හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 January 2015

මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?.................... How to resolve vehicle congestion in Kandy

Wicharaka Photography
 අංක A 26, මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගයේ, මහනුවර නගරයේ, ශ්‍රී දළදා මාලිගාව අසළින් වැටී තිබෙන කොටස, 1998 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා තිබෙනවා. මෙයට හේතුව වූයේ 1998 ජනවාරි මස 25 වැනි දින LTTE සංවිධානය විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයයි. මෙම සිද්ධියෙන් පසු ආරක්ෂක පියවරක් වශයෙන්, මෙම මාර්ගය වසා දමන ලද අතර, අතිශයින් වැදගත් පුද්ගලයන්ට VVIP පමණක්, එම මාර්ගයෙන් දළදා මාලිගාවට පිවිසීමට අවසර ලැබුණා. සාමාන්‍ය ජනතාවට, අදටත් මේ කොටසේ, පයින් ගමන් කිරීමටවත් අවසර නැහැ.

මෙම මාර්ගය වසා දැමීමෙන් පසු, මහනුවර නගරයේ එදා සිට අද දක්වා තිබෙන වාහන තදබදය ගැන, මහනුවර නගරය හරහා, එක වරක් හෝ වාහනයකින් ගමන් කළ අය දන්නවා ඇති. නමුත්, මහනුවර ප්‍රදේශවාසීන්, දිනපතා මේ වාහන තදබදය නිසා විඳින කරදර දුක් කම්කටොළු, මෙපමණයි කියා කියන්නට බැරිතරම්.


   මේ ඊයේ පෙරේදා, රූපවාහිණී ප්‍රවෘත්ති ප්‍රකාශයක සඳහන් වුණා, මෙම මාර්ගය නැවත විවෘත කරන්නට අදහසක් පහළවී තිබෙන බව. මෙහිදී, අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ, මේ ගැන සිය විරෝධය පලකරනු, රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක මා දුටුවා. උන්වහන්සේ ප්‍රකාශ කළේ, මෙම මාර්ගය යළි විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට, රාජ්‍ය නිළධාරීන් පිරිසක්, තමන් වහන්සේ හමුවීමට පැමිණි බවත්, නමුත් තමන් වහන්සේ ඒ ගැන විරුද්ධත්වය ප්‍රකාශ කළ බවත්, පාර විවෘත කරගන්නට දැඩිව උත්සාහ ගන්නේ, සාමාන්‍ය ජනතාව නොව, වාහන හිමියන් බවත්, උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුණා.


   මල්වතු මහ නාහිමියන්, මේ පාර යළි විවෘත කිරීම පිළිබඳව, විරුද්ධත්වයක් ප්‍රකාශ කර ඇති බවක් දැනගන්නට නැහැ.


   මේ පිළිබඳව මගේ හැඟීම් සහ, මා ඉදිරිපත් කරන විකල්ප යෝජනාව, පහත දක්වන අතර, ඒ පිළිබඳව ඔබගේ පුළුල් දායකත්වය බලාපොරොත්තු වෙනවා. මා ඉදිරිපත්කර තිබෙන්නේ, ඉතා දුර්වල යෝජනාවක් වන්නට පුළුවන්. මට වඩා මහනුවර නගරය ගැන දන්න, මා කොහොමවත් නොදන්නා, ඉංජිනේරු තාක්ෂණය ගැන දන්න අය, ඔබ අතර ඉන්න බව මා දන්නවා. ඉතින් මා ඔබෙන් කාරුණිකව ඉල්ලනවා, මේ පිළිබඳව මේ අඩවියේදී සංවාදයක යෙදෙන්නට. වඩාත් පුළුල් සහ ඵලදායී යෝජනා ඉදිරිපත් කරන්නට.


   එක කාරුණික ඉල්ලීමක් කරනවා. ඔබට අයිතිය තියනවා අස්ගිරි මහ නාහිමිගේ අදහසට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්නට. නමුත්, අපහාසාත්මක අදහස් ඉදිරිපත් නොකරන ලෙස කාරුණිකව ඉල්ලනවා.


මෙන්න මගේ හැඟීම් 
  •    පුද්ගලයකු වාහනයක් ගන්නේ, කාර්ය බහුල ජීවිතයට සහනයක් ලබාගන්නයි. තමන්ගේ ගමන් බිමන්, ඉක්මනින් හා පහසුවෙන් කරගන්නයි. ඉතා අල්ප දෙනෙකෙකු පමණයි, මහන්තත්තකම පෙන්නන්න වාහනයක් ගන්නේ. ඒ නිසා, අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රකාශය සමග එකඟ වන්නට අපහසුයි.
 
  • මටත් මගේ බිරිඳටත් දැන් ඉස්සර වගේ දිගු දුරක් පයින් ගමන් කරන්නට බැහැ. වන්දනාවක ගියත් ඒ පූජනීය ස්ථානයට හැකිතරම් ආසන්නය දක්වා වාහනයකින් යන්නට ඇත්නම් හොඳයි. ශ්‍රීපාදස්ථානය වැනි තැනකට නැවත කවදාවත් අප දෙදෙනාටම යන්නට බැරි බව, අප දෙදෙනාම දන්නවා. එවැනි මහළු, දුබල, ආබාධිත, අය සඳහා පූජනීය ස්ථාන වලට ඇතුළුවීමේ විශේෂ ක්‍රමවේද (එස්කැලේටර්, ඒ ස්ථානයෙන් ලබාගත හැකි විශේෂ වාහන, යටත්පිරිසෙයින් රෝදපුටු) සැකසීම ඉතා වැදගත්. මේ ගැන ආගමික කටයුතු අමාත්‍යංශයෙන්ම වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා.
 
  • ශ්‍රී දළදා මාලිගාව වන්දනා කරන්නට, දිනකට කොපමණ බැතිමතුන් පිරිසක්, කුළියට ගත් වාහන වලින් එනවාද යන්න, අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ එන පිරිස් අතර, වැඩිහිටි, මහළු, දුබල, රෝගී, විශාල පිරිසක් ඉන්නවා. ළදරුවන් වඩාගත් මව්වරුන් මෙන්ම, ගර්භනී මාතාවන්ද ඉන්නවා. ඒ අය, තමන් පැමිණි වාහන ඈතින් නවතා, පයින් දළදා හාමුදුවන් වඳින්නට එන්නේ, වෙනත් කළහැකි දෙයක් නොමැතිකම නිසා විනා, කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ගෙන් විමසා බැලුවොත්, බහුතරයකගේ මතය වන්නේ මේ පාර විවෘත කර දෙන්නේ නම් කෘතඥ වන බවයි. සමහරවිට දළදා මාලිගා මළුව ගිනිගන්නවා වගේ දැඩි හිරු රශ්මියක් පතිත වෙනවා. නමුත් බොහෝ දෙනෙක්, ආගමික භක්තිය නිසා, තුවා කෑල්ලක්වත් ඔලුවේ දාගන්නේ නැතුව, පාවහන්ද නැතුව මළුවේ ගමන් කරනවා. මාලිගාව අසළට ත්‍රිරෝද රියකින්වත් යන්න පුලුවන්නම් හොඳයි. දළදා වහන්සේට එයින් අගෞරවයක් සිදුවේයැයි මා සිතන්නේ නැහැ. 
 
  • දිනපතා උදේ හවස, පාසල් දරුවන්, රැකියා සඳහා යන අයවලුන්, දහසකුත් එකක් අවශ්‍යතා සඳහා මහනුවර නගරයට යන එන්නන්, රෝහලට යන එන අය, මේ වාහන තදබදය නිසා විඳින කරදර, මෙහි ලියන්නට ගියොත්, ලිපි කීපයක් ලියන්නට වෙනවා. වාහන තදබදය නිසා, ජාතියක දියුණුව වෙනුවෙන් වැයකිරීමට ඇති කාලය අපතේ යාම, අනවශ්‍ය ඉන්ධන දහනය, (මහනුවර නගරයේ වායුව අතිශයින් දූෂිත බවට විශේෂඥ වාර්තාවක්, කලකට ඉහතදී පළවී තිබුණා) විකල්ප මාර්ග නොදන්නාකමින්, මහනුවර නගරය මගහැර යනු වෙනුවට, නගරය හරහාම යන්නට එන වාහන, අර වාහන තදබදයටම එක්වීම, අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා ප්‍රමාදවීම, ආදී වශයෙන් ඇති කරුණු අපමණය. මෙයට තවත් කරුණු ගණනාවක් එකතු කරන්නට ඔබට හැකි බව මා දන්නවා.
 
මෙන්න මගේ යෝජනාව

   ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියනවා 'you can't have the Cake and eat the Cake' කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් ඉතා වටිනවා, හරිම අගෙයි කියමින්, හැඩරුව බලමින්, වර්ණනා කරමින්, ඉන්නට සහ, ජීවිතයේ ඉදිරි පැවැත්ම සඳහා, අවශ්‍යයෙන්ම පරිභෝජනය කළයුතු ඒ දේ, පරිභෝජනය නොකර, බල බලා ඉන්නටත් බැහැ, කියන එකයි. පැරණි පාර අරින්නට ඉඩ දෙන්නෙත් නැත්නම්, මහනුවර නගරයේ වාහන තදබදය, දිනපතා වර්ධනය වන්නක් විනා, අඩු වන්නක් නොවන නිසාත්, මහනුවර මහියංගණය මාර්ගය නැවත සම්බන්ධ කිරීමේ විකල්ප පියවරක්, නොපමාව ගන්නවා හැර, වෙනත් කුමක් කරන්නද?


   මටනම් හිතෙන්නේ කොන්ක්‍රීට් කණු මත දිවෙන පාරක්, බෝගම්බර වැවේ ඉදිකර, එමගින් මහනුවර මහියංගණය පාර යළි සම්බන්ධ කිරීම විනා වෙනත් විකල්පයක් නොමැති බවයි. ඔන්න මම සිතියමක් දක්වනවා පහළින්. සමහර අයට දැඩි කෝපයක් ඇතිවෙයි මෙය දැකලා. ඒ කියන්නේ, කේක් එක කන්නයි තියාගන්නයි දෙකම ඕනෙ කියන එකද කියලා, මා දන්නේ නැහැ. වාද කිරීමෙන් හෝ අපහාස කිරීමෙන් පළක් නැහැ. අපි සංවාද කරමු. මේ සිතියම මත ක්ලික් කර, විශාල කර බලන්න.


My Proposal


දැන් මේක දැකපු ගමන් එන විවේචන බොහොමයක් තිබෙන්න පුළුවන්.
වැව ඉවරයි.

නගරයේ ලස්සනම තැන ඉවරයි.

දළදා හාමුදුරුවෝ ඉදිරිපිට වැවේ මාළු මරමින් මේ වැඩේ කරන්න වෙනවා.

වැවේ ඓතිහාසික වටිනාකම දන්නේ නැතුවද මේ ඔලමොට්ටල යෝජනාව ගෙනාවේ.

ආදී වශයෙන්. ඉතිං ඔන්න මම ආයෙත් කියනවා මට තේරෙන විදිහට. 'you can't have the Cake and eat the Cake' ඔන්න මම නවතිනවා. 

   ඔබේ අදහස් දැක්වීම් සඳහා පින්තූර, සිතියම්, වීඩියෝ, එකතු කළහැකි පරිදි මේ අඩවිය සකසා ඇති බව මතක් කරනවා. 



2015 ජනවාරි මස 26 වැනිදින 0037 පැය

24 January 2015

සෝ ෆා සෝ ගුඩ්? සෝෆා නෝ ගුඩ්........................ So far so good? Sofa no good!

Sofa
 ඉංග්‍රීසි භාෂාවේදී so far so good කියන්නේ, මෙච්චර වෙලා කියපු කරපු දේවල් තේරුණා නේද? එහෙමත් නැත්නම්, යම්කිසි කාර්ය භාරයක, ව්‍යාපෘතියක, 'මෙතෙක් අවසන් කළ දේ ගැන ගැටළුවක් නැහැ නේද' කියන තේරුමෙන් නේද? මට අද කියන්න තියෙන්නේ, sofa no good කියලා. ඒ කියමන කළින් කිව්ව එකට වඩා වෙනස් බව පෙනෙනවානේ. මෙන්න මේකයි කතන්දරේ.

 අපේ ලොකු දෝනියැන්දා ඊයේ පෙරේදා දවසක මට කිව්වා, 'තාත්තේ, මම සෝෆා සෙට් එකකට සල්ලි බැන්දා මාසිකව ගෙවන්න. අපේ ඔෆිස් එකටම ඒ සමාගමෙන් ආවා ප්‍රොමෝෂන් එකක්, ගෙවන්න ගන්න පුළුවන් නිසා මම ගත්තා', කියලා. අම්මෝ.............. සැට් එකේ වටිනාකම ගෙඩි රුපියල් වලින්ම 57000 ක්. කජු ඇටද කොස් ඇටද කිව්වලු. මම කිව්වා, 'ළමයෝ, ඔය සෝෆා වර්ග කීපයක් මමත් දැකලා තියනවා. අපේ කෑම්ප් වලත් තියනවා. සමහර ඒවගේ ඉඳගත්තම කුෂන් එක ඉරෙනවා. කුණු ගෑවුණාම පිරිසිදු කරන්නත් අමාරුයි, ඒ වගේම මටනම් පෙනෙන්නේ ඒවා සුදුසු, එක්කෝ වායු සමීකරණය කරපු ගොඩනැගිලි වලට, එහෙමත් නැත්නම් සීතල රටවලට. ඔව්වා මෙහාට එච්චර ගැලපෙන්නේ නැහැ කියලා. කොහෙද ඉතිං අපි කියන ඒවා අහන්නේ නැහැනේ. 

   සල්ලි බැඳලා මාසයකටත් වැඩි කාලයක් ගියත් ගෙදරටම ගෙනත් දෙනවා කිව්ව ඒ අහවල් සැට් එක ලැබුණේ නැහැ. මම ලොකුදුවට කිව්වා, මට දෙන්නකෝ ඒ සමාගමේ නොම්මරේ මම කතාකරලා බලන්න කියලා. නමුත් අපේ ලොකුදුව දන්නවා, මම කතාකලානම් ඒ සමාගමට, කතාකරන්නේ තද්ධිත, කෘදන්ත, නිපාත, සන්ධි, විභක්ති, වර නැගීම්, ඔක්කොම සංකලනය කොරලා තමයි කියලා. 'අනේ මේ ඔයා ඉන්ඩකෝ, මම ඒක ගෙන්නගන්නම්' කියලා මගේ ඇඟට පැන්නා.

   ඔන්න ඉතිං එක දවසක් දවල් 2 ට විතර, අපේ ගෙදරට දුරකථන ඇමතුමක් ලැබුණා, අහවල් එක ගෙනත් දෙන්න පාර අහලා. අනේ ඉතිං අපේ උන්දෑ පාර විස්තර කළා, පාරේ තියන වැලිකැට දක්වාම සවිස්තරව. ඒ වුණාට හවස 5.30 ටත් නෝ බඩු හෑව්. ඒ පාර මම ජාලයෙන් නොම්මරේ හොයාගෙන, ඒ සමාගමේ 'පෙදර්සෙනාගාරයට' ඇමතුමක් ගත්තා. 'හරි හරි සෑර් මේ දැන් එනවා' කියලා කිව්වා. හප්පොච්චියෙ ඔන්න ලොරි පතයක් ආවා. අනූනවයෙන් අපේ ගේට්ටු කණු නොකඩා, මිදුලට රිවස් කොරලා ඇන්න, බෑවේ නැතැයි ඒ අහවල් එක. ලොකු එකයි පොඩි (පොඩි කිව්වට එව්වත් තඩි) දෙකයි.

   මං ඇහුවා ඒ ආපු එක ගොබිලෙක් ගෙන්, 'මේ...........අර..... මේක මැද්දෑවේ තියන අර......අර......අපි......අර......අඩියක් පුඩියක් ගහන කළමනා ටික තියාගන්න, පොඩි මේස පොජ්ජ නැද්ද ළමයෝ' කියලා. 'නෑ නෑ සර්, මේ සෙට් එකට ඒක ලැබෙන්නේ නැහැ. ඒක වෙනම ගන්න ඕනෙ' කිව්වේ නැතෑ. 'අම්මපා......ඒකත් එහෙමද, කීයක් විතර වෙනවද ඒක' කියලා මම ඇහැව්වා. 'රුපියල් දහ දාහේ ඉඳලා ඉහළට තියනවා' කිව්වේ නැතෑ. අම්මපා මට හිතුනා පාන් කපන පිහිය උගේ කොළ බොක්කට බස්සන්ඩ. අර සුට්ටි මේස කෑල්ලට දීපියකෝ තව දහ දාහක්. ප්ලාස්ටික් කකුල් හතරක් උඩ ගහපු වීදුරු කෑල්ලට. ඊට හොඳයි පරණ පකිස් පෙට්ටියක් තියලා, අපේ උන්දැගේ වොයිල් සාරියක් ඊට උඩින් එලලා පාවිච්චි කොරන එක. නැද්ද මං අහන්නේ.

   ඔන්න ඉතිං රන්දෝලි වඩම්මනවා වගේ, මේ කෑලි තුන අපේ සාලේ මැද්දෑවට වඩම්මලා තියලා, ලොරිය ගියා. හප්පොච්චියෙ අර පොලිතින් කවර ගලවලා බැලුවම, මහා මහේසාක්කිය පෙණුමක් තමා තියෙන්නේ. පස්ස පැත්ත තියන්නත් දුකේ බැරුවා. ඔන්න නමෝ විත්තියෙන් මං පොඩ්ඩක් පස්ස පැත්ත තියලා බලන්න හැදුවා විතරයි............පැන්නේ නැතෑ අපේ උන්දෑ 'හා....හා....ඔය උදේ ඉඳලා ඇඳගෙන, දවස පුරාම හඩු ගැහිච්ච ෂෝට් එක නේද ඇඳගෙන ඉන්නේ' කියලා. අනේ.......... හෙමීට පාත්වෙච්චි මගේ නාකි පිඩිය, විදුලි වේගෙන් ඉස්සුනා ආපහු.

   හ්ම්..........මොනවා කොරන්ඩද බලමුකෝ නාලා කියලා 'අර කළමනා' ටිකත් ලං කොරගෙනම වාඩිවෙලා, අලුත් සෝෆා සැට් එක සමරන්න. අම්මපා මෙහෙම හිතනකොටම අපේ උන්දැට දිවැස් තියනවද මන්දා, කිව්වේ නැතෑ, 'මේ, ඔන්න මේ සෙට් එක එහෙම ඩ්‍රින්ක්ස් ගන්න පාවිච්චි කරන්න එපා හොඳද' කියලා. තියාගනිල්ලා උඹලගේ උලව්ව. වෙනදා වගේ එළියේ ගහක් යට පොඩි ප්ලාස්ටික් පුටුවයි පොඩි ස්ටූල් එකයි මට සැපයි. 

   මේ සැට් එකත් එක්ක ලැබුනා උපදෙස් පත්‍රිකාවක් මෙන්න මෙහෙමයි ඒකෙ තියෙන්නේ.

Scan_20150124_110546 - Copy (2)                                                                                     
Scan_20150124_110546 - Copy (3)
 Scan_20150124_110546 - Copy (4)
Scan_20150124_110546 - Copy (5)
    Scan_20150124_110546 - Copy (6)
Scan_20150124_110546 - Copy (7)
Scan_20150124_110546 - Copy (8) Scan_20150124_110546 - Copy (9)
   මේ කියන එව්වා එකක්වත් වරද්දාගෙන තිබුනොත්, ඔන්න අපි වග කියන්නේ නැත කියලා, ඒ පත්තිරිකාවේ සුද්ද හිංගලෙන්ම කියලා තියනවා. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.

   මේකේ පැල්ලමක් වැදුනොත්, ඒක මකන්න හෝ කුණු ගෑවුනොත් පිහදාන්න හෝ 'අහිතකොර' මොනවද කියලා කියන්නේ නැතුව, නිකම්ම කියනවා අහිතකර එව්වයෙන් පිස නොදමනු කියලා. මොකද උන්දලා හිතුවද අපි රෙදි කෑල්ලකට ..... කොරලා මේක පිහදානවා කියලා. 

   ඇයි හත්වලාමේ ගෙදරට මනුස්සයෙක් ආවම, මේ උලව්වේ වාඩිවෙන්න කලින්, 'ඔයා දාඩිය දාගෙනද ඉන්නේ? ඇඟේ මොකවත් තෙල් ජාති එහෙම ගාගෙනද ඉන්නේ'? කියලා අහන්නද කියන්නේ? එහෙම ඇහුවොත් ඒ මිනිහා ආයේ කවදාවත් අපේ ගෙදරට ගොඩවදියි ද?

   අපි පැය 24 ම වෙන වැඩක් නොකර බලා ඉන්න වෙනවා, ගෙදර පූසා හෝ බල්ලා, මේ හත්වලාම උඩට නගියිද කියලා. එක්කෝ මුරකාරයෙක් දාන්න වෙනවා.

   හදිස්සියේ පොටෝ එකක් කෙළින්න වත් මේකේ අමතර මගීන් අසුන් ගන්න බැහැ. එහෙම උනොත් කුසන් ද මොනවද එව්වා ගැලවෙනවා. ඒ කියන්නේ කෑලි අලවලා තියෙන්නේ ගම් ගාලද කොහෙද.

   එහාට මෙහාට තල්ලු කොරන්න ඕනෙ වුනොත්, අල්ලලා තල්ලු කිරීම තහනම් නිසා, අර 'පෙලට් ට්‍රක්' එකක් හෝ 'පෝක් ලිෆ්ට්' එකක් ඕනෑ වෙනවා.

   ගේ ඇතුළට අව්ව වැටෙන එක කොච්චර සම්පතක්ද. ඔය දොස්තර මහත්තුරුත් කියන්නේ, 'ආලෝකය සහ වාතාශ්‍රය හොඳින් ලැබෙන්න දොර ජනෙල් ඇරලා තියන්න' කියලා. නමුත් මෙව්වා තියන ගෙවල් වලට, ඒ වැඩේ තහනං. කාලා වරෙන්කො කිව්වලු.

   ඇත්තෙන්ම මෙවැනි නිෂ්පාදන වඩාත් සුදුසු වන්නේ අපේ රට වැනි ඝර්ම කලාපීය රටවලට නොවෙයි. සෞම්ය දේශගුණයක් සහිත රටවලටයි. උෂ්ණ දවසක මේ සෝෆාවක වාඩි වුනොත්, අපේ ශරීරයේ නිරාවරණය වී ඇති තැන්, මෙහි කුෂන් එකක් හේත්තුවී තිබේනම්, එතන දාඩිය දමන්නට පටන් ගන්නවා. ඉන්පසු පැල්ලමක් හැදෙනවා. මෙහි කුෂන් එකේ, විවිධ නැමුම් රාශියක් ඇති නිසා, ඒ නැමුම් අතරට දූවිලි යාමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. පිරිසිදු කරන්නට, රික්ත ශෝධකයක් අවශ්‍ය වෙනවා. අනේ මන්දා මටනම් හිතෙන්නේ මේ සෝෆා අපිට ගැලපෙන්නේ නැහැ කියලයි. ඔබ මොකද හිතන්නේ?

DAMROGUE


2015 ජනවාරි මස 24 වැනි දින 1332 පැය 

21 January 2015

කොහොමද මේ සෙල්ලම

poker-cheating-nu-l
 මතකයි නේද මීට කලින් මම ලිව්වා, මොබිටෙල් එකෙන් කියලා මට ලැබුණු SMS පණිවිඩයක් ගැන. ඒකට මම අහුවුනේ නැහැනේ. මෙන්න බොලේ ඒ ජාතියේම තවත් සෙල්ලමක්. මේ පාර ඊ මේල් එකක්. කියවලා බලන්නකො ඊ මේල් එක. රූපය උඩ ක්ලික් කරලා විශාල කරලා බලන්න පුළුවන්.



Screenshot (170)


     බලන්න මේ ඊමේල් පණිවිඩයේ තිබෙන භාෂා විලාශය. කොහේදෝ යන මළහෝන්තුවක් නේද? මේ ලියන්නේ ගැහැණියක් කියා විශ්වාස කරන්න තරම් අපි මෝඩ වියයුතුද? මෙය ඉතා සැළසුම් සහගතව කරගෙන යන කපටි ව්‍යාපාරයක් බව පැහැදිළිවම පෙනීයනවා. මේවාට බැනලා හෝ පිළිතුරක් යැවීමෙනුත්, විවිධ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා, මේ වගේ ඊ මේල් ගණන් නොගෙන, ස්පෑම් ගොඩට දැමීම තමා බුද්ධිමත්ම ක්‍රියාව.


   අප්‍රිකානු රටවල සිට කෙරෙන විවිධාකාර වංචනික කටයුතු මගින්, විවිධ පුද්ගලයන්ගෙන් බැකු ගිණුම් තොරතුරු ලබාගෙන, ඒ ගිණුම් වල ඇති මුදල් සියල්ල ගිලගන්නා කපටි සූත්තර කාරයන් ගැන, මා කොතෙකුත් විස්තර කියවා තිබෙනවා. මේ ඊ මේල් පණිවිඩයේ තිබෙන පරිදි, අයිවරි කෝස්ට් රාජ්‍යය කියන්නේ, මහා දේශපාලන වියවුල් වලින් ගහන, විවිධ කඩාවැටීම් වලට ලක්වූ ආර්ථිකයක් සහිත රටක්. ඔබටත්, සමහරවිට ඔබ දන්නා කියන අයටත්, මෙවැනි පණිවිඩ ලැබී ඇති. මෙවැනි වංචා වලට අසුනොවන මෙන් ඔබ සියලුදෙනා දැනුවත් කරන්නයි මේ කෙටි ලිපිය ඉදිරිපත් කරන්නේ.



2015 ජනවාරි මස 21 වැනි දින 2341 පැය

15 January 2015

ලංකාවටත් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්?

49b94b9561a90
  මේ ලිපිය ආරම්භයේදීම පහත දැක්වෙන කරුණු අවධාරණය කරනන්ට කැමතියි. ඔබ දන්නවා, පසුගිය අවුරුදු තුන පුරා, මා මෙම අඩවියේ වැඩිපුරම ලියා තිබෙන්නේ, හමුදාව පිලිබඳ ලිපි. ඒ මගින් මා අදහස් කළේ, ඔබේ හමුදා දැණුම දියුණු කරන්නයි. මෙම ලිපියත්, එවැනි, හමුදා දැණුම සම්බන්ධ ලිපියක් විනා, කිසිදු ආකාරයකින්, දේශපාලන අදහස් ගැබ්වූ ලිපියක් නොවේ. එබැවින්, මෙම ලිපියට අදාළ නොවන, ශ්‍රී ලංකාවේ දැනට පවතින රජයට පක්ෂව හෝ විපක්ෂව ඉදිරිපත් කෙරෙන, කුමන ආකාරයක හෝ දේශපාලන අර්ථකථන සහිත පාඨක අදහස් හෝ, ප්‍රස්තුතයට අදාළ නොවන අදහස්, ඉවත් කිරීමට සිදුවන බව, කාරුණිකව දැනුම් දෙනවා.

    අද උදෑසන (2015/01/14) රූපවාහිණී ප්‍රවෘත්තියක සඳහන් වුණා, හිටපු හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, (Chief of Defence Staff = CDS) සරත් ෆොන්සේකා මහතා, ෆීල්ඩ් මාර්ෂල් Field Marshal තනතුරට උසස් කිරීමේ අදහසක්, රජය තුළ පවතින බව. සමහරවිට ඔබ, 'ෆීල්ඩ් මාර්ෂල්' යනුවෙන් හමුදා නිළයක් ඇති බව දන්නවා ඇති. සමහරවිට නොදන්නවාත් ඇති. දන්න අයගේ මතකය අලුත් කිරීමටත්, නොදන්නා අයට දැණුම ලබාදීමත් සඳහායි, මේ ලිපිය ලියවෙන්නේ. මීට පෙර, මා ඔබට ත්‍රිවිධ හමුදාවේම සියලුම නිළ පිළිබඳව, සරලව කියාදී තිබෙනවා. මතක නැති අය මෙන්න මෙතනින් ගිහින් බලලා එන්නකෝ. එතකොට මේ ලිපිය තේරුම් ගන්න වඩාත් පහසුයි.

   දැන් මතකද කතන්දරේ. අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ මෙතෙක් තිබුණු ඉහලම නිළ තමා,

යුද හමුදාව = ජෙනරල්, 
Scan_20150114_141543 - Copy (2)

නාවික හමුදාව = අද්මිරාල්,
Scan_20150114_141543 - Copy

ගුවන් හමුදාව = එයාර් චීෆ් මාර්ෂල්
Scan_20150114_141543

   ඔන්න දැන් ශ්‍රී ලංකා යුද හමුදාවට අදාළව, ජෙනරල් නිළයට ඉහළ නිළය වන, ෆීල්ඩ් මාර්ෂල් නිළය ඇති කිරීමේ අදහසක් තිබෙන බව පෙනෙනවා. හැබෑටම කවුද ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ? එයා මොනවද කරන්නේ? එයා මොනවගේ නිළයක්ද අඳින්නේ? මෙන්න මේවා තමයි, අද අපි ඉගෙන ගන්න යන්නේ.

   ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර, දීර්ඝ ඉතිහාසයක් තිබෙන යුද හමුදා තනතුරක්. ලෝක ඉතිහාසයේ ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර පිහිටුවා ප්‍රදානය කර තිබෙන්නේ, සංග්‍රාමයේදී, යුද්ධෝපාය සැළසුම් සැකසීම, අණදීම, නායකත්වය යන කරුණු ඔස්සේ, සුවිශේෂී දක්ෂතා දක්වන ලද හමුදා සෙනෙවියන්ටයි. සංග්‍රාමයක් අවසන් වූවාට පසුව වුවත්, එම ගෞරවය ලබා දෙන්නට පුළුවන්. මා මීට පෙර ලියන ලද ලිපි කීපයකදීම ඔබට කියා ඇති, ශ්‍රී ලංකා යුද හමුදාවේ සැකැස්ම සහ පිළිවෙත්, බොහෝදුරට බ්‍රිතාන්‍ය යුදහමුදා සැකසුම් සහ පිළිවෙතට සමාන බව. එයට හේතුව, අපි සෑහෙන කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතීම බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් අද වනවිට, අපි අපට ගැලපෙන ප්‍රතිපත්ති සකසාගෙන තිබෙනවා. ඒ අනුව තමයි අපේ ත්‍රිවිධ හමුදා පාලනය වන්නේ. හැබැයි එකක් මතක තියාගන්න. අපේ යුද හමුදාව තවමත් පාලනය වන්නේ 1949 අංක 17 දරන යුද හමුදා පනතින්. මෙයට සංශෝධන එක්වී නැති තරම්. නමුත් කාලීනව, විවිධ ස්ථාවර නියෝග - Standing Orders මගින්, අවශ්‍ය පරිපාලන වෙනස්කම් සිදුවෙනවා. හමුදා නියෝග - Army Orders, හමුදා චර්යා නියෝග - Army Routine Orders, විශේෂ හමුදා නියෝග - Special Army Orders, යනුවෙන් නියෝග වර්ග තිබෙනවා. පස්සේ දවසක බලමුකො.  

   ත්‍රිවිධ හමුදාවේ නිළ හඳුන්වා දුන් ලිපියේදී, මා ඔබට කියාදුන්නා, කණිෂ්ඨ නිළධාරීන් - Subaltern Officers, ක්‍ෂේත්‍ර නිළධාරීන් - Field Officers, ප්‍රධාන නිළධාරීන් - General Officers, යනුවෙන් හමුදා නිළධාරීන් වර්ග තුනක් සිටින බව. ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ ප්‍රධාන නිළධාරී වර්ගීකරණයේ ඉහළම නිළයයි.

   බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ඇතිකර තිබෙන්නේ, ක්‍රි.ව. 1737 තරම් ඈත අතීතයේදී. ෆීල්ඩ් කියන වචනයේ තියෙන්නෙත් ක්‍ෂේත්‍රය කියන තේරුම නේද? ඉතිං ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය වන්නේ, විශේෂයෙන් මහා යුද්ධ පවතින සමයක, විශාල යුධභූමි වල, සමහරවිට රටවල් කීපයක, එකවර යුද හමුදා කීපයක් යොදවා, අණදීමේ කාර්යභාරය ඉෂ්ඨ කරන්නයි. ලෝකයේ සිටි එවැනි සුප්‍රසිද්ධ ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් තමයි, ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට් ගොමරි. දෙවැනි ලෝක යුධ සමයේදී, මේ ෆීල්ඩ් මාර්ෂල් වරයා, ඉන්දියාවේ සිට සිය අණදීමේ කටයුතු කරද්දී, ලංකාවේ හමුදාවත් ඔහු යටතේ තිබුණා. ෆීල්ඩ් මාර්ෂල් තනතුරේ ආරම්භය සිදුවී තිබෙන්නේ මධ්‍යතන යුගයේදී මහා බ්‍රිතාන්‍යය ආශ්‍රිතව බවයි සැලකෙන්නේ. 

bernard-montgomery

   අදත් ලෝකයේ ෆීල්ඩ් මාර්ෂල්ලා ඉන්නවද? ඉන්නවා, හැබැයි විශ්‍රාම ගිය අය. අදනම් ලෝකයේ කිසිම හමුදාවක සක්‍රිය සේවයේ active service ඉන්න ෆීල්ඩ් මාර්ෂල්ලා නැහැ. අවසාන වරට හිටිය ෆීල්ඩ් මාර්ෂල්, තමන් විසින්ම තමන්ව එම නිළයට පත් කරගත්තා. ඒ තමයි අද ඊජිප්තුවේ ජනාධිපති ලෙස ක්‍රියා කරන, අබ්ඩෙල් ෆාටා එල් සිසි.

   යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිළය හා සමාන, නාවික හමුදා නිළයේ හෝ (ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් - Admiral of the fleet) ගුවන් හමුදා නිළ වලට අදාළව, (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් - Marshal of the Air Force) නිළය දරන අයත්, ලෝකයේ කොහෙවත් නැහැ. එයට ප්‍රධාන හේතුව තමා, අද කාලයේ පැවැත්වෙන යුද්ධ වලදී, මහා පරිමාණයෙන් ගොඩබිම් හමුදා මෙහෙයවීමක් සිදු නොවීම. නවීන තාක්ෂණය නිසා, අනාගතය වනවිට, සොල්දාදුවන් වෙනුවට රෝබෝ වරුන් යුද පිටියට යනවිට, 'රෝබෝ ෆීල්ඩ් මාර්ෂල්' කෙනෙක්ව තමයි හදන්න වෙන්නේ :D

   එහෙනම් මොකටද ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් නිළය දෙන්න හදන්නේ? අනේ ඉතිං ඒක මගෙන් අහලා වැඩක් නැහැ. රජයෙන් තමයි අහන්න ඕනෙ. නමුත් මගේ උපකල්පන මෙසේයි. සමහරවිට ඔහුට කරන ගෞරවයක් ලෙස දෙන්නට පුළුවන්. එතකොට එයා ඒ නිළය ඇඳගෙන ආයෙත් හමුදා සේවයට එයිද? නැහැ. ඒකනම් කීයටවත් වෙන එකක් නැහැ. එහෙම අවශ්‍යතාවක් නැහැ. මතකනේ මම කලිනුත් කිව්වේ, ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය වෙන්නේ, මහා පරිමාණයෙන් ගොඩබිම් හමුදා යොදවා, යුද හමුදා කීපයක් එක පාර්ශවයක් ලෙස එක්ව, සටන් කරන අවස්ථාවකදී පමණයි.

   හමුදාවේ සම්ප්‍රදායක් තිබෙනවා, යම්කිසි නිළධාරියකු, සේවයේ යෙදී සිටියදී දක්වන විශේෂ දක්ෂතා සහ කුසළතා වෙනුවෙන්, තාවකාලිකව, ගෞරවනීය ලෙස, ඊළඟ නිළයට උසස් කිරීම. නමුත් වැටුප් ලැබෙන්නේ පරණ නිළයට අදාළවයි.  එමෙන්ම, අගනා සේවා කාලයක් නිමකොට, විශ්‍රාම ගන්නා අවස්ථාවේදී ද, ඒ සේවය ඇගයීම සඳහා, ගෞරවාන්විතව ඊළඟ නිළයට උසස් කරනවා. එසේ කිරීම හැඳින්වීම සඳහා තිබෙන්නේ, ප්‍රංශ භාෂාවේ වචනයක්. 'Brevet - බ්‍රවේ' යනුවෙන් තමයි හඳුන්වන්නේ. අපි හිතමු ෆොන්සේකා මහතාට, බ්‍රවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දුන්නා කියා. එවිට ඔහුට පුළුවන්, එම නිළය ඇඳලා සිහිවටන ඡායාරූපයක් ගන්න. සේනාධිනායකයා අනුමත කරනවානම්, ඔහුට පිදෙන ගෞරවාචාර පෙළපාලියකට නිළ ඇඳුමෙන් සහභාගි වෙන්න.  ඔහුට පුළුවන් තම නමට ඉදිරියෙන් බ්‍රවේ ෆීල්ඩ් මාර්ෂල් කියලා ලියන්න. නමුත් සේනාධිනායකයාගේ කැමැත්ත අනුව, බ්‍රවේ උසස්වීමක් වෙනුවට, ස්ථිර උසස්වීමක් වුණත්, දෙන්න පුළුවන්. (විශ්‍රාම ගැනීමෙන් පසු, හමුදාවේ මේජර් සහ ඊට ඉහළ නිළවලට අයත් නිළධාරීන්ට, එලෙස තම නමට ඉදිරියෙන් නිළය ලියා විශ්‍රාමික යන්න සඳහන් කිරීමේ වරප්‍රසාදය තිබෙනවා, සේනාධිනායකයා විසින් ඔහුගේ අධිකාරිය Commission ඉවත් කර නැත්නම්) 

   හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියනවා. ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් විශ්‍රාම ගියත්, ඔහු හැමදාම සේවයේ ඉන්න විදිහටයි සළකන්නේ. එය නීතියක් නොවේ සම්ප්‍රදායක්. එය ඒ නිළයට කරන විශේෂ ගෞරවයක්. නමුත්, යුද්ධයක් ආවොත් ඔහුව කැඳවන්නේ නැහැ සංග්‍රාමික කටයුතු සඳහා. ඒ වුණත් ඔහුගෙන් විශේෂඥ උපදෙස් ගන්න පුළුවන්.

   මක්කිව්වා........? අනේ අම්මපා, ඇහුවොත් අහන්නේ ඉතිං ඔහොම දෙයක් තමා. ඔහෙ නෑ අනේ......මෙතෙක් කල් ලෝකයේ කිසිම කාන්තා නිළධාරිණියක්, ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දරලා නැහැ. හේතුව?........හේතුව ඉතිං මං දන්නවයැ. සුදුසු අය නැතුව ඇති. බලමුකෝ අපිටවත් එක්කෙනෙක් හදන්න පුළුවන් වෙයිද කියලා :D

   අපේ පොඩ්ඩි නම් ගෙදර ඉන්නේ ෆීල්ඩ් මාර්ෂල් වගේ වෙන්න ඇති. ෆීල්ඩ් මාර්ෂල් ඔමායා ගෙන් කාලෙකින් කිසිම ආරංචියක් නැහැ. ඊශ්‍රායලය පාලනය කරනවාද දන්නේ නැහැ. අපේ බස්සි නම් හොඳයි ෆීල්ඩ් මාර්ෂල් තනතුරකට. නියමෙට වැඩේ දෙයි.

   දැන් එක ප්‍රශ්නයක් තියනවා. ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලංකාවේ හදලා නිළ ඇඳුම එක වරක් හෝ අඳින්න අවසර දුන්නොත්, මොකක්ද උරහිසේ පළඳින නිළ ලාංඡනය? මේ ලිපියේ පළමුවැනි ඡේදයේ වම් පැත්තේ පෙන්වා තිබෙන්නේ බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල් වරයකු තම හිස්වැස්මේ පළඳින ලාංඡනයයි. අපිටත් ඒ ඇසුරෙන් ලාංඡනයක් හදාගන්න වෙනවා. (cap badge)

   මෙන්න බලන්න ලෝකයේ රටවල් කීපයක ෆීල්ඩ් මාර්ෂල් තනතුරට අදාළව උරහිසේ පළඳින නිළ ලාංඡන.
field_1
   මෙහි දැක්වෙන ලාංඡන හතර පිළිවෙලින් එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලට අයත්. මේ ඇසුරෙන් තමා අපේ රටටත් ලාංඡනයක් සකස් කරගන්නට සිදුවන්නේ. මා හිතනවා එය බොහෝදුරට, එක්සත් රාජධානියේ ලාංඡනයට සමාන වනු ඇති අතර, එම ලාංඡනයේ ඇති ඔටුන්න වෙනුවට, අපේ රටේ රාජ්‍ය ලාංඡනය යෙදෙනු ඇති. 

   මොකක්ද මේ සෑම ලාංඡනයකම පාහේ දකින්නට ලැබෙන්නේ. ධාන්‍ය කරල් හෝ ශාක පත්‍ර ලෙස අර්ධ කවාකාර හැඩයක් තුළ, යෂ්ඨි දෙකක් වැනි ලකුණක් දකින්නට ලැබෙනවා. ඉන්දියානු ලාංඡනයේ නම්, කඩුවක් වැනි ලකුණකුත් තිබෙනවා. නමුත් ලෝකයේ බොහොමයක් ෆීල්ඩ් මාර්ෂල් ලාංඡනයේ දක්නට ලැබෙන්නේ, යෂ්ඨි දෙකක ස්වරූපයයි. මේ යෂ්ඨිය ෆීල්ඩ් මාර්ෂල් වරයකු සතු අධිකාරී බලය නිරූපණය කරනවා. 

Jean-Baptiste,_comte_Jourdan,_maréchal_de_France_(1762-1833)


යෂ්ඨිය - Baton මෙන්න මේ වගේ දෙයක්
d4600_1

    මා හිතනවා සංක්ෂිප්තව කරුණු දැක්වීමක් නිසා මීට වඩා විස්තර ඇතුළත් කිරීම සුදුසු නොවන බව. ඔබට ඇතිවන ගැටළු මෙහි සඳහන් කරන්න, හැකි උපරිමයෙන් පිළිතුරු දෙන්නම්. 



2015 ජනවාරි මස 14 වැනි දින 2354 පැය

06 January 2015

ඡන්දෙ ඉවරවෙනකල්

Ha ha
 අම්මෝ.................ඡන්දෙ,ඡන්දෙ, ඡන්දෙ. උදේ ඉඳන් රෑ වෙනතුරු බැලූ බැලූ හැම පැත්තේම ඡන්දෙ. කන්න බොන්නවත් ඕනෑකමක් නැහැ වගේ සමහර අයට. සමහර වෙලාවකට හරිම වදයක්. මේ දවස්වල ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙම ප්‍රචාරක පත්‍රිකා වලින් අපේ පැත්තේ ගෙවල්වල තැපැල් පෙට්ටි පිරිලා. අපි නම් ඒවා විසිකලේ නැහැ. මොනවා හරි ඔතන්න අරං තිබ්බා. මේ ඡන්ද කරච්චලෙන් ටිකක් මිදෙන්නත් එක්ක, කියවලා බලමුද කතා දෙකතුනක්? හැබැයි මේවා මගේ නිර්මාණ නෙවෙයි. ජාලය පීරලා හොයාගත්ත දේවල්. කමක් නැහැ නේද? අපිට ඕනෙ සරල වින්දනයක් ලබන්නනේ. හරි, එහෙනම් පටන්ගම්මු. (පින්තූරේ ගත්තෙ මෙතනින්)


  තුවාල වෙච්ච හැටි

   ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රූස්වෙල්ට් ගේ ආර්යාව, හමුදා රෝහලට ගියා, යුද්ධයෙන් තුවාල වූ සොල්දාදුවන් බලන්න. මුළු ශරීරයම වෙළුම්පටි වලින් ඔතලා, මමියක් වගේ පෙනෙන සොල්දාදුවකු දුටු ඇය, හොඳටම කම්පාවී, ඔහුගේ ඇඳ අසළට ගියා. 

"දෙවියනේ.....................!, මොකද ඔයාට වුණේ" ඇය සොල්දාදුවාගෙන් ඇහුවා.

"මේකයි වුණේ මැඩම්, මම කැලේ පැට්‍රෝල් එකක් යනකොට, එක ජපන් සොල්දාදුවෙක් කෑගහලා කිව්වා, ජනාධිපති රූස්වෙල්ට් කන්නේ මීයෝ........ කියලා. මම කෑගහලා කිව්වා, ජපන් අධිරාජයා කන්නේ, 'ග් ඌ...........' කියලා". සොල්දාදුවා උත්තර දුන්නා.

"එහෙනම් එතකොටම උන් ඔයාට මෝටාර් බෝම්බයක් එවන්න ඇති".  ආර්යාව කිව්වා.

"නෑ නෑ මැඩම්, තවම තුවාල වුණේ නැහැ. අර ජපන් සොල්දාදුවා ආයෙත් කෑගහලා කිව්වා, උඹලගේ ගැරී කූපර් කියන්නේ, රඟපාන්න බැරි නළුවෙක්, කියලා. මම කෑගහලා කිව්වා, අධිරාජයාගේ නෝනට උයන්න බෑ..............කියලා"

"එහෙනම් උන් ඔයාට අත් බෝම්බෙකින් දමලා ගහන්න ඇති". ටිකක් නොඉවසිල්ලට පත්වූ ආර්යාව කිව්වා.

"නෑ නෑ තවම නෑ මැඩම්" සොල්දාදුවා උත්තර දුන්න.

"එහෙනම් මොකද වුණේ"?

"ඒ පාර අර ජපනා කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මෝඩයෝ කියලා". මම කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මැට්ටෝ කියලා".

"ඉතිං ඒ පාර?" ආර්යාව ඇහුවා.

"ජපනයි මායි ලඟට ඇවිත්, අතට අත දීලා කතාකරලා, සිගරට් එකක් බොන්න හදනකොටම, මේ කොහේදෝ ගිහින් පාර වරද්දගත්ත අපේ හමුදාවේ යුද්ද ටැංකියක්, මාව යටකරගෙන ගියානේ මැඩම්" සොල්දාදුවා උත්තර දුන්නා.


  ජරා මැගසින්

   එක හමුදා කඳවුරක් භාර නිලධාරියා, එයාගේ නෝනට කෝල් එකක් දුන්නා.

   "මේ, අද මම එන්න ටිකක් පරක්කු වෙනවා. මේ අපේ සොල්දාදුවෝ ළඟ තිබිලා, මට අහුවුනා ජරා මැගසින් වගයක්. මම උන්ට එකට අවශ්‍ය දඬුවම් දීලා තමයි ගෙදර එන්නේ"

   නිලධාරියා තරමක් ප්‍රමාදවී නිවසට ආවම, නෝනා අහනවා,

   "මාර ජාති තියෙන්න ඇති නේද ඒ මැගසින් වල? ඔයාට තිබුණේ එකක් දෙකක් අරං එන්නනේ" කියලා.

   නිලධාරියා කියනවා,

   "ඔයා මේ මොන මගුලක් කතාකරනවද කියලා මට තේරෙන්නේ නෑ. උන්ගේ තුවක්කුවල සමහර මැගසින් මළකඩ කාලා. මාස ගානකින් සුද්ද කරලා නෑ. මම උන්ව පැයක් කන්දක ඉහළට පහළට දුවවලා, උන්ට රෑ කෑම ප්‍රමාද කරලා, හැම මැගසින් එකක්ම සුද්ධ කරලා, මට පෙන්නන්න කිව්වා.

type56


ප්‍රථමාධාර 

  බොහොම සැර හමුදා සැරයන් මේජර් කෙනෙක් ඉන්න කණ්ඩායමකට අයත්, ආධුනික සොල්දාදුවන් පිරිසකට, හමුදා වෛද්‍ය උපදේශක විසින් ප්‍රථමාධාර පන්තියක් පවත්වනවා.

  උපදේශක සොල්දාදුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

   "හොඳයි, මෙහෙම හිතන්න. තමන්ගේ සාජන් මේජර්ට, බෝම්බ කෑල්ලක් වැදී, හිසේ තුවාලයක් ඇතිවෙනවා. මොකක්ද තමුන් දෙන ප්‍රථමාධාරය?"

   එක සොල්දාදුවෙක් විදුලි වේගෙන් නැගිට්ටා. "මම සාජන් මේජර්ගේ බෙල්ලට තිරිංග බැම්මක් දාලා හොඳට තද කරනවා, ලේ ගැලීම නවතිනතුරු" කියලා උත්තර දුන්නා.

picture-22975


අදට ඇති නේද? පස්සේ තව ඒවා දෙන්නම්කො. ගොඩක් තියනවා හොයාගත්ත ඒවා. 



2015 ජනවාරි මස 06 දින 2306 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }