හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 April 2016

අවුරුදු කෑවා කියන්නේ.........................


   හප්පොච්චියෙ, අවුරුදු කෑවා කියන්නේ කෑමක්, මදි නොකියන්න කෑවා. ආයෙත් අවුරුදු ගානකට අවුරුද්ද නම් එපා. (ඔය කිව්වට අපිනේ දන්නේ.......හෙහ් හෙහ්) නෑ නෑ, මේ කියන්නේ කෑමබීම ගැන විතරක් නෙවෙයි. කවුරු කවුරුත් අවුරුද්දට විශේෂ කෑම බීම හදලා කනවා බොනවා නේන්නම්. නැතුව මම විතරයැ. අපි කාටත් නානාප්‍රකාර අවුරුදු අද්දැකීම් ලැබී තිබෙන බව, මේ දවස්වල බ්ලොග් ලෝකයේ පලවෙන අවුරුදු ලිපි වලින් පෙනෙනවා. 

   ඕං එහෙනං අහගන්ඩකො මේ සැරේ අවුරුද්ද නිසා මට වෙච්චි දේවල්. සෑම වසරකම අපේ පුංචි ජනාවාසයේ,(මේක ගමක් කියන්න බැහැ. ඉඩම් වෙන්දේසියකින් මිලදීගත්, පර්චස් 20 - 30 ඉඩම් කෑලිවල හදාගත්ත ගෙවල් යායක් තියෙන්නේ) අවුරුදු උත්සවය නොවරදවාම සිදුකෙරෙනවා. (අපේ ජනාවාසයටම වෙන්වූ ක්‍රීඩාපිටියක් සහ සමිති ශාලාවක් තියනවා) අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න තරම්, අවුරුදු උණ තියෙන්නේ, අපි කීපදෙනෙකුට විතරයි. නමුත් ඉතින් කොහොම හරි, මේ පවුල්වල දරුවන් වෙනුවෙන් වත්, මොනවාහරි කරන්න එපායැ. 

   සෑම නිවසකින්ම මුදල් ආධාරයක් අරගෙන, පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුන මුදලුත්, අපේ සමිති අරමුදල් වලින් කොටසකුත් දාලා, වැඩටික සංවිධානය කළා. වැඩේ බොහොම ඉහලයි. නමුත් ජනතාවගේ සහභාගිත්වය නම් හොඳටම දුර්වලයි. කොහොම හරි, උදේ 9.00 ට පටන් ගම්මු කියලා හිතාගෙන හිටිය අවුරුදු උත්සවේ, පළමුවැනි තරගය තියන්න වුනේ, උදේ 10.20 ට. අපේ අය ඒ තරම් හොඳට ප්‍රමාද වෙන්න දන්නවා. 

   අපේ රටේ ජාතික ගීයේ, මොකවත් කුණුහරප වචන තියනවද මන්දා, බොහෝ දෙනෙක් ජාතික ගීය වාදනය කරනකොට, එය ගායනා කරන්න කියා ඉල්ලා හිටියත්, වටපිට බලමින්, ඉඟිබිඟි පාමින්, ඇඳුම කොණ්ඩය හදමින්, හිටියා විතරයි. මගේ වයසේ කීපදෙනෙක් සහ පාසල් ළමුන් පමණයි, ජාතික ගීය ගායනා කළේ. අනේ අපේ ජාතිය. 

   අපේ අවුරුදු උත්සවය සඳහා අපිම දාගන්න සංස්කෘතික පොලීසියක් තිබෙනවා. අහවල් එව්වා පානය කොට පැමිණීම තහනම්, පිටිය තුල දුම්බීම තහනම්, එවැනි අය ආපහු හරවා යවනවා.  දරුවන්ට පෙනෙන්න ඉඩතියන්නේ නැහැ එවැනි දේවල්.

   මෙවර නිවේදකයකු ආනයනය කර තිබුනා, වෙනත් ගමකින්. උන්නැහේ, දවල් කෑම වෙලාව කිට්ටු වෙනකොට, තරග වල නම් අලුත් කරන්න පටන් ගත්තා, 'අන්ධයා කිරි කා, මුට්ටිය බිඳ, පොල් අතු වියා, සූප්පුවෙන් කිරිබීම' වැනි අලුත් තරග ගැන කියන්න පටන් ගත්තා. උන්නැහේගේ දිව ටැපලෙන බව, අපිට පැහැදිළිවම පෙනුන නිසා, උන්නැහෙව වහාම උන්නැහේ ආව දිහාවක් බලාගෙන යන ලෙස, අපනයනය කළා. අපි කීපදෙනෙක්, මාරුවෙන් මාරුවට, නිවේදක රාජකාරිය කළා. 

    (නෑ නෑ අවුරුදු උත්සවේ ඉවරවෙලා ලස්සන ඇල ඉවුරක, මහා කජුගහක් යට අපේ කට්ටිය රැස්වෙනවා. ඒ වෙලාවට සියලු පානීය වර්ගත් එතැනට රැස්වෙනවා, මිලදීගැනීම් සහ පරිත්‍යාග කියන දෙආකාරයටම. රාත්‍රී 2.00 විතර වෙනතුරු සාජ්ජය පැවැත්වෙනවා. පුටු පෙරලාගෙන ඇලට වැටෙනවා. සමහරු ඇලට බැහැලා පානය කරනවා. ඇලේ ප්ලාස්ටික් පුටුවක් තියාගෙන, ඉනවටක් වතුරේ ඉඳගෙන පානය කරනවා. මේ දවස්වල රෑටත් ගිරීස්මයි නෙව) 

   පරණ සින්දු වලට තමයි වැඩි තැනක් ලැබෙන්නේ. හැබැයි හිටපු ගමන් පදමාලාව වෙනස්වෙලා කියවෙනවා. හොඳ පදත් කියවෙනවා ඉඳලා හිටලා. අහල පහල ගෙවල් දොරවල් නැති නිසා හොඳයි. 

   මෙතන ලියන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔන්න මේ වගේ. 'සඳ කොමලී තරු පිරිවරලා' කියන, ලතා වල්පොල මහත්මිය ගයන ගීතය, සමහර වෙලාවට, 'සඳ කොමලී වර තරු පිරිලා' කියලා තමයි කියවෙන්නේ. 

   අවුරුදු උත්සවය බලන්න/සහභාගිවෙන්න එන සියලුදෙනාට, නොමිලේ දිවා ආහාරය දෙනවා. මෙවර අපි අලුත් හාල් බත් උයලා, පොලොස් මාළුවක්, අඹ ඇඹුලක්, පරිප්පු, මාළුමිරිස්/තක්කාලි/අඟුළු කරවල/ මිශ්‍රකොට තෙලෙන් බැද, පපඩම්, බැදපු මිරිස්, සහ තම්බපු මඤ්ඤොක්කා ලබාදුන්නා. උයන්නෙත් අපි අපිමයි.

   සංවිධායක මණ්ඩලයේ සමහර වහන්සේලා කරන වෘෂභ රාජ වැඩ නිසා, තරගයක ඇති සජීවී ලක්ෂණ අඩු වෙනවා. කණා මුට්ටිය බිඳීමේ තරගයේ, මුට්ටි ටික එල්ලන්න ඕනේ, ජනතාව පිටියට එන්න කලින්. ඒ වගේම නිල් දියර තිබෙන්නේ කොයි මුට්ටියේද කියා, ඉඟියක් වත් ලැබෙන ආකාරයට, කතා කරන්න හොඳ නෑ. කුමක් හෝ ප්‍රමාද දෝෂයකින් ඔත්තුවක් ගිහින්. හොඳ ඇට්ටර කොල්ලෙක්, තරගය ආරම්භ කර වැඩි වෙලාවක් යන්නට පෙර, ඇදලා ඇරියා නිවැරදි මුට්ටියට පාරක්. හැබැයි අපරාදේ කියන්න බැහැ, ඒ මුට්ටියට දාලා තිබුනේ, තනිකරම නිල් දියර කුප්පි පහක දියර. අර කොලුවා ඇඳගෙන හිටියේ, වැඩිපුර සුදුපාට තියන කළු සුදු මෝස්තරයකින් යුත් අලුත් කමිසයක්. කොල්ලාගේ කමිසය අහක දාන තරමට නිල් දියරෙන් නෑවුණා.

 පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයේදී, එක 'මහත්තයෙක්' හෙමින් සීරුවේ බුද්ධි අංශය මෙහෙයවලා හොයාගෙන තියනවා, කොතන තියන පැපොල් ගහකින්ද, ගෙඩිය කඩාගෙන තියෙන්නේ කියලා. මිනිහා බයිසිකලයකින් ගිහින්, ඒ පැපොල් ගහ අයිති ගෙදරට කියලා තියනවා, උදේ ගෙනිච්ච් පැපොල් ගෙඩිය කොහේදෝ දාගෙන හොයාගන්න බැරුව ඉන්නවා, තව ගෙඩියක් දෙන්න කියලා. අනේ ඉතින් ඒ ගෙදරින්, තව පැපොල් ගෙඩියක් කඩලා දීලා. මිනිහා ඒකත් අරන් ගෙදර ගිහින්, කපලා ඇට ගණන් කරලා ආපහු ඇවිත්, ලොක්කා වගේ තරගයට ඉදිරිපත්වෙලා. තරගයට තිබුන පැපොල් ගෙඩියේ ඇට 487 ක් තිබුනා. අර මනුස්සයාගේ පිලිතුර 486 යි. දිනුම එයාට ලැබුණා. 

  සැඟවුණු අමුත්තා තේරීම කරන්නේ, සම්පූර්ණ නොමග යැවීමේ ක්‍රමයකටනේ. ඇත්තටම සැඟවුණු අමුත්තා කියා කෙනෙක් පිටියේ නැතත්, බොරුවට කියනවා, අතන හිටියා මෙතන හිටියා, තොප්පියක් දාගෙන හිටියා, වගේ දේවල්. දවසේ වැඩසටහන අවසාන වෙන්න ලංවෙලා තමයි, කාවහරි යොදවන්නේ, සැඟවුන අමුත්තා ලෙස. මේ සඳහා මම පරිගණකයෙන් මුද්‍රිත කාඩ්පතක් හැදුවා, සැඟවුන අමුත්තාගේ හැඳුනුම්පත ලෙස. මම ඒක දුන්නා, සැඟවුන අමුත්තා තරගය භාර, සමිති සාමාජිකයාට. අනේ උන්නැහේ ඒ හැඳුනුම්පත අමුත්තාට දෙනවා, කොලු රංචුවකට අතටම අහුවෙලා. විනාඩියෙන් අමුත්තා වේදිකාවට ඇදගෙන ආවා, ඒ පොඩි එවුන් ටික.  

   කඹ ඇදීමේ කාන්තා තරගයේ දී, පොඩි ගෝරියක් යන්න ගිහින්, නූලෙන් බේරාගත්තා. දිනපු පැත්තේ කාන්තාවක්, පැරදුන පැත්තේ කාන්තාවකට කියලා, 'දැන් වැල වෙලා හින්දා අදින්න බෑ නේද' කියලා. හප්පොච්චියෙ තව ඩිංගෙන් සාමසාධක හමුදාවක් ගෙන්නන්න වෙනවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියලා. ඒ වගේමයි, වයස අවුරුදු 40 න් ඉහල කාන්තාවන්ගේ සමබරදිවීමේ තරගයේදී, 'ඇයි ඔයා යන්නේ නැද්ද තරගයට' කියලා, එක කාන්තාවක් තව කාන්තාවකගෙන් අහලා. අරයා අවුරුදු 40 ට අඩුයිලු. තව පොඩ්ඩෙන් බෝම්බ වැලක් පිපිරෙන්න තිබුනා, අපි වැඩේ ෂේප් නොකලානම්. 

   තෑගි වශයෙන් ලබාදුන් සමහර එව්වා, සමහර අයට අල්ලලා නැහැ. ever silver වර්ගයේ පිඟන් කීපයක් ලැබුන කෙනෙක් අහනවා, හිතුවද අපි දිනපතා තෝසේ කනවා කියලා, මේ තෝසෙ කඩවල පිඟන් දෙන්නේ කියලා. කාලා වරෙන්කො.  

   ඔන්න ඉතින් අවුරුදු උත්සවේ ඉවරවුනා කියමුකො. අස්පස් කරන වැඩ පටන්ගත්තේ පහුවදා. අර ගෙදර බඩු මේ ගෙදරට ගිහින්, මේ ගෙදර බඩු තව ගෙදරකට ගිහින්. යන්තම් බොහොම අමාරුවෙන්, මාරු ඔක්කොම නිවැරදි කරගත්තා. 

   ඊළඟට පටන්ගත්තා ටෙන්ට් ගලවන්න. අපරාදේ කියන්න බෑ, අවුරුදු උත්සවයේදී මට තෑග්ගක් නොලැබුන නිසා, එක ටෙන්ට් එකක පතන්දර යකඩ පොල්ලක්, මගේ වම් කකුලේ පිටිපතුලට වැටුණා. චූ යන තරම් වේදනාවක් සහ සෙන්ටිමීටරයක තරම් දිග, මිලිමීටර් 5 ක් පමණ ගැඹුරු තුවාලයක්, තෑග්ග වශයෙන් ලැබුනා. අපේ කට්ටිය, වහාම මාව වාහනයක පටවාගෙන ගිහින්, ප්‍රතිකාර ලබාදුන්නා. දැන් ඉතින් මේ තුවාලය සුව වෙනතුරු, අවුරුදු සතුට විඳිනවා.  

2016 අප්‍රේල් මස 18 වැනි දින 1308 පැය

75 comments :

  1. කාලයක් ඔය විදියට සංවිධානය කරද්දී අත්දැකීම් ලැබේවි.තුවාලය ඉක්මනටම සුවවේවා!!

    ReplyDelete
    Replies
    1. කොරනවා කොරනවා දැන් අවුරුදු පහක විතර ඉඳලා. හපෝ......දැන් ඇතිවෙලා. සුවය පැතීම ගැන ස්තුතියි.

      Delete
  2. //මගේ වයසේ කීපදෙනෙක් සහ පාසල් ළමුන් පමණයි, ජාතික ගීය ගායනා කළේ. අනේ අපේ ජාතිය.//

    අපි ඉස්කෝලේ යන කාලෙ පාසලේදි ජාතික ගීයෙ මුල් භාගය විතරයි ගායනාකලේ .මට තාමත් ජාතික ගීය ඇහෙනකොට හිතෙනවා දිග වැඩී කියල. විශේෂයෙන් අන්තර්ජාතික ක්‍රීඩා උත්සවයකදී වගේ අපේ ගීය අනික්වාට වඩා දෙගුණයකින් විතර දිගයි. අපි හැමදේම ලොකුවට කරන රටක් බව ඇත්ත ඒත් ජාති ආල ඩිෆීෂන්සි සින්ඩ්‍රම් එකක් මට තියනවද මංද මටනම් නිකම් හොඳටම දිග වැඩී වගේ.

    අනතුර නිසා ශීර්ෂෝත්මක වීදුරු වන්නම තියෙන්න නැතුව ඇති.

    සුවපත්වේවා!



    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක පබ්ලිෂ් කරද්දි ප්‍රා ගෙ මේ කමෙන්ට් එක වැටිල .
      //අනතුර නිසා ශීර්ෂෝත්මක වීදුරු වන්නම තියෙන්න නැතුව ඇති.// තිබ්බ නම් පලවෙනි තෑග්ග ලෙස තෝසෙ පිගන් දෙකක් දිනාගන්න තිබ්බ..

      Delete
    2. //පිගන් දෙකක් දිනාගන්න තිබ්බ//
      එවර් සිල්වර් වලින් වන්නම නැටුවොත්.

      මං මේ කල්පනාකලේ ටෙන්ට් පෝල් එකෙන් මොකක්ද කරපු ක්‍රීඩාව කියල

      Delete
    3. // මං මේ කල්පනාකලේ ටෙන්ට් පෝල් එකෙන් මොකක්ද කරපු ක්‍රීඩාව කියල//

      රති කෙළිය :D

      මට පෝස්ට් එක තේරුණ හැටියට නං සෑර් "කූඩරං" ගහන්න ගිහිල්ලා අභ්‍යන්තර ඉන්දිරිය වලට හානි වෙලා :D

      Delete
    4. මේ අවුරුදු කාලේ
      නහින දෙහින කාලේ... කූඩාරම් ගහනවනම් කකුලට හෙණ ගැහුවත් මක්කද කියල චෙෆ් කෙනෙකුත් කිව්වලු

      Delete
    5. හූඌඌඋඊඊඊඉ..

      Delete
    6. @ Pra Jay ජාතික ගීය දිග වැඩියි කියලා මටත් නොයෙක්වර හිතිලා තියනවා. නමුත් ඕක කොට කරන්න හදන ආණ්ඩුව පරදිනවා ෂුවර්. ඊළඟට එන ආණ්ඩුව ගීය තවත් දික් කරන එකත් ෂුවර් :e

      ටෙන්ට් පෝල් එකෙන් කරන්න ගියේ tent pole in the ground hole ක්‍රීඩාව. කූඩාරම් කතාව කිව්ව චෙෆ් ට ආකි කියලා කෑල්ලකුත් තිනවද?

      හෙහ් හෙහ්, අනතුර වුනේ අවුරුරු සාජ්ජයට පහුවදා නේ. ඒ නිසා වීදුරු සෙල්ලම් ඔක්කොම පෙන්නුවා.

      @ කම්මල සහ පත්තරේ. දැන් කූඩාරම් ගැහුවත් වැඩක් නෑ, නෝනා කියනවා බාත්රූම් ගිහින් එන්න කියලා.

      @ CJ කවුදයකෝ හූ කියන්නේ හූ...............

      Delete
  3. වීදුරුවක් ඔලුව උඩ තියාන සමබරව නටන තරගයක් තිබ්බනම් විචාට අනිවා පලමු තැන ගන්න තිබ්බ.
    අපේ අහල පහල පොඩි එවුන් ටික මේ වතාවෙ පලමුවෙනි පාරට අවුරුදු උත්සවයක් සංවිධානය කරල තිබ්බ , අපරාදෙ කියන්න බෑ 8.00 පටන් ගන්නව කිවුව 8.00 වෙද්දි 100'/. කට්ටිය ඒ වෙද්දි ගෙන්නගත්ත.

    ReplyDelete
    Replies
    1. අපේ පැරණි සම්ප්‍රදායික ලක්ෂණ තියන ගම්වල ඔව්වා හරියට කරන්න පුළුවන්. නමුත් අපේ පැත්තේ අඩි 8 තාප්ප බන්දලා අඩි 15 ගේට්ටු දමලා තියන ගෙවල්වල ඉන්න උදවිය හරිම කම්මැලියි.

      තරගයක් නොතිබුනත් අවුරුදු සාජ්ජයෙදී නැටුම ඉදිරිපත් කළා. :e

      Delete
  4. සිංදු වල කෑලි අතින් දාල කියන එක පුල් ආතල් වැඩේ ..ඕං ඊයෙ ඉතිං හීනියට සිංදුවක් ගහන අස්සේ හිමාෂ කියල එකෙක් "සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ"අල්ලනවා හෝයියට... සිරාවටම ඌට ඕවර් ගිහිං මේං මෙහෙම කීවෙ වර්ස් එක..ඒ සිංදුව එතනිං ඉවරයි.හැක් හැක්

    මගෙ ජීවය ගල් ලෙනකී
    එහි පහණ ඔබ තමා
    එය දල්වනු මැන හිනැහී
    අද "පැඟිරි තෙල් දමා"

    ReplyDelete
    Replies
    1. යකෝ පත්තරේ, මේක කියෙව්වම මට හිතුනේ, මේ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න පුළුවන් නේද කියලා.

      මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ - එළදෙනයි ඔයා මගේ කෙසෙල් වගාවේ

      Delete
    2. පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ...නවාතැන මගේ ඔබේ ඇඳ යටයි සොඳුරියේ... විචාරක ලියමු මේවා ගැන පෝස්ට් එකක්!

      Delete
    3. හැක්, අම්මපා ලියන්න ඕනේ. සෑහෙන්න කමෙන්ට්ස් වැටෙයි.

      Delete
    4. නිම් හිම් සෙව්වා මා සසරේ
      සුමනා නැ මා ලග හිටියේ

      Delete
  5. විචා අංකල් මේ දවස්වල වැඩිය ඔය ටෙන්ට් ගහන්න යන්න එපා. බක්මහ අකුණු තියෙන දවස්නෙ.
    අර ගෑනු ටික ඇවිස්සුනානං විචාට කන්න වෙන්නෙ ඔහොම කෑමක් නෙමෙයි හිටං.

    ReplyDelete
    Replies
    1. ෆර්ෆියුම් පිලුම මතක් වෙනවා

      Delete
    2. මොනවද ඉතින් මම කරන්නේ බෙනයක් අස්සට රිංගලා බේරෙන එකනේ.

      Delete
  6. අයියෝ මාමේ කකුලට මොකෝ වුනේ ,
    අර වලිය දාගත්ත කෙනා වැල වෙන්න කලින් නම් හොඳට අදින්න ඇතිනේ

    ReplyDelete
    Replies
    1. මද කකුලටලු අවුල්

      Delete
    2. තුවාලෙට වඩා අමාරු තැල්ම (අතගාවගන්නවත් කෙනෙක් නෑ)

      අපොයි වල නොවෙච්චි කට්ටියක් අද්දා ඇදිල්ලක් සුපිරියට.

      @ CJ මැදපුකමිසතුනත් නැතිවෙනවා තව ටිකෙන්.

      Delete
  7. හෙහ්.. අවුරුදු කීපයක් තිස්සෙ එක දිගට අවුරුදු උස්සව කරන කොට විචාරක තුමාට ඔක්කම ෆුල් නෝමල් වෙයි එක්කො එපාම වෙයි. මේ අපිට වගේ.(අපිට නං එපා වෙන්න ඇත්තෙ ගමේ උන්දලගෙ කයිකතන්තරවලට වැඩිය අපි මැචුවර්ඩ් නැති හිංද වෙන්නපඇති)

    කකුල ඉක්මණට සනීප වේවා...

    ReplyDelete
    Replies
    1. දැන් අවුරුදු පහක් තිසේ කරනවා. දැන් නම් ඇතිවෙලා ඉන්නේ. හැම ගමකම ඉන්නවා අඩුපාඩු විතරක් දකින එකෙක් දෙන්නෙක්. මෙහෙදී නම් මම කියන හරුප අහගන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නවා.

      ස්තුතියි සුවය පැතීම ගැන.

      Delete
  8. මොනා උනත් විචා මාමලාගේ කටයුත්ත නම් හොදට ගිය පාටක් පේනවා කොයි වැඩෙත් ප ුමාද දෝෂ අඩුපාඩු නැත්තේ නෙහේ.... අන්තිමෙට ඔබ තුමාට ලැබුන තෑග්ග නම් බලු වටින්නෑ... දැන් ඉතින් විවේකයෙන් ඉන්න.... ඉක්මන් සුවය ලැබේවා කියලා පතනවා

    ReplyDelete
    Replies
    1. කොහොම හරි දඟලලා වැඩේ හොඳට කරන්න තමයි බලන්නේ. කකුල නම් තවම ටිකක් රිදෙනවා. සුවය පැතීම ගැන ස්තුතියි.

      Delete
  9. මදැයි ඔයින් ගියා..........

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. අනූනවයයි දසම තුනයි නූල් තුන්කාලයි. :e

      Delete
  10. ඔය සැඟවුණු අමුත්තා සෙවීම සහ ගස් ලබු වල ඇට ගණන් කිරීම දෙක එකතු කරලා හදල තියෙන අළුත්ම අවුරුදු ක්‍රීඩාව මෙතනින් බලන්න.

    ReplyDelete
    Replies
    1. හෑ.................මල් හතයි නේ ඒ වැඩේ. අම්මපා ඊළඟ සැරේ මමත් ඔය ක්‍රමේට අවුරුදු උත්සවයක් තියනවා.

      Delete
  11. මදෑ ආමිකාරයෙක්ව සෙන්ටිමීටරේක තුවාලෙකට ඉස්පිරිතාලෙ අරන් ගියා..

    පැපොල් ගෙඩියෙ වැඩෙත් මරු.

    ReplyDelete
    Replies
    1. එවෙලේම කකුල ටිකක් ඉදිමුනා. එකයි කට්ටිය මාව බෙහෙත් දාන්න අරන් ගියේ.

      පැපොල් කාරයා තමා දවසකටවත් මිනිහා කියන්නේ.

      Delete
  12. ඔව්, කිව්වා හරියටම හරි. අව්රුද්ද කාලා තමා..

    ReplyDelete
    Replies
    1. කෑවා විතරක් නම් මදෑ. දවල් කෑවා රෑ බිව්වා :e

      Delete
  13. මේ උෂ්ණ කාලෙනේ විචාමාමේ........... ටෙන්ට් ගයද්දි පරිස්සමෙන්..... වයසට ගියාට මොකද යකඩ පොලු තාම බර නැතෑ...... හැක්......

    මොනවා වුණත් අර ඇට ගණන් කරපු ඩයල් එකනං සිරි කියන්නේ පට්ටම සිරා...... මතක් කරාය කියන්න....

    සුභ අලුත් අවුරුද්දක් වේවා......

    ReplyDelete
    Replies
    1. උෂ්ණ කාලේදී තමයි ටෙන්ට් ගහලා ටිකක් වාතාශ්‍රය ගන්න ඕනේ. හැක්. දැන්නම් ඇලුමිනියම් වගේ වෙලා බර සුට්ටක් වත් නැහැ. :e

      පැපොල් අට ගණන් කරපු එකාගේ ඇට, මොකටද මගේ කට.

      ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  14. නියමනේ. හොඳටකරලා තියෙනවා. හිනා වේවි කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. හැම අවුරුද්දෙම අපි ටිකක් මහන්සිවෙලා මේ වැඩේ කරනවා. ස්තුතියි අජිත්.

      Delete
  15. අපෙ ගමෙ 17 තිබුනේ .මැරතන් පලවෙනියට වැඩිය තැග්ග ලොකුය් ලොකුම හිනාවට .සංවිදායකගේ පුතා නිසා .එහෙමය් අපේ අවුරැද්ද

    ReplyDelete
    Replies
    1. අපේ අවුරුදු උත්සවෙත් ඔයවගේ පොඩි පොඩි අහුකොන් තිබුනා. වැඩිය ඇදෙන්න දුන්නේ නැහැ. කොහෙත් ඔහොම තමා.

      Delete
  16. හෙක් විචා තුමාගේ අවුරුදු උස්සවේ මරුනේ, හෙක් අර වැල කතාවයි ගස්ලබ්බේ ඇට ගන්න හැටියි හපෝ තාමත් හිනා වෙනවා බඩ අල්ලන්. :D :D, කොහොම උනත් කකුල ඉක්මනට සුව වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අපේ මිනිස්සුන්ගේ ගති ලක්ෂණ තමා ඔයවගේ සිද්ධි වලින් එලියට එන්නේ.

      සුවය පැතීම ගැන ස්තුතියි.

      Delete
  17. අවුරුදු කුමාරයාගේ අට ගනන් කිරීම තිබ්බෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ඊළඟ සැරේ උඹට බැරිද සැඟවුණ අමුත්තාට එන්ඩ? අම්මපා දෙනවා ගෑනු කෙනෙකුට උඹව හංගගන්ඩ කියලා එලියට එන්ඩ බැරිවෙන්ඩ.

      Delete
  18. මේ ටිකේ එලියට බහින්න බයයි.. එහෙ මෙහෙ ගියත් බොහොම ප්‍රවේසමෙන්..
    ඇයි හැමෝම ගස්ලබ්බෙ ඇට ගනින්න එනවනෙ.. හෙහ් හෙහ්
    ඉක්මන් සුවය ලැබේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හප්පා...........ගහගනින් යකඩ දැලක් වටේටම. නැත්තන් ලැබූ පරම්පරාව ඉවරයි.

      Delete
  19. හප්පා අවුරුදු උත්සව නම් මොකට කියනවද..

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද වගේම මොකට තියනවද කියලත් හිතෙනවා.

      Delete
  20. අවුරුදු උත්සවේ නම් හොඳට තිබිලා වගේ... තුවාලේත් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. හොඳට තිබුනා ළමයෝ.

      ස්තුතියි සුවය පැතීම ගැන.

      Delete
  21. ඔය වයසට ටෙන්ට් ගහන්න ගියාම ඔහොම වෙනවා ළොකු උන්නැහේ.

    ReplyDelete
    Replies
    1. හලේ......බැලි වැඩමලේ කලල්ල හිතෙල්ලේ.

      Delete
  22. පුදුමයි ඔය ගෑනු උදවියගෙන් ගුටිි නොකෑව. ටෙන්ට් ගහන්න ඇත්තෙ අර හිටපු ගෑනු උදවිය එක්ක වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ගෑණු උදවිය හින්දා නේන්නම් ඉබේම ටෙන්ට් වදින්නේ කසුනෝ. මොනවා කොරන්නද? :e

      Delete
  23. අවුරුදු උත්සවේ නැගලා ගිහිල්ලා නෙව?? ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. නැගලා ගියා වගේම මගේ කකුලත් හම ගියා :e

      Delete
  24. අලුත් අවුරුද්දට සුබ පතන්න ආවම කකුල කඩා ගෙනනේ හිටන්. ඉක්මන් සුවය පතමි! ඕක තමයි කියන්නේ වයසේ හැටියට පොලු අල්ලන්න යන්න ඕනේ කියල :D

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ. ආයෙනම් පොලු අල්ලන්න යන්නේ නෑ. පොලු......(නෑ එක්කෝ ඕනේ නෑ)

      Delete
  25. safety first! ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
    Replies
    1. safety first කියලා බෝඩ් එකක් ගහන්න ඕනේ. නමුත් ගහන්නේ කොතනද කියන එකයි පුරස්නේ....

      Delete
  26. //අලුත් හාල් බත් උයලා, පොලොස් මාළුවක්, අඹ ඇඹුලක්, පරිප්පු, මාළුමිරිස්/තක්කාලි/අඟුළු කරවල/ මිශ්‍රකොට තෙලෙන් බැද, පපඩම්, බැදපු මිරිස්, සහ තම්බපු මඤ්ඤොක්කා//
    මටත් කන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. හප්පා............කට්ටිය දුන්නා බත් වලට වැඩේ, උඩ පැන පැන, මදි නොකියන්න.

      Delete
  27. අන්තිමට වස් දොස් යන්න මොනා හරි වෙනවයි කියනවනෙ...
    ඔලුවට නොවැටි ගියා මදෑ...
    සනීප වෙයි ඉක්මනින්..

    ReplyDelete
    Replies
    1. ඔලුවට වැටුනානම් දැනට තියන පිස්සුව හොඳ වෙන්නවත් තිබුනා. කොහෙදකකුලටනේ වැටුනේ.

      Delete
  28. ඇස් වහක් කට වහක් නෑ මිස්ටර් විචාරක මහත්තය අලුත් අවුරුද්දට පැහැදිලි සැපක් අරන් වගේ. ඉක්මන් සුවය පතමි. යුද බිමේ ලයිව් ෆයිට් එකක ඔබ තුමාගේ ලයිව් එක්ස්පිරියන්ස් එකක් කියවන්නට කැමැත්තෙන් සිටිමි. ජය ශ්‍රී..!! මීට, (ටික්කා තුමා)

    ReplyDelete
    Replies
    1. ඇස් වහ කටවහ ඔක්කොම ගියා. කකුලත් ගියා.

      යුද්ධ කතා ලියන්න කරුණු එකතු කරමින් ඉන්නවා.

      Delete
  29. මට නම් පෙනුනෙම අර කෑම ටික. දුකේ බෑ... :(

    අවුරුදු කුමාරයා සහ කුමාරි තේරුවේ නැද්ද? :P

    කකුල ඉක්මනින් සනීප වේවා!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ගම රටෙන් ඈත් වෙලා ඉන්නකොට ඒ කෑම වල අගය තවත් වැඩිවෙලා දැනෙනවා නේද?

      සිඟිති අවුරුදු කුමරිය තේරුවා. නැතුව ලොකු අවුරුදු කුමරිය තෝරන්න ගියොත් හැම අවුරුද්දෙම අපෙ නෝනා නේ දිනන්නේ. :e

      සුවය පැතීම ගැන ස්තුතියි.

      Delete
  30. දන්සැලකුත් දානවැයි..!

    ReplyDelete
    Replies
    1. හම්මෝ........ඒ වැඩේ කරන්නේ අපේ ගමේ තරුණ කොල්ලෝ සැට් එක. උන්ගේ තරුණ සමිතියෙන්, හැම වෙසක් එකටම, කොළඹ - කුරුණෑගල පාර අයිනේ (පාර අවහිර කරගෙන) ෆ්‍රයිඩ් රයිස් දන්සලක් දෙනවා. අපි දෙන්නේ ඒ සඳහා මුදල් ආධාර පමණයි.

      Delete
  31. අවුරුදු උත්සවයක් බලන්ඩත් ආසයි..තුවාලේත් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සව බලන්ඩ ඊළඟ අවුරුද්දේදී වත් එන්ඩ ලැබේවා.

      සුවය පැතීම ගැන ස්තුතියි.

      Delete
  32. විදුරු ඔලුවේ ඩාන්ස් එකක් බලන්න තිබුණා අවස්ථාව නැතිව ගිහින්

    ReplyDelete
  33. මේ පාර අපේ පැතිවල අවුරුදු උත්සව වැඩිය තිබ්බේ නැහැ...

    පොඩි පොඩි අවුල් තිබ්බය කියල කිව්වත් විචාල අවුරුදු උත්සවේ එළට කරලා තියෙනවා...
    තුවාලේ ඉක්මණට හොඳ වෙන්න කියල පතනවා...
    ජය වේවා...!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }