හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 October 2017

බයිසිකල් රේස් එක



මගේ පියා හොඳ ගුරුවරයෙක් නිසාම ඔහු සතු දැනුම අපට ලබාදෙන්නට නිතරම කටයුතු කළා. ඒ වගේම එය නිවැරදිව හා සදාකාලික මතකයේ රැඳෙන අයුරින් උගන්වන්නට  ඔහුට සහජ දක්ෂතාවයක් තිබුණා.

පාදපරිචාරිකාව 

දිනක්  අප සියලුදෙනා නිවසේ සිටින අවස්තාවක එවකට මා පාසලේ  7 ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන කාලයේ  එකවිටම මගේ පියා මගෙන්  ඇසුවේ

මගේ පියා - පාදපරිචාරිකාව කියන්නේ මොකක්ද දන්නවද ?

මම -  අනේ මං දන්නෑ...... 

මගේ පියා - ඇයි ළමයෝ..........  බයිසිකල් රේස් එක කියන්නේ ඒකට තමයි.

මම - අනේ යන්ඩ බොරු නොකියා ( ඔහු කියූ විලාශයෙන් හා ස්වරයෙන්  මා දන්නවා එය බොරු කියලා)

මගේ පියා - ඔය ඉතින් බොරුලු . නෑ ළමයෝ  ඒක තමයි.  දැන් බලන්න   පාද  - පැදීම  පරිචාරිකාව -    
                   බයිසිකල් රේස්  ඉතින්   හරි 

( ඔය අතර මගේ මව දැන් හිනාවෙනවා.  ඊට පස්සේ  අපේ අම්ම කීව අනේ ඔය ළමයට කෝළන් කරන්නැතුව හරි තේරුම කියන්න කියලා )

මම - අනේ.... තාත්තේ ඇත්තටම මොකක්ද තේරුම කියලා මම ඇහුවා.  මොකද ඒ වෙනකන් මම ඒ වචනේ අහලා නොතිබ්බ නිසා 

මගේ  පියා - හරි එහෙනම් මෙන්න හරි තේරුම හොඳට මතක තියාගන්න .

                       පාදපරිචාරිකාව කියන්නේ - භාර්යාව  කියලා 

 

 පාළහ

තවත් දිනයක අපි සියලු දෙනා මාතර ප්‍රදේශයේ චාරිකාවක් ගියෙමු. ඒ  මගේ ප්‍රථම මාතර සංචාරයයි. පොල්ගහවෙලින්  රැජිණ දුම්රියේ මාතරට ගමන් කළ අතර , දුම්රියෙන් බැස පිටතට පැමිණි වහාම දර්ශනය වූයේ බක්කි කරත්තයි. ජීවිතයේ සියසින් බක්කි කරත්ත දුටුවේ එදිනය. ඊට පෙර රූපවාහිනියේ  බක්කි කරත්ත දැක තිබුණි.  බක්කි කරත්ත වලින් දුම්රියපොළේ සිට කුළි රථ සේවයක් තිබුණි . එම  බක්කි කරත්ත කරුවන්  අමුතු වචනයක් කියමින් කෑගසනවා මට ඇසුණි.

කුලී රථ හිමියන්  -  පාළහයි.  පාළහයි . එන්න එන්න මහත්තයා පාළහයි.

මම -  ( සිතින් කලපනා කරන්නේ මොකක්ද මේ කියන්නේ කියාය ) තාත්තේ....... මොකක්ද? අර මිනිස්සු කියන්නේ  මට තේරෙන්නෑ..........

මගේ පියා - ආ............ දැන් තේරුනාද වෙනස  දැන් මේ අපි ඉන්නේ මාතර. මේ පැත්තේ  අය කතාකරන විදිහ ටිකක් වෙනස්.  ඒකට අපි කියන්නේ  ප්‍රාදේශීය  ව්‍යවහාර  කියලා ...........
දැන් ඔය කියන්නේ  

                                 පාළහ - ඒ කියන්නේ පහළව 

අර බක්කි කරත්තේ යන්න අය කරන ගාණ තමයි  ඒ කියන්නේ ( පුදුම නොවන්න. මං මේ කියන්නේ 1992 සිද්ධියක් පිලිබඳවය. )


සකඳ මලයි - බබළු වැලයි

මෙය නම් මගේ පියා විසින් කියාදෙන ලද්දක් නොවන අතර , මෙය වචනාර්ථයක් නොව උපමාවකි. මා මෙය  ඉගෙන ගත්තේ මගේ ගුරුතුමෙකු වූ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ  මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙනි.  ඔහු විසින් ආදී මානවයා හා ඔවුන්ගේ පැරණි තාක්ෂණය පිලිබඳ  දේශනයකදී  මෙම උපාමව ගෙන හැර පෑවේය. ඔහු පැවසූ ලෙසට මේ උපාමාව භාවිතා කරන්නේ හොඳ පෑහීමක් පිලිබඳ කියනවිටය. අපේ පැරැන්ණන්  මගුල් ගෙවල් වලදී මනාල යුවල විවාහ ජීවිතය ගතකළ යුත්තේ කෙසේදැයි විග්‍රහ කිරීමට මේ උපමාව යොදාගත් බව පැවසෙනවා.
  

මෙහිදී  සකඳ මල කියන්නේ  ඔබ දැක ඇති පොල් අතු හා උළු වහල සහිත ගෙවල්වල වහලයේ  මුදුනෙන් ගෙයට වැටෙන ආලෝක ධාරාවය. එය හොඳින් පෙනෙන්නේ අඳුරු තැන්වලදීය. එම ආලෝක ධාරාව පහළට වැටෙද්දී  එම ආලෝක ධාරාව ඇතුළත විවිධ මෝස්‌තර දර්ශනය වේ.එය බබළු වැල ලෙස හඳුන්වනු ලබයි.


විචාරක දියණිය පස්වරු 12.00 පැයට

23 October 2017

නෑ සර් මං කොලේට පිම්බා

මේ කතාවේ නම් අපේ විචාරකතුමා නෑ. මගේ පාසලේ අත්දැකීමක්. පසුගිය දවසක අන්තර්ජාලයේ තිබුණා පිනා කියලා ප්‍රින්සිපල්ට කිවුවා කියලා විද්‍යාලයක ප්‍රින්සිපල් කෙනෙක්  පැය 4ක් ළමයින්ට දඬුවම් කළ බව එය සවනට වකෙද්දී මට මෙය මතක් උණා. 2001 අවුරුද්දේ මා උසස් පෙළ කරද්දී තමයි මෙය සිදුවුණේ. 


එවකට මම 12 වසර කලා බි පංතියේ ඉගෙනුම ලැබුවෙමි. මගේ හොඳම යෙහෙළිය වූයේ  ධනුෂ්කාය. අගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව අපේ පාසලේ සිංහල ගුරුවරියක් වූවාය.  මගේ කතාවේ කතා නායිකාව ඇයයි . මිශ්‍ර පාසලක් වූ අපේ පාසල පැරණි මධ්‍ය විද්‍යාලවලින් එකකි. සුන්දර පරිසරයකින් පිහිටි මෙය ඉතා අලංකාරය . අප විසින්  අපේ විදුහල්පතිතුමාට දමා තිබූ නම "නැපෝලියන් " යන්නයි. එය කෙටි වූ විට කොල්ලන් කතා කරන්නේ "නැපා" කියාය. එයට හේතුව ඔහු වරදට දඬුවම් කරන්නේ හිත පිත් නැතිව අතර, ගුටි කන්නේ වරද කර එකා නොව වෙනත් අය වීමද විශේෂත්වයකි. හැබැයි පරම සත්‍ය නම් සියලු දෙනා ඔහුට බිය වීමයි . එය ගෞරවයට වඩා ගුටි කෑමට ඇති බියයි .


සිද්ධිය මෙසේය .


දිනක් දහවල්  විවේක කාලය නිමවී සීනුව නාද විය. එහෙත් අපේ වර්ගයාට නම් එය ගානක් නොවිණි. තවමත් පන්තියේ තැන තැනත් කොරිඩෝවලත්  කථාවේ ඉවරයක් නොතිබුණි. ප්‍රේම කථා, ලියුම් ගනුදෙනු , චන්ඩි කථා නිමක් නොමැත.( මං ඕවට නෑ. ඔය කාටත්වඩා මා මගේ පියාට බියෙන් කටයුතු කළ අයෙකි  . ) අපේ පංතියේ  අය වෙනත්  වෙනත් පංතිවලය. වෙනත් අය අපේ පංතියේය.  විදුහල්පතිතුමාගේ කාර්යාලයට යාබදව පිහිටි අපේ ගොඩනැගිල්ලේ පන්ති කාමර 5 ක් තිබූ අතර එය ආරම්භ වන්නේ  පාසලේ පිහිටි දන්ත ශල්‍යාගාරයෙනි. විදුහල්පති කාමරයේ සිට දිගු කොරිඩෝවක් හා පඩි පෙලකින් මෙය එකිනෙක සම්බන්ධ වේ . එම අවස්ථාවේ  අපට තිබුනේ ඉතිහාසය විෂය වුවත් විෂය භාර ගුරුතුමිය එදින පැමිණ නොතිබුණි. එය අපි දැන සිටියෙමු. විවේක කාලය නිමවී විනාඩි 5 ක් පමණ ගතවී තිබුනත්  එම පන්ති පහේ ගුරුවරුන්ගෙන් පැමිණ සිටියේ එක ගුරුවරියක පමණි . එයට හේතුව ගුරු විවේකාගාරය හා අපේ පංති අතර  යම් දුර ප්‍රමාණයක් තිබීමයි. 


කෙසේ  වෙතත් පංති හතරක කොල්ලො කෙල්ලන්ගේ ශබ්දය  විදුහල්පතිතුමා හෙවත් අපේ  නැපාතුමා  එළියට බැස්සවීමට සමත් විය. ඔහු කාර්යාලයෙන් පිටතට පැමිණි විට අපේ පංති සමූහයට  හොඳින් දර්ශනය වේ . එකෙනෙහිම කොල්ලෝ ටික නැපා එනවා බං කියා දුවගොස් පංතියේ  වාඩිවුණි. එය සිනහ උපදවන්නේ පංතියේ පිරිමි හා ගැහැණු ළමුන්ගෙන් ඇතැම් දෙනා අපේ පංතියේ නොව පිට පංතිවල අයය . අපේ පංතියේ වුන් අතුරුදහන්වෙලාය . කෙසේ වෙතත්  හෙමින් හෙමින් පියවර තබමින් නැපාතුමා අප පන්ති දෙසට පැමිණෙන බව දුටහ. මේ වනවිට මුළු ගොඩනැගිල්ලම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දය.කට හඬ ඇසෙන්නේ ගුරුවරිය සිටින පංතියේ ඇය උගන්වන හඬයි.


සෙමෙන් සෙමෙන්  අපේ පන්ති කාමරයේ කොරිඩෝව අසළින් ගමන් කරද්දී කිසිවෙකුත් නොසිතූ පරිදි  මා අසළ සිටි මගේ මිතුරිය උරුවම් බෑවාය. මගේ සියොලඟම වෙවුලා ගිය අතර මම අතින් ඇගේ වැලමිටට පහර දුන්නෙමි. එකෙනෙහිම විදුහල්පතිතුමාගේ දැඩි අවදානය පංතියට යොමු වුවත් එය පහව ගියේ ඇය උරුවම් බෑම නැවත්වූ නිසාය.  එහෙත් විදුහල්පතිතුමා තවම අපේ පංතිය අසලින් ගමන් කරමින් සිටියේය.  එකෙණෙහිම  ඇය නැවත වරක් ශබ්ද නගිමින් උරුවම් බෑවාය.  විදුහල්පතිතුමා ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි . අපේ කොරිඩෝවට යාබදව සිටියේ පිරිමි ළමුන්ය . විදුහල්පතිතුමාගේ කෝපයෙන් දිලිසෙන නෙත් සඟල දුටුවිට මට ඉහිලුම් නැතිවිය.( හොඳට හෝ නරකට මා  පංතියේ නායිකාව විය.)


පිරිමි  ළමුන් දෙසට  නෙත් යොමු කල ඔහු එක්වරම මහා හඩින් කෑ ගසන ලදී .

විදුහල්පතිතුමා -  නැගිටපල්ලා ඔක්කොම 

පිරිමි ළමයි - සියලුදෙනා  නැගිටුණ අතර ඔවුන් අප දස බලා රවන්නට පටන් ගත්තේ තොපි හින්දා අද කන්න වෙනවා යන හැගීමෙනි .

විදුහල්පතිතුමා - මොකාද ? දැන් උරුවම් බෑවේ ...........................

පිරිමි ළමයි  - ( අප දෙස බලමින් ඔරවමින් හා රවමින් )  සර් ... අපි නෙවෙයි සර් ...

මේ සිදුවීම යන අතර මා මගේ යෙහෙළියට පැවසුවේ  ඔයා වරද බාර ගන්න නැත්තන් අද කොල්ලෝ  ඔක්කොම ගුටි කන බව ෂුවර් කියාය. අනෙක් ගැහැණු ළමයින් ද එය අනුමත කළහ. 

විදුහල්පතිතුමා -  අපි නෙවෙයි .... අපි නෙවෙයි නම් කවුද  යකෝ ...........

ඒ අවස්ථාවේ අපි සියලු දෙනා පුදුමයට  පත් කරමින් මගේ යෙහෙළිය  පංතිය ඉදිරියට ගියාය .

ධනුෂ්කා -  සර් .................. සර්...........

විදුහල්පතිතුමා -  (රළු ස්වරයෙන් )    ඔව්  මොකද ?

ධනුෂ්කා  -  ඇය අතේ හාෆ් ෂීට් කොලයක් රෝල්කරගෙන සිටියාය . ඊලඟට ඇය කියා සිටියේ පුදුම හේතුවකි .

සර් ....සර් ............ මං උරුවම් බෑවේ නෑ සර් මං මේ කොලේට පිම්බා 


ම්....අදට සමාව දෙනවා . ආයේ අහුවෙන්න එපා .............

 විදුහපතිවරයා  පවසන ලදී . විදුහල්පතිවරයාගේ කෝපය  හමාරවී ඔහු සිනාවුන අතර එකෙනෙහිම මුළු ගොඩනැගිල්ලේම ළමයින්ගේ සිනහව රැවුදුණි.


විචාරක දියණිය  7.30 පැයට 

15 October 2017

සිහිනෙන් ඇවිදීම හා වෙරි හිඳීම




පියා අහිමිවීමේ ප්‍රතිඵලයක් ලෙස මට සිදුවූ පළමු ඇබැද්දිය පසුගිය 25 අළුයම  සිදුවිය. එනම් රාජකාරියට යාමට නිවස ඉදිරිපිට පාර මාරුවීමේදී මෝටර් බයිසිකලයක ගැටීමය. දින දෙකක් රෝහල් ගත වීමෙන් පසුව අතපය නොකැඩුනත් සිදුවුණු තැලීම් සීරීම් හමුවේ  තරමක් සුවය ලබන්නේ දැන්ය. එදවස ඔහු මා මෝටර් රථයෙන්  දුම්රිය පොළට ගෙනයන අතර එතැන් සිට රාජකාරී ස්ථානයට යනතුරු දුරකථන ඇමතුම් 3ක් වත් ලබාදෙයි . ගිය බවද ඔහුට නොකීවහොත් උදෑසන 9.00 පමණ වන විට නැවත ගනී . ඔහු ගියදා පටන් මා දිනපතා මව සමග පාරට ගොස්  බසයෙන් හා දුම්රියෙන් රාජාකාරියට වාර්තා කරයි. මෙම අනතුර සිදුවූයේ එබැවිණි.


පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ ................................

අද කථාන්දරය මෙසේ අරඹමි.



යුධ හමුදා කඳවුර නුවරඑළිය


මගේ පියා යුධ හමුදා සේවයේ යෙදී සිටියේ ඔහුගේ මවු ඒකකය වූයේ  3 ශ්‍රී ලංකා සිංහ  රෙජිමේන්තුවයි. මෙම රෙජිමේන්තු මූලස්ථානය පිහිටියේ සුන්දර නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉස්මත්තේය . එම නිසා එය රමණීය ස්ථානයක් විය. මෙහි ඇති තවත් සුවිශේෂී කරුණ වන්නේ මෙම ස්ථානය හා ගොඩනැගිල්ල  ඉංග්‍රීසි පාලන සමයේ එවකට ලංකාවේ වතුඅධිකරිවරුන් හා බ්‍රිතාන්‍ය  පාලකයන්ගේ  ළමයින් ඉගෙනගත්  පාසලක් වීමයි.  එම නිසා එය "හිල් ස්කූල් " නමින්  හඳුන්වයි. 


මෙම හමුදා කදවුරට ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස පැමිණ උප අණදෙන නිලධාරියෙකු වනතුරු තම මවු ඒකකයේ ඔහු සේවය කළේය . කෙසේ වෙතත් එහි ඇති නිලධාරී නිවස්නය හා කඳවුර ඉදිරිපිට ඇති රෝස උද්‍යානය එයට ෙප්‍රෘඩතත්වය එක්කරන ලදී . එම රෝස උයන නුවරඑළියේ  වසන්ත සැණකෙළියට සමගාමීව පවත්වන රාජ්‍ය සේවා ගෙවතු තරඟය සඳහා සෑම වර්ෂයකම තරඟ කරන අතර ජයග්‍රහණ ද  ලබා ගනී.

හරි දැන් අටුවා ටීකා ඇති කතාවට එන්ටර් වෙමුකෝ .....................

මේ නිලධාරී නිවස්නයේ විවිධ හේතූන් පදනම් කරගනිමින් සාද පවත්වනු ලබයි. නිලධාරීන්ගේ විශ්‍රාම ගැනීම් , උසස්වීම්, සංවත්සර  ආදිය ප්‍රධාන වේ . එහිදී  නිලධාරීන්ගේ පවුල්වල අයටද ඒවාට සහභාගී වීමට අවස්ථාව හිමිවේ. මෙයත් එවැනි අවස්ථාවකි . එවැනි අවස්ථාවක් එනතුරු මමත් නංගීත් බලා සිටින්නේ ඇත්තටම නුවරඑළියේ යාම හා ඇවිදීම අතිශය ප්‍රිය උපදවන කටයුත්තක් නිසාය. කෙසේ වෙතත් දිනක් එවැනි සාදයකට යාමේ අදහසින් අපි නුවරඑළියේ ගියෙමු . 

                                            රෝස උයනේ මගේ පියා සමග නංගියි මමයි  


එදින සවස පැවති උත්සවය සඳහා උදෑසන පිටත් වූ  අපි  දහවල් වනවිට කඳවුරට ලඟාවුනෙමු . උත්සවය නිමවන්නේ පසුදා අළුයම බව දන්නා නිසාම ( මධ්‍යසාර නැති උත්සව හමුදාවේ නැතිනිසා ) නවතින්නට පැමිණෙන බව කල්තියා පියා විසින් දැනුම් දී තිබුණි. ඒ අනුව මහල් දෙකකින් යුත් නිලධාරී නිවස්නයේ දෙවන මහලේ කෙලවරේ පිහිටි කාමරයක් අපට ලැබුණි . මදි නොකියන්න සීතලද තිබුණි. මේ කාමරයට පැමිණිමේදී  හැඩයට බැසිය යුතු සිමෙන්ති තරප්පු පෙළක් නැගීමෙන් අනතුරුව විශාල කොරිඩෝවක් පසුකර යුතු අතර කොරිඩෝව අවසානයේ  පොඩි ලොබියක්  තිබේ . එම ලොබියේ දකුණු පසින් කාමර දෙකක් තිබෙන අතර පළමු කාමරය අපගේ විය.  මා මෙය පැවසුවේ කථාවේ ඉදිරියට එය අවැසි බැවිනි . කෙසේ  වෙතත් පළමු මහලේ ( OFFICER'S MESS ) හිදී උත්සවය පටන් ගත් අතර  අප වැනි තවත් පවුල් කීපයක් ද නිලධාරීන් තනිවම ද උත්සවයට සහභාගී වූහ. නැටුම් ගැයුම් වැයුම් මැද මධ්‍යම රාත්‍රිය එළඹි අතර ඒ වනතුරුත්  නිලධාරීන් කිසිවෙක් ආහාර ගෙන නොතිබුණි. කාන්තාවන් හා දරුවන් පමණක් අහාර ගෙන සිටි අතර , ළමයින් එකා දෙන්නා උකුල් උඩ නිදියද්දී  කාන්තාවන්ට උත්සවය නිමා කළ හැකි බව පවසා අපි සියලු දෙනාම එතනින් පිටවී  අදාළ කාමර කරා පැමිණියහ. 




විවිධ උත්සව අවස්ථාවල ලබාගත් ඡායාරූප 

එහෙත් මගේ පියා ඇතුළු ඔහුගේ මිතුරන් මධුවිත තොලගාමින් තවදුරටත් රැඳී සිටියහ.( එකල එයට කිසිවක් කිවනොහැක්කේ  සැමදා කැලයක දිවිගෙවන ඔවුන්ට සතුටු වීමට අවස්වථාක් සපයා දුන්නේ  එවැනි  උත්සවයක් පමණක් වීමය. ) කෙසේ වෙතත් මගේ පියා එදින කාමරයට පැමිණි වෙලාව මා දන්නේ නැත. අධික සීතල පවතී බැවින් ජර්සියක් හා බ්ලැන්කට්ටුවක් පෙරවා සිටියද සීතල අධික විය .  එම නිසා නින්ද කඩින් කඩ සිදුවිය. මා තනි ඇඳකත්  අම්ම තාත්තා හා නංගි තවත් ඇඳකත්  නිදියන ලදී. වරක් බලන විට තාත්තා පැමිණ ඇතිබව දක්නට ලැබුණි. ඉන්පසු අනෙක් පසට හැරීනිදාගත් අතර එකවරම සිහිනෙන් මෙන් දුටුවේ කාමරේ දොර කවුරුන් හෝ විවර කරගෙන එළියට ගිය  බවයි. තවත් නිමේෂයක් ගතවෙද්දී අපේ අම්මා මහා හඬ දී කෑ ගැසුවේ ළමයා නෑ අනේ නැගිටින්නකෝ ළමයා නෑ යනුවෙනි . මා එකවර නැගිට කාමරයේ ලයිට් දැමූ අතර තාත්තා  විදුලි වේගයෙන් දිව ගියේය . අම්මගේ කෑගැහිල්ලට අසළ කාමරයේ තාත්තගේ මිතුරන් දෙන්නෙකු ද පැමිණි අතර සුළු වෙලාවකට පසු තාත්තා නංගි හරහට වඩාගෙන පැමිණි අතර  ඇය නින්දේ පසුවිය.  මගේ පියා පැවසූ පරිදි  ඔහුට ඇයව හමුවී තිබුනේ පහල මාලයේ සාදය තිබුණු  විශාල  ආලින්දයේ දොර ළඟදී බවයි . ඇයව තාත්තා  හුරතලයට කතා කලේ "බබ්‍බා" යනුවෙනි . එසේ  කතාකලත්  ඇය නින්දේ පසුවූ බව පවසයි .


                                        කාන්තාව සිටගෙන සිටින්නේ ආලින්දයේ දොර ළඟය 
                                         මගේ පියා සිටින්නේ තරප්පු පෙළ පාමුලය 



මේ සිදුවීම වනවිට පාන්දර 3.00 පමණ වී තිබූ අතර  කරදරයක් වූ නැතිහෙයින් සියලු දෙනා පසුව නිදා ගැනුණි. පසුදා උදයේ අපේ කාමරයට සියලු දෙනා නැගණිය බැලීමට පැමිණි අතර , ඇයට  කිසිවක් මතක නොතිබුණි . වෙරි මතින් නිදාගත් මගේ පියාගේ වෙරි හිදුන බව සියලු දෙනා හිනා ගස්වමින් ඔහු ප්‍රකාශ කළේය . එවකට මගේ නැගණියට අවු 10 ක් පමණ වූ අතර ජීවිත කාලයටම සිහිනෙන් ඇවිද ගිය පළමු හා අවසාන අවස්ථාව මෙය විය .


එම සිදුවීම සිදුවී  මාස කීපයක් ගිය පසු එම උත්සවයට නොපැමිණි  මගේ පියාගේ      යාලුවෙක් පවසා ඇත්තේ එම කාමරයෙදීම වෙනත් දවසකදී  ඔහුද එවැනි අත්දැකීමකට මුහුණ දුන් බවයි. 


විචාරක දියණිය  පස්වරු 16.00 පැයට

07 October 2017

තාවකාලික සමු ගැනීම




සති දෙකකට පෙර සිදුවූ රිය අනතුරක් නිසා ඇතිවූ අබාධ  හේතුවෙන්  

අසමි දකිමි සොයමි තාවකාලිකව නතර වූ බව මින් දන්වමි .

විචාරක දියණිය


 

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }