හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

21 September 2015

මොකක්ද මේ හමුදා අභ්‍යාසයක් කියන්නේ............? Purpose of a Military Exercise


1
මේ දිනවල ලංකාවේ හමුදා අභ්‍යාසයක් පැවැත්වෙනවා කියලා ඔබ දන්නවද?
   මොකක්?............. හමුදා අභ්‍යාසයක්?........ මොකටද එව්වා කරන්නේ? දැන් යුද්දේ ඉවරයිනේ. අරෙහෙන් මානව හිමිකම් නඩු, සුද්දෝ එනවලු නඩු අහන්න, මෙහෙ තව අබ්බියාසලු, අම්මප තමුසෙලාට මොළේ කළඳක් නැද්ද? මේ තියන ටිකත් (පුකත්?) නැතිකරගන්න හදන්නේ? ඔව්වා කරාම, අර ඩයස් කියන පොර ද, ඩයස්පෝරාවද මොකද්ද මන්දා එවුන්ට, උඩගෙඩි දුන්නා වගේ වෙනවා නේද? උන් එයි ගෝනි නැතුවම කරේ යන්න...... අම්මපා මේක යහපාලනේද, වහපාලනේද?

හෝව්....හෝව්.......හෝ..........ව්. මේ, ඔහොම වාඩිවෙන්න. පොඩ්ඩක් හුස්ම ගන්න. නැත්නම් ඔයා මෙතන පැළිලා මැරුණම, මට තමයි, මරණ පරීක්‍ෂණයෙදි සාක්කි දෙන්න වෙන්නේ. හප්පොච්චියේ..........ඔය මූණ දැක්කනම්, තලේබාන්, ISIS, වගේ ත්‍රස්තවාදියොත්, චූ වැක්කෙරි කෙරී දුවනවා ෂුවර්.

   මේ බලන්න, හමුදා අභ්‍යාසයක් කියන්නේ, අමුතු දෙයක් නෙවෙයි. එව්වා එදත්, අදත්, අනාගතයේදීත්, ලෝකයේ සෑම රටකම පවත්වන, පුහුණු වැඩපිළිවෙලක්. මේ ගැන නොදන්නා කෙනෙක් හිතන්න පුළුවන්, අපේ රට, ආපහු යුද්දෙකට ලෑස්ති වෙනවා කියලා. අන්න ඒ වැරදි වැටහීම නැති කරන්නයි, මේ කරුණු ටික කියන්නේ. 

   ඉස්සරවෙලාම, ඔයා කිව්ව එක කාරණේකට උත්තර දීලා ඉන්න ඕනේ. කවුද ඔයාට කිව්වේ, නඩු අහන්න සුද්දෝ එනවා කියලා? අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කළ, අධිකරණ පද්ධතියක් තියනවා. ඒ අධිකරණ පද්ධතියට, විනිශ්චයකාර වරුන් පත්කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. අධිකරණ සේවා කොමිෂන් සභාව අක්‍රිය නම්, පාර්ලිමේන්තුවට ඒ වගකීම දරන්න වෙනවා. ජනාධිපතිගේ බලතල අනුවත්, කටයුතු කෙරෙනවා. අපේ රටේ පරමාධිපත්‍යයට අත තියන්න කාටවත් බැහැ. ඒ අයිතිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලින්ම තහවුරු වෙලා තියෙන්නේ. 

   ලෝකයේ මොනම ජගතෙකුටවත් බැහැ, අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, අපේ අධිකරණ පද්ධතියට, වෙනත් රටකින් විශ්චයකාර වරුන් පත්කරන්න. දැන් නිකම් දේශපාලනයෙන් පාරාජිකා වෙලා, අනුන්ව බිල්ලට දීලා, ඒ අයගේ කරපිටින් පාර්ලිමේන්තුවට පැනගත්ත කුක්කෝ කියන කතා, අහන්න එපා. ඒවා තමයි අජාසත්ත බොරු කියන්නේ.

   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පුළුවන් වාර්තා හදන්න. නමුත් ඒ අය දැනගන්න ඕනේ, රටක ස්වාධිපත්‍යය කියන්නේ මොකක්ද කියලා. යුද්ධයේදී, මානව හිමිකම් කඩවීම සම්බන්ධව කරුණු සොයාබැලීමට, විදේශීය නියෝජිතයන් ආවට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත්, විදේශීය අධිකරණ විනිශ්චයකාර වරුන්ට, අපේ රටේ අධිකරණ කටයුතුවලට මැදිහත්වෙන්න, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, කිසිම ඉඩක් නැහැ. යුද්ධයට අණදුන්, මහ සෙනෙවි ෆොන්සේකාම කියනවා, විදේශීය නියෝජිතයන් සහිතව පරීක්‍ෂණයක් තියනවානම්, බොහොම හොඳයි කියලා. පරීක්ෂණ මණ්ඩලයට පමණයි, විදේශීය නියෝජිතයන් එක්කරගන්නේ. අධිකරණ කටයුතුවලට නෙවෙයි. 

   අනික, එක්සත් ජාතීන්ගේ කොමිසම කියන්නේ, ලංකාවේ හමුදා වලට වගේම, LTTE සංවිධානයටත්, විරුද්ධව චෝදනා තියනවා කියලා. අපිට චෝදනා තිබුණු පළියට ඇයි කලබල වෙන්නේ? ඒවා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න ඕනේ. එතැනදී අපිට, නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර අධිකරණය, වැනි ආයතන තියනවා අපේ නිර්දෝශීත්වය පෙන්වන්න. මෙතනදී දේශපාලනය පැත්තක තියලා, රටක් හැටියට අපි එකමුතුව, මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕනේ. ඒ වගේම, එයින් ලකුණු දාගන්න කවුරුහරි දේශපාලකයෙක් උත්සාහ කරනවානම්, ඔහු වැඩිකල් පාර්ලිමේන්තුවේ නොතියන්න අපි වගබලාගන්න ඕනේ. උතුරේ මහ ඇමති කියන්නෙත්, විපක්‍ෂ නායක සම්බන්දන් කියන්නෙත්, රටේ ඉන්න සාමාන්‍ය දේශපාලනඥයන් මිසක්, රාජ්‍ය නායකයා නෙවෙයි, රජය නෙවෙයි.

   හොඳයි, අපි ආපහු අපේ මාතෘකාවට යමු. හමුදා අභ්‍යාස කියන ඒවා, පැරණි රජ සමයන්හි පවා සිදුකර තිබෙනවා. ප්‍රසියාවේ රජු වශයෙන් සිටි, මහා ෆ්‍රෙඩ්රික් රජු, (1740 - 1786) ඔහුගේ පාලන සමය තුළ, යුද අභ්‍යාස පවත්වා තිබෙනවා. 1909 දී, ජර්මානු හමුදාව, යුද අභ්‍යාස පවත්වා තිබෙනවා. මේ එම අභ්‍යාසයක පින්තූරයක්.

1909

  හමුදාවක්, නිකම්ම නිකම් කකා බිබී, කඳවුරු ඇතුළට වෙලා හිටියොත්, ටික කලක් ගියාම, ඔවුන් රතිඤ්ඤා සද්දෙටත් බය වෙනවා. මේ නිසා, ඔවුන් සෑමවිටම, යුද්ධය සඳහා හොඳින් සූදානම්ව තැබිය යුතුයි. සොල්දාදුවන්ගේ ප්‍රථම රාජකාරිය/වගකීම/කාර්යභාරය/ වන්නේ, යුද්ධයකට සූදානමින් සිටීම. ලෝකයේ සෑම රටක්ම, තම සොල්දාදුවන්, මෙලෙස පුහුණු අභ්‍යාසවල යොදවන්නේ ඒ නිසයි.

යුද අභ්‍යාසයක් කියන එක, මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්.

   යුද අභ්‍යාසයක් යනු, සත්‍ය යුද්ධයකට මුහුණ දෙන්නේයැයි උපකල්පනය කරගනිමින්, සියලු හමුදා සම්පත් යොදවාගෙන, යුද බිමක් ලෙස තෝරාගත්, ඒකාබද්ධ ගොඩබිම්, ගුවන් සහ මුහුදු කළාපයක, ත්‍රිවිධ හමුදාව එක්කරගනිමින් සිදුකෙරෙන, සජීව ප්‍රහාර සහිත, අභ්‍යාසයකි. මෙයින්, යම්කිසි රටක/රටවල් කීපයක, හමුදා ශක්තියේ ප්‍රමාණය, ප්‍රහාරක බලයේ ප්‍රමාණය, මූලෝපාය න්‍යාය ප්‍රායෝගිකව යොදාගැනීමේ මට්ටම හා ශක්‍යතාව, උපක්‍රමිකව අණදීමේ සහ භට සේනාංක හැසිරවීමේ දක්ෂතාව, සත්‍ය යුදමය තත්වයක් සඳහා, තම කඳවුරෙන් පිටත්ව යාමට, හමුදාවන් තුළ ඇති සූදානමේ මට්ටම ආදී, යුද න්‍යායට අදාළ කරුණු, ඇගයීමකට ලක්කිරීමක් සිදුකෙරේ. 

එහෙනම් ලෝකයේ හැම රටක්ම බයෙන් ද ඉන්නේ යුද්ධයකට පැටලෙන්න වෙයි කියලා?

   හ්ම්..........ඒක බයක් කියලා කියන්න බැහැ. අපි අපේ ගමේ ජීවත්වෙන විදිහ අනුවනේ, අපිට හතුරන් ඇතිවෙන්නේ. බොහොම කල්පනාවෙන් මධ්‍යස්ථව ඉන්නවානම්, අපිට හතුරන් ඇතිවෙන්නේ නැහැ. යම්කිසි රටක්, ලෝකයේ අනික් රටවල් සමග ක්‍රියාකරන ආකාරය අනුව තමයි, ඒ රටට සතුරු රටවල් ඇතිවෙන්නේ. මේ නිසා යම්කිසි රටක විදේශ ප්‍රතිපත්තිය දැඩිව බලපානවා, ඒ රටට සතුරු රටවල් ඇතිවීම කෙරෙහි. අපි වගේ පුංචි රටවලට අමාරුයි, මේ තෝරු මෝරු අස්සේ ඇඟ බේරාගෙන ඉන්න.

හොඳයි ඉතින් මොනවද ඔය අභ්‍යාස වලදී කරන්නේ?

   හමුදා අභ්‍යාස විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. රටකට පුළුවන්, තමන්ගේ යුද හමුදාව පමණක් යොදවලා, රටතුළ අභ්‍යාස කරන්න. උදාහරණයක් වශයෙන්, අපි උපකල්පනය කරනවා, ලංකාවේ එක දිස්ත්‍රික්කයක, පළාතක, විශාල කැරැල්ලක් හටගන්නවා කියා. මෙය පාලනය කරන්න, පොලීසියට බැරිවෙනවා. එතකොට හමුදාව යොදවා, එය මැඩපවත්වන්නේ කොහොමද? කියන සංකල්පය ඔස්සේ, අභ්‍යාසයක් කරන්න පුළුවන්. අපි හිතමු ඒ කැරැල්ල තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කියලා. එතකොට ගොඩබිමින් ගිහිල්ලා මැඩපැවැත්වීම අමාරුවෙන්න පුළුවන්. අන්න ඒ වගේ වේලාවකදී, ගුවන් හමුදාවත් අවශ්‍ය වෙනවා. ඔන්න දැන් අර යුදහමුදා අභ්‍යාසයට, ගුවන් හමුදාවත් එක්වෙනවා. අභ්‍යාසය සඳහා තෝරාගත්තේ, මඩකළපුව දිස්ත්‍රික්කය නම්, නාවික හමුදාවත් සම්බන්ධ කරගන්න වෙනවා. ඔන්න, ත්‍රිවිධ හමුදාවම එක්වී, අභ්‍යාසයක් පවත්වනවා.

ඉතින් ඔහොම කරගත්තම මදිද, මොකටද මේ චීන යුද හමුදාව අපේ රටට ඇවිත් ඉන්නේ?

   චීනෙද ජපානෙද, නැත්නම් වෙන රටක්ද කියලා තීරණය කරන්නේ, කාලීනව රටේ ඉන්න ආරක්‍ෂක කවුන්සිලය විසින්. එහෙම නැතුව ත්‍රිවිධ හමුදා නායකයන්, අර රටම ඕනේ, මේ රටම ඕනේ, කියලා අඬා වැටෙන්නේ නැහැ. (යෝජනා කරන්න පුළුවන්) මේ වගේ, රටවල් එකකට වැඩි ගණනක් එක්වී කරන යුද අභ්‍යාස හඳුන්වන්නේ, 'අන්තර්ජාතික ඒකාබද්ධ යුද අභ්‍යාස - Joint Intentional Military Exercise' කියලා.

ඒ වගේ අභ්‍යාසයකදී මොනවද කරන්නේ?

   සරළ උදාහරණයක් කියන්නද? ඔයාගේ ගමටත් හොරු පනිනවා වරින්වර. අල්ලපු ගමටත් හොරු පනිනවා වරින්වර. ඔයාගේ ගමේදීත් එකෙක් දෙන්නෙක් කොටුකරගන්න පුළුවන් වෙනවා. අල්ලපු ගමේදීත් එහෙමයි. නමුත් සීයට සීයක් සාර්ථක නැහැ. දැන් ගම් දෙකේම අය එකතුවෙලා, තම තමන්ගේ ගම්වල ඉන්න වැඩකාරයෝ එකතුකරගෙන, සාකච්ඡාවක් තියනවා, කොහොමද හොරුන්ව මැඩපවත්වන්නේ කියලා.

   එතැනදී දෙගොල්ලන්ගේම අත්දැකීම් හුවමාරු කරගන්නවා. දක්ෂතා හුවමාරු කරගන්නවා. පණිවිඩ සම්බන්ධතා ඇතිකරගන්නවා. වරින් වර හමුවී සාකච්ඡා කරන්නත්, හදිසි අවස්ථාවකදී, එක ගමකින් අනික් ගමට, ආධාරයට පිරිසක් එවන්න ක්‍රමයකුත් හදාගන්නවා. එක දවසක් රෑක, ඇත්තටම එක ගමකට හොරු පැන්නා කියල හිතාගෙන, අර වැඩපිළිවෙල අත්හදා බලනවා. ඉතින් ඔයවගේ දේවල්ම තමා යුද අභ්‍යාසයේදීත් වෙන්නේ.  

  මෙහිදී, අභ්‍යාසයට පෙර, ඒ සඳහා එක්වන හමුදා නායකයන් සහ යුද විශේෂඥයන් එක්වී සාකච්ඡාවක්/සම්මන්ත්‍රණයක් පවත්වනවා. එතනදී ඔවුන් මුලින්ම සාකච්ඡා කරන්නේ, තමන්ට යුදබිමේදී අත්දකින්නට ලැබී ඇති දේවල් පිළිබඳව. ඊළඟට, තමන්ට, දැන් මුහුණදීමට සිදුවී තිබෙන සහ, අනාගතයේදී මුහුණදීමට සිදුවෙතැයි සිතන ගැටළු සහ අභියෝග පිළිබඳවත් සාකච්ඡා කරනවා. ඒ අනුව තමයි තීරණය කරන්නේ අභ්‍යාසය කෙබඳු එකක්ද කියා.

   මුහුදෙන් පැමිණ ගොඩබැසීමක් කර, ප්‍රදේශයක් අල්ලාගැනීම, ගුවනින් භටපිරිස් යවා, ගොඩබිම් ප්‍රදේශයකට බස්සවා, එම ප්‍රදේශය අල්ලාගැනීම, ගොඩබිමින් හමුදා යවා, ප්‍රදේශයක් අල්ලාගැනීම, වැනි අභ්‍යාස තමා සිදුකරන්නේ. මෙහිදී, ප්‍රධාන කාර්ය භාරය ඉටුකරන හමුදාවට, අනික් හමුදා විසින් ආධාරක ප්‍රහාර, භටපිරිස්, ප්‍රතමාධාර, තුවාල කරුවන් රැගෙන යාම, අවි පතරොම් සැපයීම, මාර්ග හා වාහන සේවා කටයුතු, භට පිරිස් සඳහා ආහාර සැපයීම, වැනි විවිධ සහය සහ කාර්ය භාරයන් ඉටුකරදෙනවා. වෙලාවකට කටිනුත් යුද්ද කරනවා.

හෑ............කටින් යුද්ද කරනවා?

   හෙහ් හෙහ්, ඇත්තටම ඒකට කටින් යුද්ද කරනවා කිව්වට ඇති වැරැද්දකුත් නැහැ. එක අභ්‍යාසයක් තියනවා, අණදීමේ ස්ථාන අභ්‍යාසය -  Command Post Exercise කියලා. මේකෙදි අභ්‍යාසය කරන්නේ මෙහෙමයි.
   එකිනෙකට ඈතින් තියන, (එක බිත්තියෙන් වෙන්වුන කාමර දෙකක් වුනත් කමක් නැහැ එහාපැත්තෙ කතාකරන හා සැළසුම් කරන දේවල්, මෙහා පැත්තට ඇහෙන්නේ පෙනෙන්නේ නැත්නම්) ස්ථාන දෙකක ඉන්න කණ්ඩායම් දෙකක් අතරේ, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු මගින් ගහගන්නවා.

   ඔන්න අභ්‍යාසය පාලනය කරන තැනින් එක කණ්ඩායමකට කියනවා අහවල් තැනින් ඔබේ ප්‍රදේශයට සතුරු පිරිසක් ඇවිත් ඉන්නවා කියලා. එතකොට මේ පැත්තේ ඉන්න අය සිතියම් වලින් බලනවා ඒ කියන ප්‍රදේශය. කලින් කතාවෙලා තියනවා, මෙන්න මේ තැන්වල දෙගොල්ලන්ගේ භට පිරිස්, කඳවුරු, කාලතුවක්කු, යුද ටැංකි ආදිය තියෙන්නේ කියලා. ඉතින් අර අභියෝගයට ලක්වුණ අය කියනවා අපි මෙන්න මෙතනින් මෙච්චර පිරිසක් එවනවා රිටන් එක දෙන්න කියලා. එතකොට අරගොල්ලෝ කියනවා, අපි අහවල් පැත්තෙන් පැනලා ගිහින්, අහවල් පැත්තෙන් එනවා කියලා.

   ඔය විදිහට නිකම් කිව්වට බැහැ. අපි හිතමු ගම්පහ ඉඳලා කඩුවෙලට පිරිසක් එවනවා කිව්වා කියලා, ගතවන කාලය, එන්නේ පයින්ද, මගදී ඇම්බුෂ් කරන්න බැරිද, ආදී කරුණු සිය ගණනක් හිතන්න ඕනේ. මෙතැනදී මොළය කල්පනා කරලා සැළසුම් ඉදිරිපත් කරන කණ්ඩායම දිනුම්. ඇත්තටම යුද්දෙදි මේවා හරිම වැදගත්.

   තවත් ක්‍රමයක් තියනවා. කෘත්‍රිම ද්‍රව්‍ය හෝ වැලි, ගල්, පස්, සිමෙන්ති, යොදවා, පොළොවේ සකස් කරන ලද, සමහරවිට අඩි 50 x 50 දිග පළලටත් වැඩි, යුදබිම් ආකෘති වල, උපක්‍රමික අභ්‍යාසවල යෙදෙනවා. මෙය දැන් වැඩිදියුණු කොට, පරිගණක ජාලයකට සම්බන්ධව, තම පරිගණකයෙන් අභ්‍යාසයේ යෙදිය හැකි ආකාරයට සකසා තිබෙනවා.

   දැන් ඉතින් යුද අභ්‍යාසයක් කියන්නේ මොකක්ද කියන එක ගැන සෑහෙන්න දේවල් දැනගත්තා නේද? නිකම් බොරුවටනේ මට කෑ ගැහුවේ. මෙව්වා නොකළොත් අපි අමාරුවේ. දැන් තේරෙනවද, රටක ආරක්ෂාව කියන්නේ, හැමදාම ඇහැ අරගෙන ඉන්න ඕනේ දෙයක් කියලා.

   'ජාතියේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ' කියලා, ඒ කාලේ කිව්වා දැන් අමතකද?

   ශ්‍රී ලංකාව සහ චීනය අතර මේ දිනවල නැගෙනහිර පළාතේ පැවැත්වෙන යුද අභ්‍යාසය ගැන, මෙතනින්මෙතනින්මෙතනින්මෙතනින්, විස්තර බලන්න පුළුවන්. මෑතකදී, ඇමරිකානු හමුදාව, අපිට බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ පුහුණුවක් දුන්න ආකාරය, මෙතනින් බලන්න පුළුවන්. චීනෙයි අපියි එකතුවෙලා කරපු යුද අභ්‍යාසයේ වීඩියෝවක් තියනවා. හැබැයි චීන භාෂාවෙන් තියෙන්නේ. කමක් නැහැ බලන්න.


2015 සැප්තැම්බර් මස 21 වැනි දින 0001 පැය

42 comments :

  1. අයුබෝවේවා..!!
    පුරුදු පරිදිම වටිනා ලිපියක්.
    ගස්ලබ්බට ප්‍රස්න...
    ඔන්න එහෙනම් ඇහුවා...
    පිටියේ යුධ අභ්‍යාසයකදී රටවල් දෙකක් හෝ කීපයක් එක පෙරමුණක් ලෙසින් ඉන්නෙ මනෝකල්පිත සතුරෙකුට විරුද්ධවද?
    සජීවී යුධ උපකරණ භාවිතය නාස්තියක් නෙමෙයිද එතකොට?
    කොටින්ම 'ගැන්සි ගැහිල්ල' කියන එකේ වෘත්තීයමය ක්‍රියාවද මේ? (පැහැදිලි කරගැනීම උදෙසා.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලබ්ස් පළවෙනියා වෙලා නේ?

      යුද අභ්‍යාසයකදී එහෙම මනඃකල්පිත සතුරෙක් හදාගන්නත් පුළුවන්, එහෙම නැත්නම් අපේම අය කොටසක් දාලා සතුරු හමුදාවක් හදාගන්නත් පුළුවන්.

      සජීව පතරොම් වලින් වෙඩි තියන්නේ නැහැ මූනට මූණ දාලා. ඒ වෙනුවට විවිධ තුවක්කු වලින්, භූමියේ හදන ඉලක්ක වලට වෙඩි තියලා, අවි පරිහරණය ගැන අත්දැකීම් වැඩිදියුණු කරගන්නවා. කාලතුවක්කු, යුද්ධ ටැංකි, රොකට් වෙඩි, ගුවන් ප්‍රහාර, නාවික යාත්‍රාවල සිට කෙරෙන ප්‍රහාර, ඒ විදිහටම හදාගත් ඉලක්ක වලට එල්ල කරනවා. ඊට පස්සේ හරිවැරදි සාකච්ඡා කරනවා.

      නාස්තියක් නෙවෙයි නේද පුහුණුවක් සඳහා කරන වැයකිරීම්?

      මෙහෙම කියමනක් තියනවා. 'පුහුණුවේදී ඔබ හෙලන දහදිය බිඳු, යුද බිමේ ඔබ හෙළන ලේ බිඳු ගණන අඩු කරයි'

      ඉතිං පුහුණුවීම හොඳයි නේද?

      Delete
  2. මේක නම් බොහොම වටිනවා විචෝ.

    යුධ අභ්‍යාසයක් කියන්නේ යුද්ධයක් නෙමේ කියලා මම දැනන් හිටියාට එක ඇතුලේ සිද්ධ වෙන දේවල් විස්තර ඇතුව දැනගත්තේ අද.

    මෙන්න මගේ හදපිරි තුති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      මේ දවස්වල පැවැත්වෙන යුද අභ්‍යාසය ගැන තොරතුරු කියවමින් ඉන්න අතරෙ මට හිතුනා කවුරුහරි මොට්ට දේසපාලුවෙක් මේකට විරුද්ධව කතාකරයි කියලා. ඒ නිසා තමයි මේ ලිපිය ලිව්වේ.

      Delete
  3. ෆිල්ම් වලදි එහෙම නිතරම යුධ අභ්‍යාස ගැන පෙන්නන නිසා ඒ ගැන හොයපු නිසා ඒකෙ තියෙන වටිනාකම ගැන දැනගෙන හිටියත් මේ වගේ විසතරාත්මකව නම් දැනගෙන හිටියෙ නෑ. Battle Ship ෆිල්ම් එකෙත් ඔය වගේ යුධ අභ්‍යාසයක් තියෙන තැනකට නේද පිටසක්වල ප්‍රහාර එල්ල වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේවා වෙනත් රටවල මහජනතාවට සීමා සහිතව බලන්න දෙනවා. විස්තර කරලත් දෙනවා. අපිත් එහෙම කරනවානම් හොඳයි. ඒ අඩුව මෙහෙමවත් පිරිමහන්න උත්සාහයක් ගැනීමයි කළේ. අර චිත්‍රපටිය මම බලලා නැහැ.

      Delete
  4. යුධ අබ්‍යාස ගැන දැනං හිටියත් අද තමයි මේ ගැන ගොඩක් විස්තර දැනගත්තෙ. මම අහන්න ආපු ප්‍රෂ්න මේ ගස් කලින් ඇවිත් අහල ගිහින්.

    ඒ අවස්තාවෙදි බාවිතා කරන අවි ගැනත් දැනගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. මා හිතනවා ඔබේ හිතේ තිබුණු ගැටලුවලට ඉහත කමෙන්ට් වලින් මා පිළිතුරු දී ඇතැයි කියා.

      අවි තෝරාගන්නේ ඒ ඒ අභ්‍යාසයේ ස්වභාවය අනුවයි. මෙන්න මේ අවි කියලා කෙලින්ම කියන්න අමාරුයි. නමුත් ඉතිං යුද පිටියක සෑම ආකාරයකම තුවක්කු, කාලතුවක්කු, බෝම්බ, යුද ටැංකි, ගුවන් යානා, නාවික ප්‍රහාරක යාත්‍රා, පාවිච්චි කරන බව ඔබ දන්නවානේ.

      Delete
  5. හැමදාමත් වගේ විචාරකතුමාගෙන් වැදගත් යමක්...
    පෞද්ගලිකව මම යුද අවි, යුද අභ්‍යාස වැනි දේවල් කියවන්නට එතරම් කැමැත්තක් නැහැ. පැරණි යුද රථ ආදිය නම් තරයේ මගේ ආකර්ෂණය දිනා ගන්නවා. නමුත් විචාරක ලියන ශෛලිය නිසා මෙය ආසාවෙන් කියෙව්වා.
    කණගාටුවට කාරණය කොයිතරම් මහන්සි වෙලා තොරතුරු රැස් කරලා ලිපියක් ලිව්වත් විලිලැජ්ජ නැති හොර හැත්ත තමන්ගෙ වගේ ඒවා වෙනත් තැන් වල පළ කිරීමයි

    ReplyDelete
    Replies
    1. මම මේ බෙදා දෙන්නේ හමුදා තොරතුරු. සාමාන්‍ය මහජනතාව මේවා දැන සිටීම වැදගත්. එතකොට තමයි අපිට නිවැරදිව යුද්දේ විවේචනය කරන්න වුනත් පුළුවන් වෙන්නේ.

      හොර බලුකිරි හැත්ත ආයෙත් වැඩ පටන් අරන්. බලමුකෝ බලමුකෝ.

      Delete
  6. තරහ අවසර. මම තාම මේ ලිපිය කියෙව්වෙ නෑ. කියවපු ගමන් මේකට යටින් ලිපිය ගැන අදහස දානවා අනිවා. ඉඩ වෙන් කරගත්ත විතරයි :D

    ReplyDelete
    Replies
    1. කමක් නෑ කමක් නෑ, පස්සේ හෙමිහිට කියවලා අදහස් දක්වන්න.

      බොහොම ස්තුතියි.

      Delete
  7. පට්ට.. යුද අභ්‍යාස බර ගාණකට ඉඳල තිබ්බත් මෙහෙම පිළිවෙලට මේක ගැන හිතන්න හිතුවෙවත් නෑ..

    ඇටැක් එකකට යන්න කලින් බැරල් වෝර්මින් වලට ෆයර් කරන රවුන්ඩ්ස් දෙක තුනේ ඉඳල රටවල් කිහිපයක ලොකු නැව් ෆ්ලිට් එකක් එකතුවෙලා කරන කම්බයින් සී/ ලෑන්ඩ්/ එයාර් සහ ඇම්පිබියස් ඔපෙරේෂන් දක්වා ලොකු පරාසයක මේ යුද අභ්‍යාස කියන ඒවා විසිරිලා තියෙනවා. විචාරක තුමාට ලියනවනම් ලිපි සීය ගානක් ලියන්න වෙනවා නේද? හැක හැක..
    ඇමෙරිකන් සීල්ස්ලා හා ලංකාවේ නේවි එක මුල්වෙලා පහු ගිය කාලේ (සහ දැනටත්?) දිගටම කරන එක්සර්සයිස් දෙකක් තමයි flash style සහ balance style කියන්නේ.. මේකත් මුහුද ගොඩබිම හා ඇම්පිබියස් ලෑන්ඩින් එක්ක කරන හොඳ පුහුණුවක්.. විශේෂයෙන්ම ඩෝරා යාත්‍රා හා විශේෂ යාත්‍රා බලගණය (SBS) එක මේකට එකතු වෙනවා.. ඒ දවස්වල නම් අපි බනින්නේ අපිව ට්‍රේනින්ග් කරන්න කියල ඇවිත් උන් අපේ ටැක්ටික්ස් අහගෙන යනවා කියලයි.. වෙලාවක ලියන්නම් එහෙම අත්දැකීම් ටිකක්..

    ReplyDelete
    Replies
    1. ලියන්නකෝ කල්‍යාණ මේ වගේ අභ්‍යාසයකදී නාවික හමුදාවේ role & task ගැන ලිපියක්. ඇත්තටම මේ කාරණයට අදාලව දීර්ඝ ලිපි ලියන්න පුළුවන්. මම දැන් දිග ලිපි ලියන එක ටිකක් අඩු කරලා තියෙන්නේ.

      සුද්දෝ අපෙන් ඉගෙන ගෙන අපිටම කෙලිනවා කියන කතාව ඒ කාලේ හරියට පැතිරිලා තිබුණා. මම ඉන්දියාවේ Junior Command Course එක කරද්දී බර මැෂින් තුවක්කුවක් යුද බිමේ උපක්‍රමිකව යොදවන හැටි පෙන්නුවාම ඉන්දීය හමුදාවේ අය එකඟ වුණේ නැහැ. නමුත් ඉන්දියානු පුහුණු උපදේශක කර්නල් කිව්වා උඹලා දන්නා දෙයක් නැහැ. යුදබිමක ඉඳලා ආව මේ මිනිහගෙන් ඉගෙනගනොල්ලා කියලා.

      Delete
  8. වටිනා ලිපියන් යුද මෙහෙයුම් ගැන වරෙක ත්‍රිකුණාමලයේ පැවැති දියකාවා යුද අභ්‍යාසයකට එක් වෙන්න අවස්ථාවක් ලැබුණා. එවරත් රටවල් කීපයකම අය එකතුව සිටියා මේ අභ්‍යාසය කරන්නට.

    ReplyDelete
    Replies
    1. ඉතාම දුර්ලභ අවස්ථාවක් නලීන් ඔබට ලැබී තිබෙන්නේ. බොහෝ දේ ඉගෙනගන්න අති නේද යුද්ධයක් වෙන්නේ මෙහෙමයි කියන එක ගැන.

      Delete
  9. විචාරකතුමා මෙන්න ආයෙත් වතාවක් ඔබතුමාගේ ලිපියක් හොරකම් කරලා එළකිරි සයිට් එකේ

    http://www.elakiri.com/forum/showthread.php?p=18983916#post18983916

    ReplyDelete
    Replies
    1. හොඳයි මම බලන්නම්. ඔබට ස්තුතියි.

      Delete
  10. යුධ අභ්‍යාස කියන එක අහල තිබුණත් හොඳින් විස්තර දැනගන්න මේ ලිපිය හේතු උනා.
    අැත්තටම සජීවී ආයුධ පාවිච්චි කරන එක මෙතනදි පාඩුවක් නෙමෙයි ද?

    //අපි හිතමු ඒ කැරැල්ල තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කියලා.//
    හැක්... ඒ ගැන විචා කලබල වෙන්න එපා. අපි බලාගන්නං ඒක. :D

    ReplyDelete
    Replies
    1. බලහංකෝ මේ මනුස්සයා මේ යසට තියෙන රුවන් නිදන පින්බිමට කැරලි ගේන හැටි.

      Delete
    2. සජීවී ආයුධ පාවිච්චි නොකර යුද්ධ ගතිය ඇතිකරන්න බැහැ. පාවිච්චි කරන්නේ යම් යම් සීමාවන්ට යටත්ව.

      අපොයි බලාගනියි කියලා තමයි බය. ගඟ අයිනට වෙලා ඉන්නවෙයි විනාඩියෙන් විනාඩියට බයට පිටවෙන එව්වා හෝදගන්න.

      අඩ්ඩ ව් මධාවියා. 1969 - 70 කාලේ මම ලෙල්ලෝපිටිය, පැල්වාඩිය, වෙරලුපේ,පැත්තේ හොඳ හොඳ සෙල්ලම් දැම්මා හරිය.

      Delete
  11. විස්තරය වෙනදා වගේම වටිනවා. එ්ත් සජීවී යුද උපකරණ භාවිතයට වඩා මට ප්‍රශ්නෙ තියෙන්නෙ, රඟපෑමක් වැනි දෙයක් නිසා නියම හැඟීමෙන් හැමදේම සිද්ධ වෙනවාද කියන එක.
    (තමුන්නාන්සෙගෙ මෙව්වා එකට උත්තර බඳින්න ගිහිං තමා ඔන්න පරක්කු වුණේ.)

    ReplyDelete
    Replies
    1. සජීවී වෙඩි තැබීම් කරන්නේ භාටපිරිස්වල ජීවිතාරක්‍ෂාව තහවුරු කරගෙනයි. එහෙම වෙඩි නොතියා අභ්‍යාසය සම්පූර්ණ වෙන්නේ නැහැ. තව විනාඩි පහකින් මෙතනට ගහපන් කියලා කිව්වම කටින් ඩොන් ඩොන් කියලා බැහැ. එතන හදලා තියන ඉලක්කය කුඩුකරන්න ඕනේ. අපිට ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද බැරිද කියලා පෙනෙන්නේ එතකොටයි.

      Delete
  12. විචාරක තුමා , වෙනදා වගේම වටින ලිපියක් ..
    ගස්ලබ්බට තියෙන ප්‍රශ්නම තමා මටත් තියෙන්නේ, ඉක්මනට ඒවට උත්තර දෙන්න.

    ඕබතුමාගේ සහ මාතලන්ගේ ( ප්‍රියන්ත හේවගේ ) විද්‍යුත් ලිපින දෙක ලබා දෙන්න පුළුවන් නේ
    Urgent Service .. ☺ ☺ ☺

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔන්න ගස් ලබ්බට උත්ටර දුන්නා.

      මගේ ඊ මේල් ලිපිනය wmjgslsr@gmail.com

      මාතලන්ගේ ලිපිනය මම දෙන එක හොඳ නැහැ නේද? එයාගේ අඩවියට ගිහින් ඉල්ලන්න.

      Delete
  13. මෙහි පළකිරීමට අකමැති නම්, sadaruprabhashwara@gmail.com එකට මේල් එකක් දාන්න, කරදරයක් කියා නොසිතා ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉහළින් තියනවා.

      Delete
  14. පට්ට ලිපියකි, ඇම්බුෂ් එකක් කරන විදිහත්, දිගු දුර මෙහයුම් ගැනත් දවසක ලියනවද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      මම මේ අඩවිය බලන අයට ඇම්බුෂ් කෝස් එක කෙරෙව්වේ සෑහෙන කාලෙකට උඩදී.

      කමෙන්ට්ස් එක්ක කෝස් එක කරන්න ඕනෙනම් මෙතනට යන්න

      කමෙන්ට්ස් නැතුව බලන්න ඕනෙනම් මෙතනට යන්න

      Delete
    2. කියෙව්වා බොහොම ස්තුතියි, ඒකේ කමෙන්ට් දැක්කම, වැඩිපුරම ඉන්නේ මේ දවස් වල දකින්න නැති ප්‍රේක්ෂක ජනතාවක් නේ... ඇත්තටම දැන් උන් කෝ? ක්ලේමෝ එකකටවත් අහු වෙලාද?

      Delete
  15. යුධ අභ්‍යාස කරන භූමියක ඉදලා සජීවිව නරඹනවා වගේ දැනෙන විදියට කරැනු ලියලා තියනවා.හමුදාවෙ ඉන්න මිතුරෝ එයාලට දුන්න ට්‍රෙිනින් එක ගැන කියනකොට මට හිතිලා තියනවා මෙ බොරැවක්ද කියන්නේ කියලා.නමුත් පස්සේ දැක්කා ට්‍රෙිනින් එක කොහොමද කියන සමහර පුහුනුවීමි ඇගකිලිපොලා යන ඒවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      ඇත්තටම හමුදා පුහුණුවක් සිදුවන ආකාරය බලා ඉන්න ලස්සනයි. සොල්දාදුවා කොතරම් අවදානමක් අරගෙනද ක්‍රියාකරන්නේ කියන එක වැටහෙන්නේ එතකොටයි.

      Delete
  16. අහලා තිබ්බට හරි විස්තරයක් දැනගත්තේ අදයි.... ඒ ගැන ස්තූතියි..... එතෝට විචාරකතුමා ඔය එකකදි අනතුරක් වීමේ හැකියාවක් නෑ කියන්නම බෑ නේද? එහෙම වෙන්නත් ඉඩ තියෙනවා නේද? මං කියන්නෙ ඇත්තම ඒව පාවිච්චි කරන හින්දා වැරදීමකින් වෙන්න පුලුවන්නේ.......

    ReplyDelete
    Replies
    1. ඔබ මීට පෙර මේ පැත්තේ ආවද කියලා මතක නැහැ. සාදරයෙන් පිලිගන්නවා. තුමා කෑල්ල කපලා විචාරක කියලා කියන්න.

      අපොයි අනන්තවත් අනතුරු සිදුවෙනවා. හැබැයි ඔය අතක් කකුලක් ඇමැට්ටි වෙනවා, කැඩෙනවා, උලුක් වෙනවා, පොඩි පොඩි තුවාල සිදුවෙනවා වගේ දේවල් තමයි. බරපතළ තුවාල වෙන්නේ බොහොම කලාතුරකින්. සියලුම ආකාරයේ වෛද්‍යාධාර හැමවිටම සූදානමෙන් තියෙන්නේ.

      සජීව වෙඩිතැබීම් වලදී මුහුණට මුහුණ දා කවදාවත් වෙඩි තියාගන්නේ නැහැ. යුදබිමේ හදන ඉලක්ක වලට ගහනවා විතරයි.

      Delete
  17. මම ඩිස්කවරි එකේ බැලුවා ඇමරිකන් ඉන්දියා යුධ අභ්‍යාසයක්. ඒකෙදී බොරුවටද මන්දා ඇමරිකන් කාරයෝ ඉන්දියාවට හරියට හොඳ කියනවා. සමහරවිට උන්ට ඕනේ ටික දැනගත් හින්දාද මන්දා ? දෙගොල්ලෝ වෙපන් මාරු කරගෙනත් ප්‍රැක්ටිස් කළා. එවැනි රටක් තෝරා ගැනීමේදී යම් රටක් සැලකිලිමත් වෙනවාද ? එහෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවාද ? මේ වගේ අභ්‍යාස වලින් තුවාල ලබපු අවස්ථා තියෙනවාද ?

    ReplyDelete
    Replies
    1. අපොයි උන්දැලා අපිත් එක්ක වවුනියාවේ කළේ වදකරද්දේ එහෙක් මට කියනවා උඹ වීඩියෝ කැමරාව හැන්ඩ්ල් කරන්නේ ප්‍රොෆෙෂනල් විදිහට. මොකක්ද උඹ ඒක ඉගෙනගත්ත ඇකඩමිය කියලා. මට කියන්න හිතුනා අනේ අනේ නන්නානේ කියලා. (ඌට තේරෙන එකක්යැ)

      කවදාවත් ප්‍රතික්ෂේපවෙයි කියලා හිතෙන යෝජනා රටකින් රටකට ඉදිරිපත් කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම මුට්ටිය දාලා බලලා හරිනම් ඔෆීෂියල් මුට්ටිය දානවා. හෙහ් හෙහ්.

      බරපතළ තුවාල වෙන්නේ ඉතාම කලාතුරකින්. හෙලිකොප්ටර් වලින් භටපිරිස් ප්‍රවාහනයේදී, හෙලිකොප්ටරයෙන් කඹ වලින් බිමට පැනීමේදී, පැරෂූට් අභ්‍යාස වලදී තමා බරපතළ තුවාල වෙන්න ඉඩ තියෙන්නේ. සුළු තුවාල කැපීම සීරීම් නම් එමටයි.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. //චීනෙයි අපියි එකතුවෙලා කරපු යුද අභ්‍යාසයේ වීඩියෝවක් තියනවා. හැබැයි චීන භාෂාවෙන් තියෙන්නේ. කමක් නැහැ බලන්න.//

    චීනෙයි අපියි එකතුවෙලා කරපු යුද අභ්‍යාසයේ වීඩියෝවක් තියනවා. හැබැයි චීන භාෂාවෙන් තියෙන්නේ.'මෙතනින්' ගිහින් චීන භාශාව ඉගෙනගෙන ඇවිත් 'මෙතනින්' බලන්න කියලා.. හික්ස්

    වෙලාවක් ඇතිවිටක ඉයන්ගේ අඩවියටත් ඇවිත් යන්න

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්............චීන බාසාව ඉගෙන ගන්නවාට වඩා හොඳයි චීනෙකුට සිංහල උගන්නවා. හම්මෝ ඉගෙනගන්න හරිම අමාරු භාෂාවක් නේද?

      මේ දැන්ම එන්නම් ඔබේ අඩවියට.

      Delete
  20. ඔය යුද්ධ අභ්‍යාස ගැන මුල් වරට දැක්කේ පොඩි කාලේ රූපවාහිනියේ ගිය Private Benjamin කියන නාට්‍ය මාලාවෙන් - විචාරක මහත්මයා Dirty Dozen බලලා තියෙනවා නම් එහිත් ඔය වගේ අභ්‍යාසයක් ගැන සඳහන් වෙනවා - හැබැයි රට රටවල් ගැන යුද්ද අභ්‍යාස ගැන අහල තිබුනත් වැඩි දුර කරුණු ඉගෙන ගත්තේ මේ ලිපියෙන්

    ReplyDelete
    Replies
    1. පිළිතුරු දීමට ප්‍රමාදවීම ගැන කණගාටුව පළකරනවා. Dirty Dozen අපි ඉස්කෝලේ යනකාලේ බලපු ලස්සන චිත්‍රපටියක්.

      ඔබ දැනුමට යමක් එක්වීම ගැන සතුටුයි. ඇගයීම ගැන ස්තුතියි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }