හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

31 January 2014

සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස) Milestones of Warfare (Part Two)

50 Weapons That changed Warfare
නමැති කෘතිය ඇසුරෙනි
  මේ ලිපියේ පළමුවැනි කොටසේදී,  මා ඔබට විස්තර කළා, ලෝක ඉතිහාසය පුරා මෙන්ම, අදද පවතින, යුද්ධයේ මුහුණුවර වෙනස් කිරීම කෙරෙහි, කාලීනව සොයාගන්නා අවි වලින්, කෙබඳු ආකාරයක බලපෑමක් ඇතිවුවාද යන්න. අද මා හැඳින්වීම මෙපමණකින් නවතා, තවත් අවි ගණනාවක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. පසුගිය ලිපියෙන් අවි පහක් ඔබට ඉදිරිපත් කළා. අද හයවැනි අවියෙන් පටන්ගන්නවා. 
6. අශ්ව රථය - The Chariot
 20100901_9a52484a246e3f421ff6mjU0ifpwz24Q    සංග්‍රාම භූමියේදී ඉතා වැදගත් වන සාධකයක් වන්නේ ක්ෂණිකව එහා මෙහා ගමන් කිරීමට ඇති හැකියාවයි. එමෙන්ම සතුරා හඹාගොස් පහරදීමේදී වේගය ප්‍රබල සාධකයක්. ඒ අවශ්‍යතා සම්පූර්ණ කරමින් සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කළ සොයාගැනීමක් ලෙස යුද්ධ අශ්ව රථය හඳුන්වන්න පුළුවන්. අශ්ව රථය, ප්‍රථම වරට, මහා පරිමාණයෙන් යොදාගනු ලැබුවේ, නයිල් නිම්න ශිෂ්ටාචාරයේදීයි. ඇසිරියන් අශ්ව රථ ලෝකය හෙල්ලූ අවධියක් තිබුණා.
7. සෑදල පා පටිය - The Stirrup
 7 Stirrup   අපේ රටේ අශ්වයන් භාවිතය තිබෙන්නේ, ගණන් ගත නොහැකි තරම් පහළ මට්ටමක නිසා, අශ්වයන් පිට යාම ගැන, අපට තිබෙන්නේ ඉතා සුළු අත්දැකීම්. මමත්, ආසාවට අශ්වයන්ගේ පිටේ ගිහින් තිබෙන්නේ, දෙවරක් පමණයි, පොලීසියේ යාලුවෙකුට පින්සිද්ද වෙන්න. අශ්වයන් හීලෑ කරගැනීම, මිනිසා විසින් කර තිබෙන්නේ, ක්‍රිස්තු පූර්ව 4000 ටත් එහාදී බව, ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත්, සෑදල පා පටියට, එතරම් දිග ඉතිහාසයක් නැහැ. සාමාන්‍යයෙන් සැළකෙන්නේ එය නිපදවා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 700 දී පමණ කියායි.
   මොකක්ද මේ සෑදල පා පටියෙන් ඇති ප්‍රයෝජනය. ඇත්තටම එය තේරුම්ගන්න නම්, අශ්වයන් පිට යාම ගැන මූලික අවබෝධයක් තිබෙන්නේ ඕනේ. ඔබෙන් බහුතරයකට ඒ අවබෝධය තිබෙනවා රූපවාහිනියේ සහ සිනමාවෙන් දැකීමෙන්. අශ්වයකු පිට නිකම්ම වාඩිවී ගමන් කිරීම අමාරුයි. බිම වැටෙන්නේ ඇති ඉඩකඩ බොහොමයි. අශ්වයාටත් එය අපහසුවක්. ඒ නිසයි සෑදලයක් පාවිච්චි කරන්නේ. ඔබ දැක ඇති, අශ්වයාගේ පිටට නගින්නේ සහ බහින්නේත්, අශ්වයා පිට යනවිට දෙපා රඳවා තබාගන්නේත්, සෑදලයට සවි කළ සම් පටියක ඇති, ලෝහ හෝ සමෙන් සැකසූ කාදුවකට හෙවත් රාමුවකට, කකුල තැබීමෙන් බව. එය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Stirrup යනුවෙන්. සිංහල තනි වචනයක් නම් මට ලැබුණේ නැහැ. ඉතින් මොකක්ද මෙය යුද්ධයට ඇති සම්බන්ධය. යුද පිටියේදී, වේගයෙන් අසුපිට යන්නට නම්, සමබරතාව අතිශයින් වැදගත්. එහිදී මේ උපකරණයෙන් විශාල සේවයක් ඉටුවෙනවා. අශ්වයාගේ සම්පූර්ණ ජවය යොදා, වේගයෙන් සහ පහසුවෙන් ගමන් කිරීමට හැකිවෙනවා. 
8. ගිනිවිජ්ජුම්බරය - Greek Fire
8 Greek Fire    මේ අවිය ගැන තිබෙන විස්තරය කියවුවාම, මගේ හිතට එකවරම ආව වචනය තමයි, 'ගිනිවිජ්ජුම්බරය' කියන එක. අපි එදිනෙදා කතාබහේදී කියනවානේ 'හපෝ එතන එකම ගිනිවිජ්ජුම්බරයක්' කියලා. ඒ කියන්නේ මහා පරිමාණ සටනක් කියන එකයි. ටිකකට හිතන්න, අපේ ගෙදර වහලේ උඩට, කිසියම් යාන්ත්‍රික උපක්‍රමයකින්, මහා ගිනිබෝල එවනවා කියලා. ඉතින් එතකොටත් ඇතිවෙන්නේ ගිනි විජ්ජුම්බරයක් නේද. සතුරු කඳවුරු, සතුරු බලකොටු, වෙත, යාන්ත්‍රික උපක්‍රමයක් මගින්, දැල්වෙන ගින්නක් සහිත, බැරල් වැනි භාජන විදීමට සකසාගත් උපකරණයකට තමයි, Greek Fire කියන්නේ. රෝම අධිරාජ්‍යය පැවති අවධියේදී මේ අවිය පාවිච්චි කොට තිබෙනවා බහුල වශයෙන්. 

9. යාන්ත්‍රික කාලතුවක්කුව - Mechanical Artillery
 9 Mechanical Artillery    කාලතුවක්කු ගැන දැනට සෑහෙන කලකට ඉහතදී මා ඔබට කියාදුන්නා. ඔබෙන් බොහෝදෙනෙක් කියා තිබුනා ඒ ලිපි මාලාවෙන් කාලතුවක්කු ගැන හොඳ දැනුමක් ලැබුණු බව. ඒ ලිපි මාලාව ආරම්භයේදීත් මම ඔබට කියාදුන්නා මේ යාන්ත්‍රික කාලතුවක්කු ගැන. අමතක නම් මෙතනින් බලන්න. යාන්ත්‍රික කාලතුවක්කුවක විශේෂත්වය වන්නේ එය කිසිදු ආකාරයක වෙඩි බෙහෙත් හෝ එවැනි ගිනි බලයක් යොදා නොගැනීමයි. ඉතා බර අධික ලෝහ බෝල, ගල්, වැනි දෑ යාන්ත්‍රික උපක්‍රමයකින් ඈතට විදීම තමයි මේ යාන්ත්‍රික කාලතුවක්කු වලින් සිදුකෙරුණේ. Trebuchet ට්‍රෙබුශේ යනු එවැනි එක යාන්ත්‍රික කාලතුවක්කුවක් හැඳින්වූ නම. මේවාත් ග්‍රීක - රෝම අධිරාජ්‍ය සමයේදී භාවිත කළ අවි ලෙස සැලකෙන අතර එමගින් සංග්‍රාමයට නව ජවයක් ලැබුණා. 
10. වෙඩි බෙහෙත් - Gunpowder
10 Gunpowder     වෙඩි බෙහෙත් සහ යුද්ධය අතර තියන සම්බන්ධය, හරියට අර අමුඩය සහ පස්ස පැත්ත අතර තියන සම්බන්ධය වගේ නේද? ඇත්තටම සංග්‍රාමය කියන ක්‍රියාකාරකමේ අර්ථය පරිපූර්ණ වූයේ, වෙඩි බෙහෙත් නිසා බව, අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. 12 වැනි සියවසේ දී කහ මුහුදේ සිට රුසියාවේ ස්ටෙප් තණබිම් දක්වා සිය ආධිපත්‍යය පැතිරවූ කුබ්ලයි ඛාන් අධිරාජයා සංග්‍රාමික කටයුතු සඳහා මහා පරිමාණයෙන් වෙඩි බෙහෙත් යොදා පුපුරන ද්‍රව්‍ය සෑදූ බව ප්‍රකටව පවතිනවා. අද වනවිට යුද්ධයේ තීරණාත්මක සාධකයක් වන ගිනි බලයේ ආරම්භය, එළෙස සිදුවී තිබෙනවා. 

11. පිපිරවීම් - Mines
     සාම්ප්‍රදායික යුද්ධ ක්‍රමයේදී - Conventional Warfare  ලෝකයේ ඕනෑම හමුදාවක් ගත්තම, සටන් භූමියට මුලින්ම පිවිසෙන රෙජිමේන්තුව මොකක්ද? මොකක් කියලද හිතන්නේ? කාලතුවක්කු? කමාන්ඩෝ? පාබල? විශේෂ බලකාය? අම්මපා කාන්තා බලකායද දන්නෙත් නෑ....................? ඔය කවුරුවත් නෙවෙයි 'ඉංජිනේරු බලකාය' Engineers Regiment' තමයි මුලින්ම යුද පිටියට යන්නේ. හිතන්නවත් බැහැ නේද? මොකද එයාලා කරන්නේ? එක වාක්‍යයකින් කියන්නද? ලෝකය පුරාම, ඉංජිනේරු රෙජිමේන්තුවේ භූමිකාව සහ කාර්ය භාරය - (Role and Task) හඳුන්වන්නේ මෙහෙමයි.
  'තමන්ගේ (මිතුරු) හමුදාවේ ඉදිරි ගමනට අවශ්‍ය, සියළුම ආකාරයේ සැකසුම් හා පහසුකම් සළසා දෙන අතර, සතුරාගේ ඉදිරි ගමන වැලැක්වීම සඳහා අවශ්‍ය, සෑම උපක්‍රමික පියවරක්ම ගැනීම' 
 ad36ec59-32e2-4306-ba58-1ea50b580b8f  කොහොමද ඒක කරන්නේ. අපි හිතමු, අපිට ගමන් කරන්න තිබෙන මාර්ගයේ ගඟක් තියනවා කියලා. ඉංජිනේරු බලකාය තමයි, වහාම එතන පාළමක් (Bailey Bridge) ඉදිකරන්නේ. අපේ ඉදිරි ගමනට බාධක වශයෙන් තිබෙන, ලොකු ගල් පර්වත, මහා ගස්, පුපුරවලා, පාර හදලා දෙන්නේ ඉංජිනේරු රෙජිමේන්තුව. මෙන්න මේ පිපිරුම් විශේෂඥ දැණුම, විවිධාකාරයෙන් පාවිච්චි කරනවා. අපිට පසු බහින්න වුනොත්, සතුරාට අර අපි හදපු පාළමෙන් මෙගොඩ වෙන්න බැරිවෙන්න, ඒක පුපුරවලා දානවා. මහ ගස් ගල් පාරට වට්ටවලා, පාර අවහිර වෙන විදිහට පිපිරවීම් සිදුකරනවා. මේ විදිහටම පිපිරුම් උපක්‍රම මගින් යුද වාහන පුපුරවා දැමීම විතරක් නෙවෙයි, බිම් බෝම්බ සහ මර උගුල් (Booby traps) ඇටවීමත්, ඉංජිනේරු රෙජිමේන්තුව කරනවා. සතුරු කඳවුරු වටා ඉදිකර ඇති, තාප්ප, වැටවල්, බිම්වෙඩි, පුපුරවා දමන්නත් ඉංජිනේරුවෝ හරිම හපන්නු. ඉතින්, මේ පිපිරවීම් ගැන දැණුම වර්ධනය වීම, සංග්‍රාමය නව මගකට ගන්නට සමත් වුණා. 
12. වැට කඩුළු බිඳින්නා - The Siege Gun
12 Siege Guns    ආරක්ෂාව සඳහා වැට කඩුළු බැඳ ගැනීම, මානව ශිෂ්ඨාචාරයේ ඈත අතීතයේ පටන් කරන දෙයක්. ඈත අතීතයේ තිබුණු ගමක, ගෙවල් සාදා තිබුණෙත්, කවයක හැඩයට පිහිටන්නයි. එයින්, නිකම්ම ගම බලකොටුවක් බවට පත්වෙනවා. මුලදී මෙහෙම කළේ වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. නමුත් පසු කාලයේදී, සතුරු හමුදාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඉතා ඝනකමට ඉදිකළ, උස් තාප්ප, කොටු පවුරු, ඉදිකෙරෙන්නට වුණා. එවැනි බලකොටුවකට පහර දීම එතරම් පහසු ක්‍රියාවක් වුනේ නැහැ. අහලා තියනවා නේද, විජිතපුර බලකොටුවේ දොරටුව බිඳින්නට ගිය, කණ්ඩුල ඇතාගේ පිට ට, කොටු පවුර උඩ ඉඳලා, සතුරෝ උණු ලෝ දිය වක්කරා කියලා. කොටු පවුරකට ඉනිමං තියලා නැගලා සටන් කිරීමත්, මුලදී සිදුවුණා. නමුත් එයින් වූ ජීවිත හානිය වැඩියි. තුවක්කු පිලිබඳ දැනුම දියුණුවත්ම, මිනිසා, කොටු පවුරු බිඳීම සඳහා විශේෂ කාලතුවක්කුවක් නිපදවනු ලැබුවා. එයින් මහා විශාල උණ්ඩයක් කෙටි දුරකට රැගෙන යනවා. එයින් මහ කොටු පවුරු බිඳින්නට හැකිවුණා. බලකොටු තනාගෙන යුද්ධ කළ, මධ්‍යකාලීන යුගයේදී, මේ තුවක්කුව සංග්‍රාමයට විශාල බලපෑමක් එල්ල කළා. 
13. ජල තරණයෙන් දිග් විජය - The Frigate
     
13 Frigate     සංග්‍රාමික කාර්ය භාරය උදෙසා, ජල තරණය වැදගත්වන බව, මිනිසා අවබෝධ කරගත්තේ, 15 වැනි සියවසේදී පමණ සිටයි. ඊට පෙර, ජල තරණය, ප්‍රාදේශීය මට්ටමෙන් තිබුණත්, මහා සේනාංක, ජල යාත්‍රා මගින්, අවශ්‍ය ස්ථාන වලට ප්‍රවාහනය කර, ආක්‍රමණශීලී ක්‍රියා කළහැකි බව මිනිසා අවබෝධ කරගත්තේ 15 - 16 සියවස් වලදීයි. 16 සහ 17 යන සියවස් වලදී ජර්මානු සම්භවයක් සහිත යුරෝපීය ගෝත්‍ර සහ තුර්කි, ඊජිප්තු,  සහ අනෙකුත් ඉස්ලාම් ලබ්ධික මැද පෙරදිග රටවල් අතර, ඉන්දියානු සාගරයේ වෙළඳ බලය වෙනුවෙන් එදිරිවාදිකම් තිබුණා. එහිදී, සොල්දාදුවන් 15000 ක් රැගත් ෆ්‍රිගේට් යාත්‍රා 200 ක් ඉන්දියන් සාගරයේ සූදානම්ව සිටියා, යුරෝපීයයන් සමග, ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා. ෆ්‍රිගේට් යාත්‍රාවල, සුළු පරිමාණ කාලතුවක්කුද සවිකර තිබුණා. ෆ්‍රිගේට් යන නම එම යාත්‍රා වලට ලැබුණේත් ඒවා යුද්ධ නව වර්ගයක් නිසයි. ඒ නිසා, මෙවැනි නැව් කණ්ඩායමක්, පාවෙන හමුදාවකට සමානයි. ඒ අනුව,  ෆ්‍රිගේට් යාත්‍රාව, සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කළා.
14. ජංගම කාලතුවක්කුව - Mobile Artillery
SS-Karstwehr-Bataillons, Artillerie-Ausbildung    කාලතුවක්කුව අදටත් සංග්‍රාමයේ තීරණාත්මක අවියක්. කාලතුවක්කුව නිපදවූ මුල් යුගයේදී, එය ස්ථිරව සවි කරන තුවක්කුවක් ලෙසයි තිබුණේ. ඒ කියන්නේ, යුදබිමට ගෙනගොස් ස්ථිරව සවි නොකර එය ක්‍රියාකරවන්නට බැහැ. එමෙන්ම එහි අවාසි රැසක් තිබුනා. ඉක්මණින් එහා මෙහා කළ නොහැකිවීම, පහසුවෙන් සතුරන් අතට පත්වන්නට ඉඩ තිබීම, භූමියේ තිබියදී අළුත්වැඩියා කළ නොහැකිවීම, ආදී ප්‍රශ්න තමයි තිබුණේ. නමුත්, කාලතුවක්කුව රාමුවකට සවි කර, එම රාමුවට රෝද දෙකක් සවිකර, අශ්වයන් මගින් ඇදගෙන යාමට සකස් කරගත් පසු, කාලතුවක්කු වෙඩි බලය, වඩාත් ප්‍රබල ලෙස, සංග්‍රාම භූමිය පුරා පතුරවන්නට හැකියාව ලැබුණා. මේ නිසා, ජංගම කාලතුවක්කුව සංග්‍රාම භූමියේ විප්ලවයක් කළා.
15. අතපත්තුව - The Matchlock
15 Matchlock     අතපත්තුව කිව්ව ගමන්, වැරදියට එහෙම තේරුම්ගන්න එපා, මාවන් අතපත්තුට, අතපත්තුව කියලා බැන්නා කියලා එහෙම. අපේ රටට ගිනි අවි පිලිබඳ සතුටුදායක දැණුමක්, මතක තියාගන්න, හොඳ දැණුමක් නෙවේ සතුටුදායක දැණුමක්, ලැබුනේ මහනුවර යුගයේදී. ඒ කාලේ, තුවක්කුව කියන වචනය අපේ වාග් මාලාවට එක්වෙලා තිබුනේ නැහැ. අතේ තියාගෙන, ගින්දරෙන් පත්තු කරලා, වෙඩි තියන = ගිනි පිඹින (තුවක්කු බටෙන් එළියට, පිම්බා වගේ ගින්දර පිටවීම) නිසා තමයි, මේවා අතපත්තු කියලා නම්කරන්නට, පැරණි සිංහලයා පෙළඹී තිබෙන්නේ. තුවක්කුව යන සංකල්පයේ මූලිකම අවස්ථාවක් වන මෙය, 15 වැනි සියවසේදී කරන ලද නිර්මාණයක්. ගිනි අවියක් ලෙස එකල තිබුණු අනෙක් අවි අබිභවා ගිය නිසා, මෙය සංග්‍රාමය වෙනස් කල අවියක් බවට පත්වෙනවා. මේ අවියට ඉදිරියෙන් සහ පසුපසින් Breach loading and Muzzle loading වෙඩි බෙහෙත් යොදා, සේවා නූලකට Service Code ගිනි තැබීමෙන් ලබාගත් ගිනි බලයෙන් තමයි තුවක්කුව පත්තුවුනේ. පහත දැක්වෙන වීඩියෝවෙන් තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පැහැදිළි වෙනවා.

space 2
16. ගිනි ගලෙන් ගිනි පිඹීම - The Flintlock
16 Flintlock     Flintstone කියන්නේ ගිනි ගල කියලා අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. ගිනිගලක් යම්කිසි තද/රළු මතුපිටක ඇතිල්ලුනාම ගිනි පුපුරු පිටවෙන බවත් ඔබ දන්නවනේ. අර සමහර ගෑස් ලිප් පත්තු කරන්න තියෙන්නේ, පොඩි පිස්තෝලයක් වගේ උපකරණයක්, අන්න ඒක ඇතුළේත් තියෙන්නේ ගිනි ගලක්. මීට ඉහතින් දැක්වූ මැච්ලොක් Matchlock තුවක්කුවේ, ක්‍රියාකාරිත්වයේ යම් යම් අඩුපාඩු මෙන්ම, භයානක තත්වයක්ද තිබුණා. ඒ තමයි එම අවියෙන් වෙඩි තැබීම සඳහා පාවිච්චි කරන කළු වෙඩිබෙහෙත් Black Powder ඉතා සුළු අත්වැරදීමකින් පවා පහසුවෙන් ගිනිගෙන පුපුරා යාමට ඉඩ තිබීම. ඇත්තටම එවැනි අනතුරු රාශියක් සිදුවුණා. (අහලා තියනවද 'කළු කුඩු බස්නේ දෙනවා' කියලා කතාවක්. බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසු අපේ සමාජයේ පැතිරී තිබුණු, වෙඩි බෙහෙත් කොටා වෙඩි තබන තුවක්කු වලට යෙදුවේ මේ කළු වෙඩිබෙහෙත්. ඉතින් එකල ගැමියන් කළු කුඩු බස්නේ දෙනවා යන්නෙන් අදහස් කළේ වෙඩි තබා මරා දමනවා යන්නයි) මේ අනතුරුදායක තත්වයෙන් තොරව වෙඩි තැබිය හැකි තුවක්කුවක් ලෙස ෆ්ලින්ට්ලොක් - Flintlock තුවක්කුව හඳුන්වන්න පුළුවන්. 15 වැනි සියවසේ ග භාගයේදී නිපදවන ලද මේ නව ගිනි අවිය යුද බිමේ විප්ලවයක් කරන්නට සමත් වුණා. තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පහත වීඩියෝ දෙකෙන් බලන්න. 



17. ඇදලා අරන් ඇනලා ඇදීම - The Bayonet
  17 Bayonet     මේ ලිපි මාලාවේ මුලදීම සඳහන් කලාක් මෙන්, අතීතයේදී යුද බිමේ සතුරා මුණ ගැසුනේ, මුහුණට මුහුණ ලා සටන් කරන තරම් සමීපව සිටයි. තුවක්කු මගින් සටන් කිරීමීදිත්, අදටත් යුද බිමේදී සතුරා මුහුණට මුහුණ හමුවන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථා වලදී වෙඩි තැබීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. එක්කෝ සතුරා අපේ ඇඟට කඩා පනිනවා. නැත්නම් අපිට සිදුවෙනවා සතුරාගේ ඇඟට කඩා පැන ඔහු මෙල්ල කරන්නට. නැතහොත් මරා දමන්නට. මේ සඳහා සුදුසු වන්නේ පිහියක් වැනි, අනිනන්නට සුදුසු ආයුධයක්. අන්න ඒ අඩුව පුරවන්නට නිපදවූ අවියක් ලෙස බයිනෙත්තුව - Bayonet ඉතා වැදගත් තැනක් ගන්නවා. අදනම් බයිනෙත්තු සටන් නැත්තටම නැති තරම්. ඊට වඩා 'දියුණු ක්‍රම' තිබෙන නිසා. නමුත් තුවක්කු බටයට සවිකරගෙන හෝ ගලවා අතට ගෙන පාවිච්චි කළහැකි බයිනෙත්තු අදත් තියනවා. ඉස්සර නම්, නිළ ඇඳුමේ බඳපටියේ සවිකළ කොපුවක ඇති බයිනෙත්තුව, ඇදලා අරන් ඇනීම තමයි සිදුකළේ.  නමුත් පසුකාලීන බයිනෙත්තුව, තුවක්කුවේ බටයේ කෙළවරට සවිකර ගැනීමට හැකියි. එවිට, හෙල්ලකින් අනිනවාක් මෙන් අනින්නට පුළුවන්. හමුදා මූලික පුහුණුවේදී, සොල්දාදුවන්ට, බයිනෙත්තු සටන් උගන්වනවා. දෙවැනි ලෝක යුද සමයේදී, බයිනෙත්තුව ඉතා බහුලව පාවිච්චියට ගැණුනා. බයිනෙත්තුව සංග්‍රාමයට දැඩි වෙනසක් එක්කල අවියක්.
18. දමාගසන මරණය - The Hand Grenade
 18 Hand Granade      'චීන පටස්' කියන වචනය අහලා තියනවද? අපි කුඩා ළමුන් කාලේ (1950 දශකයේ අග සහ 1960 දශකයේ මුල)  සිංහල අවුරුදු කාලෙට පත්තු කරන වෙඩි වර්ගයක් තමයි, චීන පටස් කියන්නේ. මේ වෙඩි සකස්කර තිබෙන්නේ, මනෝසීල නමැති වෙඩිබෙහෙත් වර්ගය, කංහැන්දක් පමණ ප්‍රමාණයක්, එකක් ඝන සෙන්ටි මීටරයකටත් වඩා අඩු, කුඩා තිරුවානා ගල් තුනකට මැදිකර තබා, ටිෂූ කඩදාසි වලින් ඔතා, කුඩා දෙහි ගෙඩියක ප්‍රමාණයේ බෝලයක් සෑදීමෙන්. මෙය, පොළොවේ හෝ බිත්තියක් වැනි තද මතුපිටකට දමා ගැසුවොත්, රතිඥ්ඥයක් පුපුරන තරම් හඬකින් පුපුරා යනවා. ඇඟට වැදුනොත් සුළු තුවාල වෙන්නත්, ඇසකට වැදුනොත් ඇස අන්ධ වෙන්නත් පුළුවන්. කිසියම් කුටීරයක් container තුළ වෙඩි බෙහෙත් සහ පුපුරන ද්‍රව්‍ය අඩංගු කර, නිශ්චිත් ඉතා සුළු වෙලාවක් තුළ පුපුරායාමට සකස්කර ඇති අත්බෝම්බය Hand Grenade මිනිසා විසින් නිපදවන ලද භයානක අවියක් ලෙස හඳුන්වන්නට පුළුවන්,සතුරා වෙත රහසින් ළංවී, සතුරු බංකර්, අවි/පතරොම්/වෙඩි බෙහෙත් ගබඩා, වැදගත් පුද්ගලයන්, වෙත ක්ෂණිකව මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සඳහා, අත්බෝම්බය මහත් පිටුවහලක් වෙනවා. අත්බෝම්බය ගැන මා මීට පෙර ඔබට කියාදුන්නා මතකද? ඉතින් අත්බෝම්බය එදත් අදත් සංග්‍රාමයේ වැදගත් සාධකයක්.

19. අහසින් පාත්වන මාරයා - Explosive Shells
19 Explosive Shells      අත්බෝම්බයකට වඩා විශාල බෝම්බ සෑදිය හැකි බවත්, ඒවා කාලතුවක්කු උණ්ඩ, මෝටාර් උණ්ඩ, ගුවනින් හෙලන බෝම්බ, ආදී විවිධ වේශයෙන් පාවිච්චි කළහැකි බවත්, මිනිසා සොයාගත්තේ, 19 වැනි සියවසේ මුල්භාගයෙදීයි. අද එය කොපමණ දියුණුවී පවතින්නේද යන්න, මම මීට පෙර ඔබ සමග සාකච්ඡා කර තිබෙනවා. ඝන ආවරණයක් තුළ, විවිධ පුපුරන ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ, ඇටවුමක් සකසා, එය තම අභිමතය පරිදි පුපුරා යාමට සැලැස්වීමේ ක්‍රියාවලිය, ලෝක යුද ඉතිහාසයට එක්වූ නවතම සංකල්පයක් මෙන්ම, අද දක්වාම යුද්ධයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙනවා. මෙය දිනෙන් දිනම වැඩි දියුණු කරමින් පවතින අවි ප්‍රබෙදයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. න්‍යෂ්ටික බෝම්බ සහ විද්‍යුත් බෝම්බ මෙහි අග්‍ර ඵලයයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. 






20. කාර්ක්‍ෂම සේවකයා - Minie Rifle
     මේ තුවක්කුවේ නම උච්ඡාරණය කරන්නේ 'මිනියේන්' යනුවෙන්. එය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආ වචනයක්. මේ තුවක්කුවට ඒ නම ලැබී තිබෙන්නේ, 19 වැනි සියවසේ මැද භාගයේදී, මේ තුවක්කුව නිපදවූ, ප්‍රංශ ජාතික හමුදා කපිතන් මිනියේන්  සිහිවීම පිණිසයි. මේ තුවක්කුවේ විශේෂත්වය කුමක්ද? මුල් කාලයේදී ලෝකයේ බහුලව භාවිතවූ තුවක්කු වර්ගය තිබුනා 'මස්කට් - Musket' යනුවෙන් හැඳින්වෙන. (අර ස්වීට් හවුස් වලින් ගෙනල්ලා කන Muscat නෙවෙයි ඈ) මේ තුවක්කුවේ විශේෂත්වය වන්නේ එතෙක් කල් පාවිච්චි කළ මූනිස්සම් වෙනුවට ඊයම් වලින් සැකසු තනි උණ්ඩයක් මේ මගින් වෙඩි තැබීමට හැකිවීමයි. එවැනි උණ්ඩයකින් සතුරන්ට අත්වුයේ භයානක ඉරණමක් වන අතර, විනාඩියකට වෙඩි තැබිය හැකි වාර ගණනද මැච්ලොක් සහ ෆ්ලින්ට්ලොක් තුවක්කු වලට වඩා වැඩි වුනා. නිරවද්‍යතාවද ඉහළ මට්ටමක පැවතුණා. ලෝක සංග්‍රාම වලදී කැපී පෙනෙන වැදගත් අවියක් ලෙස මෙය ඉතිහාසයට එක්වෙනවා. මීට සමාන අවියකින් වෙඩි තියන හැටි පහත දැක්වෙන වීඩියෝවෙන් බලන්න.

මේ වනවිට අපි අවි 20ක් පිළිබඳව සාකච්ඡා කර අවසන්. මීළඟ කොටසේදී තවත් අවි වර්ග ගැන සලකා බලමු.
ඡායාරූප ලබාගත් මූලාශ්‍ර
  • http://en.wikipedia.org/wiki/List_of_common_World_War_II_infantry_weapons
  • http://en.wikipedia.org/wiki/Chariot
  • http://en.wikipedia.org/wiki/Greek_fire
  • http://en.wikipedia.org/wiki/Gunpowder
  • http://en.wikipedia.org/wiki/Explosive_mine
my-signature-for-blog[1]      2014 ජනවාරි මස 31 දින 1356 පැය

26 January 2014

සංග්‍රාමයේ පියසටහන් (පළමුවැනි කොටස) - Milestones of Warfare (Part One)

ඇමරිකානු ජාතික ග්‍රන්ථ කර්තෘ
විලියම් වියර් - William Weir
විසින් රචිත
50 Weapons That Changed Warfare
නමැති කෘතිය ඇසුරෙනි.
9781564147561_p0_v1_s260x420   යුද්ධයට කැමති කවුද කියලා ඇහුවොත්, බහුතරයකගේ පිළිතුර වන්නේ, කැමති නැහැ කියන එකයි. නමුත් අපි කැමති වුනත් නැතිවුනත්, යුද්ධ ඇතිවෙන එක තනි තනිව වලක්වන්න බැහැ. අපි ඇත්තටම අපේ මනස ජයගත්දාට තමයි, යුද්ධය මේ ලෝකයෙන් තුරන් කරන්න පුළුවන් වෙන්නේ. යුද්ධ ඇතිකරන්නෙත්, ඉදිරියට ගෙනයන්නෙත්, සාමදානය ඇතිකරන්නෙත්, රාජ්‍ය පාලකයෝ. සොල්දාදුවා කරන්නේ තමන් පාලනය වන හමුදා නීතිරීති අනුව කටයුතු කිරීම පමණයි. සොල්දාදුවා තරම් සාමයට කැමති වෙනත් පුද්ගලයකු මෙලොව නැති තරම්. එයට හේතුව යුද්ධය කොතරම් කුරිරුද යන්න සොල්දාදුවා තරම් හොඳින් වටහාගත් කෙනෙකු නැතිවීමයි. යුද්ධයට මිනිස්සු අකමැති වුනත්, යුද්ධ කතා අහන්න නම බහුතර කැමැත්තක් තියනවා. ඒ තමයි මිනිස් ස්වභාවය. රටේ එදිනෙදා සිදුවන අධම, කුරිරු, භයානක අපරාධ සමහර ජඩ මාධ්‍ය විසින් නාට්‍යානුසාරයෙන් රඟදක්වමින් ඉදිරිපත් කරන රූපවාහිනී පුවත් දෙස තලු මරමින් කට ඇරගෙන බලා ඉන්න පිරිසකුත් අපේ රටේ ඉන්නවා.
  ලෝක ඉතිහාසය ගැන කතාකරනකොට 'යුද්ධ' යන වචනය නැතුව කතාකරන්න පුලුවන්ද? බැහැනේ. ඉතින් මම හිතුවා, එක එක අවි වර්ග ගැන, ඔබ සමග බොහෝවිට කරන කතාවලට වඩා වෙනස් අකාරයකින්, යුද අවි පිළිබඳව කතාකරන්න. ඊයේ පෙරේදා මගේ අඩවියේ අදහස් දැක්වීමක් කළ, අපූර්වී ඔමායා කියලා තිබුණා, 'අනේ ඊළඟට වෙඩි තියන එකක් ගැන ලියන්න' කියලා. මම ඇහුවා, හිරමනේට අළු දාලා වෙඩි තියන හැටි ලියන්නද කියලා. 'හිරමනේට අළු දාලා වෙඩි තියනවා' කියන කතාව අහලා තියනවද? අපි කුඩා කාලයෙනම්, ඒ කතාව සමාජයේ නිතර භාවිතයේ තිබුණා. අර, බංකුවක වගේ වාඩිවී පොල්ගාන හිරමණය, අපේ කුස්සියෙන් සමුගැනීමත් සමග..........
  (කතා මැද කතා. වෙලාවකට කුස්සියේ තනියම නහින නිසා, මම ඊයේ පෙරේදා අපේ උන්දැගෙන් ඇහුවා, විදුලි හිරමනයක් අරන් දෙන්නද කියලා. 'ඒ සල්ලි ටික මට දෙන්ඩකෝ, මට වෙන අවශ්‍ය දෙයක් ගන්ඩ' කියලා උත්තර දුන්නා. හෙහ් හෙහ්.....ඇත්තම කතාව මේකයි. මේස හිරමනෙන් වුනත් පොල්ගාන එක මට මහා අප්පිරියා වැඩක් අප්පා. මගේ කම්මැලිකමටයි ගන්න හැදුවේ. කොහෙද, පුදනකොටම කාපි යකා :D )
  ඉතින් ඔච්චර කෙන්ති ගන්ඩ එපා අනේ. චූර්ණිකා නැතුව කොහොමද මේ වගේ මහා බාරදූර ලිපියක් ලියන්නේ. එතකොට හිරමනේට අළුදාන කතාව එපාද? හරි ඔන්න ඔහොම පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙන්ඩකෝ. මෙන්න මේකයි ඒ කතාවේ තේරුම. හිරමනේ කියන්නේ තුවක්කුවක් හෝ වෙනත් ගිනි අවියක් නෙවෙයිනේ. අළු කියන්නේ ඉවතලන දෙයක් මිස වෙඩි බෙහෙත් නෙවෙයිනේ. හිරමණේට අළුදාලා වෙඩි තියනවා කියන්නේ කිසිදු ඵලයක් නොලැබෙන උත්සාහයක නිරතවෙනවා කියන එකයි. දැන් තේරුණාද?  
  බලන්න අපේ හැලප තුමා කොච්චර ලස්සනට චූර්ණිකා ලියනවද කියලා. මමනම් හරිම ආසයි එතුමාගේ චූර්ණිකා වලට. මේ දස්වලනම් එතුමා තවමත් තම මවගේ වියෝව ගැන වේදනාවෙන් ඇති. හොඳයි ඔන්න බහිනවා කතාවට.
  අවි 50ක් ගැන එකපාරට ලියන්න බැහැනේ. ඒ නිසා දෙකට තුනට කඩනවා හොඳේ? මොකක්ද කඩන්නේ කියලද අහන්නේ? ඇයි අනේ ලිපිය මිසක් වෙන අහවල් කෙංගෙඩියද?
  මගේ හිතට බොහොම තදින් ඇල්ලුවා මේ පොතේ පිළිගැන්වීම. කර්තෘ වරයා ඔහුගේ දියණිය වෙත මේ පොත පිළිගන්වා තිබෙන්නේ මෙහෙමයි. 
For Emma.
may she grow up to a
world in which warfare is
only history.
මේ මගේ පරිවර්තනය 
එමා වෙත.
සංග්‍රාමය යනු
ඉතිහාසයෙහි තිබුණු දෙයක් පමණක්
වන ලෝකයක් වෙත
හැදී වැඩෙන්නට
ඇයට හැකිවේවා!
  මා කලින් කීවාක් මෙන් සංග්‍රාමය රසවත් දෙයක් නොවෙයි. කතුවරයාද ඒ බව මනාව පසක් කරගෙන තිබෙන බව, ඔහුගේ මේ ප්‍රකාශයෙන් මොනවට පැහැදිළි වෙනවා.  යුද්ධය නමැති මහා විනාශකාරී ක්‍රියාදාමය නවත්වා ගැනීමට, මිනිසා තවමත් අපොහොසත්ව සිටින්නේ, ප්‍රධාන වශයෙන්, බල තන්හාව නිසා බව අමුතුවෙන් කිවයුතු නැහැ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයන් අතර පවා, සටන් තිබුණු බව, ඔවුන් පරිහරණය කළ ඉතා නොදියුණු රළු ආයුධ, පුරාවිද්‍යාත්මක ගවේෂණ තුළින් හමුවීම නිසා පැහැදිළිවනවා. ද්වන්ද්ව සටන්, යුද්ධයේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්. දෙපිලක් අතර සිදුවන සටනකදී, තමා විසින් තෝරාගත් ප්‍රතිමල්ලවයකු සමග, ආයුධ සහිතව හෝ රහිතව සටන් කිරීමයි එහිදී සිදුවුණේ. නමුත්, ඈත සිට තම සතුරාට පහරදෙන්නට හැකිවන්නේ කෙසේද යන්න සිතා බැලූ මිනිසා, ඒ සංකල්පනාව ඔස්සේ විවිධ නිපැයුම් කළා. හොඳයි, දැන් අපි මේ අවි එකින් එක ගැන කරුණු සොයා බලමු.
1. හෙල්ල - Spear  
1 Spear  දුර සිටින සතුරාට පහරදීම සඳහා, ගලක් වැනි යමකින් දමා ගැසීම, ඉතා නොදියුණු ප්‍රාථමික primitive ක්‍රියාවක්. මිනිසා, තම චින්තන ශක්තිය මෙහෙයවා, දුර සිටින සතුරාට පහරදීම සඳහා නිපදවාගත්, මුල්ම ආයුධයක් ලෙස සැලකෙන්නේ හෙල්ලයි. දමා ගැසීමේ ආයුධයක් ලෙස, හෙල්ල, ඉක්මනින්ම ජනප්‍රිය වුණා. හෙල්ල, යුද්ධය කෙරෙහි විශාල බලපෑමක් කරන්නට සමත්වුණා. යුද්ධයට සුදුසු හෙල්ලෙහි, මුල් නිපැයුම් කරුවන් ලෙස සැළකෙන්නේ, අප්‍රිකානු මහාද්වීපයේ සිටින විවිධ ගෝත්‍රික ජනතාවයි.




  2. දුන්න සහ ඊතලය- Bow and Arrow
 2 Bow & Arrow  වඩාත් නිවැරැදිව, වඩාත් දුරක පිහිටි ඉලක්කයකට පහරදීම සඳහා, පැරණි මිනිසා නිපදවාගත් සාර්ථක අවියක් ලෙස, දුන්න සහ ඊතලයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. මුල් කාලයේදී, හුදෙක්, දඩයම් කිරීම සඳහා පාවිච්චි කළ ආයුධයක් වූ දුන්න සහ ඊතලය, මධ්‍යකාලීන යුගයේදී, සංග්‍රාමික කටයුතු සඳහා වැඩිදියුණු කරගැනීමත් සමග, වර්තමාන යුද භූමියේදී, සෙබළකු තම පෞද්ගලික අවියෙන් පහර දෙන ආකාරයට, ආසන්නයේ සිටින සතුරාට පහර දීමටත්, එසේම වර්තමානයේදී ස්නයිපර් තුවක්කු කරුවකු පහර දෙන ආකාරයට, තරමක් දුරින් ඇති ඉලක්කයකට සැඟවී සිට පහරදීමට යොදාගත හැකි අවියක් ලෙසත්, දුන්න සහ ඊතලය අතිශයින් වැදගත් වුණා. යුරෝපීය ඉතිහාසයේ සුප්‍රසිද්ධ සංග්‍රාමයක් වන, එංගලන්තයේ III වන එඩ්වඩ් රජු විසින්, 14 වැනි සියවසේදී, ප්‍රංශය ආක්‍රමණය කළ හමුදාවේ, දුනුවායන් 3000 ක් පමණ සිටි බව කියවෙන අතර, එම ආක්‍රමණයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකළ, IV වැනි පිලිප් රජුගේ හමුදාවේ, දුනුවායන් 8000 ක් පමණ සිටි බව කියවෙනවා. පෘතුගීසි, ලන්දේසි, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ, සිංහල හමුදා වල, සැළකියයුතු පිරිසක් දුනුවායන් සිටි බවත් අප අමතක කළයුතු නැහැ. 16 වැනි ශතවර්ෂයේ දී, යුරෝපයේ නිපදවා තිබුණු, රාත්තල් 70 පමණ (කි.ග්‍රෑම් 31) බර, අඩි 5 යි අඟල් 8 ක් (මීටර් 1.76) උස, දුන්නකින්, යාර 245 (මීටර් 224) ක් ඈතට, ඊතලයක් විදීමට හැකියාව තිබුණා. 
3. අසිපත - The Sword
3 Sword   ආදී කාලීන මිනිසා, තම සතුරාට මුහුණට මුහුණ දී සටන් කළේ, ඉමහත් චිත්ත ධෛර්යයකින් යුක්තවයි. මුලින්ම බාහු බලයද, ඉන්පසු ගල්, පොලු මුගුරු, මෙන්ම, විශාල සතුගේ ඇටකටු වලින් සාදාගත් කැපෙන සුළු සහ ඇණෙන සුළු අවි වලින්ද, ආදී කාලීන මිනිසා සටන් කළා. කෙසේ වෙතත්, ආයුධ නිපදවීමේ මහා විප්ලවයක් සිදුවුනේ, ලෝහ පිළිබඳව මිනිසාගේ දැණුම පුළුල්වීමත් සමගයි. මුල් කාලයේ සිටම අසිපත යනු රාජ්‍ය නායක භාවයේ, අධිපති භාවයේ, පාලක පන්තියට අයත් භාවයේ සංකේතය වුනා. එමෙන්ම කඩු ශිල්පයෙහි කෙළ පැමිණි අයවළුන්, යුධයේ දක්ෂයන් හා යුද උපක්‍රම විශේෂඥයන් Strategists ලෙස සැළකුණ අතර, සෑම විටම විශේෂ ගෞරවයට පාත්‍ර වුණා. මධ්‍යකාලීන යුගයේ සිටම, එක් එක් අවිය පිලිබඳ විශේෂ දක්ෂතා ඇතියවුන් විශේෂ නම්වලින් හැඳින්වුණා.
  දුනු ශිල්පයෙහි දක්ෂයා 'ධනුර්ධර/ධනුද්ධර' = Archer  ලෙස හැඳින්වුණා. 
ac2-archer
හෙල්ලෙන් සටන් කිරීමෙහි දක්ෂයා හැඳින්වුණේ Spearman  වශයෙන් 
414px-Assyrian_spearman_·_HHWI469.svg
කෙටේරියක මෙන් තලයක් සහිත, දිග මිටකින් යුත් හෙල්ලක් සහිතව සිටින 'හෙල්ල සටන් කරුවන්' හැඳින්වුණේ හැල්බඩියර් -Halberdier යනුවෙන් 
empire_halberdier
එමෙන්ම, තුවක්කු හරඹයෙදී, විශ්මිත සහ අතිශයින් නිවැරදි ඉලක්ක ගන්නා පුද්ගලයා, හඳුන්වන්නේ 'ප්‍රගුණ වෙඩිකරු - Marksman'  යනුවෙන්.
american-marksman-granger
කඩුව තරම්, මිනිස් ඉතිහාසයේ ඇතිවූ සංග්‍රාම වලදී පාවිච්චි කළ වෙනත් අවියක් නැති තරම්. ජපානය, චීනය, ඉරානය, ඉරාකය, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය, නොර්වේ, වැනි රටවල් ගණනාවක ඉතිහාසයට මෙන්ම, මුස්ලිම් සහ හින්දු සංස්කෘතීන්ටත්, කඩුව දැඩි ලෙස බැඳී පවතිනවා. 
4. ගැලී යාත්‍රාව - The Galley 
4 Galley   ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘ, වික්ටර් හියුගෝ විසින් රචිත, Le Miserable නවකතාව හෝ, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල ශූරීන් විසින් කළ, එහි සිංහල පරිවර්තනය වූ 'මනුතාපය' නවකතාව, ඔබ අතරින් සෑහෙන පිරිසක් කියවා ඇති. එම නවකතාවේ ප්‍රධාන චරිතය වන, 'ජනවර්ජන' ගැලී වහලකුව සිටි බව කියවෙනවා මතකද? අන්න ඒ ගැලී යාත්‍රාව ගැනයි මේ කියන්නේ. ගැලී යාත්‍රාවක් යනු, හමුදා භට පිරිසක් රැගෙන සාගරයේ හෝ වෙනත් ජල තලාවක් තරණයේ යෙදෙන යාත්‍රාවක්.  හබල් ගෑමෙන් ජල තරණය කරන මේ යාත්‍රාවක හබල් කරුවන් ලෙස බොහෝවිට යොදාගත්තේ, වහලුන් හෝ සිරකරුවන්. ඔවුන්ගේ දෙපයේම වළලුකර ප්‍රදේශයෙන්, දම්වැල් සහ ඉබි යතුරු දමා යාත්‍රාවට බැඳ දමා තිබුණා. කසයකින් තලමින් ඔවුන්ගෙන් වැඩගන්නට එක් සෙබළකු යොදවා තිබුණා. (බෙන්හර් Benher චිත්‍රපටියේ එවැනි ජවනිකාවක් තිබෙනවා වගේ මතකයි)  මේ යාත්‍රා විශේෂය හමුදා භටපිරිස් ඉක්මනින් තැනින් තැන ගෙනයන්නට මහත් රුකුළක් වුනා. ගැලී යාත්‍රා යොදාගනිමින්, තුර්කි සුල්තාන් වරයකු විසින්, 1569 දී, ඉතාලියේ වෙනිස් වරායට එල්ල කළ ප්‍රහාරයෙන්, වරායේ තිබුණු නැව්, වෙඩි බෙහෙත් සහ අවි ගබඩා, යුද අවි කම්හල් ඇතුළු, සියල්ල විනාශ වුණා. 
5. ශාරීරික සන්නාහය - Body Armour 
Ancient Roman clothing    සතුරා සමග සටන් කිරීමේදී සිය ශරීරය ආරක්ෂා කරගැනීම, එදත් අදත්, සොල්දාදුවකුට මහත් අභියෝගයක්. ඒ අභියෝගය ජය ගැනීම සඳහා මධ්‍යකාලීන යුගයේදී සොයාගත් විශ්මිත් නිපැයුම වූයේ සන්නාහයයි. නමුත් මෙම සන්නාහය ඉතා අධික බරකින් යුක්තවූ අතර එය පැළඳ සිටින පුද්ගලයාගේ චලනයන්ට බාධා පැමිණවීමක්ද සිදුවුණා. ඒ කාලයේදී යොදාගත් අවි බොහොමයක්, කොටන, කපන, අණින, අවි නිසා, මෙවැනි සන්නාහයක් තිබීම අතිශයින් වැදගත් වුණා. පසු කාලීනව, මෙවැනි සන්නාහ, යුද බිමට යන අශ්වයින්ට පවා ගැලපෙන ලෙස සකසනු ලැබුවා.
5 Body Armour
බරින් වැඩි සන්නාහ වෙනුවට, තරමක් බරින් අඩු සන්නාහ නිපදවන්නට පසුකාලීනව හැකියාව ලැබුනා. එකට අමුණා, රෙද්දක් මෙන් වියන ලද ආකාරයට, ලෝහ වළලු රාශියක් ඇමිණීමෙන් සකසන ලද මේ සන්නාහය, හඳුන්වන ලද්දේ, 'චේන්මේල් - Chainmail' යනුවෙන්. 
5a Chainmail
  සන්නාහය සටන් බිමේදී සොල්දාදුවන්ගේ ජීවිතය රැක ගැනීමට මහත් රුකුළක් වුණා. එය සංග්‍රාම කාර්යයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා.
  මා හිතනවා මේ ලිපියේ පළමුවැනි කොටස මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. ඊළඟ කොටස් වලදී මීටවඩා අවි ප්‍රමාණයක් ඔබ වෙත ගෙන එන බව සඳහන් කරන්නට කැමතියි. 
ඡායාරූප මූලාශ්‍ර 
  • http://www.ezakwantu.com/Gallery%20African%20Weapons%20-%20Central%20African%20Weapons.htm
  • http://www.livingbohemian.com/2013/12/27/nudity-and-shame-father-junipero-serra/
  • http://commons.wikimedia.org/wiki/File:Assyrian_spearman_%C2%B7_HHWI469.svg
  • http://www.creativeuncut.com/
  • http://fineartamerica.com/featured/american-marksman-granger.html
my-signature-for-blog[1]2014 ජනවාරි මස 26 දින 2357 පැය

23 January 2014

තවත් ඉවර නැති කතා

පුංචි කතන්දරයක් දෙකක් කියන්න බැරිවුනා කාලෙකින්. වැඩේ කියන්නේ මේකයි. මතකයේ තියන කතා බොහොමයක් 60 + ඒවානේ. ඉතින් කොහොමද ලියන්නෙ. මම කාලෙකට ඉහතදී, වෙනත් නමකින්, මෙවැනි කතා වලට ප්‍රසිද්ධ අඩවියකට සෑහෙන කතා ගණනක් ලිව්වා. ඒත් පස්සේ හිතුනා ඒවා නවත්තන්න ඕනේ කියලා. එයින් තෝරාගත් කතා කීපයක් පසුව ලියන්නම්. කවුරුහරි කිව්වොත් කොපිකළා කියලා, එහෙම කියන අයට පුළුවන් මම ඒ අඩවියේ පාවිච්චිකළ මගේ නමින් ඒ අඩවියට ඇතුළුවෙලා (login) පෙන්වන්න. මොකද දැන් ඒ අඩවියට ඇතුළුවීමට තිබෙන්නේ එදා මා ඇතුළුවූ ක්‍රමය නෙවෙයි. ඒ නිසා මටත් දැන් ඒ නමින් ඇතුළු වෙන්න බැහැ. සමහරවිට අඩවි පරිපාලකට පුළුවන් ඇති.
  මොකක්ද ඉස්සරවෙලාම කියන්නේ? මම හමුදාවට බැඳෙන්න කලින් වසර තුනක් පමණ ගුරු වෘත්තියේ හිටියනේ. ඇත්තටම එය හරිම ආසා හිතෙන රසවත් අත්දැකීම් සහිත ජීවිතයක්. රස කියන්නේ රස වෑහෙනවා/පෙරෙනවා/ගෑවෙනවා/පිහදාගන්නවා/ආයෙත් ගෑවෙනවා ආ............ම්................මෝ.................ඕ..................
සියඹලා ගහ 
Tamarind tree 1  ඕනෙම පාසලක තිබෙන ගුරු විවේකාගාරය එකම රස ගුලාවක්. දැන්නම්, දේශපාලන/තමන් උගන්වන විෂයය අනුව/තම අධ්‍යාපන සුදුසුකම්/මහත්තයා හෝ නෝනා පාසලේ නොවන වෙනත් සුපිරි රැකියාවක නම්/කල්ලිවාදය ඉස්මතු වෙනවා බොහොමයක් තැන්වල. අනේ කාලේ වනේ වාසේ. අපේ කාලෙනම්, ප්‍රාදේශීය ලේකම් තුමාගේ/නඩුකාර හාමුදුරුවන්ගේ/ඩී.එම්.ඕ. මහත්තයාගේ/අධ්‍යාපන අධ්‍යක්‍ෂගේ/පොලීසියේ ඕ.අයි.සී. මහත්තයාගේ/මාර්ග සංවර්ධන ඉංජිනේරු මහත්තයාගේ/ ආදී වශයෙන් නෝනලා ගොඩක් ගුරු මණ්ඩලයේ හිටියා. (ලංකාවේ සුප්‍රසිද්ධ මධ්‍ය මහා විද්‍යාලයක්) අනේ ඒ කවුරුවත් කවදාවත් තමන්ගේ මහත්තයාගේ 'රැස්පොට්' ගුරු මණ්ඩලයේ අනික් අයට පෙන්නන්න ගියේ නැහැ. විදුහල්පතිතුමාට අභියෝග කරන්න ගියෙත් නැහැ. පුදුමාකාර සහයෝගයකින් වැඩ කළේ. පින්තූරේ ගත්තේ මෙතනින් 
  ඔන්න ඔය කාලේ හිටියා බොහොම 'සිරියා'වන්ත පෙණුමක් තියන ගුරු මහත්මියක්.  ඇත්ත වශයෙන්ම නියම ගුරු මාතාවක්, ආදර්ශවත් චරිතයක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. ඉතා විවෘතව ඕනෙම විහිලුවකට ඔට්ටු ඇය, තමන් ඉගැන්වූ විෂයයන්ට වගේම ක්‍රීඩා කටයුතු වලටත් මහත් ඇල්මක් දැක්වුවා. නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සව සංවිධානයේදී, ඇයගේ ක්‍රියාකාරී දායකත්වය සමග හැරෙන්නටවත් ඇයට වඩා තරුණ ගුරුවරියන්ට නොහැකි වුනා. ඒ කාලේදී ඇය අවුරුදු 40 ට වඩා වැඩි වයසක සිටියත්, ස්ථුල ශරීරයකින් යුක්තව හිටියත්, තරුණ කාලයේ (වීශ්ව විද්‍යාලයේදීත්) ක්‍රීඩා කටයුතුවල යෙදීම නිසා, ඉතා ක්‍රියාශීලීව සිටියා. ගුරු වෘත්තියට බැඳෙන්නට පෙර, ඇය උප පොලිස් පරීක්ෂක වරියක් ලෙස කලක් සේවය කර තිබෙනවා. ඒ කාලයේදී ඇය කර තිබෙන නිර්භීත ක්‍රියා, වෙනමම ලිපියකින් ලියන්න ඕනේ. නමුත් අපි බලකර ඇහුවොත් මිසක් කවදාවත් ඇය පොලිස් ජීවිතය ගැන එක වචනයක්වත් කියන්නේ නැහැ. ඇය විවාහවී සිටියේත් උසස් නාවික හමුදා නිලධාරියකු සමග. ඇත්තටම ඇය රූමත්. උප පොලිස් පරීක්ෂක කාලයේදී නිළ ඇඳුමින් ගත් ඡායාරූපයක ඉන්නේ, අද දේශපාලනයේ ඉන්න ජනප්‍රිය සිනමා නිළියකගේ මුහුණට 99% ක් සමාන පෙණුමකින්. 
  පාසලේ සඳුදා උදේ රැස්වීම තියනවනේ, සිංහලෙන් කියනවනම් අර 'එසෙම්බ්ලි' එක. ඉතින් ඒක තියන වෙලාවට ගුරු මණ්ඩලය ඉන්නේ පාසලේ මහ මිදුල අසළ තියන සද්දන්ත සියඹලා ගහ යට. හිතාගන්න එකසිය ගණනකට යට ඉන්න පුළුවන් සියඹලා ගහ කොපමණ විසාලද කියලා. ඒ වගේම ඒ සියඹලා ගහේ මහා විශාල බෙණයක් සෑදී තිබුනා. කාට හරි රිංගන්න තරම් ඉඩක් එහි තිබුනා. එක සඳුදා දවසක උදේ රැස්වීම ආරම්භවීමට ආසන්නයි. අර ටීචර් හරියටම සියඹලා ගහේ කඳ ළඟම හිටගෙන හිටියා. අලංකාරෝක්ති කීමෙහි බිනීමෙහි අති දක්‍ෂ, මගේ පන්ති භාර ගුරුතුමා සහ සිංහල ගුරුවරයා, එකලත් සේවයේ යෙදී සිටියා. එතුමාගේ අතිජාත මිත්‍රයකු වන, විනෝදයට බොහොම බර, එම විදුහලේ ලෝහ වැඩ විෂයය භාර ගුරුතුමා සියඹලා ගහ අසළට එනවිට දුටුවා, අර ටීචර් හිටගෙන ඉන්නවා. ඉතා ඕනෑකමින් ඒ පැත්ත බැලූ එතුමා අර සිංහල ගුරුතුමාට කිව්වා, 'මම මේ බැලුවේ සියඹලා ගහ කෝකද කියලා' කිව්වා. එවිට සිංහල ගුරුතුමා උත්තර දුන්නා, 'නෑ ඉතින් බෙණේ දිහා බැලුවනම් කියන්න පුළුවන් සියඹලා ගහ කෝකද කියලා' යනුවෙන්. අර ටීචර් එයින් හාස්‍ය හා උපහාස රසය වින්දා මිස අමනාපයක් වුනේ නැහැ. මේ උතුම් ගුරු මාතාව, විශ්‍රාම ලබා කෙටි කලකට පසු මේ මෑතකදී අභාවප්‍රාප්ත වුණා.
  මෙන්න ඊළඟ කතාව. මේ කතාවටත් අර ලෝහ වැඩ ගුරුතුමා සම්බන්ධයි. ගුරු වෘත්තියේ අද වනවිට වැඩිපුරම ඉන්නේ කාන්තා පක්‍ෂයනේ. මම හිතන්නේ අනාගතය වනවිට ගුරු වෘත්තීය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ගේ වෘත්තියක් වෙන්න ඉඩ තියනවා. ඔන්න එක දවසක් උදේ විදුහල පටන්ගන්න කලින් ගුරු විවේකාගාරයේ අල්ලාප සල්ලාප වාරය පැවැත්වෙමින් තිබුණා. ඒ දිනවල ගුරු මණ්ඩලයට අලුත් අය කීප දෙනෙක් එකතුවුනා. ඒ සෑමදෙනාම ගුරු මෙනෙවියෝ. විශ්‍රාම යන්න ආසන්න වයසේ හිටි එක ගුරුවරයෙක් අර ලෝහ වැඩ ගුරුතුමාට කිව්වා, 'අනේ මන්දා, මේකේ ඉන්නෙත් වැඩිහරියක් ගෑණු. අළුතෙන් එන්නෙත් ගෑණු. හොඳ කොල්ලෙක් දෙන්නෙක් එන්නේ නැහැනේ' කියලා. එතකොට ලෝහ වැඩ ගුරුතුමා උත්තර දෙනවා, 'මම දන්නේ නැහැනේ තමුසේ ඒ ජාතියේ කියලා' 
  මේ කතාවනම් මගේ යාලුවෙක් ගැනයි. මේ කතාවේ ඉන්න පාත්‍ර වර්ගයා ඔක්කොම අද මම වගේම විශ්‍රාම සුවයෙන් ඉන්නවා. මගේ යාලුවෙක් ඉන්නවා ගාමිණී කියලා. අනේ ගාමිණී කිව්වට එයාව කවුද කියලා අල්ලගන්න බැහැ. ඒ නිසයි බය නැතුව නම කිව්වේ. ගාමිණී ටිකක් අමුතු චරිතයක්. එයාට තිබුනා අමුතු විදිහේ රෝගයක්. ඒ තමා චිත්‍රපටියක් හෝ නාට්‍යයක් බලන්න ගියාම (ඒ කාලේ රූපවාහිනිය තිබුනේ නැහැ) එහි ඉන්න නළුවකු හෝ නිළියක් වරින් වර විවිධ ඇඳුම් වලින් ආවොත්, ඒ එන්නෙත් එයාම තමයි කියලා හඳුනාගන්න බැරිවීම. උදාහරණයක් ලෙස, මේ දැන් තිබෙන ජවනිකාවේ ගාමිණී ෆොන්සේකා ඉන්නවා අමුඩයක් ගහගෙන කුඹුරක් කොටමින්. ඊළඟ ජවනිකාවේදී ගාමිණී ෆොන්සේකා කලිසම් කමිස ඇඳලා ආවොත් අර අපේ ගාමිණී, හෝල් එකේ පේළි දෙක තුනකට ඇහෙන්න තරම් හඬින් අහනවා අපි කාගෙන් හරි, 'ඒ කවුද' කියලා. මේකා තනියම චිත්‍රපටි බලන්න යන්නෙත් නැහැ. ඒ මදිවට අපෙත් නම්බුව කනවා. මොකද අර ප්‍රශ්නය අහපුගමන් ළඟ ඉන්න වෙනත් ප්‍රේක්ෂකයන්ට හිනා යනවා. වස ලැජ්ජාවයි. ඔන්න ඉතින් මේකාට කනට කරලා කියනවා, 'යකෝ ඒ ගාමිණී ෆොන්සේකාම තමයි කට වහගෙන බලාගෙන හිටු' කියලා. මොන විකාරද, තව ටිකකින් ගාමිණී ෆොන්සේකා සරමක් ඇඳගෙන ආවනම්, මේකා ආයෙත් මහා හඬින් අහනවා, ඒ කවුද කියලා. 
  (පසු කාලයකදී මෙයා යාළුවෙලා හිටිය ගෑණු ළමයා එක්ක මේ කතාවට අදාළ අවිස්සාවේල්ලේ ඉම්පීරියල් සිනමාහලට ගිහින් තියනවා චිත්‍රපටියක් බලන්න. එදා මිනිහාට අමතක වුණා ළඟ ඉන්නේ කවුද කියලා. අර විදිහටම මහා හඬින් ප්‍රශ්නේ ඇහුවලු. කෙල්ල නැගිටලා යන්න ගිහින්. ලස්සන වැඩේ කියන්නේ ගාමිණීමයි මට කිව්වේ හරි වැඩේනේ උනේ මචං කියලා)  
  මගේ යාළුවෙක් ඉන්නවා හපුආරච්චි කියලා. හපුආරච්චි 'වලිසිංහ' කෙනෙක්. එකවරක් හපුආරච්චි ඇතුළු අපි කොල්ලෝ හත් දෙනෙක් අවිස්සාවේල්ලේ ඉම්පීරියල් සිනමා ශාලාවේ ගැලරියේ ගෝරියකට පැටලිලා, මුළු ගැලරියටම ගහලා, පොලිස්කාරයන්ගේ කකුල් යටින් රිංගලා, දුවලා බේරිලා ගෙදර ආවා.  ඔන්න මේ කියන දවසේ හපුආරච්චි, ගාමිණී, විජේකෝන්, විතානගේ, සහ මම තමයි ගිහින් හිටියේ පිචර් බලන්න. ඔන්න ගාමිණී පළමුවැනි වරට ප්‍රශ්නය ඇහුවා. මම උත්තර දුන්නා. දෙවෙනි වර ඇහුවා. විජේකෝන් උත්තර දුන්නා. තුන්වෙනි වරට ඇහුවා. හපුආරච්චිගේ පුෂ්පය විකසිත වුණා. මොකද ඒ වෙලාවේ රසවත් ජවනිකාවක් දිග හැරෙමින් තිබුණේ. චිත්‍රපටිය 'කස්තුරි සුවඳ'.  'ඒ ඉන්නේ තොපේ අම්මා' කියලා මහා හඬින් හපුආරච්චි උත්තර දුන්නා. 'හරි හරි උඹලා ඉතින් සියල්ල දත් නේ, කියමින් ගාමිණීත් මහ හඬින් දොස් කියන්න පටන් ගත්තා. අනික් ප්‍රේක්ෂකයෝ කෑ ගහන්න පටන්ගත්තා, 'ඕයි ඕයි, මේ, දාගන්න ගෝරියක් එලියට ගිහින් දාගන්නවා' කියලා. අපිටත් අමතක වුනා හෝල් එකේ ඉන්නේ කියලා. මම 'කෑ ගහන්න එපා යකෝ' කියනකොටත් චිත්‍රපටිය නවතා ශාලාවේ ලයිට් දැම්මා. කළමනාකරු ඇවිත් කිව්වා වහාම එළියට යන ලෙස. එළියට ඇවිත් වාදය දිගටම කරමින් ටික දුරක් පාරදිගේ ඇවිදගෙන ආවා. වෙලාව රෑ 8 ට විතර ඇති. කියව කියවා පාරේ ඇවිදගෙන එමින් ටික වෙලාවකින් බලනකොට අපි කිලෝමීටර් 7 ක් දුර ගෙවමින්, අපි ඔක්කොගෙම ගෙවල් තිබුන දෙහිඕවිට දක්වාම පයින් ඇවිත්.
  ඒ කාලේම මොකක් හරි චිත්‍රපටියක් බැලුවා අපි කට්ටියම, මට ඒ චිත්‍රපටියේ නම හරියටම මතක නැහැ. 'සාරංගා' වගේ නමක්. හැබැයි දෙයියන්ගේ පිහිටෙන් එදා ගාමිණීගෙන් කිසිම කරදරයක් වුනේ නැහැ. දවස් දෙක තුනකට පස්සේ ගාමිණී මට කියනවා, 'මචං අර එදා බලපු ෆිල්ම් එකේ මේන් ඇක්ට්‍රස් වගේ කෙල්ලෙක් ඉන්නවා, උඹට නම් නියමෙට මැච් වෙනවා. තල්දූවේ ඉන්නේ' කියලා. මම ඇහුවා 'මොන ඇක්ට්‍රස්ද බං' කියලා. ඇයි බං අර 'නුරානි සිගේරා' හෑ ..................?????? මොකා? මට එහෙම නමක් තියන සිනමා නිළියක් මතක නැහැ. පොඩ්ඩක් කල්පනා කළා. හුටා.................මොකක්ද මේකා මේ කියලා තියෙන්නේ, 'ශිරානි නුගේරා' 
ටටා..........................
 my-signature-for-blog[1]2014 ජනවාරි මස 23 වැනි දින 1246 පැය

20 January 2014

මේ අඩවිය දැකලා තියනවද?

Screenshot (11)
  තරමක් වෙනස් ආකාරයේ තොරතුරු ඇතුළත් බ්ලොග් අඩවියක්, මා දැනට මාස කීපයකට පෙර සිට කියවනවා. මා හිතනවා තවමත් ඒ අඩවිය ප්‍රමාණවත් තරමින් පාඨක අවධානයට ලක්වී නැතැයි කියා. අපේ පැරණි අභිචාර විධි පිළිබඳව විශේෂ අධ්‍යයනයක යෙදෙන විශ්ව විද්‍යාල සිසුන්ට, ආචාර්ය උපාධියක් සඳහා නිබන්ධනයකට සුදුසු මාතෘකාවක් සොයන කෙනෙකුට, ලංකාවේ පැරණි දේව ඇදහිලි පිබඳ කරුණු සොයන කෙනෙකුට, සබරගමුවේ අප්‍රකට පුරාවෘත්ත ගැන කරුණු සොයන කෙනෙකුට, මේ අඩවියෙන් ගතහැකි ඵල ප්‍රයෝජන අපමණයි. මීට වඩා විස්තර මම කියන්නේ නැහැ. මෙතනින් ගොස් ඒ අඩවියට පිවිසෙන්න.
my-signature-for-blog[1] 2014 ජනවාරි මස 20 දින 0958 පැය

18 January 2014

රන බළලුව සොයාගතිමි (දෙවැනි කොටස)

Scan01172014_214504 - Copy   රන බළලුව නමැති අගනා ළමා නව කථාව හඳුන්වාදෙමින් මා ලියන ලද ලිපියේ පළමුවැනි කොටස ඔබේ අවධානය ග්‍රහණය කරගැනීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වෙනවා. ඇත්තටම අන්තර්ජාලයේ ලිපි කියවීමට වඩා තවමත් බොහෝ දෙනෙකු කැමති වෙන්නේ මුද්‍රිත ලිපි කියවීමට බව රහසක් නොවෙයි. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මා සඳහන් කළා, රනබළලුව කතාවේ, අපූරු දේශපාලන සහ සමාජ තොරතුරු විවරණයක්ද ගැබ්වී ඇති බව. අද මා ඔබට ඒ තොරතුරු ගෙන එන්නයි අදහස් කරන්නේ. එදා 1960 දශකයේදී ලියවුනු මේ කතාවේදී, කතුවරයා ඉතා සියුම්ව ඇතුළත් කර ඇති දේශපාලන ප්‍රහසනයන්, අදටත් වලංගු බව, මේ කතාව කියවද්දී පෙනීගිය අතර, එයින් මා තරමක් විශ්මයට පත්වුයේ, අපේ රටේ හැමදාමත් දේශපාලනය එකම රටාවේ පවතින්නක් නොවේද යන්න පසක් කිරීමෙනුයි.
  ඒ දේශපාලන ප්‍රහසනය පටන්ගන්නේ මෙහෙමයි. බරණැස් නුවර රජකම් කළ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට අවශ්‍ය වෙනවා, වේදේහ රජ්ජුරුවන්ට අයත් මියුලු නුවර යටත් කරගන්න. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දන්නවා වේදේහ රජ්ජුරුවෝ ගෑණු පෙරේතයෙක් බව. ඒ නිසා පොඩි උගුලක් අටවනවා. ඒ තමයි, බ්‍රහ්මදත්ත රජුගේ දියණිය වන, අතිශයින් රූමත්, පංචාලචණ්ඩි කුමාරිකාව, වේදේහ රජ්ජුරුවන්ට අගමෙහෙසිය ලෙස සරණපාවා දීමට යෝජනාවක් කරලා, පණිවිඩ පතක් සමග රාජ දූතයකු මියුලු නුවරට යැවීම. වේදේහ රජ්ජුරුවෝ නිකම් මොකක්ද මොකක්ද වෙලා යනවා, මේ යෝජනාව ගැන කොපමණ සතුටට පත්වුනාද කියනවනම්. හැබැයි එක දෙයක් තියනවා මනමාලයාගේ මිනිබිරියකගේ වයසේ තමයි මනමාලිය ඉන්නේ. කොහොමද වැඩේ? වේදේහ රජ්ජුරුවෝ වහාම තමන්ගේ කැබිනට් එක රැස් කරනවා, වහාම මංගල්‍යය සූදානම් කරන්න. (හිල්ටන් එකේද දන්නේ නෑ  :D) ඔන්න බලන්නකෝ අදාළ පිටු ටික. 
28
29
30
35
31
  ටිකක් හිතලා බලන්න. මෙහි යටිපෙළ අරුත එදාට වගේම අදටත් වලංගුයි නේද? අන්න ඒ නිසයි, මේ අගනා ග්‍රන්ථය, සර්වකාලීන වටිනාකමක්, වලංගුභාවයක්, ඇති ග්‍රන්ථ රත්නයක් ලෙස හඳුන්වන්නට, මා පසුබට නොවන්නේ. කතාවේ දෙවැනි භාගයේදී, පැරණි වැඩවසම් රදළ සමාජයට හොඳ  අතුල් පහරක් එල්ල කරන්නත්, මේ අති දක්ෂ කතුවරයා අමතක කර නැහැ. මෙන්න ඒ කොටසේ ආරම්භය.
  මහෞෂධ පඬිතුමා, විද්‍යාඥයන් ගේ ආධාරයෙන්, රන්වන් කෙඳි සහිත බළල්ලු ඔක්කොම, අඟහරු ලෝකෙට යවනවා. නැත්නම් වේදේහ රජ්ජුරුවෝ උන්ව අල්ලාගෙන මරලා, කෙඳි අරන්, පංචාලචණ්ඩි කුමාරිකාවට තෑගි දෙන්න සළුවක් වියයි කියලා. ඔන්න ඉති රන්වන් බළල්ලු අඟහරු ලෝකේ හොඳින් ඉන්නවා. 
33
34
36
37
Scan01172014_215145 - Copy
   ඔන්න ඉතින් මගුල් කපුවා යනවා සූර්ය දිවය රාජයා හොයාගෙන. ගිහින් නොයෙක් ආකාරයෙන් අර බැළලි ගැන වර්ණනා කරලා, පින්තූරෙකුත් පෙන්නලා, අන්තිමට යෝජනාව ඉදිරිපත් කරනවා. එතකොට සූර්ය දිවය රාජයා මොකද කිව්වේ කියලා බලන්න, පහළින් දක්වා ඇති පිටුවෙන්.
40
කපුවා යනවා වස්සවළාහකයා හොයාගෙන. ගිහින් යෝජනාව ඉදිරිපත් කරනවා. මොකද වෙන්නේ.............?
1
දැන් ඉතින් කපුවා යනවා වාතවලාහකයා හොයාගෙන. ගිහිල්ල ඉදිරිපත් කරනවා මංගල යෝජනාව.
Scan01172014_233512 - Copy - Copy
  දැන් ඉතින් පලයල්ලකෝ හුඹහක් හොයාගෙන. කපුවා වැඩේ අතාරින්නෙ නැහැ. යනවා හුඹහක් හොයාගෙන. ගිහිල්ල ඉදිරිපත් කරනවා මංගල යෝජනාව.
Scan01172014_233725 - Copy - Copy
කපුවා ලිස්සගෙන ගිහින් නවතිනවා ගොනා ළඟ. ගොන් මනමාලයා මොකක් කියයිද?
Scan01172014_233850 - Copy - Copy
  මොනවා කරන්නද කපුවා අමාරුවෙන් මහා කැලේට ගාටනවා කොටියා හොයාගෙන. කොටියට බොහොම ආදරෙන් මංගල යෝජනාව ඉදිරිපත් කරනවා.
Scan01172014_234208 - Copy - Copy
  මේ රදළ පවුලේ තිබුණු උද්ධච්ඡ කම එයින් වත් නතර වෙන්නේ නැහැ. 'තමන්ගේ තත්වයට ගැලපෙන විදිහට වැඩ කරනු' යනුවෙන් මේ කතාවෙන් දෙන ආදර්ශය ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් අඟහරු ලේකෙට යවනවා කාපුවැව රත්තරන් බළල් මනමාලයකු හොයන්න.
Scan01172014_234208 - Copy
Scan01172014_234343 - Copy
  පොත අවසන් වෙන්නේ, කතානායකයා හමුවීමට පැමිණි බලලා, අඟහරු ලෝකයේ ඉන්න බළලුන්ගේ රෝග සුවකිරීම සඳහා, ලංකාවෙන් සොයාගත් කුප්පමේනිය ටිකකුත් රැගෙන, ආපසු අඟහරු ලොව බලා යාමෙන්. 
img108 - Copy
img108
  මා හිතනවා ඔබට මේ අගනා කෘතිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි කියා. මා මුලින් හිතුවේ පොතේ සෑම පරිඡේදයක්ම කොටස් වශයෙන් පල කරන්නටයි. නමුත් පරිඡේද 13 ක් තිබෙන නිසා දීර්ඝ කාලයක් ගතවන බැවින් මෙලෙස හැකිතරම් සංක්ෂිප්ත කොට ඉදිරිපත් කළා. ඇත්තවශයෙන්ම මෙය සොයාගෙන කියවන්නට වටිනා පුස්තකයක්. රන බලලුව පිලිබඳව කොටස් දෙකකින් ලියන ලද ලිපිය මෙතෙකින් අවසන් වෙනවා. 
 my-signature-for-blog[1]2014 ජනවාරි මස 18 දින 0035 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }