හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 May 2015

කෝ අර කලාකිරිඤ්ඤෙ

1
   මොනවා? කලාව + කිරිඤ්ඤය = කලාකිරිඤ්ඤය? ඒක යකාගේ සිංහල වචන සන්ධි කිරීමක්නේ. අපොයි!..... කලාකිරිඤ්ඤෙ කියන නම ටයිප් කරන්නත් අමාරුයි. අනේ මන්දා හැමදාම අර යුනිකෝඩ් එකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි, කිව්වට මොකද, ඉතා පහසුවෙන්, සඤ්ඤක, මහාප්‍රාණ, ටයිප් කරන්න තවම මොන කෝඩ් එකටවත් බැහැ වගේ. 

   'කලාකිරිඤ්ඤෙ? ඒ මොකක්ද? කලාවට සම්බන්ධ දෙයක්ද? ඔය ඉහළින් තියන පින්තූරේ දැක්කම හිතෙන්නේ ඒ වගේ. එහෙමත් නැත්නම්........ විස්කිරිඤ්ඤ වගේ එකක්ද?'

   'හෙහ් හෙහ්..... කාල තියනවා නේද විස්කිරිඤ්ඤ? හැබැයි කලාකිරිඤ්ඤෙ කන්ඩ බෑ. කලාකිරිඤ්ඤෙං පුළුවන් කාපු විස්කිරිඤ්ඤා වමාරවන්ඩ. කලාකිරිඤ්ඤෙං හරියට දෙක තුනක් වැදුනොත් ඉතිං උඩුකුරුඤ්ඤං තමා. ආයෙ දෙකක් නෑ වැදුනොත් වැදුනමයි.'

   'අනේ ඉතිං ඔය විච්චූරණ නවත්තලා හිටං, කියනවකො හිටං, මොකද්ද ඔය කලාකිරිඤ්ඤෙ කියන්නේ කියලා හිටං'.

   හරි හරි, ඔන්න එහෙනම් විච්චූරණ නැතුව, පට්....ටාන් ගන්නම්කො විස්තරේ.

   කලාකිරිඤ්ඤෙ කියන්නේ ආයුධයක්. ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ, 'නකල් ඩස්ටර් - Knuckle Duster' කියලා. අපේ රටේ සම්පූර්ණයෙන් තහනම් ආයුධයක්. ලෝකයේ සමහර රටවලත් තහනම්. දැන්නම් අපේ රටේ දකින්නට නැති තරම්. තියනවානම් කලාතුරකින්වත් එකක් දෙකක් පොලීසියට අහුවෙන්න එපායැ.

   ඔබ අතරින් සෑහෙන දෙනෙක් මේ ආයුධය ගැන දන්නවා ඇති. නමුත් මට හිතෙනවා, නොදන්නා අයත් සෑහෙන්න ඇති කියලා. ඒ නිසයි මේ ලිපිය ලියවෙන්නේ. 

   මේ ආයුධය මම මුලින්ම දැක්කේ 1966 දී පමණ. අපේ අයියාගේ යාලුවෙක් තමයි, මේක අපේ ගෙදරට ගෙනාවේ. ඒ කාලයේදීත් එය තහනම් ආයුධයක්. ඒ නිසා, බොහොම රහසිගතවයි ඒක තියාගත්තේ. එය නිපදවා තිබුණේ, මීහරක් අඟකින් කපාගත් කොටසකින්. හරියටම, මෙන්න මේ පහළ තිබෙන රූපයේ හැඩය තමයි තිබුණේ.

Knuckle Duster

   මොකක්ද මේ කුණුහරපෙ? මේකෙන් මක්කැයි කොරන්නේ? මට ඉතින් කටට එන එක කියාගන්න විදිහක් නෑ මෙතන.

   ඔන්න ඔහොම නේද හිතෙන්නේ මේක දැක්ක ගමන්. පොඩ්ඩක් ඉන්නකෝ. මෙය මේ ආකාරයෙන්ම සුදු යකඩෙන් සකසා තියනවා මා දැක්කේ, 1968 පමණ කාලයේ. එය විදේශීය නිෂ්පාදනයක්. ඒ කාලේ මෙව්වා සෑහෙන්න ලංකාවේ තිබුණා, මම හිතන්නේ. 

   මොකක්ද මේකෙන් කරන්නේ? බලන්න පහළ රූපය. මුලින්ම, මේ රූපයේ තියන විදිහට, පහරදීම සඳහා තමන්ට හුරු අතේ,  මේක පැළඳගන්නවා. ඊළඟට?........ ඊළඟට මොනවද ඉතින්, මූණ නාලුවෙන්න නෙළනවා. 

82400489

   දැන් ඔන්න ආයුධය හඳුනාගත්තා. ඊළඟට බලමු මේකේ තියන විවිධ හැඩයේ නිෂ්පාදන කීපයක්. ඇඟ හිරිවැටෙනවා එව්වා දැක්කම. 

2

3

4

5

   හැබෑටම මේකෙන් නෙළුවම එච්චරටම අමාරුද ඈ?

   අමාරුද? එහෙනම් ඔන්න බලාගන්ඩකො, මේකෙන් කාපු දෙන්නෙකුගේ පින්තූර. 

6

7


   හොඳයි, කොයි ආයුදෙත් පාවිච්චි කරන්න ගියාම වරදින අවස්ථා තියනවනේ. මෙන්න මේ ආයුදේ පාවිච්චි කරන්න ගිහින් වැරදිච්ච අවස්ථාවක්. සනීපයි නේද? 

8

   සෑම ආයුධයක්ම, සෑමදාම, එකම පෙනුමෙන් හෝ හැඩයෙන් හෝ ප්‍රමාණයෙන් හෝ ක්‍රියාකාරීත්වයෙන් හෝ පවතින්නේ නැහැනේ. ඒ ඒ ස්වභාවයන්, කාලීනව වෙනස් වෙනවා. මෙන්න බලන්න මේ ආයුධයේ කාලීන වෙනස්කම් සිදුවී ඇති ආකාරය. 

9

   දැක්කා නේද? පිහියයි නකල් ඩස්ටර් එකයි එකට සම්බන්ධ කරලා. 

10
11
12

    මේවා කාන්තා අත්බෑග් තමයි. නමුත් බලන්න, ඉතා සූක්ෂ්මව එහි නකල් ඩස්ටර් එකක් සවිකර තියනවා. අද ලෝකයේ කාන්තාවන්ට වෙන හිරිහැර ගැන හිතලා වෙන්න ඇති, මේ විදිහට නිපදවන්න ඇත්තේ.

   මේවා ලංකාවේත් ගන්න තියනවාද කියලා හොයාබැලීම, ලංකාවේ නෝනලාගේ වගකීමක්. අර 'බුස්කැට් ක්‍රෙලෙවාර්ඩ්' ද මොකද්ද කියලා එකක් තියනවා නේද කොළඹ? ඔය මාතලන් එහෙම කැරකෙනවා ඒ පැත්තේ නිතරම. අහලා බැලුවොත් හොයලා දෙයි.

   මම හිතන්නේ, මේ පින්තූර දැක්ක ගමන්, පොඩ්ඩියි, ඔමායයි, ලෝකේ පෙරළලා හරි, මෙව්වා එකක් (සමහරවිට දෙකතුනක්) ගනියි.

   නෝනලාට විතරක් නෙවෙයි කාටත් හරියන එව්වාත් තියනවා.

   මේක ජංගම දුරකතනයක් නෙවේ. ඒ වගේ පෙනෙන්න හදපු කලාකිරිඤ්ඤයක්.

13

    තද වෙච්ච ගමන්, මිටෙන් අල්ලාගෙන ඉන්න ගමන්, කෝප්පේ ගැහුවා බිත්තියේ. ඔන්න කලාකිරිඤ්ඤයක් අතේ. මරු නේද?

14

   පතරොම් ඉවරනම්, දමලා අනින එකයි ඇත්තේ.

15

  හෝව්, හෝ.......ව්! තවම කතන්දරේ ඉවර නෑ.

   මෙව්වා යුද්ධායුධ ලෙස වැඩිදියුණු කරලා තියනවා අතීතයේදී. ඒකට කිව්වේ,  කලාකිරිඤ්ඤ පිස්තෝලය හෙවත්, Knuckle Duster Pistol කියලා. මෙන්න බලන්ඩකො ඒ භාණ්ඩේ.

මේකේ කෑලි තුනක් තියනවා. නකල් ඩස්ටර්  එක, පිහිය, පිස්තෝලය. 

Apache Revolver

   හෙහ් හෙහ්, කොහොමද බඩු? මේක හදලා තියෙන්නේ කොයි කාලේද දන්නවද? සැළැස්ම හදලා තියෙන්නේ 1860 දී. මුලින්ම නිපදවලා තියෙන්නේ 1869 දී. බෙල්ජියම තමයි, මේ ආයුදේ උපන් රට. මෙන්න අනිකුත් වැදගත් තොරතුරු.

  • අවියේ බර : අවුන්ස 8 යි = ග්‍රෑම් 385 යි.
  • පිහිතලය හකුලා තිබෙනවිට අවියේ දිග : අඟල් 4.3" = මි.මී 105 යි.
  • පිහිතලය දිගහැර තිබෙනවිට අවියේ දිග : අඟල් 7.8" = මි.මී.200 යි. 
  • යොදවන උණ්ඩ වර්ගය : .27 = මි.මී. 7 ප්‍රමාණයේ උණ්ඩ.
  • එක වරකට ඇතුළු කළහැකි උණ්ඩ ගණන : 6 යි. 
   මේ අවියට තුවක්කු බටයක් නැහැ. රිවෝල්වර් චේම්බර් එකම තමයි, බැරල් එක හැටියට ක්‍රියා කරන්නේ. ඒ නිසා, මීටර් හතරකට පහකට වඩා දුර වෙඩි තියන්න බැහැ. නමුත්, කාගේ හරි ළඟට ගිහින් වැඩක් දෙන්න, හොඳටම ප්‍රමාණවත්. ඔන්න ඉතිං, ඇයි දැන් අහන්නේ, රිවෝල්වර් එක, චෙම්බර් එක, බැරල් එක, ගැන? එව්වා මම කිව්වේ හුඟක් ඉස්සරනේ.

   මේ අවිය ගැන වීඩියෝ එකක් තියනවා මෙන්න බලන්න. තප්පර 24 යි යන්නේ. ඒ නිසා බලන්න.




   වැඩේ මෙතනින් නැවතිලා නැහැ. තව තවත් ඉදිරියට ගෙන යමින්, විවිධ නිෂ්පාදන කරලා තියනවා. මීටත් වඩා කුඩාවට තව එකක් හදලා තියනවා. මෙන්න බලන්න.




 හෙහ් හෙහ් හෙහ්.............මොකද හිතෙන්නේ? එතනින් ඉවරයි කියලද? නෑ නෑ, මෙන්න ඊටත් වඩා කුඩා එකක්. පින්තූරේ විතරයි තියෙන්නේ. 

Screenshot (2)


   ඉතිං දැන් කාලේ මෙව්වා නැද්ද නිකං, අපි වගේ මොඩ් (මෝඩ?) කොල්ලන්ට ගැලපෙන එව්වා? තියනවා තියනවා. අද වෙනකොට හැම එකක්ම ඉලෙක්ට්‍රොනික් නේ. මක් කිව්වා? ඔව් අම්මපා, ඒකයි අරකයි විතරයි තවම ඉලෙක්ට්‍රොනික් වෙලා නැත්තේ. කවුද දන්නේ අනාගතේදී වෙන්නත් පුළුවං......නැද්ද මං කියන්නේ? ඔන්න බලාගන්ඩකො, අද තියන විද්‍යුත් නකල් ඩස්ටර් එක.


Screenshot (1)


   හෙහ් හෙහ් හෙහ්, කොහොමද වැඩේ? වෝල්ට් 950,000 ක කම්පනයක් දෙන්න පුළුවන්. ඇ.ඩො. 40 යි. ඔන්න ගන්නවානම් බඩු. මේක ගැනත් පොඩි වීඩියෝ එකක් තියනවා. ඒකත් බලන්ඩකො.





   මොකද දැන් හිතෙන්නේ? විද්‍යුත් කලාකිරිඤ්ඤයක් කොහොම වෙතත්, නිකං කලාකිරිඤ්ඤයක් වත් හදාගන්ඩ පුලුවන්නම් හොඳයි කියලා හිතෙන්නැද්ද? හදිස්සියකට එකෙකුගේ දෙන්නෙකුගේ හොම්බ කට කඩලා යන්න අනින්න පුළුවන්නේ. අනේ අපි එහෙම ඕං දන්නෙත් නෑ, දැක්කෙත් නෑ, ඕනේ කෙනෙක් ඉන්නවානම්, මෙන්න මෙතනට ගිහින් ඉගෙනගන්න එකයි ඇත්තේ. හැබැයි ඔව්වා පාවිච්චි කොරලා, හිරේ විලංගුවේ වැටිච්චහම, මේ අහක ඉන්න අපිට එහෙම දොස් කියනවා එහෙම නෙවෙයි  ඕං.

    මේ මාතෘකාව ඔස්සේ තවත් කරුණු සාකච්ඡා කරන්නට හැකි වුණත්, මා හිතනවා, දැන් මේ ලිපිය අවසන් කළයුතුයි කියා. සමාජයේ එදිනෙදා සිදුවීම් පිළිබඳව නොලියා, යළිත්, අවි ආයුධ සහ සංග්‍රාමික කරුණු ඇතුළත් ලිපි ලියන ලෙස, බොහෝ දෙනෙකුගෙන් ඉල්ලීම් ලැබුණා. ඒ නිසා, නුදුරේදී එවැනි ලිපි කීපයක් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.


2015 මැයි මස 25 වැනි දින 0014 පැය


20 May 2015

චාරිකා සටහන් එකතුවක්

Writing
 පහුගිය මාස පහක හයක පමණ කාලය තුළ, චාරිකා කීපයක යෙදෙන්නට, මට අවස්ථාව ලැබුණා. එයින් 'යාපනයේ සංචාරය' සහ 'වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව' පිලිබඳ අද්දැකීම්, මා ඔබ සමග බෙදා හදාගත්තා. නමුත්, සමහර චාරිකා පිලිබඳ විස්තර කියන්න අමතක වුණා. එහෙම නැත්නම්, ඊට වඩා ප්‍රමුඛස්ථානයක් ලැබිය යුතු මාතෘකා ඔස්සේ ලිපි ලියවුණ නිසා, චාරිකා සටහන් ලිවීම අතපසු වුණා. ඔන්න ඒ මගහැරුණු චාරිකා ඔක්කොම එකතු කරලා, මේ ලිපිය ලියන්නේ.

   
රන්ටැඹේ චාරිකාව 

   වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව බොහොම රසවත්. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ගිය මේ චාරිකාව සඳහා, දින තුනක් ගතවුණා. එයින් දින දෙකක් මා සහ සහෝදර විශ්‍රාමික නිළධාරීන්, නැවතී සිටියේ, රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයේ. 

   මා හමුදා සේවයේ යෙදීසිටියදී, කවරදාක වත්, මේ කඳවුරට ගිහින් නැහැ. එසේ යන්නට අවශ්‍යතාවක් නොතිබුණු නිසා. මේ තමයි මා පළමුවරට එහි ගිය අවස්ථාව. ශ්‍රී ලංකාවේ දර්ශණීයතම භූමි භාගයක පිහිටි මේ කඳවුර, ප්‍රධාන නගර වලින් ඈත්ව පිහිටීමත් විශේෂත්වයක්. ප්‍රධාන නගරයක් වශයෙන් පිහිටි මහියංගනය නගරයටත්, මෙහි සිට කි.මී. 28 ක් පමණ දුරක් තිබෙනවා.

   මෙම කඳවුරු භූමිය, මහවැලි ව්‍යාපාරයට අදාළව නිමවුණු, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ ව්‍යාපෘතීන්හි සේවය කළ, ජර්මානු ජාතික නියෝජිතයන්ගේ නවාතැන්, ගබඩා, කාර්යාල, සංකීර්ණයක් ලෙසයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේ ප්‍රදේශය වල් අලින් ගෙන් ගහණ ප්‍රදේශයක් වුවත්,

   (වල් අලියා යන්න, වන අලියා ලෙස හඳුන්වන්නට අදහස් කළේ, මොන ගොන් අලියාදැයි දන්නේ නැහැ. වල / වළ යන වචන දෙකෙහි තේරුම නොදත්, සිංහල නූගත්, අබබ්බයකු වෙන්න ඇති, ඒ යෝජනාව ගෙනෙන්න ඇත්තේ. මෙවැනි අබබ්බයන්, 'වල්' කියන වචනයට දන්නේ, එක තේරුමයි. ඒ කියන්නේ, අසභ්‍ය කියන තේරුම. මේ අය, ඒ තේරුම දන්නෙත්, තමන් වල් නිසා වෙන්න ඇති. වන අලියා, වණ අලියා කියලත් ලියයි, සමහරවිට) 

   මෙතෙක් ශිෂ්‍යභට පුහුණුවට එයින් බාධාවක් වී නැති බව දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත්, ශිෂ්‍යභටයන් වන අභ්‍යාසවල යෙදීමේදී, උපදේශක මණ්ඩලය විසින්, ආරක්ෂාව ගැන විශේෂයෙන් සැළකිලිමත්වන බවත්, දැනගන්නට ලැබුණා. කඳවුර වටා විදුලි වැටක් ඉදිකර තිබෙනවා, අලින් පැමිණීම වළක්වන්නට. මෙන්න රන්ටැඹේ ප්‍රදේශය. පින්තූරය මත ක්ලික් කර, විශාල කර බලන්න. 

Rantambe

   මෙන්න රන්ටැඹේ දී සහ මහියංගණ ප්‍රදේශයේ චාරිකාවේදී ගත් පින්තූර කීපයක්.

රන්ටැඹේ කඳවුර 

DSC01270


DSC01260



මහියංගණ චෛත්‍යය

DSC01291



සොරබොර වැව

DSC01329


DSC01324

   සොරබොර වැව ලංකාවේ ඇති වැව් අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්නේ, එහි ඇති සොරොව්වේ විශේෂත්වය නිසයි.  එය සම්පූර්ණයෙන් ස්වභාවික ගලක ඉදිකරන ලද සොරොව්වක්. ඒ ආකාරයට ලංකාවේ ඉදිකර ඇති එකම සොරොව්ව එයයි. අදාළ විස්තර, වැව අසළ ඇති පුවරුවක සඳහන්වන්නේ මෙහෙමයි. 

DSC01318

මේ සොරොව්වේ වීඩියෝවක් ගන්නට මට හැකිවුණා. මේ තියෙන්නේ ඒ වීඩියෝව. (තත්පර 30 ක් පමණයි)




  කල්පිටිය චාරිකාව 

   ඔබට මතකද මා මීට පෙර කීප වතාවක් ඔබට කියා තිබෙනවා අපේ ගමේ සුබසාධක සමිතියෙන් යන වාර්ෂික චාරිකාව ගැන. 2015 වසර වෙනුවෙන් ඒ චාරිකාව අපි ගියේ කල්පිටිය අර්ධ ද්වීපය සහ පුත්තලම ප්‍රදේශය ආශ්‍රිත කරගෙනයි.

   කල්පිටියට යනවානම් නොවරදවාම නැරඹිය යුතු ස්ථානයක් වන්නේ, කල්පිටිය නාවික හමුදා කඳවුර තුළ පිහිටි, පැරණි ඕලන්ද බලකොටුවයි. මෙය නැරඹීම සඳහා, කල්තබා දැනුම්දීමක් කර, අවසර ගන්නවානම්, වඩා හොඳයි. කෙසේවෙතත්, හතර පස් දෙනෙකු වැනි සුළු පිරිසකට නම්, ඒ මොහොතේම වුනත්, කඳවුරේ ඇති සම්බන්ධිකරණ කාර්යාලයෙන්, අවසර ගන්න පුළුවන්. 

   මේ ඕලන්ද බලකොටුව සීඝ්‍රයෙන් විනාශවීගෙන යන බවත්, පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු කිසිවක් සිදුවී නැති බවත් පෙනෙනවා. පසුගිය යුද සමයේ මා, මේ කඳවුරට කීප වතාවක් ගියා. නමුත් නිදහසේ මේ බලකොටුව නරඹන්නට ලැබුණේ, මේ පහුගිය පෙබරවාරි මාසයේ යෙදුන සංචාරයෙදීයි. කඳවුර හරිම අලංකාරයි. ඔබට පුළුවන්, අවසර දී ඇති ප්‍රදේශ වලට පමණක්, නිදහසේ ඇතුළුවී නරඹන්න.

   කඳවුර ඇතුළට යනකොටම දකින්න ලැබෙන්නේ තල්මසකුගේ ඇටසැකිල්ලක් සංරක්ෂණය කර ඇති ආකාරය.

DSC01826

   හමුදා භටයන් විශ්‍රාම ගන්නවා වගේ, අවි ආයුධත් විශ්‍රාම ගන්නවා. මේ නාවික යාත්‍රාවල සවි කරන මැෂින් තුවක්කුවක් විශ්‍රාම ගෙන තිබෙන ආකාරය.

DSC01824


ඕලන්ද බලකොටුවේ පිවිසුම් දොරටුව 

DSC01827


බලකොටුව අභාවයට යමින් පවතින හැටි 

DSC01829

   බලකොටුවේ, පැරණි, අතිවිශාල, දැවමය දොරටුවක් තිබෙනවා. එහි සටහන්ව තිබෙන ආකාරයට, මේ බලකොටුව ඉදිකර තිබෙන්නේ ක්‍රි.ව. 1759 දී. MDCCLIX = 1759

DSC01862

   මේ පහත පින්තූරයේ තිබෙන්නේ, 'ක්‍රිස්තු වර්ෂ' යන්න, ANNODOMINI යනුවෙන්, සටහන් කර ඇති ආකාරයයි. 

DSC01861

   යුද්දෙට ගිහින් වෙහෙසට පත් ප්‍රහාරක යාත්‍රා, මේ කඳවුරේ, විවේක සුවයෙන් තිබෙනවා. නමුත් ඕනෑම වෙලාවක රාජකාරියට සූදානම්. අදත් අභ්‍යාසවල යෙදෙනවා. මේ යාත්‍රා අසළටම ගොස් බලන්නට අවසර තිබෙනවා. 

DSC01870

   නාවික කඳවුර නරඹා ආපසු එන ගමන්, අපි, අති සුප්‍රසිද්ධ, තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර වන්දනා කරන්නටත් ගියා. ඉතා අලංකාර පරිසරයක පිහිටි මේ දෙව් මැඳුරු භූමිය, පරිසර සංරක්ෂණය අතින් ඉහළ තැනක් ගන්නවා. 

DSC01920


DSC01927

   ඊළඟට අපි ගියේ, නොරොච්චෝලේ, 'ලක් විජය ගල් අඟුරු තාප විදුලිබලාගාරය' නරඹන්නටයි. බලාගාරය ඇතුලේ පින්තූර ගන්න අවසට නැහැ. මේ පෙනෙන්නේ, නැව් මගින් ගෙන එන ගල් අඟුරු, බත්තල් මගින් ගොඩබිම ආසන්නයට ගෙනැවිත්, ධාවන මාර්ගයක් ඔස්සේ, Conveyor Belt බලාගාරය වෙත එවන ආකාරයයි. 


DSC01917

   නොරොච්චෝලේ ප්‍රදේශයේ, ඉතා විශාල ප්‍රමාණයක්, සුළං විදුලි ජනක සවිකර තිබෙනවා. පුත්තලම ප්‍රදේශයම ගතහොත්, 100 කට අධික ප්‍රමාණයක් තියනවා වගේ දැක්කේ. මේ තියෙන්නේ. 

DSC01887

   'අනේ ඔය දෙන්නා නිකං, ඈතින් හිටෙව්ව හුළං මෝල් දෙකක් වගේ ඈත්වෙලා ඉන්නැතුව ලංවෙන්නකෝ', කියලා, ලොකු දුව කොච්චර කිව්වත්, ලංවුණේ නැහැනේ.

DSC01906

   දිවා ආහාරය සඳහා අපි බලාපොරොත්තු වුණේ, පුත්තලම - මන්නාරම මාර්ගයේ, එළුවන්කුලම ප්‍රදේශය පසුකර, කලාඔයේ දිය පැන්නුමෙන් එගොඩවී, ඔයෙන් නෑමෙන් පසු, මොක මොකවත් කරගෙන, දෙයියනේ කියලා බත්ටික කන්නයි.

   නමුත් ඔයේ වතුර වැඩි නිසා වාහන එගොඩ කරන්න බැහැ, සපත්තු පාළමෙන්. Causeway කෝසුව කියලත් කියනවා. මේ බලන්න කෝසුවේ වතුර වැඩියි. එගොඩින් පෙනෙන්නේ, විල්පත්තු අභයභූමිය.

DSC01935

   මෙතනදී මම දැක්කා, තම වර්ගයා බෝ කිරීමේ අරමුණින්, උඩුගං බලා, කෝසුවෙන් පණින මසුන්. ඔන්න මම උන්ව වීඩියෝ කරගත්තා.



   ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.  දැන් කොහේ ගිහින්ද,  මොක මොකවත් කරගෙන, දවල් බත කොටාබාන්නේ කියලා, අපේ කට්ටිය විස්සෝප වුණා. හෙහ් හෙහ්......එව්වා කොහෙද මාත් එක්ක.

   මේ ප්‍රදේශය මට හොඳට හුරුයි. මම මුලින්ම මේ ප්‍රදේශයේ රාජකාරි කලේ 1987 දී. මම අපේ කට්ටියත් අරගෙන ගියා, ඉතා සුන්දර පරිසරයක පිහිටි ධීවර ජනාවාසයක් වන, 'ගඟේවාඩිය' නමැති ප්‍රදේශයට. (සිතියමේ බලන්න)

   ඉස්සර මේ පැත්ත ඉතා දැඩි ලෙස LTTE තර්ජනයට ලක්ව තිබුණා. දැන් නිදහස්. මේ අසළ, අති විශේෂ නාවික හමුදා කඳවුරක් තිබෙනවා. එය තරමක් රහසිගත එකක්.

   මෙන්න බලන්න ගඟේවාඩිය. 

DSC01948

Screenshot (14)



ත්‍රිකුණාමලය සහ තිරියාය චාරිකාව

   මේ චාරිකාවේ යෙදුණේ පහුගිය මාර්තු මාසේ. අපේ පන්සලේ තිබෙන දහම් පාසලේ දරුවන් වෙනුවෙන්, චාරිකාවක් සූදානම් කර තිබුණා. අපේ හාමුදුරුවෝ මට කිව්වා, 'මහත්තයත් ඇවිත්, පින්තූර ටිකක් අරං දුන්නොත් හොඳයි' කියලා. ඒ නිසා තමා ගියේ. මේක දහම් පාසල් චාරිකාවක්නේ. ආයෙ 'වෙන වැඩ බැහැ' ඒ නිසා, උපාසක ලීලාවෙන් ගිහින් ආවා.

   ත්‍රිකුණාමලයේ පින්තූර නම්, බොහෝදෙනෙක්, අනන්තවත් දැකලා ඇති. ඒ නිසා වැඩිය පින්තූර දාන්නේ නැහැ. ත්‍රිකුණාමාලයේ පිහිටි ෆ්‍රෙඩ්රික් බලකොටුවේ ප්‍රධාන දොරටුව මේ පෙනෙන්නේ.

1

   ත්‍රිකුණාමලයේ කෝණේස්වරම් කෝවිලට පහළින් පිහිටා ඇති, 'ස්වාමි ගල හෙවත් පෙම්වතුන් පිනූ ගල' සෑම සංචාරකයකුගේම කැමරාවට හසුවෙනවා. 

2

   අතීතයේ පටන් ත්‍රිකුණාමලයේ වෙසෙන මුව රංචුව, ප්‍රධාන නගරයක් තුළ වෙසෙන, ලෝකයේ එකම මුව රංචුවයි. නමුත් ඔවුන් වඳවේගන යනවාලු. මමත් මේ මුවාව දැක්කේ, ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරක් තුළදී. 

3

   මේ ගමනේ අපි ප්‍රධාන අරමුණක් කරගත්තේ, තිරියායේ ගිරිහඬු සෑය වන්දනාමාන කිරීමයි. අපි ඉක්මණින්ම තිරියාය බලා පිටත්වුනා. ත්‍රිකුණාමලය - පුල්මුඩේ මාර්ගයේ, තිරියායට හැරෙන හන්දිය අසළ ඇති නාවික හමුදා කඳවුරෙන්, අපිට ඉතා ඉහළ මට්ටමේ තේ පැන් සංග්‍රහයක් ලැබුණා. අපේ ගමේ ඉන්න නාවික හමුදා නිළධාරියකු විසින් එය සූදානම් කර තිබුණා. මේ තියෙන්නේ ඒ කඳවුරේ අලංකාරයි. 

4

5

   තිරියාය ගැන හැඳින්වීමක්  බලලා, පින්තූර බලමු.

6

   ලංකාවේ තිබෙන විශාලතම වටදාගේ තියෙන්නෙත්, තිරියාය ගිරිහඬු සෑයේ.

9

   ගිරිහඬු සෑය පිහිටි කන්ද පාමුල, පැරණි ගල් පාළමක් සහ දිය අගලක් දකින්නට ලැබෙනවා. 

7

8

   මේ සිතියම දාන්නේ, ඔබටත් තිරියායේ යන්න මග සලකුණු පෙන්වන්නයි. 

Screenshot (15)

   අපේ කණ්ඩායමේ හිටිය මේ සංචාරිකාවෝ, මගේ කැමරාව ඉදිරියේ, නිරූපිකාවෝ බවට පත්වුණා. 

10

11

   මේ කෙටි ලිපිය කියෙව්වාට බොහොම ස්තුතියි.


2015 මැයි මස 19 වැනි දින 2333 පැය 

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }