හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

14 June 2014

කටපුංචලාගේ ලොකු අයියලා (හතරවැනි කොටස) - Machine Guns and There Applications (Part Four)


Dog
     තුවක්කු ගැන කියවෙන තවත් ලිපි මාලාවක අවසාන කොටස තමයි මෙසේ අද ඔබ වෙත ගෙන එන්නේ. පසුගිය ලිපි තුන මගහැරුණු කෙනෙක් ඉන්නවානම්, පළමුවැනි ලිපිය මෙතැනින්දදෙවැනි ලිපිය මෙතැනින්දතුන්වැනි ලිපිය මෙතැනින්ද, බලන්නට පුළුවන්. පසුගිය ලිපි තුනේදී, ඔබෙන් සෑහෙන දෙනෙක්, තම සිතේ පහලවූ ගැටළු විමසා, පිළිතුරු ලබාගැනීම ගැන මා සතුටු වෙනවා. ඇත්තෙන්ම, යුද්ධායුධ පිළිබඳ දැණුමක් නැති ඔබෙන් බහුතරයකට, ඒ පිලිබඳ සරල දැණුමක් ලබාදෙන්නට මා දරන උත්සාහය සාර්ථක බව, ඔබේ ප්‍රතිචාර වලින් පැහැදිළි වෙනවා. මේ වනවිට, මා ඔබට විවිධ තුවක්කු වර්ග ගැන විස්තර කියාදී තිබෙනවා. ඉදිරියේදීත්, මීටත් වඩා නවීන තුවක්කු ගැන, ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා.


   දැන් ඔබට සෑහෙන තරම් සතුටුදායක අවබෝධයක් තිබෙනවා, පාබල හමුදා, යුද භූමියේදී පාවිච්චි කරන ප්‍රධාන මැෂින් තුවක්කු වර්ග දෙකක් ගැන. ඒ තමයි සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු හෙවත් Light Machine Gun = LMG, සහ මධ්‍යම පරිමාන මැෂින් තුවක්කු හෙවත්, Medium Purpose Machine Gun = MPMG, General Purpose Machine Gun = GPMG. ඉතින් ඒ අවබෝධයත් සහිතව, අද කතාකරන්නේ, මහා පරිමාණ හෙවත්, බර මැෂින් තුවක්කු, Heavy Machine Guns ගැනයි.

   සාමාන්‍යයෙන් සංග්‍රාමික කටයුතු වලදී බර මැෂින් තුවක්කු පාවිච්චි කරන්නේ පාබළ බළඇණියක Infantry Battalion ආධාරය සඳහායි. මතකද මේ ලිපි පෙළේ මුලින්ම කියාදුන් සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව පාවිච්චි කරන්නේ සෙබල පෙළක section ආධාරය සඳහායි. දෙවනුව කියාදුන් මධ්‍යම පරිමාණ යාන්ත්‍රික තුවක්කු යොදාගන්නේ පාබල කණ්ඩායමක  company ආධාරය සඳහායි. බර මැෂින් තුවක්කු වලින් සම්පූර්ණ බලඇණියක ආරක්ෂාව සපයන්න පුළුවන්. ඒ සඳහා ආධාරක කණ්ඩායම support company නමින් වෙනමම කණ්ඩායමක් පාබල බලඇණියක පිහිටුවා තිබෙනවා. එහි ඉන්නේ බලඇණි ආධාරක අවි battalion support weapons (මැෂින් තුවක්කු, මෝටාර්, ආර්.සී.එල්. තුවක්කු, ආර්.පී.ජී.) පිළිබඳව විශේෂඥ පුහුණුව ලද අයයි. 

   පසුගිය ලිපියෙදීත් මා ප්‍රකාශ කළ ආකාරයට ලෝකයේ තිබෙන සෑම බර මැෂින් තුවක්කු වර්ගයක් ගැනම මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. එවිට ලිපිය සංකීර්ණ වීම පමණයි සිදුවන්නේ. ප්‍රධාන වශයෙන් බර මැෂින් තුවක්කු වර්ග දෙකක් ගැන පමණයි කතාකරන්නේ. හොඳයි, අපි මුලින්ම බලමු අද අපි ඉගෙනගන්න පළමුවැනි තුවක්කුව දෙස. 


.50 බ්‍රව්නිං මැෂින් තුවක්කුව

.50 Browning Machine Gun


 m2-50-cal-heavy-machine-gun    ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මේ මැෂින් තුවක්කුව අදත් පාවිච්චියට ගන්න ප්‍රධාන පෙළේ මැෂින් තුවක්කුවක්. මෙහි ඇති ප්‍රබල ක්‍රියාකාරිත්වය නිසාමයි, මෙය අද දක්වාම ලෝකයේ හමුදා බොහොමයක් පාවිච්චි කරන තුවක්කුවක් බවට පත්ව තිබෙන්නේ. මට මතකයි, 1991 වර්ෂයේදී මා කන්කසන්තුරේ ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටියදී, අප සේවය කළ ආරක්ෂක වලල්ලේ සිට, මීටර් 1000 කට පමණ ආසන්න දුරකින් පිහිටි, බ්ලොක් ගල් වලින් සකසා තිබුණු, එල්.ටී.ටී.ඊ. බංකර් වලට, මේ අවියෙන් පහර දී කඩා දැමූ හැටි. නමුත් ඔවුන් ඒවා නැවත නැවතත් ඉදිකරන නිසා, ඊට වඩා ප්‍රබල අවි යොදවා, ඒ බංකර් සුණු විසුණු කරන්නට අපිට හැකිවුණා.

   මේ අවිය මගින්, තරමක් ඝන ස්ථර විනිවිද යන්නට වෙඩි තැබිය හැකියි. ගුවන් යානා නාශක අවියක් ලෙසත් යොදවන්න පුළුවන්. මේ අවිය, ගොඩබිමේදී, ආධාරක මත සවිකර හෝ සන්නද්ධ රථවල සවිකර පාවිච්චි කල හැකි අතර, නාවික යාත්‍රා වලත්, ගුවන් යානා වලත් සවිකර, ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. මෙය කිසිසේත් අතේ තබාගෙන වෙඩි තියන්නට බැහැ. මෙය ඒ ආකාරයට සකසා නැහැ. එමෙන්ම මෙය කිලෝ 30 කටත් වඩා බරයි. හොඳින් බලන්න මේ අවියට මිටක් butt නැහැ. එමෙන්ම මා ඔබට පෙන්වන්නම් මේ අවිය අල්ලන්නෙත් අනික් තුවක්කුවක් අල්ලන ආකාරයට නෙවෙයි. මේ බලන්න වෙඩි තියන හැටි.

  


   හොඳට බලන්න මේ වීඩියෝවේ, වෙඩි තියන එක්කෙනා තුවක්කුව අල්ලාගෙන ඉන්න හැටි. පැහැදිළිව පේනවා නේද වෙන තුවක්කුවකින් වෙඩි තියන විදිහට නෙවෙයි මේ තුවක්කුවේ කොකා මිරිකන්නේ කියන එක. මෙන්න බලන්න එතන තියෙන්නේ කොහොමද කියලා.


DSC00074-07

මේ අලි තුවක්කුවට තියෙන්නෙත් අලි පතරොමක්. මෙන්න බලන්න සයිස් එක.


50-bmg-cartridge



ammo_50cal_m2_drwg


   දැන් හිතාගන්න පුළුවන් නේද අඟල් 5  1/2 ක් විතර දිග පතරොමකින්, අඟල් දෙකක් විතර දිග උණ්ඩයක් පිට කලාම, කොච්චර ප්‍රබලද කියන එක. ඒ වගේම, මේ තුවක්කුවෙන්, විවිධාකාර පතරොම් වර්ග වෙඩි තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් යොදන පතරොම් වැලක, සෑම පතරොම් 5 කට එකක් ට්‍රේසර් tracer වර්ගයේ උණ්ඩයක් සහිතයි. එහෙම කරන්නේ, වෙඩි තබන්නාට සහ, ඔහුගේ කණ්ඩායමේ අයටත්, උණ්ඩ වදින්නේ කොතනටද කියලා පහසුවෙන් බලාගන්නටයි. ඝන ලෝහ තහඩු විනිවිද යන, ආමර් පියර්සින්ග් Armour Piercing, ඒ වගේම, වැදුණු තැන්වල ගිනි අවුළුවන, ඉන්සෙන්ඩයරි Incendiary, උණ්ඩ මෙන්ම, ඒ සියලු ලක්ෂණ කැටිවුණු උණ්ඩත්, වෙඩි තියන්න පුළුවන්. මේ පහත දක්වන්නේ, ඒ උණ්ඩ වර්ග පිලිබඳ විස්තරයයි.




m2ammunitiontypes



   මේ මේ මේ, දැන් අහන්ඩ එපා...............මම හැමදාම කියනවනේ මම දෙන්නේ එදාට එදාට විතරක් හරියන, 'එදාවේල දැණුමක්' නෙවෙයි කියලා. පතරොම් වර්ග ගැන කතාකලේ කොච්චර කාලෙකට ඉස්සරද? ඒවා මතක නැති කරාට මමද පළි? කලින් පාඩම මතක තියන ළමයා, ඉක්මනින් දුවලා දුවලා අපේ ගෙදර ආවොත්, .50 වර්ගයේ හිස් පතරොම් වැලක් තෑගි දෙනවා. බර කිලෝ 20 ක් විතර ඇති. පිත්තල වටිනාකමට වික්කත් හොඳ ගාණක් ගන්න පුළුවන්. (විකුණන්න ගිහින් කූඩුවේ ඉන්නත් පුළුවන් :D)


   හරි, එහෙනම් බලමු නේද තුවක්කුවේ තාක්ෂණික විස්තර.


  • වර්ගීකරණය : බර මැෂින් තුවක්කුව - Heavy Machine Gun
  • මුලින්ම නිපදවූ රට : ඇමරිකා එක්සත් ජනපදය
  • නිෂ්පාදිත වර්ෂය : 1933 (මුලින්ම සැලසුම් කලේ 1918 දී)
  • තුවක්කුවේ බර : කි ග්‍රෑම් 38 යි
  • තුවක්කුවේ දිග : මීටර් 1.654
  • තුවක්කු බටයේ දිග : මීටර් 1.154
  • යොදන පතරොම් වර්ගය : .50 බ්‍රිතාන්‍ය මෝස්තරය හෝ 12.7 x 99 NATO 
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 750 - 850
  • උණ්ඩ පිටවීමේ වේගය : තත්පරයකට මීටර් 890 යි
  • සඵල වෙඩි දුර : මීටර් 1800 යි
  • උපරිම වෙඩි දුර : මීටර් 6800 යි


12.7 බර (මහා පරිමාණ)  මැෂින් තුවක්කුව

12.7 Heavy Machine Gun



Doushka_desert (1)    මේ තුවක්කුව රුසියානු නිෂ්පාදනයක්. අපේ හමුදාව පාවිච්චි කරන්නේ මේ තුවක්කුවේ පාකිස්ථානයේ නිෂ්පාදිත මෝස්තරයයි. (රුසියානු සහ පාකිස්ථානු මෝස්‌තර දෙක අතර ලොකු වෙනසක් නැහැ) අපේ හමුදාවේ සාමාන්‍යයෙන් මෙය හඳුන්වන්නේ 12.7 මැෂින් තුවක්කුව කියලයි. මේ සම්පූර්ණ නම තියෙන්නේ රුසියන් භාශාවෙන්. ඒ මෙන්න මෙහෙමයි. The DShK 1938 (ДШК, for Дегтярёва-Шпагина Крупнокалиберный, Degtyaryova-Shpagina Krupnokaliberny, 'Degtyaryov-Shpagin Large-Calibre') is a Soviet heavy machine gun firing the 12.7×108mm cartridge. මේ අවියත්, ගොඩබිමේ පාබල හමුදා මෙන්ම, යුද්ධ ටැංකි සහ සන්නද්ධ රථ වලත්, නාවික යාත්‍රා වල සහ ප්‍රහාරක ගුවන් යානා වලත්, පාවිච්චි කරනවා. මේ අවියද බලඇණි ආධාරක අවියක් ලෙසයි පාබල හමුදා විසින් සලකන්නේ.


flatpack_dshk


   මේ තුවක්කුවෙන් ගොඩබිමේදී වෙඩි තැබීමේදී 'මාර පුරස්නයක්' එනවා. මේක හදපු එකා මට අහු වුනානම් මම උගේ කර අඹනවා. ඒ මොකැයි කියලා කිව්වොත්, මේ තුවක්කුවෙන් වෙඩි තියනකොට හිස් කොපු පස්සට වේගයෙන් විසිවෙලා, අපේ ඇඟේ 'වැදගත් තැනක' වදිනවා. අපේ කොල්ලෝ දක්ෂයෝ නිසා තුවක්කුවේ පසුපසට ගෝනි කෑල්ලක් එල්ලගෙන තමා වෙඩි තියන්නේ. එතකොට හිස්කොපු ඒ ගෝනි කෑල්ලේ වැදිලා බිම වැටෙනවා. කොහොමද ටිකිරි මොලේ? ඉතිං යුද්ද කරන අතරේ ගෝනි කෑල්ල වැටුනොත්?..... 'පොඩ්ඩක් හිටපාන් මච්චාන්' කියලා කොටියට කෑගහලා කියලා, ආපහු ගෝනිය එල්ලගන්නවා.......... අම්මපා?........... අම්මපා නෙවෙයි ඇන්ටිපා..............


img125



   පේනවා නේද මේ තුවක්කුව හරි සද්දන්තයි. ඒ වගේම ප්‍රබලයි. පොඩි ගෙයක් වුනත් විනාඩි පහකින් දහයකින් කඩන්න පුළුවන්. ඒ වගේම කණ පැලෙන සද්දයක් තියනවා. (ඇත්තටම මේ මෑතකදී මට දැනිලා තියනවා මගේ කන් ඇහීම ටිකක් දුර්වල බව. 'ජයසිකුරු' මෙහෙයුමේදී කාලතුවක්කු වෙඩි නිසා මගේ ඔලුවේ හෝ ගාන සද්දයක් තිබුණා සෑහෙන දවසක්. කන් ඇහීමත් අඩුවුණා. පස්සේ හරිගියා කියලා දැණුනත් එහෙම වෙලා නැහැ. නමුත් කවදාවත් ඒකට බෙහෙත් ගන්න ලැබුනෙත් නැහැ) රෑට වෙඩි තියනකොට මහා ගින්දරක් පිටවෙනවා. දැන් අහන්න එපා ඒ ගින්දර සතුරා දකින්නේ නැද්ද කියලා. දෙගොල්ලොම දෙගොල්ලන්ගේම තුවක්කු වල ගිනි එලිය දකිනවා. ඒක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ තුවක්කුවක් යොදවන තැන ඕනෑතරම් භට පිරිස් ඉන්නවා ඕනෑම අවස්ථාවකට මූණ දෙන්න. මේ තුවක්කුවේ තියනවා අවශ්‍ය විට සවිකරගතහැකි ආධාරක දෙකක්. ඒ ආධාරක අපේ උරහිස් දෙකටයි හේත්තුවෙන්නේ. එය හඳුන්වන්නේ Shoulder Stock කියලයි. 


on8003__2


600px-Rambo3-DSHK_02a (1)
600px-Rambo3-DSHKa


   දැන් තියෙන්නේ මේ තුවක්කුවෙන් වෙඩි තියන හැටි බලන එක නේද? ඔන්න බලාගන්න. මේක බලන්නම වටිනා වීඩියෝ එකක් නිසා තත්පර 10 ක් වත් බලන්න. 







මෙන්න තුවක්කුවේ තාක්ෂණික විස්තර.

  • වර්ගීකරණය : බර මැෂින් තුවක්කුව - Heavy Machine Gun
  • නිෂ්පාදිත වර්ෂය : 1938
  • තුවක්කුවේ බර : තුවක්කු කඳ පමණක් කි.ග්‍රෑම් 37 යි. සියලු උපාංග සවිකළ පසු කි.ග්‍රෑම් 157 යි.
  • තුවක්කුවේ දිග : මීටර් 1.625 යි
  • තුවක්කු බටයේ දිග : මීටර් 1.070 යි
  • යොදවන උණ්ඩ වර්ගය 12.7 x 108  (ඒ කියන්නේ ඉහත දැක්වූ .50 තුවක්කුවට යොදන උණ්ඩ වලට සමාන උණ්ඩ තමයි මේ තුවක්කුවටත් යොදන්නේ. මේ තුවක්කුවෙනුත් ඉහත සඳහන් කල .50 තුවක්කුවෙන් වෙඩි තියන විවිධ වර්ගවල උණ්ඩ වෙඩි තියන්න පුළුවන්)
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 600 ක් පමණ
  • උණ්ඩ පිටවීමේ වේගය : තත්පරයකට මීටර් 800 යි.
  • සඵල වෙඩි දුර : මීටර් 2000 යි
  • උපරිම වෙඩි දුර : මීටර් 2500 යි.

   හමුදා සිතියමක, බර මැෂින් තුවක්කුවක් පෙන්වන්නේ, පහත දැක්වෙන සංකේතයෙන්.


1


   ඔන්න ඉතින් තුවක්කු ගැන ලියන ලද තවත් ලිපි මාලාවක අවසානයට අපි මෙසේ ළඟාවෙනවා. මා හිතනවා මෙයින් ඔබේ දැනුමට යමක් එකතුවන්නට ඇතැයි කියා. ඉදිරි කාලයේදී තවත් මෙවැනි ලිපි වලින් හමුවෙමු.



my-signature-for-blog[1]    2014 ජූනි මස 13 වැනි දින 2334 පැය





74 comments :

  1. ලිපි හතරම කියෙව්වා. අපි සාමාන්‍ය යෙන් අහල දැකල නැති දේවල් බොහොමයක් මේ ලිපි පෙලින් දන ගත්ත. මේ වගේම තමයි අර මෝටර් රථ ගැන ලියපු පොස්ට් සෙට් එකත්. තවත් මේ වගේ අලුත් දැනුම් අපිත් එක්ක බෙදා ගනියි කියල විශවාස කරනවා. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මැරෙන්න කලින් මගේ ඔලුවේ තියන වැදගත් දේවල් හැකිතරම් බෙදාදෙන්න හිතාගෙන ඉන්නවා.

      Delete
  2. ස්තුතියි විචාරක
    //""පොඩි ගෙයක් වුනත් විනාඩි පහකින් දහයකින් කඩන්න පුළුවන්"// අනන් එහෙම දේවල් නම් අපිට වැදගත්,
    මේ නැද්ද මෙහෙ ඉඳන් ඉතාලිය දිහාට වෙඩිතියන්න පුළුවන් එකක් , මට ගෙදර ඉඳන්ම පත්ත්රයව ඉවරයක් කරලා දැම්ම හැකි

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලියෝ.....................මෙන්න මේකා උඹට කෙලින්න යන්නේ. නැගපන් පීසා කුලුනටවත්.

      Delete
    2. ඉවාන් පත්තරේ පේනේරෙ කරන්න හදන්නෙ. :D

      Delete
    3. මං හිඟා කාල හරි ගන්න එක ගන්නවාමයි ඩ්‍රෝන් එකක්.. කෙලිනවා මුළු රාජගිරියටම ඥාව් වෙලා යන්ඩ . ඕං පස්සෙ අරක මේක කියන්ඩෙපා 176 /175 බස් එහෙක වත් යන්ඩෙපා බ්ලොග් බලන එව්වො ඈ !!!!

      Delete
    4. අනේ මචං ඩ්‍රෝන් කෙසේ වෙතත් අර .50 බ්‍රව්නිං එකක් වත් බලල අරං තියාගනින්. පාවිච්චි කරපු පරණ එකක් හරි. නැත්නම් උඹ කපෝතියි.

      මේ හැබැයි ඉවානයා ඕක අරං උඹට වෙඩි තිබ්බත් ෂුවර් එකටම ගෝනිය එල්ල ගන්න අමතකකරගන්නවා. උණ්ඩෙ ඉතාලිය එන්න කලින් අපිට ඉවාන්ගෙ මළගෙදර යන්න පුලුවන් වෙයි!!

      Delete
    5. මනෝශො .. මට ඔය ගෝනියෙ රවුමක් අයින් කොරන්ඩ තියේ නං .. එල්ලුං ගස් ගියත් කාරි නෑ. ඕ යේස්.

      Delete
    6. ගෝනිය කපන්ඩ ඉතාලි මීයෙක් එවපං.

      Delete
  3. http://angaharuwa.blogspot.com/2014/06/blog-post.html මෙන්න තව තුවක්කු කාරයෙක් ඉන්නව

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි. ගිහින් බලන්නම්.

      Delete
    2. මම එයාගෙන් තුවක්කු බර ගානක් ගන්ට හදන්නේ... :D

      Delete
  4. ලිපි හතරෙන්ම බර අවි ගැන මමා ලබාගත් දැනුම අපමණයි. ඇත්තටම මේ කිසිවක් ගැන කලිනන් දැන සිටියේ නැ. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මට හරි සතුටුයි නලීන්. මගේ උත්සාහය සාර්ථක වීම ගැන.

      බොහොම ස්තුතියි ඇගයීමට.

      Delete
  5. විචාරක මල්ලි
    JVP අය පාවිච්චි කරපු ගල් කටස් ගැනත් පොඩ්ඩක් කියල දෙන්නකො.
    කව්ද ඒක මුලින්ම හැදුවෙ. මොකද්ද ඒකෙ මිකැනිසම් එක වගේ එව්ව මෙව්ව

    ReplyDelete
    Replies
    1. පොහ්......................අම්මපා මගේ බ්ලොග් ඉතිහාසයේ මට මල්ලි කිව්ව එකම එක්කෙනා ඔයා තමයි. මම සෑහෙන්න තරුණ වුනා කියලා හිතෙනවා. (එහෙම නැත්නම් ඔයා මටත් වඩා වැඩිමල් එක්කෙනෙක්ද දන්නෙත් නෑ. මමනම් 60 පැනලානේ)

      JVP අය ගල් කටස් පාවිච්චි කරන්න ඇති 1971 දී. (මම 1971 කැරැල්ලට ඔන්න මෙන්න කියලා JVP එකෙන් අයින්වුනේ) 1988 - 89 කාලේදී නම් ඒගොල්ලෝ ගල්කටස් පාවිච්චිකලේ නැති තරම්. බොහොම කලාතුරකින් කරන්න ඇති. ඊට වඩා දියුණු අවි ඔවුන් අතේ තිබුනා.

      ගල්කටස් වැනි ආයුධ ප්‍රාථමික අවි primitive weapons ලෙසයි සැලකෙන්නේ. බොහොම නොදියුණු, කාර්යක්ෂමතාව සහතික කරන්න බැරි, අවි වර්ගයක්. මෙයට තුවක්කු පතරොමක් හෝ පිස්තෝල/රයිෆල් පතරොම් යොදා වෙඩි තැබිය හැකියි. වරකට එක පතරොමයි දාන්න පුළුවන්.

      ගල් කටස් එකක හොඳ පින්තූරයක් හොයාගන්න අමාරුයි. මෙන්න මෙච්චරයි ලැබුනේ.



      Delete
    2. [im]http://adaderana.lk/news_images/701092433gun22.jpg[/im]

      Delete
    3. 60ත් වයසක්ද මල්ලි කිව්වලු. අරිගතෝ.

      Delete
    4. මමනම් කියලා තියෙන්නේ 60 ත් වයසක්ද නංගී........................කියලා :e

      Delete
    5. ඒ උනාට සමරිසි කට්ටිය කියන්නෙ එහෙම තමයි

      Delete
  6. මම මේ ආයුධ වලට වැඩිය ආස උවමනාවෙන්ම කියෙව්වේ නෑ එත් පොඩි තුවක්කුවක් සෝබනේට වගේ තියා ගන්නනම් හරිම ආසයි ..... උඩ ඇනෝගේ ගල්කටස් කොමෙන්ටුව කියෙව්වම පොඩි කතාවක් මතක් උනා
    අපි පොඩිකාලේ අපේ පැත්තේ හිටියා පොරක් මිනිහට කිව්වේ ඇඟ පුරහම මොලේ කියලා .... පොර එක සැරයක් වෙරළේ දැලි කටු ගෙනල්ල කුඩු කරලා හොර පහේ කාසි ගැහැව්වා.... එක අහුවෙලා අව්රුද්දක් දෙකක් හිරේ ඉඳලා ඇවිත් ටික දවසකින් මෙන්න ආයෙත් පොලොසියෙන් අල්ලන් යනවා ගෙදර ගල්කටස් තුවක්කු ෆැක්ටරියක් දාගෙන හිටියා කියලා.....

    ReplyDelete
    Replies
    1. ඒ සැරේ නිදහස් වෙලා ආවට පස්සෙද උඹ මැලේසියා ගියේ

      Delete
    2. මැලේසියාවේ නැතෑ ඔය එක එක ජාතියේ 'පොඩි තුවක්කු' එකක් ඇන්න තියාගත්තනම් ඉවරයිනේ.

      හෙහ් හෙහ් අන්න ඒ වගේ නිර්මානාත්මක හැකියාව තියන මිනිස්සුන්ට මේ රටේ තැනක් නෑ.

      මැලේ, ඔන්න එක තුවක්කුවක් හරි ගනින් ඉවාන්ට වැඩේ දෙන්න.

      Delete
    3. සෝබනේට කවදා හරි මම ගන්න තුවක්කුව ටෙස්ට් කරන්න එල්ලන්නේ ගෝනියක් නෙවි ..... ලංකාවේ ඉන්න රුසියානුවෙක්ව

      Delete
    4. ඒක ඉවාන්ට ටැස් කොරන්න දීපං මැලේ. හැබැයි ඒත් අපරාදෙ පතුරං , කිරිල්ල ගෙඩි දෙකක් තිබ්බනං ඇති.

      Delete
    5. ලංකාවේ ඉන්න රුසියානුවා. ඉවාන්. මොකද කියන්නේ? උඹට තුවක්කු පිලිබඳ එක්දින පාඨමාලාවක් දෙන්නද?

      Delete
    6. @ පත්තරේ - කිරිල්ල ගෙඩි දෙකක්? ඉතිං ඔය තියෙන්නේ ...දාලා තියපන්කෝ ,,,ආ වැඩක් නෑ ඒක පුස් නේ :D

      @ විචාරක - අනිවා ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න පොඩි සහයෝගයක් දෙන්න , විචාරකමහත්තයෝ ඊළඟ ආත්මේ බෑනා වෙලා ණය ගෙවන්නම් :D

      Delete
    7. ඉවාන්.. උඹ ලබන ආත්මෙත් මට කෙලින්න හදන්නේ ..!!

      Delete
    8. වැඩිය ලේසියි, මම පිහියෙන් ඇනීමේ පාඨමාලාවක් කොරන්නං. :e

      Delete
  7. 12.7 HMG එකෙන් වෙඩිතියන වෙලාවට ගෝනිය එළ්ලන එකේ පොඩ්ඩක් නවීකරණය කරලා හොද කාර්පට් එකක් වගේ එළ්ලුවනම් හ‍රියන්නැත්ද විචාරකතුමා.

    ලිපි ටික නම් ඇත්තෙන්ම වැදගත්.

    ReplyDelete
    Replies
    1. මොකක්හරි එකක් එල්ලගන්න එක තමයි කරන්නේ. සොල්දාදුවගේ හැටි දන්නවනේ. මොකක්වත්ම නැත්තං ඌ ඇඳගෙන ඉන්න කලිසම හරි ගලවලා එල්ලනවා. ආයේ කවුරු මොනවා දකින්නද? :e

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  8. තුවක්කු ගැන නොදැන හිටි ගොඩක් විස්තර දැනගත්ත.
    අර වැදගත් තැනට කොපුවක් දාගෙන හිටියොත් නරකද :P

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න ඒ ඇගයීම ගැන.

      අම්මපා අර ක්‍රිකට් ක්‍රීඩකයෝ අඳින බෝල් ගාඩ් එකක් ඇන්දා නම් ප්‍රශ්නේ ඉවරයි.

      Delete
  9. සෑර් අර අන්තිම වීඩියෝ එකේ තියන තුවක්කුව ආං බාං කරන්න අලි මස් කන්ඩෙපැයි. !!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. ඔය තුවක්කුව හරියට ආධාරකයේ හයිවෙලා නොතිබුනොත් වෙඩි තියන එකාගේ හොම්බ රිවෙට් වෙනවා.

      Delete
    2. එහෙනම් ඕක පත්තරයට දීලා දාමු .ආධාරකේ බාගෙට හයි කොරලා ,කීයක් ගියත් කමක් නෑ

      Delete
    3. හොම්බ ගැලවිලා ගියත් කාරි නෑ ඕකෙන් එකක් මට තියාගත්තොත් ඉවාන්ට. ඕ යේස්. හොම්බෙන්ම ගිහිල්ල හොම්බක් දැන් ඇති නැති සයිස් .

      Delete
  10. පරණ වෙච්ච ජීව උණ්ඩයක් ..... බර සහිත, කොහේදී හරි තිබිල හමු උනොත් මොකද කරන්නේ අපි.....? එහි ගත යුතු නිත්‍යානුකුල පියවර මොකද්ද.....? නැත්නම් ළග තියා ගත්තම නඩුවක්නේ..... විචාරකතුමනි.......?

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලයක් යුද්ධයකට මැදිවෙලා හිටිය රටක, ඒ යුද්ධය පැවති ප්‍රදේශ වලින්, නොයෙකුත් යුද්ධායුධ, ඒවාගේ කොටස්, ජීව තත්වයේ තිබෙන අත් බෝම්බ, බිම් බෝම්බ, පුද්ගල නාශක බෝම්බ, මෝටාර් උණ්ඩ, කාලතුවක්කු උණ්ඩ, පතරොම්, ආදිය හමුවීම අමුත්තක් නෙවෙයි. ඒ වගේමයි මතක තියාගන්න, ලෝකයේ කොහෙවත් තවම තාක්ෂණයක් බිහිවෙලා නැහැ, කිසියම් ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම, අර මම ඉහත සඳහන් කළ දේවලින් තොර බවට, පරීක්ෂාකර සනාථ කරන්න පුළුවන්.

      එවැනි දෙයක් හමුවුනොත් එය අතපතගාන්න උස්සන්න පෙරලන්න, ඉවත් කරන්න යන්න එපා. වහාම පොලීසියට දන්වන්න. එය ඔබට හමුවූ, දකින්නට ලැබුණු, ආකාරය පැහැදිලිව විස්තර කරන්න. ඔබට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. එවැනි උපකරණයකට ලෝබ හිතිලා අතපත ගාන්න ගිය අය සෑහෙන්න පිරිසක් ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා.

      Delete
  11. ලිපි මාලාවට ස්තුතියි. ඒත් මේ ලිපි එච්චර හිතගිය ලිපි උනේ නෑ. කොහොම වෙතත් උත්සාහය අගය කරනවා.
    …මේ හිස් කොපු වලට මොකද කරන්නේ? කවුරුහරි එව්වා එකතු කරගන්නවාද පස්සෙ?

    ReplyDelete
    Replies
    1. හිත යන ලිපි තියනවා ලියන්න තමයි අකමැති.

      හිස් කොපු විශේෂයෙන් එකතු කරන්නේ නැහැ. දාලා යනවා. හමුදාවේම සමහර අය සිහිවටන හරියට එකතු කරනවා. මාළඟත් එක හිස් පතරොම් වැලක් තියනවා. නමුත් සාමාන්‍ය පුද්ගලයකු මේවා එකතුකර විකුනන්න හැදුවොත් අමාරුවේ වැටෙනවා. 2011 සිට බලයලත් දේශපාලන හෙන්චයියලා උතුරු නැගෙනහිර පළාත්වලින් මෙවැනි අබලි ද්‍රව්‍ය ලොරි ගණන් ගෙනල්ල විකිණුවා මේවායින් ලෝහ වර්ග උණුකර සකස් කරන අයට. සමහරවිට පිටරටත් යවන්න ඇති.

      Delete
  12. උණ බට තුවක්කුවෙන් පටන්ගෙන ඇටබෝල පිස්තෝලෙන් ඉවර වෙච්ච අපේ ගිණිඅවි පිළිබඳ දැනුමට ඔබ තුමා මේ ලිපි හතර සමඟින් කරුණු කාරණා රාශියක් එකතුකලා. ඇත්තෙන්ම ගොඩක් වටිනවා. ගොඩක්ම ස්තූතියි. ඒත් ගිණිඅවි පාඩම ඉඅවරයි කිව්වමනම් හිතට දුකයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      නැහැ නැහැ. මේ මැෂින් තුවක්කු පිලිබඳ ලිපි මාලාව පමණයි අවසන් කලේ. ඉදිරියටත් වෙනත් ගිනි අවි ගැන ලියනවා.

      Delete
    2. ඒක මිසක්.. හරිම කැමැත්තක් තියෙනවා ස්නයිපර් අවි ගැන දැනගන්න.

      Delete
    3. ඕං ලොකු සෑර් ගෙන් බැනුං අහපිය.. ඔය ස්බ්ජෙට් එක ගැන ලිපි පෙලක්ම ලියල අහවර කොරා..මේකෙ නැත්තං වර්ඩ් ප්‍රෙස් සයිට් එකේ ඇති.මං කියෙව්වවෙ වර්ඩ් ප්‍රෙස් එකේ මනෝ..

      Delete
    4. හුටා!! එහෙනම් දැන් අහගත්තැකි. ඉඳහංකො ඒ ලින්ක් එක කොහොමහරි හොයාගන්නම්.

      Delete
    5. අයි අප්පොච්චියේ ඔය ඉස්නයිපොර් එවුං කන කතාකොලේ කොච්චර කාලෙකට ඉස්සරද? මෙන්න මෙතනින් ගිහිං බලනවා හොඳයි.

      Delete
    6. ස්නයිපර් පිළිබඳ අංග සම්පූර්ණ පාඨමාලාවකට සහභාගි උනා. ඒ ලිපි හතරනම් විශිෂ්ඨයි විචාරකතුමනි. කිසිම වෙහෙසක් නැතිව නවකතාවක් කියවනවා වගේ රසවත්ව කියවගෙන ගියා. ඇත්තෙන්ම ස්තූතියි ගොඩක්ම.

      නීරෝ ගැන කියල තිබුන විස්තර මාව කම්පණයට පත්කලා. ඇත්තටම අපේ රණ විරුවට ඔහුට හිමි තැන ලබාදුන්නෙ නෑ මේ කාලකන්නි රට.

      Delete
    7. ඔබේ දැනුම දියුණුවීම ගැන සතුටුයි මනෝෂ්. ඒ වගේම ඇගයීම ගැනත් ස්තුතියි. අපේ රටේ අවංක, දක්ෂ, කොයි මිනිහාටද තැනක් ලැබුනේ?

      Delete
  13. තුවක්කු ගැන කලින් දැනන් හිටිය නැති ගොඩක් දේවල් දැන ගත්තා..

    ReplyDelete
    Replies
    1. ඔබේ දැණුම දියුණුවීම ගැන මා සතුටු වෙනවා.

      Delete
  14. මම දැන් නම් බලා ඉන්නේ අලුත් වර්ගයේ පුංචි එකක් ගැන කියනකල්. ඒක සාක්කුවක, හෑන්ඩ් බෑග් එකක දාගෙන යන්ට පුලුවන් හන්දා. :D

    විචාරකටම අන්න අලුත් ගෙදර දොර ඇරියා. හැබැයි තාම වැඩ ඉවර නැති හන්දා විස්තර හොයාගන්ට බෑලු.

    ReplyDelete
    Replies
    1. ඕවා තියාගත්තට වැඩක් වෙන්නේ නෑ පොඩ්ඩි. මම කොහොමත් ගෙදරටම ඇවිත් ඔයාව ගෙනියන්න ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ

      Delete
    2. මම දෙන්නම් පොඩ්ඩි හෑන්ඩ් බෑග් එකේ ගෙනියන්ඩ පුළුවන් පොඩි පිස්තෝලයක්. හැබැයි ලංකාවේ ඉන්න රුසියන් කාරයන්ව මරන්න එපා. එච්චරයිනෙ ඉන්නේ ලංකාවටම. :e

      ස්තුතියි අලුත් අඩවියට මග පෑදුවාට. වැඩ ඉවර කරලා කියන්න එතකොට එන්නම්.

      Delete
    3. @පැණිලූශා,

      ඔච්චර කරදර වෙන්ට ඕනි නෑ. එන වෙලාවක් හරියටම කියලා තියෙනටකෝ... :D

      @විචාරක,

      මගේ bodyguard වැඩේට එන්ට කැමතිද විච්චරක. පේනවානේ උඩින් තියෙන තර්ජන...හී...හී...

      Delete
    4. අයි දැන් ඉන්න බොඩිගාඩ් නරකද? එයාව එවන්න මම හොඳට පුහුණු කරලා එවන්නම්.

      Delete
  15. හප්පා කීයක් ගියත් කමක් නෑ ගන්නවානං ඕං බඩු

    ReplyDelete
    Replies
    1. තොග මිල ඩියුටි නැතුව ඇ.ඩො. 3000 යි.

      Delete
  16. විස්තරාත්මකව දැනුවත් කිරීම ගැන ඔබ තුමාට තුති..... විචාරක තුමණි .... thnx sir ....
    අර ගෝනි කෑලි එල්ලගන්නෙ නැතිව වෙන දෙයක් උපයෝගි කර නොගන්න එක මට ගැටලුවක්....
    අනිත් කරුන ....වල්ලට වදින්නෙ නැතිව ....වෙන අහකට සෙට් කරන්න බැරි වුනාද,,,???

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේ කලේ ඉතින් අවස්ථානුකූලව. මේකෙන් හැම වෙලාවේම අහවල් තැනට වදින ඉරියවෙන්ම වෙඩි තියන්න වෙන්නේ නැහැ. යුද අගලක එහෙම හයිකරගත්තම තමයි ඒ ගැටලුව එන්නේ. එවෙලෙට ඔයවගේ තාවකාලික ආවරණයක් හොඳටම ඇති. යකඩෙන් 'වල්ල වැහුම්' හදලා එව්වනම් ඉවරයිනේ මේක හදපු එවුන්ම.

      Delete
  17. අන්න විචාරක කතාව පටන් ගත්තා... :D
    http://ice-n-fire.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ගිහින් බලන්නම්.

      Delete
  18. අර උඩම පින්තූරෙ දඩයම් බල්ලෙක් එක්ක තියෙන්නෙ ෂොට් ගන් එකක් නේද? ඒව ගැනත් ලියනවද? හමුදාව ෂොට් ගන් පාවිච්චි කරල තියනවද කිසිම අවස්ථාවක? Urban assaults වලට නම් කරනව නේද ? ඒත් ඒ SWAT වගේ අය.

    ReplyDelete
    Replies
    1. ෂොට් ගන් ගැන ලිව්වනේ කාලෙකට උඩදී. මෙතනින් ගිහින් බලන්නකෝ අපේ හමුදාව ෂොට් ගන් පාවිච්චි කරන්නේ නැහැ. පොලීසියේ තියනවා රිපීටර් තුවක්කු. ඒවා කලබලකාරී පිරිස් විසුරුවන්න බොහොම ප්‍රයෝජනවත්.

      Delete
  19. ලිපි සැට් එකම බැලුව. බොහොම හොඳයි. ගුවන් යානා නාශක අවි කියල වෙනම කැටගරියක් තියනවද? පොඩ්ඩක් ලියන්න බැරිද? :-)

    ReplyDelete
    Replies
    1. ඔව් ගුවන්යනා නාශක තුවක්කු කියලා වෙනම වර්ග කිරීමක් තියනවා. ඒ ඔක්කොම ගැන ලියන්න අඩුම ගානේ කොටස් පහකවත් ලිපියක් ලියන්න වෙනවා. මෙන්න බලන්නකෝ ලැයිස්තුවේ දිග අනාගතේදී ලියන්න බලන්නම්. දැනට තියන ඉල්ලීම් සියල්ල ඉටු කරන්න ජීවිත කාලය මදිවෙයිද මන්දා :e

      මම මේ ලිපි මාලාවෙන් පෙන්නපු අවි වලින් මධ්‍යම පරිමාණ සහ බර මැෂින් තුවක්කු කියන වර්ග දෙක ගුවන් යානා නාශක මෙන්ම ගොඩබිම් සහ නාවික සටන් සඳහාද යොදාගන්නවා.

      Delete
  20. ෂා අලි සෝක්, අලිම සෝක්. ගොඩක් දේවල් දැනගත්තා. 12.7 කොපුව අතන වදිනවට තාක්ෂණික වෙනස්කමක් කරන්න පුළුවන් නේද? බැරලය හරවා උපාංග කිහිපයක් වෙනස් කර හදන්න?

    ReplyDelete
    Replies
    1. අලි සෝක් ඔය තුවක්කුවකින් ටිකක් වෙලා වෙඩි තියපුවම කන් ඇහෙන්නේ නැතුව ගියාම.

      අතන වැදිලා එතන ගැලවිලා ගියත් සටන අතාරින්නෙ නැහැ. ඇත්තටම ඒක ඒ තරම් බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. ගෝනි කෑල්ල හොඳටම ඇති. තුවක්කුව වෙනස් කරන්න බැහැ.

      Delete
  21. මම අර ස්වෙච්චා හමුදාවට දාපු ඉල්ලුම් පත්තරේ හරි ගියෝත් මටත් ???

    ReplyDelete
    Replies
    1. හරි ගියොත් නෙවෙයි හරියයි. සම්මුඛ පරීක්ෂණයට කැඳවූ වහාම මට කියන්න.

      Delete
  22. ආ මෙන්න මම අපේ තුවක්කු ගැන ලියද්දි මෙහෙන් මැෂින් තුවක්කු ගැන ලියලා... මම 2004 ඉඳල සෙල්ලම් කරන පරිගණක ක්‍රීඩාවක ඔය Browning තුවක්කුව තියනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. දිගටම එන්න.

      පරිගණක ක්‍රීඩා වලදී විවිධ තුවක්කු පරිහරණය කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ඇත්තම තුවක්කුවත් පරිගණකයේ තිබෙන තුවක්කුවත් අහසට පොලොව වගේ වෙනස්. ඇත්තම තුවක්කුව අතට අරන් බැලුවොත් වෙනස තේරෙයි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }