හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 February 2014

අපේ වාර්ෂික සංචාරේ

  UNITYමම මීට කලිනුත් ලිපි දෙකක් ලියලා තියනවා, අපේ වාර්ෂික සංචාරය ගැන. පළමුවැනි ලිපිය මෙතනින් සහ දෙවැනි ලිපිය මෙතනින් බලන්න පුළුවන්. සෑම අවුරුද්දකම, පෙබරවාරි හතර වැනිදා, ඒ කියන්නේ ජාතික නිදහස් දිනයේදී, අපේ පුංචි ජනාවාසයේ ඉන්න මහජනතාවගේ, සුබසිද්ධිය වෙනුවෙන් පවත්වාගෙන යන, සුබසාධක සංගමයෙන්, චාරිකාවක් යනවා. මේ රූපයේ තියෙන්නේ අපේ සමිතියේ ලාංඡනය. සමිතියේ නම, එක්සත් සුබසාධක සමිතිය. 
  මෙහි අය කිරීම් බොහොම සාධාරණයි. මෙවර, එක පවුලකින් (කීදෙනෙක් ආවත්) අයකළේ, රු 1500/- යි. ඒ මුදලට උදේ දවල් රාත්‍රී ආහාරයත් ඇතුළත්. නමුත් ඒ මුදල මදි අවශ්‍ය වියදම් පියවන්න. ඒ නිසා ඉතිරි වියදම් සියල්ල දරන්නේ සමිති අරමුදලෙන්. වාර්ෂිකව ලොකු පොලියක් ගන්න හොඳ ස්ථිර තැන්පතුවක් අපේ සමිතියට තියනවා. ඒ නිසා මෙවැනි සුබසාධනයක් කරන්න පුළුවන්.
   දැනට අපේ සමිතියේ වයස අවුරුදු 10 යි. නමුත් අපි පොදු සේවා රැසක් සපයනවා. 5 වසර, අපොස සා පෙළ, උසස්පෙළ, ඉහළින් සමත්වන අපේ සාමාජික පවුල්වල දරුවන්ට, ශිෂ්‍යාධාර ලබාදෙන අතර, සමස්ත ලංකා මට්ටමෙන්, ක්‍රීඩා, නර්තන, නව නිර්මාණ, ආදී කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන, අපේ සාමාජික පවුල්වල දරුවන්ටත්, විශේෂ මුදල් ත්‍යාග පිරිනමනවා.
   මේ හැර අපි රු 35000/- ක අවමංගල්‍යාධාරයක්, සාමාජිකයකුගේ දෙමවුපියන්ගෙන් අයකුගේ මරණය, ඔහු/ඇය ගේ කලත්‍රයා ගේ මව හෝ පියාගේ මරණය, වෙනුවෙන් ගෙවන අතර තම දරුවන් සහ තමන්ගෙන් යැපෙන අය වශයෙන් සමිතිය විසින් පිළිගන්නා අය වෙනුවෙන්ද රු 35000/- ක අවමංගල්‍යාධාරයක් පිරිනමනවා. සාමාජිකයකු මියගියවිට, ඔහුගේ කලත්‍රයාට හෝ ප්‍රතිලාභියා ලෙස කලින් නම්කර තිබුන අයට, රු 35000/- කුත්, ඔහුගේ/ඇයගේ විවාහක දරුවන්, එක් අයකුට වඩා වැඩි ගණනක්, වෙනමම සාමාජිකයන් ලෙස සමිතියට බැඳී සිටිත් නම්, ඔවුන් අතර සමසේ බෙදීයන පරිදි තවත් රු 35000/- කුත් ලබාදෙනවා.  (මේ ආධාරයට අමතරව කොඩි, පුටු, කූඩාරම්, අවමංගල්‍යය දිනයේ දිවා ආහාරය, ආදියද සැපයෙනවා) 
   මේ හැර අපි මහා පරිමාණයෙන් අවුරුදු උත්සවයක්, පොසොන් සමයේදී අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් බත් දන්සලක්, පවත්වන අතර, සංවත්සර උත්සවයද සංගීත ප්‍රසංගයක් සහිතව මහ ඉහළින් පවත්වනවා. අපේ සමිතියටම වෙන්වූ ක්‍රීඩා පිටියක් සහිත, හොඳ සමිති ශාලාවක්ද අපිට තියනවා. අපේ සමිතියේ මාසික සාමාජික මුදල රු 100/- ක් පමණයි. අපි දැනට රු ලක්ෂ 45 ක පමණ පානීය ජල ව්‍යාපෘතියක් සැළසුම්කර තිබෙනවා. ඔන්න අපේ සමිතියේ චූර්ණිකාව.
   සාමාන්‍යයෙන් අපි වාර්ෂික සංචාරය යන්නේ පෙබරවාරි 4 වැනිදා වුනත්, මෙවර ඊට පසුදිනය වැඩ කරන දිනයක් වූ නිසා පෙබරවාරි 8 වැනි සෙනසුරාදා තමයි සංචාරය යන්න සිදුවුණේ. ඔන්න ඉතින් කතාව ඉවරයි මෙතන ඉඳලා පින්තූර බලමු. මෙවර අපේ සංචාරයේ ප්‍රධාන අරමුණ වුණේ මාදු ගඟේ පරිසර සවාරියක් යාමයි. බෝට්ටු වලින් ගිය මේ සවාරියට පැය 4 ක පමණ ගතවුණා.
හපෝ..........මේ පාන්දර 5 ට නෝනලා තම රැහැයි කටහඬවල් අවදි කල ආකාරය. 
1
කුරුණෑගල ඉඳලා, පස්යාල, කිරිඳිවැල, හංවැල්ල, හෝමාගම, පහුකරගෙන කොට්ටාවෙන් රිංගුවා අධිවේගී මාර්ගයට.  හයිවේ ද බුරුල්වේ ද මම දන්නෑ හැම වාහනයක්ම දිව්වේ, පස්සෙන් කවුරුහරි පන්නනවා වගේ. මම ප්‍රථම වතාවට අධිවේගී මාර්ගයේ බස් එකේ හිටගෙන ගියා පින්තූර ටිකක් ගන්න.
2
මේ පින්තූරයේ වම්පැත්තේ පෙනෙන ආකාරයේ ඉඩකඩ සහිත ස්ථාන කීපයක් තිබෙන බව මේ පාරේ යන අය දන්නවා ඇති. මම මෙවර පැහැදිළිව දැක්කා (බස් එකේ ඉදිරිපස දොර ළඟ හිටගෙන ගිය නිසා) හොරෙන්ම එළියට යන්න පුළුවන් තැනක් තියනවා. අපි ගිය බස් දෙකෙන් එකක රියදුරා උපතින්ම ඇඟ පුරාම මොලය තියන කෙනෙක්. ඒ බස් එකේ ගිය අයගේ කීම නොඅසා දොඩම්ගොඩින් එලියට යන්න තියෙද්දී මෙයා ගාල්ලටම යන්න තියන පිවිසුමට දාලා ආයෙත් බස් එක රිවස් කළා. ඒ වරද වෙනුවෙන් රු 1500/- දඩයක් ගෙවන්නත් මෙන්න මෙතනට වෙලා පැයක් විතර රස්තියාදු වෙන්නත් සිදුවුනා. එයින් සිදුවුණේ උදේ කෑම ගැනීම 10 ට විතර කරන්න සිදුවීමයි. 
3
පුංචි කවීෂාට නම් මෙව්වා ගානක්වත් නැහැ. අනාගතේදී මෝස්‌තර නිරූපිකාවක් වෙන්නද දන්නේ නෑ මේ ඉරියව්වෙන් ඉන්නේ.
4
පිට මාදු ගඟේ සවාරිය සඳහා බලපිටියට යන්න තිබුණත්, උදේ කෑම ගන්න ස්ථානය තිබුනේ දොඩම්ගොඩ නිසයි, අධ්වේගී මාර්ගයෙන් එළියට ආවේ. ඔන්න ඉතින් මාදු ගඟටත් ආවා කියමුකෝ. එක බෝට්ටුවක් රු 4000/- ගානේ, මහ විසාල බෝට්ටු 5 ක් ඕනේ වුණා, අපේ මුළු නඩේම ගෙනියන්න.
5
හැබැයි, බෝට්ටුවට දුන්න සල්ලි කිසිම පාඩුවක් නැහැ කියලා හිතුණේ, දකින්නට දුර්ලභ, අලංකාර, කඩොලාන පරිසරය තුළින්, අපේ බෝට්ටු හෙමින් හෙමින් ඇදීයනවිටයි.
6
මේ ජාකොටු ගැන අපේ පිරිසේ හිටිය පාසල් ළමුන් ප්‍රශ්න කෝටියක් අහන්න පටන්ගත්තා. අපේ බෝට්ටුවේ ක්‍රියාකරු, ඔවුන්ට සියළු කරුණු කියාදුන්නා.
7
පි මුලින්ම ගොඩබැස්සේ, විශාලතම දූපතට. එහිදී අපිට ලස්සන පරිසරයක් දකින්නට ලැබුණා.
8
මේ තියෙන්නේ ලස්සන මලක්. ඇත්තටම මෙය හොඳ ඖෂධයක්. සෙංගමාලය රෝගීන්ට මේ කොළ වලින් කැඳ හදලා බොන්න දෙනවා. මේ තමයි හීන් බෝවිටියා. කවුරුහරි පිටරටක එකෙක් දැනටමත් මේකේ පේටන්ට් අයිතිය අරන්ද දන්නේ නෑ.
9
ඒ විතරක් නෙවෙයි. වයඹ පළාතේ අපිට දකින්නට නොලැබෙන දෙයක් වන, කුරුඳු තැලීම කරන්නේ කොහොමද කියලා බලන්නත් ලැබුණා.
10
පි මෙව්වා බලන අතරේ තවත් කට්ටියක් වෙනත් වැඩක නිරතවුණා. ඒ තමයි මාළුවන්ට කියලා තමන්ගේ දෙපා පිරිසිදු කරගැනීම. මේ සඳහා එක්කෙනෙකුගෙන් රු 50/- ක් අයකළා. නමුත් විදේශීය සංචාරකයකුගෙන් නම් ඊට වඩා මහ ඉහළ ගණනක් අය කරන බව දැනගත්තේ, අපේ නඩයේම සිටි, අපේ එක සාමාජිකයකු මේ තැන් හොඳට හඳුනන, සංචාරක මගපෙන්වන්නකු වීම නිසයි.
11
මේ ඉන්නේ ඒ මාළු. මටනම් දුකයි මේ වගේ ලස්සන මාළුන්ට කියලා කකුල් පිරිසිදු කරගන්න. ඒ නිසා මම කළේ මේවා නැරඹීම පමණයි.
12
ඊළඟට අපි ගියේ තවත් දූපතක පිහිටා තියන කොත්දූව රජමහා විහාරය වන්දනා කරගන්නටයි.
13
ශාන්ත නිසසල පරිසරයක පිහිටි මේ විහාරස්ථානය, ඇත්තෙන්ම, සෑම දෙනා තුළම, බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකරනවා.
14
කොත්දූව පන්සල බලන්න ඇවිත් හිටිය පුංචි සුද්දියෙක් අපේ කණ්ඩායමේ පුංචි කල්ලියෙක් එක්ක බෝ මළුවේ සෙල්ලම් කළා.
15
මාදු ගඟේ සංචාරය ඉවර කරලා එනගමන් කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් බලන්නත් ගියා. හැබැයි සුදු කැස්බෑවන් නම් දකින්න ලැබුනේ නැහැ. මේ ඉන්නේ කුඩා කාලයේ දී අනතුරකට ලක්ව, කටුව කැඩී ගිය කැස්බෑවෙක්.
15a
කොස්ගොඩට ගොඩබැස්සේ, හෝ ගාන පොකුණෙන් නාගන්නයි.
16
මම අපේ ඇත්තිට  මේ ගමන එන්න කලින්ම කිව්වා,  ඉස්සර කැළණි ගඟේ දිය කෙළියේ යෙදුනු ආකාරයට, (අපි දෙන්නා විවාහවූ අලුත දිනපතා නෑවේ කැළණි ගඟෙන්) අදත්, බලා ඉන්න අයට ආදර්ශයක් වශයෙන්, දිය කෙළියේ යෙදෙමු කියලා. ගෙදරදී, අනේ මට බෑ ඔය මිනිස්සු ගොඩේ නාන්න කියලා කියපු ගෑණි, මෙන්න බොලේ  මටත් හොරෙන්ම ඇඳගෙන හිටිය ඇඳුම් පිටින් මූදට බැහැලා.
17
තවම දාසයයි මාසයයි වගේ පෙණුම ......නේද?
අනේ මමනම් බහියි අපේ නඩේ ගෑණු බලා ඉන්දැද්දී. ඊටත් වැඩිය මං වගේ සත්පුරුසයෙකුට එතන කොහොමවත් නාන්න බැහැ. සිල් බිඳෙනවා. මෙන්න මෙව්වා පිරිලා.
IMG_2611
මම අර අපේ කට්ටියට උදව් කළා, වැටකෙයා පඳුරු හෙවණේ අර අරවා කටේ වක්කරගන්න. 12 ක් ඉවරයි කියනවා වගේ යන්තම් මතකයි. කාටද අප්පා ඔව්වා ගණන් මතක තියෙන්නේ. ඔය අතරේ අර මෙව්වා එකක් ආවා එතනින් යන්ඩ. අනේ ඒක පැදන් ආපු හාදයාට කීයක්ද අත මිටමොලවලා ටිකවෙලාවකට අපේ පොඩිඑවුන් ඒකෙ නැගලා විනෝද වුණා.
18
සමහරුන් පණපිටින් වැලලෙන්න ගියා.  
19
 ඕනෙ මගුලක් කරගනින් කියලා අපි යන්න යනකොට මෙන්න නැගිටලා එනවා. 
නීල මහා යෝධයාගේ මල්ලිත් අපිත් එක්ක සංචාරයට ආවා.
IMG_2615
සැන්දෑවට ගලන්න ඉඩ දෙමින් අපි වෙරල තීරයෙන් සමුගත්තේ ආපහු ගෙදර එන්න හිතාගෙනයි.  
20
රෑ වුණා කියලා බලන්නේ නැතුව පටන් ගත්තේ නැතැයි සාජ්ජේ.
22
ඒ වුනාට කොහෙද 13 වෙනි එක ඇරියේ ආපහු එනගමන්. අනේ ඇත්තට මෙහෙමත් .......................
23
ඔන්න ඔහොමයි අපි 2014 වසර වෙනුවෙන් සංචාරයේ යෙදුනේ. ඔක්කොගෙම කැමරා වලින් ගත්ත පින්තූර හාරසිය ගණනකින් තෝරගත්ත ඒවා තමයි මේ දාලා තියෙන්නේ.
my-signature-for-blog[1]2014 පෙබරවාරි මස 23 වැනි දින 0031 පැය

54 comments :

  1. ෂා නියමයි ..ඔයාලගේ සමිතියේ වැඩපිළිවෙල ගැන නම් හරිම සතුටුයි. හැමදේම පිළිවෙලකට කරන පාටයි . ඒ වගේ අසල්වැසියෝ එකමුතුව වැඩ කරන එකනම් ගොඩක් හොද දෙයක් , හයිවේ එකේ නොගිහින් ස්ලෝ වේ ගියානම් හොදයි කියල හිතෙන්න ඇති නේද හි හි ..

    අර ෆොටෝ එකේ තියෙන දම් පාට මල් වේලිලා ගියාට පස්සේ අපි කනවා ගෙඩිය .මං හිතන්නේ ඒක වෙන්න ඕනේ ,අපි කිවේ දම් මල් කියලා ඕවට ,,සුදු ගමුම්,දම් පාට කරන තියෙනවා ඔය ගස් වල අතු පාත් කරන් කන්න ගිහින්,, ඔයාගේ වයිෆ්ද ඒ,, ෂෝයි.. අපේ හැලප තුමාගේ වෙලන්කන්නි සංචාරේ මතක් උනා සුද්දිගේ පස්ස දැකලා එයත් වයිෆ්ව ඉස්සර කරලා ඔහොම එකක් අරන් තිබ්බා ,, හි හි .. නියමයි .. ඒ වගේම බස් එකට 1500 කියන්නේ මාර ලාබයි .. ලබන අවුරුද්දෙත් යන් ලැබේවා.. මේ කවුද අනේ ඒ තඩි බඩා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපේ සමිතිය ඇගයීම ගැන. ඔය දම්පාට මල් වලට තවත් නම් තියනවා. ඒ වගේ ගෙඩි කමින්, පරිසරය සමග ගැටෙමින් තමයි අපිත් ඒ කාලේ පයින් ඉස්කෝලේ ගියේ.

      Delete
  2. ඔය තියෙන්නේ මාධ්‍ය ආවරණය නියමෙට දීලා.....මේ පිටුව ස්ක්‍රෝල් වෙන් නෑනෙ අප්පා එක තැනකදී හිර වෙනවනේ.....:-)

    අර පැංචියෝ දෙන්නට හොරෙන් වටපිටාවේ අය අයින් කරලා තව ටිකක් පාත්වෙලා ගත්තා නම් නියම පොටෝ එකක් එයි....

    ReplyDelete
    Replies
    1. දැන් බලනකොට නම් පිටුව ස්ක්‍රොල් වෙනවා. මොකක් හරි ලෙඩක් තිබිලා හරියන්න ඇති.

      දැන් මේ ලිපිය බලලා අර නීලමහා යෝධයාගේ මල්ලියි, අර සුද්දිගේ පස්සා පැත්ත දැක්කම අපේ උන්දැයි මාත් එක්ක තරහවෙයිද දන්නේ නැහැ.

      Delete
  3. අනේ අම්මා පල්ල නෝනත් ලග තියාගන මේ මනුස්සයා අල්ලලා තියන පොටෝ

    ReplyDelete
    Replies
    1. කොහෙද අපේ උන්දෑ මහා බාධක පරය වගේ නොවුනා නම් අල්ලන්න තිබුණා 'බුල් ඇඩෑල්ස් ඔන්ලි පිචෑර්ස්' ටිකක්. :D

      Delete
  4. ඔය හීන් බෝවිටියා කියල හොඳටම දන්නවද? මමනම් කියන්නෙ ඕක බෝවිටියා .

    ReplyDelete
    Replies
    1. ඔයා ගෙනාවේ හොඳ අදහසක්. එකම ශාකයට විවිධ ප්‍රදේශ වලදී විවිධ නම් කියනවා. හීන් බෝවිටියා වුනත් වර්ග දෙකක් තියනවා කියලා මමත් අහලා තියනවා. තව විස්තර ටිකක් කියන්නකෝ.

      Delete
    2. ඔව්. මේකේ තියෙන්නේ බෝවිටියා. හීන් බෝවිටියා වල කොලය කරපිංචා කොලයක් වගෙයි. මල් පැලයක් වගේ ගෙදර හිටෙව්වත් ලස්සනයි. දුර්ලබයි. ඒ වගේ දුර්ලබ පැල මම වත්තේ හිටවලා තියෙනවා. ඒවා මල් පැල වලටත් වඩා ලස්සනයි

      Delete
    3. බොහොම ස්තුතියි ඒ දැනුම්වත් කිරීම ගැන.

      Delete
  5. පින්තුර වල විස්තර කිරීම් ටික මගේ සිත් ගත්තා සටහනට වඩා. අර නීල මහා යෝදයට අයියල නැත්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන. නීල මහා යෝධයා එක් දරු පියෙක්. ව්‍යාපාරිකයෙක්. පවුලේ එකම කොල්ලා.

      Delete
  6. ගියවර ලිපිය නම් කියෙව්ව.
    කියල වැඩක් නැහැ...ඔහොම ගිය ගමන් මතක් කර කර කෙල පෙරාගෙන රස විදිමින් කියෙව්ව.
    අර වක්කරන්නෙ විචාරක තුමා නේද.... :) ?
    එහෙම නැත්නං තාම ගියවර නොබිව්ව වගේ නොබොන්නෙහි ද ... ?
    අනිවා 16 යි දින කීපයයි වගේ... :) :)

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට සැරයක් වත් මෙහෙම නොයන ජීවිත කුමටද? නේද?

      හපොයි ඔය අත්දිග ෂර්ට් ඇඳන් ට්‍රිප් යන කෙනෙක් නෙවෙයි මම ඒ අපේ 'සත්ගුණවත්' මිත්‍රයෙක් තමා වක්කරන්නේ.

      අම්මේ 'තන්..........තෝසේ' බෑ 16 යි මාසයයි වගේ පෙනෙනවා කිව්වම.

      Delete
    2. 16 යි මාසේ නෙමේ දින කීපයයි......:) :)

      Delete
  7. Replies
    1. ඒ කියන්නේ මම ඩී තුනක් අරගෙන පාස් කියන එක නේද?

      Delete
  8. අපේ ගමෙත් මං පුංචි කාලෙ ඉඳලම තිබ්බා, තවමත් තියෙනවා සුහද සමිතිය කියල එකක්... ඒකෙනුත් ඔය මරණාධාර වැඩ කෙරුනට අනිත්වා නම් කෙරෙන්නෙ නෑ මං හිතන්නෙ... බලනකොට විචාරකලගෙ සමිතියෙන් මහ ගොඩක් වැඩ කෙරෙනවනෙ... හොඳ සැලසුමක් ඇතිව යන සමිතියක්...
    හීන් බෝවිටියා මං පුංචි කාලෙ අපේ ගේ අවට කැලෑවල තිබුණා... ඒ කාලෙ අපේ ගෙදරටත් මිනිස්සු ඇවිත් වත්ත මායිමේ තිබුණු කුරුඳු ගස් කපලා තැලුවා මතකයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපේ සමිතිය ඇගයීම ගැන. සංඅහැඋ මේකට හීන් බෝවිටියා නොකියා වෙනත් නම් කියන බවත් පෙනෙනවා. අදහස් දැක්වීම ගැන ස්තුතියි.

      Delete
  9. ඉතා සංවිධානාත්මකව පවත්වාගන යන ඔබේ සමිතියට මුලින්ම සුබ පැතුම්. මාදු ගගේ සංචාරයේ ආශ්වාදය නම් කියා නිම කරන්න බෑ විචාරක තුමා. මාත් මේ ගැන ලිපි දෙක තුනක්ම ලියලා තිබුණා මගේ බ්ලොගේ. අර මාළු සම්බාහනය ගැන එහෙම. හැකිනම් වෙලාවක යන්න රැයක් දූපතක ගත කරන්න. වෙනස්ම අද්දැකිමක් ඒක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපේ සමිතියට සුබ පැතීම ගැන. නලීන් මට ඇත්තටම හිතුනා ඒ දූපත්වල සංචාරය කරනවා නම් ඉතා කුඩා පිරිසක් (උපරිම හතක් අටක්) තමයි සුදුසු කියලා. රයක් ඉන්ඩ තියනවා නම් බොහොම අගෙයි.

      Delete
  10. සුබ සාධක සමිතියක් ඔය විදියට සාර්ථකව පාලනය කරගෙන යනව කියන්නෙ භාරදූර කාර්යයක්. ඒ අතින් විචාරකල සෑහෙන සාර්ථක වෙලා තියෙනව වගෙයි.
    අර ගඟේ ෆොටෝ ටික දැක්කම 4000 ක් බෝට්ටුවට දුන්නට පාඩු නෑ කියල හිතෙනව කොහොමත්.

    ඒ ගමන අපේ 'වැල්' අයිය වගේ විචාරකත් පුක් ෆොටෝ ගහන්න ගත්තද? :D

    ReplyDelete
    Replies
    1. බොහොම අතුතියි අපේ සමිතිය ඇගයීම ගැන. ඇත්තටම ප්‍රසන්න එක්කෙනෙකුට බෝට්ටු ගස්ස්තුව වැටුනේ රු 200 ක් විතර. කොහොමවත් පාඩු නැහැ.

      අවශ්‍ය වෙලාවට අවශ්‍ය පොටෝ එක නැත්තං වැඩක් නෑ. :D

      Delete
  11. මරු ට්‍රිප් එකක්...

    ReplyDelete
  12. අනේ මාමේ ඔය සංගමේට මාවත් ගන්නකෝ.. අර සුදු ඉන්දියාව වගේ තව පොටෝ නැත්ද මෙයා.. සාර්ථක ගමනක් හා සංවිධානයක්.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අනේ මෙහෙමත් නෝටි ළමයි

      Delete
    2. සංගමේට ගන්න කලින් වෛද්‍ය පරීක්ෂණයක් තියන්න ඕනේ. කැමතිද?

      සුදු ඉන්දියාවල් නෙවෙයි සුදු මහාද්වීපම සෑහෙන ගණනක් තිබුණා. බයයි අනේ පොටෝ කෙලින්න.

      Delete
  13. අර සිල් බිදෙන පින්තුරේ වීඩියෝ එකක් එහෙම නැද්ද ..... තිබුනත් ඒවා ෆේස් බුක් එකට එහෙම ටැග් කරන්න එපා එයාලා සිය දිවි නසා ගනීවි

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි දැන් ෆේස් බුක් කිව්වා ගමන් ඇඟ හිරිවැටෙනවා. වීඩියෝ ගත්තා සමහරු. මොනවා තියනවද කියලා දන්නේ නැහැ.

      Delete
  14. ඔයාලගේ සමිතිය නම් හරිම හොඳයි. හැම තැනම මේ වගේ සමිති හදාගෙන තියෙනවා නම් ගොඩක් දෙනෙකුට යහපතක් වෙනවානේ.

    අර දහ අටේ එක්කෙනා ලඟින් විසි එකේ එක්කෙනත් හිටියා නම් කොච්චර හොඳද? :D :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔඑ සමිතිය ඇගයීම ගැන.

      හා අටේ එක්කෙනා ළඟට විසි එකේ එක්කෙනා ඒ වෙලාවේ ගියානම් ගිලිලා මැරෙනවා. මොකද 21 එක්කෙනා ඒ වෙලාවේ කෙලින් ඇවිද්දෙත් හරිම අමාරුවෙන්.

      Delete
  15. ඒ ඩිංගට කුරුඳු ගහක් කපාගෙන පැත්තකට පැන්න නේද.. අනේ හැබෑටම ඒක සුද්ද කරන ලස්සන.. :D

    හීන් බෝවිටියා කැඳ මාත් බීල තියනව. //අනේ ඇත්තට මෙහෙමත් .......................// කොල්ලො... :D :D

    ReplyDelete
    Replies
    1. මමත් කලින් දැකලා තිබුණේ නැහැ කුරුඳු තලන හැටි. හීන් බෝවිටියා ලෙඩක් නැතත් කැඳ බොන්න හොඳයිලු.

      අපේ කොල්ලෝ ඉතිං ගිය ගිය තැන %^*&$# නේ. :D :D

      Delete
  16. සුපිරි ට්‍රිප් එකක් නේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  17. අ‍ර පොඩි උන් දෙන්නා සෙල්ලම් කරන ඡායාරූපය නං හිතට වදිනවා.. ඒක කළු සුදු වලින් බලද්දි තවත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  18. විචාරක මහත්තයාලගේ සමිතියෙන් මේ ආණ්ඩුවටත් ලොකු ආදර්ශ ගන්න තියෙනවා.වැලි සෙල්ලම් කරන දරුවන්ගේ පින්තුරය නම් අගෙයි.ඒත් එක්කම අර සුදු නෝනා කකුල් දෙකට ව්‍යායාම කලානම් තවත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපේ සමිතිය ඇගයීම ගැන.

      අර සුදු නෝනාට කියන්න දේවල් ගොඩක් තිබුණා. නමුත් හිත තද කරගත්තා. :D

      Delete
  19. මම ආසම විචාරකගේ නෝනා අර කපු රෙද්දෙන් මහපු ලන්කට් එකකුත් ඇඳගෙන බ්‍රෙසියර් එක පිටින් සෙරෙප්පු දෙකත් අතින් අරගෙන අනික් අතේ බ්ලව්ස් එක තියාගෙන යන පින්තූරේට..

    ReplyDelete
    Replies
    1. හිහ් හී....................අම්මපා එහෙම වුනානම් මම වැල්ලේ පීනනවා පස්සා පැත්තෙන්.

      Delete
  20. වෙන කාගේද කැමරාවකින් හොරකම් කරපු ෆොටෝ දාන උන්ට අපි නම් කියන්නේ හොරු කියලා. :)

    ReplyDelete
    Replies
    1. මෙතන හොරකමක් නෑ අනේ. මෙන්න මේකයි වෙන්නේ. ගමන යනකොට අරන් යන කැමරා වලින් සෑහෙන ගානක අයිතිකාරයෝ කැමැත්තෙන්ම මට පින්තූර ටික දෙනවා. මොකටද දන්නවද? ඔය පින්තූර කෑලි කපලා බඩ් කරලා දෙමුහුන් කරලා සංගීතය සහ කැප්ෂන් දාලා මම හදනවා මඩ ඩී වී ඩී එකක්. ඊළඟ සමිති වාරය අවසානයේ වීඩියෝ ප්‍රොජෙක්ටර් එකකින් සියලු දෙනාටම ඒක පෙන්නනවා. ඔක්කොම හූ කියා කියා හිනාවෙනවා. ඔන්න ඕකට තමයි ඔක්කොගෙම කැමරාවල පින්තූර එකතුකරගන්නේ.

      Delete
    2. මම එහෙම කිව්වේ ඔය පින්තූර වල උවමනාම කරන මෑන් නැති නිසා

      Delete
    3. මගේම කරුමෙට එකෙක්වත් මගේ පොටෝ කෑල්ලක් අරන් නැහැනේ.

      Delete
  21. ශා.. නියම ගමනක්.. ඔය තියෙන්නේ විස්තර කරලා ලෙසටම... කෝ කොහේද විචාරක මහත්මයා ඉන්නේ ??? :)

    ReplyDelete
    Replies
    1. පොහ්.............කොහෙද අනේ මගේ මූණත්තහඩුව පින්තූර ගන්න ඔක්කොටම අමතක වෙලානේ.

      Delete
  22. ඈ .....නියම ට්‍රිප් එකක් වගේ ,,,අර පින්තුර ඇල්ලුවෙ නම් විචාරක නෙවෙයි නේ ...දැන් ඇද යට ද ඉන්නෙ ...හික් හික්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්........පින්තූර බොහොමයක් මම ගත්ත ඒවා තමා. වෙන අයගේ ඒවා දෙකයි තුනයි තියෙන්නේ.

      අදනම් ඉන්නේ ඇඳ යට නෙවේ :D

      Delete
  23. ෆුල් පැකේජ් ආතල් එකක්. නියමයි විචාරක.

    අර හීන් බෝවිටියා අපේ තාත්තාගේ ගමේ හංවැල්ලේ හරියට තිබුනා. දැන් ඒ පැති සුද්ධ කරලා ගෙවල් හදලාලු. ජා කොටුවල ඇත්තටම මොකක්ද වෙන්නේ? මේ ට්‍රිප් එකට නිදහස් දිනේම දාගන්නේ විශේෂ හේතුවක් නිසාද? විචාරකලාගේ සමිතිය ක්‍රමවත්ව පවත්වාගෙන යන එකක් බව පේනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අරු හැමදෙනාම ලොකු සතුටක් වින්දා.

      අපේ සමහරු කිව්වා මේ හීන් බෝවිටියා නෙවෙයි කියලා. නමුත් මම නම් කිව්වේ හීන් බෝවිටියාම තමයි කියලා.දැන් මේවා දන්නා පරම්පරාවත් අඩුවේගන යනවා.

      ජා කොටු වලදී වෙන්නේ මාළු ඒ වෙත ගෙන්වාගෙන කොටුකර අල්ලාගැනීමක්.

      මීට අවුරුදු කීපයකට උඩදී අපේ මාසික රැස්වීම පැවැත්වුනේ නිදහස් දිනේදී. (සෑම මාසයකම පළමුවැනි සතියේ ඉරිදා සවස 4.00ට තමයි රැස්වීම තියන්නේ) එදා තමයි මේ යෝජනාව ආවේ.

      සමිතිය ගැන ඇගයීම පිළිබඳව බොහොම ස්තුතියි.

      Delete
  24. ඔන්න ලංකාවට ආවම මාදු ගග බලන්න යන්න හිතෙනවා දැන්.

    ReplyDelete
    Replies
    1. නොවරදවාම යන්න. බලන්න වටිනාම තැනක්. පිරිස අඩුවූ තරමට විනෝදය වැඩියි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }