හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 January 2014

දෙයියෝ සාක්කි මමත් සාක්කි

අලුත් අවුරුද්දේ දෙවැනි දවසේදීම සාක්කි කාරයෙක් වෙන්න උනානේ මට. මීට කලිනුත් මේ වගේ සාක්කි කාරයෙක් වෙලා තියනවා. අම්මපා මේ සාක්කිය අර උසාවියේ සාක්කි කීම තරම් වැදගත් විදිහට නොසැළකුවත්, මොකක් හෝ නීති හුටප්පරටක් වුනොත් එහෙම කපෝතියි නේද? ඒ නිසා ඔය කිව්ව පලියට සාක්කි කාරයෙක් නොවී, කරුණු සොයා බලා සාක්කි කාරයෙක් වීම තමයි ණුවනට හුරු. නෑ මම මේ කිව්වේ, අද මම ගියා දඹුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට. ඒ මංගල්‍යයේදී මනමාලයාගේ පාර්ශ්වයේ සාක්ෂිකරු ලෙස අත්සන් කරන්නටත් සිදුවුනා මට.
  (මේ දැන් මතක් වෙච්චි පොඩි රහසක් කියන්නද මගේ විවාහ සහතිකයේ තිබෙන අත්සන අද මා පාවිච්චි කරන අත්සනට සමාන නැහැ. කාටද අප්පා පුළුවන් අවුරුදු 32 කට කලින් අත්සන් කරපු විදිහටම අදත් අත්සන් කරන්න. නෑ මේ මම කියන්න හැදුවේ මේ තියෙන්නේ මගේ අත්සන නෙවෙයි කියලා අද මට උසාවියකදී කියන්න බැරිවෙයිද දන්නේ නෑ. හපොයි මේ ටික ලිව්වේ පස්ස හැරී හැරී බලබලා බැරිවෙලාවත් ලොක්කි මේ පැත්තට එයිද කියලා)
  මේ මනමාලියි මනමාලයයි විශ්ව විද්‍යාල පෙම්වත්තු. මනමාලි කැකිරාවේ. මනමාලයා කෑගල්ලේ. (කැ  කෑ) මනමාලි රැකියාව කරන්නේ කැකිරාවේ, මනමාලයා රැකියාව කරන්නේ කොරියාවේ. (කැ කො) :D අනේ ඒ කොල්ලාට ප්‍රමාණවත් නිවාඩුවක් දීලා නැහැ කොරියාවෙන්. ආයේ ගියාම එන්නේ අවුරුදු තුනකින්ද කොහෙද. ඒ එනකොට අවුරුදු තුනක දරුවෙක් හිටියොත්? එකා මරහඬ තියයි මේ මොකාද ආවේ කියලා. මෙන්න මේ තියෙන්නේ මුන් දෙන්න අමාරුවේ වැටිච්ච තැන.
top 
  අපේ උන්දැගේ එක අක්කා කෙනෙකුගේ පුත්තරයත් සාර්ථකව ඒ වැඩේ කරලා තියනවා. ඌ මැද පෙරදිග රැකියාවක. මෙන්න මෙහෙ උගේ ඇඹේණිය නලවනවා ඌ තවම දැකලාවත් නැති දරුවා. (පින්තූරනම් යවන්න ඇති)  
  අද තිබුණු මංගල්‍යයේ දෙන්නම මගේ ලොකු දුවගේ විශ්වවිද්‍යාල සගයෝ. (සගයා කිව්ව්වට සගයී කියන්නේ නැහැ නේද?) මනමාලී පහුගිය කාලේ කීප වතාවක් අපේ ගෙදර ආවා, මංගල්‍ය උත්සවයට අවශ්‍ය අඩුම කුඩුම ගන්නයි, තව ඔය එක එක විච්චූරණ වලටයි.  අපේ දෝණියන්දෑ තමයි නගරයට එක්ක ගිහින් අතේ තියන සේසතම ඉවරවෙන සාප්පු ඒ ළමයට පෙන්නුවේ. අනේ ඉතින් ඒ දැරිවිත් අරාධනා කොලේ නැතැයි, ඔක්කොම වරෙල්ලා කියලා අපේ පවුලටම. හොඳ වෙලාවට අපේ චූටි දුවට තවම අවසාන විභාගේ පැවැත්වෙනවා වෙද ඉස්කෝලේ. ඒ නිසා එයා අවේ නැහැ. හතරදෙනාම සූරයෝ වගේ ගියානම් සෑහෙන්න වටිනා ත්‍යාගයක් දෙන්න වෙනවා. ඒ නිසා තුන්දෙනා ඩබල්දාලා නෑ නෑ තුන්දෙනා ගියා. දැන් කාලේ අමාරුයි අනේ. එක දිගට මගුල් ගෙවල් හතර පහකට යන්න වුනොත්, ඒ ජෝඩු ඔක්කොටම සිද්දවෙනවා, හිඟමනට වැටී මියගිය මගේ මළ ගෙදරට එන්න.
මේ ඉන්නේ මෙව්වට උල්පන්දම් දෙන සැට් එකක්.
photo0072
  හනේ මන්දා, මගුලක් කන එකත් පණ යන වැඩක් කියලා හිතෙන්නේ මෙව්වට තමයි. අම්මපා ජම්පිං ගොයිං ලාබයි කියලා හිතෙන්නේ ඔන්න ඔය වෙලාවට.  රෑ දෙකටලු මනමාලිටයි මනමාලයාටයි අන්දන්න පටන්ගත්තේ. හරී සනීප ඇති අර උඩරට ඇඳුම ඇඳගෙන රෑ දෙකේ ඉඳන් හවස හතර පහ වෙනකල් ඉන්නකොට. ඇයි දෙයියනේ ඔය ජාම වෙලාවට යක්කු පෙරේතයොත් බැල්ම හෙලනවානේ. අනේ අම්මෝ ඔව්වට අපි මොකවත් කියන්න යන්න හොඳ නෑ. පොන්ත නෝනගේ කොන්ඩේ බඳින්නේ පොන්ත නෝනට ඕනේ විදිහටයි කියනවලුනෙ. හැබෑටම මනමාල මනමාලියන්ට ඇන්දවීම/රූපාලංකාර කටයුතු, ඡායාරූප ගැනීම, කේක් හැදීම, ඇඳුම් මැසීම ආදී මෙකී නොකී දහසකුත් එකක් දේවල් නිසා තම බඩවියත රැකගන්න (අහිංසකයන් හූරාකන) කී දාහක් අද මේ රටේ ඇද්ද? යන්නන් වාලේම නොගිහින්, තමන්ට ගැලපෙන විදිහට තමන්ගේ මංගල්‍යය සැලසුම් කරගන්නේ කීයෙන් කීදෙනාද? හැබැයි මේ ජෝඩුවත් අනවශ්‍ය විච්චූරණ කරලා තිබුනේ නැහැ. සරලව එහෙත් අලංකාරව සියල්ල සිදුවුනා. ඉතින් මම සිහිවටනයක් වශයෙන් මගේ ජංගම දුරකතනයෙන් ලබාගත් පහත දැක්වෙන පින්තූරයත් සමගින් මේ දෙන්නට සුබ පතනවා. 
Wedding Photo
          2014 ජනවාරි මස 02 දින 2207 පැය                                                              my-signature-for-blog[1]

54 comments :

  1. ජෝඩුවටම සුභ මංගලම්.......!!!!

    ReplyDelete
  2. මට තමයි ඉතින් මේ ජෝඩුව වෙනුවෙන් ස්තුතියි කියන්න වෙන්නේ.

    ReplyDelete
  3. අලුත් අවුරුද්දේ අලුත් පිටම වෙඩිමක්! නරක නෑ...

    මගේ යාළුවෙක් උගේ පුතාව ඉස්සරලාම දැක්කේ අවුරුදු හතරකට පස්සේ.. මගුළ ඉවරවෙච්ච් ගමන්ම කොහේදෝ රටකට පලච්චි... මූ ආවාම මම ගියා බලන්ට. ඉස්සරහට ආවේ පොඩි එකා.. කොළුවා කියනවා.."මාමේ කවුද මාමා කෙනෙක් ආවානෙ..බෑග් ගොඩකුත් අරගෙන... එයා කියනවා එයාගේ නම අප්පච්චි ලු" කියලා... ටික දවසක් ගියා පොඩි එකාට යාළුවා එක්ක සෙට් වෙන්ට

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න පොඩි එවුන් තව ටික කාලයක් ගියාම කියයිද දන්නේ නෑ තමුසේ මගේ අප්පොච්චි නම් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කොරලා පෙන්නනවා කියලා.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. අනේ මං දන්නේ නැහැ විචාරක දැන් ඉන්න මනමාලි ලා දැක්කහම හිතෙනව අපි Sample වලට අහුවුනා වත් ද කියල. මොනවා වුනත් එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වා ලු.

    ReplyDelete
    Replies
    1. අහනේ මටත් ඕක කියාගන්න බැරුව ඉන්නේ අප්පා.

      Delete
  6. දරුවා දකින්න එන්න විදියක් නැතිව රට ඉන්න තාත්තලා ඉන්නේ කොතරම් පීඩනයකින්ද. ජොබ් එක අතහැරලා මෙහෙ ඇවිත් ජොබ් කරොත් දරුවා සැපවත් කරන්න මුදල් මදි. එක නිසා එහෙ ඉන්නවා දරුවාගේ අනාගත සැප උදෙසා. දරුවාට මුල් දවස්වල නොලැබුන පිය උණුසුම නැවත ලබාගන්න බැහැ. හැම තැනදීම හැගීම් වලට ඉඩ දෙන්න බැහැ. නේද විචාරක මහතා.

    ReplyDelete
    Replies
    1. පිට රට විතරක් නෙවෙයි, හමුදාවේ සේවය කරන අයටත් බැහැ දරුවාට අවශ්‍ය පිය සෙනෙහස 100% දෙන්න. මගේ චූටි දුව ඉතා කුඩා කාලයේ මාව දැක්කම බයවෙලා අඬන්න ගන්නවා මොකාද මේ මාස ගාණකට සැරයක් ගෙදර එන බූතයා කියලා හිතලා.

      Delete
  7. //පොන්ත නෝනගේ //
    අපි නං කියන්නේ ”කොන්ත නෝගේ” කියලා

    මෙයත් දැන් ගානට හැදිලා . එක එක සෑම්පල් බස්සනවා නේද

    ReplyDelete
    Replies
    1. අනේ මම අහලා තියෙන්නේ පොන්ත නෝනා කියලා. එකයි එහෙම ලිව්වේ.

      Delete
  8. හි හි මේක ලොක්කි දැක්කේ නැද්ද තාම ..බලාගෙන යද්දී හැම මහත්තයම වයිෆ්ට බයයි ,ඒක හොදයි..
    අපෝ අවුරුදු 3ක් වෙන් වෙලා ඉන්නව කියන්නේ පිස්සු හැදෙන වැඩක්නේ අප්පා..ආර්ථිකය තමයි දැන් අපේ බැදීම් වල ලග දුර තීරණය කරන්නේ .. අනේ මන්ද,, එත් කොල්ලා ඔය ගියාට එයි ,අවුරුද්දෙන් එන්න පුළුවන්නේ .. ඒක නෙමේ අර ෆෝන් එකක් නේද ඉනේ තියෙන්නේ ,,ඒකත් මාරු වැඩේ ..

    (අනේ වෙඩිතියන මොනාහරි ගැන ලියන්න ඊළගට හි හි )

    ReplyDelete
    Replies
    1. ලොක්කි බ්ලොග් කියවන්නේ නැති හින්දනේ මම බ්ලොග් අඩවි දෙකක්ම දාගෙන පිනුම් ගහන්නේ.

      සියල්ල මුදල මත තීරණය වන සමාජයක් අපට ලැබුනේ විවෘත ආර්ථිකයත් සමගයි.

      අනාගත නෝනලා මහත්තයවත් ඉනේ ගහගෙන යයිද මන්දා.

      වෙඩි තියන එකක් ගැන ලිපියක් නේද? හිරමනේට අළු දාලා වෙඩි තියන හැටි ලියන්නද?

      Delete
    2. හි හි නියමයි

      Delete
  9. මගේ සුභ පැතුම් එකතු කරන්න විචාරක තුමනි....!

    ReplyDelete
    Replies
    1. නව යුවල වෙනුවෙන් ඔබට ස්තුතියි කෙන්ජි.

      Delete
  10. කිවුවත් වගේ බැඳලත් අච්චර කාලයක් වෙන් වෙලා ඉන්න වෙනවා කියන්නේ ලේසි වැඩක්ද.. අපිට නම් මාස 6 වගේ යනවා ෆැමිලි වීසා දා ගන්න.. ඒකත් ඉවසන්නේ සෑහෙන අමාරුවකින්..

    උපන්දිනේ දවසේ ඒකත් නරකම නෑ විචාරක තුමනි.. සුභ උපන්දිනයක් වේවා..

    ReplyDelete
    Replies
    1. මොකක්දෝ හේතුවකින් මගේ උපන්දිනේ වැරදියට ප්‍රචාරය වෙලා. මගේ උපන්දිනය තියෙන්නේ ලබන මාසේ.

      මමත් අකමැතියි බැඳපු අලුතම ඈත්වී ඉන්නට සිදුවීම ගැන.

      Delete
    2. විචාරක තුමාගේ උපන් දිනේ ලබන මාසෙලු ...
      පොඩ්ඩි සුභ පතල තිබුන fb එකේ...මමත් එතන සුභ පැතුවා.

      Delete
    3. මූණු පොතේ මොකක් හරි වැරදි විදිහට මගේ අතින් ලියවෙලා. ඒ ගැන සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා. නිවැරදි කරන්නම්.

      Delete
  11. මටත් දවසක් සිද්ද වුනානෙ ඔය සාක්කියකට අත්සන් කොරන්න. එ)ක බොහොම හදිසියෙ) අහම්බෙන් වෙච්ච දෙයක්..

    ඔය මංගල්ලවල වැඩේ කියන්නෙ, කරපු හැමෝම කියනවා ඒවා බොරු වැඩ කියලා. ඒත් කරණ උන් ඒවා අහන්නෙ නෑ. කෙරුවට පස්සෙ උනුත් එකතු වෙනවා ඒවා බොරු වැඩ කියන උන්ගෙ ගොඩට. මාර විහිළුවක් ඒක...

    නව යුවලට ප්‍රීතිමත් යුග දිවියකට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ඔයානම් හරියටම ඇත්ත කියලා තියනවා සෙන්නා. හැම එකාම උගුලට බනිනවා. හොරෙන්ම උගුලට පනිනවා.

      නව යුවල වෙනුවෙන් ඔබට ස්තුතියි.

      Delete
  12. අලුත් අවුරුද්දේ දෙවෙනි දවසෙම අලුත් ජීවිතයක් පටන්ගත් කාංචනා දෙපොලට සුබ පැතුම්!!!

    අලුත් අවුරුද්දේ හොඳ වැඩකට අත ගහලා.කොයි වෙලාවක හරි දෙන්නා දුවගෙන එයිද දන්නේ නෑ සාක්කියට අත්සන් කරපු එක්කෙනෙක්ගේ අත්සන වැරදිලු, එහෙම කෙනෙක් නෑලු කියලා...:D

    උල්පන්දම් දෙන සෙට් එකත් හරි හැඩයි කීවා කියන්ට. එතන විචාරක නෝනා ඉන්නවද? ඉන්නවා නම් ඉන්න පැත්ත කියන්ටකෝ අපි හොයාගන්නම්.:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අපිට ඊයේ ලණුවක් දුන්නද :) ?

      Delete
    2. නවයුවල වෙනුවෙන් ඔබේ සුබපැතුමට ස්තුතියි.

      මම මේ කල්පනා කරේ සාක්කි වලට අස්සන් කරලා මාසෙකට කීයක් හරි හොයාගන්න බැරිද කියලා.

      හපොයි අපේ උත්තමාවිය වගේ රූප සුන්දරියන්ගේ පින්තූර මේ වගේ තුට්ටු දෙකේ බ්ලොග් වල දානවද? :D :D

      Delete
    3. @කෙන්ජි,

      කොයි ලණුව ගැනද ඔය කතා කරන්නේ? :)

      විචාරකගේ උපන් දිනේ කියලා මම දැක්කේ මූණු පොතෙන්. හැබෑට එයාට ගානක්වත් නෑනේ. මෙයාගේ උපන් දිනෙත් අර අත්සන වගේද දන්නේ නෑ. :D

      Delete
    4. හැදුවා හැදුවා ඒ වැරැද්ද හැදුවා. ඔන්න දැන් ඇත්ත උපන්දිනේ එනවා ලබන මාසේ. පොඩ්ඩි මට දීලා තිබුන කේක් එක එක කටට ගිලලා දාන්න තරම් හිතෙනවා. වෙච්චි වැරැද්දට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.

      Delete
  13. අඩේ විචාරක සීයෙ මඟුල් වැඩ වලට අනං මනං කියන්න එන්න එපා හරිද.. අපිත් මේ යන්තං ඉහ ගහගන්නෙ ඔය මඟුල් කතන්දර හින්ද තමයි.... අම්ම කේක්.. මං කාඩ්.... හි හි..

    ඔය ඇන්දිලි කතන්දර මහ පාන්දර පටං ගන්න වෙන්නෙ නැකත් කේස් හින්දනෙ ඉතිං.. ඒකට අන්දන උන්දැලා මක් කරන්නද... අනිත් එක ෆොටෝ ගැනිල්ල.. ෆොටෝ ගන්න එක හෝටලේකුයි, මඟුල ගන්න තව හෝටලේකුයි හැතැප්ම ගනං ඈතින් ලෑස්ති කරගත්තම ඔය කේස් එක වෙනව අනිත් පැත්තට.. අනිත් එක ඔය බලං ඉන්න අපිට ඕක හරි අමාරුයි වගේ පෙනුනට ඒක එච්චර එහෙම නෑ... අනිත් එක ජීවීතේටම එක දවසයිනෙ.. ඕක ගෙවිලා යනව දැනෙන්නෙත් නෑ... ඔන්න ඇත්ත..

    ඒක නෙවෙයි.. ඔය කසාද බැඳලා එක්කෙනෙක් විතරක් රට යන වැඩේට මං නං කොහොත්ම කැමති නෑ... එක්කො බඳින්න කලින් යන රටකට ගිහින් හම්බුකරගෙන එන තරමක් හම්බුකරං ඒවට ආයුබෝවන් කියල එන්න ඕනෙ.. නැත්තං දෙන්නම යන්න ඕනෙ... අපේ උන්දැටත් අස්වෙන්න දුන්නෙ නෑ මාස හයකට කලින් කියලත්... මාසෙකට කලින් දැනුම් දෙන්න ඕනෙ කියල තියෙන්නෙ... නිවාඩු දෙන්නං කිව්වලු.. රෙසිග්නේෂන් එක බාර අරන් නෑ... බම්බු ගහගන්න කියලා ආවෙ ඔය... රට සල්ලි වලට වහ වැටෙන එක කාටත් හොඳ නෑ අප්ප...

    ReplyDelete
    Replies
    1. මම ළඟදීම පනතක් ගෙනාවා ඔහෙලා වගේ අයගෙන් ආදායම් බදු අය කරන්න කියලා. බුදු අම්මේ ඔය වැඩ වලට අය කරන ගණන් දැක්කම කලන්තේ හැදෙනවා.

      නැකත් හැදීමේදී තමයි ඉල්ලන්න ඕනේ මෙන්න මේ වගේ වෙලාවල් වලට නැකත් තියන දවස් බලලා දෙන්න කියලා. එයට ගැලපෙන්න එතකොට අනික් ටික හදාගන්න පුළුවන්නේ.

      කසාද බැඳීමයි රට යාමයි ගැන ඔයාගේ අදහස් වලට මමත් එකඟයි. නමුත් අපි ඔක්කොම අද විවෘත ආර්ථිකයේ වහලුන් වෙලා.

      Delete
    2. එතන තියෙන්නෙත් අර ලොකු රෙදි කඩවල ඒසී එකේ ගානත් ඇඳුම් වලට එකතු වෙන ජාතියෙ වැඩක්නෙ... අන්දන, කේක් හදන එක්කෙනාගෙ නමේ ජනප්‍රියතාවය එක්ක අය කරන ගානත් වැඩි වෙනව.. හැබැයි අන්තිමට අන්දන්න එන්නෙ ගෝලයෝ ගෝලියෝ.... ඔය සැලුන් වල තියෙන්නෙම ඔය සිස්ටම් එකටනෙ... අපේ අම්මගේ සෑර් කේක් වලට අය කරන ගනං දැක්කම අපිටත් කලන්තෙ හැදෙනව.. ඒත් ඉතිං ඒක හරි... එහෙම නැත්තං තුට්ටු දෙකට කේක් හදන්න ගියාම අපේ නිර්මාණය අපිම බාල්දු කරගැනීමක් වෙන්නෙ... ඔය දැං ග්‍රැෆික් වැඩ වලටත් වෙලා තියෙන්නෙ ඒ කේස් එකම තමයි.. පඳුරකට පයින් ගැහුවොත් 10ක් විතර ඩිසයිනර්ලා විසි වෙනව... ඉතිං හැමෝම බලන්නෙ තමන්ගෙ වැඩේ යාලුවෙක්ට දීලා නිකම් කරගන්න.. ඉතිං නිර්මාණශිලීත්වය කෙසේ වෙතත් වැඩේ කොහොම හරි ගොඩ දාගන්න ඔය කම්පියුටර් පොඩ්ඩක් දැන ගත්ත කෙනෙක්ට පුළුවන්.. ඒකෙන් වෙලා තියෙන්නෙ හැබෑවටම නිර්මාණයක් කරන කෙනාටත් තමන්ගෙ ශ්‍රමයට හරියන මිලක් ගන්න බැරි වෙලා තියෙන එක...

      මං ඔය වැඩ දෙක තුනටම අත ගහලා තියෙන නිසා දන්නෙ... අන්දනකොට ලොකු නම් තියෙන අය ළඟට ගිහින් වෙඩිම දවසෙ හිටපු මනමාලි, මේකප් හේදුවම මනමාලයට අඳුරගන්න බැරි තරමට පාප්ප උලනවට වඩා, ඒ ගාන වියදම් කරලා පොඩි රෑපලාව්‍ය පාඨමාලාවක් කළා නං ඉවරයි... තමන්ටම තමන්ගෙ මේකප් එක දාගන්න පුළුවන්... මගේ වෙඩිමෙත් අම්මයි පුංචියි නේ ඇන්දුවෙ...පළවෙනි දවසෙ දෙන්නටම උලන්න දුන්නෙ නෑ පාප්ප.. දෙවනි දවසෙ හිතේ හැටියට උලාගන්න එකයි ඇත්තෙ කියලා හිටිය.. හි හි...

      කේක් ගැන කියන්න තියෙන්නෙ සල්ලි ටිකක් තියෙනවනං තට්ටු කේක් වලට වියදම් කළාට කමක් නෑ... අපිත් පවුනෙ.. හි හි.. ඒත් තමන්ගෙ වෙඩිමෙ තරමට කේක් එකක් හදාගන්න එකයි කරන්න ඕනෙ.. ඒක තට්ටු ගනං තියෙන්න ඕනෙම නෑ.. දැං ළමයි ඒ අතින් නං දියුණුයි.. බොරු කියන්න ඕනෙ නෑ, සමහර වෙලාවට ළමයින්ට නෙවෙයි අම්මලා තාත්තලට තමයි නෑදෑ සනුහරේට පෙන්නන්න ලොකුවට මඟුල් කන්න ඕනෙ වෙන්නෙ... ( අපෙ අම්මලත් ඒ ජාතියෙ තමයි.. හි හි) අපේ අම්ම ගාවට සමහරු එනව වෙඩින් කේක් කෑලි ටිකට වියදම් කරන්න සල්ලි නැති අය.. ඒ වෙලාවට අපි කියන්නෙ හොඳ චොක්ලට් කේක් කෑල්ලක් තේ වෙලාවට දෙන්න කියල.. ගානත් අඩුයි, වැඩෙත් වෙනව.. ලාබ රටඉඳි කෑලි ගොඩක් දීලා නිකං කතන්දර අහගන්නෙ නැතුව තමන්ට පුළුවන් විදියට කළාම ඉවරයි... වෙඩින් ගැන නං කියන්න පුළුවන් පෝස්ට් දෙක තුනක් උනත්.. වැඩක් නෑ... හි හි

      ඒ වගේම මේ බිස්නස් එකෙක් උනත් රෙජිස්ටර් කළාම ස්වයං රැකියා යටතේ ආදයම් බදු වැටෙනව.. අපේ අම්ම ඔය ගෙවන්නෙ... හි හි...

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. මම හිතන විදිහටම ඔයා ලියලා තියනවා. තමන් නොදන්නා විෂයයන් පිලිබඳ මූලික දේවල් ටික ඉගෙන ගැනීම කොයිතරම් වැදගත්ද? මම මනමාලි/මනමාලයා නම් මම දන්නවා (අනිවාර්යයෙන් දැනගන්න ඕනේ) මගේ ලස්සන තියෙන්නේ කොහොම ඇන්දමද කියලා. ඒ වගේම මගුල් ගෙදර අනෙක් වියදම් ගැනත් ඔයාගේ අදහස් වලට එකඟ වෙනවා. සල්ලි තිබුනා කියලා අඟහරු ලෝකේ පෙනුම සහිතව මගුල් කන්නේ මෝඩයෝ.

      Delete
    5. අර පාන්දර අන්දන්නේ මම දන්නා විදියට අන්දන එවුන්ට එක දවසේ තියෙන ඕඩර්ස් ගාන වැඩි හින්දා.

      Delete
    6. එක තමයි වෙන්නේ. එක දවසට සීයක් විතර බාරගන්නවා. ටක් ටක් ගාලා උඩින් පල්ලෙන් ගහලා දාලා සල්ලිත් හූරා කනවා.

      Delete
  14. කමක් නෑ ඔහේ හරි අපි කිව්වයි කියල උන් දෙන්නට කියනවා හොදයි.. සුභ අනාගතයක් කියලා.. හැක්.. මටත් ඔය සීන් එකක් තමා එහෙනං. මම කොළඹ පවුල රිකිල්ලගස්කඩවල.. (ඒක නං කියන්නත් ලැජ්ජයි වගේ)

    ReplyDelete
    Replies
    1. රිකිල්ලගස්කඩ වල කියලා කෑල්ලක් තියෙන්නේ කොහෙද යකෝ? ඕකේ අඟලක් ගානේ මම කරක් ගැහුවා 1988 - 89 කාලේ. අපේ අම්මගේ ගම ඔය අහල පහල මතුරට. අම්මා ඉපදිලා තියෙන්නේ මෙරිගොල්ඩ් වත්තේ. ඒකාලේ අපේ සීයා වත්තේ දෙවනියාලු.

      සුබපැතුම ඒ දෙන්නට දෙන්නම්. බොහොම ස්තුතියි.

      Delete
  15. දෙන්නම රජරට සරසවියේ වෙලා පිරිමි ලමයට කොරියා යන්න වෙලා නේද(කොරියාවට ලංකාවේ අය ගොඩක් යන්නේ ඒ රටේ අය කරන්න ඉදිරිපත් වෙන්න අකමැති රස්සාවලටලුනේ).
    ඔය තත්තවය ගොඩක් වෙනවා නැව් වල සේවය කරන කාර්ය මණ්ඩල බඳින අයටත්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. කොල්ලා බල බලා හිටියා සුදුසුකම් වලට රැකියාවක් ලැබෙයි කියලා. හුළං තමයි. බැරිම තැන කොරියන් භාෂාව ඉගෙනගත්තා ගොඩ ගියා. හුන්ඩායි මෝටර් රථ කම්හලක වැඩ කරන්නේ. මහ ඉහල වැටුපක් ලැබෙනවලු.

      නැව්වල අවුරුදු 30 ක් සේවය කරපු මිනිහෙක් පික්චර් එකක් බලන්න ගිය කතාව අහලා තියනවද?

      Delete
    2. ඇත්තද ඔය නැව් වල අවුරුදු 30 හිටිය කෙනාට පිටිපස්සෙන් වාඩි වෙලා හිටියේ විචාරක තුමා කියන්නේ?

      Delete
    3. හරියට හරි සුදීක ඔයා කතාව අහලා තියනවා. එදා මම එතන හිටියනම්..............

      Delete
  16. හපොයි බැඳපු අලුතම අවුරුදු තුනක් දකින්නැතුව ඉන්නව කියන්නෙ සෙල්ලං වැඩක්ද?

    අත්සං ගැන කියනවනං මම ගහන අත්සං එකක‍ට එකක් වෙනස්නෙ.

    ReplyDelete
    Replies
    1. පවු අහිංසක කොල්ලයි කෙල්ලයි.

      මටත් එපාම කරන වැඩක් තමයි හමුදාවේ ඉන්න කාලේ මිටි ගණන් ලියුම් වලට අස්සන් කරන එක. ඒක නිසාම වෙන්න ඇති මගේ අස්සන වෙනස් වුණේ.

      Delete
  17. මේව දැකල අපිට ඉරිසියාවයි. අපි ඉක්මන් උනේ කාන්තා පක්ෂෙ ලෝකෙ ඉවරවෙයි කියල හිතලයි!!!

    ReplyDelete
    Replies
    1. කොහොමද අනේ මගේ හිතෙත් තියන දෙයක් ඔයා එකපාරටම කිව්වේ? :D

      Delete
  18. ඒ දෙන්නට දෙවි පිහිටයි කියලා සුභ පතනවා ඉතිං විචාරක තුමා නොවැ අත්සන් කොලේ.

    දැන් නම් දරු මල්ලන් එක්ක කතා කරන්න ස්කයිප් තියෙනවනේ. ඒ නිසා අඳුනා ගන්න අපහසු වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මොනවහරි අප්සැට් එකක් නොවෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කළා. නැත්නම් මගේ නහය දන්න ගන්නවා. :D

      ස්කයිප් තියා ඉස්කෝප්ප තිබුනත් දරුවා ළඟ ඉන්නවා වගේ නෙවෙයිනේ සුදීක.

      Delete
  19. මම මේ බ්ලොග් එක ෆලෝ කරන්න ඕනේ..මට WP නම් අරහන් ... එන්නම ඕනේ නිසා තමයි ජන්ගුන් එකට ආවේ.... WP ඒවගෙන් දැනට දන්නේ ඔබේ , අරූගේ සහ අරුණිගේ ඒවට විතරයි ...



    විවාහක යුවලට සුබ පතනවා විචාරක ... ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව අසරක් පතනවා ...!

    ReplyDelete
    Replies
    1. ඔබ කොහොම කොයි අඩවියට ආවත් මට වටින්නේ ඔබේ පැමිණීමයි සහන්. ස්තුතියි Follow කිරීම පිළිබඳව. නව යුවලට සුබ පැතුම ගැනත් අලුත් අවුරුදු සුබ පතුමටත් ස්තුතියි.

      මේ අවුරුද්දේ අපිව පුදුමයට පත්කරන තාක්ෂණික තොරතුරු ඇතුලත් ලිපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

      Delete
  20. නව යුවලට යකාගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. යකෝ, අරුන් දෙන්නා බයවෙයිද දන්නේ නෑ. කෝකටත් මම කියන්නම් ඔන්න උඹලට යකෙකුත් සුබ පතලා කියලා.

      Delete
  21. අමතක වෙලා අනිත් පැත්තට ගියේ. මේක දාගන්න ඕන රෝලට.

    ReplyDelete
  22. කොයි පැත්තෙන් ගියත් අන්තිමට හැමබවෙන්නේ එකම ලිපියනේ. බොහොම ස්තුතියි රෝලට දමාගැනීම ගැන.

    ReplyDelete
  23. උදර කෑල්ල වහල අඳින සාරිය කිසිම නෑ ගතියක්
    නිකං....... කොට්ට උරයක් වගේ
    මගුල් ගෙවල් මතක් වෙන කොට ඔලුව අවුල්
    ඒ උනාට ජොලියකුත් යනවා
    හම්මේ ඒ දවසෙ රෑ බෝ උන වෙලාවෙ සිදු උන දේවල්
    මතක් වෙන කොට,,
    නව යුවතිපතීනට ශුභ පතමි!

    ReplyDelete
    Replies
    1. මගේ ඒ දවසේදී නවාතැන් ගත්ත තැන ලයිට් ගියා. හම්මේ ජොලිය ඉහවහා ගියා.

      සමහරු ඔසරියත් අඳිනවා සෑහෙන්න 'ඔබේ තීරය' තියලා.

      සුබ පැතුමට නව යුවල වෙනුවෙන් ස්තුතියි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }