හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

04 June 2015

කොහොමද ඔබේ සිංහල දැණුම?

11
 ලෝකයේ සෑම ජාතියකටම අයත් සියළු දෙනාටම, තම මව් භාෂාව විශිෂ්ඨ ලෙස භාවිත කිරීමට හැකියාවක් නැහැ. ඒ ධර්මතාව, මේ ලිපිය ලියන මටත්, ලිපිය කියවන ඔබටත් පොදුයි. කෙසේ වෙතත්, සාක්‍ෂරතාව අතින් ගතහොත්, අපේ රට, ලෝකයේම වුනත් ඉහළ තැනක තිබීම සතුටක්. සාක්ෂරතාව ඉහළින් තිබුණත්, භාෂා ඥානය අතින්, යම් කෙනෙකු, එතරම් විශිෂ්ඨ තත්වයක නොසිටින්නට පුළුවන්.

   භාෂාව ඉගෙනගැනීම ගණිතය ඉගෙන ගන්නවා හා සමානයි කියා මා ප්‍රකාශ කළොත්, සමහරවිට ඔබ එකඟ වන්නේ නැති වන්නට පුළුවන්. නමුත් එය සිංහල භාෂාවට පමණක් නොව, ලෝකයේ සෑම භාෂාවකටම පාහේ පොදු ලක්ෂණයක්. භාෂාවක ඇති ව්‍යාකරණ රටා, යෙදුම්, රීති, වාග් කෝෂය, ආදිය පිළිබඳව, හසළ දැණුමක් ලබාගැනීම, එතරම් පහසු කටයුත්තක් නොවෙයි.

   මතකද ඉස්කෝලේ ගිය කාලේ සමහරවිට බැණුම් අහමින් ඉගෙනගත්තා ව්‍යාකරණ? අම්මෝ.....එපාම වුන දෙයක් නේද? සමහර ගුරුවරු සිංහල උගන්වන්නේ ආයේ ජීවිතේටම සිංහල එපාවෙන විදිහට. ඒ විතරක් නෙවෙයි, අපි තවමත් භාෂාව ඉගැන්වීම සඳහා පාවිච්චි කරන්නේ, ඉතා පැරණි ව්‍යාකරණ නීති රීති හා පොත්පත්. නමුත් ඒ පොත්පත් අහක දැමීම නොවෙයි කලයුත්තේ. ඒවා පදනම් කරගනිමින්, අද කාලෙන් උදාහරණ ගෙනහැර පාමින්, උගන්වන්න පුලුවන්නම්, ළමයි හරිම ආසාවෙන් හා ඉක්මනින්, භාෂාවේ රටාව අල්ලා ගන්නවා.

  'හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී'

   මෙම වාක්‍ය ඛණ්ඩයේ ඇති උපමාව හා උපමේය පහදන්න.


  'කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලී'

  'අතේ සල්ලි නැත්නම් හාමතේ' යන්නෙහි ව්‍යංගාර්ථය කුමක්ද?

   මෙන්න මේ වගේ, අද කාලේ අහන්න දකින්න ලැබෙන දේ වලින් උදාහරණ අරගෙන උගන්නන්න බැරි මොකද කියලා මටනම් තේරෙන්නේ නැහැ.

   ඒ වගේම තමයි අද කාලේ කරන ධර්ම දේශනා. තවමත් කියන්නේ 'ඉතිං පින්වත්නී, මේ වඳුරා කියනවා වටුවාට.................ආදී වශයෙන්, ඇයි කියන්න බැරි, 'පින්වත්නි, මේ ප්‍රේමවන්තයා යවනවා එස් එම් එස් එකක් තම පෙම්වතියට, අදම මාව හමුවෙන්න කියලා. පෙම්වතිය කියනවා බැහැ කියලා, අන්තිමට ප්‍රශ්නය කෙළවර වෙන්නේ, පෙම්වතා පෙම්වතියව ඝාතනය කිරීමෙන්. මෙන්න පින්වත්නි කාම තන්හා, භව තන්හා, විභව තන්හා'. 

   ටිකක් හිතලා බලන්න, මම කියන්නේ බොරුද කියලා. අද කාලයෙන් බණ කිව්වොත් තමා, මිනිස්සු අද කාලයෙන් හිතලා අවබෝධ කරගන්නේ. බුදුහාමුදුරුවොත් කළේ, අද කාලයේ බණ කීමයි. (ඒ කාලයේ සිදුවීම් අළලා) අපේ හාමුදුරුවරු හිතන්නේ, ඒ විදිහටම, අදත් ඒ පැරණි කතා වලින් බණ කියන්න ඕනෙ කියලයි. ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ට ආගම එපා වීමයි. මොකද හැමදාම එකම කතා. හැබෑටම මොකද කවදාවත්, 'නලිනි ජාතකය' පදනම් කරගෙන බණ කියන්නේ නැත්තේ? 

   පුංචි කතාවක් කියන්නද? හැබැයි අන්තිමට බනින්න එපා, 'හුහ්....පේනවා නේද මේ නාකියාගේ තරම. මේකා ප්‍රසිද්ධියේම හාමුදුරුවරුන්ට අපහාස වන විදිහේ කතාවක් කිව්වා නේද?' කියලා. ඕකනේ කියන්නේ, වැරදි විදිහට බැලුවොත් ඔක්කොම වැරදියි. මේවා එදිනෙදා කියන කතා විතරයි. ලොකුවට හිතන්ඩ එපා. මේකයි කතාව.

   ඈත පිටිසර දුප්පත් ගමක ගොවියෙක්, දුක්මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින්, පොඩි ගෙයක් හැදුවා. සියලුම වැඩ අවසන් නොකළත්, ගෙට විදුලිය බලය ලබාගන්නත්, ගොවි මහතා වාසනාවන්ත වුණා. ඔහු හිතුවා, ගෙට ගෙවැදීමට අදාළව, ගමේ හාමුදුරුවෝ වඩම්මවලා, බණක් කියවීම සුදුසුයි කියලා. ඔන්න ඉතිං, සියල්ල සූදානම් කරලා, හාමුදුරුවා වැඩැම්මුවා.  හාමුදුරුවන්ට අසුන් පනවන්න තරම් සුදුසු පුටුවක්, මේ ගෙදර තිබුණේ නැහැ. ඒ නිසා, කොට්ට කීපයක් එක මත එක තබා, ඒවා ඇඳ ඇතිරිල්ලක ඔතා, සකසාගත් 'ආසනයක්', බිත්තියක් අසළ පනවා තිබුණා. හාමුදුරුවෝ ඒ ගැන සැළකීමක් කළේ නැහැ. දුප්පත් දායකයන් වෙත බණ කීමයි වැදගත්. දැන් හාමුදුරුවෝ බොහොම ලස්සනට බණ කියාගෙන යනවා. හාමුදුරුවෝ, අර බිත්තියට පිටුපාලා තමයි අසුන්ගෙන ඉන්නේ.

   විශාඛා සිටු දියණිය ගැන කියමින්, හාමුරුවො මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා. 'ඉතිං පින්වත්නී............මේ විශාඛා සිටු දියණියගේ'........නමුත් මේ ටික කියනකොටම, එකවරම, මහ හඬින්, හාමුදුරුවන් අතින්, මෙවැනි අවස්ථාවකට කිසිසේත් නුසුදුසු, වදන් කීපයක් කියවුණා. මෙන්න මෙහෙම. 'ඉතිං පින්වත්නී............මේ විශාඛා සිටු දියණියගේ.......අම්මට *%$#@' කියලා හාමුදුරුවන්ට කියවුණේ. මුළු බණගෙදරම කලබලයට පත්වුණා. බණ අහමින් සිටි උපාසක අම්මලා ගෙදරින් එළියට දිව්වා. අපෙ අම්මෝ...........කියාගෙන.

   අර ගොවි මහතා තුෂ්නීම්භූත වුණා මේ මොකක්ද වුණේ කියලා. හාමුදුරුවෝ ඇහුවා 'ඇයි උපාසක මහත්තයෝ මට මෙහෙම කළේ' කියලා. ගොවි මහතා කෝපයෙන් කෑගැහුවා, 'මම, හුහ්, මම මොනවද කළේ, ඔබවහන්සේනේ මෙතන කුණුහරප කිව්වේ' කියලා. හාමුදුරුවෝ අමාරුවෙන් නැගිට්ටා. 'මෙන්න බලන්න උපාසක මහත්තයා කරලා තිබුණු දේ' කියලා පෙන්නුවා. මොකක්ද වෙලා තිබුණේ? හාමුදුරුවෝ පිට හේත්තු කළ බිත්තියේ, විදුලි කෙවෙණියක් සවිකිරීම සඳහා රැහැන් ඇද තිබුණා. ඒ සඳහා අවශ්‍ය අර, කුඩා ප්ලාස්ටික් ගිල්ලුම් පෙට්ටිය සවිකර තිබුණත්, කෙවෙණිය සවිකර තිබී නැහැ. එතන තිබුණු විදුලිය සහිත රැහැනක නිරාවරණ අග්‍රය, හාමුදුරුවන්ගේ පිටේ ගෑවිලා.  විදුලිය බලය විසින්, හාමුදුරුවන්ට නොකියවෙන දේ කියවන්නට සළස්වලා.
    
   ඔන්න ඕකයි කතාවහරි හරි ආපහු යමුකෝ ලිපියට.


   සිංහල බ්ලොග් ලෝකයේ, කාලීනව පළවන, භාෂා විෂයයික ලිපි බොහොමයකදී සිදුවන්නේ, ප්‍රතිචාර වෙනුවට, සම්ඵප්‍රලාප වැලකින් ප්‍රතිචාර කොටස පිරීයාම පමණයි. මෙහිදී බහුළවම දකින්නට ලැබෙන අදහස්, නිල් පැහැයෙන් දක්වන අතර, ඒ පිළිබඳ මා සිතන ආකාරය, රතු පැහැයෙන් දැක්වෙනවා.


   මා කියනදේ, ඔබට වැටහෙන්නේ නම්, භාෂාවකට තවත් නීති කුමකටද? 

  ඔබ මා සමග සංවාදයේ යෙදෙන්නේ, ඔබට ආවේනික, ප්‍රාදේශික, ඔබගේ සීමිත සමාජ තලයේ (යම්කිසි පලාතක්, දිස්ත්‍රික්කයක්, ආයතනයක්, විශ්ව විද්‍යාලයක්, එකට පුහුණුව ලබන කණ්ඩායමක් වැනි) යොදන වාග් මාලාවකින් නම්, එය මට නොවැටහෙන බව ඔබට නොතේරේද? 


   හැමදාමත් එකතැන පල්නොවී වෙනස්වීම, භාෂාවක පොදු ලක්ෂණය බව නොදන්නේද?

   වෙනස්වීම සිදුවන්නේ කුමන රීතියක් පදනම් කරගෙනද? ඉංගිරිසියේ Fried Rice යන්න ෆයිඩ් රයිස්, ප්‍රයිඩ් රයිස්, (අභිමානවත් බත්?) ලෙස යොදා, අද නිකම්ම රයිස් කියා යෙදීම, ත්‍රිරෝද රථයට ත්‍රීරෝද රථය කියා කීම/ලිවීම, Trishaw, නමැති ඉංග්‍රීසි පදයට, සිංහලටත් නැති ඉංගිරිසියටත් නැති, 'ත්‍රීවීල්' වැනි යෙදුමක් සැකසීම සහ අද වනවිට, ලැජ්ජා නැතුව, 'වීල් එක' කියා කීම, (දැනට මේ උදාහරණ ඇති) කුමන රීතිය යටතේ කළ, වදන් සැකසුමක්ද? ඉංගිරිසි භාෂාව මේ ආකාරයට වෙනස් නොවන්නේ ඇයි? එහි තිබෙන වදන් සැකසුම් රීති, තමන්ට අවැසි පරිදි වෙනස් නොකරන්නේ ඇයි?


  කටවහර සහ ලිඛිත වහර ලෙස දෙකක්, සිංහලයට අනවශ්‍යය.

   ඕනෑම භාෂාවක කෙටි යෙදුම් තිබේ. ඒයි, වරෙන්, ඕයි, දුප්, ඉජුඃ, වැනි යෙදුම් මෙන්ම, ප්‍රාදේශීය ව්‍යවහාර විධි, (බත් වියනවා, පොල් ඔයනවා, වැනි) යෙදුම්ද තිබේ. මෙය අප රටට පමණක් සීමාවූවක් නොවේ. සෑම භාශාවකම ප්‍රාදේශීය ව්‍යවහාර ඇත. එහෙත්, පොදු සමාජයේදී භාවිත කළයුතු බවට, සමාජ සම්මත ව්‍යවහාර භාෂාව, තම අභිමතය පරිදි විකෘති කිරීම, භාෂාව පිළිබඳ තම නිදහස පාවිච්චි කිරීමක් නොව, නොදන්නාකම පෙන්වීමකි. 


   විෂයය කුමක් වුවත්, බ්ලොග් ලිපි ලිවීමේදී, තම අභිමතය පරිදි, සිංහල, ඉංග්‍රීසි, දෙමළ, වැනි භාෂා කීපයක් මිශ්‍ර කර ලිවීමෙහි වරදක් නැත.

   මෙය තීරණය වන්නේ, මා කියන දේ ඔබට වැටහෙන්නේ නම්, ප්‍රශ්නයක් නැහැ නේද යන සංකල්පය මත ය. 

   (ආමි එකේ තියන ඩිරෙක්ටරේට්ස්  වලින් වැඩ අමාරුම එකක් තමයි ඔප්ස් ඩිරෙක්ටරේට් එක. ඩී ඔප්ස් කියන්නේ ලොකු ස්ට්‍රේන් එකක් කරගහන කෙනෙක්. බැට්ල් ටෑන්ක් එකක තියන කෲ ෆැටීග් එක තමයි අමාරු. හැබැයි ආටි වලදී මෙටා ඩේටා අරන් ගන් එක අලයින් කරාට පස්සේ බැට්‍රි කමාන්ඩර් කියන විදිහට ෆයර් එක දෙනවා)

   මෙහෙම කියන අය මා දැක/අසා තිබෙනවා. මෙතැනදී මම ලිව්වේ, මගේ විෂයයට අදාළව. නමුත් මෝටර් යාන්ත්‍රික විද්‍යාව, විදුලි සහ/හෝ විද්‍යුත් විෂයයන්ට අදාළව හෝ වෙන එකක් තියා, තමන්ගේ මෝටර් වාහනය අලුත්වැඩියා/සේවා කිරීම සඳහා රැගෙන ගියවිට, අදාළ ආයතනයේ කාර්මිකයන් කියනදේ, කට ඇරගෙන බලා ඉන්න අයත් දැකලා තියනවා. නමුත් ඉතාම කලාතුරකින් තමයි අහන්නේ, අර වචනයේ තේරුම මොකක්ද? මේ වචනයේ තේරුම මොකක්ද කියලා? මොකද තමන්ගේ නම්බුවට අඩු ලුහුඬුවක් වෙයි කියලා. මෙලෝ සංසාරයක් නොතේරුණත්, තේරුණා වගේ ඉන්නවා. ඉතින් කොහොමද කියන්නේ, මම කියනදේ ඔබට තේරෙනවානම් ප්‍රශ්නයක් නැහැ කියලා? මොකද මම කතාකරන්නේ, මට ආවේනික වාග් මාලාවකින්. එය හැම තැනටම වලංගු නොවන බව, මා තේරුම් ගත යුතුයි.

   සමහර බ්ලොග් ලිපිත් එහෙමම තමයි. 


   දැණුම යාවත්කාලීන වෙනවානම් භාෂා ප්‍රශ්න නැත.

   ඔව් එකඟයි. නමුත් දැණුම යාවත්කාලීන වන්නේ පොදු ව්‍යවහාරය පදනම් කරගෙනද? එසේ නැතහොත් සීමිත සමාජ තලයක් ඇසුරු කිරීමෙන්ද? බ්ලොග් කියවීමෙන් භාෂා දැණුම වර්ධනය නොවේ. ලෝකය පුරාම, බ්ලොග් ලියන්නේද, භාෂා දැණුම වර්ධනය කරවීම සඳහා නොවේ. සරල වින්දනය සඳහාය. එහෙත් එය භාෂා ඥානය මොට කරවන, විකෘති කරවන, විනාශ කරවන, බලවේගයක් නම්, පාඨකයන් වෙත, එහි ඇති අණිටු ඵලවිපාක පෙන්වා දියයුතුය. මන්ද, බාල පරපුරද, බහුළ වශයෙන් බ්ලොග් කියවන නිසා. බ්ලොග් ලියන භාෂා විලාශය, එදිනෙදා සමාජයේ සෑම කටයුත්තක් සඳහාම, සෑම තැනටම පොදුය, යන වැරදි වැටහීම ඇතිවීම වැලැක්වීම, බ්ලොග් ලියන අප සියළුදෙනාගේ වගකීමක්ද වන්නේය.

   ජාතියක අනන්‍යතාව පෙන්වන වැදගත් මෙවලමක් වන්නේ භාෂාවයි. එය අයාලේ යන්නට ඉඩදීම, තම මව අයාලේ යැවීම වැනිය. මන්ද, එය මව් භාෂාව කියා හඳුන්වන්නේද, මවට තරම් ආදරයක්, ගෞරවයක්, සැළකීමක්, තිබියයුතු බැවිනි. තම විචාර බුද්ධියට ගෝචර වන, හරවත් සංවාද වලට ඇහුම්කන්දීම, භාෂා ඥානයෙන් හෙබි පුද්ගලයන් සමග සංවාදයේ යෙදීම සහ හරවත් පොත්පත් ලිපිලේඛන කියවීම තුළින් පමණක්, භාෂා ඥානය දියුණු කරගත හැකිය.

   'භාෂාව යනු, විභාගය සමත්වීම සඳහා ඉගෙනගතයුතු, තවත් එක විෂයයක් පමණි' යන සංකල්පයේ සිට, භාෂාව උගන්වනතුරු/ඉගෙනගන්නාතුරු, භාෂාවේ පිරිහීමක් මිස, දියුණුවක් ඇති නොවේ. 

  
   බුද්ධිමය සංවාදයකට තුඩුදෙන අදහස්, ඉහළින්ම අගය කරන අතර, ප්‍රස්තුතයට අදාළ නොවන සහ අපහාසාත්මක අදහස්, ඉවත් කරනු ලැබේ.



2015 ජූනි මස 03 වැනි දින 2343 පැය 

54 comments :

  1. අපි සිංහල හරියට ඉගෙන නොගැනීමට ප්‍රධානම හේතුව විදිහට මගෙ අදහස නම් සිංහල අපේ මව් භාෂාව වීම. අපි ඉපදුන දවසෙ ඉඳන් කනට ඇහෙන්නෙ සිංහල. ඉතින් ඒක නිරායාසයෙන්ම ඉගෙන ගන්නවා. නිතරම භාවිතා වෙන්නෙ ප්‍රාදේශීය වචන. ඉතින් අපි පාසල් යනතුරු වසර කිහිපයක් තිස්සෙ හුරු වෙලා ඇඟට බද්ධ උනු විදිහ වෙනස් වෙන්න අමාරුඉ. ඒත් අපි වෙන රටක හෝ ජාතියක භාෂාවක් ඉගෙන ගන්නේ පොතකින් හෝ ගුරුවරයෙක්ගෙන්. එතනදි ඒක නිවැරදි ව්‍යාකරණ සහිතව ඉගෙන ගන්නවා. ඒ වගේම ඒක වරදීවි කියලා බයයි. ඒ නිසාම ඒ භාෂාව නිවැරදිව ඉගෙන ගන්නවා.

    යම් කිසි හැඟීමක් නිවැරදිව දැනෙන විදිහට වචන වලින් ලියන්න පුලුවන් හොඳම භාෂාව සිංහල කියලා කිව්වොත් නිවැරදී නේද විචාරක මහත්මයෝ...?

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ සංවාදයකට මුලපිරීමක්. ඔබේ පළමුවැනි අදහසට පිළිතුර අවසාන වැකියේ තියනවා. 'යම්කිසි හැඟීමක් නිවැරදිව දැනෙන විදිහට ලියන්න පුළුවන් හොඳම භාෂාව සිංහල' කියන ඔබේ අදහස ඔබට ආවේ ඔබම කියන පරිදි, ඉපදුන දවසේ ඉඳලා කනට ඇහුණ, කතාකළ, සිංහලය නිසයි.

      ලෝකයේ හොඳම භාෂාව කියලා කිසිම භාෂාවකට විශේෂත්වයක් දෙන්නට නම් බැරිවෙයි. ඒ ඒ භාෂාවේ තිබෙන සුවිශේෂී යෙදුම් තවටත් භාෂාවකින් ඒ විදිහටම කියන්න අමාරුයි. Treasure Island පොතේ එක තැනක තියනවා, abominable fancies කියලා යෙදුමක්. අපේ කටට හුරු විදිහට, 'මළ විකාර' කියන එක තමයි සුදුසුම පරිවර්තනය. නමුත් බොහෝ දෙනා කියන්නේ එය නොගැලපෙන බවයි.

      සම්මත සිංහලය හැම තැනකම තියනවා. නමුත් ප්රාදෙහීය යෙදුම් අර පිරිසිදු සම්මත සිංහලය වනසන විෂබීජ වගේ බලපෑම් කරනවා.

      Delete
  2. අයිසෙ විචාරක, මමත් ඔය වෙනස් විය යුතුයි කියන එක ඉහලින්ම පිලිගන්නවා. අපේ හාදයො බයත් වෙනස් වෙන්නමයි.
    ඒ අතින් ගත්තම අර සිරිදම්ම කරන විදිය හරි. බර්ත්ඩේ එකට ගිලන්පස වළඳනවට වඩා නවීන විදියට කේක් එකක් කැපුවම මොකද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙනස්වීම කෙරෙහි බිය වියයුතු නැහැ. නමුත් වෙනස්වීමෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද කියන එකයි වැදගත්. භාෂාව වෙනස්විය යුතුයි, නමුත් ඒ වෙනස්වීම යනු වෙනත් භාෂාවක වචන අමු අමුවේ ඔබාගැනීම නෙවෙයි.

      සිරිධම්ම නමැති භික්ෂුවගේ චර්යාව ප්‍රස්තුතයට අදාළ නොවේයැයි සිතමි.

      Delete
  3. නලිනි ජාතකය ලියා ඇත්තේ පිරිමියෙකි. ඔහු කාන්තාවන්ට සහ ස්ත්‍රී ලිංගේන්ද්‍රියට අපහාස කර තිබේ.

    ReplyDelete
    Replies
    1. ජාතක කථා සියල්ලම පාහේ ලියා ඇත්තේ පිරිමින් විසින් කියා මා සිතනවා.

      මෙන්න මේ කොටස ගැන වෙන්න ඇති ඔබ කියන්නේ. මටත් මෙය ඉතාම අභව්‍ය විස්තරයක්. මෙය කිසිසේත් විශ්වාස කල නොහැකි සිදුවීමක්. ඒ කාලයේ හිටිය උදවිය, උතුමන් කියන සියල්ල විචාරයෙන් තොරව පිළිගන්න නිසා, මෙය ඒ කාලයට සුදුසුයි.

      "තාපසයෝද එබස් අසා ඈද තාපසයෙක් යයි සිතා පිළිසඳර කථා කොට පන්සල තුළට පැමිණ වැඳ හිදුව, මුව සෝදා විඩා හැර මේ මිහිරි පල අනුභව කරවයි කීහ. කුමරියද යහපතැයි ඒ තුළට වැඳ කොළ ඇතිරියෙක්හි උන්නේය. එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත‍්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙනට විය. තාපසයො ස්ත්‍රීන්ගේ යෝනි කිසි දිනක නොදුටු හෙයින් පහවූ වස්ත‍්‍රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද සිප්පි මුඛයක් බඳුදෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්තස්ථානය නොපෙණෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ. එවිට ඈ කියන්නී තාපසයෙනි, මෙතැන වනව ගොස් කණ්ඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි කීහ. තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි කියා ඇගේ සියුම් වස්ත‍්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු එම්බා තාපසයෙනි,
      තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද
      ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි කීහ. එබසට ඈ
      කියන්නී තාපසයෙනි, මන්ත‍්‍ර යෝගයක් වේවයි ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන
      නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි
      කරවයි කීහ. ඒ ඇසූ තාපසයෝද එයද වෙදකමෙකැයි සිතා මේථුන ධර්මයෙන් සිල් බිදීමක් වන්නේය,
      ධ්‍යාන පරිිහානිය , යනාදී ආදීනව නොදැන මෛථනු ධර්මයෙහි සිත්සේ යෙදුනාහ. එකෙණෙහි
      සීලයෙන් බිඳී ධ්‍යානයෙන් පිරිහුණාහ. මෙසේ දෙතුන් විටක්ම සංසර්ගයෙහි යෙදී දෙදෙනාම පන්සලින්
      පිටව ජලස්නානය කොට විඩා සංසිඳුවාගෙන නැවත පන්සලට වැද තාපසයෙකුයි යන ස්ථීර හැගීමෙන්
      යුතුව සිටින තැන් විචාළහ.

      Delete
    2. copy & paste කිරීමේදී අනවශ්‍ය ලෙස ඡේද දීර්ඝවී ඇත.

      Delete
    3. හි හි ඕක කලින් එහෙන් මෙහන් ඇහිලා තිබ්බට මෙහෙම කියවුවේ අද තෑන්ක්ස් විචාරක තුමා.

      Delete
    4. හි හි කියලා මදි ළමයා. ලොකු සාදුකාරයක් දෙන්න ඕනේ වටිනා ජාතක කතාවක් කියලා දුන්නට. :e

      Delete
    5. ඇත්තටම විචාරක තුමනි ,නොහැකිද මේ ජාතකය කාලයට උචිත උපමා දමා නැවත පල කිරීමට :p

      Delete
    6. මෙහෙම ජාතක කතාවක් තියෙනවද? :O

      Delete
  4. මා අසා දැන ඇති පරිදි ඉංගිරිසි බස ද නිරතුරුව ම වෙනස් වෙමින් පවතී.

    ReplyDelete
    Replies
    1. සෑම භාෂාවකටම ඒ ධර්මතාව පොදුයි.

      Delete
  5. 3 wheeler කියා යෙදුවාටනම් වරදක් නෑ. 18 wheeler වගේ වචන ඉංග්‍රීසි භාෂාවේ තියෙනවානෙ. භාෂාවන් සියල්ලම දිනපතා අළුත් වචන එකතුවෙමින් පෝෂණය වෙනවා. ඉංග්‍රීසිය වුණත් ස්වරූප කීපයක් තියෙනවා. ඇමෙරිකන් ඉංග්‍රීසි අද වන විට ලෝකය පුරා පැතිර යනවා, එංගලන්ත ඉංග්‍රීසිය ක්‍රමයෙන් මියයනවා. විශේෂයෙන් පරිගණක තාක්ෂණය සමග මේක වුණා.
    අපිට වුනත් තවමත් සිංහලෙන් වචන නැති ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක වචනම තවදුරටත් භාවිතාවෙන තැන් ගොඩක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ත්‍රිරෝද රථය ලෝකයටම පොදු දෙයක්, (ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලිදේශය, පාකිස්ථානය, වැනි ඉතා සීමිත රටවල් කීපයක පමණයි ධාවනයට අවසර ඇත්තේ. ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව ඉතා අවදානම්/අනාරක්ෂිත වාහනයක්. ඒ නිසා ලෝකයේ අතිමහත් බහුතරයක් රටවල අවසර නැහැ) ඉතිං එවැනි වාහනයකට (හෝ ඔනෑම දෙයකට) අපිට ඕනෑ ඕනෑ විදිහට නම් තැබීමේ පරම අයිතියක් අපට නැහැ.

      අපේ භාෂාව වචන වලින් පොහොසත්. එහෙම තියෙද්දී, ඇයි සක්ක වචන හදන්නේ. 3 wheeler කියා වචනයක් ඉංග්‍රීසි භාෂාවේ නැහැ. Trishaw කියන වචනය පමණයි තියෙන්නේ. 4,5,6,7, ආදී වශයෙන් රෝද ගණන අනුව නම් හදන්න පුළුවන්. සිංහලත් ඉංගිරිසියත් දෙකම නොදන්නාකම නිසයි, සමහරු ඔහොම ව්‍යවහාර කරන්නේ.

      හොඳ උදාහරණයක් කියන්නද? නිවුන් දරුවන් උපන්නාම , ජන මාධ්‍යයේත් යොදනවා, අපිත් කියනවා, 'ට්වින්ස්ලා' ඉපදුණා කියලා. නමුත් තුන් නිවුන් දරුවන් උපන්නාම, අර සිංහල ඉංගිරිසි මිශ්‍ර අච්චාරු භාෂාවෙන් කතාකරන අයගෙන් බහුතරය දන්නේ නැහැ, 'ට්‍රිප්ලට්ස්ලා' ඉපදුණා කියන්න. 'බබාලා තුන්දෙනෙක්' කියනවා එතැනදී. මේ විදිහට 5 = quintuplets, 6 = Sextuplets, 7 = Septuplets ආදී වශයෙන් තිබෙන බව දැනගන්න උනන්දුවකුත් නැහැ. කවුරුහරි කියන සක්ක වචනයක් අල්ලාගෙන, තමන්ගේ කරගන්නවා.

      කිසිසේත්ම එංගලන්ත ඉංග්‍රීසි මියයන්නේ නැහැ. එය පරිගණක භාෂා සඳහා ඇමරිකානු ඉංග්‍රීසිය ඔසවා තැබීමට කරන ව්‍යාපාරික ප්‍රචාරණයක් පමණයි. නමුත් ඉංග්‍රීසි භාෂාව විවිධ වෙනස්කම් වලට භාජනය වනවා. එහෙත් ව්‍යාකරණ රීති, වාක්‍ය ඛණ්ඩ, නව වචන සෑදීමේ රීති වෙනස්වී නැහැ.

      අපිට විතරක් නෙවෙයි ලෝකයේ ඔනෑම භාෂාවකට තියනවා තමන්ටම අයිති නැති, වෙනත් භාෂාවකින් පැමිණි වචන. සිංහලයට වචන සෑදෙන ක්‍රම තුනක් තිබෙනවා, ඒ තමයි, තත්සම, තද්භව, සහ නිෂ්පන්න, යන ක්‍රම තුන. එහිදී වෙනත් භාෂාවක වචන අපේ කටට හුරු විදිහට සකසා ගැනීමේ හැකියාව ලැබෙනවා. උදාහරණ Gate = ගේට්ටුව,

      Delete
    2. ත්‍රී වීල් කියන එකට නිකම්ම වීල් කියනවා වගේ දේවල් කටවහරට ඉබේම එනව නේද? ඉන්ග්‍රීසියෙත් තියනවා නේද? රෝහලක් , පාසලක් වගේ ස්ථාන සමහරවෙලාවට එහි නමේ කොටසකින් හඳුන්වනවා ලේසියට.

      ඉන්ග්‍රීසියෙන් කියවෙන විදිහ ලියවෙනකොට apostrophe දාල ලියනව.
      Three wheeler = ' wheeler.

      Delete
    3. සමහර අය තවමත් කියනවා කොහෙද යන්නේ කියලා ඇහුවම කන්තෝරුවට යනවා කියලා. මෙයින් අදහස් කරන්නේ තැපැල් කාර්යාලයයි. කන්තෝරුවක් වෙන්නේ තැපැල් කාර්යාලය පමණක්ද? වීල් එක වෙන්නේ ත්‍රිරෝද රථය පමණක්ද? රයිස් වෙන්නේ fried rice පමණක්ද?

      ඇත්තටම මෙවැනි යෙදුම් වලංගු වන්නේ සීමිත සමාජ තලයකට පමණයි. මා කියන්නේ පොදු ව්‍යවහාරයේදී මෙවැනි වචන යොදන්න එපා කියලයි.

      Delete
    4. ඉහත මධුමාධවීට දුන් පිළිතුරෙහිදී, සිව් නිවුන් දරුවන්ට කියන නම මගහැරී තිබේ. ඒ නම quadruplets යන්නය.

      Delete
  6. ඇවිත් ගියා...
    බුද්ධිමය සංවාදයකට කමෙන්ට් එකක් දාන්න තරම් ලොකු දැනුමක් නෑ අෆ්පා.

    ReplyDelete
    Replies
    1. බොරු බොරු, ඔයා දන්න ටික හොඳටම ඇති.

      Delete
  7. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වර්තමාණයට ගැලපෙන අයුරින් වෙනස් විය යුතු බවට එකගයි...මාටින් වික්‍රමසිංහ මහතාගේ ඇත්ත යුත්ත ලිපි සංග්‍රහයේ කතන බස හා ලේඛන බස ගැන හොද ලිපියක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. සිංහලයේ ගැඹුරු ලේඛන බස තරමක් සරල වියයුතුයි. (කළයුතුයි) ඉංග්‍රීසියෙත් එසේ වී තිබෙනවා. නැතහොත් අද්‍යතන පරපුර භාෂාවෙන් ඈත්වීමට හොඳටම ඉඩ තිබෙනවා.

      Delete
  8. ඇවිත් ගියා...
    බුද්ධිමය සංවාදයකට කමෙන්ට් එකක් දාන්න තරම් ලොකු දැනුමක් නෑ අෆ්පා. x2

    ReplyDelete
    Replies
    1. ටිකක් හිතලා බලලා හැඟෙන දේ කියන්න ප්‍රසන්න.

      Delete
  9. විචා භාෂාව ගැන ගොඩක් උනන්දු නිසයි කියන්නෙ....
    මේවත් හදනව නම් හොඳයි නේද ?
    තන්හා
    බහුළවම
    ආවේනික
    භාශාවකම
    දැණුම
    අණිටු
    බහුළ

    ReplyDelete
    Replies
    1. නිදහසට කරුණු කියනවා නොවේ. මා පාවිච්චි කරන google input tools මෘදුකාංගය නිසා සිදුවන වැරැදි බොහෝයි. ඒ නිසා, සෑම වචනයකම අක්‍ෂර වින්‍යාසය එකින් එක පරීක්‍ෂා නොකරමි. අතින් ලියා පළකරනවානම්, මීට වඩා අඩු වැරදි ප්‍රමාණයකින් ඉදිරිපත් කළහැකිවනු අත.

      Delete
    2. Realtime Sinlish පාවිච්චි කරන්න ලොක්කා......

      Delete
    3. @ AnonymousJune 4, 2015 at 11:54 AM

      realtime singlish එකේදී සමහර වචන (මහාප්‍රාණ/සඤ්ඤක) හරියට වදින්නේ නැහැ. කිසිම යුනිකෝඩ් එකකින් රකාරාංශය හරියට ලියන්න බැහැ ලොක්කා....................................

      Delete
    4. Real time singlish එකෙන් ඕනම අකුරක් ලියන්න හැකියාව තියෙනවා. සමහරවිට ඔබ යාවත්කාලීන නොකළ එකක් පාවිච්චි කළාද දන්නෙ නෑ. පහල ලින්ක් එකේ ලිවිය යුතු පිළිවෙල තියෙනවා. උත්සහකර බලන්න. .

      රකාරාංශය කියන්නෙ ප්‍ර ත්‍ර වගේ ලියන එකට නේද?
      https://0xdeafc0de.wordpress.com/rsinglish/

      Delete
    5. මම දන්න හොඳම යුනිකෝඩ් පරිවර්තකය Real time singlish තමයි

      Delete
    6. ඔව් කසුන් ඒක තමා. ඒ විතරක් නෙවේ යංශය මත රේඵය ලියන්නත් බැහැ ධෛර්‍යය මේ බලන්න මේක වැරැදියි. මේ රූපයේ ලියලා තියෙන්නේ 100% නිවැරදි එහෙත් අද කවුරුවත් භාවිත කරන්නේ නැති වචනයයි. මෙහෙම වුනේ යුනිකෝඩ් හැදීමේදී මේගැන නොසලකා හැරීම නිසයි.

      [im]https://jangun.files.wordpress.com/2015/06/scan_20150605_150850.jpg[/im]

      මම ටිකක් උත්සාහ කරලා බලන්නම් හරී. ඔය realtime singlish එකේදී සමහර මහාප්‍රාණ අකුරු ලියන්න යතුරු තුනක් ඔබන්න වෙනවා.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. පැන්සල හොඳ එකක්. මේ වෙබ් පිටුවෙන් භාගත කළ හැක.
      http://www.serandibsoft.com/pencil-350835363505353035233517.html

      Delete
  10. ලිපිය ඉතාම වැදගත්,කාළය වැය කර අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පාවිච්චි කරලා ලිවුවට ස්තුතී . :)

    අපේ භාෂාව මං දකින විදියට අනවශ්‍ය තරම් සංකීර්ණයි. ඉංග්‍රීසි , හිබ්රු , සිංහල කියන භාෂා තුන විතරයි මං ලියන්න සහ කියවන්න දන්නේ . ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26 ක් සහ හිබ්රු භාෂාවේ අකුරු 23 ක් සහ අමතර අකුරු 4 යි සියල්ල 27 ක් . ලියන සහ කියවන භාෂාව කියලා දෙකක් නැහැ..

    ඒ වගේම විශේෂම දේ තමයි ඔයා පැය 24 ම tv එක ඉස්සරහ හිටියත් කිසිම දෙයක් තේරුම් ගන්න බැරිවෙයි, මොකද කිසිම ඉංග්‍රීසි වචනයක් මේ අය පාවිච්චි කරන්නේ නෑ. අපේ වැඩසටහනක් බැලුවොත් 50% ක් ඉංග්‍රීසි වචන. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ ඒත් වෙනම කලවමට නෙමේ,,

    ReplyDelete
    Replies
    1. මගේ අසීමිත අන්තර්ජාල පහසුවට මම තදින්ම ආදරය කරමි. එයින් උපරිම ප්‍රයෝජන ගනිමි. දවසට පැය 10 ක් පමණ අන්තර්ජාලයේ සැරිසරමි.

      කිසිදු භාෂාවක් තවත් භාෂාවකට වඩා සංකීර්ණය, උසස්ය, පහත්ය (ඔබ කියා ඇත්තේ සංකීර්ණය යන්න පමණි) කියා සිතීම, තීරණය කිරීම එතරම් ප්‍රඥාගෝචර නොවේ. එක භාෂාවක තනි වචනයකින් කියන දෙයක් තවත් භාෂාවකින් කියන්න වාක්‍යයක් ලියන්න වෙනවා.

      ඔබ සඳහන් කරන හීබෲ භාෂාවත් පිරිසිදු බසක් නොවේ. වෙනත් මූලාශ්‍ර වලින් බිඳී ආව භාෂාවක්. http://en.wikipedia.org/wiki/Hebrew_language

      සිංහල සමග 50% ඉංගිරිසි වචන උසුරුවන්නේ පහත දක්වන අයයි.

      1. සිංහල වචන අතරට හැකිතරම් ඉංග්‍රීසි වචන දමා කතා කිරීමෙන් තමා (උන්ගේම තුට්ටු දෙකේ වචන වලින් කියනවානම්, එළ, පට්ට, පොෂ්) ඉංග්‍රීසි උගත්තකු බව, බොරුවට පෙන්වීම හා එමගින් සමාජ අභිමානයක් හදාගන්නට උත්සාහ කරන මැටි මෝල්ලු.

      2. පාසලේදී කවදාවත් තම මව් භාෂාව හරියට ඉගෙන නොගත්, ඒ නිසාම එය අප්‍රිය කරන, අවාසනාවන්තයෝ.

      3. මේක තමයි අලුත්ම මෝස්තරය කියා සිතා, අංක 1 යටතේ දක්වා ඇති මැටි මෝල්ලු අනුකරණය කරන, කෙට එළදෙන්නු හා සමාන පුද්ගලයෝ.

      Delete
    2. ඔබ ඉතාම පරිස්සමට මට උත්තර දීලා තියෙනවා වරහන් ඇතුලේ නොලිවනම් දන්නවනේ මගේ හැටි හි හි ..

      හිබ්රු කියන්නේ ලෝකේ පරණම භාෂාව. විකිපීඩියාව තුල තිබෙන සියල්ල සත්‍ය නෙමේ. 1948 වෙනකල් මල භාෂාවක් වෙලා තිබ්බේ ඒත් ලෝකේ වටෙන් ආපු මිනිස්සු එකතුවෙලා ආයෙම ගොඩ නැගුවා භාෂාව. අදටත් හැම දවසකම ඉංග්‍රීසි වචන වෙනුවට එයාලගේ වචන පාවිච්චි කරනවා

      බයිසිකල් එකේ අපි සිංහලෙන් මන් දන්න තරමින් හඳුන්වන එකම කොටස බල්ලෝ දෙන්නා විතරයි.. ඒත් හිබ්රු වල හැම වච්නෙටම හිබ්රු වචනයක් තියෙන්නේ.. කොටින්ම බයිසිකල් කියන වචනේ මේ මිනිස්සු දන්නේ නෑ.. "ඔෆනයිම් " මෝටර් සයිකල් එකට කියන්නේ "ඔෆ්නුවා" මෙහෙ ත්‍රී වීල් නම් නැහැ ..
      ස්තුති

      Delete
  11. ත්‍රි රෝද රථයට අපි කියමු ලජ්ජා රථය කියල, ඇයි දෙපැත්තම එළිනෙ..

    භාෂාවන් සියල්ලම වාගේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා නැත්නම් අලුත් වෙනවා. ඒක විය යුත් දෙයක්. නමුත් බස රැකෙන්න නම් ප්‍රධාන භාෂාව හරි විදිහට දැනගත යුතුයි නැත්නම් ඉගැන්විය යුතුයි. . ඉන්දියාවේ භාෂා වලත් සිංහල භාෂාවේ අපි භාවිත කරන වචන තියෙනවා ගෙඩි පිටින්ම. ඒ මේ භාෂා පවත එන්නේ සංස්කෘත භාෂාවත් එක්ක නිසා. වෙනස් වීම් අපිට වළක්වන්නත් බැ.කාලයත් එක්ක වෙනස් වෙනවා හැමදේම..

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් අප්පමා ඔය ලැජ්ජා නැති රථයෙන් හුඟක් ලැජ්ජා නැති වැඩ කරනවා. හැබැයි අපේ රටේ ඈත ගම වලට එහෙම ඕකත් නැත්නම් මොකුත් නෑ.

      භාෂා වල සමාන වචන තිබීම තුලින්ම පෙනෙනවා ඒ ඒ භාෂාවේ විකාශය. ඇත්තටම කාලය විසින් සියල්ල වෙනස් කරනවා.

      Delete
  12. // ඉංගිරිසි භාෂාව මේ ආකාරයට වෙනස් නොවන්නේ ඇයි? එහි තිබෙන වදන් සැකසුම් රීති, තමන්ට අවැසි පරිදි වෙනස් නොකරන්නේ ඇයි? //

    මොකද නැත්තේ.

    දැන් අපි පුංචි කාලේ උගන්නපු "ought to" එහෙම දැන් මොන බල්ලෙක් වත් පාවිච්චි කරන්නේ නැහැ.

    ඉස්සර "have you any cash" කියල අහනවා දැන් වැඩිය එහෙම අහන්නේ නෑ "do you have any cash" කියල මිසක්.

    ඉස්සර who කියන එකේ whom කියන inflected form එකකුයි අදාළ පුද්ගලයා කතෘ නොවන ප්‍රශ්න වලදී පාවිච්චි උනේ. අද එහෙම වෙන්නේ කලාතුරකින්.

    අපිට ඉගැන්නුවේ I එක්ක යොදන්නේ shall කියලා. අද පාවිච්චි වෙන්නේ will.

    split infinitive වැරදියි කියලා කාලයක් කිව්වට අද ඕනේ තරම් පාවිච්චි වෙනවා.

    වාක්‍ය preposition වලින් ඉවර කරන්නේ නැහැ කියල එඩිටර් ලා චර්චිල් ගේ ලිපි හිටන් එඩිට් කරා. අද ඕනේ තරම් එහෙම ලියනවා.


    බයි ද වේ විචාරක තුමා, ඔබගේ ලිපියේ පොඩි වැරදීමක්.

    // ඔන්න ඉතිං, සියල්ල සූදානම් කරලා, හාමුදුරුවා වැඩැම්මුවා. //

    "හාමුදුරුවා" නෙවෙයි "හාමුදුරුවෝ".

    හොඳ වෙලාවට විකාරකගේ බ්ලොග් එකේ කමෙන්ට් ඕපන් කරලා තිබුනේ. නැත්නම් ඔබතුමා කළා වගේ "විචාරකට මෙවැනි සරල වාක්‍යයක්වත් නිවැරදිව ලියා ගන්නට බැරි තරම් මොළය කොලොප්පම් වී තිබෙන්නේ ඇයි?" කියල මටත් පොස්ට් එකක් දාන්න සිද්ද වෙනවා!!!!

    ReplyDelete
    Replies
    1. තමුන්නාන්සේ මේ අදහස් ලියා තිබෙන්නේ අපේ රටේ ඉංගිරිසියෙහි තත්වය ගැන පමණක් සිතා බව පෙනෙනවා. මා තමුන්නාන්සේට යෝජනා කරනවා BBC, CNN, Sky News, VOA, Al Jazeera, Australia Today, වැනි ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා නරඹන ලෙසත් එවැනිම ජාත්‍යන්තර ගුවන් විදුලි සේවා වලට ඇහුම්කන් දෙන ලෙසත්, බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ පලවන පුවත්පත් කියවන ලෙසත්. (මේ සියල්ලම් අන්තර්ජාලය ඔස්සේ කළහැකි බව මතක් කරන්නටත් කැමතියි) එහිදී තමුන්නාන්සේට පෙනෙයි තමුන්නාන්සේ කියන තරම් ජාත්‍යන්තර ඉංගිරිසිය වෙනස්වී නැති බව.

      බයි ද වේ වැනි ජරා අච්චාරු යෙදුමක් දැමීම තුළින් පිළිබිඹුවන්නේ ඔබේ මානසිකත්වයයි. හාමුදුරුවා යන්න මා අතින් ලිපිය ලිවීමේදී සිදුවූ වරදක් බව කනගාටුවෙන් යුක්තව පිළිගනිමි.

      විකාරක කියා කීමෙන් ඔබට ලැබුණු සතුට ගැන මන්දස්මිතය පහළවිය. මගේ සිංහල වැරදි ගැන ඔබ බ්ලොග් ලිපියක් ලියන්නේනම් අගය කරමි.

      Delete
    2. මම කොහොමත් මේ දිනවල නිවුස් කියා දැම්මොත් අහන්නේ BBC තමා. ඒක මගේ කැමැත්ත සම්බන්ධ ප්‍රශ්නයක් නොව ඉන්නා රට සම්බන්ද සරල ප්‍රශ්නයකි.

      තර්කය තමුන්නාන්සේට තේරී නැති හැඩයි. ප්‍රශ්නය තියෙන්නේ BBC වැනි තැන් වල කී දෙනෙක් හරියට ඔය පොතේ ඉංගිරිසිය භාවිත කරනවාද යන්න නොවේ. ඉස්සර මෙන් පොතෙන් පිට පැනීම වරදක් බව අද ඒ තැන් වලත් නොසැලකීමයි. මෙවන් සමහර යෙදුම් ඉස්සර එහෙමයි දැන් මෙහෙමයි හෝ එහේ එහෙමයි මෙහෙ අරමයි කියා පිලිගන්නවා මිස "වදන් සැකසුම් රීති, තමන්ට අවැසි පරිදි වෙනස් කරනවා" කියා සුද්දන් හිතන්නේ නැත. කාලයාගේ ඇවෑමෙන් වෙනස් වුනොත් (I will -> I shall) එය භාෂාවේ නව යෙදුමක් ලෙස පිළිගන්නට සුද්දන් සූදානම් ය. ඔබ කියනා ඊනියා "ජාත්‍යන්තර ඉංගිරිසිය" මොකක් වුවත් "do you have / have you" වෙනස බිරිතානි/ඇමරිකානු ඌරු දෙකේ වෙනසකි.

      විකාරක යන්න වැරදී යෙදුනකි. එහෙම නැත්නම් අනික් තැන දෙකක විචාරක කියල ලියන්න ඕනේ නැහැ නේ.

      /// බයි ද වේ වැනි ජරා අච්චාරු යෙදුමක් දැමීම තුළින් පිළිබිඹුවන්නේ ඔබේ මානසිකත්වයයි.//

      මේ කියමන් ගැන ඔබේ අදහස මොකක්ද. මේවා ව්‍යක්තද එහෙම නැත්නම් "ජරා අච්චාරු"ද?

      "වෙසක් එකට තොරණේ බැලුප් දැම්මා වගේ"
      "බණ්ඩාරවෙල තියන සොමිය"
      "'ජස්ට් වැඩඩ්' ජෝඩුව, පල්ලියේ සිට ශාලාවට සැපත් වුණා"
      "පොඩි 'ටිරිකිස් පාරක්' දාලා බලන්න හිතුවෙමි"
      "ඔපරේෂන් ප්ලෑන් එකක් හදන්න වෙයි වගේ"
      'යටට ඇඳගෙන ඉන්න ෂෝට් එකේ"
      'මේ මං අඳින ලාග්ගෙක් නේද"

      Delete
  13. ගොඩක් වටිනා ලිපියක් විචාරකතුමා. ඇත්තටම පාසැල තුල සිංහල භාෂාව ඉගැන්වීම විවිධාකාරයි. සමහර ගුරුවරු උගන්වන්නෙ සිංහල අප්පිරියා වෙන විදිහට තමා. නමුත් ඒ අතර ඉන්නවා ආසාවෙන් ඉගෙන ගැනීමට හිතෙන විදිහට උගන්වන සහ කාලීනව සිංහල භාෂාව හැසිරවියයුතු ආකාරය උගන්වන ගුරුවරුත්. නමුත් තිබෙන ප්‍රශ්ණය තමයි අපගේ අධ්‍යාපන ක්‍රමය තුළ අද කාලයට ගැළපෙන ලෙස භාෂාව යාවත්කාලීන නොවීම/නොකිරීම. එම නිසා සාම්ප්‍රදායික/ පැරණි නීති රීති සහිත සිංහල භාෂාව තවමත් පාසැල් තුළ ඉගැන්වෙනවා.

    භාෂාවක සියළුම දේවල් ( සාම්ප්‍රදායික/පැරණි නීති රීති) ඉගෙන ගතයුතුවුවත්, මා යෝජනා කරන්නේද මූලික වශයෙන් පාසැල් අධ්‍යාපනය තුළ ඔබ සඳහන් කල පරිදි කාලයට ඔබින ලෙස යාවත්කාලීන වූ සිංහල භාෂාව උගන්වනවාටය. ඊට අමතරව සාම්ප්‍රදායිකව භාවිතා කරන සිංහල, පැරණි නීති රීති වගේ දේවල් සිංහල භාෂාව සම්බන්ධව වැඩි දුරටත් ඉගෙන ගැනීමට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුල වැඩි ඉඩකඩක් ඇති කල යුතුයි.

    කෙසේ නමුත් සිංහල බස යාවත්කාලීන කිරීම සිදු කල යුත්තේ විධිමත් ක්‍රමවේදයකට අනුවය. එසේ නොමැති උවහොත් සිංහල භාෂාව විනාශයට ගොස් මළ භාෂාවක් වීමේ ඉඩකඩ වැඩි වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ලිපිය ඇගයීම ගැන ස්තුතියි. ඇත්තටම සිංහල විෂයයට පාසල තුළ ලැබෙන තැන මදි. සිංහල ගුරුවරයාට ලැබෙන්නෙත් දෙවැනි පන්තියේ සැලකිලි. මේ ලෙඩේ තියෙනේ අපේ රටේ විතරද මන්දා.

      භාෂාවේ පැරණි නීති රීති වෙනස් කලහැකියි/කලයුතුයි. හැබැයි එය බොහොම ගැඹුරෙන් සිතා කලයුත්තක්. ඉගැන්වීමේ ක්‍රමය වෙනස් කිරීම තුළින් සෑහෙන වෙනසක් ඇතිකළ හැකියි.

      ඔබේ අදහස් ඉහලින්ම අගය කරනවා.

      Delete

  14. ලෝකේ ඉස්සර ඔක්කොමල්ලා කතා කළේ එක භාෂාවක්ලු.. පස්සේ මිනිස්සුන්ට ඕනා වුනා ලෝකෙ ලොකුම කොත හදන්න. "බාබෙල් කොත". හැබැයි දෙවියන් වහන්සේ මේකට විරුද්ධ වුනාලු. එතුමාගේ කීමට කීකරු වුන හින්දා බාගෙට හදමින් තිබුන කොත කඩලා විනාශ කරලා දාලා, මිනිස්සු අතර භාෂාවල විවිධත්වයක් ඇති කෙරුවලු එකිනෙකාට එකිනෙකාව තේරුම් ගන්න අපහසු වෙලා කොත හදන එක චකබ්ලාස් (සිංහලද, දෙමළද, ඉංග්‍රීසිද ? ) වෙන්න. දැන් සෞදි කාරයෝ කිමි එකක් උස කොතක් හදන්න යනවලු.. කවුද ගනන් කාරයෙක් කමෙන්ට් එකක් දාලා කියලා තිබුනා මීටර් 958ද කොහෙද වැඩිය උසට හදන්න බෑලු කඩන් වැටෙනවා කියලා.. බාබෙල් 2 !?

    ඉස්සර සත්තුන්ටත් කතා කරන්න පුළුවන්ලු.. හැබැයි මන්ත්‍රී දේවිය ළමයි කොහෙද කියලා අහපුවම බකන්නිලාගෙන හිටපු නිසා දැන් උන්ට කතා කරන්න බෑලු... !

    අපේ බල්ලට ලියන්න, කියන්න බැරි වුනාට හොඳට සිංහල තේරෙනවා.. වර කිව්වම එන්නත්, පල කිව්වම යන්නත් ඌ හොඳට දන්නවා.. හැබැයි පල කියද්දි කකුල ටිකක් තදින් බිම වදින්නත් ඕනා...

    මටනම් හිතෙන්නේ මේ ලෝකේ කාටවත් මේක අපේ යැයි කියන්න පුළුවන් භාෂාවක් නෑ.. ඔක්කොම භාෂාවල මූලය එකක් වෙන්න ඕනා...කියලා මට හිතෙනවා.. ඔප්පු කරන්න කියලානම් කියන්න එපා.. සිතුවිලි ඔප්පු කරන එක ලේසි නෑ...

    වෙනස්වීම හැම දේකටම වගේම භාෂාවටත් අයිති දෙයක් නෙ.. මම හිතන්නේ කාලානුරූපව වෙනස් නොවන භාෂාවල් මල(ළ?) භාෂාවල් වෙනවා.. බූරා ළඟකදි කියලා තිබුනා "තත්ත්ව" කියන වචනේ එක හල් තයන්නක් හැලෙන්න දැන් කාලෙ හරි කියලා...ඌ කාලෙ හරි කියලා දැන ගත්තු විදිහ දන්නෙ දෙවියොම තමා..:D

    නාවික හමුදා සෙබලා මහ රෑ ගෙදර ඇවිත් දොරට තට්‍ටුවක් දාලා සොඳුර මම "ආමි" කියද්දි ගෑනි වෙන මිනිහෙක් එක්ක ඇඳේ ඉඳන් මම හිතුවේ 'නේවි' කියලා කියපු කතාව අහලා ඇතිනෙ. කොහොමද භාෂා දෙකේම අර්තයන් පටලවලා, අර්ත ගන්වලා, හාස්‍ය මතු කරලා තියන හැටි... මාරයි නේද ? හොඳ වැඩ කාරයෙක්ට අහුවුනාම කොයි භාෂාවත් එකයි කියලා නේද ඒ පෙන්නන්නේ...

    ReplyDelete
    Replies
    1. "බාබෙල් කොත" මයෙ හිතේ බැබිලෝනියාව සම්භව වෙන්න හේතු වුනා.

      Delete
    2. ලස්සන කතාව. සෙන්නට මතකද දන්නේ නැහැ 1970 දශකයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුග්‍රහය සහිතව ජාත්‍යන්තර භාෂාවක් ගොඩනගන්නට උත්සාහ කළා. ඒ භාෂාව හැඳින්නුවේ එස්පරාන්ටෝ යනුවෙන්.http://en.wikipedia.org/wiki/Esperanto නමුත් එය ජනප්‍රිය වුනේ නැහැ. ඇත්තටම එහෙම භාෂාවක් තිබුනානම් ජාතීන් අතර සමගිය වර්ධනය වෙනවා.

      මන්ත්‍රී දේවිය නෙවෙයි නිවැරදි නම මද්‍රි දෙවේය. හුඟ දෙනෙක් ඔය නම වරද්දනවා.

      ඇත්තටම සිංහලය වේගයෙන් වෙනස් වෙනවා. මා කියන්නේ වෙනස්වීම යනු නිරර්ථක සක්ක වචන ගොඩක් එකතු කිරීම නෙවෙයි. එවිට ප්‍රධාන භාෂාව විනාශවී ප්‍රාදේශීය යෙදුම් ඉස්මතු වෙනවා.

      ඔය ආමි නේවි කතාවේ වර්ග කීපයක් තියනවා. කොහොමද ලියන්නේ? හම්බවුනාම කියන්නම්.

      ස්තුතියි ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට.

      Delete
  15. //'හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී'
    මෙම වාක්ය ඛණ්ඩයේ ඇති උපමාව හා උපමේය පහදන්න.//

    හිස් ටින්...උපමාව...මල්ලි ... උපමේය... :D :D kidding lu…

    වටිනා ලිපියක් විචා. හැම භාෂාවක්ම කාලයත් එක්ක වෙනස් වෙනවා. තව ටික කාලෙකින් බලන්ට ඉංග්‍රීසියට වෙනදේ.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්........ උපමාව කියන්නේ පොල් බෑය. උපමේය කියන්නේ පොල් කටුව. :e

      සෑම භාෂාවක්ම අනිවාර්යයෙන් වෙනස් වියයුතුයි. නමුත් ඒ වෙනස ඒ භාෂාවේ විනාශය නොවිය යුතුයි. එහෙම නේද?

      Delete
  16. භාෂාව වෙනස් වීම සාමාන්‍ය දෙයක්. ඕනෑම දෙයක් පරිණාමයට යටත්. ඒක හැබැයි බලෙන් කරන්නට බැහැ. මාත් මේ ගැන ලියන්න ඕනෙ කියා සටහන් කරගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔබ සමග එකඟයි. භාෂාව අනිවාර්යයෙන් කාලානුරූපව වෙන වෙනවා. නමුත් ඒ වෙනස භාෂාවේ විනාශයට තුඩුදෙන වෙනසක් නොවිය යුතුයි.

      Delete
  17. //'හුහ්....පේනවා නේද මේ නාකියාගේ තරම. මේකා ප්‍රසිද්ධියේම හාමුදුරුවරුන්ට අපහාස වන විදිහේ කතාවක් කිව්වා නේද?' // හැක් හැක්.. මමනම් ඔන්න එහෙම කියන්නේ නෑ.
    අම්මප අර ඔප්ස් ඩිරෙක්ටොරේට් එක ගැන කියූ එකේ සමහර වචන මට තේරුණෙත් නෑ විචාරක තුමා.
    //සමහර බ්ලොග් ලිපිත් එහෙමම තමයි.// මේකනම් කියුවේ මටමද මංදා.. හැමදාම රවියයියගෙනුයි හැලපයියාගෙනුයිත් බැනුං අහනවා ඔය වැඩේට.. හැක්.
    ඔක්කොම තියල සිංහල ඉගෙන ගන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.....අම්මපා හාමුදුරුවොත් දන්නා ජාති.

      ඉතිං මම ඔප්ස් ඩිරෙක්ටරේට් එක ගැන ලිව්වා වගේ ඔයත් නාවික හමුදා භාෂාවෙන් ලිව්වොත් අපිට තේරෙන්නේ නැහැනේ.

      මම අදනේ දන්නේ රවියි හැලපෙයි උඹට බණිනවා කියලා. මම කියන්නං මීට පස්සේ බනින්න එපා (හොම්බට දෙකක් අනින්න) කියලා :e

      Delete
  18. එදා පටන්ම භාෂාවේ භාවිතය පිලිබඳ ඔබතුමා කතා කළා. බස මරණ උන් පෙන්නන්න බැරි බව මුල් කාලයේ ලිපි වල කියෙව්වා මට තවමත් මතකයි. අදත් එය එලෙසම පැවතීම ගැන සතුටුයි. කාලයත් සමග භාෂාව වෙනස් විය යුතු බව මගේ අදහස. නමුත් හරසුන් අව්‍යක්ත වචන හෝ ඉංගිරිසියෙන් වැරදියට ගලවාගත් වචන භාවිතය හැකි තරම අඩු කරගත යුතුයි.
    අපේ මිනිස්සු සුන්හල කතා කරන්න ලැජ්ජයි. හොඳම උදාහරණයක් මතක කරන්නම්. වැඩට යන තැන උදේට කව්රුහරි හම්බ උනොතින් " ආයුබෝ වේවා" කියල කියන්න. එතකොට අනික් පුද්ගලයාගේ ප්‍රතිචාරය ඔබට හොඳින්ම දැකගන්න පුළුවන්.

    ඉඳ හිට බ්ලොග් අවකාශයට පැමිණියත් මෙවැනි හරවත් ලිපි තවමත් මෙහි ඉතුරුව තිබීම සහ කියවන්නට ලැබීම වාසනාවක් සේ සලකමි. :)

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }