පසුගිය දිනවල අභාවප්‍රාප්ත වූ, කියුබාවේ අසහාය නායක, ෆිදෙල් කස්ත්‍රෝ සම්බන්ධව, සිංහල බ්ලොග් ලිපි සෑහෙන ගණනක් ලියවුණා. ඒ ලිපිවලින්, අද පරපුරත්, කස්ත්‍රෝ ගැන බොහෝ තොරතුරු දැනගන්නට ඇති. කස්ත්‍රෝ විසින්, ඒකාධිපති, අධිරාජ්‍යවාදී ගැති, බැතිස්තා ගේ පාලනය, ජනතාවාදී විප්ලවයකින් පෙරලා දැමීමට පෙර, කියුබාව පැවතුනේ, තවත් ඇමරිකානු ප්‍රාන්තයක් ලෙසයි. ඒ තරමටම කියුබානු ජනජීවිතය ඇමරිකාවේ අදිසි හස්තයේ ග්‍රහණයට හසුව තිබුණා. කියුබන් විප්ලවය මෙතරම් සුවිශේෂී වන්නේ දරුණු පාලනයකට එරෙහිව කළ මහා විප්ලවයක් නිසයි. 

   පහත දැක්වෙන පින්තූර, 1920 දශකයේ සිට, 1950 දශකයේ අග භාගය දක්වා වූ කාලය තුළ ලබාගත් ඒවා. එම පින්තූර වලින් පැහැදිළිවනවා, විප්ලවයට පෙර කියුබානු සමාජයේ ධනපති පන්තිය, කොතරම් සුඛෝපභෝගී ජීවිත ගතකළාද යන්න. 

මේ තමයි, විප්ලවයට පෙර සිටි රාජ්‍ය නායකයා. ෆල්ගෙන්සියෝ බැටිස්ටා.




ඒ කාලයේ කියුබාව ඇමරිකා එක්සත් ජනපදයේ, තවත් එක් ප්‍රාන්තයක් වගේ තිබුණේ. 'පස්කම් සැප' විඳින්නට, මේ මිහිමත තිබුණු හොඳම ස්ථානයක් ලෙසයි, කියුබාව සැලකුණේ. 


වර්ෂය 1946:- එවකට කියුබාවේ සිටි ප්‍රකට නිරූපිකාවක සහ ගායිකාවක වූ, ඇලීන් ජොන්සන් ඩි මෙනොකල්  තම පෞද්ගලික කාර්‍ය මණ්ඩලය සමග සාදයක් සඳහා කටයුතු සූදානම් කරන ආකාරය.


ඇලීන් ජොන්සන්ගේ තවත් ඡායාරූප කීපයක්;




කියුබාවේ රාත්‍රී සමාජශාලා ජීවිතය 1937 - 1946 අතර කාලය.














එවකට කියුබාවේ පාලක බැටිස්ටා ගේ මාලිගය.



කියුබානු සමාජයේ සීමිත පිරිසක් මෙලෙස අධි සුඛෝපභෝගී ජීවිත ගතකරන අතර, සාමාන්‍ය කියුබානු සමාජය තිබුණේ කෙබඳු තත්ත්වයකද යන්න පහත දැක්වෙන ඡායාරූපයෙන් පිළිබිඹු වෙනවා. 

මෙහි දැක්වෙන්නේ, විශාල උක් වගාවන්හි, උක්ගස් කපන්නකු ලෙස ජීවිකාව ගෙනයන පුද්ගලයකුගේ නිවස සහ පවුලේ සාමාජිකයන්ගේ ස්වරූපයයි.


තරුණ කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ, ඇමරිකානුවන් අතර ජනප්‍රිය වූ බව තහවුරුවන ඡායාරූප පෙළක්, මීළඟට ඉදිරිපත් කරන්නේ.

1959 වර්ෂයේදී මහා කියුබානු විප්ලවය ජයග්‍රාහීව නිමකළ, එවකට 33 වියැති තරුණ නායක ෆිදෙල් කස්ත්‍රෝ, ඇමරිකා එක්සත් ජනපදය වෙත ගියේ, නිව්යෝක් නගරයේ පුවත්පත් කලාවේදීන්ගේ සංගමයෙන් ලද ඇරයුමක් අනුවයි. මෙම සංචාරයේදී පවත්වන ලද කථා වලදී සහ ප්‍රවෘත්ති සාකච්ඡා වලදී, තම දැඩි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තිය යම් තරමකට සීමා කරගැනීමට කස්ත්‍රෝ පියවර ගෙන තිබුණු බවත්, වාර්තා වෙනවා. 


උම්මා........එකක් ඇද්ද?


කාගෙත් දරුවෝ......

සාදයකට ඇරයුමක්. කොහොමද ඇරයුම්පතේ ප්‍රමාණය? 


කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සභාපතිනිය සමග සාදයක.

ජනතාවට ආචාර කරමින්.......






කස්ත්‍රෝ 'අලින්ට' කැමතිද? 





පේනවද වැඩේ. කස්ත්‍රෝත් කොටි බලන්න ගිහින්. ඒ මදිවට කොටින්ව හුරතල් කරලා. අපිනම් හිතුවේ නැහැ ඔහොම කරයි කියලා. 




නිව්යෝක් සතුන් වත්තේ, පුංචි කෝච්චි සවාරියක්.

කාලා බලමුකො ඇමරිකන් අයිස්ක්‍රීම්.........


හෑ.....ඒ මදිවට 'උණු බල්ලෙකුත්' කාලා.

එක්සත්ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී.


ඇමරිකාවේ වෙසෙන කියුබානුවන්ගෙන් කස්ත්‍රෝට විරෝධතා එල්ලවීම.


හවානා සුරුට්ටු දුම් වලාවක් තුළ සිට ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්......


පින්තූර සහ තොරතුරු උපුටා ගැනීම;

http://monovisions.com/high-life-in-havana-cuba/

http://mashable.com/2014/12/24/havana-before-castro-revolution/?utm_cid=lf-toc#EKFlfZ8kEkq8

2016 දෙසැම්බර් මස 05 වැනි දින 0751 පැය

22 November 2016

අපි හමුදා කුමන්ත්‍රණයක් කරමුද?

   නිකං ඉන්න එකේ ඔන්න ඔහේ කරලා බලමු අනේ, මොකක් වෙයිද කියලා. ඕනේ කැකිරි වත්තකින් යන්නේ නැතෑ. 

  අර අපේ කුශාග්‍ර දේශපාලන සෘෂිවර, හමුදා පරිපාලනය පිළිබඳව, ජෙනරල් පැටන් වුවත් පරදවන, අතිගරු, සරණාගත, ඒකා + බද්ද, ආඬි කැඳහැලියේ ගැට්ට කරේ තියන ආකාරයට පැළඳගෙන සිටින, සෑමවිටම පාර්ලිමේන්තුව තුළ මහා විලාප තියන, සිරිමත් දිනේස ගුණවර්ධන උතුමෝ, මේ ග්‍රහ වලල්ලේ කිසිදු ප්‍රාණීයකුට කල නොහැකි, මහා විශ්වකර්ම අනාවැකියක් කියමින්, ඒකාන්තයෙන්ම, (අපේ මාතයා කියන පරිදි) අපේ මේ අම්මට සිරි ලංකාවේ, හමුදා කුමන්ත්‍රණයක් සිදුවන බව කියයි. 

    සෙල්ලංද කොල්ලො කිව්වලු. 

   මොකෑ උන්නැහේලා හමුදා දැනුම ලබාගත්තේ, දේශපාලනේට එන්නත් කලින්නේ. ඒ කියන්නේ, උන්නැහේ තරුණ කාලේ, ඇමරිකාවේ ජොබ් එකක් කරන අතරේ, හමුදා පුහුණුවකුත් ලබන්න ඇති මයෙ හිතේ. නැත්තං කොහොමද ටක්කෙටම කියන්නේ, හමුදා කුමන්ත්‍රණයක් වෙනවා කියලා. අනේ ඒකට ඕං උන්නැහේගේ අප්පුච්චා. ඒ උත්තමයා නම්, දේශපාලනේ විතරයි කොළේ. පක්ෂ කීපයක හිටියා වුනාට, තමන්ගේ නම්බුව රැකගෙන, සුවාදීන දේශපාලනේ කොළේ. සරණාගත කල්ලි හැදුවේ නෑ, පාරාජිකා වෙච්චි, දේශපාලන මළමිණී කරේ තියාගෙන ඇවිද්දේ නෑ, අනුන්ගේ පානෙන් එලිය බැලුවේ නෑ, මුන්දෑලා වගේ, හැම වින්නඹුකොම ම, හැම අලුගුත්තේරුකොම ම, කොරන්ට ගියේ නැහැ. 

  එක කරුණක් පැහැදිලි කරන්න ඕනේ. 


   මේ ලිපිය ලියන්නේ, මේ යහපාලන රජය හොඳා................යි. අනික් ඔක්කොම ගඳා...................යි, කියන්න නෙවෙයි. මේ රජයේ ක්‍රියාකලාපයේ ඇති දුර්වලතාවය ගැන, විවේචන ඕනෑතරම් තිබෙනවා. එමෙන්ම ඒවා සාධාරණ විවේචන. නමුත්, මේ රජය තරම් විවේචනයට ලක්වුණු, විවේචනයට ඉඩදී තියන රජයක්, මගේ මතකයට එනවානම්, ඒ, 1965 - 70 ඩඩ්ලි සේනානායක රජය සහ 1970 - 77 සිරිමාවෝ බණ්ඩාරනායක රජය පමණයි. නමුත් ඒ කාලයේ මෙතරම් දැඩි මාධ්‍ය ප්‍රහාර තිබුණේ නැහැ. 


   අද දිනේෂ් ගුනවර්ධනලාගේ මොලය කොලොප්පන් වී හමුදා කුමන්ත්‍රණ ගැන කතා කරන්නෙත්, වාසුදේව නානායක්කාරලා මහා නීතීඥයන් වුනාට පාර්ලිමේන්තුවේ අමු කුණුහරප කියන්නෙත්, උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැනි අය නන්නත්තාර වී සිටින්නේත්, මහින්ද රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂලා, නන් දොඩවන්නේත්, මේ රජය පෙරලා දමන්න, ඔවුන්ට තවමත් ශක්තිමත්ව සංවිධානයවීමට නොහැකි නිසයි.  එය ඔවුන්ගේ දුර්වලත්වය විනා, රජයේ දුර්වලත්වය නොවෙයි.

   හොඳයි, ඒ කතාව එතනින් නවත්වමු.

  හමුදා කුමන්ත්‍රණ මගින්, ලෝකයේ රටරටවල බලය අල්ලාගැනීම, අද ඊයේ සිදුවන දෙයක් හෝ, අරුම පුදුම දෙයක් නෙවෙයි. අපේ රටේ හමුදා කුමන්ත්‍රණයක් ගැන මුලින්ම කියවෙන්නේ, 1962 වර්ෂයේදීයි. අපි ඒ කාලේ බොහොම පොඩි එවුන් නිසා, රටතුළ යම් කැළඹීමක් ඇතිවුනාද යන්න, දැනුනේ නැහැ. 

   ඔබ අතරින් සෑහෙන පිරිසක්, 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ගැන අසා ඇතත්, එය වඩාත් සවිස්තරව, එහෙත් හැකිතරම් සංක්‍ෂිප්තව, පහතින් ඉදිරිපත් කරනවා.

   ලංකාවට නිදහස හෙවත් ඩොමීනියන් තත්වය ලැබුනට පස්සේ, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, වැනි අගමැතිවරුන්, රාජ්‍ය පාලන ක්‍රමයේ, බරපතළ වෙනස්කම් කරන්න ගියේ නැහැ. හේතුව ඔවුන් සුද්දාගේ ක්‍රමය අගය කළ නිසා. 

   නමුත්, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවාගැනීමෙන් පසු, රාජ්‍ය පාලන ක්‍රමයේ වෙනස්කම් කිරීමට පෙළඹුණා. විශේෂයෙන් 1956 විප්ලවයෙන් පස්සේ, ලංකාවේ ස්වාධීනත්වය වර්ධනය කරගනිමින්, පූර්ණ බලතල සහිත ජනරජයක් වීමේ ගමන සඳහා, මුල් පියවර තැබුණා. ජනසතු ව්‍යාපාරය එහි මූලික පියවරක්. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු බලයට පැමිණි, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, බණ්ඩාරනායක ප්‍රතිපත්ති, ඒ අයුරින්ම ක්‍රියාත්මක කළා. 

   1948 නිදහස ලැබීමෙන් පසු, ලංකා රාජ්‍යයේ ප්‍රධාන නිලතල බහුතරයක් ලැබුණේ, අධිරාජ්‍යවාදී පාලනයට ගැතිකම් කළ, රාජ්‍ය, සන්නද්ධ සේවා, සහ පොලිස්, නිලධාරීන්ටයි. බණ්ඩාරනායක මහතා විසින්, සිංහල බෞද්ධ බහුතර ජනතාවට සහ සිංහල භාෂාවට විශේෂ තැනක් දීම නිසා, පෙර කී බෞද්ධ නොවන සහ  සිංහල නොවන සමහර රාජ්‍ය නිලධාරීන් මෙන්ම, සන්නද්ධ සේවා උසස් නිලධාරීන්, කලකිරීමකට පත්වුණා. 

   ඔවුන්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය, පෙරළා දමා, රටේ බලය අල්ලාගැනීමට කුමන්ත්‍රණයක් සැළසුම් කළා. මේ කුමන්ත්‍රණයට ලංකා ගුවන් හමුදාව සහභාගි නොවීම විශේෂත්වයක්. යුද හමුදාව, නාවික හමුදාව, සහ පොලීසිය තමයි හවුල් වුණේ. එමෙන්ම විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සහ, සන්නද්ධ සේවා/පොලිස්, නිලධාරීන් ද හවුල් වුණා. කුමන්ත්‍රණය සඳහා නියමිත දිනය වුනේ, 1962 ජනවාරි මස 27 වැනිදින රාත්‍රියේ.

   තෝරාගත් හමුදා බලඇණි කීපයක් යොදවා, කොළඹ නගරයේ වැදගත් ස්ථාන අල්ලාගෙන, (ලංකා ගුවන්විදුලි සේවය, විදුලි සංදේශ මධ්‍යස්ථානය, වැනි) ඉන්පසු අගමැතිනිය සහ අත්‍යවශ්‍ය ඇමතිවරුන් ද අත්අඩංගුවට ගෙන, යුද හමුදා මූලස්ථානයේ, (අද එතනින් ඉවත්වෙමින් පවතින) පොළොව යට පිහිටි අවි ගබඩාවේ (මෙය තිබුණේ, බාලදක්ෂ මාවතේ යුද හමුදා මූලස්ථානයේ සිට, ගාලු මුවදොර පිටිය යට හාරන ලද, අති විශාල බංකරයක් වැනි ගබඩාවක. අද එය සම්පූර්ණයෙන් වසා දමා තියෙන්නේ. මෙය, දෙවැනි ලෝක යුද සමයේදී, සුදු අධිරාජ්‍යවාදී පාලනය යටතේ ගොඩනැගුවක්) සිරකර තැබීම සහ ඉන්පසු ලංකාවේ අග්‍රාණ්ඩුකාර වරයා වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක හමුවී, රජය විසුරුවා හැරිය බවට ලිඛිත ප්‍රකාශයක් ලබාගෙන, එය ගුවන්විදුලි මගින් රටපුරා ප්‍රචාරය කිරීමටත්, සැලසුම් කර තිබුණා.

   තවද, පනාගොඩ යුද හමුදා කඳවුරේ සිට, රජයේ ආධාරය සඳහා එනු ඇතැයි සිටන භටපිරිස් වැලැක්වීම සඳහා, කැළණි පාළම, වික්ටෝරියා පාළම, වැල්ලවත්ත පාළම,  වැනි ස්ථානවල සහ, කොළඹ නගරයේ වැදගත් සියලු ස්ථාන වල, හමුදා සන්නද්ධ රථ (ඒ කාලේ යුද්ධ ටැංකි තිබුණේ නැහැ) රඳවා තැබුණා. 

   නියමිත දිනයේ අගමැතිණිය කතරගම ප්‍රදේශය වෙත යාමට නියමිතව සිටියත්, අවසාන මොහොතේ ඒ ගමන යැවුනේ නැහැ. ඒ අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ කොළඹ නගරය භාර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි හදිසියේම අරලියගහ මන්දිරය වෙත පැමිණ, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක තොරතුරු ලැබී තිබෙන බව අගමැතිනිය වෙත හෙළි කළා. 


අගමැතිණිය වහාම ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමතිවරයා (බණ්ඩාරනායක මැතිණියගේ ඥාති පුත්‍රයෙකි) මගින්, උපක්‍රමිකව කුමන්ත්‍රණකරුවන් සියලුදෙනා අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ව අරලියගහ මන්දිරය වෙත ගෙනවිත් ප්‍රශ්න කර, සියල්ල හෙළිකරගත්තා. ඉන්පසු විශේෂ පාර්ලිමේන්තු පණතක් සකසා, මේ නඩුව විභාග කෙරුණා. කෙසේ වෙතත්, එම පනත අතීතයට බලපාන පරිදි පනවා තිබීම, නීතියට අනුකූල වුනේ නැහැ. එවකට, ලංකා රාජ්‍යයට අදාළ, උපරිම අධිකරණය වුණේ, බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයයි. විත්තිකරුවෝ නඩුව ඒ වෙත යොමුකොට, නිදහස ලැබුවා.  

  කෙසේ වෙතත්, හමුදාව සහ පොලීසිය කොතරම් දුරට මේ කුමන්ත්‍රණයට සහභාගී වුයේද යන්න තහවුරු කිරීම පිණිස, විත්තිකරුවන්ගේ නම් ලැයිස්තුව පහත දක්වනවා. මොවුන් අතර, බෞද්ධ කිසිවකුත් නැතිවීම විශේෂත්වයක්.  


   ඔබ කැමති ඇති කවුද විත්තිකරුවන් කියා දැනගන්න. මෙන්න ඒ පිරිස. මේ පිරිසට විසි දෙදෙනෙකු අයත් වෙනවා.


යුද හමුදා නිළධාරීන් 

1. කර්නල් F.C. ද සේරම්:- ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක සහ ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිළධාරි.


2. කර්නල් මොරිස් ද මෙල්:- ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක.


3. ලුතිතන් කර්නල් විල්මට් (විලී) එස්. ආබ්‍රහම්:- අණදෙන නිලධාරි, 3 වැනි ක්ෂේත්‍ර රෙජිමේන්තුව ලංකා කාලතුවක්කු හමුදාව.


4. ලුතිතන් කර්නල් J.H.V. ද අල්විස්:-  අණදෙන නිළධාරි, දෙවැනි ස්වේච්ඡා ඉංජිනේරු රෙජිමේන්තුව, ලංකා ඉංජිනේරු බලකාය.


5. ලුතිතන් කර්නල් බැසිල් R ජේසුදාසන්:- අණදෙන නිලධාරි, දෙවැනි ස්වේච්ඡා සංඥා බලඇණිය, ලංකා සංඥා බලකාය.


6. ලුතිතන් කර්නල් නොයෙල් මතායෙස්:-  අණදෙන නිලධාරි, ලංකා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව.


7. මේජර් B.I. ලොයෝලා:-  3 වැනි ක්ෂේත්‍ර බලඇණිය, ලංකා කාලතුවක්කු හමුදාව.


8.  මේජර් W.G. වයිට්:- 3 වැනි ක්ෂේත්‍ර බලඇණිය, ලංකා කාලතුවක්කු හමුදාව.


9. මේජර් වික්ටර් ජෝසෆ්:- කුමන්ත්‍රණය සිදුවූ දින, දවසේ කාර්ය භාර නිලධාරි, ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානය.


10. කපිතන් J.A.R.  ෆීලික්ස්:- ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි.


11. කපිතන් ටෝනි අංගි:- 3 වැනි ක්ෂේත්‍ර බලඇණිය, ලංකා කාලතුවක්කු හමුදාව.


12. කපිතන් දොන් වීරසිංහ:- 3 වැනි ක්ෂේත්‍ර බලඇණිය, ලංකා කාලතුවක්කු හමුදාව.



නාවික හමුදා නිළධාරි 


1. රියර් අද්මිරල් (විශ්‍රාමික) ජෙරාඩ් රොයිස් මැක්ස්වෙල් ද මෙල්:- ලංකා නාවික හමුදාවේ පළමුවැනි සිංහල නාවික හමුදාපති, ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ පළමුවැනි නාවික හමුදාපති. ඉහත අංක 2 යටතේ සඳහන්, කර්නල් මොරිස් ද මෙල් ගේ, එකකුස උපන් සොහොයුරු. 


පොලිස් නිළධාරීන් 


1. ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති C.C. දිසානායක ('ජන්ගල්' යන අන්වර්ථ නාමයකින් ද හැඳින්වුණි):- පොලිස් කොට්ඨාශ අංක 1 භාර නිලධාරි.  


2. ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) සිඩ්නි ද සොයිසා:- පොලි කොට්ඨාශ සම්බන්ධිකරණ සහ පරිපාලන නිලධාරි. 1962 දක්වා.


3. පොලිස් අධිකාරි V.E. පෙරේරා:- කොළඹ බටහිර පොලිස් කොට්ඨාශය.


4. පොලිස් අධිකාරි  W.E.C. ජෙබනේසම්:- කොළඹ 


5. සහකාර පොලිස් අධිකාරි කොලින් වැන්ඩන්ඩ්‍රීසන්:- තිඹිරිගස්යාය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය භාර නිලධාරි.


6. සහකාර පොලිස් අධිකාරි J.F. බෙඩේ ජෝන්පිල්ලේ:- රථවාහන අංශය 


7. සහකාර පොලිස් අධිකාරි ටෙරී V. විජේසිංහ:- නියෝජ්‍ය පොලිස්පති 1 ගේ මාණ්ඩලික සහකාර.


8. සහකාර පොලිස් අධිකාරි ලයනල් C.S. ජීරසිංහ.


රාජ්‍ය නිළධාරීන් 

1. ඩග්ලස් ලියනගේ (ලංකා සිවිල් සේවය):-  ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ.

2. රොඩ්නි ද මෙල්:- වැවිලිකරු.


  මොකද හිතෙන්නේ? මෙච්චර වැඩකාරයෝ ගොඩක් ඉඳලත්, වැඩේ අසාර්ථකයි. මොකද එහෙම වුණේ? බොහොමයක් රටවල, මෙවැනි කුමන්ත්‍රණ සාර්ථක වුනාට වඩා අසාර්ථක වීම තමයි, සිදුවෙලා තියෙන්නේ. හොඳ රාජ්‍ය ඔත්තු සේවයක් තියනවා නම්, එම සේවය, ඇත්තටම පවතින රජයට අවංකව සහ පක්ෂපාතීව සේවය කරනවා නම්, මෙවැනි කුමන්ත්‍රණ කරන්න පහසු වෙන්නේ නැහැ. 


   හොඳයි, ඔබ හිතනවාදමේ යහපාලන රජයට විරුද්ධ හමුදා කුමන්ත්‍රණයක් දියත්වෙයි කියා. මමනම් කීයටවත් හිතන්නේ නැහැ. 


මෙන්න හේතු:-


1. එදා වගේ නෙවෙයි අද. හමුදාව රාජ්‍ය බලය අල්ලාගත්ත ගමන්, ලෝකයේ රටවල් බොහොමයක්, ඒ ජුන්ටාව පිලිගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ලෝකයේ බලවත් රටවල් බොහොමයක්, අපිට විවිධ සම්බාධක පනවනවා. මේ නිසා, රාජ්‍ය පාලනය ගෙනයාම, රටේ මිනිස්සුන්ට එදාවේල කන්න දීම, අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම, ප්‍රශ්නයක් වෙනවා. 


2. ඛනිජ තෙල් සපයාගැනීම මහා බරපතළ ප්‍රශ්නයක් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අපිට සම්බාධක පනවනවා. එතකොට ඉතින් බස්තියන් පයින් යන්න තමයි වෙන්නේ. 


3. අපේ ආනයන අපනයන වලට සම්බාධක පැනවීමත් සමග, ආර්ථිකය කඩා වැටෙනවා. කොටස් වෙළඳපොල මුළුමනින්ම කඩා වැටෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකම අවුල් වෙනවා. 


4. හමුදාව ලවා බලය අල්ලාගෙන, පාලනය සියතට ගන්න අර අඳින, පාරාජිකා වෙච්චි දේශපාලුවන් හිතනවා ඇති, ඔවුන්ට පුළුවන් කියා, විදේශ සබඳතා ගොඩනගාගන්න. එය කෙසේවත් සිදුවන්නේ නැහැ. මේ රජයේ විදේශ සබඳතා ශක්තිමත් නිසා, බලයෙන් පහකලත්, ලෝකයේ බොහොමයක් රටවල්, නීත්‍යානුකූල රජය ලෙස පිළිගන්නේ, වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවයි. 


5. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, බංග්ලාදේශය, බලයෙන් පහකළ රජයේ උදව්වට එනවා. (වෙනත් රටවල් ද එක්විය හැකියි)  එය යුද්ධාධාර වියහැකියි. අවසන් ප්‍රතිඵලය වන්නේ භයානක ලේ වැගිරීමකින් පසු, බලය යලිත් පෙර පැවති රජයටම ලැබීමයි. කපටි මොළයක් තියන රාජ්‍ය නායකයකුට පුළුවන්, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන, දේශපාලන සතුරන්, සදහටම වනසා දමන්න. 


6. ණයබර, ආර්ථික වියවුල්, සහිත මේ රට අල්ලාගන්න, කිසිදු ත්‍රිවිධ හමුදා නායකයකු එකඟවනු ඇතැයි මා හිතන්නේ නැහැ. 


7.  හමුදා කුමන්ත්‍රණයකට අවශ්‍ය පසුබිම මේ රටේ තවම දකින්නට නැහැ. ඒ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලීසිය පෙළඹවීමට තරම් උත්තේජනයක් සමාජය තුළ වර්ධනය වී නැහැ. ඒ නිසා, තමන් දැනට විඳින වරප්‍රසාද ඔට්ටුවට තබා, කුමන්ත්‍රණයකට යන්නට තරම් අඥාන පිරිසක්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය තුළ ඇතැයි සිතන්නට අමාරුයි. 


8. මේ කුමන්ත්‍රණ කතා නිසා, රජය, මේ වනවිටත්, පූර්වාරක්‍ෂක පියවර ගණනාවක් ගෙන ඇති. ඒවා උපක්‍රමික ක්‍රියා නිසා, මා මෙහි විස්තර කරන්නේ නැහැ. 


මේ යහපාලන රජය, නියමිත අවුරුදු 5 යන්නට කළින්, ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළා දැමුවොත්, මා පුදුම වන්නේ නැහැ.


අපි මේ ගැන සංවාදයක යෙදෙමු.


2016 නොවැම්බර් මස 22 වැනි දින 2204 පැය

17 November 2016

පොලිස් මහත්වරුනි, මැරුම් නොකා වැඩකරන්න

   කුරුණෑගල පොලිස් ස්ථායට අනුයුක්තව ('අනියුක්ත' යනුවෙන්, කුණුහරපයක් ලියන මහත්වරු, නිවැරදි වචනය 'අනුයුක්ත' බව මතක තියාගන්න)  සේවය කල 59 හැවිරිදි උප පොලිස් පරීක්‍ෂක වරයකු, ඊයේ (2016/11/14) දින, අපරාධකරුවකු විසින් වෙඩි තැබීම නිසා මියගොස් ඇත. (අද ද රෙන නාලිකාව, කීපවිටක්, පුන පුනා, නාඳුනන තුවක්කු කරුවකු විසින් තබන ලද වෙඩිල්ලක් යන අදහස ඉදිරිපත් කරමින්, අමුතු භීෂණයක් ඇතිකිරීමේ නින්දිත උත්සාහයක යෙදුනි. මෙය අපරාධ කල්ලියක වැඩක් බව, මේ මාජ්ජ ගොබිලෝ නොදන්නවා නොවේ. නමුත්, උන්ගේ උපන් අවලම් ගතිය, උන්ගේ මව් ට වත්, නිවැරදි කරන්නට බැරි වී තිබේ) 

   අපරාධ කරුවකු විසින් පොලිස් නිලධාරියකු ඝාතන කිරීමේ එකම සිදුවීම, මෙය නොවේ. ලංකා පොලිස් සේවයේ නිලධාරියකු, ප්‍රථම වරට, සතුරකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඝාතනයට ලක්වුණේ, සරදියෙල් ගේ කාලයේදී ය. එය අරුමයක් නොවේ. ලොවේ කොතනත්, එදත් අදත්, එය සිදුවේ. අනාගතයේදී ද සිදුවිය හැකි ය. පිස්සු තුවක්කු සංස්කෘතිය නිසා, ඇමරිකා එක්සත් ජනපදයේ, වාර්ෂිකව සිදුවන ඝාතන වලට, පොලිස් නිලධාරිහුද ගොදුරු වෙති. ලෝකයේ තත්වය පසෙක තබා අපේ රටේ තත්වය ගැන ඔබ සමග සාකච්ඡා කරන්නටයි මා සූදානම් වෙන්නේ. 

   පසුගිය යුද සමයේදී, ශ්‍රී ලංකා පොලීසිය, ආධාරක හෝ අතිරේක සේනාවක් වශයෙන්, ත්‍රිවිධ හමුදාවට නොමඳ සහායක් දුන් බව,  රහසක් නොවේ. ඒ කාලයේදී, අවි පරිහරණය ගැන, ඉතා සතුටුදායක පුහුණුවක්, සාමාන්‍ය පොලිස් සේවයට ලැබුණු අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය, අතිරේක බලසේනාවක් වශයෙන්, විශිෂ්ඨ සේවයක් ඉටුකරන ලදී. 

   මෙලෙස, ඉතා සතුටුදායක අවි පරිහරණ දැනුමක් ඇති පොලිස් සේවය, පසුගිය කාලයේදී අපකීර්තියට ලක්වූ අවස්ථා ද නැතුවා නොවේ. විශේෂයෙන් පසුගිය රජය සමයේ කුප්‍රකට උපක්‍රමයක් වූ 'සැකකරුවන් ඔවුන් විසින් සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස්, එම ආයුධ වලින්, පොලීසියට පහර දෙන්නට උත්සාහ කිරීමේදී, පොලිස් වෙඩි පහරින් මියයාමේ අරුම පුදුම, කාලකන්නි, අමානුෂික ක්‍රමය', අද දකින්නට නොලැබීම, පොලීසිය ලද විශාල දියුණුවක් බව කිවයුතුය. 

   LTTE ත්‍රස්තවාදීන් සමග පවා සටන් කළ පොලීසිය, අද මේ, තුන්වැනි පන්තියේ කුක්කන් අතින්, මරණයට පත්වන්නේ ඇයි? මෙහි කිසියම් අසාමාන්‍ය බවක් ඇති බව, බැලූ බැල්මටම පෙනීයයි. 

   මේ උප පොලිස් පරීක්‍ෂක වරයා, මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේ, ඔහුගේ වරදින්ද, පොලීසියේ වරදින්ද, නැතහොත් වෙනත් වගකිවයුතු පාර්ශ්වයක වරදින්ද? පොලීසියට වෙඩි තැබූ පාර්ශ්වය අපරාධකරුවන් නිසා ඔවුන් වගකියුතු බවට තර්කයක් නැහැ. නමුත් මා අහන්නේ, වලක්වාගත හැකිව තිබියදී, මෙලෙස වෙඩි කෑවේ ඇයිද කියායි. 

   ඔබ සමහරවිට කියනු ඇති, මේ ලිපිය ලියන මා, හිටපු හමුදා නිලධාරියකු නිසා, පොලීසියත් හමුදාවේ මට්ටමෙන් මනිනවා කියා. නමුත්, මා මෙහෙම කියනවා. මෙවැනි සිදුවීම් වලදී, පොලීසිය හමුදාවටත් වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. මන්ද, අපරාධ වැලැක්වීම, ඔවුන්ගේ රාජකාරියේ හෙවත්, පොලිස් භූමිකාවේ, අතිශයින්ම ප්‍රමුඛත්වය ලැබෙන/ලැබිය යුතු කාර්යයක්. 

   හොඳයි, මීළඟට මා කැමතියි, පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය, මිතුරන්ගෙන් ලද තොරතුරු ආදිය සියල්ල සලකා බලමින්, මේ සිද්ධිය ගැන කෙටි විස්තරයක් කරන්න. මෙහි අඩුපාඩු ඇත්නම් පෙන්වාදීම, ඔබේ අයිතියක්.

   2016/11/14 දින රාත්‍රියේ, කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබෙන දුරකථන ඇමතුමකින් කියවෙන්නේ, කුලී ගෙවීමේ පදනම මත, පෞද්ගලික ආයතනයකින් මෝටර් රථයක් ලබාගත් පුද්ගලයකු සහ ඔහුගේ සහචරයන් පිරිසක්, අදාළ කුලී නිසි කලට නොගෙවා,  අදාළ ආයතනයට තර්ජනාත්මකව, බලහත්කාරයෙන්, එම මෝටර් රථය පාවිච්චි කරමින් සිටින බවත්, දැනට එම පිරිස, අදාළ මෝටර් රථයෙන් පැමිණ, කුරුණෑගල - පුත්තලම මාර්ගයේ, මාස්පොත ප්‍රදේශයේ පිහිටි හෝටලයක, නවාතැන් ගෙන සිටින බවත්.  

   මේ ගැන සොයාබැලීම සඳහා, උප පොලිස් පරීක්‍ෂක වරයකු, පොලිස් සැරයන් වරුන් දෙදෙනෙකු, එම ස්ථානයට පොලිස් වාහනයකින් ගමන්කර තිබෙනවා. පොලීසිය එම ස්ථානයට යනවාත් සමගම, අදාළ වාහනය අයිති ආයතනයේ පිරිසක්ද, එම ස්ථානයට, වෙනත් වාහනයකින් පැමිණ තිබෙනවා. කුලී පදනම මත ලබාගත් වාහනය තිබෙන ස්ථානය, එකී ආයතනය විසින් සොයාගෙන තිබෙන්නේ, GPS තාක්‍ෂණය අනුව බව, වාර්තාවනවා.  හෝටලය වෙත පැමිණි පොලීසිය එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයන් දෙදෙනාට, එළියට එන ලෙස, හෝටල් කළමනාකරු අතේ පණිවිඩයක් යවනවා. ඔවුන් එළියට පැමිණි පසු ප්‍රශ්න කරන අතර, පලායන්නට උත්සාහ කල බවත්, ඔවුන් පසුපස හඹා යද්දී, ඔවුන් විසින් පොලීසියට වෙඩි තැබූ බවත්, එම පිරිසේම සිටි පොලිස් සැරයන් වරයකු ප්‍රකාශ කරනවා.  (බස් රථයක නැගී පලායාමට උත්සාහ කළ සැකකරුවකු ඊට මොහොතකට පසු අල්ලා ගැනීම පොලීසියේ දක්‍ෂකමක්. එමෙන්ම, තවත් සැකකරුවකු අද (17) අත්අඩංගුවට ගෙන තිබීමත්, එවැනිම දක්‍ෂකමක්. 

   මේ දක්‍ෂකම එතරම් විශිෂ්ඨ එකක් නොවන්නේ, පහත දැක්වෙන හේතු නිසයි. ඒ සඳහා, මේ සිද්ධිය පිළිබඳව, මගේ නිරීක්ෂණ සහ නිර්දේශ පහත දැක්වෙන පරිදි, ඉදිරිපත් කරනවා. 

නිරීක්‍ෂණ


  • මේ සිද්ධිය ගැන සොයාබලන්න ගිය පිරිස ප්‍රමාණවත් නැහැ. පොලිස් වාහනයේ රියැදුරු ඉන්නේ වාහනය පදවන්න මිසක්, අපරාධකරුවන් අල්ලන්න නෙවෙයි. (එහෙම පුළුවන්නම් හොඳයි. නමුත්, ඔහුත් අපරාධකරුවන් පස්සේ එලවන්න ගියොත්, වාහනය තනිවෙනවා. කාටහරි වාහනයට හානියක් කළ හැකියි. එමගින් පොලිස් පිරිසේ ගමන අඩාල කලහැකියි).

  • ඇත්තටම පොලිස් පිරිස තුන්දෙනයි. එයිනුත් පොලිස් පරීක්‍ෂක වරයා, 59 හැවිරිදියි. ඒ කියන්නේ, ඔහුට එතරම් විශාල ජවයක් නැහැ, හඹායන්න, පොරබදන්න, පහරදී මෙල්ල කරගන්න. 

  • පොලිස් පිරිස ගෙනගිය ආයුධ ගැන, පැහැදිළි විස්තරයක් නැහැ. අපි හිතමු ඔවුන් ගෙනගියේ, දැනට පොලීසියට ලබාදී ඇති .38 රිවෝල්වර කියා. 






  • මේ රිවොල්වරයට, එක වරකට ඇතුළුකළ හැක්කේ, පතරොම් 6 ක් පමණයි. පතරොම් අවසන් වූ විට, නැවත පතරොම් දැමීමට යටත්පිරිසෙයින් විනාඩි 5 ක් වත් ගතවෙනවා, එවැනි රාත්‍රියකදී, ආලෝකය අඩු තැනකදී. එමෙන්ම, දැනට මහා මාර්ගයේ සිටින පොලිස් නිලධාරීන් හෝ පොලිස් පරීක්‍ෂක වරුන්, අමතර පතරොම් ළඟ තබාගෙන සිටිනු, මා කෙදිනකවත් දැක නැහැ. ඒ නිසා, රිවොල්වරයේ ඇති පතරොම් 6 වෙඩි තබා අවසන් වූ පසු, සැකකරුගේ ඔලුව පැලෙන්න, රිවොල්වරයෙන් දමාගසනු විනා, වෙනත් විකල්පයක් නැතිවෙනවා. 


  • මේ අවස්ථාවට පොලීසිය මුහුණදී තිබෙන්නේ, ඉතා දුර්වල ආකාරයකටයි. අද තිබෙන අපරාධ ගැන අමතක කර, ඔවුන් මේ අවස්ථාවට මුහුණදී තිබෙන බව පෙනෙනවා. තමන්ට ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බව සිතා, ඔවුන් සෑමවිටම සූදානම්ව සිටිය යුතුයි. එහිදී මේ තිදෙනා ස්ථානගත වියයුත්තේ, එකිනෙකාගේ ආරක්‍ෂාව සැළසෙන ආකාරයටයි. (නිර්දේශ යටතේ විස්තර කරන්නම්)

  • මෙවැනි වැටලීමක්/සොයාබැලීමක්/සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාකිරීමක්/ සඳහා යනවිට, තවත් ආධාරක කණ්ඩායම්/කණ්ඩායමක්, සූදානම්ව තැබිය යුතුයි. තමන්ට තනිව මුහුණ දීමට නොහැකි තත්වයක් ඇතිවුනානම්, ඒ ආධාරක කණ්ඩායම් වහා තමන්ගේ ආධාරය පිණිස ගෙන්වාගන්න පුළුවන්. මේ සිද්ධියේදී දෙවැනි පොලිස් කණ්ඩායම, සිද්ධිය වූ තැනට ගොස් තිබෙන්නේ, 'පෙරහැර ගියාට පස්සෙයි'.


  • මේ පොලිස් කණ්ඩායම, තමන්ගේ පොලිස් ස්ථානය සමග, නිරන්තර පණිවිඩ හුවමාරු සම්බන්ධතාවක සිටි බවක් පෙනෙන්නේ නැහැ. ඔවුන් අත, ජංගම පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් හෝ, වාහනයේ සවිකළ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් තිබුනේද යන්න හා, එසේ තිබුනානම්, එයින් කළේ කුමක්ද යන්න ද පැහැදිළි නැහැ.  


  • කුරුණෑගල පොලිස් ස්ථානයේ ප්‍රමාණවත් තරම් නිලධාරීන් සංඛ්‍යාවක් මේ අවස්ථාවේ නොසිටියානම්, මෙම ක්‍රියාන්විතයට යාමට පෙර, අවට පොලිස් ස්ථාන වලින් හෝ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ගන්නට තිබුණා. පහත දැක්වෙන සිතියම බැලීමෙන් ඒ බව ඔබට වැටහෙනවා ඇති.  එසේ ආධාරක භටපිරිස් ලබාගත්තානම් මේ ආකාරයට ජීවිත හානියක් සිදුවන්නේ නැහැ.


(මේ සිතියමේ දැක්වෙන, වීරඹුගෙදර, පොතුහැර, යන පොලිස් ස්ථාන වල සිට හෝ, රත්ගල්ල ප්‍රදේශයේ පිහිටි, පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සිට, වාහනයකින්, සිද්ධිය වූ ස්ථානයට, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලයකින්, ළඟා වියහැකියි)

නිර්දේශ 



  • පුහුණුවනු පුහුණුවනු පුහුණුවනු, අභ්‍යාස කරනු අභ්‍යාස කරනු අභ්‍යාස කරනු, කියන එක තමයි, පළමුවැනි නිර්දේශය. යුද්ධ කාලේ, පොලීසියේ බහුතරය යුද්ධයේ හිටියා. බය නැතුව, අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දුන්නා. දැන් පොලීසියට ආපහු අධිකරණ රාජකාරි, පරිපාලන රාජකාරි, ආදිය ඉගෙනගන්න වෙලා. මොකද, ඒ ගැන දැනුමක් නැතුව සාමාන්‍ය පොලිස් සේවයේ යෙදෙන්න බැහැ. නමුත් මෙවැනි සිද්ධියකදී, එය නිදහසට කරුණක් නෙවෙයි.  ඒ නිසා, මෙවැනි තත්වයන්ට මුහුණදීම පිළිබඳව, සාමාන්‍ය පොලිස් සේවයේ සිටින සෑම නිලධාරියකුටම, නිලධාරිණියකටම, ඉතා ඉහල මට්ටමේ පුහුණුවක් ලබාදිය යුතුයි. අපිනම් කවදාවත් දැකලා නැහැ ,පොලිස් ස්ථානයක් අතුලේදීවත්, එවැනි පුහුණුවක් දෙනවා. ඒ තත්වයේ ඇති අවාසනාවන්තකම නිසයි, අර පොලිස් පරීක්‍ෂක වරයා මියගොස්, අනික් දෙදෙනා මාරාන්තික තුවාල ලැබුවේ. 


  • පොලීසියේ අවි පරිහරණය, බොහෝවිට, 'බල්ලා මාක්' කියා, කණගාටුවෙන් වුවත් කියන්න ඕනේ.  T 56 අවිය තියාගෙන ඉන්නේ එහි මිට හෙවත් බට් එක අකුලලා. ඉතිං කොහොමද හදිස්සියකදී වෙඩි තියන්නේ? 


  • මේ සිදුවීමේදී පොලීසිය එතනදී ස්ථානගතවීම ගැන, එතරම් අවබෝධයකින් ක්‍රියාකර නැහැ. ඒ නිසයි, තිදෙනාටම වෙඩි වැදුනේ. පහත දැක්වෙන දළ සටහනෙන් මා පෙන්වන්නේ, මෙතනදී, මේ තිදෙනා අතේම ආයුධ තිබේයැයි සිතා, ඔවුන් ස්ථානගත වියයුතු ආකාරයයි.





  • මේ සිද්ධිය රාත්‍රී කාලයේදී සිදුවන්නක් නිසා, ආලෝකය ආධාර කරගැනීම වැදගත්. මුලින්ම, පොලීසියේ තිදෙනා තම ආයුධ අතට ගෙන, සැකකරුවන්ට කියන්න ඕනේ, හෝටලයේ ආලෝකවත්ව තිබෙන ස්ථානයක සිටින ලෙස. ඉන්පසු අවවාද කරන්න ඕනේ, පැනයාමට හෝ පහරදීමට උත්සාහ කලොත්, වෙඩි තබන බව. එහි, කිසිදු නීති විරෝධී බවක් හෝ, මානව හිමිකම් කඩවීමක් නැහැ. 


  • සැකකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර යටත්පිරිසෙයින් මීටර් 5 ක වත් පරතරයක් තබාගන්න ඕනේ. වාහනයේ ලියකියවිලි රැගෙන එක් අයෙක් පොලිස් පරීක්‍ෂක වෙත එන්නට අණ කර, පොලිස් පරීක්‍ෂක තම අවිය T 56 නම් පිටේ එල්ලා ගැනීම හෝ රිවෝල්වරය නම් කොපුවේ බහා ගැනීම කලයුතුයි. මේ අවස්ථාවේදී සැරයන් අංක 2 පොලිස් පරීක්ෂකට මීටර් 3 ක් පමණ පසුපසින්, එක් පසෙක, තම අවිය සූදානමින් තබාගෙන, සැකකරුවන්ගේ චලනයක් ගැන, දැඩි අවධානයෙන් සිටිය යුතුයි. සැක කටයුතු පළමුවැනි චලනයේදී, ඔවුන් අසළ බිමට වෙඩි තබා, කෑගසා කිවයුතුයි, ඊළඟට ඔවුන්ට වෙඩිතබන බව. සැරයන් අංක 1 ඉන්නේ, අනෙක් දෙදෙනාගෙන් වෙන්ව, පැත්තෙන් සහ ඈතින්. ඔහුට නිරීක්ෂණය වෙනවා, සැකකරුවන්ගේ චලන, පැති පෙනුමෙන්. ඔහුත් තම අවිය සූදානමෙන් අතේ තබාගෙන සිටිය යුතුයි. ඔහු මෙසේ අනෙක් දෙදෙනාගෙන් වෙන්ව සිටින නිසා, තිදෙනාටම පහසුවෙන් වෙඩිතැබීමේ අවස්ථාව, සැකකරුවන්ගෙන් ගිලිහෙනවා. 


  • පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් මතක තබාගත යුතුයි, ඔවුන් ඉන්නේ දැඩි අවදානමකට මුහුණ දීගෙන බව. අනාගතයේදී ඔවුන්ටද ප්‍රහාර එල්ලවිය හැකියි. යටකර පලායාම්, වාර්තාවී ඇති අතර, මීට පෙර කුරුණෑගල ප්‍රදේශයේදී, වාහන පරීක්ෂාවේ යෙදීසිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබුවා.  වාහන පරීක්ෂා කිරීමේදී, පරීක්ෂා කරන නිලධාරියාගේ ජීවිතාරක්‍ෂාව, අනෙක් නිලධාරියා විසින් සැලසිය යුතුයි. 








  • නිලධාරීන් හිගය නිසා දෙදෙනෙකු මෙසේ රාජකාරියේ යෙදෙව්වත්, එය නිවැරදි පිළිවෙත නොවේ. යටත්පිරිසෙයින් රාත්‍රී කාලයේදී, හතර දෙනෙකුවත් යෙදවිය යුතු අතර, එයින් දෙදෙනෙකු, සෑමවිටම තම අවි සූදානම්ව තබාගෙන, ප්‍රහාරයකට මුහුණ දීමට හැකි ආකාරයට ස්ථානගත වියයුතුයි. 




  • මේ සිද්ධියේදී, කුරුණෑගල රත්ගල්ල ප්‍රදේශයේ ඇති, පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරේ සහාය ලබානොගැනීම අඩුපාඩුවක්. එම කඳවුරේ නිලධාරීන්, කඳවුර පිහිටි හාල්පාරේ, (මේ පාරට හාල් පාර කියා නම වැටී තිබෙන්නේ, බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදී තිබුණු, හාල් පොලු මිරිස් පොලු වලින් ගැලවී යන්නට, විකල්ප මාර්ගයක් ලෙස භාවිත කල නිසාලු. අදටත් මේ පාරට වෙනත් නමක් නැහැ) රාත්‍රී පා මුර සංචාරයේ යෙදෙනවා මා දැක තිබෙනවා. මේ කඳවුරෙන් මීට වඩා ප්‍රයෝජන ගැනීම සුදුසු බවයි මගේ අදහස. 




  • මෙවැනි සිද්ධියකට මුහුණදීම සඳහා යාමේදී, එසේ යන පොලිස් කණ්ඩායම, නිරතුරුවම, දැන් තමන් කියන්නේ කරන්නේ කුමක්ද, ඉන්නේ කොතනද, තමන් මුහුණ දී ඇති තත්වයේ ස්වභාවය ආදිය, තම පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින්, මූලස්ථානයට දැන්වීම ඉතා වැදගත්. යම් හදිසි අවස්ථාවක් පැනනගින්නේ නම්, මූලස්ථානය පමණක් නොව, එය අසාසිටින අවට පොලිස් ස්ථානවලට පවා, ආධාරයට ඒම සඳහා, ක්‍ෂණිකව සූදානම්වීමට අවකාශ ලැබෙනවා.




  • මෙවැනි කාර්යයක් සඳහා යැවිය යුත්තේ 59 හැවිරිදි පොලිස් පරීක්‍ෂක වරයකු නොව, හැඩිදැඩි පොලිස් කණ්ඩායමකි. 

රටේත්, සමාජයේත්, සමස්ත පොලිස් සේවයේත් යහපත තකා, ශ්‍රී ලංකා පොලිස් සේවයේ වෘත්තීය කාර්යක්ෂම භාවය, මීට වඩා ඉහළට ගැනීම, පොලීසිය කරවන සියලුදෙනාගේ පරම යුතුකම සහ වගකීම බව, අවසාන වශයෙන් අවධාරණය කරන අතර, පොලීසිය, සිය සාම්ප්‍රදායික චින්තනයෙන් සහ දෙපාර්තමේන්තු හැඟීමෙන් ඉවත්ව, නව චින්තනයක් ගොඩනගා ගැනීමට, දැනටමත් ප්‍රමාදවී ඇති බවද , පෙන්වා දෙමි.
 

2016 නොවැම්බර් මස 17 වැනි දින 2343 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }