හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 October 2016

අතුරුදහන් වෙන්න ඕනෙද?............... එහෙනම් මෙන්න ක්‍රමේ

   අතුරුදහන් වීම හෙවත් අන්තරස්දාන වීම ගැන, අපේ සමාජයේ නානාප්‍රකාර කියමන් තියනවා. 'මේ දැන් මෙතන හිටියා/තිබුණා, කොහාට අන්තරස්දාන වුණාද දන්නේ නෑ' කියන කියමන, නිතර අහන්න දකින්න ලැබෙනවා. මතකද ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලෙන් අන්තරස්දාන වෙලා මොකක්හරි අණ්ඩපාල වැඩකට යනවා, ගෙදරින් අන්තරස්දාන වෙලා, බජාර් එකේ කට්ටිය එක්ක, සමාගම් පවත්වන්න යනවා. ඇයි ඉතිං, ප්‍රේමාවතීලා ප්‍රේමදාසලා, කොච්චර නම් අන්තරස්දාන වෙනවද පෙම් කෙළිය වෙනුවෙන්. 

   නමුත් අද මම ඔබ සමග සාකච්ඡා කරන්න යන්නේ ඒ විදිහේ තාවකාලික අතුරුදහන්වීම් ගැන නෙවෙයි. ස්ථිර අතුරුදහන්වීම් ගැනයි. හෙහ් හෙහ්, බයවුනාද? ටිකක් තරහත් ආවද? මේ යකා මිනීමරන වැඩ ගැන නේද කියන්නේ කියලා. නැහැ නැහැ, ඔය අපේ රටේ කුප්‍රකට සුදු වෑන්, කළු ඩිෆෙන්ඩර්, ගැන නෙවෙයි මේ කියන්නේ. 

   ඇත්තටම මිනිස්සු අතුරුදහන් වෙනවද? එහෙම අතුරුදහන් වෙන්නේ ඇයි? එහෙම අතුරුදහන්වීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද යන කාරණා අපි සලකා බලමු. 

   අම්මපා මට අතුරුදන් කරවන්න ඕනේ එවුන් ලැයිස්තුවක් ඉන්නවා, අර කමකට නැති විදනයා, ඕකා මට වලා කිව්වා, ඊයේ පෙරේදා, සඳුමල්ගේ ගේ අඩවියේදී, නමුත් කිව්වේ නෑ කළු වලා ද, නිල් වලා ද, සුදු වලා ද,  කියලා. ඒ වගේම මට නාකිවිසේ කියන අර ලැට්ච්චරයා, එතකොට අර කමකට නැති කොමෙන්ට් ගහන දෙමළ නයන්නා, අහුවෙයව්කෝ මට. මම තොපි ඔක්කොම අතුරුදන් කරනවා මන්තර බලෙන්.  

   මේ ලිපිය ලියන්න පාදක වුන කරුණක් තමයි, ඊයේ පෙරේදා දවසක අපේ දොස්තර මහත්තයාගේ ලිපියක තිබුණු, අතුරුදන්වීමේ කතාව. ඒ කතාව අනුව, සිය බිරිඳ සහ දරුවා ඝාතනය කල එක්තරා වෛද්‍යවරයෙක්, අධිකරණ ක්‍රියාමාර්ග පැවැත්වෙන අතර, අතුරුදන් වී තිබෙනවා. මා ඔබ සමග කතාකරන්න බලාපොරොත්තු වන්නේ, අන්න ඒ ආකාරයේ අතුරුදන්වීම් ගැනයි.

   කිසියම් අපරාධයක ගොදුරක් වීමෙන් තොරව, සිය කැමැත්තෙන් අතුරුදන් වන මිනිසුන් ලෝකයේ ඉන්නවද? අපොයි, එක අවුරුද්දකට, ලක්ෂ ගණනක්, එහෙම සිය කැමැත්තෙන් අතුරුදන් වෙනවා. අපේ රට පුංචි රටක් නිසා, අතුරුදන් වී ජීවත්වීම ටිකක් අමාරුයි. කොහෙන් හෝ තම මුල් අනන්‍යතාව එලියට එනවා. 

   නමුත්, 1971 කැරැල්ලේ ප්‍රබල සාමාජිකයකු වන මගේ මිත්‍රයකු, 1998 වර්ෂයේදී, මට අහම්බෙන් මුණගැහුණා. ඔහු 1971 කාලයේදීම අතුරුදන් වූ කෙනෙක්.  ඔහු මගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලුවා, ඔහු ගැන කිසිවක් හෙළි නොකරන ලෙස. අද ඔහු ජීවත්වන්නේ, බස්නාහිර පළාතේ. 

   මිනිස්සු මෙහෙම ස්ව කැමැත්තෙන් අතුරුදන් වෙන්නේ ඇයි?

  • ගෙවාගත නොහැකි තරම්, ණය උගුල් වල පැටලීම නිසා, එයින් ගැලවෙන්නට. 

  • සමහරවිට, තම රැකියාවට අදාළ මූල්‍ය වංචා, අල්ලස්, දූෂණ, ආදිය නිසා, වරදකරුවකු වී, සිරගෙට යන්නට සිදුවන බව පැහැදිළි වීම.

  • පවුල් ජීවිතයේ ඇතිවන, අර්බුද, ආරවුල්, සණ්ඩු සරුවල් සහ/හෝ, වගකීම් දරන්නට ඇති නොහැකියාව හෝ අකමැත්ත.

  • මේ සියල්ලෙන් වෙන්වී, අලුත් ජීවිතයක් පටන්ගත යුතුයැයි, කාලයක් තිස්සේ හෝ එකවරම, සිතට එන අදහස ක්‍රියාත්මක කිරීම. 

  • යම් යම් අපරාධ වලට සම්බන්ධ තම අතීතය වසා දමා, නව ජීවිතයක් ඇරඹීම. 

   මා හිතනවා ඔබ තවත් හේතු ඉදිරිපත් කරනු ඇතැයි කියා. 

   හොඳයි, ඉතින් කොහොමද අතුරුදන් වෙන්නේ? මේ සඳහා ඔබට යම් සැලැස්මක් තිබිය යුතුයි. ලෝකයේ විවිධ රටවල පුද්ගලයන්, තම රටේ ස්වභාවයට ගැලපෙන ක්‍රමවේදයක් හදාගන්නවා. දේශසීමා මගින් තවත් රටකට යාව තිබෙන රටවල නම්, මෙය තරමක් පහසුයි. දේශසීමාවෙන් පැන්නට පස්සේ, නොයෙක් මාර්ග හොයාගන්න පුළුවන්, අලුත් අනන්‍යතාවක් හදාගෙන ජීවත්වෙන්න. 

   මතකයි නේද අයික්මාන් සිද්ධිය? ඒ විදිහට අතුරුදන් වී, තවමත් සොයාගත නොහැකි පුද්ගලයන්, ලෝකයේ ඕනෑතරම් ඉන්නවා. 

   අතුරුදන් වන පුද්ගලයන් වැඩිපුරම අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ, අනවරත ගමනක යෙදෙන්නෙකු හෙවත්,  හෝබෝ කෙනෙකු බවට පත්වීමයි. තම අනන්‍යතාව සඟවාගෙන, එදිනෙදා කුමක් හෝ තාවකාලික වැඩක් කර, කීයක් හෝ උපයාගෙන, නොනවතින ජීවිත ගමනක යෙදීමයි, හෝබෝ වරුන් කරන්නේ. මා හිතනවා අපේ රටෙත් එවැනි අය ඇතැයි කියා. 

   මෙසේ අතුරුදන්වීම සඳහා, වයස බලපාන්නේ නැති තරම්. ගැටවර වියේ සිට අවරුදු 70 ඉක්මවූ අය දක්වා විවිධ වයස් කාණ්ඩ වලට අයත් ස්ත්‍රී/පුරුෂ දෙපක්‍ෂයේම අය, අතුරුදන් වෙනවා. 

   මෙතනදී මා, යුද්ධ කලකෝලාහල, සුනාමි, නාය යෑම්, සුළි සුළං, ගංවතුර, වැනි ස්වභාවික විපත් සහ වනයේ සංචාරයට යාම, තනිව යන මුහුදු ගමන්, කඳු නැගීම්, ආදී ත්‍රාසජනක ක්‍රියා නිසා අතුරුදන්වීම් ගැන කතාකරන්නට උත්සාහ කරන්නේ නැහැ.

   මෙලෙස අතුරුදන්වීම නීත්‍යානුකූලද? මා හිතන්නේ නැහැ එය නීත්‍යානුකූල යයි කියා. ඒ නිසා, ඔබ අතුරුදන් වනවා නම්, එහි සම්පූර්ණ වගකීම තිබෙන්නේ ඔබේ අතේ. 

අතුරුදන්වීම සඳහා යොදාගතහැකි ක්‍රමවේද මොනවාද?

  • තමා සියදිවි නසාගත් හෝ, ස්වභාවික හේතුවක් නිසා මියගිය බව, සමාජයට ඒත්තු ගැන්වීම.

  • තමා පැහැර ගැනීමකට ලක්වූ බව ඒත්තු ගැන්වීම.

  • කිසිවකු හෝ නොදන්නා හේතුවක් නිසා අතුරුදන්වීම.

  • රැකියාවක් හෝ අධ්‍යයන කටයුත්තක්, සංචාරයක්, සඳහා විදේශ ගතවීමෙන් පසුව අතුරුදන්වීම. 

   අතුරුදන්වීම සඳහා සාර්ථක සැලැස්මක් හදාගන්නේ කොහොමද? 

   පළමුවැනි දේ තමයි තමන් අතුරුදන් වෙන්න හිතා ඉන්නවා කියා කිසිම කෙනෙකුට කල්තබා දැනුම් නොදීම. 

   අද ඉතාලියේ ඉන්න මගේ හමුදා ගෝලයෙක්, (කවුද? පිස්සුද, ඒකා ගෝලයෙක් ද? ඌ දන්නේ 'පාද්රේ' වගේ ෂෝ එක දාන්න විතරයි) 1999 දිනක මට කිව්වා, සර් මට පොඩි උදව්වක් කරන්න කියා. ඔහු මගෙන් උපකාරයක් ඉල්ලුවා, හදිසියේ ලංකාවට එන ඔහුගේ සහෝදරයා රැගෙන එන්න, වාහනයක් ලබාදෙන්න කියා. 

   වැඩි හොඳට මම ම ගියා උදව්වට. ඔහු ලොකු බෑග් එකකුත් පටවාගත්තා වාහනයට. මම ඇහුවා ඒ මොකටද කියා. ඒක සහෝදරයා කලින් එවපු එකක් බවත්, එය ඔහුට ලබාදෙන බවත්, ඔහු කටුනායක සිට වෙනත් නිවසකට යන බවත්, කිව්වා. ගුවන් තොටුපොළට ගියපසු, ඔහු මගේ අත්දෙක අල්ලාගත්තා. දෑසේ කඳුළු පිරී තිබුණා. 

   'සර්, මම අද හමුදාවෙන් පැනලා ඉතාලියට යනවා. මට සර් විතරයි විශ්වාස, සර් අවුරුද්දක්වත් යනකල් මේ ගැන කාටවත් කියන්න එපා' කියා, ඔහු මට සමුදුන්නා. අද ඔහු, ඉතාලියේ හෝටලයක front office manager ලෙස සේවය කරනවා. 2005 න් පසු කීපවතාවක් ලංකාවට ආවත්, ඔහු හමුදාවට අහුවුනේ නැහැ. අපි අල්ලලා දුන්නෙත් නැහැ.

  ඊළඟට වැදගත් කාරණේ, තමන්ට බොරු අනන්‍යතාවක් හදාගැනීම. හොර පාස්පෝට්, හොර හැඳුනුම්පත්, හොර රියදුරු බලපත්‍ර, සකසා ගැනීම සහ ඒවායේ නම ගම, තමන්ගේ නියම නමගම නොවීම මෙන්ම, අලුතෙන් රැවුල්, කණ්නාඩි, මුහුණේ ලප ආදිය එකතුකොට, තමාගේ නියම පෙනුම වසන් කරගැනීම. මේවා මහාලොකු වැඩ නෙවෙයි. සල්ලි වලට මේ ඔක්කොම කරගන්න පුළුවන්.

   තමන් මියගිය බව/දිවිනසාගත් බව පෙන්වීම. 

  මෙතනදී ඉතා පරෙස්සම් වියයුතු කරුණු තිබෙනවා. තමන්ට තියෙන්නේ, අපරාධ, වංචා, දූෂණ, සම්බන්ධ අතීතයක් නම්, පොලීසිය මේ වගේ 'මියයෑම්' විශ්වාස කරන්නේ නැහැ. සෑහෙන කාලයක්, මේ මියයෑම පස්සෙන්, පොලීසිය එලවනවා. ඒ නිසා, තමන් මියයනවා නම්, පිළිගතහැකි ආකාරයකට මැරෙන්න. (ඒ රඟපෑම කරන්න) ගඟේ මූදේ පැන්නම, මිනිය හොයාගන්න පුළුවන් බොහෝවිට. මිනියක කෑලි/ඇටකටු හම්බවුනත් ඇති, DNA පරීක්‍ෂණයක් මගින් ඇත්ත හෙළිකරගන්න. ඒ නිසා, මැරෙනවානම් හරියට මැරෙන්න. 

   කොහොමද හරියට මැරෙන්නේ? ඉතිරිවී ඇති සාක්‍ෂි, විශ්වසනීය වියයුතුයි. මළ සිරුරක් හමු නොවිය යුතුයි. 

   ඔබ අපරාධකරුවකු නම්, අතුරුදන්වීම පහසු නැහැ. මන්ද ඔබේ මානසිකත්වය ස්ථාවර නැහැ. ඔබ සිත පාලනය කරගත්තේ නැතිනම්, අතුරුදහන් වීමෙන් පසුවත් ඔබ අපරාධ කරන්නට පෙළඹෙනවා. ඔබ එසේකොට හසුවුවහොත්, ඔබේ අතීතයත් එලියට එනවා. ඔබට එවැනි දුර්දාන්ත අතීතයක් ඇත්නම්, මුලින්ම කලයුත්තේ, අතිශයින් විශ්වාසවන්ත කෙනෙකුගේ ආධාරය යටතේ, හැකිතරම් කල් සැඟවී සිට, පසුව අනන්‍යතාවය වෙනස් කරගැනීමයි. නමුත්, ඔබට ආධාර කරන තැනැත්තා, පොලීසිය විසින් අටවන උගුල් වලට හසුවීමේ, දැඩි අවදානමක් තිබෙනවා. 

   ඒ නිසා ඉතා හොඳින් සැකසූ සැලැස්මක් තිබිය යුතුයි. ජංගම දුරකථන වලින් පණිවිඩ හුවමාරුව අන්තිම භයානකයි. දෙදෙනාටම ඊ මේල් පහසුව ඇත්නම්, නව ඊ මේල් ගිණුම් සාදාගැනීම සහ නිරන්තරව පාස්වර්ඩ් වෙනස්කිරීම කලයුතුයි. 

   අතුරුදන්වීම සඳහා ලැබෙන, බලාපොරොත්තු රහිත අවස්ථා;

  • තමන්ගේ සේවා ආයතනයෙන් ලැබෙන විදෙස් සංචාර. (සම්මන්ත්‍රණයකට, ව්‍යාපාරික කටයුත්තකට, වැඩිදුර අධ්‍යයනයකට) 

  •  ක්‍රීඩා හෝ විශේෂ කුසලතා වෙනුවෙන් ලැබෙන විදෙස් සංචාර. 


  • විදේශ රැකියා.  


   අතුරුදන්වීම සිතාසිටිනවානම්, මෙවැනි අවස්ථා ලැබෙයි සෙවිල්ලෙන් සිටීම සහ ඒ සඳහා යම්කිසි සැලැස්මක් සකසාගෙන තිබීම වැදගත්. 'උඹ කොහොමහරි මෙහාට පැනපන්, මම උඹව බලාගන්නම්' කියන, විශ්වාසවන්ත යාළුවන් ඒ රටේ ඉන්නවානම්, වැඩේ පහසුයි.

පනින්න පෙර සිතා බලනු 

   ඔබ අතුරුදන්වීමට සූදානමක් ඇත්නම් පහත දැක්වෙන කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. 

  • ඔබ, මොකුත්ම බැරි, නිකම්ම නිකම් නිකමෙක් නම්, වැඩේ හරියන්නේ නැහැ. ඔබ සතුව යම් දක්ෂතා, කුසලතා, හැකියා, තිබිය යුතුයි. භාෂා දැනුම, කාර්මික/තාක්ෂණික දැනුම, අඩුගානේ පාර අතුගාන්නවත් දැනුමක් තිබිය යුතුයි.
  • වයස ගැන හිතන්න. ඔබට පුලුවන්ද සියල්ල අතහැර ගොස්, තනිව දරාගෙන ඉන්න? ඔබේ සෞඛ්‍ය තත්වය කොහොමද? මේ වයසේදී ඔබට පුලුවන්ද, කටුක දේශගුණික තත්වයන් යටතේ, එය දරාගෙන රැකියාවක් කරන්න? රැකියාවේ ඇති අවදානම් සහගතබව දරාගන්න? නැවක, ගල් අඟුරු ආකාරයක, මුහුදේ ඇති ඛනිජ තෙල් අටල්ලක, ඔබට සේවය කළහැකිද? 

පොඩි ට්‍රයල් එකක් දාලා බලන්න බැරිද?

   පිස්සුද? අතුරුදන්වීමේදී ට්‍රයල් නැහැ. එහෙම කෙටි කලකට අතුරුදන් වුනොත්, ඊළඟ වතාවේදී ඔබ අතුරුදන් වුනාම, ඔබ කලේ හිතාමතා අතුරුදන්වීමක් කියලා හිතන්න 100% ක් ඉඩ තියනවා. ඒ නිසා  ට්‍රයල් එකක් කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ අය සමග සම්බන්ධතාවය තබාගනිමින්. ඒ කියන්නේ, ඔබ ඉන්නේ වෙනත් රටක නම්, අනේ බලන්නකෝ මම අතරමං වුනානේ' කියා, ඔබේ පවුලේ යට අඟවා,  ඒ රටේ අලුත් අනන්‍යතාවක් හදාගන්න පුලුවන්ද කියා හොයාබැලීම කලහැකියි. සමහර රටවල, පුද්ගල අනන්‍යතාව එතරම් භාරදූර ලෙස සැලකිල්ලට ගන්නේ නැහැ. 

   සමහර අතුරුදහන් වන්නන් කරන, භයානක වැඩක් තියනවා. ඒ තමයි, වෙනත් කෙනෙකුගේ අනන්‍යතාව සොරාගැනීම. ඒ කියන්නේ, වෙනත් පුද්ගලයකුගේ උප්පැන්න සහතිකය, හැඳුනුම්පත, ගමන් බලපත්‍රය ඒ පුද්ගලයාගේ නම තිබියදී, තමන්ගේ ඡායාරූපය යොදා සකසාගැනීම. මේ මගඩිය, අද බොහෝ රටවල සිදුකෙරෙනවා. මේ විදිහට අනන්‍යතාව වෙනස් කරගත්තම, කාටවත් නොදැනෙන්න, රටකින් රටකට පනින්න පුළුවන්.

   මතකතියාගන්න, අද කාලයේ, එක තත්පරයක් ඇති, ඔබේ හැඳුනුම්පතේ, ණයවර පත්‍රයේ, උප්පැන්න සහතිකයේ, විවාහ සහතිකයේ, ගමන් බලපත්‍රයේ, බැංකු ගිණුම් පොතේ, රියදුරු බලපත්‍රයේ, ඇති තොරතුරු සියල්ල සොරාගන්න. 

   ඒ වගේමයි, ඔබේ ඊ මේල් ගිණුමටත් රිංගන්න පුළුවන්කම තියනවා. 

  අතුරුදන්වීමට අලුතෙන් ලිපි ලේඛන සාදාගැනීමේදී කරන කපටිකමක් තමයි, ඉතා දීර්ඝ හෝ කියවා මතක තබාගැනීමට අපහසු නම් යොදාගැනීම. 

 'අංගම්මන රන්පන්හිඳ ලත්, විජේසුන්දර වාසල බණ්ඩාර මොහොට්ටි රාලලාගේ සඳුන් චමුදිත මේඝවර්ණ සම්පත් බණ්ඩාර අංගම්මන' 

   කොහොමද වැඩේ? මතක තියාගනිල්ලකෝ.    

   'අන්ද්‍රයස් පපන්ද්‍රයස්' කිව්වම, නම කෙටි වුනත් මතක හිටින්නේ නැහැ. පේනවා නේද අපි ජීවත්වන ලෝකයේ හැටි. 

   අතුරුදන් වන පුද්ගලයන්, ඊළඟට කරන වැදගත්ම දේ තමයි, තමන් අලුතෙන් ආව පළාතට, රටට, අදාලව, බැංකු ගිණුම්, රියදුරු බලපත්, වෙනත් එවැනි ලිපි ලේඛන, සකසා ගැනීම. එවිට ඔහුට ඒ පලාතට රටටයම් අයිතිවාසිකමක් ගොඩනැගෙනවා. 

  හොඳින් සැලසුම් කර අතුරුදන් වන්නේ නම්;

අතුරුදන්වීමට මාස 12 කට පෙර;

  • වෙන්වීම, තනිවීම පිලිබඳ කිසිදු චකිතයක්, කම්පනයක් නැතිව, ඔබට මේ දේ කළහැකි බව සිතෙන් තහවුරු කරගන්න.

  • කවදා කොහොම කොතනටද යන්නේ කියා, ස්ථිරව අධිෂ්ඨාන කරගන්න.

  • අතුරුදන්වීම සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තුවන මුදල්, රහසිගත ස්ථානයක හෝ රහසිගත ගිනුමක තනාගන්න.

  • අදාළ සියලු ලිපි ලේඛන කිසිවකුගේ නෙත නොගැටෙන, සැක ඇති නොවන තැනක තබාගන්න.

  • ඉදිරියේදී කිරීමට නියමිත කිසිදු කාර්යයක් පිළිබදව, අවිනිශ්චිත තත්වයන් ඇති කර නොගන්න.

අතුරුදන්වීමට මාස 9 කට පෙර;


  • ඔබ යාමට නියමිත ස්ථානය පිලිබඳ දැනගතහැකි සියලු තොරතුරු ඔබේ රහසිගත ගොනුවේ රැස්කරගන්න. සිතියම්, දුරකථන අංක, බැංකු, රජයේ කාර්යාල, දුම්රිය/බස්රිය නැවතුම්පොළවල්, බස්/දුම්රිය කාලසටහන්, නවාතැන්, සැඟවී සිටීමට හැකි තැන්, ආදිය.

  • එහි ළඟාවූ අවස්ථාවේ සිට කරන කියන දෑ, පියවරෙන් පියවර සැලසුම් කර තබාගන්න. විකල්ප ක්‍රියාමාර්ග ද, සටහන් කර තබාගන්න. 

  • භාෂාව පිලිබඳ ගැටළු මතුවේනම්, එයින් ගැලවෙන ක්‍රම සැලසුම් කරන්න.

  • කරන්නට යන රැකියාව ගැන, දක්ෂතා කුසලතා වර්ධනය කරගන්න.

  • ඔබ සමග දැන් සිටින අය රැවටීමේ ක්‍රියාමාර්ගයක්, ප්‍රදර්ශනය කරන්න. ඔබ සංචාරයට ප්‍රිය කරන බව, රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කිරීමට අවස්ථාවක් හොයන බව, ආදිය.

  • අතුරුදන්වීමේ අරමුදල තවත් තරකරගන්න.


අතුරුදන්වීමට මාස 6 කට පෙර;


  • තමන්ගේ ගමන වසන් කිරීම සඳහා, අන්‍යයන් රැවටීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. රතුකුරුස සංවිධානය වැනි සංවිධානයකට බැඳී, ලෝකයේ දිළිඳු රටවලට උදව් කරන්නට යන්න ඇත්නම් හොඳයි, එවැනි පුහුණුවක් සඳහා බැඳෙන්න කැමතියි, වැනි අදහස් පතුරවන්න.

  • දින දෙකතුනකට සීමාවන නිවාඩුවක් සඳහා, ඔබ පැනයාමට බලාපොරොත්තුවන රටට ගොස්, තොරතුරු අධ්‍යයනය කර ඒමට හැකිනම් ඉතා හොඳයි. නමුත් මෙය ඉතා අවදානම් ක්‍රියාවක්. ඔබ ගැන, කිසිවකුටත් සැකයක් ඇති නොවිය යුතුයි. 

  • ඔබ ඔබේ පරණ නම වෙනස්කර, අලුත් අනන්‍යතාවක් හදාගත්තා නම්, නිතර ඒ අලුත් නම මෙනෙහි කරන්න. ඔබේ නම කුමක්ද කියා අසන පැනයට, ඒ නම කියා උත්තර දීමට පුහුණුවන්න. වරද්දගන්න එපා. ඔක්කොම ඉවරයි වැරදුනොත්.

  • නැවතත් ඔබේ අරමුදල වැඩිකර ගැනීමට බලන්න.


අතුරුදන්වීමට මාස 3 කට පෙර;

  • අතුරුදන්වීමේ සැලැස්ම, නැවත මුලසිට ගැඹුරින් අධ්‍යයනය කරන්න. ඉතා සියුම් තැන් පවා, නිවැරදි කරගන්න.

  • භාෂා හැකියා හැකිතරම් ඔප්නංවාගන්න.

  • ගමන් බලපත්‍ර, වීසා, කිසිදු සැකයක් ඇති නොවන පරිදි තිබෙන බව, තහවුරු කරගන්න.

  • මුදල්, විදේශ මුදල් වලට හුවමාරු කරගැනීම හෝ බැංකු සහතික බවට පත්කරගැනීම ගැන, තීරණය කරන්න. 

  • ගුවන් ටිකට්පත මිලදීගෙන, ගමන තහවුරු කරගන්න.

හොඳයි එහෙනම් සුබගමන් ඈ. ගියාට පස්සේ මේ සැලැස්ම කියලා දුන්න අපිව අමතක කරන්න එපා හොඳද?

මේ ලිපියේ මූලාශ්‍රය රහසිගතයි. 

2016 ඔක්තෝබර් මස 25 වැනි දින 2355 පැය 

114 comments :

  1. මගේ පාසල් යාලුවෙක් 1985 දී බාලදක්‍ෂ ජම්බෝරියකට කැනඩා විත් ගල් උනා. ඔහු තාමත් කැනඩාවේ . වෙනත් අනන්‍යතාවයකින් ඉන්නේ. එම නිසා පරණ යාලුවන් හමු වීමටවත් එන්නේ නෑ (වරක් සිංහබාහු පෙන්නන්න කැනඩා විත් සිංහයා මොන්ට්‍රියොල් පැන්නාලු , සිංහ සීවලී ටොරොන්ටෝ වල ආප්ප කඩයක ජොබ් එකක් හොයා ගත්තලු. සිංහ සීවලී ගේ නංගී හැමිල්ටන් ගියාලු. සුප්පා දේවි ස්කාබරෝ වල නෑ ගෙයක හැංගුනාලු. පොතේ ගුරා හැමෝගෙම අම්මලා මතක් කරමින් ලංකාවට ගියාලු

    ReplyDelete
    Replies
    1. පොතේ ගුරාටත් පොත් කඩේකවත් ජොබ් එකක් හොයාගෙන පාෂාණිභූත වෙන්නයි තිබ්බෙ...හෙහ්,හෙහ්,

      Delete
    2. කැනඩාවේ ආප්ප කඩ තියනවද නැත්නම් මේක මේ ඩබල් මීනින් මොකක් හරි ද?

      Delete
    3. හිහ් හී........පලවෙනි කමෙන්ට් එක සුපිරියටම දාලා තියනවා. ඇත්තටම අපේ රටේ සෑහෙන පිරිසක් අතුරුදන් වීම අතින් කප් ගහලා තියෙන්නේ.

      අම්මපා රවී පොතේ ගුරාට පත්තර විකුනන්නවත් ජොබ් එකක් අල්ලගන්න බරිවුනාද?

      නෑ නෑ මානවිකාව, කැනඩාවේ සිංහල/දෙමළ/ඉන්දියානු/මැලේසියන්/ ආප්පකඩ තිබේ.

      Delete
    4. ඌ නං පොතේ ගුරෙක්ම තමා

      Delete
    5. කැනඩාවේ ආප්ප කඩ තියනව Hopper Hut

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  2. මම දන්න සුප්‍රසිද්ධම ගල්වීම කලේ පාපැදි ශූර බොනිෆස් පෙරේරා. අනූගණං වල ආසියානු ක්‍රීඩා උළෙලකට සහභාගි වෙන්ට ජපානෙට ගිහිල්ල ඉන්දැද්දි බොනියා ගල් වුනා...:)

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල රවියෝ මතක විදියට බෝනියා විතරක් නෙමේ මුළු ටීම් එකම පැන්නා මැනේජරුත් එක්කම.

      Delete
    2. එකෙක් ආවා. ඒ කමල් පාලිත.

      Delete
    3. සිරිබිරිසා,

      බොනිය තමයි බං මැනේජර්...:)

      Delete
    4. @ රවී. ඔය සිද්ධිය ඒ කාලේ මහා විශාල ලෙස ජනමාධ්‍ය වලින් පැතිරී ගියා මතකයි. රෙද්දක් ඇඳගෙනද මේ මනුස්සයා ආපහු ඇවිත් ඉන්නේ. එතකොට ඒ වැරදි වලට නීතිමය ක්‍රියාමාර්ග මොකුත් නැද්ද?

      Delete
    5. උඩ බොනිය ගැන කමෙන්ට් එකේ ලින්ක් එකක් තියනව. ඒක අතුරුදහන් වෙලා...:)

      Delete
    6. විචා... මම මේ අහන්නමයි හිටියෙ..නිවැරදි වචනෙ අතුරුදහන් ද අතුරුදන් ද...අන්තර්ධාන නිසා අතුරුදන් හරි කියලයි මට හිතෙන්නෙ.

      Delete
    7. අතුරුදන්, අතුරුදහන් = පිරිසිදු සිංහල

      අන්තර්ධාන = මිශ්‍ර සිංහල

      අන්තරස්දාන, අන්ත්‍රස්ධාන, = එදිනෙදා කටවහරේ යෙදෙන, ව්‍යක්ත නොවන වදන්.

      Delete
  3. සර් ම‍ෙ ක්‍රම බුද්ධි අංශ සාමාජිකයන් භාවිතා කරනවා නේද ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න දරුවෝ ඔයත් මේ නිකං අනං මනං අහනවා.

      කියවලා දැනුම වර්ධනය කරගන්න.

      Delete
  4. //මේ ලිපියේ මූලාශ්‍රය රහසිගතයි. //
    යකෝ කියන්ඩ තියෙන ඔක්කොම කියල, අන්තිමට මඟුලකුත් ලියලා......

    දැන් ඇත්තටම මොකටද මේක ලිව්වේ ? අපි දැන් මේක ස්ටඩි කරලා ගල් වෙන්ඩ පුලුවන්ද බලන්ඩ ඕනෙද ?

    ReplyDelete
    Replies
    1. ඉතිං යකෝ කවුරුහරි ඇහුවොත් කෝ මූලාශ්‍ර කියලා, මගේ බෙල්ලට තොණ්ඩුව වැටෙනවා මූලාශ්‍රය පෙන්නුවොත්.

      අන්න වැඩේ, ඉස්සෙල්ලා උඹ ගල්වෙලා බලපන් ටික කාලෙකට.

      Delete
  5. කොහොම උනත් ටැංකූ ඈ....

    දන්න එකෙක් එහෙම ගල් උනොත් එහෙම දැන් ඇනලයිස් පාරක් දාල බලන්ඩ පුලුවං....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අතුරුදහන් වෙච්ච උන්නැහැලා හොයන companyak පටන් ගමුද...?..හිහිහිහි...

      Delete
    2. මට බය බ්ලොග් ලියන ඔක්කොම අය මේක බලලා ගල් වෙයිද කියලා.

      ඉරේෂ්. නියම අදහස.

      Delete
    3. G.m සැර්... විචා සර්රැත් ගල්වෙලා බලන්න...මෙ තොරතුරු එක්ක ...follow කළොත් අපිට හොඳ හෝඩුවාවක් හොයාගන්න පුළුවන් නේද....කෙනෙක්ව target කරගෙන ගියොත් ....

      Delete
    4. විද්‍යාත්මක ක්‍රමය එක්ක ගැලපුව‍ෙිාත්.....

      Delete
    5. මේ ක්‍රම පාවිච්චි කරනවා අන්තර්ජාතික ඔත්තු බැලීමේ කටයුතු සඳහා. ආයේ මොකුත් අහන්ඩ එපා ගහනවා එකක් උඹට.

      Delete
    6. අයියෝ සැර්... හරි හරි ඉතින් මේවගේ ලිපියක් දැන්මම තියෙන සතුට සල්ලි වලට ගන්න බැ..සර්...පුදුම පිස්සුවක්න‍ෙ මේවා ගැන තියෙන්නේ සර්....සර් ඇර වෙන ඒක සමනලයෙක්වත් නෑනේ මේවා කියලාදෙන්ට ....

      Delete
    7. හෙහ් හෙහ්, හරි හරි කොල්ලෝ, ඔහොම යන්.

      Delete
  6. ක්‍රමේ දන්න හන්දා මටත් දැන් අතුරුදහන් වෙන්න හිතෙනවා... :--)

    ReplyDelete
    Replies
    1. අන්න කරනවානම් වැඩේ. ඊටපස්සේ අපිටත් කියන්න අත්දැකීම මොනවගේද කියලා.

      Delete
  7. ඔන්න මම අතුරුදහන් වෙනවා. වගකීම විචාගේ. මම නැතිවුනු හැටියේ හැමෝම ගිහින් මෙයාව අල්ලාගන්න.:P

    ReplyDelete
    Replies
    1. ඉතිං අනේ මාව අල්ලාගෙන හරියනවද ඔයා අතුරුදන් වුනාම? ඔයාව හොයලා අල්ලගන්න ක්‍රමයක් මම කියලා දෙනවා අනික් අයට.

      Delete
  8. /* .... 1971 කැරැල්ලේ ප්‍රබල සාමාජිකයකු වන මගේ මිත්‍රයකු, 1998 වර්ෂයේදී, මට අහම්බෙන් මුණගැහුණා. ඔහු 1971 කාලයේදීම අතුරුදන් වූ කෙනෙක්. ....*/

    මං 2005 විතර වෙනතුරු හිතාගෙන හිටියේ ප්‍රේමකුමාර් ගුනරත්නම් 1989 දී මිය ගිහින් කියලයි.

    අනුරලා, ටිල්වින්ලා නම් එහෙම කෙනෙකු ගැන තාම දන්නේ නෑ නේ!

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කියවපු ගමන් මම සෑහෙන වෙලාවක් හිනාවුනා. ඇත්තටම ඔබෙන් අහන්න ඕනේ, ඔබට පිස්සුද නැත්නම් මේ ඔබේ හැටිද කියලා. අපහාසය මිශ්‍ර උපහාසයට යන්න ගිහින්, මේ විදිහට නා ගැනීම ගැන, සභාවේ තදින් සිනා කියලයි මට කියන්න තිබෙන්නේ.

      ජවිපෙ ගැන අන්දෝ සංසාරයක දැනුමක් ඔබට නැති බවත්, එවැනි නොදැනුවත්කමක් තිබියදීත්, ප්‍රාඥයකු මෙන් මෙවැනි ප්‍රකාශ කොට, නිකම් සවුත්තු වන බවත් මතක තියාගන්න.

      මම ජවිපෙ සාමාකිකයකු වුනේ 1970 දී. 1971 කැරැල්ල අසාර්ථක වෙමෙන් පසු, කාඩර් වරුන් රටපුරා විසිරුණා. අත්අඩංගුවට පත් නොවුණු සාමාජිකයන් සැඟවී ජීවත්වුනා. 1980 දශකය වනවිට ජවිපෙ ප්‍රතිසංවිධානය වුනත්, පැරණි සාමාජිකයන්, රෝහණ විජේවීර ඇතුළු නායකයන් සමග වෛරයකින් පසුවුණා/පසුවෙනවා අනර්ථකාරී සටනක් කිරීම ගැන.

      මේ මම කියන මිත්‍රයාත්, අන්න ඒ ගණයේ කෙනෙක්. ඔහු නැවත කවදාවත් කිසිදු දේශපාලන ක්‍රියාවක නියැලෙන්නට අකමැති, නිහඬ ජීවිතයක් ගතකරන්නට කැමති කෙනෙක්. එවැනි තවත් අය ඉන්නවා. සමහරවිට ඔවුන් 1971 දී ඝාතන වලටත් සම්බන්ධ වන්නට ඇති. ඒ නිසා සමාජයේ සැඟවී ඉන්නවා වෙන්න පුළුවන්.

      ජවිපෙ, කණ්ඩායම් වලට කැඩී, වාචිකව මෙන්ම ශාරීරිකවද ඒ ඒ කණ්ඩායමට පහරදීම් කලබව, ඔබ අහලාවත් නැති බව පෙනෙනවා.

      කුමාර් ගුණරත්නම්, ටිල්වින්, අනුර, සහ අද ඉන්න බොහොමයක්, නිකම් චූටි බබාලා පමණයි. ඒ නිසයි ඔවුන් කොච්චර ලස්සනට කතාකළත්, මැතිවරණයකදී පසුබහින්නේ.

      මීට පසු මෙවැනි අඥාන කමෙන්ට් දැමීමට පෙර හොඳින් කරුණු සොයාබලන්න. නැත්නම් ඔබ විහිළුවක් බවට පත්වෙනවා.

      Delete
    2. විචාරක,

      මා ලියා ඇත්තේ වාක්‍ය දෙකකි.

      පළමුවැන්න සත්‍ය ප්‍රකාශයකි. මා ලංකාවට පැමිණි 1990 දී ඔහු මියගිය බව චන්ද්‍රප්‍රේම The Island ලිපියක ලිව්වා. මා 1995 දී රටෙන් යනතුරු ඔහු සිටින බවක් දැන ගන්නට ලැබුනේ නෑ.

      දෙවෙනි වාක්‍යය ලීවේ නම් සභාවේ සිනා සඳහා තමයි.

      කෙසේ වෙතත් දිගු පිළිතුරට ස්තුතියි.

      Delete
    3. රසිකගේ කමෙන්ට් එක අඥාන කමෙන්ට් එකක් වන්නේ කොහොමද? මට නම් උඩම කමෙන්ටුවේ වරඩක් නොපෙනේ.

      Delete
    4. @ රසික.
      කුමාර් ගුණරත්නම් දේශපාලන වාසි තකා, ව්‍යාජ දේශපාලන ක්‍රීඩාවක යෙදෙන්නෙක්. ඔහු තම පලිහ ලෙස යොදාගන්නේ ඔහුගේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවයයි. මා හිතුවා ඔබ ඔහු ගැන සෑහෙන තොරතුරු දන්නවා ඇතැයි කියා. ඔබ මගේ ප්‍රකාශයක් උපුටා දක්වා ඒ ගමන්ම කියනවා ඔබ සිතා සිටියේ ගුණරත්නම් මියගියා කියලා. මෙහි කිසිදු සම්බන්ධයක් නැති, හාස්‍යජනක/සියුම් උපහාසය සහිත/යෙදුමක්. ඒ නිසයි ඔබට කරුණු පැහැදිලි කලේ. ඇත්තෙන්ම ජවිපෙට සම්බන්ධව පසුව සැඟවී ගිය පුද්ගලයන් සැලකියයුතු පිරිසක් තවමත් ඉන්නවා.

      @ හරී.
      රසිකට මා දී ඇති පිළිතුරෙන් ඔබටත් කරුණු පැහැදිලිවනු ඇතැයි සිතනවා.

      Delete
    5. විචාරක,

      පැහැදිළි කිරීමට ස්තුතියි. ඔබ 1971 ජවිපෙට සම්බන්ධව සිටි බව මා මේ බ්ලොගය කියවන නිසා දැන ගත්තා.

      මම ප්‍රේමකුමාර් ගුණරත්නම් ගැන දන්නේ ඔහු මා උගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලේ සිසුවෙකු ලෙස මා සිටි කාලයේ එහි ආ නිසා සහ තවත් සිසුවෙකු ගේ මල්ලී නිසා මිස දේශපාලනයක් නිසා නොවේ.

      අනික මා ඔහු මට මෙරට දී මුලින්ම දැක්කේත්, 2012 ලංකාවේ දී අතුරුදහන් වී සිට ආපසු පැමිණි පසුවයි.

      දේශපාලන වාසි තකා, ව්‍යාජ දේශපාලන ක්‍රීඩාවක යෙදෙනවාය කියන එක සාපේක්‍ෂ ප්‍රකාශයක්. එසේ වාසි ලැබෙන ක්‍රීඩාවක් කිරීමට සිරගෙයි ලඟින්නේ ඇයිදැයි මට තේරෙන්නේ නෑ.

      හැබැයි, ලංකාවේ හැම දේශපාලකයෙකුම පාහේ වාසිය පිණිස ක්‍රීඩා කරනවාය කියන අරුතෙන් නම් ඔබ කියන දේ වෙන්න පුළුවනි.

      ඔබේ පිළිතුරෙන් මා ද පුදුමයට පත්වුණා!

      එනිවේ, තෑන්ක්ස්!

      Delete
    6. රසික වෙත.: උපහාසය සමග බ්ලොග් ලෝකයේ ලියන්නන් හට අපහාස කිරීමේ තීක්ෂණ හැකියාව ඇති ඔබහට මම කරුණාවෙන් පවසන්නේ කරුණාකර ඔය කුහක ගතිය අත්හරින ලෙසයි.

      සොරි විචා මාමේ ඔබේ ලිපියේ මෙලෙස මොහුට කතා කිරීම ගැන.

      රසික, ඔබ පුන පුනා කියන්නේ බ්ලොග් ලොවේ සිංහල ඉංගිරිසි (ඔබේ I E L T S තියා ඔබේ උපාදියවත් රැකියාවවත් මට අදාල නැත) වගේම අද්‍යාපනය අතින් ඔබට වඩා පොරක් නැතිය යන්නයි.

      එක ඔබට අදාළ කාරණයකි. ඒත් එයින් අපි ඔබට ගරු කලයුතු යයි සිතනවානම් ඔබට ඇත්තේ මානසික රෝගයකි.

      ඔබේ මේ අපහාස උපහාස කොමෙන්ටු මම ගොඩක් ප්‍රසිද්ද බ්ලොග් වල දකිමි.

      මෙයින් ඔබ බලාපොරොත්තු වන්නේ බ්ලොග් ලියන්නන්ගේ මනස යම්කිසි විදිහකට අඩාල කිරීමයි. එ කියන්නේ ඒ බ්ලොග් එකෙන් වැඩක් නැතිබව ඇඟවීමයි.

      ඔබ වැන්නවුන් සමාජයෙන් කොන් කර සම්පුර්ණයෙන් අතුගා දැමිය යුතුයි.

      පළමු වැරැද්ද කල ඇත්තේ බ්ලොගර් ලා විසින් මොහුව පොරක් කල ඔසවා තැබීම සහ දෙවනුව ඔහුට සම්මාන සහ දේශන වලට අරදනා කිරීමයි.

      රසික..!! දැන් බබා වගේ ඇවිදින් මේ මොකක්ද කියා ඇසීමෙන් වලකින්න.

      මේ කොමෙන්ටුව තියා තැබීම හෝ මැකීමේ අයිතිය විචාරක තුමා ට බාර වේ. මේ මගින් විචාරක තුමාට යම්කිසි අසාදාරනයක් උනානම් මම සමාව අයදිමි.

      මොකද මා බ්ලොග් කියවන්නෙක් වශයෙන් (ඔබේ බ්ලොග් එක ඇර) කොමෙන්ට් කරුවකු වශයෙන් ඔබ වගේ කුහකයෙකුගේ හැසිරීමට විරුද්දව නොපකිලිවම කතා කරමි...!!

      Delete
    7. @ රසික. දේශපාලන වාසි තකා සිරගෙයි ලැගීම ලෝකය පුරා දකින්නට ලැබෙන දේශපාලන ප්‍රපංචයක්. ටිකක් හොයලා බලන්නකෝ.

      ලංකාවේ සෑම දේශපාලන පක්‍ෂයකම ඉන්නවා එවැනි වාසි සොයන අය.

      @ ටිලාන්.

      මේ කමෙන්ට් එකේ එක දෙයකට විතරයි මම අකමැති.

      විරුද්ධ අදහස් දක්වන අය සමාජයෙන් කොන්කර අතුගා දැමීම නෙවෙයි කරන්න ඕනේ. මතවාදීව ඔවුන් පරාජය කිරීම සහ ලෝක ධර්මය අනුව ඔවුන් වර්තමානයට නොගැලපෙන බව පෙන්වාදීම.

      Delete
  9. ඉඳල හිටල අතුරුදහන් වෙන එක හොඳයි

    ReplyDelete
    Replies
    1. දැන් මේ කමෙන්ට් එක ගැහුවේ අතුරුදන් වෙලා ඉන්න ගමන්ද?

      Delete
  10. කමෙන්ටුව අතුරුදන්වූ ලැයිස්තුවේ :)
    වෙලාවකට අතුරුදහන් වෙන්නත් හිතෙනවා ඒත් කම්මැලි ඔච්චර දේවල් කරන්න :V

    ReplyDelete
    Replies
    1. අර කවුද කිව්වලුනේ, මැරෙන එකත් පණයන වැඩක් කියලා. අතුරුදහන් වීමත් ඒ වගේ තමයි.

      Delete
  11. ලෝකයේ පුදුම අතුරුදහන් වීමක් සිදු කල ඩී බී කූපර් ගැන මෙතනින් කියවන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රිස්න් බ්‍රේක් වල කියන්නෙ මෙයා ගැන නේද?

      Delete
    2. බොහොම ස්තුතියි ඉයන්. මේ ලින්ක් එකෙන් ලිපියට තවත් ආලෝකයක් ලැබුණා.

      Delete
  12. ටිකක් වෙනස්ම ලිපියක්. මේ ලිපිය ලිවීමේ අරමුණ මොකක්ද කියලා හිතාගන්න බෑ. පෙනුමෙන් නම් නීතිවිරෝධී වැඩකට අනුබල දීමක් වගේ. කොහොමවෙතත් නොදන්න කාරණා කීපයක්ම දැනගත්තා. මටත් ආසයි තියෙන ඔක්කොම අතඇරලා පොඩි වෙනසක් අත්දකින්න. මම කිව්වෙ අතුරුදහන් වෙන්න නෙමෙයි. ටික කාලයකට වෙනත් අංශයක රැකියාවක් කරලා බලන්න. තැන් තැන්වල ගිහිලා බලන්න. ඒත් එතකොට දරුමල්ලො අම්මා තාත්තා බලාගන්න සල්ලි කොහෙන්ද?

    මම හිතන්නෙ බැඳපු නැති කට්ටියට නම් හොඳයි දුවලා පැනලා ජීවිතේ අත්දැකීම් ගන්න. ඉස්සරකාලෙ රස්සා හොයාගෙන කොළඹට පැනලා යන සිරිතකුත් තිබිලා තියෙනවානෙ.

    ReplyDelete
    Replies
    1. විශේෂ අරමුණක් නැහැ හරී. හමුදා තොරතුරු ගැන ලිපියක් ලියන්න කරුණු හොයාගෙන යද්දී, අහම්බෙන් ලැබුණු එක්තරා විශේෂ තොරතුරක් ඔස්සේ යාමෙන් පසුව තමයි, මෙය ලියන්න හිතුනේ.

      ඇත්තෙන්ම මේ ලිපිය ලියන්න කලින් මම සොයාබැලුවා, නීතියට පටහැනි යමක් තිබේද කියා. කෙලින්ම මට චෝදනා කළහැකි කිසිවක් මෙහි නැහැ. අර නිලධාරියා හමුදාවෙන් පැනයාම ගැන, අද මට එරෙහිව චෝදනා නගන්න බැහැ. දැන් මම විශ්‍රාමිකයි. අනික, මම නෙවෙයි ඔහුට පැනයාම සැලසුම්කර දුන්නේ. මේ ලිපිය, මා සොයාගත් කරුණු වාර්තා කිරීමක් පමණයි.

      කාලෙන් කාලෙට රැකියාව මාරු කරන අය ඉන්නවා. එයින් හරියාම වැරදීම දෙකම වෙන්න පුළුවන්. ඒ වැඩේ, එක්තරා ආකාරයක සූදු සෙල්ලමක් කියලයි, මටනම් හිතෙන්නේ.

      ලංකාවේ පැරණි ප්‍රකට ව්‍යාපාරිකයන් සෑහෙන ගණනක්, ගෙදරින් පැනලා කොළඹ ඇවිත් දියුණු වෙච්චි අය.

      Delete
  13. බඩුම තමයි හෙට අනිද්ද වෙන කොට විචා අත් අඩංගුවට ගන්නවා කතා දෙකක් නැතිව... හමුදාවෙ උන්ට පැනයන්න උදව් කිරීම මත..

    බ්ලොග් ලියන සම් හරක් එහෙමත් ඉන්නවා එකපාරට අතුරුදහන් වෙන... හොයලා බලුවම වෙන තැනක ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. //////බඩුම තමයි හෙට අනිද්ද වෙන කොට විචා අත් අඩංගුවට ගන්නවා කතා දෙකක් නැතිව... හමුදාවෙ උන්ට පැනයන්න උදව් කිරීම මත..////////

      මල කෙළියයි....මටත් ඔහොම හිතුනානේ ලොක්කා.

      Delete
    2. හෙහ් හෙහ්, එක්කෙනෙක් මට කෝල් එකකුත් දුන්නා. ඇත්තෙන්ම අවංකවම ඔහු මට තියන ආදරේ නිසාමයි කිව්වේ, මෙයින් මට අයහපත් බලපෑමක් එන්න පුළුවන් කියලා.

      1. හමුදාවෙන් විශ්‍රාම ගොස් මාස 6 ක් ගියාට පස්සේ මම හමුදා නීතියට යටත් නැහැ.

      2. ඒ නිලධාරියාට පැනයන්න සැලසුම සකස් කලේ මම නෙවෙයි. ඔහු පෞද්ගලික ගමනක් යන්න මගෙන් උදව් ඉල්ලුවේ. නමුත්, එය එදාම යුද හමුදාවට වාර්තා නොකිරීම මා කල වරදක්. නමුත් ආපහු, දැන් මම ඒ නීතියට යටත් නැහැ. හෘද සාක්ෂියට වරදකරුවෙක්.

      බ්ලොග් ලියන සම හරක්ට පහුගිය දවස්වල වැදිච්චි පාරවල් වල වේදනාව තවම තියනවා. උන් තැන් තැන් වල, රෙද්දේ කක්කා ගිහින් කෙඳිරිගාන කමෙන්ට් දානවා දැකලා, මම උඩ පැන පැන හිනාවෙනවා, මගේ ප්‍රහාරය හරියටම ඉලක්කයට වැදීම ගැන.

      Delete
    3. //බ්ලොග් ලියන සම් හරක් එහෙමත් ඉන්නවා එකපාරට අතුරුදහන් වෙන... හොයලා බලුවම වෙන තැනක ඉන්නවා...//
      මෙහෙම කිව්වෙ අරුණටද?

      Delete
    4. @ හැලපයා

      අප්පට සිරිගජ. අරු මට හැරෙන තැපෑලෙන් ප්‍රහාරයක් එල්ල කරයිද දන්නේ නැහැ.

      Delete
    5. ඒකත් මචෝ එක්තරා ආකරයක අතුරුදහන් වීමක්. :D
      මට මතකයි හැලපෙගේ කතාවක තිබුනා කාටද පාට් එකක් දාලා උඹලා කොල්ලෝ සෙට් එකක් ටික දවසක් ඒ පැත්තෙන් ගියෙවත් නැහැ කියලා. මචං පට්ට රස කතා තියෙනවා බං ඒ කාලේ. ගහ ගන්නවා. ඊට පස්සේ වෙන පාරවල් වලින් තමයි ගමන් යන්නේ.

      අතුරුදහන් නොවුනා නම් ...මාත් අතුරුදහන් ලැයිස්තුවේ බං. පව්... එහෙනම් අපේ පවුලේ අය තාමත් බෝධි පූජා තියනවා. සහතිකයි. ඒකත් ටොප් කතාවක් බං. එහෙම කාලෙක මැරිච්ච සහ මරාදාපු ඉතාම සුන්දර සෙට් එකක් ඉන්නවා. උන් ගැන කතා නොවෙන එක මාර අපරාධයක් බං. ඒ වගේ චරිත ගැනත් ලියපල්ලා මචෝ.

      Delete
  14. මේ විස්තර ටික කියෙව්වහම අතුරුදහන් වෙන්නම හිතෙනවා... ;)

    ReplyDelete
    Replies
    1. අනේ මේ, ඔන්න අපිව එහෙම අල්ලගන්න එපා හොඳද? :D

      Delete
  15. අම්මපා මේ විචා මොකාටද එන්නේ? හුහ් ටයිමරෙකුත් දාලා වැදගත් විදියට කෙලොගන්න.

    ReplyDelete
    Replies
    1. 'වන්...ටූ....ත්‍රී......පොහ්' ගාලා අතුරුන් වෙන්න තමයි, ඒ විදිහට කාල රාමුවක් දැම්මේ. :D

      Delete
  16. චැහ්.. අපි හැංගුනොත් පැස්බරා හැංගුනා වාගෙ තමා :D

    ReplyDelete
    Replies
    1. පැස්බරාගේ නම් ලොකුවට .....වත් තියනවා එළියේ. ඒත් උඹේ මොකද්ද තියෙන්නේ?

      Delete
  17. අම්මපා මමත් අතුරුදහන් වෙලා බලනවා....

    ReplyDelete
    Replies
    1. චඃ...අන්තිමට කමෙන්ට් එකක්වත් දාන්න කෙනෙක් ඉතුරු වෙන්නෑ, මේ විදිහට ඔක්කොම අය අතුරුදන් වෙන්න ගත්තොත් :D

      Delete
    2. අන්න විචා අයියට වැරදිච්ච තැන.
      බ්ලොග් කාරයෙක් හරි කමෙන්ට් කාරයෙක් හරි මේක කියවලා අතුරුදහන් උනොත් අනිවාර්‍යයෙන්ම ඌ අලුත් ප්‍රොෆයිල් එකකින් කමෙන්ට් කරන්න පටන් ගන්නවා වැඩි දවස් යන්න කලින්ම.
      ඒ වගෙම ප්‍රොෆයිල් මාරු කලාට ලියන විදියෙන් අනික් උන් ඒකව දවසෙන් අඳුනා ගන්නවා.
      කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියනවානේ.

      Delete
    3. හෙහ් හෙහ්, අම්මපා තමුන්නාන්සේගේ දර්ශනය මෙතෙක් අහපු දැකපු නැති එකක්.

      ජයවේවා!

      Delete
  18. මේක නං මේ කාට හරි දීපු අත් පොතක්.
    ඔය අතුරුදහන් උනා කියලා කෑ කෝ ගහන සමහරුන්ගෙ කල්කිරියා මේ විස්තරේට හරි පුදුම විදිහට ගැලපෙනවා අප්පා...
    ගස්ලබ්බගෙ යාලුවෙකුගෙ තාත්ත ඔහොම ප්ලෑන් කරල අතුරුදහන් උනා.ඔහුගේ බැංකු ගිණුම් වල අයිතිය පවා නීත්‍යානුකූලව දරුවන්ට හරවලා.යම් මානසික අසමබර ගතියකුත් තිබුනා.අදටත් යාළුවා අතට කීයක් හරි එකතු උන ගමන් රට වටේ යනවා තාත්තව හොයාගෙන..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අත් පොතක් තමා. නමුත් පොත තියෙන්නේ කොහෙද කියලා අහනවා එහෙම නෙවෙයි.

      අතුරුදන් කියලා කියන අයගෙන් බාගයක්, මේ වගේ කැටයම් කාරයෝ කියලා මටත් හිතෙනවා.

      පව්, අර තාත්තා ගැන දුක හිතුනා. ඔවැනි චරිත ලෝකය පුරා කොච්චර ඇද්ද?

      Delete
    2. ගස්.........ඌට කියපං..කවදා හරි තාත්තව හම්බවෙයි කියලා. ඒ ජීවමානව නොවුනත් ආත්මීය වශයෙන් හෝ.

      මොන වැරදි හෝ අතපසුවීම් හෝ අතුරුදහන්වීම් වූවත් ඒ අපේ තාත්තලා. ඒ ආත්මීය බැඳීම් හරි ප්‍රභලයි සහ උනුසුම්.

      Delete
    3. මට මතක් උනා බලපු පරණ හින්දි ෆිල්ම් එකක්. නම මතක නෑ. ඒකෙ මනුස්සයෙක් බස් එකක් පෙරලිලා ගිනිගත්තාම එතෙන්ට තමුන්ගෙ ඇඳුම් ලියකියවිලි දාලා හෙමින් සැරේ රට පනිනවා. ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්නෙ මිනිහා මළා කියලා.

      Delete
    4. @ අරු. දෙමව්පිය දූදරු සබඳතා වලට ජාති කුලමල භේද නැහැ. කවුරුත් දෙමව්පියෝ, කවුරුත් දරුවෝ. ඔවුන් ආත්මීය වශයෙන් හෝ බැඳේවා!

      @ හරී මේ ෆිල්ම් එක බලලා තියනවද?

      https://en.wikipedia.org/wiki/Into_the_Wild_(film)

      Delete
    5. මා ගාව තියෙන බලන්න හිතෙන්නෙ නැති ෆිල්ම් වලින් එකක්. බලන්න හිතෙන්නෙ නැති වෙන්න හේතුව දන්නෙත් නෑ.

      Delete
    6. @ හරී. මාර උත්තරයක්.

      Delete
  19. මේක දැක්කම අතුරුදහන් වෙලා බලන්න හිතුණ.
    ඒ උනාට කරන්න තියන දේවල් ටික දැක්කම, මේ ජීවත් වෙන විදියට ජීවත් වෙන එක ලේසියි කියල හිතුණ.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්, අම්මපා ඉතිං ගෑණු ඔහොමමනේ. මැරෙන්න කියලා ගඟට පනින්න ගියත්, වතුර සීතලයි කියලා ආපහු එනවා.

      ඔන්න ඔහේ තියන දෙයක් බලාගෙන පුරුදු විදිහට ඉන්න අනේ.

      Delete
    2. මටත් අතුරුදහං වෙන්ඩ හිතෙනවා විචාට හොද එකෙන්ම කෙලලා

      Delete
    3. පුදුමයි උඹට එච්චර දෙයක් කරගන්ඩ පණ තියනවානම්.

      Delete
  20. මරණිය තර්ජන තියෙන මිනිස්සු නම් ඔහොම ප්ලෑන් කරලා අතුරුදහන් වෙනවනේ. හොදම ක්‍රමේ තමා රට පනින එක. හැබැයි ආයේ වැරදිලාවත් එන්න නම් නරකයි..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අය ලෝකය පුරාම එදත් හිටියා, අදත් ඉන්නවා, අනාගතයේදී වෙනත් ග්‍රහලෝක වලටත් පැනලා යයි.

      Delete
  21. මේ ලිපියේ අදහස කුමක්ද? විචාරක කිසිවකු අතුරුදන් කිරීමට සැරසෙන්නේද? - කියා තියෙන කාරණා ඔක්කොමත් හරි.

    ReplyDelete
    Replies
    1. මේක බොහොම අහම්බෙන් ලියවුනු ලිපියක් අජිත්. හමුදා තොරතුරු සෙවීමකදී ලැබුණු පොඩි ඉඟියක් දිගේ යෑමෙන් තමයි, ලැබුනේ. හෙළිකලහැකි දේ පමණක් ලිව්වා.

      Delete
  22. වැඩක් නෑ විචා... අතුරුදහන් වෙනවනම් වෙන්න ඕන මේ මුළු සංසාරෙන්ම තමා...එහෙම සදාකාලිකවම අත්රුදහන් වෙන්න පුලුවනිනම් මම මේ ක්‍රමයක් අත්හදා බලනවා...

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත. ඔහොම අතුරුදහන් වීමෙන් අපි අපිවම රවට්ටගන්නවා විතරයි.

      Delete
  23. ඇයි සමහර හොරු කැලේට ගිහින් කාලයක් තපස් රකින්නෙ.

    ReplyDelete
    Replies
    1. එක හොරු පිරිසක් විපක්ෂයේ ඉඳිද්දී, තව හොරු පිරිසක් ආණ්ඩු කරන එක තමයි, ශතවර්ෂයේ විහිලුව.

      Delete
  24. හෙහ්.. මෙයා මාව අතුරුදං කරන්න ඉස්සෙල්ල මම ම අතුරුදං වෙලා බලන්න හිතුන. කෝ ඔය පත්තරේ, ඔමා, රවිය වගේ රට ඉන්න කට්ටිය දුන්නනං සපෝට් එකක් බලන්න.

    අපේ අය ජපානෙ වගේ රටවලට ගිහිල්ල ගල් වෙන්නනං හරිම දක්ෂ ජාතියක්නෙ.
    ඔය ෆිල්ම් වල මම බලල තියෙන හැටියටනං ඔහොම අතුරුදං වෙන අය තමන්ට විස්වාසවන්ත එක් අයෙකුට හරි තමං ජීවත්ව ඉන්නවයි කියල දැනුම් දෙනව.

    ReplyDelete
    Replies
    1. උඹ අතුරුදහන් වුනාට කමක් නෑ ඉන්න තැනක ඉඳලා කොමෙන්ට් දාපන්.

      අතුරුදන් වුනාට පස්සේ තමන් ඉන්න තැන කියන එක භයානකයි. ඔක්කොම එළිවෙන්න ඉඩ තියනවා. සෑහෙන කාලයක් යනතුරු මැරිලා වගේ ඉන්න එක තමයි හරි ක්‍රමේ.

      Delete
  25. රට තුල නම් අතුරුදහන් වීම පහසු නෑ. මම දන්න සිද්ධි දෙකක් තියනව.
    අසූ ගනන්වල භිෂණය කාලේ මගේ මාමල දෙන්නෙක් ගමෙන් පැනල ගියා. ගිහිල්ල දුර පලාතක ආණ්ඩුවෙ රක්ෂිතයක පැලක් අටවගෙන හිටිය. දවස් දෙකතුනකට පස්සෙ එයාල හිටපු තැනට එහා පැත්තෙ තවත් සෙට් එකක් ඇවිල්ල පැලක් හදනවලු. බැලින්නං අපේ ගමේම එවුන් ටිකක් ඒත්.

    අපේ අල්ලපු ගමේ කණ්ඩායම් දෙකක් මරාගත්ත.
    එක පවුලක අයිය මලෝ දෙන්නෙක් කොළඹ කඩයක වැඩ කරද්දි, ගමෙන් පැනපු සතුරු ටීම් එකේ එවුන් ආවලු ඒ කඩේටම තේ බොන්න.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තලාත් කියනවා කොහේ ගියත් අපේ ගමේ එකෙක් හම්බවෙනවාමලු.

      Delete
    2. අපේ රට හොඳටම පුංචි වැඩියි රාජ්, අතුරුදහන් වීම සඳහා. එහෙමනම් ඉතිං මූණ වෙනස් කරන ප්ලාස්ටික් සැත්කමක් කරගන්න වෙනවා.

      නියම කතා දෙක. මම නම් හිතන්නේ, වෙන ග්‍රහ ලෝකෙකට පැනලා ගියත්, අපේ එකෙක් එහෙදිත් හම්බවෙන්න ඉඩ තියනවා :D

      Delete
  26. ටිකක් අතුරුදහන් වෙලා ඉඳල ආව විතරයි මෙයා පන්තියකුත් දාල :))

    ReplyDelete
    Replies
    1. මොනවද ඉතිං බදුල්ලෙන් එහාට අතුරුදහන් වෙන්නේ නැහැනේ.

      ඉඩක් ලැබුණු වෙලාවක මට කෝල් එකක් දෙන්න.

      Delete
  27. විචාගෙ අපූරු පෝස්ටුව කියෙව්වම මටත් ඉන්න දිහාවෙම ගල් වෙන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. අම්මප අර දැක්කම මැරෙන්ඩ හිතෙන මිනී පෙට්ටි වගේ තමයි මේකත්...කියෙව්වම ඉන්න තැනම ගල් වෙන්ඩ හිතෙන පෝස්ට්...:)

      Delete
    2. ඔය කොයික වෙනස් කලත් සමහර විට හීනෙං හරි තමුන්ගෙ ඇත්ත නම කියවෙන්න පුලුවං. ඒකට විකල්පයක් මං මේ ටෙලිනාට්‍ය වලිං හොයාගත්තා. ඒකට කරන්න තියෙන්නේ ඔලුව කොහේහරි තදින් හප්පගන්න එක. සියල්ල මොහොතින් අමතකයි. නැත්තං කාටහරි කුලිය දීලා පොලුපාරක් තලාගත්තත් හරි. හැබැයි ඊට කලිං කුලීකාරයගෙ කුලිය ගෙවන්න. නැත්තං මතක නෑ කියයි.

      Delete
    3. @ හැලපෙ.

      බුදු අම්මෝ ඒකනම් කරන්න එපා. කවදාහරි ආපහු ලංකාවට ඇවිත් ජීවිතයේ සැඳෑ සමය ගතකිරීම තරම් සැපක් කොයින්ද?

      @ රවී.

      අම්මපා ඒ මිනීපෙට්ටියක බුදියගෙන ඉන්නකොට කොහොම සැපක් දැනෙනවා ඇද්ද?

      @ සුරංග

      මටනම් දැන් තියන ටෙලිනාට්‍ය දැක්කම ඔලුව බිත්තියේ ඇණගන්න හිතෙනවා. ටී වී එක අතුරුදහන් කරන්න හිතෙනවා.

      Delete
  28. රසික වෙත.: උපහාසය සමග බ්ලොග් ලෝකයේ ලියන්නන් හට අපහාස කිරීමේ තීක්ෂණ හැකියාව ඇති ඔබහට මම කරුණාවෙන් පවසන්නේ කරුණාකර ඔය කුහක ගතිය අත්හරින ලෙසයි.

    සොරි විචා මාමේ ඔබේ ලිපියේ මෙලෙස මොහුට කතා කිරීම ගැන.

    රසික, ඔබ පුන පුනා කියන්නේ බ්ලොග් ලොවේ සිංහල ඉංගිරිසි (ඔබේ I E L T S තියා ඔබේ උපාදියවත් රැකියාවවත් මට අදාල නැත) වගේම අද්‍යාපනය අතින් ඔබට වඩා පොරක් නැතිය යන්නයි.

    එක ඔබට අදාළ කාරණයකි. ඒත් එයින් අපි ඔබට ගරු කලයුතු යයි සිතනවානම් ඔබට ඇත්තේ මානසික රෝගයකි.

    ඔබේ මේ අපහාස උපහාස කොමෙන්ටු මම ගොඩක් ප්‍රසිද්ද බ්ලොග් වල දකිමි.

    මෙයින් ඔබ බලාපොරොත්තු වන්නේ බ්ලොග් ලියන්නන්ගේ මනස යම්කිසි විදිහකට අඩාල කිරීමයි. එ කියන්නේ ඒ බ්ලොග් එකෙන් වැඩක් නැතිබව ඇඟවීමයි.

    ඔබ වැන්නවුන් සමාජයෙන් කොන් කර සම්පුර්ණයෙන් අතුගා දැමිය යුතුයි.

    පළමු වැරැද්ද කල ඇත්තේ බ්ලොගර් ලා විසින් මොහුව පොරක් කල ඔසවා තැබීම සහ දෙවනුව ඔහුට සම්මාන සහ දේශන වලට අරදනා කිරීමයි.

    රසික..!! දැන් බබා වගේ ඇවිදින් මේ මොකක්ද කියා ඇසීමෙන් වලකින්න.

    මේ කොමෙන්ටුව තියා තැබීම හෝ මැකීමේ අයිතිය විචාරක තුමා ට බාර වේ. මේ මගින් විචාරක තුමාට යම්කිසි අසාදාරනයක් උනානම් මම සමාව අයදිමි.

    මොකද මා බ්ලොග් කියවන්නෙක් වශයෙන් (ඔබේ බ්ලොග් එක ඇර) කොමෙන්ට් කරුවකු වශයෙන් ඔබ වගේ කුහකයෙකුගේ හැසිරීමට විරුද්දව නොපකිලිවම කතා කරමි...!!

    ReplyDelete
    Replies
    1. ටිලාන්, මේ කමෙන්ට් එකේ එක දෙයකට විතරයි මම අකමැති.

      විරුද්ධ අදහස් දක්වන අය සමාජයෙන් කොන්කර අතුගා දැමීම නෙවෙයි කරන්න ඕනේ. මතවාදීව ඔවුන් පරාජය කිරීම සහ ලෝක ධර්මය අනුව ඔවුන් වර්තමානයට නොගැලපෙන බව පෙන්වාදීම

      Delete
  29. ඒකත් මරු වැඩේ නෙ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මරුවා සමග වාසේ

      Delete
  30. මමත් ඕං අතුරුදන් වෙනවා අද ඉඳන් ටික කාලෙකට..!

    ReplyDelete
    Replies
    1. යුරෝපේ පැත්තෙන් හොයා ගන්න පුළුවන් වේවි කියල ආරංචියක් ආවා. (ආවා ගෘප් එකෙන් නොවන බව කරුණාවෙන් සලකන්න)

      Delete
    2. @ චේෆාකි.
      අතුරුදන් වුනාට කමක් නැහැ. හැබැයි ඒ ඉන්න තැනක ඉඳලා බ්ලොග් ලිවීම සහ කමෙන්ට් කිරීම යහපති.

      සුබම සුබ අනාගතයක් වේවා!

      Delete
  31. විචාරක තුමාට අතුරුදහන් වෙන්න අදහසක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මේ නහින දෙහින කාලේ මොන අතුරුදහන් ද අප්පා.

      Delete
  32. විචා මාමේ. මමත් මේ අලුත් රස්සාව පටන්ගන්නකොටම අතුරුදහන් උනා මෙහේ ඉන්න යාළුවො හැම එක්කෙනාගෙන්ම. අවුරුදු දෙකකට කලින් කොහොමත් ෆේස් බුක් එක වහල තිබ්බෙ. අළුත් රස්සාව පටන්ගන්නකොටම ෆෝන් නම්බර් එක මාරු කලා. රස්සාවටම කිට්ටුව හරියෙන් ෆ්ලැට් එකක් රෙන්ට් කලා.

    මොකද ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් උනාට, කරුමක්කාරයන්ගෙන් වෙන්වීම ලොකු සැපතක්.

    දැන්නම් අම්ම තාත්ත සහෝදරිය හැර ලංකාවේ මගේ හොඳම යහළුවට විතරයි කථා කොරන්නේ.

    ඔය ඉන්නව කියන බොක්කවල් නැති උන දවසට නැතිවෙන බව දැනදැනම තියෙන දවස්වලදිම ඕකුන් අයින්කොරල දැම්මහම වැඩේ ලෙහෙසියි. නැද්ද මං අහන්නේ..??

    ReplyDelete
    Replies
    1. //ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් උනාට, කරුමක්කාරයන්ගෙන් වෙන්වීම ලොකු සැපතක්//

      මසුරන් වටින කියමනක්. පාප මිත්‍රයන්ගෙන් වෙන්වීම දියුණුවේ රහසක්.

      තමන්ට පිහිටට ඉන්නේ තමන් පමණයි කියා අවබෝධ කරගැනීම, ජීවිතයට මුහුණදීම සඳහා ලොකු ශක්තියක් වෙනවා.

      ඔබේ ජීවන දර්ශනය තුලින් දියුණුව වෙත පා නගන්නට ලැබේවා කියා පතනවා.

      Delete
  33. එතකොට ඔය, මරුවය, අතුරුදහන් කළාය කියන කට්ටියත් මේ විදියට ඉන්න පුළුවන් නොවැ ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම 50 ට 50 සම්භාවිතාවක් තියනවා ඒ වගේ දේවල් වෙන්න.

      Delete
  34. කමෙන්ට් එක අතුරුදහන් කරන ලදී! :D

    ReplyDelete
    Replies
    1. හුටා, එහෙනං ඔන්න පිළිතුරත් අන්තරස්දාන කොරන ලදී.

      Delete
  35. පහුගිය කාලේ සී ඒ චන්ද්‍රෙප්ම කිය කියා හිටියේ ප්‍රගීතුත් ඔය විදිහට අන්ඩර්ග්‍රවුන්ඩ් ගියැයි කියල

    ReplyDelete
    Replies
    1. ඔව්, එය විවිධ මතවාද මගින් යටපත් කරන්න උත්සාහ කළ අපරාධයක්. කවුද කිව්වා නේද ප්‍රගීත්ව පිටරටකදී මුණගැහුණා කියලා?

      Delete
    2. ඔව් ඒ අර අරුන්දික ප්‍රනාන්දු ඇමති

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }