හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 December 2015

හමුදාවේ දොස්තරලාත් සටනට බසිති

Doctor with a gun
පසුගිය දිනවල, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය, එක යුද්ධයක් දිනුවා නේද? දැන් ආයෙත් යුද්ධ ප්‍රකාශ කරලා තිබුණ බව, ඊයේ රූපවාහිනියෙන් දැක්කා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අම්මපා දොස්තර මහත්තුරු 'ඉස්ටැයික්' කොරන, ලෝකයේ එකම රට, අපේ රටද මන්දා. මම මේ ඊයේ පෙරේදා, මොකක්හරි තැනක කියෙව්වා, ලෝකයේ එක්තරා රටක, නේස් මිසීලා ඉස්ටැයික් කලොත්, ලෙඩ්ඩුන්ට කරදර නිසා, ඒ රටේ පතල් කම්කරුවෝ වැඩ වර්ජනය කරාලු, මිසීලා වෙනුවෙන්. අම්මපා අපිටත් බැරිද, වින්නඹු මාතාවන්ගේ අයිවාසිකම් වෙනුවෙන්, ගර්භනී මාතාවන්ගේ ඉස්ටැයික් එකක් කොරන්න, අපි වදන්නේ නෑ කියලා. එහෙම නැත්නම්, ලෙඩ්ඩුන්ට බැරිද, දොස්තර මහත්තුරුන්ගේ ඉල්ලීම් දෙනතුරු අපි බෙහෙත් බොන්නේ නෑ, කියලා ඉස්ටැයික් කොරන්න. එහෙමත් නැත්නම්, අපිව මෝචරියට දැම්මත් මැරෙන්නේ නෑ කියලා. අනේ මන්දා අප්පා, මෙව්වට මොනවා කියන්නද කියලා. සාමාන්‍ය දොස්තරලා යුද්ද ප්‍රකාශ කරනවා වගේ නෙවෙයි, හමුදාවේ දොස්තරලා, යුද්දේ කිව්වොත් යුද්දේම තමයි ආයේ දෙකක් නෑ.

   අනේ මේ, ඔය ඉස්ටැයික් යුද්ද විසඳගන්න වැඩේ ආණ්ඩුවටයි දොස්තර මහත්තුරුන්ටයි බාරදීලා, අපි වෙන වැදගත් දෙයක් කතාකරමු. අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ, යුද්දෙට යන සෙබළෙකුට (සෑම යුද හමුදා සාමාජිකයකුටම) ලැබෙන වෛද්‍යාධාර මොනවගේද කියන එකයි. දැන් මීට කලින් ඔබ ඉගෙනගත්තානේ, යුද්ධයක් හරියට කරන්න නම් පරිපාලන ක්‍රියාවලියකුත් තියනවා කියලා. ඒ වගේම ඔබ දන්නවා, යුද්ධයකදී තුවාල සිදුවන හමුදා සාමාජිකයන්, නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළයුතු බව. එයට හේතුව, යුද්ධයේදී බොහෝවිට සිදුවන්නේ, පතරොම්, බෝම්බ, වැනි දේ වලින් ඇතිවන, භයානක තුවාල නිසා.

   මේ ආකාරයට තුවාල සිදුවන/මියයන අයවලුන්, යුදබිමෙන් ඉවත්කරගැනීම හඳුන්වන්නේ, 'තුවාලකරුවන් ඉවත්කරගැනීම - Casualty Evacuation = CASEVAC' 'කැසිවැක්' යනුවෙන්. තමන්ට යුද්ධයේදී තුවාල සිදුවුණොත්, ඒ සඳහා ක්‍ෂණික වෛද්‍යාධාර ලැබෙන බවට සහතිකයක් නැත්නම්, සෙබළකු යුද්ධයේදී කැපවීමෙන් සටන් කරන්න මැළිවෙනවා. මේ නිසා, ලෝකය පුරාම, සෑම යුද හමුදාවකම, තුවාලකරුවන් ඉවත්කරගැනීමේ පිළිවෙතක් ක්‍රියාත්මක වෙනවා. මෙය වෙනමම ස්වාධීන ක්‍රියාවලියක් ලෙසයි සිදුවන්නේ.

   හොඳයි, ඉතින් කොහොමද මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ? හමුදාවේ දොස්තර මහත්තුරු යුද පෙරමුණටම යනවද?

   නැහැ නැහැ. වෛද්‍යවරයෙක් සටන සිදුවන ස්ථානයේ ආසන්නයට යවන්නේ නැහැ. එයට හේතු කීපයක් තියනවා. පළමුවැනි හේතුව තමයි, සටන සිදුවන ආසන්නයේ සිට, මොනම ආකාරයකින්වත් වෛද්‍ය ප්‍රතිකාර දෙන්න බැහැ. කොයි මොහොතේ සතුරු මෝටාර්/කාලතුවක්කු/මල්ටි බැරල් රොකට්/යුද ටැංකි/ගුවන්/ ප්‍රහාරයක් එල්ල වෙයිද කියන්න බැහැ. ඒ නිසා, වෛද්‍යවරයකු සටන් පෙරමුණ අසළටම යවා, ඔහුගේ ජීවීතය හානිවුණොත්,  එය අපරාධයක්.

   ඒ වගේම වෛද්‍ය උපකරණ උස්සාගෙන, සටන් පෙරමුණට පසුපසින්, තැනින් තැන යන්න බැහැ. එහෙම කලොත්, ඒ වෛද්‍ය කණ්ඩායමේ ආරක්ෂාවට, වෙනම සෙබළුන් යොදවන්න වෙනවා. ඒ සඳහා යොදවන්න වෙන්නේ, පාබල සෙබළු. ඒ කියන්නේ, පෙරමුණේ සටන් කරන්න ඉන්න සෙබළු. සංග්‍රාමයේදී, භටපිරිස් කළමනාකරණය අතින් බැලුවම, (ඔව්, සාමාන්‍ය ව්‍යවහාරයේ, personnel administration ම තමා. කරන ක්‍රමය විතරයි වෙනස්) එය විශාල පාඩුවක්.

   එහෙනම් ඉතින්, සටන් පෙරමුණේ ඉන්න සෙබලා අනාථයි නේ. මිනිහට මොකුත් උදව්වක් නැහැනේ, තුවාල වුණාම.

   නැහැ නැහැ, එහෙම හිතන්න එපා. මම කියන්නම් පියවරෙන් පියවර, මොකද වෙන්නේ කියලා. එතකොට වැටහෙයි.
  
   සෑම පාබල බලඇණියකම, සෑම කණ්ඩායමකම, ඉන්නවා ප්‍රථමාධාර පිලිබඳ විශේෂ පුහුණුවක් ලද සෙබළුන් පිරිසක්. ඔවුන් ඒ කාර්යයේ යෙදෙන්නේ, වෛද්‍ය බලකාය විසින් පවත්වන, විශේෂ පුහුණු පාඨමාලාවක් හදාරා, සමත්වීමෙන් පසුවයි. (මේ, ඔන්න ඉතින්, බලඇණිය, බලකාය, කණ්ඩායම, කියන්නේ මොකක්ද කියලා, දැන් අහන්න එපා) සටනේදී තුවාලවන තමන්ගේ සහෝදර සෙබළුන්, එම ස්ථානයෙන් ඉවත්කරගැනීමේ මූලික ක්‍රියාව කරන්නේ මෙන්න මේ පිරිස විසින්. ඔවුන් ඒ ක්‍රියාවේ යෙදෙන්නේ සටන් කරන ගමන්. නමුත්, ඔවුනුත් තුවාල සිදුවන මියයන අවස්ථා තිබෙනවා. සටනේ යෙදෙන සෑම සෙබලාම දන්නවා, කැසිවැක් කරන හැටි. ඒ නිසා, විශේෂඥ පුහුණුවක් නැතත්, මූලික කොටස කෙරෙනවා.

   අපි කවුරුත් දන්නවා තුවාලකරුවකුට ලබාදියයුතු මූලික පහසුකම්. ලේ ගැලීම නැවත්වීම, ස්වසනය පහසු කිරීම වැනි දේවල්. යුද බිමේදී මීට වඩා අභියෝගය වැඩියි. තුවාලකරුවන් වහාම ඉවත් නොකලොත් තවත් ප්‍රහාර එල්ලවී තත්වය බරපතළ වන්නට පුළුවන්. තුවාල ලබා ඉදිරි භූමියේ වැටී සිටින තම සගයන් බේරාගැනීම සඳහා ගිය සෙබළුන්, සතුරු ප්‍රහාරයට ලක්වී මියගිය අවස්ථා මෙන්ම, එසේ මියගිය අයගේ සිරුරු, අපට ගන්නට නොදී, දිනයක් දෙකක්, ඒ ස්ථානයට නොකඩවා ප්‍රහාර එල්ලවූ අවස්ථා පවා, අපි LTTE යුද්ධයේදී අත්වින්දා. ඒවා මතක් කරන්න මම කැමති නැහැ. හිතලා බලන්න, යුද සෙබලා කරන්නේ, රැකියාවක්ද සේවයක් ද කියන එක.

   මුලින්ම කරන්න ඕනේ ලේ නවත්වන එකනේ. ඒ සඳහා යෙදිය හැකි සැරහුම්, සෑම සෙබලකුගේම පිටේ එල්ලාගෙන යන මල්ලේ තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ක්‍ෂේත්‍ර සැරහුම් - Field Dressings යනුවෙන්. මේ තියෙන්නේ ඒවා. 


FD 1


   සැරහුම සහිත පැකට්ටුවේ ඉදිරිපස පෙනුම තමා, වම්පැත්තේ කෙළවරේ තියෙන්නේ. මැද තියෙන්නේ, පැකට්ටුවේ පසුපස, පාවිච්චි කිරීමේ උපදෙස් සඳහන්ව ඇති ආකාරය. දකුණු කෙළවරේ තියෙන්නේ, එළියට ගත්තාම, සැරහුම පෙනෙන ආකාරය. මේ සැරහුමේ ඇති ඇදෙනසුළු බව නිසා, ලේ ගැලීම නවතින ලෙස බඳින්න පුළුවන්.  

   හොඳයි, ඔන්න මූලික ප්‍රතිකර්මය (ප්‍රතිකාරය නොවේ) කළා. ඊළඟට ගෙනියන්නේ කා ළඟටද? සටන් පෙරමුණට ආසන්නයෙන් තිබෙනවා, වෛද්‍ය සැරහුම් ස්ථානය  කියලා එකක්. Medical Dressing Station = MDS මෙය ක්‍ෂේත්‍ර සැරහුම් ස්ථානය යනුවෙනුත් හඳුන්වනවා.  Field Dressing Station = FDS කාලීනව ඒ ස්ථානයෙන් කෙරෙන සේවාවන්හි තත්වය අනුව තමයි, මේ නම් දෙකෙන් අදාළ නම යෙදෙන්නේ. අපේ රටේ සාමාන්‍යයෙන් MDS එකක් හෝ FDS යොදවන්නේ බලසේනාවකට Brigede එකක් වශයෙන්. මෙය යුද භූමියේ පසුපස, ආරක්‍ෂිත ස්ථානයක, තාවකාලිකව අටවාගනු ලබන කූඩාරම් වලයි, සකස්කරගන්නේ. එයට හේතුව, අවශ්‍යතාව පරිදි, ක්‍ෂණිකව තවත් ස්ථානයකට ගෙනයාමේ පහසුව සඳහා. මෙය, සම්පූර්ණයෙන්ම වෛද්‍ය බලකායට අයත් කඳවුරක්. පොතේ හැටියට නම්, මෙහි ආරක්‍ෂක මුරයත්, වෛද්‍ය බලකායෙන්ම කරන්න ඕනේ. නමුත්, අපේ රටේ වෛද්‍ය සෙබළුන් ඉන්නේ සීමිත ප්‍රමාණයක් නිසා, මෙහි ආරක්ෂාව සඳහා පාබල සෙබළුන් යොදවනවා.  පහුගිය යුද්ධ කාලේ සමහර අවස්ථා වලදී, වෛද්‍ය වරුන්, මේ ස්ථාන වලට ගොස්, දැඩි අවදානමකට මුහුණ දෙමින්, තුවාලකරුවන්ව ගස්යට තබාගෙන පවා, මූලික ප්‍රතිකාර කළා. 

   MDS එකක ඉන්නේ මොනවගේ කාර්ය මණ්ඩලයක්ද?

  • හදිසි, සාමාන්‍ය ශල්‍යකර්ම කිරීමට දැනුම හා අත්දැකීම් ඇති, MBBS සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් හෝ දෙදෙනෙක්.
  • හෙද නිලධාරීන් කීප දෙනෙක්.
  • වෛද්‍ය සහායකයන් කීප දෙනෙක්.
  • ගිලන් මැසි stretcher රැගෙන යන්නන් දහ පහළොවක්.   
  • මේ මධ්‍යස්ථානයේ ආරක්‍ෂක මුරය අණදෙන, අධිකාරි ලත් නිලධාරියකු Commissioned Officer හෝ Senior Non Commissioned Officer =SNCO සිටිය යුතුයි. (පොතේ හැටියට මොහු වෛද්‍ය බලකායේ කෙනෙකු වියයුතුයි)
  • තුවාලකරුවන් සහ කාර්යමණ්ඩලයේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ප්‍රවාහන අංශයක්, අදාළ වාහන සමග සූදානම්ව තිබිය යුතුයි.
  • තුවාලකරුවන්ගේ වර්ගීකරණය (පහත දක්වා ඇත) සහ හිසට තුවාල සිදුවීම්, බිම්බෝම්බ වලට අසුවීම්, මෝටාර්, කාලතුවක්කු, රොකට් වෙඩි වලින් පහරකෑමට ලක්වීම් ආදී වශයෙන්. වර්ග කිරීමේ අංශයක්. මෙය ප්‍රධාන ශාඛාව G Staff (General Staff) අයත් කාර්යයක්. ඊට අමතරව ගුවනින් තුවාලකරුවන් ප්‍රවාහනය සම්බන්ධීකරණය, ඇතුළත් කෙරුණු සහ පිටත් කර යැවුණු තුවාලකරුවන් පිළිබඳව, සියලු තොරතුරු ඇතුළත් වාර්තා තබාගැනීම. 
  • සියලුම භටකාර්ය සම්පාදන ක්‍රියා සඳහා පාලන ශාඛාවක්. A Staff (Administration and Logistics Staff) (උදා; තුවාලකරුගේ සිරුරට සවිකර, ඊළඟ ඉහළ රෝහල වෙත යවන, ස්වසන උපකරණ වැනි දේ ප්‍රමාණවත්ව තබාගැනීම) 
  • යුද හමුදා පොලීසිය (හමුදා නීතිය අනුව සියල්ල සිදුවේදැයි නිරීක්ෂණය, අක්‍රමිකතා වැලැක්වීම, වාහන පාලනය) 
   MDS/FDS එකේ දී තවත් වැදගත් ක්‍රියාවක් සිදුකරනවා. ඒ තමයි, තුවාලවල ස්වභාවය අනුව, තුවාලකරුවන් වර්ගීකරණය කිරීම. හිසට පපුවට සිදුවන තුවාල බරපතළ තුවාල ලෙස සළකනවා. එවැනි තුවලකරුවන්ව, ප්‍රමුඛත්වය 1 - priority 1 = P 1 ලෙස වර්ග කරනවා. ඉන්පසු තිබෙන තුවාල අනුව, අනෙකුත් තුවාලකරුවන්, P 2 සහ P 3 ලෙස වර්ග කරනවා. මේවා කරන්නේ ඒ සඳහා දැනුම සහ පුහුණුව තිබෙන අය විසින්. MDS/FDS වල තුවාලකරුවන් හැකිතරම් අවම වෙලාවක් රඳවා තබාගන්නට සියලු උත්සාහ දරනවා. 

   මේ තැන්වල හදිසි අවශ්‍යතා අනුව ක්‍ෂේත්‍ර ශල්‍ය කණ්ඩායම් Field Surgical Team = FST ගෙන්වාගන්න පුළුවන්. ඔවුන් විශේෂඥ පුහුණු ශල්‍ය වෛද්‍යවරුන්ද සහිත, ජංගම කණ්ඩායමක්.


FDS

   මොකක්ද ඊළඟ වෛද්‍ය මධ්‍යස්ථානය?

  එතන හඳුන්වන්නේ, Advance Dressing Station = ADS යනුවෙන්. ADS එකට එන තුවාලකරුවන්ගේ වර්ගීකරණය අනුව ඔවුන්ට ප්‍රතිකාර ලබාදෙනවා. P 1 අයට ප්‍රතිකාර ලබාදෙන්න බැරිනම්, ඊළඟ ඉහල ස්ථානයට හෝ කෙලින්ම හමුදා රෝහලට හෝ කලින් සූදානම් කර තිබෙන රජයේ රෝහලට හෝ යවනවා. FDS එකෙන් P 2 හෝ P 3 වර්ගීකරණය ලබා එන කෙනෙක්, අතරමගදී තත්වය උත්සන්න වී P 1 තත්වයට එන්න පුළුවන්.

   කියන්න ලැජ්ජයි, සමහර අවස්ථා වලදී, තුවාලකරුවන් දාගෙන එන්න වුණේ, ට්‍රැක්ටර් ට්‍රේලර් වල. එහෙම ගේනකොට මගදී මැරෙන එක අහන්නත් දෙයක්ද? අපි කොච්චර ඇඬුවත්, කිව්වත්, වාහන ලැබුනේ නැහැ. ඒ කාලේ ඔය, මගේ යුද්ධය කියලා මහා ලොකු පොත් ලියාගෙන, කයිය ගහන උන්නැහේලා, තුවාලකරුවන් ගෙනෙන්නේ කොහොමද කියලා, හොයලා බැලුවේ බොහොම අඩුවෙන්. (bloody spectacle viper = BSV)

   ඊටපස්සේ මොකද වෙන්නේ?

   මීළඟට තුවාලකරුවන් යැවෙන්නේ හමුදා මූලික රෝහල් වෙතයි. Army Base Hospital = ABH කොළඹ, පනාගොඩ, අනුරාධපුර, පලාලි, යන ස්ථානවල, හමුදා මූලික රෝහල් තිබෙනවා. මීට අමතරව හමුදා අයවලුන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා, රජයේ රෝහල්වල වෙනම වෙන්කළ අංශ තිබෙනවා. ඔබෙන් සමහර අය දන්නවා ඇති, යුද්ද කාලේ, පොලොන්නරුව, අනුරාධපුර, අම්පාර, ශ්‍රී ජයවර්ධනපුර, වැනි රජයේ රෝහල්වල, එවැනි අංශ ක්‍රියාත්මක වුණා.

   ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින්, අංශු මාත්‍රයක් තමා, මේ සඳහන් කළේ.  යුද හමුදාව සප්ත මහා සාගරය වගේ කියලා මා මීට පෙර කියා තිබෙන්නේ එනිසයි. මේ තොරතුරු ඔබට කියන්නේ, සමහර අය තුළ හමුදාව පිළිබඳව ඇති දුර්මත දුරු කරන්නයි.

   ඉතින් ඔන්න ඔහොමයි, හමුදාවේ දොස්තරවරු සටනට බහින්නේ. යුද්ධ කාලෙක එයාලත් කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනයක් කළොත්............?

2015 දෙසැම්බර් මස 28 වැනි දින 2213 පැය 

52 comments :

  1. මේක හමුදාවෙ මම කැමතිම අංශයක්. අනික, ඔවුන් වෙනස් ක්ෂේත්‍රයක් නිසා මේ පසුබිම තුල හැසිරෙන හැටි. (මම දන්න තරමින් වෛද්‍යවරු මරණයට/අනතුරුවලට පට්ට බයයි. වාහනයක් එළවගෙන යනාකොට ඒ බව පේනවා. ඒ මානසිකත්වය යුද පිටියකදි කොහොම මුහුණ දෙනවා ඇත්ද?)

    විචාරකතුමා, රෝහලක ඉන්න සාත්තුසේවක, හෙද, හෙද සොහොයුරි, සීමාවාසික වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය වගේ ශ්‍රේණි එක්ක සමපාතවන හමුදා නිල ටික හොයලා දාන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නැ වගේ මචෝ දන්න තරමින් සාමාන්‍ය හමුදා නිළයන්ම තමා ඔවුන්ටත් ලැබෙන්නෙ වෙනස් වෙන්නෙ වෛද්‍ය බලකාය කියන නමින් විතරයි වෙන් ඕන
      විචා ම කියන්නෙ නැතෑ

      Delete
    2. මැරෙන්න පොඩ්ඩක්වත් බය නැති අය තමා වැඩිපුරම ඉන්නේ හමුදා වෛද්‍ය සේවයේ. එවැනි නිර්භීත වෛද්‍ය වරුන් වීර පදක්කම් පවා ලබාගෙන තිබෙනවා ඔවුන්ගේ අභීත ක්‍රියා කලාපය නිසා.

      හමුදාවේ වෛද්‍ය වරුන් වර්ග දෙකක් ඉන්නවා. එක වර්ගයක් හමුදාවේ නිත්‍ය සේවයට හෝ ස්වේච්ඡා සේවයට බඳවාගන්නා අය. ඔවුන් නිල ඇඳුම් අඳිනවා. සාමාන්‍යයෙන් MBBS උපාධිය සහිත කෙනෙක් බඳවාගන්නේ කපිතන් නිලයටයි. විශේෂඥ වෛද්‍ය වරයෙක්/වරියක් අවම වශයෙන් කර්නල් නිලයෙන් තමා බඳවාගන්නේ. බ්‍රිගේඩියර් නිලයට බඳවාගත් අවස්ථාත් තිබෙනවා.

      නිල ඇඳුම් නොඇඳ හමුදා වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ද ඉන්නවා. ට්‍රාන්සිල්වේනියා බ්ලොග් එක ලියන වෛද්‍ය රුවන් ජයතුංග හමුදා සේවයේ යෙදිලා තියෙන්නේ ඒ ආකාරයට. ඔවුන් දැනට රජයේ වෙනත් රෝහලක සේව්‍ය කරන්නේ නම් හමුදාවෙන් ඔවුන්ට දීමනාවක් සහ නිලධාරි නිවස්න පහසුකම්, හමුදා පිළිවෙතට අනුව ආහාර සහ ප්‍රවාහන පහසුකම් දෙනවා. සීමාවාසික වෛද්‍යවරුන් කියා වර්ගයක් හමුදා සේවයේ නැහැ.

      හෙද/හෙදි සේවය සඳහා රජයේ හෙද සේවයට ඇතුළුවීම සඳහා අවශ්‍ය සුදුසුකම් අනුව බඳවාගෙන, රජයේ හෙද විදුහලක හෝ හමුදාවේ හෙද විදුහලේ පුහුණුව දෙනවා. පුහුණුව අවසානයේ සාමාන්‍යයෙන් කෝප්‍රල් වැනි නිලයක් ලබාදෙන්නේ. සාමාන්‍ය සෙබළකුට ඊට වඩා කල් යනවා එම නිලයන්ට එන්නට. මාණ්ඩලික හෙදියක් සාමාන්‍යයෙන් සැරයන් නිලයේ ඉන්නේ. ජ්‍යොෂ්ඨ හෙද නිලධාරිනියක් මාණ්ඩලික සැරයන් මට්ටමේ නිලයක ඉන්නේ. වෝඩ් මාස්ටර්/සිස්ටර්/මේට්‍රන් තත්වයේ ඉන්න අය බලලත් නිලධාරි II හෝ I නිලයට පත්වෙනවා.

      සාත්තු සේවක සඳහා යොදවන වෛද්‍ය බලකා සෙබළුන් බොහෝවිට සාමාන්‍ය සෙබල හෝ ලාන්ස් කෝප්‍රල් නිලයේ තබනවා. වැඩිදුර පුහුණුව සාර්ථකව නිමකර ඉහලට යා හැකියි. නැත්නම් සාමාන්‍ය හමුදා පිළිවෙත අනුව උසස්වීම් ලැබෙනවා. නමුත් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ඉහල තනතුරු වලට යොදවන්නේ නැහැ. සනීපාරක්ෂක කම්කරු/ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා බඳවා ගන්නේ සිවිල් පුද්ගලයන්. ඔවුන්ට හමුදාවෙන් වැටුප් ගෙවනවා.

      Delete
    3. මට නම් හිතෙන්නෙ වෛද්‍යවරුන්ට ජීවිත ගැන අනතුරු ගැන ලෙඩ රෝග ගැන බය නැතිවෙලා ගිහින් කියලයි. වාහන නම් පරිස්සමින් පදින්නෙ ඒවල ගාන හින්දා වෙන්න ඇති.

      Delete
    4. එයාලට වාහනයක් කියන්නේ අපි කඩෙන් ගිනිපෙට්ටියක් ගන්නවා වගේ හරී. අපේ ගෙවල් ළඟ තියනවා ටින්කරින් පේන්ටින් කරන තැනක්. දොස්තර මහත්තුරුන්ගේ වාහනේ යන්තම් සීරිලා අරගෙන ආවත් කියන්නේ බොඩියේ ඒ කෑල්ලම දාන්න කියලා ඉන්ෂුවර් එකෙන් අනුමත කලත් නොකලත්. ඒගොල්ලෝ අතින් ගෙවලා අලුත්ම කෑලි හයිකරගන්නවා.

      Delete
    5. ආයෙ ඒ-ලෙවල් කරලා දොස්තර කෙනෙක් උනානම් හරි

      Delete
  2. එතකොට MBBS හාදයෝ විතරද field එකේ ඉන්නේ ? විශේෂඥ අය රෝහල් වලද ?

    ReplyDelete
    Replies
    1. ශල්‍ය කටයුතු පිලිබඳ විශේෂඥයන් ඉතා හදිසි අවස්ථාවලදී MDS වෙත කෙටි කාලයකට ගෙන්වාගන්නවා. ඔවුන්ගේ සේවය හමුදා රෝහලක වැඩි දෙනෙකු වෙනුවෙන් ලබාදියයුතු නිසාත්, එවැනි විශේෂඥයන් හිග නිසාත්, නිතර MDS වලට ගෙන්වාගන්නේ නැහැ. MBBS හාදයෝ විශ්මයජනක සේවයක් යුදබිමේදී ඉටුකරනවා.

      Delete
  3. ක්වික් ලොට් ඩයස් කියල අපේ මෙඩිකල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉටිය..
    ක්වික්ලොට් දන්නව නෙව හිහි

    ReplyDelete
    Replies
    1. quick-clot දන්නවා. නමුත් ක්වික් ලොට් දන්නේ නැහැ.

      Delete
  4. මේ ගැන අපිව දැනුවත් කිරීම වටිනවා...

    ///ඉතින් ඔන්න ඔහොමයි, හමුදාවේ දොස්තරවරු සටනට බහින්නේ. යුද්ධ කාලෙක එයාලත් කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනයක් කළොත්............? ///

    වෛද්‍ය බලකායත් හමුදාවට අයිති එකක් නිසා ඉට්ටයික් කරන්න තහනම් නේද...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      හෙහ් හෙහ්, හමුදාවේ වෛද්‍යවරු ඉට්ටයික් කලොත් ඉතින් ගල් පල්ලියේ තමා නවතින්නේ.

      Delete
  5. දවස් දහයක් විතර විචා විවේක සුවයෙන් ඉදල වගේ නේද.?
    #ඇත්‍තටම විචා යුධ හමුදාව සප්ත මහා සාගරය වගේ කියන එකනම් හරියට හරි.#
    ලංකාවෙ සම හරක් දොස්තරලානම් තමන්ගෙන් රටට වෙන සේවය ගැන නෙමෙයි හිතන්නේ. තමන්ගේ පඩි පැකට් එක වැඩි කරගන්නෙ කොහොමද කියල තමයි උන් හිතන්නෙ. මේ වැඩ වර්ජන එක පැයකටම රෝගීන් කෙතරම් අසරණ වෙනවද? ඒ ගැනනම් මුන්ට ගානකවත් නෑ.මොන් දොස්තර කමට එන්නෙ කාර් පර්මිට් එක ගන්න ඕනකමට
    වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. පහුගිය දොහේ ලිපි ගොඩක් කියෙව්වා ජාලයෙන්ම හොයාගෙන. ඊයේ පෙරේදා තිබුණු නිවාඩු දවස් හතරෙන් දවස් තුනක ගියා සංචාරයක්. දවස් දහයක්ම ගියා කියලා තේරුනේ මේ ලිපිය ලිව්වටත් පස්සේ.

      සියල්ල මුදලට යටවන, සියල්ල මුදලෙන් මනින සමාජයක, අපි තවමත් මිනිස්කම හොයනවා. මහා දවාලෙත් මිනිස්කම පික්පොකට් ගහද්දී.

      Delete
  6. ලඟදි වයිද්‍ය බලකායෙ ඩොකෙක් සෙට් උනා.එයා කියනවා යුද්ධෙ කාලෙ නම් සංතෝසෙන් තෘප්තියකින් වැඩ කරගෙන හිටියා ඒත්,දැං හරියන්නෑ.. ඉන්න එවුන් ලොකු ලයින් අල්ලනවා.. ඒ නිසා අයින් වෙනවා කියලා.
    ඔන්න ඕකයි ගස්ලබ්බ දකින සදාතනික සත්‍ය.. වැඩේ ගත්තා.විසිකරා.කොහෙත් එකයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. යුදෙදි මැරීගෙන වැඩ කරපු එවුන් පැත්තක ඉඳිද්දී, යුද්දෙට බයේ කොළඹට වෙලා හිටපු සමහර අයියලා, දැන් තනිකරම සින්නක්කරේට ලියාගන්න යනවා ඔප්පුව. අනේ අනේ නන්නානේ :e

      Delete
    2. ගෝටාස් වෝ වගේද?

      Delete
    3. ගෝටා විල් ගෝ ඉන් නියර් ෆියුචර්

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඉතා වටිනා ලිපියක්........... කොහොමත් යුද්ධ හමුදාවේ ක්‍රියාපිළිවෙත් ගැන ඔබ ලියන සටහන් මේ ගැන අධ්‍යයනය කරන්නෙකුට ඉතා වැදගත් තමයි..... ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මෙවැනි ලිපි ගණනාවක් ඉදිරියේදීත් බලාපොරොත්තුවන්න.

      Delete
    2. මේ බ්ලොගය යුද්ධ හමුදාවේ ඉගැන්වීම් සදහා භාවිතා වෙනවාද???? මේක ඔවුන්ට හදුන්වා දිය හැකියි නේද????? ඔබේ අත්දැකීම් මේ විදිහට දැනුම් සම්භාරයක් වෙනවා දැකීම අැත්තට ම සතුටක් විචාතුමනි........

      Delete
  10. සාමාන්‍ය ජනතාවට අනාවරණය නොවෙන පැත්තක් ගැන අපිට කියල දුන්නට ස්තුතියි .
    මුළු ශ්‍රී ලකාවේම ඉන්න පාසැල් හැරයන සියලුම සිසුන් අනිවාර්යෙන් අවුරුද්දක් වැටුප් සහිත හමුදා සේවයේ යොදවල ගත්තනම් රටේ මීට වඩා විනයක් ඇතිවෙන්න තිබුන නේද විචාරක තුමා.. අවුරුද්දක් හමුදා සේවය සහ අවුරුද්දක් මහන කරලා තිබ්බනම් මීට වඩා සාරධර්ම අදහන විනයක් සහිත ජනතාවක් බිහිකරන්න පුළුවන් කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි. පාසල් සිසුන් ගැන ඔබේ යෝජනාව අතිශයින් වැදගත්. නමුත් දැක්කනේ විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව දෙන්න ගිහින් ආව විරෝධය. බොහෝ දෙනෙක් හිතන්නේ මෙවැනි පුහුණුවක් තුළින් මිනීමරන්න උගන්වනවා, සෑම ප්‍රශ්නයක් දෙසම හමුදා ඇසෙන් බලන්න උගන්වනවා කියලයි. නමුත් එහි සම්පූර්ණ අනික් පැත්ත තමා පුහුණුවේදී සිදුවන්නේ. කිසිම අවි පුහුණුවක් දෙන්නේ නැහැ. තමන්ගේ වැඩ කාර්යක්‍ෂමව සහ නිවැරදිව, විශ්වාසවන්තව, කරගන්න අවශ්‍ය ආත්ම ශක්තිය ඒ පුහුණුවෙන් ලැබෙනවා. ඇත්තටම පාසල් හැරයන සිසු සිසුවියන්ට යටත්පිරිසෙයින් මාස තුනකවත් පුහුණුවක් දෙන්න පුළුවන්නම්, විනය සහ කාර්යක්ෂමභාවය අතින් ඔවුන් ඉතා ඉහල තත්වයකට ගන්න පුළුවන්.

      Delete
    2. තරහ අවසර විචාරක තුමා, පොස්ට් එක කදිමයි ඒත් මගේ ජඩ කමට ලියන්න කට කහන්නේ ම අවුට් යන කොමෙන්ට්මයි.

      අම්බලන්ගොඩ ....
      /අවුරුද්දක් හමුදා සේවය සහ අවුරුද්දක් මහන කරලා තිබ්බනම් ..../
      මේක කියෙව්වාම ගොඩක් දේවල් හිතෙනවානේ ...
      1. මහන වෙනකොට කොල්ලන්නේ ප්‍රෙෂ් ගතිය ගිහිල්ලනේ ...
      2. ගලගොඩ බලකායටත් යුනිෆෝම් එකට එල්ලන මෙඩල් වගේ ඒවා ඩිසයින්කරගන්වෛයි.
      3. ගාමන්ට් කෙල්ලෝ 4 පොයටම සිල් ගනීවි, ඒකනම් බෝම පොසිටිව්
      4. හමුදා පුහුණුවට වගේම මහන පුහුණුවටත් දීමනාවක් ගෙවනවද? ලොකු හාමුදුරුවෝලා ස්ට්‍ර‍ියික් කරාවි.

      Delete
    3. පාසල් ළමුන්ට අනිවාර්ය හමුදා/ කැඩෙටින් ට්‍රේනින් එපා, අනිවාර්ය බාල දක්ෂ සහ නායකත්ව පුහුණු ඕන.

      Delete
    4. @ ඇණයා Nut ManDecember 30, 2015 at 12:27 PM

      ඇයි ඔබ හිතන්නේ, ඔබ ලියන කමෙන්ට් ජඩ කමට ලියනවා කියලා. එයින් පෙනෙන්නේ, ඔබතුළ ආත්ම විශ්වාසය මඳ බවයි. අසභ්‍ය වචන සහ අපහාස නැත්නම්, කවුරු ලියක කොයි කමෙන්ට් එක වුනත්, ඒ ලියන කෙනාගේ ස්වාධීන අදහස් ලෙසයි, මම බාරගන්නේ.

      මහන කිරීම ගැන මම කතා නොකළේ, එහෙම වුනොත් බෞද්ධ නොවන අයට මොකද වෙන්නේ කියන එක ගැන, හිතාගන්න බැරි නිසයි.

      පාසල් ළමුන්ට අනිවාර්ය කැඩෙටින් කිරීමක් දැනටත් නැහැ නේද? කිසිම දෙයක් අනිවාර්ය කිරීම නෙවෙයි කළයුත්තේ. ඒ සඳහා පෙළඹවීමක් motivation ඇතිකිරීමයි.

      අශ්වයෙකුව ගඟක්/ජලාශයක්/ ළඟට ඇදගෙන, දක්කාගෙන යන්න පුළුවන්. නමුත් ඒ අශ්වයාට වතුර පොවන්න අපිට බැහැ. ඌ තුළ ඒ සඳහා අවශ්‍යතාවක්, කැමැත්තක්, ඕනෑකමක්, තිබිය යුතුයි.

      පාසල් ජීවිතයෙන් සමුගැනීමෙන් පසු, වේදිකා සංදර්ශනවල නටන නැටුම් ඉගෙනගන්නට තරුණ තරුණියන් සෑහෙන්න උනන්දු වෙනවා. නමුත් ඒ අතරින් කීයෙන් කීදෙනාද අනාගත ජීවිතය එමගින් සකසා ගන්නේ?

      හමුදා පුහුණුව යුද්ධ පුහුණුවක් නොව කළමනාකරණ පුහුණුවක් බව තේරුම් ගැනීමට දෙමව්පියන් මෙන්ම දරුවන්ද තම දැක්ම පුළුල් කරගත යුතුයි.

      Delete
  11. නියම වෛද්‍ය වරු , ලිපියට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මේ වෛද්‍යවරුන් යුදබිමේ කරන කැපකිරීම් දැක්කොත්, GMOA එකේ ඉන්න සමහර අයට, චූ කරන තැනත් අමතක වෙනවා. :e

      Delete
    2. Gen Sanjiva Munasinghe , Col Hilman Silva , Col S.W Somaweera යුද්දය කාලයේ ඉතා අගනා සේවයක් කල වෛද්‍යවරු

      Delete
    3. ඒ අය ලවා GMOA එකේ කට්ටියට හොඳ ලෙක්චර්ස් දෙකක් තුනක් දෙන්න පුලුවන්නම් බොහොම වටිනවා.

      Delete
  12. ඇත්තටම හමුදාවේ දොස්තර කැලි නැද්ද (දොස්තරියෝ)

    ReplyDelete
    Replies
    1. පොහ්..........ඉන්නවා යකු ඉන්නවා. කියාලා ලියාලා වැඩක් නැති ජොස්තරීලාද, නේස් මිසීලා ද, ඕනෑතරම් ඉන්නවා.

      හෑ....බෑ....යි.....යුද්ද බූමියට යවනු නොලැබේ.

      Delete
  13. පහුගිය කාලේ අපේ මහාචාර්ය වරයකුට අදහසක් තිබ්බා, ගමේ ගොඩේ හදිසි ප්‍ර‍ථමාධාර කටයුතුවලට හමුදාවෙන් විශ්‍රාම ගිය අය හවුල් කරගන්න හැකි දැයි සොයා බලන්න, විශේෂයෙන් විශ ශරීරගත වීම් අවශ්තාවල දී හමුදාවල භාවිත කෙරෙන ඇන්ටිඩෝට් එන්නත් වගේ දේවල් ඒ අයට දීල බලන්න, හිතා ගන්න අැහැකි නේද දොස්තර මහත්තුරු බෝලෙට කොයි වගේ කික් එකක් දෙන්න ඇතිද කියා.

    ReplyDelete
    Replies
    1. විද්‍යාගාර මීයෝ කියලා හිතන්න ඇති.

      Delete
    2. චැක්, ටැපලිලානේ.

      ටැපලුං අරිමු; ගැටළුව මේකයි, හදිසි අනතුරකට ලක් වූ කෙනෙතු රෝහලකට ගෙන යනකම් හරිහමං ප්‍ර‍ථමාධාරයක් දෙන්න පුළුවන් අය ගම්මැද්දකින් හොයා ගන්න බෑනේ,ඒ වගේම රෝහලට ලගාවීමට පෙර ප්‍ර‍මාධාර දී ඇත්නම් රෝහලට ඇති කරදර, බරපැන අවමයි. හමුදාවලට නිපදවා ඇති බොහොමයක් ඇන්ටිඩෝට් / ප්‍ර‍්ස්ට් එඩ් කිට් විශේෂ ගබඩාකිරීම් තත්ව අනවශ්‍යනිසා ගමේ ගොඩේ භාවිතයට ඉතා සුදුසුයි, ශික්ෂණයක් ඇති අයකඅට ඒවා භාවිතයේ අත්වැරදීම් වෙන්න ඇති ඉඩ අවමයි. ලංකාවේ පැරාමෙඩික්ලා නැති නිසා (පැරා මෙඩික් කියන වචනය ලංකාවේ දී භාවිත කිරීම අර සංගමෙන් තහනම් කොරලලුනේ) ඒ වැඩේ කරන්න කෙනෙක් නෑ, පී එචි අයි/ එම් ලත් ගල් ඉබ්බොනේ, ඒවා එයාලගේ අර සේවා ව්‍යවස්තාවේ නෑලු.

      ප්‍රොෆාගේ අයිඩියා එක වුනේ ගමේ ඉන්න පැන්ෂන් ගිය හමුදාවේ අය තෝරගෙන එයාලට පුංචි පහේ පැරාමෙඩික් තාලේ පුහුණුවක් දීලා හමුදාවේ භාවිත වෙන විදිහේ ප්‍ර‍මාධාර කට්ටල දෙන්න, එයාල ගමේ පොදු වැඩ වලට රැයක් දවාලක් දුව පැන වැඩකරන, ත්‍රීවීල් එකක් හෙම තියන අය නිසා වැඩේ නැගල යයි කියන එක තමා අදහස වුනේ, නැතුන එයාලව විද්‍යාගාර මීයෝ විදිහට ගන්න නේවේ.

      Delete
    3. දැන් නේ තේරුණේ. හොඳ අදහසක්. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විශ්‍රාමිකයන් ඔය වැඩේට යෝදාගත්තානම් හරිම අගෙයි. දැනට සිදුවන මාර්ග අනතුරු වලදීත්, ගම්බද ප්‍රදේශවල සිදුවන සර්ප දෂ්ඨ, බල්ලන් සපාකෑම, බඹරුන් විදීම, වස පානය කිරීම, වැනි අවස්ථා සඳහාත් ඒ ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මහාචාර්යතුමාගේ අදහස බොහොම හොඳයි.

      Delete
  14. ආරක්ෂක විශ්ව ව්ද්‍යලයක් හරහා වෙනමම හමුදා වෛද්‍යවරුන් පුහුණු කිරීම ගැන විචාරකතුමා මොකද හිතන්නේ ...

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. හැබැයි මෙන්න මේ කරුණු සම්පූර්ණ කලයුතුයි.

      1 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අනුමත පරිසාධන මට්ටමකට අනුව වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා උසස් පෙළ සමතුන් වියයුතුයි.

      2 පුහුණුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් අනුමත නිර්නායකයන් අනුව සිදුවිය යුතුයි.

      3 සායනික පුහුණුව හමුදා රෝහලේදී සිදුකිරීම වඩාත් උචිතයි.

      4 වැටුප් ප්‍රතිපත්තිය යළි සමාලෝචනය කළයුතුයි. (හමුදාවේ ඒ ඒ නිලයට අදාළ වැටුප ගෙවනවානම් කිසිවකුත් එන්නේ නැතිවෙයි. MBBS උපාධිය සහිතව කපිතන් නිළයෙන් හමුදාවට බඳවාගන්න වෛද්‍යවරයකුට ගෙවන්නේ, හමුදාවේ සාමාන්‍ය කපිතන් නිලයේ සිටින නිලධාරියකුට වඩා ඉහළ වැටුපක්)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  15. ඔහොමම Combat Medicine එහෙම ගැනත් ලියමු නේද? :)

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ......ආපහු හොයන්න වෙනවා පරණ නෝට්ස් එහෙම තියනවද කියලා. මේ ටික ලිව්වෙත් මතක් කර කර කොලේක සටහනක් දාගෙන. හමුදා වෙදෙකුට කෝල් එකක් දීලා බලන්නම් තොරතුරු ගන්ඩ.

      Delete
  16. ස්තුතියි මේ විස්තර වලට.. මේ සටහන් ටික වටිනවා සෑහෙන්න. මේ ටික එකතු කරලා පොතක් ගහන්න මම නම් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන. පොතක් ගහන්න තවම හිත එකලාසයක් නැහැ. බලමුකෝ තව ටිකක්.

      Delete
  17. නියමයි විචාරක. අගනා ලිපියක්.

    ලබන්නාවූ 2016 වසර නිදුක් නිරෝගී වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබටත් පවුලේ සැමටත් දියුණුවේ දොරටු විවරවන නව වසරක් වේවා!

      Delete
  18. Postuwe uda kotasa kiyawan eddhi kiyawan ena eka nawathwala thappara gaanak hinaa wunaa Wicha'thuma mokadda me natala thiyana thoile kiyala.:)
    Wicha'thuma me gana liyapu pasugiya lipi kihipayakma kiyewwa, aththatama matanam godaak watina lipi pelak, coz I hadn't read before like this imprometion in any other source about army.
    war eka thibunu kaale matath puduma unak thibune koi weleth hitiye war news update karakara, but civiliansla marena eka, a aya damage wena eka ganath loku wedhanaawak sithe thibuna.
    Front eke hitapu army soldiersla, officersla puduma kattak kaala (sacrifice) labaa gaththa win eka thamai king n battalion eka sinnakkarawama liyaa gaththe neda Wicha'thuma.
    Then I Like To Wish You That A Happy, Prosperous And Successful New Year...!

    ReplyDelete
  19. බොහොම ස්තුතියි ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට. සිංග්ලිෂ් කියවාගන්න ටිකක් වෙලා ගියා.

    තරමක් හාස්‍යය මුසු කරමින් මා ලිපි ලියන්නේ සමහර කරුණු ගැඹුරු වැඩි යයි සිතන නිසා. නමුත් බොහෝදෙනා එම ලිපි ප්රියකිරීම මහත් සතුටක්.

    යුද්ධයේදී කැපවීමෙන් ක්‍රියාකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට, සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට, පොලිස් නිලධාරීන්ට මල් තියලා වඳින්න කියලා නෙවෙයි අපි කියන්නේ. සමහරු හිතන්නේ ඔවුනුත් කලේ රැකියාවක් කියලා. එහෙනම් වෘත්තීය සමිතිත් තියෙන්න ඕනෙනේ. අපි කියන්නේ සෙබළුන්ගේ චිත්ත ධෛර්යය පහත වැටෙන ආකාරයට ඔවුන්ව නොසලකා හරින්න එපා කියලා විතරයි.

    ඔබටත් පවුලේ සැමටත් මගෙන් නව අවුරුදු සුබපැතුම්.

    ReplyDelete
  20. සාමාන්‍යයෙන් හමුදාව ඇතුලේ ඉන්න නිලධාරීන් ගේ (ජෙෂ්ටත්වය අනුව) ළමයින්ට ප්‍රමුකත්වය දීලා උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් නමුත් කැම්පස් යන්න ලකුණු මදි කිහිපදෙනෙක්ට වාර්ෂිකව ත්‍රිවිධ හමුදාවෙන්ම වෛද්‍යා බලකායට බදවගන්නවා. ඉස්සර නම් එයාලා පේරේ යැවුවා දැන් නම් KDU ෆැකල්ටියක් තියෙනවා මගේ හිතේ. එහෙම යවන අයට හමුදාවෙන් පඩි ගෙවලා සියලු පහසුකම් දෙනවා. ෆැකල්ටි ඉවර වුනාම අපහු කෙටි හමුදා පුහුණුවකින් පසුව අදාල හමුදාවට බදවා ගන්නවා. එයාලා සමහරු ටිකක් ඉන්නේ අනික් අයට වඩා උඩින්. හේතුව dadi ලොක්කෙක් නේ. හැබැයි වැඩ කරන්න ගියාම නම් සුදුසුකම් ඇතුව ෆැකල්ටි ගිහින් කට්ට කාලා හමුදාවට අපු අයත් එක්ක මෙයාලාට හැප්පෙන්න බැ.

    ReplyDelete
  21. වෛද්‍ය සහයක අංශයට නම් සාමාන්‍ය පටිපටියටමත් සෙබළුන් බදවගන්නවා. විශේෂයෙන් උසස්පෙළ ජීවවිද්‍යා අංශයෙන් සමත් වීම සහ ඉංග්‍රීසි හැකියාව සලකා බලනවා. ඔවුන් සාමාන්‍ය සෙබළුන් සමග පුහුණු වෙලා හමුදා සේවයට එක්වෙනවා. දෙවනුව වෛද්‍ය සහයක අංශයේ පුහුණුව ලබලා එම අංශයට එකතු වෙනවා. ඊළගට කාලයක් එහෙම ඉන්නගමන් ජේෂ්ටත්වය අනුව වැඩිදුර පුහුණුවීම් වලට යොමුකරනවා. න්ර්සින්ග් නම් වෙනම හමුදා පාසැලක් තිබෙනවා. එකේ ත්‍රිවිද හමුදාවේම අය පුහුණු වෙනවා. විකිරණ ශිල්පී, බෞතිකචිකිත්සක, ඖශධ්වෙදි, දන්ත වෛද්‍යසහයක වගේ එකී මෙකි නොකී රෝහල් වල ඉන්න හැම අංශයකටම රජයේ අදාල පාසැල් වලට යොමු කරනවා. ඇතැම් අය මේ පාඨමාලා ඉන්දියාවේදී පුහුණුවෙලා එනවා.

    ReplyDelete
    Replies
    1. හුගක් වේලාවට ඉස්සෙල්ලා කියපු නිලධාරීන්ගේ ළමයි වීමේ වරප්‍රසාදය නිසා දොස්තර වුන හුගක් අයට තමුන් යටතේ සේවය කරණ මේ අයට තරම් A/L සුදුසුකම් නැහැ. නමුත් කවුරුවත් එහෙමයි කියලා සැල්යුට් නොකර හිටියේ නැ. අණක් පිලිපදින්න මැලි වුනේ නැ. සයිටම් එපා වගේ ස්ට්‍රියික් කරේ නැ. එකයි හමුදාව කියන්නේ.

      තවත් දෙයක් යුද්දේ අන්තිම අදියරේදී යුධ හමුදාවට විතරක් O/L පාස් අයත් අනෙක් අංශ වල නිලදාරීන් විදිහට බදවගත්තා. අද ඔවුන් කැප්ටන් මේජර් තනතුරු දක්වා ගිහින් ඉන්නවා. නමුත් වෛද්‍ය සහයක අංශයේ කැම්පස් යන්න Z Score 0.01 අඩුවුන සාමාජිකයන් තම කෝප්‍රල් සාජන් තනතුරුවල ඉන්නවා. ඔවුන් ඉහත නිළදරින්ට A/L fail යි salute නොකර හිටියේ නැ. හැම විටම යටත් වුණා. මගේ පාසලේ මේකට හොඳ උදාහරණයක් තියෙනවා. කුඩාකල එකම පන්තියේ හිටපු යාලුවෝ දෙන්නාගෙන් A/L ඇණගත්තු එකා අද කැප්ටන්. A/L Bio කරලා CCS ගත්තු එකා තාම සාජන්. හැබැයි අර කැප්ටන් මනුස්සකමට නිළඇදුම නැති වෙලාවට මචන් කියලා කරේ අත දාගන්නවා මම School OB එකේදී දැකලා තියෙනවා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }