හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 September 2016

ගීතයෙන් ගීතය

   නෑ නෑ, ඒ අර සින්දු කියන තරගේ නේ. මේක එහෙම දෙයක් නෙවෙයි. මේක මගේ මතකය අවදි කිරීමක්. පැරණි ගීත සහ ගායක ගායිකාවන් හඳුන්වා දෙමින්, මීට පෙර මා ඉදිරිපත් කල ලිපිය මතකයි නේද? මේ දිනවල, සිංහල බ්ලොග් ලෝකය පුරා, ගීත සාහිත්‍යයට විශේෂ තැනක් දෙන ලිපි, නිතර ලියවෙනවා. ඇත්තටම, පැරණි සිංහල ගීත සාහිත්‍යය ගැන, මගේ මතකය යලිත් අවදිවුණේ,  පැරණි හින්දි ගීත සොයමින්, යූ ටියුබ් එකේ සැරිසරණ අවස්ථාවකයි. හින්දි සංගීතය තුලින්, සිංහල සංගීතය පෝෂණය වූ බව, ඔබ බොහෝ දෙනෙකු දන්නවා.

    මුල් කාලයේදී, හින්දි ගීත තනු වලට සිංහල ගීත නිර්මාණය කිරීම, බහුලව සිදුවුනත්, පසු කාලීනව, එහි වටිනාකමක් නැති බව අවබෝධ වූ නිසා, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කෙරෙහි, දේශීය සංගීතඥයන් යොමුවුණ අතර, 1960 දශකයෙන් ඇරඹුණු, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය නිසා, හින්දි තනු කොපි කිරීම අතහැරී ගියා. එයට තවත් හේතුවක් වුනේ, එවැනි ගීත දැඩි ලෙස විවේචනයට ලක්වීමයි. 

   කෙසේ වෙතත් සමහර කොපි ගීත, අද දක්වාම ජනප්‍රියත්වයෙන් නම් ඉහලින් තිබෙනවා. ඔබෙන් බොහෝ දෙනෙකුගේ මතකයේ නැති, එවැනි ගීත කීපයක් හඳුන්වා දෙන්නයි, අද මා උත්සාහ කරන්නේ. මේ ගීත ඉදිරිපත් කරන්නේ, ඒ ඒ වර්ෂය අදාළ කරගෙන නෙවෙයි. මගේ මතකයට නැගෙන ආකාරයටයි. 

   'මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයිනෙ ඔයා' නමැති ගීතය සැබවින්ම අතිශයින් ජනප්‍රියවූ ගීතයක්. මෙහි මුල් ගායකයාගේ නම හෙන්රි පෙරේරා වගේ තමයි මතක. මේ ගීතය, පසු කාලයක, ආර්.මුත්තුසාමි සංගීතඥයාගේ පුත්, මොහාන් රාජ් ගායනා කල බවත් මතකයි. මා මෙහි දක්වන්නේ, සිංහල සංගීතවේදියකු වන වික්ටර් විජයන්ත විසින්, එම ගීතය ගායනා කල අවස්ථාවක්.

   මෙතැන් සිට ඉදිරියට දක්වන සෑම වීඩියෝවක්ම, සම්පූර්ණයෙන් නැරඹීමට අවශ්‍ය නැහැ, ඔබේ අන්තර්ජාල දත්ත කෝටාව සීමිත නම්. පළමුවැනි විනාඩි එකහමාර පමණ නැරඹුවාම ඇති.  හඬ ඇසුවත් ඇති.

මං පොඩි කාලේ. 


   මේ ගීතයේ තනුව, 1957 වර්ෂයේ තිරගතවූ, 'තුම්සා නහින් දේඛා' නමැති හින්දි චිත්‍රපටියේ ගීතයකින් ලබාගත් එකක්. මේ තියෙන්නේ එම ගීතය. 




   මොහිදීන් බෙග් සමග ජී.එස්.බී.රානි පෙරේරා ගායනය කරන, 'පෙම් පහන නිවී' නමැති ගීතය, නිතර ගුවන්විදුලියෙන් ප්‍රචාරයවූ ගීයක්. විශේෂයෙන්, ප්‍රේමයේ විරහව අත්විඳින තරුණ තරුණියන් අතර නිතර කියවුන, පෙම්පත් වල ලියවුන, ගීතයක්.

(අපේ කාලේ තිබුණේ එස්.එම්.එස්. ලව් නෙවෙයි. ප්‍රේම සාහිත්‍යයක්. පෙම්පත් කියන්නේ,එක්තරා ආකාරයක සාහිත්‍ය නිර්මාණ)



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1953 වර්ෂයේ තිරගතවූ, 'ආ' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තියෙන්නේ එම ගීතය. 






   ජී.එස්.බී.රානි පෙරේරා විසින් ගායනා කල, 'බැඳි ආදරයට මාගේ පිටුපා යාවිද වෙන්වී' යන ගීතය, අතිශයින් ජනප්‍රිය ගුවන්විදුලි ගීතයක්. එම ගීතය පහත දක්වනවා.  



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ 1965 වර්ෂයේ තිරගතවූ 'අර්සු' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ එම ගීතය. 




   එච්.ආර්.ජෝතිපාල ගායනය කල, 'මේ ජීවනයේ මුළු සංසාරේ' නමැති ගීතයට, වරක් ජනප්‍රිය සම්මානයක්ද ලැබුනා. මේ තිබෙන්නේ එම ගීතය.


   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1972 වර්ෂයේ තිරගතවූ, 'ප්‍යාර් කා ඝර්' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ ඒ ගීතය. 





   මිල්ටන් පෙරේරා ගායනය කල, 'කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්' නමැති ගීතය, අපේ කාලයේ පෙම්වතුන් අමන්දානන්දයට පත් කළ, ඔවුන්ගේ හද පතුළටම කිඳා බැසගත් ගීතයක්. මේ තිබෙන්නේ එම ගීතය. 


   මේ ගීතයේ තනුවත්, ඉහත සඳහන් අර්සු චිත්‍රපටියේම එන ගීතයකින් ලබාගෙන තිබෙන්නේ. මේ තියෙන්නේ එම මුල් ගීතයයි. අර්සු චිත්‍රපටිය, ලංකාවේදී, ප්‍රදර්ශන වාර්තා බිඳහෙළු චිත්‍රපටියක්.




   1968 වර්ෂයේ තිරගතවූ, අක්ක නගෝ' නමැති සිංහල චිත්‍රපටියේ, ලතා වල්පොල ගායනා කල, 'ගලනා සීත ජලේ' නමැති ගීය, අතිශයින් ජනප්‍රිය ගීයක්. මේ තිබෙන්නේ එම ගීතයයි.   




   මේ ගීතයේ තනුව උපුටාගෙන තිබෙන්නේ, 1960 වර්ෂයේ තිරගතවූ, 'ජිස් දේශ් මෛන් ගංගා බෙහ්තී හෛ' නමැති, හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ එම මුල් ගීතයයි. 




   1965 වර්ෂයේ තිරගතවූ, 'සත පණහ' සිංහල චිත්‍රපටියේ, සුජාතා අත්තනායක ගායනය කළ, 'මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා' නමැති ගීතය, එකල ඉතා ජනප්‍රිය වුණා. මේ තිබෙන්නේ ඒ ගීතයයි. 



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1961 වර්ෂයේ තිරගතවූ, 'සසුරාල්' නමැති හින්දි චිත්‍රපටියේ එන ගීතයකින්. මේ තිබෙන්නේ එම හින්දි ගීතයයි.  



   
   මේ ලිපියෙන් කියවෙන්නේ, කලකට ඉහතදී  අහපු ගීත වුනත්, මෑත කාලේ අහපු ගීතයක් ගැනත් කියන්න හිතුනා. මෑත යුගයේදී, හින්දි ගී තනුවක් අනුකරණය කරමින් ගයන ලද සිංහල ගීතයක් තමයි, චම්පා කල්හාරි ගායනා කරන, 'මල්යායේ  සමනල්ලු' නමැති ගීතය. 



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1954 වර්ෂයේ තිරගතවූ, 'ටැක්සි ඩ්‍රයිවර්' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ එම ගීතයයි. බලන්න, මේ ජවනිකාවේ පෙනී සිටින නිළියගේ මුහුණ, අද ජනප්‍රිය හින්දි නිලියක් වන, ඓශ්වර්යා රායි ගේ මුහුණට බොහෝදුරට සමානයි නේද කියා. මේ නිළියගේ නම ශීලා රමානි.



   සමහර අවස්ථා වලදී, ප්‍රවීනයන් පවා, දැන හෝ නොදැන, අනුකරණ තනු සහිත ගීත ගායනා කර තිබෙනවා. මේ ඒ සඳහා උදාහරණ. 

   'පෙම්බර මධු' චිත්‍රපටියේ එන, 'පෙම්බර මධු මගේ' නමැති ගීතය හින්දි/උර්දු චිත්‍රපටියක එන ගීතයක තනුවක් අනුකරණය කිරීමක්.



   මේ තියෙන්නේ මුල් ගීතය 'චිරාග් කහාන් රෝෂනී කහාන්' නමැති චිත්‍රපටියෙන්.



   නන්දා මාලනීටත් වැරදුනාද? 

   නන්දා මාලනී ගයන, 'ඔබ අපෙයි ශ්‍රී ලංකා' නමැති ගීතය, ඔබ අසා ඇති බවට සැකයක් නැහැ.

 

   එම තනුවටම ගැයුණු, උර්දු ගීතයක් තමා මේ තියෙන්නේ. මේ ගීත දෙකෙන්, මුලින් නිර්මාණය වූයේ කොයි ගීතයද යන්න මට ගැටළුවක්.




    මෙවැනි ගීත සිය ගණනක් මතකයේ තිබුණත්, ඒ සියල්ල මෙහි දැක්වීම අවශ්‍ය නැති බවයි, මගේ හැඟීම. මේ ගීත ඉදිරිපත් කිරීමෙන් අදහස් කළේ, අපේ ගායක ගායිකාවන් පහත් කොට දැක්වීමක් නොව, අතීතයේදී, ඉන්දීය සංගීතය, අපේ සංගීතයට කොතරම් විශාල බලපෑමක් කලේද යන්න පැහැදිළි කිරීමටයි. මේ හා සම්බන්ධ තවත් අතිරේක තොරතුරු, ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට තරම් කරුණුත්, මා මතකයේ තිබෙනවා. අනාගතයේදී, එම කරුණු ඔබවෙත ගෙන එන්නට සිතා සිටිනවා. 


2016 සැප්තැම්බර් මස 10 වැනි දින 2324 පැය 

69 comments :

  1. ගීත සාහිත්‍යය සම්බන්ධව ලියවෙන් ලිපි අතර දැඩි මහන්සියකින් ලියවුන කදිම ලිපියක් විචාරකතුමාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුණසිංහ මහත්මයා. හිටපු ගමන් කල්පනාවට ආව සිතුවිල්ලක් මෙහෙම ලිව්වේ.

      Delete
  2. පෙම්බර මධු කොපි කර ඇත්තේ පී එල් ඒ සෝමපාල. එයා ඒ වගේ වැඩ රාශියක් කර තියෙනවා. කොපි කර ගීයේ සංගීතයේ හිමිකම කීම තමා ලොකුම විහිළුව.

    ReplyDelete
  3. අමරදේව ගයන දේශාභිමානී ගීයකුත් කොපියක් යැයි මා අසා තියෙනවා මතකයි.

    විස්තර හොයා දන්නම්.

    .

    ReplyDelete
    Replies
    1. පී.එල්.ඒ. සෝමපාල විසින් පසුබිම් සංගීතය සපයා ඇති චිත්‍රපටි බොහොමයක ගීත වලට අමතරව, පසුබිමෙන් ඇහෙන වාද්‍ය ඛණ්ඩ බොහොමයක්, හිත්දී ගීත වල වාදන.

      ඔබේ ලින්ක් එකෙන් ගිහින්, අමරදේව ගේ ගීතය හොයාගන්න අමාරුවුනා. දැන් ඒ වීඩියෝ එක යූ ටියුබ් එකෙන් ඉවත් කරලා. මම ඒ වචන ඔස්සේ සොයා බැලීමක් කලාම, මෙන්න මේක ලැබුණා.

      https://www.youtube.com/watch?v=0UYtyMXwEuo

      Delete
  4. වැදගත් ලිපියක්. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  5. වැඩේ මරු විචා,
    පලවෙනි සිංහල සින්දුව (මං පොඩි කාලේ) කාලයක් ඉවට හොයපු එකක්.
    අහල තියන හොඳම හින්දි කොපිය ජෝතිගේ නින්ද නේන රාත්‍රියේ - රාෆිගේ Chaudhvin Ka Chand Ho.වචන ඔබපු බවක් නොතේරේ.
    තනුව ගති නිසා සමහර වෙලාවට සිංහල සින්දු කිහිපයක් හැදිලා තියේ
    ලතා මංන්ෂ්කාර් සහ රාෆි ගයන Yeh Mard Bade Dil Sard
    සිංහලෙන් සිරිපාදේ සමනල කන්ද පෙනේ සහ අහිංසක ප්‍රයෝගයේ නිල් මැණික මගේ

    ReplyDelete
    Replies
    1. නින්ද නේන රාත්‍රියෙ...මම ඉතා ආසාවෙන් රස විඳින ගීතයක්. මෙහි පදවැල් පට්ට රොමැන්ටික්. ලිව්වේ අප අතරින් වියෝවුනු රසවන්තයෙක් අජන්තා රණසිංහ.

      නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
      පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ

      කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
      කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ
      ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ

      අරුණෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා
      සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා
      සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා

      Delete
    2. සංගීතයේ චූල සම්ප්‍රදායයන් බොහොමයක් බිහිවී තිබෙන්නේත් පැවතෙන්නේත්, පවත්වාගෙන යන්නෙත්, යම්කිසි මහා සම්ප්‍රදායක අභාෂය ලබමින්.

      නමුත් ඒ චූල සම්ප්‍රදායේ සිටින නිර්මාණකරුවන්, අනුකරණයෙන් මිදී, ආභාෂය පමණක් තියාගත්තම, කොපි ගීත නැතුව, රසවත්, හරවත්, ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙනවා.

      Delete
    3. ඒ සිංදුව "සිරිපාදේ සමනොළ කන්ද පෙනේ" නෙවෙයි නේ ද සිරිබිරිස්? "සිරිපාද හිමේ දෙයියන්ගෙ රටේ මේ ශාන්ත උදේ සූර්යෝදේ" වෙන්ට ඕන..

      හැබැයි ඔතන සිද්ද වුනේ තනුව ගති නිසා සිංදු දෙකක් හැදුන එක නෙවෙයි මම දන්න විදියට.. දෙයියන්නෙ රටේ චිත්‍රපටිය වෙනුවෙන් මුලින්ම "සිරිපාද හිමේ" සිංදුව හැදුනා.. ඊට පස්සෙ ටික කාලෙකින් 'මිස් මේරි' හින්දි චිත්‍රපටිය සිංහලෙන් හඬ කවලා පෙන්නුවා 'අහිංසක ප්‍රයෝගය' කියලා.. එතකොට 'යේ මාර්ඩ් බඩේ' සිංදුවත් සිංහල කරන්ට සිද්දවුනා.. එහෙමයි 'නිල් මැණික මගේ සැනසෙන්න පණේ' පදවැල ලියැවුනෙ..

      Delete
    4. ඔව් බූරා ඔබ හරි. තුති මචෝ වැරැද්ද හැදුවට

      Delete
    5. බූරා, බොහොම ස්තුතියි සියල්ල නිවරදිව පැහැදිලි කිරීම ගැන.

      Delete
  6. විචා.. ස්තුතියි මේ පැරණි ගී මතක මේ විදිහට අපිට අහන්න බලන්න සැලැස්සුව එක.. මමත් ගොඩක් වෙලාවට හින්දි සින්දුවයි සිංහල සින්දුවයි දෙකම අහනවා..ඒ හින්දා මෙහෙම එකතු කරන දුන්න එක මට ලේසියක්.. පරණ හින්දි නිළියන් අද ඉන්න අයට වඩා ලස්සනයි මට නම්..

    ReplyDelete
    Replies
    1. මම ඉන්දියානු සංගීතයට ඇලුම් කරන්න පටන්ගත්තේ, ගීතයක් අහලා ශබ්ද රසය විතරක් රසවිඳින්න පුළුවන් වයසේදීයි.

      සංසන්දනාත්මකව මේ ගීත අහන අතරම, හින්දි ගීතවල තේරුමත් සොයා දැනගැනීම හරිම වැදගත්. ඒ පදමාලා බොහොම අර්ථවත්.

      Delete
  7. පද රචනයක් අළුතින් කරනවට වඩා තියෙන තනුවකට පද දාන එක ඇත්තටම දුෂ්කරයි. ඔය කාළයේ හින්දි තනු වලට සිංහල පද දාන එක සුලභ දෙයක්. චිත්‍රපටි වල කතා වුණත් කොපි කරන එක සාමාන්‍ය දෙයක්. ගොඩක් වෙලාවට නිශ්පාදක වරු ඒ කාලයේ හින්දි තනු වලට ගීත දාන්න ඉල්ලුවා වෙන්න පුළුවන්. අනික මේවා හොරෙන් කොපි කලා කියලා මම හිතන්නේ නැහැ. ඒක නිත්‍යානුකූලව කරනවා නම් කලින් තිබූ තනුවක් යොදාගැනීම ඒ අනුව ඒතරම්ම නරක දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. පැරණි සිංහල චිත්‍රපට බොහොමයක් අධ්‍යක්ෂණය කලේ, සංගීතය සැපයුවේ සිංහලයන් නොවෙයි. ඉතිං ඉන්දියානු ආභාෂය තදින්ම ඒ චිත්‍රපටිවල දකින්නට ලැබෙනවා. හදපු තනුවකට පද යෙදීම, අදත් අපේ දේශීය සංගීතය තුළ සිදුවෙනවා.

      මේ කිසිවක් හොරෙන් කොපි කරපුවා නෙවෙයි. කොපි කිරීමක් ලෙස සලකන්නෙත් නැහැ විශේෂයෙන් චිත්‍රපටි ගීත සම්බන්ධයෙන්.

      නමුත්, අපි අපේ නිර්මාණ මත ස්ථාවරයක් ගොඩනගා ගතයුතුයි, කියන බුද්ධිමත් අවබෝධය වර්ධනය වූ නිසයි, අද මේ විදිහට තනු අනුකරණය නොකරන්නේ.

      Delete
  8. ලස්සන සිංදු ටික.

    ෂඃ විචාරකගේ ෆෝන් නොම්මරේ තිබ්බා නම් 'බැඳි ආදරයට මාගේ පිටුපා යාවිද වෙන්වී' කියලා text message එකක් එවන්න තිබ්බා :P

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      රාජ්‍ය බුද්ධි අංශයට කිව්වොත්, එහෙම නැත්නම් 'බ්ලොග් බුද්ධි අංශයට' කිව්වත්, මගේ අංකය හොයාගන්න පුළුවන් වෙයි.

      Delete
  9. මේ ගීත අතරේ සිංහල ගීත බොහොමයක් අසා තිබෙනවා.අසා නැති සිංහල ගීත කිහිපයක් සහා අසා නැති හින්දි තනු බොහොමයක් මෙහි තිබෙනවා.
    වතාවක් වික්ටර් රත්නායකයන් පැවසුවා කිසියම් ප්‍රසිද්ධ ඉන්දීය සංගීතඥයකු (ඔහුගේ නම මතක නැහැ) මෙරට සංචාරයකට පැමිණි මොහොතේ ඔහුට සිංහල ගීතයක් ගායනා කරන්න කියා "එච්.ආර් ජෝතිපාලයන්ගේ සහා වික්ටර් රත්නායකයන්ගේ" ගීත දෙකකින් එකක් තෝරා ගන්න කීවිට ඔහු තොර ගත්තේ එච්.ආර් ජෝතිපාලයන්ගේ ගීතය බව.
    මට හිතෙන විදියට ඒ කතාවෙන් වික්ටර් රත්නායකයන් අදහස් කෙරුවේ තමන්ගේ ගායනයට වඩා ජෝතිගේ ගායනය ඉන්දීය තනු වලට සමීප බව පැවසීමක් කියලායි.

    ReplyDelete
    Replies
    1. හින්දුස්ථාන් රාගධාරී සංගීතය සහ බෙංගාලි සංගීතයට අදාළ මුල් වලින් තමා, සිංහල ජාතිය පැවත එන්නේ. ඉතිං අපේ ලේ වල ඒ සංගීත රටා මුසුවී තිබෙනවා. ඒ ස්වාර රටා ඇසෙනවිට, අපි නිරායාසයෙන් ඒ ලේ උරුමයට ඇදී යනවා. එය කාටවත් වලක්වන්න බැහැ.

      Delete
  10. විචා...හොඳ සිලෙක්ශන් එකක්. මචෝ...වික්ටර් විජයන්ත
    කියන්නේ නාට්‍යකරුවෙක් නොවේ. ඉතාමත් දක්ශ ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂක වරයෙක්. මායා දමයන්තිගේ සැමියා. කුශානි සඳරේඛාගේ පියා. වික්ටර්-මායා යුවල ආබාධිත රණවිරුවන්ට සංගීතය උගන්වනවා මගේ හිතේ. චිත්‍රපට රාශියක ගී ගයා තිබෙනවා. ශෙනායි කියන වාදන භාන්ඩය ප්ලේ කරපු එකම වාදකය වික්ටර් විජයන්ත කියලා අහලා තියෙනවා.

    දෑස වසා සිටියා ගීතය සංගීතවත් කලේත් මෙයා.

    මෙක අහන්න. මේ නම් මෑතකදි දුව කුශානි ගායනා කරලා ආපහු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු. ඇත්තටම සංගීත වේදියෙක් කියලා කියන්න අවශ්‍ය එක තමයි මම නාට්‍යවේදියෙක් කියා වැරදියට ටයිප් කරලා තියෙන්නේ. වැරැද්ද හැදුවා. පෙන්වා දුන්නට ස්තුතියි.

      වික්ටර් - මායා යුවල 2003 දී වැලිඔය ප්‍රදේශයට ගෙන්වා, යුද්ධයෙන් බැට කමින් සිටි ජනතාවට, නොමිලේ සංගීත සංදර්ශනයක් පවත්වන්න පුළුවන් වුණා අපිට. එදා මා ඔවුන්දෙදෙනා සමග සිංහල සංගීතය ගැන ගොඩක් දේවල් කතාකලා.

      කුෂානි සඳරේඛා ගායිකාවක් ලෙස අසාර්ථකයි. අම්මගෙ ගීත විකුණමින් ඉඳලා හරියන්නේ නැහැ. ඇය ස්වාධීනව පොළොවේ පයගැසුවොත් පමණයි, මා ඇය ගායිකාවක් ලෙස පිළිගන්නේ.

      Delete
    2. මේ මායා කියන්නේ අනෝජා විරසිංහ ගේ අක්කා නේද?

      Delete
    3. ඔව් ඔව්, මායා දමයන්ති පෙරේරා

      Delete
    4. කුශානි සඳරේඛාගේ ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයක් තිබෙනවා. විචානම් ඒවාට කැමතිවෙයිද කියලා හිතන්න අමාරුයි. මෑතකදි අමල් පෙරේරා සමග චිත්‍රපටයකට ගැයු ගීයක් ඇසුවා. නදීක ගුරුගේ, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප වගේ අයත් සමග සංගීත ක්‍රියාකාරකම් වල යෙදෙනවා. මම ඇය හින්දී ගීත ගයනවා අසා තිබෙනවා. ඉතා මිහිරට ගයනවා. ඇය සංගීතය හොඳින් හැදාරූ තරුනියක් බවත් අසා තිබෙනවා. මැනවින් හසුරවනා කටහඬක් ඈ සතුබව මට හැඟෙනවා. ලොකු අම්මා කටහඬ පිලිබඳ කියා දෙන්න ඇති. කුශානි නිහඬව ඇගේ අනාගතය සවිමත් කරගන්නා බව පේනවා නිර්මාණ හරහා.

      Delete
    5. මම නැවතත් පැහැදිලි කරන්නම්. අනුකාරක ගී නොගයා, ස්වතන්ත්‍ර නිර්මාණ ඉදරිපත් කිරීම බොහොම හොඳයි. නමුත් එහෙම කරන සෑහෙන පිරිසකගේ ඒ නිර්මාණ, අසන්නන්ගේ මනසේ රැඳෙන්නේ නැත්තේ ඇයි? 'රූප සින්දු' කියන එක සංගීතය නෙවෙයි. කටහඬේ දක්ෂතාවයෙන් අපිව ධ්‍යානගතකිරීමයි නියම ගායන හැකියාව.

      Delete
  11. Replies
    1. කනගාටුයි අරු. මේ දරුවා අනුකාරකයකු පමණයි. ශාස්ත්‍රය උගෙන ස්වාධීන නිර්මාණයක් කලොත් පමණයි, මා ඔහුව පිළිගන්නේ.

      Delete
    2. පව් බං පොඩි එකා :D

      මොනවා වුනත් විචා...ඔය හැම විශාරදයෙක්ම ඔය වයසෙදි අනුකාරයෙක් තමයි. හරි මගපෙන්වීම තමයි අවශ්‍යය.

      Delete
    3. ආරම්භයේදී අනුකාරකයකු වීමේ කිසිදු වරදක් නැහැ. නමුත් මෙවැනි දරුවන් විකුණාගෙන කෑම සහ ඒ දරුවන් ගොනාට අන්දවා, හැමදාම අනුකාරක ගීත ගායනා කරවා හුරේ දැමීම තමයි, ඒ දරුවට කරන ලොකුම විනාශය. ඒ දරුවා, පෙරදිග හෝ බටහිර සංගීතය ඉගෙනගැනීම සඳහා යොමුකරන්න කවුරුවත් නැහැ. විකුණාගෙන කන්න ඉන්න අය අතර අම්මලා තාත්තලාත් ඉන්නවා.

      අන්න ඒකයි ඇත්තටම පව් කියලා කියන්න ඕනේ කාරණය.

      Delete
  12. Replies
    1. බොහොම හොඳ ගීත එකතුවක්. බොහොම ස්තුතියි අරු.

      Delete
  13. විචා, මෙහෙම හින්දි තනු වලට සිංහල සිංදු හදන එක විවේචනයට ලක් කරල, ඉන් පස්සෙ ඉන්දියානු සංගීතෙ ඉගෙන ගත්තු අපේ අය ඒ ඉන්දියානු රාගම මුල්කරගෙන තනු හදල ඒවට වචන දාගෙන සිංහල සිංදු හදනව. වෙනස, අපේ අය ඉන්දියානු සංගීතෙ ඉගෙන ගත්තු එක විතරයි. තනුව උත්තර භාරතීයම තමා.

    කරු, ඇලෝයි, චිත්‍රානන්ද වගේ අය ඒ කාලෙ හින්දි සංගීතයට තනුවට ගලපපු වචන හරියටම පෑහුනා. ඒව ජනප්‍රිය සිංදු උනේ , තනුවෙ රසය නොමර ගයපු ජෝතිල මිල්ටන්ල වගේ අයගෙ සුපිරි ගැයුම් නිසා. ඒව පහත් කරල සලකන්නෙ මොන පදනමෙන්ද කියන්න මට තේරෙන්නෙ නෑ.

    ඒ වගේම පස්සෙ කාලෙක රාගධාරී තණුවලට අපේ අය ලියපු සිංදු අරවට වඩා උසස් වෙන්නෙ කොහොමද කියලත් පැහැදිලි නෑ!

    ReplyDelete
    Replies
    1. ඉන්දික හොඳ අදහසක් මතුකරන්න හදනවා. මටත් ඔය ප්‍රශ්ණේ තිබුනා කාගෙන් හරි අහන්න ඕන කියලා. ලැජ්ජාවට ඇහුවේ නැහැ. :D

      /////කරු, ඇලෝයි, චිත්‍රානන්ද වගේ අය ඒ කාලෙ හින්දි සංගීතයට තනුවට ගලපපු වචන හරියටම පෑහුනා. ඒව ජනප්‍රිය සිංදු උනේ , තනුවෙ රසය නොමර ගයපු ජෝතිල මිල්ටන්ල වගේ අයගෙ සුපිරි ගැයුම් නිසා. ඒව පහත් කරල සලකන්නෙ මොන පදනමෙන්ද කියන්න මට තේරෙන්නෙ නෑ.

      ඒ වගේම පස්සෙ කාලෙක රාගධාරී තණුවලට අපේ අය ලියපු සිංදු අරවට වඩා උසස් වෙන්නෙ කොහොමද කියලත් පැහැදිලි නෑ!///////////

      Delete
    2. ඉන්දික....මම මේ උඹලගෙන් අහන්නම හිටියේ. අපේම අය ලියලා, අපෙම අය තනුදාලා මිල්ටන් මල්ලවාරච්චි සිරිල් මල්ලි ෆිල්ම් එකට ගැයු හින්දි ගීතයද අපේ ප්‍රථම ඔරිජිනල් හින්දි සින්දුව?

      Delete
    3. ඇත්තටම ඉන්දික ඒකම තමයි වෙන්න ඕනේ. අමුවට තනු කොපි කිරීම කියන්නේ සංගීතය නූගත්, අනුකාරකයන් විසින් කරන නිර්ලජ්ජි වැඩක්. නමුත් ශාස්ත්‍රානුකූලව සංගීතය උගෙන කරන නිර්මාණය ස්වාධීනයි.

      මතකතියාගන්න අපි ඉන්දීය උප මහාද්වීපයේ වැසියෝ. අපේ මුල් තියෙන්නේ ඒ මහාද්වීපයේ. කාලීනව ජාතික වශයෙන් චූල සම්ප්‍රදායන් බිහිවුනත්, මහා සම්ප්‍රදාය තමයි ආරම්භය, උපත, පැවැත්මේ ජීව පදාර්ථය, එයින් ලබාගන්නා ජීවගුණය, අපට අවශ්‍ය පරිදි, චූල සම්ප්‍රදායට අනුගත කිරීමයි නිවැරදි. නමුත්, මහා සම්ප්‍රදායේ මූලික ලක්ෂණ බිඳී යන්නේ නැහැ, එසේ කළා කියා.

      සරත් දසනායකගේ නිර්මාණ කොයිතරම් ලස්සනද? නමුත් එහි එස්.ඩී.බර්මන්ගේ සෙවනැලි තියනවා. එහි වරදක් නැහැ. සරත් දසනායක බර්මන්ව දේශීයකරණය කළා.

      සිරිල් මල්ලී චිත්‍රපටියෙද පසුව වෙනමද ඒ හින්දි ගීතය හැදුවේ?

      Delete
    4. මේ බ්ලොගය කියවන මගේ හිතවතෙක් සිරිල් මල්ලි ෆිල්ම් එකේ එම ගීතය ගැන මෙහෙම ලින්ක්ස් දෙකක් එවලා තියෙනවා. කියවලා බලන්න.

      මෙරට බිහි වූ ප්‍රථම ස්වතන්ත්‍ර හින්දි ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කළ සංගීතවේදියාත් රොක් මාස්ටර් නේද?

      සිරිල් මල්ලි චිත්‍රපටයට රවිලාල් විමලධර්ම රචනා කළ ඒක කලී කී... හින්දි ගීතය හින්දි භාෂාවෙන් ගායනා කළේ මිල්ටන් මල්ලවාරච්චි. ඒ චිත්‍රපටයේ ඒ ගීතයේ සිංහල පරිවර්තනය මල් කැකුලී ගෝමලී මනාලී... ගීතය ගායනා කළේ එච්. ආර්. ජෝතිපාල මහත්මා. මේ ගීත දෙකේම තනුව හා සංගීතය රොක්ගේ.

      මිල්ටන් මල්ලවාරච්චි අසහාය ගායනවේදියා මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ වාර්තා දෙකකට හිමිකම් කීම විශේෂත්වයකි. සිංහල සිනමාවේ චිත්‍රපටයන් සඳහා ප්‍රථම වරට ස්‌වතන්ත්‍ර හින්දි ගීතයක්‌ ගැයීම ඉන් එකකි. සිරිල් මල්ලි චිත්‍රපටයට මිල්ටන් ගැයු ඒක කලි තී එම හින්දි ගීතයයි.

      Delete
    5. අරූ, ජෝ මයිකල් ගෙ සිරිල් මල්ලි 1975 ආවෙ. ඊට කලින් අවුරුද්දෙ ආව සේන සමරසින්ගහගෙ කස්තුරි සුවඳ චිත්‍රපටයට ජෝති ඇන්ජලින් කියපු, සෝමපාල ලීලානන්ද ලියපු පාට පොදක් තිලකලා තනුවටම ජෝති ඇන්ජලින් ගයපු ආජු මෙරා දිල් සින්දුව මුල්ම හින්දි සින්දුව වෙන්නත් පුලුවන්. මට හරියටම විස්වාස නෑ.

      Delete
    6. ඉන්දික......ඔය ගීතයට ලින්ක් එකක් එවපන්කෝ ප්ලීස්!

      Delete
    7. කස්තුරි සුවඳ 1974 දි ආවේ.

      https://en.wikipedia.org/wiki/List_of_Sri_Lankan_films_of_the_1970s

      Delete
    8. ඒක තමා මම කිව්වෙ 1975 සිරිල් මල්ලිට කලින් අවුරුද්දෙ කස්තුරි සුවඳ ආවෙ කියල.

      Delete
    9. විචා, අයිවර් ජෙන්ග්ස් කිව්ව වගේ ලන්කාව කියන්නෙ ඉස්සර සන්ස්කෘතික කාන්තාරයක්. ඔය මහ නැටුම් සෙට් එක නැටුවෙ මිනිස්සුන්ට විනෝදය සහ ආස්වාදයට නෙමේ, භයට ලෙඩ හොඳ කරගන්න. ඒ කාලෙ ලන්කාවෙ මිනිස්සුන්ට තිබ්බ එකම විනෝදෙ රෑට පැලේ කියන කවි. එහෙව් රටක සන්ගීතයක් තිබ්බද කියල අහන්න ඕන නෑනෙ. ඉතින් 47 වෙනකොට ලන්කාවෙ චිත්‍රපට හැදෙනකොට ඒවට ජනප්‍රිය ඉන්දියානු මොඩලෙ සින්දු දාන්න ඕන වෙනකොට, සින්දු වලට තනු හදන්න කවුරුත් හිටියෙ නෑ.

      මොකද උස්තාද්ල, පණ්ඩිත්ලගෙන් රැකගෙන එන සන්ගීත ගුරුකුළ මේ රටෙ නෑ. ඒ නිසා ඉන්ද්ජියාවෙන් ඇවිත් හිටපු රොක්සාමි, මුත්තුසාමු වගේ අයට කියල පුලුවන් විදිහට තනු හැදුව. නමුත් ඒව මදි නිසා හෝ ඒව හොඳ මදි නිසා හින්දි/ දෙමළ සින්දු වලට පද ලියල ගැයෙව්ව.

      මෙන්න මේ වැඩේ අර ඉන්දියාවෙන් බැහැපු බාස්ලගෙ ඒවට වඩා නැගල ගියා. ඒ නිසා 60 ගණන් වෙනකල් වැඩිපුර ඇහුනෙ ඉන්දියානු තනු වලට දාන සින්හල වචන ගයන හැටි. නමුත් ඒව බහුතරය බාල නිර්මාණ නෙමෙයි, ඉතාම රසට ගැලපෙන්න වචන ගලපල තිබ්බ. ගැයුමත් ඉන්දියානු ඒව වගේම ඒ අලන්කාර එක්ක ගැයුව. අන්න ඒකයි ඒව නැගල ගියෙ ( එහෙම නොවුන නිසා තමා පස්සෙ කාලෙක පුන්සිරි සොයිසල වගේ අය ඉන්දියානු තනු වලට කියපුව බල්ලෙක්ටවත් මතක නැත්තෙ. විචාත් දැන් දාන්නෙ ප්‍රසිද්ඩ ජනප්‍රිය සින්දු විතරනෙ, ඇයි ඒව ගැන කතා නොකරන්නෙ? හේතුව ඒව සවුත්තුයි, අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලෝකෙ දහම ඒකයි, හොඳනන් වැජඹෙනව, චොර නන් වැනසෙනව )

      ඔය අතරෙ සුනිල් සාන්ත, අමරදේව වගේ අයත් පස්සෙ සනත්ලත් ඉන්දියාවෙ ගිහින් තනු හදන්න ඉගෙන ගෙන ආව. ඒව මහලොකු ස්වතන්ත්‍ර නිර්මාණ කියල එලියට දැම්ම. නමුත් තිබ්බෙ ඉන්දියන් රාගම තමා.

      හරියට මෙහෙමයි, ඉස්සර ඉන්දියන් ත්‍රීවීල් මෙහෙ ගේනව කෙලිම්ම, ගෙනත් විකුණනව. නමුත් ඉල්ලුම වැඩි උනාම කට්ටියක් එහෙ යවල ට්‍රේන් කරල, ඉන් පස්සෙ එහෙන් කෑලි ගෙනල්ල මෙහෙ මූට්ටු කරනව. එන්ජින් චැසි ඉන්දියන්ම තමා. එකම දේ එසම්බ්ලි ලන්කාවෙ. දැන් ඕක අපේ නිර්මාණයක්ද?

      අනික අපි ඉන්දියන් ඒව ගන්න එක හරි නන්, ඇයි අර ඉන්දියාවෙ සර්දාර්ලගෙ ජිගි ජිගි සන්ගීතෙ හරි දකුනෙ නාඩාර්ලගෙ සන්ගීතෙ හරි නොගෙන බටයාලී/බෙන්ගාලි එකම ගන්නෙ? එකම හේතුව ඒක අරවට වඩා පහසු වීම.

      ඒ නිසා තනුව හැදුවෙ කවුද කියන එක නෙමේ, සමස්ථ නිර්මාණයම ගත්තම රස විඳින්න පුලුවන් ගුණයක් ඇති එකක් නන් ඒක අගය කරන්න ඕන. නිකන් මෙව්ව කොපි, මෙව්ව අපේ කියල වර්ග නොකර, මොකද අන්තිමට බැලුවම කොව්වත් කොපි තමා.

      Delete
    10. +++++++++++++++++++++++++++=

      ඕක තමයි ඇත්ත. හැබැයි බොරුව තමයි ඇත්ත කියලා ඇට මිදුළු පුරා උරාගෙන තියෙන්නේ. මේක කාලයත් එක්ක විසඳගන්න වෙනවා, මේක පිලිගන්නේ නැත්නම්. දැන් ලෝකය විවෘත වෙලා තියෙන නිසා ඇත්ත පේනවා. ඒකයි එදායි අදයි අතර වෙනස.

      Delete
    11. ඉන්දික/අරු ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි, බුද්ධිමත් සංවාදයක් ගොඩනැගීමට දායකවීම ගැන.

      මම කියන්නේ නැහැ, මෙහි දක්වා ඇති ගීත ගයන ලංකාවේ අය, ගැරහීමට ලක්කළයුතුයි කියා. අයිවර් ජෙනින්ග්ස් කියන්නේ, ලංකාව උගේ මහ එකාගේ පරවේණි බූදලයක් කියලා හිතපු, පර සුද්දෙක් විතරයි. ඌ පේරාදෙණියේ විශ්ව විද්‍යාලයක් හැදීම, ලංකාව අලුතෙන් හැදීමක් නෙවෙයි.

      සංගීත සම්ප්‍රදායන් අනුකරණය කිරීම වැරදියි කියා අමරදෙවලාට සනත්ලට දොස් කියන ඔබ, ඇයි බටහිර සංගීතය හොඳින් උගත් කේමදාසට, බටහිර සංගීත උපාධිධාරියකු වූ ග්‍රේෂන් ආනන්දට, (සහ තවත් අය) දොස් නොකියන්නේ. ඔවුන් තම නිර්මාණ කලෙත් ඒ සම්ප්‍රදායට අනුව. සත්සමුදුර චිත්‍රපටියේ සංගීතය ඉන්දියානුද දෙශීයද කියා හෘද සාක්ෂියට එකඟව කියන්න. ඉරහඳ පායන ලෝකේ ගීතය දෙශීයද නැද්ද කියා කියන්න.

      ඉන්දියාවෙන් ත්‍රිරෝද රථ ගෙන්වීම හෝ තාක්ෂනය ඉගෙනීම අපේ පාලන ක්‍රමයේ වරදක්. ආචාර්ය ලෝරන්ස් සිල්වා වැනි අය අද 'මයික්‍රෝ' නමින් ලංකාවේ වාහන නිපදවා, අනාගතයේදී දුම්රිය එන්ජින් පවා හදන්න සැලසුම් කර තිබෙනවා.

      මහා සම්ප්‍රදායේ සංගීතය (බටහිර/පෙරදිග) විසින් දේශීය සංගීතය යටපත්කර තිබෙනවා. සුනිල් සාන්තගේ පටන් සී ද එස් කුලතිලක මහතා, දක්වාත් ඉන්පසුවත් දේශීය සංගීතය ඉස්මතු කරන්න උත්සාහ කල සියලුදෙනාගේ ඒ උත්සාහය යටපත් වුනේ මහා සම්ප්‍රදායේ පමණක් එල්බගත් පිරිස වැඩිවීමයි.

      මතකතියාගන්න, අපි හෙවත් සිංහල ජාතිය පවතින්නේ, ඉන්දියානු උප මහාද්වීපයේ මුල් වලින්. ඉතින් අපේ ලේ වල, ඒ සංගීත ජාන ලක්ෂණ අඩු වැඩි වශයෙන් පවතිනවා.

      මා මෙහි පෙන්වා ඇති කිසිදු ගායක ගායිකාවක්, ගර්හාවට ලක්වියයුතු නැහැ. මා පෙන්වා දුන්නෙත්, ඉන්දියානු සංගීතය දේශීය සංගීතය කෙරෙහි කොතරම් තදබල ලෙස බලපා ඇද්ද යන්නයි.

      හැබැයි, හැමදාම තනු කොපිකර, මම ඒක මුල් ගීතයටත් වඩා හොඳින් කිව්වා කියා, බොරු පම්පෝරි ගහන එකාගේ, පුකට පයින් ගැසිය යුතුයි. කිසිම නිර්මාණයක් එහි මුල් තත්වයට වඩා ඉහලයි කියා, අනුකාරකයකුට කියන්න බැහැ. එමෙන්ම එය බඩවඩාගැනීමේ අරමුණෙන් කරන එවුන්, පිළිකුලෙන් ප්‍රතිෂේප කලයුතුයි.

      මොකද මහා සම්ප්‍රදාය තියන රටවල් චූල සම්ප්‍රදායකින් කිසිවක් අනුකරණය නොකරන්නේ? මොකද ඉන්දියාව අපේ උඩරට පහතරට බෙර පදයක්වත් අනුකරණය නොකරන්නේ? මොකද බටහිර සංගීතයේ මහදැනමුත්තන් අපේ හොරනෑ හඬක්වත් අරගෙන නැත්තේ?

      අන්න එතනයි ඇත්ත තියෙන්නේ. දේශීය වශයෙන් නිර්මාණ කරන්න ඕනේ තරම් සම්පත්, (පුද්ගල සම්පත, සාහිත්‍ය සම්පත, වාද්‍ය ශිල්ප සම්පත) තිබෙනවා. බලන්න කඩුල්ල ටෙලි නාට්‍යයේ පසුබිමෙන් ඇහෙන කෝල්මුර ගායනය. ඒවා භාරතීය රාග නෙවෙයි. භාරතීය රාග අපේ කරණය කිරීම වරදක් නෙවෙයි. භාරතීය නෙවෙයි අප්‍රිකානු ගෝත්‍රික සංගීතය වුනත්, අපිට ඕනේ විදිහය හදාගැනීමේ වරදක් නැහැ. එහෙම නේද ඔය, රෙගේ අරවා මේවා කියලා වන්දනාමාන කරන එව්වා හැදිලා තියෙන්නේ?

      මේ නිකං, කාලෙන් කාලෙට එන ජනප්‍රිය රැල්ල ඔලුව උඩ තියාගත්තම, ඒ ස්ටයිල් එක තමයි අලුත්ම ස්ටයිල් එක, අම්මෝ ඒකට මම කැමති වෙන්න ඕනේ, නැත්නම් සමාජයෙන් කැපෙනවා කියන යන්නන් වාලේ යාමයි වෙලා තියෙන්නේ.

      Delete
    12. ////එමෙන්ම එය බඩවඩාගැනීමේ අරමුණෙන් කරන එවුන්, පිළිකුලෙන් ප්‍රතිෂේප කලයුතුයි. ///////

      +++++++++++++++++++++++++=!!!!!!!!!!!!!

      Delete
  14. Replies
    1. උඹ කාගේ කොපියක්ද?

      Delete
    2. කොපු නැතිවීමේ ප්‍රතිඵලයක්

      Delete
    3. යකෝ, හිනාගිය පාරට අපේ උන්දැ අහනවා පිස්සුද කියලා.

      Delete
  15. අද තමා අතට අහුවුනේ....විනාශකාරයා....නුඹට මං හරි කැමතියි....යකු...

    ReplyDelete
    Replies
    1. හෑ...........මටද කිව්වේ. අනේ මං බෝ පැලයක්.

      Delete
  16. කොපි කළාට කමක් නෑ ඒකවත් හරියට කරනවනං. දැං තියෙන සමහර ඒවනං අපෝ කියල හිතෙනව මුල් සින්දුව අහපුවාම.

    ReplyDelete
    Replies
    1. කොපි කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ ප්‍රසන්න. නිර්මාණ කරුවකුට ස්වාධීනව නැගීසිටීමට පුළුවන් වෙන්නේ, තම ක්‍ෂේත්‍රය පිළිබඳව ලබා තිබෙන දැනුම් සම්භාරය සහ එම දැනුම ප්‍රයෝගිකව යොදාගනීමෙන් ලබන පරිචය නිසායි. උදාහරණයක් රෝහණ වීරසිංහ. ඔහු කොපමණ නිර්මාණ සංඛ්‍යාවක් බිහිකර තිබෙනවාද? තවත් කොපමණ හැකියාවක් ඔහු තුළ තිබේද? ඔහු අද ඉන්න තැනට ආවේ අධ්‍යයනය, අභ්‍යාසය, ඉවසීම සහ නැවත නැවත නිර්මාණය කිරීම තුලින්.

      අද තිබෙන්නේ හැකිතරම් මුදලට බරවූ, මුදලට ගිජුවූ, මොනවාහරි ඉදිරිපත්කර මුදල් හෙවීමේ තන්හාවෙන් භරිත, ඒ නිසාම ඕනෙම නිර්ලජ්ජි වැඩක් කරන්න පුලුවන් පිරිසකුත්, ඒ අතර ඇත්තටම අගනා නිර්මාණ හැකියාවක් ඇති පිරිසකගේත් සම්මිශ්‍රණයක්.

      නමුත්, කළා ව්‍යාපාරිකයෝ, සාහිත්‍යය සහ භාෂාව, සම්ප්‍රදාය සහ රස වින්දනය, නොදත් පරපුරක් ගොනාට අන්දාගෙන, විකාර නටනවා. විවේචනය කරන්නන්ට ගරහනවා, අශුචි වලේ සිට අභියෝග කරන සූකරයන් වගේ.

      Delete
  17. බලාගෙන යනකොට අපේ ගීත ඔක්කොම ඉන්දියාවේ හිංදි සින්දු වල තනු අරගෙනනේ

    ReplyDelete
    Replies
    1. 1970 දශකයෙන් පස්සේ මේ තත්වය වෙනස්වුණා. ස්වතන්ත්‍ර නිර්මාණ කිරීමට සංගීතඥයන් පෙළඹුණා.

      Delete
  18. විචාත් බලාගෙන ගියහම සින්දු ඇනෝට නොදෙවෙනියි නේ. ඔය සමහර හින්දි සින්දු කවදාවත් අහලා නැහැ. වික්ටර්ල නන්දල පවා හින්දි තනු වලාට් සින්දු ගායනා කළා කියල මම දැනං හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. 1960 ගණන්වල ඉඳලා අහලා අහලා මතකයේ තියන සිංහල සහ හින්දි සින්දු දහස් ගණනක් තියනවා. ඒවා අදත් රසවිඳිනවා.

      ප්‍රවීණ ගායක ගායිකාවන් දැනුවත්ව අනුකාරක ගී ගායනා කලානම් එය බලවත් වරදක්. මේ ගීත ගැන වික්ටර් හෝ නන්දා, අද දක්වා කොතනකවත් අදහස් දැක්වීමක් කර තිබෙන බවක් මා දන්නේ නැහැ.

      Delete
  19. මොහිදින් බෙග් මාස්ටර් ගයන මේ ගීය
    https://www.youtube.com/watch?v=KZWcXC7_HGg
    මේකෙ ඔරිජිනල් එක අහලින් යනව යන්තමට.
    ගායකයෙකුගෙ ශඛ්‍යතාවය මනින්න පුළුවන් සුපිරිම ගීයක් විදිහටයි බවුජි බවුරා එකේ ඕ දුනියාකේ රඛවාලේ ගීය ගස්ලබ්බ දකින්නෙ.
    https://www.youtube.com/watch?v=GygqxgYqwQc
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගායන ලොවට පිවිසීමට දොරටු හැරගනීම සඳහා, අනුකාරක ගීත කීපයක් ගායනා කිරීමේ වරදක්, මම දකින්නේ නැහැ. නමුත්, එය වෘත්තික් කරගැනීම නම්, අනුමත කරන්න බැහැ. මොහිදීන් බෙග් දක්‍ෂ ගායකයෙක්. නමුත්, සංගීතය එතරම්දුරට හදාරා නැහැ. මටනම්, බව්ජි බව්රා එකේ ගීතය සහ මේ ගීතය අහසට පොළොව වගේ.

      නමුත්, මහ රෑ හමුවූ ස්ත්‍රිය චිත්‍රපටියේ එන, 'සරවනභව කඳ සුරිඳුගෙ තෙදබලේ' ගීතයට, මොහිදීන් බෙග් විශේෂ සම්මානයට පාත්‍ර වුණා. ඒ ගීතය ස්වතන්ත්‍ර නිර්මාණයක්.

      https://www.youtube.com/watch?v=meQGRTX9v5I

      පදමාලාව කරුණාරත්න අබේසේකර, සංගීතය එම්.කේ.රොක්සාමි.

      Delete
  20. SANGEETHAYATA NOWEI APE HAMA DEYAKATAMA INDIAWA SAMABANDAYI.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඔව් ඔව්, ඇඳුම් පැළඳුම්, සමහර කෑම බීම එහෙමත් තියනවා.

      අද මගුල් ගෙදරක ගියාම, මනමාල ජෝඩුව ඉන්දියන් ද කියලා හිතෙනවා, පෙනුම සහ ඇඳුම් පැළඳුම් දක්කම.

      Delete
  21. aiy ape nam... okoma indiyan and tamil...natthe poona nula witharai.. samahu ekath in wate dagena innwa horen

    ReplyDelete
    Replies
    1. බැරිවෙලාවත් හින්දි කතාකරන්න පුළුවන් වුණා නම් සමහරු සදහටම සිංහල අතහරිනවා.

      Delete
  22. වැදගත් ලිපියක් තුමනි....කතා ක‍ොරල වැඩක් නෑ තුමනි tv බලන්න,සිංදු අහන්න එපා ව‍ෙලා තියෙන්නේ..හැම ක‍ෙහ‍ෙල් මලක්ම indian copy...අපේ උන්නාන්සේලට බැරි ඇයි තනියෙන් ද‍ෙයක් ක‍ොරන්න???ඒ මදිවට නල්ල මල‍ේ tv channel ප‍ෙන්නන්න‍ෙත් indian මල මගුල්...ඉතින් ක‍ොහ‍ොම‍ෙයි දියුණු ව‍ෙන්න‍ෙ...
    ඒක න‍ෙවෙයි තුමනි යුද්ධ කතා ක‍ොයි?????

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, කියාලා ලියාලා වැඩක් නැත. මේ කාලේ ගොම රිටි උඩ මතුවෙමින් මැණික් ගල් යට යන යුගයක්.

      ළඟදීම ජනප්‍රිය අවියක් ගැන ලිපියක් බලාපොරොත්තුවන්න.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }