හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

01 February 2016

මාධ්‍යවේදියා ! මේ කවුද මොනවද කරන්නේ?


Reporter
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් පිළිබඳව අදහස් දැක්වීමෙන් පසු, ඒ පිළිබඳව විවිධ අදහස්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලත්, සමාජ ජාල වෙබ් අඩවි වලත්, පළවන්නට පටන්ගෙන තිබෙනවා. මාධ්‍ය පිළිබඳව, දේශපාලනඥයන් සිය අප්‍රසාදය පලකිරීම, අපේ රටට පමණක් සීමාවූ තත්වයක් හෝ අද ඊයේ සිදුවන දෙයක් හෝ නොවෙයි. ලෝකය පුරාම, මේ තත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මාධ්‍ය සහ දේශපාලනඥයන් මෙසේ ගැටෙන්නේ ඇයි? මාධ්‍ය සමග ගැටෙන්නේ දේශපාලනඥයන් පමණද? මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ, මේ සම්බන්ධව, පසුගිය වසර 40 ක පමණ කාලයක් තුළ, මා ලබා ඇති අත්දැකීම් ඇසුරෙන්, ඔබ සමග සංවාදයක යෙදෙන්නයි.

   මුලින්ම මගේ සිත ඇදීයන්නේ, අප පාසල් යන කාලයේ, මේ මාධ්‍යවේදීන් පිලිබඳ මතකය වෙතයි. අප පාසල් දරුවන් ලෙස ගතකළ කාලයේ, මාධ්‍ය ලෙස අප දැනසිටියේ, පුවත්පත් සහ ගුවන්විදුලිය පමණයි. නමුත්, ඒවා හැඳින්වීමට, මාධ්‍ය යන වචනය යෙදුනේ නැහැ. අප දන්නා විදිහට, පත්තරවල සිටියේ, පත්තර වාර්තාකාරයෝ සහ පත්තර කර්තෘවරු. ගුවන්විදුලියේ සිටියේ, නිවේදකවරු. (වැඩසටහන් නිෂ්පාදකයන්, තාක්ෂණ ශිල්පීන් ගැන අපි කිසිවක් දැනසිටියේ නැහැ) පුවත්පත් වාර්තාකරුවන් දැක්කෙත් බොහොම කලාතුරකින්. ඔවුන්ට වාර්තා කරන්න දේවල් අපේ ගම්වල තිබුනේ නැහැ. මැතිවරණය හෙවත් අපි දන්නා චන්ද කාලෙට, දේශපාලන රැස්වීම් තියද්දී, ඒවා වාර්තාකරමින් පින්තූර ගන්න, පොත්වවල සටහන් ලියාගන්න කීපදෙනෙක් දැක, ඒ ගැන වැඩිහිටියන්ගෙන් අහලා බැලුවම කිව්වේ, ඒ පත්තර වාර්තාකාරයෝ කියලයි. ජනමාධ්‍ය Mass Media කියන වචනය පවා, පෘථුල ලෙස අපේ සමාජයේ භාවිතයට ආවේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඔස්සේ බවයි මගේ හැඟීම.

Prof.Sunanda Mahendra   මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර වැනි විද්වතුන් විසින්, පුවත්පත් වලට ලියන ලද ලිපි, ගුවන්විදුලියේ ඉදිරිපත් කළ සාකච්ඡා ආදියෙන් තමයි, අපි මේ ජනමාධ්‍ය කියන්නේ මොකක්ද කියා, අවබෝධය පුළුල් කරගත්තේ. ජනමාධ්‍ය යනු, මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවත්, ඒ ඔස්සේ, ඉතා පුළුල් සමාජ කාර්ය භාරයක් සිදුවන බවත් දැනගත්තේ, මෙවැනි විද්වතුන් විසින්, සමාජය දැනුම්වත් කළ, විවිධ වැඩසටහන් මගිනුයි. කෙසේ වෙතත්, අප සාමාන්‍ය පෙළ පාසල් දරුවන් කාලයේ, ජනමාධ්‍ය පිලිබඳ විශ්ව විද්‍යාල පාඨමාලා නොතිබුන අතර, උසස් පෙළ සිසුන් කාලයේ, ඒ පිළිබඳ යම් යම් ඉහළ අධ්‍යයන අවස්ථා තිබුණා. කෙසේ වෙතත්, 1980 දශකයේ අග භාගය වනතුරු, ජනමාධ්‍ය පිලිබඳ උපාධිධරයන් සැළකියයුතු ප්‍රමාණයක්, අපේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ නොසිටි බවයි, මට හිතෙන්නේ.

   ජනමාධ්‍ය යන්න, වඩාත් අර්ථවත් වන්නට හේතුවූ ප්‍රධාන කාරනාව, අන් කවරක්වත් නොව, තොරතුරු තාක්‍ෂණය දියුණුවීම බව, අවිවාදිතයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්;
  • පරිගණකගත පිටු සැකසුම් සහ පරිගණක මගින් පාලනය වන වඩාත් දියුණු, වඩාත් උසස් තත්වයේ මුද්‍රණ ක්‍රම නිසා, පුවත්පත්/සඟරා/වාර ප්‍රකාශන/ ආදියට නව පණක් ලැබුණි.

  • FM තාක්‍ෂණය ලැබීම නිසා, තාක්ෂණික අතින් වඩාත් උසස් තත්වයේ විකාශන හැකියාවක් ලැබීම හේතුවෙන්, ගුවන්විදුලියට නව පණක් ලැබුණි.

  • අප මෙතෙක් දැක නොතිබුණු, එහෙත් කියවා/අසා තිබුණු රූපවාහිණී මාධ්‍යය ලැබීමෙන්, මහජනතාව ඒ මාධ්‍යය සමග දැඩි බැඳීමක් ඇතිකරගත් අතර, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වූ බැවින්, මහජනතාවගේ වැඩි විශ්වසනීයත්වයට පත්වීමට, රූපවාහිනියට හැකිවිය.
   1977 න් පසු, විවෘත ආර්ථිකය මෙරටට පැමිණීමත් සමග, ජනමාධ්‍ය, වෙළඳ භාණ්ඩයක් වශයෙන්, සමාජයේ ඉල්ලුමට පාත්‍රවීමත් සමග, පුවත් සහ තොරතුරු විකිණීමේ කර්මාන්තය, මහා පරිමාණයෙන් වැඩෙන්නට පටන් ගත් බව නොරහසක්. මේ කාලයේදී, වල් පත්තර, මල් පත්තර, ආදී මෙකී නොකී දෑ අහන්නට ලැබුණු අතර, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිණී නාලිකා ආරම්භවීමත් සමග, මේ මහා කර්මාන්තය, ජනසමාජය ගිලගන්නා දැවැන්ත බලවේගයක් බවට පත්විය. 'මාධ්‍යවේදියා' යන වචනය, සමාජය තුළ පැළපදියම් වූයේ, මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

   වර්තමානයේදී මාධ්‍ය අපගේ ජීවිතයට බද්ධවී තිබෙන්නේ, එදිනෙදා ගන්නා ආහාරයක් තරම් සමීපවය. අද, පාසලක පහළ පන්තිවල පවා, 'මාධ්‍ය කව' දැකිය හැකිය. මාධ්‍යවේදියාගේ කාර්යභාරය කුමක්ද යන්න කාලීනව සාකච්ඡා කෙරෙන, (තළුමරමින්, අර හක්කෙන් මේ හක්කට මාරු කරමින් සාරය උරාබොන) මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ, වර්තමාන මාධ්‍ය කලාව, එදිනෙදා ජනජීවිතය කෙරෙහි, දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි. වර්තමාන මාධ්‍ය මගින්, සමාජ කතිකාවත් සඳහා යොමු නොකරන මාතෘකාවක් නොමැති තරම්ය.

   එදිනෙදා සිදුවීම් වලට අමතරව, ඉතා පෘථුල වශයෙන් දේශපාලන සිදුවීම්, ඊට අමතරව ජ්‍යොතිෂය, ඉවුම් පිහුම්, ගෘහ අලංකරණය, විලාසිතා, විවාහය, ලිංගිකත්වය, වෛද්‍යෝපදේශ, වාස්තු විද්‍යාව, ආදී ජනජීවිතයේ සෑම අංගයක්ම ආවරණය වන පරිදි, මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ව්‍යාපාරික ප්‍රජාව විසින්, තම ප්‍රචාරණ කටයුතු සඳහා කෙරෙන මාධ්‍ය භාවිතය, පාඨකයාට/ප්‍රේක්ෂකයාට හිරිහැරයක් වන තරම් ඉහල මට්ටමකට පැමිණ තිබේ.

   මාධ්‍ය තරගය අපේ රටට පැමිණියේද, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිණී නාලිකා බිහිවීමෙන් පසුව බව පැහැදිළි වෙයි. සියල්ලට මුල් වන්නේ මෙම මාධ්‍ය තරගය බවට, හොඳම නිදසුනක් වන්නේ, පසුගිය කාලයේදී, විවිධ මාධ්‍ය ආයතන අතර, සීතල යුද්ධ ස්වභාවයෙන් මෙන්ම, එළිපිටම සිදුවූ ගැටුම්/අපහාස/උපහාස/මඩ ගැසීම්/ හේතුවෙනි.

   අපේ රටේ දේශපාලනය සහ මාධ්‍ය අතර සම්බන්ධයට සෑහෙන ඉතිහාසයක් තිබේ. මාධ්‍ය මර්දනයටද එවැනිම ඉතිහාසයක් තිබේ. අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (දවස නිවස) මුද්‍රා තැබීම, මාධ්‍ය මර්දනයේ අතීත සිදුවීමකි. 1977 න් පසු, මාධ්‍ය මර්දනය දැඩිව ක්‍රියාත්මක වූ බව අපි දනිමු. විධායක ජනාධිපති තනතුර ඇතිවීමෙන් පසු පත්වූ ජනාධිපති වරුන් අතරින්, මාධ්‍ය මර්දනයට හවුල් නොවූයේ, ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා පමණකැයි සිතමි. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා මාධ්‍ය මර්දනය කරන බවක් පෙනෙන්නට නැත.

   මෙතැන්සිට මා මාධ්‍යවේදීන් පිළිබඳව මට ඇති පෞද්ගලික අත්දැකීම් කීපයක් සඳහන් කරන අතර, එයින් මා අදහස් කරන්නේ, සෑම මාධ්‍යවේදියාම මේ හා සමානයයි කීම නොවේ. මාධ්‍ය පිළිබඳව ඇති විශ්වාසය සහ සදාචාරාත්මක බව කෙළෙසන්නන් නිසා, සමස්ත මාධ්‍ය කලාවම ගර්හාවට ලක්වෙයි. පසුගිය යුද සමයේදී, උතුරු නැගෙනහිර සංග්‍රාම භූමියේ තොරතුරු වාර්තා කිරීමට පැමිණි, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් ගෙන් අති මහත් බහුතරයක්, සංග්‍රාමික කටයුතු වාර්තා කිරීම war correspondence පිළිබඳව, මෙලෝ හසරක් නොදන්නවුන් බව පැහැදිලිවම පෙනුනි. රාජ්‍ය මාධ්‍ය ඇතුළු, කිසිදු මාධ්‍ය ආයතනයක්, තම මාධ්‍යවේදීන්ට, මේ සඳහා දේශීය සහ විශේෂයෙන් විදෙශීය වශයෙන් කිසිදු පුහුණුවක් ලබාදුන් බවක් මගේ දැනීමේ හැටියට නැත. මේ හේතුවෙන්, විදේශීය ප්‍රවෘත්ති ආයතන, අපේ රටේ මාධ්‍ය ආයතන ගැන විශ්වාසය නොතැබීමෙන්, LTTE සංවිධානයට වාසිවන ආකාරයේ ප්‍රවෘත්ති, ජාත්‍යන්තර වශයෙන් පලවිය.

මෙහි තවත් ප්‍රතිඵල වූයේ;
  • ත්‍රිවිධ හමුදාවේ අපි කියන ඕනෙම දෙයක්, ඒ විදිහටම ඉදිරිපත් කරන මාධ්‍ය ගිරා පෝතක පිරිසක් ඇතිවීම.

  • එක් එක් ප්‍රතිරූප පිම්බීම, සඳහා මහජන මුදල් වැයකරමින්, මාධ්‍ය සංදර්ශන පැවැත්වීම.

  • දෙවැනි මට්ටමේ හමුදා ප්‍රධානීන් තුළ ද, ප්‍රතිරූපය පුම්බාගැනීමේ අභිලාශයක් ඇතිවීම හේතුවෙන්, ඒ ඒ හමුදා ප්‍රධානීන්, (යුද හමුදාවේ සේනාංකාධිපති වරුන්, බලසේනාධිපති වරුන්, ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ඒ හා සමාන නිළධාරීන්) තමන්ව පුම්බන මාධ්‍ය කණ්ඩායම් තබාගැනීම.

  • සමහර මාධ්‍යවේදීන්, ත්‍රිවිධ හමුදාවේ සමහර ඉහළ නිලධාරීන්ව, තම පන්ති සගයන්ගේ මට්ටමෙන් ඇසුරු කිරීම නිසා, ත්‍රිවිධ හමුදාවේම සමහර මාණ්ඩලික නිලධාරීන්ට, එම මාධ්‍යවේදීන්ගේ අතවැසියන් ලෙස ක්‍රියා කිරීමට සිදුවීම.

  • මා පෞද්ගලිකව හොඳින් දන්නා හඳුනන එක්තරා මාධ්‍යවේදියකු, එක්තරා හමුදාපති කෙනෙකුට කොතරම් සමීපව සිටියේදයත්, අපට, එම මාධ්‍යවේදියා සිටින තැන, කට පරිස්සම් කරගැනීම පිළිබඳව ඉතා සැළකිල්ලෙන් කටයුතු කිරීමට සිදුවිය. අපිට වාතයක් ගියත්, ඒ 'මාධ්‍යවේදියා' එම සිද්ධිය, සමහරවිට අර හමුදා ප්‍රධානියාගේ පෞද්ගලික නිවස්නය වෙත ගොස්, වහාම වාර්තා කිරීමට පුරුදුවී සිටියේය.

  • යුද සමයේදී උතුරු නැගෙනහිර හමුදා කඳවුරු වලට පැමිණි සමහර මාධ්‍යවේදීන්, ඉහළ නිළධාරීන්ට කෙසේ වෙතත්, අපටනම් මහා හිසරදයක් විය. හමුදාවෙන් කන්න බොන්න හුරුවූ සමහර අය, තමන්ගේ සේවය ඇගයීමක් වශයෙන් හමුදා කඳවුරු වලින් ඔවුන්ට අහාර සහ නවාතැන් දෙන බව අමතක කර, පහළ මට්ටමේ අපේ නිලධාරීන්ට 'ජාති දාන්නට' පවා පෙළඹුණි. ඕනෙවට වඩා වැඩිනම්, ඒවා අඩුකරනහැටි අපි දන්නා බව ඔවුන්ට කියාදීමට සිදුවිය. හමුදාවේ නිළධාරි නිවස්න වල ඔවුන්ට නවාතැන් දීමෙන් මහා හිරිහැර ඇතිවිය. තමන්ට ලබාදුන් කාමරයේ නොසිට, උඩුකය නොවසා, සරම පිටින් එළියේ ඇවිදීම, නිළධාරීන්ගේ භෝජන ශාලාවේදී, ආහාර ගන්නා අවස්ථාවේදී, මේසයකට නිසි පරිදි වාඩිවී, මහත්වරුන් මෙන් ආහාර නොගෙන, මුළු භෝජන ශාලාවටම ඇසෙන පරිදි මහ හඬින් කතාකිරීම, හමුදාවේ සුළු සේවකයන් තමන්ගේද සේවකයන් යයි සිතීම හා ඔවුන්ට අවමන් කිරීම, බැණවදීම, තමන්ට දරාගත නොහැකි තරම් මත්පැන් පානයකොට, බලු පදමට පත්ව විකාර කිරීම, සෑම නිළධාරියකුටම මචං කියා ඇමතිය හැකියැයි සිතීම. (අපි සෑමවිටම ඔවුන්ට මිස්ටර් කියා ආමන්ත්‍රණය කළෙමු) කඳවුරකට ඇතුළුවීමට/පිටවීමට නොහැකි අවස්ථා වලදී, ඇතුළුවීමට සහ පිටවීමට උත්සාහ කිරීම සහ ආරක්ෂක හේතු නිසා එයට අවසර නොදුන්විට, ඉහළ පෙළේ දේශපාලනඥයන්ට දුරකථන ඇමතුම් ලබාදී, අපට බලපෑම් කිරීම, උදාහරණ කීපයකි.   

  • සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට ආරක්ෂක තොරතුරු ලිපියක් ලියූ මහා මාධ්‍යවේදියකු, වරක් මගෙන් රට කුණුහරප අහගත්තේ, වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේදී, එවකට යුද හමුදාපති වරායව සිටි, ජෙනරල් ශ්‍රීලාල් වීරසූරිය විසින් ප්‍රධානත්වය ඉසිලු, හමුදා සාකච්ඡාවක දී, කතාකලේ මොනවාද යන්න, මගෙන් හාර හාරා අසන්නට යාම නිසාය. මේ සඳහා ඔහු, මුලින්ම මට තෑගිබෝග දෙන්නට උත්සහ කල අතර, ඒවා ආපසු හරවා යැවීමෙන්, මම අල්ලසෙන් බේරුනෙමි.

   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍ය මර්දනයක් දියත් කලාද? මාධ්‍ය වලට අභියෝග කරන්නට කිසිවකුටත් නොහැකි යයි මාධ්‍ය සංවිධාන කියයි. ඔවුන් එසේ කියන්නේ කුමන පදනමක සිට ද? මාධ්‍ය මගින් වක්‍රාකාරයෙන් රටේ අධිකරණය, නීතිපති, පවා විවේචනය කරන්නේනම්, මාධ්‍යවල ක්‍රියාකලාපය පිලිබඳ විවේචන එල්ල කිරීමට කිසිවකුටත් අයිතියක් නැතිද? පවතින සෑම රජයකටම, පක්ෂපාතී වන්දිභට්ට මාධ්‍ය ආයතන සහ, සෑමවිටම විරුද්ධවන මාධ්‍ය ආයතන මෙන්ම, බොහෝදුරට මධ්‍යස්ත මාධ්‍ය ආයතන, කාලීනව තම ප්‍රතිපත්ති වෙනස්කරන මාධ්‍ය ආයතන, තිබෙන බව අපි දනිමු. රටේ ජනාධිපතිවරයාව, හරකා, බල්ලා, බූරුවා, වැනි වචන වලින් අපහාසයට ලක්කරන්නට, කාටූන් අඳින්නට, මාධ්‍ය වලට නිදහස ඇත්නම්, සමහර මාධ්‍යවේදීන්ගේ සදාචාරාත්මක නොවන, යටිකූට්ටු, විරුද්ධවාදී දේශපාලකයන්ගේ කාලසටහන් ක්‍රියාත්මක කෙරෙන, චර්යාවන් විවෙචනය කිරීමය අයිතිය ඇත්තේ කාටද? මේ ගැන ඔබේ අදහස් සමග අපි සංවාදයක යෙදෙමු.

   FM නාලිකාවල සිටින නිවේදක නිවේදිකාවන් යයි කියාගන්නා, බාල බොළඳ සිඟිත්තන් සිඟිත්තියන්, බහුකාර්ය තමෝපකාර = තමන්ටම උපකාර කරගන්න නරි නාටක චරිත, මේ ලිපිය ලිවීමේදී සිතාමතාම අමතක කළේ, ඔවුන් පිළිබඳව සාකච්ඡා කිරීම කිසිදු ඵලයක් නැති බැවිනි.

2016 පෙබරවාරි මස 01 වැනි දින 0904 පැය

71 comments :

  1. මාධ්‍ය කියන්නේ මුදලට වැඩ කරන ඇත්ත හංගා බොරු ප්‍රචාරය කරන පාඨකයන් නොමග යවන පිරිසක් බව ලියන්න මට හේතු ගොඩක් ඉදිරිපත් කරන්න පුළුවන්. සමහර 'මාධ්‍ය කරුවන්' ව්‍යාපාරිකයින් ගෙන් මුදල් ලබා ගෙන බොරු ලියන්නන්. එක ඉංග්‍රීසි පත්තරයක මාධ්‍ය (මඩ )වේදිනියක් මැද පිටුවේ 'මහා හෙලිදරව්වක්' කරන්න මිලියන දහයක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. මම නොලියා අතහැරිය කොටස් බොහොමයි. අනේ අනිච්චං කියලා තමයි කියන්න වෙන්නේ මේ සත්ව කොට්ඨාශයේ සමහර සත්වයන් ගැන බලනකොට.

      Delete
    2. මිලියන දහය කියන වචන දෙක දැකල මේ ලිපිය කියවන කවුරුහරි පොඩ්ඩෙක් ලොකුවෙලා පත්තරකාරයෙක් වෙනව කියල ඉටා ගත්තොත් විචාරකගෙ ලිපියෙන් වැඩක් වුනා කියල හිතෙනව. දොස්තරකෙනෙක් වෙනව වගේද හොද පත්තරේකට විශේෂයෙන් ඉංග්‍රීසි පත්තරේකට ඔළුව දාගත්තොත්.

      Delete
  2. විචෝ.. අපි සේරම අනාථ වෙලා නේද... ප්‍ර ක්‍ර ත්‍ර ස්‍ර දැං වදින්නෙ නැහැනේ.. මොකද බං ඒ... සමස්ථයටම බලපා ඇති තත්වයක්..

    ReplyDelete
    Replies
    1. මේක Chrome වල විතරක් තියෙන අවුලක්. Firefox/IE භාවිතා කර බලන්න.

      Delete
    2. ක්‍රෝම් එකෙත් දැන් හරි වගෙ නේද?

      Delete
    3. යකෝ දේශ්, මම හිතුවේ මේක මට විතරක් තියන ලෙඩක් කියලා. මම ක්‍රෝම් එක තුන් පාරක් අන්ඉන්ස්ටෝල් කළා. registry edit ගිහිල්ල ඔක්කොම මැකුවා. input tools එකත් ඒ විදිහටම අයින් කළා. නමුත් හරිගියේ නැහැ. virus හෝ worm කියලා හිතලා මැෂින් එක ෆෝමැට් කරන්නයි හිතාගෙන හිටියේ. හොඳ වෙලාවට උඹ මේක කිව්වේ. මම නිමෝගෙන් ඇහුවමත් කිව්වේ අන්ඉන්ස්ටෝල් කරලා ආයේ දාන්නයි, input language එක English UK කරන්නයි කියලා. නමුත් එකක්වත් හරිගියේ නැහැ. අටමා කිව්වා Sinhala Tamil IME Kit එක දාන්න කියලා. ඒත් හරිගියේ නැහැ.

      firefox එකේ හොඳට පේනවා. කවුරුහරි මේක ගැන දන්නා කෙනෙක් අපිට උදව් කරනවානම් හොඳයි.

      රවී, තවම හරිගිහින් නැහැ.

      Delete
    4. @විචාරක, අපරාදේ මහන්සිය! මම නම් කලේ වෙන browser එකක් ඇරලා බලන එක. Software issue එකක් හඳුනාගන්න පුළුවන් සරළම මුලධර්මයක් තමා reproduce issue with an alternative software කියන්නේ.

      මට තේරෙන විදියට මේක Chrome වල UTF-8 characters render කිරීමේ ප්‍රශ්නයක්. Chrome එකට issue එකක් report කලා. සමහරවිට ඔවුන් මේක දැකල නිවැරදි කරයි.

      Delete
    5. මමත් මේ ලෙඩේ ආවගමන් ෆයර් ෆොක්ස් එකට ගිහින් බැලුවම තේරුණා බ්‍රව්සර් එකේ වරදක් කියලා. නමුත් නිමෝ කිව්ව වැඩෙත් කරලා බලන්න හිතුනා.

      Delete
    6. අපේ ඔෆීසියේ කොල්ලෙක් නිකන් බැනුම් ඇහෙව්වා. පව් බන් ඌ නිකන් බැනුම් ඇහෙව්වේ...

      Delete
    7. ඕව එකක් වත් හරියන්නෙ නෑ.මටත් මේ ඩබල් ලෙඩේට දීපු එක බේතක් වත් හරිගියේ නෑ

      Delete
    8. කම්මලාගේ ප්‍රශ්නය ඇර අනිත් ඒවා විසදා දෙනු මැනවි දෙවිදුනි.. බුදුනි ජේසුනි හැට හුටාමාරක් ආගමික නියෝජිතයිනි.. හැක්

      Delete
    9. ඔක්කොමලා රිපෝට් කරන්න ක්‍රෝම් එකට ගිහින්. මමත් රිපෝට් කළා.

      Delete
    10. මමත් රිපොර්ට් කළා.. ලෙඩේනම් තාමත් එහෙමමයි.. IE එකේ ගින්දර වගේ වැඩ.. ඒත් ඒ මගුලට යන්නවත් හිතෙන්නෑ...

      ලොකුම අවුල තියෙන්නේ ෆෝන් එකෙන් කමෙන්ට්ස් දානකොට.. හෙළ කුරු වලින් ක්‍රෝම් එකේ ලියනකොට ෆුල් මංඥන් වදින්නේ......

      Delete
  3. මීඩීයා කියන්නේ අද තියෙන හොඳම බිස්නස් එක...

    බිස්නස් වලදි ආචාර ධර්ම නැත...

    ReplyDelete
    Replies
    1. අම්මපා එකනම් ඇත්ත. රේප් කේස් එකක් වෙනතුරු බලාඉන්න 'මාජ්ජ වේජියෝ (සියෝ)' ඉන්න රටක් හෙවත්, අර උඹ කියනවා වගේ, අම්මටසිරි ලංකාවනේ මේක.

      Delete
  4. විචාරක නමින් තමන් හඳුන්වාගනිමින් බ්ලොග් මාධ්‍යවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයෙක් දැනට වසර කිහිපයක සිට නිවැරදිව සපත්තු මැදීම, ගැලපෙන ඉන පටි පැළඳීම ඇතුළු අතිශය සංවේදී රාජ්‍ය රහස් නිරාවරණය කරමින් සිටින අතර බ්ලොග් මාධ්‍ය සදාචාරය හා රටේ භෞමික අඛන්ඩතාවය අමු අමුවේ උල්ලංඝණය කරමින් මෙම කුප්‍රකට මාධ්‍යවේදියා විසින් මේ ගෙනයන වැඩපිළිවෙල වහාම හකුලා නොගතහොත් බ්ලොග් පොලිසිය මගින් නීතිය ඉදිරියට පමුණුවා ජීවිතාන්තය දක්වා පරිගණක තහනමක් පැනවීමට කටයුතු සිදුවිය හැකි බව වාර්තාවේ...

    - පුවතක්

    ReplyDelete
    Replies
    1. අනේ මාවත් යෝෂිත ඉන්න කූඩුවටම දායිද ඈ? පොහ්..........කොච්චර ආඩම්බරයක්ද එවැනි අභීත රණවිරුවකු සමග එක බෙලෙක් පිඟානේ හිරබත් කන්න ලැබීම.

      Delete
  5. / අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (දවස නිවස) මුද්‍රා තැබීම, /

    එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම කියන්නෙ විචා ලේක් හවුස් එක. දවස ගැහුවෙ ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන්.

    ඒ දවස්වල ඔය ප්‍රවෘත්තිපත්‍ර සමාගම් වලට උපහාස නම් පටබැඳල තිබ්බා.

    ලේක් හවුස් = බේරේ ගෙදර,
    ටයිම්ස් සමාගම = සමයං ගෙදර,
    දවස නිවස = මඟුල් ගෙදර

    ReplyDelete
    Replies
    1. දහස් වාරයක් ස්තුතියි රවී, මේ නිවැරදි කිරීම ගැන. (දැන් මොලේ සමහර නහර වේලිලා. හරියට සර්කිට් එක වැඩ කරන්නේ නැහැ. :e)

      දැන්නම් ඔය හැම ගෙයක්ම සමයං ගෙවල් තමා.

      Delete
    2. ටයිම්ස් මන්දිරයට හොල්මන් මන්දිරය කියලත් කිව්වා නේද ?

      Delete
  6. ඉතා වැදගත් ලිපියක්.

    ReplyDelete
  7. දැන් තියෙන මීඩියා අපි ඔය මාධ්‍ය යැයි කියන දේට වඩා වෙනස් ඒකක් මගේ හිතේ........ මේක බිස්නස් ඒකක්... ඩීල් ඒකක්.... ෆිට් ඒකක්..... වරද මේකයි....

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙවෙයි, ප්‍රවෘත්ති වෙනුවට කුණු රසය විකුණන කඩවල් මෙව්වා.

      Delete
  8. සර්! මේක පට්ට.. කියන්න ගොඩක් දේවල් කටට එනවා.. ඒත් කියන්න බෑ. :)

    ReplyDelete
    Replies
    1. මම දන්නවා කල්‍යාණ. මුණගැහුණු දවසක හරි කියමු.

      Delete
  9. "සරත් ෆොන්සේකා මගෙන් පළිගත් සැටි" වැනි මාතෘකාවකින් පසුගිය කාලයේ මුහුණු පොතේ ලිපියක් පලකලේ ඔබ පවසන මාධ්‍යවේදීන්ගෙන් කෙනෙක් වෙන්නට ඇතිය කියා හිතනවා.( කස්තුරි මුවා සිහිවෙන නමක් ඇති)

    ReplyDelete
    Replies
    1. කස්තුරි මුවා ඒ කාලෙ දිවයිනේ හැම දාම අහවලාට ප්‍රමෝෂන් ප්‍රමාද ඇයි.අහවල් තනතුර අහවලාට දෙන්න තිබුනෙ කියමින් බැලුම් පුම්බ පුම්බ හිටියෙ. ඔය නිළධාරීන් කස්තුරි මුවා වගෙ අයට දොළ පිදේනි දීල ඕව පලකරවගන්න ඇති. මාධ්‍ය රස්සව මාර වාසනාවන්තයි .යන යන තැන හොද්ද බොරයි. ඉන්ටවීව් වලදි ඔයා මාධ්‍යයට සමීප නෑ කියන්නෙ ඇත්තද කියල චෝදනා කරනවා.ඒ කියන්නෙ පාටි දෙන්නෙ නැති අයට. රටබීම ,ලියුම් කවර සහිත ආතල් ජොබ් එක.
      අපි මාධ්‍ය සාකච්ඡාවක් තියන්න ගියාම කෙලින්ම කිව්ව සලකන්න ඕන විදිය.කෑම පවා කෙලින්ම ඉල්ලුව. ඒක අපටත් පහසුවක් වුනා.
      මොනව කලත් මුන් නැතුව නම් සමාජයට පැවැත්මක් නෑ. පුද්ගලයා සහ සෙසු සියල්ල අතර සම්බන්ධීකරනය කරන්නෙ මුන් .ඒ කියන්නෙ කපුවගෙ ,පූජකයගෙ කාර්යභාරය.

      Delete
    2. @ jay-c z
      අර කියමනක් හියනවනේ කලකදී රසලු කලකදී වස වෙනවාලූ කියලා. අන්න එක තමයි එයාටත් වුණේ.

      @ සිව්වැනි මානය
      මම හිතන්නේ එයා ඒ කාලේ නිළ නොළත් හමුදා ප්‍රකාශක වගේ හිටියේ. අන්තිමට පුක බිම ඇණගෙන මාරුවුණා.

      Delete
  10. අම්මා තාත්තා උනත් විකුණලා කීයක් හරි හොයා ගන්න උන් ඉන්න සමාජෙක ඕක විතරක් බේරිලා තියෙයිද කියන එකයි සැක.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත. උනුත් මේ සමාජයේම කොටසක් මිසක් ආයේ අඟහරු ලෝකෙන් ආව එවුන් නෙවෙයිනේ.

      Delete
  11. හෙලූ… කව්ද මේ මාෂි එක්ක එකතු වෙන්නේ.

    ආයිබෝං කිව්වා මිසී.. මං මේ විචාරක ලොක්කා නෙවැ.මට දෙන්ඩකො නම්බරයක් නිකං සුගත ලෝනා - සම්බුද්ධ රාජා වාගෙ..අල්ලල යන්ඩ රෙෂ්පට් එකට.නහින දෙහින කාලෙ නෙවැ ..ඕ යේස්

    ඕකේ..ඒක නම් නෑ අපි දෙන්නං අපේ ටොප් චාට් එකේ නෙක්ස්ට් සෝං එක.. තව කව්ද අපේ ෆෑන්ස්ල එකතු කරගන්නේ මේ රික්වෙස්ට් එකට.ඔයා අපේ ෆෑන් පේජ් එකට ලයික් කරා නේද ?
    හැක හැක

    ReplyDelete
    Replies
    1. හෙලෝ හෙලෝ නම මොකද්ද ඔයාග
      කෝලර් කෙනෙක් ඉන්නවා බලාගෙන
      ඔබේ ලයිෆ් එක බෝරිං වෙනකොට
      කෝල් ෆන් එකට සෙට් වෙන්න

      රටටම අහන්න නම ගම කියන්න
      ලයිෆ් එකේ ඇරියස් නැති කරගෙන
      අලුත්ම සින්දුයි අපි ලග තියෙන්නේ
      කාටත් කලියෙන් අපෙන්ම අහන්න …

      චිත්‍රපටය - heart fm / ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්

      Delete
    2. හෙලුවෙන්ද මාෂි ඔයා ඉන්නේ? ඒක තමයි මේ රේඩියෝ එකේ ස්පීකර් එහෙන් ගඳක් එන්නේ.

      අනේ පත්තරයෝ ඔය ජාතියේ එකෙකුට කුණුහරපෙන් බැණීමත් උන්ට නම්බුවක්.

      Delete
  12. මාධ්‍ය කියන්නෙ හතරවෙනි ආණ්ඩුව ඒ හින්දා කෙමෙන්ටු උනත් දාන්නේ බලාගෙන

    ReplyDelete
    Replies
    1. මට දුක ගුණසිංහ මහත්තයෝ, මේ අම්බරුවෝ, තමන් උම්බෑ කියන ගමන්, අනික් අය අම්බරුවන් කියලා හිතීමයි.

      Delete
  13. විචාරක කියා ඇති දේ සත්‍යයි. එසේම ඔහු මේ අය ගැන කිව යුතු සමහර ඍනාත්මක දේවල් නොකියා ඇතිබවද මට සිතේ. අත යට ගනුදෙනු හා වෙනත් බොහෝ ජාවාරම්වලට මොවුහු සම්බන්ධවන්නට ඇත.

    නමුත් මාධ්‍යවේදියා යනු අරුම පුදුම සත්වයෙකි. ඔහුට ඕනෑම ලොක්කෙක් සමග ක්ලාස්මේට් කෙනෙක් මෙන් ආශ්‍රය කල හැක. ලොක්කන් ඔහු මත යැපෙන්නට උත්සාහගත්තොත් මෙය කොතනින් නතර වේදැයි කිව නොහැක. යුද්ධය පැවතිකාලයේ නිළධාරීන් ගැන වර්නනා සුලබ විය. යම් පත්වීමක් ,උසස්වීමක් ආදියට නිර්දේශකරන්නේ මේ අයයි.ඇත්තෙන්ම මේ නිසා මාධ්‍යවේදියා යනු ඉතා බලසම්පන්න කෙනෙකි.එසේම වාසනාවන්තය. මෙම උදාහරනයේදී ඔහු හමුදාවේ ඉහල නිළධාරීන් සමග යහළුවන් සේ ඇසුරුකර ඇත්තේ එබැවිනි.ඊට කරන්නට දෙයක් නැත.

    නමුත් හමුදාව වැනි ආයතනයක මේ තත්වය පහල නිළධාරීන්ට යම් අපහසුවකි.මාධ්‍යවේදියාට හමුදාවේ රෑන්ක් එකක් ඇද්ද. වෘත්තිකයන් හමුදාවට බදවාගන්නේ කෙලින්ම ලුතිනන් කර්නල් නිලයටය. වෙනත් නිළයන් මාධ්‍යවේදියාටද මේ මට්ටමින් සලකනවානම් අවුල්ද

    එහෙත් මාධ්‍ය රාජකරියේදී මෙම මට්ටම්වලට වඩා ඔහු වෙනත් ඕනැම ලොක්කෙක් හා ඇසුරුකරන ලෙසින් හමුදා ලොක්කන් සමගද ඇසුරුකිරීමට යාමෙන් පහල නිලයන්හි සිත් රිදුනා විය හැක.එහෙත් එයට කරන්නට දෙයක් නැත. මාධ්‍යවේදියා හමුදාපති සමගද ගනුදෙනු කරන්නේ සමානයෙක් ලෙසය.ඔහුට හමුදා සම්ප්‍රදායන් වලංගු විය යුතුය කියා යෝජනා කිරීම අසාධාරනය.

    මාධ්‍යවේදීන් යනු කිසිවක් ගනන් නොගන්නා වගේ වගක් නැති පිරිසකි. ඔවුන්ට මැනස් කියා දෙයක් එහෙමට නැත. විනයගරුක නිලධරයන් අතරට මාධ්‍යකරුවන් දැමූ විට එය කැපී පෙනේ.ඔවුනට තැන නොතැනක් නැත. කරන නොකරන දෙයක් නැත.කියන නොකියන දෙයක් නැත. රැයක් දවාලක් නැත.

    පහල නිලයන් විශේෂයෙන් සෙබලුන්ට ගෙම්බර් දැමීම බලාපොරොත්තුවිය යුත්තකි. එය ඉතා අවාසනාවන්තය.පසුගිය කාලයේ එක්තරා භික්ෂුවකගේ උපන් දින සාදයක වැසිකිලි පිරිසිදුකිරීමද සෙබලුන්ට බාර විය. මෙවැණි ආවතේව කල සෙබලුන්ට පාටියට ආ අය සලකා ඇත්තේ පහත් අන්දමිනි.කනගාටුදායකය නමුත් කරන්නට දෙයක් නැත.

    පසුගියකාලයේ (සේයා සිදුවීම ) රට ගිනිතබමින් මොවුන් හැසිරුන පහත් විලාසය කාට අමතකද.එසේම තමන් ප්‍රියකරන එකා ඔසවා තැබීමත් අප්‍රිය කරන එකා සුන්නද්දූවිලිකිරීමත් මොවුන්ගෙ සිරිතය.

    එහෙත් ජනතවාගේ නියෝජිතයන් යනු මාධ්‍යයයි. මාධ්‍ය නොමැතිව සමාජයට කිසිවක් කල නොහැක. හඩක් නොමැති සමාජයේ හඩ වෙමින් ඔවුන් කරන කාර්යභාරය නොවන්නට සමාජයට කුමකින් කුමක් වෙයිද.මෙන්න මේ නිසයි මොවුන්ගෙ සැම වරදක්ම අප ඉවසිය යුත්තෙ. මේ අය නැත්නම් කිසිවෙකු වැරදි කරන්නට බිය නොවනු ඇත.

    එක් වාක්‍යයකින් කීවොත් මාධ්‍යවේදියා යනු අපෙන් එකෙක් නොවේ. අපට වඩා ඉහලින් සිටින්නෙකි. ඔහු එසේ ඉහලින් සිටින්නේද අපේ පැවැත්ම උදෙසාය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ දීර්ඝ අදහස් දැක්වීම ගැන.

      මේ ලිපිය කොටස් තුනකට පමණ දීර්ඝ කර ලියන්නට තරම් තොරතුරු සහ අත්දැකීම් මා සතුව තිබෙනවා. කලින්, විශාල වශයෙන් සැලසුම් නොකොට, පරිගණකය ඉදිරිපිට වාඩිවූ මොහොතේ සිතට ආ දේවලින් කොටසක් ලිව්වා.

      ක්ලාස්මේට් කතාවට හොඳ උදාහරණයක් මේ දිනවල සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහන මෙහෙයවන නිවේදකයා/ඉදිරිපත් කරන්නා. ඒ වැඩසටහනට සහභාගිවන සියලු දෙනා, ඔහුගේ මිත්‍රයන් ලෙසයි හඳුන්වන්නේ. ඒ සියලු දෙනාට, ඒ අයගේ මුල් නමෙන් තමයි අමතන්නේ. මෙයින් මෙම නිවේදකයා අදහස් කරන්නේ, තමන්, සමාජයේ බලගතු පුද්ගලයන් හඳුනන ලොක්කෙකු බව, ප්‍රේක්ෂකයාට අවධාරණය කිරීමයි.

      හමුදාවේ නොව ජනාධිපති සමග වුවද මාධ්‍යවේදියකු යහළුවන් ලෙස ආශ්‍රය කිරීමේ වරදක් නැත. වරද වන්නේ, එම යාලුමිත්රකම උපයෝගී කරගෙන, තම ප්‍රවෘත්ති ආයතනයට වැඩි වාසි සලසාගන්නට, තමන්ට හමුදා වාහනයකින් එහෙ මෙහෙ යන්නට, අතිශයින් රහසිගත ස්ථානයක් වන හමුදා ක්‍රියාන්විත මැදිරියකට ඇතුළුවී එහි පින්තූර සහ තොරතුරු ගන්නට උත්සාහ කිරීමයි. ඒ අමනකම සහ නොදන්නාකම විනා, අන් කවරක්වත් නොවේ.

      ඔවුන්ට මැනර්ස් කියා දෙයක් නැත. නමුත් සමාජයට පෙන්නන්න හදන්නේ සදාචාරයේ අගයයි. අන්න එතනින් තමා ඔවුන්ගේ හෙළුව එලියට එන්නේ. හොඳට බිව්වට පස්සේ මේ අයගෙන් බහුතරයකගේ හැසිරීම වීඩියෝ කරලා පෙන්නුවොත්.........? ඉස්සර ලංකා ගුවන්විදුලියේ හිටියා නිවේදකයෙක් බෞද්ධ වැඩසටකන් මෙහෙයවන. ඔහුගේ කටහඬ ඇසුන ගමන් උපාසකම්මලා සාදු කියනවා. නමුත් ඔහු ඒ වැඩසටහන් මෙහෙයවන්නේ හොඳට බීලා.

      අපේ කඳවුරක් ඇතුලේ, අපේ සොල්දාදුවන්ට හෝ සිවිල් සේවකයන්ට ජාති දන්නට එකෙකුටවත් ඉඩ දෙන්නේ නැත. ඇමතිවරුන් ආවත්, ඇමති ආරක්ෂකයන්ට තමයි අපි කියන්නේ, මෙහෙම කරන්න කියා. සිවිල් සේවකයන් පාවිච්චි කරන්නේ, සංග්‍රහ කටයුතු/සේවා කටයුතු සඳහා පමණයි. අමන දේශපාලකයන්ට මුට්ටි ඇල්ලූ හමුදා ලොක්කන් තමා, සොල්දාදුවාගේ නම්බුව කෑවේ.

      මාධ්‍යය සමාජයට අත්‍යවශ්‍ය නහර පද්ධතියක් බව අවිවාදිතයි. ජාත්‍යන්තරය සමග සසඳා බැලීමේදී අපේ බහුතරයක්, මාධ්‍යවේදීන් නොව නිකම්ම නිකම් පුස්සෝය. ජනමාධ්‍ය උපාධිය, දඩයම් බලපත්‍රයක් ලෙසත්, මාධ්‍යවේදී හැඳුනුම්පත පෙන්වා, නිදන කාමරයක සිරින ජෝඩුවකගේ පින්තූර ගතහැකි බවත් සිතන අමනයෝද, මේ අතර සිටිති. කුණු රසය පමණක් ඉස්මතුවන, බොළඳ බව පමණක් ඉස්මතුවන, මොනවා හෝ ලියා, මොනවා හෝ පෙන්වා, ඔන්න මම අද දවසේ ටාගට් එක කවර කළා කියන, අමන හැඟීමෙන් කටයුතු කරන පිරිස වැඩියි. තම දැනුම සහ අත්දැකීම් දියුණු කරගන්නට, ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් ක්‍රියාකරන ආකාරය අධ්‍යයනය කරන්නට මොවුන්ට උවමනාවක්, භාෂා දැනුමක්, පුරුද්දක්, නැත.

      මොවුන්ගේ ලොක්කන් කොපි කරන්නේ BBC, CNN, FOX, AOL, Al Jazeera, වැනි ආයතන වල මැදිරි ආකෘතිය, ගෘහ භාණ්ඩ, ආලෝකකරණය, සිරස්තල යෙදීම වැනි දේ පමණි. ඒ නාලිකාවල ඉදිරිපත් කරන ප්‍රවෘත්ති වල ඇති ගුණාත්මක භාවය, ප්‍රමිතිය, භාෂාව හැසිරවීම, අපක්ෂපාතී බව, කිසිවක් උකහා නොගනිති. ඊයේ පෙරේදා සිංහල පත්තරයක සිරස්තලයක් තිබුනා 'ආනයනික සහල් බද්ධ වැඩිකරයි' කියා. මේ පත්තරයේ උප කර්තෘවරුන් ලෙස ඉන්න අම්බරුවන් මේවා බලන්නේ නැද්ද? බද්ද සහ බද්ධ යන වචන දෙකේ වෙනසවත් නොදන්නා, එහෙත්, තම මොලය තැලෙන එක වලක්වාගැනීමට, තම ජනමාධ්‍ය උපාධි සහතිකය මත වාඩිවී සිටින මේ අම්බරුවන් ආපහු කමතටම යැවීම නේද සුදුසු?

      මාධ්‍යවේදීන් කරන කිසිදු වරදක් ඉවසිය යුතු නොවේ. නොපමාව එයට එරෙහි වියයුතුයි. ලෝකයේ දියුණු රටවල පාසල් දරුවන් පවා, තම රටේ නායකයා වුවද වරදක් කලානම් එය ප්‍රසිද්ධියේ පෙන්වීමට පසුබට නොවේ.

      මාධ්‍යවේදියා යනු, ජේම්ස් බොන්ඩ් මෙන්, මරන්නට බලය සහිත licence to kill වර්ගයේ අති විශේෂ, සුපිරි පුද්ගලයන් නොවේ. ඔවුන් සිටියයුත්තේ මහජනතාව අතර, මහජනතාව සමග මිස, වන්දනීය පූජනීය තත්වයෙන් යුක්තව, මහජනතාවට ඉහලින් නොවේ. ඒ අපේ රටේ ඇතිකරගන්නට හදන මෝඩ ආදර්ශයක් පමණි.

      Delete
  14. මමත් උඩින් පල්ලෙන් කියෙව්වා. එක එක රටවල්, ඔවුන්ගේ මනෝමූලික මෙහෙයුම් සඳහා (මනෝ මූලික යුද මෙහෙයුම් දැනගත්තේ ඔබෙන් වන අතර එකල මෙකල සිදු වූ දේවල් වල දැනගැනීමට තිබූ බොහෝ දේ එමගින් සිතා ගත හැකි විය) අද නොමිලේ ගණිකා වුර්තියේ මේ කියන මාජ්ජ සහයෝගය දෙති. ඒවාට අප සමාජයේ, ආගමික, සංස්කෘතික, දේශපාලන විශාල වෙනස් කම් කිරීමට හැකි වී තිබේ. වර්තමාන ශ්‍රී ලාංකිකයා තුළ මනුෂ්‍යයා හැර අනික් සියල්ලෝ සිටිනා තැනට පත් කිරීමට මාජ්ජ විශාල කර්තව්‍යක් කොට හමාරයි.
    නිතරම මාද්‍ය වේදියෙක් යනු බහුස්ශ්‍රුතයෙක් විය යුතු බව මාගේ ඇදහීමයි. ඔබ ඔබම විය යුතු නම්, ලාංකීය මාධ්‍යයෙන් ඉවත් විය යුතුය. ඒවා පුවත් පත්, රූපවාහිනී හෝ, ශ්‍රව්‍ය මාද්‍ය විය හැකියි. ඔය කියන සියලුම මාද්‍ය වලින් ඉවත් වීමේ සතුට මා අද අත් විඳිමි. අඩුම තරමේ මාසයක් වත් ඉවත් වී සිටීමෙන් ඔබටම එය ඇත හදා බැලිය හැක. ගිය ඉරිදා මා කොණ්ඩය කැපීම සඳහා ගිය සලූනයේ තිබු "දිවයින" පුවත්පත බැලුවා. එහි එක පිටුවක සේයා දැරිවිය දූෂණය කර මරා දැමූ හැටි ඉතා රසවත්ව ලියා තිබුනා. එවන් හේතු නිසාම වසර ගණනාවක් තිස්සේ මමත් පුවත් පත්, ශ්‍රව්‍ය, දෘශ්‍ය මාද්‍ය වලට ස්වයන් වාරණයක් ගෙන තිබෙනවා. බැලුවත් විදේශීය නාලිකා පමණයි.
    මෙතරන් හෝ සිංහලෙන් ටයිප් කලේ ඔබේ ලිපියට ගරු කිරීමකුත්, ඔබේ වටිනා කාලය මෙවන් මාතෘකා සඳහා වැය නොකිරීමට ඔබේ අවධානය යොමු කිරීමටත්. මේවා ඔලුව කකියන මාතෘකා විචාරක.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තුතියි දිලීප.

      හරියටම හරි. මාධ්‍යවේදියා බහුශ්‍රුතයකු වියයුතුයි. ඔහුගේ විෂයය දැනුම සෑම ක්‍ෂේත්‍රයක් දක්වා දිවෙන්නක් වියයුතුයි. ඔහු තොරතුරු සෙවීමේදී අනුන්ගෙන් යැපෙන්නෙකු නොවිය යුතුයි. ස්වාධීන වියයුතුයි.

      මා පුවත්පත් බලන්නේ උදේට රූපවාහිනී චැනල් මාරු කරමින්. රූපවාහිනී ප්‍රවෘත්ති බලන්නේද එලෙසමයි. බහුල වශයෙන් මා ප්‍රවෘත්ති බලන්නේ විදේශීය රූපවාහිනී නාලිකා වලින්. එම නාලිකාවල කියවෙන ප්‍රවෘත්ති සහ ඒවා ඉදිරිපත් කෙරෙන සමබර බව දැක්කම අපේ එව්වා ගැන අනේ අනිච්චං කියලා හිතෙනවා.

      බලන්න ඊයේ පෙරේදා අල් ජසේරා නාලිකාවේ හෝඩා අබ්ඩෙල් හමීඩ් මාධ්‍යවේදිනිය අපේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් පැවැත්වුවා, මීට පෙර එම නාලිකාවේම ජේම්ස් බේස් මහින්ද රාජපක්ෂ ජනාධිතිතුමා සමග සාකච්ඡාවක් පැවැත්වුවා, බලන්න ඔවුන් අසන ප්‍රශ්න කොතරම් වැදගත් සහ හරවත් ද කියා. අපේ සමහර 'මාජ්ජ වේජියෝ' (සියෝ) අහන එව්වට දෙකොනින් හිනා යනවා.

      නැවතත් ඔබට ස්තුතියි ලිපිය ඇගයීම ගැන.

      Delete
  15. සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට ආරක්ෂක තොරතුරු ලිපියක් ලියූ මහා මාධ්‍යවේදියකු, වරක් මගෙන් රට කුණුහරප අහගත්තේ, වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේදී, එවකට යුද හමුදාපති වරායව සිටි, ජෙනරල් ශ්‍රීලාල් වීරසූරිය විසින් ප්‍රධානත්වය ඉසිලු, හමුදා සාකච්ඡාවක දී, කතාකලේ මොනවාද යන්න, මගෙන් හාර හාරා අසන්නට යාම නිසාය. මේ සඳහා ඔහු, මුලින්ම මට තෑගිබෝග දෙන්නට උත්සහ කල අතර, ඒවා ආපසු හරවා යැවීමෙන්, මම අල්ලසෙන් බේරුනෙමි.//////// ඉක්බාල් අතාස් නේද ?

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ හී.......අම්මප තමුන්නාන්සේ සාස්තරේ හරිටම කිව්වනේ.

      Delete
  16. ...//FM නාලිකාවල සිටින නිවේදක නිවේදිකාවන් යයි කියාගන්නා, බාල බොළඳ සිඟිත්තන් සිඟිත්තියන්//....

    මට හිතෙන්නේ මේ අය අතර දක්ෂයෝ හිටියත් අද තියන මාධ්‍ය රැල්ල හරහා ඔවුන්ටත් තැනක් නැති කරලා තියනවා කියලයි. සමහර චැනල් වල නිවේදක නිවේදිකාවෝ විහිලුවක් නැති විහිලු කරලා ඒ අයම හිනාවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝ. එකෙක් හිටගෙන චූ කරනකොට අනික් එවුන් දුව දුව චූ කරන එක තමා අද වෙලා තියෙන්නේ. වැඩිම බොළඳකම පෙන්නන නාලිකාවට තමයි ඊටත් වඩා බොළඳ මනසකින් යුත් මෝඩ මිනිසුන් ඇදෙන්නේ.

      Delete
  17. මාද්‍යවෙදී කියන රස්සාවත් තනිකරම සේල්ස් / මාර්කටිං ජොබ් එකක් වෙලා ඉවරයි විචා.. තියන එකම විශේෂත්වය නම් ලොකු ලොකු උපාධි අරන් සේල්ස් මාර්කටිං කරන අනෙකුත් උදවියට වඩා ලංකාවේ මාද්‍යවෙදී කියන හැඳුනුම්පතට ලැබෙන වරප්‍රසාද වැඩිවීම විතරයි.

    මාධ්‍ය ආචාරධර්ම, මාද්‍ය අයිතිය සහ මාද්‍ය සදාචාරය වගේ බර වචන ඔවුන්ට මතක් වෙන්නේ මාධ්‍ය මර්ධනයකදී පමණයි. ගුවන් විදුලියත් රූපවාහිනියත් අද වෙද්දී සේල්ස් මාර්කටිං කොන්ත්‍රාත් කොම්පැනි වෙලා ඉවරයි. මේ කියන මාද්‍ය කණ්ඩායම් අඩුවෙන්ම කරන රාජකාරිය තමයි මාද්‍ය මෙහෙවර.

    ReplyDelete
    Replies
    1. මේ තත්වය අපේ රටට අආවේ විවෘත ආර්ථිකයත් එක්කද මන්දා. ඉස්කෝල ගානේ ගිහින් ළමයින්ට මාධ්‍යය උගන්වන එවුන් කරන විකාර දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා. මේ අයගෙන් බහුතරයක් ජනමාධ්‍ය උපාධිය ලබාගැනීමෙන් පසු ජාත්‍යන්තරය ගැන කිසිදු අධ්‍යයනය කරන්නේ නැහැ. ඒ සඳහා ඔවුන්ගේ ලොක්කන් ඉඩ දෙන්නෙත් නැහැ. ලොක්කන්ට ඕනේ මේ හමුදාව තම අණසක යටතේ ඉන්න දඩයම් බල්ලන් රැසක් ලෙස තබාගැනීම පමණයි. වාග් විලාශය, රචනා හැකියාව, භාෂා ඥානය අතින් මොවුන් ඉන්නේ අඳුරු ආගධයක.

      Delete
    2. විවුර්ත ආර්ථිකයේ සියලුම නරක ප්‍රතිපල විතරක් දෝතින් බදාගත්ත රටක්නේ අපි විචා. අපේ රටේ ලොක්කන් කියන පැලැන්තිය කවදාවත් ගෝලයින්ට ලොක්කගේ දැනුම පරයා අද්‍යාපනය ලබන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කුහකකම නිසා තමයි අපේ රටට කවදාවත් යහපතක් නොවෙන්නේ. ඒ සම්ප්‍රදායික සීමාව ඉක්මවා යන උදවිය ලංකාවෙන් එලියට ගිහින් ලෝකේ දැකල ලෝකෙත් එක්ක ඉදිරියට යන්න ගත්තාම ආයේ කවදාවත් ලංකාව ඇතුලේ වුර්තිකයෙක් වෙන්න හීනෙකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ.

      මමත් ඒ සීමාව ඉක්මවා මගේ තැන හොයාගෙන ගිය කෙනෙක් විදිහට මම ඔය තත්වය අත්දැකීමෙන්ම දන්නව. ලංකාවේ අවුරුදු දොළහක රජයේ සේවයේ නරකම සේවකයා වුනු මම ලෝක ගෝලෙන් අනික් පැත්තේ තියන රටකදී සුද්දො පරද්දල දක්ෂතම සේවකයා වීමේ වෙනස තමයි ක්‍රමයේ වෙනස.ඔව්ව කවදාවත් හැදෙන්නේ නැහැ විචා. එව්වටම ආවඩන කණ්ඩායමුත් කාලයට අනුරූපීව බිහිවෙන එක ලෝක ස්භාවය වෙන්න ඇති. ලංකාවේ ඉදිරි අනාගතය මේ යන විදිහට යන්නේ දවසින් දවස පිරිහීම වෙතම පමණයි.

      Delete
    3. ඇත්ත තමයි. අපේ වෘත්තිකයන්ගෙන් බහුතරයක්, ජාත්‍යන්තර ප්‍රමිතියට බොහොම පහලින් ඉන්නේ. මාධ්‍යවේදීන් පිළිබඳවත්, ඒ තත්වය එහෙමම තමා. අපිට ඇස් ඇරෙන්නේ, ඉන්දියාව හෝ චීනය, ආර්ථික වශයෙන් අපිව යටත් කරගත්තදාටයි.

      Delete
  18. ලොකු දේවල් ලියලා හිරේ යන්න බෑ මාමේ ගෙවෙන කාලේ නරකයි නොවෑ

    ReplyDelete
    Replies
    1. මං උඹට කිව්වා කියලා හිතාගනින්.

      Delete
    2. ශානු මොකද බ්ලොග් එක පාලුවට ඇරලා..

      Delete
  19. ර ටේ එකි නෙකා ගෙන් ස්වාධීන ආයතන තුනක් ඇති බවත් මාධ්‍ය ඉන් එකක් බවත් ඇත මෙක් කියති
    ඒත් තෝරාගැනී මේ නිදහස හෙවත් free will ව ගේම ස්වාධීන යන්නත් ප්‍රෝඩාවකි
    එය රෙද්ද ගලවා පෙන්වු ස්වාධීන රෑපවාහිනිය මතක් කර දුනි

    එය එ සේ නො වේ යයි සිතීම අපි අපිවම රවටා ගැනීමක් යයි ම ගේ හැඟීමයි

    ReplyDelete
    Replies
    1. දැන්නම් ස්වාධීන මාධ්‍ය ආයතන කියලා තියෙන්නේ බෝඩ් එකේ විතරක් ස්වාධීන කියන නම තියන එව්වා විතරයි කියලා තමයි හිතෙන්නේ. සුද්දා අපිව තව අවුරුදු 25 ක් වත් පාලනය කරලා නිදහස දුන්නානම් මෙහෙම වෙන්නේ නැහැ.

      Delete
  20. කාලයත් සමග ජනමාධ්‍යවේදියා, ජඩමාධ්‍යවේදියා බවට පරිවර්තනය වී ඇත්තේ එකළ සිටි සාමාන්‍ය මිනිසා අද වන විට නරුමයින් බවට පත්වී ඇති වේගයට වඩා වෙනස් වේගයකින් නෙමෙයි නේද විචා මාමේ...

    ReplyDelete
    Replies
    1. ජඩමාධ්‍යවේදය බිහිවුනේ 1970 -77 කාලයේදී. එතැන් පටන් එය තව තව ජඩ බව වැඩි කරගන්නට සමත්වුණා. එහි කූටප්‍රාප්තිය තමයි අපි අද අත්විඳින්නේ.

      Delete
  21. ඉක්බාල්ගේ වාර්ථා පට්ටයි, මේ වගේ කෙනෙක් කියල හිතුවේ නෑ,එක යුදවර්ථා කරුවෙක් ලැප්ටොප් හොරකමකට අහු උනා නේද?

    ReplyDelete
    Replies
    1. කෝ දැන් මිනිහා ආගිය අතක් නැහැ. අපිට කවදාවත් යුද්දේ දිනන්න බැහැ කියලා අපේ හමුදාවල සහ රටේ පාලකයන්ගේ චිත්ත ධෛර්යය බින්දුවටම බස්සන්න හදපු එක තමයි මිනිහා කළේ.

      ලැප්ටොප් හොරකම් කළේ අපේම ජාතික රූපවාහිනියේ උන්නැහේ කෙනෙක් නේද?

      Delete
  22. සල්ලි ඉස්සරහා ආචාර දර්ම හැම එකක්ම නැති වෙලා ගිහින් තියෙන්නේ. එහෙම එකේ ඉතින් මාධය ගැන උනත් කවර කතාද?

    ReplyDelete
    Replies
    1. අපේ රටේ බොහොමයක් අය සල්ලි වලට ආත්මය පාවාදෙන මේ තරම් පහත් අඩියකට ඇදවැටීම ගැන දුකයි.

      Delete
  23. මාධ්‍ය... දීර්ඝව අදහස් දැක්විය යුතු මාතෘකාවක්. ඒත් දැන් ලියන්න බෑ. අද කෝච්චියක් පස්සේ පන්නලා මහන්සියි. ඒ නිසා මෙහෙම කෙටියෙන් කියන්නම්.
    ඇත්තටම දේශපානඥයින් විතරක් නෙවේ කාට උනත් තමන්ට එල්ල වෙන සාධාරණ විවේචනයක්, දෝෂාරෝපණයක් දරාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. අනික් අතට මාධ්‍ය උනත් දැනගන්න ඕනේ යම් සීමාවක් ඇතුව වැඩ කරන්න. දැන් බලන්න අර සේයාගේ කතාවේදී වෙච්ච වැඩේ. අද නම් මාධ්‍ය සදාචාරය කියල මෙලෝ නාමයක් නෑ.
    මාධ්‍ය විෂයය දැන් උසස් පෙළ සඳහා තියනවා. තෝරාගන්න පුළුවන්.
    වැඩි දුර අදහස් තව කමෙන්ටුවකින් දක්වන්නම්..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, කෝච්චියක් පැස්සේ පන්නුවානම්, පයින් දුවලා ගමන අවසන් කිරීම නිසා, කෝච්චි ටිකට් එකේ ගාන ඉතුරු වෙන්න ඇති. අපරාදේ හයරින් කාර් එකක් පස්සේ දිව්වානම් බර ගානක් ඉතුරු වෙනවා. :e

      මාධ්‍ය සංගමයක් කියනවා, ඔවුන්ව විවේචනය කරන්න, ඔවුන්ට අභියෝග කරන්න, කාටවත් බැරිලු. තමන් අහසේ වැඩඉන්න දේව කොට්ටාශයක් කියලා ඒගොල්ලෝ හිතනවානම්, එය බරපතල මුලාවක්.

      Delete
  24. ඔය ආරක්ෂක,දේශපාලන මාධ්‍යකරණයේ හෙළුවයි . සපුරා එකඟ වෙමි . ඔයිට අමතරව හොර වෙදුන් , මන්තරකාරයින් හා බිස්නස්කාර පුජකයන් ප්‍රොමෝට් කරමින් හරි හම්බ කරනා මාද්යකරුවන් කරන්නේද කාටවත් නොදෙවෙනි අපරාධයකි.

    ReplyDelete
    Replies
    1. ආරක්ෂක මාධ්‍යකරණය කියලා කරපුවගේ ටිකයි කිව්වේ. ඔක්කොම කිව්වොත් මිනිස්සු අපිටත් ගහනවා. අම්මප ලැජ්ජයි.

      මන්තරකාරයෝ, බිස්නස්කාරයෝ, ඔය මාජ්ජ වේජීන් ව අල්ලාගෙන ඉන්නේ බොහෝවිට අරක්කු වලින්.

      Delete
  25. විචාතුමා, ඔවුන් ගැන කියල වැඩක් නෑ.. බහුතරය කූඩැල්ලො.. දැන් උන්ගෙ එව්ව බලනවට සල්ලිත් දෙනවනෙ..මාධ්‍ය ආයතනයක් තියනව නම් ඕන බලු වැඩක් කරල ඒ අනුහසින් ගොඩ යන්න පුලුවන්.. අනික මම හිතන විදියට එකම ආරෙකට යන ටීවී චැනල් රේඩියෝ චැනල් ලංකාවට වැඩියි.. හැම එකාම කරන්නෙ එකෙම දේ.. එ නිසා ඒක මේ කෝටි දෙකට පෙන්නන්න පුදුම තරඟයක් තියනව. ඒ වෙනුවෙන් ඕනම ජරා බලු වැඩක් කරනව..

    ReplyDelete
    Replies
    1. අගමැතිතුමා මාධ්‍යයට තර්ජනයා කලානම් වරදිටි. නමුත් අගමැතිතුමා දෝෂාරෝපණය කල පුද්ගලයාම මාධ්‍ය ගැන වැඩසටහනනක් මෙහෙයවමින් තමන්ව පිරිසිදු කරගන්න උත්සාහ කිරීම ගැන ලැජ්ජයි.

      Delete
  26. matanam (Island) divaina eke midialogistla kihipa denek apiwa nomaga yawanna dharana kaalakanni uthsahaya gananam pudhuma tharahak thiyanne.

    ReplyDelete
    Replies
    1. thawath hondha harawath lipiyak.
      isthuthi wicha,thuma

      Delete
  27. අමිතාබ් භච්චන් ළමයෙකුගේ චරිතය රඟපෑ 'පා' හින්දි චිත්‍රපටයේ, ශාරුක් ඛාන් ගේ 'පිර් භී දිල් හේ හින්දුස්ථානී' චිත්‍රපටයේ මේ මාධ්ය්‍ය හෙළුව යස රඟට පෙන්නුම් කරලා තියෙනවා.ජයන්ත චන්ද්‍රසිරි 'ගරිල්ලා මාකටිං' චිත්‍රපටය හරහාත් ඉඟියක් දුන්නා.
    ඇත්තටම මේ ජාවාරම බුකියටත් බැහැලා තියෙන්නෙ දැන් දැන්..
    ලෝභ කම නිසානෙ මේ ඔක්කොම...
    ජයවේවා..!!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }