හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

01 January 2015

තීරණාත්මක නව වසරක් උදාකර ගනිමු

Submitting a Vote
  මතකයි නේද මා ඔබෙන් නිවාඩුවක් ඉල්ලුවා මට අසනීප නිසා. දැන්නම් තරමක සුවයක් ලැබී තිබෙනවා. එහෙත් තවමත් දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා ඉන්න අමාරුයි. නමුත් පසුගිය දිනවල ලිපි කීපයක් ලිව්වේ, රටේ වෙන දේවල් දැක දැක, ඇහැ කණ පියාගෙන ඉන්න බැරි නිසයි. සමහරවිට විනාඩි දෙකතුනක් ලියා, විවේක ගනිමින් තමා ලිව්වේ. දැන් මම කරන්නේ, යතුරු පුවරුව දිහා බලාගෙන ලියමින්, වරින් වර පරිගණක තිරය දිහා බලා, යතුරු ලියනය කළ දේ නිවැරදි කිරීමයි.

   පසුගිය දිනවල මා මුලතිව්, කිලිනොච්චි, යාපනය, ඩෙල්ෆ්ට් දූපත, නාගදීපය, වැනි ප්‍රදේශ වල සංචාරයක යෙදුණා. ඒ අත්දැකීම් අළලා ලිපියක් ලියන්නට සූදානම් වෙද්දී තමයි, මට බෝවන ඇස් රෝගයක් වන Conjunctivitis වැළඳුනේ. වෛරස් රෝගයක් නිසා, බෙහෙත් කළත්, වෛරස් ක්‍රියාකාරිත්වය අවසන් වනතුරු, රෝගී ලක්ෂණ තිබෙනවා. සෑහෙන දුකක් වින්දා. කෙසේ වෙතත්, උතුරේ සංචාරය ගැන ලිපිය, ඔබ වෙත ගෙන එන්නට මා සූදානම්. 
   
   පසුගිය වසරේ ජනවාරි පළමුවැනිදා මා ලිව්වේ, හැමදාම සුබ අලුත් අවුරුද්දක් වේවා කියමුද? කර ගනිමුද? යන මාතෘකාවයි. මේ වසරේදී, මුළු රටම ජනාධිපතිවරණ උණුසුමකින් ඇළලී ගොස් තිබෙන නිසා, එයින් පිට යමක් ලියන්න අමාරුයි. ඒ නිසා මා හිතුවා ඔබට කියන්නට, රටේ අනාගතය ගැන අතිශයින් තීරණාත්මක ජනාධිපතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේදී ඉතා ස්වාධීනව, මධ්‍යස්ථව සිතා බලා, ඡන්දය පාවිච්චි කරන්නැයි කියා.

   කාටද ඡන්දය දෙන්නේ කියා කියන්නට/ඉල්ලන්නට තරම් මුග්ධයකු නෙවෙයි මා. ඔබ අවම වශයෙන්, වයස අවුරුදු 18 සපුරා, පළමු වතාවට, සර්වජන ඡන්ද අයිතිය භුක්ති විඳින්නට සූදානම් වනවා වන්නට පුළුවන්. නැතහොත් ඔබ, මා වැනි, 60 වයස් පිනූ කෙනෙකු හෝ සමහරවිට ඊට වඩා වයසින් අඩු වුනත්, අපේ රටේ දේශපාලන ඉතිහාසය, පක්ෂ ක්‍රියාකාරිත්වය, ඡන්ද අපේක්ෂකයන්ගේ පැවැත්ම, ඡන්ද දායකයන් තීරණ ගන්නා ආකාරය, ආදිය පිළිබඳව, පෘථුල අවබෝධයකින් යුක්ත වූවකු වන්නට පුළුවන්.
   
   මට විශේෂයෙන් කියන්නට තිබෙන්නේ, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ, මගේ ජීවිත කාලය තුළ මුහුණ දෙන, අතිශයින්ම තීරණාත්මක ජනාධිපතිවරණට මෙය බවයි. මා මුලින්ම ඡන්දය ප්‍රකාශ කළේ, 1977 වසරේදී. එතැන් සිට මේ දක්වා පවත්වන ලද, ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, අතුරු මැතිවරණ, පළාත්සභා මැතිවරණ, ආදී විවිධ මැතිවරණ ඉතා සුළු ප්‍රමානයකදී, මා, මගේ ඡන්දය ප්‍රකාශ කළා. එයින් සමහර අවස්ථා වලදී, මා ඡන්දය දුන් පක්ෂය ජයග්‍රහණය කළා. තවත් අවස්ථා වලදී පරාජය වුණා. අනිවාර්යයෙන් එහෙම වියයුතුම නේ.

   අපේ රටට කිසිසේත් නොගැලපෙන, ඒකාධිපති ස්වරූපයේ සමහර විධායක ජනාධිපති බලතල ඉවත් කිරීම, කප්පාදු කිරීම, අහෝසි කිරීම, අවලංගු කිරීම ගැන, කතා එළියට ආවේ, අද ඊයේ නොවන බව, ඔබ හොඳින්ම දන්නවා. නමුත් එහෙම කියපු අය, පොරොන්දු දුන් අය, ඒවා ක්‍රියාවට නැගුවේ නැහැ. යළිත් ඒ කතාවම කරළියට ඇවිත් තියනවා. අපේ රටේ ඉතිහාසයේ, දේශපාලකයන්, ඔවුන්ගේ ප්‍රතිපත්ති, ඔවුන්ගේ චර්යාව සහ පැවැත්ම පිළිබඳව, මේ තරම් ජනතා අවිශ්වාසය ඇතිවූ යුගයක්, මටනම් හිතාගන්නට බැහැ. 1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී මා දුටු දේශපාලන සංහිඳියාවේ සිද්ධියක් කියන්නම්.

   එවකට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතා, කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැදිගම ආසනයෙන් තමයි ඡන්දය ඉල්ලුවේ. ඡන්දය පැවති දා රෑ, ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානය වන, කෑගල්ලේ කාර්මික විද්‍යාලයට එතුමා පැමිණියා. කාර් එක එතුමාගේ. නිළ රථ රජයට භාරදීලා වෙන්න ඇති මැතිවරණය අවසන් වනතුරු. ඒ, ඒ කාළේ දේශපාලකයෝ. ඡන්දය ගණිනු බලාසිටි එතුමා, ශාලාවේ ප්‍රධාන දොරටුව වෙත ආවේ, සිය දුම් පයිප්පය පත්තු කරගන්නටයි. පයිප්පයට දුම්කොළ දමා, එය කටේ තියාගන්නවාත් සමගම, එතනට ආවේ, ලංකා සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය එන්.එම්.පෙරේරා මැතිතුමා.

   ඔහු තම සාක්කුවෙන් ගිනිපෙට්ටියක් ගෙන, ඩඩ්ලිගේ පයිප්පය පත්තු කළා. දෙදෙනා බොහොම සුහදව සාකච්ඡාවක යෙදුනා. ඊට පෙර දිනවල තිබුණු මැතිවරණ වේදිකාවලදී, එකිනෙකාට එරෙහිව කියාගත් දේවල්, දෙදෙනාම අමතක කර ඇති බවක් තමයි පෙනුණේ. (මේ ඔක්කොම බලාගන්න අපිට බාධාවක් නැහැ. ශාලාව ඇතුළට යන්න විතරයි නොදුන්නේ. මේ දෙදෙනාම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂකයන් නිසා තමා මෙතනට ආවේ. සම්පූර්ණ මධ්‍යස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 10 ක් විතර ඉන්න ඇති.)

   ඡන්ද ප්‍රතිඵල පිටවුණා. ඩඩ්ලි සේනානායක මහතා පරාදයි. හිස නවාගෙන තම කාරය වෙත ගිය ඔහු, තනිවම එය පදවාගෙන යන්නට ගියා. රැස්ව සිටි කිසිවෙකුත්, ඔහුට කිසිදු අපහාස උපහාසයක් එල්ල කළේ නැහැ. ඩඩ්ලි, එන්.එම්, වැනි දේශපාලකයන් ඊට පසු කාලයේ බිහි නොවුනේ, ව්‍යවස්ථා මගින්ම විෂමාචාරය ස්ථාපිත වීම නිසා කියලයි මටනම් හිතෙන්නේ. ඔවුන්ගේ දේශපාලන දර්ශනයේ සාර්ථක අසාර්ථක, සාධාරණ අසාධාරණ ලක්ෂණ කොපමණ තිබුණත්, ඔවුන් දේශපාලන සංහිඳියාවක සිටියා. මරාගන්න ගියේ නැහැ. ඒ තත්වය, ඔවුන්ගේ දේශපාලන පරිණත භාවයේ ලක්‍ෂණයක් ලෙසයි මා දකින්නේ. 

   පසුගිය දිනවල ඇතිවූ මහා වර්ෂාව නිසා, මේ රටේ ජනතාව අපමණ පීඩාවකට පත්වුණා. පුද්ගලයන් ලක්ෂ දහයකට වැඩි ගණනක් පීඩාවට පත්වුණ බව, ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. සුබසාධක කඳවුරු 350 ක පමණ, අසරණව කල් ගෙවන්නට, පවුල් රාශියකට සිදුවුණා. මියගිය සංඛ්‍යාව 30 කට වැඩියි. නිවාස අහිමිවූ සංඛ්‍යාවත් විශාලයි. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා එකට එක්ව, මේ සුබසාධක කඳවුරු වලින් කීපයකටවත් ගොස්, අපේ සටන දේශපාලන සටනක් මිස, පෞද්ගලික සටනක් නොවේ කියා, ඒ මිනිස්සුන්ට බිස්කට් පැකට් එකක්වත් ඒ දෙදෙනා අතින් දෙන්නට පුළුවන් වුණානම්, මේ දෙදෙනාම තම ඡන්ද පදනම ඉතා විශාල ලෙස වර්ධනය කරගන්නවා නොඅනුමානයි. නමුත් දැන් තිබෙන්නේ දේශපාලනයක් නොව මරාගැනිල්ලක්. එමෙන්ම, මේ අසරණ ජනතාව වෙත, දේශපාලන පොරොන්දු වැස්සක් වසිනවා, ජනමාධ්‍ය ඔස්සේ මා දුටුවා. ඒවා කවදා ඉටුවෙයිද කියන පැනය මගේ හිතේ තවමත් තියනවා. 

   පොළොන්නරුව පැත්තේ, ගංවතුර සරණාගත කඳවුරු කීපයකට, මෛත්‍රීපාල සිරිසේන මහතා යැවූ කෑම පාර්සල් රැගත් පිරිස, අහසට වෙඩිතබා බියගන්වා පලවා හරිමින්, සිය නිළ ඇඳුමේ අශූචි තවරාගත් පිරිසක් ගැන, මට දැනගන්නට ලැබුණා. 'මහින්ද බත්' පමණක් කන ලෙස, සරණාගතයන්ටද තර්ජනය කර තිබුණා. මේකද අද තිබෙන සංහිඳියාව? මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ආධාරකරුවන් විසින් කළ, විවිධ නීතිවිරෝධී ක්‍රියා, ජනමාධ්‍ය මගින් පෙන්වා දුන්නා. අද අපට ඉතිරිව තිබෙන්නේ, හොඳ පුද්ගලයා නොව, නරක අඩු පුද්ගලයා තෝරා, ඡන්දය දීමටයි.
   
   මෙවර ජනාධිපතිවරණයෙන් අපි අපේ ජීවිත මෙන්ම, අපේ බාල පරපුරේ ජීවිත පවා, තීරණාත්මක තත්වයකට පත්කෙරෙන අවස්ථාවකටයි මුහුණ දෙන්නේ. අපේ රට, ඉතිහාසයේ දුක්ඛිතම තත්වයට පත්කිරීම හෝ, යම් තරමක සහනදායි තත්වයකට ගෙන යාම සඳහා, දැඩි තීරණයක් ගනිමින්, පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමේ දුර්ලභ අවස්ථාව, ඡන්දදායකයන් ලෙස, ලබන ජනවාරි 8 වැනිදා අපට හිමිවෙනවා. දුර්ලභ අවස්ථාවක් වන්නේ, මෙය එතරම්ම තීරණාත්මක මැතිවරණයක් නිසා බව, යළිත් අවධාරණය කරනවා. ඒ නිසා, මෙවර අපි දෙන තීන්දුව, අපේ ජීවිත කාලයේදී ගන්නා, අතිශයින් බැරෑරුම් තීන්දුවක් බව නම්, නොකියාම බැහැ. ඉතින්, ඒ තීන්දුව ගැනීම ඔබට බාරයි. පසුගිය වසරේ ජනවාරි පළමුවැනි දින, මා ලියන ලද ලිපිය අවසානයේදී එක්කළ ප්‍රාර්ථනය, මඳක් වෙනස් කර මෙවර ඉදිරිපත් කරනවා.


දුර දක්නා නුවණ

අධිෂ්ඨානය

අත්දැකීමෙන් ලත් දේශපාලන  බුද්ධිය

සහ

නොපසුබට චිත්ත ධෛර්යය

තුළින්

සුබ නව වසරක් උදාකරගැනීමට

ඔබට හැකිවේවා!



my-signature-for-blog[1]2015 ජනවාරි මස 01 වැනි දින 0001 පැය

36 comments :

  1. පොදුවේ ශ්‍රී ලංකාවට හා සියළු ශ්‍රී ලාංකිකයන්ටත්, ඔබ තුමා ඇතුළු පවුලේ සැමටත් සුභ නැත්නම් 'අඩුවෙන් නරක' ජයග්‍රාහී නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කල්‍යාණ. ඔබටත් පවුලේ සැමටත්, අපේ රටටත්, මුළු ලෝකයටත්, සුබ නව වසරක් වේවා!

      Delete
  2. මේ සැරේ නම් සුභ නව වසරක් උදාවෙයි....

    ReplyDelete
    Replies
    1. මගේ පෞද්ගලික සමීක්‍ෂණ වාර්තා අනුවත් එහෙම තමයි. සුබ නව වසරක් වේවා!

      Delete
  3. ඔබතුමාට , ඔබතුමාගේ පවුලේ සාමජිකයන්ට මෙන්ම සිංහල බ්ලොග් අවකාශයේ ලේඛක , පාඨක සියළු දෙනාටම වාසනාවන්ත , ජයග්‍රාහී සුභ නව වසරක් වේවා ...!

    * ඔබතුමාට ඉක්මනින්ම පූර්ණ සුවය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳරු. ඔබටත් පවුලේ සැමටත් සාමය සැනසීම නීරෝගී භාවය සහ සෞභාග්‍යය පිරි නව වසරක් වේවා!

      Delete
  4. නිදුක් නීරෝගී සුවය සමඟ සුබ අලුත් අවුරුද්දක් වේවා විචාරක මහතාට!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  5. 'ඒ නිසා මා හිතුවා ඔබට කියන්නට, රටේ අනාගතය ගැන අතිශයින් තීරණාත්මක ජනාධිපතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේදී ඉතා ස්වාධීනව, මධ්‍යස්ථව සිතා බලා, ඡන්දය පාවිච්චි කරන්නැයි කියා.

    කාටද ඡන්දය දෙන්නේ කියා කියන්නට/ඉල්ලන්නට තරම් මුග්ධයකු නෙවෙයි මා.'

    සොල්දාදුවෙක් වශයෙන් තමා භය පක්ෂපාතිත්වය දැක්විය යුත්තේ සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට. එකේ ආයේ තර්කයක් නෑ. ඒ නිසා තමාගේ ජන්දයත් හිමිවිය යුත්තේ සේනාධිනායකයාටම පමණයි.

    9 වෙනිදා එළිවෙනකොට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් නැවත වතාවක් බලයට පත්වෙන්නේ වැඩි ජන්ද ලක්ෂ 20 කින්. මයිත්‍රී වටේ ඉන්න ඇන්ජීඕකාරයොන්ටයි,කකාලා වගේ ලංකාවේ ජන්දෙටත් නැති අයටයි පුලුවන්ද අපේ රට බේරා දුන්නු නායකයා,මහින්ද රාජපක්ෂ මැතිදුන් පරද්දන්න?

    අනික මේ මොහොතේ ඔය නොදන්නා වෙනසක් ඕනි නෑ කියලයි රටේ හැමෝම කියන්නේ. දැන් බලන්න අපේ රටේ දියුණුව. අධිවේගී මාර්ග,ගුවන්තොටුපල,වරාය....කොයිතරම් සම්පත් ප්‍රමාණයක්ද. ඇයි විදුලිබලාගාර,උතුරු දුම්රිය මග...

    යුද්ධය අවසන් කෙරු ජනාධිපතිතුමා මේ සුළු කාලය ඇතුලත කරපු සංවර්ධන වැඩ ආපස්සට හරවලා රට කොටියට භාර දෙන්න අපි කවුරුත් සුදානම් නෑ.

    රජයේ සේවකයන් පවා 80% ක් දෙනා තැපැල් ජන්ද දී ඇත්තේ අතිගරු ජනාධිපතිතුමාටම තමයි. ඒකට හේතුව තමයි එතුමාගේ මහින්ද චින්තන ජාතික වැඩ පිළිවෙල යටතේ සිදුවන යෝධ සංවර්ධනය ඒ උදවිය අනුමත කිරීම. අනික රජයේ සේවකයන්ගේ පඩි දහස් ගණනින් වැඩි කොට,ඔවුන්ට යුතුරු පැදි පවා නොමිලේම ලබා දුන්නේ මහින්ද චින්තය යටතේම තමය. එව්වා මිනිස්සුන්ට අමතක නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔයා අන්ඩවාත තෙල් ටිකක් එහෙම ලැස්ති කරගෙන ඉන්න. ඔයාගේ ලොක්කට 8 වෙනිදට පස්සේ හාන්සි පුටුවට වෙලා කාටහරි කියලා අන්ඩවාත තෙල් ගාවගන්න වෙනවා. ඔයා තමයි ඒ වැඩේට සුදුස්සා.

      Delete
  6. හැම කෙනාගෙම අදහස බලාපොරොත්තුව
    හැම පැත්තෙන්ම අලුත් අවුරුද්දක්...
    ඒක ඒ විදියටමඉට්ට සිද්ද කොරගන්න එක තියෙන්නෙත් අපේ අතේම තමා
    නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. හරියට හරි මහේෂ්. ඔයාගේ අර්ථ කථනය බොහොම ඉහලයි. සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  7. සබැ ජීවිතයේදී ගන්නා තීරණ undo කල නොහැක.

    ReplyDelete
    Replies
    1. හැබැයි දේශපාලනයේදී සමහර තීරණ redo කල හැකිය.

      Delete
  8. මං නං අවුරුදු සුභ පැතුම් ජනවාරි නමවෙනිදා දක්වා කල් දැම්මා!

    ReplyDelete
    Replies
    1. නියමයි. 9 වෙනිදට නව අලුත් අවුරුද්දක් නේද එතකොට.

      Delete
  9. අද ඇන්ඇම් ලා ව නියෝජනය කරන බැටී ලා, ඩිව් ලා ව දැක්කාම පව් කියා හිතෙනවා. මෙන්න බලන්න රිලව් වගේමයි බොඩි ලැන්ග්වේජ් එක!
    https://www.facebook.com/video.php?v=841415172590316

    ReplyDelete
    Replies
    1. බැටී නොවෙයි තිස්ස විතාරණ!

      Delete
    2. දැන්නම් මුන්නැහෙලා හුඟදෙනෙක් ඉන්නේ දේශපාලන කනත්ත පෙනී පෙනී.

      Delete
  10. විචාරකතුමාටත් තුමීටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මධුමාධවී. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  11. සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අශාන්. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  12. අන්න අප‍ නායකයා කුමාර් මහත්තයා ලංකාවට ඇවිත් , මේ සැරේ මහින්දත් සිරිසේනත් කොයි තරම් දැඟලුවත් ජනාධිපති වෙන්නේ දුමින්ද නාගමුව සහෝදරයා. මොකෝ කුමාර් මහත්තයත් ලංකාවට ආවනේ

    ReplyDelete
    Replies
    1. ඇවිත් ඉන්නේ කුමාර් ද අර සිංහල නම තියන එක්කෙනාද? ඊයේ එයාගේ මාධ්‍ය සාකච්ඡාව බැලුවා. අනේ මටනම් එයා කියන දේවල්වල අගක් මුලක් තේරෙන්නේ නැහැ. එයා ඕස්ට්‍රේලියාවේ කරන සමාජවාදය බොහොම ඉහල එකක් වෙන්න ඇති. ඒ නිසයි අපිට නොතේරෙන්නේ.

      දුමින්ද නාගමුව සහෝදරයා එන්න එන්න මහත්වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් එවන කෑම කාලා වෙන්න ඇති.

      Delete
  13. මමත් ප්‍රථම වතාවට චන්දය භාවිතා කරන කෙනෙක්.. දේශපාලන ඉතිහාසය ගැන මට තරමක සුළු අවබෝධයක් තියනවා, ඉතිහාස කතා කියවන්න ආස නිසා. ඒ උනත්, මේ පාර නම් මම පොඩ්ඩක් අවුල්..
    අසනීප තත්වය ඉක්මනින් හොඳ වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම,
    විචාරක තුමා ඇතුළු හැමෝටම මෙම වසර සුභ නව වසරක් වේවා කියා අඟහරු වාසීන් වෙනුවෙන් මා ශුභාසිංසනය කරනවා!

    ReplyDelete
    Replies
    1. කාගේවත් බලපෑමකට යටත් නොවී. නිදහස්ව සහ ස්වාධීනව හිතා ජීවිතයේ පළමු වරට දෙන ඡන්දය දෙන්න.

      සුබ පැතුමට ස්තුතියි. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  14. සුභ නව වසරක් වේවා හිටං හරිය

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා කියල හිටං කියනවා. හිටං ඉඳලා මදි. ඡන්දෙ දාලා හිටං ඔක්කොම කරන්න ඕනෑ.

      Delete
  15. විචාරකට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබටත් සුබ නව වසරක් වේවා!

      Delete
  16. විචාරක පවුලට සුබ අලුත් අවුරුද්දක්!!! :)

    ReplyDelete
  17. විචාරක පවුලට සුබ අලුත් අවුරුද්දක්!!! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි දෙපාරක්ම සුබ පැතීම ගැන. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      නව අවුරුද්දේ පොඩ්ඩි පවුල 2+1 වේවා!

      Delete
  18. සුබ අළුත් අවුරුද්දක් වේවා විචාරක තුමෝ.. !
    මමත් කැමතියි මේ යන රටාව වෙනස් මගකට හැරිලා අළුත් පාලකයෙක් එනවා නම්....

    ReplyDelete
  19. වෙනස් නව වසරක් වේවා

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }