හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 April 2015

එහෙනං හරීටත් හරිගියා ඈ

8
 පොඃ .....................අම්මපා මේක පුදුම මගුල් සක්වලක්නේ. මගුල්, මගුල්, මගුල්, බැලූ බැලූ පැත්තේ මගුල්. කවුරුත් දන්නවානේ අපේ පවුලේ මගුලක් කාලා හුස්මක් ගත්තේ මේ ඊයේ පෙරේදා කියලා. අප්පොච්චියේ ඒ රස්නේ යන්ඩත් කලින් මෙන්න තව මගුලක් ආවේ නැතෑ. මේ මගුලට ආරාධනා පත්තරේ ඇවිත් තිබුණේ අපේ දුවගේ මගුලටත් කලින්. 


img002


Scan_20150430_220106

හිතාගන්ඩ පුලුවන්ද මේ කවුද කියලා?
වෙන කවුරුවත් නෙවෙයි අනේ;

   මදෑ, ඉඳලා ඉඳලා මූත් වැටුනනේ අමාරුවේ. මක්කා කොරන්ඩද ඉතිං. මෙව්වා කාලීන අවශ්‍යතා නේ. අප්පේ මූණ බලන්ඩ එපායැ අද ජෝඩුවගෙම. වෙසක් එකට තොරණේ බැලුප් දැම්මා වගේ ඕං දිස්නේ. හෙහ් හෙහ්.........අම්මපා ඇස්වහක් කටවහක් නෑ, නියමෙට ගැලපෙන ජෝඩුවක් කියලා කට ඇරලා කියන්ඩ පුළුවන්.

   හරියා වැඩකරන කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන්ම තමා, මනමාල පොඩ්ඩිව හොයාගෙන තියෙන්නේ. හරියා නං ඉතින් ජාඇල පැත්තෙනේ. මනමාලි බණ්ඩාරවෙල. පොඃ මූට පුළුවන්, 'පැණි හඳ' සඳහා බණ්ඩාරවෙල බලා ගුවන්ගත වෙන්ඩ. ජාඇල තියන ගිනි රස්නේ වගේද බණ්ඩාරවෙල තියන සොමිය.

   දැනට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා තමයි මේ ජෝඩුව මුලින්ම අපේ ගෙදර ආවේ. අනේ.....හරියට අයියයි නංගියි වගේ. ඒ කාලේ මම හිතුවේ, මුන් දෙන්නා තව අවුරුදු දෙකතුනක්වත් ඔන්චිල්ලා පැද පැද ඉඳියි කියලා. කොහෙද මුන්ට ඕනෙවෙලා ඉක්මනටම ගැටේ ගහගන්ඩ.

   ඔන්න අද (2015/04/30) තමා දෙන්න නොලිහෙන්ඩම ගැටේ ගහගත්තේ. මමත් ඉතින් උදේ පාන්දරම ගියා හරියාගේ ඉහේ මල් පිපීම බලන්ඩ. ඔන්න ඉතිං මංගල ශාලාව ඇතුලට ගියාම තමයි දැක්කේ, හරියාගේ 'වැඩින් කේකය' ඇන්න ඇවිත් තියෙන්නේ අස්ස කරත්තෙකින් කියලා.   

1

  ඔන්න ඉතිං ඔය කේකය රටපිට එකක්ද? ලංකාවෙද? සඳලංකාවෙද? ආදී වශයෙන් කරුණු හොයාබලමින් ඉන්නකොට, 'ජස්ට් වැඩඩ්' ජෝඩුව, පල්ලියේ සිට ශාලාවට සැපත් වුණා. ආව ගමන්, පහන් දැල්වීම තමයි කළේ. 

2
හරියා ළඟ ඉන්නේ හරියගේ අම්මයි තාත්තයි.

උදේ ඉඳලම මොකුත් කෑවේ නෑ, ඒ නිසා කේක්වත් කමු කියලා, ඔන්න ජෝඩුව කේක් කරත්තේ ලඟට ආවා.

4
අපෙ හරිය මෙන්න - නෝන සමග - කේක් කරත්තේ
   ඔන්න ඉතිං මෙව්වා බලලා මමත් ගිහිං මේසෙක වාඩිවුණා. හත් ඉලව්වට ගහපු හාරත හේරයි කිව්වලු. මෙන්න බොලේ සුදු ජෝඩුවක් ඇවිත් මගේ මේසෙම වාඩිවුණේ නැතැයි. ඇයි දෙයියනේ මේ මොකෑ වෙන්ඩ යන්නේ? කවුද මුන් දෙන්නව මෙතනට එව්වේ? අනුමානයක් නෑ හරියා තමා මේක කොරන්ඩ ඇත්තේ.

   හරි හරි පුතෝ, අහුවෙයන්කෝ මටත් කවදා හරි උඹව. දෙඤ්ඤං පොලියත් එක්කලාම කියලා හිතනකොටම, සුද්දා මට කොටන්ඩ පටන්ගත්තා.

   හෙහ් එව්වා කොහෙද මා එක්ක? මමත් අතෑරියේ නෑ වැඩේ. දෙන්ඩ ගත්තා කාලතුවක්කු බතරොයියක් වගේ. හෙහ් හෙහ් එතනින් එහා සුදා සහ සුද්දී මට වැඩිය කතාකොලේ නැහැ. මොකද උන්ට අපේ බොහොම උසස් ඉංගිරිසි තේරෙන්නේ නෑ. උන් දන්නේ නිකං දෙකයි පනහේ ඉංගිරිසි. අපි එහෙමද? ගෙඩි රුපියල් වලින්ම හැට හුටහමාරකට වැඩිය වියදං කොල්ලා ඉගෙනගත්තු එව්වනේ. මේන් ඉන්නවා සුදු ජෝඩුව මනමාලිත් එක්ක. බලනකොට මේ මනමාලිගේ සේවා ස්ථානයේ ලොක්කලු. 

6

   ඔන්න ටික වෙලාවක් යනකොට අර 'හොරෙන් චූස්' බීලා, වැඩින් කේක් කාලා, හමාරවුන ගමන්,  මෙන්න බොලේ මෙසේටම ගෙනත් තිබ්බේ නැතැයි, කිලෝ බයිට්, මෙගා බයිට්, ගිගා බයිට්, ආදී වශයෙන් ඔක්කොම බයිට් ජාති. ඉස්සර වෙලාම, දිදාලයක් තරම් වීදුරුවකට, මොනවද වක්කරලා බෙදාගෙන ගියා.

   චැඃ යකෝ මෙච්චරද දෙන්නේ? නිකං කටේ තොලේ ගෑවෙන්නවත් මදිනේ. නෑ නෑ ඒක අර සුබපැතීමට විතරක් දෙන වයින් එකලු. වයින් බැරිනම්, බැටරි කෑලි ගලගාපු වයින් ඉස්පිරිට් වුනත් කමක් නෑ කියලා, වේටර් මල්ලියෙකුට කියන්න හදනකොටම බඩු ඇන්න ආවා. එතනින් එහාට කියන්ඩ ඕනේ නැහැනේ.

   බොහොම රසවත් දිවා ආහාර වේලකුත් රසවිඳින්නට ලැබුණා. කෑමෙන් ටික වෙලාවකට පස්සේ, කාපු බීපු තැන් වල සතා සරුපයාවත් ඉන්නෑ කියලා කිව්වා වගේ, මමත් නව යුවළට සුබ පතා ආපසු හැරුණා.

හරී - සසිඳු, ඔබ දෙපළට සුබ මංගලම්!
7

9


2015 අප්‍රේල් මස 30 වැනි දින 2342 පැය

27 April 2015

දුව දුන්නෙමි කාර බැඳා

DSC02680
 ජනප්‍රිය පැරණි රසාංගයක් තියනවා, අහලා තියනවද, 'දුව දීමට කාරෙ බැඳා' කියලා ගීතයක්? අහලා නෑ? මේක පැරණි නූර්ති ගීතයක්. ඉස්සරනම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා වල නිතර ප්‍රචාරය වුන ගීතයක්. මෙය නූර්ති ගීතයක් බව මතක තිබෙන නමුත් කුමන නූර්තියේද, ගායකයා කවුද කියන එක දැන් මතකයෙන් ගිලිහිලා. මුල් ගීතය සොයන්න විශාල වෙහෙසක් දැරුව නමුත්, අන්තර්ජාලය පුරා තිබෙන්නේ, ගීතයේ නිවැරදි පදමාලාව නොදන්නා, පුස්සන් විසින්, විකාර රූපී ශෛලියෙන් උම්බෑ කියපු ගීත පමණයි.

   අවසානයේදී, යන්තම් හෝ එකඟ වියහැකි ගායනයක් සොයාගත්තා. මේ ගීතය කලකට ඉහතදී, ජනප්‍රිය ගායක, එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගයා තිබෙනවා. ජෝතිපාලයන්ගේ පින්තූරයක් සහ ඔහුගේ ගායනයේ හඬ පථය යොදා ගනිමින්, එහි පදමාලාව කියවිය හැකි පරිදි, මා එය නැවත සැකසීමක් කළා. මේ පහත දක්වන්නේ, එසේ මා සැකසු නිර්මාණය වන අතර, එය, හුදු ඉදිරිපත් කිරීමක් විනා, උසස් නිර්මාණයක් නොවන බව, අවධාරණය කරන්නට කැමතියි. 



මේ ගීතයේ ඇතුළත්ව තිබෙන්නේ, පැරණි සාම්ප්‍රදායික සිංහල සමාජයේ, චින්තනයේ ස්වභාවය බව, මොනවට පැහැදිළි වෙනවා. අද්‍යතන සමාජය, මේ අදහස් කිසිසේත් අනුමත නොකරන බව, අපි කවුරුත් දන්නවනේ. නමුත්, මේ චින්තනයේ නටබුන් තවමත් අප තුළින් සම්පූර්ණයෙන් ගිලිහී ගොස් නැති බවයි පෙනෙන්නේ. ඔබට මොකද හිතෙන්නේ?

   හොඳයි, මේ තරම් දිග චූර්ණිකාවක් ඔබ වෙත ඉදිරිපත් කළේ, එක් වැදගත් කාරණයක් කියන්නයි. (මට වැදගත්) මගේ කණිටු දියණිය, පසුගිය අප්‍රේල් 22 වැනිදා, මනමාලියක වී වෙනම කැදැල්ලකට පියඹා ගියා. දියණියක ගෙදරින් යන දා ට, පියකු තුළ ඇතිවන හැඟීම කොතරම් සංවේදීදැයි, මටත් දැනුණා. මා තවත් පරිණත වූ බවත්, දැන් මා ජීවිතයේ ඉදිරි සැළසුම් දෙස, නැවත සළකා බැලිය යුතු කාලය එළඹ ඇති බවත්, හැඟුණා.

   මේ කෙල්ල පොඩි කාලයේ මගේ ඔඩොක්කුවේ චූ කරන කාලයේ සිට සියල්ල, මංගල්‍යය දවසේ, යළිත් මතකයට ආවා. ඇය ඉපදුන දවසෙත් මා සිටියේ යුදබිමේ දිවි පිදූ මගේ රෙජිමේන්තුවේ සෙබළකුගේ අවමගුලට සහභාගි වෙමින්. ඒ කාලේ ජංගම දුරකථන තිබුණේ නැහැ. ඊට කළින් දවසේ, මා, රෝහලේ සිටින බිරිඳට පණිවිඩයක් යැව්වා, පසුදින, මා හමුදා අවමංගල්‍යයකට සහභාගිවීමට, රඹුක්කන ප්‍රදේශයට එන බව. මගේ බිරිඳ, දරු ප්‍රසූතිය සඳහා ඇතුළත්ව සිටියේ, කෑගල්ල රෝහලටයි.

   දරු උපත දන්වමින්, පණිවිඩකරුවකු මා හමුවන්නට රඹුක්කනට ආවා. හමුදා අවමගුල් උත්සවයෙන් පසු, මා මගේ අණදෙන නිලධාරියාගෙන් ගුවන්විදුලි පණිවිඩයකින් ඇසුවා, මගේ භාරයේ සිටින භට පිරිස, බලලත් නිලධාරියකු භාරයේ ආපසු කඳවුර වෙත පිටත්කර, පැය 72 ක නිවාඩුවක් ලබාගන්නද කියා. නමුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. 

   ආපසු කඳවුරට යන ගමන්, රෝහල අසළ වාහනය නවතා, අලුත උපන් දියණියවත්, ඇගේ මවත් බලන්නට රෝහලට ගියත්, එවකට එම රෝහලේ මාණ්ඩලික හෙදියක ලෙස සේවය කළ, මගේ අයියාගේ බිරිඳ, මට අම්මා සහ දරුවා ළඟට යන්න දුන්නේ නැත්තේ, මා අවමංගල්‍ය අවස්ථාවක සිට, දාඩිය පෙරාගෙන, පැමිණ සිටි නිසයි. දරුවා හරහට වඩාගෙන, අඩි පහක හයක පමණ දුර සිටයි, මට පෙන්නුවේ.

   මේ දියණිය කුඩා කාලයේ මා යුදබිමේ සිටි නිසා, ඈ මා කවුදැයි හඳුනන්නේ නැතිවීම, මට මහත් වේදනාවක් වුණා. මාස කීපයකට වරක් නිවාඩු ලබා ගෙදර පැමිණිවිට, ඇය මා දකින්නේ යකෙකු ලෙසයි. එතරම් බියකින් ඇය කෑ ගසා හඬනවා, මා දුටුවාම. අද ඒ සියල්ල මිහිරි වේදනා ලෙස, මා හදවතේ තැන්පත්ව තිබෙනවා. මා ඇයව වඩාගෙන ඇත්තේ, හුරතල් කර ඇත්තේ, තෑගිබෝග ලබාදී ඇත්තේ, ගමන් බිමන් රැගෙන ගොස් ඇත්තේ, කොපමණ සීමිත වාර ගණනක්දැයි, සිතනවිට දුකක් දැනෙනවා.

   ඇගේ මිතුරියන්, ඔවුන්ගේ දෙමව්පියන් සමග විනෝදවන හැටි, ඇය ඒ කාලයේ කියන්නේ, දුකක් මුසුවයි. ගමේ පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්ව, කොළඹ 'ලොකු ඉස්කෝලයකට' ගිය ඇය, අපෙන් තවත් ඈත් වුණා කියලයි, මට ඒ කාලයේදීම හිතුණේ. නමුත් ඇය ඇයගේ විමුක්තිය සොයා ගියා. අන්තිමට ඇය නැවතුනේ මෙන්න මෙතන.

Colombo_Medical_College_UoC

   අනේ ඉතින් මේ කෙල්ල, තමන්ගේ අනාගතය සකසා ගැනීමේ හැම පියවරක්ම මෙතනදී ගත්තා. ඇයට ඇයගේ අනාගත සහකරුද මෙතනදීම හමුවුණා. (මෙතන කපුකම් කරන උන්නැහෙලත් ඉන්නවද මන්දා) දුවලා ඉන්නේ කවදා හෝ ගෙදරින් පිට යන්නනේ. මට බැද්දේගම කතාව මතක්වුණා. දුවක ගෙදරින් යනදා පියකු ගයන ගීත අතරින්, කොයි ගීතයද මෙතනට සුදුසු කියා මට හිතාගන්න බැහැ. තවත් ලියන්න ගියොත් මගේ මුළු හදවතම එළියට එන නිසා, මෙතනින් නවතිනවා.

මහේෂා - ගවීශ ඔබ දෙපළට සුබ අනාගතයක්!

DSC02726

DSC02826  


2015 අප්‍රේල් මස 27 වැනි දින 0031 පැය

20 April 2015

එන්න බලන්න බේබදු මැජික්

stock-photo-magician-in-the-business-suit-94980529
 හප්පෝ..........යන්ඩ යන්ඩ ඔය පොඩි ළමයි ඔක්කොම යන්ඩ. මේක ලොකුම ලොකු ළමයින්ට විතරයි. ඔන්න නොකිව්වයි කියන්ඩනම් එපා......... මෙව්වා බලලා බේබදුකමට හුරුවුණා කියලා. මෙව්වා ඉතින්, අපි වගේ, අ/මද්‍යප විශේෂඥයින්ට පමණක් සීමාවූ දේවල්. බ්ලොග් කියවන සකල සත්වයා කෙරෙහි පහළවූ මහා කරුණාව නිසයි, කියලා දෙන්ඩ හිතුවේ. ඔය දැන් මෙතන ඉන්න ලොකු ළමයි අතරින්, හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච ළමයි ඉන්ඩ. නැහැදිච්ච දෙමව්පියන්ගේ හැදිච්ච ළමයි යන්ඩ.

   හරී.... ඔන්න එහෙනං පට්ටා...න් ගන්ඩයි යන්නේ. හොඳ්දා.........යි. ඔය ළමයි දන්නවා නේද අරක්කු? ඔව් ඔව් බොන අරක්කු තමා. නැත්තං මූණේ ගාන අරක්කු කියලා ජාතියක් නැහැනේ? ඔන්න ඉතිං නාන, පීනන, කබරයා දාන, වගේ අරක්කු වර්ග නම් තියනවා.

   මේ ඊයේ පෙරේදා දවසක අවුරුදු සතුට වෙනුවෙන් පැවැත්වුන පුංචි සාදයකදී, ආයුර්වේද වෛද්‍යවරයකු විසින් තමයි, මේ මැජික් එක කරලා පෙන්නුවේ. මැජික් එක මෙහෙමයි. වෙද මහත්තයා කිව්වා, එයා එකම වීදුරුවකට වතුර සහ අරක්කු දමන බවත්, ඉන්පසු වතුර එම වීදුරුවේම ඉතිරි කර, එහි ඇති අරක්කු ටික පමණක් බොන බවත්.

   අප්පොච්චිගෙ පප්පේ......මේක ඉතිං මැජික් එකක් නේන්නං. කවදා කාපු ටකරංද කිව්වලු. වෙද මහත්තයා මගේ හොඳ මිත්‍රයෙක්. එයා මට කිව්වා. 'හරි, හමුදාවේ කඳවුරු වල සෑහෙන්න සාද පවත්වනවානේ. එහෙනං මහත්තයා මීට කලින් මේ වැඩේ දැකලා ඇති. පුලුවන්ද කරලා පෙන්නන්න' කියලා.

   මම කිව්වා, 'පිස්සුද වෙද මහත්තයෝ. ඔය මළජරාව වීදුරුවකට දාල අතට ගත්ත ගමන්, බුග් ගාලා උගුරෙන් පහලට බස්සගන්නවා මිසක්, අපි ආයේ ඕකෙන් මැජික් පෙන්නන්නේ නෑ. ඕන්නං ටිකක් වැඩිවෙච්චි දවසට ඔය එක එක මැජික් පෙන්නනවා' කියලා.

   ඔන්න ඊළඟට වෙද මහත්තයා අහපි, 'කවුද මා එක්ක ඔට්ටුවක් අල්ලන්නේ' කියලා. අප්පට සිරි ගජ, ඔව්වට තව ඔට්ටුත් අල්ලපියකෝ. එව්වා කොහෙද මාත් එක්ක. දැන් මෙතන හිටියා හත් දෙනෙක්. 'පීප්ප අංක 69' වර්ගයේ බෝතල් දෙකක් තිබුණා. (ලීටර් 2 ක්) අනේ එකෙක්වත් ආවේ නැහැ ඔට්ටු අල්ලන්න. අර ලීටර් දෙකෙන් බින්දුවක් හරි අඩුවෙයි කියලා ලෝබ හිතෙන්න ඇති.

   වෙද මහත්තයා ඉල්ලුවා අරක්කු බොන වීදුරුවකට වතුර එකක්. සාදය පැවැත්වුනේ, වෙද මහත්තයාගේ මල්ලි කෙනෙකුගේ ගෙදර. එයා, බෝතල් කළ පානීය ජලය එකක් ගෙනාවත්, වෙද මහත්තයා ඉල්ලුවා, ලිඳෙන් වතුර ටිකක් අරන් දෙන්න කියලා. ඔන්න ලිඳෙන් වතුර එකක් ගෙනල්ල, අරක්කු බොන වීදුරුවකින්, තුන්කාලක් විතර වෙන්න පිරෙව්වා.

   වෙද මහත්තයා එයාගේ සාක්කුවෙන් ගත්තා පිරිසිදු කපු ලේන්සුවක්. ලේන්සුව අර වතුර වීදුරුව මත එලලා, බෙර හමක් වගේ, තදින් ඇදී හිටින ලෙස අල්ලා ගත්තා. තවත් වීදුරුවකට දැමූ අරක්කු, ටික ටික, ලේන්සුව මතට වත්කළා. මෙන්න බොලේ වැඩක්. ඒ අරක්කු වෙනම තට්ටුවක් ලෙස වීදුරුවේ ජලය මත රැඳුනා.

   අම්මපා මැජික් නේන්නං. හෑ....................ඇස්දෙක අදහා ගන්නත් බැහැ. ඊළඟට වෙද මහත්තයා අර ලේන්සුව ඉවත් කළා. 'මං අහන්ඩ කැමතියි, ඔය දිලිසි දිලිසි තියෙන්නේ, අරක්කුද නැත්තං.......කියලා' නෑ නෑ, එහෙම ඇහුවේ නැහැ. වෙද මහත්තයා අරක්කු වීදුරුව අතට අරං, අනික් අතින්, වීදුරුවේ කට වැහුවා, ඉතා කුඩා ඉඩක් පමණක් ඉතිරි වන විදිහට. ඊළඟට වීදුරුව ඉතා සෙමින් ඔහුගේ මුවට ලං කොට, අරක්කු තට්ටුව උරා බිව්වා. මේ ළමයි දන්නවා ඇති අර සුරූ.....ස් ගාලා වීදුරුවකින් බීම උරා බොන විදිහ. අන්න ඒ විදිහට තමයි බිව්වේ.

   පොහ්.................මල් හතයි ඈ. මම පුතයත් ඉතිං, ඔව්වට සැකැන්ඩ් වෙන්ඩ කැමති නැති ගොබිලෙක් නේ. මමත් වැඩේ කොරලා බැලුවා. මම ලේන්සුව වෙනුවට පාවිච්චි කළේ, හතරට නවපු paper serviette එකක්. අම්මපා වැඩේ හරිගියානේ.

   ඔන්න පහළ තියන පලවෙනි පින්තූරේ තියෙන්නේ, අරක්කු වක්කලාට පසු වීදුරුව තිබුන හැටි. දෙවෙනි පොටෝ එකෙන් පෙන්නන්නේ, වෙද මහත්තයා අර අමුතු කෙරමෙට අරක්කු බිව්ව හැටි. මගේ ජංගම පෝන් හෙවත් මොබයිල් දුරකතනයේ, අර එළිය පාරක් විදින ලැයිට් එකක් නෑ ඕං. ඒ හින්දා පින්තූර අඳුරුයි.

photo0112

photo0115

   මට හිතෙන්නේ ළිඳෙන් ගත් කඨින ජලයේ ඝනත්වයට වඩා, ආසවනය කර සකසා ඇති මත්පැන් වල ඝනත්වය අඩු නිසා, මේ සංසිද්ධිය ඇතිවෙනවා කියලයි. 



2015 අප්‍රේල් මස 20 වැනි දින 1420 පැය 

14 April 2015

මහ ගෙදරට නැවත පැමිණි රණවිරුවා...................... Return of a War Hero to own home

Sarath Fonseka promoted to rank of Field Marshal (7)
 රණවිරුවකු ගෙදර එනවා කියන්නේ වැදගත් සිදුවීමක්. අපේ රටේ මහා රණවිරුවෙක්, අවුරුදු පහකට පස්සේ, ගෙදර ආවා. පහුගිය අවුරුදු පහේම, මේ රණවිරුවාට ගෙදර එන්න තහනම් කරලා තිබුණේ. ඒ තහනම දැම්මේ, කෙළෙහිගුණ නොදත්, අමන, බලලෝභියකු විසින්. නමුත්, පශ්චාද් භාගයට වැදුන ජනතා පා පහරින්, ඒ අමනයා විසිවී ගියපසු, මේ අසාමාන්‍ය රණවිරුවාට, යළිත් තම මහගෙදරට එන්නට වරම් ලැබුණා. මේ, ඒ පිළිබඳ කෙටි සටහනක්. 


   අමන පාලනය යටතේ, අමන පවුලට සට්ටැඹිකම් නොකළ රණවිරුවන්ට, ලංකාවේ ත්‍රිවිධ හමුදා කඳවුරු වලට ඇතුළුවීමට, අවසර තිබුණේ නැහැ. නමුත් ඒ අමන නියෝග දැන් අවලංගු නිසා, කාටත් විවෘත ආරාධනාවක් ලැබුණා. මේ තමයි ඇරයුම්පත. මේ ලිපිය ලියවෙන්නේ මෙහි ඇති ඓතිහාසික වටිනාකම නිසයි.

    
Scan_20150413_115904

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණියේ වසර පහකට පසුවයි. සියළු දෙනාගෙන් එතුමාට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. මේ ඇරයුම්පතේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ නමට ඉදිරියෙන් තිබෙන අකුරු වලින් කියවෙන දේවල් පැහැදිළි කර දෙන්නම්.

RWP = රණ වික්‍රම පදක්කම

RSP = රණශූර පදක්කම

VSV = විශිෂ්ඨ සේවා විභූෂණය

USP = උත්තම සේවා පදක්කම

rcds = Royal College of Defence Studies = බ්‍රිතාන්‍ය රාජකීය ආරක්ෂක විද්‍යාපීඨයේ ආරක්ෂක විද්‍යා උපාධිය

psc = Passed Staff College බ්‍රිතාන්‍යය/ඉන්දියාව/පාකිස්ථානය/බංග්ලාදේශය/ යන රටවලින් එකකදී ලබාගන්නා මාණ්ඩලික විද්‍යාල උපාධිය

(මේ උපාධිය සඳහා, ලංකා ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, කළින් ගියේ ඉහත රටවලට පමණයි. නමුත් දැන් අපේ රටේම අණ හා මාණ්ඩලික විද්‍යාලයක් පිහිටුවා, එමගින් මෙම උපාධිය දේශීය සහ විදේශීය ත්‍රිවිධ හමුදා නිළධාරීන්ට ලබාදෙනවා)

ඉහත දැක්වෙන්නේ, හමුදා නිළධාරියකුට, තම නමට ඉදිරියෙන් ලිවීමට අවසර ඇති පදක්කම් සහ උපාධි අතරින්, එතුමාට හිමි ඒවා පමණයි.

නමුත් එතුමාට මීට අමතරව, තවත් 'සේවා පදක්කම් - Service Medals'  රැසක් ලැබී තිබෙනවා.

එතුමාට හිමි සියලුම පදක්කම් විස්තරය පහත දක්වනවා. 


Scan_20150412_221240

ශ්‍රී ලංකාවේ පළමුවැනි ෆීල්ඩ් මාර්ෂල් වරයා සියැසින් දැකගන්නට ලැබීම සතුටක්. ඔහු මගේ රෙජිමේන්තුවේ නිළධාරියකු වීම අභිමානයක්.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ලැබෙන, ඉහළම වීර පදක්කම වන, පරම වීර විභූෂණය, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ පළමු වරට ලැබුණෙත්, අපේ රෙජිමේන්තුවටයි.
(කපිතන් සාලිය අලදෙණිය සහ කෝප්‍රල් ගාමිණී කුලරත්න) 

Scan_20150412_220555

කැමරාව ගෙනගියේ නැති නිසා, ජංගම දුරකතනයේ කැමරාවෙන්, පින්තූර කීපයක් සටහන් කරගත්තා. 

photo0098

එතුමා වෙනුවෙන් ඉතා අලංකාර ගෞරවාචාර පෙළපාලියක් පවත්වනු ලැබුවා.

photo0095

පෙළපාලියෙන් පසුව එතුමාව කඳවුරේ රණවිරු ස්මාරකය වෙත කැඳවාගෙන යනු ලැබුවා. 

photo0104

photo0106

photo0102

අති විශාල සිංහ සෙබළ කැළක්, මේ අභිමානනීය අවස්ථාවට සහභාගි වුණා. 

photo0103

 රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු, රැස්ව සිටි සියලුදෙනා ඇමතූ එතුමා තම පාසල් ජීවිතය, හමුදා ජීවිතය, සහ යුදබිමේ ජීවිතය ගැන දීර්ඝ විස්තරයක් කළා.

තමන් මේ රට වෙනුවෙන් කළ සේවය සලකා බලන කල, තමා රටට ණයගැති නොවන පුද්ගලයකුයැයි තමන් සිතන බව එතුමා ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම කඳවුර (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය - අඹේපුස්ස) ඉදිකිරීම සඳහා දායක වූ ආකාරයත්, මුල්ම කාලයේදී, පොල්අතු සෙවිලි කළ, පොල්අතු වලින් බිත්ති සැදුණු, භට නිවාස වල ජීවත් වෙමින්, නොයෙක් දුක් කරදර මධ්‍යයේ කඳවුර වැඩිදියුණු කළහැටි විස්තර කළා.

අද ශ්‍රී ලංකා යුද හමුදාවේ, දර්ශනීයතම රෙජිමේන්තු මධ්‍යස්ථානයක් ලෙස, අවිවාදයෙන් පිළිගත හැකි මට්ටමක තිබෙන මේ කඳවුර, මේ මහ සෙනෙවියාගේ මගපෙන්වීම යටතේ අති විශාල දියුණුවක් ලබා තිබෙනවා.

අමන පාලනය යටතේ, අමන නියෝග මගින්, එතුමාගේ නම සහිත සියලුම සිහිවටන පුවරු, ඡායාරූප ආදිය ඉවත් කෙරුණා. නමුත් ඒවා විනාශ වන්නට නොදී, රහසිගතව රැකගන්නට, බුද්ධිමත් සිංහ විරුවන් ක්‍රියා කළා.

අද නැවතත් ඒ පුවරු සහ ඡායාරූප, කළින්  තිබුණු තැන්වලම සවිකර තිබෙනවා.  

photo0110

photo0107

photo0108

මෙම අභිමානවත් උත්සවය වෙනුවෙන් නිකුත් කරන ලද සිහිවටන සඟරාවේ, එතුමන්ගේ ජීවිත කතාවද සැකෙවින් දක්වා තිබෙනවා. මේ එයින් එක් පිටුවක්.

Scan_20150412_221435 - Copy


මෙම සිහිවටන සඟරාවේ ද එක් පිටුවක් වෙන්වී තිබුණේ, එවැනි හැඳින්වීමකටයි. 

Scan_20150412_221240 - Copy

ඔබට මතකද මා ඉහත සඳහන් මගේ ලිපියේදී සඳහන් කළා, ෆීල්ඩ් මාර්ෂල් වරයකුගේ අතේ ගෙනයන යෂ්ටිය පිළිබඳව. මේ තියෙන්නේ ඒ ගැන කෙටි හැඳින්වීමක්.

එම යෂ්ටිය රැගෙන යන්නෙත් විශේෂ ආකාරයකට. ඉහත ඡායාරූප නිරීක්ෂණය කළවිට ඔබට එය වැටහෙනු ඇති.

Scan_20150412_220809

ෆීල්ඩ් මාර්ෂල් වරයකුට වෙනම ධජයක් හිමිවනවා. ඔහු සහභාගිවන සෑම නිළ උත්සවයකදීම, එම ධජය එසවිය යුතුයි. මේ තියෙන්නේ, ලංකාවේ ෆීල්ඩ් මාර්ෂල් වරයාට හිමි ධජයයි. 

Scan_20150412_222008_002

ඉතා අලංකාරව සකසා තිබුණු අති විශාල කූඩාරමක දී සියළු දෙනා එක්ව දිවාභෝජන සංග්‍රහය භුක්ති වින්දා. ඊට පෙර එතුමාගේ ජීවිත කතාව රැගත් වාර්තා වීඩියෝ චිත්‍රපටියක් ප්‍රදර්ශණය කෙරුණා. 

දිවා භෝජනයෙන් පසු, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රබලතම යුද්ධයෙන් ජයගැනීමේ නියමුවා වූ, මේ අභීත, එඩිතර, අභිමානවත් මහ සෙනෙවියාට දීර්ඝායුෂ ප්‍රාර්ථනය කොට සමු දී, අපිත් ගමරට බලා පිටත්වුණා. 

photo0111


2015 අප්‍රේල් මස 14 වැනි දින 1348 පැය

09 April 2015

සොල්දාදුවා - The Soldier

ඊ මේල් පණිවිඩයකින් උපුටාගත්තෙමි. - විචාරක 

This is an extraction from an e mail received from a Senior Officer.
Wicharaka 


image1
When a soldier comes home, he finds it hard …… to listen to his son whine about being bored.

image 2....to keep a straight face when people complain about potholes.


image 3
To be tolerant of people who complain about the hassle of getting ready for work.

image 4
…. to be understanding when a co-worker complains about a bad night's sleep.

image 5
…. to be silent when people pray to God for a new car.

image 6
...... to control his panic when his wife tells him he needs to drive slower.

image 7
…. to be compassionate when a businessman expresses a fear of flying.

image 9
...... to keep from ridiculing someone who complains about hot weather.

image 8
...... to control his frustration when a colleague gripes about his coffee being cold.

image 10
...... to remain calm when his daughter complains about having to walk the dog.

image 11
....... to be civil to people who complain about their jobs.

image 12
..... to just walk away when someone says they only get two weeks of vacation a year.

image 13
...... to be forgiving when someone says how hard it is to have a new baby in the house.

image 14
Finally……glad to be back home!



0922hrs 9th April 2015
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }