හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 July 2014

සම්සුදීන් නානා - Samsudeen Nana ...වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටි කතාවක්

   අපේ රටේ තිබෙන ජනවාර්ගික අර්බුදය නැතිකොට සාමකාමී සහජීවනය සහ සංහිඳියාව ඇතිකිරීම සඳහා විවිධ යෝජනා/ව්‍යාපෘති/ප්‍රොජෙක්ට්/වර්ක්ෂොප්/සිම්පෝසියම්/එම්පෝරියම්.........හුටා එව්වා නෑ නේද?/ තව අහවල් එව්වා/මේ එව්වා/ නම් ටොන් ගණනින් ඉදිරිපත් වෙනවා.
   නොර්වේ රාජ්‍යයෙන් ලැබුණු කෝටි ගණනක් මුදල් වියදම් කරලා වාසුදේව නානායක්කාර උන්නැහේ මේ දවස්වල සරුංගල් යවනවා ඊනියා සංහිඳියාව ඇතිකරන්න. අනේ ඒ සල්ලි වලින් අලුත්ගමදී විපතට පත් මුස්ලිම්/සිංහල පවුල් කීපයකට සෙත සැළසුවානම් කොච්චර හොඳද? හරි ඒ ගැන වෙනම කතාකරමුකෝ. වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටි කතා මීට පෙරත් මා ඔබවෙත ගෙනවිත් තිබෙනවා. මේ ඔහුගේ අලුත්ම නිර්මාණයක්. කියවා බලා ඔබේ අදහස් දක්වන්න.


සම්සුදීන් නානා 



   අඩක් විනාශ කරන ලද තම නිවෙස දෙස සම්සුදීන් බලාසිටියේ ශෝකයෙනි.  දියණිය මුණපුරාට බෝතලයෙන් කිරි පොවමින් සිටියාය​. කිරි දරුවාගේ හිස ප්ලාස්ටරයකින් වෙලා තිබේ. නිවෙස විනාශ කිරීමට පැමිණි මැරයන් විසින් එල්ල කරන ලද ගල් පහරක්  නිසා දරුවාගේ හිස තුවාල වූ අතර රෝහල් ගත කල දරුවා සහ මව ටිකට් කපාගෙන පැමිණියේ අද දහවලය​. තුවාලයේ වේදනාව නිසාදෝ දරුවා වරින් වර අඞයි. දරුවා අඞන වාරයක් පාසා සම්සුදීන් ගේ සිත ශෝකයෙන් බරවී යයි. සිය නෙතට ඉනූ කඳුලු  දියණියගෙන් වසන් කරනු වස් ඔහු මුහුණ අනෙක් පසට හැරවීය​. එවිට ඔහුගේ නෙත ගැටුනේ කඩා බිඳ දමන ලද පැරණි සිංගර් මහන මැෂිමයි. වසර ගානක් පුරා සිත්තියාගේ  දෑත්වල පහස ලැබූ මැෂිම දැන් නටබුන් ගොඩකි.


   නිවසට පහර දීමට පැමිණි මැරයන් ගෙන් කෙනෙක් සිංගර් මහන මැෂිමට පොරෝ පහරවල් කීපයක් එල්ල කොට එය නටබුන් කලේය​. ඔහු එය කරේ තබාගෙන නොගියේ මහන මැෂිම   මළකෑ තිබීම නිසාය​. නිවසින් කොල්ල කෑමට වටිනා දෙයක් සෙවූ ඔහුට දකින්නට ලැබුනේ  මේස පංකාවකි. මේ පංකාව අසම්සුදීන් සීරුවෙන් මුදල් එකතු කොට  මිලට  ගත්තේ රස්නය නිසා රෑට අඞන මුණපුරාගේ සුව පහසුව ගැන සිතාය​.  පොරෝකරු මේස පංකාව සියතට ගැනීමට පෙර තවමත් දැළි රැවුලවත් නොවැඩුනු බෞද්ධ කොඩියක් සරමක් සේ කොට කලිසමට උඩින් දවටාගෙන සිටි ගැටවරයෙක් එය අතට ගත්තේ නිල් මැණිකක් අතට ගත් පතල්කරුවෙකුගේ විලාශයෙනි. නමුත් ගැටවරයාට කොල්ල කෑ වස්තුව භුක්ති විඳීමට හැකි වූයේ තත්පර කීපයකි. මේස පංකාව ග්‍රහනය  කරගෙන සිටි ලාබාල මැරයාට පා පහරක්  දුන් පොරෝකරු එය තමන් සන්තක කර ගත්තේය​.


   සම්සුදීන් ගේ නිවසේ දොරට සහ නිවසේ ඉදිරිපසට පහර දී විනාශ කල මැර සේනාව ඉන්පසු යාබ්ද නිවස කරා ගියහ​. මේස පංකාව සහ පොරව දෑතින් ගෙන සිටි මැරයා සෙස්සන් සමග ගමන් කලේ  ජාතිවාදී උද්‍යෝග පාඨ මුරගාමිනි.


   පැරණි සිංගර් මහන මැෂිමේ කෑලි එකතු කල සම්සුදීන් යළි එය එකලස් කිරීමට හැකිදැයි බැලීය​. පොරෝ පහර නිසා මැෂිම කැබලි වී ගොස් තිබේ. මැෂිමේ කෑලි අතගාන විට ඔහුට සිත්තියාගේ රුව සිතේ මැවිනි.


   සිත්තියා පයාගලදී කහ ඉර උඩ හප්පා දැමුවේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ තරුණ පුතෙකි. ලයිසන්වත් නොතිබූ  තරුණයා පියාගේ අලුත්ම මොන්්ටරෝවට හැපුණු මහළු ගැහැනිය ඉස්පිරිතාලයකටවත් ගෙන යාමට උත්සහ නොගත්තේය​. රිය අණතුර විභාග කිරීමට පැමිණි පොලිස්කරුවන් දේශපාලකයාගේ  පුතාට ගෞරව පූර්වකව  ආරක්‍ෂාව සපයමින්   රිය අණතුර නිසා කපුටන් සමූහයක් මෙන් වටවූ  ජනයා පළවා දැමූහ​.  සිත්තියා රෝහලට රැගෙන යන ලද්දේ හංදියේ ත්‍ර්‍රීවීල්කරුවෙකි. රෝහලට ඇතුලත් කරන විටත් ඇයගේ ප්‍රාණය නිරුද්ද්ධවී තිබුණාය​.


   සිත්තියාගේ මරණයෙන් පසු දියණිය සමග තනි වූ සම්සුදීන් හරි හැටි කෑමක් බීමක් පවා ගත්තේ නැත​. ඔහු තවත් මහළුව ගියේය​. රිය අණතුර සමථයකට පත් කරගනුවස් දේශපාලකයා දුන් රුපියල් ලක්‍ෂය යොදා වියාපාරයක් අරඹන ලෙස අසල්වැසි නූර්දීන් දුන් අවවාද පවා ඔහු අසා සිටියේ හිස් බැල්මකින් යුතුවය​. එම මුදල් අවසානයේ වියදම් වූයේ ඉටි කොල  හා ලෑලි ගසා තිබූ නිවසේ ඉදිරිපස ඉදි කිරීමටය​. සිත්තියාගේ මරණය නිසා හදා ගැනීමට හැකි වූ නිවසද මැරයන් විසින් කඩා බිඳ දැමීම ඔහුගේ මහළු වයසට දරා ගත නොහැක​. එය යළිත් වරක් සිත්තියා අහිමිවීමක් මෙන් ඔහුට දැනේ.


   අද සවස සෞදි අරාබියේ සිටින බෑණාට දුරකථන ඇමතුමක් දිය යුතු බව සම්සුදීන් සිතුවේය​. මොහිදීන් ගේ කොමියුනිකේශන් එකද විනාශ කොට ඇති නිසා දුරකථන ඇමතුම ගැනීමට දැන් ටවුමටම යා යුතුය​.


   බෑනාට මේවා ආරංචිවෙලා කලබල වෙලා ඇති ඔහු සිතුවේය​. මොන විනාශය වූවත් පවුලේ උදවියගේ පණ බේරා ගැනීමට හැකි වූයේ අල්ලා දෙවියන් ගේ මහිමයෙන් බව සිතා ඔහු අහස දෙස බැලීය​.


   ප්‍රහාරය ඇරඹුනේ නොසිතූ මොහොතකදීය​.  පල්ලිය හන්දියේදී   මැරයන් පිරිසක් මුගුරු අමෝරාගෙන එනවා දුටු සම්සුදීන් රිෆයිඩීන් ගේ මස් කඩයේ කොට තාප්පය උඩින් පැන කුරුඳු වත්ත හරහා දිව ගියේය​. සම්සුදීන් මහල්ලෙකු වූවද තරුණයෙකු සේ ජවයන් යුතුව කොට තාප්පයෙන් පැනීමට හැකිවීම  පුදුමයකි.  නිවසේ තනිව සිටින දියණිය සහ කිරි දරුවා මතක්වීම නිසා ඔහුට විඩාවක් දැනුනේ නැත​. ඔහු එක හුස්මට නිවස වෙත දිව ගියේය​. හබරල ගාල අසලදී කිරි දරුවා වඩාගෙන සිටි දියණිය ඔහු දුටුවේය​. දරුවාගේ හිසින් ලේ ගලා යයි. මැරයන් පිරිසක් නිවසට ගල් පහරවල් එල්ල ක​ළ බවත් ඉන් එක් ගලක් ජනේලයේ වීදුරුව බිඳගෙන දරුවාගේ හිසට වැදුන බවත් දියණිය ඉකි ගසමින් පැවසුවාය​.


   දරුවා අතට ගත් සම්සුදීන් දියණිය සමග කුරුඳු කැලය ඔස්සේ මහ පාරට පැමින පාරේ යන ත්‍රීවීලයක් නවතා ගත්තේ අසීරුවෙනි. කිරිකැටියාගේ හිසේ තුවාලය දුටු රියැදුරා කිසිවක් නොදොඩා ඔවුන්ව රෝහල වෙත ගෙන ගියේය​. අතරමගදී කලබලයෙන් දිව යන මිනිසුන් , පොලිස් භටයන් දුටු සම්සුදීන් මහා විනාශයක් සිදුවී යන බව ඉවෙන් මෙන් වටහා ගත්තේය​.


   රෝහලට පැමිණි සම්සුදීන් ත්‍ර්‍රීවීලයට ගෙවීම සඳහා උඩ සාක්කුවට අත දැම්මද කිසිම මුදලක් නොගත් රියදුරා ඉක්මනට බාහිර රෝගී අංශය වෙත දරුවා ගෙන යන ලෙස පවසා යන්නට ගියේ ස්තූති කිරීමටවත් වේලාවක් නොතබමිනි.


   දරුවා රෝහලේ දින හතරක් නවතා ගන්නා ලදි. ඒ කාලය තුල සම්සුදීන් කාලය ගත කලේ රෝහල් වාට්ටුවේ සහ සාලිය​ මුදලාලිගේ කඩයේ පසුපස කොටසේ තිබූ දර මඩුවේය​. සාලිය​ මුදලාලිගේ හාමිනේ ඔහුට සහ දියණියට දිනපතාම ආහාර සකස් කර දුන් අතර ඒ සඳහා සතයක්වත් ගත්තේ නැත​.


   දරුවා සහ දියණිය රෝහලෙන් ටිකට් කප්පවාගෙන පැමිණි සම්සුදීන් දුටුවේ විනාශ කරන ලද තම ගෘහයයි. නිවස දෙස බලා දියණිය කඳුලු වගුරවද්දී සම්සුදීන් සුසුම් හෙලීය​. යන්තම් ඇතුළු කාමරයක් ප්‍රහාරයට අසු නොවී බේරී තිබේ. නමුත් එහි ජනේලය බිඳ දමා තිබේ. ඔහු කාඩ්බෝඩ් කැබැල්ලකින් වීදුරුව ආවරණය කලේය​.  පැරණි මෙට්ටයක් කාමරයේ ගෙබිම එලා  නිවසේ ඒමේ අත දමා තිබූ රෙදි  අතුරා ඔහු දියණියට සහ දරුවාට නිදා ගැනීමට තැනක් පිලියෙල කලේය​. ඒ අතරවාරයේ අසල්වැසියන් කිහිප දෙනෙක් ඔහුගේ නිවෙස වෙත පැමිණියහ​. ඔවුහු බත් පාර්සල් කීපයක් ගෙන ආහ​.

   රිස්විට දුරකථන ඇමතුමක් දිය යුතු බව සම්සුදීන්  දියණියට පැවසීය​. නමුත් පියා ටවුමට යාම පිලිබඳව ඇය බිය ගත්තාය​.


   දියණිය සහ මුණපුරා බලා ගන්නා ලෙස නූර්දීන් ගේ බිරියට ආයාචනාවක් කල සම්සුදීන් දියණියගේ විරුද්ධත්වයද නොතකා ටවුම වෙත පියමැනුවේය​. අතරමගදී ඔහුට මන්සූර් හමු විය​. මන්සූර් ගුරුවරයෙකි. ඔහු තැනින් තැන තරහෙන් සහ කළකිරීමෙන් යුතුව සිටි මිනිසුන් අස්වැසුවේය​. ටවුම වෙතයාම පසෙකලා ඔහු මන්සූර් සමග ගියේය​.


     පල්ලිය අසලදී තරුණයන් කන්ඩායමක් ඔවුන් දෙදෙනාට හමු වූහ​. තරුණයන්  කථා කලේ ආවේගයෙනි.


   අපේ ගෙවල් ගිනිතියලා බඩු කොල්ලකාලා අපිව පාරට ඇදලා දැම්මා. අපි මරාගෙන මැරෙන්න උනත් දැන් ලෑස්තියි" කන්ඩායමේ සිටි උස තරුණයෙකු කීවේය​. ඔහු තුවාන් ගේ පුතා බව සම්සුදීන් අඳුනාගත්තේය​.


   මන්සූර් මහතා ඔවුන්ව අස්වැසීමට තැත් කලද ඔවුන් මන්සූර් මහතා සමගත් එකට එක කීහ​.


  "සර් ගහන්ඩ ගහන්ඩ වඳින එකත් මෝඩයා වඳින්ඩ වඳින්ඩ ගහන එකත් මෝඩයා . අපිටත් පුලුවන් මේවට රිටන් එක දෙන්න "තුවාන් ගේ පුතා මන්සූර් මහතා දෙස බලා   තරහෙන් යුතුව පැවසීය​. මන්සූර් මහතාද ඉන් මෙල්ල නොවූ බව පෙනුනි.


   "උඹලා අර මාළු ගුණපාල ගේ ගෙදරට රිටන් එක දුන්න කියලා මට ආරංචියි. උන් හැමදාම අපි අතර හිටපු අසරණයෝ. උඹලා  අරුන් අපිට ගහන්න එනකොට හැංගිලා ඉඳලා උන් ගියාම පස්සේ මෙහෙ ඉන්න දුප්පත් මිනිස්සුන් ගේ ගෙවල් පිච්චුවා නේද ?
උඹලා වගේ එවුන් නිසා තමයි මේක කවදා හරි ලේ විලක්  වෙන්නේ. මන්සූර් මහතා කෝපයෙන් යුතුව තරුණයන් අමතා පැවසීය​. ඉන් මෙල්ල වූ තරුණයන් තරහෙන් මුමුණමින් විසිර ගියහ​.


    " සම්සුදීන් නානා අපි යමු ගුණපාලගේ ගෙදර"  මන්සූර් මහතා කල ඉල්ලීම  සම්සුදීන්හට ඉවත නොදැමිය හැක​. ඔහු මන්සූර් මහතා පසුපස ගියේය​.


    ගුණපාලගේ නිවස තිබූ තැන දැන් ඇත්තේ දාගිය  අඟුරුය​. වහලයට ගසා තිබූ ටකරං ගින්න නිසා ඇඹරී ගොස් තිබේ. ගුණපාල දුටු සම්සුදීන්ට විශාල කම්පාවක් මෙන්ම වරදකාරී බවක් දැනුනි. ඔහු ගුණපාල වෙත ගියේය​.


   "කුණපාල මොක්කුද උණා " ඔහු අනුකම්පාවෙන් යුතුව විමසීය.



   මොනා වෙන්නද නානා වෙන්න තියන හැම දෙයක්ම උනා. ඔහෙලගෙ වත්තට අරුන් ගහල ගියා අන්තිමට ගුටි කෑවෙ අහක හිටපු අපි. බලන්න උන් මගේ බයිසිකයට කරලා තියන දේ.


    ගින්නට අසුවූ ගුණපාලගේ බයිසිකලය  අලින් පෑගූ යකඩ  බට ගොඩක් මෙන් දිස්වේ. බයිසිකලයේ රබර් ටයර් පිලිස්සීම නිසා මතුවූ ගඳ තවමත් අවකාශයේ පැතිරී තිබේ. ගුණපාලගේ දරුවෙක් සුන්බුන් අතරින් තමන් ගේ පාසල් පොත් බෑගය සොයයි.


    එහෙන්  හැමදාම උදේ හවහා  යකඩ කටවල් වලින් ආගම කියනවා මෙහෙන් හැමදාම උදේ හවහා කඩ කටවල් වලින් පිරිත් කියනවා අන්තිමේදී දෙගොල්ල  සත්තු වගේ කාකොටාගන්නවා ගුණපාල වෙව්ලන ස්වරයෙන් යුතුව කීවේය​.


   මන්සූර් මහතා සහ සම්සුදීන් කිසිවක් කීවේ නැත​. ඔවුන් කම්පිතව ගුණපාල දෙස බලා සිටියා පම​ණි.



වෛද්‍ය රුවන් එම් ජයතුංග 


my-signature-for-blog[1]   2014 ජූලි මස 20 දින 0926 පැය

25 comments :

  1. රුවන් ජයතුංගගේ තවත් පොතක් ..

    ReplyDelete
    Replies
    1. කොහෙද යකෝ පොතක්? මේක කෙටි කතාවක් නේ.

      Delete
  2. පොඩ්ඩක් ඉන්න ..... සවස කියවමි.....

    ReplyDelete
  3. මට මතක් උනේ ...... පරිවර්තන කෙටි කතාවක් වන මගේ පරෙවි කුඩුව කෙටි කතාව.....විචාරක තුමනි ඒ බටහිර .... මේ පෙරදිග.... දෙදිගම එක වගේ ඇවිල්ලෙන්නේ ගින්දර.... සෝ සුසුම් පමණයි.....

    කතාව හොදයි..... රුවන් ජයතුංග මහත්තයාගේ....

    ReplyDelete
    Replies
    1. ඔබ්ව් කෙටිකතාවට ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?

      මටත් මේ කතාව බලපු ගමන් හිතට ඇල්ලුවා.

      Delete
    2. කොහොමද ලින්ක් කරන්නේ , මං පොතෙන් බැලුවේ.... සිංහල පරිවර්තනය..... රුසියානු කෙටිකථා සංග්‍රහයක තිබුනේ...... කියෙව්වේ වසර දහයකට පමණ පෙර .....තුමනි.....

      Delete
  4. විචා මාමේ ඇත්ත කතාව දැකලා ඇත්තටම හිත සසල උනා
    ලිව්ව වෙදදුරාටත් මෙතනට ගෙනත් අපිට පෙන්නුවා විචාරක තුමාටත් ස්තුතිය

    ReplyDelete
    Replies
    1. පෙන්නන එකනම් බොහොම ලේසියිනෙ. ලියන එක තමයි අමාරු. ඇත්තටම වෙදැදුරු තුමාටයි ගෞරවය.

      Delete
  5. ස්තුතියි විචාරක තුමනි වටිනා කථාවක් කියැවීමට සැලැස්වූවාට
    වෛද්‍ය තුමනි ඔබටත් තුති..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කතාවේ කතුවරයා වෙනුවෙන්.

      Delete
  6. //කිරිකැටියාගේ හිසේ තුවාලය දුටු රියැදුරා කිසිවක් නොදොඩා ඔවුන්ව රෝහල වෙත ගෙන ගියේය​. //

    මිනිස්සු … !!!!!

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කරන්නැති අමනයොත් ඉන්නවා පත්තරේ

      Delete
  7. Jaathiwaadaya.. Thiyana, pathurana, pathurawana aya eka paththaka. Windawana aya thawa paththaka. Anthime kohenuth thalenne kapenne ketenne nathi bari asarana minissu....

    ReplyDelete
    Replies
    1. ජාතිවාදියෝ ගිනි තියනවා. මිනිස්සු මැරෙනවා.

      Delete
  8. කතාව කියෙව්වා මොනවා කියන්නද කියලා කල්පනා කරේ ,මෙක කියවන්න් දුන්න ඔබට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ස්තුතිය හිමිවිය යුත්තේ කතුවරයාටයි.

      Delete
  9. හරිම සංවේදී කතාවක් විචාරක. මේ වගේ කතා දැක්කාම මට කොහේ හරි දුවගෙන ගිහින් හැංගෙන්ට හිතෙනවා... :(

    ReplyDelete
    Replies
    1. අපි කොහේ හැංගුනත් මේ තිත්ත ඇත්තෙන් හැංගෙන්න බැහැ කියලයි මටනම් හිතෙන්නේ.

      Delete
  10. කතුවරයා වෙනුවෙන්, ඔබට ස්තුතියි.

    ReplyDelete
  11. දොස්තර මහත්මයාට නිවැරදි දැක්මක් තියෙනවා. රසවත් කතාවක්. මට කියවන්න ලැබුනා.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් මේ කතාව ලැබෙන්න ඇති නේද? මම කියවපු ගමන් පළකළේ. පස්සෙයි එතුමාට දැණුම් දුන්නේ.

      Delete
  12. මේ කාළකණ්නි නරුම තත්වයට තමයි දැන් ආයෙත් අපේ රට ඇදල දාන හදන්නෙ. ලෝකෙ ආගම්, ජාති කියල බෙදීමක් නොතිබුනානම්. එක ජාතියයි, ඒ මනුස්ස ජාතිය. එක නීතියයි, ඒ ආගම. අන්න එහෙම තිබුනානම්.

    ReplyDelete
    Replies
    1. ඒ විදිහට ලෝකය හදාගන්නත් අපටම තමයි පුළුවන්. මනසින් උසස් නිසාලු නේ අපිට 'මිනිස්' කියලා කියන්නේ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }