හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

04 August 2016

ඉස්සර වගේ ගල් කිරමුද?

   චී චී චී, මාතෘකාව දැකපු ගමන්, එකපාර හිතට එන ඒ වචනේ, කියන්නවත්, කමෙන්ට් වල ලියන්නවත් එපා. මම ලියලා තියෙන්නේ, ගල් කිරමුද කියලා. ඒ නිසා වෙන වැරදි අදහසක් ගන්න එපා. අහලා තියනවද ගල් කිරනවා කියලා දෙයක්? අහලා නෑ? ඔය ඇත්තන්ගේ වැඩිහිටියො නම්, හොඳට දන්නා දෙයක් මේක. අපි පුංචි කාලේ නිතර දැකපු දෙයක්. හැබැයි, ඒ කාලේ මේ වැඩේ උවමනාවට වඩා කරන අයට, ගෙවල් වලින් බලු බැනුම් අහන්න වෙනවා. සමහර අම්මලා කියනවා, මේක මහා සාපයක්ලු. සාපයක් තියනවද නැද්ද මන්දා, ඒ කාලේ ඉඳලම මේ වැඩේ වැඩිපුර කරන්නේ, ගෑණු ළමයි. ඒ වගේමයි මේක පුදුම ඇබ්බැහියක් ඒ කාලේ. මමත් පුංචි කාලේ, මගේ අක්කලා තුන්දෙනා එක්ක, මේ වැඩේ කරලා තියනවා. නමුත් ඒ තුන්දෙනාගේ දක්‍ෂතාවය එක්ක මට හැරෙන්නවත් බැහැ. 

   හැබෑටම තවම අදහසක් ආවේ නැද්ද ඔලුවට, මොකක්ද මේ ගල් කිරිල්ල කියලා. මේකට තව නමක් කියනවා, ගල් දරනවා කියලා. දැන්වත් ටිකක් මතකයට ආවද? මේක ගෘහාශ්‍රිත ක්‍රීඩාවක්. අදනම් දකින්න ලැබෙන්නේ නැහැ. අද මේ ක්‍රීඩාව කරන්න දන්නා අය ඉන්නවානම්, ඔවුන්ගෙන් බහුතරය, මැදිවිය ඉක්මවූ අයයි. 

   මම කියලා තියනවා මීට කලින් කීප වතාවක්ම, මට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා කියලා. මේ අක්කලා තුන්දෙනා මට ආදරය කරන්නෙත් තුන් විදිහකට. බාලම අක්කා හරිම සැරයි. මම ටිකක් වැඩිපුර පානය කරනවා කියලා, අපේ උන්දෑ කේලමක් කිව්වොත්, මට ඇමතුමක් ඇන්න, දෙනවා මගෙ කන් පිරෙන්නම. ඊළඟ අක්කා, ඒ කියන්නේ දෙවනියා, මට හරිම ආදරෙයි. අරයා වගේ නෙවෙයි, කියන්නෙත්, උඹලට ඔව්වගේ ආදීනව තේරෙයි තව පස්සට, කියලා විතරයි. ලොකු අක්කා, උඹට ඕනෙනම් හැදියන් නැත්නම් මැකියන් වර්ගයේ තමයි. 

   දැන් මේ ගල් කිරිල්ලෙයි, අක්කලා තුන් දෙනයි අතර සම්බන්ධය මොකක්ද? ඒකනේ කියන්නේ. අද මම මේ තුන්දෙනාවම, දුරකථනයෙන්, අමතා අර කොන්සල්ට් ද මොකද්ද කළා. මොකෑ කිව්වොත්, මේ තුන්දෙනා, ඒ කාලේ (1960 දශකයේ) ගල් කිරීමේ විශේෂඥ වරියන් නිසා. ඔව් ඔව්, ගල් කිරිල්ලට ගිහින්, කෙහෙවලු පටලවා ගත්තම, අම්මගෙන් පාරවල් දෙක තුනක් වදිනවා පිට මැද්දට, ඩීන් ඩීන් ගාලා. ටිකක් අඬලා, තුන්දෙනාම ආයෙත් පටන්ගන්නවා සෙල්ලම. ඔව්වා ඔහොම තමයි නේද? 

   දැන් මේ ගල් කිරිල්ල (අද කලේ කියන, 'ගල් කරනවා' කියන එක නෙවෙයි හොඳේ)  ගැන ලිපිය ලියන්න නිමිත්ත මොකක්ද? මෙන්න මේකයි. අපේ ගෙදර වැඩට ගෙනත්, ඉතුරු වෙලා තියන කොන්ක්‍රීට් ගල් වගයක්, තිබෙන තැනින් වෙනත් තැනකට ඉවත් කරද්දී, එකවරම මට මේ අතීත මතකය පහළ වුනා. 

   මම වහාම අපේ ඇත්තීගෙන් ඇහුවා, ඔයා දන්නවද ගල් කිරන්ඩ කියලා. 'මොකක්' කියලා, මගෙ දිහා බැලුවේ, මොකක්හරි මගෝඩි කතාවක් කියයි කියලා. මම කිව්වා, ඔයාට මතකද, පුංචි කාලේ, අර ගල් කැට පහක් අරගෙන කරන සෙල්ලම, කියලා. ආ.........හරි හරි, ටිකක් මතක තියනවා කිව්වා. මම කිව්වා, හරි ඒ මතක තියන ටික මට පෙන්නන්න කියලා. 

   ඒ අතරේ ඔන්න මම කැමරා බෑගය ඇරලා, කැමරාව සූදානම් කරනවා දැකලා අහපි, ඔය මොකටද කියලා. මම කිව්වා, මේක මගේ බ්ලොග් එකේ දාන්න, පින්තූර ගන්න ඕනේ කියලා. බෑ බෑ, මගේ පින්තූර දාන්න බෑ කිව්වා. මම කිව්වා හරි හරි, මූණ වැටෙන විදිහට පින්තූර ගන්නේ නැහැ කියලා. ඔන්න ඊට පස්සේ තමා, මේ නිදර්ශන පින්තූර ටික ගත්තේ. සාලේ ටයිල් උඩ ගල්කැට දාන්න බෑ කිව්වා. ඒ පාර කුස්සිය තමයි ස්ටුඩියෝ එක කරගත්තේ. 'මළකෝලං පයින් යනව' කියන්නේ ඔව්වට තමා. නෑ ඉතිං අපේ ප්‍රියම්බිකා තොමෝ, මූණ දාන්න එපා කිව්වේ, බලන අය, 'ඇස් වහගනියි' කියලා හිතලා වෙන්ඩෑ. 

   ඇත්තටම, ගල් කිරීම ගෙවත් ගල් දැරීම ක්‍රීඩාව සම්බන්ධව යම් තොරතුරක්, අන්තර්ජාලයේ තිබේදැයි සොයා බැලුවම, මට හමුවුනේ, මෙන්න මේක විතරයි

   අපේ අක්කලා තුන් දෙනාගෙන් දෙවැනි අක්කා, මේ වැඩේ ගැන හොඳම දැනීමක් තියන කෙනෙක්. බයිපාස් සැත්කමකින් පසු ඇතිවූ සංකූලතා නිසා, අදටත් දුක් විඳින ඇය, ගමන් කරන්නේ සැරයටියක ආධාරයෙන්. ඇයව වෙහෙසට පත් නොකර, කෙටියෙන් අසාගත් දේ, මෙතැන් සිට විස්තර කරනවා. 

   ගල් කිරන ක්‍රීඩාවට, එක්කෙනෙකුට වැඩි පිරිසක් අවශ්‍යයි. නමුත් හතර පස් දෙනෙක් වුනාම කරදරයි. තුන් දෙනෙක් විතර තමා හොඳ. මේ සඳහා ගන්නේ, අඟල් 1.5 පමණ පැත්තක් තියන, ආසන්න වශයෙන් ඝනයක හැඩය ඇති, කළුගල් පහක්. හුඟක් බර ගල්, සිමෙන්ති පොළොවක් මත වැටුනම කෑලි කඩෙන ගල්, ගන්න එපා. මේ පින්තූර වල තියන සමහර ගල් පොඩි වැඩියි.




 මුලින්ම, අර කවඩි අරගෙන, සිංහල අවුරුද්දට කරන පංච දැමීමේදී වගේ, සළුවෙන්න හෙවත් සල්ලම් වෙන්න ඕනේ. ඒ සඳහා කරන්නේ, ගල් පහම මිටට අරගෙන, උඩ දමා, පිටි අල්ල ඇල්ලීමයි. පහත වැටෙන ගල් පහම හෝ එකක් හෝ පිටි අල්ලේ රැඳුනොත්, සළුවෙනවා. සළු නොවුනොත්,  ඊළඟ එක්කෙනාගේ වාරය.


   සළුවුන එක්කෙනා, (සළුවුන පිළිවෙලට අනුව)  ගල්කැට පහම අත්දෙකට ගන්නවා. (ආයුබෝවන් කියන විදිහට අත්දෙක තියාගන්නේ) අත් දෙක ඇතුලේ ගල් කැට ටික හොලවලා, බිමට දානවා. හොලවද්දී ගල් කැට එලියට විසිවුනොත්, ඊළඟ එක්කෙනාගේ වාරය. 




  දැන් එක ගල් කැටයක් අතට ගන්නවා. ඒ වෙලාවේදී අත වෙනත් ගල් කැටයක ගෑවුනොත්, තමන්ගේ වාරය අවසන්, ඊළඟ එක්කෙනාගේ වාරය. එයා මුල ඉඳලා පටන් ගන්න ඕනේ. අතට ගත්ත ගල් කැටේ උඩ දාලා, බිම වැටෙන්න කලින්, බිම තියන ගල් කැටයක් අතට අරන්, ඒ අතින්ම අල්ලගන්න ඕනේ, අර උඩ ගිහින් එන ගල් කැටේ. ඒ විදිහට, එක ගල් කැටයක් උඩ දාලා, බිම තියන ගල් කැට, දෙකක්, තුනක්, හතරක්, වශයෙන් අතට අරගැනීම සහ උඩ ගිහින් එන ගල් කැටය, ඒ අතින්ම ඇල්ලීම කරන්න ඕනේ. 



   ඊළඟ වතාවේදී කරන්නේ, එක ගල් කැටයක් පිටි අල්ලේ තබා උඩ දමා, අර විදිහටම බිම තියන එක ගලක්, දෙකක්, තුනක්, හතරක් ඇල්ලීමයි. ඊළඟට සෑහෙන අභියෝගයක් එනවා. එතැනදී කරන්නේ ආයෙත් එක ගලක් පිටි අල්ලට නොගෙන නිකම්ම උඩදමා, තමන්ගේ පපුවට එම ගල් උඩ දැමූ අත තියා, බිමින් ගලක් ගෙන, ඒ සමගම උඩ සිට බිම වැටෙන ගල ඇල්ලීම. මේකත් ගල් 2,3,4, වශයෙන් කරන්න ඕනේ. හැක් හැක් හැක්, පොටෝ කෙළින්න ගිහින්,  ඔන්න උඩ දාපු ගල බිම වැටිලා තියෙන්නේ.....................




  දැන්, එක ගල් කැටයක් පිටි අල්ලට ගෙන, උඩ දමා, පපුවට අත තියා, බිම තිබෙන ගල් 1,2,3,4, වශයෙන් ගතයුතුයි. මෙන්න මේ අවසාන අවස්ථාව ගැන, ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර, එයට සහභාගි වන්නන් එකඟතාවයකට එනවා. එනම්, මේ පපුව අල්ලන අවස්ථා කීයක් කරනවාද යන්නයි. ඒ කියන්නේ, 1,2,3,4,5, වශයෙන්, ගල් කැට පහ ඇල්ලීම, කී වතාවක් කලයුතුද යන්නයි. ගල්කැට පහම අල්ලන එක වාරයක්, 'පත්තුවක්' ලෙසයි හැඳින්වෙන්නේ. ඉතින් මුලදීම එකඟතාවයකට එනවා, පත්තු තුනක් හෝ පහක් කලයුතුයි කියා. ක්‍රීඩාවේ ඕනෑම අවස්ථාවක දී, උඩ සිට වැටෙන ගල අල්ලාගන්න බැරිවුනොත්, බිමින් ඇහිඳගන්නා ගලක් අතහැරුනොත්, ඒ ක්‍රීඩකයා, ආපහු, ආරම්භක, එනම් පළමුවැනි පියවරේ සිට, නැවත පටන්ගත යුතුයි.  

   ඔබේ ප්‍රදේශවල මේ ක්‍රීඩාව වෙනත් නම්වලින් හැඳින්වෙනවා ඇති. ක්‍රීඩාවේ නීතිරීති මීට වඩා වෙනස් ඇති. ඔබේ අදහස් දැක්වීම් වල, එවැනි තොරතුරු ඇතුලත් වෙතැයි බලාපොරොත්තු වෙනවා. 

   ඉතින් අපිට පාන්ද/බනිස්ද/විස්කෝතුද/ කියා කියන්න බලාපොරොත්තුවන අය,  මේ ටික කියවන්න.

 බොහෝවිට, පරිගණක ක්‍රීඩා වලට පමණක් සීමාවී සිටින අද කාලේ දරුවන්ට, මෙයින් යම් ප්‍රයෝජනයක් තිබේද? 

තිබෙනවා. මෙන්න ප්‍රයෝජන;

1. අනෙකාගේ දක්‍ෂතා දෙස ඉවසීමෙන් බලන්නට පුරුදුවෙනවා. 

2. තම දක්‍ෂතා වර්ධනය කරගන්නට, අනෙකා නිරීක්‍ෂණය කොට, දැනුම උකහා ගැනීමට පෙළඹෙනවා. උපක්‍රම ඉගෙනගන්නවා. එය, වෙනත් අවස්ථාවන්ට, අනාගතයේදී යොදාගතහැකි වෙනවා. 

3. දරුවකු මෙය කරනවිට සිත, ඇස, අත, දැඩි සමායෝජනයකට ලක්කිරීමට සිදුවනවා. තමන්ගේ අතේ, ඇසේ, චාලක හැකියා, උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නට සිදුවෙනවා. එයින්, අධ්‍යාපන විද්‍යාවේදී, කියවෙන, Eye - Hand Coordination සහ Fine Mortar Skills වැඩි දියුණු වීමෙන්, ශරීර සෞඛ්‍යයට යහපතක් වෙනවා. මනසට ද අභ්‍යාසයක් ලැබෙනවා. සතපහක වියදමක් යන්නේ නැති මෙවැනි ක්‍රීඩා වලින්, පරිගණක ක්‍රීඩා වලටත් වඩා යම් සේවයක් වෙනවා. 

ඉතින් ඒ ටිකම මදිද?

හොඳයි. ඔබේ අදහස් බලාපොරොත්තුවෙන් ලිපිය මෙතෙකින් අවසන් කරනවා.

පසුව එකතු කිරීම. 2016/08/04 2227 පැය 

මෙම ලිපිය කියවූ, NissankaAugust 4, 2016 at 7:55 PM මහතා විසින්, එක්කල කරුණු ඉතා වැදගත්. එහි සඳහන් වීඩියෝව, මෙතනට එකතු කරනවා. එසේ කරන්නට සිදුවුනේ, බ්ලොගර් අඩවිවල කමෙන්ට්ස් වලට, යූ ටියුබ් වීඩියෝ එකතු කිරීමේ පහසුකම, දැනට මාස දෙකක පමණ කාලයක සිට, ගූගල් පාලනාධිකාරිය විසින් අත්හිටවා ඇති බවක් පෙනෙන නිසයි. මෙන්න වීඩියෝව. මා විස්තර කර ඇති ක්‍රීඩාවට බොහෝ දුරට සමානයි.




 





2016 අගෝස්තු මස 03 වැනි දින 2355 පැය 

55 comments :

  1. මට මතකයි මේ සෙල්ලම, තවත් එකක් තිබුණා නේද ඉරටු කෑලී අරගෙන එකකින් අනෙක් ඒවා හෙලවෙන්නේ නැති ආකාරයට එකින් එක අයින් කරන.

    ඒ ඉරටු ක්‍රීඩාවේ ප්ලාස්ටික් කූරු වර්ෂන් එකක් දැන් අවුරුදු දහයකට විතර කලින් මගේ පුතාට සිඩ්නිවලදී අරගෙන දුන්නු ගෘහස්ත ක්‍රීඩා කට්ටලයක තිබුණා.

    මේ ගල් කෑලි මටසිළුටු ඒවා නම් හොඳයි නේද? පංචි බෙල්ල්නගෙනුත් කරන්න පුළුවනි!

    ReplyDelete
    Replies
    1. මා හිතනවා සෑහෙන දෙනෙකුට මේ ක්‍රීඩාව ගැන පොඩි මතකයක් හෝ ඇති කියා. මේක ඒ කාලේ ගෑණු ළමයි බඩ බැඳගෙන කරපු ක්‍රීඩාවක් මේක.

      අර හීනි කොටු ක්‍රීඩාව මම දැකලා තියනවා. නමුත් කරන විදිහ දන්නේ නැහැ.

      ඔව් ගල් කෑලි රළුවට තිබුනත්, ටික දවසක් ක්‍රීඩා කරනකොට එකට ගැටීමෙන් මටසිලුටු වෙනවා. නමුත් බෙල්ලන්ගෙන් කරන එක බොහොම අමාරුයි, ලිස්සන නිසා සහ බිම වැටුනම ඈතට යන නිසා.

      ස්තුතියි ඔබේ අදහස් වලට.

      Delete
  2. විචාරක මහතා,

    මම කුඩා කාලයේ මේ සෙල්ලම කරලා තියෙනවා පුංච් අම්මලත් එක්ක. අපි නම් මේකට කීවේ "ගල් කොටනවා" කියලා. අපේ ගම නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ පිහිටි කුඩා ගම්මානයක්.

    මගේ ගෙදර උන්දැ බණ්ඩාරවෙල කිට්ටුව තියෙන කුඩා ගම්මානයක්. එයාලගේ පැත්තෙත් මේ සෙල්ලමට, "ගල් කොටනවා" යන්නයි කියා තිබෙන්නේ.

    මට යන්තමින් වගේ මතකයක් තියෙනවා අපේ අත්තම්ම, පුංචි අම්මලාට බනිනවා ඔය සෙලමෙන් පොලවටය් අහසටය් පව් සිද්ද වෙනවා කියලා. මොකද ඒ දවස් වල අපි ඕබ කියා ඇති පරිදි පපුවට නොව පොළොවට තට්ටු කර උඩට විසිකල ගල් ඇල්ලීමයි.

    ඔබට බෙහෙවින්ම ස්තුතිය් අතිතවර්ජනයට.

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපියේ මුලදීම සඳහන් කල ආකාරයට, මේ ක්‍රීඩාව, අපේ රටේ විවිධ ප්‍රදේශ වලදී, විවිධ නම් වලින් හඳුන්වනවා.

      මොකක්ද බණ්ඩාරවෙල පැත්තේ අපි නොදන්න ගම.

      ඔව් මේ ක්‍රීඩාවට වැඩිහිටියන් එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. එහි යම් සැඟවුණ අරුතක් තිබෙන්න පුළුවන්.

      ස්තුතියි ඔබේ අදහස් වලට.

      Delete
  3. අම්මා මගේ රත්තරන් කියලා පරණ පොතක් තිබ්බා ඒකේ කතා නායිකාව කුඩා ගෑණු ළමයෙක් ඇය තම පාසල් මිතුරිය වූ සිරිනි සමග ගල් කිරනවා. මේ පොත කා ලඟ හරි තිබේ නම් කියන්න​.

    ReplyDelete
    Replies
    1. අර 'රණබලලුව' පොත හොයාගත්තා වගේ මේ පොතත් හොයාගත්තොත් හරිම වටිනවා.

      Delete
    2. Of course it's worth trying.

      Delete
  4. ගල් කිරන්නත් ඉගැන්නුවාට තුති !
    මේ අන්සෙන් අන්තිමට දැනගත්තේ "මගුල් පරක්කුව"යි :-)

    ReplyDelete
    Replies
    1. මගුල් පරක්කුව ගැන මීට කලින් කියවෙලා තියනවා මගේ අඩවියෙත්, නලින් ගේ සමකය වටේ අඩවියෙත්.

      හැබැයි ගල් කිරණ ක්‍රීඩාව හොඳට ප්‍රගුණ කරන්නේ නැතුව ක්‍රීඩා කරන්න අමාරුයි.

      Delete
  5. මේක මම නම් කරපු සෙල්ලමක් නෙවේ, නමුත් මට මේ ගැන මතකයක් තියෙනවද කියලත් හරියට මතක නෑ. සමහර විට දැකලා ඇති.
    බොහොම ස්තුතියි මේ ලිපියට ලොක්කයියේ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ හරි, ඔයාගේ අහවලාගේ හරි, දෙමව්පියන් වැඩිහිටියන් ගෙන් අහලා බැලුවොත්, අඩුගානේ එක්කෙනෙක්වත් ඇති මේක ගැන දන්න අය.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  6. පින්තූර ටිකෙනුයි විස්තරයෙනුයි නම් මට මෙලෝ හසරක් තේරුනේ නෑ. තේරෙන්න තරම් ඉවසීමකින් කියවන්න හම්බුනෙත් නෑ. පින්තූර වලට වඩා පුංචි පහේ වීඩියෝ කෑල්ලක් දැම්මා නම් තේරෙයි.

    පුංචි කාලෙ අපි සෙල්ලමක් කලා ගල්කැට විස්සක් තිහක් අරන්. ඒක උඩ දානවා. ඊටපස්සෙ බිම වැටුනම එක එක ගල් දෙක මැද්දෙන් එක ඇඟිල්ලකින් ඉරක් ඇදලා අනික් ගලට වදින්න එක ගලකින් ගහන්න ඕනෙ. ඉර අඳිද්දි ගලක ඇඟිල්ල ගෑවුනොත් හරි, ගහද්දි එක ගලකට වඩා ගෑවුනොත් හරි, වෙන ගලක වැදුනොත් හරි, ගහද්දි එක ගලක වත් නොවැදුනොත් හරි ක්‍රීඩකයා දැවී යනවා. එහෙම කිසිම දෙයක් වුනේ නැත්නම් ක්‍රීඩකයාට පුළුවන් අර ගල් දෙකෙන් එකක් තමන් සතු කරගන්න. අන්තිමේ දිනුම හම්බෙන්නෙ වැඩිම ගල් ගානක් අයිති වෙච්චි කෙනාට.

    ගල් කිරිල්ල කියන්නෙ මොකක්ද කියලා මම දන්නෙ නෑ. ඒත් අපි ගල් අරන් ඔය සෙල්ලම කරන්න යනකොට වැඩිහිටියො පොලු අමෝරාගෙන ඇවිත් කෑගහනවා උඹලා ගල් කිරන්නද යන්නෙ කියලා. ගල් කිරුවම ගෙදරම මූසල වෙනවා කියලා බනින්නවා හොඳටම. අපි කියනවා නෑ නෑ අපි ගල් කිරන්නෙ නෑ කියලා. ගල් කිරනවා කියන්නෙ මොකක්ද දන්නෙ නැති උනත්.

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Pick-up_sticks

      Delete
    2. ඔන්න හරී මම අද මේ ලිපියට වීඩියෝ එකක් දැම්මා. ඒක බොහෝදුරට ඔය මම කියන කතාවට සමානයි. අම්මගෙන් හරි තාත්තාගෙන් හරි අහලා බලන්න දන්නවද කියලා. මමනම් හිතන්නේ අම්මා දන්නවා ඇති.

      ඇත්තටම ගල් කැට වලින් කරන ක්‍රීඩා බොහොමයක් තිබුනා. අද ඒවා භාවිතයෙන් ඉවත්වෙලා, අමතක වෙලා.

      මොකක් හෝ අපි නොදන්නා ගැඹුරු හේතුවක් තියනවා වැඩිහිටියෝ ඔය ගල් කිරිල්ලට අකමැති වෙන්න.

      Delete
  7. අපිත් පොඩි කාලෙ කලා. එකම වෙනස අපි කිව්වෙ "ටක්ක ගහනව" කියල. ගල්වල සද්දය නිසා වෙන්න ඇති ඒ නම හැදෙන්න ඇත්තෙ. කලුගල් ටිකක් අරගෙන කලක් සෙල්ලම කරද්දි ගල් හොඳට කැපිල මැදිල එනව. මේ වගේ පදම් වෙච්ච ගල් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපියෙන් බලාපොරොත්තුවුන එක දෙයක් තමයි රාජ්, මේ ක්‍රීඩාවට කියන විවිධ නම් සහ, ක්‍රීඩාවේ ප්‍රභේද හඳුනාගැනීම. එය සාර්ථකවී තිබෙන බව කමෙන්ට් වලින් පෙනෙනවා.

      ඔව් මේ වැඩේට හුඟක් රළු ගල්කැට ගැලපෙන්නේ නැහැ.

      ස්තුතියි රාජ්.

      Delete
  8. නමනං මොක කිවුවද කියල දන්නැති උනත් මාත් පොඩිකාලෙ ඔය සෙල්ලම කරනව දැකල තියෙනව. ඔය වගේ වැඩිහිටියන්ගෙන් බාධාවක් උනා කියලනං මතකයක් නෑ.

    අපිනං ඉතිං අන්තිමට කළේ ජිල් බෝල ගැහිල්ල විතරයි.

    මොනව උනත් හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. භාවිතයේ නැති නිසා තමයි දැන් අපිට මෙව්වට කියපු නම පවා අමතකවී ගිහින් තියෙන්නේ.

      ජිල් බෝල වලින් ගහන 'හොලිස්' කියන ගේම දන්නවද?

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  9. අපෙ පලාතෙ ඕකට කීවෙ ගල් කොටනව කියල ඉස්කෝලේදි මේක ගෑනු ළමයි තමයි කලේ අපි ගල් කැට 20ක් අරන් ටික්කො ගහන එක කලේ.

    ReplyDelete
    Replies
    1. ටික්කො ගහනවා කියන එක පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඒ වගේම ඔය පහලින් කියලා තියන පෑන් ගැහිල්ල්ලත් විස්තර කරන්න.

      Delete
  10. තව එකක් මතක් වුනා ඩෙස් උඩ පෑන් ගැහිල්ල. අම්මෝ කන මිරිකල ටොකු අනින්නෙ ගුරුවරු :)

    ReplyDelete
  11. අපිත් පොඩි කාලෙ ගල් කිරල තියනවා.. (ඒ කියන්නෙ බොහොම මෑත කාලෙ නෙව ) ඔච්චර සවිස්තරව කතන්දරේ මතක තිබුනෙ නෑ.. මොකද අක්කගෙ යාළුවෝ එක්ක වැඩි වෙලා ඉවසීමෙන් ඉන්න එක ගස්ලබ්බට හරි අමාරු දෙයක් උනා.පංච දාපු හැටිත් දැන් මතක බැරි වෙලා අප්පා.. පිං සිද්ද වෙනවා මේ ක්‍රීඩා ලේඛණගත කිරීම ගැන නම්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හා හා, උඹ මේ කියන්න යන්නේ උඹ තවම පොඩි එකා කියලා. හනේ මොකටද මගේ කට. දැනටමත් දොයිය බබෝ කියලා කී පාරක් කියලා තියනවද?

      අඩේ...මේ කමෙන්ට් එක කියෙව්වට පස්සේ මට හිතෙනවා ලබ්ස්, මේ වගේ තවත් ක්‍රීඩා ගැන ලියලා තැබීමෙන්, ඒවා අනාගත පරපුර කියවයි කියලා.

      බොහොම ස්තුතියි ඇගයීමට සහ අලුත් අදහසක් දුන්නාට.

      Delete
  12. මෙහෙම සෙල්ලමක් ගැන ඇහුවමයි. දෙතුන් පාරක් කියෙවුවත් මට එච්චර තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. කලින් ටිකක් අහලා දැකලා නැත්නම්, තේරුම්ගන්න ටිකක් අමාරුයි කම්මලේ. දන්නා අය, ඔබේ නා දෑ හිතමිතුරන් අතර ඇති.

      Delete
  13. මේ පරණ සෙල්ලම් ලියල තියන එක වටිනවා.. ගල් කිරන්නේ ගොඩක් වෙලාවට ගැහැණු ළමයි, වලකජු ගැහීම ගැනත් ලියන්න..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා ලලිත්, මේ වගේ දැනට අභාවයට ගිහින් තියන ක්‍රීඩා ගැන, ඉදිරියේදී ලියන්න ඕනේ කියලා. ඒ ගැන කරුණු හොයන කෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වෙයි.

      ස්තුතියි ඔබට.

      Delete
  14. මේ වගේ වැලලී ගිය අතීතයේ සුන්දර ක්‍රියා කාරකම් අළුත් පරපුරට දැන ගන්න මෙහෙම ලියන එක කොයිතරම් අගෙයිද.
    මම නම් මේ සෙල්ලම කරලත් නැහැ කරනව දැකලත් නැහැ අපිත් 60 දශකයේ උපන් උන් වුනත් ගෙන්දගම් පොළොවේ හැදුනු උන් නිසා වෙන්න ඇති.
    විචාරක මහතාගේ මේ වෑයම ඉතාම වැදගත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නයනේ මා දිරිමත් කිරීම පිළිබඳව. ලිපියට ලැබුණු ප්‍රතිචාර නිසා මට හිතෙනවා, තවත් මෙවැනි ක්‍රීඩා ගැන කරුණු සොයාබලා ලිපි කීපයක් ලියන්න.

      හැම දෙනාම තමන් හැදුනු වැදුණු පරිසරයෙන් තමා ජීවිතය ඉගෙනගන්නේ. ලෝකේ හැටි එහෙමනේ.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඕක ඉතිං ගෑනු ළමයි කරන සෙල්ලමක් නෙ. ඕනෑ තරම් දැකල නම් තියෙනවා. ඕවටම ගන්න හොඳට මැදුනු ගල් ඒ අය ළඟ තිබුණා. අපි කළේ නැති නිසා නීති ටීති දන්නෙ නෑ. අපි කළේ ගල් කිරීම නෙවෙයි අනික් ගල් සෙල්ලම. ඒ ගැන වෙලාවක ලියන්න. එතකොට ඒ සෙල්ලමේ නීති රීති ඇති පදම් කියල දෙන්නං.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේක සින්නක්කරම ගෑණු ළමයින්ගේ ක්‍රීඩාවක්.

      හැක් හැක් හැක්, අපිනම් වෙන ගල් සෙල්ලම් මොකවත්ම දන්නේ නෑ ඕං.

      Delete
  17. විචාරක මහතාගේ ලිපියට ස්තුතියි.
    මේ ක්‍රීඩාවේ මූලාරමභය මෙය විය හැකියි:
    https://en.wikipedia.org/wiki/Knucklebones
    මගේ වයස අවුරුදු 62යි. දකුණු පලාතේ ඉපදුන මගේත් එදා ඒ වයසේ හිටපු සියල්ලන්ගේත් ළමා කාලය වැඩිපුරම ගෙවුනේ මේ ක්‍රීඩාව සහ අදට කවුරුවත්ම කතා නොකරන සහ ලිඛිත සටහනක් වත් හොයා ගත නොහැකි තවත් ක්‍රීඩා රැසක් සමගයි.
    එක් පරම්පරාවක් තරම් කෙටි කාලයක් තුලදී සමාජයක මෙතරම් වෙනස් වීම් සිදුවීම අදහගන්නත් අමාරු තරම්. මේ කෙටි කාලය තුල අපේ භාෂාවේ අභාවයට ගියපු වචන සංඛ්‍යාව කොයි තරම් විය හැකි ද?
    ‘ගල් කිරීම’ ගැන කියනවා නම් අපේ ප්‍රදේශයේ ඊට භාවිතාවුන නම ‘ටක්ක ගැසීම’ කියන එකයි. මේ ක්‍රීඩාවේම වෙනස් ප්‍රභේදයක් තිබුනා ‘නීල කොබෝ’ කියලා.
    මීට අමතරව මේ ප්‍රමාණයේම ගල් 16 ක් (හෝ 32 ක්?) යොදා ගත්තු ‘පැටිකිත්තං’ කියල ක්‍රීඩාවක් තිබුනා. තවත් තිබුනා කුඩා ගල් 32 ක් විතර යොදා ගත්තු ‘ලේන ඉරි’ කියල ක්‍රීඩාවක්. (හරී කියල මහත්තයෙක් ඉහත විස්තර කරල තියෙන්නෙ මේ ක්‍රීඩාව ගැනයි.)
    මේ ක්‍රීඩා ගැන තවත් සඳහන් කළයුතු දෙයක් තමයි ජයග්‍රාහකයා විසින් පරාද වූ අයට දඬුවම් දෙන ක්‍රමය. ඒකට කිව්වෙ ‘තෙල් බේරනවා’ කියලයි. මතක් කරන කොටත් ඇස් වලට කඳුලු එනවා. (දුකට නෙවෙයි, දඬුවමේ බරපතල කමට!) ඒ කාලයේ සගයො දෙතුන් දෙනෙක් හමු වෙලා කතා කළා නං මේව ගැන පොතක් ලියන්න තරං කරුණු හොයා ගන්න පුලුවන්.
    අවුරුදු 50 ක් කියන්නෙ මහ කාලයක් නෙවෙයි. මේක කියවන බොහෝ දෙනෙක් මේ කියන ක්‍රීඩා ගැන මීට වඩා විස්තර දන්නවා කියල මං විශ්වාස කරනවා.
    පහත වීඩියෝවෙ තියෙන්නෙ මේ ක්‍රීඩාවෙ වෙනත් ප්‍රභේදයක් වෙන්න පුලුවන්:
    https://www.youtube.com/watch?v=qSKqx4Obhg4
    වෙනත් ආසියානු රටක එකක් වගෙයි පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. නිස්සංක මහතා ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉතා අගනා කරුණු රැසක් එකතු කර, මේ ලිපියේ වටිනාකම වැඩි කිරීම පිළිබඳව.

      ඔබත් මගේ වයසේ කෙනෙකු වීම නිසා, ඔබ සතු පුළුල් දැනුම ගැන මට ලොකු ආදරයක් ඇතිවුනා. ඔන්න ඔබ පහල ලින්ක් එක දීලා තිබුණු වීඩියෝව, මේ ලිපියේ අගට එකතු කළා.

      ඔබට කොහොම ස්තුති කරන්නද කියා මට නොතේරේ. ඔබ මීට පෙර මේ අඩවියට පැමිණි බවක් මගේ මතකයේ නැහැ.

      ඔබ සතු අගනා දැනුම ආධාර කරගෙන බ්ලොග් එකක් ලිවීම ඔබේ යුතුකමක් බව මතක් කර දෙන්නට කැමතියි. බ්ලොග් එකක් ලිවීම එතම් අමාරු දෙයක් නෙවෙයි. ඔබ ලියන්නට කැමති නම්, මම ඔබට බ්ලොග් අඩවියක් හදා දෙන්නම්. මට කිසිදු ගාස්තුවක් එපා. බ්ලොග් ලෝකයේ බොහෝ දෙනා එලෙස තවත් අයට අඩවි සාදා දෙනවා. මමත් එහෙම කරලා තියනවා.

      නිතර මේ පැත්තේ ඇවිත්, ඔබේ බහුශ්‍රැත අදහස් වලින්, මේ අඩවිය කියවන සියල්ලන්ගේ දැනුමට යමක් එක්කරන මෙන් කාරුණිකව ඉල්ලනවා.

      මගේ ඊ මේල් ලිපිනය:- wmjgslsr@gmail.com

      Delete
    2. //නිතර මේ පැත්තේ ඇවිත්, ඔබේ බහුශ්‍රැත අදහස් වලින්, මේ අඩවිය කියවන සියල්ලන්ගේ දැනුමට යමක් එක්කරන මෙන් කාරුණිකව ඉල්ලනවා. //

      Delete
  18. මට නම් මෙහෙම සෙල්ලමක් ගැන මතකයක් නැහැ. විස්තරේ තේරුම් ගත්තෙත් බොහෝම අමාරුවෙන්. ඉවසීමක් නැති කම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. කලින් අහලා දැකලා නැති කොයි දේත් එහෙමනේ දිනේෂ්. ඔබට විතරක් නෙවෙයි මට වුනත් මේ ගැන කලින් දැනුමක් නොතිබුනා නම්, තේරුම්ගන්න අමාරුයි. පස්සේ වෙලාවක නැවත කියවා බලන්න. අද මම ලිපිය සංස්කරණය කර, වීඩියෝ එකක් දැම්මා ලිපියේ අගට. ඒකත් බලන්න.

      Delete
  19. ගල් සෙල්ලං හොදනැ කියල කාක්කෙක් කියල තියනවා

    ReplyDelete
    Replies
    1. ඔව් දැන්නං මතක් වෙනකොටත් අප්පිරියයි.

      Delete
  20. මේක ගැන මමත් දැනගෙන හිටියෙ නෑ.. වීඩියෝව නිසා ටිකක් තේරුම් ගන්න පහසු වුනා..

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් අහලා බලන්න. මම හිතන්නේ දන්න අය එක්කෙනෙක්වත් හමුවෙයි.

      Delete
  21. අපිත් පොඩි කාලේ ඔය ක්‍රීඩාව කලා, හැබැයි අද මේ ලිපිය බලන තෙක් මට ඔය සම්බන්ධව අමතක වෙලා තිබුනේ...
    අපි ඕකට කිව්වේ "ගල් පොළනවා" කියලා...
    අපි ගත්තේ හොඳ මටසිළිටු ගල්, බොරළු පසේ ඒවා බහුලව තියෙනවා...
    අපේ අක්කල තුන් දෙනත් ඒ දවස් වල ඔය ක්‍රීඩාවේ දස්ස උදවිය...
    මම පොඩි එකා සන්දියේ එක ගල් කැටයක් උඩ දාල තව එකක් ගන්නවත් බැහැ, ඒ කියන්නේ ක්‍රීඩාවේ මුලික කොටසවත් කරගන්න බැහැ...
    කාන්තා මනස සකස්වෙලා තියෙන විදිහ අනුව ඔවුන්ට මේ ක්‍රීඩාව පහසුවෙන් කල හැකි බව මට හිතෙනවා පිරිමින්ට වැඩිය...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම, ඔබ අන්තිමට කියලා තියන දේ ඉතා වැදගත්. කාන්තාවන්ට (ගෑණු ළමයින්ට) මේ ක්‍රීඩාව මෙතරම් දක්ෂ විදිහට කරන්න පුළුවන් වුනේ කොහොමද කියන එක, හොයලා බලන්න වටිනවා.

      විවිධ ප්‍රදේශ වල, මේ ක්‍රීඩාව විවිධ නම් වලින් හඳුන්වන බව, කමෙන්ට්ස් වලින් පැහැදිලි වෙනවා.

      ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      Delete
    2. ජාන වලින්ම කාන්තාවන්ට එක වර වැඩ කිහිපයක් ගැන සිතීමේ සහ කිරීමේ හැකියාව උරුම වෙලා තියෙනවා කියල මොකක් හරි පොතක දැක්ක වගේ මතකයි. විනාඩියක ඇවෑමෙන් පොතේ නම හොයා ගත්තා...
      Men Are from Mars, Women Are from Venus කියන පොත වගේ තමයි මතක, සිංහල පොත බැලුවේ. ඒකෙ නම "ප්‍රීතිමත් විවාහ දිවියක් සඳහා" වගේ තමයි මතක...

      Delete
  22. හෙහ් හෙහ් හෙහ්. එකවර කීපයක් ගැන හිතන නිසා වෙන්ඩ ඇති, 'එක හිත නැති උඹේ හිතත් දහඅට වංගුව වාගේ' කියලා සින්දුවක තියෙන්නේ.

    ඇත්තටම කාන්තාවන් අද සමාජයේ අතිශයෙන් ක්‍රියාශීලීයි.

    ReplyDelete
  23. දැන් තමයි කමෙන්ට්ස් කියවන්න ආවෙ ටික්කො ගහනව කියල අපි කරපු එක අර උඩින් "හරීAugust 4, 2016 at 8:46 AM" විස්තර කරලා තියන එකට ගොඩක් සමානයි.
    පෑන් ගැහිල්ල නම් වැඩකට ඇති එකක් නෙමෙයි ඒකෙදි කරන්නෙ දෙන්නෙක් හරි ඊට වැඩි පිරිසක් පෑන් ඩෙස්ක් එක උඩ තියලා තමන්ගෙ පෑනෙන් වෙන කෙනෙකුගෙ පෑනක් බිමට වැටෙන්න කැරම් ගහන විදිහට ගහන එක,පෑන අතින් එහාට මෙහාට කරන්න බැහැ නතර වුන තැන ඉඳන් ගහන්න ඕන.එක පෑනක් වැට්ටුවම ලකුණු 10යි ලකුණු 100න් ගේම් එක ඉවරයි.හතර පහ වගේ වසර වලදි කරපු එකක් පෑන් කඩාගන්න නිසයි ඇස් වලට අනතුරු වෙන්න පුලුවන් නිසයි දුටු තැන පහරදෙනව ගුරුවරු, අපි සැලෙයි ඕවට :)
    මං එන බ්‍රව්සර් එකේ අවුලක් වෙන්නැති රිප්ලයි කරන්න බැහැ ඒ හිංදා අලුතින් කමෙන්ට් එක දැම්ම :)

    ReplyDelete
    Replies
    1. අපි ඒ සෙල්ලමට නමක් කිව්වා කියලා නම් මතක නෑ. පෑන් ගැහිල්ලත් අපේ කාලෙ නැගලම ගිය සෙල්ලමක්. හැබැයි පහු පහුවෙනකොට පෑන් දෙකක් තියලා කැරම් ගහනවා වගේ සරල උනේ නෑ. ළමයි එක එක පහරවල් අලුතෙන් හොයාගන්න ගත්තා. සමහර පාරවල් වලට අනුව තමුන්ගෙ පෑන් උඩ පෑනක් තිබ්බම තමන්ගෙ පෑනෙන් අල්ලලා ඒක විසිකරන්න පුලුවන්. තව සමහරු එක එක කෑලි බෑලි දාලා පෑන් බර වැඩි කරන්න ලොකු කරන්න පටන් ගත්තා. ඔය විදිහට අලුතෙන් පහරවල් එන්න එන්න සිදුවුනේ ඒ ඒ පහරවල් නීත්‍යානුකූල ද කියන තර්ක ඇතිවීම. සමහර තර්ක ගුටි බැට හුවමාරු දක්වා දුරදිග ගියා. සමහරු සල්ලි ඔට්ටු දාලා පන්තිය සූදු පොළක්වගේ වෙන්නත් ගත්තා. ඒක හින්දා වැඩිකල් නොයාම ගුරුවරු මේකට වලිය ඇද්දා.

      Delete
  24. අම්මෝ..........බලනකොට පෑන් කෙලිය මහ භයානක එකක් නේ :D අපේ කාලේ ඔය වැඩේ කරන්න ගියානම් මහ විනාශයක් වෙනවා. මොකද අපි පාවිච්චි කලේ තීන්ත දමන පෑන්. Fountain Pen.

    මේ ලිපියේ සඳහන් ක්‍රීඩාව ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් වුනා කමෙන්ට්ස් වලින්.

    බ්‍රව්සර් එක මාරු කරලා බලන්න.

    ReplyDelete
    Replies
    1. අපිත් පොඩි කලේ (8-10 පන්ති වල) ඔය පෑන් ගැහිල්ල කරලා තියෙනවා.වැඩි ඈතක නෙවෙයි.2013 දී.ඒ කලේනම් ක්‍රීඩකය පැරදුනාම ක්‍රීඩා කල පෑන ජයග්‍රාහකයාට හිමි වෙනවා.

      Delete
  25. විචාරක මාමේ,ඔබ තුමාගේ ලිපි බොහොම අසාවෙන් නිහඩව පරිහරණය කළා.එයින් බොහොම සිත් ඇදගත් ලිපියක් බවට 'sniper' ලිපි පෙළ පත් උනා.මගේ පියා සේවය කරන්නේ යුධ හමුදාවේ.(කෙටෙරියන් කෙනෙක්).මට මුලින්ම අවශ්‍ය උනේ මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න.නමුත් මගේ පියාගේ ගති ලක්ෂණ,කල්පනා ශක්තිය,ඉවසීම වැනි ලක්ෂණ හමුධා පුහුණුව තුලින් ලැබූ දායාදයන්.මටත් ආසාව KDU හි අධ්‍යාපනය ලබන්න.කොතලාවල ඇකඩමිය පිළිබඳවත්,එහි අධ්‍යාපන පිළිවෙල හා සිසුන් ඇතුලත් කරගන්න අකාරය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නේ නම් බොහොම ස්තුතිවන්ත වෙමි.ඔබේ බ්ලොග් අඩවිය පරිහරණය කිරීමේදී 'sniper'ලිපියක් පරිහරණය කල දුටු ඔහු එයින් වැළකෙන ලෙස ඉල්ලා සිටිය.නමුත් හදවතේ ඇති ආශාව එවැනි පුද්ගලයෙකු බවට පත් වීමයි.
    තවත් යමක්.මෙය පවසනවාට මා සමඟ අමනාප නොවන්න.නුදුරු අනාගතයේදී මුස්ලිම් සිංහල කෝලාහල ඇතිවීමේ ලක්ෂණ පෙන්වීමට ආරම්භ වී ඇත.සමහර සිංහලයින් නිවටයින් සේ තවමත් මර නින්දේය.මුස්ලිම් ජාතිකයින් බුද්ධ ආගමට ගරහන ආකාරය දැක දැක ඉවසා සිටිය නොහැක.මේවා දකින මගේ ලේ කකියයි.යුධ හමුධාව කොන්ද පන ඇති සිංහලයින් සිටින ස්ථානයක් ලෙස මම සලකමි.ඔවුන්ට නායකත්වය දී හෝ ඔවුන් සමඟ එකතු වී නැවතත් මේ රට නිදහස් කර ගැනීමට වුවමනාය.දේශපාලුවන් පෙන්වන නිදහස හුදු මායාවක් පමණි.යුධ හමුදාව කල සේවය ඔවුන්ට දැන් අමතකය.යුද්ධය පැවති කාලයේ ඔවුන් කල කැපවීමද ඔවුන්ට දැන් දැන් අමතකය.පෙර කි කාලයේදී සොල්දාදුවෙක් බස් රථයක ගමන් කල විටදී පවා නැගිට අසුන පිදීමට පවා ඔවුන් කෘතගුණ ශීලි වුහ.නමුත් දැන් ඒවා වෙනස්ය.මගේ පියා අතීතය සිහිපත් කර හදවතින් දුක් වෙයි.
    පැවසීමට කොතෙක් දේ තිබුනත් ඒ සියල්ල පැවසීම යහපත් නොවේ.
    මෙම බ්ලොග් අඩවිය දිගු කල් පවත්වා ගෙන යාමට ඔබට සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක අදයි දැක්කේ.

      කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අවශ්‍ය තොරතුරු සියල්ල ලබාගත හැකියි. http://www.kdu.ac.lk/ ඔබේ ආසාව ඉටුවේවා කියා ප්‍රාර්ථනය කරනවා.

      ඔබට කාරුණිකව කරුණු කීපයක් පැහැදිලි කරන්නට අවශ්‍යයි. ඔබ කියන ආකාරයේ කෝලාහලයක් ඇතිවන බවට කිසිම පිළිගතහැකි සාක්ෂියක් නැහැ. එවැනි කතා පතුරවන්නේ ජාතිවාදය අවුස්සා දේශපාලන බලය ලබාගන්නට වෙර දරන අයයි. මා එසේ කියන්නේ, වසර 30 කට ආසන්න, මගේ හමුදා අත්දැකීම් පදනම් කරගෙනයි. ඔබ සිතන ආකාරයට, කෝපයට පත්වී, වෙනත් ජාතීන් වනසා අපි ලබන ජයග්‍රණයක් නැහැ. එවිට අප කරන්නේ යුද අපරාධ විනා යුද ජයග්‍රහණ නොවෙයි.

      යුද හමුදාව අදත් ඉතා හොඳින්, නොකඩවා, පුහුණු කටයුතුවල යෙදෙනවා. නැවතත් එලියට බහින්න අවස්ථාවක් ආවොත් බහිනවා. බස් එකේ, කෝච්චියේ, පාරේ තොටේ, සෙබලාට විශේෂ ගෞරවයක් අවශ්‍ය නැහැ. සුහද බව පෙන්වුවාම හොඳටම ඇති. සෙබළුන් අසරණයි කියන කතාවත්, එක්තරා ආකාරයක දේශපාලන ගේම් එකක්. විශ්‍රාමික සෙබළුන්ටත් කිසිදු විශේෂ කරදර නැහැ. මම අදත්, කඩේට, බැංකුවට, රෝහලට, තැපැල් කන්තෝරුවට ගියාම, කිසිදු විශේෂ වරප්‍රසාදයක් බලාපොරොත්තුවන්නේ නැහැ. අනික් අය වගේම පෝලිමේ ඉන්නවා. මා කවුද කියා, කිසිවෙකුටත් දැනෙන්න ඉඩ හරින්නේ නැහැ. කලාතුරකින් මා දන්නා කෙනෙක් පැමිණ උදව් කරන අවස්ථා තිබෙනවා. එහෙම වුනේ නැහැ කියා විශේෂ දුකක් නැහැ. රටට අවශ්‍ය කාලයේදී, අපි අපේ යුතුකම ඉෂ්ඨ කළා කියන සතුට, හැමදාම හිතේ තියෙනවා.

      සුබ පැතුමට ස්තුතියි.

      Delete
  26. පොඩි කාලයේ ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක් වූ මේ 'ටක්ක ගැහිල්ල' ට 'ගල් කිරිල්ල' කියල ලංකාවෙ කොහේ හරි කියල තියෙන වගවත් දැන ගත්තෙ මගේ මිත්‍ර නිස්ශංක ගේ ඊ මේල් එකකට මේ වෙබ් එක සම්බන්ද කරල තිබුන නිසා. ක්‍රීඩාවේ අගුණ ගුණ දැන ගත්තම හරිම සතුටුයි මෙච්චර කලක් හොඳට අඩියක් පුඩියක් ගහල වුනත් ඇඟ පතේ රුදාවක් නැතුව ඉන්න ඇහැක් වෙලා තියෙන්නෙ උනත් ටක්ක ගැහිල්ලෙ බලේට වෙන්න්නත් පුළුවන්.

    බොහොම ස්තුතියි මේක ගැන ලීවාට සහ ඒ ගැන නොදන්නා දේ පැහැදිලිකලාට.

    කාලයා විසින් සහ සමාජ වෙනස්කම් විසින් ගිල ගන්නා ඉතිහාසයේ සුන්දර දේවල් කොතරම් තිබේද? ඒවා ලියා තැබීමට නොයෙක් ආකාරයෙන් දායක වන සැම දෙනාටම අනාගත පරම්පරාවත් මුළු මිනිස් වර්ගයාත් ස්තුති පූර්වක වනවා නොඅනුමානයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ මේ අදහස් දැක්වීම ගැන. ඇත්තටම අපි (කෑගල්ල දිස්ත්‍රික්කයේ) කිව්වේ ගල් කිරනවා කියලා.

      හෙහ් හෙහ්, ටක්ක ගහනවා වගේම අඩි පුඩි ගහන්නත් දක්ෂයෙක් වගේ.

      මගේ පරමාර්ථය වුනේ අද ඉන්න පරම්පරාවට දැනගන්න සහ අනාගත පරම්පරාවටත් දැනගන්න මේ තොරතුරු සටහන් කර තැබීමයි. එය සාර්ථක වුණා කියා හිතෙනවා මේ වගේ අදහස් දැක්කම.

      නැවතත් ස්තුතියි ඔබට.

      Delete
  27. විචාරකතුමා!! ඔබ සිටියානම් 😪

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }