හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

15 January 2015

ලංකාවටත් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්?

49b94b9561a90
  මේ ලිපිය ආරම්භයේදීම පහත දැක්වෙන කරුණු අවධාරණය කරනන්ට කැමතියි. ඔබ දන්නවා, පසුගිය අවුරුදු තුන පුරා, මා මෙම අඩවියේ වැඩිපුරම ලියා තිබෙන්නේ, හමුදාව පිලිබඳ ලිපි. ඒ මගින් මා අදහස් කළේ, ඔබේ හමුදා දැණුම දියුණු කරන්නයි. මෙම ලිපියත්, එවැනි, හමුදා දැණුම සම්බන්ධ ලිපියක් විනා, කිසිදු ආකාරයකින්, දේශපාලන අදහස් ගැබ්වූ ලිපියක් නොවේ. එබැවින්, මෙම ලිපියට අදාළ නොවන, ශ්‍රී ලංකාවේ දැනට පවතින රජයට පක්ෂව හෝ විපක්ෂව ඉදිරිපත් කෙරෙන, කුමන ආකාරයක හෝ දේශපාලන අර්ථකථන සහිත පාඨක අදහස් හෝ, ප්‍රස්තුතයට අදාළ නොවන අදහස්, ඉවත් කිරීමට සිදුවන බව, කාරුණිකව දැනුම් දෙනවා.

    අද උදෑසන (2015/01/14) රූපවාහිණී ප්‍රවෘත්තියක සඳහන් වුණා, හිටපු හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, (Chief of Defence Staff = CDS) සරත් ෆොන්සේකා මහතා, ෆීල්ඩ් මාර්ෂල් Field Marshal තනතුරට උසස් කිරීමේ අදහසක්, රජය තුළ පවතින බව. සමහරවිට ඔබ, 'ෆීල්ඩ් මාර්ෂල්' යනුවෙන් හමුදා නිළයක් ඇති බව දන්නවා ඇති. සමහරවිට නොදන්නවාත් ඇති. දන්න අයගේ මතකය අලුත් කිරීමටත්, නොදන්නා අයට දැණුම ලබාදීමත් සඳහායි, මේ ලිපිය ලියවෙන්නේ. මීට පෙර, මා ඔබට ත්‍රිවිධ හමුදාවේම සියලුම නිළ පිළිබඳව, සරලව කියාදී තිබෙනවා. මතක නැති අය මෙන්න මෙතනින් ගිහින් බලලා එන්නකෝ. එතකොට මේ ලිපිය තේරුම් ගන්න වඩාත් පහසුයි.

   දැන් මතකද කතන්දරේ. අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ මෙතෙක් තිබුණු ඉහලම නිළ තමා,

යුද හමුදාව = ජෙනරල්, 
Scan_20150114_141543 - Copy (2)

නාවික හමුදාව = අද්මිරාල්,
Scan_20150114_141543 - Copy

ගුවන් හමුදාව = එයාර් චීෆ් මාර්ෂල්
Scan_20150114_141543

   ඔන්න දැන් ශ්‍රී ලංකා යුද හමුදාවට අදාළව, ජෙනරල් නිළයට ඉහළ නිළය වන, ෆීල්ඩ් මාර්ෂල් නිළය ඇති කිරීමේ අදහසක් තිබෙන බව පෙනෙනවා. හැබෑටම කවුද ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ? එයා මොනවද කරන්නේ? එයා මොනවගේ නිළයක්ද අඳින්නේ? මෙන්න මේවා තමයි, අද අපි ඉගෙන ගන්න යන්නේ.

   ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර, දීර්ඝ ඉතිහාසයක් තිබෙන යුද හමුදා තනතුරක්. ලෝක ඉතිහාසයේ ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර පිහිටුවා ප්‍රදානය කර තිබෙන්නේ, සංග්‍රාමයේදී, යුද්ධෝපාය සැළසුම් සැකසීම, අණදීම, නායකත්වය යන කරුණු ඔස්සේ, සුවිශේෂී දක්ෂතා දක්වන ලද හමුදා සෙනෙවියන්ටයි. සංග්‍රාමයක් අවසන් වූවාට පසුව වුවත්, එම ගෞරවය ලබා දෙන්නට පුළුවන්. මා මීට පෙර ලියන ලද ලිපි කීපයකදීම ඔබට කියා ඇති, ශ්‍රී ලංකා යුද හමුදාවේ සැකැස්ම සහ පිළිවෙත්, බොහෝදුරට බ්‍රිතාන්‍ය යුදහමුදා සැකසුම් සහ පිළිවෙතට සමාන බව. එයට හේතුව, අපි සෑහෙන කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතීම බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් අද වනවිට, අපි අපට ගැලපෙන ප්‍රතිපත්ති සකසාගෙන තිබෙනවා. ඒ අනුව තමයි අපේ ත්‍රිවිධ හමුදා පාලනය වන්නේ. හැබැයි එකක් මතක තියාගන්න. අපේ යුද හමුදාව තවමත් පාලනය වන්නේ 1949 අංක 17 දරන යුද හමුදා පනතින්. මෙයට සංශෝධන එක්වී නැති තරම්. නමුත් කාලීනව, විවිධ ස්ථාවර නියෝග - Standing Orders මගින්, අවශ්‍ය පරිපාලන වෙනස්කම් සිදුවෙනවා. හමුදා නියෝග - Army Orders, හමුදා චර්යා නියෝග - Army Routine Orders, විශේෂ හමුදා නියෝග - Special Army Orders, යනුවෙන් නියෝග වර්ග තිබෙනවා. පස්සේ දවසක බලමුකො.  

   ත්‍රිවිධ හමුදාවේ නිළ හඳුන්වා දුන් ලිපියේදී, මා ඔබට කියාදුන්නා, කණිෂ්ඨ නිළධාරීන් - Subaltern Officers, ක්‍ෂේත්‍ර නිළධාරීන් - Field Officers, ප්‍රධාන නිළධාරීන් - General Officers, යනුවෙන් හමුදා නිළධාරීන් වර්ග තුනක් සිටින බව. ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ ප්‍රධාන නිළධාරී වර්ගීකරණයේ ඉහළම නිළයයි.

   බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ඇතිකර තිබෙන්නේ, ක්‍රි.ව. 1737 තරම් ඈත අතීතයේදී. ෆීල්ඩ් කියන වචනයේ තියෙන්නෙත් ක්‍ෂේත්‍රය කියන තේරුම නේද? ඉතිං ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය වන්නේ, විශේෂයෙන් මහා යුද්ධ පවතින සමයක, විශාල යුධභූමි වල, සමහරවිට රටවල් කීපයක, එකවර යුද හමුදා කීපයක් යොදවා, අණදීමේ කාර්යභාරය ඉෂ්ඨ කරන්නයි. ලෝකයේ සිටි එවැනි සුප්‍රසිද්ධ ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් තමයි, ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට් ගොමරි. දෙවැනි ලෝක යුධ සමයේදී, මේ ෆීල්ඩ් මාර්ෂල් වරයා, ඉන්දියාවේ සිට සිය අණදීමේ කටයුතු කරද්දී, ලංකාවේ හමුදාවත් ඔහු යටතේ තිබුණා. ෆීල්ඩ් මාර්ෂල් තනතුරේ ආරම්භය සිදුවී තිබෙන්නේ මධ්‍යතන යුගයේදී මහා බ්‍රිතාන්‍යය ආශ්‍රිතව බවයි සැලකෙන්නේ. 

bernard-montgomery

   අදත් ලෝකයේ ෆීල්ඩ් මාර්ෂල්ලා ඉන්නවද? ඉන්නවා, හැබැයි විශ්‍රාම ගිය අය. අදනම් ලෝකයේ කිසිම හමුදාවක සක්‍රිය සේවයේ active service ඉන්න ෆීල්ඩ් මාර්ෂල්ලා නැහැ. අවසාන වරට හිටිය ෆීල්ඩ් මාර්ෂල්, තමන් විසින්ම තමන්ව එම නිළයට පත් කරගත්තා. ඒ තමයි අද ඊජිප්තුවේ ජනාධිපති ලෙස ක්‍රියා කරන, අබ්ඩෙල් ෆාටා එල් සිසි.

   යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිළය හා සමාන, නාවික හමුදා නිළයේ හෝ (ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් - Admiral of the fleet) ගුවන් හමුදා නිළ වලට අදාළව, (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් - Marshal of the Air Force) නිළය දරන අයත්, ලෝකයේ කොහෙවත් නැහැ. එයට ප්‍රධාන හේතුව තමා, අද කාලයේ පැවැත්වෙන යුද්ධ වලදී, මහා පරිමාණයෙන් ගොඩබිම් හමුදා මෙහෙයවීමක් සිදු නොවීම. නවීන තාක්ෂණය නිසා, අනාගතය වනවිට, සොල්දාදුවන් වෙනුවට රෝබෝ වරුන් යුද පිටියට යනවිට, 'රෝබෝ ෆීල්ඩ් මාර්ෂල්' කෙනෙක්ව තමයි හදන්න වෙන්නේ :D

   එහෙනම් මොකටද ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් නිළය දෙන්න හදන්නේ? අනේ ඉතිං ඒක මගෙන් අහලා වැඩක් නැහැ. රජයෙන් තමයි අහන්න ඕනෙ. නමුත් මගේ උපකල්පන මෙසේයි. සමහරවිට ඔහුට කරන ගෞරවයක් ලෙස දෙන්නට පුළුවන්. එතකොට එයා ඒ නිළය ඇඳගෙන ආයෙත් හමුදා සේවයට එයිද? නැහැ. ඒකනම් කීයටවත් වෙන එකක් නැහැ. එහෙම අවශ්‍යතාවක් නැහැ. මතකනේ මම කලිනුත් කිව්වේ, ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය වෙන්නේ, මහා පරිමාණයෙන් ගොඩබිම් හමුදා යොදවා, යුද හමුදා කීපයක් එක පාර්ශවයක් ලෙස එක්ව, සටන් කරන අවස්ථාවකදී පමණයි.

   හමුදාවේ සම්ප්‍රදායක් තිබෙනවා, යම්කිසි නිළධාරියකු, සේවයේ යෙදී සිටියදී දක්වන විශේෂ දක්ෂතා සහ කුසළතා වෙනුවෙන්, තාවකාලිකව, ගෞරවනීය ලෙස, ඊළඟ නිළයට උසස් කිරීම. නමුත් වැටුප් ලැබෙන්නේ පරණ නිළයට අදාළවයි.  එමෙන්ම, අගනා සේවා කාලයක් නිමකොට, විශ්‍රාම ගන්නා අවස්ථාවේදී ද, ඒ සේවය ඇගයීම සඳහා, ගෞරවාන්විතව ඊළඟ නිළයට උසස් කරනවා. එසේ කිරීම හැඳින්වීම සඳහා තිබෙන්නේ, ප්‍රංශ භාෂාවේ වචනයක්. 'Brevet - බ්‍රවේ' යනුවෙන් තමයි හඳුන්වන්නේ. අපි හිතමු ෆොන්සේකා මහතාට, බ්‍රවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දුන්නා කියා. එවිට ඔහුට පුළුවන්, එම නිළය ඇඳලා සිහිවටන ඡායාරූපයක් ගන්න. සේනාධිනායකයා අනුමත කරනවානම්, ඔහුට පිදෙන ගෞරවාචාර පෙළපාලියකට නිළ ඇඳුමෙන් සහභාගි වෙන්න.  ඔහුට පුළුවන් තම නමට ඉදිරියෙන් බ්‍රවේ ෆීල්ඩ් මාර්ෂල් කියලා ලියන්න. නමුත් සේනාධිනායකයාගේ කැමැත්ත අනුව, බ්‍රවේ උසස්වීමක් වෙනුවට, ස්ථිර උසස්වීමක් වුණත්, දෙන්න පුළුවන්. (විශ්‍රාම ගැනීමෙන් පසු, හමුදාවේ මේජර් සහ ඊට ඉහළ නිළවලට අයත් නිළධාරීන්ට, එලෙස තම නමට ඉදිරියෙන් නිළය ලියා විශ්‍රාමික යන්න සඳහන් කිරීමේ වරප්‍රසාදය තිබෙනවා, සේනාධිනායකයා විසින් ඔහුගේ අධිකාරිය Commission ඉවත් කර නැත්නම්) 

   හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියනවා. ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් විශ්‍රාම ගියත්, ඔහු හැමදාම සේවයේ ඉන්න විදිහටයි සළකන්නේ. එය නීතියක් නොවේ සම්ප්‍රදායක්. එය ඒ නිළයට කරන විශේෂ ගෞරවයක්. නමුත්, යුද්ධයක් ආවොත් ඔහුව කැඳවන්නේ නැහැ සංග්‍රාමික කටයුතු සඳහා. ඒ වුණත් ඔහුගෙන් විශේෂඥ උපදෙස් ගන්න පුළුවන්.

   මක්කිව්වා........? අනේ අම්මපා, ඇහුවොත් අහන්නේ ඉතිං ඔහොම දෙයක් තමා. ඔහෙ නෑ අනේ......මෙතෙක් කල් ලෝකයේ කිසිම කාන්තා නිළධාරිණියක්, ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දරලා නැහැ. හේතුව?........හේතුව ඉතිං මං දන්නවයැ. සුදුසු අය නැතුව ඇති. බලමුකෝ අපිටවත් එක්කෙනෙක් හදන්න පුළුවන් වෙයිද කියලා :D

   අපේ පොඩ්ඩි නම් ගෙදර ඉන්නේ ෆීල්ඩ් මාර්ෂල් වගේ වෙන්න ඇති. ෆීල්ඩ් මාර්ෂල් ඔමායා ගෙන් කාලෙකින් කිසිම ආරංචියක් නැහැ. ඊශ්‍රායලය පාලනය කරනවාද දන්නේ නැහැ. අපේ බස්සි නම් හොඳයි ෆීල්ඩ් මාර්ෂල් තනතුරකට. නියමෙට වැඩේ දෙයි.

   දැන් එක ප්‍රශ්නයක් තියනවා. ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලංකාවේ හදලා නිළ ඇඳුම එක වරක් හෝ අඳින්න අවසර දුන්නොත්, මොකක්ද උරහිසේ පළඳින නිළ ලාංඡනය? මේ ලිපියේ පළමුවැනි ඡේදයේ වම් පැත්තේ පෙන්වා තිබෙන්නේ බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල් වරයකු තම හිස්වැස්මේ පළඳින ලාංඡනයයි. අපිටත් ඒ ඇසුරෙන් ලාංඡනයක් හදාගන්න වෙනවා. (cap badge)

   මෙන්න බලන්න ලෝකයේ රටවල් කීපයක ෆීල්ඩ් මාර්ෂල් තනතුරට අදාළව උරහිසේ පළඳින නිළ ලාංඡන.
field_1
   මෙහි දැක්වෙන ලාංඡන හතර පිළිවෙලින් එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලට අයත්. මේ ඇසුරෙන් තමා අපේ රටටත් ලාංඡනයක් සකස් කරගන්නට සිදුවන්නේ. මා හිතනවා එය බොහෝදුරට, එක්සත් රාජධානියේ ලාංඡනයට සමාන වනු ඇති අතර, එම ලාංඡනයේ ඇති ඔටුන්න වෙනුවට, අපේ රටේ රාජ්‍ය ලාංඡනය යෙදෙනු ඇති. 

   මොකක්ද මේ සෑම ලාංඡනයකම පාහේ දකින්නට ලැබෙන්නේ. ධාන්‍ය කරල් හෝ ශාක පත්‍ර ලෙස අර්ධ කවාකාර හැඩයක් තුළ, යෂ්ඨි දෙකක් වැනි ලකුණක් දකින්නට ලැබෙනවා. ඉන්දියානු ලාංඡනයේ නම්, කඩුවක් වැනි ලකුණකුත් තිබෙනවා. නමුත් ලෝකයේ බොහොමයක් ෆීල්ඩ් මාර්ෂල් ලාංඡනයේ දක්නට ලැබෙන්නේ, යෂ්ඨි දෙකක ස්වරූපයයි. මේ යෂ්ඨිය ෆීල්ඩ් මාර්ෂල් වරයකු සතු අධිකාරී බලය නිරූපණය කරනවා. 

Jean-Baptiste,_comte_Jourdan,_maréchal_de_France_(1762-1833)


යෂ්ඨිය - Baton මෙන්න මේ වගේ දෙයක්
d4600_1

    මා හිතනවා සංක්ෂිප්තව කරුණු දැක්වීමක් නිසා මීට වඩා විස්තර ඇතුළත් කිරීම සුදුසු නොවන බව. ඔබට ඇතිවන ගැටළු මෙහි සඳහන් කරන්න, හැකි උපරිමයෙන් පිළිතුරු දෙන්නම්. 



2015 ජනවාරි මස 14 වැනි දින 2354 පැය

75 comments :

  1. සෑහෙන්න වටින විස්තරයක්.. මගේ හැඟීම නම් ෆොන්සේකා මහත්තයට මොන නිලය පිරිනැමුවත් ඒකේ වරදක් නෑ..

    ReplyDelete
    Replies
    1. මමත් එහි වරදක් දකින්නේ නැහැ. මේ නිලය පිරින්මනවාට වඩා වැදගත් වන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය යලි ලබාදීමයි.

      Delete
  2. සෑර්, ෆීල්ඩ් මාර්ශල් සූකොව් තමා අපි දන්නේ, අර රුසියන් පොර.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා නේද?

      [im]http://image2.findagrave.com/photos250/photos/2005/215/6454524_112319231523.jpg[/im]

      Delete
  3. සැටලයිට්ට වැඩකුත් නැති එකේ ඕකක් දීල පැත්තකින් තිව්වොත් නරකද

    ReplyDelete
    Replies
    1. සැටලයිට් ඔය ඉන්න විදිහට හිටියම හොඳටම ඇති.

      Delete
  4. මම හිතුවේ මේ තනතුර දෙන්න රටක හමුදා ශක්තියත් යම් මට්ටමක තියෙන්න ඕනේ කියලා.
    ඔබගේ විස්තරයෙන් පස්සේ මට නම් හිතෙන්නේ මේක දෙන්න ඕනේ පචවන්සට කියලා, මොකෝ එයානේ මුලූ ලෝකෙම එක්ක ලෝක යුද්දේ කලේ සින්හල පත්තර වල

    ReplyDelete
    Replies
    1. හමුදාවේ විශාල ශක්තියක් තියෙන්න ඕනේ. ඒ නිසයි මම කිව්වේ හමුදා කීපයක් එකතුවෙලා කරන මහා යුද්ධයකට අනදෙන්නයි ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් ඕනේ කියලා.

      Delete
  5. එතකොට ඕක දුන්නට පස්සේ එයා හමුදාපතිට උඩින්ද ඉන්නේ ? හමුදාපතිට නියෝග දෙන්න එයාට බලයක් ලැබෙනවද ?

    ReplyDelete
    Replies
    1. ත්‍රිවිධ හමුදාපති වරුන්ට සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති යන අයට ඉහලින් ඉන්නේ. නමුත් නියෝග දෙන්න බැහැ සක්‍රිය සේවයේ නැති නිසා.

      Delete
    2. හප්පේ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ. මම මේ මිලිටරි ජුන්ටාවක යටත් වැසියෙක් වෙන්න හිත හදා ගන්න ගමන් හිටියේ... :D

      Delete
  6. සියල්ල පැහැදිලියි තුමනි.

    ReplyDelete
  7. මේකට කොහොමද දේශපාලනික නොවෙන කමෙන්ට් එකක් දාන්නෙ.... හි හි... දේශපාලනික, හමුදාමය පැත්තෙන් නොවුනත් මම සරත් ෆොන්සේකට පුද්ගලයෙක් විදිහට කැමති නෑ... එතකොට අහන්න වෙන්නෙ මේ මර්වින්ට දුන්න ආචාර්‌ය උපාධිය වගේ එකක් ද කියල තමා ....

    ReplyDelete
    Replies
    1. මෙයට දේශපාලනය ගාවාන්න අවශ්‍ය නැහැ. මම කතාකරන්නේ සරත් ෆොන්සේකා ගැන නොවේ. ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැනයි. ඔබ ඔහුට අකමැති වීම පුද්ගල නිශ්‍රිත සාධකයක් විනා දේශපාලන කරුණක් නොවේ. ෆොන්සේකා කියන්නේ ලෝකයේ ඉහලම හමුදා ඇකඩමි වලින් උපාධි ලැබූ ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියෙක්. ඒ නිසා ඔහුට මේ තනතුර දීම කිසිදු උසස් අධ්‍යාපනයක් නැති පුස්සෙකුට දෙන ආචාර්ය උපාධියකට සම වන්නේ නැහැ.

      Delete
  8. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයටත් මේක දෙනවද..? සොරි වෙන්න ඕන, මොකෝ එයා කියනවා එයාලු යුද්ධය ඉවර කලේ. ෆොන්සේක කලේ බැටරි කෑලී වයර් අරවා මේවා හොරකම් කරපු එකය කියලා.

    එතකොට අර අනුරුද්ධ රත්වත්තෙ කියන මිනීමරුවට ජෙනරාල් හම්බ උනේ කොහොමද..?

    ReplyDelete
    Replies
    1. anurudda rathwaththe kiyanne mini maruvek nemei..eka ee kaale thibba UNP anduwen eyage charitha gathanayata karapu vadak..usaviyen eyava nidahas kala naduven..ekath avurudu ganak nadu ahala..eyata genaral pattama dunne jaffna allanna mission eka karapu hinda.

      Delete
    2. ඔය මිනීමරු චෝදනා තියෙන එකෙක්වත් මිනී මැරුවේ නෑ. මැරෙව්වා. ඡන්දයක් වෙලාවේ මිනිස්සු අමු අමුවේ ඝාතනය කලේ කව්ද? මට ඒ ටවුන් එකේ නම මතක නෑ. බල්ලො බලලු වගේ වෙඩි තියලා, කපලා කොටලා මැරුවේ.

      Delete
    3. අනුරුද්ධ රත්වත්තේ ගැන කතාකරන්න ගියොත් දේශපාලනය සම්බන්ධ වන නිසා මා ඒ ගැන කිසිවක් කියන්නේ නැහැ.

      Delete
    4. @ මාතලන්. ටවුන් එක 'උඩතලවින්න' නේද?

      Delete
    5. ආමි එකෙන්, පොලීසියෙන් බල්ලන් බලලුන් වගේ මිනිසුන් මරා දාපු නැති නගරයකින් බේතකට අබ ඇට ග්‍රෑම් සීයක් හොයලා දෙන්න!

      Delete
    6. @ රසිකොලොජිස්ට් - RasikologistJanuary 17, 2015 at 3:56 AM

      ප්‍රස්තුතයට අදාලව අදහස් දක්වන්න දන්න පරණ බ්ලොග් කාරයෙක් හොයලා දෙන්න.

      Delete
    7. මේ අදහස් දැක්වීම ඔබේ ලිපියේ ප්‍රස්තූතය ගැන නොව මාතලන් මතු කළ රත්වත්තේ-උඩවිලතැන්න කේස් එක ගැන කෙරෙන එකකි.

      මා සඳහන් කළ අබ ඇට ග්‍රෑම් සීය සෙවීම ගැන කීමට පරණ බ්ලොග්කාරයෙක් ම අවශ්‍ය නොවේ. වසර 1988-89 කාලයේ ලංකාවේ සිටි ඕනෑම වැඩිහිටියෙකුට එය විස්තර කිරීමට හැකිවෙනු ඇත!

      Delete
  9. ෆීල්ඩ් මාෂල් තනතුරට ෆොන්සේකා මහතා උසස් කිරීමේ වරදක් දකින්න අමාරුයි. හැබැයි යුද්ධයට නායකත්වය දීපු නිසා එයාට ඒවගේ ගරු කිරීමක් කළා නේද හිටපු ජනාධිපති තුමා ..ඇයි "කෝට් මාෂල්" කලේ :P

    මට තව ප්‍රශ්නයක්, ඔය යුද්ධේ කරනකොට 2006- 2009 රටේ හමුදාපති කෙනෙක් ඉඳලා නෑනේ , ෆොන්සේකා කියලා කෙනෙක් ඉඳලම නෑ. එතකොට කොහොමද එයාට ඔය තනතුර දෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. අනේ ඉවාන්. තරහවෙන්න එපා. මම මුලින්ම කිව්වනේ දේශපාලනය කතාකරන්නේ නැහැ කියලා.

      Delete
  10. කොච්චර බලසම්පන්න වුණත් ඇමෙරිකානු හමුදාවෙ ෆීල්ඩ් මාෂල් කෙනෙක් නෑ. තරු පහේ ජෙනරල් කෙනෙක් තමා ඉන්නෙ ඉහලම නිළය විදිහට. අර ලාංඡන සැට් එකට රුසියාවෙ එකත් අමුණන්නකො විචාරක තුමා. කොච්චර වුණත් දැන් එහෙම රටක් තියෙන බව ලෝකෙට දැනෙනවානෙ. (අහන්න ඉවාන් ෆවුලූෂා ගෙන් බොරුනම්)

    ReplyDelete
    Replies
    1. ඇමරිකානු හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් කියන නමෙන් නෙවෙයි ඉන්නේ. General of The Army කියන නමෙන්. අද ඒ තනතුර නැහැ.

      Delete
    2. The United States has never used the rank of field marshal; however, General Douglas MacArthur was field marshal of the Philippine Army from August 24, 1936, until December 31, 1937.

      On December 14, 1944, Congress created the rank of "General of the Army," a five-star rank equivalent to that of field marshal in other countries. Two days later, George Marshall was promoted to this rank, becoming the first five-star general in American history. A Washington columnist suggested (with tongue in cheek) that Marshall disliked the plan because five stars was the rank of field marshal and the Chief of Staff could then be addressed as “Marshal Marshall.”

      Delete
    3. එංගලන්තයේ හිටපු අගමැති ජෝන් මේජර් කැප්ටන් කමෙන් උඩට උසස්වීම එපා කියලා ආමි එකෙන් අස්වුනෙත් ඔය හින්දමනේ, නේද?

      Delete
    4. ඉස්සර අපි විහිලුවට කියනවා, ජෝන් මේජර් මැරුනොත් එහෙම, ජෝන් ලෙෆ්ටිනන්ට් කර්නල් නිළයට උසස් කරයි නේද කියලා.

      Delete
  11. මොන්ට්ගෝමරි දැම්ම විචාරක හර්මන් ගෝරින්ග්, අර්වින් රොමෙල්, ජෝසප් බ්‍රොස් ටිටෝ අමතක කලා නේ.. ඕවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඈ... :-D

    රැජිණගෙ හබී ෆිලිප් කුමාරයත් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්.. පුතා චාර්ල්ස් කුමාරයත් මෑතකදී උසස් කලා ඒ තනතුරට.. හැබැයි චාර්ල්ස් කවදාවත් ආර්මි එකේ හිටියෙ නෑ.. එයා හිටියෙ නේවි එකෙයි එයාර් ‍ෆෝර්ස් එකෙයි..

    ReplyDelete
    Replies
    1. මෙය හැකිතරම් කෙටි ලිපියක් හැටියට අවසන් කරන්නයි මට ඕනේ වුනේ. ඒ නිසයි හැම දෙයක්ම හැඳින්වීම් මට්ටමෙන් දැම්මේ.

      බ්‍රිතාන්‍ය හමුදාවේ ජ්‍යොෂ්ඨත්වයෙන් ඉහල නාවික හමුදාවයි. ඒ නිසයි රජ පවුලේ අයට නාවික හමුදාවේ තනතුරු දෙන්නේ.

      Delete
  12. අගනා විස්තරයක් විචාරක තුමා..
    තනතුර කෙසේ වෙතත් ඔහුගේ ප්‍රජා අයිතිය නැවත ලබාදිය යුතුයි.

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  13. //ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්ය වන්නේ, විශේෂයෙන් මහා යුද්ධ පවතින සමයක, විශාල යුධභූමි වල, සමහරවිට රටවල් කීපයක, එකවර යුද හමුදා කීපයක් යොදවා, අණදීමේ කාර්යභාරය ඉෂ්ඨ කරන්නයි.//

    //දෙවැනි ලෝක යුධ සමයේදී, මේ ෆීල්ඩ් මාර්ෂල් වරයා, ඉන්දියාවේ සිට සිය අණදීමේ කටයුතු කරද්දී, ලංකාවේ හමුදාවත් ඔහු යටතේ තිබුණා.//

    //අවසාන වරට හිටිය ෆීල්ඩ් මාර්ෂල්, තමන් විසින්ම තමන්ව එම නිළයට පත් කරගත්තා. ඒ තමයි අද ඊජිප්තුවේ ජනාධිපති ලෙස ක්රියා කරන, අබ්ඩෙල් ෆාටා එල් සිසි.//

    //එහෙනම් මොකටද ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් නිළය දෙන්න හදන්නේ?//

    හපොයි...ඔන්න දේශපාලන මුකුත් කීවේ නෑ. :O

    නොදන්න විස්තර ගොඩක්. දැන් කල්පනා කරන්නේ කෙල්ලෙක් ඔය තත්වෙට ගේන්ට බැරි ඇයි කියන එක.:D

    ReplyDelete
    Replies
    1. යුද්ධයක් නිමාවීමෙන් පසුවත් උසස්වීම් දෙන්න පුළුවන් කියලා මම කියලා තියෙන්නේ. ඒක මගේ අදහාක් නෙවේ. ලෝකයේම සම්ප්‍රදාය.

      ඔයා ටිකක් උත්සාහ කරන්නකෝ ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් වෙන්න :e

      Delete
  14. අගනා විස්තරයක්.මට මතක විදියට යුද්දෙන් පස්සේ නේද ගරුක්කිරීමක් ලෙස ජෙනරාල් කලේ එහෙම උසස්වීමක් දීලා තියෙනවා නම් තවත් මට්ටමකට උසස්කිරීම අවශ්‍ය නැහැ කියන එකයි මගේ මතය. එහෙම කරනවා නම් හසලක ගාමිණී වගේ විරුවන්ට අඩුගානේ උපලුතිනන් පට්ටමක්වත් දෙන්න ඕන. ගරුකිරීමක් ලෙස.

    ReplyDelete
    Replies
    1. @ මහා කළු සිංහලයාJanuary 15, 2015 at 2:24 PM

      ඇගයීම ගැන ස්තුතියි. මමනම් හිතන්නේ ජෙනරල් නිලය ප්‍රමාණවත් නැහැ කියලයි. වර්තමානයේදී සහ අනාගතයේදී අපේ හමුදාවේ කිසිම යුද්ධයකට සහභාගී නොවූ අයත් ජෙනරල් නිලයට උසස් වෙනවා. එවිට ඔවුන්ද නිලය අතින් ෆොන්සේකාට සමානයි. එය ටිකක් නොගැලපෙනවා වගේ.

      මා හිතනවා යුදහමුදාවේ ප්‍රතිපත්ති පිළිබඳව මා ඔබට කරුණු පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියා. ලෝකයේ කොහෙවත් මියගිය සෙසු නිළයකු (other rank) මියයාමෙන් පසු (posthumously) අධිකාරියට (Commission) පත්කරන්නේ නැහැ. අධිකාරියට පත්කරන්නේ ජීවත්ව සිටින සෙබළකු පමණයි. අදටත් සාමාන්‍ය සෙබළුන්ට පුළුවන් විශේෂ දක්ෂතා සහ කුසලතා මත අධිකාරියට පත්වන්න. (අජන්ත මෙන්ඩිස් බොම්බොඩියර් නිලයේ සිට, 2/ලුතිතන් නිලයට පත්වුනා) ලෝකයයේම පිළිගත්, සම්මත ක්‍රමවේදය වන්නේ මියගිය සෙබලා ඊළඟ නිලයට උසස් කිරීම සහ, ඔහුට ලබාදිය හැකි ඉහලම ගෞරව සම්මානය ලබාදීමයි. ඒ නිසයි ගාමිණී කුලරත්න කෝප්‍රල් නිලයට උසස් කොට, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයකුට ප්‍රදානය කෙරෙන ඉහලම වීර පදක්කම වන 'පරම වීර විභූෂණය = PWV' ප්‍රදානය කළේ. (ජීවත්ව සිටින කෙනෙකුට එම පදක්කම දුන්නොත් ඔහු ඉදිරියේ ජනාධිපතිද නැගී සිටිය යුතුයි. හමුදාපතිගේ සිට පහළට සියලු දෙනා ආචාර කලයුතුයි. ෆීල්ඩ් මාර්ෂල් ඉදිරියේ ජනාධිපති නැගිටින්නේ නැහැනේ. පසුගිය නොවැම්බර් මස 18 වැනිදා රාත්‍රී 10 ට පමණ, අලිමංකඩ කෝප්‍රල් ගාමිණී කුලරත්න ස්මාරකය අබියස, කඳුලින් බර දෙනෙතින්, මා විනාඩියක් සීරුවෙන් සිට, ඔහුට ගෞරව දක්වා ආවා.) කෝප්‍රල් කුලරත්න වීරයෙක් බව අවිවාදිතයි. නමුත් ඔහු සටන් කළේ එක කඳවුරක් වෙනුවෙන්. ෆොන්සේකා සම්පූර්ණ යුදහමුදාවක් මෙහෙයවමින් සටන් කලේ රටක් වෙනුවෙන්.

      Delete
    2. ඇත්තටම මම කමෙන්ට් එක දැම්මාට පස්සේ මතක් වුනා ජනරාල් මට්ටමට උසස්වීම දුන්නත්.ඔහු තරම් සේවයක් සිදු නොකරන ලද අයටත් ජනරාල් කම තියෙන එකේ ඔහු ට අනිවාර්යෙන්ම ඊට ඉහල නිලය දිය යුතු බව. අනෙක් දේ තමයි ආරක්ෂක ලේකම් හෝ ඇමති තනතුරක් දැරීමට සුදුසු ඔහුට ඇයි නිකම්ම උපදේශක කමක් විතරක් දුන්න එක නම් හරි මදි වගේ.

      පරම වීර විභූෂණය ලත් කෙනෙකුට හමුදාපති ජනාදිපති ඇතුළු සියලු දෙනා ආචාර කරන බව දන්නේ අදයි . ඒ ගැන විස්තරයට බොහොම ස්තුතියි.

      අනෙක් දේ.
      ඔබ පලකල කටකතාව නිවරැදි විය යුතුය. ඒ ගැන ඔබව විවේචනය කලේ සාධක නොපෙන්වූ බැවිනි. කෙසේ වෙතත් සිදුවූ දෙය පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවා වසන් කරන ලද බවට සැක මතුවේ. ජනතාවට තොරතුරු ලැබීම අවහිර කිරීම යහපාලනය නොවේ. තොරතුරු වසන් කිරීම පිටුපස යම් කරුණු තිබෙන්නට හැක. මාධ්‍ය ප්‍රකාශක ලා පවසන කරුණු සත්‍යම නොවේ. මෙය ඔබ පැවසු කරුණට මෙන්ම මා පැවසු කරුනටද එකසේ සත්‍යය.

      Delete
    3. ස්තුතියි. ඉදිරි අනාගතයේදී ජෙනරාල් වර්ය් ඉඳියි කිසිම පදක්කමක් නැති. ඒ කියන්නේ යුද්ද කරලා නැති. අන්න ඒ නිසයි ෆොන්සේකාවනි අය විශිෂ්ඨයන් වන්නේ. ඔහුට යලිත් ජනාධිපති අමාව දී ප්‍රජා අයිතිවාසිකම් ලබාදීම සඳහා මේ දිනවල අදාළ නෛතික කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. දන්නවනේ අපේ රටේ නීති ක්ෂේත්‍රයේ වැඩ බොහොම හෙමින් වෙන බව.

      රටේ මහජනතාව ඇත්ත කරුණු ගොඩක් දන්නවා. නමුත් කියන්න බයයි ඒවා මොන පැත්තට පෙරලෙයිද කියා හිතන්න අමාරු නිසා. මා තොරතුරු ගන්නේ කොහෙන්ද කියා ඔබට හොඳින්ම හිතාගන්න පුළුවන් ඇති. මමත් කළේ ඉතා විශ්වාසදායක තොරතුරු රැසක සංක්ෂිප්තයක් දැක්වීම පමණයි. හේතුව මට මොනවගේ තර්ජන එල්ලවේදැයි හිතන්නට අමාරු නිසා.

      Delete
    4. නිවැරදි කිරීම් 1. ජෙනරල් වරු, 2. ෆොන්සේකා වැනි, 3. ජනාධිපති සමාව,

      Delete
    5. පරම වීර විභූෂණය ලත් කෙනෙකුට හමුදාපති ජනාදිපති ඇතුළු සියලු දෙනා ආචාර කරන බව දන්නේ අදයි . ඒ ගැන විස්තරයට බොහොම ස්තුතියි.

      Delete
  15. නොදැන නැත්නම් වැරදියට හිතන් හිටි කරුණු ගොඩකට උත්තර ලැබුණා. මං ඇත්තටම හිතන් හිටියේ ෆීල්ඩ් මාශල් කෙනෙක් (හෝ ඊට සමාන අනිත් හමුදා නිළයක්) ඉන්න පුළුවන් හමුදාවේ විශාලත්වය අනුව පමණයි කියල.. අනික විශ්‍රාම ගියාම ප්‍රමෝශන් දෙන්න පුලුවන් බව, විශ්‍රාම ගියාම හමුදා නිළය භාවිතා කරන්න පුළුවන් මේජර් නිළයෙන් ඉහල අයට පමණයි යන්න.. තව Brevet Promotion ඔය වගේ ගොඩයි.. වර්ථමාන ලංකාවේ හමුදාවේ විශාලත්වය අනුව අපිට ඉන්න හමුදාපතිවරයා ලුතිනන් ජනරාල් වරයෙකු නේද? සාමාන්‍යෙන් හමුදාපතිවරයෙකු ජනරාල් නිළයට උසස් කරන්නේ නම් ඒ ඔහු විශ්‍රාම යන අවස්ථාවේදී කෘතගුණ සැළකීමක් වශයෙන් පමණයි නේද? මේ පිළිබඳවත් පොඩි පැහැදිලි කිරීමක් කරනවද විචාරක තුමනි.. දැනුම ලබා දුන්නාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි කල්‍යාණ.

      ඇත්තටම ෆීල්ඩ් මාර්ෂල් නිලය සක්‍රිය සේවයේ යේදී සිටින නිලධාරියකුට දෙනවානම්, අපේ රටේ විදිහට බැලුවොත් යුධ, නාවික, ගුවන්, යන හමුදා තුනම එකට එකතු කලාම තිබෙන ප්‍රමාණයේ, යුද හමුදාවක් අවශ්‍යයි. නමුත් දැන් යෝජනා වී තිබෙන්නේ, සේවය ඇගයීමේ ගෞරවයක් ලෙස මේ නිළය ප්‍රදානය කිරීමයි. එය ලෝකයේ බොහොමයක් රටවල සිදුවෙනවා. මහා යුද්ධයක් අවසන්වී කලක් ගිය පසුව, ඒ යුද්ධය පැවති සමයට වඩා කුඩා හමුදාවක් තිබියදී වුවත්, ගෞරවාන්විතව ෆීල්ඩ් මාර්ෂල් නිළය ප්‍රදානය කරනවා.

      දැනට ශ්‍රී ලංකා යුද හමුදාධිපති දරන්නේ ලුතිතන් ජෙනරල් නිළයයි. ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති Chief of Defence Staff = CDS යුද හමුදා නිලධාරියකු නම්, (ඔබ දන්නවා ඇති එය කාලීනව සහ ජ්‍යොෂ්ඨත්වය අනුව නාවික හමුදාවට සහ ගුවන් හමුදාවටත් ලැබෙන බව) ඔහු ජෙනරල් නිලයට උසස් කරනවා. ඔහු නිළ ඇඳුම් අඳින ජෙනරල් වරයෙක්.

      ත්‍රිවිධ හමුදාපතිවරුන්, විශ්‍රාම යනවිට, ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන්, ඊළඟ නිලයට උසස් කරනවා. නමුත් නිළ ඇඳුම් අඳින්නේ නැහැ.

      Delete
  16. ඉහත ඉවාන් අහල තියෙන ප්‍රශ්නෙම මටත් ඇති වෙනවා 2006 2009 තීරණාත්මක යුද්දයක් ඇති ඌ වකවානුවක යුධ හමුදා පති වරයෙක් නෑ..එකේ හානිය මෙම නිලය හරහා මැකෙයි ද

    ෆීල්ඩ් මාෂල් කෙනෙක් පත් කරන්න හමුධාවක තිබිය යුතු අවම සාධක මොනවා හරි තියෙනවද
    ex සෙබළු මෙහ් ප්‍රමනෙට වඩා වැඩිවෙන්න ඕන වගේ එකක්..

    ReplyDelete
    Replies
    1. 2006 - 2009 කාලයේ හමුදාපති වරයකු සිටියේ නැහැ කියන එක ඇත්තටම හරිද වැරදිද කියලා අපි දන්නවනේ ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ම. එය විධායක ජනාධිපති විසින් ගන්නා ලද තීරණයක් විනා, ඇත්ත තත්වය නෙවෙයි. මා හිතනවා වර්තමාන ජනාධිපති විසින්, මේ සියල්ල නිවැරදි කරනු ඇතැයි කියා. ඒ අඩුපාඩු එවිට මැකීයනු ඇති. පොඩි රහසක් කියන්නද. මේ දවස්වල හමුදා කඳවුරු රාශියක ෆොන්සේකා මහතාගේ ඉවත්කළ ඡායාරූප, සිහිවටන ඵලක ආදිය, හෝ ගාලා හොයනවා නැවත සවිකරන්න. :e

      සක්‍රිය සේවයේ යෙදෙන ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් පත්කරන්න නම්, අපේ රටේ ප්‍රමාණය අනුව බැලුවොත්, අපේ ත්‍රිවිධ හමුදාවම එකට එකතු කලාම ඉන්න සෙබළුන් ගණනට සමාන, යුද හමුදාවක් තිබිය යුතුයි. නමුත් දැන් යෝජනාවී තිබෙන්නේ, සක්‍රිය සේවයේ නොයෙදෙන, ගෞරවනීය ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් නිසා, හමුදාවේ ප්‍රමාණය බලපාන්නේ නැහැ.

      Delete
    2. ඒ රහස නම් මගේ හිතවත් හමුදා නිලදාරියෙක් මාර්ගෙන් මටත් ලැබුනා...

      අද අපි දන්නා බව ඇත්ත නමුත් තව අවුරුදු ගානකින් ඉස්සරහට ඉන්න අපේ පරපුර ඉතිහාසය හදාරනකොට ලොකු අඩුවක් දැනේවි අත්තොනෝමතික විදයකයෙන් කරපු දේවල් නිවැරදි නොකලොත්

      Delete
    3. නෑ නෑ ඉතිහාස පොතට ඒ ඔක්කොම නිවැරදිව එකතුවෙයි මහින්ද රාජපක්‍ෂ ද්‍රෝහියෙක් ලෙස සටහන් වෙයි.

      Delete
  17. මගේ අදහස නම් යුද්දේ අවසන් නිසා දැන් ලංකාවේ හමුදාවල ප්‍රමාණය අඩු කළ යුතු බවයි. නැතිනම් නගර අලංකාර ජටයුතු තමයි කරන්න වෙන්නේ ෆීල්ඩ් මාෂල්ටත්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම අඩුකිරීමක් සිදුවෙමින් පවතිනවා. ස්වේච්ඡා හමුදාවට අලුතෙන් බඳවා ගන්නේ නැහැ. වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, නීති, වැනි අංශ සඳහා නිලධාරීන් සීමිත සංඛ්‍යාවක් පමණයි ස්වේච්ඡා හමුදාවට ගන්නේ. සෙබළුන් ගන්නේ නැහැ. රටේ විශාලත්වය සහ ජාතික ආරක්ෂාව ගැන කරුණු සලකා බලා අවශ්‍ය අවම ප්‍රමාණය පමණක් පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබෙන බවයි මා දන්නේ.

      අර තරු හයේ ආමි කාරයාගේ කතාව මෙතනත් දාන්න.

      Delete
  18. ශා... අගේ ඇති තනතුරක් නෙව.

    ReplyDelete
    Replies
    1. දෙයක් වේ නම් යම් සුදුස්සාටම ලැබිය යුතු.

      Delete
  19. එයා ෆීල්ඩ් මාර්ෂල් උනාම අපිට පඩි වැඩි වෙයිද ???? (රජයේ සේවකයෙක්)

    ReplyDelete
    Replies
    1. කොහෙද ඩෝ ගිහිල්ල උන්නෙ ......
      දකින්නත් නැහැ......

      Delete
    2. අනේ මැලේ නන්නානේ.

      එයා ෆීල්ඩ් මාර්ෂල් වුණා කියලා අපේ පඩි වැඩිවෙන්නේ නෑ. නමුත් දීර්ඝ කාලයක් අසාධාරණයට ලක්වූ ඔහුට සාධාරණය ඉෂ්ඨ වෙනවා.

      Delete
  20. අලුතෙන් තනතුරක් දෙන එක තේරුමක් නෑ කියල හිතුන මුලදී නමුත් ඔබ කියා ඇති මෙන්න මේක,

    //ඇගයීම ගැන ස්තුතියි. මමනම් හිතන්නේ ජෙනරල් නිලය ප්‍රමාණවත් නැහැ කියලයි. වර්තමානයේදී සහ අනාගතයේදී අපේ හමුදාවේ කිසිම යුද්ධයකට සහභාගී නොවූ අයත් ජෙනරල් නිලයට උසස් වෙනවා. එවිට ඔවුන්ද නිලය අතින් ෆොන්සේකාට සමානයි. එය ටිකක් නොගැලපෙනවා වගේ//

    බැලුවම හිතෙනව අනිවාර්යෙන්ම එතුමාට මෙම තනතුර දියයුතු බව.

    අතුරු ප්‍රශ්නයක් අහන්න අවසර.
    ලෝකයේ රටවල තියන සමාන නිලතල අනුව අපට පුළුවන්ද ඒ ඒ අය පිළිබඳ යම් ඇගයීමකට එන්න?
    මේක උදාහරණයකින් පැහැදිලි කරන්නං.
    ඔන්න අපේ රටේ තියනව අන්තර් සමාජ ක්‍රිකට් තරග. මේවයෙන් දිනන පරදින කණ්ඩායම් ඉන්නව. නමුත් අපිට බෑ ලෝකයේ අනෙක් රට‍වල තියන අන්තර් සමාජ කණ්ඩායම් එක්ක අපේ කණ්ඩායම් සසඳන්න.
    මෙන්න මේ වෙලාවල ක්‍රීඩාවෙදි නං තියනව මේ වගේ කණ්ඩායම් තරග. පහුගිය දවස් වලත් තිබුනෙ. ඒ වෙලාවට දැනගන්න පුළුවන් කවුද හැබෑ දක්ෂය කියල.

    ඇමරිකාවෙ ජනරාල්ද ලංකාවෙ ජනරාල්ද වැඩකාරය කියල බලාගන්න ක්‍රමයක් නැද්ද? මම අහන්නෙ ක්‍රීඩාව වගේ සරළ තත්වයේ මිම්මක් ගැන නෙවේ. කොටින්ම කිව්වොත් රටවල් දෙකක මෙම තනතුරු දෙකක් දරන්නන් දෙදෙනෙකු අතර බරපතල ‍දක්ෂතා වෙනසක් වෙන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඉතාම කෙටි පිළිතුර රාජ්, ලෝකයේ සිටින සියලුම හමුදා නිළධාරීන් ලෝකයේ වෙනත් හමුදාවක ඉන්න සමාන නිලයේ නිළධාරීන් හා සමානයි. කිසිදු උසස් පහත් බවක් නැහැ. නිලයට පත්වීම කවදාද යන්න මත ජ්‍යොෂ්ඨත්වය තීරණය වෙනවා.

      Delete
    2. මෙතන විචාරක මහත්මයාගෙ පිළිතුර න්‍යායිකව නිවැරදි විය හැකියි. නමුත් ප්‍රායෝගිකව තත්වය වෙනස් බවයි මගේනම් හැගීම.

      අපි උදාහරණෙකට ගනිමු වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජගත් ජයසූරියව. (එයා හමුදාපති තනතුර බාරගන්නකොට නොතිබුණු රණවික්‍රම පදක්කමක් දැන් තියනවා. ලැබුනෙ කොහොමද කියන එක නම් පැහැදිලි නෑ.) දැන් එයාටත් ෆොන්සේකා මහත්තයට තියන පදක්කම්, හමුදා පාඨමාලා හැදෑරීමෙන් ලබාගත් දැනුම ආදිය සමානවම ඇති. ඒත් ඒ දෙන්න අහසට පොළව වගේ නේද?

      ඒ වගේ තමයි, සාමාන්‍යෙයන් යුදමය වාතාවරණයක් නැති රටක හෝ තාක්ෂණික හා වෙනත් පහසුකම් අඩු හමුදාවක ජනරාල් කෙනෙකුයි, ඇමරිකානු විශේෂ බලකායක සේවය කරපු ලෝකෙ පුරා විවිධ පාරිසරික තත්ව යටතේ යුධ මෙහෙයුම් කරපු “රේන්ජර්“ පුහුණුවක් ලබපු ඇමරිකානු ජනරාල් කෙනෙකුයි සමාන කරන්නත් බෑ නේද? හැබැයි ඉතිං ඇපලුයි අඹයි සංසන්දනය කරන්නත් බෑ තමයි...

      Delete
    3. @ AnonymousJanuary 18, 2015 at 12:01 AM

      අපලුයි අඹයි සංසන්දනය කරන්න බැහැ. අර ඇමරිකන් ජෙනරල් LTTE එකට පරදින්නත් පුළුවන්. අපේ ජෙනරල් කෙනෙක් ඉරානය යටත් කරගන්නත් පුළුවන්. උපක්‍රමික චින්තනයත් සෑහෙන්න බලපානවා.

      Delete
  21. බොහොමත් තුති ඔබ තුමාට කෙටියෙන් අපව දැනුවත් කලාට......
    අහවලා'S War ලියාගත්තු උන්දැ ...මේම පටියක් ගහගත්තෙ නැත්තෙ මුනා හරි ගැටලුවක් තියෙන්න ඇති....
    SF තුමාට නම් ඕක නැතත් ...ඔහුට නැති කරපු දෑ ටිකම ලැබෙන එක ලොකු දෙයක්.......
    ජෙනරල් (හිටපු) දැන්වත් දැනගත යුතුයි දේශපාලනය කියන්නෙ කුමක් ද කියා......
    ඔහු දේශපාලනය ගැන ඉන්නෙ "0".......
    මෙම රජයෙන් ඔහු ගෙ හැකියාවට සරිලන නිලයක් ලැබුනත් ...බොහොම කල්පනාවෙන් එම රාජකාරිය කල යුතුයි....
    ගෙදර ගිය මාමි ට දුන්න නම් හරි .....එයා බයිස් කෝප් එහෙක උන්න ...ඔය උත්තම කිට් එක දාගෙන....

    ReplyDelete
    Replies
    1. s war ගහපු පුස්සා නිකම්ම චුත වෙල ගියා.

      හරියටම හරි කෙන්ජි. ෆොන්සේකා ලොක්ක කරපු අමන මරි මෝඩ වැඩක් තමා දේශපාලනයට යාම.

      ගෙදර ගිය මාමි සර්පයා වගේ තවමත් දෂ්ඨ කරන්න බලනවා. උගෙන් ප්‍රවේසම් වියයුතුයි.

      Delete
    2. පසුව එකතුකිරීම. ඒ මාමි ඉන්න පිචර් එකේ මමත් ඉන්නවා. ඒ කාලේ අපි මාමි යුනිෆෝම් ඇන්දම ඒකෙ තියන තරු පටි වලට ඇඟිල්ල තියලා අහනවා මේ මොකද්ද කියලා. මාමි නපුන්සක වෙනවා ඒ වෙලාවට. ගාමිණී ෆොන්සේකාට සර් කියලා කතාකළේ මාමි.

      Delete
    3. පරම වීර විභූෂණය ලත් කෙනෙකුට හමුදාපති ජනාදිපති ඇතුළු සියලු දෙනා ආචාර කරන බව දන්නේ අදයි . ඒ ගැන විස්තරයට බොහොම ස්තුතියි.

      Delete
  22. හමුදාවෙ ඩිවිශන්ස් කීයක් තියෙන්න ඕනැද ෆීල්ඩ් මාශල් කෙනෙක් පත් වෙන්න.
    නැත්නම් ඒවගේ requirement එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඩිවිෂන් නෙවෙයි ප්‍රා, ආමි කීපයක් තිබිය යුතුයි සක්‍රිය active ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් හදන්න. නමුත් දැන් වෙන්න යන්නේ යුද්ධයෙන් පසුව ගෞරවනීය ලෙස උසස් කිරීමක්. එයට හමුදාවේ ප්‍රමාණය බලපාන්නේ නැහැ.

      Delete
  23. එතුමා අද මොනවා කථා කලත් මම බලා ඉන්නේ තමන්ගේ පුතා කරන දඟකාරකම් දිහා බලන පියෙක් වගේ. මොකද මේ නුහුරු දේවල් වලදී කියැවෙන දේවල් වලින් එතුමාව මනින්න බැරි නිසා. එතුමා ගැන ඉහළම තක්සේරුව අපි දැක්කේ යුද්ධය පැවති යුගයේදී. දේශපාළනයට එතුමා ඇද දාපු අය කවුරු වුණත් මම ඔවුන්ට වෛර කරනවා. මේ ලෝකේ වෙනත් කිසිම කෙනෙකුට මම වෛර කරන්නේ නෑ. එතුමාට ඔයිට වඩා ඉහල නිලයක් දුන්නත් මම කැමතියි. නිල වශයෙන් ලැබෙන්න අවශ්‍ය දේ හැරෙන්න ජනතාවගේ හදවතේ ඉහළම තැන එතුමාට හිමියි. යුද්ධය ජයගත් හමුදාපති කියන ගෞරවය මගේ හිතෙන් මොනම කාරණයක් නිසාවත් මැකෙන්නේ නෑ.

    ReplyDelete
  24. බොහොම හොඳ වෙබ් අඩවියක්නේ. අරූ මට කියල තිබුන. අද තමා ලින්ක් එක දැක්කේ. කාලෝචිත ලිපියක්.

    ReplyDelete
  25. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15415-2015-01-20-22-13-19

    ReplyDelete
  26. මම දාපු කමෙන්ට් එක අර වර්ඩ්ප්‍රෙස්ද මොකක්ද එකට ගිහින්..
    ලිපිය වගේම කමෙන්ටු ටිකත් මාර රසවත් වටිනවා..
    එල ද බ්‍රා

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }