හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 October 2016

අතුරුදහන් වෙන්න ඕනෙද?............... එහෙනම් මෙන්න ක්‍රමේ

   අතුරුදහන් වීම හෙවත් අන්තරස්දාන වීම ගැන, අපේ සමාජයේ නානාප්‍රකාර කියමන් තියනවා. 'මේ දැන් මෙතන හිටියා/තිබුණා, කොහාට අන්තරස්දාන වුණාද දන්නේ නෑ' කියන කියමන, නිතර අහන්න දකින්න ලැබෙනවා. මතකද ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලෙන් අන්තරස්දාන වෙලා මොකක්හරි අණ්ඩපාල වැඩකට යනවා, ගෙදරින් අන්තරස්දාන වෙලා, බජාර් එකේ කට්ටිය එක්ක, සමාගම් පවත්වන්න යනවා. ඇයි ඉතිං, ප්‍රේමාවතීලා ප්‍රේමදාසලා, කොච්චර නම් අන්තරස්දාන වෙනවද පෙම් කෙළිය වෙනුවෙන්. 

   නමුත් අද මම ඔබ සමග සාකච්ඡා කරන්න යන්නේ ඒ විදිහේ තාවකාලික අතුරුදහන්වීම් ගැන නෙවෙයි. ස්ථිර අතුරුදහන්වීම් ගැනයි. හෙහ් හෙහ්, බයවුනාද? ටිකක් තරහත් ආවද? මේ යකා මිනීමරන වැඩ ගැන නේද කියන්නේ කියලා. නැහැ නැහැ, ඔය අපේ රටේ කුප්‍රකට සුදු වෑන්, කළු ඩිෆෙන්ඩර්, ගැන නෙවෙයි මේ කියන්නේ. 

   ඇත්තටම මිනිස්සු අතුරුදහන් වෙනවද? එහෙම අතුරුදහන් වෙන්නේ ඇයි? එහෙම අතුරුදහන්වීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද යන කාරණා අපි සලකා බලමු. 

   අම්මපා මට අතුරුදන් කරවන්න ඕනේ එවුන් ලැයිස්තුවක් ඉන්නවා, අර කමකට නැති විදනයා, ඕකා මට වලා කිව්වා, ඊයේ පෙරේදා, සඳුමල්ගේ ගේ අඩවියේදී, නමුත් කිව්වේ නෑ කළු වලා ද, නිල් වලා ද, සුදු වලා ද,  කියලා. ඒ වගේම මට නාකිවිසේ කියන අර ලැට්ච්චරයා, එතකොට අර කමකට නැති කොමෙන්ට් ගහන දෙමළ නයන්නා, අහුවෙයව්කෝ මට. මම තොපි ඔක්කොම අතුරුදන් කරනවා මන්තර බලෙන්.  

   මේ ලිපිය ලියන්න පාදක වුන කරුණක් තමයි, ඊයේ පෙරේදා දවසක අපේ දොස්තර මහත්තයාගේ ලිපියක තිබුණු, අතුරුදන්වීමේ කතාව. ඒ කතාව අනුව, සිය බිරිඳ සහ දරුවා ඝාතනය කල එක්තරා වෛද්‍යවරයෙක්, අධිකරණ ක්‍රියාමාර්ග පැවැත්වෙන අතර, අතුරුදන් වී තිබෙනවා. මා ඔබ සමග කතාකරන්න බලාපොරොත්තු වන්නේ, අන්න ඒ ආකාරයේ අතුරුදන්වීම් ගැනයි.

   කිසියම් අපරාධයක ගොදුරක් වීමෙන් තොරව, සිය කැමැත්තෙන් අතුරුදන් වන මිනිසුන් ලෝකයේ ඉන්නවද? අපොයි, එක අවුරුද්දකට, ලක්ෂ ගණනක්, එහෙම සිය කැමැත්තෙන් අතුරුදන් වෙනවා. අපේ රට පුංචි රටක් නිසා, අතුරුදන් වී ජීවත්වීම ටිකක් අමාරුයි. කොහෙන් හෝ තම මුල් අනන්‍යතාව එලියට එනවා. 

   නමුත්, 1971 කැරැල්ලේ ප්‍රබල සාමාජිකයකු වන මගේ මිත්‍රයකු, 1998 වර්ෂයේදී, මට අහම්බෙන් මුණගැහුණා. ඔහු 1971 කාලයේදීම අතුරුදන් වූ කෙනෙක්.  ඔහු මගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලුවා, ඔහු ගැන කිසිවක් හෙළි නොකරන ලෙස. අද ඔහු ජීවත්වන්නේ, බස්නාහිර පළාතේ. 

   මිනිස්සු මෙහෙම ස්ව කැමැත්තෙන් අතුරුදන් වෙන්නේ ඇයි?

  • ගෙවාගත නොහැකි තරම්, ණය උගුල් වල පැටලීම නිසා, එයින් ගැලවෙන්නට. 

  • සමහරවිට, තම රැකියාවට අදාළ මූල්‍ය වංචා, අල්ලස්, දූෂණ, ආදිය නිසා, වරදකරුවකු වී, සිරගෙට යන්නට සිදුවන බව පැහැදිළි වීම.

  • පවුල් ජීවිතයේ ඇතිවන, අර්බුද, ආරවුල්, සණ්ඩු සරුවල් සහ/හෝ, වගකීම් දරන්නට ඇති නොහැකියාව හෝ අකමැත්ත.

  • මේ සියල්ලෙන් වෙන්වී, අලුත් ජීවිතයක් පටන්ගත යුතුයැයි, කාලයක් තිස්සේ හෝ එකවරම, සිතට එන අදහස ක්‍රියාත්මක කිරීම. 

  • යම් යම් අපරාධ වලට සම්බන්ධ තම අතීතය වසා දමා, නව ජීවිතයක් ඇරඹීම. 

   මා හිතනවා ඔබ තවත් හේතු ඉදිරිපත් කරනු ඇතැයි කියා. 

   හොඳයි, ඉතින් කොහොමද අතුරුදන් වෙන්නේ? මේ සඳහා ඔබට යම් සැලැස්මක් තිබිය යුතුයි. ලෝකයේ විවිධ රටවල පුද්ගලයන්, තම රටේ ස්වභාවයට ගැලපෙන ක්‍රමවේදයක් හදාගන්නවා. දේශසීමා මගින් තවත් රටකට යාව තිබෙන රටවල නම්, මෙය තරමක් පහසුයි. දේශසීමාවෙන් පැන්නට පස්සේ, නොයෙක් මාර්ග හොයාගන්න පුළුවන්, අලුත් අනන්‍යතාවක් හදාගෙන ජීවත්වෙන්න. 

   මතකයි නේද අයික්මාන් සිද්ධිය? ඒ විදිහට අතුරුදන් වී, තවමත් සොයාගත නොහැකි පුද්ගලයන්, ලෝකයේ ඕනෑතරම් ඉන්නවා. 

   අතුරුදන් වන පුද්ගලයන් වැඩිපුරම අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ, අනවරත ගමනක යෙදෙන්නෙකු හෙවත්,  හෝබෝ කෙනෙකු බවට පත්වීමයි. තම අනන්‍යතාව සඟවාගෙන, එදිනෙදා කුමක් හෝ තාවකාලික වැඩක් කර, කීයක් හෝ උපයාගෙන, නොනවතින ජීවිත ගමනක යෙදීමයි, හෝබෝ වරුන් කරන්නේ. මා හිතනවා අපේ රටෙත් එවැනි අය ඇතැයි කියා. 

   මෙසේ අතුරුදන්වීම සඳහා, වයස බලපාන්නේ නැති තරම්. ගැටවර වියේ සිට අවරුදු 70 ඉක්මවූ අය දක්වා විවිධ වයස් කාණ්ඩ වලට අයත් ස්ත්‍රී/පුරුෂ දෙපක්‍ෂයේම අය, අතුරුදන් වෙනවා. 

   මෙතනදී මා, යුද්ධ කලකෝලාහල, සුනාමි, නාය යෑම්, සුළි සුළං, ගංවතුර, වැනි ස්වභාවික විපත් සහ වනයේ සංචාරයට යාම, තනිව යන මුහුදු ගමන්, කඳු නැගීම්, ආදී ත්‍රාසජනක ක්‍රියා නිසා අතුරුදන්වීම් ගැන කතාකරන්නට උත්සාහ කරන්නේ නැහැ.

   මෙලෙස අතුරුදන්වීම නීත්‍යානුකූලද? මා හිතන්නේ නැහැ එය නීත්‍යානුකූල යයි කියා. ඒ නිසා, ඔබ අතුරුදන් වනවා නම්, එහි සම්පූර්ණ වගකීම තිබෙන්නේ ඔබේ අතේ. 

අතුරුදන්වීම සඳහා යොදාගතහැකි ක්‍රමවේද මොනවාද?

  • තමා සියදිවි නසාගත් හෝ, ස්වභාවික හේතුවක් නිසා මියගිය බව, සමාජයට ඒත්තු ගැන්වීම.

  • තමා පැහැර ගැනීමකට ලක්වූ බව ඒත්තු ගැන්වීම.

  • කිසිවකු හෝ නොදන්නා හේතුවක් නිසා අතුරුදන්වීම.

  • රැකියාවක් හෝ අධ්‍යයන කටයුත්තක්, සංචාරයක්, සඳහා විදේශ ගතවීමෙන් පසුව අතුරුදන්වීම. 

   අතුරුදන්වීම සඳහා සාර්ථක සැලැස්මක් හදාගන්නේ කොහොමද? 

   පළමුවැනි දේ තමයි තමන් අතුරුදන් වෙන්න හිතා ඉන්නවා කියා කිසිම කෙනෙකුට කල්තබා දැනුම් නොදීම. 

   අද ඉතාලියේ ඉන්න මගේ හමුදා ගෝලයෙක්, (කවුද? පිස්සුද, ඒකා ගෝලයෙක් ද? ඌ දන්නේ 'පාද්රේ' වගේ ෂෝ එක දාන්න විතරයි) 1999 දිනක මට කිව්වා, සර් මට පොඩි උදව්වක් කරන්න කියා. ඔහු මගෙන් උපකාරයක් ඉල්ලුවා, හදිසියේ ලංකාවට එන ඔහුගේ සහෝදරයා රැගෙන එන්න, වාහනයක් ලබාදෙන්න කියා. 

   වැඩි හොඳට මම ම ගියා උදව්වට. ඔහු ලොකු බෑග් එකකුත් පටවාගත්තා වාහනයට. මම ඇහුවා ඒ මොකටද කියා. ඒක සහෝදරයා කලින් එවපු එකක් බවත්, එය ඔහුට ලබාදෙන බවත්, ඔහු කටුනායක සිට වෙනත් නිවසකට යන බවත්, කිව්වා. ගුවන් තොටුපොළට ගියපසු, ඔහු මගේ අත්දෙක අල්ලාගත්තා. දෑසේ කඳුළු පිරී තිබුණා. 

   'සර්, මම අද හමුදාවෙන් පැනලා ඉතාලියට යනවා. මට සර් විතරයි විශ්වාස, සර් අවුරුද්දක්වත් යනකල් මේ ගැන කාටවත් කියන්න එපා' කියා, ඔහු මට සමුදුන්නා. අද ඔහු, ඉතාලියේ හෝටලයක front office manager ලෙස සේවය කරනවා. 2005 න් පසු කීපවතාවක් ලංකාවට ආවත්, ඔහු හමුදාවට අහුවුනේ නැහැ. අපි අල්ලලා දුන්නෙත් නැහැ.

  ඊළඟට වැදගත් කාරණේ, තමන්ට බොරු අනන්‍යතාවක් හදාගැනීම. හොර පාස්පෝට්, හොර හැඳුනුම්පත්, හොර රියදුරු බලපත්‍ර, සකසා ගැනීම සහ ඒවායේ නම ගම, තමන්ගේ නියම නමගම නොවීම මෙන්ම, අලුතෙන් රැවුල්, කණ්නාඩි, මුහුණේ ලප ආදිය එකතුකොට, තමාගේ නියම පෙනුම වසන් කරගැනීම. මේවා මහාලොකු වැඩ නෙවෙයි. සල්ලි වලට මේ ඔක්කොම කරගන්න පුළුවන්.

   තමන් මියගිය බව/දිවිනසාගත් බව පෙන්වීම. 

  මෙතනදී ඉතා පරෙස්සම් වියයුතු කරුණු තිබෙනවා. තමන්ට තියෙන්නේ, අපරාධ, වංචා, දූෂණ, සම්බන්ධ අතීතයක් නම්, පොලීසිය මේ වගේ 'මියයෑම්' විශ්වාස කරන්නේ නැහැ. සෑහෙන කාලයක්, මේ මියයෑම පස්සෙන්, පොලීසිය එලවනවා. ඒ නිසා, තමන් මියයනවා නම්, පිළිගතහැකි ආකාරයකට මැරෙන්න. (ඒ රඟපෑම කරන්න) ගඟේ මූදේ පැන්නම, මිනිය හොයාගන්න පුළුවන් බොහෝවිට. මිනියක කෑලි/ඇටකටු හම්බවුනත් ඇති, DNA පරීක්‍ෂණයක් මගින් ඇත්ත හෙළිකරගන්න. ඒ නිසා, මැරෙනවානම් හරියට මැරෙන්න. 

   කොහොමද හරියට මැරෙන්නේ? ඉතිරිවී ඇති සාක්‍ෂි, විශ්වසනීය වියයුතුයි. මළ සිරුරක් හමු නොවිය යුතුයි. 

   ඔබ අපරාධකරුවකු නම්, අතුරුදන්වීම පහසු නැහැ. මන්ද ඔබේ මානසිකත්වය ස්ථාවර නැහැ. ඔබ සිත පාලනය කරගත්තේ නැතිනම්, අතුරුදහන් වීමෙන් පසුවත් ඔබ අපරාධ කරන්නට පෙළඹෙනවා. ඔබ එසේකොට හසුවුවහොත්, ඔබේ අතීතයත් එලියට එනවා. ඔබට එවැනි දුර්දාන්ත අතීතයක් ඇත්නම්, මුලින්ම කලයුත්තේ, අතිශයින් විශ්වාසවන්ත කෙනෙකුගේ ආධාරය යටතේ, හැකිතරම් කල් සැඟවී සිට, පසුව අනන්‍යතාවය වෙනස් කරගැනීමයි. නමුත්, ඔබට ආධාර කරන තැනැත්තා, පොලීසිය විසින් අටවන උගුල් වලට හසුවීමේ, දැඩි අවදානමක් තිබෙනවා. 

   ඒ නිසා ඉතා හොඳින් සැකසූ සැලැස්මක් තිබිය යුතුයි. ජංගම දුරකථන වලින් පණිවිඩ හුවමාරුව අන්තිම භයානකයි. දෙදෙනාටම ඊ මේල් පහසුව ඇත්නම්, නව ඊ මේල් ගිණුම් සාදාගැනීම සහ නිරන්තරව පාස්වර්ඩ් වෙනස්කිරීම කලයුතුයි. 

   අතුරුදන්වීම සඳහා ලැබෙන, බලාපොරොත්තු රහිත අවස්ථා;

  • තමන්ගේ සේවා ආයතනයෙන් ලැබෙන විදෙස් සංචාර. (සම්මන්ත්‍රණයකට, ව්‍යාපාරික කටයුත්තකට, වැඩිදුර අධ්‍යයනයකට) 

  •  ක්‍රීඩා හෝ විශේෂ කුසලතා වෙනුවෙන් ලැබෙන විදෙස් සංචාර. 


  • විදේශ රැකියා.  


   අතුරුදන්වීම සිතාසිටිනවානම්, මෙවැනි අවස්ථා ලැබෙයි සෙවිල්ලෙන් සිටීම සහ ඒ සඳහා යම්කිසි සැලැස්මක් සකසාගෙන තිබීම වැදගත්. 'උඹ කොහොමහරි මෙහාට පැනපන්, මම උඹව බලාගන්නම්' කියන, විශ්වාසවන්ත යාළුවන් ඒ රටේ ඉන්නවානම්, වැඩේ පහසුයි.

පනින්න පෙර සිතා බලනු 

   ඔබ අතුරුදන්වීමට සූදානමක් ඇත්නම් පහත දැක්වෙන කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. 

  • ඔබ, මොකුත්ම බැරි, නිකම්ම නිකම් නිකමෙක් නම්, වැඩේ හරියන්නේ නැහැ. ඔබ සතුව යම් දක්ෂතා, කුසලතා, හැකියා, තිබිය යුතුයි. භාෂා දැනුම, කාර්මික/තාක්ෂණික දැනුම, අඩුගානේ පාර අතුගාන්නවත් දැනුමක් තිබිය යුතුයි.
  • වයස ගැන හිතන්න. ඔබට පුලුවන්ද සියල්ල අතහැර ගොස්, තනිව දරාගෙන ඉන්න? ඔබේ සෞඛ්‍ය තත්වය කොහොමද? මේ වයසේදී ඔබට පුලුවන්ද, කටුක දේශගුණික තත්වයන් යටතේ, එය දරාගෙන රැකියාවක් කරන්න? රැකියාවේ ඇති අවදානම් සහගතබව දරාගන්න? නැවක, ගල් අඟුරු ආකාරයක, මුහුදේ ඇති ඛනිජ තෙල් අටල්ලක, ඔබට සේවය කළහැකිද? 

පොඩි ට්‍රයල් එකක් දාලා බලන්න බැරිද?

   පිස්සුද? අතුරුදන්වීමේදී ට්‍රයල් නැහැ. එහෙම කෙටි කලකට අතුරුදන් වුනොත්, ඊළඟ වතාවේදී ඔබ අතුරුදන් වුනාම, ඔබ කලේ හිතාමතා අතුරුදන්වීමක් කියලා හිතන්න 100% ක් ඉඩ තියනවා. ඒ නිසා  ට්‍රයල් එකක් කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ අය සමග සම්බන්ධතාවය තබාගනිමින්. ඒ කියන්නේ, ඔබ ඉන්නේ වෙනත් රටක නම්, අනේ බලන්නකෝ මම අතරමං වුනානේ' කියා, ඔබේ පවුලේ යට අඟවා,  ඒ රටේ අලුත් අනන්‍යතාවක් හදාගන්න පුලුවන්ද කියා හොයාබැලීම කලහැකියි. සමහර රටවල, පුද්ගල අනන්‍යතාව එතරම් භාරදූර ලෙස සැලකිල්ලට ගන්නේ නැහැ. 

   සමහර අතුරුදහන් වන්නන් කරන, භයානක වැඩක් තියනවා. ඒ තමයි, වෙනත් කෙනෙකුගේ අනන්‍යතාව සොරාගැනීම. ඒ කියන්නේ, වෙනත් පුද්ගලයකුගේ උප්පැන්න සහතිකය, හැඳුනුම්පත, ගමන් බලපත්‍රය ඒ පුද්ගලයාගේ නම තිබියදී, තමන්ගේ ඡායාරූපය යොදා සකසාගැනීම. මේ මගඩිය, අද බොහෝ රටවල සිදුකෙරෙනවා. මේ විදිහට අනන්‍යතාව වෙනස් කරගත්තම, කාටවත් නොදැනෙන්න, රටකින් රටකට පනින්න පුළුවන්.

   මතකතියාගන්න, අද කාලයේ, එක තත්පරයක් ඇති, ඔබේ හැඳුනුම්පතේ, ණයවර පත්‍රයේ, උප්පැන්න සහතිකයේ, විවාහ සහතිකයේ, ගමන් බලපත්‍රයේ, බැංකු ගිණුම් පොතේ, රියදුරු බලපත්‍රයේ, ඇති තොරතුරු සියල්ල සොරාගන්න. 

   ඒ වගේමයි, ඔබේ ඊ මේල් ගිණුමටත් රිංගන්න පුළුවන්කම තියනවා. 

  අතුරුදන්වීමට අලුතෙන් ලිපි ලේඛන සාදාගැනීමේදී කරන කපටිකමක් තමයි, ඉතා දීර්ඝ හෝ කියවා මතක තබාගැනීමට අපහසු නම් යොදාගැනීම. 

 'අංගම්මන රන්පන්හිඳ ලත්, විජේසුන්දර වාසල බණ්ඩාර මොහොට්ටි රාලලාගේ සඳුන් චමුදිත මේඝවර්ණ සම්පත් බණ්ඩාර අංගම්මන' 

   කොහොමද වැඩේ? මතක තියාගනිල්ලකෝ.    

   'අන්ද්‍රයස් පපන්ද්‍රයස්' කිව්වම, නම කෙටි වුනත් මතක හිටින්නේ නැහැ. පේනවා නේද අපි ජීවත්වන ලෝකයේ හැටි. 

   අතුරුදන් වන පුද්ගලයන්, ඊළඟට කරන වැදගත්ම දේ තමයි, තමන් අලුතෙන් ආව පළාතට, රටට, අදාලව, බැංකු ගිණුම්, රියදුරු බලපත්, වෙනත් එවැනි ලිපි ලේඛන, සකසා ගැනීම. එවිට ඔහුට ඒ පලාතට රටටයම් අයිතිවාසිකමක් ගොඩනැගෙනවා. 

  හොඳින් සැලසුම් කර අතුරුදන් වන්නේ නම්;

අතුරුදන්වීමට මාස 12 කට පෙර;

  • වෙන්වීම, තනිවීම පිලිබඳ කිසිදු චකිතයක්, කම්පනයක් නැතිව, ඔබට මේ දේ කළහැකි බව සිතෙන් තහවුරු කරගන්න.

  • කවදා කොහොම කොතනටද යන්නේ කියා, ස්ථිරව අධිෂ්ඨාන කරගන්න.

  • අතුරුදන්වීම සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තුවන මුදල්, රහසිගත ස්ථානයක හෝ රහසිගත ගිනුමක තනාගන්න.

  • අදාළ සියලු ලිපි ලේඛන කිසිවකුගේ නෙත නොගැටෙන, සැක ඇති නොවන තැනක තබාගන්න.

  • ඉදිරියේදී කිරීමට නියමිත කිසිදු කාර්යයක් පිළිබදව, අවිනිශ්චිත තත්වයන් ඇති කර නොගන්න.

අතුරුදන්වීමට මාස 9 කට පෙර;


  • ඔබ යාමට නියමිත ස්ථානය පිලිබඳ දැනගතහැකි සියලු තොරතුරු ඔබේ රහසිගත ගොනුවේ රැස්කරගන්න. සිතියම්, දුරකථන අංක, බැංකු, රජයේ කාර්යාල, දුම්රිය/බස්රිය නැවතුම්පොළවල්, බස්/දුම්රිය කාලසටහන්, නවාතැන්, සැඟවී සිටීමට හැකි තැන්, ආදිය.

  • එහි ළඟාවූ අවස්ථාවේ සිට කරන කියන දෑ, පියවරෙන් පියවර සැලසුම් කර තබාගන්න. විකල්ප ක්‍රියාමාර්ග ද, සටහන් කර තබාගන්න. 

  • භාෂාව පිලිබඳ ගැටළු මතුවේනම්, එයින් ගැලවෙන ක්‍රම සැලසුම් කරන්න.

  • කරන්නට යන රැකියාව ගැන, දක්ෂතා කුසලතා වර්ධනය කරගන්න.

  • ඔබ සමග දැන් සිටින අය රැවටීමේ ක්‍රියාමාර්ගයක්, ප්‍රදර්ශනය කරන්න. ඔබ සංචාරයට ප්‍රිය කරන බව, රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කිරීමට අවස්ථාවක් හොයන බව, ආදිය.

  • අතුරුදන්වීමේ අරමුදල තවත් තරකරගන්න.


අතුරුදන්වීමට මාස 6 කට පෙර;


  • තමන්ගේ ගමන වසන් කිරීම සඳහා, අන්‍යයන් රැවටීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. රතුකුරුස සංවිධානය වැනි සංවිධානයකට බැඳී, ලෝකයේ දිළිඳු රටවලට උදව් කරන්නට යන්න ඇත්නම් හොඳයි, එවැනි පුහුණුවක් සඳහා බැඳෙන්න කැමතියි, වැනි අදහස් පතුරවන්න.

  • දින දෙකතුනකට සීමාවන නිවාඩුවක් සඳහා, ඔබ පැනයාමට බලාපොරොත්තුවන රටට ගොස්, තොරතුරු අධ්‍යයනය කර ඒමට හැකිනම් ඉතා හොඳයි. නමුත් මෙය ඉතා අවදානම් ක්‍රියාවක්. ඔබ ගැන, කිසිවකුටත් සැකයක් ඇති නොවිය යුතුයි. 

  • ඔබ ඔබේ පරණ නම වෙනස්කර, අලුත් අනන්‍යතාවක් හදාගත්තා නම්, නිතර ඒ අලුත් නම මෙනෙහි කරන්න. ඔබේ නම කුමක්ද කියා අසන පැනයට, ඒ නම කියා උත්තර දීමට පුහුණුවන්න. වරද්දගන්න එපා. ඔක්කොම ඉවරයි වැරදුනොත්.

  • නැවතත් ඔබේ අරමුදල වැඩිකර ගැනීමට බලන්න.


අතුරුදන්වීමට මාස 3 කට පෙර;

  • අතුරුදන්වීමේ සැලැස්ම, නැවත මුලසිට ගැඹුරින් අධ්‍යයනය කරන්න. ඉතා සියුම් තැන් පවා, නිවැරදි කරගන්න.

  • භාෂා හැකියා හැකිතරම් ඔප්නංවාගන්න.

  • ගමන් බලපත්‍ර, වීසා, කිසිදු සැකයක් ඇති නොවන පරිදි තිබෙන බව, තහවුරු කරගන්න.

  • මුදල්, විදේශ මුදල් වලට හුවමාරු කරගැනීම හෝ බැංකු සහතික බවට පත්කරගැනීම ගැන, තීරණය කරන්න. 

  • ගුවන් ටිකට්පත මිලදීගෙන, ගමන තහවුරු කරගන්න.

හොඳයි එහෙනම් සුබගමන් ඈ. ගියාට පස්සේ මේ සැලැස්ම කියලා දුන්න අපිව අමතක කරන්න එපා හොඳද?

මේ ලිපියේ මූලාශ්‍රය රහසිගතයි. 

2016 ඔක්තෝබර් මස 25 වැනි දින 2355 පැය 

17 October 2016

ගෙදර මහ පොතක් ඇත - එකක්වත් මතක නැත

   හෙහ් හෙහ් හෙහ්, අහලා තියනවද ඔය මාතෘකාවේ සඳහන් කියමන? අපි ඉස්කෝලේ යන කාලේදී, සමහර ගුරුවරු, ඔය කියමන කියනවා මා අසා තිබෙනවා. මේ කියමනේ සරල තේරුම වන්නේ, තමන් පණ්ඩිතයකු කියා පෙන්වීමට උත්සාහ කලත්, පාණ්ඩිත්‍ය භාවය, අවශ්‍ය අවස්ථාවේදී දැක්විය නොහැකි පුද්ගලයෝ ද සිටිති, කියන එකයි. සමහරු තමන් පොත් ගුල්ලන් බව පෙන්නුවත්, එදිනෙදා කතාබහේදී, ලේඛනයේදී, ඒ පොත්පත් වලින් ලද දැනුමක්, හැකියාවක්, කථිකත්වයක්, ලේඛන හැකියාවක් ඇතිබවක්, පෙනෙන්නේ නැහැ. නිකම් අල්මාරිවල පොත් ගොඩගහගෙන සිටින පිරිසකුත් ඉන්නවා.  ඒ පොත් වලින්, තමන්ට හෝ අනුන්ට වැඩක් නැති බවත්, ඔවුන් දන්නවා. මේ චූර්ණිකාව මුලින්ම කිව්වේ, අද, මා ඔබ සමග, පොත් ගැන කතාකරන්න යන නිසයි.   

   මෙවර කොළඹ පොත් සල්පිල බලන්න නම් මා ගියේ නැහැ. කම්මැලියි, පොලේ එළවලු ගන්නවා වගේ තෙරපි තෙරපි, පොත් ගන්න. පොතක් තෝරන්න පුළුවන්, බොහොම විවේකීව. ඒ නිසයි නොගියේ. අපේ දෝණියන්දෑලා දෙන්නම ගියා. මගෙන් ඇහුවා, මොනවද ඕනේ කියා. මා කිව්වේ, අපේ දොස්තර මහත්තයාගේ අලුත් පොත් දෙක තියනවා නම් ගන්න කියලා. නමුත් අවාසනාවකට, ඒ පොත් දෙක, එම ප්‍රදර්ශනය පැවැත්වුණු කාලසීමාවේදී මුද්‍රණයෙන් පිටවුනේ නැහැ. 

  මෙන්න මට මෙවර ප්‍රදර්ශනයෙන්  අපේ දුවලා දෙන්නා විසින් තෑගි කළ පොත්.






   මැජික් බයිසිකලය කියන්නේ, අපූරු පරිවර්තන කෘතියක්. ලෝකප්‍රකට ළමා කතා නිර්මාතෘ වරියක වන, ඊනිඩ් බ්ලයිටන් ගේ රසවත් කථා මාලාවක් මේ ග්‍රන්ථයට ඇතුලත්ව තිබෙනවා. 

   ප්‍රබුද්ධ කාව්‍ය ග්‍රන්ථය ගැන මා ඔබ සමග වැඩිදුර කතාකරන්න අදහස් කරන්නේ නැහැ. ඔබ අතරින් බොහෝ දෙනා, මහගම සේකර ශූරීන් ගැන දන්නා නිසා. මේ පොත මා අත තිබී අතුරුදන් වුවක්. නැවත මගේ පුස්තකාලයට එකතු කරගැනීමට ලැබීම සතුටක්. 

   සුනාමි ව්‍යසනයේදී සයුරට බිලිවී අතුරුදන් වූ, මහා පඬි රුවනක් වූ, මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේගේ කෘති, කවදත්, ධර්ම විනය පැහැදිළි කිරීමෙහි ලා, අනුපමේය සේවයක් ඉටු කරයි. මෙහි දක්වා ඇති ග්‍රන්ථය ගැන, පසු කලෙක කථා කිරීමට ඉඩ තබමි.  

   දැන් මා බලාපොරොත්තුවන්නේ මේ ලිපිය ලිවීමේ මූලික පරමාර්ථය වන මහා පුස්තකය ගැන ඔබ සමග කථා කරන්නයි. 

මුලින්ම බලන්න පොතේ පෙනුම දැක්වෙන පින්තූර කීපයක්. 











   මෙන්න පොතේ මිළ. හැබැයි, පොත් ප්‍රදර්ශණයේදී, මේ පොතට, රු 800 ක වට්ටමක් ලැබී තිබෙනවා. මුදල්මය වටිනාකම නොව, දැනුම සම්බන්ධ වටිනාකම අතින්, අමිල ග්‍රන්ථයක් වන මෙය, මට ලබාදුන්, මගේ ලොකු දුවට, පින්සිදුවේවා කියා ප්‍රාර්ථනය කරනවා. 



   පොත කිලෝ ග්‍රෑම් පහකට වඩා බරයි. ඒ නිසා, අතේ තියාගෙන කියවන්න බැහැ. මේසයක් මත තබාගන්න සිදුවෙනවා. 


  මේ මහා ග්‍රන්ථයේ සම්පාදක ආචාර්ය, හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ගැන ඔබ අතරින් බොහෝ දෙනෙකු හොඳින් දන්නවා ඇතැයි සිතනවා. මටනම් එතුමා මතක තියෙන්නේ 1971 ජවිපෙ කැරැල්ලේ විත්ති පක්ෂයේ අධිනීතීඥ වරයා ලෙසයි. එමෙන්ම එතුමා 'සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්‍ෂය' නමින් දේශපාලන පක්ෂකුත් නිර්මාණය කළා.




   ශබ්ද කෝෂයේ සංඥාපනයෙන් කොටසකුත් කියවා බලමු. 



   ශබ්ද කෝෂයකින් අපට ඇති ප්‍රයෝජන අපමණ බව ඔබ හොඳින්ම දන්නවා. සිංහල අපේ සැලකියයුතු පිරිසකගේ වාග්කෝෂය ඉතා දුර්වල බව, අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් අහුලාගත් කෑලි සහ සිංහලටත් නැති, ඉංගිරිසියටත් නැති, විකාරරූපී වදන් අද්‍යතන සමාජයේ පාසල් සිසුන් පවා භාවිත කරනු ඇසීම කණගාටුවට කරුණක්. 

   මේ බලන්න, අද බහුලව භාවිත කෙරෙන වදන් දෙකක් වන, එළ සහ පට්ට යන වචන, වර්තමාන භාවිතයේ  යෙදෙන්නේ, අර්ථ විරහිතව බව, මේ ශබ්දකෝෂයෙන් පැහැදිළි වෙනවා. 




   දැන් ඔබම සිතා බලන්න, ඔබ පට්ට කියා භාවිත කලාම එහි දඩබ්බරයා, වැඩකට නැති පුද්ගලයා, නීචයා, යන තේරුම් ද තියනවා. 

   එළ යන වචනය පාවිච්චි කලාම, ගවයා, එළුවා, බිහිරා, එළාපන්, දමාපන්, යන අර්ථය තිබෙනවා.

  සමහරු, බ්ලොග් අඩවි වල පලකරන කමෙන්ට්ස් වලදී මේ වචන  පාවිච්චි කරනවා. හොඳයි නේද? 

   ශබ්ද කෝෂයක් කියවීමෙන් ඔබේ වාග්මාලාව දියුණු වෙනවා. මේ දිනවල මා, දවසකට මේ ශබ්ද කෝෂයෙන් පිටු එකක් හෝ දෙකක් කියවනවා. එසේ කියවන අතර, එම පිටුවේ ඇති වචන වලින්, මා දන්නා වචන සහ නොදන්නා වචන කොපමණ තිබේද යන්න සලකා බලනවා. 

   ඇත්තෙන්ම නොදන්නා වචන සෑහෙන්න තියනවා. ඒ ඒ වචනය, විවිධාර්ථ නැගෙන පරිදි යෙදිය හැකි ආකාරය, සැලකිල්ලට ගන්නවා. ලොකු සතුටක් දැනෙනවා, විවිධ වචන අලුතෙන් ඉගෙන ගත්තම. මා හිතනවා, එයින් මගේ බ්ලොග් ලිවීමට, සෑහෙන ආධාරයක් ලැබෙයි කියා. 

   අපි බලමු පිටුවක දෙකක කොටස් කීපයක්. 









   අපේ රටේ විවිධ ප්‍රදේශ වලදී විවිධ නම් වලින් හඳුන්වන ශාකයක් තමයි, ග්ලිරිසීඩියා ශාකය. මේ ශාකය, ගිනිසීරියා, වැටහිර, ලාඩප්පා, වැට මාර, ඇල්බීසියා, කණ්ඩිමුරුංගා, වැනි නම් වලටත් හිමිකම් කියනවා. 



   මේ ශබ්ද කෝෂයෙන්, මේ ශාකයට කියන තවත් නම් දෙකක් හමුවුණා. කොංඩමරංගා සහ මකුලතා. 




  කොකං කරනවා, කොකං ගානවා කියන වචන මීට කලින් අහලා තියනවද? කොකං කරනවා කියන වචනය නම් මා අසා තිබුණා.

   ව්‍යක්ත භාෂාවට අදාළ නොවන, එහෙත් එදිනෙදා සමාජයේ (විශේෂයෙන්ම පහල ස්ථර වල) භාවිත කෙරෙන වචන, මේ ශබ්දකෝෂයේ දක්වා තිබෙනවා. 











   සමහර වචන සඳහා දක්වා ඇති අර්ථය, නොගැලපේ හෝ ප්‍රමාණවත් නොවේ, කියා සිතෙන අවස්ථා තිබෙනවා.  මෙන්න උදාහරණ.



   බ්ලැක් මාර්කට් යන්න එලෙසම යොදා, බ්ලැන්කට් යන වචනයට, බ්ලැන්කේට්ටු කියා යෙදීමේ, නොගැලපීමක් තියන බවක් පෙනෙනවා. එහෙනම්, බ්ලැක් මාර්කට්ටු වියයුතුයි. 

   බ්ලේඩ් තල, බෝඩ් ලෑල්ල, වැනි වචන නොගැලපීම් සහිත බව, බෝහොවිට කියවෙනවා. එමෙන්ම මෙහි කියන්නේ, රැවුල් බෑම සඳහා ගන්නා, වානෙන් තැනූ තල යනුවෙන් පමණයි. නමුත්, බ්ලේඩ් යන වචනය, ලෝහ නොවන ද්‍රව්‍යයකින් නිමවා ඇති, සියුම් කැපුම් දාරයකටත් කියන්න පුළුවන්. edge යන අර්ථයද ඇතුළත්ව. 

  බ්ලොක් ගැන කිව්වාට, මේ ශබ්දකෝෂයේ, 'බ්ලොග්' යන වචනය නම් නැහැ. 

  බ්ලෝ ලාම්පුව, ධමනි ලාම්පුව වන්නේ කෙසේද යන්න, මට ගැටළුවක්. 





   උරපටි නැති බ්‍රසියර් දැන් තිබෙන නිසා, උරපටි යන යෙදුම ඉවත් කරන්නට සිදුවෙනවා.

   බ්‍රේක් යන්න මෙවලමක් කියා හැඳින්වීම වැරදියි කියා හිතෙනවා. මෙවලමක් කිව්වේ, device යන අර්ථයෙන් විය හැකියි. නමුත්, වාහනයක තිබෙන්නේ බ්‍රේක් පද්ධතියක් system නේද? බ්‍රේක් පෙඩල් එක මෙවලමක්ද? අනෙක් අතට Brake සහ Break යන දෙකම මෙතන විස්තර කලානම් හොඳයි.

   අසභ්‍ය යයි සම්මත කරගෙන ඇති සමහර වදන්, තවදුරටත් එසේම තබාගතයුතුද යන්න සිතා බැලිය යුතුයි. 



   කුණුහරප හෙවත් අසභ්‍ය වචන ගැන, මේ ශබ්දකෝෂයේ දක්වා තිබීම, එවැනි වදන් ගැන පර්යේෂණ කරන අයට ප්‍රයෝජනවත් වනු ඇති. 



  කුණුහරප වශයෙන්ම නොසැලකුණත්, අව්‍යක්ත වදන් ලෙස සැලකෙන වචනද ඇතුලත්ව තිබීම, වාග්මාලා පිළිබඳ කරුනු සෙවීමේදී වැදගත් වෙනවා. 





   ගැහැණියට තමයි සියලු අපහාස. පිරිමියා සුදනා. 

   ඔබේ බිරිඳ සූතිකාවක් ද? නැත්නම් ඔබේ නිවසේ ඉන්නවාද සූතිකාවක්? 




   ෆ අක්ෂරයෙන් ඇරඹෙන වචන සෑහෙන ගණනක් ඇතුළු කර තිබීම, මේ ශබ්දකෝෂයේ විශේෂ ලක්ෂණයක් ලෙස මා දකිනවා. 




   දැන් මේ ලිපිය කියවලා **න්, නිකම් ඉන්නවා එහෙම නෙවෙයි **න්. රුපියල් 4000 ක් ගියාට කමක් නෑ **න්, පොත අරගෙන **න්, කියවනවා හොඳයි **න්. පොතේ පිටු 2023 ක් තියනවා **න්.


2016 ඔක්තෝබර් මස 17 වැනි දින 2302 පැය 

16 October 2016

සිංහ වෙස් ගත් හිවල් මොටාලා

  මේ ලිපිය, කිසිසේත් ලියන්නට සිතාගෙන සිටි ලිපියක් නෙවෙයි. මේ දිනවල, සංස්කරණය වෙමින් පවතින ලිපි හයක්, මගේ බ්ලොග් ලිපි කෙටුම්පත් වශයෙන් තිබෙනවා. නමුත්, මගේ ආත්ම අභිමානය කෙලෙසන්නට වැර දරන, අවලම් ගති ලක්ෂණ සහිත පුඟුලන් කීපදෙනෙකුගේ, ඒ අවලම් චර්යාව නිසා මේ ලිපිය ලියවෙන්නට හේතු කාරණා පෑදුණා.

  හිවල්ලු සිංහයන් වෙන්න උත්සාහ කරණ එක අද ඊයේ වෙච්චි දෙයක් නෙවෙයිනේ. අනික ඒ ලෝක ස්වභාවය, බ්ලොග් ලෝකයට කියලා වෙනසක් නැහැ. කාලෙන් කාලෙට, බ්ලොග් ලෝකයේ, සිවල් ව්‍රතය, සුනඛ ව්‍රතය, නපුංසක ව්‍රතය, රකින උන්ගේ කිරිජ්ජ පල්ලට කෙවිටෙන් ඇනලා, 'ඒයි.....උඹ හිවලෙක්, සුනඛයෙක්, නපුංසකයෙක්, කියලා මතක් කරදීමට සිදුවීමත් පුදුමයක් නෙවෙයි. මේ ඊයේ පෙරේදා, මෙවැනි හිවලෙක්/සුනඛයෙක්/නපුංසකයෙක්/ කෙඳිරිගාමින් මගේ පස්සෙන් එනවා. ඔබ දන්නවා ඇති නේ, නපුන්සකයන් කෙඳිරි ගහා පස්සෙන් එන හැටි. අනේ පොඩ්ඩක් ඉන්නකූ....කියාගෙන. මේ නපුංසකයා/යෝ අන්න ඒ වගේමයි. 

   මේ බ්ලොග් නපුංසකයාට වැළඳිලා තියෙන්නේ එසේ මේසේ බ්ලොග් ෆොබියාවක් නෙවෙයි. කාලයක් තිස්සේ අවලම් රසය බෙදාදී ජනප්‍රියවීම තුළ ඔලුව උදුමවාගෙන හිටි මේකාට, ඒ ජනප්‍රියත්වය සදාකාලික නොවන බවත්, අවලම් කතා නොකියා, ඊට වඩා රසවත්ව ජීවිතය ගැන ලියන්නට හැකි බ්ලොග් කරුවන් සිටින බවත් තේරුම් යනවිට, නපුංසක තෙමේ හොඳටම ප්‍රමාදවී වැඩිය. 

   තමන්, සෘෂි වරයකු මෙන්, බ්ලොග්‍ ලෝකය තුළ, සදාකාලිකව වන්දනයට පූජාවට ලක්විය යුතු යැ යි, ස්වයං මෝහනයට සහ ස්වයං වින්දනයට පත්ව සිටින මෙවැනි පුඟුලන්, කිසිදිනක, තමන්ට අභියෝග එල්ලවනු දකින්නට අකමැතිය. ඒ අභියෝග, බ්ලොග් රචනය තුලින් අබිභවා යන්නට තරම් ලේඛන හැකියාවක්, තමන් තුළ නැති බව දන්නා මේ නපුංසකයා/යෝ, ඉනික්බිති, තම පහත් ජන්ම ලක්‍ෂණ පෙන්වමින්, තමන් මහමග පඳුරක් අස්සේ හොරිකඩ බැල්ලියකට ජාතක වූ බව, ලොවටම මොනවට පසක් කරමින්, අපහාසය පමණක් තම අවිය කරගනිමින්ද, අශූචි වලග ලැග සිටිමින් ප්‍රතිමල්ලවයාට සටනට අභියෝග කරන සූකරයන්ගේ තත්වයට පත්වෙති. 

   මේ අවජාතක ව්‍රතය නොඉවසන වෙනත් බ්ලොග් රචකයකු, සදාචාරාත්මක බව පසෙක තබා, මොවුන්ගේ සාමාන්‍ය පවුල් ජීවිතයේ ස්වරූපයට ගැලපෙන අසැබි වදනින් ඇමතූ කල්හි, වාලධිය පශ්චාද් භාගයේ ගසාගත්, හොරිකඩ පර බල්ලකු මෙන්, මම බෝසතෙක්මි යයි, බෑඟිරි ගසයි. 

   මුන්ගේ අවලම් අඩවි, අප විසින් අත්හැරදමා තිබුණත්, තමන්ගේ අවජාතක බව ප්‍රදර්ශනය කරමින්, ප්‍රස්තුතයට අදාළ නොවන අදහස්, අප අඩවිවල අතහැර දමා යති. පඳුරක් ගානේ කකුල උස්සන, අවජාතක හොරිකඩ පරබල්ලන්ගේ ව්‍රතය, මුන් අනුගමනය කරන බවට හොඳම නිදසුනකි. 

   මෙතැන්සිට කතාව මෙසේ පැහැදිලි කරමි.  මේ මෑතකදී, කලකට පසු, මා යුද අවියක් ගැන ලිපි මාලාවක් ලියන ලද්දේ පාඨකයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදිය. මා සිතුවාටත් වඩා එම ලිපි මාලාව ජනප්‍රිය විය. 

   ඊයේ පෙරේදා දිනක W 3 ලංකා බ්ලොග් අඩවියේදී, මේ ගොන් වහන්සේ, තමන් නොදන්නා විෂයයක් ගැන කමෙන්ට් එකක් දමා තිබුන අතර, මම එතැනදීම, ඒ බ්ලොග් සුනඛයාට නිසි පිළිතුරු දුනිමි. මේ තියෙන්නේ ඒ ගොන් අදහස සහ මගේ පිළිතුරයි. 








   මේ ලාමක පඟර නැට්ටා ප්‍රස්තුතයට අදාලව අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි පුස්සෙක් බව පැහැදිලිවම පෙනෙනවා. මෙන්න මම මේ පුස්සාට දුන්න පිළිතුර.






  වැඩේ වැරදුන බව පුස්සාට තේරුනා. පුස්සා වහාම තමන්ගේ ගොන්කම වහගන්න, තව කමෙන්ට් එකක් දැම්මා. ඒක හරියට, මේ කැනහිලා තමන්ගේ රෙද්ද කඩලා මූණ වහගත්තා වගේ. පුස්සාගේ හෙළුව එහෙම පිටින් එළියේ.




  ඇත්තටම මේ හරකා රෙද්ද කඩා මූණ වහගත්තා නොව සියලුම රෙදි උනා, බලපල්ලා මගේ සීතාම්බරපටයේ ලස්සන කියා කීමක් තමයි කරන්නේ. මට වට්ටෝරු වෙදෙක් කියන මේ අමනයා, GPMG තුවක්කුව ගැන නොදන්නා දැනුම හිඟන්නෙකි. මහා ප්‍රාඥයකු මෙන් එම තුවක්කුවේ සම්පූර්ණ නම ලියා ඇත්තේ මීටපෙර කිසිවකු නොදත් දෙයක් ප්‍රකාශ කරන ආකාරයටය. ඕනෑම කෙනෙකු GPMG යන අකුරු හතර යොදා සෙවීමක් කලවිට, මෙන්න මේ විස්තර ලැබේ.   මේ වෘෂභ රාජයා එතනින් ගත් විස්තර ඇදබාන්නේ, රම්බෝ වගේ යුධයට ගිය කෙනෙකු මෙනි. නමුත් මුන්දෑ නොදන්නා කරුණ නම්, අපේ හමුදාව පාවිච්චි කරන්නේ, එම ලින්ක් එකේ දක්වා ඇති මෝස්තරය නොව මෙන්න මේ මෝස්තරය බවයි.   මුන්දෑ කියන දුරට වඩා වැඩි දුරකට මේ අවියෙන් වෙඩි තියන්න පුළුවන්. ඒ මදිවට මේ මීහරකා, GPMG යනු field gun එකක් යයි තප්පු ලයි.  ඔබම බලන්න field gun කියන්නේ කුමක්ද කියා. ඉදින් මෙවැනි ගවයන්ගේ කර ඇඹීම, නොපමාව කලයුතු බව ඔබට වැටහෙනු ඇති. වෙඩි තැබීමේදී විශාල පරාසයක් ආවරණය කළහැකි නිසා,  (beaten zone) GPMG අවිය, (area weapon) එකක් ලෙස හඳුන්වනවා. 

   කිසිදු අවස්ථාවක අනුඛණ්ඩයක් (detachment) කිලෝමීටර් 3 - 4 ක් ඈත තනිව ස්ථානගත නොකරන්නේ, 

1.  අවශ්‍ය අවස්වථාකදී ආධාරක භටපිරිස් ලබාදීම (reinforcement)  අපහසු වීම.

2. ආධාරක වෙඩි බලය සහ සන්නද්ධ රථ ආධාරය ලබාදීම, අපහසු වීම. (support fire and tank support) 

3. තුවාලකරුවන් ඉවත්කරගැනීම අපහසුවීම. (casualty evacuation - CASEVAC)

4. වියළි/අමු සලාක ද්‍රව්‍ය සැපයීම අපහසුවීම.

5. නිතර ගුවනින් අවශ්‍යතා සැපයීමේදී, ගුවන් යානා සහ කඳවුර යන දෙකම, දැඩි අවදානමකට පත්වීම.

යන කරුණු නිසා ය. 

  හැක් හැක්, මේ අයියා, ආදී කාලයේ කරුපයියෙකි. 1958 මැෂින් තුවක්කු ප්‍රහාර ගැන කතාකරන මේ කරුපයියා, 1971 දී,  .303 LMG අවියෙන්, අපේ හමුදාව සටන් කල ආකාරය ගැන මොකුත් නොදන්නා, කරුමක්කාර කරුපයියෙකි. 

  මුන්නැහැ එසේ මෙසේ ප්‍රාඥයකු නොවේ. වින්නඹු අම්මලාගේ අත් උදව්වට යැවීමට තරම් සුදුසු ප්‍රාඥයෙකි. අයුතු ජනරාශියක් විසුරුවා හැරීම පිළිබඳව, මා ලියන ලද ලිපිය, මුන්නැහේගේ  මහා දැනුම් සම්භාරය අනුව විකාරයකි. ඇත්ත ඇත්ත, 'ඌරෝ කවද්ද කහ කෑවේ' කියලා, පරණ කියමනක් තියනවනේ. 

   මුන්නැහේ ඉස්සර ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුන  'විනෝද සමය' වැඩසටහනේ පිටපත් ලිව්වානම් බොහොම හොඳයි කියා මට සිතේ. අයුතු ජන රාශියක් විසුරුවා හැරීමට, හමුදා නිලධාරියකුට බලයක්, ඔහුගේ නිළ බලයෙන් ලැබී ඇතැයි මම කියා නැත්තෙමි. නමුත් මේ ගව උන්නැහේ, තමන්ගේ සරම කණපිට ඇඳගත්තා මදිවට, කඩුල්ලත් අල්ලා අමුඩය ගසාගෙන ඇත. අයුතු ජනරාශියක් තමන්ට විසුවන්නට තරම්, භටපිරිස් ශක්තියක් නැති බව, පොලීසියට අවබෝධවූ විට, ස.පො.අ. නිලයේ නිලධාරියකු උසාවිය වෙත ගොස්, ඒ බව වාර්තාකොට, හමුදා බලය ඉල්ලා සිටී. එවිට මහේස්ත්‍රාත් වරයා, එම බලය ලබාදෙන්නේ, හමුදාවෙන් විමසා, හමුදාව විසින් නිර්දේශ කරන නිලධාරියා වෙතටය. නැතහොත්, එම නියෝගය ලැබෙන්නේ, ඉඳුරාම හමුදාපතිවරයා වෙතටය. ඉන්පසු සුදුසු නිලධාරියකු යොදවන්නේ, හමුදාපතිවරයා විසිනි. ඒ කාර්යය හමුදාව භාරගත් පසු, මහේස්ත්‍රාත් වරයාද කැටුව යන්නේ, නීතියට අනුකූලව එම ක්‍රියාන්විතය සිදුවේද යන්න නිරීක්ෂණය කිරීමටය. මේ කරුපයියා අයියා Commissioned Officer / Gazetted Officer කියන දෙකේ වෙනසවත් නොදන්නා හරක් අයියෙකි. 

දැන් බලමු තවත් මේ වෛශා පුත්‍රයන්ගේ කමෙන්ට් කීපයක්.




  
  බලන්න මේ ඇනෝවා සාමාන්‍ය සෙබළකු බඳවාගන්නා පරිපාටිය ගැනවත් අවබෝධයක් නැති පුස්සෙකි. psc යනු, අධිකාරියට පත්වූ නිලධාරීන්ට පමණක් හිමිවන පාඨමාලාවක් බව නොදන්න මේ ගවයා, මා අධිකාරියට පත්වුණේ  ඒ පාඨමාලාව කිරීම නිසාදැයි අසයි. එන්සීඕ කමිෂන්ඩ් කියා අධිකාරි පත්වීම් දෙන ක්‍රමයක්, හමුදාවේ නැති බවද මේ හරකා නොදනී. හමුදාවේ තිබෙන්නේ Field Commission සහ Quartermaster Commission යන ක්‍රම දෙක පමණක් බව, මේ ගවයා නොදනී. මූ අහන්නේ, සෙසු නිලයකු ලෙස සිට පසුව අධිකාරිය ලැබුවාද යන්න විය හැකිය. හැබැයි මෙතනදී මූ, උඩබලාගෙන කෙල ගහගන්නවා පමණක් නොව, මුගේ දෙමව්පියන්ටද සමන්වා ගනී. ඒ මෙසේය. 

  ප්‍රභාකරන් මරණයට පත්කළ භටපිරිස් අතර සිටි ප්‍රධාන පෙළේ නිලධාරියකු, මෙලෙස සෙසු නිලයකු ලෙස සිට, අධිකාරියට පත්වූවෙකි. එමෙන්ම එවැනි තවත් එක් නිලධාරියකු, ඒ අවස්ථාවේ එතන සිටියේය. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු ඒ සිද්ධිය මට සවිස්තරව දුන්නේ ඔහු ය.  මේ දෙදෙනා අද ද ශ්‍රී ලංකා යුද හමුදාවට විශිෂ්ට සේවයක් ඉටුකරති. ඊට අමතරව මෙලෙස සෙසු නිලයන්ව සිට අධිකාරියට පත් සෑහෙන පිරිසක්ද, සේවයේ යේදී සිටිති. 

   මෙවැනි හරකුන්ට, යුද හමුදා පරිපාලනය ගැන දැනුමක් නොතිබීම නිසා, ශ්‍රී ලංකා යුද හමුදාවට කරන අපහාසයම ඇති, මුන්ව අධිකරණයට ගෙන යන්නට. 

   මෙලෙස සෙසු නිලයන්ව සිට අධිකාරියට පත්ව, මේජර් ජෙනරල් නිලය දක්වා උසස්වීම් ලැබූ නිලධාරීන් සිටින බව, මේ හරකා නොදනී.  මූ හිතන්නේ, සෙසු නිලයකුව සිට අධිකාරියට පත්වීම, පහත් පෙළේ අධිකාරී පත්වීමක් ලෙසයි. අනේ මෙවැනි හරකුන් වැදු මුන්ගේ මව්ලාට.....






   මේ උන්නැහේ කවුද කියා මම හොඳින්ම දනිමි. අර අපේ රුවන් එම් ජයතුංග දොස්තර මහත්තයා කියනවා වගේ, මූ විශාදය නමැති රෝගයෙන් පෙළෙන්නෙකි. මූට විශාදය හැදුනේ හරිහමන් පදනමක් නැති ජීවන රටාවක ඉන්නා එකෙකු නිසාය. 

   මූ සෑහෙන මහන්සිවී කලකට ඉහතදී වෙනත් බ්ලොග් කරුවන් වෙත දුරකථන ඇමතුම්, ඊ මේල් යවා, විචාරක තුමා කියන්න එපා කිව්වේය. එයින් කීපදෙනෙක් ඒ ගැන මට කියා සිටී අතර, මා කිව්වේ, එය හොඳ බවත්, ඔබට කැමති ආකාරයකට මා ඇමතීමට ඔබට නිදහස ඇති බවත්ය. බ්ලොග්කරුවන් දෙදෙනෙක්, මගේ එක්තරා ලිපි මාලාවක, පළමුවැනි කොටසේදී විචාරකතුමා යනුවෙන්ද, දෙවැනි කොටසේ සිට විචා යනුවෙන්ද ඇමතුවේ, ඒ නිසාය. මේ විචා යන නාමයට මම බෙහෙවින් ප්‍රියකරමි. මන්ද, එයින් මා තුළ, තාරුණ්‍යයේ ජවයක් ඇතිකරන නිසාය. අද මට විචාරක තුමා යනුවෙන් අමතන බොහෝ අයට, එසේ නොකරන ලෙස මා ඉල්ලා ඇති වාර ගණන ද අපමණය. 

  හැබැයි මේ පුඟුලා උඩින් පෙන්වන්නේ බොහොම ලොකු හිතවත්කමකි. මේ අයියා, නූගත්කම, බේබදුකම, අවුල්සහගත පවුල් අතීතය නිසා, තවතවත් විශාදයේ පතුලට කිඳා බසිමින් සිටී. 

   මගේ පදක්කම් ගැන අහන මේ කැනහිලා,  වීර පදක්කම් එකක්වත් නොලබා විශ්‍රාම ගිය මේජර් ජෙනරල් වරුන් පවා සිටින බවත්, ඔවුන් සටන් පෙරමුණේ සිටියත්, වීරපදක්කමකට නිර්දේශ නොලද බවත්, නොදන්නා මේ ගොන් තඩියා, විශ්‍රාමික නිලධාරීන්ගේ ලැයිස්තුවක් සොයා නොකියවන්නේ ඇයිද කියා නොදනිමි. 

   


   ඔව් මා එහෙම ලිපියක් ලිව්වා. එය ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඇයි ඒ කුමන්ත්‍රණ කතාව යටගියේ? ඒ යට යාමෙන් තමයි මේ හවුල් ආණ්ඩුව බිහිවුනේ. එදා ජනාධිපති මැදුරට, අගවිනිසුරු, නීතිපති, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, පැමිණ සිටි බව කියවුනා. ඒ ඇයි? රනිල් වික්‍රමසිංහ මහතා එදා කලකී දේ ගැන මාධ්‍ය වාර්තා කියවා බලන්න. 

   විශ්‍රාම ගියා කියා හමුදා නිලධාරියකුට හමුදාව සමග ඇති සබඳකම් බිඳී යන්නේ නැත. ආරංචි දැනගැනීමට බාධා නැත. නමුත් ඒවා ලැබෙන්නේ හමුදාවේ සිටියදී හොඳ මානව සබඳතා තබාගත්තා නම් පමණයි. සමහර විශ්‍රාමිකයන්, විශ්‍රාම ගොස් වසරකින් දෙකකින් මියයන්නේ, එවැනි සබඳතා නැතිවීමෙන් ඇතිවන හිත වේදනාවත්, එක් හේතුවක් නිසා. 



   අපහාස ටික පැත්තක තියමුකෝ. මේ හරකා දන්නේ නැහැ, අවශ්‍ය නම් ජීවත්ව සිටියදී, පරම වීරවිභූෂණය ප්‍රදානය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ හමුදා කතා කියන සාමුවන් බොහොමයක්, හමුදා දැනුමක් ඇති එවුන් නෙවෙයි. 

 සාරස හෙවත්, මා දන්නා තරමින්, 'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වරයා' සෑම අඩවියකටම පැමිණ, අන්දරේ කෙනෙකු මෙන් හැසිරෙයි. මොහු දේශපාලන ලිපිවලට දමන කමෙන්ට් වල පවා, අර උදය ගොම්මන්පිල වැනි දේශපාලන හරකුන් දක්වන ජෝකර් ලක්ෂණ විනා, ගැඹුරක් හෝ හරයක් නැත. තාත්වික සහ තර්කානුකූල බවක් නැත. මා සබැඳි කමෙන්ට් බොහොමයකදී, මොහු තම නිර්ලජ්ජී බව ප්‍රකාශ කරන 'ජෝක් කෑලි' එකතුකිරීමට වඩා යමක් කර නැති නිසා, ඔහුද නිකම්ම නිකම් පුස්සකු ලෙස නම් කරමි.  




   දේශපාලනය ගැන මහා කොමෙන්ට් කරුවකු වුනාට, ජනරළ පත්තරය ගැන වත්, සාරස නොදනී. දේශපාලන කමෙන්ට් දැමීමට නම්, රටේ දේශපාලන ඉතිහාසය කියවා, ප්‍රාමාණික අවබෝධයක් ලබා සිටිය යුතු බව නොසිතන සාරසලා, වැදුවන් ඉදිරියේ කොලොම්බු ලන්නා සේ කතාකිරීම, දෙකොනින් හිනායන විහිළුවකි.  කිසිදු දර්ශනයක් නැතිව මේසේ විහිළු කෑලි ලිවීමෙන්ම ඔහුගේ පුහුබව පෙනෙයි. 





   හැක්. පැන්ෂන් ගිය කෝප්‍රල්ලා සාජන්ලා විතරක් නෙවෙයි, මේජර් ජෙනරල්ලාත් අර ඇවන්ට් ගාඩ් එකේ මේජර් සේනාධිපති යටතේ වැඩ කරන්නේ. 

   හරකෝ, මේක මතක තියාගනින්. මට හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මට වෙනත් ආදායම් මාර්ග තියනවා, මටම අයිති නිවසක්, කාර් එකක් තියනවා, මගේ බිරිඳටත් විශ්‍රාම වැටුපක් ලැබෙනවා, මගේ දරුවෝ හොඳ රැකියාවල ඉන්නවා. ඒ නිසා මට වෙනත් රැකියා අවශ්‍ය නැහැ. උඹ වගේ හිඟන්නෙක් නෙවෙයි මම. 

 අන්තිම කොමෙන්ට් එක දාලා තියෙන්නේ අර මම ඉංගිරිසි නිවැරදි කරපු හිඟන්නා විසින්. මම උගේ ඉංගිරිසි නිවැරදි කලාට පස්සේ, ඌ මලලසේකර ශබ්ද කෝෂය බලලා තියනවා. මුගේ සිඟිති මොලේට තේරෙන විදිහට මූ හිතන්නේ ,මම ලිපි ලියන්නේ ඒ ශබ්දකෝෂයෙන් කියලා. තේරෙනවා නේද මුන්ගේ තරම. මුන්ට තමයි කියන්නේ;

ඇතුල් පැත්ත පිටපැත්ත නොදන්නා 
කිතුල් පිත්ත මත පියවර මැන්නා 
උකුල් ඇටෙත් උගෙ එලියට පැන්නා 
එහෙව් උනුත් අද සබයට එන්නා 

 ඒ මදිවට එකෙක් මට ගහන්නම ප්‍රොෆයිල් එකක් හදාගෙන. මීට ඉස්සර කවදාවත් අහලා නැති සුමිත් කියන නමකින්, මේ කැනහිලා ඇවිත් තියෙන්නේ. බලනකොට මේ මටම ගහන්න අටවගත්ත ප්‍රොෆයිල් එකක්. 




   මා කණගාටුවන එක් කරුණක් තියනවා. මා ප්‍රති උත්තර නොදී සිටියදීත්, කිසිදු කමෙන්ට් එකක් දමා නොතිබියදීත්, මට අපහාසාත්මක කමෙන්ට් දැමුවිට, එසේ කිරීම අසාධාරණ බව කීමට හෝ එවැනි කමෙන්ට් ඉවත් කිරීමට අජිත් පැරකුම් ක්‍රියා නොකිරීම ගැන කණගාටුයි. 

   මේ සියල්ල අධ්‍යක්ෂණය කරන්නේ, අර මම කලින්ම සඳහන් කළ බොරු උපාසකයා බව, මට ලැබුණු දුරකථන ඇමතුම් පහකින් කියවුණා. මේ සුනඛයන්ට උත්තර නොදී නිකම් ඉන්න එපා කියා, මට දැන්වූ සියලු දෙනාට ස්තුතියි. 

  මගේ අඩවියේ ඇනෝ කමෙන්ට් වලට ඉඩ නැතිවීමේ දුකෙන් පෙළෙන කාලකන්නි හැත්ත එකක් මතක තියාගනිල්ලා. මේ මගේ අඩවිය. කමෙන්ට් අනුමත කිරීම හෝ කපා දැමීම මගේ අභිමතය අනුවයි සිදුවෙන්නේ. 

2016 ඔක්තෝබර් මස 16 වැනි දින 0032 පැය 

10 October 2016

ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ............. ඔන්න මම කියලා දෙනවා...................... (තුන්වැනි කොටස)

   ඉතින් කොහොමද? මේ ලිපි මාලාව, ඔබේ සිත තදින්ම පැහැරගත් බව, බොහොමයක් ප්‍රතිචාර වලින් පෙනෙනවා. ලිපියේ මීට පෙර කොටස්, තවමත් කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. මා සිතා සිටියාට වඩා බොහොමයක් කරුණු ගැන, ඔබ දක්වන උනන්දුව ගැනත්, ඔබට ස්තුතිවන්ත වෙනවා. සමහර පාඨකයන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට සිදුව තිබෙන නිසා, කලින් සිතා නොසිටි සමහර කරුණු ද, මේ කොටසට ඇතුලත් කරන්න සිදුවුණා. 

   මේ කොටස ආරම්භයේදීම, ඔබට AK 47 තුවක්කුවේ කොටස් සහ, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සරල අවබෝධයක් ලබා දියයුතුයැයි මා සිතුවා. ඒ නිසා, අපි මුලින්ම, මේ අවියේ කොටස් හඳුනාගනිමු.



   හොඳයි, බොහොම සංකීර්ණයි වගේද පෙනෙන්නේ? ඇතුලේ කොටස් මොකුත් නැතුව, බාහිර පෙනුම විතරයි මෙතන පෙන්නන්නේ. ඔක්කොම කියන්න ගියොත් මෙන්න මේ වගේ සංකීර්ණයි.




  මේ ඔක්කොම ඕනේ නැහැනේ? මොකද විභාගයකට ඉගෙනගන්නවා නෙවෙයිනේ.  ඒ වගේම හොඳින් බලන්න, ඉහත පින්තූරය සහ මේ පින්තූරය අතර, කොටස්වල නම් ලිවීමේදී, වෙනසක් තියනවා. මා ලියා තිබෙන්නේ, අපේ රටේ පුහුණුවේදී කියන නම්. 

   ඉහත පින්තූරයේ තියන කොටස් වලින් මොනවද වෙන්නේ කියා, කෙටියෙන් සරලව කියන්නම්.

  • බට් ප්ලේට් = තුවක්කුවේ මිටේ පසුපසින්ම සවිකර තිබෙන මේ ලෝහ තහඩුවෙන් තුවක්කු මිටේ ලීය ආරක්‍ෂා වෙනවා. මේකේ පොඩි දොරක් තියනවා. තුවක්කුව පිරිසිදු කිරීමේ උපකරණ තියෙන්නේ ඒ දොර ඇරියම, තුවක්කු මිට ඇතුළේ.


  • බට් = තුවක්කු මිට. ලීයෙන් හදලා තියෙන්නේ. විවිධ මෝස්‌තර අනුව මෙහි හැඩය සහ සාදා ඇති ද්‍රව්‍යය වෙනස් වෙනවා.


  • රිලීසිං කැච් = ඒ කියන්නේ තුවක්කු බඳෙන් එලියට ඇවිත් තියන අර පුංචි හතරැස් බොත්තම. මේක ඔබලා, ඊට ඉහලින් තියන රිසීවින් කවර් එක හෙවත්, තුවක්කුවේ යාන්ත්‍රික කොටස් වැසී තිබෙන ආවරණයත්, තුවක්කුවේ රිටන් ස්ප්‍රින් යනුවෙන් හඳුන්වන දුන්න සහ, පිස්ටන් බ්ලොක් එකත් ගලවන්න පුළුවන්. (ඇයි ගලවන හැටි පහුගිය කොටසේදී වීඩියෝ එකකින් කියලා දුන්නනේ) 






  • සිලෙක්ටර් = ඒ කියන්නේ, වෙඩි තැබීම සහ අගුලු දැමීම කරන පාලකය. මෙය ඉහලටම එසවූ විට, තුවක්කුව අගුළු වැටෙනවා. පහතට එක වරක් දැමුවිට, ස්වයංක්‍රීය තත්වයට පත්වෙනවා. ඒ කියන්නේ, නොකඩවා සියලුම පතරොම් වෙඩි තැබිය හැකියි. තවත් වරක් පහතට දැමුවාම, අර්ධ ස්වයංක්‍රීය තත්වයට එනවා. එවිට, තුවක්කුවේ කොකා මිරිකන සෑම වාරයකටම, එක් පතරොම බැගින් පත්තු වෙනවා. 








  • රියර් සයිට් = මෙයින් තමයි වෙඩි තැබීමේ දුර සකසාගැනීම සහ ඉලක්කය ගැනීම සිදුකරන්නේ. 






  • අපර් හෑන්ඩ් ගාඩ් = තුවක්කුව හොඳින් ග්‍රහණය කරගැනීමට මේ කොටස උදව් වෙනවා.

  • ගෑස් වෙන්ට්ස් = මෙයින් කරන්නේ පතරොමකින් නිකුත් කෙරෙන අධික වායු පීඩනයෙන්, කොටසක් මුදා හැරීමයි. තුවක්කුව තුළ අනවශ්‍ය වායු පීඩනයක් ඇතිවීම වලකිනවා.

  • ගෑස් ටියුබ් = මෙතන විශ්මයජනක ක්‍රියාවක් සිද්ධ වෙනවා. පතරොමක් පත්තුවී ඇතිකරන මහා වායු පීඩනයෙන් කොටසක්, තුවක්කු බටය දිගේ උණ්ඩය ඉදිරියට තල්ලු කරගෙන යන අතර, මෙතනදී එම අධික වායු පීඩනයෙන් කොටසක්, ගෑස් ටියුබ් එක දිගේ ඉහලට ගොස්, ගෑස් චේම්බරයට යනවා. එය කොපමණ අධික පීඩනයක්දැයි කිවහොත්, තුවක්කුවේ පිස්ටනය, සම්පූර්ණයෙන් පසුපසට තල්ලුකර යවනවා. ඒ ක්‍රියාවලියෙන් තමයි, ඊළඟ පතරොම පත්තුවීමේ ක්‍රියාවලිය, ස්වයංක්‍රීයව සැකසෙන්නේ.

  • ෆෝ සයිට් පිලර් = රියර් සයිට් එකෙන් විතරක් ඉලක්කය ගන්න බැහැනේ. වෙඩි තබන්නාගේ ඇස, රියර් සයිට් එකේ අර කට්ටය, (බැට්ල් හෝල්) එක, ෆෝ සයිට් පිලර් එක තුළ තිබෙන ෆෝ සයිට් ටිප් එක, ඉලක්කය, කියන ඔක්කොම, එකම සරල රේඛාවක සමපාතව පිහිටන්න ඕනේ, නිවැරදිව ඉලක්කය ගන්න නම්. 




  • මස්ල් = තුවක්කු කට 
  • ක්ලීනින් රොඩ් = තුවක්කු බටය පිරිසිදු කරන කූර


  • බේනට් = බයිනෙත්තුව (මෝස්‌තර කීපයක් තියනවා. අපේ රටේ පාවිච්චි කරන්නේ මේ මෝස්තරය. මෙය තුවක්කු බටය යට පිහිටන සේ නවන්න පුළුවන් අවශ්‍යවිට.) 


  • බැරල් = තුවක්කු බටය 
  • ෆෝහෑන්ඩ් ගාඩ් = මෙතනින් තමයි වෙඩි තියනවිට ඉදිරියට යොමුවන අතින් තුවක්කුව අල්ලාගන්නේ. 
  • මැගසින් = පතරොම් ගැබ. මෙහි පතරොම් 30 ක් පිරවිය හැකියි. පොඩ්ඩක් බලන්නකෝ පුරවන හැටි. හැබැයි මෙයා පුරවන්නේ, ලෙඩ කපුටා වැල ගිලින වේගෙන්. යුද්දෙදි අපේ කොල්ලෝ පුරවන්නේ, ඇහිපිල්ලම් ගහන වේගෙන්. 




   පතරොම් දැම්මා වගේ නෙවෙයි ඒවා අයින් කරන හැටිත් දැනගන්න එපායැ. ඔන්න බලාගන්න, කොහොමද පතරොම් ඉවත්කර තුවක්කුව ආරක්ෂක තත්වයට ගන්නේ කියලා. මේ වීඩියෝව පසුව එකතු කළේ , 
ගේ කමෙන්ට් එක කියෙව්වට පස්සෙයි.




  • මැගසින් කැච් = මැගසින් මාරුකරන්න මේක ඉදිරි පැත්තට මිරිකලා මැගසින් එක ගලවන්න පුළුවන්.


  • ට්‍රිගර් ගාඩ් = තුවක්කුවේ කොකාගේ ආරක්ෂාවට තියන යකඩ පටිය.

  • ට්‍රිගර් = තුවක්කුවේ කොකා 

  • පිස්ල් ග්‍රිප් = මේක හරියට පිස්තෝලෙක මිට වගේ නේද? ඒකයි මේ නම කියන්නේ. තුවක්කුව අල්ලාගන්නා අත් දෙකෙන්, පසුපස තියන අතින් තමයි, මෙතන අල්ලාගන්නේ.

  • ස්වයිවල් රිං = තුවක්කුව එල්ලාගෙන යන පටියේ එක කොනක් මෙතනට හයිවෙනවා. එතන දිගටි හැඩයේ මුද්දක් තියෙන්නේ. 

   දැන් හරි නේද කෑලිටික? දැන් පොඩ්ඩක් බලමුද ඔය කෑලිටික එකතුවෙලා, මේ තුවක්කුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ වීඩියෝව නොවරදවාම බලන්න.




   මේ තුවක්කුවේ ගතිලක්‍ෂණ, Characteristics දැනගැනීම තමයි, ඊළඟට වැදගත් වෙන්නේ. මෙන්න ඒ විස්තරය. වැදගත්ම කරුණු පමණයි.


  • වර්ගීකරණය = ප්‍රහාරක රයිෆලය 
  • මෝස්තරය = AK 47 
  • ස්ථිර ලී මිට සහිත මෝස්තරයේ තුවක්කුවේ දිග = මි.මී. 880 (අඟල් 35)
  • මැගසින් එක රහිතව බර = කි.ග්‍රෑම් 3.7 
  • පතරොම් පිරවූ මැගසින් එකක් සහිතව බර කි.ග්‍රෑම් 4.75 
  • තුවක්කු බටයේ දිග = මි.මී. 415 (අඟල් 16.3)
  • යොදවන පතරොම් කැලිබරය = 7.62 x 39 මි.මී. 
  • යොදවන පතරොම් වර්ග = 
  • (1) 7.62 x 39 සාමාන්‍ය, 
  • (2) 7.62 x 39 Armour Piercing = සන්නාහ විනිවිද යන, 
  • (3) 7.62 x 39 Incendiary = ගිනි අවුළුවන, 
  • (4) 7.62 x 39 Tracer = රාත්‍රී කාලයේදී ඉලක්ක පෙන්වන.
  • (5) 7.62 x 39 Blank = පුහු පතරොම් 
  • තුවක්කුව ක්‍රියාකරන න්‍යාය = වායු පීඩනයෙන් ක්‍රියාත්මක. කරකැවෙන බෝල්ට් ක්‍රමය Gas operated, rotating bolt 
  • වෙඩි තැබීමේ වේගය = විනාඩියකට උණ්ඩ 600 යි. 
  • තුවක්කු කටෙන් උණ්ඩ පිටවන වේගය = තත්පරයකට මීටර් 715 (අඩි 2350)
  • ප්‍රතිඵලදායක වෙඩි දුර = මීටර් 350 

   මේ තුවක්කුව,  වෙනත් සංග්‍රාමික ක්‍රියාකාරකම් සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි, මේ තුවක්කුව බෝම්බ විදිනයක් ලෙස පාවිච්චි කිරීම. මේ සඳහා යම්කිසි වෙනස්කමක් කරන්න වෙනවා. පහත වීඩියෝ වලින් ඔබට එය කරන ආකාරය බලන්න පුළුවන්.






   
   මේ අවියට සයිලන්සරයක් සකස් කරන්න, ලෝකයේ විවිධ රටවලදී උත්සාහ ගෙන තිබෙනවා. අපේ විශ්වකර්ම දොස්තර මහතාත්, මෙය සාර්ථකව කර තිබෙනවා. නමුත් එය දකින්න නොලැබීම, අපේ අවාසනාවක්. මේ බලන්න එලෙස ගෙදර හදපු සයිලන්සරයක ක්‍රියාකාරිත්වය. 



   හොඳයි, පසුගිය ලිපියේදී මම ඔබට කිව්වා, මේ තුවක්කුවට නෑදෑයන් ඉන්නවා කියා. ඒ අය අතරින් ළඟම නෑයන් දෙදෙනෙකු පමණයි, මා ඔබට හඳුන්වා දෙන්නේ. එහෙම නැත්නම් 25 කට වඩා ඉන්න නෑයන් ගැන කියන්න ගියොත්, තව ලිපි 25 ක් ලියන්න වෙයි.

T 56 ප්‍රහාරක රයිෆලය 

   චීනයේ නිෂ්පාදිත මේ රයිෆලය, 1956 වර්ෂයේදී තමයි, භාවිතයට ගෙන තිබෙන්නේ. ඒ නිසයි මෙය, Type 1956 හෙවත් T 56 යනුවෙන් හඳුන්වන්නේ. මුලදී නම් මෙය, සෝවියට් AK 47 අවියේ ගෙඩිපිටින් කොපියක් ලෙසයි නිපදවා තිබෙන්නේ. අද මෙය අතිසාර්ථකව නිෂ්පාදනය වන ලෝක වෙළඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් තියන අවියක්. අපේ ත්‍රිවිධ හමුදාවත් පාවිච්චි කරන්නේ මේ අවියයි. චීනයේ නොරින්කෝ සමාගමයි මේ අවිය නිපදවන්නේ. ගති ලක්ෂණ 99% ක් AK 47 ට සමානයි.




T 81 ප්‍රහාරක රයිෆලය 

   මේ අවියත් චීනයේ නිෂ්පාදනයක්. 1981 දී තමයි භාවිතයට ගෙන තිබෙන්නේ.  ඒ නිසයි T 81 යනුවෙන් හඳුන්වන්නේ. මූලික න්‍යාය AK 47 ම තමයි. සියලුම කොටස් ඒ හා සමානයි. තුවක්කු බටයේ සැකැස්මේ සුළු වෙනසක් තියනවා. එමෙන්ම මේ අවියේ සිලෙක්ටරය, ඉතා කුඩාවට අවියේ වම් පැත්තේ සවිකර තියනවා. මේ නිසා වැරදීමකින් තුවක්කුව පත්තුවීමේ අවදානම වැඩියි. එසේ සිදුවූ අවස්ථා මා දැක තිබෙනවා.  AK 47 ට සහ T 56 ට වඩා බරෙන් වැඩියි. ගැස්සීමත්, ශබ්දයත් වැඩියි. මේ අවියත් අපේ ත්‍රිවිධ හමුදාවල තියනවා. නමුත් දැන් භාවිතය බොහොම අඩුයි. 






   දැන් ඉතින්, මේ ලිපි මාලාවේ අවසානයටයි අපි පැමිණ තිබෙන්නේ.

   ලෝක සංග්‍රාමික භූමියේ විප්ලවයක් කල, විශ්මයජනක අවියක් ගැනයි අපි මේ ලිපි මාලාවෙන් කතාකලේ.

   ඇත්තෙන්ම මේ අවියේ නිර්මාතෘ ලුතිතන් ජෙනරල් මිඛායිල්  කලෂ්නිකොව් මේ අවිය නිපදවුවේ නැත්නම්,  සෝවියට් දේශය ලෝක සිතියමෙන් අතුගෑවී යන්නට ඉඩ තිබුණා.  ඔහු, මේ අවිය, තම ජාතියේ නිදහස වෙනුවෙන් නිපදවා පරිත්‍යාග කළා විනා, එයින් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවූ, සැබෑ දේශමාමක නිලධාරියකු බව, මෙහිදී අවධාරණය කලයුතුයි.

   ඔහුට ලබාදියහැකි උපරිම ගරු සම්මාන සෝවියට් දේශය විසින් ලබාදුන් අතර, ඔහුගේ කියමන් පවා, ආදර්ශ පාඨ ලෙස, ප්‍රචලිතව තිබෙනවා. එයින් එක් කියමනක් මෙහි දක්වමින්, මේ ලිපිමාලාව මෙතෙකින් අවසන් කරනවා.



2016 ඔක්තෝබර් මස 10 වැනි දින 0033 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }