හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

12 June 2015

යුද්ධ කරන්නෝ සහ නොකරන්නෝ (දෙවැනි කොටස)...................................... Combatants and Non Combatants (Part Two)

1
 මේ ලිපියේ පළමුවැනි කොටස කියවූ බොහෝ දෙනෙකු, සාර්ථක ප්‍රතිචාර දක්වා තිබුණා. ඔබ අතරින් සමහරකු අදහස් දැක්වීම් නොකලත්, සෑහෙන පිරිසක් එම ලිපිය කියවා ඇති බව, බ්ලොගර්/වර්ඩ්ප්‍රෙස් දර්ශක දෙකේම පෙන්වා තිබෙනවා. හොඳයි, පසුගිය ලිපියේ අවසානයේදී, මා ඔබට යම් අභ්‍යාසයක් දුන්නා. ඒ තමයි යුද හමුදාවක තිබෙන, සටන්කාරී සහ සටන්කාරී නොවන රෙජිමේන්තු මොනවාද යන්න තේරීම. කීප දෙනෙක්ම සාර්ථක පිළිතුරු ලබාදුන්නා. රෙජිමේන්තුවක නමෙන් පමණක්, එය සටන්කාරීද නැද්ද කියා කියන්න බැහැ හැමවිටම. ඒ නිසයි සමහරු සිතා තිබුණේ, ඉංජිනේරු රෙජිමේන්තුව සටන්කාරී නොවන බව.

   ඔබ දන්නවාද ශ්‍රී ලංකා යුද හමුදාවේ (ලෝකයේ හැම යුද හමුදාවකම පාහේ) යුද හමුදාධිපති තනතුර ලැබෙන්නේ, සටන්කාරී රෙජිමේන්තුවක නිළධාරියකුටයි. අද ශ්‍රී ලංකා යුදහමුදාධිපති, ලුතිතන් ජෙනරල් A W J C ද සිල්වා RWP USP ndu psc අයත් වන්නේ, ඉංජිනේරු රෙජිමේන්තුවටයි. හොඳයි, අපි මුලින්ම මේ හමුදා රෙජිමේන්තු, අදාළ කාණ්ඩ වලට වෙන්කරගත්තොත් හොඳයි නේද. අපි බලමු, කොහොමද වර්ග කරන්නේ කියා. 


  සටන්කාරී රෙජිමේන්තු 

  Combatant Regiments 

   ඇත්තටම සටන්කාරී කියලා කියන්න පුළුවන්, තමන්ගේ ශක්තියෙන්ම යුද පිටියට ගොස්, සටනේ යෙදෙන රෙජිමේන්තු වලට පමණයි. ඒ අනුව බලනකොට, පාබල හමුදාව කියන වර්ගීකරණයට වැටෙන අය තමයි, සටන්කාරී වර්ගීකරණයට කෙලින්ම වැටෙන්නේ. අපේ රටේ තිබෙන ශ්‍රී ලංකා පාබල හමුදාව, ගැමුණු හේවා බලකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, තමයි පාබල හමුදා ගණයට වැටෙන්නේ. සන්නද්ධ රථවල නැගී යුද පිටියට යන පාබල හමුදාව හඳුන්වන්නේ, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව යන නමින්. ඔවුනුත් සටන්කාරී රෙජිමේන්තුවක්. විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව, සටන්කාරීන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් එම රෙජිමේන්තු දෙක, සාමාන්‍ය පාබල රෙජිමේන්තුවක් මෙන් යුදබිමේ යොදවන්නේ නැහැ. සටනේ අතිවිශේෂ කාර්ය භාරයන් සඳහා පමණයි, ඔවුන් යොදවන්නේ. උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය පාබල හමුදා කණ්ඩායමකට සාර්ථකව කරගත නොහැකිවනු ඇතැයි සිතන, සතුරු කඳවුරක් වටලා එහි සිටින විශේෂ අයකු පණපිටින් අල්ලාගැනීම වැනි දේ සඳහා තමයි, මේ අය යොදවන්නේ. 

පාබල හමුදාව - Light Infantry Regiments

යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව - Mechanised Infantry Regiment 

විශේෂ බලකාය - Special Force

කමාන්ඩෝ රෙජිමේන්තුව - Commando Regiment 

ඊළඟ වර්ගය තමයි ආධාරක සේනා.



ආධාරක සේනා - Support Arms

   මේ රෙජිමේන්තු මගින් කරන්නේ, පාබල සේනාංක වලට, සතුරා සමග සටන් කිරීම සඳහා අවශ්‍ය ආධාර ලබාදීම. ඒ නිසා, ඔවුන්ටත් යුද පිටියට යන්න වෙනවා. අපි බලමු, මේ එක් එක් රෙජිමේන්තුව යුද පිටියෙදි මොනවද කරන්නේ කියා.


සන්නාහ සන්නද්ධ බලකාය - Armoured Corps:-

   මේ අයනේ යුද්ධ ටැංකි වලින් සටන් කරන්නේ. පාබල හමුදාවල ඉදිරි ගමන සඳහා අවශ්‍ය සහය මේ අය දෙන්නේ මෙහෙමයි. පාබල හමුදාවේ කණ්ඩායමකට පහසුවෙන් විනාශ කරන්න අමාරු ඉලක්ක, ඒ කියන්නේ, සතුරාගේ ඉදිකිරීම් (බංකර්, ගොඩනැගිලි වැනි) තම යුද ටැංකිවල තිබෙන විශාල කාලතුවක්කු සහ බර මැෂින් තුවක්කු වෙඩි බලය ලබාදී විනාශ කිරීම. සතුරු ප්‍රදේශ වල සටන්කාරී මුර සංචාර වල යෙදීම. පාබල හමුදාව සමග ඉදිරියට යමින් ඒ අයගේ ගමන පහසු කරවීම. සතුරු යුද ටැංකි සමග සටන් කිරීම. ගුවන් යානා නාශක වෙඩි බලය ලබාදීම, ටැංකි ගණනාවක් එකවර යෙදවීමෙන් සතුරු හමුදා මවිතයට පත්කරමින් කම්පන ශක්තිය මගින් සතුරා පසුබැස්සවීම. 


කාලතුවක්කු හමුදාව - Artillery Corps/Regiment:-

   කාලතුවක්කු වලින් ලැබෙන ආධාරය ගැන මීට කලින් අපි කතා කරලා තියනවා. සටනක් සඳහා පාබල හමුදා යුද පිටියට බහින්න කලින්, කාලතුවක්කු හමුදාවෙන් සතුරා ඉන්න ප්‍රදේශයට වෙඩි වරුසාවක් වස්සවනවා. එවිට ඉලක්කය මෘදු එකක් වෙනවා පාබල හමුදාවන්ට. පාබල හමුදා විසින් ඉල්ලන ආධාරක වෙඩි බලය ලබාදීම, සතුරු කාලතුවක්කු වලට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම, යුද පිටියේ රාත්‍රී අහස තම පාබල හමුදාවන්ට අවශ්‍ය විට 'පැරෂූට් ආලෝක - Para Illumination' මගින් ආලෝකවත් කරදීම, වැනි තවත් දේ බොහොමයක් ඉටුකරනවා කාලතුවක්කු හමුදාවෙන්. 


ඉංජිනේරු බලකාය/රෙජිමේන්තුව - Engineers Corps:-

   ඉංජිනේරු බලකාය ගැන මෙතෙක් ඔබට වෙනම ලිපියකින් කියාදෙන්න අමතකවීම ගැන කණගාටු වෙනවා. මේ අය තමයි යුද පිටියේ ඉදිරියෙන්ම යන්නේ. කරන ප්‍රධාන රාජකාරිය තමයි යුද පිටියට යන පාබල හමුදාවන්ගේ ඉදිරි ගමනට ඇති බාධක ඉවත් කිරීම. ඒ කියන්නේ සතුරා විසින් අටවා තිබෙන මර උගුල් බිම් බෝම්බ ඉවත් කිරීම, එමෙන්ම බාධක වශයෙන් කපාදමා තිබෙන මහ ගස්, පෙරලා තිබෙන මහ ගල්, කඩා දමා තිබෙන ගොඩනැගිලි, ආදිය පුපුරවා ඉවත් කිරීම, පුපුරවා දමා ඇති පාලම් ඉදිකිරීම හෝ තාවකාලික පාලම් ඉදිකිරීම, බුල්ඩෝසර වැනි යන්ත්‍ර යොදවා පාරවල් සෑදීම. ඒ වගේම තමයි සතුරාගේ ඉදිරිගමන අඩාල කිරීම සඳහා බිම්බෝම්බ, මර උගුල්, බාධක ඇටවීම. 'සටන්කාරී ඉංජිනේරුවන් - Combat Engineers' යනුවෙන් හඳුන්වන විශේෂ පුහුණු කණ්ඩායම් තමයි මේ සඳහා යොදවන්නේ. 


සංඥා බලකාය - Signal Corps:-

   සංඥා බලකාය ගැන වෙනම ලිපියකින් කියාදී නැතත්, යුද හමුදා පණිවිඩ හුවමාරුව ගැන, මා ඔබට මීට කලින් කියාදී තිබෙනවා. මේ අය ආධාරක සේනාවක් ලෙස යුද බිමේ මොකද කරන්නේ? පාබල හමුදාව අතේ තියන පණිවිඩ හුවමාරු යන්ත්‍ර ලබා දෙන්නේ ඒ අයයි. ඒ පණිවිඩ හුවමාරුව ඖල් නොවී පවත්වාගැනීම සඳහා ඒ ඒ සේනාංක, බලසේනා, බලඇණි, සඳහා අවශ්‍ය පණිවිඩ හුවමාරු ජාල Communication Net සකස්කරදීම, සතුරු පණිවිඩ හුවමාරු වලට ඇහුම්කන්දෙන විශේෂ සංඥා උපකරණ සහිත රහසිගත මධ්‍යස්ථාන යුදබිමේ පිහිටුවාගෙන එම සතුරු පණිවිඩ වහාම උසස් මූලස්ථාන වලට ලබාදීම, සතුරු පණිවිඩ ජාලා අවුල් කිරීම, සතුරු පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන තිබෙන තැන්, නවීන තාක්ෂණික උපකරණ මගින් සොයාගෙන ඒවා විනාශ කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ලෙස පාබල, ගුවන්, හමුදාව වෙත ලබාදීම, රේඩාර් පද්ධති නඩත්තු කිරීම, හමුදා කටයුතු සඳහා අවශ්‍ය 'මහජන ඇමතුම් උපකරණ - PA Equipments' සැපයීම, වැනි රාජකාරි බොහොමයක් මොවුන්ගෙන් ඉටුවෙනවා.  

   සටන්කාරී රෙජිමේන්තු සහ ආධාරකසේනා ළඟට ඉන්නේ සේවා රෙජිමේන්තු. ඒ අය කවුද? කරන්නේ මොනවද? 


සේවා රෙජිමේන්තු - Services


විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකාය = වියාඉ - Electrical and Mechanical Engineers - EME:-

   මේගොල්ලෝ කරන ප්‍රධානතම කාර්යය තමයි, සමස්ත යුද හමුදාවේම තිබෙන වාහන සහ උපකරණ, උපකරණ කියන්නේ රූපවාහිනී, ශීතකරණ, රේඩියෝ, ඡායා පිටපත් යන්ත්‍ර, බෝම්බ සොයන උපකරණ, වැනි දේ.  (පණිවිඩ හුවමාරු උපකරණ කැඩුනම හදන්නේ සංඥා බලකායෙන්මයි) අලුත්වැඩියා කිරීම. හැබැයි මේ අය යුද පිටියටත් සම්බන්ධ වෙනවා. සෑම යුද ටැංකියක් සමගම, කාලතුවක්කුවක් සමගම ඉන්නවා, වියාඉ නියෝජිතයන්. ඔවුන් තමා, යුද පිටියේදී යුද ටැංකියක/කාලතුවක්කුවක හදිසි නඩත්තු කටයුතු කරන්නේ. ඊට අමතරව, යුද පෙරමුණට පසුපසින්, මේ අය, කුඩා නඩත්තු මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා.  ඒකට කියන්නේ, 'සැහැල්ලු ආධාරක ඛණ්ඩය - Light Aid Detachment' = LAD කියලා. ඉතින් මේ අයත්, එක අතකින්, සටනට කෙලින්ම සම්බන්ධයි කියන්නත් පුළුවන්.


ඉංජිනේරු සේවා රෙජිමේන්තුව = ඉසේරෙ - Engineer Services Regiment = ESR:- 

    මේ රෙජිමේන්තුව ප්‍රධාන වශයෙන් කරන්නේ, ගොඩනැගිලි ඉදිකිරීම සහ, ජලය සහ විදුලිය සැපයීමයි. යුද බිමට පසුපස ආරක්‍ෂිත කලාපවල, විවිධ අවශ්‍යතා සඳහා ඉදිකෙරෙන තාවකාලික ගොඩනැගිලිවල සිට, ඕනෑම මහා පරිමාණ ස්ථිර ගොඩනැගිලි සැකසීම දක්වා සියලු කාර්යයන්, මේ රෙජිමේන්තුවෙන් ඉටු කෙරෙනවා. කඳවුරු වලට අවශ්‍ය සියලු ජල සැපයුම්, විදුලි සැපයුම්, ජනක යන්ත්‍ර, මේ රෙජිමේන්තුවෙන් තමයි සැපයීම සහ නඩත්තුව කරන්නේ. මොවුන්ද, යුද බිමට පසුපසින්, තම කඳවුරු ඉදිකරගෙන, අවශ්‍ය සේවා සපයනවා.


සේවා බලකාය = සේබ - Service Corps = ASC:-

   මේ රෙජිමේන්තුවෙන් තමයි, හමුදාවට අවශ්‍ය අමු සහ වියළි ආහාර ද්‍රව්‍ය, දර/ගෑස් සහ, ක්‍රියාන්විත සඳහා අවශ්‍ය විශේෂයෙන් සකසා පැකට් කළ ආහාර සැපයීම, සියලුම ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය වාහන සැපයීම සහ, ඒවාට අදාළ ඉන්ධන ලබාදීම සිදුවන්නේ. ලෝකයේ දියුණු රටවල, සේවා බලකාය සතුව, ප්‍රවාහන හෙලිකොප්ටර්/ගුවන් යානා තිබෙනවා. සේවා බලකායේ නිළධාරි නියමුවන් විසින්මයි ඒවා පදවන්නේ. අපේ රටේ යුද්ධය පැවති කාලයේ, එවැනි ගුවන් ප්‍රවාහන ක්‍රමයක් ඇතිකිරීමට යෝජනාවක් ආවත්, එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතාම කාර්ය බහුල රෙජිමේන්තුවක්. යුද හමුදා පොතේ තියන විදිහට, මේ රෙජිමේන්තුව, සටන් පෙරමුණටම ගොස් ආහාර සපයන්න සූදානම්ව සිටිය යුතුයි. සටන් පෙරමුණට පසුපසින්, අති විශාල, ආහාර සහ ඉන්ධන ගබඩා පවත්වාගැනීමට, මේ රෙජිමේන්තුව ක්‍රියාකරනවා.


යුද්ධෝපකරණ බලකාය - Ordnance Corps = AOC:- 

   නම ඇහුවම නම් හිතෙන්නේ, මේගොල්ලෝ, කෙලින්ම යුද පිටියට යන පිරිසක් වගේ. නමුත් ඇත්තටම මේගොල්ලෝ කරන්නේ, සමස්ත යුද හමුදාවටම, නිළ ඇඳුම් ආයිත්තම් සැපයීම සහ තුවක්කු, පතරොම්, බෝම්බ ආදිය සැපයීමයි. කඳවුරක පොල්ගාන හිරමනේ සිට, උයන පිහන භාජන, පිහිය, කැති, පොරොව, පවා සපයන්නේ මේගොල්ලෝ. හමුදා පොතේ තියන ආකාරයට මේ අය යුද පිටියටම ගොස්, මේ සැපයුම් කලයුතුයි.


යුද හමුදා පොලීසිය - Corps of Military Police = MP :- 

   මොන පොලීසියෙන් වුණත් කරන්නේ නීතිය සහ විනය රකින එක නේද? යුද හමුදා පොලීසියෙනුත්, මූලික වශයෙන් කෙරෙන්නේ ඒක තමා. හමුදාවේ ඔනෑම නිලයකුට විරුද්ධව එල්ලවන විනය චෝදනා වලදී, අවශ්‍ය විමර්ශන කටයුතු පවත්වා, අදාළ ඉහළ මූලස්ථාන වලට වාර්තා කිරීම, හමුදා වාහන, නිසි පිළිවෙත අනුව ධාවනය වන්නේදැයි පරීක්‍ෂා කිරීම, යුදහමුදා වාහන හදිසි අනතුරු වලට ලක්වුවිට, අවශ්‍ය විමර්ශන ක්‍රියාමාර්ග ගැනීම, හමුදා පෙළපාලි සහ උත්සව වලදී, වාහන හැසිරවීම, ප්‍රභූ රථ ආරක්ෂාව සහ දොර විවෘත කරන්නන් ලෙස සේවයේ යෙදීම, සෑම ප්‍රධාන කඳවුරකම, මුරහලක් සහ චෝදනාගාරයක් පවත්වාගෙන යාම, සියලුම හමුදා සාමාජිකයන් සඳහා හමුදා හැඳුනුම්පත් නිකුත්කිරීම, වැදගත් අවස්ථා ඡායාරූප/වීඩියෝ ගත කිරීම, ආදිය තමයි, මේ බලකාය සතු ප්‍රධාන රාජකාරි වන්නේ.


පොදු සේවා බලකාය - General Service Corps = AGSC :- 

   මේ බලකාය කරන ප්‍රධාන රාජකාරී වන්නේ, සමස්ත යුද හමුදාවටම අදාළ ලිපිකරු රාජකාරි සඳහා පුහුණු සෙබළුන් ලබාදීම, (දැන් නම්, අපේ රටේ, ඒ ඒ රෙජිමේන්තුවල සිටින සෙබළුන්, පොදු සේවා බලකාය මගින් පවත්වන, විශේෂ ලිපිකරු පුහුණු පාඨමාලා හදාරා, සේවයේ යෙදෙන නිසා, පොදු සේවා බලකායෙන්, ලිපිකරුවන් සැපයෙන්නේ නැහැ) සමස්ත යුද හමුදාවේම වැටුප් හා දීමනා, විශ්‍රාම වැටුප්, සැකසීමේ රාජකාරි ඉටුකිරීම, සමස්ත යුද හමුදාවේම, සියලු නිලයන්ගේ, පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම, හමුදා තූර්යවාදක, නැටුම්, කණ්ඩායම් (Army Band, Musical Orchestras, Dancing Troops) පවත්වාගැනීම සහ අදාළ උත්සව සඳහා ඒවා ලබාදීම, සමස්ත යුද හමුදාව වෙනුවෙන් බියුගල් නලා කරුවන් පුහුණු කිරීම, සහ හමුදා උත්සව සඳහා බියුගල් නලාකරුවන්ගේ සේවය ලබාදීම.


සන්නද්ධ හමුදා බුද්ධි බලකාය - Military Intelligence Corps = MIC :- 

   ඔබ අතරින් බොහෝ දෙනෙකු දන්නවා බුද්ධි බලකායෙන් කෙරෙන්නේ ඔත්තු බැලීම කියන එක බව. හැබැයි මතක තියාගන්න ඔත්තු බලන්නේ සතුරා ගැන විතරක් නෙවෙයි. හමුදාව ඇතුළේත් ඔත්තු බලනවා රාජ්‍ය විරෝධී හමුදා විරෝධී ක්‍රියාකාරකම් ඇද්දැයි සොයාබැලීම සඳහා. ඒ වගේම තමයි, ඉතා රහසිගතව, සීමිත ක්‍රියාන්විත වලත් යෙදෙනවා. Covert Operations සැඟවී සිටින, එක පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීම,  විශේෂ බලකාය සහ/හෝ කමාන්ඩෝ රෙජිම්න්තුව වැනි විශේෂ කණ්ඩායම් සමග එක්ව රාජ්‍ය විරෝධී පුද්ගලයන් හෝ කුඩා කණ්ඩායම් අල්ලාගැනීම, විනාශ කිරීම, ඔවුන් සැඟවී සිටින ස්ථානවල ඇති වැදගත් ලිපිලේඛන, උපකරණ ආදිය අත්අඩංගුවට ගැනීම, ප්‍රධාන කටයුතු වශයෙන් දක්වන්න පුළුවන්.


පුරෝගාමී බලකාය - Pioneer Corps = APC :- 

   පුරෝගාමී බලකාය බොහෝවිට ඉටුකරන්නේ, ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට සහ ඉංජිනේරු රෙජිමේන්තුවට අදාළ ක්‍රියාන්විත නොවන රාජකාරි. උදාහරණයක් වශයෙන්, ඉංජිනේරු බලකාය සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් යුදබිමේ කරනු ලබන මූලික මාර්ග, ගොඩනැගිලි, අනෙකුත් ඉදිකිරීම්, ජාල සැපයුම්, විදුලි සැපයුම් ආදිය වැඩි දියුණු කිරීම සහ පවත්වා ගැනීම, ජාල දුර්ග තරණයකොට ක්‍රියාන්විත  සඳහා යන සෙබළුන්ට පහසුකම් සැපයීම, Assault Pioneer දැනට ලෝකයේ සමහර හමුදා වලින්, මේ බලකාය ඉවත්කර තිබෙනවා. අපේ හමුදාවේ මේ බලකාය පවත්වාගෙන යන්නේ ස්වේච්ඡා රෙජිමේන්තුවක් වශයෙන්.


වෛද්‍ය බලකාය - Medical Corps = AMC :- 

   සමස්ත යුද හමුදාවට සහ යුද හමුදා පුද්ගලයන්ගේ පවුල් වලට අවශ්‍ය සෑම ආකාරයකම වෛද්‍ය සේවා සැපයීම තමයි, වෛද්‍ය බලකායේ ප්‍රධාන කාර්ය භාරය. නමුත්, සංග්‍රාමික රාජකාරි වලදී, යුද පෙරමුණ ආසන්නයේම, ඉදිරි සැරසුම් මධ්‍යස්ථාන - Advance Dressing Stations = ADS යනුවෙන් හඳුන්වන, තාවකාලික වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යමින්, තුවාල ලබා රැගෙන එන සෙබළුන්ට, අවශ්‍ය මූලික ප්‍රතිකාර කොට, ඔවුන් ලබා ඇති තුවාලවල තත්වය අනුව, ප්‍රමුඛත්වය වර්ග කර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ක්‍ෂේත්‍ර රෝහල් වෙත යැවීම, මියගිය අයවලුන් පිලිබඳ ඉදිරි කටයුතු සඳහා, ඔවුන්ගේ සිරුරු ක්‍ෂේත්‍ර රෝහල් වෙත යැවීම, සියලුම හමුදා පුද්ගලයන් සඳහා අවශ්‍ය කාලීන වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම, රටපුරා අදාළ ස්ථානයන්හි යුද හමුදා රෝහල් පවත්වාගෙන යාම, ප්‍රධාන රාජකාරි ලෙස දක්වන්නට පුළුවන්.


කාන්තා බලකාය - Womens Corps :- 

   යුද හමුදාවකට කාන්තා බලකායක අවශ්‍යතාව දැනුනේ අද ඊයේ නෙවෙයි. මුල්ම කාලයේ, ඒ කියන්නේ දෙවැනි ලෝක සංග්‍රාමය පැවති අවධියේ පවා, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය වැනි රටවල කාන්තා බලකායක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ කාලයේ ඔවුන් ප්‍රධාන වශයෙන් යොදවාගෙන තිබෙන්නේ හෙදියන් වශයෙන් සහ අත්අඩංගුවට ගත් කාන්තා සිරකරුවන් බලාගැනීම සඳහායි. අද වනවිට, අපේ හමුදාවද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල,  ලිපිකරු, පණිවිඩ හුවමාරු කටයුතු, තොරතුරු තාක්ෂණ රාජකාරි, බුද්ධි රාජකාරි,  යුද හමුදා පොලීසියේ රාජකාරි, බියුගල් සහ තූර්ය වාදක රාජකාරි, හමුදා නැටුම් කණ්ඩායම් සඳහා, ප්‍රධාන වශයෙන් කාන්තා සෙබලියන් සෑහෙන ප්‍රමාණයක් යොදාගන්නවා. පසුගිය යුද සමයේදී කඳවුරු ආරක්ෂක මුර රාජකාරි, ආරක්ෂක බංකර් රාජකාරි, මාර්ග බාධක වලදී කාන්තාවන් පරීක්‍ෂා කිරීම සහ සැක කටයුතු කාන්තාවන් අත්අඩංගුවට ගැනීම, වැනි රාජකාරි සඳහාද යොදවනු ලැබුවා. අපේ රටේ කාන්තා සෙබලියන් කෙලින්ම යුද පෙරමුණට නොයව්වත් චීනය, ඊශ්‍රායලය වැනි රටවල එසේ කරනවා.


   
ස්වේච්ඡා හමුදාව - Volunteer Force

   මීළඟට මා කැමතියි, ස්වේච්ඡා හමුදාව ගැන කතා කරන්නට. ලෝකයේ සමහර රටවල, හමුදාවෙන් ඉතා සුළු පිරිසක් පමණයි සෑමවිටම සේවයේ යොදවා සිටින්නේ. එයට ප්‍රධාන හේතුව, ඒ රටවල ඉතා සාමකාමී දේශපාලන වාතාවරණයක් තිබීමයි. එමෙන්ම එවැනි රටවල හමුදාවෙන් සෑහෙන පිරිසක් ක්‍රියාකරන්නේ ස්වේච්ඡා හමුදා සෙබළුන් ලෙසයි. අවශ්‍ය අවස්ථාවකදී පමණයි ඔවුන් සේවයට කැඳවන්නේ. අපේ රටේ ස්වේච්ඡා හමුදාව අවසාන වරට සේවය සඳහා කැඳවනු ලැබුවේ, 1983 වර්ෂයේදීයි. එතැන් සිට අදදක්වා, සමස්ත ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවම, සක්‍රිය සේවයේ Active Service යෙදී සිටිනවා.

  ඔබ දන්නවාද? ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවටම ලබාදෙන, ඉහළම වීර පදක්කම වන පරම වීර විභූෂණය - PWV, පළමුවරට ප්‍රදානය කරන ලද්දේ, ස්වේච්ඡා හමුදා නිළධාරියකු වන, කපිතන් (මරණයෙන් පසු උසස්කිරීම) සාලිය අලදෙණියටයි.

   පසුගිය සංග්‍රාම සමයේදී, ස්වේච්ඡා හමුදාවේ බලඇණි රාශියක්, විවිධ මට්ටමේ ක්‍රියාන්විත රාජකාරි සඳහා යොදවා තිබුන අතර, ඔවුන් නිත්‍ය හමුදාව සමග උරෙනුර ගැටෙමින්, අභිමානනීය සේවයක් ඉටුකළා. අදටත් උතුරු නැගෙනහිර ප්‍රදේශ සෑහෙන ගණනක ස්වේච්ඡා හමුදා බලඇණි යොදවා තිබෙනවා.

   අපේ රටේ ස්වේච්ඡා හමුදා සාමාජිකයන්ටද, නිත්‍ය හමුදා සාමාජිකයන්ට මෙන්, විදේශ පුහුණුව ලබාදෙන අතර, එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ රාජකාරි සඳහා යාමටද, අවස්ථාව සලසාදී තිබෙනවා. ස්වේච්ඡා හමුදා සාමාජිකයකු සහ නිත්‍ය හමුදා සාමාජිකයකු අතර, නිළ ඇඳුම්, වැටුප් සහ දීමනා, අනෙකුත් බොහෝ වරප්‍රසාද, එක සමානව ලබාදෙනවා. අපේ රටේ ස්වේච්ඡා හමුදාවට අයත් රයිෆල් බලකාය පමණයි, උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරි සඳහා නොයවන ලද්දේ. පසුගිය සංග්‍රාම සමයේදී, ඔවුන් ඉතා වැදගත් රාජකාරියක් වූ, මහවැලි ජලාශ සහ විදුලිබලාගාර වල ආරක්ෂාව සඳහා යොදවා තිබුණා. ශ්‍රී ජාතික ආරක්ෂක බලමුළුව = ශ්‍රීලංජාආබමු - Sri Lanka National Guard = SLNG ශ්‍රී ලංකා යුද හමුදාව සතු එකම සහ විශාලතම රෙජිමේන්තුව වශයෙන්, මෑතක් වනතුරු පැවති අතර, ඔවුන්ද උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ යොදවනු ලැබුවා. අද මෙම රෙජිමේන්තුවෙන් කොටසක් නිත්‍ය හමුදාවට අනුයුක්ත කර තිබෙනවා. 

   දැන් ඔබට පෙනෙනවා ඇති, යුද හමුදාවක සෑම රෙජිමේන්තුවක්ම, කුමන ආකාරයකින් හෝ යුද්ධයට  දායක වන බව. මේ සමස්ත යාන්ත්‍රණයම නිවැරදිව, කාර්යක්ෂමව, ක්‍රියාත්මක නොවුනොත්, යුද්ධය පරදිනවා. ඒ නිසා, කාටවත් කියන්න බැහැ, යුද්ධය කලේ අහවල් අහවල් රෙජිමේන්තු පමණයි කියා. 

   මා හිතනවා, මේ ලිපිය මගින්, ඔබට, පොදුවේ යුද හමුදාවක රාජකාරි සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සමහර අංශ ආයතන ගැන, අවබෝධයක් ලැබෙන්නට ඇතැයි කියා. ඔබට ඇති ගැටළු විමසන ලෙස, කාරුණිකව ඉල්ලනවා.



2015 ජූනි මස 11 වැනි දින 2302 පැය

82 comments :

  1. http://nelumyaya.com/?p=3023
    පලවන කොමෙන්ට් එක. හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ඇති යන්තං මේ වගේ වැදගත් එකකුත් ලෝටස් යායේ ගියා. නැත්නම් ඉතින් ඕකේ යන්නේම අර අහවලාගේ කුණු පෝස්ට්නේ.

      Delete
  2. බොහොම ස්තුතියි අජිත්.

    ReplyDelete
    Replies
    1. මට ඕන කමක් තිබෙනවා විචාරා මහත් ගේ මේ ලියන දැනුමත් අරගෙන කිසියම් පිළිතුරක් දෙන්න හමුදාව මිනි මරනවා කියල කියපු කතාවක් ගැන. ඒ කියපු තැන කවුරු හරි දනන්වද? යොමුවක් මොකක් හරි තිබෙනවානම් දාන්න.

      Delete
    2. මමත් කැමතියි පිළිතුරු දීම සඳහා දායක වන්න.

      Delete
  3. ගැටළුද ඕනි? දෙන්නං........ :q
    යුද්ධෝපකරණ බලකායට යුධායුධ බලකාය කියලත් කියනවද? එහෙම අහල තිබුණට දැකලා නෑ. සාලාවෙ තියෙන්නෙ එහෙම කඳවුරක් නේද?
    මම අහල තියෙනවා වෛද්‍ය බලකා සෙබළුන් යුද පෙරමුණටම ගිහින් තුවාලලත් සෙබලුන් ආපසු ගෙන එන බව. හමුදා වෛද්‍යවරුන් අයිතිවෙන්නෙත් මේ බලකායටමද? එහෙමනම් ඒ වෛද්‍යවරුන් හමුදාවේ මොන මොන ශ්‍රේණි වලට සමාන්තරද?
    ස්වේච්ඡා බලකායන්වල සාමාජිකයින්ට නිත්‍ය හමුදා සාමාජිකයින්ට මෙන් වරප්‍රසාද ලැබෙනවා කීවේ දැනට ඔවුන් සක්‍රිය සේවයේ යෙදී සිටින නිසාද? අර අවුරුදු 12න්, 22 න් විශ්‍රාම ලැබීම ඔවුන්ට අදාල වෙන්නේ කොහොමද? වෙනත් රැකියාවල යෙදෙන අය ස්වේච්ඡා බල සේනාවේ ඉන්නවා නේද?
    මේ විස්තරය ඉතාම වැදගත්! දැනුම බෙදාහදා ගැනීම ගැන බොහොම ස්තූතියි විචාරක තුමා! පොඩි ආලවට්ටං ටිකකුත් දැම්මනං එළම කිරි තමා.
    අපේ කළ්‍යාණ මිත්තරයටත් කියන්න ඕනි නේවි එක ගැන මේ වගේම ලියන්න. ගුවන් හමුදා කොල්ලෙක් තමා අඩු. ආ.... ඇයි පොලිස් කොල්ලෙක්?

    ReplyDelete
    Replies
    1. ඔය කළ්‍යාණ මිත්තරය කියන මනුස්සයට කියන්න විචාරකගේ බ්ලොග් එකේ කියවන්නේ නැතිව, එයාට බ්ලොග් එකක් පටන් ගන්න කියලා. අපි මේකේ විචාරක මහතාගෙන් මොකක් හරි විමසුවාමත් එයා තමයි පැන පැන උත්තර දෙන්න එන්නේ. එයාගේ උත්තර නෙමෙයි නේ අපි බලාපොරොත්තු වෙන්නේ. අපි විචාරක මහතාගේ බ්ලොග් අඩවිය කියවලා, මේකේ ප්‍රශ්නයක් අහන්නේ විචාරක මහතාගේ පැහැදිලි කිරීම බලපොරොත්තු වෙන්.

      Delete
    2. මධු, ප්‍රශ්න වලට අංක දාලා ඇහුවනම්, උත්තර දෙනකොටත් ටැපලිල්ලක් නැහැ. මෙන්න උත්තර.

      යුද්ධෝපකරණ බලකායට යුද්ධායුධ බලකාය කියා, මා දන්නා තරමින් කියන්නේ නැත.

      වෛද්‍ය බලකා සෙබළුන්, යුද පෙරමුණේ ඉදිරියටම යන්නේ නැහැ. යුද්ධයේදී වෙනම පිරිසක් ඉන්නවා තුවාලකරුවන් ඉවත් කිරීම casualty evacuation නමැති රාජකාරියට අදාලව. ඒ නිසා වෛද්‍ය බලකා සෙබළුන්ව යවන්නේ නැහැ සටන සිදුවන තැනට. සටනේ යෙදී ඉන්න අයගෙන්ම පිරිසක් විසින් තමයි තුවාලකරුවන් පසුපසට රැගෙන එන්නේ. එහිදී ඔවුන්ව වෛද්‍ය බලකාය වෙත බාරදෙනවා. අර මම කියලා තියන ඉදිරි සැරහුම් මධ්‍යස්ථානයට තමා බාරදෙන්නේ.

      හමුදා වෛද්‍යවරුන් අයිති මේ වෛද්‍ය බලකායටම තමා. සාමාන්‍යයෙන් MBBS උපාධිධාරී වෛද්‍ය වරයකු ලුතිතන්/කපිතන් නිලයෙන් තමයි බඳවාගන්නේ. ඔවුන් යුද හමුදාවේ අනෙක් රෙජිමේන්තුවල නිළධාරීන් මෙන් නිල ඇඳුම් අඳිනවා. වරප්‍රසාද එක සමානයි. නමුත් ලංකාවේදී ඔවුන්ට ලැබෙන වැටුප අනෙක් රෙජිමේන්තුවල එම නිලයේ සිටින අයට වඩා වැඩියි. රජයේ වෛද්‍යවරයකුට ලැබෙන වැටුප තමයි ගෙවන්නේ.

      ස්වේච්ඡා හමුදාවට විශ්‍රාම වැටුප් ලබාගැනීමේ අයිතිය/වරප්‍රසාදය ලැබුනේ 1980 දශකයේදී. ඊට පෙර එවැන්නක් තිබුනේ නැහැ. ස්වේච්ඡා හමුදාවේ නිලධාරියකුනම් අවුරුදු 20 ක සක්‍රිය සේවා කාලයක් සහ සෙසු නිළයකු නම් අවුරුදු 22 ක සක්‍රිය සේවා කාලයක්, (එක දිගට නොකඩවා අවශ්‍ය නැහැ) තිබිය යුතුයි හමුදා විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා. වෙනත් රැකියාවක යෙදෙන අය ස්වේච්ඡා හමුදාවේ ඉන්නවා. ඇත්තෙන්ම එහෙම අය තමයි ලෝකයේ බොහෝ ස්වේච්ඡා හමුදාවලට බඳවාගන්නේ. විශ්‍රාම යාමේදී ඔහුට තීරණය කරන්න පුළුවන් හමුදාවෙන් විශ්‍රාම වැටුප් ගන්නවාද නැත්නම් ආපසු තම සිවිල් රැකියාව වෙත ගොස් විශ්‍රාම වැටුප් ගන්නවාද කියා.

      ආලවට්ටන් නොදැම්මේ ලිපිය දිග වැඩිවෙයි කියලා හිතුන නිසා.

      ඇත්තටම කල්‍යාණ සහ ගුවන් හමුදා, පොලිස් සාමාජිකයන් දෙදෙනෙකු, බ්ලොග් ලියන්න පටන්ගන්නවානම් බොහොම හොඳයි.


      @ AnonymousJune 12, 2015 at 8:36 AM

      මහත්මයා, මා හිතන්නේ නැහැ කල්‍යාණ මිත්‍ර විසින් කරන කරුණු පැහැදිලි කිරීම් වලින්, මේ අඩවියට හෝ පෞද්ගලිකව මට, කිසිදු අවැඩක් වේයැයි කියා.

      Delete
    3. @ මධු
      \\\සාලාවෙ තියෙන්නෙ එහෙම කඳවුරක් නේද? ///
      අකුරෙගොඩ තිබුන ස්වෙච්ඡා හමුදා මූලස්ථානය තමයි අවිස්සාවේල්ලේ සාලාවේ තිබුන තුනී ලෑලි කර්මාන්තශාලා පරිශ්‍රයට ගෙනිහින් තියෙන්නේ දැනැට ගොඩනැගමින් පවතින ආරක්ෂක හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලට භූමිය අත්පත් කරගැනීම සඳහා.....

      Delete
    4. කොමෙටෙකක් දාන්න පහලට යන ගමන් මේක දැක්කේ.. සැක්. අද පෝස්ට් එක කියවන්න බැරි වෙයිද දන්නෑ.. මෙහෙම ගියොත්.
      @ AnonymousJune 12, 2015 at 8:36 AM
      ඇනෝ මිත්‍රයා සමාවෙන්න එහෙම එකක් උනානම්.. බ්ලොග් ලියන එක වගේම කියවන එකත් මගේ අයිතියක් නිසා මේක කියවනවද නොකියනවද කියල මං තීරණය කරන්නම්. ඒ වගෙම කොමෙන්ට් කරන එකත්. මීට පස්සේ ඔබ ප්‍රශ්ණයක් අහනකොට ඒකට උත්තරේ විචාරක තුමාගෙන්ම දැන ගන්නෝනෙ කියල ලියන්නකෝ. මං මැදට පනින්නේ නැතුව ඉන්නම්. ආ බ්ලොග් එකක් ලියනව මාත්.. මෙච්චර ජනප්‍රියනම් නෑ. ඒකයි මේ අනුන්ගේ ග්‍රවුන්ඩ් වලට බැහැලා කලර්ස් පෙන්නන්න ට්‍රයි කරන්නේ.. සොරි හොඳේ..

      Delete
    5. @ chef-architect ඔව් සාලාවේ තිබෙන්නේ කලින් පැලවත්තේ තිබුන ස්වේච්ඡා බලසේනා මූලස්ථානය තමයි.

      @ කල්‍යාණ. මා හිතන්නේ ඒ ඇනෝ ගොඩක් උනන්දුයි මෙවැනි කරුණු ගැන දැනගන්න. ආමි නේවි දෙක ටැපලෙයි කියලා හිතලා වෙන්න ඇති මෙහෙම ලියන්න ඇත්තේ. නමුත් ඔබේ අදහස් දැක්වීම් මට බාධාවක් නොවේ.

      Delete
  4. ඉතා වැදගත් තොරතුරු රැසක් දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. ඔබේ දැණුම දියුනුවුනා නම් මට ලොකු සතුටක්.

      Delete
  5. 1.භූමිය අල්ලාගැනීමට පසු නෙවේද ඉංජිනේරු සේවා කට්ටිය මර උගුල් ඉවත් කරන්නෙ?
    2.කමාන්ඩෝ රෙජිමේන්තුවෙ කෙනෙක් හමුදාපති වෙලා තියනවද?
    3.කාන්තා අයගෙ උසස්ම නිලය කුමක්ද? (යුධ හමුදාපතිනිය වගේ තනතුරක් තිබුනොත් මොකද?:-)

    ReplyDelete
    Replies
    1. 1. භූමිය අල්ලගන්නත් රාජ්, ඉස්සරහට යන්න ඕනෙනේ. ඉතින් එහෙම යන්න අපට පාර පාදලා දෙන්න කෙනෙක් ඉන්නොනේ. කෙනෙක් නෙවෙයි පිරිසක්. ඒ සඳහා තමයි Combat Engineers ලා යොදවන්නේ. හැබැයි මෙය වදිපිර කෙරෙන්නේ සාම්ප්‍රදායික සටන් වලදී. ප්‍රති ත්‍රස්ත සටන් වලදී නෙවෙයි. දැන් නවීන තාක්ෂනය තියන නිසා මේ භූමිකාව සඳහා යන්ත්‍ර සූත්‍ර යොදවන්නත් පුළුවන්.

      2. නැත.

      3. මෙතෙක් මේජර් ජෙනරල් වරියන් දෙදෙනෙක් අපේ හමුදාවෙන් බිහිවී තිබෙනවා. යුදහමුදාපතිනිය වෙන්න බැහැ. කාන්තා බලකාය සටන්කාරී රෙජිමේන්තුවක් ලෙස සලකන්නේ නැහැ. හමුදාපති වියහැක්කේ සටන්කාරී රෙජිමේන්තුවක නිලධාරියකුට පමණයි.

      Delete
    2. @ විචාරක
      //හමුදාපති වියහැක්කේ සටන්කාරී රෙජිමේන්තුවක නිලධාරියකුට පමණයි.//
      අප දන්නා තරමින් හිටපු හමුදාපති ජගත් ජයසූරිය සන්නාහ සන්නද්ධ බලකායෙ නිලධාරියෙක්. ඒත් ඔහු හමුදාපති වුනා. හමුදාපති විතරක්නම් මදෑ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීත් වුනා. ඔබේ විස්තරයෙ හැටියට සන්නාහ සන්නද්ධ බලකාය කියන්නෙ ආධාරක සේනාවක්. එතකොට ජගත් ජයසූරිය ඒ තනතුරට ආවේ ගෝඨාභය ශ්‍රීමතානන්ගෙ ආනුභාවයෙන්වත්ද? වෙනත් සාධාරණ හේතුවක් තියනවද?

      Delete
    3. මා කියා තිබුන දෙයින් යම් වැරදි අදහසක් ජනිතවී ඇති බව පෙනීයන අතර ඒ ගැන කනගාටුව පළකරනවා. ආධාරක සේනා අතරින් සංඥා බලකාය හැර අනෙක් ආධාරක සේනා නිළධාරීන් හමුදාපති වීමට සුදුසු සේ සැලකෙනවා.

      Delete
  6. හැමදාම වගේම ආසාවෙන් බලන්න පුළුවන් ලිපියක්. මම දැනගෙන හිටියේ නෑ අවුරුදු ගානකට ලියන්න තරම් හමුදාව ගැන විස්තර තියෙනවා කියල..... :i

    ReplyDelete
    Replies
    1. සමස්ත යුද හමුදාව සප්ත මහා සාගරය වගේ. යුද හමුදාවේ අවුරුදු 50 ක් සේවය කලත්, මුළු යුද හමුදාවේ තිබෙන සියල්ල ඉගෙනගන්න බැහැ. ලියනවානම් තව කරුණු දහස් ගණනක් තියනවා. සියල්ල තීරණය වන්නේ මගේ වයස සහ ලැබෙන ප්‍රතිචාර මත යි.

      ඇගයීම ගැන ඔබට බොහොම ස්තුතියි.

      Delete
  7. අපේ රටේ යුද්ධය අවසන් කිරීමේ පුරෝගාමියා වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගජභා රෙජිමේන්තුවේ අභීත නිලධාරියෙක් නේද? එතුමන්ට යුධ හමුදාපති ධුරය නොලැබුණේ කුමන හේතුවක් නිසාද? දේශපාලන පලිගැනීම් තිබුන නිසා නේද?

    දැන් ඉන්න හමුදාපති ඒ ධුරයේ කටයුතු දැරීමට සුදුස්සෙක්ද? නැතිනම් අගමැතිගේ පාසැලේ නිසා මේ ධුරය ලැබුනද? මොකද දැන් ඉන්න හමුදාපති උත්සවයට සහභාගී වීමේදී වත් නිලයේ ගරුත්වය රැකෙන පරිදි හැඳ පැළද යන්නේ නෑ. මෙයා එක පාරක් හරක් බලන්න යනවා වගේ ජනාධිපතිතුමාව හම්බෙන්න ගියා කියලා ඊ නිවුස් එකෙත් දාලා තිබුනේ. තාම ඒක එහෙම්ම මමයි.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ යුද්ධය අවසන් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා මුල්වුයේ නැත. ජනාධිපති/සේනාවිධායක මහින්ද රාජපක්ෂ මහතා යටතේ, ත්‍රිවිධ හමුදාව පොලීසිය, එවකට ග්‍රාමාරක්ෂක වර්තමාන සිවිල් ආරක්ෂක බලකාය විසින් දරන ලද සාමූහික ප්‍රයත්නය නිසා තමයි යුද්ධය ජයගත්තේ.

      ගෝඨාභය රාජපක්ෂ මහතා ලුතිතන් කර්නල් නිලයේ සිටියදී හමුදාව සහ මේ රට හැරදමා ගියා. ආපහු ආවේ තම සොහොයුරා ජනාධිපති වීමෙන් පසුවයි. එවැනි කෙනෙක් කිසිසේත් හමුදාපති තනතුරට සුදුසු නැහැ.

      දැන් ඉන්න හමුදාපති ඒ තනතුරට ඉතා ඉහලින් සුදුසුකම් තිබෙන, සංග්‍රාමික අත්දැකීම් හා පුහුණුව, විනය, පරිපාලනය, අතින් දක්ෂයෙක්. ඔහු හමුදාපති වුනාට පසු, ජනාධිපති හමුවන්න ගියේ, හදිසි කැඳවීමකින් මිස, නිළ වශයෙන් කල කැඳවීමකට නොවේ. ඒ නිසා සාමාන්‍ය නිළ ඇඳුමෙන් යාමේ වරදක් නැහැ.

      හරක් බලන්න යන අය නිල ඇඳුම් ඇඳ යන අවස්ථාවක් ඔබතුමා දන්නවද? නැතහොත් ඔබ එසේ කරනවාද?

      Delete
  8. වටිනාකම ඉතා ඉහලයි මෙම තොරතුරු වල.. නාකි උනාට වැඩ්ඩා නේද?? හැක්.. ස්වේච්චා බලකාය දැන්වත් සක්‍රිය සේවයෙන් ඉවත් කරල නැද්ද?

    ReplyDelete
    Replies
    1. වැඩ්ඩෙක් ද නැද්දැයි නොදනිමි/නොසිතමි. දැණුම බෙදාදීමට වෙහෙසෙමි.

      ස්වේච්ඡා බලකාය වැඩි කරන්නේ නැත. විශ්‍රාම යාම නිසා ඇතිවන පුරප්පාඩු සඳහා පමණක් බඳවාගනු ලැබේ. එහෙත් යුද්ධය පැවති සමයට වඩා, අද ස්වේච්ඡා බලකායේ ප්‍රමාණය බොහොම අඩුයි. ආරක්ෂක කවුන්සිලය තමා, ස්වේච්ඡා බලකාය වහනවාද නැද්ද කියා තීරණය කලයුත්තේ.

      Delete
  9. ' ඒ වගේම තමයි, ඉතා රහසිගතව, සීමිත ක්‍රියාන්විත වලත් යෙදෙනවා. Covert Operations සැඟවී සිටින, එක පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීම,.'

    මේ කාරණය පිළිගත නොහැකියි. අපගේ මේ බෞද්ධ රටේ උදේ හවා පන්සිල් ගන්නා හමුදාව විසින් ප්‍රාණ ඝාත අකුසලය සිදු කරනවා යයි කියා අප සිතන්නේ නැත. මේක එල්ටීටීඊ හිතවාදීන් අපගේ දැහැමි හමුදාවට මඩ ගැසීම සදහා ගොතන ලද කතාවක් විය හැක.

    ReplyDelete
    Replies
    1. තමුන්නාන්සේ නාරාහේන්පිට අභයාරාමයට ගොස් මේ ගැන කතිකා කිරීම යෙහෙකි.

      Delete
    2. විචා කේන්ති ගන්න අවශ්‍ය නෑ.මමත් ඇනෝගෙම කතාව අහන්නම්.මුළු ලෝකයෙන්ම වඩාත්ම විනයගරුක හමුදාව වන ශ්‍රී ලංකා යුද හමුදාව අතින් ප්‍රාණඝාත සිදුවෙනවායි කීම පිළිගත හැකිද?

      Delete
    3. යුද්ධ කාලයේ සතුරු මර්මස්ථාන වලට රහසේ ඇතුල් වෙලා සතුරන්ට වැදගත් වන ඉලක්ක/පුද්ගලයින් විනාශ කිරීම හෝ අත් අඩංගුවට ගැනීම තමා මේ කියලා තියෙන්නේ. මේක උපායමාර්ගිකව වැදගත්..සතුරාගේ දුර්වලතා,ශක්තිය,ප්‍රහාරක ශක්තිය ගැන මේ පුද්ගලයන්ගේන් තොරතුරු ලබා ගන්න පුලුවන්..මේජර් තුවාන් මුතාලිෆ් කියන්නේත් ඒ විදිහට Covert Operation වල යෙදුන කෙනෙක් මන් හිතන විදිහට.ඒ කාලේ ඒ මේජර්වරයා L.T.T.E එකට අත්‍යවශ්‍ය ඉලක්කයක් වෙලා හිටියා කියලා තමයි කියන්නේ ඔහුගේ ක්‍රියාකාරකම් වලින් සතුරාට බරපතල හානි සිදුවුනු නිසා.නමුත් පස්සේ තුවාන් මුතාලිෆ් ඝාතනය උනා.

      Delete
    4. බුද්ධි අංශ තොරතුරු මත විශේෂ බලකායන් විසින් ඒ මෙහෙයුම් කිරීම අත්‍යවශ්‍ය දෙයක් මොකද සමස්ථ රටක් විනාශ කරන්න කටයුතු වෙද්දි පවු පින් බල බල ඉඳලා හරියන්නේ නෑ කියන එකයි මම නම් හිතන්නේ.සැඟවී සිටින ත්‍රස්තවාදීන්, ප්‍රහාර සැලසුම් කිරීම් නවත්තන්න පුලුවන් මේ මෙහෙයුම් හින්දා තමා..හිතන්න ඔන්න හෙට කොලඹට බෝම්බ ගහන්න ලෑස්ති වෙලා L.T.T.E කට්ටියක් අහවල් තැන නැවතිලා ඉන්නවා කියලා බුද්ධි තොරතුරක් එනවා. එතකොට හතරවටේ අණබෙර ගහගෙන ගියොත් උන් පැනලා යනවා. ඔන්න ඒ වගේ සාමාන්‍ය සෙබලුන් යොදන්න බැරි තැන් වලදි තමා විශේෂ බළකා යොදලා ඒ සතුරෝ අත් අඩංගුවට ගන්නේ හෝ ඒ අදාල විදිහට එයාලව නිශ්ක්‍රීය කරලා ආරක්ශාව තහවුරු කරන්නේ. ඒ දේවල් හමුදා විනය කැඩීමක් නෙමෙයි.

      සාමාන්‍ය ශිෂ්‍ය භටයෙක් විදිහට මගේ දැනුමේ හැටියට තමා උත්තර දුන්නේ. විචාරකතුමන්ගේ සම්පූර්ණ විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා.

      Delete
    5. @ Helapa kadeJune 12, 2015 at 11:59 AM

      මුළු ලෝකයෙන්ම වඩාත් විනයගරුක හමුදාව කියා කියන්නේ ජාත්‍යන්තරව පිළිගත්, යම්කිසි මණ්ඩලයක් විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. අපේ හමුදාවේ එදත්, අදත් කළු බැටළුවෝ ඉතා ස්වල්ප ගණනක් ඉන්නවා. අනාගතයෙත් ඉඳියි.

      යුද්ධයක් කියන්නේ දෙපැත්ත බෙදිලා එකිනෙකා මරාගැනීම නෙවෙයිනම් වෙන මොකක්ද? එතකොට දෙපැත්තේම අය විසින් දෙපැත්තේම අය මරා දැමීම නිසා සිදුවන්නේ ප්‍රාණඝාත අකුසලය නැත්නම් වෙන මොකක්ද? ලෝකයේ විශිෂ්ඨතම හමුදා, ඉතා නවීන යුද උපකරණ මගින්, යුද බිමට ඉතා ඈතින් සිට කරන්නෙත් මේ ටිකම තමා. මේ ප්‍රාණඝාත කරන්නේ කුමන අරමුණක් ඉටුකරගැනීමටද කියන එකත් විමසා බැලීම වටිනවා.

      මම මේ ඔබ අසා තිබෙන ප්‍රශ්නය ඇහුවා ලංකාවේ ඉන්න ඉතා උගත්, දේශපාලන හේතුවලින් තොරව ජනප්‍රිය, සුපේශල ශික්ෂාකාමී මහ තෙර නමක් වශයෙන්, පූජනීයත්වයට භාජනය වී සිටින ස්වාමීන් වහන්සේ නමකගෙන්. උන්වහන්සේ දුන්නෙත් මේ පිලිතුරමයි.

      @ wara@kelaniyaJune 12, 2015 at 12:49 PM

      ස්තුතියි ඔබේ අදහස් වලට. ඔබට මේ පිළිබඳව යම් පුළුල් වැටහීමක් තිබෙන බව පෙනෙනවා. පුද්ගල නාම සඳහන් නොකර අදහස් දක්වනවානම් වඩාත් හොඳයි.

      Delete
  10. ඔන්න මටත් අහුවුණා වැරැද්දක්.. හික්.. කියවන්න කලින් ඒක දාල ඉන්නෝනෙ.. පාබළ? O.o //යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව//

    ReplyDelete
    Replies
    1. By Wicha -
      PWV, පළමුවරට ප්‍රදානය කරන ලද්දේ, ස්වේච්ඡා හමුදා නිළධාරියකු වන, කපිතන් (මරණයෙන් පසු උසස්කිරීම) සාලිය අලදෙණියටයි.

      By WIKI -
      කපිතාන් සාලිය උපුල් අලදෙනිය) (1964 - June 11, 1990) was the second recipient of the Parama Weera Vibhushanaya, highest war time award for valour of the Sri Lanka Military.

      Delete
    2. @ කල්‍යාණ, මයික්‍රොසොෆ්ට් සෝදුපත් මෙවලම් එකේ පෙන්නන්නේ ඒ විදිහටයි. දාගෙන බලන්න.

      http://www.microsoft.com/si-lk/download/details.aspx?id=35400

      @ AnonymousJune 12, 2015 at 10:29 AM

      කපිතන් සාලිය අලදෙණිය දිවි පිදුවේ 1990. කෝප්‍රල් ගාමිණී කුලරත්න දිවි පිදුවේ 199. මුලින්ම ගැසට් එක පළවුණේ සාලිය අලදෙනියගේ නමින්. (ගැසට් එක පලවෙනවා කියන්නේ හමුදා නියෝගයක් පල කලයුතුයි පදක්කම් ප්‍රදානය ගැන) විකිපීඩියාව විශ්වාස කරන්න එපා. මා දන්නා නිසයි කියන්නේ.

      Delete
    3. කෝප්‍රල් ගාමිණී කුලරත්න 1991

      Delete
    4. එතකොට අනිත් තැන්වල පාබල කියල ද පෙන්නන්නේ? ළල වෙනස ගැන මං ඇහුවේ..

      Delete
    5. @ කල්‍යාණ මිත්‍රJune 12, 2015 at 12:14 PM
      මම කියන භාෂා නිවැරදි කරණ මෘදුකාංගයේ පෙන්නන්නේ පාබළ කියලා.

      Delete
    6. //පාබල හමුදාව - Light Infantry Regiments

      යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව - Mechanised Infantry Regiment // මේ දෙපොලෙ දෙවිදියකටද පෙන්නන්නේ? හරි වැඩක්නේ ඒක.. :)

      Delete
    7. නැහැ නැහැ, පාබළ කියලා තමයි පෙන්නන්නේ. නමුත් මම හැමවිටම ඒ නිවැරදි කිරීමට යන්නේ නැහැ. වේගයෙන් ටයිප් කරගෙන ගිහින්, පස්සේ නිවැරදි කිරීම් කරනවා. නමුත්, හැම තැනකම නිවැරදි කරන්න බැරිවෙනවා.

      Delete
  11. \\\ඔබ දන්නවාද ශ්‍රී ලංකා යුද හමුදාවේ (ලෝකයේ හැම යුද හමුදාවකම පාහේ) යුද හමුදාධිපති තනතුර ලැබෙන්නේ, සටන්කාරී රෙජිමේන්තුවක නිළධාරියකුටයි.//

    එහෙමම නෙමෙයි නේද විචා...!

    ReplyDelete
    Replies
    1. එහෙම නැති තැනක් මා නම් දන්නේ නැත. ඔබ දන්නවානම් උදාහරණයක් මෙහි දමන්න. එය අපේ දැණුම වැඩිවීමට හේතුවෙනවා.

      Delete
  12. නොදැන හිටි කරුණු කිහිපයක්ම දැන ගත්තා.. සාලිය අලදෙණිය volunteer බව, pioneer corps එකේ රාජකාරිය වගේ කරුණු. විචාරකතුමා ආමි Medical corps කාට හරි gallantry medals හම්බවෙලා තියෙනවද? අපේ හිටියා ඩොක්ටර් කෙනෙක් රණ සූර පදක්කමක් (RSP) හම්බවෙච්චි.. ඔය සරස ගේ යාලුවෙක් (බැචෙක්?)
    මං ආසම ඉංජිනේරු බළකායට. ඇඹිලිපිටියේ Bomb disposal course එක කරපු කාලේ කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ දැනුමෙන් වරක් ලොකු ප්‍රයෝජමයක් ගත්තා පොඩුවකට්ටු වලදී. වෙලාවක් ආවම ආයි ලියන්නම්. Field Engineerල කියලත් කියන්නේ මේ අයටම නේද?
    අර උඩ ඇනෝ කෙනෙක්ගේ හිත රිදිල තියෙන එකට සමාවෙන්නෝනෙ.. මීට පස්සේ මැද්දට පනින්නේ නැතුව ඉන්නම් ;)

    ReplyDelete
    Replies
    1. අපි විචාරක මහතාගෙන් විමසන ප්‍රශ්න වලට ඔබ පැන පැන පිළිතුරු දීම නිසා අනික් අයට අවැඩක් තමයි වෙන්නේ.

      මොකද මෙම බ්ලොග් අඩවිය බලලා, මොකක් හරි පැහැදිලි කරගැනීමක් තියෙනවා නං අපි ඒක විචාරක මහතාගෙන් ගැටලුවක් විදියට අහනවා. එතකොට විචාරක මහතා එතුමාගේ දැනුම,හමුදාවේ පුහුණුව භාවිතා කරලා ඉතාම පැහැදිලිව පිළිතුරක් දෙනවා.

      හැබැයි ඔබ උඩින් ඇවිත් පැන පැන ඔහේ කියවලා ගියාම විචාරක මහතා අදාල ප්‍රශ්නයට ලබාදෙන නියම පැහදිලි කිරීම ඇතැම් විට දමන්නේ නෑ.

      මම මේ කාරණය නිරීක්ෂණය කර ඇති නිසයි එහෙම කිව්වේ. මෙම ලිපියේ මුල් කොටසේත් ඔබ උඩින් පැන පැන අනික් අය විචාරක මහතාගෙන් විමසන ප්‍රශ්න වලට අසම්පූර්ණ පිළිතුරු දීමට යාම නිසා අවැඩක් සිදුවුයේ.

      එම නිසා විචාරක මහතා අනික් අය විමසා ඇති කාරනා වලට පැහැදිලි කිරීම් ලබා දුන්නට පසු ඔබට තවත් දෙයක් එකතු කරන්න තියෙනවා නං එකතු කරන්න. එහෙම කරන්න අකමැති නං ඔබට පුළුවන් බ්ලොග් අඩවියක් පටන් අරන් ඔබේ අදහස් ලියන්න.

      Delete
    2. ඔව් වෛද්‍ය බලකායේ ජෙනරල් මුණසිංහට එහෙම වීර පදක්කම් ලැබිලා තියනවා.

      ඇත්තෙන්ම ඉංජිනේරු බලකායට යන්න කෙඩෙට් කාලෙදී බොහොම දෙනෙක් උත්සාහ කරනවා. විශ්මයජනක පිපිරවීම් ක්‍රම දැක්කම පුදුම හිතෙනවා.

      මා හිතන්නේ නැහැ අර ඇනෝ කියලා තිබෙන ආකාරයට ඔබ මැද්දට පැනීමක් කරනවා කියලා. ඒ ගැන සිතන්න අවශ්‍ය නැහැ.

      Delete
    3. // http://kalahitha.blogspot.com //
      ඇනෝ මචෝ , ලින්ක් එකේ තියන බ්ලොග් එක බලන්න ඒකෙත් මේ කල්‍යාණ මිත්‍ර කියන කෙනා පැනල කමෙන්ට් දානව.

      Delete
    4. ඒ විතරක්නම් මැදා අර නෙලුම්යාය කියලා අනුන්ගේ බ්ලොග්වල ඇඩ් එකකුත් දානවා

      කල්‍යාණ මිත්‍රMay 25, 2015 at 3:34 PM
      http://nelumyaya.com/?p=2635


      පොන්නයින්ටත් අන්තයි

      Delete
    5. ඇනෝ , නෙලුම් යාය කියන්නේ බ්ලොග් අඩවියක් නොවේ. වෙබ් අඩවියක්. මමයි එහි සංස්කාරක. එහි පරණ, පල පුරුදු බ්ලොග් කරුවන්ගේ වගේම නැගී එන ඕනෑම බ්ලොග් කරුවෙකුගේ ලිපි , කවි, කතා පල කරනවා. පලවෙන ඒවායින් අවුරුද්ද අන්තිමේ ත්‍යාග හා සම්මමානත් දෙනවා. තවම නම් එකයි කලේ. කල්‍යාණ මිත්‍ර මහතා මගේ සමග ඇති හිතවත් කමට එහි ලිපි දමනවා. සම සංස්කාරක වරයෙකු වශයෙන්. මට වැඩ අධික වෙලාවට ඔහු එසේ උදව් කරනවා. දමන ලිපියේ යොමුව පල කිරීම අපි අනිවාර්යයෙන්ම කරන දෙයක්. අපි එම ලිපිය උපුටා ගත්තා කියන්න. හොරෙන් අනුන්ගේ ඒවා දාන අය ගොඩක් තැන් වල ඉන්න වෙලාවක එහෙම නොවෙන්නයි ඒක කරන්නේ. ස්තුතියි.

      Delete
    6. විචාරක මහතාගේ බ්ලොගය මෙහි ඇතුලත් කර ගත්ත. www.blogpower.info

      Delete
    7. Ajith DharmaJune 13, 2015 at 11:47 PM

      අන්න එහෙම සහ සුද්දෙන්ම කියන්න එතකොට අපිත් දෙන්නම් බොක්කෙන්ම සහය ඔයවැඩේට. අර කෙනා මොකාට කඩේ යනවා කියලා කවුද දන්නේ

      Delete
  13. //එතැන් සිට අදදක්වා, සමස්ත ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවම, සක්‍රිය සේවයේ Active Service යෙදී සිටිනවා.//

    එතකොට පාසල් වල ඉගැන්වීමේ යෙදෙන්නෙ ස්වෙච්ඡා බලකායේ නිලධාරීන්ද?

    ReplyDelete
    Replies
    1. පාසල්වල ඉගැන්වීමේ යෙදෙන්නේ ශ්‍රී ලංකා ශිෂ්‍ය භට බලකායට අයත් නිළධාරීන්. ඔවුන්ගේ සිවිල් රැකියාව ගුරු වෘත්තීය නේ. මේ අය සෑහෙන ගණනක් පසුගිය යුද සමයේදී ස්වේච්ඡා බලසේනාව වෙත අනුයුක්ත කර සිටියා. මේ වනවිට ඔවුන් සියලු දෙනාම සක්‍රිය සේවයෙන් මුදාහැර ආපසු අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ගෙන්වාගෙන තිබෙනවා.

      Delete
  14. ගොඩාක් කල් කියෙව්වට අද තමඉ පලවෙනියටම කමෙන්ට් කරන්නේ...හැමදාමත් වගේ හොද ලිපියක්.

    කෝ අර කැඩෙට් කරන අය අවශය‍ය උනොතින් ‍යුද්දයට කැදවනවද නැද්ද කියලා කියල නැනේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කල්හාන් අදහස් දැක්වීම ගැන. හැකි හැම වෙලාවකම අදහස් දක්වන ලෙස කාරුණිකව ඉල්ලනවා.

      පාසල් ශිෂ්‍ය භටයන් ගැන මම පහුගිය ලිපියේ අදහස් දැක්වීම් වලදී පිළිතුරු දුන්නා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලට අදාළ, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය අනුව, 'පාසල් ශිෂ්‍යයා', 'බාල වයස්කරුවා' යන වර්ගීකරණයන්ට වැටෙන කිසිවකුත් යුද්ධ හමුදාවකට බඳවාගන්න බැහැ. ඒ නිසා ශිෂ්‍යභටයන් කුමන හේතුවක් නිසාවත්, යුද්ධයට යවන්නේ නැහැ.

      Delete
  15. අහන්ඩ ප්‍රශ්නයක් ඉතිරි වෙලා නෑ. ස්තූතියි ලිපියට

    ReplyDelete
  16. අහන්ඩ ප්‍රශ්නයක් ඉතිරි වෙලා නෑ. ස්තූතියි ලිපියට

    ReplyDelete
    Replies
    1. කම්මලේ, උඹ මොකක්හරි රොබෝ ගැජට් එකක් පාවිච්චි කොරනවද කමෙන්ට් කොටන්න. මේ වගේ එක කොමෙන්ට් එක දෙපාරක් වදින්නේ රොබොට්ටෙක් ගහන නිසාද?

      Delete
  17. මේ වැඩේ ටිකදවසක ඉදන් වෙනව. Tab එකේ අවුලක් හදාගන්න ට්‍රයි එකක් දුන්න හරි ගියේ නෑ. Tab එක ස්ලෝ වෙලා ඒක හින්ද මම පබිලිස් අයියට දෙපාරක් අනින හින්ද වෙන්නත් පුළුවන්

    ReplyDelete
  18. මේ වැඩේ ටිකදවසක ඉදන් වෙනව. Tab එකේ අවුලක් හදාගන්න ට්‍රයි එකක් දුන්න හරි ගියේ නෑ. Tab එක ස්ලෝ වෙලා ඒක හින්ද මම පබිලිස් අයියට දෙපාරක් අනින හින්ද වෙන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ආයෙත් දෙපාරක් ඇනලා. ටැබට ඇනපන් පිහියකින්.

      Delete
    2. දෙපාරක් ඇනීම නෙමේ ලෙඩේ, වෙන එකක් . කමෙන්ට් එක දාල ආපහු බලද්දි තියෙන්නෙ එකයි , අනික ඊට පස්සෙ තමයි ඔටෝ වැටෙන්නෙ.

      Delete
    3. ඔය නිමෝ වගේ වැඩකාරයෙක්ගෙන් ඇහුවනම් ටක් ගාලා කියයි ලෙඩේට විසඳුම.

      Delete
  19. මටත් අහන්ඩ ගොන් ප්‍රශ්නයක් තියෙනවා..
    ස්වේච්ඡා සේවයේ ඉන්න අය යුද්ධයට කැදවන්නේ උවමනා උනොත් විතරයි කිව්වනේ.
    එතකොට අනිත් දවස්වලට එයාට ප්‍රයිවට් ජොබ් එකක් කරගෙනද ඉන්නේ??

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම එහෙම තමයි. නමුත් පෞද්ගලික අංශයේ රැකියාවලින් ඒ අයට හමුදා සේවයට යාම සඳහා රාජකාරි නිවාඩු දෙන්නේ නැහැ. රාජ්‍ය අංශයේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි රාජ්‍ය අංශයේ අයගේ සිවිල් රැකියාවේ මූලික වරුප සහ ඔහු/ඇය ස්වේච්ඡා හමුදාවේ දරන නිළයට අදාළ මූලික වැටුප යන දෙක අතර වෙනස තමයි හමුදා වැටුපෙ මූලික වැටුප ලෙස ගෙවන්නේ. ඊට අමතරව ඔහුගේ /ඇයගේ සිවිල් රැකියාවේ වැටුප දිගටම එලෙසම ගෙවන අතර, හමුදා නිලයේ මූලික වැටුප වශයෙන් ගෙවන අර දීමනාවට අමතරව, හමුදාවෙන් ගෙවන අනෙකුත් සියලුම දීමනා ගෙවනවා. එකම ණය දෙපැත්තෙන්ම ගන්න බැහැ. උදාහරණ උත්සව අත්තිකාරම්.

      Delete
  20. ඉතාමත්ම වටිනා ලිපි දෙකක් විචාරකතුමා ලියලා තියෙන්නෙ. කලින් ලිපිය සහ කමෙන්ට්ස් බලද්දී මම තීරණය කළේ දෙවන ලිපියටම කමෙන්ට් එකක් දැම්මොත් හොඳයි කියලා. අදාළ කරුණු ඉතාමත්ම පැහැදිළිව විස්තර කරලා තියෙනවා සාමාන්‍ය අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට.

    ඒ වගේම විචාරකතුමා මට පොඩි ගැටළු කිහිපයක් තියෙනවා දැනගන්න.

    කමාන්ඩෝ හා විශේෂ බලකායේ වෙනස මොකද්ද? ඔය දෙකෙනුත් වඩා ප්‍රභල එක මොකද්ද? ඒ සඳහා බඳවා ගන්නේ අනෙකුත් රෙජිමේන්තුවලට වඩා විශේෂ ක්‍රමවේදයකට අනුවද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනා, මේ ලිපි ඇගයීම පිළිබඳව.

      ඇත්තෙන්ම කමාන්ඩෝ සහ විශේෂ බලකාය අතර මහා ලොකු වෙනසක් නැහැ. කමාන්ඩෝ සෙබළුන් බොහෝවිට යොදවන්නේ යුද බිමේ තිබෙන රහසිගත ක්‍රියාන්විත සඳහා. විශේෂ බලකා සෙබළුන් යොදවනවා පැහැරගත් පුද්ගලයන් මුදා ගැනීම, ගුවන්යානා මංකොල්ල කරුවන් සමග සටන් කිරීම වැනි දේ වලට. මේ දෙකෙන් එකක් අනිකට වඩා ප්‍රබලයි කියලා කියන්න බැහැ.

      ඒ ඒ රටේ ප්‍රතිපත්ති අනුව බඳවාගැනීම් පටිපාටිය වෙනස් වෙනවා. සමහර රටවල දැනට වෙනත් රෙජිමේන්තුවල සිටින දක්ෂ සොල්දාදුවන් සොයා බඳවාගන්නවා. තවත් රටවල ඇබෑර්තු සඳහා විශේෂයෙන් සුදුසු අය බඳවා ගන්නවා. අපෙ අටේ ඒ ක්‍රම දෙකම කරනවා.

      Delete
    2. ඔය කියන බලකා දෙක අතර විශේෂ වෙනසක් නැතිනම් එසේ බලකා දෙකක් ලෙස එව්වා පවත්වාගෙන යන්නේ මන්ද?

      මේ සම්බන්ධව මිට වඩා පැහැදිලි කිරීමක් අප විචාරක මහතාගෙන් බලාපොරොත්තු වන්නෙමු.


      Delete
    3. @ AnonymousJune 12, 2015 at 10:59 PM

      මේ ප්‍රශ්නයට පිළිතුරු දියයුත්තේ ආරක්ෂක කවුන්සිලය විසින් බව කාරුණිකව මතක් කරමි.

      Delete
  21. යුද්දෙට කැමති නැහැ,නමුත් මේ දැනුමට අකමැති නැහැ.ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. මනෝජ් මම යුද්ධය අගය කරමින් එය උගන්වනවා නෙවෙයි මේ කරන්නේ. බොහෝදෙනා තුළ ආරක්ෂක හමුදා පිළිබඳව ඇති දුර්මත දුරු කරන්න සහ ආරක්ෂක විද්‍යාව නමැති විෂයයට අදාළ සරල කරුණු පැහැදිලි කිරීම් තමා කරන්නේ. මේ ලිපියේ සඳහන් එක් එක් රෙජිමේන්තුව ගැන නැවත දීර්ඝ වශයෙන් ලියන්න පුළුවන්. නමුත් එය මෙතනට අවශ්‍ය නැහැ.

      බොහොම ස්තුතියි ඇගයීම ගැන

      Delete
  22. එතකොට ඔබතුමා සැල්වේසන් ආමි එකත් මෙහෙමද ? ඔබතුමා ඒකෙද හිටියේ ?

    ReplyDelete
    Replies
    1. ඔය හිතේ අමාරුව තමාට තමාගේ ජීවිත කාලය පුරාම ස්ථිරවම තිබෙන බව අද මම තමාට පෙන්වා දෙනවා. මගෙන් වාග් ප්‍රහාරයකට හෝ කමෙන්ට් ප්‍රහාරයකට ලක්වූවකුට ආපහු කොතරම් උත්සාහ කලත් අර හිතේ අමාරුවෙන් මිදෙන්නට බැහැ. හොඳ කනේ පාරක් කවදාවත් අමතක වෙන්නේ නැහැනේ. මොනවා කරන්නද ඔන්න ඔහේ මේ වගේ කුණුහරපයක් කියලා සිඟිති සතුටක් විඳලා අර හිතේ අමාරුවත් එක්ක චුත වෙලා යන එක විතරයි තමාට ඉතිරිවී තිබෙන්නේ.

      Delete
    2. අපොයි ඔබතුමාගේ කනේපාර හරිම සැර ඇති නේද ,ඔහෙලා හිතාගෙන ඉන්නේ ඔහේ මේජර් ජෙනරාල් කෙනෙක් කියාද ඔහේගේ රෑන්ක් එක මොකක්ද ? හරිඑක කිව්වහොත් සල්වේසන් අමිඑකේ ප්ලෑටුඋන් එකක් තියලා ගාර්ඩ් ඔෆ් ඔනස් එකක් දෙන්නනම් අර හිතේ අමාරුවත් එක්ක චුත වෙලා යන්න අපි සල්වෙසෝන් අමි! නෙවි නොවෙයි

      Delete

    3. මගේ පාරවල් කොයි එකත් තවම සැරයි කොල්ලෝ. පෞද්ගලිකව හම්බවුණොත් පෙන්නන්න පුළුවන් පාරේ සැර.

      නොදන්නා පුකේ ඉංගිරිසි ලියන්න යන්න එපා කොල්ලෝ. උඹ ඉස්සරවෙලා පලයන් ඉංගිරිසි පන්තියකට.

      ජෙනරාල් නෙවෙයි ජෙනරල්
      සල්වෙසන් නෙවෙයි සැල්වේෂන්
      අමිඑකේ නෙවෙයි ආමි එකේ
      පලෑටුඋන් නෙවෙයි ප්ලැටූන්

      හුජ්ජ කොල්ලෝ ලොක්කෝ වෙන්න ගියාම නිකං කිච වෙනවා.

      Delete
    4. ගාර්ඩ් ඔෆ් ඔනස් නෙවෙයි ගාඩ් ඔෆ් ඕන(ර්) අපොයි උඹේ කුණු සිංහලවල ගඳ

      Delete
    5. තම්බි අපට මොන සින්හොලද කොඉතින් ඔබෝ තුමා කිචන් ටෝක් දාන්නේ තවම ඔබතුමාගේ රෑන්ක් එක කියන්න ලජ්ජාද ඔබත්ගුමගේ පුකේ ඉංගිරිසි පකින් ඔසොම් . සන්තෝසේ බැනේ .අපෙ සල්වවේසොන් ආමිඑකේ වයසක සෙට් එක දාලා අමාරුවන් හරි ගාර්ඩ් ඔෆ් ඔනස් එක්කක් සෙට් කරන්නම් ඩබල් සැලියුට් ගහලා ඕනෙනම් පපර බෑන්ඩ් එකත් එක්ක

      Delete
    6. කොල්ලෝ උඹලා වගේ ඇටිකිච්චන්ට අපි කරන්නේ සපත්තුවෙන් පාගලා දාන එක විතරයි. චරාස් ගාලා.

      මේ අඩවියේ උඩ වම් තියන ඉන්ඩිකේටර් එකේ පෙන්නනවා කොයි රටෙන් කොයි වේලාවේද මේ බ්ලොග් එක බලන්න ආවේ කියලා. ඒ විස්තර අදාළ තාක්ෂණික ආයතනයක් තියනවා අන්න ඒකට දුන්නම ඔක්කොම විස්තර හම්බවෙනවා. තරහ වෙන්නනම් එපා ජාතකේ සහිතව ඔක්කොම විස්තර දානවා. මොකද යාළුවො සහ හතුරෝ වෙන්කරගැනීම මගේ පුරුද්දක්.

      Delete
    7. විචාරක තුමා මේ ඇනෝ කවුද කියලා මම දන්නවා. මම කියන්නම් මූ කවුද කියලා. මූ තමයි සිංහල බ්ලොග් ලියන අය අතර ඉන්න හොරා මන්කොල්ල කාරයා. මූ අකමැතියි මුගේ බ්ලොග් පඩංගුවට වැඩිය කවුරු හරි ඉස්සරහට යනවට. මම මූව අල්ලාගත්තේ මෙහෙමයි. විචාරක තුමා හමුදාව ගැන ඉස්සර ලියපු ලිපි බලන්න. ඒ ලිපි වලට මූ ප්‍රොෆයිල් එකෙන්ම ඇවිත් කියලා තියනවා මූ ඒ ලිපි වලට අකමැතියි කියලා. ඊළඟට බලන්න මුගේ වචන. ඔය සල්වවේසොන් ගාර්ඩ් ඔෆ් ඔනස් වගේ වචන මුගේ බ්ලොග් පඩංගුවේ ලියන දේශපාලන ලිපිවල තියනවා. මම සෑහෙන දවසක් හිතුවා මූ කවුද කියලා. අන්තිමට අහුවුනා. මූ සල්ලි වලට මුගේ ගෑනිව උනත් විකුණන එකෙක්. දැන් ඔබතුමාට හිතාගන්න පුළුවන් නේද මූ කවුද කියලා. මම ඊ මේල් එකකුත් එවන්නම්.

      Delete
    8. මේ අඩවියේ උඩ වම් තියන ඉන්ඩිකේටර් එකේ පෙන්නනවා කොයි රටෙන් කොයි වේලාවේද මේ බ්ලොග් එක බලන්න ආවේ කියලා.

      අප්පඩා ඉතින් මක් කොරන්නයයි ඔබතුමාගේ නිලය නොහොත් රෑන්ක් එක කියන්නකෝ අපිට බය වෙන්න එතකොට අපිඔබතුමාට බයට සද්ද වහලා ඉන්නම් "හඳ මාමා" වගේ නිලය කියන්න

      Delete
    9. සල්ලි වලට ගෑනිව විකුනනවාද?

      Delete
  23. වැදගත් තොරතුරු සහිතයි.. කඩ්ඩෙන් තොරතුරු හොයන්න ඇහැකි උනාට හිංගලෙන් මෙහෙම ලියන එක මසුරං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලබ්ස්.

      Delete
  24. විචාරක තුමනි මේ මාගේ පළමු අදහස් දැක්වීමයි.
    හමුදා කටයුතු පිළිබඳ අපි දැනුවත් කිරීමට ස්තූතියි.

    ස්වේජ්ජා සේවයේ අයෙක් සිංහ රෙජිමේන්තුවේ ඉන්නෙ කොහොමද (ස්වේජ්ජා බලකාය වෙනමම බලකායක් නේද?)
    අපේ ජාතික විරයෙක් වන සාලිය අලදෙනිය වීරයාගේ ජායාරූපයක් පල කෙරුවොත් හොඳයි
    අපේ ජාතික වීරයෝ අපිත් අදුර ගන්ඩ ඕනෑ නේද ?

    දැනට පරම වීර විභුෂණ පදක්කම වීරයෝ කී දෙනෙකුට පිරිනමා තිබේද? ඒ කවුද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන. දිගටම අදහස් දක්වන ලෙස ඉල්ලනවා. මෙන්න ඔබ ප්‍රශ්න වලට පිළිතුරු.

      ලෝකයේ සෑම යුද හමුදාවකටම පාහේ ස්වේච්ඡා හමුදාවක් තියනවා. එහිදී ස්වේච්ඡා හමුදාව කියන්නේ වෙනම වර්ගයක නිල ඇඳුම් අඳින, වෙනම වර්ගයක නිල ලාංඡන අඳින පිරිසක් නෙවෙයි. ඔබ දන්නවානේ සෑම යුද හමුදාවකටම විවිධ රෙජිමේන්තු තිබෙන බව. ඒ ඒ රෙජිමේන්තුව යටතේ බලඇණි battalion ගණනාවක් තිබෙනවා. ඒ සෑම බලඇණියක්ම නිත්‍ය regular හමුදාවට අයත් නැහැ. සමහර බලඇණි අයත් වන්නේ ස්වේච්ඡා හමුදාවට. උදාහරණයක් වශයෙන් සිංහ රෙජිමේන්තුව ගත්තොත් එහි 1 වන බලඇණිය නිත්‍ය 2, 3, බල ඇණි ස්වේච්ඡා, නැවත 4 බලඇණිය නිත්‍ය, 5 ස්වේච්ඡා තව සිංහ බලඇණි ගොඩක් මේ විදිහට නිත්‍ය සහ ස්වේච්ඡා වශයෙන් තියනවා.

      කපිතන් සාලිය අලදෙනියගේ පින්තූරයක් මෙන්න.

      [im]http://www.defence.lk/img/20120615_Capt_SU_Aladeniya.jpg[/im]

      දැනට පරම වීර විභූෂණය ලැබී ඇති අයගේ ලැයිස්තුවක්
      මෙතනින් බලන්න පුළුවන්

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }