හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 September 2017

අලිමංකඩ පසුබැසීම හා කැලෑ උණ


එය 1998 වසර විය. මා එවකට 10 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි. එවකට මගේ පියා වවුනියාවේ සේවය කළ අතර, ඔහු අණදෙන නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන ලදී . ඔහුගේ නිලයට  එවකට ඔහුට  නවීනතම කැබ් රථයක් ලබාදී තිබුණි.  එකල  ඉදිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබුණි. දහවල් කාලයේ කඳවුරුවල රැඳී සිටියද රාත්‍රියට සියලු දෙනා කැලෑවේ බංකර තුළ දිවි  ගෙවුහ. එදිනද  එවන් එක්  රැයක් විය. පසුදා අළුයම ඔහුට අනුරාධපුරයේ  රැස්වීමකට යාමට සිදුව තිබුණි. එම නිසා ඔහු කැබ් රථය වෙනදා තබන ස්ථානයේ නොව  කැලය තුළට ගෙන්වා ගත්තේය. ඒ පසුදා අළුයමින්ම යායුතු වූ බැවිනි. 

සියල්ල කණපිට පෙරළීමට ගත වූයේ නිමේෂයකි. දිලිසෙන වෙඩි වරුසාවක්තඋතුරු අහසේ ලෙළ දෙන්නට විය . එකෙනෙහිම කාලතුවක්කු මෝටාර් ප්‍රහාර දසත ගිගුම් දෙන්නට විය. ත්‍රස්තවාදීහු අඳුරු රැයේ අලිමංකඩ  හමුදා කඳවුරේ  වතුර ළිං අත්පත් කරගනිමින් සිටියහ. ඒ විජලනය ඇතිකරමින් අප හමුදා අඩපණ කොට අලිමංකඩ යලිත් ඔවුන් සතුකරගන්නටය. ඒ රැය ඔවුන්ට ජයග්‍රහණයද  අප හමුදා විරුවන්ට මරණයද උරුමකර දුන්හ . බොහෝ සෙබළු විජලනය හේතුවෙන් මිය ගියහ. පසුදා උදෑසන වනවිට තත්වය තවත් දරුණු කරමින් අහසින් හෝ මුහුදෙන් ලඟා විය නොහැකි පරිදි කඳවුර වටකොට තිබුණි.  මුළු ඉදිරි ආරක්ෂක වළල්ලම පසුදා උදෑසන වනවිට  පසු බැස තිබුණි . තවත් වරුවක් ගතවන විට ඔහුගේ බල සේනාධිපති ඔහුව අමතන ලදී .මේ වනවිට සියලු දෙනා පසුබසින බව මගේ පියාගේ සවනත වැකුණද මෙතරම් පසු බැස්මක්  ඔහු අපේක්ෂා නොකළේය . 

බලසේනාධිපතිතුමා -  ගුනේ තවටික වෙලාවක් යනකොට ඔයා බැටෑලියන් එක අරන්  ක්ලියර් කරගෙන පස්සට යන්න . ඔයාට හමුවෙන බැටෑලියන් ඔක්කොම  එකතු කරගන්න.

මගේ පියා - සර් පස්සට යන්න. 

බලසේනාධිපතිතුමා -  ඔව් මම නැවත සනාත කරනවා.  පස්සට යන්න.

තවත් සුළු මොහොතකින් අතට ගත හැකි සියල්ල  එකතුකර ගනිමින්  ඔවුන් වනය මැදින් ගමන් ආරම්භ කරන ලදී . එහි තිබූ ප්‍රධාන ගැටලුව නම් කවර පෙදෙසකට යායුතු දැයි නිශ්චය කරගත නොහැකි වීමයි එමෙන්ම දින කීයක් කවර පැයක්  ගතවේවිදැයි කිව නොහැකි තත්වයක් උදාවී තිබුණි. 

සියලු දෙනා ඉතා දුක්මුසු වුවත් විපරමින් සතුරා පිලිබඳ විමසිල්ලෙන් ගමන් ආරාම්භ කරන ලදී .  මාර්ගයේ පයින් යාහැකිවූ නමුදු වාහනයක් ගෙනයා හැකි තත්වයක් නොතිබුණි. පුළුවන් තරමක් දුර කැබ් රථය වනය මැදින්  ගෙන ආ අතර ඉන් එහාට යා යුත්තේ අඩි පාරක් ඔස්සේය.  අකමැත්තෙන් හෝ කැබ් රථයට සමුදිය යුතුව තිබුණි. එහෙත් සතුරා අතට පත් වීමටද ඉඩ හැරිය නොහැකිය. 

අවසානයේදී  කැබ් රථය නතර කර එහි පෙට්‍රල් ටැංකියට වෙඩිතබා එය පුපුරවා විනාශ කරන ලදී. තමාගේ  බෙල්ල මිරිකනවා වැනි හැඟුමකින් එය අවසන් කර ඔවුහු  වනයේ ඉදිරියට ගමන් කරන ලදී. මගදී ඔවුන්ට තවත් එලෙස පසු බසින තවත් මගේ පියාගේ යහළුවෙකුගේ බෑටෑලියන් එකක් මුණ ගැසිණි. මේ වනවිට ඔවුන් දින දෙකකින් පමණ අහාර ගෙන  නොතිබුණි. මගේ පියාගේ යහළුවා කීවේ ද ඔවුන්ද දින කිහිපයකින් අහාර නොගත් බවයි. මහා වන මැද ඔවුන් හැකි පමණින් බත් උයාගෙන අහාර ගෙන තිබුණි. මේ වනවිට අප නිවසට  යම් පණිවිඩ ඔහු ද මගේ පියාගේ මළනුවන් ද  අපට දන්වා තිබුණි. එකම සැනසිල්ල  වූයේ ඔහු පසු බැස හෝ ජීවත්වීමය. 

තවත් සතියක් පමණ ගතවනවිට සියල්ල තරමක්  සමථයට පත්වූ අතර , ඔහු නිවාඩු ලබා ගෙදර පැමිණියේය . එහෙත් ඔහු  ඉතා  දුකට හා මහන්සියට පත්වසිටි නිසා අපි කිසිවක් නොඇසුවෙමු.   ඔහුගේ කැබ් රථයේ රියදුරා වූ සාජන් ගුණපාල පොඩි දරුවෙකු සේ අඩා වැටුණි. තවත් දවසක් ගතවන විට මගේ පියාට අධික උණ තත්වයක් ඇතිවූ අතර   ගැහෙන තත්වයටද උණ විකාරයෙන් දොඩන තත්වයටද පත්විය.  අධික බියට පත් අප සිතුවේ  කැලෑවේ  සති ගාණක් සිටි නිසා කැලෑ උණ හෙවත් මැලේරියාව සැදී ඇති බවයි . කෙසේ වෙතත් යුධ හමුදා රෝහලට ඇතුළත් කළ පසු  දැනගන්නට ලැබුණේ ඔහුගේ පිත්තාශයේ  ගල් සෑදීම නිසා  පිත්තාශය ඉවත් කළයුතු බවයි. දීර්ඝ කාලයක්  කිවුල් වතුර බීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මේ තත්වය ඇතිවී තිබුණි . 

පහතින් ඔබට එම කැබ් රථයේ ඡායාරූපයක් දැකිය හැකියි. එහි මැද සිටින්නේ මගේ පියා වන අතර , දකුණු පසින් සාජන් ගුණපාලත්  වම් පසින් උප අණදෙන නිලධාරී මේජර් ප්‍රසන්න ලියනගේත් සිටිති .




විචාරක දියණිය  00.20 පැයට 





15 September 2017

යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කථාවක් 2


නැවතුණු තැනින් ................

එදා උදේ මගේ මව මට පැවසුවේ ඇයට  අත්‍යවශ්‍ය රාජකාරී කීපයක්  සඳහා   ස්ථාන කීපයකටම යාම‍ට තියන බවයි , ඒ නිසා මට සිදුවුනා ඒ සෑම තැනකටම කතා කරන්න . විශේෂයෙන්ම කොට්ඨාස කාර්යාලයට හා කලාප කාර්යාලයට මේ ස්ථාන දෙකෙන්ම මට ලැබුණු පිළිතුර වුනේ  ඇයව උදෑසන  දුටු නමුත් මේ වෙලාවේ ඇය එම ස්ථානයේ නොමැති බවයි . අවසානේ මම අවසාන ඇමතුම ලෙස රුවන්වැල්ල රාජසිංහ මාධ්‍ය විද්‍යාලයේ විදුහල්පති තුමාව ඇමතුවා.

 

ඔහු තමයි එදා මට අස්වැසිල්ල සපයන පිළිතුර දුන්නේ.  මේ තමයි එදා දුරකතන සංවාදය 

මම - සර්  මම ............................................. දුව කතා කරන්නේ 

විදුහල්පති -  ඔව්  දරුවෝ කියන්න.  මොකක්ද ප්‍රශ්නේ? 

මම - සර්  අම්මව අද ඉස්කෝලෙදි දැක්කද ?

විදුහල්පති - ඔව් අද උදේ මම දැක්ක. කලාපෙට යනවා කියලත් කිවුවා . ඇයි මොකක්ද ප්‍රශ්නේ  ?

මම -  සර් මෙහෙ බස් එකක් ගිනි අරන්. මං හිතුවේ අම්මා එකේ හිටියා කියලා .  අනේ සර් අම්මා ආයේ ඉස්කෝලෙට  ආවොත් මට කතා කරන්න කියන්න .

විදුහල්පති - හරි  හරි මම පණිවිඩේ ඉක්මණටම  කොහොම හරි දෙන්නම්.

මම  - බොහොම  ස්තූතියි සර්  

මේ  පණිවිඩය ලබා ගත් විගසම  මම නැවත මගේ පියා ඇමතීය. ඒ වනවිට ඔහු පොල්ගහවෙල මෝචරිය ද  රෝහලේ වාට්ටුද පිරික්සා තිබුණි. මම කීවේ ඒවා අනවශ්‍ය බවත් අම්මා රුවන්වල්ලට ගොස් ඇති බවට මට තොරතුරු ලැබුණු බව හා වහාම කතාකරන ලෙස දැන්වූ බවත්ය. ඒ නිසා ඔහු  නැවත කඳවුරට ගොස්තිබුණි.

වෙලාව දහවල් 1. 00 පමණ වන්නට ඇත. මා බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම ලැබුණි . 
ඒ මගේ මවය . ඇය ඉතාම බියට පත්වූ ස්වරයෙන් ඇසුවේ මා මෙතරම් බියට පත්වූ කාරණාවය . මා මොහොතකට ගොළුවිය. ඒ සමගම මගේ නෙත් දෙකෙන් නොනවත්වා කඳුළු කඩා වැටිණි . ඉන්පසු ඇය සමග විස්තරය කියා හැකි ඉක්මණින් මගේ පියාව ද අමතන ලෙස කීවාය.  ඇය මා පවසන තුරු සිද්ධිය දැන නොසිටියාය. එමෙන්ම ඇය එදින උදෑසන 7. 00 වනවිට සිට ඇත්තේ වරකාපොළ නගරයේය. එදින සියල්ල යහපත් තත්වයට පත්වන විට සවස් කාලය එළඹිණි. මගේ මව බේරුනත් මියගිය අය වනුවෙන් අප තිදෙනාම ශෝක වූහ . තවත් සතියක් ගතවූ පසු මගේ පියා මවට ජංගම දුරකථනයක් රැගෙන දුන්නේය . 

අදද එම ස්තානය පසු කරන විට මට එම සිදුවීම මතකයට නැගේ .


විචාරක  දියණිය 23.00 පැයට 

09 September 2017

යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කතාවක් 1


ඒ 2005 අවුරුද්දය. මගේ පියා සිය සේවා කාලයේ  ක්‍රියාන්විත රාජකාරියෙන් බැහැරව සේවය කළ  එක අවථාවක් විය . ඊට හේතුව පෙර වසරේ ඔහුගේ සහෝදරයා හා ඔහුගේ පුත්‍රයා සුනමියෙන් මියයාම නිසා  ඇතිවූ චිත්ත පීඩාව හේතුකොටගෙන  වැහැර  ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ  රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්තව සේවය කරන ලදී. 

ඔබට මතක නම් ඒ මහා දුම්රිය අනතුර සිදුවූයේ මේ කාලයේය . එවකට මගේ මව රුවන්වැල්ල  කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක වරියක ලෙස කටයුතු කළ අතර මාරුවීමක් ගත නොහැකි වූ හෙයින් ඇය දිනපතා සේවයට ගියේ නිවසේ සිටය . මේ දිනවල මා විශ්ව විද්යාලවරම් ලබසිටි අතර ,  ඒ සඳහා සූදානම්ව සිටියාය. එමෙන්ම මගේ ශරීර ස්වභාවය නිසා  සෑම උදෑසනකම ජිම් එකට යාමට පුරුදුව සිටියාය.  මේ කාලය වනවිට ජංගම දුරකතනයක් තිබුනේ මගේ පියාට පමණි .

සිද්දිය මෙසේය 

සෑම උදේම  මගේ මව උදෑසන 6 .00 ට පමණ සේවය සඳහා නිවසින් පිටවේ . ඇය රුවන්වැල්ල සඳහා යන්නේ වරකාපොල හරහාය. වරකාපොල නගරයට ඉක්මනින් පිවිසීමට ඇය විසින්  දුර ගමන්සේවා බස්රථ භාවිතා කරයි. ඉතින් ඇතැම් දිනවල මා සමග පවසන පරිදි ඇය ගල්කිරියාගම බස්රථ වලද ගමන් කල බව කියයි .කෙසේ වෙතත් මෙදින උදෑසනද මවත් පියත් තම සේවයන් සඳහා නික්ම ගිය අතර මමද සුපුරුදු පරිදි  ජිම් එකට ගියාය . එය අවසන් කර  නගරයට පැමිණි මට අතොරක් නැතිව කුරුණෑගල නගරයෙන් ඇම්බියුලන්ස් හඬ ඇසෙන්නට පටන් ගත්තාය. කුමක් සිදුවී ඇත්ද  යන්න සොයා ගැනීමට සිතුවත්  ඒ සඳහා කිසිවෙකුත් නොසිටි අතර නිවසට යාම ඉක්මන් කල මම නගර මධ්‍යයෙන් බසයකට ගොඩවිය. එහිදී රියදුරු හා මිනිසෙක් කතාකරන දෙබස මගේ කන වැකිණි. එයින් ඇතිවූ බිය මට  කවරදාවත් දනී නොතිබිණ

රියදුරු - කොහේ යන බස් එකක්ද ?

මගියා -  ගල්කිරියාගම කොළඹ
රියදුරු - කීයටද වෙලා තියෙන්නේ
මගියා -  7.00 විතර තමා වෙලා තියෙන්නේ  බස් එක ගිනි අරන්  තුවාල කාරයෝ මළමිනීයි පොල්ගහවෙලයි කුරුනෑගල ඉස්පිරිතාලෙයි දෙකේම තියනවලු. කොච්ච්යට මුකුත් නෑලු . ගේට්ටුව වහලා තියෙද්දියි බස් එක දාල තියෙන්නේ . 

ඒ වන විට බසය කුරුනෑගල රෝහල පසුකරමින් සිටියේය  එතන එකම හිස් ගොඩකි සාමන්‍ය වාහන වලින්ද තුවාල කරුවන් රැගෙන එමින් තිබුණි මගේ දෙපා පන නැති තත්වයට පත්වී ආයේය. මගේ  මවත් ඒ බසයේ සිටියාද ? ඇගේ තත්වය කුමක්ද ?ප්‍රශ්න පත්‍රයක් මා ඉදිරියේ දිග හැරිණ. සියල්ලටම ගෙදර යායුතු බව මට වැටහින. බසයෙන් බැස ගෙදර  ගියේ කෙසේදැයි මට මතක නැත. ගියා නොව දිවුවාය . ස්ථාවර දුරකතනයෙන් මා පළමුව කතාකරේ මගේ පියාටය . 

මම - තාත්තේ අම්මා මට කියාගත් හැකිවූයේ  එපමණකි පියා - ඔහු මට ප්‍රථම ක්‍රියාත්මක වී තිබුණි . ඔහු සිද්දිය දැනගත් පසු  කුරුනෑගල  රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මිනී අතගා තිබුණි. ඔහු අඩමින් පැවසුවේ මම කුරුනෑගල ගිහින් බැලුවා. අම්ම කියලා අඳුරගන්න පුළුවන් කවුරුත්  නෑ. මම මිණී ඔක්කොම බැලුවා. ඒවා පිච්චිලා. මම දැන් පොල්ගහවෙල යනවා ඔයා ගෙදරට වෙලා කොහොමහරි අම්මා රුවන්වැල්ලට ගියාද කියල බලන්න කියාය. මම රූපවාහිනියද ක්‍රියාත්මක  කර ඉන්පසු බුදුන් වැන්දේ ආම්ම රැකදෙන ලෙසයි .

විචාරක දියණිය  16.05 පැයට 

05 September 2017

ඒ ඔහුය


                    උපහාර 

           මිනිස් දිවියක අරුත කිම්දැයි 

           සොයන යුගයක පහළවූ 

          අපූරු මිනිසාණෙනි ...................

          තම අඹුදරුවන්ගේ රැක්ම

          මොහොතකට  පරදුවට දමා 

          ජීවිතය යදින සිඟිති දියණියගේ 

          ඉටු දෙවියා වූ 

        නිශ්ශංක සිරිවර්ධන 

          අපේ කාලයේ වීරයාණෙනි..................

          දිද්දෙණිය වත්ත 1 වන පියවර 

          එක්සත් සුභ සාධක සමිතියේ 

          සහෘද ජනතාව විසින් 

          ඉත සිතින්  ඔබවෙත පිදෙන  

          හෘදයාංගම  උපහාරයයි මේ ........................

මේ මගේ පියා විසින් ඔහුගේ සිතුවිලි එක්කොට නිර්මාණය කළ එකකි. මෙහි පසුබිම් කතාව 2012 වර්ෂය දක්වා දිවයයි . එවකට මගේ පියා විශ්‍රාම සුවයෙන් බ්ලොග් ලියන කාලයය. ඊට අමතර වැඩක් ලෙස ගමේ සමිතියේ ලේකම් තනතුර හෙබවීය.මගේ මව සිය සේවා කාලයේ අවසන් වසර ගෙවමින් සිටියාය. මගේ පියා එකළ ඔහුගේ කාලසටහන අනුව වැඩකරන කාලයකි උදැසන 6.00 ට පමණ අවදිවන  ඔහු හේ පානයෙන් අනතුරුව පත්තර පිටුව බලා විශේෂ වැඩක් නොමැතිනම්  උදෑසන 9.00 දක්වා කාලය ගතකරන්නේ බ්ලොග් ලෝකයත් සමගය. එදින සුපුරුදූ පරිදි එවැනි උදෑසනක් විය. 

අපේ නිවසට ඉදිරිපිට නිවසේ සෑම  විටම උන්නේ කුළි නිවසියන්ය. එය සෑම අවුරුදු 2 කට වරක් බදුදෙන නිවසකි. මෙවර පැමිණ සිටිය යුවළට අවුරුදු 3ක සිඟිති දියණියක්  සිටි අතර , දියණියගේ පියා හෙවත් කපිල අයියා  වාරයේ  වැඩ කරන ලදී . ඒ නිසා ඔහු ඇතැම් දිනවල නිවසේ සිටියේ නැත. ඔහුගේ බිරිඳ හා ඇගේ අම්මා නිවසේ සිටි අතර බිරිඳ රැකියාවක් නොකළාය . එම  දියණිය ඉතා දඟකාර වූ අතර මට සිතුන ලෙස කපිල අයියාගේ බිරිඳ තරමක් වගකීම් විරහිත කාන්තාවකි. 

මෙදින උදැසන 7 .00 ට පමණ එම නිවස පිටුපසින්  එක්වරම මහා විලාපයක් ඇසුණි. එවිටම මගේ පියා ළමයෝ අර ගෙදරින් නේද කෑ ගහන්නේ කියා මා අමතුවාය. විලාපයක් ඇසුනත් මා එක්වරම බිය වූයේ එය දෙමහල්ලන්ගේ රණ්ඩුවක් නම් එයට මැදිහත්විය නොහැකි නිසාය. මේ බව පියාටද  කීවාය .තාත්තේ පොඩ්ඩක්මොකද කියල බලමු මා කීව පසු ඔහුද විමසිලිමත් විය.

 ඉන්පසුව ඇහුණේ අනේ මගේ දරුවා ................  යනුවෙන් විලාප දෙන කටහඬයි එවර  නම් තාත්තත්  මමත්  ඒ දෙසට දිවුවේ ළමයාට මොකුත් සිදුවී ඇතිබව තහවුරු වූ නිසාය . එකෙනෙහිම අපේ ගෙදර අනෙක්පස නිවසේ අයද දුව ආහ. සියලු දෙනා නිවසේ පිටුපසට දුවගෙන යනවිට දියණිය ලිඳ ඇතුලට වැටී නිශ්ශංක අයියාගේ  උරමත සිටියි. දැන් මෙහෙයුම ළමයව එලෙසින්ම තබාගෙන නිශ්ශංක අයියාව  ගොඩට ගැනීමය.  කඹ දෙක තුනක් ලිඳට දැමුවත් ඒවා යේ එල්ලීමට  නිශ්ශංක අයියට නොහැකිය . ලිඳේ ගැබුර වැඩිවීමත් උරේ ගානට තබාගෙන වතුර වලින් බේරාගෙන සිටින  ළමයා නැවත වැටේවි යන බියෙන් එක අතකින් ළමයා  අල්ලාගෙන ඔහු නොසෙල්මනව් සිටියේය. ඔහු යට යමින් උඩ එමින් කකුල් ගසමින් අපමණ වෙහෙසුනේය. ඉන්පසු දිග ඉනිමගක් ලිඳට දමා එහි ආධාරයෙන් ඔහුව ගොඩට ගන්නා ලදී ඔහු ගොඩට එනවිට  සියලු කාන්තාවන්ට එලියට යනලෙස කීවේය. හේතුව සරම ලිදේය . මගේ පියා හා තවත්  කීප දෙනෙකු  ඉනිමග නොසෙල්වන සේ  අල්ලා සිටියේය. ළමයා හා අයියා නිරුපද්‍රිතව ගොඩට ආවෝය. 

ළමයාගේ මව අඩමින් දරුවා ඉඹින විට කාගේත් නෙතකට කඳුලක් ඉනුවේය.

සිද්ධිය වී ඇත්තේ මෙසේය ළමයාගේ මව රෙදි සෝදා වැල්වල වනමින් ඉඳ ඇත. ළමයා ඒ අසල සිට ඇති අතර   ,  එම ලිඳ ගැඹුරු වුවත් ළිං ගැට්ට පාතය . ළමයාගේ අතේ බෝලයක් තිබී එය ලිඳට වැටී ඇති අතර ළමයා එය ගැනීමට ළිං ගැට්ටට නැග ඇත . එකෙහෙහිනම ළමය ලිදට වැටී ඇත. ඒ ශබ්දයට තමයි ළමයාගේ මව එදෙස බලා තිබෙන්නේ .ළමයා ඒ අසල සිටිනිසා  අක්ක අනේ මගේ ළමයා කියා කෑ ගසා ඇත. නිශ්ශංක අයියගේ නිවස හා ඒ ළිඳ අතර ඇත්තේ මීටර් 10 කටත් අඩු දුරකි. ඔහු සංචාරක් නිමවී  සිය නිවසට පැමිණ ( ඔහු  හෝටල් සංස්ථාවේ සංචාරක  මග පෙන්නනෙකු ලෙස කටයුතු කරයි . ) උදෑසන තේ පානය කරමින් කුස්සියේ සිට ඇත. ළමයා වැටෙන ශබ්ද ඔහුටද ඇසී ඇති අතර  මොකක්ද කියා සිතන්නටත් පෙර විලාපය ඇසී දුව විත් බලන විට අම්මා ලිඳට පැනීමට දඟලන බව දැක ඇයව පසෙකට තල්ලුකර ඔහු ළමයා සිටිදෙසට විරුද්ධ දිසාවෙන් ලිඳට පැන සිය උරගිසින් ළමයා ඔසවාගෙන ඇත. නැතිනම් වතුර කැළඹී ළමයා අනිවාර්යයෙන් ගැඹුරට යන බව ඔහුගේ  මතයයි. කෙසේ වෙතත් එතන සිටි සියලු දෙනා ඔහුට පින් දුන්නේය . ඔහු ද දරුවන් 3 කුගේ පියෙකි.  එදා දවසම ඒ කතාන්දරය සඳහා වෙන් විය . දරුවාගේ පියා හවස පැමිණ සියලු  දෙනාට පින් දුනි . ඊට දවස් දෙකකට පසු මගේ පියා මේක ලියා මට පෙන්වා  මේ බලන්න මම මේක සමරු පලකයක් විදියට නිස්සංක අයියට දෙනවා කියලා මා සමග කිවුවා . ඔහු  ඒක සංවත්සර උත්සවේදී පිරි නැමුවා. කපිල අයියලා ගෙදරින්ගියා .

විචාරක දියණිය 01.40 පැයට 

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }