හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 March 2015

ගස් ගල් වඳිමින්......... අපි යනවා..........!

23306
 මේ සටහන බලාපොරොත්තු රහිතව ලියවෙන්නක්. නමුත් මේ සඳහා පාදක වුන විවිධ කරුණු හිතේ කොනක තිබුනේ කාලයක සිටයි. අද එය එක්වරම එළියට පනින සිදුවීමක් වුණා. පුද්ගල නිදහස අනුව ඕනෑම පුද්ගලයකුට තමන් කැමති ආගමක්, භක්තියක්, විශ්වාසයක්, දර්ශණයක්, අනුගමනය කරන්නට, අදහන්නට, පිළිපදින්නට, දේශනා කරන්නට, පතුරවන්නට, ඇති නිදහස අභියෝගයකින් තොරයි.


   නමුත් සමහර පුද්ගලයන්ගේ ආගමික ක්‍රියාකළාපය, තවත් කෙනෙකුගේ පෞද්ගලික නිදහස කෙරෙහි බලපෑමක් එල්ල කරන්නේ නම්, ඒ පිළිබඳව පුළුල්ව කරුණු විමසා බැලීමට සිදුවෙනවා.

අද උදේ, අපේ පුංචි ජනාවාසයේ, (මෙය ගමක් කියන්නට බැහැ. ඉඩම් වෙන්දේසි ආයතනකින් මිලදීගත් ඉඩම් කට්ටිවල, නිවාස තනාගෙන පදිංචිවී සිටින පිරිසක් ඉන්නේ) එක්තරා කළබගෑනියක් සිදුවුණා. උදේ 9.00 ට පමණ, මට අසල්වැසියකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. මෙන්න පණිවිඩය.

'..........' මහත්තයා, හරි වැඩක් වෙන්න යනවා, අර '...........' අයියලාගේ ගේ ළඟ ඉඩමේ තියන මහා නුග ගහ කපන්න යනවා, ඒ ඉඩමේ අයිතිකාරයා. බලන්න හරි අපරාධයක් වෙන්න යන්නේ. ඔතන හරි හාස්කම් ඇති තැනක්. අපේ '............' අයියට හොඳටම කේන්ති ගිහින්, පොලීසියටත් කිව්වා. මහත්තයා ඕඅයිසී මහත්තයට කෝල් එකක් දුන්නනම්, ටක් ගාලා එයි. අනේ මහත්තයා එන්නකෝ මේ සිද්දිය වෙන තැනට'

   මෙන්න මම දුන්න උත්තරේ.

'ඉතිං ඒක පුද්ගලික ඉඩමක්නේ. ඒ ගහ කපන්න එයාට අයිතියක් තියනවනේ. අපිට කිසිම බලයක් නැහැ ඒකට විරුද්ධවෙන්න'

   අරයා ආපහු කියනවා,

'අනේ මහත්තයා, එහෙම කියලා කොහොමද? මුළු ගමම එකතු කරගම්මු කියලා '.........' අයියා කියනවා. මහත්තයා විනාඩියකට එන්නකෝ. මහත්තයානේ සමිතියේ ලේකම්'

   අනේ අනේ නන්නානේ. අපේ ජනාවාසයේ තිබෙන සුබසාධක සංගමයේ ලේකම් මමය. නමුත් මේ සිද්ධියට එය ගාවාගන්නට මට බලයක් නැති බව, මේ අයට තේරෙන්නේ නැත. කමක් නැහැ, බලමුකෝ මොන මගුලක්ද කියලා, හිතාගත් මම, එතනට යන්න සූදානම් වනවිටම, මෝටර් බයිසිකල් දෙකක් අපේ ගේට්ටුව ළඟට ඇවිත්, මාව වඩම්මාගෙන යන්න. සමහර පොදු වැඩ වලදී, මම 'වලිසිංහ' කෙනෙක් බව දන්නා අය, අපේ ජනාවාසයේ ඉඳීමේ කරුමය ඔන්න ඕකයි.

   ඔන්න ඉතිං ගියා කියමුකෝ සිද්ධිය වෙන තැනට. දෙපාර්ශවයම (ගහ කපන පාර්ශ්වය සහ එයට විරුද්ධ පාර්ශ්වය) මාව දුක්ගන්නාරාළ කෙනෙක් කරගත්තේ නැතෑ.

   ඉඩම අයිති පාර්ශ්වය කියන්නේ, මේ ඉඩමේ ගෙයක් සෑදීමට අවශ්‍ය බවත්, එහිදී ගේට්ටුව ඉදිකිරීමට තීරණය කර තිබෙන්නේ, නුග ගහ තිබෙන තැනින් බවත්, ඒ නිසා ගස කැපීමට අවශ්‍ය බවත්ය.

   එයට විරුද්ධ පාර්ශ්වය කියන්නේ, මෙය හාස්කම් ඇති නුග ගහක් බවත්, මෙතන විශාල සුදු නාගයෙක් සිටින බවත්, (මා නම් කවදාවත් දැකලා නැත) මෙම ගසේ පඬුරු ගැටගසා මිනිසුන් බාරහාර වන බවත්ය. (පඬුරු වශයෙන්, රෙදි පටිවල ගැටගැසූ කාසි, ගසේ කරු මුල්වල තිබෙනු එවෙලේ මම දැක්කෙමි)

   'හ්ම්.............ඔපරේෂන් ප්ලෑන් එකක් හදන්න වෙයි වගේ' මට සිතුනි.

   කථාව අස්සේ, කරුණු කීපයක් මගේ නිරීක්ෂණාක්ෂියට යොමුවිය. ගසේ සෑහෙන කොටසක්, ඉඩමේ මායිමට පිටතින්ද පිහිටා තිබේ. ගස අලංකාර එකකි. හොඳ සෙවණක් ද දෙයි. මේ බලන්න මා ඇන්ද දළ සටහන.

Screenshot (7)

   ගසේ කඳ කොපමණ මහතදැයි කිවහොත්, එය පාරේ කොටසක්ද ගිලගෙන ඇත. අතුරු පාරක් නිසා, වාහන ගමනාගමනයට බාධාවක් නැත. දැන් ඉතිං රැවුළයි කැඳයි දෙකම බේරගන්න ඕනේ. මහදැනමුත්තා පාට් එක කරන්න වීම ගැන ලැජ්ජාවේ බැරිය. අපේ පාර්ශ්වය කපන්නත් බැරිය. ඉඩම අයිතිකාරයාට ගෙම්බර් දාන්නත් බැරිය. පොඩි 'ටිරිකිස් පාරක්' දාලා බලන්න හිතුවෙමි. මම ඉඩම අයිතිකාරයාට මෙහෙම කිව්වෙමි.  

'මහත්තයා, මේ ඉඩම මගේ නම් කවදාවත් මම මේ ගහ කපන්නේ නැහැ. නිකම් හිතලා බලන්න, මේ ගහ පසුබිමේ ගෙයක් හැදුවම, ඒ ගෙට ලස්සණ පෙණුමක් එනවා, හොඳ හෙවණක් ලැබෙනවා, අනික මේ ඉඩමේ දියසීරාවටත් මේ ගහේ බලපෑමක් ඇති. මහත්තයට පේනවනේ, ගහේ කඳෙන් සෑහෙන කොටසක්, ඉඩමේ මායිමට පිටින් තියනවා කියලා. ඒ නිසා කෝකටත්, ගහ කපන්න කළින්, ප්‍රාදේශීය සභාවට ගිහින් කියන්න. මහත්තයාගේම හොඳටයි මම මෙහෙම කියන්නේ'

  අනේ ඒ මනුස්සයා ඒක පිළිගත් බවක් පෙන්නුවේ නෑ. එයා කිව්වා, 'මහත්තයා, මම මහත්තයලත් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇතිකරගන්න කැමති නැහැ. මමත් මේ ඉඩම වාස්තු බලන එක්කෙනෙකුට පෙන්නුවම තමයි කිව්වේ, මේ ගහ කපන්න කියලා, මම ගහ කපලා මුල ගලවනවා. පාරට හානිවුනොත්, මගේ වියදමෙන් ඒ ඔක්කොම හදනවා. මම පාර නොහැදුවොත්, මහත්තයලා පොලීසි යන්න' 

   ඇත්තටම ඔහුගේ අදහස සාධාරණ බව පෙනෙනවා. මොනම ආකාරයකින්වත් ඔහුට අභියෝග කරන්න අපට බැහැ.

   ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. දැන් මේ මහානුභාව සම්පන්න නුග වෘක්‍ෂ රාජයා සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වන, අර '.........' අයියාව පසෙකට කැඳවාගත් මම, ඔහුට කරුණු පැහැදිළි කළෙමි.

'දැන් ඔයාට පේනවනේ, මේ ඉඩම අයිති එක්කෙනාට සම්පූර්ණ නිදහස තියනවා ගහ කපන්න. අනික, පාරට හානිවුනොත්, එයා එයාගේ වියදමෙන් ඒකත් හදනවා කියනවා. ඉතිං අපි මේ වැඩේ අතාරිමු'

'අනේ බෑ බෑ මහත්තයා, මේ මුළු වත්තම පැරණි රාජධානියක්, සූනියම් දේවතාවුන් වහන්සේගේ බැල්ම මේ මුළු වත්තටම තියනවා, අපි අපේ ගෙවල්වල උදේ හවස පිරිත් දාලා තියෙන්නේ, කාලි මෑණියන්ගේ බැල්මත් තියනවා, ඔය සුදු නයා, කෙම්මුර දවස්වල මේ ගහ යට ඉන්නවා, මෙතන පඬුරු ගැටගහපු අයට කවදාවත් වැරදිලා නැහැ' 

(කළින් කියන්න අමතකවුණා. මේ පැත්තේ කපටි අම්මණ්ඩිලා දෙන්නෙක්, දේවාල දෙකක් අටවාගෙන, මෝඩ අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ගරනවා)

ඔන්න මගේ ග්‍රහචාරයේ හොඳකමට මේ වෙලාවේ පොලීසිය ආවා. 'මෙතෙක් කථාව' අහපු පොලීසියේ ඕඅයිසී මට ඇහැක් ගැහුවා. මමත් ඇහෙන්ම උත්තර දුන්නා. ඕඅයිසී මෙහෙම කිව්වා, ඉඩම අයිතිකාරයට.

'පාරට හානියක් වුනොත් ඒක හදනවා කියලා කට වචනයෙන් කියලා බැහැ. ඒ නිසා ඔයා ප්‍රාදේශීය සභාවට ගිහින් කියලා, අනුමැතියක් ගන්න. අනික, ප්‍රශ්න ඇතිකරගන්න එපා. ඔයා අනාගතේදී මෙහෙ පදිංචියට එනවනේ. එතකොට ප්‍රදේශවාසීන් එක්ක සමගියෙන් ඉන්න ඕනෙනේ' කියලා.

කැඳවුම්කරු පාර්ශවයට කිව්වා,

'ඔයාලා මේ ගහට ගෞරව කරන එක ඇත්ත, නමුත් නීතියෙන් නම් ඉඩක් නැහැ, ගහ කපන එක වළක්වන්න' කියලා.

කැඳවුම්කාර පාර්ශ්වයේ නායකයා හොඳ සල්ලි කාරයෙක්. ඔහු වහාම නිර්භීත පියරක් ගත්තා. ඔහු කිව්වා,

'හොඳයි, මම ලෑස්තියි මේ ඉඩම සල්ලි වලට ගන්න' කියලා.

අනේ................ ඉඩම අයිතිකාරයා එකඟ වුණා. ප්‍රශ්නය විසඳුණා. ඉක්බිති සියල්ලෝ සතුටින් විසිරගියහ.

වැඩි දුරක් නැති නිසා, මම පයින්ම ගෙදර ආවා. ඒ එන මොහොතේ මට සිතුනේ මේවායි.

  • මේ සිද්ධියට අදාලව එතනට පැමිණි සියළුදෙනා සිංහල බෞද්ධ අයයි. නමුත් ඔවුන්ගෙන් බහුතරය, තිස්තුන් කෝටියක් දෙවිවරුන්ට අමතරව, විවිධ දෙවි වරුන් රාශියක්ද අදහන බව පෙනෙනවා.
  • මෙලෙස මේ රටේ තිබෙන සෑම නුග ගහකම අනුහස් තිබේද? අපේ ප්‍රදේශයේ ඇති මේ ගසේ අනුහස් ඇතිබව, ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් අවබෝධ කර ඇත්තේ කවුද?
  • සුදු නයෙකු ඇත්නම්, ඌ ජාන විකෘතියක් නිසා සුදුපාට වූ බව, උසස් අධ්‍යාපනය ලබන මේ අයගේ දරුවන් වත්, තම දෙමව්පියන්ට පැහැදිළි කර නොදෙන්නේ ඇයි?
  • අර ඉඩම මිළදීගැනීමට ඉදිරිපත්වූ '..........' අයියාගේ පුතා, ඉංජිනේරු අංශයෙන්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබයි. ඉතා පුදුමාකාර දෙයක් වන්නේ ඒ දරුවාද ඇතුළුව, ඒ පවුලම දැඩි ලෙස විවිධ දෙවිවරුන් ඇදහීම කිරීමයි.
  • බහුල ලෙස මෙවැනි ආගමික වල්මත්වීමක් දැකගන්නට තිබෙන්නේ, බෞද්ධයන් අතරයි. ඒ කුමන හේතුවක් නිසාද? 
  • ගස් ගල් වන්දනාව අපේ ජාන තුළම සැඟවී තිබෙන්නක්ද? 
  • තමන්ගේ ඇදහීම වෙනුවෙන් අර ඉඩම අයිති මනුස්සයාගේ මානව හිමිකම් කඩකිරීමට උත්සාහ කිරීම අසාධාරණ බව නොතේරෙන්නේ ඇයි?
  • අනාගතයේදී අර ඉඩමේ දේවාලයක් හැදෙනු ඇති. අර '...........' අයියාත් අනාගතයේදී දෙවි කෙනෙක් වී, ඒ නුග ගහට අධිගෘහිතවී, මේ ප්‍රදේශය ආරක්‍ෂා කරමින්, වැඩවදාරනු ඇති.
මොකද හිතෙන්නේ?


2015 මාර්තු මස 29 වැනි දින 0006 පැය

72 comments :

  1. උපතින් බෞද්ධ වීමෙ වරද
    අවබෝධයෙන් බෞද්ධ නොවීමෙ වරද

    ReplyDelete
  2. හි හි නියමයි, අපේ ගම් වලත් ඔහොම දේවල් විස්වාස කරනවා කොටින්ම අපේ අම්මලා පවා ... අර මනුස්සයා ඔය ඉඩම ගන්න ගිය සල්ලි හොයයි ඔතන දේවාලයක් අටෝගෙන ,

    ReplyDelete
    Replies
    1. ඒක තමා අනාගතේදී එයත් එතන දෙවියෙක් වෙලා තමා නවතින්නේ.

      Delete
  3. ගස් ගල් ඇදහිල්ල ගැන නම් කියලා වැඩක් නැත....

    ඒත්, අපේ මිනිස්සු ඇයි ගෙයක් හදන්ට යනකොට වත්තෙ තියෙන ගහ‍කොළ ඔක්කොම කපලා දාලා වැඩ පටන් ගන්නෙ? ගහකොළ පේන්නෙ හතුරො වගේද? නැත්තම් සොබාදහමත් එක්ක සහජීවනයෙන් ඉන්ට නොදන්නා කමද?

    ඇත්ත සමහර පුංචි ඉඩම්වල එහෙම නොකර බැහැ තමා.. ඒත් මෙතැන එහෙම ප්‍රශ්නයකුත් නැති බව විචාගෙ කතාවෙන් තේරෙනවා.. අනික ගහ කපන්ට කියලා තියෙන්නෙ වාස්තු බලපු මනුස්සයා.. ඒකත් දැන් ගස් ගල් ඇදහිල්ලට එහා ගිය ජාවාරමක් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඇයි ෆෙන් ෂුයි? ඒ මෑන් බටහිර තක්කලි ගුරුකමක් ගැනත් කියනවා

      Delete
    2. මම නම් කැමතිම නමෝ නාරයන් වාලම්පූරී පොරට. සමහර දවසට මුළු ප්‍රෝග්‍රෑම් එකම බලනවා..

      Delete
    3. මම නම් කියන්නේ රටේ තියන ගස් ඔක්කොටම වැන්දත් කමක් නෑ ඔය වාස්තු "විද්‍යාව" පස්සේ නොයා .

      Delete
    4. දෙරණට එනවා බෝධිපූජා ඩයල් එකක්.යෝගී තුමා කියලා. නුවර පැත්තෙ අලුත් පංසලක් ගහනවා පොටෝ පෙන්න පෙන්න ආධාර එකතු කරනවා ඕසෙට.. මරු බිස්නස් එක... පොරගෙ ආතල් කෑලි බලන එකත් මාර ලල්..

      Delete
    5. @ බූරා - ඒ ගහ කපන්නේ නැතුව අපූරුවට එතන ගෙයක් හදන්න පුළුවන්. පර්චස් 16 ක් තියනවා ඉඩම. පිස්සුවට බෙහෙත් තිබුනට මෝඩකමට බෙහෙත් නැහැනේ.

      @ මාතලන් - ඒ වාලම්පුරි ලොක්කට මහා ආචාරිය පට්ටමකුත් තියනවා. පිටකොටුවෙන් වෙන්ඩෑ ගන්ඩ ඇත්තේ.

      @ ප්‍රින්ස් - අන්තගාමී නොවී වාස්තු විද්‍යාවෙන් යම් ප්‍රයෝජනයක් ගත්තට වැරද්දක් නැහැ. නමුත් එය එකම විසඳුම කියලා හිතන එකනම් මෝඩකමක්.

      @ ගස් ලබ්බ - මමත් දැකලා තියනවා එතුමා. නිවේදිකාවෝ හරී................................ආදරෙයි එතුමාට

      Delete
  4. ඇත්තමයි විචා ඔන්න ඔය වගේ ප්‍රශ්න ඕනෙ තරම් තියෙනවා මේ රටේ, අඩුම තරමින් එකෙක් දෙන්නෙක් හරි මේ අවිද්ද්‍යාවෙන් ගලවා ගන්න පුලුවන් නම් එක ලිපියකින්. අර විනාශකාරී ආයුද ගැන ලියනවට වඩා...
    බොහොමත්ම ස්තුතියි මේ ලිපියට.

    ReplyDelete
    Replies
    1. අපි උත්සාහ කරලා බලමු. ආයුධ ගැන ලියන්නේ දැනුවත් කිරීමට පමණයි. මම හිතන්නේ නැහැ කවුරුවත් ඒවා ගන්ඩ පුළුවන් තත්වයක ඉන්නවා කියලා. එමෙන්ම ඒවා පාවිච්චි කර විනාශකාරී දේවල් කරන්න කැමති අය ඉන්නවා කියලත් හිතන්නේ නැහැ.

      Delete
  5. හෙක්...හෙක්.....උදේ පාන්දර හිනා වෙලා පන ගියා විචාරක තුමෝ........
    අනේ මන්ද දරුවොත් දෙමව්පියන්ට තිබෙන ගරුත්වය නිසා නිහඩව ඉන්නවද ....උගත් වුවත් කියා සිතෙනව ...
    මගේ දුවයි...පුතයි පොඩි වුනත්......මම ලංකාවට ගැලපෙන පොඩි ගොං කතාවක් එහෙම කිව්වොත් එහෙම හිටං ....
    එයාල වැරැද්ද පැහැදිලි කරන්නව ...................
    වශී බෝල තවමත් කරකවන රජෙක් හිටපු රටක් නොවැ ......

    ReplyDelete
    Replies
    1. දැං ඉන්න එකත් බෝල කැරකන එකෙක්ම තමයි.රාජකීය ජෝතිශ්‍ය කාරයො සහ ජෝතිශ්‍ය ටියුෂන් පවා තියෙනවා දැන්..

      Delete
    2. ඇත්තටම රාජ්‍ය නායකයෝ මෙවැනි විවිධ අභිචාර විධි ප්‍රසිද්ධියේ පෙන්නනකොට රටේ ජනතාවත් ඒවා අනුගමනය කිරීම පුදුමයක් නෙවෙයි.

      Delete
  6. මේක තනිකරම බුදු හාමුදුරුවන්ගෙ වැ‍රැද්ද.මොකද උන්වහන්සේ තමයි අනිමිසලෝචන පූජාව කරල මේකට මුල පිරුවෙ.වහාම බුදුන් ඇදහීම නවත්වන්න ඕන. ඕක මොකද්ද විචාරක අර ක්වුද එකෙක් මහින්ද දේවාලයක් හදන්න යනව කියන්නෙ.අර ඔමා කියල තියන එක නම් හරියටම හරි.ඔය වැඩේට මූලික වුන මෑන් හොඳට දුර දිග බලල ගහපු ප්ලෑන් එකක්.මිනිහට දේවාලයක් අටවගෙන මිනිස්සු ගසාකන්න ඕනකම ත්යෙන්න ඇති කාලෙක ඉඳලා.ඔය ඉඩමට ඇහැ ගහගෙන ඉන්නත් ඇති.ඔය පඬුරු තිබ්බෙත් එයාමද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් හිකෙන් පුනා ගියා ඒ මහින්ද දේවාලේ ගැන අහලා. දේව රූපය හැටියට මොකක්ද දන්නේ නැහැ ගන්නේ. තමන්ට ජය ලබන්න බැරි මිනිහා කොහොමද අනුන්ට පිහිට වෙන්නේ. ඒ දෙයියෝ පල් වෙනවා විතරයි.

      Delete
  7. මගේ ඉඩමේත් නුග ගසක් තියෙනවා. ඒ ගසටත් මම දැකලා තියෙනවා ඇතැම් අය ඇවිත් මල් එහෙම තියල වදිනවා. හැබැයි නුගගහ සහිත මගේ ඉඩම,පාරට වෙන් වෙන්නේ ලොකු වතුර ඇලකින්. ඒ නිසා මිනිස්සුන්ට ඔය වතුර පාරට බැහැලා නුග ගහ ලගට ඇවිත් වදින්න අමාරුයි. එහෙමත් ධෛර්යයක් තියෙන කෙනෙක් තමයි, ඒ ඇලට බැහැලා, මෙහෙට ඇවිත් නුග ගහට මල් තියලා වැඳලා යන්නේ.

    මෙහෙ නං මගේ ඉඩමේ තියෙන නුගගහ වදින්න එන්නේ සෙනසුරු අපල එහෙම තියෙනවා කියලා විශ්වාශ කරන අය. ඊළගට ඒ අය නුගගහේ කොලයක් එහෙම අරං ගිහිං ගෙදර තියාගන්නවා. සෙනසුරුගේ කිරණ නුගගස් වලට උරාගන්නවා කියලා කියන නිසා ඒ අය හිතනවා මේ ගහ යට හිටියම, ගැහෙ කොලයක් එහෙම අරං ගිහිං තියගත්තම ඒ කිරණ ගහ උරාගන්නවා කියලා.

    මට ගෙදර හදද්දී මේ ගහ කපන්නත් හිතුනා. ඒත් නිවස හදන්න කලින්, මේ ගහ කපන්නන් කියලා මම කල්පනා කර කර ඉන්න කාලේ මම දැක්කා යම් යම් ආලෝකයන් මේ ගහට එනවා. රාත්‍රී කාලයේ ගහ දිහා බලං ඉන්නකොට දින කිහිපයක්ම මම මේක දැක්කා. ඉතිං ඒ නිසා මම ඒ ගහ කැපුවේ නෑ. මිනිස්සුන්ට ඕනි නං වැඳලා යන්නත් පුළුවන්, එහෙමත් නැත්තං අපල තියෙනවා කියලා හිතන අයට එකේ කොලයක් එහෙම අරං යන්නත් පුළුවන්. අවුරුදු දහස් ගානක් තිස්සේ පැවතගෙන එන විස්වාශයන් වලට මම මොකද අභියෝග කරන්න යන්නේ.

    ඒ නිසා මම ඉඩමේ නුගගහ ඇති පැත්තේ බැම්ම ඒ ගහ ගාවින් ගහට වඳින පුදන අයටත් ලේසි වන විදියට, බැම්මටත් හානි නොවන විදියට සදගත්තා. බැම්ම දමන්න අවසර ගත්තු වෙලේ ඕනි නං මට මේ ගහ කපන්න තිබුනා. ඒත් මම එහෙම කරේ නැත්තේ, කිලෝමීටර ගනනාවක් ඈත ඉදලම කට්ටිය නුගගහක් තියෙන්නේ කොහෙද කිය කියා අහගෙන අපල වලට මෙතනටම වදින්න එන නිසා.

    මම ඉන්නේ කොළඹ නගර සීමාවට විනාඩි කිහිපයක් දුරින්. ඒ නිසා මේ පැත්තේ අය නං එන්නේ නෑ මගේ ඉඩමේ තියෙන ගහ කැපුවත්, නැතත් මොකුත් කියන්න. මම ගහ කැපුවොත් මේකට වදින්න එන අයට දුක හිතෙයි. හැබැයි ඒ මිනිස්සු නිතිය ගැන දන්නා නිසා, මොකුත් කියන්න එන්නේ නෑ කියලා නං මම දන්නවා. මම ගියසතියේ දැක්කා, ගුවන් සමාගමක ප්‍රධානිකුත් එයාගේ දුවත් එක්ක ඇවිත්, වතුරේ බැහැලා නුග ගහලගට ඇවිත් බුලත් කොලයක මල් වට්ටියක් හදලා එතන තියලා යනවා. ඔහු එක දිගට දවස් හතක් ආවා.

    ReplyDelete
    Replies
    1. මිනිසුන් ප්‍රශ්ණ මැද අසරණ වුනාම හිත දුර්වල වෙලා තර්කානුකූලව හිතන්න බැරි වෙනවා. අහට වැඳලා හරි, පොළොවට වැඳලා හරි, ගහකට වැඳලා හරි මොකක් හරි පිදුරු ගහක වුනත් එල්ලෙන්න බලන්නේ ඒ අසරණ කම නිසයි.

      මේක විෂම චක්‍රයක්. සමාජයෙන්ම පෝර වැටෙනවා මේ දිනවල අති සීඝ්‍රව!

      Delete
    2. බලන්න මිනිස්සු මානසිකව කඩාවැටුනම කොයිතරම් නොමග යනවද කියලා. තමන් උපතින් හෝ පසුව බැඳුනු ආගමකට වඩා විවිධ අභිචාර විධි තමයි මිනිස්සු කරන්න බලන්නේ. හොඳ කපටි මිනිහෙකුගේ ඉඩමක ඔය නුග ගහ තිබුනානම් ඔහු එතන දේවාලයක් හදලා කෝටි ගානක් හොයනවා.

      රසික කියලා තියෙන්නෙත් ඇත්ත. නමුත් මිනිස්සුන්ට යතාර්ථය පහදාදී මගපෙන්වයි කියලා අපි හිතන වීවිධ ආගමික නායකයන් පවා නොසැලකිල්ලෙන් කටයුතු කිරීම අනුමත කරන්න බැහැ.

      Delete
  8. සුවිසාලව වැඩුනු ගහක් මොන මගුලකට වුනත් කපා දාන එක අපරාධයක්. ඕක ඔය ප්‍රමාණෙට හැදෙන්න අවුරුදු කීයක් යන්න ඇත්ද? ඇදහිල්ලක්නම් සෑම ගසක්ම අදහන්න ඕනි. මොකද ඕනිම ගහක් පරිසරයට යම් අත්‍යවශ්‍ය කාර්ය භාරයක් ඉටුකරනවා. මිනිස්සු පරිසරය විනාශ කරන්න කරන්න ඒකට රිටර්න් එක දෙන්න ස්වභාව ධර්මය සූදානමින් ඉන්න බව අමතක කරන්න හොඳ නෑ. විශේෂයෙන් විශාල ගස් වටා ඇති පරිසරය ඒ ගස වෙතින් පෝෂණය වෙනවා. භූගත ජල රටාව පවා මේ විශාල ගස් වලින් පාලනය කරනවා. මට නම් පේන්නෙ ඒ පැත්ත.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මධු. මහා විසාල ගහකින් පරිසරයට වෙන සේවය මෙතෙකැයි කියන්න බැහැ. ඒ අදහසින් නම් සෑම ගහකටම වඳින්න වටිනවා.

      Delete
  9. මිස්ටර් සූනියම් සහ මැඩම් කාලි ඔය තරම් බලගතුනම් හා ඒ ගහට ඔයතරම් කැමතිනම්, පොලීසියට හා සමිතියට කරදර නොකර, ඒදෙන්නට කියලා ගහ බේරගන්න කියලා කවුරුවත් කිව්වෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම ඒ ටික නොකියා ඉවසා ගත්තේ අර '...............' අයියාගේ පපුව පැලිලා මැරෙයි කියලා හිතලා.

      Delete
  10. ගස් වැල් වලට ගැරු කිරීමේ වරදක් නම් මම දකින්නෙ නෑ.චීෆ් සියැටල් ව වර්ණනා කරන අය ඒ කටින්ම බුදු රදුන්ටත් අහිංසක ලාංකීය ගැමියට ගරහන එකත් විහිලුවක්.
    ගහක දෙවියො ඉන්නව නම් කත කරල යවන්නත් පුලුවන්.. (රත්නමාලි කතාව )
    කොහොම වෙතත් කිසිම ඇදහිල්ලකට වහල් උනොත් ඇතිවෙන්නෙ ප්‍රශ්න ගැටලු විතරයි.ඇදහිලි එක්ක සම්බන්ධ උනාම මිනිස්සු තමන්ගෙ ජීවිතේ කැප කරන්නත් දෙපාරක් හිතන්නෙ නෑ..
    මේ හැඟීම ජාවාරම් කාරයින්ට හොඳ ඉල්ලමක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇදහීමෙන් හෝ යැදීමෙන් විමුක්තියක් ලබන්න බැහැ. අධිෂ්ඨානයෙන්, දැඩි උත්සාහයෙන් සහ අනුගමනය කිරීමෙන් තමයි විමුක්තිය ලබන්න පුළුවන්.

      Delete
  11. දේව සංකල්පය බුදු දහමේ දී ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ... ඒත් දෙවියන් කියන්නේ ඒකම විසදුම නෙමෙයි.... දෙවියන් පවා ජීවත් වෙන්නේ මිනිස්සු නිසා... ඉතින් අපි බලවත් කියලා මේ හරක්ට නොතේරෙන හැටි.............

    ReplyDelete
    Replies
    1. එකඟයි. දෙවියන් සමග ගනුදෙනු කරන්නේ කොහොමද කියලා බෞද්ධ දර්ශනයේ පැහැදිලි කරලා තියනවා. නමුත් අපේ අය වැරදි කොනෙන් අල්ලාගෙන දෙවියන් අදහන්න යෑම නිසා තමයි දුකට පත්වන්නේ.

      Delete
  12. ඔන්න ඕකට තමා කියන්නෙ විපරිනාමය කියල....ඉස්සර මිනිස්සු ගස් ගල් වලට ආදරය කරපු හැටි සහ ඒව ආරක්ෂා කරපු හැටි අද දකින්නවත් නෑ...දෙවියන්ගෙ නාමයෙන් හරි ගහක් ගලක් ආර්ක්ෂා වෙනවනම් මම එ්කට කැමතියි....නමුත් අපේ සංස්කෘතියට අපි ගරු කරන්න ඕනෙ..ඒ කියල හැම ගහකට ගලකටම වදින්න නෙමේ...ඉස්සර මිනිස්සු හිරු දෙවියෝ ඇදහුව්ව..නමුත් දැන් මිනිස්සු ඉර අදහනවද මේ වැටෙන අව්වට උන්දැගෙ අම්ම අප්පත් මතක් කරනව මිනිස්සු....කාගෙ වරදින්ද....මිනිස්සුන්ගෙම වරදින්

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ විග්‍රහයක්. එකඟයි. මිනිසා තම පරිසරය වනසාගෙන එකිනෙකාට දොස් කියාගන්න එක තමයි මේ සියවසේ ලොකුම විහිලුව.

      Delete
  13. විචා,

    පිහිඹියා, නුග වගේ ගස් හදන ගෙට මීටර් විස්සක් තිහක් දුරින් තියෙනං කපල දාන ඒක තමා හොඳ. මොකද ඔය ගස් වල මුල් බොහොම දුරට දුවනව විතරක් නෙමෙයි ඒව අත්තිවාරම් පුපුරල සමහරවිට සිදුරු කරගෙන යනව. අන්න ඒ නිසා තාක්ෂනික පැත්තෙන් ඔය ගස් ගෙවල් අහල පහලට සුදුසු නෑ, ගස් මුල් වලින් බේරෙන්න විශේෂ උපක්‍රම යොදන්න බලාපොරොත්තුවෙන්නෙ නැත්තන්.

    අනෙක් පැත්තෙන් නුගගහක් වත්තෙ තීන කොට සිසිල වගේම සුන්දරත්වයත් වැඩියි.

    ඒත් අපේ අය්යල බලන්නෙ ප්ය දෙකම නෙමේ, පල් දෙය්යොන්ගෙ සාධකය. අනේ..කේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉන්දික, ගස් නැති ඉඩමක් මටත් එපා. මම බොහොම අමාරුවෙන් තමා මගේ පුංචි ගෙවත්ත නඩත්තු කරන්නේ.

      කියලා වැඩක් නෑ. අර අයියට මට කියන්න හිතුනා සුදු නයා අරන් දාගන්නවකෝ රෙද්ද අස්සේ කියලා.

      Delete
  14. ඔය දෙයියො, අනුහස් වැදගත් වෙන්නෙ නූගත් ජනතාව අන්දගෙන ඒවයින් හම්බ කරගන්න බලාපොරොත්තු වෙන උංට තමයි. උඩ කියල තියෙන විදියට ඔය ඉඩම ගත්ත මනුස්සය ඔතන දේවාලයක් දාල ඉඩම ගන්න ගිය ගාන වගේ සිය දහස් ගුණයක් හොයාගනී.

    මොක උනත් තමං හදන ඉදිකිරීමට හානියක් නැත්තං වත්තක තියෙන ලොකු ගස් තියෙන්න අරින එක තමයි හොඳ වත්ත කාන්තාරයක් කරගන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. මම අර මනුස්සයාගේ හිතේ රූපයක් අඳින්න හැදුවා ඒ ගහ පසුබිමේ ගෙයක් තියනකොට කොච්චර ලස්සනද කියලා. නමුත් අර වාස්තු කාරයාව අදහන නිසා ඒක අසාර්ථක වුනා.

      ආර්යා ඉඩම ගත්තේ මොකක් හරි දෙයියෝ පල්වෙන වැඩක් කරන්න තමා.

      Delete
  15. නුග ගහ ගැන ප්‍රශ්න කරන විචා, බෝධිය වඳිනවා නේද? තව අර ළෝකේ ළොකුම ශල්‍යමය බුද්ධ ප්‍රතිමාව නෙලන්න එකසිය ගානට කැප වෙනවා නේද..? මම දන්න තරමි ශල්‍යමය කියන්නේ ගල් නේද...?

    ReplyDelete
    Replies
    1. @M,
      බුද්ධ ධර්මයේ කියල තියන විදිහට මොලය පාවිච්චිකරල බැලුවහම දත් හා ඇට කෑලි වුනත් එහෙම තමයි. ගහකනම් සෙවනක්වත් තියනව ඇට කෑලිවල කැල්සියම් පොහොර විතරයි. ඒත් ධර්මය හා ආගම කියන්නෙ දෙකක්නෙ. ඕව කිව්වහම "අදහන්නන්ගෙන්" බැනුම් අහනව මිසක් ඒ මිනිස්සු වෙනස් වෙන්නේ නෑ. ශ් ශ් ඇත්තද, මාරයිනේ කියල හිටියහම ඉවරයි

      Delete
    2. නුග ගසට වදින කෙනාගෙ මෝඩකම අවබෝධකරගන්න විචාරක ඇසතු ගහට වදිනව. දෙන්නම එක්ක නුවර ගිහින් දතකට වදිනව. ඔන්න ඕකයි විහිළුව. මේ එකක්වත් බුදුදහම නොවෙයි. ශරීරාංග වලට , ගස් ගල්වලට වදින එක ප්‍රාග්බෞද්ධ මිත්‍යාවන්. බුදුහාමුදුරුවො අද පහල වුනොත් මුලින්ම මේව දැකල ධර්ම සංවේගයට පත්වෙලා පාරිලෙයිය වනයට යනව.

      Delete
    3. "ආනන්ද ශාරීරික උද්දේසික පාරිභෝගික යයි පූජ්‍ය වස්තු තිදෙනෙකි. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්නේය. උද්දේසික පූජාව නම් ධර්මයට බුද්ධ ප්‍රතිමාදියට වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරභෝග කළ පාත්‍ර චීවරාදියට ද බුද්ධත්වයේ පිටදුන් බෝධි වෘක්ෂයට ද කරන සත්කාරයයි. එබැවින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා ඊට සත්කාර කරතොත් ඒ මට කළ සත්කාර හා සමයයි වදාළ සේක"

      මේ ධර්මයද ඇදහීමද ?
      තමන්ට හිතුනු හිතුනු පලියට පූජනීය වස්තු වලට අපහාස කරන එක මධ්‍යස්ථ මතයද?

      Delete
    4. /* මොලය පාවිච්චිකරල බැලුවහම දත් හා ඇට කෑලි වුනත් එහෙම තමයි. ගහකනම් සෙවනක්වත් තියනව ඇට කෑලිවල කැල්සියම් පොහොර විතරයි */

      /* නුවර ගිහින් දතකට වදිනව */

      අනේ හරකුනේ ....... උබලා නම් නියම මී හරක් !!

      Delete
    5. @ මාතලන් - මා හිතනවා මා ඔබට ඉතා සරල කරුණු පැහැදිලි කිරීමක් කලයුතුයි කියා. බුදුන් වාහන්සේ, යේසුස් වහන්සේ කියන්නේ අපි වගේම මිනිස්සු. මිනිහෙකුට දාව, ගෑණියකුගෙන් ඉපදුන සාමාන්‍ය මිනිස්සු. එහෙම නැතුව, මලකින්, අහසින්, ජලයෙන්, වගේ අද්භූත විදිහට උපන් අය නෙවෙයි. මේ මිනිස්සු ඉතා තාර්කික දර්ශනයක් ලොවට දායාද කළා. අපි ගෞරව කරන්නේ ඒ දර්ශනයටයි. නමුත් එහිදී ඒ දර්ශනය ලොවට ඉදිරිපත් කල පුද්ගලයාට යම් ආකාරයකින් ගෞරව නොකලොත් අපි ගුණමකුවෝ වෙනවා.

      මම ස්තුතිවන්ත වෙනවා ප්‍රින්ස්ට ඊළඟට මම කියන්න අවශ්‍යදේ කියා තිබීම ගැන,. බෝධිය ලඟට ගිහින්, අනේ මට අරවා ලැබෙන්න ඕනේ, මේවා ලැබෙන්න ඕනේ, විභාග පාස්වෙන්න ඕනේ, කියලා යදිනවානම්, ඒ මිනිහා රට මෝඩයෙක්. බෝධිය ළඟදී අපි කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ කළා වගේ අධිෂ්ඨාන පමණයි. සිත එකඟ කරගෙන මේ සෞම්‍ය වෘක්ෂයෙන් ලැබෙන සිසිලස මගේ සිතට දැනේවා. බෝධිසත්වයන් වහන්සේගේ සිත මෙන් මගේ සිත ධෛර්ය සම්පන්න වේවා, කියලා තමයි හිතන්න ඕනේ. ඒ සඳහා ආධාර කරගන්න පූජනීය සංකේතයක් තමා බෝධිය.

      ඒවගේමයි ශෛලමය (ඔබ ලියා තිබෙන්නේ ශල්‍යමය කියලා. ශල්‍ය = surgical ශෛල = rock/stone) වේවා වෙනත් ද්‍රව්‍යයකින් හෝ වේවා බුද්ධ රූපයක් නිමවන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණ මෙනෙහි කිරීමේ ආධාරකයක් විදිහටයි. උන්වහන්සේගේ එක් එක් බුදුගුණය සිහිපත් කර එයින් සිතට හික්මීමක් ඇතිකරගන්නයි එලෙස කරන්නේ.

      @ Pra Jay - ඔව්, ඒවා ඇට කෑලි,දත් කෑලි, කෙස් ආදිය තමයි. මොකද බුදුහාමුදුරුවොත් මිනිහෙක් නේ. නමුත් ඒ මනුෂ්‍යයා තම උත්සාහයෙන් ඉපදීම නමැති දුක අවසන් කරගත්තා. ඊට පස්සේ කිව්වා මෙන්න මම දුක නැතිකරගන්න මාර්ගය හොයාගත්ත. පුලුවන්නම් ඒ පාරේ පලයල්ලා යන නොයන එක උඹලාගේ වැඩක් කියලා. අන්න ඒක මතක තියාගන්න යන නොයන එක ඔයාගේ සහ මගේ වැඩක්. ප්‍රින්ස් ගේ පිළිතුරේ ඉතිරි ටික තියනවා.

      Delete
    6. @පොම් මන් හිතන්නේ ඒ ආගම කියලා

      @pom & wichaaraka, කොහොමවෙතත් මා කියන්න උත්සාහකලේ අදහන්නන් සමග වාද නොකලයුතුයි කියලා

      Delete
  16. අද කාලේ ස්වාමීන් වහන්සේලාම පන්සල ඇතුලෙම දේවාල හදලා ඔය කියන දෙවිවරු වද්දගෙන බුදුන් පුදන්න කලින් දේවාලෙට පලතුරු වට්ටිය උස්සගෙන යන්න කියනකොට සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නමුත් කොතකින් හෝ පටන්ගන්න ඕනේ මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන්න. අපේ පන්සලේහාමුදුරුවෝ දේවාල දාන්න දෙන්නේ නැහැ ඉල්ලීම් සෑහෙන්න ආවත්.

      Delete
  17. 1) නුග පැලයක් ගහක් වෙන්න කොච්චර කාලයක් යනවද?
    2) ඔයවගේ කපන්න තියෙන තඩි නුග ගහක් ගලවාගෙන ගිහින් වෙන තැනක ඉන්දවන්න බැරිද?
    3)දෙවන පස්නයට ඔව් නම් ඒ වගේ ගහක් තියෙන තැනක් දන්නා කෙනෙක් ඉන්නවද ???
    4) ඒ ගහ මගේ විකුණගන්න බැරිව තියෙන වත්තේ හිටෙව්වට පස්සේ එක ගන්න අර වගේ සල්ලි තියෙන හරක් පැටියෙක්ව දන්නා කෙනෙක් ඉන්නවද ????

    ReplyDelete
    Replies
    1. 1) අඩුම අවුරුදු 100 ක් වත්
      2) ඡන්දෙ කිට්ටු වෙනකොටනං ඒ වගේ වැඩ කරන අය ඉන්නව
      3) අපේ වත්තෙනං නෑ
      4) නුග ගහ විතරක් මදි. ඒකට තව එෂෙන්ශල්ස් තියෙනව. සුදු නයෙක් ඉන්න ඕන. ගහේ පඬුරු ගැටගහල ගහ දේවත්වයට ඔබින විදියට පුරුදු කරන්න ඕන. ඊට පස්සෙ සලකා බලමු ඉඳගෙන.

      Delete
    2. අහිගුණ්ඨිකයෙක්ගෙන් නයෙක් ඉල්ලගෙක සුදු පාට ගාලා ගත්තොත් හරියන එකක් නැද්ද ප්‍රසා?

      මමත් කියන්නෙ ඒකයි.. නුග ගහක් ඔය තත්ත්වයට එන්ට අඩුම ගානෙ අවුරුදු 100ක් 200ක් යනවා.. ඒක ඔය තත්ත්වෙන් තව අවුරුදු 100ක් 200ක් වුනත් තියෙයි.. ඔය ගහ කපලා ගේ හදන්ට යන මනුස්සයා තව අවුරුදු කීයක් ජීවත්වෙයිද? 20ක් 30ක්?

      Delete
    3. බොන්සායි කරපු නුග ගහක් අවුලක් නෑ නේ ???

      ඒකට නං ත්‍රීවිල් එකක් එව්වම ඇති… ඕ යේස්

      ඉඩං කෑල්ල කොහෙද කියහං නුග ගහක් ගෙනැල්ල දීල යන්ඩ :D

      Delete
    4. පට්ට කමෙන්ටුව මැලේ

      Delete
    5. සියල්ලන්ටම ස්තුතියි හාස්‍යය තුලින් යතාර්ථය පෙන්වීම ගැන.

      Delete
  18. අයියෝ ඕවා මොනාද අප්ප.. මේ ලංකාවනෙ.. ඒක නෙවෙයි.. කවුද අර සල්ලිකාර හරකා...?

    මේ කතාවෙන් මටත් ලියන්න හිතං හිටපු කෑල්ලක් මතක් උනා.. ඔන්නොහෙ ලියල දාමු මෙතනම....

    අපේ කොට්ටාවෙ මහ‌ගෙදර තියෙන්නෙ ( තිබ්බෙ කියන එකයි හරි.. දැනට පාරට ගේ කඩලා තියෙන්නෙ) හන්දියෙමයි... ඉස්සර හෙන පතාර නුග ගහක් තිබ්බ ඔය ගේ ඉස්සරහින් යන පාරෙන් එහා පැත්තෙ... කතාවෙ හැටියට ඉස්සර ඒ පැත්තත් අපේ වත්තෙ කොටසක්.. පාර කපලා තියෙන්නෙ වත්ත මැද්දෙන්.. කොහොම හරි මිනිස්සු ඇවිත් බෙහෙත් වලට තොවිල් වලට එහෙම ඔය ගහෙ කෑලි ගලෝගෙන යනව.. අපේ ආතා, ඒ කිව්වෙ අම්මගෙ අම්මගෙ තාත්ත ඒ වෙලාවට කෑගහනව ළමයො ඔය නුග ගහක් නෙවෙයි, ඕකෙ පොතු ගලෝගෙන වැඩක් නෑ කියල.. ඇත්තටම ඒක නුග වර්ගයක් උනාට නුග නෙවෙයි.... මට ආතා මැරෙන්න කලින් අහගන්න බැරි උනා ඒ ගහේ ජාතිය මොකද්ද කියල... කොහොමින් කොහොම හරි පාරට ඕක කපන්න ගියානෙ... කට්ටිය ඉතිං පොඩ්ඩ පොඩ්ඩ ඥරුඥුරු ගෑවට වැඩිය මුකුත් කරන්න ගියෙ නැත්තෙ ඉඩමට අයිතිකාරයො හිටියෙ නැති හින්ද.. නැත්තං එතනත් මේ වගේ කතාවක් තමයි....

    මේ ඊයෙ පෙරෙදා බස් එකේ යන ගමන් දැක්කෙ මීගොඩ ආර්ථිකේ ගාව තියෙන බෝධියෙ මුල ගාවින්ම පාරට මාක් කරල තියෙනව... කාලයක් ඕකෙත් ඔය නයි පෙනයි අරකයි මේකයි මතුවෙලා කියල කට්ටිය පෝළිමේ වඳින්න ආවා.. දැං නං නෑ... දැං ඕක කපන්න උනොත් තමයි කෙලිය බලාගන්න වෙන්නෙ... අපේ කට්ටියට ඉතිං කපුටු බෝ පැලයක් හරි කමක් නෑ නේ පිළිමයක් ගෙනත් තියාගෙන පහන් පත්තු කරන්න.... මුස්ලිම් උන්දැලත් කොහෙහරි පර්චස් එකක් හරි නිතං තිබ්බොත් මඩුවක් හරි ගහන්නව හතර පස් දෙනෙක් එකතු වෙල.... මලම විකරයක්... දැං මේ තියෙන පන්සලුයි පල්ලියි කෝවිලුයි හොඳටම ඇති මේ ලංකාවට... තව එකක්වත් හදන්න ඉඩ නොදී මොකක් හරි නීතියක් හදනව නං මං හරි කැමතියි...

    අම්මණ්ඩිලගෙ දේවාල... වැඩිය නෑ.. අපේ පැත්තෙත් ඉන්නව මෑණියෙක්.. ඉස්කෝලෙ යන කාලෙ හොඳට හිටිය... හොඳට නැටුම් එහෙම පුලුවන් ලස්සන කෙල්ලෙක්... අඩු වයසෙන් කසාදයක් කරගෙන දැං ළමයි දෙන්නෙකුත් එක්ක අවුරදු 25ක් විතර වෙද්දි, කසාද තුනක් කරගත්ත.. මට හම්බුන වෙලාවක කියන්න ඉන්නෙ එක්කන් ගිහින් දොස්තරෙක්ට පෙන්නන්න කියල.. හැබැයි කිව්වත් වැඩක් වෙන එකක් නෑ... මොකද අම්මලා තාත්තලත් හම්බුකරන් කන්නෙ දේවාලෙන්නෙ ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි රටේ තත්වය. අවිචාර සමයක් මේක. මේ දවස්වල කොළඹ - කුරුණෑගල අංක 6 මාර්ගය පුළුල් කරනවා. අපේ පැත්තේ පන්සල් යන්න කම්මැලි කඩ මුදලාලිලා ටිකක් පාර අයිනේ තිබුණු පරණ බෝ ගහකට කෙටි තාප්පයක් දාලා බුදුපිළිමයක් තියලා වැඳ වැඳ හිටියා. දැන් ඒ බෝ ගහ කපන්න වෙලා පාර පළල් කරන්න. දැන් මුදලාලිලා මහා උද්ඝෝෂණයක් කරන්න හදනවලු බෝ ගහ බේරගන්න.

      Delete
  19. සමාගාමීව එන වර්ඩ් ප්‍රෙස් එකේ දාන කොමනේටු මෙතනට එන්නැද්ද විචාරකතුමා

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම වෙන්නේ නැහැ දරුවෝ. හොයලා බලන්න ඕනේ එහෙම ක්‍රමයක් හදන්න පුලුවන්ද කියලා.

      Delete
  20. දේව කතා කොහොම උනත් ඒ තරම් පරණ නුග ගහක් නම් කපන එක අපරාදේ කියලා මටත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ ගහ ඒ ඉඩමට දෙන සිසිලස කියන්න බැරිතරම්.

      Delete
  21. අසරණ මෝඩ මිනිස්සුන් තව තවත් ඒ මිත්‍යාදෘෂ්ඨික නරා වළේ දුක් විඳීම ගැන අමතක කළ විට, මොනවා වුනත් ගස නොකැපී බේරීම නම් ලොකු දෙයක්.

    මේ මිනිසුන් තියෙන ප්‍රශ්ණ්‍ර තමයි අටලෝ දහම නොතේරීම.

    ප්‍රශ්ණ මැද අසරණ වෙලා දුකට පත් වුණාම පිදුරු ගහටත් වඳිනවා. ඊලඟට දුක, නින්දාව, අලාභය, අයස වෙනුවට සැප, ප්‍රශංසාව, ලාභය, යස යනාදිය ආවාම හිතෙන්නේ අන්න අර පඬුර බැන්ද නිසා බරහාර වුණු නිසා වැඩේ හරි ගියාය කියලායි.

    මේක කරුම චක්කරයක්.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත. අද මිනිස්සු ඉන්නේ පුදුම පීඩනයකින්. රැකියා ඉලක්ක කරගත් දැනුමක් පමණයි බහුතරය සතුව තිබෙන්නේ. සමය සමයාන්තර දැනුම අල්පයි. එහෙම නැත්නම් පාරම්පරික දැනුම පමණයි තිබෙන්නේ. ඉතින් මේ අගේ දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි.

      Delete
  22. කතාචේ මුලදී මං හිතුවේ විචාරක නූතන මහදැනමුත්තා වෙලා එළුවගේ බෙල්ලත් කපලා, මුට්ටියත් බිඳලා දාන්න ඇති කියලායි.

    නරකද සමාදාන විනිශ්චයකාර කරමක් හරි, සමත මංඩලයක සභාපතිකමක් හරි ගත්තා නම්?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙම අර පරණ මහදැනමුත්තා විසඳුමක් තිබුණා.

      1. කවුරු කිව්වත් කමක් නෑ තමුසේ ගහ කපනවා.

      2. දැන් ඉඩමෙන් වැඩක් නෑ. කීයකට හරි අර අයියට දීලා දානවා මිනිහා වෙන නුග ගහක් හිටවා ගන්නේ නැතෑ.

      ආම්මෝ..........................ගිය ආණ්ඩුව කාලේ අපි අපේ සමිතියේ පොදු වැඩකට ගියා සුප්‍රසිද්ධ එතනෝල් ඇමති කෙනෙක් හම්බවෙන්ඩ. එයත් මට JP පට්ටමක් දෙන්න ඉල්ලුම්පත්‍රයක් දුන්නා.

      මේ ආණ්ඩුව ඇවිල්ල සුමාන දෙකකට පස්සේ අපේ අසල්වැසියෙක් ආවා ඉල්ලුම්පත්‍රයක් අරගෙන මෙන්න මම අපේ ........ඇමතිතුමාට කියලා ඔබතුමාට JP ඉල්ලුම්පත්‍රයක් ගෙනාවා කියලා.

      ඔය අවස්ථා දෙකම මම ප්‍රතික්ෂේප කළා.

      1. ඔව්වා ගත්තම ඒ දේශපාලකයන්ට සට්ටැඹීකම් කරන්න වෙනවා.

      2. සමහර මිනිස්සු අරන් එනවා රටේ නීතියට පටහැනි ලිපිලේඛන සල්ලි දීලා අත්සන් කරගන්ඩ. නිකන් මොකටද මිනිස්සු තරහ කරගන්නේ එව්වා ප්‍රතික්ෂේප කරලා.

      Delete
  23. ///අනාගතයේදී අර ඉඩමේ දේවාලයක් හැදෙනු ඇති. අර '...........' අයියාත් අනාගතයේදී දෙවි කෙනෙක් වී, ඒ නුග ගහට අධිගෘහිතවී, මේ ප්‍රදේශය ආරක්‍ෂා කරමින්, වැඩවදාරනු ඇති.///

    මේක තමයි මටත් හිතුණේ.

    විචාරක මහත්තයට තිබ්බෙ නුගගහ, ඉඩමෙ අයිතිකාරයගෙ යි අහවල් අයියගෙයි ඔළු උඩට කපලා අතඅරින්න.

    ReplyDelete
    Replies
    1. එහෙම ඔලුව උඩට කපලාවත් ඒ මිනිස්සුන්ගේ මොලේ පෑදෙන්නේ නැහැනේ. සල්ලි තියනවා දැනුම නැහැ.

      Delete
  24. මොනවා හිතන්නද බං.. ලංකාවේ තියෙන්නේ දේවවන්දනාවක් මිසක්කා බුදු දහමක්යැ..

    ReplyDelete
    Replies
    1. ලෝකේ කොහෙවත් නැතුව ඇති දේශ මේ වගේ අච්චාරු, මළ විකාර දේව වන්දනාවක්.

      Delete
  25. හැබෑ බෞද්ධයෙක් බෙහෙතකට ඕනෑකර තිබේ. දන්න අයෙක් වේනම් කියන්න.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය විචාර බුද්ධිය තියන සෑම පුද්ගලයකු තුළම ඉන්නේ සැබෑ බෞද්ධයෙක්. නමුත් 'මම බුද්ධාගමේ' කියන ලේබලය අලවාගත්ත ගමන්, අර සැබෑ බෞද්ධයා අතුරුදහන් වෙනවා.

      Delete
  26. ආගමික විශ්වාස හා අනෙකුත් වල්පල් නැතුව වුනත්, මමත් විරුද්ධයි මේ ගහ කපනවට... ඔය වගේ විශාල, පෞරාණික ගහක් කපන්න ඉඩමේ අයිති කාරයට බලයක් තියෙන්න විදිහක් නෑ...පොඩි කොස් පැලයක් ගලවන්නත් අවසර ගන්න ඕනා රටේ...

    මොන විශ්වාසයක් නිසා හරි ගහ ‍රැක ගත්තු මහත්තුරුන්ට මගේ ප්‍රණාමය... වාස්තු කාරයො දන්න ඉටි ගෙඩිය.. පල් හොරු.. මිනිස්සුන්ව මුලා කරලා බඩ වඩා ගන්න තක්කඩි.. උන්ගෙයි අර කියපු අම්මණඩිලා දෙන්නගෙයි වැඩි වෙනසක් නෑ...

    අවසාන වශයෙන් විචාරක මහත්තයා තමන්ගේ බලප්‍රදේශයේ තියන විශාල ගස් ගැන ඔයිට වැඩිය හිතන්න ඕනා හරිය.... :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ ඉඩම මගෙනම් මම කවදාවත් ඒ ගහ කපන්නේ නැහැ. ගහ මගහැරලා ගෙයක් හදන්න ඕනෙතරම් එතන ඉඩ තියනවා. නමුත් ඒ ප්‍රශ්නේ විසඳුනාට ඔතන දේවාලයක් හැදුවොත් එහෙම අපේ කන් පැලෙන්න ලවුඩ්ස්පීකර් දාන්න එහෙම ඉඩ තියනවා. කොහොමද එතකොට දැනෙන සනීපෙ.

      හපෝ....................අපේ පැත්තේ ගස් රකින්න ගිහින් මට එල්ලුම් ගස් යන්න තමයි වෙන්නේ.

      Delete
  27. Replies
    1. මේවට හිනාවෙනවද අඬනවද කියලා හිතාගන්න බැහැ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }