හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 June 2014

එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමද? - Are we going in a circle?

gorillas
  පසුගිය දිනවල අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත, කාලකණ්නි සිදුවීම් පිළිබඳව තවමත් බ්ලොග් අඩවි වල කතාබහට ලක්වෙනවා. ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය, තව සෑහෙන කාලයක්, කුණු මිනීමස් රසට ඇදී එන ගිජු ලිහිණියන් මෙන්, කුණු රසය අවුස්සමින්, මහජනතාවට කට ඇරගෙන, තුෂ්නිම්භූතව, ඉන්න දේවල් පෙන්නයි, කියයි, ලියයි. මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඒවා බලා, අසා, කියවා, අවිචාරයෙන් හැසිරෙයි. ඔයටික නේ වෙන්නේ.  


   සමහර බ්ලොග් අඩවි වල 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය ගැනත් ලියවෙලා තිබුණා. මට හිතුනා ටිකක් ඒ ගැන හොයලා බලන්න. ඔය අතරේදී මට මතක්වුනා මගේ පැරණි පොත් පෙට්ටියක ඒ සිද්ධිය සම්බන්ධ පොතක් තිබෙන බව. ඒ පොත මගේ පියාගෙන් මට ලැබුණේ සෑහෙන කලකට ඉහතදී. මට මතක හැටියට 1970 දශකයේ අග භාගයේදී. බොහොම අමාරුවෙන් පොත් පෙට්ටි කීපයක් අවුස්සලා අන්තිමට පොත හොයාගත්තේ ඊයේ උදේ. (2014/06/17) ඊයේ දවසම කළේ, පොතේ ඉරුණු තැන්, 'බයින්ඩර්ස් ගම්' ගාලා අලවලා, පිළිසකර කරන එකයි. පොතේ පිටු දුර්වර්ණ වෙලා. ස්කෑනරය මතට කඩදාසි කුඩු වගේ දූවිල්ලක් වැටුණ නිසා, සෑම පිටුවක්ම තීන්ත ගාන බුරුසුවකින්, පිසදාන්න සිදුවුණා. බොහොම අමාරුවෙන් ස්කෑන් කර, කියවීමට පහසුවන පරිදි, පිටු වල වර්ණය, පින්තූර සංස්කරණය කරන මෘදුකාංගයකින් සැකසුවා. මෙන්න ඒ පොත. 


1

2


z_p07-A-great    මා හිතන්නේ නැහැ අද මේ පොත පහසුවෙන් සොයාගත හැකියැයි කියා පොත මුද්‍රණය කර තිබෙන්නේ 1916 දී, ලන්ඩන් නුවරදී. අවුරුදු 98 ක් පරණ පොතක් කියලා හිතාගන්නත් බැහැ. පොතේ මිල සඳහන් වන්නේ නැහැ. මෙම පොත, සමහර විට රාජ්‍ය ලේඛනාගාරයේ සංරක්ෂණය කොට ඇති. එමෙන්ම කොළඹ මහජන පුස්තකාලය, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පුස්තකාලය, වැනි තැන්වල තිබෙන්නට පුළුවන්. පොත සම්පූර්ණයෙන්ම නොකියවා, විවිධ මාතෘකා ඔස්සේ තෝරාගත් පරිඡේද කීපයක් මා කියවූවා. ඉන් පසුවයි, ඔබ සමග මේ පොතේ එන තොරතුරු බෙදාගන්නට හිතුනේ. මේ පොත ලියා තිබෙන්නේ, එවකට ලංකා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු වූ, එමෙන්ම ලංකාවට නිදහස ලබාගැනීමේ ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමායි.


   හොඳයි පොතේ කතන්දරේ එතනින් නවත්තලා මාතෘකාවට බහිමු. අපේ රටේ සමාජය තුළ, අළු යට ගිනි පුපුරු මෙන් නිවී නිවී දැල්වෙන ජාතිවාදයට, ආගම් වාදයට, විසඳුමක් නැද්ද? විශේෂයෙන් මේ දිනවල යළිත් මතුවී තිබෙන සිංහල බෞද්ධ සහ මුස්ලිම් දෙපාර්ශවය අතර ගැටුම, අළු යට ගිනි පුපුරු නැවත ඇවිලීම නොවන්නේද? සෑම රජයක්ම, සෑම දේශපාලන පක්ෂයක්ම, කටින් බතලකොල හිටවනවා විතරක්ද? 1915 දීත් සිංහල බෞද්ධ සහ මුස්ලිම් ගැටුමක් සිදුවුනාලු. එදා මොකද වුණේ කියලා මේ පොතෙන් බලමුද?


7


8


   මෙතනින් එහාට වුනේ මේකයි. රජය මගින් ම පෙරහැර පැවැත්වීමට දුන් අවසරය රජය මගින්ම අවලංගු කලාම බෞද්ධ නායකයන් (නිළමේ වරුන්) ලොකු ප්‍රශ්නයකට මැදිවෙනවා. ඔවුන් දන්නවා 1815 උඩරට ගිවිසුමේ වගන්තියක් තිබෙන බව කිසිදු බාධාකිරීමකින් තොරව බුද්ධාගමේ කටයුතු කරගෙනයාමට අවසර තිබෙන බවට. ඉතින් ඔවුන් මහනුවර දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පවරනවා තම මානව හිමිකම් ඉල්ලා. එයින් ජයගන්න ඔවුන් පෙරහැර පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් තිබියදී මුස්ලිම් වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කල අභියාචනයක් අනුව තීන්දුවක් ලැබෙනවා, දිස්ත්‍රික් උසාවියේ තීන්දුව වෙනස්කර,  පෙරහැර පැවැත්වීමේදී පොලීසිය සහ පළාත් පාලන ඒකකය මගින් දෙන උපදෙස් පිලිපැදියයුතු බවට. මේ අතර කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේදී බෞද්ධ පෙරහරකට ප්‍රහාරයක් එල්ල වෙනවා. සියල්ල විඳදරාගනිමින් නුවර පෙරහැර සංවිධානය කෙරෙනවා. එහිදී සිදුවන්නේ මෙයයි.


img159


img160


  1915 මැයි මස 29 වැනි දින ඇරඹෙන මේ ජාතිවාදී/ආගම්වාදී කෝලාහල අවසන් වන්නේ 1915 ජූනි මස 5 වැනිදායි. ඒ කාලය තුළ තුවාල/මියයාම් ගණන් හිලව්, අදවගේ රස කර කර කියලා නොතිබීම වාසනාවක්. ඊට පස්සේ මොකද වුණේ? බෙදා වෙන්කොට පාලනය කිරීම නමැති නින්දිත ක්‍රමය අප මත පැටවූ සුද්දා, අපිටම තියලා කැපුවා. කාපු මකුණාටයි නොකාපු මකුණාටයි ඔක්කොටම දඬුවම් කරන්නයි සුද්දා ලැස්ති වුනේ. ඒක කලේ කලබල පවතී පලාත්වල හිටිය සැක කටයුතු පුද්ගලයන් සියල්ල අත්අඩංගුවට ගැනීමෙන් පමණක් නෙවෙයි. මහජනතාවගේ ඉඩම් පවරා ගැනීමෙන්. මෙන්න බලන්න සුද්දා සහ සුද්දාගේ ගෝලයන් වූ සමහර අපේම උන්නැහේලා මොනවද කලේ කියලා. 


img143

img144


img149


   මහ මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක (අගමැති සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා) තම දේශපාලන හා පෞද්ගලික එදිරිවාදී පුද්ගලයන් මේ කලබල වලට වගකිවයුත්තන් සේ සලකා නීතිය ඉදිරියට ගෙනගිය හැටිත්, ඔවුන් ඉතා අපහසුවෙන් (සමහරු සිර දඬුවම් ද විඳ) ගැලවුන හැටිත් මේ පොතේ විස්තර කෙරෙනවා. මෙන්න එලෙස අත්අඩංගුවට පත්වූ අයගෙන් කීපදෙනෙක්.

Government reaction

The then British Government of Ceylon governed by Sir Robert Chalmers came down with a heavy hand on the Sinhalese community and declared martial law on 2 June 1915 and ordered the police and the Army to shoot any one who they deemed a rioter without a trial.
The colonial government arrested many prominent Sinhalese politicians and leaders on charges of treason and their houses were searched. Those arrested included D C Senanayake, his brothers, F R SenanayakeD.S. Senanayake (later the first prime minister of Ceylon), D B JayatilakaW A de SilvaF R Dias Bandaranaike, E T de Silva, Dr Casius Ferreira, C Batuvantudawe, D P A Wijewardene, John de Silva, W H W Perera, Martinus Perera, John M Senivaratne, H Amarasurya, D E Weerasuriya, Reverent G D Lanerolle, E A P Wijeyeratne, Harry Mel, A H E Molamure, D B JayatilakaA E Goonesinha, Battaramulla Unanse - a monk, Edmund and Dr C A Hewavitharatne, the brothers of Anagarika Dharmapala, who was also interned in Calcutta, where he had been during the unrest. After the arrests, riot compensation was exacted under threat of force


  තම දේපොළ අහිමිවීමේ තර්ජනයට මුහුණදී සිටින අහිංසක වැසියන් වෙනුවෙන් හඬ නගන්නේ මේ පොතේ කර්තෘ වන පොන්නම්බලම් මහතායි. මෙන්න උදාහරණ.


img152

img153


img154


img155


   දැන් මේ ටික කියවා හිතන්න එපා, සිංහල මිනිස්සු බෝ පැල වගේ හිටියා, මුස්ලිම් මිනිස්සු තමයි ඔක්කොම කළේ කියලා. මෙන්න සිංහල ජන නායකයකුගේම ප්‍රකාශයකින් පැහැදිලි වෙනවා සිංහලයන් කෝලාහලයට සම්බන්ධවූ ආකාරය.


img156


  දැන් හොඳට හිතා බලන්න. එදා වෙච්චි දේම තමයි වෙනත් මුහුණුවරකින් අදත් සිදුවෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ?


1. දේශපාලුවෝ බොහොමයක් මේ වගේ ප්‍රශ්න වලදී දෙන්නේ එදාවේල උත්තරයක්. යොදන්නේ එදාවේල පිළියම්. අලුත්ගම ප්‍රශනය වෙනුවෙන් සිංහල සහ මුස්ලිම් මිනිස්සු හිරේ යවලා, පුලුවන්නම් එල්ලුම්ගස් යවලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

2. හුදෙක් ආගම් සහ ජාතීන් පමණක් නියෝජනය කරන සමහර දේශපාලන පක්ෂ බොහොම කැමතියි මේ වගේ වියවුල් ඇතිවෙනවානම්. ඒ තුළ තමයි දේශීය හා විදේශීය වශයෙන් ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ.

3. ප්‍රශ්න විසඳනවා කියමින් ලෝකෙට ඇහෙන්න කයිය ගහන ජන නායකයෝ කරෙන්නෙත් ලොකුම බොරුවක්. ඔවුන්ට අවශ්‍ය මේ වගේ දේවල් විසඳන්න මම හැර වෙන කවුරුවත් මේ ලෝකේ නැහැ කියලා පෙන්නලා ජනතාව ගොනාට අන්දවාගන්න. ඡන්ද ටික හූරාකන්න.

4. විරුද්ධ පක්ෂ වලිනුත් සාර්ථක විසඳුම් යෝජනා ඉදිරිපත් වෙන බවක් පෙනෙන්න නැහැ. ඔවුන් බලන්නෙත් දේශපාලන වාසි ගන්න පමණයි. අපි බලයට ආවොත් දළදා මාලිගාව ඉස්සරහපිට පල්ලියක් ගහන්න ඉඩ දෙනවා කියලා හොරෙන් පොරොන්දු වුනත් පුදුම වෙන්න දෙයක් නැහැ. කවුරුත් බලයට කෑදරයි.


ඇත්තටම මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් තියනවද? අපොයි ඔව් තියනවා.


1. නීතියේ ආධිපත්‍යය කාටත් එක සමාන කිරීම තමයි මේ ප්‍රශ්නය ඇතුළු අද මේ රට වල් වැදී තිබෙන බොහොමයක් අර්බුද සඳහා ගතයුතු අතිශයින් ප්‍රමුඛස්ථානය දියයුතු ක්‍රියාමාර්ගය. බොදු බල සේනාවට එක නීතියක්. තොන්ඩමන්ට ගණන්කාරකම් පෙන්නන්න පුළුවන් විදිහට තව නීතියක්. (ඊයේ පෙරේදා දවසක හෙල්මට් නැතුව බයිසිකල් පදිමින් දොස්තර මහත්තයෙකුට ජාති දාපු මේ මිනිහා ඇමතියෙක් කියලා කියන්න පුලුවන්ද?) ආදී වශයෙන් නීතිය හෑල්ලුවට ලක්වීමේ උදාහරණ සිය ගණනක් ඔබ දන්නවා ඇති.

2. ජාතීන් හෝ ආගම් පදනම් කරගනිමින් පාසල් පිහිටුවීම නැවැත්විය යුතුයි. ඒ තමයි මේ අර්බුදවල වැදගත් මූල බීජය. කුඩාකාලේ ඉඳලම ජාතීන් සහ ආගම් වශයෙන් බෙදීම තුල නැතිවන්නේ සමානාත්මතාවයි. වැඩිහිටි අයට මතක ඇති අපිත් එක්ක ඒකාලේ ඉගෙනගත්ත මුස්ලිම්, දෙමළ, බර්ගර්, යාළුවො අතරින් එකෙක් හෝ දෙන්නෙක් පමණයි පසුව ජාතිවාදී පැත්තට බරවුනේ.

3. තම මව් භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අනිවාර්ය කලයුතුයි.

4. අනෙකාගේ ජාතික, ආගමික කටයුතු තම පෞද්ගලික නිදහසට හෝ රටේ නීතියට හානියක් නොවනතාක්කල් එය ඉවසා සිටීමට කුඩාකල සිටම පුරුදු පුහුණු කලයුතුයි. (හැබැයි යාපනේ, වවුනියාවේ, මඩකලපුවේ, හෙල්මට් නැතුව මෝටර් බයිසිකල් පැදීම, පසුපස අසුනේ හරහට වාඩිවී ගමන් කිරීම, වාහන ගමනාගමනයට බාධාවන පරිදි රෑට පාරමැද, ක්‍රිකට් හෝ අර වේවැල් බෝලයෙන් කරන (රාග?) ක්‍රීඩාව කිරීම, වාහන හා පුද්ගලයන් පරීක්ෂා කරන පොලීසියට බාධා කිරීම සහ බලපෑම් කිරීම, (ඒකනම් මෙහෙත් වෙනවනේ) බැංකු වලට ඇතුළුවීමේදී සම්පූර්ණ මුහුණ ආවරණය වන කළු ලෝගුවේ මුහුණු ආවරණය ඉවත් නොකිරීම, වගේ දේවල් නැවැත්විය යුතුයි) මඩකලපුව, කොටගල, වැනි නගරවල කර ඇති ඉදිකිරීම් අපි ඉවසා සිටින්නේ සහජීවනය අප තුළ ඇතිනිසා නේද? කුරුණෑගල ගල මත ඉදිකළ මහ බුදුරුව පාමුල පල්ලියක් තිබෙන්නේ. ඒ අයත් එසේම ඉවසන බවයි පෙනෙන්නේ. එක වරක් පමණක් ඒ බුදුරුවට කළුතෙල් ප්‍රහාරයක් එල්ල වුනා. කළේ කවුද කියා දන්නේ නැහැ.


   තවත් බොහෝ දේවල් මීට එකතු කරන්න ඔබට පුළුවන්. මා කැමතියි ඔබ ආවේගශීලී නොවී, සංවාදශීලීව අදහස් දක්වනවානම්. එවිට අපිට පුළුවන් මේ සංවාදය තවත් ඉදිරියට ගෙනයන්නට.


ආශ්‍රිත ලිපි
  • http://ceylontoday.lk/59-22953-news-detail-what-happened-in-1915-was-not-a-sinhala-muslim-clash.html
  • http://atimes.com/ind-pak/CH25Df02.html
  • http://tamilnation.co/forum/sachisrikantha/muslim.htm
  • http://www.islamawareness.net/Asia/SriLanka/communalisation.html
  • http://en.wikipedia.org/wiki/1915_Sinhalese_Muslim_riots

my-signature-for-blog[1]  2014 ජූනි මස 19 වැනි දින 2309 පැය





48 comments :

  1. කතාව සහතික ඇත්ත. නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක නොකිරීම මේ බොහෝ ප්‍රශ්න වලට මුල.

    එක හදාගන්න පුළුවන් කම තිබුන නම් මේ වගේ දේවල් අහන්න දකින්න අපිට ලැබෙන්නේ නැහැ.
    ===========

    පැරණි පොත සොයාගෙන සංරක්ෂණය කර අපි සමග බෙදා හදා ගැනීම ගැන බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ෂෙහාන්. අද අපි ඉන්නේ අරාජික රාජ්‍යයක්ද කියලා හිතෙනවා.

      Delete
  2. නිවාඩු පාඩුවේ පොත කියවලම අදහස් දක්වන්නම්. අලුත්ගම ප්‍රශ්නය ගැන තියෙන ලිපි එකක්වත් කියවන්න හිත දුන්නෙ නෑ.. ඒ තරමටම මේ වැඩ අප්‍රසන්නයි. පස්සෙ එන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔව් හරී, මේ වගේ ලිපියක් නිවාඩුපාඩුව කියවන්න ඕනේ. හොඳයි පස්සේ අදහස් කියන්න.

      Delete
  3. නීතිය කාටත් එක සේ ක්‍රියාත්මක විය යුතුයි , එක තමයි පිළිතුර , නමුත් එය එසේ වන්නේ නෑ , හොඳම උදාහරණය තමයි බැංකුවල ATM යන්ත්‍රයට ඇතුල් වෙන විට හිස්වැසුම් ,හෙල්මට් ඉවත් කල යුතුයි , නමුත් බුර්කව ඇඳගෙන ඒක ඇතුලට යාමට කිසිම තහනමක් නෑ,
    කුපිත කිරීම් සිදු කිරීමත් ඒ පසුපස මෝඩයින් මෙන් එල්ලී සිටීමත් යන දෙකම අනුමත කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. පරණ කියමනක් තියනවා පෙනේ නොකරන නයාව අල්ලාගෙන ගෑණු දරමිටි බඳින්න ගන්නවාලු. නීතිය බුදියගෙන හිටියොත් වෙන්නේ ඒ ටික තමයි. මෝඩකම නැතිකිරීමේ හොඳම ක්‍රමයත් පාසල් අවධියේ සිට කළයුතු මග පෙන්වීමයි.

      Delete
  4. ඉතාම වැදගත් ලිපියකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණනසිංහ මහතාණෙනි.

      Delete
  5. ස්තූතියි... හුඟක් වටින විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි.

      Delete
  6. මේ සමිබන්ධව මා කියවූ හොදම ලිපිය මෙය බව නොකියාම බෑ...
    ඇත්තෙන්ම අපේ හුගක් මිනිසුසු පිස්සුවෙන් වගේ හැසිරෙන්නෙ ඇයි කියන එක මට ප්‍රශ්නයක්...
    ඊටත් අරඉවාන් කියනව වගේ දෙගොල්ලකට නීති දෙකක් තියෙන්නත් බෑ...
    සරලවම බලන්න බැංකුවකට ගියාම අපේ අයි ඩී එක පරණ වෙලා අපේ හැඩ රුව ටිකක් වෙනස් වෙලා තිබ් කියල එත් අදුන ගන්න පුලුවන් තත්වෙ තියනව නෙ...
    එමහම තිබ්ලත් අපි මාර කට්ටක් ක්නන ඕනඅපේ වැඩේ කරගන්න
    ඒත් මුස්ලිම් අයට පුලුවං බුර්කා ගහන් ගිහින් අගේට වැඩ කරගන්න
    හමාකද්ද ඒක වරප්‍රසාදයක්ද
    හැම දේටම සිංහලයටමවැරදි දික් කරල හරියන්නෙ.ත් නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්.

      මිනිස්සුන්ගේ පිස්සුව වැඩි කරන එවුන්ටයි මුලින්ම බෙහෙත් දෙන්න ඕනේ. ඉවසීම අපේ රටට කියලා දුන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ. ඒකත් දැන් අමතක වෙලා.

      Delete
  7. යුද්දයේ අපහසුතා හොදටම වින්ද කෙනෙක් මම, යුද්ද නම් එපා.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්න කිසිසේත් යුද්ධ කිරීමෙන් විසඳන්න බැහැ. එහෙම හිතනවානම් කවුරුහරි ඔහුව පිස්සන්කොටුවට යැවිය යුතුයි.

      Delete
  8. වැපාගේ බ්ලොග් එකේ දැමූ කමෙන්ට් එකක් මෙතැන උපුටා දක්වමි.

    වැප් සමඟ එකඟ වෙමි. මේ රටේ හැමදෙනාටම තිබිය යුත්තේ එක නීතියකි. ඒ සඳහා මේවා අනිවාර්යයෙන් සිදු විය යුතුය.

    1. ආගම් වලට විශේෂ වූ ඇඳුම් ඇඳීම ආගමික ස්ථාන වලට (හා පෞද්ගලික වාසස්ථාන වලට) පමණක් සීමා කළ යුතුය. (ප්‍රංශයේ මෙවැනි තහනමක් වේ.) මොනම ආගමක වත් පූජ්‍ය පක්ෂයට වත් සීමාවන් පැණ එවැනි ඇඳුම් ඇඳීමේ හැකියාව ලබා නොදිය යුතුය.

    2. තනි ජන කොටස් වලට විශේෂ වූ බහු විවාහ හා තේසවලාමේ වැනි පුද්ගල නීති සම්පූර්ණයෙන් අවලංගු කළ යුතුය. වනාන්තර සූරා කෑමට ඊනියා ආදිවාසීන්ට දී ඇති විශේෂ වරප්‍රසාද අවලංගු කළ යුතුය.

    3. එක ආගමකට පමණක් ප්‍රමුඛස්ථානය ලබා දෙන අන්දමට සකස් වී ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය ඉවත් කළ යුතුය. හැම දෙනකුටම තමන්ගේ ආගම වැදගත්ය. එනිසා සියළුම දෙනාගේ ආගම් රජය විසින් සම තත්වයේ ලා සම ගෞරවයකින් සැලකිය යුතුය. මෙය ලෙහෙසියෙන් කළ හැකි ක්‍රමයක් නම් ආගම් ආගම් විදියට තියා රජය ආගම් ගැන කරදර වීමෙන් වැළකීමයි.

    4. ජාතික කොඩිය කෙසේ වෙතත් ජාතික ගීය තනි බසෙකින් පමණක් ගැයීමේ වැරදි සිරිත වහාම අත්හළ යුතුය. අවස්තෝචිතව ජාතික ගීය රැස්ව සිටින පිරිසගේ කැමැත්ත පරිදි සිංහලෙන් හෝ දෙමළෙන් ගායනා කිරීමට ඉඩ සැලසිය යුතුය.

    5. සෑම ආගමිකයකුටම ලබා දෙන ආගමික නිවාඩු දින ගණන සමාන විය යුතුය. එක පිරිසකට පමණක් වැඩිපුර නිවාඩු අවශ්‍ය නොවේ. එසේම තමන්ගේ ආගමේ නොවන නිවාඩු දින කිසිවකුට ලබා දීම අවශ්‍ය නොවේ. උදාහරණයක් හැටියට ඉස්ලාම් භක්තිකයකුට වෙසක් දවසේ වැඩ කිරීමට බාධාවක් තිබිය නොහැකිය.

    6. ආගම් ඇදැහීම ආගමික ස්ථාන වලට හා පෞද්ගලික නිවෙස් වලට සීමා කළ යුතු අතර කවර හෝ ආගමක් සඳහා එය පොදු කටයුත්තක් කර නොගත යුතුය. කවර හෝ ආගම්කඉන් කරනු ලබන ශබ්ද දූෂණය අවම කළ යුතුය.

    7. ආගමික වශයෙන් බෙදා පාසල් පවත්වාගෙන යාම අත්හළ යුතුය. දෙමාපියන්ගේ කැමැත්ත අනුව ඕනෑම පාසලක ඕනෑම ආගමක් ඉගැන්විය යුතුය.

    8. රාජ්‍ය ආයතන සියළු ආගම් සම තත්වයෙන් සැලකිය යුතුය. එසේ නැත්නම් ආගම සම්බන්ධ නොකර ගෙන සිටිය හැක.

    ReplyDelete
    Replies
    1. බොහොම අගනා අදහස් බොහොම ස්තුතියි ඔබට.

      මට අමතක වුන එක දෙයක් තියනවා. පාසල් නිල ඇඳුම එකක් වියයුතුයි. එය ආගම් හෝ ජාති පදනම් කරගත් එකක් නොවිය යුතුයි. පාසලේදී ආගම් අදහනවානම් සෑම ආගමකටම අයත් ස්ථානයක් තිබිය යුතුයි.

      Delete
    2. @ඇනෝ,

      //ජාතික කොඩිය කෙසේ වෙතත් ජාතික ගීය තනි බසෙකින් පමණක් ගැයීමේ වැරදි සිරිත වහාම අත්හළ යුතුය. අවස්තෝචිතව ජාතික ගීය රැස්ව සිටින පිරිසගේ කැමැත්ත පරිදි සිංහලෙන් හෝ දෙමළෙන් ගායනා කිරීමට ඉඩ සැලසිය යුතුය.//

      මේක නම් ක්‍රියාත්මක කිරීම අමාරු වැඩක් නේද? මම කීවේ පොදු තැන්වලදි.

      Delete
    3. අපේ අසල්වැසි රටවල නම් ඒ නිදහස තියනවා.

      Delete
  9. යෝජනා ටික වැදගත්. නමුත් කවුද ඕව කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. කවුරුවත් කරන්නේ නැහැ රාජ්. අපි අපිම එකතුවෙලා අපේ පරමාධිපත්‍ය බලය යොදවලා කරවන්න ඕනේ.

      Delete
  10. ආගමික වශයෙන් ජාතීන් වශයෙන් බෙදා වෙන් නොකොට ඔක්කොටම එක නීතියක් ක්‍රියාත්මක විය යුතුයි.

    අනෙක ජඩමාධ්‍ය… උදාහරණයක් ගමු. කොහෙ හරි තැනක මුස්ලිම් පිරිමියෙක් සිංහල කාන්තාවක් හෝ සිංහල පිරිමියෙක් මුස්ලිම් කාන්තාවක් දූෂණය කලා කියලා හිතමු. එය ඔහුන් වාර්ථා කරන්නෙ 'අහවල් ජාතියේ පිරිමියෙක් අහවල් ජාතියේ ගැහැණි‍යක්ව දූෂණය කරයි' කියලා ඒක උලුප්පලා පෙන්නලා.

    ඊට පස්සෙ පොලීසියත් දූෂණයට ලක් වූ ජාතියෙ උන් ගිහින් නීතිය අතට ගන්නකම් මූව අත්අගංගුවට ගත්තොත් මුගේ ජාතිය බේද වෙයි කියලා නිකං ඉන්නවා.

    එතනම ලොකු ප්‍රශ්ණයක් ඇති වෙලා ඉවරයි.

    නීතිය ආගම ජාතිය අනුව බෙදා වෙන් නොකල යුතුයි.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියන අච්චාරු නීති ක්‍රමය එක සරල නීති ක්‍රමයක් බවට පත්කිරීම ඉතා තදින් දැනෙන යුගයක් මේ. උඩරටට එකයි, පහත රටට එකයි, යාපනේට එකයි, මුස්ලිම් අයට එකයි. මෙන්න මේ විකාර නිසා තමයි අපිට හෙනේ කැටිලා තියෙන්නේ.

      Delete
  11. අගනා වටිනා විවරණයක් චිචාරක ... අර පොත නම් මාර වටිනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්. ඇත්තටම මේ පොත පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස ඉතා වටිනවා.

      Delete
  12. නමෙන් පමණක් අසා තිබුණු ඉතා වැදගත් ඓතිහාසික පොතකින් කොටසක් මේ ආකාරයට අපට ලබාදීම ගැන මා මිත්‍ර විචාරකට ස්තුතියි.

    මෙහිදී බෝට් පීපල් කියා කියවෙන්නේ හම්බයන් ගැණ පමණයි නේද? මරක්කාර් බෝට්ටුවලින් පැමිණි මරක්කලයින් ගැන සඳහනක් නෑ නේද?

    මා දුටුවා එක තැනක සඳහන් වෙනවා 1915 සිද්ධිය හැඳින් වෙන්නේ මරක්කල කෝලාහලය ලෙස බව. සමරහරවිට මරක්කල යන්න හම්බයින් යන්න ට වඩා හොඳ යෙදුමක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. කකා මටත් මේ පොතෙන් ආව එක ප්‍රශ්නයක් තමා සාමාන්‍ය මුස්ලිම් සහ හම්බ යනුවෙන් වර්ග දෙකක් සිටි බව. මේ පොතේ කර්තෘ දක්වලා තියෙන්නේ එහෙමයි. අර ඔබේ අඩවියේ ලිපියේ දක්වලා තිබුණු ඉතිහාසයට වඩා මෙහි වෙනසක් තියනවා. අප පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා කිව්වෙත් සිංහල - මරක්කල කෝලාහලය කියලා. බැන්නේ 'මරක්කයෝ' කියලා. ආශ්‍රිත ලිපි වලින් එකක මරක්කාර් ගැන සඳහන් වෙනවා.

      ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      Delete
  13. අලුත්ගම වුනේ තනිකරම නාටකයක්, එය කිහිපදෙනෙකුගේ හෝ තම පැවැත්ම රඳවා ගන්න තනි පුද්ගලයෙකුගේ උවමනාවක් මිසක් ජාතියේ උන්නතිය වෙනුවෙන් සිදුවූ දෙයක් නොවෙයි. මෙතන දී පොලිසිය අත කොලුවක් වූවා මිස රටේ ආරෂකයා නොවූ බව නම් ඇත්ත​. සවස 6.45 ඇඳිරි නීතිය පැනවෙනකම් මොකක්වත් නොවී තිබී පසු දා එලිවෙනකොට එතරම් විනාශයක් වෙලා තියෙන එකෙන් එය මනාව පිළිබිඹු වෙයි. පොදුජන ආරක්‍ෂාව ගැන තැකීමක් තිබුනේ නම් එක කුහුඹියෙකුට හානියක් නොවෙන්න වග බලාගන්න පොලිසියට ඕන තරම් ඉඩ කඩ තිබුනා. අනතුරු ඇඟවීම් කොතෙකුත් කල නමුත් මෙවැනි තතවයකට අවස්තාව උදාකර දීමෙන් පොලිසිය කොන්තරාත්තුවක් ඉටුකරන්න උත්සාහ දරා ඇති බව හොඳ හැටිම පෙනෙනවා. මෙච්චර දෙයක් වෙයි කියලා පොලිස්පති තුමා කියන එක විහිළුවක් නොවෙයිද​? ලෝකයේ දරුනුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න සමත් අපේ රජයට මේ තත්වය ඇති නොවෙන්න වග බලා ගන්න එක කජ්ජක් නොවෙයිද​? මෙය ප්‍රෝඩාවක්, බහුතරයා නොමග යවන්න ගත් උත්සාහයක්. කාලයක් තිස්සේ රටේ ගිනි අවුලන්න මෙවැනි අවසතාවකට මාන බලමින් සිටී මොවුන්ට බහුතරයා අසු නොවූ නිසා මෙය පරාජයක්. සිතට එකඟව කටයුතු කරන පොලිස් නිලධාරියෙකුට සාමාන්‍ය මිනිහෙක් දිහා කෙලින් බලා රාජකාරිය කරන්නත් බැරි තත්වයක් දැන් තියෙන්නේ. චඳ්‍රිකා යුගයේ ගෙනා ස්වාධීන පොලිස් කොමිසමේ යෝජනාව නැවත් ගෙනවිත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. මමත් මා දන්නා කියන 'බුද්ධි අංශ' මගින් ලබාගත් තොරතුරු බොහොම අප්‍රසන්නයි, කෝපය අවුස්සන සුළුයි. මෙතන නොලියන්නේ මිනිසුන් ඇවිස්සීම මට අදාළ නැති නිසා. වගකිවයුතු එකෙක්වත් වගකීම් දරලා නැහැ. එකෙක් වෙනුවෙන් රටක් ලේ වගුරවනවා තව වැඩිකල් නොගිහින්. විනාශයක පෙරනිමිති පෙනෙනවා.

      Delete
  14. මේක බෙදාගත්ත එක ගැන සැහෙන්න සතුටුයි 1915 කිය කියා හිටියට ඇත්ත තත්වය මොකක් ද කියලා අපි දැනන් හිටයෝ නැ. ස්තූතියි විචාරකතුමනි..

    අපි; සිංහල ද ? දමිළ ද ? මුස්ලිම් ද ? නැත්නම් ශ්‍රී ලාංකික ද?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකික කියන එක හදාගැනීම අපි හිතනවාට වඩා හරිම අමාරුයි දුලාන්. මම ඒකයි කියන්නේ අධ්‍යාපන ක්‍රමයේ ගැඹුරු වෙනස්කම් වලින් පටන්ගන්න ඕනේ කියලා.

      Delete
  15. ඔබ ගාව හොඳ පොත් නොවැ තියෙන්නේ විචාරක! මට මතක් වුනේ අර මිල්ටන් පෙරේරාගේ සිංදුව.
    ......දිගටම එහෙමයි, අද හෙට මතුත් එහෙමද, අප යන මග නිම වන්නේ කොහෙන් කොහොමද? (කවදාද කොහොම කොයි තැනකද අප හමු වූයේ).

    දැන් මේ සැරසෙන්නේ ශතවර්ෂ පුර්ණය සැමරීමට වෙන්න ඇති නේද විචාරක? අපේ සමහරුන් වඳින පුදන "ප්‍රභූන්" ගැනත් යන්තමින් මේ පොතේ තියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රභූන් කියලා අපි හිතන (සමහරු වඳින) සමහර අයගේ අභ්‍යන්තරය බොහොම භයානකයි, අප්‍රසන්නයි.

      මේ පොතේ වටිනාකම මටත් තේරුනේ මේ ලිපිය ලියද්දී.

      ස්තුතියි ඔබේ අදහස් වලට.

      Delete
  16. ඔබට.....තුති..... විචාරක තුමණි ....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි

      Delete
  17. බාල, තරුණ, මහළු, අපි හැමෝටම තේරෙන මේ කරුණ ඇයි අපේ බහුතරයක්ට නොහිතෙන්නෙ? නැත්නම් මිනිස්සු තේරුම් ගන්න කැමති නැත්ද? කොහොමත් මේ හැමදාමත්, අතීතයේත්, වර්ථමානයේත් සිද්ධවෙන්නෙ නරුමයන් කිහිප දෙනෙකුගේ පිසාච අවශ්‍යතා සපුරාගැනීමක්. රැලේ යන හරක් වගේ ඒ පිටිපස්සෙ ගාල කඩාගෙන දුවන පිරිස් එදත් හිටියා, අදත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මනොෂ් දන්නවා නේද කියමනක් තියනවා ටික දෙනෙක් හුඟක් කල් රවට්ටන්න පුළුවන්. බොහෝ දෙනෙක් ටිකක් කල් රවට්ටන්න පුළුවන්, ඒත් හැමෝම හැමදාම රවට්ටන්න බැහැ කියලා. ඉතින් අර හැමදාම රැවටෙන සුළු පිරිස තමා මේ ප්‍රශ්න ඇතිකර ගන්නේ. ඒ මිනිස්සු එක අතකට අහිංසකයි. ඒ මිනිස්සුන්ව අන්දවන එවුන්ට තමයි ඇත්තටම ගහන්න ඕනේ.

      Delete
  18. ආහ්..අමතක උනා. මෙතරම් පැරණි, දුර්ලභ පොතක් අපත් සමඟ බෙදා ගැනීමට තරම් කාරුණික වීම පිළිබඳ විචාරකතුමනි ඔබට තුති!

    ReplyDelete
    Replies
    1. මෙවැනි පොත් වල වටිනාකම දැනෙන්නේ මේ වගේ අවස්ථා වලදී. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  19. හුඟක් දෙනෙක් මේ ගැන කතා කලාට හරියට මේක දන්නවද කියලත් සැකයි.. ඇත්තටම මම වුනත් හුඟක් දේවල් මේ ගැන දැන ගත්තේ මේ ටික බලලයි..

    ReplyDelete
    Replies
    1. මෙතන තියන වැදගත්ම කාරණයක් මම කියන්නම්. බලන්න සුද්දා එදා කරලා තියෙන්නේ මොකක්ද? කලබල ඇතිවුන ගමන් යුද්ධ නීතිය Martial Law පැනවීම. එතකොට බලය දෙනවා හමුදාවට ඕනෙම දෙයක් කරන්න. අද මොකක්ද වෙන්න යන්නේ. මුළු රටම ගිනි තියලා හදිසි නීතියදාලා හමුදාව ආයෙත් සැරයක් හැම ගමකම නගරයකම දාලා ඒ අස්සේ මැතිවරණයක් තැබීමේ උප්පරවැට්ටිය තමයි මේ ක්‍රියාත්මක වෙන්න යන්නේ. ඒක කීයෙන් කී දෙනෙකුට තේරෙනවද කියන එකයි ප්‍රශ්නේ.

      Delete
  20. හරිම වටිනා සටහනක් විචාරක!!! වටිනා පොතක්. මේ වගේ කාලීන මාතෘකාවක්, මේ වගේ විස්තරාත්මක විදියට කතා කිරීම ගැන ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම හිතුවේ මේක මගේ යුතුකමක් කියලයි. ඒ නිසයි මේ ලිපිය ලිව්වේ. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  21. බුද්ධාගම රැකගනීමට බුදු දහම පසෙක ලා මිනී මැරීමට සැරසෙන සිය වත්මන් බුද්ධපුත්‍රයන්/ශ්‍රාවකයන් ගැන බුදුන් සිටියොත් කුමක්නම් වදාළාවිද ?

    ReplyDelete
    Replies
    1. මේ වගේ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ කලේ වනගතවීමයි. උන් වහන්සේ මේ සියල්ල පුහු දේවල් බව කල්තියා විනය නීති වලින් පෙන්වාදී තිබුනා. එයට පටහැනි වන්නන්ගෙන් වෙන්ව සිටීමයි උන්වහන්සේ අනුගමනය කලේ. හැබැයි අද තියන තත්වය ගැන නිහඬව සිටින මහානායක ස්වාමීන් වහන්සේලා කරන්නේ බලවත් වරදක්.

      Delete
  22. විචාරක.....අපූරු පොතක් සහ අපූරු ලිපියක්. මගේ මිත්‍රයෙක් මට කිව්වා මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දයන්ද 1915 සිද්ධිය ගැන ලියා තිබෙන බව.මට පොතේ නම මතක් වෙන්නේ නැහැ.

    නීතියේ ආධිපත්‍ය කඩා බිඳ දැමූවිට අනිකුත් කිසිම දෙයක පැවැත්මක් නැහැ. ඒ වටහාගන්න හැකි පාලකයෝ රටේ නැහැ. මේක අවාසනාවක්. නැවත අමුතුවෙන් පටන් ගන්න වෙන්නේ.

    අර වේවැල් බෝලේ ක්‍රීඩාව 'රාග' තමයි.

    ReplyDelete
    Replies
    1. 1915 සිද්ධිය ගැන ලියවුන ලිපි ලේඛන පොත්පත් රාශියක් තිබෙන බව මමත් දැනගත්තේ මේ ලිපිය ලියන්න කරුණු සෙවීමෙදීයි.

      නීතියේ අධිපත්‍යය කඩාවැටෙන්නට හැරීමත් එක්තරා පාලන උපක්‍රමයක්ද කියලා හිතෙනවා. හැබැයි අමුතුවෙන් පටන්ගන්න පුළුවන් තත්වයෙන් බේරගන්න එක තමයි රටට ආදරයක් ඇති අය කලයුත්තේ.

      'රාග' ගැන මගේ මතකය හරි එහෙනම්.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  23. ඔක්කොම ටික කියවන්න ඕනා නිසා හිතුවටත් වැඩිය වෙලාවක් ගියා පොස්ට් එක බලන්න..... කොහොම උනත් මෙහෙත් ජාතින් කිපයක් ඉන්න රටක් හැටියට මෙයාලා ගෙනයන ජාතික ප්‍රතිපත්තීන් දිගා බැලුවම අපේ ලංකාවේ සුළු ජාතීන්ට තියෙන තැන තාමත් හොඳයි..... මෙහෙ බැංකුවකින් නායක ගන්න ගියාමත් මලේ ජාතිකයින්ට වෙනම පොලි ප්‍රතිශතයක් හා අනෙක් ජාතිකයන්ට වෙන වෙන ප්‍රතිශතයන් ...... එත් මෙයාලා තාමත් හොඳ සහජීවනයෙන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය තියෙන්නේ කාලඟද කියලා ඔය, ජාතිවාදයෙන් අපිට ගහනවා කියලා කියන අය කන්නාඩියක් ඉස්සරහට ගියාම බලාගන්න පුළුවන්. මෙහෙ බොහෝ දෙනෙක් ඉල්ලන්න හදන්නේ තමාටම කියා වෙන් කරගත් පාලන ප්‍රදේශයක් බව පැහැදිලිව පෙනෙනවා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }