හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

24 January 2015

සෝ ෆා සෝ ගුඩ්? සෝෆා නෝ ගුඩ්........................ So far so good? Sofa no good!

Sofa
 ඉංග්‍රීසි භාෂාවේදී so far so good කියන්නේ, මෙච්චර වෙලා කියපු කරපු දේවල් තේරුණා නේද? එහෙමත් නැත්නම්, යම්කිසි කාර්ය භාරයක, ව්‍යාපෘතියක, 'මෙතෙක් අවසන් කළ දේ ගැන ගැටළුවක් නැහැ නේද' කියන තේරුමෙන් නේද? මට අද කියන්න තියෙන්නේ, sofa no good කියලා. ඒ කියමන කළින් කිව්ව එකට වඩා වෙනස් බව පෙනෙනවානේ. මෙන්න මේකයි කතන්දරේ.

 අපේ ලොකු දෝනියැන්දා ඊයේ පෙරේදා දවසක මට කිව්වා, 'තාත්තේ, මම සෝෆා සෙට් එකකට සල්ලි බැන්දා මාසිකව ගෙවන්න. අපේ ඔෆිස් එකටම ඒ සමාගමෙන් ආවා ප්‍රොමෝෂන් එකක්, ගෙවන්න ගන්න පුළුවන් නිසා මම ගත්තා', කියලා. අම්මෝ.............. සැට් එකේ වටිනාකම ගෙඩි රුපියල් වලින්ම 57000 ක්. කජු ඇටද කොස් ඇටද කිව්වලු. මම කිව්වා, 'ළමයෝ, ඔය සෝෆා වර්ග කීපයක් මමත් දැකලා තියනවා. අපේ කෑම්ප් වලත් තියනවා. සමහර ඒවගේ ඉඳගත්තම කුෂන් එක ඉරෙනවා. කුණු ගෑවුණාම පිරිසිදු කරන්නත් අමාරුයි, ඒ වගේම මටනම් පෙනෙන්නේ ඒවා සුදුසු, එක්කෝ වායු සමීකරණය කරපු ගොඩනැගිලි වලට, එහෙමත් නැත්නම් සීතල රටවලට. ඔව්වා මෙහාට එච්චර ගැලපෙන්නේ නැහැ කියලා. කොහෙද ඉතිං අපි කියන ඒවා අහන්නේ නැහැනේ. 

   සල්ලි බැඳලා මාසයකටත් වැඩි කාලයක් ගියත් ගෙදරටම ගෙනත් දෙනවා කිව්ව ඒ අහවල් සැට් එක ලැබුණේ නැහැ. මම ලොකුදුවට කිව්වා, මට දෙන්නකෝ ඒ සමාගමේ නොම්මරේ මම කතාකරලා බලන්න කියලා. නමුත් අපේ ලොකුදුව දන්නවා, මම කතාකලානම් ඒ සමාගමට, කතාකරන්නේ තද්ධිත, කෘදන්ත, නිපාත, සන්ධි, විභක්ති, වර නැගීම්, ඔක්කොම සංකලනය කොරලා තමයි කියලා. 'අනේ මේ ඔයා ඉන්ඩකෝ, මම ඒක ගෙන්නගන්නම්' කියලා මගේ ඇඟට පැන්නා.

   ඔන්න ඉතිං එක දවසක් දවල් 2 ට විතර, අපේ ගෙදරට දුරකථන ඇමතුමක් ලැබුණා, අහවල් එක ගෙනත් දෙන්න පාර අහලා. අනේ ඉතිං අපේ උන්දෑ පාර විස්තර කළා, පාරේ තියන වැලිකැට දක්වාම සවිස්තරව. ඒ වුණාට හවස 5.30 ටත් නෝ බඩු හෑව්. ඒ පාර මම ජාලයෙන් නොම්මරේ හොයාගෙන, ඒ සමාගමේ 'පෙදර්සෙනාගාරයට' ඇමතුමක් ගත්තා. 'හරි හරි සෑර් මේ දැන් එනවා' කියලා කිව්වා. හප්පොච්චියෙ ඔන්න ලොරි පතයක් ආවා. අනූනවයෙන් අපේ ගේට්ටු කණු නොකඩා, මිදුලට රිවස් කොරලා ඇන්න, බෑවේ නැතැයි ඒ අහවල් එක. ලොකු එකයි පොඩි (පොඩි කිව්වට එව්වත් තඩි) දෙකයි.

   මං ඇහුවා ඒ ආපු එක ගොබිලෙක් ගෙන්, 'මේ...........අර..... මේක මැද්දෑවේ තියන අර......අර......අපි......අර......අඩියක් පුඩියක් ගහන කළමනා ටික තියාගන්න, පොඩි මේස පොජ්ජ නැද්ද ළමයෝ' කියලා. 'නෑ නෑ සර්, මේ සෙට් එකට ඒක ලැබෙන්නේ නැහැ. ඒක වෙනම ගන්න ඕනෙ' කිව්වේ නැතෑ. 'අම්මපා......ඒකත් එහෙමද, කීයක් විතර වෙනවද ඒක' කියලා මම ඇහැව්වා. 'රුපියල් දහ දාහේ ඉඳලා ඉහළට තියනවා' කිව්වේ නැතෑ. අම්මපා මට හිතුනා පාන් කපන පිහිය උගේ කොළ බොක්කට බස්සන්ඩ. අර සුට්ටි මේස කෑල්ලට දීපියකෝ තව දහ දාහක්. ප්ලාස්ටික් කකුල් හතරක් උඩ ගහපු වීදුරු කෑල්ලට. ඊට හොඳයි පරණ පකිස් පෙට්ටියක් තියලා, අපේ උන්දැගේ වොයිල් සාරියක් ඊට උඩින් එලලා පාවිච්චි කොරන එක. නැද්ද මං අහන්නේ.

   ඔන්න ඉතිං රන්දෝලි වඩම්මනවා වගේ, මේ කෑලි තුන අපේ සාලේ මැද්දෑවට වඩම්මලා තියලා, ලොරිය ගියා. හප්පොච්චියෙ අර පොලිතින් කවර ගලවලා බැලුවම, මහා මහේසාක්කිය පෙණුමක් තමා තියෙන්නේ. පස්ස පැත්ත තියන්නත් දුකේ බැරුවා. ඔන්න නමෝ විත්තියෙන් මං පොඩ්ඩක් පස්ස පැත්ත තියලා බලන්න හැදුවා විතරයි............පැන්නේ නැතෑ අපේ උන්දෑ 'හා....හා....ඔය උදේ ඉඳලා ඇඳගෙන, දවස පුරාම හඩු ගැහිච්ච ෂෝට් එක නේද ඇඳගෙන ඉන්නේ' කියලා. අනේ.......... හෙමීට පාත්වෙච්චි මගේ නාකි පිඩිය, විදුලි වේගෙන් ඉස්සුනා ආපහු.

   හ්ම්..........මොනවා කොරන්ඩද බලමුකෝ නාලා කියලා 'අර කළමනා' ටිකත් ලං කොරගෙනම වාඩිවෙලා, අලුත් සෝෆා සැට් එක සමරන්න. අම්මපා මෙහෙම හිතනකොටම අපේ උන්දැට දිවැස් තියනවද මන්දා, කිව්වේ නැතෑ, 'මේ, ඔන්න මේ සෙට් එක එහෙම ඩ්‍රින්ක්ස් ගන්න පාවිච්චි කරන්න එපා හොඳද' කියලා. තියාගනිල්ලා උඹලගේ උලව්ව. වෙනදා වගේ එළියේ ගහක් යට පොඩි ප්ලාස්ටික් පුටුවයි පොඩි ස්ටූල් එකයි මට සැපයි. 

   මේ සැට් එකත් එක්ක ලැබුනා උපදෙස් පත්‍රිකාවක් මෙන්න මෙහෙමයි ඒකෙ තියෙන්නේ.

Scan_20150124_110546 - Copy (2)                                                                                     
Scan_20150124_110546 - Copy (3)
 Scan_20150124_110546 - Copy (4)
Scan_20150124_110546 - Copy (5)
    Scan_20150124_110546 - Copy (6)
Scan_20150124_110546 - Copy (7)
Scan_20150124_110546 - Copy (8) Scan_20150124_110546 - Copy (9)
   මේ කියන එව්වා එකක්වත් වරද්දාගෙන තිබුනොත්, ඔන්න අපි වග කියන්නේ නැත කියලා, ඒ පත්තිරිකාවේ සුද්ද හිංගලෙන්ම කියලා තියනවා. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.

   මේකේ පැල්ලමක් වැදුනොත්, ඒක මකන්න හෝ කුණු ගෑවුනොත් පිහදාන්න හෝ 'අහිතකොර' මොනවද කියලා කියන්නේ නැතුව, නිකම්ම කියනවා අහිතකර එව්වයෙන් පිස නොදමනු කියලා. මොකද උන්දලා හිතුවද අපි රෙදි කෑල්ලකට ..... කොරලා මේක පිහදානවා කියලා. 

   ඇයි හත්වලාමේ ගෙදරට මනුස්සයෙක් ආවම, මේ උලව්වේ වාඩිවෙන්න කලින්, 'ඔයා දාඩිය දාගෙනද ඉන්නේ? ඇඟේ මොකවත් තෙල් ජාති එහෙම ගාගෙනද ඉන්නේ'? කියලා අහන්නද කියන්නේ? එහෙම ඇහුවොත් ඒ මිනිහා ආයේ කවදාවත් අපේ ගෙදරට ගොඩවදියි ද?

   අපි පැය 24 ම වෙන වැඩක් නොකර බලා ඉන්න වෙනවා, ගෙදර පූසා හෝ බල්ලා, මේ හත්වලාම උඩට නගියිද කියලා. එක්කෝ මුරකාරයෙක් දාන්න වෙනවා.

   හදිස්සියේ පොටෝ එකක් කෙළින්න වත් මේකේ අමතර මගීන් අසුන් ගන්න බැහැ. එහෙම උනොත් කුසන් ද මොනවද එව්වා ගැලවෙනවා. ඒ කියන්නේ කෑලි අලවලා තියෙන්නේ ගම් ගාලද කොහෙද.

   එහාට මෙහාට තල්ලු කොරන්න ඕනෙ වුනොත්, අල්ලලා තල්ලු කිරීම තහනම් නිසා, අර 'පෙලට් ට්‍රක්' එකක් හෝ 'පෝක් ලිෆ්ට්' එකක් ඕනෑ වෙනවා.

   ගේ ඇතුළට අව්ව වැටෙන එක කොච්චර සම්පතක්ද. ඔය දොස්තර මහත්තුරුත් කියන්නේ, 'ආලෝකය සහ වාතාශ්‍රය හොඳින් ලැබෙන්න දොර ජනෙල් ඇරලා තියන්න' කියලා. නමුත් මෙව්වා තියන ගෙවල් වලට, ඒ වැඩේ තහනං. කාලා වරෙන්කො කිව්වලු.

   ඇත්තෙන්ම මෙවැනි නිෂ්පාදන වඩාත් සුදුසු වන්නේ අපේ රට වැනි ඝර්ම කලාපීය රටවලට නොවෙයි. සෞම්ය දේශගුණයක් සහිත රටවලටයි. උෂ්ණ දවසක මේ සෝෆාවක වාඩි වුනොත්, අපේ ශරීරයේ නිරාවරණය වී ඇති තැන්, මෙහි කුෂන් එකක් හේත්තුවී තිබේනම්, එතන දාඩිය දමන්නට පටන් ගන්නවා. ඉන්පසු පැල්ලමක් හැදෙනවා. මෙහි කුෂන් එකේ, විවිධ නැමුම් රාශියක් ඇති නිසා, ඒ නැමුම් අතරට දූවිලි යාමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. පිරිසිදු කරන්නට, රික්ත ශෝධකයක් අවශ්‍ය වෙනවා. අනේ මන්දා මටනම් හිතෙන්නේ මේ සෝෆා අපිට ගැලපෙන්නේ නැහැ කියලයි. ඔබ මොකද හිතන්නේ?

DAMROGUE


2015 ජනවාරි මස 24 වැනි දින 1332 පැය 

65 comments :

  1. ඉස්සර ට්‍රේනින් කාලෙදි මොකෙක් හරි කොහොමද කියල ඉංග්‍රීසියෙන් ඇහුවොත් බාගෙට පන ගිහින් හිටියත් කියන්නෝනෙ 'So Far So Good Sir' කියල.. මං හිතුවේ එහෙම සෝෆාවක් ගැන තමයි කියල..

    හැබෑට පන නහගෙන 'ගත්තට' වැඩ නම් 'So Far No Good' තමයි.. උනුත් එකයි මුනුත් එකයි සෝෆාත් එකයි.. :b

    ReplyDelete
    Replies
    1. අම්මෝ............ට්‍රේනිං කාලේ ඉර පෙන්නලා හඬ කිව්වත් ඔව් කියනවානේ.

      අලුත් ආණ්ඩුවත් මේ සෝෆා එක වගේ නිකං තියාගෙන බල බලා ඉන්න වෙයිද මන්දා.

      Delete
    2. >>අලුත් ආණ්ඩුවත් මේ සෝෆා එක වගේ නිකං තියාගෙන බල බලා ඉන්න වෙයිද මන්දා.<<
      හෙක්....හෙක්.... ඒ මක්කෙයි විචාරක තුමනි......

      Delete
  2. හඳුන්කූරු පැකට් එකක් ගෙනත් උදේ හවස දුම් අල්ලන බඩු අපේ ගෙදරටනම් ගේන්න දෙන්නෙ නෑ. අපේ මස්සිනා ළඟ තියනව ඔය වගේ කාර් එකකුත්. අවුරුදු පහත් විතර පරණයි. තාම කිලෝ මීටර් පනස්දාහක්වත් දුවල නෑ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අමාරුවෙන් හම්බකරන තුට්ටු දෙකෙන් ගන්න ඕනෙ ඇත්තටම ප්‍රායෝගිකවම වැඩක් ඇති දෙයක්.

      Delete
  3. ඔය බඩු වල මිල ගැන ඔච්චර දුක්වෙන්න එපා අප්පා. සෝපාවෙ මැටීරියල් කොස්ට් එකනම් ඕන්නං දහ පහලොස් දාහක් වෙයි. එතකොට වැඩිකුලිය, ප්‍රවාහනය, ඇඩ්වර්ටීස්මන්ට්, බදු, කොමිස්, කප්පම්? ඒවා දෙන්නෙ විචාරක තුමාද? :j
    අපේ කට්ටිය සැටියක් ගත්තොත් පොලිතින් පිටින් තියනවා වාඩිවෙන්නෙ නෑ. ටීවී එකේ තිරේ තියෙන බැනර් ස්ටිකර් එකයි ප්‍රොටෙක්ෂන් ස්ටිකර් එකයි එහෙම්ම තියෙද්දි ඉතුරු ටිකෙන් පෙන්නන ටික බලනවා (ඒකනම් පුදුමයක් නෙමෙයි. දැන් පහල පටියෙ ඇඩ් යන නිසා ටීවී වල බාගයයි පේන්නෙ). බාත්රූම් එක ලක්ෂ ගාණක් දීලා හදලා එළියෙ පයිප්පෙන්, ටැංකියෙන් නානවා. සරම උස්සගෙන එළියෙ ටොයිලට් එකට දුවනවා පාචනය හැදුනත් (ඕවා කොමෝඩ්වල දාන්න ඇහැකැ). වොෂින් මැෂින් එක පැකිං පිටින් තියාගෙන අපුල්ලපං අප්ප ගලේ. පුදුමයි ෆ්‍රිජ් එකේ දාන්නැතිව කෑම, බීම වතුරෙ දාලා නොතියනවා. දැන් පාරිභෝගියා භාණ්ඩ වන්දනාවක යෙදෙනවා කියලා කියන්නෙ ඕකනේ තුමනී.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මිනිස්සුන්ගේ වැඩ පහසු කරගන්ඩ තියන දේවල් පරිස්සං කරකර තව වැඩේ ෆොජෙක්ට් එකක් කරගන්නව

      Delete
    2. @ මධු.

      හයියෝ කියලා වැඩක් නැහැ. කිසිම අවබෝධයකින් තොරව, යන්නං වාලේ අනුකරණය කරමින් යාම තමා බොහෝවිට දකින්න ලැබෙන්නේ. සමහර ගෙවල් වලට ගියාම හිතෙනවා ඒ මිනිස්සු ගෙදර තියන බඩු භාණ්ඩ ආරක්‍ෂා කරගෙන පාවිච්චි නොකර ඉන්න විදිහට ඒ මිනිස්සුන්ට බාගෙට පිස්සුද කියලා.

      @ අටම්

      ලස්සනට තියලා තියන මහණ මැෂින් දැකලා තියනවද. ගෙදර ඉන්න එක කෙල්ලෙක්වත් දන්නේ නෑ පාවිච්චි කරන්න.

      Delete
    3. සෝබනේට ගෙදර තියෙනවා කියන්න බඩු ගන්න අය වෙන්නැති

      Delete
  4. අපි පැය 24 ම වෙන වැඩක් නොකර බලා ඉන්න වෙනවා, ගෙදර පූසා හෝ බල්ලා, මේ හත්වලාම උඩට නගියිද කියලා. එක්කෝ මුරකාරයෙක් දාන්න වෙනවා.///
    ඒකනෙ විචාරක තුමා සමාරක් ඔය ඉදගන්න අයිටොං එක ගත්තම සුදු රෙද්දකින් හරි හඩු රෙද්දකින් හරි වහල තියෙන්නෙ...ආයෙ ඒකෙ මොකෙක් වත් ඉදගන්නෙ කරන්නෙ නෑ නෙව... කොටිංම කියනව නං අවුරුදු දෙක තැනකට පස්සෙත් දැං බෑව වගේ කොලිටිය.
    ඕ යේස්....
    ඕකට නෙව කියන්නෙ අර ඉස්තානෝචිත අහවල් එක කියල...
    විචාරක තුමාට ඕක තියෙනවද මංද...
    හිහි

    ReplyDelete
    Replies
    1. මට ඒ අහවල් ප්‍රඥාව තියන නිසා තමයි අපේ දුවට කිව්වේ ඔව්වා අපිට ගැලපෙන්නේ නැහැ කියලා. කොහෙද අහන එකක්යැ. මාසික වාරික ටික ගෙවලා ඉවර වෙනකොට සෝෆාවත් ඉවරවෙලා තියෙයි.

      Delete
  5. ඉතිං මක්කටෙයි ගත්තේ... බෝතල් අඩුම කුඩුම ටික බිම තියාගත්තත් මොකෝ වැඩේ කෙරෙනවනං.. හැක්

    ReplyDelete
    Replies
    1. ගත්තෙ මමයැ අපේ ලොකුදුව නේ. වෙනදා වගේ මම මිදුලේ ගහක් යට පුටුවක් තියාගෙන මගේ වැඩේ කොරගන්නවා.

      Delete
  6. මේක දැක්කම හිනා ගියා සිරාවටම.... මාත් පහුගිය අවුරුද්දෙ ගත්තනෙ ඔයින් එකක්... ගෙවන්න ගියාම ටිකක් ගාන වැඩියි හින්ද අතේ තිබ්බ ටිකයි, මදි වෙච්ච ටික මාමණ්ඩිගෙන් පොඩි අතමාරුවක් අරගෙන ගෙනව.. ලෙදර් නෙවෙයි නිසා අපහසුවක් නෑ... ( පාටත් තෝරල තෝරල ගත්ත දූවිලි එහෙම පේන්නෙ නැති පාටක්... හි හි) ...

    ඕක අපිට හදා ගන්න පුළුවන්... හැබැයි ගන්න එක වටින්නෙ බඩු හොයන්න, ලී කපන්න, රෙදි මහන්න යන කාලය එක්ක බැලුවම කඩෙං ගන්න එක ලේසි නිසා... ( අනිත් එක ඉතිං මට මහන්න පුලුවන් කමකුත් නෑ, මහන මැෂිමකුත් නෑ..) අපි දෙන්න දැං අවුරුදු 3ක් විතර තිස්සෙ ඉඳල මේසයක් හදන්න හිතං ඉන්නව.. තාම හැබැයි හිතනව විතරයි... හි හි...

    මම ළඟදි මෙන්න මෙහෙම සයිට් එකක් දැකලා අපේ මහත්තයට පෙන්නුවා... දැං මට කම්පියුටරේට එන්න වෙලා තියෙන්නෙ එයා මේ සයිට් වල තියෙන ඔක්කොම බලල ඉවර උනාට පස්සෙ....

    www.bobvila.com

    ReplyDelete
    Replies
    1. මේවා හදලා තියෙන්නේ බොහොම ඉහල පෙනුමක් තියන විදිහටනේ. ඒ වගේම ඉතා ඉහල මට්ටමේ ප්‍රචාරණ ක්‍රියාවලියක් සහ තරගකාරී මිලක් මෙන්ම විවිධ ගෙවීමේ ක්‍රම ආදිය හඳුන්වාදීම නිසා මිනිස්සු වශීවෙනවා. නමුත් පදම් කල රබර් ලී රාමුවක සවිකළ කුෂන් සෙට් එකක් බව දන්නේ බොහොම ටිකදෙනයි.

      ඇත්තටම හොඳ අමුද්‍රව්‍ය යොදලා මීට වඩා අඩු වියදමකින් මේවා නිපදවන්න පුළුවන්. ඔබ කියා තිබෙන සයිට් එකත් බලන්නම්. බොහොම ස්තුතියි.

      Delete
    2. හොඳ අමුද්‍රව්‍ය යොදල හදන එකෙත් ඒ තරං තේරුමක් නෑ... හි හි.... මොකද මේවා තව අවුරදු 10ක් යන‌කොට හොඳටම අවුට් ඔෆ් ෆැෂන්..... මේවයෙ ගාන වැඩි ෆැෂන් එක ( මෝස්තරේ ) නිසා... ( කුෂන් එකට පාවිච්චි කරන රෙදි ජාතියෙ වටිනාකමත් බලපානව..) දම්රෝ එකට වැඩිය අඩු ගානට ඕවා තියෙනවා ඔය නිසාකො, ලයන්කො වගේ ෂෝරෑම් වල... මොකද ඒ සෝෆා දැං අවුට් ඔෆ් ෆැෂන්.... හි හි ( මම පහුගිය අවුරද්දෙ හොඳ රිසර්ච් එකක් කළා සෝෆා ගන්න ගිහින්.. ඒක නිසා ඔක්කොම ෂෝ රෑම් වල ගනං දන්නව... හි හි)

      Delete
    3. දෙයියනේ................ බලනකොට ඔයා 'සෝෆා ඉස්පැසොලිස්ට්' කෙනෙක්නෙ. කලින් දන්නවනම් කොන්සල්ට් ද මොකද්ද කොරන්න තිබුණා.

      Delete
  7. අපේ යාළුවෙක් ඔව්වා හදනවා. බාල ලී පටි ගහලා ෆ්‍රේම් එක හදලා, රෙක්සින් එක පුරවලා තමා ඔව්වා හදන්නෙ. පෙනුමට තමා ඉතිං ගෙවන්න තියෙන්නෙ. ඒකනෙ ඔච්චර වෝනිං දාලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මිනිස්සු ජීවිත කාලෙටම එකක් වෙන්න මේවා හොයනකොට ඔය වගේ කතා අහන්න වෙනව... හි හි.... ඇත්තටම මේ වගේ සෝෆා සහ අනිත් ඔය දම්රෝ වගේ ලී බඩු හදන්නෙ ජීවිත කාලෙටමයි, පරම්පරා දෙක තුනකටයි පවතින්න නෙවෙයි... අවුරුදු 10-12 කින් විතර පැවැත්ම ඉවර වෙන විදියට... සාමාන්‍යයෙන් මේවා කාලෙත් එක්ක වෙනස් වෙන මෝස්තර නිසා ජනප්‍රිය වෙන බඩු... මේවා පරම්පරා ගනං තියාගන්න හිතන එක මහ තේරුමක් නැති වැඩක්... එහෙම හිතනව නං මේවා නොගෙන ඉන්න එකයි හොඳ... ( හැබැයි දැං පරම්පරාව නං ටිකක් ඔය පරම්පරා ගනං තියන බඩු ගැන එච්චර සැලකිල්ලක් නැති හින්ද ගෙවල් වල කැඩිච්ච පුටු කකුලුයි, ඇඳ පතුයි ගොඩ ගහගෙන ඉන්න එක අඩු වෙයි නේද ඉස්සරහට.... හි හි)

      Delete
    2. @ ඩ්‍රැකී
      බොහෝ දෙනෙක් දන්නේ නැහැ මෙහි තියෙන්නේ බාල ලී රාමුවක් කියන එක. ඒ වගේම මම හිතන්නේ නැහැ ඔය උපදෙස් පත්‍රිකාව මේවා මිලදීගන්න අයගෙන් 50% ක් වත් කියවලා බලනවා කියලා.

      @ Kaushi.
      අපේ ගෙදර වෙලාවකට ගෝරි යනවා මම පරණ බඩු ඉවත දාන ආකාරය නිසා. මට පෙනෙන්න බැරි වැඩක් පාවිච්චියට නොගන්නා ලී කෑල්ලක් වුනත් ගෙදර තියන එක. මම කරන්නේ ලිපේ දාලා හරි ඒවාගෙන් සමුගන්න එකයි. ගෙදර පරිසරයේ ඉඩකඩ ඇහිරෙන, අවලස්සන, අනවශ්‍ය, දේවල් ඉවත් කිරීම මම බොහොම උනන්දුවෙන් කරනවා.

      ඇත්තටම අද කාලයේ මෝස්‌තර වෙනස්වීමේ වේගය බොහොම සීඝ්‍රයෙන් වෙන නිසා තමයි කල් පවතින බඩු හදන්නේ නැත්තේ.

      Delete
  8. අර ඇල්බීසිය ලීයෙන් හදන මිනී පෙට්ටිය මැරුණ එකාගෙ වටිනාකම අනුව පාට කල්ල ගාන වෙනස් කරනව වගේ වැඩක් තමයි ඕක. අපේ ගෙදරත් ඔය වගේ ෂෝ රූම් බඩු හරියන්නෙ නෑ. සාලෙ තියෙන පුටු සැටි‍යට දෙන්න ඕන වද ඔක්කොම දෙනව. ඕව එකක් අරගෙන ඔය විදියට පාවිච්චි කරන්නනං අර කටුගෙයි තියෙන සිංහාසනේ වගේ වීදුරු කූඩුවක් ඇතුලෙ තියන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. මිනීපෙට්ටි විකාරයට බොහෝවිට අහුවෙන්නේ සල්ලිකාර මෝඩයෝ. තමන්ගේ දෙමවුපියන්ට ඇල්වතුර වීදුරුවක් දෙන්නේ නැති, කුහක, ගුණමකු, ලෝබයෝ, අම්ම තාත්තා මැරුණම තමන්ගේ නම්බුව කියන බම්බුව අටවන්න රුපියල් ලක්ෂයේ මිනීපෙට්ටි ගන්නවා. නමුත් ඒ මෝඩ බූරුවෝ දන්නේ නැහැ ඒ පෙට්ටියේ තියෙන්නේ පිට ඔපය පමණයි කියලා.

      මමනම් මේ සෙට් එක පාවිච්චි කරනවා හයමාසෙන් ඉවත දාන්න වුනත්.

      Delete
  9. කිව්වනම් මම නියම භාණ්ඩයක් එවනවනේ මෙහෙන් ......... සෝෆා නිකන් එලද බ්‍රා වගේ

    ReplyDelete
    Replies
    1. යකෝ මේක අපේ ගෑණි දැක්කනම් දැන්මම මාව පටවනවා ප්ලේන් එකකට අන්න ගිහින් එකක් අරං එනවා කියලා. :e

      Delete
  10. මේක මේ දමිත රාමණායකගෙ කොම්පැනියෙ එකක්ද?

    ඕවට ගන්නෙ මහ බාල වල් ලී. ඒ නිසා ඉක්මන දිරනව. නිකන් තියන් ඉන්නෙ නැතුව පාවිච්චියට ගන්න. හොඳම වැඩේ මෙන්න මෙතන කියල තීන විදිහට ඕකට සාමන්‍ය කපු රෙද්දෙන් කවර සෙට් එකක් හදාගන්න. එතකොට ඉඳගත්තට දාඩිය දාන්නෙත් නෑ, දාඩිය පිටින් ඉඳගත්තට කමකුත් නෑ. නැත්තන් සෝෆ එකත් කැබිනට් එකේ දාපු විදුරු සෙට් එකක් වගේ වෙනව.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මලටත් කට කැඩෙනකං කිව්ව ලෙදර් සෝෆා ගන්න එපා, දාඩියයි කියල... කොහෙද කල් පැවැත්ම හොඳයි කියල ගත්ත... අපෙ බලු තඩිය එක පාරයි ඒක උඩට පැන්නෙ... ලෙදර් එකෙන් බාගයක්ම හීරිලා ගියා.. පුටුවෙ ඉඳගන්න ගියාම ඇඳෙන් රෙද්දක් ගෙනත් එලා ගන්න ඕනෙ ඉස්සෙල්ල... ( හැබැයි ඉතිං අපේ ගෙදර බඩු, සුදු රෙදි එළාගෙන පරිස්සම් කරන ඈයො නැති හින්ද බලු තඩිය ඕකෙ නිදා ගත්තත් දැං නං ගානක් නෑ.. වැඩේ කියන්නෙ උෟවත් එකේ නිදා ගන්නෙ නෑ.. ඒ තරං රස්නෙයි....)

      Delete
    2. @ ඉන්දික.
      මට තියන තරහට මම ලිපියේ අන්තිමට කියලා තියනවා DAMN ROGUE කියලා. බාල වල් ලී කියන්නේ කෙසෙල් පතුරුත් ගන්නවද මන්දා :e එතරම් බාල ප්‍රමිතියක් තමයි ඇතුලේ හංගලා ඇත්තේ. බොහොම ස්තුතියි අර ලින්ක් එකට. මම පෙන්නුවා ඒ විස්තර අපේ උන්දැට.

      @ Kaushi
      මටත් හිතෙනවා අපිටත් වෙන්නේ ඔය ටිකම තමයි. අපි ඉන්නේ කුරුණෑගලනේ. කියල වැඩක් නෑ මාර කූල්.

      Delete
    3. ගොඩක් වෙලාවට ඕවට ගන්නෙ පදම් කරපු අඹ ලෑලි... එහෙම නැත්තං ඒ වගේ ලාබ පදම් කරපු ලී... ඒවත් හයිය නැත්තෙම නෑ.. ඒත් වැඩි කල් පැවැත්මක් නෑ.... ඔය පොෂ් පෙනුම ගන්නෙ කුෂන් එකෙන්... කොහොමත් කුෂන් වලට පොඩි පරිස්සමක් තියෙන්න ඕනෙ.. පරණ පුටු සැටි වල නං කුෂන් මාරු කරන්න පුළුවන්... ඒත් මේවා පුටුවටම තියල මහලා නිසා කුෂන් මාරු කරන එක කරදරයක්...

      Delete
  11. ඔන්නෝක හාමිනේ ගේ සාරියකින් වහලා දාන්න විචාරක!

    ReplyDelete
    Replies
    1. වහලා වහලා. මට බඩ අල්ලාගෙන හිනා. මම ඇහුවා මේ දේවාලේ අරින්නේ කොයි වෙලාවටද කියලා. ගස්සලා අහක බලාගත්තා. ඇත්තටම අපි තවමත් පුහු දේවල් පස්සේ යනවා නේද?

      අර ලින්ක් එකේ පින්තූරේ තියන ක්‍රමේ හොඳයි වගේ. බොහොම ස්තුතියි.

      Delete
  12. සෑර් මං කියන්නෙ ගේ AC කරානං හරි :D !!!! ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. ජනෙල්වලට දාන්ට පුලුවන් අලුත් ජනෙල් රෙදි. ඇතුලට අව්ව එන්නේ නැති හොඳ වර්ග දැන් තියෙනවා. ටිකක් විතර ගනන් යයි. ඒකට කමක් නෑ. වටිනා බඩු ටිකක් පරිස්සම් කරගන්ටනේ... :P

      Delete
    2. @ පත්තරේ.
      යකෝ, AC කලාම ලයිට් බිල් ගෙවන්න මට මගේ ........උගස් කරන්න වෙයි.

      @පොඩ්ඩි
      අනේ අනේ . නියම උපදෙසේ. තවත් හොඳ ගානකට කෙලවා ගනින්කෝ අලුත් තිරරෙදි වලට. අපේ ගෙදර මටනම් වටිනා බඩුවක් හැටියට තියෙන්නේ අපේ උන්දැ විතරයි. ඒත් උන්දැව නම් රෙදි වලින් වහලා තියන්න තරම් දැන් වටිනාකමක් නෑ. :e

      Delete
    3. සෑර් අපේ අටමාගෙ යාලුවෙක් ඒ බිසිනොස් එකත් කරනවා ඕං.. මාත් කීයක් හරි තියාන ඩීල් එක ෂැට් කරල දෙන්ඩද :D

      Delete
    4. @ පත්තරේ.
      අනේ කොහොම හරි අපේ උන්දැව අඩු ගානකට සේල් එකකට සැට් කොරලා දියන්කෝ. හැබැයි මගේ වයසේ ඉතාලි කෙල්ලෙකුත් හොයපන්

      Delete
  13. පුටු ටික ලස්සන රෙදි ටිකක් අරන් වහලා දාන්ට. :D

    ReplyDelete
    Replies
    1. අම්මයි දුවයි එකතුවෙලා දැනටම ඔන්න වහලා දාලා.

      Delete
  14. පැහැදිලිවම අැ‍ඬෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ දුක මම සැමරුවා මේක ගෙනාව දවසේ රෑ.

      Delete
    2. ඒ මදි.. තව ඩිංගක් සමරන්න මාත් එනවා.. අපි දුක බෙදාගන්න ඕනැ.

      Delete
    3. @ පත්තරේ
      ස මරමු

      Delete
  15. මමත් කාලෙකට කලින් සෝෆා සෙට් එකක් කෑම මේස කට්ටලයක් ගන්න ඕන වෙලා වටේම ලීබඩු කඩවල බැලුවා.

    පස්සෙ කළේ මොරටු ගිහින් මොරටුමුල්ලෙන් බඩු ගෙනාපු එක. ගොඩක් ලාභයි. හැබැයි ගාන අඩුම තැනින් බඩු බදාගන්නෙ නැතිවෙන්න කල්පනාකාරී වෙන්න ඕනෙ. මොකද ගාන හුඟාක්ම අඩුවට දෙනවා බාල බඩු.

    කැමති අයට පුළුවන් වැඩ සම්පූර්නයෙන් ඉවර නැති බඩු ගන්නත්. ඒවා තවත් ලාභයි. ගෙදර ගෙනත් බාස් කෙනෙක් අල්ලලා පොලිශ් කරගන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ මමත් අහලා තියනවා හරී. මටත් යාලුවෙක් කිව්වා ලොකු ලොරියක් හයර් එකට අරං සල්ලි ටිකක් වැඩිපුර අරං ගිහින්, තමන්ට ඕනෙ බඩු වලට අමතරව, බාල බඩු වලින් ලොරිය පුරවාගෙන එන්න, මෙහෙදී ලීබඩු සාප්පු වලට පහසුවෙන් විකුණන්න පුළුවන් කියලා.

      Delete
    2. මොරටුමුල්ලෙන් ලීබඩු ගන්නවනං මාර ලභයි. හැබැයි හොඳම දේ තමයි ෆිනිෂ් නොකල, ඒ කියන්නෙ පින්තාරු නොකරපු ඒව ගන්න එක. අරගෙන ඇවිත් ගෙදරට බාස් කෙනෙක් ගෙනත් ෆිනිෂ් කරගන්න. ඔය අටමට උනත් කියන්න බැරිය, මොකද එතකොට හොඳ ලී වලින් හදපු ෂුවර් බඩු ගේන්න පුළුවන්.

      Delete
  16. අපේ අප්පෝ ..

    අපේ ගෙවල් පැත්ත පළාතේ ගේන්නේ නැහැ ලෙදර් සෝෆා නම්...

    අපි ගෙවල් වල තියෙන පුටු සැට් එකත් පාවිච්චි කරන හැටියට ඕවා එකක් ගෙනාවොත් එහෙම සුමානයයි. ආයේ නො කතා නො සිනා..කුෂන් ටික සාලේ බිම.

    ReplyDelete
    Replies
    1. මම නං කුෂනුත් නෑ නිකංම සාලෙ බිම.. මොකුත් නොදා සාලෙ බිම පෙරලිලා බුදියන තරං සැපක් තියනවද ඈ … චැහ් . බිම සීතයි ටොපේ ටොප් . ඒ ආතල් එක දන්නෙ මායි අපේ ගෙදර බල්ලයි විතරයි බං.ඕ යේස් !!!!

      Delete
    2. @ විභීෂණ ii

      අපේ අයට තේරෙයි කරගත්තු ගොන්කම තව ටික දවසකින් මේකේ කෑලි හැලෙන්න ගත්තම.

      @ පත්තරේ

      මට උඹේ බල්ලා දවසක් කිව්වා ඔය කතන්දරේ. උඹ ඌට කියලා දත් මද්දවා ගන්නවලු පාන්දරට.

      Delete
  17. ඊළඟට අපේ සෑර් කාර් එක දීලා vezel එකක් ගේන්ඩලු යන්නේ ඈ …… :D :D
    ඉවානය ගොඩ .හැක්

    ReplyDelete
    Replies
    1. WESA එකක් ගත්තොත් මොකද?

      Delete
  18. ඕවා ජීවිත කාලයක් තියා ගන්න බැහැ නේ ගත්ත දවසේ ඉඳලා පුකට සැප දෙන්න ඔකේ වාඩිවෙන්න අම්මට දුට කියලා දෙන්න නැත්තම් අය්යෝ සල්ලි!

    ReplyDelete
    Replies
    1. DAMN ROGUE කියන එක අකුරු මාරුවෙලා ලියවුනා ද මන්දා DAMRO GU NE

      Delete
    2. කියලා වැඩක් නෑ. ඕනෙ කෙහෙම්මලක් කියලා මේක පාවිච්චි කරන්න තමා මමත් හිතාගෙන ඉන්නේ.

      අල්ලා ගත්තා නේද ඉංගිරිසි අකුරු වල තේරුම. :e

      Delete
  19. ගරු විචාරක තුමෝ, මා ඔබතුමාගේ බ්ලොගයට නිතරම ගොඩ වැදුනත් කොමෙන්ටුවක් දමන පළමු වැනි අවස්තාවයි. මෙතරම් පරිණත,සුවිසල් අත්දැකීම් සම්භාරයක් සහිත ඔබ, ඔබ සතු දැනුම අප සමග බෙදා ගැනීම ඉතා අගය කොට සලකමි.ඔබගේ ලිපි තරමක් දිගු වුවත් කියවීමට කිසිසේත් කම්මැලි කමක් නොවන්නේ එය ලියා තිබෙන විලසටය.මුලින්ම ඔබගේ නිළය හා තත්වය ඔලුවට ගෙන ප්‍රබුද්ධ ලෙස බස්වහර භාවිතා කලේ නම් මෙමෙ ලිපි ඉතා නීරස වනවා නිසැකය.නමුත් ඉතා සැහැල්ලුවෙන් හා පරිස්සමින් ලිපිය ලියමින් උදාහරණද සමගින් අදාල කරුණු ඉදිරිපත් කරන විලාශයට ලිපිය කියවා අවසන් වනවිට ඔබගේ ඥාණාන්විත භාවය පාඨකයාට පසක් වී හමාරය.කොමෙන්ටු නොදැම්මත් මෙම බ්ලොගයට බොහෝ පාඨකයන් සිටිනාබව මාගේ විශ්වාසයයි.මන්ද මමත් මෙම බ්ලොගය නිහඬවම බොහෝ කලක් රසවිඳ ඇත්තෙමි.සමහර විටෙක යුද්ධය, තාක්ශණික ක්‍රමවේද හා ආයුධ පිළිබඳව මෙතරම් සවිස්තරව ලියවෙන පළමු සිංහල ලිපිමාලව මෙය වියහැක. අනෙක් කාරණය නම් ඔබ යම් ඡායා රූපයක් හෝ විස්තරයක් වෙනත් ලිපියකින් උපුටා ගන්නා විට එහි මුල් හිමිකරුට සබැඳියක් ලබාදීමෙන් ඔබ සාරධර්ම සුරකින වැදගත් මහත්මයකු වීමයි.ඉතින් ගරු මහත්මයාණෙනි තවතවත් මෙවන් දැනුම පිරි,රස පිරි ලිපි ලිවීමට ඔබට ඇරයුම් කරමින් පවසන්නේ ඔබගේ හරවත් ලිපි සයිබරයේ දිගහැරෙන තුරු අපි නොඉවසිල්ලෙන් පසුවන බවයි.
    ඔබට දීර්ඝායුශ පතමි ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි පූර්ණ. ඔබ වැනි සෑහෙන පිරිසක් මේ අඩවිය සහ මගේ වර්ඩ්ප්‍රෙස් අඩවිය http://jangun.wordpress.com කියවන බව මා දන්නවා. සමහර අය කලාතුරකින් අදහස් දක්වනවා. මීට පෙර ඔබවැනි අය විශාල පිරිසක් ප්‍රකාශ කර තිබුනා, දීර්ඝ කාලයක සිට මේ අඩවිය බලන නමුත්, ප්‍රථම වතාවට අදහස් දක්වන්නේ අදයි කියන එක. නිතර අදහස් දැක්වුවේ නැතුවාට කමක් නැහැ. හැකි හැමවෙලාවෙම බලන්න කියා ඉල්ලනවා. මා තදින් විශ්වාස කරනවා ඔබ වැනි අයට දෙන්නට යම් දැණුමක් මා සතු බව.

      ඇගයීම ගැන ඔබට බොහොම ස්තුතියි. ඔබටත් දීර්ඝායුෂ පතනවා.

      Delete
  20. අපේ ගෙවල් වලත් (ලංකාවේ) මේ වැඩේ මෙහෙම තමා කරන්නේ. පුටු සෙට් එක ගත්තම අවුරුදු ගාණක් යනකන් පොලිතින් එක උඩ තමා ඉඳ ගන්නේ. යුරෝපය ගැන හොඳ කියනවා නෙමේ. නමුත් මගේ බිරිඳ එහම කරනවා මම දැකලා නැහැ. ගත්ත දවසේ ඉඳන් ඕන භාණ්ඩයක් පාවිච්චිය ගෙදර උන්ට ඕනෑ ඕනෑ විධිහට.

    ReplyDelete
    Replies
    1. කේක් එක කන්නත් ඕනෙ තියාගන්නත් ඕනෙ කියලා අර ඉංගිරිසි කියමනක් තියෙන්නේ. ඒ වගේ තමයි අපේ අය බඩු පාවිච්චි කරන්නේ. ඕනෙ කැකිරි ගෙඩියක් කියලා මමත් තීරණය කළා මේ සෝෆාව පාවිච්චි කරන්න.

      Delete
  21. ආයේ කථා දෙකක් නෑ. අපිට ගැලපෙන්නේ වේවැල් පුටු. ගණන් වැඩි වුණත් ගත්තොත් කාලයක් පවතිනවා. මමත් දන්නා කිසිම කෙනෙකුට සෝෆා ගන්න දෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් සුදීක. අපේ ගෙදර තියනවා අර වේවැල් වැරන්ඩා පුටු 8 ක්. දැන් අරගෙන සෑහෙන කාලයක්. වැඩිපුරම පාවිච්චි කරන්නෙත් ඒවා. අද වෙනතුරු කිසිම හානියක් නෑ. ඒවට කුෂන් කොට්ට දාලා ගත්තම හරි ෂෝක්.

      Delete
  22. ගත්තට පස්සෙ මොනව කරන්නද ඉතිං. අපේ එක්කෙනත් කියනව ඕව්ව එකක් ගන්න ඕන කියල.
    විචාරක මහත්තයට දැං කරන්න තියෙන්නෙ පිස්තෝලෙකුත් තියාගෙන පුටු සැ‍ටිය මුර කරන රාජකාරිය බාරගන්න. වැඩි කල් කරන්න වෙන එකක් නෑ දෝනියැන්ද එක්ක සැටියත් යැව්වම හරි නියම කාලෙ ආවම.
    (මේව මේකෙ කියන්නත් හොඳ නෑ, මේ වගේ ආරංචි බ්ලොග් වල ලිව්වම මෙතන ඉන්න එවුන් ගෙදර එන්න ගනී)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ රාජ්, ගෑණුන්ට ඔය සෝෆා දොලදුක හැදුනොත් හැදුනමයි. ආයේ ඉතිං හොන්දවෙන්නේ හොන ගානකට කෙලවුනාට පස්සේ තමයි.

      මටත් බයේ බෑ. කවුරුහරි එකෙක් දුවයි සෝෆාවයි දෙකම ගෙනිහින් දුව විතරක් ආපහු ගෙනත් දුන්නොත් එහෙම. :e

      Delete
    2. සෑර් .. ඉවානයා වඳුරාගල හරියෙ ඉඳං කෝල් කරා .. එල්ෆ් තට්ටුවක් අරං මග එනවා කීවා :D

      Delete
    3. //සෑර් .. ඉවානයා වඳුරාගල හරියෙ ඉඳං කෝල් කරා .. එල්ෆ් තට්ටුවක් අරං මග එනවා කීවා //

      දුවව පටෝගෙන යන්නද? :o

      Delete
    4. හැක් .. ඒකට නං අඩුම අර විදුලිබල මන්ඩලේ ලයිට් කණු ගෙනියන UD එකක් වත් ඕනැ වෙයි :D ..

      Delete
  23. අපේ උන්දලා බඩු පාවිච්චි කරන විදිය ගැන කියන කොට මගේ යාලුවෙක් මතක් උනා. මිනිහ සුසුකි එස්ටිලෝ එකක් අරන්. සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නිව් වාහන ගත්තම ඒවායේ පොලිතින් සීට් කවර සහ වින්ඩ්ස්ක්‍රින් එකේ අකුරු වගයක් එහෙම ලියල තියනවා නේ ඔය කස්ටම් වැඩ වලට එහෙම. පොරගේ වාහනේ ඔය දෙකම සෑහෙන කාලයක් යනකන් තිබ්බ. අන්තිමට මිනිහට නම වැටුනේ "අකුරු මැකී නෑ, කොළ ගැළවී නෑ" කියලා ....

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }