හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 July 2017

අනුස්මරණය





තෙමසක් ගතවිය ඔහු අප හැර නික්ම         ගොසින්

ඇරයුම් කරමි ඔබ සැම හට  සැදැහැ           සිතින් 

ඇවිත් යන්න අපෙ නිවසට  බැති                සිතින් 

පින් අනුමෝදම් කරමු ඔහුට සෙනෙහෙ     සිතින් 



දිවංගත විචාරකතුමාගේ  තෙමස්පූර්ණය වෙනුවෙන්  පුණ්‍ය කර්මය ජූලි මස 28 හා 29 දෙදින අප නිවසේ පැවැත්වේ. මේ සඳහා සහභාගී  වන මෙන් ඔබ සහෘද බ්ලොග් සාමාජික සියලු දෙනාට ආරාධනා කරමු .

විචාරක  දියණිය ඇතුළු පවුලේ සැම 


වැඩි විස්තර සඳහා  බ්ලොග් සහෘද ගස්ලබ්බා මහතා අමතන්න . 


20. 45 පැයට  විචාරක දියණිය 





2016 

09 July 2017

ඔහු හා අපි .........................


ච්ත්‍රපටි බැලීම 

විචාරකතුමාගේ තාත්තා එයාල පොඩි කාලේ හැමදාම හොඳ ච්ත්‍රපටියක් ආවාම  එක බලන්න එක්ක යන පුරුද්දක් තිබිලා තියනවා, මොකද ඒ කාලේ දැන් වාගේ  සන්නිවේදන මාධ්‍ය දියුණු නැතිනිසා . පසු කාලීනව තාත්තා නැතිව, ගැන්සිපිටින් චිත්‍රපටි බලන පුරුද්දක් විචාරකතුමාට තිබිලා  තියනවා . ඒකට  හරියන්ඩම ඒ දිනවල විචාරකතුමා ඉඳලා තියෙන්නේ  චිත්‍රපටි ශාලාවක් කිට්ටුව තියන ගෙදරක . ඉතින් විචාරකතුමා ඉඳලා තියෙන්නේ එළියේ කාමරේ.  අර ශාලාවේ ෆිල්ම් එක කරකවන කොල්ල  විචාරකතුමා හොඳට යාලු කරගෙන.  ඉතින් 6.30 show එක පෙන්නනේ විචාරකතුමාට අතින් අඩ ගහලා . කරකවනවා කියන්නේ අද වගේ DVD නෑනේ  ඒ තැටිය අමුතු තාලෙටලු දාන්නේ .....  දැන් මෙයා යාලු ගැන්සියත් එක්ක ගිහිල්ලා ගැලරියේ ඉඳගෙන ෆිල්ම් එක බලනවා . ඔතන ඉන්නවා යාළුවෙක් එකම නළුවා විවිධ දර්ශන වල විවිධ ස්වරූපයෙන් ආවහම අහනවලු මූ කවුද බන් කියලා .............
 ඉතින් විචාරකතුමා කියනවලු ඒ ගාමිණි බන් .............
 ඒ අහවලා බන් ....................... ඒ උනාට මේක හරියන්නෙම නෑලු  පස්සේ විචාරකතුමා ෆිල්ම් බලන්න ගියාම ඒ යාලුවා ළඟ ඉන්දගන්නේ  නෑලු  

දවසක් ඔහොම ෆිල්ම් එකක් බලනකොට  අර යාලුවා ඇහුවලු කවුද බන් ඒ කියලා ...............

එදා විචාරකතුමා ළඟ ඉඳලා නෑ. වෙන එක්කෙනෙක් ඉඳලා තියෙන්නේ. එයා එක පාරටම කිවුවලු ........ තොගේ ............මා ඉන්නේ කියලා ......................

එදා ඉඳලා කට්ටිය නිදහසේ ෆිල්ම් බලනවලු ..........


ආයෙමත් දවසක ඔය හෝල් එකට ආවලු වැඩිහිටියන්ට පමණයි ගණයේ ච්ත්‍රපටියක් හැබැයි එක බලන්න මේ  නාඹර වයසේ පොඩිහිටියෝ ගිහිල්ලා . විචාරකතුමාට අයියයි මල්ලිලා දෙන්නෙකුයි හිටියා.  බාල මල්ලි  ඇර මේ  තුන්දෙනාගේ  වයස් අතර පරතරය තරමක් අඩුයි . ඉතින් දැන් විචාරකතුමා පුරුදු පරිදී යාලු ගැන්සියත් එක්ක ෆිල්ම් එක බලනවා . හැබැයි එදා ගැලරියේ උනාට ටිකක් පිටිපස්සේ ඉඳලා තමයි ඉඳලා තියෙන්නේ . 

ෆිල්ම් එකේ ඉන්ටවල් වෙලාවේදී ලයිට් දාපුවාම විචාරකතුමාට යාලුවෙක් කිවුවලු 
අර උඹේ මල්ලි නේද ඉන්නේ කියලා ................ බලනකොට පලවෙනි පේළියේම වාඩිවෙලා ඉන්නවලු බාප්පා ............ දැන් විචාරකතුමාට යකා නැග්ගලු . එතකොට එයත් දැකලා.  දැන් දෙන්නා සංඥා භාෂාවෙන් බැනගන්නවලු 

විචාරකතුමා - වරෙන්කො  අද ගෙදර ( අත දික්කරමින් )

බාප්පා - අනේ පලයන් යන්න,  බලපන්  පිටිපස්ස කියලා ( අතින් කිවුවලු )

විචාරකතුමා බැලුවාලු මූ මේ මොකක්ද කියන්නේ කියලා.  බලනකොට  විචාරකතුමාගේ අයියා ( ලොකු තාත්තා )  ඉන්නවලු  ODC  එකේ,  මේ දෙන්නගේ රංගනය බලාගෙන . මුකුත් දැක්කේ නෑ වගේ . ඉතින් විචාරකතුමාගේ භාෂාවෙන් කියනවානම් 

// ඉතින්   මොකේදැයි  දැන් වළදන්නේ // කියලා   හීමිට  ඉන්දගත්තලු.
එතකොටම ෆිල්ම් එක  පටන් අරගෙන 
ෆිලිම් එක ඉවරවුනාමත් ආව පරිදි  හොඳ ළමයි වගේ තනියම යන්ඩ පටන් ගත්තලු . දැන් පාරේ  යන්නේ අයියා ඉස්සෙල්ලම ඊට  අඩි 20 ක් විතර පස්සෙන් විචාරකතුමා  ඊට අඩි  10 ක් විතර පස්සෙන්  මල්ලි . ගේ ළං  උනාම  නෝ කතා නෝසිනා වගේ ගොස් , හොඳ ළමයි වගේ තම කාමර වලට රිංග ගත්තලු . 


කතන්දර කියාදීම 


ඔන්න ඉතින් පොඩිකාලේ ළමයි කවුරුත් ආසයිනේ කතන්දර අහන්න. ඉතින් අපේ අම්මා මට මතකයි  විවිධ කතන්දර කියලා දෙනවා . ඉතින්  අර ඉස්කෝලේ උගන්නපු කාලේ  විචාරක තුමාට මං කිවුවාම කතන්දර කියල දෙන්න කියල ඔහු කියන්නේ එකම කතාන්දරයයි .  ඒ තමයි  වටු කිරිල්ලිගේ කතාව. ඒකට  හේතුව මන් දන් නෑ . හැමදාම කියාන්නේ ඔය කතාව විතරයි .

ඉතින් විචාරක තුමා පටන් ගන්නවා - ඔන්න එකමත් එක කාලෙක කලෙක හිටියා වටු කිරිල්ලියක් , මේ වටුකිරිල්ලි දවසක් ගලක් උඩ බිත්තරයක් දැම්මා. බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා ............ ඉතින් ඔය විදියට කියනවා  

හැබැයි කවද ඇහුවත් කියන්නේ ඔය කතාව විතරයි .  ඒකට හේතුව මංම හොයා ගත්තා මොකද කතාව දිගයි . අවසානේ අහන්න මට ඇහරිලා ඉන්න වෙන්නෑ එයාට ලේසියි .


ඉංග්‍රීසි  ඉගැන්වීම 

විචාරක තුමාට ඉංග්‍රීසි  භාෂාව මනා ලෙස හසුරවන්න පුළුවන් . ඉතින් අපේ අම්ම අප කුඩාකල විචාරකාතුමා නිවාඩුවට නිවසට පැමිණිවිට ඔහුට පවසනවා 

අනේ,  මේ ළමයි දෙන්නත් එක්ක ඩිංගක් ඉංග්‍රීසියෙන් කතාකරන්නකෝ,  එතකොට මේ දෙන්නත් ටිකක්  ඉගෙන ගාන්නවනේ කියලා 

ඒ වුනාට  කවදාවත් ඒ කියන වෙලාවට විචාරකතුමා එහෙම කරන්නේ නෑ.......
එයා ඉංගීසි පන්තිය පටන්ගන්නේ මධුවිත ටිකක් තොල ගෑවට පස්සේ ................

එතකොට මෙහෙමයි 

විචාරකතුමා -  ළමයි ........... අද අපි ඉගෙන ගන්නේ My Self  ( ටිකක් උස ස්වරයෙන් )
                        My Name is ........................

ඔහොම ටිකක් වෙලා ගිහින් කියනවා  දැන්  බලන්න හරි ලේසියි . හෙම්බිරිස්සාව   හැදුනාම නිකම්ම ඉංග්‍රීසි පුළුවන් වෙනවා. 

මෙහෙමයි   Has shee  කිවුවාම අනෙක් කෙනා අහන්න ඕන Whos he  කියලා 
මේවගේ එකක් කිවුවාම අපට හිනා යනවා අම්මා කෝපයෙන් රතුවෙනවා . පාඩම එතකින් නිමයි . 

එදා අපිට ඔහු කියල දුන්නේ භාෂාවක් තමන් තනිව ස්වෝත්සාහයෙන් ඉගෙනගත්විට එහි මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩි බවයි. පසු කාලීනව ඔහු මාව වෙනමම ඉංග්‍රීසි කථා පුහුණුවකට යොමුකළා. නැගණියට පාසලෙන් හා උසස් අධ්‍යාපනයෙන් එය හිමි උනා ...............


බයිසිකල්  පැදීම 

මගේ මව කියන පරිදි විචාරකතුමාට  බයිසිකල් පදින  උණක් තිබුනලු . හැබැයි වේගේ වැඩියි  වගේම ඔහුටම කියලා බයිසිකලයක් තිබුනෙත් නෑ . නමුත් හදිසියට යාලුවන්ගෙන් බයිසිකල් ඉල්ලගෙන ගමන් ගොස් තිබුනා. ඉතින්  ඔහොම දවසක් ගමනක් යද්දි මතක හිටින වැඩක් වෙලා . සිද්ධිය මෙහෙමයි. 

1980 දශකයේ මුලභාගේ  ජූනි මාසයේ මුල සතියේ දිනයක හරියටම මන් ඉපදිලා  සතියකින් මගේ මවගේ මිත්තණිය මිය ගිහින් තියනවා. මගේ මව සිටි තත්වය අනුව ඇයට යාමට නොහැකි නිසා ඇය විචාරකතුමාට පැවසුවාලු , ඔයාට පුළුවන්ද  මළ ගෙදර   ගිහින් එන්න කියලා . යාළුවගේ බයිසිකලේ ගිහින් එන්න කිවුවාම,  විචාරකතුමා එක පයින් හා කියලා . 

දැන් විචාරකතුමා මළගෙදර යන්න  පිටත් වෙලා . මට කියන්න බැරි උනා, එවකට මේ දෙදෙනා ගුරුභවතුන් නිසා පාසලේ ගුරු නිවාසයේ තමයි හිටියේ . ඉතින් එතන ඉඳලා ටවුමට මහාදුරක් නෑ. ගිහින් විනාඩි පහලු ගතවුනේ මවට ආරංචි උනාලු පාර අයිනේ තිබුණු කඩල කඩයක් කඩාගෙන බයිසිකලේ පෙරළිලා කියලා . 

දැන් අම්මට "ගෙදර ගියොත් අඹු නසී  මග හිටියොත් තෝ නසී" වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ  . මාව දාල  විචාරක තුමා බලන්න යන්න විදියක් නෑ. විචාරකතුමාගේ තත්වේ දන්නෙත් නෑ.  භය බිරාන්තව ඉන්නකොට ආයේ පණිවිඩයක් ආවලු .  විචාරකතුමාටවත් , බයිසිකලේටවත් හානියක් නෑ. කඩල කඩේ කුඩු කියලා . මළ ගෙදර එතනින් ඉවරයි . බයිසිකල් පැදිල්ලත්  මගේ මව තහනම් කරාලු . ඉන්පසු 2015 වෙනකම් මන් දන්න පරිදි විචාරකතුමා බයිසිකල් පැද්දේ නෑ. 


විචාරක දියණිය 12. 25 පැයට 





                    

03 July 2017

මට ජීවිතය කියාදුන් මගේ පියා ........................


ප්‍රතිචාර දැකීමෙන් ලියන්නට සිත් වුවත් රාජකාරිය දේවකාරිය වූ නිසා මෙම සති අන්තය ගතවූයේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති විභාග රාජකාරි සඳහාය. 

 නැවතුණු තැනින් .........

       විචාරකතුමා පරිගණකයට මෙතරම් ඇලුම් කළේ ඔහු  Electronic භාණ්ඩ වලට දැක්වූ ඇල්ම නිසාය. කුඩාකල සිට සිය වැඩිමහල් සහෝදරයාගෙන් Electronic පරිපත සැකසීම ඉගෙනගත් ඔහුට  Electronic සම්බන්ධ සියලුම දේ ජානවලින් ලැබී තිබුණේය. මියෙන තුරාවට අප නිවසේ කිසිදු  Electronic භාණ්ඩයක් ඔහුගේ  පරීක්ෂාවෙන් තොරව මිලදීගෙන තිබුණේවත්, අලුත්වැඩියා කතර තිබුණේවත් නැත. ඔහු ඒවා පිටත තැනකට දුන්නේ ඔහුට එය කළ නොහැකිනම් පමණි . මාදිලිය , එහි ප්‍රමිතිය , නිමාව ඔහු සැමවිට අගය කළේය. එහිදී ඔහුට මිල වැදගත් නොවීය. එම නිසා මගේ වයසට සමාන ඇතැම්   Electronic භාණ්ඩ තවමත් අපේ ගෙදර  භාවිතා වේ. ඔහු නව ලෝකයට සැමවිටම ආසාකළ අතර තොරතුරුවලින් සන්නද්ධ විය.

ඔහුගේ  Electronic ආසාව නිසාම ඔහුගේ 50 වැනි උපන්දිනයට මවගෙන්  ඔහුට ලැබුනේ රූපවාහිනී යන්ත්‍රයකි. එයට ඔහු බොහෝ ආසා කළේය .  

ඔහු මට හා මගේ නැගණියට ආදරය හා ආරක්ෂාව සපයන්නට ගත් උත්සාහය අනන්තය. එවකට මා සිවු හැවිරිදි වියේ පසු වූ අතර අප ජීවත්වූයේ කුළි නිවසකය.එහි ලිඳක් තිබුණද , කැළණි ගඟ ආසන්නයේ ජීවත් වූ නිසා නෑම සඳහා ගඟට යාම පුරුද්දක් වී තිබුණි. මේ කාලයේ මා ඉතා දඟකාර බවද පැවසිය යුතුය. කෙස් වෙතත් ඔහුගේ රාජාකාරී ජීවිතය නිසා සැමවිටම අප ළඟ රැඳීමට ඔහුට නොහැකිවිය. දිනක් මව හා අසල නිවසක ළමයෙකු සමග දියනෑමට ගඟට ගිය අතර, ඒ වනවිට අසල්වාසී  බොහෝ දෙනෙක් ද  දියනෑමට ගඟට පැමිණ සිටියහ. ඔවුහු බොහෝ දෙනෙක් ගැඹුරු දියේ සිටියහ. මා වහා වතුරට පැනගත් පසු අම්මා කෑ ගැසුවාය.

අම්මා - ළමයෝ  ගැඹුරට යන්න එපා . ඉක්මණාට නාලා එන්න. 

එය මදකුදු ගණන් නොගත් මමත් ඇයත් ටික වේලාවකින් ගැඹුරු දියට  ගිය අතර ,  අප දෙදෙනාගේ කර වටට පමණ වතුර තිබිණි දෙදෙනාම ඇත අල්ලා සමබරතාව රැකගෙන සිටි අතර, හදිසියේම ඇය මගේ අත අතඇරියාය. සැණකින් දියට වැටුණු මා පහළට ගසා ගෙන යන බව දැනුණි. සැනෙකින්ම මට වැටහුනේ මගේ කටට වතුරපිරෙන බවත් කකුල්  ගැසුවත් වතුර වැඩි නිසා කකුල නොවදින බවත්ය. කෑ ගැසීමට වේර දරන හැම මොහොකම කටට වතුර පිරුණි. අත පමණක් දියෙන් ඔසවා ගැනීමට හකිවූ අතර  මගේ වාසනාවට ගඟේ සෑම කොනකම මා සෙවූ අම්මාට මගේ අත පමණක් දිස්වී තිබුණි. 

අනේ.......... මගේ ළමයා යයි  මව කෑ ගැසූ පසු සියලු දෙනා දුටු අතර , ඊට ඉහළ තොටුපලේ නාමින් උන් මාව දන්නා කෙනෙකු පැමිණණ මාව  හරහට වඩාගෙන ගොස්  බිම තැබූ සැනින් මට වතුර වමනය ගියේය . මගේ මෙන්ම අම්මාගේ නෑමද  අවසන් වූ අතර , ඇය මාවද කැටුව නිවසට පැමිණියාය . ඉන්පසු ටික දිනකින් නිවාඩු පැමිණි මගේ පියා නිවසට ජල සම්පාදනය ලබාගෙන නළ සවිකරන ලදී. එදිනෙන් පසු ඔහු නොමැතිව ගඟට යාම සපුරා තහනම් විය. මා ඉතා බියට පත්වී සිටි නමුත් මට කිසිවක් කීවේ නැත. 

එවැනිම මාගේ වීර ක්‍රියාවක් නිසා වයස අවු 2 දී පමණ මගේ නැගණියගේ කකුලේ  මහපට ඇඟිල්ල දෙකට මැදින් කැඩුණි. සිද්ධිය මෙසේය. එදින සවස සුපුරුදු පරිදි මගේ නැගණියට අහාර ලෙස සුප් කෝප්පයක් දුන් අපේ අම්මා ඇයව සාලයේ තබා මුළුතැන්ගෙට ගියාය. ගෙදර සියලු බිත්ති වලට හා දොර ජනෙල් ආදී සියලු වස්තූන්ට ගුරුවරිය වූ මා  බිත්තියේ යමක් ලිවීමට පැස්ටල් කූරක් රැගෙන ටිපෝව මතට නැග්ගාය . 

බිත්තිය දෙසට වැඩිපුර ඇලවීම නිසා අසමබර වූ ටිපෝව හා මා නැගණිය උඩට වැටුණි. මා ක්ෂණිකව ඉවත් වූ නමුත් ටිපෝදාරයට ඇයගේ දකුණු කකුලේ මහපට ඇඟිල්ල එල්ලෙමින් තිබුණි. ඇය ලතෝනි දෙමින් කෑ ගැසූ අතර , එතනට පැමිණි අම්මා මට දිගට හරහට පහර දී ඇයවද රැගෙන පාරට දිවුවාය. එවෙලේම පැමිණි බයිසිකලයකින් එවකට කරවනැල්ල මූලික රෝහලට ගෙන ගිය අතර , මම මෙහෙකාරිය සමග අඩමින් පාර බලා සිටියෙමි. මා ඉතා බියට පත් වූයේ ඇය මියයාවී යැයි සිතමින්ය . 

මුළු ගමම රෝහලට ගිය අතර සෑම දෙනාම අපාසු පැමිණියත් , මව හෝ නැගණිය පැමිණියේ නැත. අසළ ගෙදරක අයෙක් පැමිණි පැවසුවේ රෝහලේ දෙදෙනාම නවත්වා ගත් බවයි ඉතින් මම අඞමින්ම නින්දට ගියෙමි. එතැන්සිට මාසතුනක් ප්‍රතිකාර ලැබූ පසු දොස්තරවරු පැවසුවේ ඇගේ ඇඟිල්ල වෙන්වූ තැනින් ඉවත් කළ යුතු බවයි . දොස්තරලා සමග මහා  සටනක් කර,  මගේ පියා ඇයව සිය සහෝදරයා සිටි ( Male Nurse) කෑගල්ල මහ රෝහලට ගෙනගොස් ඇඟිල්ල මසා එන්නත් ලබාදී ඇඟිල්ල නොකපා බේරා ගත්තේය. අම්මා රෝහලේ සිටි කාලයේ හැකි අයුරින් මා සමග කාලය ගෙවීමට ඔහු උත්සාහ කළේය. 

ඔහු අපට රසවින්දනය කියා දුන්නේ කුඩාකල සිටය. නිදාගැනීමට යන අතරතුරේදී ඇසීමට සලස්වන්නේ ඔහු විසින් පටිගත කරගන්නා ලද  වේදිකා නාට්‍ය ගීත , පැරණි හින්දි ගීත වැනි දේය. ඒ නිසාම අපිත් ඒ රසට වහ වැටුණි. කෙසේ වෙතත් පරම්පරා ගැටුම සැම විටම පොදු ලක්ෂණයකි. 

එනම් ඔහුගේ පියා ඔහු වික්ටර් රත්නායක මහතාගේ ගීත අහනවාට විරුද්ධ විය . ඔහුගේම වචන වලින් කියතොත්  
මොකාද ඔය වික්ටර් ? යනුවෙන්  විවේචනය කර ඇත. මගේ පරම්පරාවේ දී  අප දෙන්නා 
භාතිය - සන්තුෂ්ගේ ගීත අසනවිට ඔවුන්ව විවේචනය කළේය . 


ගැහැණු දරුවන් ගේ දොර වැඩ නොදන්න්නවා නම් බැනුම් අහන්නේ දෙමවුපියන්ය . මේ ඔහු අප දෙදෙනාට කුස්සියේ වැඩ ඉගැන්වූ ආකාරයයි . ඔහු නිවාඩුවට නිවසට පැමිණි පසු රූපවාහිනිය නරඹන්නේ  ඔහුත් මමත් නැගණියත්ය. දිනක් එලෙස රූපවාහිනී නරඹමින් සිටි අතරතුර ඔහු විසින්  එය ක්‍රියා විරහිත කරන ලදී . අප දෙදෙනාම පුදුමසහගත ලෙස ඔහු  දෙස බැලූ අතර සිනාමුසු මුහුණින් ඔහු පැවසුවේ 

දැන් දෙන්නම කුස්සියට ගිහිල්ලා පැය භාගයක් අම්මාට උදවු කරලා එන්න. එතකන් ටිවී එක බලන්නේ මම විතරයි . 

අප දෙදෙනා කුස්සියට ගියපසු මුලින් මුලින් අම්ම කිසිදු වැඩක් නොදුන් අතර ඔන්න ඔහේ ඉඳගෙන ඉඳලා යන්න කියපු අම්මා පසුව හෙමින් හෙමින් අපට උයන පිහන වැඩ ඉගැන්නුවාය . එහි ප්‍රතිපලයක් ලෙස මගේ නැගණියට කුඩා වයසේම  දරලිප පත්තුකිරීමට හැකිකිවිය . 


අප දෙදෙනාගේ අධ්‍යාපන සාර්ථකවයේදී  ද  නිරතුරුව සතුටු වූ ඔහු අප හැරදා යාම අපගේම අභාග්‍යයකි .................

මතු  භවේදීත් ඔබ මගේ පියා වේවා .........................


විචාරක දියණිය  22. 50 පැයට
 

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }