හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 May 2014

කටපුංචලාගේ ලොකු අයියලා (පළමුවැනි කොටස) Machine Guns and There Applications (Part One)


download (1)    'කලකට පස්සේ වෙලකට බැස්සේ' කියලා පැරණි කියමනක් තියනවා අහලා ඇති නේද? ඔන්න මමත් කාලෙකට පස්සේ තමයි යුද අවි ගැන එහෙමත් නැත්නම් හමුදාවට සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපියක් ලියන්නේ. මම හිතන්නේ 'සංග්‍රාමයේ පියසටහන්' ලිපියෙන් පස්සේ තමයි මේ 'හමුදා ලිපියක්' ලියන්නේ. සෑහෙන කාලයක්.

   සමහරු නෝක්කාඩු කියලත් තිබුණා, අපි මේ අඩවියට එන්නේ හමුදා තොරතුරු මිසක් වෙන වෙන දේවල් බලන්න නෙවේ කියලා. තවත් සමහරු අහලා තිබුණා හමුදා තොරතුරු උල්පත හිඳිලද කියලා. අනේ නැහැ. ඒ ගඟ එහෙමම තියනවා. තවත් තොරතුරු මහා ගොඩක් තියනවා එකතු කරගෙන. ඉතින් ඒ තොරතුරු ගංගාවෙන් දැණුම නමැති දිය දෝත බැගින් ගෙන ඔබට පොවන්නම් ඉදිරියේදීත්. 2013 දී ආරම්භ කළ කෙටුම්පත් පවා තවම තියනවා. හොඳයි හොඳයි. තරහ අවසර, මෙන්න ලියනවා හමුදා කතන්දරයක්.

  කටපුංචලා ගැන මීට කලින් අපි කතාකළා මතකද? මතක නෑ? හයියෝ.......ඕකනේ කියන්නේ අතීතය අමතක කරන්න එපා කියලා. හොඳයි හොඳයි, කමක් නැහැ. ඉස්සර කතාකරපු කට පුංචලාගෙන් දෙන්නෙක්ව වත් මතක් කරගන්නකො මෙන්න මෙතනින් ගිහින්. ඊට කලිනුත් කටපුංචලා ගැන කියලා තියන බව අමතක කරන්න එපා. ඕනෙනම් තවත් පරණ ලිපි අවුස්සා බලන්න. තුවක්කු ගැන ජීවිත කාලයක් ලිව්වත් ඉවර කරන්න බැරි බව මම මීට කලින් ලිපිවලදීත් ඔබට කියලා ඇති. (පින්තූරය ගත්තේ මෙතනින්


   මෙවර මම ඔබ අතට පත්කරන්නේ;
  • මැෂින් තුවක්කු කියන වර්ගීකරණයට වැටෙන තුවක්කු.
  • පාවිච්චි කරන ආකාරය අනුව ඒවා වර්ග කරන හැටි.
  • යුද බිමේදී ඒවා යොදවන ආකාරය. පිලිබඳ විස්තරයි.
   හැබැයි ඉතින් 'අ'යන්නේ ඉඳලා 'අඃ'යන්නට වෙනකල් ඔක්කොම කියන්න බැහැ. සමහර දේවල් හංගන්න වෙනවා. හමුදාවේ රහස්‍ය තොරතුරු පිළිබඳව කටයුතු කිරීමේදී එක්තරා ප්‍රමිතියක්, නීතියක්, පිළිවෙතක්, තියනවා. ඒ තමයි අවශ්‍ය පුද්ගලයාට, අවශ්‍ය ප්‍රමාණයට, සීමාකොට තොරතුරු ලබාදීම. need to know basis කියලා තමයි ඒ පිළිවෙත හඳුන්වන්නේ. ඉතින් ඔබටත් ඒ හැන්දෙන් තමයි බෙදන්න වෙන්නේ. තරහ නැහැනේ. නමුත් ඔබ ජීවිතේ කවදාවත් අහලා නැති තොරතුරු මෙතන තියනවා.

   මේ අඩවිය ඇසුරු කිරීම නිසා, විවිධ ගිනි අවි ගැන පමණක් නෙවෙයි, කාලතුවක්කු ගැන වුනත් ඔබට යම් දැණුමක් තියනවා. ඒ අතරේම, මම මීට පෙර, ඔබට පරණ මැෂින් තුවක්කුවක් ගැනත්, අලුත් මැෂින් තුවක්කුවක් ගැනත්, කියාදී තිබෙනවා. ඒ නිසා 'මැෂින් තුවක්කු' කියන යෙදුම ඔබට එතරම් අලුත් දෙයක් නෙවෙයි. ඒ වුනාට ඉතින් මම දන්නවනේ කට්ටියගේ හැටි. දැන් අහයි මෙන්න මෙහෙම........


මොකක්ද මැෂින් තුවක්කුවක් කියන්නේ? 

  මැෂින් තුවක්කුව කියන එක තුවක්කු පිලිබඳ තාක්ෂණය පදනම් කරගනිමින් නිර්වචනය කරන්නේ මෙහෙමයි. 'තුවක්කුවේ කොකා trigger මිරිකාගෙන සිටිනතාක්කල්, එම තුවක්කුවට යොදවා ඇති සියලුම උණ්ඩ අවසන් වනතුරු, සීඝ්‍රයෙන් නොකඩවා වෙඩි තැබියහැකි තුවක්කුව, මැෂින් තුවක්කුවයි' එමෙන්ම, එකක් පසුපස එකක් වශයෙන් තමයි මැෂින් තුවක්කුවකින් උණ්ඩ පිටවෙන්නේ. මෙයින් පෙනෙනවා නේද මැෂින් තුවක්කුව සම්පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක් කියන එක. එතකොට සම්පූර්ණ ස්වයංක්‍රීය නොවන තුවක්කුත් තිබෙන බව පෙනෙනවා. අපි ඉස්සරවෙලාම ඔය වර්ග දෙක පැහැදිළිව තේරුම් ගම්මුද? ඒ කියන්නේ, අර්ධ ස්වයංක්‍රීය තුවක්කු සහ සම්පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු කියන වර්ග දෙක. 


අර්ධ ස්වයංක්‍රීය තුවක්කු - Semi Automatic Guns
   
   මේ තුවක්කුවකට පතරොම් සහිත ගැබක් හෙවත් මැගසින් - magazine එකක් සවි කරලා, වෙඩි තැබීමට සූදානම් cock කළපසු, තුවක්කුවේ කොකා trigger, මිරිකන එක වාරයකට එක උණ්ඩයක් පිටවන අතර, ස්වයංක්‍රීයව ඊළඟ උණ්ඩය පත්තුවීමට සූදානම් කරනවා. හැබැයි සෑම උණ්ඩයක්ම වෙඩි තැබීම සඳහා යලි යලිත් ට්‍රිගරය මිරිකිය යුතුයි. බලන්න පහළ තිබෙන වීඩියෝවෙන් පෙන්වන්නේ අර්ධ ස්වයංක්‍රීය ලෙස තුවක්කුවක් ක්‍රියාකරන ආකාරයයි. (තත්පර 12 යි යන්නේ බයිට් ගැන නොහිතා බලන්න. නැත්නම් දැණුම ලැබෙන්නේ නැහැ)







පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු - Full Automatic Guns

   අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. තේරෙනවනේ. පූර්ණ ස්වයංක්‍රීය කියන්නේ, පතරොම් ගැබක්/වැලක් සවිකරලා, වෙඩිතැබීමට සූදානම් කර, (කොක් කර) කොකා හෙවත් ට්‍රිගරය මිරිකාගෙන සිටිනතුරු, සියලු පතරොම් අවසන්වන තෙක් වෙඩි තැබිය හැකි තුවක්කුවයි. ඔන්න බලන්න පහළ වීඩියෝවෙන් පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක ක්‍රියාකාරිත්වය. මෙහිදී, පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු කීපයක්, වෙඩි තැබීමට සූදානම් කරන ආකාරයත්, වෙඩි තබන ආකාරයත්, ඉතා පැහැදිළිව පෙන්වා දෙනවා. 






ඔන්න දැන් තේරෙනවා නේද පූර්ණ ස්වයංක්‍රීය කියන නම්බු නාමය ගන්න නම් පට පට ගාලා වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි දැන් අපි බලමු මැෂින් තුවක්කු වර්ග මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ වෙළඳ නාම නෙවෙයි. එහෙම කියන්න ගියොත් ලිපි දහයක් විතර ලියන්න වෙයි. මොකටද වෙළඳ දැන්වීම් ලියන්නේ :D

  මැෂින් තුවක්කු;
  •   ඒවායේ ප්‍රමාණය Size
  • වෙඩි බලය Fire Power
  • යුද බිමේදී පාවිච්චි කරන ආකාරය Application 
   අනුව වර්ග කර තිබෙනවා. මෙන්න මේ විදිහට තමයි වර්ග කර තිබෙන්නේ;
  • සැහැල්ලු මැෂින් තුවක්කු - Light Machine Guns = LMG
  • මධ්‍යම ප්‍රමාණයේ යෙදවුම් සඳහා මැෂින් තුවක්කු Medium Purpose Machine Guns = MPMG
  • විශාල (බර) මැෂින් තුවක්කු Heavy Machine Guns = HMG
   හොඳයි. ඊළඟට මේ තුවක්කු එකින් එක ගැන විස්තර කතාකරමු.

   මුලින්ම සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව හෙවත් LMG එක.

  අපේ හමුදාව 1980 දශකයේ මුල් කාලය දක්වා පාවිච්චි කළේ, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත, .303 LMG වර්ගයේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවයි.

G__0939_BrenLMG_720

   මීට කලින් මම ඔබට ඒ තුවක්කුව ගැන දීර්ඝ විස්තරයක් කියාදී තිබෙන බව අමතක කරන්න එපා. ලෝකයේ මුල් වරට සම්පූර්ණ ස්වයංක්‍රීය තත්වයේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවක් හදලා තියෙන්නේ 1908 තරම් ඈත අතීතයෙදීයි. ප්‍රංශ යුද හමුදාවේ කර්නල් වරයකු විසින් තමයි එය නිපදවා තිබෙන්නේ. "Fusil Mitrailleur Modele 1915 CSRG" ( in English: "Machine Rifle Model 1915 CSRG" )

csrg_1915_1

  1920 දශකය පමණ වනවිට ජපානයත් LMG එකක් නිපදවා තියනවා. එය හඳුන්වා තිබෙන්නේ Type 11 Machine Gun යනුවෙන්. පහත දක්වන්නේ ඒ තුවක්කුවයි.


Japanese_Type_11_LMG_from_1933_book


   අද අපේ හමුදාව පාවිච්චි කරන ප්‍රධාන (එකම) සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව තමයි චීනයේ නිෂ්පාදිත 7.62 x 39 මැෂින් තුවක්කුව. මෙය රුසියානු RPD තුවක්කුවේ කොපියක්.    RPD (Russian: ручной пулемёт Дегтярёва Ruchnoy Pulemyot DegtyaryovaEnglishhand-held machine gun of Degtyaryov) එක වරකට පතරොම් 100 ක ඩ්‍රම් මැගසින් එකක් යොදවා වෙඩි තැබිය හැකි මෙම තුවක්කුව සඳහා දෙදෙනෙකු යොදවා සිටියත් අවශ්‍යනම් එක් අයකුට මෙය අතේ තබාගෙන වුනත් වෙඩි තියන්න පුළුවන්. පින්තූරයට පහළින් තියන වීඩියෝවෙන් බලන්න මේ තුවක්කුවෙන් වෙඩි තියන හැටි.


F1DSARPD1







   අදට මේ ඇති නේද? ඉතුරු ඔක්කොම කියන්න ගියොත් මහා දීර්ඝ සහ සංකීර්ණ ලිපියක් වෙනවා. ඊළඟ කොටසින් හමුවෙමු.


my-signature-for-blog[1]     2014 මැයි මස 25 දින 0039 පැය




61 comments :

  1. මේක අපි නොදන්නා..අපිට ඉදෙන ගන්න අවස්තාවක් නොලැබෙන වෙනමම මානයකට අපිව ගෙනියනවා..දැනුම් සාගරයක් කිව්වොත් වැරදි නෑ. වීඩියෝ ටික නම් super..
    බොහොම ස්තුතියි මේ තොරතුරු බෙදා ගන්නවට..
    ආපහු එන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෂෙහාන්. තවත් විස්තර ඉද්ති කොටසෙන් දෙන්නම්.

      Delete
  2. මචං අයියේ මේ වීඩියෝ දසුන් ටික හා ඔබේ අගනා විස්තර එක්ක අපට ප්‍රමාණික දැනුමක් ලැබුණා මේ පිළිබදව. බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්. අපි හැම දෙනාම බ්ලොග් ලිවීමෙන් අප්‍රමාන දැනුමක් බෙදාගන්නවා.

      Delete
    2. නලීන්.....දයාබර යෙදුමක්....'මචං අයියේ'. සත්තකින්ම.

      Delete
  3. පටන් ගන්ඩත් කලින් ඉවර උනානෙ..

    //එකක් පසුපස එකක් වශයෙන් තමයි මැෂින් තුවක්කුවකින් උණ්ඩ පිටවෙන්නේ//එකපාර ඔක්කොම උණ්ඩ පිටවෙන තුවක්කුත් තියෙනවද?

    වීඩියෝවල කන් ආවරණ පළඳාගෙන සිටියත් අපේ හමුදාව යුද්ධයේදී කන් ආවරණ පළඳිනවා දැක නෑ..

    The Last Samurai (2003) චිත්‍රපටියේ අතින් කරකවන මැශින් තුවක්කු තිබ්බා මතකයි..

    ReplyDelete
    Replies
    1. තව දික්කරානම් මාගලකටත් එහා යනවා.

      ඔව් අර සෙවන් සමුරායි චිත්‍රපටියේ තිබුන අතින් කරකවන තුවක්කුවේ බට කීපයකින් වෙඩි පිටවන නිසා එකක් පසුපස එකක් නොවෙන්න පුළුවන්.

      වීඩියෝ වල කන් ආවරණ පැළඳගෙන ඉන්නේ ඒවා පුහුණුවීම් සඳහා හෝ විස්තර කිරීම සඳහා කෙරෙන වෙඩි තැබීම් නිසයි.

      Delete
  4. පොඩි පුරස්නයක්, සාමාන්‍ය මැෂින් තුවක්කු මැගසින් එකක, ඒකට මැගසින් එක කිව්ව හරිද මංද, පත‍රොම් වැලක්නෙ ති‍යෙන්‍නෙ, උණ්ඩ කීයක් තියනවද?

    මැෂින් තුවක්කුව ම‍ගේ අතටත් ‍හොඳට හුරුයි. මේ ලඟදි igi ගේම් දෙක ගැහුව.

    ReplyDelete
    Replies
    1. අර RPD තුවක්කුවට හයි කරන එක මැගසින් එකක් නෙවෙයි ඩ්‍රම් එකක්. ඒ ඩ්‍රම් එක ඇතුලේ පතරොම් 100 ක් අමුනපු වැලක් තියෙන්නේ. අවශ්‍යනම් ඒ වැල එලියට අරන් තුවක්කුවට හයි කරලා වෙඩි තියන්නත් පුළුවන්. නමුත් එවිට හිරවීම් ඇතිවෙන්න පුළුවන්. පතරොම් වැල බිම ගෑවිලා මඩ, වැලි, ආදිය තැවරුනොත්.

      බොහොම හොඳයි IGI වෙඩි තැබීම. ඒත් රාජ් මේ තුවක්කුවක් අතට ගත්තොත් තේරෙයි වෙනස අහසට පොලොව වගේ කියලා.

      Delete
  5. මොකද අද කොට කරලා , ඉතුරු ටිකත් ඉක්මනට දාමු වීඩියෝ බැලුවම නම් ඇවිල්ලා විචාරකටත් එක්ක වෙඩි තියන්න හිතෙන්නේ ... :b

    ReplyDelete
    Replies
    1. දිග වැඩියි කියලා හිතුනා ඉවාන්. මේ ලිපිය හරිම අමාරුවෙන් කොටස් දෙකකට කැඩුවේ. එනවානම් කියලා වරෙන්. මට දුවන්න පාරක් හොයාගන්න.

      Delete
    2. හා ඉවාන් , මට හරියන භාන්ඩේ මෙතන තියනවා,. ගේයි ඉඩමයි උගස් තියලා හරි එකක් අරං අර පතරොං 100ම දාලා දෙන්නං තොට පෙනේරයක් වගේ වෙන්ඩ !!!!! හිටු !!

      Delete
    3. ඉවාන් මම දෙන්නං උඹට තව ලොකු තුවක්කුවක් (උඹට ලොකු තුවක්කුවක් උස්සගන්ඩ පණ තියනවා නේද පුතේ?)

      Delete
  6. ඇත්තටම වැදගත් විස්තර ටිකක්. ස්තූතියි බෙදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. ගිහින් කියවලා වරෙන් වෙඩි තියන්න කලින් :P

      Delete
    2. ආ ඕක මොකද්ද ප්‍රියා විචාරකලගෙයි අපෙයි වැඩ නෙවැ ๬!!! ඕව සුලු දේවල් අපිට :D

      Delete
    3. ආයෙම අහලා පත්තරේ උඹ ඉවාන්ට වෙඩි තියන කාලෙක කියපන් මයෙ ගානෙ උඹට අරන් දෙනවා LMG එකක් හිඟා කාලා හරි. :D

      Delete
    4. LMG වැඩක් නැහැ චතුරංග. ඊළඟ ලිපියෙන් දෙන්නම් නියම බඩු.

      Delete
  7. ඕං ආයෙත් ට්‍රැක් එකට වැටිලා..... අපි ඔබ ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මෙවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉදිරියේදීත් දෙන්නම්.

      Delete
    2. මේවා විතරක්ම නෙමේ. විචාරක සතු විශාල දැනුම් ගබඩාවක් තියෙනවා. ඒක පතොරම්වලින්ම පුරවන්න එපා. මාරුකර කර ලියන්න.

      Delete
  8. සෑර් ආසාවෙං කියෝගන ආවට කියවන්න ගද්දිම අහවරයිනේ . චැහ් !!

    නිකං ඇපටයිසර් එක වගේ. ගෑවෙන්ඩත් මදි.. ලබන සතියෙ තව අඟල් කාලක් වත් දික් කරන්ඩ මේක ඈ, අපි ඉතිං වෙන කගෙන් කියල මේව අහන්ඩද ආයිබෝං !!!

    ReplyDelete
    Replies
    1. අඟල් කාලක් දික්කොරන්ඩ උඹ හිතුවද මේක ........ වගේ කියලා.

      හෙහ් හෙහ් දෙන්නං දෙන්නං ඊළඟ ලිපියෙන්.

      Delete
  9. විචාරක මහත්මයා! අවසන් අවිය T 56 L M G නේද?.T 81 L M G අවියට වඩා සෑහෙන්න හොඳ එකක් කියලයි මම සිතන්නේ.ජර්මන් නිෂ්පාදනයක් වුන Heckler & Koch 7.62 G P M G අවිය සමඟ සංසන්දනය කලත් චීන අවිය ඉදිරියෙන් ඉන්න බව සිතෙනවා.මා එසේ කියන්න හේතුව වෙන්නේ ජර්මන් මැෂින් තුවක්කුව බොහොම බර වැඩියි.හැසිරවීම අපහසුයි.ඒ වගේමයි ජර්මන් අවියේ බැරලය උණ්ඩ 400 වෙඩි තැබීමෙන් පසු මාරු කරන්න ඕන.චීන අවිය සම්බන්දයෙන් මේ ගැටළු නැහැ.නමුත් මැගසිනය වයින් කරන්න ඕන T 81 සෑහෙන ලෙඩ දෙන අවියක්.

    ReplyDelete
    Replies
    1. ඔබට හොඳ දැනුමක් තියන බව පෙනෙනවා. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන T 56 LMG එක තමයි පෙන්නලා තියෙන්නේ. නමුත් මේ අවියේත් stoppages එනවා. සමහර වෙලාවකට අල්ලලා විසිකරන්න හිතෙනවා. T 81 ගැන පස්සේ කතාකරන්නම්. නැවතත් ඔබට ස්තුතියි.

      Delete
  10. ඉතා වැදගත් ලිපියක්.... සිත් ඇදගන්නා ලිපියක්. කියවන්න ආස හිතෙනවා විචාරක...

    පොඩි දෙයක් එකතු කරන්න හිතුනා. අහිතක් හිතන්න එපා. වෙඩි තැබිය හැකි දුර, ප්‍රතිඵලදායක දුර, අවියෙහි බර - (පිරවූ මැගසිනය සහ ඩ්‍රම් එක සහිතව) සහ භාවිතා කරන්නා වූ පතරොම් පිළිබද විස්තරයකුත් තිබුණානම් හොදයි කියලා හිතුනා. (කලින් පල කරාද දන්නෑ.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට. ඔබ කියා ඇති විස්තර ඇතුලත් කර මේ ලිපිය සංස්කරණය කරනවාට වඩා ඊළඟ ලිපියට ඇතුලත් කිරීම හොඳයි වගේ පෙනෙනවා.

      Delete
  11. තුවක්කු ගැන ලියල ඊළඟට බෝම්බ ගැනත් ලියන්න විචාරක තුමා.

    ReplyDelete
    Replies
    1. හනේ අම්මපා මේ නහින දෙහින කාලේ මෙයාට ඕන වෙලා තියෙන දේවල්

      Delete
    2. බෝම්බ ගැන මීට කලින් ලියලා තියනවා හැලපේ. හැබැයි නැවතත් ලියන්න කරුනුත් තියනවා. මේ තියෙන්නේ පරණ බෝම්බ ලිපි.

      පළමුවැනි ලිපිය

      දෙවැනි ලිපිය

      @ මැලේ. උඹ ඔව්වට ආවොත් මම හැලපෙට දෙනවා බෝම්බ දෙක තුනක් කාට හරි ගහලා බලන්න කියලා. :e

      Delete
  12. ඊලග එක පලවනතුරු නොඉවසිල්ලෙන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. දෙන්නම් දෙන්නම් ඉක්මණින්.

      Delete
  13. විචාරකතුමනි,මාගේ නෑදෑ වෙන සහෝදරකුත් හමුදාවේ සේවය කරන්නේ. හැබැයි ඔහු ඇමරිකන් හමුදාවේ සිටින්නේ. ඇෆ්ගන් මෙහෙයුම් වලත් සිට තිබෙනවා.
    මා කලකට ඉහත යම්කිසි සඟරාවක ලිපියක් කියෙව්වා.සහෝදරයා ගෙන ආ එකක් විය යුතුයි. එහි තිබුනා ඇමරිකානු හමුදාව භාවිතා කරනු ලැබූ සහ ලබන අයුධ පිලිබදව. එහි තිබුනා වියට්නාමය,ඉරාකය,ගල්ෆ් යුධ සමයේ භාවිතා කෙරු තුවක්කු ගැන විශේෂයෙන්. එහි සදහන්ව තිබුනා පෙන්ටගනය විවිධ මෙහෙයුම් වලදී භාවිතා කෙරු අයුධ තීරණය කර තිබුණු අයුරු. විශේෂයෙන්ම වෙනත් රටක සමග දීර්ඝ කාලීනව යුධ ගැටුමක් ඇති විටකදී ඇමරිකන් හමුදාවේ සොල්දාදුවන් භාවිතා කරනු ලබන්නේ එතරම් ප්‍රභලත්වයක් ඇති තුවක්කු නොවෙයි. ඒවායින් පිටවන උණ්ඩයක් වදිනා සතුරන් බොහෝ විට මියයන්නේ නෑ. මොකද තුවාල මාරාන්තික නෑ. මටත් මේක කියවපු ගමන් දැඩි කුතුහලයක් ඇති උනා ඇයි සතුරා නොමැරෙන අන්දමේ අයුධ ඇමරිකන් සෙබළුන් හට දී ඇත්තේ කියා. එහි පැහැදලි කර තිබුණු අන්දමට පෙන්ටගනය මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ කරුණු බොහෝ සලකා බලායි.
    මොකද යුද්ධය අතර තුලදී ඇමරිකන් සෙබළුන්ගේ වෙඩි ප්‍රහාර වලට ලක්වන සතුරු පාර්ශවයේ උදවිය මිය නොයන නිසා, ඔවුන්ව විගසින් ප්‍රතිකාර සදහා රැගෙන යා යුතුයි. ඔහුට තනිව නැගිට යාමට බැහැ. ඉතින් තවත් සෙබලෙක් සමග ඔහුව යුධ මෙන් ඉවත් කොට ප්‍රතිකාර සදහා යැවීමට සිදුවනවා. එවිට සෙබළුන් දෙදෙනෙක් හෝ වැඩි ගණනක් එක් උණ්ඩයක් වැයකොට යුධ බිමෙන් ඉවත් කල හැකියි. එසේම ප්‍රතිකාර සදහා මුදල් වැයවනවා. රටේ අබාධිත සෙබළුන් ගණන වැඩිවනවා. ජිවත්ව සිටිනා අබාධිත සෙබළුන් වැඩිවන විට ජනතාව කලබල වනවා. මේ වගේ කරුණු කරනා රැසක එහි සදහන්ව තිබුනා. කදිම ලිපියක් එය. කලකට ඉහතදී කියවුවක් නිසා ඇතැම් කරුණු ක්ෂණිකව මතකයට එන්නේ නෑ.

    ඒත් හැබැයි මේ ක්‍රමය ලංකාවට නං හරි යන්නේ නෑ. මොකදවිමුක්ති කොටි සංවිධානයේ උදවිය උනත් ආබාධිතව සිටිනවා නං ඒක අන්තිමේදී බරක් වෙන්නේ ශ්‍රී ලංකාවටම නිසා. භාහිර රටක් සමග යුද්ධයක් කරනා විටයි එය ගැලපෙන්නේ.
    ..
    මම ඔබගේ පැරණි ලිපියක් කියවූ විටයි දැක්කේ ඔබතුමාත් ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙක් බව. අපේ රට බේරා ගත්තු ජෙනරාල්තුමා සමග එක රෙජිමේන්තුවේ සේවය කෙරු ඔබ ගැන බොහොම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. AnonymousMay 25, 2014 at 7:49 PM@ ඔබ අදහස් කරන්නේ ඇමරිකන් හමුදාව භාවිතා කරන N A T O සම්මුතියට අයත් ගිනි අවි පිළිබඳව විය යුතුය.මෙම අවි ප්‍රහාරක ශක්තිය අතින් අඩුය යන්න මගේ අත්දැකීම් අනුව පිළිගත නොහැකිය.සාමාන්‍ය ඇමරිකානු ප්‍රහාරක රයිෆලයක් 5.56 ප්‍රමාණයේ උණ්ඩ භාවිතා කරන අතර එයට අනුරූප රුසියානු සහ චීන අවි සඳහා 7.62 ප්‍රමාණයේ උණ්ඩ යොදනු ලබයි. බැලු බැල්මට රුසියන් සහ චීන අවි වඩාත් ප්‍රබල බව පෙනුනත් ඇත්ත එය නොවේ.ඇමරිකානු M 16 ගිනිඅවියක සහ AK 47 ගිනි අවියක උණ්ඩය ගමන් කරන ප්‍රතිපලදායක දුර බොහෝවිට එක සමානය.මෙතනදී කිවයුතු දෙයක් ඇත රුසියන් හෝ චීන ගිනි අවි ප්‍රහාරයකට ලක්වෙන අයෙකුගේ සිරුරේ ඇතුළුවන සහ පිටවෙන තුවාලය,ඇමෙරිකානු අවි ප්‍රහාරයකට ලක්වූ විට ඇතිවෙන තුවාලයට වඩා බෙහෙවින් විශාලය.5.56 ඇමරිකානු අවි ප්‍රහාරයකදී සිරුරට උන්ඩය ඇතුළු වූ ස්ථානයේ ඇතිවන තුවාලය ඉතා කුඩා එකකි.පිටවීමේ තුවාලයද සාපේක්ෂව කුඩාය.නමුත් මෙම 5.56 උණ්ඩය මඟින් සිරුරේ අභ්‍යන්තරයට බරපතල හානි සිදුකරයි.සිරුර තුලින් වෙඩි උණ්ඩය ගමන් කළ මාර්ගය අවට පටක කොටස් තලපයක් ආකාරයට විනාශවී ඇති අයුරු සහ වෙඩි උණ්ඩය සිරුර තුල කැබලි වී මාර්ග කීපයක් ඔස්සේ ගමන් කර ඇති අයුරු මියගිය සතුන් පරීක්ෂාවෙන් මා දැක ඇත.මගේ අත්දැකීම් අනුව T 56 උණ්ඩයේ යුධ ශීර්ෂයේ ඇති පිත්තල කවරයේ ඝනකමට වඩා 5.56 උණ්ඩයේ ඉදිරි කෙලවරේ පිත්තල කවරයේ ඝකම අඩුය මේ නිසා 5.56 උණ්ඩය සිරුරකට ඇතුළුවන විටම එය පැතලි හැඩයක් ගැනීම හෝ කැබලි කීපයකට වෙන්වීම සිදුවෙන බව පෙනේ.මේ නිසා මතුපිටින් නොපෙන හානියක් සිරුර තුල සිදුවේ.

      Delete
    2. Ano @ May 26, 2014 at 12.13 P.M.

      නිර්නාමිකව හෝ ඔබ දක්වා ඇති අදහස් ඉතා වැදගත්. හොඳ සංවාදයක් ගොඩනගන්න කරුණු මෙතන ත්යනවා. මේ ගැන මීට කලිනුත් මගේ ලිපියකින් සාකච්ඡා කර තිබෙනවා

      ඇත්තටම 7.62 x 39 පතරොම සහ 5.56 පතරොම අතර ප්‍රතිඵලදායී දුර සහ/හෝ සිදුවන හානිය එකකට එකක් ඉහල හෝ පහල යයි ස්ථිරව නිගමනය කිරීම තරමක් අපහසු බවයි ප්‍රායෝගිකව මා ලබා ඇති අත්දැකීම. නමුත් 5.56 පතරොමෙන් සිරුර තුල ඇතිවන හානිය 7.62 ට වඩා වැඩි බව මම පිලිගන්නවා.

      [img src="http://www.ar15.com/ammo/project/Misc_Images/DocGKR/RussianWP.jpg "width=400]

      [img src="http://files.abovetopsecret.com/files/img/uf53576880.jpg"width=400]

      Delete
    3. [im]http://i989.photobucket.com/albums/af11/tcbaklash/russianWP.jpg[/im]


      [im]http://files.abovetopsecret.com/files/img/uf53576880.jpg[/im]

      Delete
  14. මුලින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා ඉතා අර්ථවත් එමෙන්ම වැදගත් අදහස් රාශියක් දක්වා තිබීම පිළිබඳව. ඇත්තෙන්ම ඔබ කියා තිබෙන කරුණු සියල්ල සත්‍යයි. ඇමරිකන් හමුදාවේ ඒ ප්‍රතිපත්ති පිළිබඳව මමත් හමුදා පුහුණු දේශන වලදී මෙන්ම ලංකාවට පැමිණි ඇමරිකන් හමුදා උපදේශක වරුන්ගෙන් ද අසා දැනගෙන තිබෙනවා.

    සටනට ගොස් ආබාධිත වූ කොටි සංවිධානයේ සාමාජිකයන් ඉන්නවා. මා දන්නේ නැහැ ඔවුන් අද කුමන තත්වයේ ඉන්නවාද කියා.

    ඇගයීම පිළිබඳව නැවතත් ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
  15. ස්තුති..

    ඒත් මම කැමතිම කිරිල්ල තුවක්කුවට ;)

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හී......සෑමෝ සෑමෝ, තවම විද්දේ නැද්ද බට කිරිල්ලියකට?

      Delete
  16. ආවා, ආවා, නියමයි. පහු ගිය ටිකේ එපා වෙලා හිටියේ. සතුට වැඩි කමට ලිපිය බලන්නත් කලින් කොමන්ටුවක් දැම්මා ඕන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලීප. හමුදා තොරතුරු නැති තව ලිපි හත අටක් ලිව්වානම් සමහරු මට ගෙදරට ඇවිත් ගහලා යයි කියලා හිතුනා.

      Delete
  17. එල පට්ට සුපිරි ගින්දර ගාල්ලේ ගෙට්ටුවට එකක් අරන් එන්නකෝ.

    ReplyDelete
    Replies
    1. හම්මෝ මේකක් අරගෙන ගාල්ලට ආවොත් මාව හොයන්න එලොව යන්න වෙයි.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. කියවපු හැටියේ මගේ හිතට ආවේ මෙන්න මේක.... :-)
    ‘A gun is nothing really, without a person behind it.’

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක අපේ පුහුණුවේදී උගන්වනවා. ලෝකේ හොඳම තුවක්කුව තිබුනට වැඩක් නැහැ ඒක අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක කරවන්න මොලයක් තියන එකෙක් නැත්නම්.

      Delete
  20. හොඳයි හොඳයි, මැෂින් තුවක්කුව වගේ පට පට ගාල ඉතුරු ටිකත් දැම්මනං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. පට පට ගාලා ලියන්න බැරි එක තමයි පුරස්නේ.

      Delete
    2. සෙකට්‍රි කෙනෙක් ගත්තනං හරිනේ සැර් .මොකෝ පැන්සොන් එකත් අම්මට සිරිවෙන්ඩ වැඩි කරල දුන්නේ අපේ ලොක්කා !! සල්ලි මදිපාඩුවක් කියලෑ.

      Delete
  21. අඩේ.. නියමයිනෙ. මේ බ්ලොග් එකේ ගිනිඅවි ගැන තියෙනවා කියල දැනගත්තෙත් අද. දැන් පටන්ගන්නවා පරන පෝස්ට් ටිකත් කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිළිගන්නවා. මා මෙම අඩවිය පටන්ගත්තේ බොහොම මෑතකදී. හමුදා තොරතුරු ඇතුලත් කරගනිමින් මා මුලින්ම ලියන්න පටන්ගත්තේ වර්ඩ්ප්‍රෙස් වලින්. ඒ අඩවියට සමගාමීවයි මේ අඩවිය අදත් පවත්වාගෙන යන්නේ. වර්ඩ්ප්‍රෙස් අඩවියේ ආරම්භයේ සිට පල කල සියලු ලිපි මේ අඩවියට කොපි කර තිබෙනවා. නමුත් පාඨක ප්‍රතිචාර කොපිකර නැහැ. පාඨක ප්‍රතිචාර සහ ඒවාට මා දී තිබෙන පිළිතුරු වලත් වැදගත් කරුණු තිබෙනවා. ඒ නිසා මා ඔබෙන් කාරුණිකව ඉල්ලනවා පැරණි ලිපි කියවීම සඳහා මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට යන ලෙස. මෙන්න ලිපිනය http://jangun.wordpress.com

      Delete
  22. ඔබගේ මෑෂින් ගන් අර්ථදෑක්වීමට ඉස්සර (1860s -........ ) තිබුන මල්ටි බෑරල් ගෑට්ලින් Gatlin ගන් එක අයත් වනවද?

    ReplyDelete
    Replies
    1. Gatling Gun එක full automatic නෙවෙයි. එය rapid fire gun එකක්. එය අතින් කරකවන trigger mechanism එකකින් යුක්ත තුවක්කුවක් නිසා machine gun කියා කියන්නට අමාරුයි. නමුත් වර්තමාන මැෂින් තුවක්කුවේ ආදීතම පුරුකක් ලෙස සලකන්නට පුළුවන්.

      [im]http://upload.wikimedia.org/wikipedia/commons/6/6c/Gatling_gun.jpg[/im]

      Delete
  23. නියමයි විචාරක......මට කියන්න දෙයක් නැහැ මම දන්නේ නැති නිසා. හැබැයි ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අරු, මම මෙවැනි ලිපි ලියන්නෙත්, 'මෙන්න මේවගේ දේවල් තියනවා' කියලා නොදන්නා අයට යම් දැනුමක් ලබාදෙන්නයි. ඉතින් ඔබේ දැනුමට යමක් එක්වීම මට සතුටක්.

      Delete
  24. වෙනදා වගේම ඉතාම වැදගත් සටහන් පෙළක්. මේ ලිපියට වර්ඩ්ප්‍රෙස් මගින් එන්න උත්සාහ කළා ඒත් හැකි වුනේ නැහැ. තවත් ගැටළු සමග ඔබට එවන ලද මේල් එක ලැබුණා දැයි දැනගන්නට අවස්ථාවක් ලැබුණෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. සමහ අවස්ථාවන්හිදී වර්ඩ්ප්‍රෙස් අඩවි වලට ඇතුළුවීමට නොහැකි තත්වයක් උදාවෙනවා. මටත් ඔබේ අඩවිය, අරුණි ශපිරෝගේ අඩවිය, අරුගේ අඩවිය, සම්බන්ධව එහෙම වෙලා තියනවා. ඒ වෙලාවට කරන්න ඕනේ පැයකට පමණ පසු නැවත උත්සාහ කිරීමයි. ඊ මේල් එක බලා උත්තර දෙන්නම්.

      Delete
  25. විචාරක තුමෝ ඔන්න මල පනින වෙලාව. මේක කියවන්න කියලා ආවට තිබුනේ චිත්‍රපටි නොවැ. මදි මදි හොඳටම මදි. ඔබතුමා කම්මැලි වෙලා. එක නෙවේ වෙනදා වගේම මට ප්‍රශ්න මතු උනා. ඔන්න එහෙනම් උත්තර දෙන්න.

    ඔබගේ අර්ථ දැක්වීමට අනුව මැෂින් තුවක්කුවක් යනු පුර්ණ ස්වයංක්‍රිය තුවක්කුවක්. එහෙම නේද? එතකොට මට තියෙන පුරස්නේ තමයි ඔය T 56 එහෙමත් පුර්ණ ස්වයංක්‍රිය තුවක්කු නේ, එතකොට ඒවත් මැෂින් තුවක්කු ගණයට දමන්න හැකිද? නැතිනම් ඒ ඇයි?

    ReplyDelete
  26. හෙහ් හෙහ්.......... ඔච්චර කේන්ති ගන්න එපා අනේ. ලියන්නං ලියන්නං බලන්නකො ඊළඟ කොටස.

    ඇත්තටම ඔබ අහලා තියන ප්‍රශ්නයෙන් මට කියන්න අමතක වුන කරුණක් මතු කරලා තියනවා. ඇත්තටම T 56 වගේ ඒවා පූර්ණ ස්වයංක්‍රීය full automatic අවි තමයි. නමුත් ඒවා අයත් වන්නේ එක් පුද්ගලයකු (සෙබළකු) වෙත නිකුත් කරන අවි personnel weapon යන වර්ගීකරනයටයි. මැෂින් තුවක්කු ඊට වඩා වෙඩි බලයෙන් වැඩියි කියලා, මේ ලිපියේ ඉදිරි කොටස් කියවද්දී ඔබට වැටහෙයි. මැෂින් තුවක්කු වලින් සෙබළුන් විශාල ගණනකට අවශ්‍ය ආධාරක වෙඩි support fire ලබා දෙනවා. ඒ නිසා මැෂින් තුවක්කු අයත්වන්නේ ආධාරක අවි support weapon යන වර්ගීකරනයටයි.

    බොහොම ස්තුතියි මේ ප්‍රශ්නය ඇසීම ගැන.

    ReplyDelete
    Replies
    1. http://www.youtube.com/watch?v=Xf_jnzWT4t8

      Delete
  27. මට දැනගන්න තියෙනව ගොඩාක් දේවල් මට call එකක් ගන්න පුලුවන්ද 0771730463

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }