හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 March 2016

ත්‍රිවිධ හමුදාවට කුමක් කලයුතුද?

Screenshot (2)
අපේ ත්‍රිවිධ හමුදාව, උතුරු නැගෙනහිර පළාත්වලින් ඉවත් කරන බවට, ප්‍රවෘත්ති පලවෙනවා. එමෙන්ම, හමුදාවේ ශක්තිය අඩු කිරීමට, රජය තීරණය කර ඇති බවත්, ඒ සඳහා ඇමරිකාව වැනි රටවලට පොරොන්දු වී ඇති බවත්, අග්නිදිග ආසියාවේ ආරක්ෂක කටයුතු පිලිබඳ මහා විශ්ලේෂක, කීර්ති වර්ණකුලසූරිය උන්නාන්සේ, පොරකාස කොර තිබෙනවා. නමුත්, ඒ තොරතුරු මූලාශ්‍ර සනාථ කරන කිසිදු සාධකයක්, උන්නාන්සේ විසින්, දියවෙන දිවයින පත්තරේ සඳහන් කර නැහැ.

   වසර 30ක් පමණ ඇදීගිය, කාලකන්ණි, අවාසනාවන්ත යුද්ධය, දැන් ඉවරයි. ඒ ගැන සතුටු නොවන්නේ, යුද්ධය ජාවාරමක් කරගෙන හිටිය අය පමණයි. ඒ ජාවාරම්කරුවන්ගේ ගොඩට, සමහර දේශපාලුවන් පවා ඇතුළත් වෙනවා. LTTE හිතවාදී සමහර දේශපාලුවන් වගේම, සමහර වෙනත් සංවිධානත් බලන්නේ, උතුර නැගෙනහිර පළාත්වලින්, හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමටයි. මෙහිදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ, යුද හමුදාවටයි. එයට ප්‍රධාන හේතුව, වඩා විශාල මෙන්ම, භූමියේ වැඩිපුර විසිරී සිටින්නේ, යුද හමුදාව වීමයි.

   යුද්ධය අවසන් නිසාත්, තවත් යුද්ධයක් ඇතිවෙතැයි හිතන්නට අපහසු නිසාත්, අප කුමක් කළයුතුද? හමුදා ඉවත් කිරීම/අඩු කිරීම/විසුරුවා හැරීම/පිළිබඳව අදහස් දක්වන අයගෙන් බහුතරයක්, ඒක පාර්ශ්විකව අදහස් දක්වන බවයි පෙනෙන්නේ. අපේ පාර්ලිමේන්තුව තුළ, බුද්ධිමය සංවාද වලට ඉඩක් නැතිවීමත්, මැති ඇමතිවරුන් ලෙස සිටින අයගෙන් බහුතරය, දේශපාලන වැද්දන් වීමත් නිසා, මෙවැනි මාතෘකා පිළිබඳව, රටේ මහජනතාවගේ අවබෝධය පුළුල්වන සංවාද, පාර්ලිමේන්තුව තුළ ඇතිවෙතැයි, සිතන්න අපහසුයි. අපේ පාර්ලිමේන්තුව තුළ, ඉතිහාසයේ සිටම සංවාද ඇතිවන්නේ, මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වෙනුවෙන්, ශෝකප්‍රකාශ කිරීමේදී පමණයි. කුමන පක්‍ෂයක් බලයේ සිටියද, සෑමවිටම සිදුවන්නේ, රජයේ සෑමදෙයකටම, විපක්ෂය විරුද්ධවීම පමණයි. අපි එතරම්ම පහත් ගෝත්‍රික ලක්ෂණ සහිත රටක්.
  
   ඇත්තටම අපි කුමක් කළයුතුද? හමුදා ශක්තිය අඩුකළ යුතුද? හමුදාව උතුරු නැගෙනහිරින් ඉවත්කළයුතු ද? හමුදාව සිටිය යුත්තේ දකුණේ ප්‍රදේශවල පමණද? වෙනත් විකල්ප මොනවාද? මෙය ඉතා පුළුල්ව සලකාබලියයුතු බැරෑරුම් මාතෘකාවක්.

   නිකම් බොරු බයිලා ගහන්න එපා මහත්තයෝ. ඔය හමුදාකාරයෝ බාගයක් විතර යවනවකෝ ගෙදර. ඉවරයිනේ කතන්දරේ.

   හොඳයි, අපි හිතමු එහෙම කළා කියලා. අපි හිතමු, ත්‍රිවිධ හමුදාවෙන් බාගයක්, විශ්‍රාම යැව්වා කියලා. රජයට කෙටි කාලීනව ලාබයි. දිගුකාලීනව පාඩුයි. දැනටත්, මේ අපිවගේ පැන්සොන් කාරයන්ට පඩි ගෙවීම, බරපතළ ප්‍රශ්නයක් නේ. ඉතින් ත්‍රිවිධ හමුදාවෙන් බාගයක් විශ්‍රාම යැව්වොත්, වැටුප් ගෙවන්න ගිය වියදම අඩුවෙනවා. නමුත් අර 'පැන්සොන් කාරයන්ගේ' ගොඩ ලොකුවෙනවා. කෙටිකාලීනව හොඳයි, දිගුකාලීනව නරකයි. ඒ වගේම, ඔය විශ්‍රාම ගිය හමුදා සාමාජිකයෝ, මොනවා කරයිද ගෙදර ගිහින්? හොඳ වැඩ කරයිද නරක වැඩ කරයිද? බහුතරයක් හොඳ වැඩ කරනවා. නමුත්, නරක වැඩට පෙළඹෙන සුළුතරයක්, අනිවාර්යයෙන් ඉන්නවා. ඒ අය කරන නරක වැඩ, අර හොඳ ඔක්කොම මකා දමනවා. මේ නිසා, එහෙම විශ්‍රාම යවනවානම්, ඔවුන්ට, තම ජීවිතය අර්ථවත්ව ගෙනයාහැකි ආකාරයේ, පුහුණු වැඩපිළිවෙලකට යොමුකිරීමෙන් පසුව පමණයි, විශ්‍රාම යැවිය යුත්තේ.


   හමුදාව උතුරු නැගෙනහිර අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් අල්ලාගෙන, බලහත්කාරයෙන් කෑම්ප් ගහගෙන ඉන්න එක සාධාරණද?

   මේ ප්‍රශ්නයට උත්තරදෙන්න, යුද න්‍යාය අනුව කරුණු කීපයක් කියන්න වෙනවා. යම්කිසි රටක, යුද්ධයක් ඇතිවුණාම ක්‍රියාත්මක වෙන්නේ, යුද නීතියයි. (martial law) අපේ රටේ තිබුණේ, අභ්‍යන්තර යුද්ධයක් නිසා, හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත, වැනි නීති තමයි ක්‍රියාත්මක වුණේ. ඒ මොන නීතිය තිබුණත් නැතත්, යුද්ධය යුද්ධයමයි.

   ඇත්තටම අපේ හමුදාව සටන් කළේ, ප්‍රබල සතුරු හමුදාවක් සමග. මෙහිදී, යුද්ධයෙන් ජයගන්න නම්, භූමියේ පාලනය, තමන්ට නතුකරගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. යුද භූමියේ යම් යම් ප්‍රදේශ තිබෙනවා, සටනේ ජයග්‍රහණය මෙන්ම, තම ඉදිරිකටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා, අනිවාර්යයෙන්ම රැඳීසිටීම පිණිස, උපක්‍රමික වශයෙන් වැදගත්වන ප්‍රදේශ. ඒවා යුද න්‍යායේදී හඳුන්වන්නේ, (Ground of Tactical Importance = GTI) යනුවෙන්. මේ GTI එකක් අහිමි වුනොත්, අපිව පරදා සතුරා GTI එක අල්ලගත්තොත්, අපිට අබ සරණයි! (සුද්දා උඩරට ආක්‍රමණය කරද්දී, අපි සුද්දට ගල් පෙරළුවා, සුද්දව ඇම්බුෂ් කළා, එහෙම කලේ GTI වල ඉඳලා. මුල්ලේරියාවේ සටන, රන්දෙනිවෙල සටන, ඌව වෙල්ලස්ස සටන කළේ, හොඳ GTI වල)

   ලෝකයේ නරක මිනිස්සු නැත, සංවර්ධනය තුළින් මිනිසුන්ගේ දේශපාලන, ජාතිවාදී, වර්ගවාදී, බෙදුම්වාදී, අදහස් සම්පූර්ණයෙන්ම නැතිකළ හැකිය, මිනිසුන්ට පූර්ණ නිදහස ලබාදීමෙන් පසු ඔවුහු සාමකාමීව වෙසෙති, වැනි අදහස්, බොහෝවිට වලංගු වුනත්, සෑමවිටම වලංගු නැහැ. මෙයින් මා අදහස් කරන්නේ, උතුරු නැගෙනහිර ජනතාව, හමුදා සපත්තුවෙන් පාගාගෙන සිටියයුතු බව නොවේ. උතුරු නැගෙනහිර ඇති සෑම කඳවුරක්ම වසාදැමීම, ණුවනට හුරු නොවන බවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු තිබුණේ, අපේ රටට නිදහස ලැබෙන්නත් පෙර සිටයි. ඊලාම් යුද්ධය නිසා, මහා පරිමාණ කඳවුරු සංකීර්ණ බිහිවුණා. ත්‍රිවිධ හමුදාවේම සංයුතිය වර්ධනය වුණා.

   මේ කඳවුරු පිහිටුවා තිබෙන්නේ, ශ්‍රී ලංකාව නමැති ඒකීය රාජ්‍යයට අයත් භූමියේ. ඒ නිසා, එක ප්‍රදේශයක ඉන්න අයට කියන්න බැහැ, අපේ ප්‍රදේශයට හමුදා කඳවුරු එපා කියා. එම කඳවුරු, ජාත්‍යන්තර නීතිය යටතේ සලකා බැලුවත්, කිසිදු නීතියක් උල්ලංඝනය කරමින් පිහිටුවා නැහැ. මහජනතාවට අයිති ඉඩම්, මානුෂවාදී නීතිය යටතේ සලකා නිදහස් කලත්, ජාතික ආරක්ෂාව යටතේ, නිදහස් නොකර තියන්නත් පුළුවන්.  අද වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහජනතාවට අයිති ඉඩම්, සාපේක්‍ෂ වශයෙන් ඉතා සුළු කොටසක් පමණයි, හමුදාව පරිහරණය කරන්නේ. එයින් බොහොමයක් ඒවා, අත්‍යවශ්‍ය GTI. මේ නිසා, කළයුතු හොඳම විකල්පය වන්නේ, එම ඉඩම් අයිති අයට, ඔවුන්ගේ ඉඩම් හා සමාන ඉඩම්, වෙනත් සුදුසු ස්ථානයකින් ලබාදීම හෝ ඉඩම් වටිනාකම තක්සේරුකර වන්දි ගෙවීමයි.


   යුද්ධයක් එන්නේ නැති බව දැන දැනත්, මොකටද මෙච්චර ලොකු හමුදාවක් තියාගන්නේ?

   නැවත යුද්ධයක් එන්නේ නැහැ කියලා, 100% ක් සහතික කරලා කියන්න, කාටවත් බැහැ. යුද්ධය අවසන් කියලා, මහා පරිමාණයෙන් හමුදා විසුරුවා හැරියේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පමණයි. ඉතා සාමකාමී රටක් වශයෙන් ප්‍රසිද්ධ, ඕස්ට්‍රේලියාවේ පවා, අදටත් හමුදාවක් පවත්වාගෙන යනවා. එපමණක් නෙවෙයි, යුද්ධායුධ නිපදවීමෙනුත්, ඔස්ට්‍රේලියාව සෑහෙන ධනයක් උපදවනවා. යුද්ධයක් එන්නේ, ගහෙන් ගෙඩි එනවා වගේ, ඇසිපිය ගසන සැණින් නෙවෙයි, ක්‍රමාණුකූලව.

   1971 කැරැල්ල එනවිට, අපේ හමුදාව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, සටන් කර තිබුණේ නැහැ. ඒ නිසා, කැරැල්ලේ මුල් අදියරේදී, කැරලිකරුවන්ට වාසි අත්වුණා. නිවැරදිව සටන් කරන්න නොදන්නා නිසා තමා, සැකකටයුතු අය මරා දමමින්, හිංසනකාරී ප්‍රති ත්‍රස්තවාදී ක්‍රමයට ක්‍රියා කළේ. ඊලාම් යුද්ධය ආරම්භ වූ අවදියේත්, ඒ තත්වය එහෙමමයි. RPG.50 මැෂින් තුවක්කුරාත්‍රී දුරදක්න ආදිය, අපේ හමුදාවලට කලින් LTTE එක ලබාගෙන තිබුණා. එතෙක් පොතේ දැනුමෙන් පමණක් දැනසිටි, සාම්ප්‍රදායික (conventional warfare) සටන් ක්‍රම, ත්‍රස්තවාදය මැඩපවත්වන්නට නොගැලපෙන බව වැටහුණේ, සෑහෙන හානියක් සිදුවුණාට පසුවයි. නව තත්වයට අනුවර්තනය වීම සඳහා, පුහුණු කටයුතු සම්පූර්ණයෙන් වෙනස් කරන්නත්, නවීන යුද උපක්‍රම භාවිත කරන්නත්, අති නවීන ආයුධ ලබාගන්නත්, හමුදාවේ භට සංඛ්‍යාව අතිවිශාල ලෙස වර්ධනය කරන්නත්, සිදුවුණා. යුද්ධය දිනුවේ එහෙමයි.

   එහෙනම් ඉතින් මොකද මේ හමුදාවට කරන්නේ?

   කරන්න දේවල් ගොඩක් තියනවා. මට පුදුමයි, ඇයි සමහර ඒවා නොකරන්නේ කියන එක ගැන. අපිට පුළුවන්, මෙන්න මේ වගේ දේවල් කරන්න.
  • ආරක්ෂක කවුන්සිලය විසින්, පවතින තත්වය ගැඹුරින් අධ්‍යයනය කොට, රටේ පවත්වාගෙන යායුතු අවම හමුදා සාමාජිකයන් සංඛ්‍යාව මෙපමණකැයි තීරණය කිරීම සහ, එකී අවම ප්‍රමාණය පවත්වාගෙන යාමට ගැලපෙන පරිදි, අලුතෙන් හමුදාවට බඳවාගැනීම් සීමා කිරීම. (හැබැයි එකක් මතක තියාගන්න. යුද්දෙන් පස්සේ, අපේ ත්‍රිවිධ හමුදාවේම, පළපුරුදු, අතිදක්‍ෂ, නිලධාරීන් සහ සෙබළුන් අතිවිශාල සංඛ්‍යාවක් විශ්‍රාම ගත්තා. ඒ නිසා, දැන් අපේ හමුදාවේ සටන්කාරී බව යම් ප්‍රමාණයකින් පහත වැටී තිබෙන්නේ. මොනයම් ආකාරයක හෝ අසහනකාරී තත්වයක් රටේ ඇතිවුනොත්, බොහෝවිට එයට මුහුණදීම, බැරෑරුම් වන්නට ඉඩ තිබෙනවා)
  • හමුදා, රටේ සංවර්ධනයට යොදාගන්න පුළුවන්. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය, මාර්ග සංවර්ධන ක්‍ෂේත්‍රය, විදුලිබල සැපයුම් හා නඩත්තු සේවා, ආදී ක්‍ෂේත්‍රයන්හි හමුදාව යොදවන්න පුළුවන්. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, වැනි රටවල ඉතා සාර්ථකව එසේ කරනවා. ආපදා කළමනාකරණය සඳහා, ඉතා පුළුල් ලෙස හමුදාව යොදාගන්න පුළුවන්. ඉහත සඳහන් කටයුතු කිරීමේදී, රජයට විශාල ලාභයක් ලැබෙනවා, ශ්‍රමිකයන්ගේ කෑමබීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, වැටුප් හා අනෙකුත් දීමනා, ප්‍රවාහන කටයුතු, වෛද්‍යාධාර, ආදිය සඳහා, අමුතුවෙන් මුදල් වැය කරන්නට සිදු නොවන නිසා. ඊනියා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නැති නිසා, වැඩ අඩාල වන්නේ නැහැ. (නමුත් කොමිස් කුට්ටි පස්සේ යන දේසපාළුවන්, අපිට ණයදෙන රටවලින් ඉදිරිපත්කරන කොන්දේසි, ආදිය මේ ආකාරයට හමුදාව යෙදවීමට බාධාවක් වන්නට ඉඩ තියනවා) 
  • එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා, අපේ රටෙන් යවන භටපිරිස් ප්‍රමාණය වැඩිකරගනීමට හැකිනම්, එය, අපේ රටට ඉතා විශාල ලෙස විදේශ විනිමය උපදවන මාර්ගයක් වනවා. එම සාමසාධක ක්‍රියා සඳහා රැගෙන යන සෑම යුද උපකරණයකටම, ගෙවීමක් සිදුකරනවා. එය, අප රටට, විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන මාර්ගයක් වෙනවා. සාමසාධක රාජකාරි සඳහා තෝරාගන්නේ මානව හිමිකම් චෝදනා නැති හමුදාවල සාමාජිකයන් පමණයි. සාමාන්‍යයෙන්, අපේ රටෙන් සාමසාධක හමුදා රාජකාරි සඳහා යවන කිසිදු හමුදා සාමාජිකයකු, කුමන ආකාරයක හෝ විනය චෝදනා වලට ලක් නොවූ අය බව, සහතික කරගෙනයි යවන්නේ.
  • හමුදා සාමාජිකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බලා ඔවුන්ව රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සුදුසු රැකියා සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙලක් සැකසිය හැකියි. එවිට නිකම් ගෙදරටවී සිටීමෙන් මනස අවුල්වී නීතිවිරෝධී දේ වලට යොමුවීම තරමක්දුරට හෝ අඩුවෙනවා.
   මෙතනින් එහාට තිබෙන්නේ, ඔබේ අවස්ථාව. ඔබේ අදහස් ඉතා අගය කරනවා. අපි හොඳ සංවාදයක යෙදෙමු.

2016 මාර්තු මස 03 වැනි දින 1314 පැය

61 comments :

  1. එතකොට යුධ හමුදාවේ ශක්තිය 37% කින් අඩු කරනවාය කියලා විදේශ ඇමට්ටා කිව්වාය කියන කතාව මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ ඇමට්ටා කථා කරන්නේ සයුරෙන් එහා ගැලරියට නොව ඉවාන්....!

      Delete
    2. වර්ණකුලසූරිය උන්නාන්සේ යුද්ද කාලේ ඉඳලම තමන්ගේ උපකල්පන වලින් ප්‍රවෘත්ති මවන්න බොහොම දක්ෂයි. මේ ප්‍රවෘත්තියට අදා මූලාශ්‍රයක් පෙන්නලා තිබුනේ නැහැ.

      ඇදහිය යුතු පරම සත්‍යය නොවුනත්, ලංකා ඊ නිව්ස් එකේ මෙහෙම තිබුනා. බලන්නකෝ පහත ලින්ක් එකෙන්.

      http://lankaenews.com/news/3624/si

      Delete
  2. හුඟක් නිෂ්පාදනවල නිෂ්පාදන වියදමෙන් සෑහෙන කොටසක් වෙන්නේ වේතන. ලංකාවෙ නිෂ්පාදිත භාණ්ඩ තරඟකාරී නොවී මිල අධිකවීමට හේතුවක් ඒක.
    හමුදාවලින් භාණ්ඩ නිශ්පාදනය කරන කර්මාන්තශාලා කරන්න බැරිද?
    කොහොමත් දෙන පඩියට අමතරව කර්මාන්තශාලාවේ වැඩකරනවාට පොඩි දීමනාවක් හෝ බෝනස් එකක් දෙනවානම් හමුදා සාමාජිකයිනුත් කැමති වෙයි

    ReplyDelete
    Replies
    1. \\කොහොමත් දෙන පඩියට අමතරව කර්මාන්තශාලාවේ වැඩකරනවාට පොඩි දීමනාවක් හෝ බෝනස් එකක් දෙනවානම් හමුදා සාමාජිකයිනුත් කැමති වෙයි//
      කැමැති උනාට එහෙම දෙන්න බෑනේ ..රජයේ රැකියාවක් නෙව කරන්නේ...!

      Delete
    2. පුග්ගලික ආයතන වලට අනුයුක්ත පිරිසට ලැබෙන අතිකාලදීමනා ඔවුන්ටම දීමනාවක් විදිහට ලැබෙනවා නේද ආයිබොවං?

      Delete
    3. @ Pra. තියන රැකියා වියුක්තිය එක්ක තියලා බැලුවම, හමුදාව යොදවා කර්මාන්ත පටන් ගත්තොත්, අහිංසක දුප්පත් මිනිහෙකුට රැකියාවක් හොයාගන්න තියන අවස්ථා අහිමි වෙනවා. දේශපාලනඥයන් එසේ කරන්න කැමතිවන එකක් නැහැ.

      Delete
  3. හරි මාමෙ ඔය හමුදාවෙන් විෂ්‍රාම ගන්න අඩු වයස්වල ඉන්න නිලධාරීන්ටත් කරන්න පුලුවන් දේත් කියමු බලන්න. දැනට මා දන්න තරමින් ආරක්ෂක සේවා (පුද්ගලික) ස්වයං රැකියා ආදිය කරන අය ඉන්නවා. ඊට අමතරව ගෙදරට වී ලමයි බලා ගැනීම වගේ වැඩත් දැන් කරනවා නේද? එහෙම අපතේ යන්නේ රටේ ෂ්‍රමය නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි කසුන් අර මල්මී ලියලා තිබුනේ කොරියාවෙ ගිහින් අඩුවයසෙන් ගෙදර ආපු අයත් ටීචර්ලා වගේ ඈණ්ඩුවේ රස්සා කරන ඇත්තියන් බැඳගෙන ගෙදෙට්ට වෙලා ළමයි බලා ගන්නෝ කියලා..ඒකේ වැරද්දක් නෑ නේ...!

      Delete
    2. මටනම් ගෙදර තියා, අහල පහලවත්, බලන්න ළමයි තියා ළමයින්ගේ අම්මලාවත් නැතිවීම, ලොකු පාඩුවක්. :e

      හමුදා සාමාජිකයන් බලහත්කාරයෙන් විශ්‍රාම යැව්වොත් රටට විශාල පාඩුවක් වෙනවා. ඔවුන්ව රටේ සංවර්ධනයට යොදාගතහැකි විකල්ප ක්‍රමෝපාය සූදානම් කරගෙන තමයි විශ්‍රාම ලබාදියයුත්තේ.

      Delete
  4. බෝම පැහැදිලි විග්‍රයක්.. ඒත් ක්‍රමාණුකුලව අඩු කිරීම කරන්න ඇහැකි නේ.. ජනාධිපති උපදේශක කෙනෙක් විදියට පත් කරන්න හිතුවා


    හැක් හැක්.. රටට බරක් නං කරන්න තියේනේ ඒ අය තියාගෙන පෙන්සන් කාරයින්ට පෙන්සන් ගෙවන එක නවත්තන්න. ඕ යෑස් හිටගෙන..

    ඈ විචා පාද්රේ පුතා ආවේ නැතෙයි ඔහේ බලන්න..

    ReplyDelete
    Replies
    1. ඉරිසියාකාර දේශකයා අපේ මාමගේ පැන්සොන් එකට කෙලින්න හදන්නේ , ගහනවා උස්සලා පොලේ

      Delete
    2. ඒ මදිවට අර හලාවත හිරේ විලංගුවෙ වැටිලා ඉන්න අහිංසකයාවත් ගාවගන්න හදන්නේ මේ දේශක තැන....!

      Delete
    3. @ දේශ්. උඹ තීරණයක් අරන් කියපන්, 9mm පිස්තෝලයේ සිට කාලතුවක්කුව දක්වා (හැබැයි කාලතුවක්කුවෙන් ගහනවානම් උඹව උණ්ඩය හැටියට පාවිච්චි කරන්නේ) කොයි එකෙන්ද කන්න කැමති කියලා.

      පාද්රේ කිසිම සද්දයක් නැත. පාද්රී ඌව දම්වැලකින් ගැටගහලා තියනවලු ඉස්තෝප්පුවේ කණුවක.

      Delete
  5. විචා...ඉදිකිරීම් අංශයේ වැඩ කටයුතු වලට ESR එකට අකුරෙගොඩ ESR14 එකට විතරක් අඩුම තරමේ 3500ක ස්කිල්ඩ් ලෙබර් ගත්තා වෙපන් ට්‍රෙනින් නැතුව යුනිෆොර්ම් ට්‍රෙනින් දීලා..අද වෙනකොට ඒ අය නිකන් උඩ බලන් ඉන්නවා..හැබැයි හමුදාවේ සැලරි එකට..
    මම දන්නා තරමින් රුපියල් බිලියන් 3.6ක් පමන ඉතිරි කලා කොන්ත්‍රාත් කරුවන්ට යන ලාබය ඉතිරි කිරීමෙන් අකුරෙගොඩ ප්‍රොජෙක්ට් එකේ ජොයින්ට් සර්විසස් කන්ස්ට්‍රක්ෂන් ටීම් එක...මෙයින් පෙනී යන්නේ 2009න් පස්සේ ඔබ කියනාකාරයේ තීන්දු තීරන අරගෙන තියෙනවා හමුදාව සාමය පවතින කොට පාවිච්චි කරනාකාරය සම්බන්ධව..නැද්ද..?

    ReplyDelete
    Replies
    1. Gota is an impressive decision maker. But no one cares it

      Delete
    2. @ චෙෆාකි. ඇත්තෙන්ම ESR එක අපේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් මීටවඩා ඉතා පුළුල් ලෙස යොදවන්න පුළුවන්. ඉන්දියාව, පාකිස්ථානය සෑහෙන දුරට එහෙම කරනවා. සමහර ඉන්දීය රෙජිමේන්තු ටෙන්ඩර් දාලා කොන්ත්‍රාත් ගන්නවා. දේශීය හෝ විදේශීය consultation විතරක් අරගෙන, ඉදිකිරීම් සම්පූර්ණයෙන් හමුදාවට කරන්න පුළුවන්. හමුදාවේ තියනවා යාකිරීම attachment කියලා දෙයක්. උදාහරණයක් වශයෙන් එක රෙජිමේන්තුවක කෙනෙක්ව තාවකාලිකව යාකරන්න පුළුවන් වෙනත් රෙජිමේන්තුවකට. ඒ ආකාරයට, දැනට ඉන්න වෙනත් රෙජිමේන්තුවල ශ්‍රම ශක්තිය, තාවකාලිකව ESR එකට යාකරන්න පුළුවන්. ඇයිද දන්නේ නැහැ එහෙම නොහිතන්නේ.

      @ දේශ්. හයියෝ මේ දවස්වල ඒ උත්තමයා කොමිෂන් ගානේ රස්තියාදුවෙන හැටි දැක්කමයි ඒ මූනේ තියන බයාදු පෙනුම දැක්කමයි පව් කියලා හිතෙනවා අප්පා.

      Delete
    3. මම දන්න තරමට ඒ යාකිරීම කෙරෙනවා..උදාහරනයකට, පොදු සේවා බලකායේ උපදේෂකත්ව යාකිරීම් කලා අකුරෙගොඩ ප්‍රොජෙක්ට් එකේ දේවල් වලට..විස්තර ලියනෙක ( මම වගේ දැනට එයට සම්බන්ධ කෙනෙක් )හොඳ මදි කියලා හිතෙනවා...
      පෞද්ගලික අංශයේ වැඩබිම් වලට හමුදා නියුක්තිකයින් අනුයුක්ත කිරීම ගැටලු සහගතයි මොකද අණ දීමේ ප්‍රශ්ණ මතුවෙන නිසා...මම ඒක අත්දැකීමෙන් දැනගෙන තියෙන දෙයක්..රෙජිමන්ටල් ඩිසිප්ලින් එක තියෙන කෙනාට එතනින් පිට වැඩ කරන්න අමාරුයි...

      Delete
    4. \\ ඇත්තෙන්ම ESR එක අපේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් මීටවඩා ඉතා පුළුල් ලෙස යොදවන්න පුළුවන්. ඉන්දියාව, පාකිස්ථානය සෑහෙන දුරට එහෙම කරනවා.///
      යොදවන්න / කරන්න ගිහින් කොච්චර නම් බැනුම් අහන්න ඇතිද...අපි තව දියුනු සමාජ තලයකට ආපසු කරන්න පුලුවන් දේවල් ඒවා ඒ..අර ඒඩ්ස් කේස් එක ගැන බෝහන්දියේ දෙමාපියන් කෑ ගසන ආකාරය දකිනකොට තේරෙනවනේ අපි සමජයක් හැටියට කොහේද ඉන්නේ කියලා..ඕක බෝහන්දියේ නෙවී, කොලඹ හන්දියේ උනත් ඔච්චරම තමයි අපි මෙහෙම කිව්වට..තමන් කරලා හරි තමන්ට වෙලා හරි බලන්න ඕනි හරි‍යටම අපි කව්ද කියන එක තේරුම් ගන්න....

      Delete
    5. ජන්දේ දවස් වල අපේ ටොයි මහත්තුරු උඩ පැනපැන කෑ ගැහුවේ හමුදාවේ කොල්ලන්ව මල්පැල වලට වතුර දාන්නයි, මේසන් වැඩ කරන්නයි, බදාම අනන්නයි කලින් ආණ්ඩුවෙන් යෙදෙව්වට විරුද්ධව, එහෙව් එකේ තව වැඩ ගන්න එක වැඩි කරොත් කෙලලම තියෙයි තාප්පෙට...

      Delete
  6. මා නම් හිතනවා අතිරික්ත හමුදා සාමාජිකයින් යොදවා ඉතා ක්‍රමවත් ගොවි සංග්‍රාමයක් කලයුතුයි. මහා පරිමාන ගොවි පළවල්,සහල් නිෂ්පාදනාගාර ඇති කලයුතුයි.කෘෂිකර්මයේ යෙදෙනා සිවිල් පුද්ගලයන්ටද ඒවායේ සාමාජිකයින් විය හැකියි.රසායනික භාවිතයෙන් තොරව මහාපරිමාණ කෘෂි කර්මාන්තයක් නැවත ඇතිකිරීම මගින් පුරවැසියන්ට වස විසෙන් තොර උසස් තත්වයේ සහල්, එළවලු පලතුරු අඩු මිලකට ලබාගැනීමට මෙන්ම අතිරික්තය විදේශ වෙළඳපලට යැවීමෙන් විදේශ විනිමයක්ද උපයා ගත හැකියි.එළවලු පලතුරු වලින් අතුරු නිෂ්පාදන කරනා ව්‍යාපාර ඇතිකළ හැකියි.දැනට සිද්ධ වන්නේ ගොවියන්ගේ වී ටික වැඩි මිලකට අරන් එක්කෝ කුනුවෙනකම් ගබඩාවල ගොඩගහ ගෙන ඉඳීම සහ ආණ්ඩුවේම ඉන්නා හෝ ආණ්ඩුවේ අනුග්‍රහය ඇති බියර් / මත්පැන් සමාගම් කරුවන්ට,සහල් මුදලාලිලාට කුණු කොල්ලයට විකිණීමයි. මේකද නිෂ්පාදන ආර්ථිකයේ දියුණුව?
    අපෙන් ගසාකන බදුමුදලින් ගොවියන්ට සහන දුන්නත් අද අපට අඩුමිලට කන්න හැකි සහලක් නිපදවනවද?වස විෂ පිරුන, කනවිට පිදුරු කනවා සේ දැනෙන මෙලෝ රහක් නැති සහල් , මිල අධික, වස පිරුන බාගෙට කුණුවුනු එළවලු, පලතුරු අද අපේ වෙළඳ පලේ තියෙන්නේ.
    එහෙම කලහම ගොවියන්ට මොකද වෙන්නේ කියල දැන් සම හරක් තප්පුලන්නත් පුළුවන්. නමුත්,ගහක් වැලක් නොවැවෙන මා රැකියාව කරන රටේ හොඳ බාස්මතී සහල් කිලෝවකුත් රුපියල් 200 ට අඩුවෙන් ගන්න හැකියි.ඉතා උසස් තත්වයේ නැවුම් එළවලු, පලතුරු, කිරි නිෂ්පාදන සියල්ලකම මිල ලංකාවට වඩා අඩුයි.අපේ රටේ එහෙම නැත්තේ අයි? රටේම මිනිස්සුන්ට කුණු ජරාව,වස විස වැඩි ගානට කවන්න ගොවියන්ට සහනාධාර දෙන එකේ ලාභය යන්නේ මුදලාලිලා කීපදෙනෙකුට විතරයි.මේ තත්වය වෙනස් කරන්නට, අතිරික්ත හමුදා සාමාජිකයින්ගෙන් කොටසක් කෘෂි කර්මාන්තයට යොමුකිරීම පලදායී වේ යයි මා හිතනවා.


    ReplyDelete
    Replies
    1. සිසිර...දැනටමත් හමුදා සෙබලුන් මහා පරිමාණ ගොවිකම් කටයුතු වල යෙදෙනවා...විචා ඒ ගැන විස්තර කරාවි කියලා හිතනවා...!

      Delete
    2. දැනුවත් කලාට ස්තුතියි චෙෆ්.කිසිම මාධ්‍යක මා එවැන්නක් තාම දැක්කේ නැහැ. විචාරක මහතාවත් ඒ ගැන අප දැනුවත් කරාවියැයි සිතනවා.

      Delete
    3. @Sisira. පුහුණුව ලද හමුදා සාමාජිකයකු තුළ ඇතිවන වැදගත් ගුණාංගයක් තියනවා. ඒ තමයි තත්ත්වානුරූපීව හැඩගැස්ම adaptability කියන එක. ඒ නිසා හමුදා සාමාජිකයන්ට වැසිකිලි සේදීමේ සිට ගුවන්යානා පැදවීම දක්වා දේවල් කරන්න පුළුවන්.

      උදාහරණයක් වශයෙන් දැන් මහා ගැටළුවක් වෙලා තියන, බන්ධනාගාර පරිපාලනය හමුදාවට දුන්නොත්, බන්ධනාගාර ඇතුලේ, එක මොබයිල් ෆෝන් එකක් නැහැ, එක කුඩු පැකට් එකක් නැහැ, පාතාල වැඩ නැහැ, පය 24 ක් ඇතුලත. (නමුත් දෙන්නේ නැත්තේ සමහර දේශපාලුවන්ට කෙළවෙන නිසා)

      හමුදාව කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන්නේ අද ඊයේ නෙවෙයි. 1950 දශකයේ ඉඳලා. ඒ සම්බන්ධ සියලු කටයුතු කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය විසින්

      ලංකාවේ විවිධ ස්ථාන වල, මතකයෙන් කියනවානම් පනාගොඩ, පොලොන්නරුව, දියතලාව, වැල්ලවාය, සහ තවත් ස්ථාන වල ගොවිපොළ පවත්වාගෙන යනවා. (ආහාර බෝග සහ සත්ව නිෂ්පාදන) එම නිෂ්පාදන පෞද්ගලික අංශයටත් විකුනනවා. නමුත් අද තත්වය අනුව බලනවිට එහි ප්‍රමාණය හොඳටම මදි. මෙය වඩාත් දියුණු කලයුතුයි.

      සමහර කඳවුරුවල අලංකාරය සඳහා වෙන්කර ඇති විශාල භූමිභාග කෘෂිකාර්මික කටයුතු සඳහා යොදවන්න පොලුවන්.

      Delete
  7. හමුදාව වැඩි නෑ... අර කිව්වා වගේ අළුතෙන් බඳවා ගැනීම් සීමා කලාම හරි... මොනවා කරත් අද අපි නිවිහැනහිල්ලේ ඉන්නේ උන් නිසා... ඒ වගේම හමුදා නාමයට මුවා වෙල කාලකන්නි වැඩ කරපු උන්ට නීතිය ඉටු වෙන්නත් ඕන...

    හමුදාවේ උන්ට ගෙව්වට මොකෝ වෙන්න... කාලකන්නි රාජ්‍ය සේවකයන්ට ගෙවන එකේ...

    ReplyDelete
    Replies
    1. ඔව් එකපාර අඩුකරන්න බැහැ. ක්‍රමානුකූලව අඩු කලහැකියි. උදාහරණයක් වශයෙන් ස්වේච්ඡා බලසේනාව සීමා කලහැකියි.

      හමුදාවටත් ඕවර්ටයිම් එහෙම ගෙවන්න වුණානම් කොහොමද?

      Delete
  8. හමුදාවෙ ඔක්කොවන්ගෙම අත පය බැඳලා නෑවක පටවලා යවමුකො. ඩයස් පෝරාවට එහෙන් බාගන්න කියමු... බාගෙන කැමති දෙයක් කරන්න කියමු...

    ReplyDelete
    Replies
    1. හැක්, ඔය ඩයස් කියන පොර, හැමදාම බොරු ෂෝ දදා ඉන්නේ නැතුව, මෙහාට ඇවිත්, තමන්ගේම ඇස් දෙකෙන්, ඇත්ත තත්වය බලා නොගන්නේ, තියන කුහක කම නිසා.

      Delete
    2. ඩයස් ලා ඔහොම්මම තමයි විචා මාමේ...

      Delete
  9. මේ ලිපිය ඉතාම අගෙයි. විශේෂයෙන්ම, මම නම් ඉන්නේ නැවතත් අපට යුද්ධයක් අත ළඟ තියෙන්න පුළුවන් කියන ස්ථාවරයේ. මොකද, උඩින් සාමකාමීව තිබ්බට, අපේ රට කොහොමත් යටින් ඇවිලී ඇවිලී තියන්නේ. කොහේ හරි එක තැනක් පිපුරුවොත්, රතිඤ්ඤා වැල පත්තු කරා වගේ තියේවි. 83 උනෙත් ඒ වගේ වැඩක් නේ.
    ඔබතුමා කියල තියන කතාව හරි. ඇයි අපි හමුදාව අඩු කරන්නේ? මගේ නම් අදහස, රටේ තියන කිසිම හමුදා කඳවුරක් ඉවත් නොකළ යුතුයි. අලුතෙන් කඳවුරු ඇති කරන්නේ නම් පමණක්, ඒවා ගැන සලකා බැලිය යුතුයි.
    හමුදාවට අලුතෙන් සාමාජිකයින් බඳවා නොගෙන බෑ. මොකද උපක්‍රමික දැනුම සහ පුහුණුව ගලා යා යුතුයි. නැත්තම් හමුදාවටත් අර රේල්ලුවට වෙච්ච දේ වෙන්න පුළුවන්.
    හමුදා සාමාජිකයින් යෙදවිය හැකි ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. අපේ දුම්රිය සේවයට අනුයුක්ත කල හැකියි ලේසියෙන්ම. දැන් තියන දුම්රිය ආරක්ෂක හමුදාව මුලින්ම හැදුවෙත් දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ සේවයෙන් නිදහස් කල භටයින් යොදාගෙන. මේ වැඩේම අදත් කරන්න පුළුවන්.
    ඒ වගේම, ඔවුන්ගේ ගෞරවයට හානියක් නොවන පරිදි, අනෙකුත් ඉදිකිරීම් ආදී කටයුතු වල යොදවන්න පුළුවන්.
    තව එකක්- හමුදාවක් තියන්නේ මිනිස්සුන්ව පාගල තියාගන්න නෙවේ. ඔවුන්ගේ ආරක්ෂාවට. යම් කිසි ජන කොටසක්, හමුදාව එපා කියනවා නම්, ඒක බරපතල ප්‍රශ්නයක් බවයි මම හිතන්නේ. වහාම ගැඹුරින් සොයා බැලිය යුතු ප්‍රශ්නයක්. මොකද හමුදාව එපා වෙන්නේ ඔවුන්ට වෙනත් (බොහෝ විට නීති විරෝධී) කටයුතු වල යෙදීමට හමුදාවේ රැඳී සිටීම බාධාවක් වෙන නිසයි.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කියවලා පිළිතුරක් දෙන්න කලින් මම ජාතික රහස් ඔත්තු සේවයේ කෙනෙකුට කතාකලා. ඔහු කිව්වේ, "පිස්සුද සර්, දැන්මම නම් රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇතිවෙන්න තියා හිතන්නවත් අමාරුයි. නමුත් ජිහාඩ් කල්ලි සහ ISIS එකට සහාය දෙන සුළු පිරිස් ඉන්නවා. අපි ඒ අයව මොනිටර් කරනවා" කියලයි.

      උතුරු නැගෙනහිර අහිංසක ජනතාවගේ ඉඩම් හැකි උපරිමය ආපසු බාරදෙන්න ක්‍රියාකිරීම වැදගත්. ඒ සඳහා උපක්‍රමික වශයෙන් පාඩු ඇති නොවන ලෙඩ හමුදා කඳවුරු වෙනස් කිරීම හෝ ඉවත් කිරීම වරදක් නෙවෙයි.

      බඳවාගැනීම් කලයුත්තේ රටේ ආරක්‍ෂාව පහතට නොවැටෙන ප්‍රමාණය තක්සේරු කරගෙනයි.

      හමුදාව බොහෝ ක්‍ෂේත්‍රවල යොදවන්න පුළුවන්. නමුත් හරහට හිටින්නේ සමහ දේශපාලුවන් සසහ වෘත්තීය සමිති.

      ඔව්, රටේ එක ප්‍රදේශයකින් විතරක් හමුදාව ඉවත් කරන්න කියලා කෑ ගහන්නේ, වෙනත් යටි අරමුණු නිසා වෙන්න පුළුවන්.

      Delete
    2. \\ මේ කමෙන්ට් එක කියවලා පිළිතුරක් දෙන්න කලින් මම ජාතික රහස් ඔත්තු සේවයේ කෙනෙකුට කතාකලා. ඔහු කිව්වේ, "පිස්සුද සර්, දැන්මම නම් රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇතිවෙන්න තියා හිතන්නවත් අමාරුයි. නමුත් ජිහාඩ් කල්ලි සහ ISIS එකට සහාය දෙන සුළු පිරිස් ඉන්නවා. අපි ඒ අයව මොනිටර් කරනවා" කියලයි. //

      විහිළු කාරයා වෙලා නේ...!

      Delete
    3. ඇයි c-a? ඒ අයව මොනිටර්ල කරන්න හොඳ නැද්ද?

      Delete
    4. එතකොට රාෆ්ට් මොනාද කරන්නේ..!
      අනික රාජ්ය රහස් මෙහෙම එලිය අතාරින එක හරිම විහිළුවක්නේ...

      Delete
    5. හැබෑටම දැන් එහෙම අංශයක් රටේ තියනවද ?

      Delete
    6. @ චෙෆාකි. මේක විහිළුවක් නෙවේ. රාජ්‍ය රහස් හෙලිකිරීමකුත් නෙවෙයි. ISIS ත්‍රස්තවාදීන්ට උදව්කරන්නන් පිලිබඳ ක්‍රියාකරන ආකාරය රහසක්. මොනිටර් කිරීම රහසක් නෙවෙයි. මා නොදන්නා අලුත්ම තත්වයන් තිබෙන්නට පුළුවන්. ඒ නිසයි විමසා බැලුවේ.

      රාෆ්ට් කියන්නේ මොකක්ද?

      @Pra. c-a කියන්නේ කවුද?

      @සෙන්නා. ඉතා දියුණු තත්වයෙන් තියනවා. need to know basis නිසා, විස්තර ලියන්න අමාරුයි.

      Delete
    7. මම ගමනක් යත්දී මගේ යාලුවෙක් අඳුනන නිලධාරියෙක් හමු වෙන්න කෑම්ප් එකකට ගියා. එයා කිව්වේ ඒ මිනිස්සු ඉඩම් වල අයිතිය කියන්නේ. මේ තල් ගහේ ඉඳලා අන්න අර තල් ගහ වෙනකම් මගේ ඉඩම කියලා ලු. අපිට පුලුවන්ද ලංකාවේ කොහේ හරි එහෙම ඉඩමක් මගේ තියෙනවා කියන්න? සමහරවිට ඇත්ත වෙන්නැති. රජයේ ඉඩමක් බලෙන් තමන්ගේ කියලා අත්පත් කරගෙන ඉන්න ඇති. නමුත් ඒකට ඔප්පුවක් නැතිනම් මොකද කරන්නේ. මේ මිනිස්සු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියලයි මට හිතෙන්නේ.

      Delete
    8. සුදීක, ඔය තත්වය ඔයිටත් වඩා සංකීර්ණයි. එකම ඉඩමට අයිතිවාසිකම් කියන කීපදෙනෙක් ඉන්නවා. අපි කිව්වම ඔප්පු පෙන්වන්න කියලා මොකුත් නැහැ. නමුත් විග්නේශ්වරන් ලොක්කා කියන්නේ අපි බලෙන් ඉඩම් අල්ලාගෙන ඉන්නවා කියලයි. කාට කියන්නද මේ අවනඩු.

      Delete
    9. හපොයි.. මම මොකද්ද මේ කරේ? යුද්ධයක් ගැන කියද්දී මමත් අදහස් කරේ ඔය ජිහාඩ් එක ගැන තමා.
      ඉඩම් ප්‍රශ්නේ අපේ අප්පච්චිත් ඔය විදියටම කිව්වා. අප්පච්චි නාගරික සංවර්ධන අධිකාරියේ ත්‍රිකුණාමලයේ කාර්යාලයේ සේවය කරේ. ඒ දවස් වලත් තත්වය ඔය වගේමලු. ඉඩම මගේ කියාගෙන ආවට කිසිම සහතිකයක් නැතිලු ඔප්පු කරන්න. එක්කෙනෙක් දවසක් අප්පච්චිලට කියල LTTE එකෙන් ඔප්පු එහෙම පිච්චුවයි කියලත්.

      Delete
  10. තරුණ ජවය අපතෙ හරින එක නම් අපරාධයක්..
    ඉදිකිරීම් ක්ශේත්‍රයට නම් දැනටත් ඉස්සර ග්‍රාමාරක්ශක රාජකාරී කරපු පිරිස් යොදවනවා නේද? පුද්ගලික සමාගමක වැඩ බිමකින් ගස්ලබ්බට ආරංචි උනේ ඔවුන්ගෙන් ඇතමෙක් ඉංජිනේරු උපදෙස් හෝ පරීක්ශකවරුන්ගේ උපදෙස් හෝ මායිම් නොකරමින් වෙනම ගැට්ටක් සේ 'ආතල්' එකේ සිටින බවත්,හයිරම් පාට් එකේ කල් ගත කරන බවත්.මෙවැනි කරුණුත් සැලසුම් කරුවන් විසින් අවධානයට ලක් කල යුතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හමුදා නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් තොරව, කිසිදු කාර්යයක් සඳහා, හමුදාව නොයෙදවිය යුතුයි.

      අපි මෙහෙම හිතමු, රාජ්‍ය අංශයේ රියදුරන් පිරිසක් හමුදා කඳවුරක සේවයේ යොදවනවා, වැඩ කරන පිළිවෙත් සම්පූර්ණයෙන් වෙනස්. පැය 24 ම සූදානමින් ඉන්න ඕනේ. එතනදී ගැටළු මතුවෙනවා.

      සෙබළා යුද භූමියේ කොතන හිටියත්, ඔහුගේ කෑම බීම ඔහු ළඟටම ගෙනත් දෙනවා. අර වගේ පෞද්ගලික අංශයේ ස්ථානයක සේවයේ යෙදෙව්වම, සෙබලා හිතන්නේ, හමුදාවේ ක්‍රමයට සියල්ල සිදුවෙයි කියා. එවිට ගැටළු මතුවෙනවා.

      Delete
  11. යුද්ධය අහවර උනාම හමුදාවෙන් ඇති වැඩක් නෑ කියලා හිතන ගොංටයියලා ඉන්න රටක අපි ඉන්නේ.... ලිපිය අගෙයි මාමේ

    ReplyDelete
    Replies
    1. කන්ද පහුවුනාම හැරමිටිය අමතකවීම අපේ ජාතික ලක්ෂණයක්ද මන්දා.

      Delete
  12. දුටු ගැමුණුත් යුද්ධෙ ඉවර වුනාම දැවැන්ත ඉදිකිරීම් කරවලා, මහජනතාවගේ (ඒකාලෙ හමුදාවෙ බහුතරය සමාන්‍ය සිවිල් වැසියන්ගෙන් සමන්විත ස්වේච්ඡා සෙබළු වන්නට ඇති බව මගෙ විශ්වාසය) යුධ මානසිකත්වය සමනය කරපු එකයි. ඒ වගේම ප්‍රධාන සෙනෙවියන් වුනු ථෙරපුත්ථාභය සහ තව යෝධයන් දෙතුන් දෙනෙක් මහණ වුනා...

    කාරණේට කෙලිම්ම අදාළ නෑ. එ් වුනාට මට මතක් උනේ මේක.

    හමුදාව බැරැක්ක වලට සීමා කළ යුතුයි, ඔය ආරංචි වන විදිහේ සිවිල් ජීවිත වලට මැදිහත්වීමේ ඉඩ අවම කළ යුතුයි කියල මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපේ හිටපු මහරජානොත් අර පුරාවිද්‍යා නීති අමු අමුවේ කෙලෙසලා හදන්නේ මහා සායක්. හුටා සෑයක්.

      හමුදාව සිවිල් ජීවිත වලට මැදිහත් වියයුතුයි නෙවෙයි, කළ යුතුයි. මෙන්න මෙහෙම.

      ඉස්කෝලේ යන්න විදිහක් නැතුව උදේට පාරේ ඉන්න ළමයි ඔක්කොම හමුදා වාහන වලින් ගෙනයාම ගෙන එම කලයුතුයි. (මම වැලිඔය හිටිය කාලේ, රාජකාරි ගමන් යන අතරේ, ඒ විදිහට ළමයි ඇද්දා. හමුදා නීතිය අනුව තහනම්. මනුස්සකමේ නීතිය ඊට ලොකුයි)

      කුඹුරුවලට පෝරටික ගහගන්න බැරිව, හාගන්න ට්‍රැක්ටරයක් නැතුව, ගොයම් කපන්න කුලී ගෙවාගන්න බැරිව ඉන්න අයට, උදව් වියයුතුයි.

      කැඩිලා ගිහින් තියන පන්සල්, පල්ලි, කෝවිල්, ඉස්කෝල, පාලම්, බෝක්කු, වැව් අමුණු, අලුත්වැඩියා කරන ශ්‍රම හමුදාවක් වියයුතුයි.

      Delete
    2. ඩ්‍රැකී ලියනවා....\\\හමුදාව බැරැක්ක වලට සීමා කළ යුතුයි, ඔය ආරංචි වන විදිහේ සිවිල් ජීවිත වලට මැදිහත්වීමේ ඉඩ අවම කළ යුතුයි කියල මම හිතනවා.///
      එහෙම ලියන්න හේතුව වෙන්න ඕනි මෙන්න මේ දේ...
      විචා කියනාකාරයට...\\..හමුදා නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් තොරව, කිසිදු කාර්යයක් සඳහා, හමුදාව නොයෙදවිය යුතුයි...////
      ඔය රෙජිමෙන්ටල් ඕඩර් එක සමාජගත වෙනවා හමුදාව අමු අමුවේ සිවිල් වැඩ වලට දැම්මාම...ඒක තමයි පහු ගිය කාලේ උනේ...තව දිග දුර ගියානම් මොනා වෙයිද...?
      විචා කියන විදියට, එක්තරා ප්‍රමානයක යාකිරීමක් මිස පහුගිය වකවානුවේ වෙච්ච තරම් හමුදා එලිබැහීම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අගුනයි..නැද්ද...?

      Delete
    3. පාරේ ගඩොල් අල්ලන තත්වයට දැමීම නම් අනුමත කරන්න බැහැ. හමුදාව පොදු වැඩවලට දියයුත්තේ හමුදා ගෞරවය නොකෙලෙසෙන ආකාරයටයි.

      Delete
    4. //කැඩිලා ගිහින් තියන පන්සල්, පල්ලි, කෝවිල්, ඉස්කෝල, පාලම්, බෝක්කු, වැව් අමුණු, අලුත්වැඩියා කරන ශ්‍රම හමුදාවක් වියයුතුයි.//

      ඒකනේ විග්නේස්වාරන් ගොයියා කිව්වේ යාපනේ කාණු සුද්ද කරන්න හමුදාව යොදා ගන්න ඕනේ කියලා.

      Delete
    5. විග්නේශ්වරන් මොළ කොලොප්පම නමැති රෝගයෙන් පෙලෙනවානේ.

      සුදීක දන්නවද පහුගිය රජය කාලයේ, ත්‍රිවිධ හමුදාව, තමන්ගේ අරමුදල් සහ ශ්‍රමය යොදවා, උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන්වූ ජනතාවට ගෙවල් විශාල ගණනක් හදලා දුන්නා.

      විග්නේශ්වරන් ඒ කාලේ කොහෙද හිටියේ දන්නේ නැහැ. අදටත් ඒ ජනතාව ඒ ගෙවල්වල ඉන්නවා.

      Delete
  13. කොහොමත් රටක ආරක්ෂාවට හමුදා ශක්තිය අත්‍යවශ්‍යසාධකයක්.
    අභ්‍යන්තර යුධ අරගල නැතිවුවත් නිරන්තරයෙන්ම හමුදාවන් සූදානම්ව තබන්න වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ලෝක සම්මත ක්‍රමය තමයි යුද්ධයක් නැති කාලයේදී හමුදාවට ඉතා හොඳ පුහුනුවක් දීම. අපි මෙහෙ ඒවා කරන්න ගියොත් කියන්නේ ආයෙත් යුද්ධය ඇතිකරවන්න හදනවා කියලයි.

      Delete
  14. බොහොම වැදගත් ලිපියක් විචාරක තුමා.. හමුදාව රටේ සංවර්ධනයට දායක කරගන්නවානම් රටේ සංවර්ධනය මීට වඩා හුඟ වේගවත් වේවි කියල මම හිතනවා. ඒත් කොමිස් ගහන්නම දෙසපාලනෙට එන දෙකේ පන්තියේ දේශපාලන භූමිකාව ලංකාවේ පොළොවෙන් අතුගාල දානකම් ඔව්ව ක්‍රියාත්මක කරනවා බොරු. ඒ වගේම ඒ දෙකේ පන්තියේ දෙසපාලනේටම කඩේ යන ඉහල හමුදා නිලධාරීන් ඉන්නකම් හමුදාවේ ගෞරවය රැකගන්නවා කියන ඒකත් අමාරු දෙයක්.

    මම හිතන්නේ නැහැ කොන්ද පන තියන රටට ආදරේ මිනිස්සු කැමති වෙයි කියල අපේ රණවිරුවන් පාරවල් උදලුගාන්න දානවටයි දෙසපාලුවන්ගේ හිතවතුන්ගේ ගෙවල් වල වතු උදලුගාන්න දානවටයි.. ඒත් දහසින් බැඳී පියලි වෙනුවෙන් සොල්දාදුවන් ඒ තත්වෙට ඇද දාන නිලධාරීන් ඉන්නවා කියල මම හිතනවා. ඒ වගේ දේවල් වලදී හමුදාව ඇතුලේ අසාධාරණයට ලක්වෙන සොල්දාදුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ක්‍රමවේදයක් හමුදාව අභ්‍යන්තරයේ තියෙනවද කියලත් ටිකක් පැහැදිලි කරනවද. එහෙම හරස් ප්‍රශ්නයක් මතුකරාට තරහ අවසර.. නොදන්නා කමටයි ඇහුවේ..අණදෙන්නාගේ විදානයට අනුව ලැබෙන අණ ක්‍රියාත්මක කරන්න වෙන නිසා රාජ කුමාරවරුන් රථ කෙළියට සැපත්වෙන වෙලාවට වැලි කොට්ට ගහන්න දාන සොල්දාදුවන් ලක්වෙන අසාදාරනය වෙනුවෙන් කටපියාගෙන ඉන්නවා හැර වෙන කරන්නට දෙයක් හමුදාවේ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. එතකොට වළවේ, නරියාකන්ද, ගජබා රේස් සඳහා හමුදාවේ මැදිහත් වීම අර්ථ දක්වන්නේ කොහොමද, එතනත් වැලි කොට්ට ගහනවා, පස් කඳු හදනවා, වැඩ ගොඩයි...
      නිකං නෙමෙයි ටිකට් ගහලා ගමක් නගරයක් ගානේ හමුදා නිලධාරින් හමුදා වාහන වලම ගිහින් ටිකට් විකුනනවා ඒ රේස් වලට...
      එහිදී රේස් එක පදින්නේ කවුද කියන එක හිතනවද හමුදා නිලධාරියා, හමුදාවක් එහෙම ටිකට් විකුනලා සල්ලි එකතු කරන එක තවත් කාරණයක්...
      ඒ රේස් ඔක්කොටම අමතරව කොළඹ රේස් පැදපු වෙලාවේ රජ කුමාරවරු පැද්දේ නැත්නම් මේ වගේ විරෝධතාවක් එල්ල වෙයිද...

      ඉස්සර ලංකාවේ වැඩිපුර රේස් පැද්දේ කොහෙද කියල මතකද, දළදා මාළිගය ඉස්සරහ වැව වටේ...
      90 ගණන් වල වැව වටේ රේස් පැදිල්ලට කවුරුවත් විරුද්ධ උනේ නැහැ, නමුත් වතාවක් පැරණි වලාකුළු බැම්ම කඩාගෙන කාර් එකක් ගියාට පස්සේ තමයි හාමුදුරුවෝ විරුද්ධ වෙලා වැඩේ නැවතුනේ...
      රජ කුමාරවරු ආපහු වැව වටේ රේස් පදින්න ගිය එකනම් උන්ගේ මෝඩ කමට කරපු දෙයක්...

      Delete
    2. ඩිලන්ත මාලගමුව දවසක් කියනවා 'අතින් වියදම් කරගෙන රංචු පිටින් ලංකාවට ඇවිල්ල රේස් එකක් පැදලා විනෝද වෙලා යන්න එන්න කට්ටිය ඇති තරම්.ඇයි මේවා සංවිධානය නොවෙන්නෙ කියන එක ප්‍රශ්නයක්' කියලා.මැකාවෝ වගේ රටවල් හොඳ ගානක් හොයා ගන්නවා ඔය රේස් පැදිල්ලෙන් කියන එකයි රේස් ගැන හසල අත්දැකීම් ඇති ඔහු ගේ අදහස උනේ.

      Delete
    3. අනේ මචන්ලා මම ලියපු දෙයින් කාගේ හරි හිත රිදුනනානම් සමාවෙයල්ලා.. මම ලිව්වේ රේස් පදින එකවත් හමුදාව රේස් සංවිධානය කරන එකේවත් වරදක් තියෙනව කියල නෙවෙයි..ලොක්කන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් හමුදාවේ සේවය අවතක්සේරුවීම සිද්දවෙනවා කියන එකයි.. හමුදාවේ මැදිහත්වීමෙන් සිද්දවෙන රේස් පැදිලි වගේ දේවල් වලට මිනිස්සු සහභාගී වෙන්නේ බොහොම කැමැත්තෙන්.

      Delete
    4. හිත රිදීමක් උනේ නැහැ මචෝ, මම පෙන්වලා දුන්නේ ඔවුන් ඒ අවස්ථා දෙකේදීම කරන කාර්යය සමාන බවක්...
      ගස් ලැබූ පෙන්නලා දීපු ආකාරයට ලංකාවේ රේස් වල උන්නතියක් ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා...
      ඒක දේශපාලනිකව ආරම්භ වෙච්ච නිසා විරුද්ධ දේශපාලන ඇහෙන් බලලා අපරාධයක් විනාශයක් බව පෙන්වන එක වැරදියි කියන එකයි මගේ අදහස...

      ///ලොක්කන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් හමුදාවේ සේවය අවතක්සේරුවීම සිද්දවෙනවා කියන එකයි..///
      මේ ගැන අපිට වඩා හොඳට විචා මාම පැහැදිළි කරාවි. උසස් හමුදා නිලධාරීන්ගේ ගෙවල් වල අතු පතු ගෑමේ සිට නොයෙකුත් පජාති වැඩ කරන්න පහළ නිලධාරින් යොදා ගැනෙනවා...
      ඒ අතින් වැලි කොට්ට ටිකක් ගහන එක ඊට උසස්...

      ///හමුදාවේ මැදිහත්වීමෙන් සිද්දවෙන රේස් පැදිලි වගේ දේවල් වලට මිනිස්සු සහභාගී වෙන්නේ බොහොම කැමැත්තෙන්.///
      කොළඹ රේස් බලන්නත් මිනිස්සු උනන්දුවෙන් සහබාගි උනා. රෑ තියපු නිසා මිනිස්සුන්ට විශාල බාධාවක් උනේ නැහැ...
      ඒ රේස් වල සියළුම වැඩ ටික හමුදාවට කරන්න ඉඩ දීලා ඒක හමුදාවෙන් කරන එකක් විදිහට කළත් මෙවර සංවිධානාත්මකව ආපු දේශපාලන විරෝධය පැවතී රජයට එල්ල වෙනවා...

      Delete
    5. කෝ විචාරක තුමා මට උත්තරයක් දෙනකම් තමා මමත් බලන් ඉන්නේ.. ම්හ්..අදත් නෑ.. තරහවෙලාද මන්ද..

      Delete
    6. පිළිතුරු දීමට ප්‍රමාදවීම ගැන සමාවන්න.

      @ අම්බලන්ගොඩ කථාMarch 5, 2016 at 2:06 AM

      බොහොම හොඳ අදහස් දැක්වීමක්. හමුදාව තුලට දේශපාලනය ඇතුළුවීම ලෝකයේ බොහොමයක් රටවල දකින්නට ලැබෙනවා. අපේ රටෙත් ඈත අතීතයේ සිට එය ටිකක් දුරට තිබුනා. නමුත් ඒවා රටට හෙළිකරන්න තරම් පෞද්ගලික මාධ්‍ය ආයතන ඒ කලේ තිබුනේ නැහැ. ලෝකයේ ඕනෑම රාජ්‍ය නායකයෙක්, ත්‍රිවිධ හමුදාපතිවරුන් පත්කිරීමේදී හිතලා බලනවා ඔහු තමන්ට පක්ෂපාතීද කියා. එහි සාධාරණත්වයක් තිබෙනවා. නමුත් අපේ රටේ තිබෙන්නේ ඉහල හමුදා නිලධාරීන් පක්ෂ දේශපාලනයට සම්බන්ධවී කටයුතු කිරීමයි. යුද හමුදා පනතේ ඇති ප්‍රතිපාදන යටතේ එවැනි අයට දැඩි දඬුවම් දෙන්න පුළුවන්. නමුත් කෙරෙන්නේ නැති එකයි දුක. මොකද, කොහෙන්හරි දේශපලුවෙක් රිංගලා ඒ වැඩ අවුල් කරනවා.

      හමුදා සේවයේ යෙදීමේදී අපි කමතිවුනත් අකමැති වුනත් ඉහලින් එන අණ පිළිපදින්න ඕනේ. වැලිකොට්ට ගැහීම, පේව්මන්ට් අලුත්වැඩියාව සිදුවුනේ ඒ ක්‍රමයට. එහි එක පැත්තක හිටියේ තනතුරු නම්බුනාම බලාපොරොත්තුවන නිලධාරීන්.

      ලෝකයේ සමහර රටවල හමුදාව මෙවැනි ක්‍රියාවල යෙදවීම සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. විශේෂයෙන් සමාජවාදී රටවල.

      හමුදාවේ සෑම නිලයකුටම තම දුක්ගැනවිලි ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් සකසා තියනවා. තමන්ගේ අණදෙන නිලධාරියා තමන්ට අසාධාරණයක් කරනවානම් එතනින් ඉහලට, ඉහලට, ගිහින් ජනාධිපති (සේනාධිනායක) දක්වාම දුක්ගැනවිල්ල යවන්න පුළුවන්. එහෙම ඉදිරිපත් කරලා සේනාංකාධිපති/යුද හමුදාපති මට්ටමෙන් සාධාරණය ඉෂ්ඨ කරගන්නවා මා දැක තිබෙනවා.

      @ ලොකු පුතාMarch 5, 2016 at 2:26 PM

      හමුදාවේ සෑම රෙජිමේන්තුවකටම, තම රෙජිමේන්තු අරමුදල් තරකරගනීම සඳහා, යුද හමුදා මූලස්ථානයේ පූර්ව අවසරය යටතේ, (අද වනවිට ආරක්ෂක අමාත්‍යංශයේ) යම් යම් ව්‍යාපෘති දියත් කරන්නට අවසර ලැබෙනවා. ඔය වාහන ධාවන තරග, විවිධ සංදර්ශන විතරක් නෙවේ සමහර රෙජිමේන්තු වලින් හෝටල් පවා පවත්වාගෙන යනවා.

      හමුදාවට බැහැ බලෙන් ටිකට් ඇඟේ ගහන්න මිනිස්සුන්ගේ. එවැනි අවස්ථාවකදී වහා ඒ ගැන, ළඟම පොලීසියට/යුදහමුදා කඳවුරට/යුද හමුදා මූලස්ථානයට/1919 අංකයෙන් ජනාධිපති හෝ අගමැති ගේ කාර්යාලයට පැමිණිලි කරන්න පුළුවන්. ඔබට කිසිම කරදරයක් වෙන්නේ නැහැ.

      හමුදාව ටිකට් විකුණන්නන් ගේ තත්වයට පත්කොට කුමාරවරු රේස් පැද්ද යුගය ඉවරයි. ඒ ගැනනම් අතුටු වෙන්න පුළුවන්.

      @ ගස් ලබ්බMarch 5, 2016 at 3:27 PM

      කුලියාපිටිය පැත්තේ රේස් ට්‍රැක් එකක් හදන කතාවක් තිබුනා දැන් තත්වය දන්නේ නැහැ.


      @ ලොකු පුතාMarch 6, 2016 at 1:43 PM

      //උසස් හමුදා නිලධාරීන්ගේ ගෙවල් වල අතු පතු ගෑමේ සිට නොයෙකුත් පජාති වැඩ කරන්න පහළ නිලධාරින් යොදා ගැනෙනවා//

      ශ්‍රී ලංකා යුද හමුදාවේ නම් කොහෙවත් සිදුවන්නේ නැත. අනික් හමුදාවල සිදුවනවාදැයි නොදනිමි. උසස් නිලධාරීන්ගේ පෞද්ගලික නිවාසවල ආරක්ෂාවට සෙබළුන් දෙන්නෙක් තැබිය හැකියි. එහෙත් ඊට හමුදා මූලස්ථානයේ අවසරය තිබිය යුතුයි. අදනම් කොහෙවත් එහෙම යොදවා නැත. කර්නල් සහ ඊට ඉහල නිලවල යට නිවසේ පාවිච්චිය සංධා යුද හමුදා වාහනයක් ලැබේ. එය රාත්‍රියට ළඟම ඇති හමුදා කඳවුරේ හෝ පොලීසියේ රඳවා තැබිය යුතුයි. එම නිලධාරියා නිවාඩු එන වාහනයත් එසේ කලයුතුයි. නිලධාරීන්ට දෙන සහායකයා buddy බොහෝවිට එම නිලධාරියාගේ රෙජිමේන්තුවෙන් ලැබෙන්නේ. ඔවුන් එම නිලධාරියාගේ බිරිඳ දරුවන් සමහ ලඟින් ඇසුරු කරනවා. (ඔව් ඒ ඇසුර දුරදිග ගොස් පවුල් ආරවුල් ඇතිවූ අවස්ථාද තිබෙනවා) ඉතින් එවැනි සෙබළුන් අර නිවසේ ගෙවත්ත පිරිසිදු කිරීම, කඩේ යාම වැනි වැඩ කිසිදු බලහත්කාරයකින් තොරව බොහෝවිට කරනවා. ඔවුන්ට එම නිලධාරියාගේ නිවසෙන් කෑමබීම, සර්වන්ට්ස් බාත්රූම් පහසුව, පිටත කාමරයක නැවතී සිට යාම වැනි පහසුකම් ලැබෙනවා.

      මගේ බඩියෙක් හිටියා ඇම්ඩන් කෙනෙක්. ඌ මාත් එක්ක ගෙදර ආවගමන්, මැඩම් කෝ දෙන්න සල්ලියි බඩු ලැයිස්තුවයි කියා ඉල්ලාගෙන මගේ නිවසේ ප්‍රෝජනයට හමුදාවෙන් දී තිබුන වාහනයෙන් ලොක්කා වගේ කඩේ ගිහින් එනවා. (ඔව් රජයේ ඉන්ධන, රජයේ වාහන, ඒවා වරප්‍රසාද) ඊළඟට මේකා ගෙදර වැඩද හොයා බලා කරනවා. රෑට රෑ වෙලා තමයි කඳවුරට යන්නේ. මූ මමත් ඉන්න තැන කියනවා, 'ඔන්න මැඩම් මට කරන්න දෙයක් නැහැ, සර් හරියට බොනවා' කියලා. මම පිස්තොලේ ගන්නවා, 'හිටපිය පරයා කේලම් කියනවට තෝව අද මෙතනම බාවන්න' කියලා. අපේ උන්දැගෙන් මට දෝෂාභියෝග එනවා. නිවාඩු ඉවරවෙලා ආපහු යන දවසේ, අපේ උන්දැ කියනවා, 'අනේ මේ, මේ ළමයට ගෙදර මොකක්ද වැඩක් තියනවලු, ඔන්න ඔහේ දවස් දෙකක් විතර නිවාඩුවක් දෙන්න' කියලා. මම කියනවා නැගපිය පරයා වාහනේට' කියල. මොන, මූ කොහොමහරි අපේ උන්දැව බැලන්ස් කරලා, දවස් දෙකක් කොටාගන්නවා. මේවා සුන්දර අද්දැකීම්. මේ සොල්දාදුවෝ අපේ ප්‍රවේනි දාසයෝ නෙවෙයි. හිතවත්කම නැති සොල්දාදුවකුට අපි හදිස්සියකටවත් කිව්වොත්, මේ ලියුම තැපෑලට දාලා එන්න කියලා, ඔහු ඒ ගමන්ම යුද හමුදා මූලස්ථානයට පෙත්සමකුත් තැපැල් කරලා එනවා. ඔව්වගේ හැටි ඔහොමයි.

      Delete
    7. ස්තුතියි විවිචාරක තුමා...

      Delete
  15. රටක ආරක්ෂාවට හමුදාව තිබීම දැන් විතරක් නෙමෙයි ඉතිහාසයෙත් තිබ්බ දෙයක්. ඒක රටේ පැවැත්මට ආරක්ෂාවට විතරක් නෙමෙයි ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වයටත් ඉතා වැදගත්. අනික තමා අපේ රටේ යුද්දෙ ඉවරයිනේ කියලා මුලු හමුදාවම ගෙදර යැව්වොත් හදිසි තත්වයක් තුළ රටේ ආරක්ෂාවට එන්නේ කවුද? යුද්ධයක් ඉවර කරාම දැන් ඔබේ රාජකාරිය ඉවරයි. දැන් ඉතින් උඹලාගෙන් වැඩක් නැහැ කියලා අපිට කියන්න බැහැ. හරිනං විය යුත්තේ අපි හමුදාව වෘත්තීය අතින් සහ මිලිටරි අතින් මීටත් වඩා ශක්තිමත් කරලා රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමක්. රට තුළ නැවතත් යුද්ධයක් ඇති වීමට බැරි නැහැ. දෙවැන්න වෙනත් රටකින් ලංකාවට ආක්‍රමණයක් ඇති වීමටත් බැරි නැහැ. තෙවැන්න බාහිර සංවිධානයකින් ත්‍රස්තවාදී ආක්‍රමාණයක් ඇති වීමටත් බැරි නැහැ. සිව්වැන්න අපි බලාපොරොත්තු නොවන වෙනත් ආකාරයකින් රටට නොවුවද පොදුවේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වීමට ද බැරි නැහැ. මේ නිසා දැනට අපි සතුව තියෙන්නේ රට තුළ ඇති වූ යුද්ධය බේරාගැනීමට තරම් වූ හමුදාවක් මිසක් ඔය කියන සියල්ලට සූදානම් හමුදාවක්වත් නොවන බවත් අපි සිහිතබා ගත යුතුයි.....

    ReplyDelete
    Replies
    1. මේ සියල්ලට හේතුව, ඒ ඒ විෂයය ගැන දැනුමක් තිබුනත් නැතත්, සියල්ල විවේචනය කිරීමේ අවලම් පුරුද්දක්, අද අපේ රටේ සෑහෙන දෙනෙකු තුළ තිබීම. නිදහස් මාධ්‍ය තිබෙන නිසා හරි වැරැද්ද කුමක් වුවත් හිතට එන ඕනෙම දෙයක් කියන්න පුළුවන්කම ලැබිලා තියනවා.

      හමුදාව ගෙදර යැවිය යුතුයි කියන්නේ ත්‍රස්තවාදීන් මිස වෙන කවුරුවත් නෙවෙයි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }