හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 July 2013

අනේ…. මගේ පළවෙනි එක – Oh!….My First One


  img014පළවෙනි එක ගැන කියන මේ කතාව, බලාපොරොත්තු රහිත ලෙස, දෙවැනි වරටත් සංස්කරණය කරන්නට සිදුවුණා. මේ කතාව මුලින්ම බාගයක් විතර ලියලා තියෙද්දී, මගේ අතින්, වැරදීමකින්, පාලක පුවරුවේ (පාලක පුවරුව වෙලාවකට පෙනෙන්නේ ‘පාල කපුරුවැව’ වගේ :D)  ’ප්‍රකාශයට පත්කිරීම’ බොත්තම එබුනා. මොනවා කරන්නද බාගෙට ලියපු ලිපිය පටස් ගාලා පළවුනා. මමත් පටස් ගාලා ලිපිය ‘අබලි ද්‍රව්‍ය පෙට්ටියට’ යොමු කළත්, සමහර සින්ඩිකේටර වල, ඒ ලිපිය තවමත් පෙන්වනවා. නමුත් සබැඳියාව පමණයි. ලිපිය බලන්නට බැහැ. මේ සිදුවූ අතපසුවීම නිසා, ඔබට යම් අපහසුතාවක් වුනානම්, සමාව අයදිනවා. ‘අටං උන්නැහේඒ ටිකටත් රිංගලා ඔලුව දාලා අහනවා ‘කෝ මගේ පළවෙනි එක’ කියලා. අම්මපා මේකා කන්නේ (මම කියන්නේ නෑ අනිත් එක) බුදියන්නේ ඔක්කොම කරන්නේ කොම්පියුටරේ උඩ ඉඳගෙනද කොහෙද. පළවෙනි එක කිව්වම, ජීවිතයේ පළවෙනි එක වශයෙන් සඳහන් කළහැකි, කීයක් නම් දේවල් මතකයට එනවද? පළවෙනි වරට කළ දේවල්, සිදුවූ දේවල්, වශයෙන් අපට කොච්චර අත්දැකීම් තියනවද. ඒ ඔක්කොම මෙතන ලියන්න ගියොත්, මහා දිග ලැයිස්තුවක් වෙනවා. නමුත් මේ ලිපියෙන් ලියන පළවෙනි එකට, බ්ලොග් ලියන - නොලියන, කියවන - නොකියවන, නමුත් තමන්ටම අයත් පරිගණකයක් පාවිච්චි කරණ අය, සැමදෙනා සම්බන්ධයි.  මම අද කතාකරන්න යන්නේ, මගේම කියා අයිති කරගත්, පළමුවැනි පරිගණකය ගැන සහ ඒ අත්දැකීමම ඔබ ලබපු ආකාරය ගැන ඔබේ අදහස් විමසීමකුත් කරන්නයි. මේ ලිපිය ලියන්නට නිමිත්ත පහළ වුණේ, අද මම මගේ පැරණි ඡායාරූප ඇල්බම් එකක් පරීක්ෂා කරමි සිටියදී, මේ ඉහත දක්වා තියන ඡායාරූපය නෙත ගැටීමයි. ‘අනේ මගේ පළවෙනි කොම්පියුටර් එක’ මට හිත යටින් කියවුනා. ඒ නිසා ඔන්න ලිපියක් ලියවෙනවා.  
  මේ සමග ඉහත ඇති පින්තුරයේ තිබෙන්නේ, මම, මගේම කියා පළමුවැනි වරට අයිති කරගත්, (මිළදී ගත්) පරිගණකයයි. ඒ 1998 වර්ෂයේදී. (පින්තුරයේ දිනය තිබෙනවා 1998/07/23 එය පරිගණකය මිළදී ගත් දිනය නොවේ) මේ පින්තුරයේ ඉන්න ‘පරිගණක වැඩකාරිය’ මගේ චූටි දුව.  (හොදට බලන්න, කකා හිටිය රඹුටන් ගෙඩියක ලෙල්ලත් තියනවා මේසය මත) අදනම් ඇය සෑහෙන්න පරිගණක වැඩ කාරියක්. ඇයත් අද පාවිච්චි කරන්නේ ඇගේ දෙවැනි ලැප්ටොප් පරිගණකය. මේ පරිගණකයේ විස්තර මෙන්න මෙහෙමයි. මෙය නියම original  IBM අයි.බී.එම් පරිගණකයක්.
6282-830

එතැනින්ම බලන්න පුලුවන් සියළු තාක්ෂණික විස්තර
  මෙය මිලදී ගන්නාවිට CD ROM එකක් තිබුනේ නැහැ. එය වෙනමම මිළදීගෙන සවි කරගත යුතුයි. ඔබ විශ්වාස කරයිද මන්දා, කොළඹින්ම තමා ඒ කාලේ මේවා කරගන්න ඕනේ. මේ පරිගණකයේ RAM එක තිබුනේ 32 MB පමණයි. CD ROM එකක් සවි කරගෙන VCD එකක් දාලා බැලුවම පින්තුර කැඩි කැඩී පෙනෙන්න පටන්ගත්තා. කාර්මික උත්තමයා කිව්වා RAM එක 64 MB කළයුතුයි කියා.  මට ඒ කාලේ මේවා ග්‍රීක් වගේ. CD ROM එකටයි, අමතර 32 MB RAM එකටයි, (ඒ RAM එක අපි අද දකින ආකාරයේ හැඩයක් නෙවෙයි තිබුණේ හරියට IC එකක් වගේ) Desktop Speakers දෙකටයි, මගෙන් ගෙඩි රුපියල්ම 11000 කට ආසන්න මුදලක් ගත්තා.  :D :D ඒ රිසිට් එක මේ මෑතක් වනතුරු තිබුණා. මේ ලිපිය ලියද්දී හෙව්වත් හම්බ වුනේ නැහැ. Printer එක සහ UPS එකත් සහිතව මට රු 50000/- කට ආසන්න මුදලක් වැයවුණා. (Printer එක තවදුරටත් අලුත්වැඩියා කිරීම නිෂ්ඵල වනතුරුම පාවිච්චි කර අද පරණ බඩු පෙට්ටියක සුවෙන් ඉන්නවා) :D  ණයට සල්ලි අරගෙනයි මම මේ පරිගණකය ගත්තේ. දෘඪ තැටිය 3.5 GB, ෂෝක් නේද? පරිගණකය සඳහා මා ලබාගත් CD ROM එක Creative වර්ගයේ එකක්. එහි ඒ කාලේ අපට ලොකු මැජික් එකක් තිබුනා. පරිගණකය ක්‍රියාත්මක කලපසු සිත්ගන්නා සුළු කාන්තා කටහඬකින් මෙහෙම කියනවා. “Wecome, Thank you for using Creative Infra Red Multimedia CD ROM” ඒ වගේම CD ROM එකට දුරස්ථ පාලකයක් තිබුණා. CD ROM එකේ Tray එක විවෘත වනවිට, “Tray Open” කියලා අර සුමුදු කටහඬින් කියනවා. Tray එක වැසුනාම “Tray Close” කියා, ඊළඟට කියනවා, “Media is Audio CD/Video CD/Data CD” වශයෙන් අදාළ එක කියනවා. ඒ කාලේ DVD තිබුනේ නැහැ. ඒ වගේම ගීත ඇතුළත් CD එකක් නම් “Track One” යනුවෙන් පටන්ගෙන සෑම ගීතයක්ම ආරම්භ කිරීමට ප්‍රථම එහි ට්‍රැක් අංකය කියන අතර, ගීත හෝ වෙනත් අංග එකකට වැඩි VCD එකක්නම් ”File One, Two, Three” ආදී වශයෙන් කියනවා.
  මේ පරිගණකය සමග Microsoft සමාගමෙන් නිකුත්කළ නියම Windows 95 Software CD එක සහ ඒ ගැන ලැබෙන සහතිකය,  (එය හරියට මුදල් නෝට්ටුවක්, එහෙමත් නැත්නම් බැංකු ස්ථාවර තැන්පතු සහතිකයක් වගේ ගරු ගාම්භීර විදිහට එම්බෝස්ඩ් අකුරු වලින් මුද්‍රණය කර තිබුනේ), ඊට අමතරව Windows 95 ගැන ලියවුන පොතක්, පරිගණකය ගැලවීම, සවිකිරීම, නඩත්තු කිරීම ගැන උපදෙස් පොතක් ලැබුණා. එමෙන්ම මේ පරිගණකය සමග මව් පුවරුවට අදාළ CD එකත්, නඩත්තු කිරීම ගැන තව CD එකකුත්, Norton Antivirus CD එකකුත් ලැබුණා. පසු කාලයේදී මම මේ පරිගණකයට Windows 98, ME, යන OS යොදා සාර්ථකව පාවිච්චි කළා. මට මතක හැටියට 2002 දී පමණ, පරිගණක විකුණන කඩයකට දී, මදි පාඩුවට මුදල් ගෙවා මම, P IV පරිගණකයක් ගත්තා. මේ IBM පරිගණකය හරිම බරයි. මේසයෙන් සෑහෙන ඉඩකඩක් ගන්නවා, ‘Tower Casing’ වර්ගයේ නොවන නිසා. මෙහි යතුරු පුවරුව මේ මෑතක් වනතුරු මා සතුව තිබුණ අතර, තම පරිගණකයේ යතුරු පුවරුව ක්‍රියා විරහිතවූ බව සඳහන් කළ මගේ මිතුරකුට මා එය පරිත්‍යාග කළා.  පසුකාලීනව මම පරිගණක දෘඪාංග කාර්මික ශිල්පය ගැන දැඩි උනන්දුවකින් කටයුතු කළා. හැකි සෑම ආකාරයකින්ම ඉගෙනගත්තා. ඒ දැණුමේ අග්‍ර ඵලයක් ලෙස, අද මා පාවිච්චි කරන්නේ මගේම අතින් එකළස් වූ පරිගණකයක්. 
  මෙන්න එහි විස්තර සැකෙවින්
  • Motherboard :  Intel DG31PR  
  • Socket : LGA775
  • Processor : Pentium (R) Dual Core E 5300 2.6 GHz
  • RAM : 4 GB  DDR 2
  • VGA (external) : Radeon ATI 1 GB DDR 2
  • HDD :Toshiba 5700 500 GB SATA
  • Multimedia : Samsung DVD Writer SATA (Light Scribe ready)
  • Sound : Mercury SW 1980 R (500 W rated) 5.1 sounds with FM Radio
  • Monitor : LG LCD 24″
  ඉහත සියල්ලම එකවරම ගත්ත දේවල් නෙවෙයි. 2007 පමණ සිට 2010 පමණ වනතුරු වරින් වර වැඩි දියුණු කරමින් තමයි ඔය තත්වයට ගත්තේ. මේ පරිගණකයට අධික විදුලියක් වැය වෙනවා. ඒ නිසා හොඳ ලැප්ටොප් පරිගණකයක් ගන්නට ආසාව තිබුණත්, මූල්‍යමය ශක්තිය මා හට බාධාවක්ව පවතිනවා. (පැන්සොන් කාරයානේ) :D දැනට කෙළ හලමින් ඉන්න HP වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් තියනවා. එය රු 62000/- ක් වෙනවා. ලෝකය පුරා ඉන්න මගේ පාඨකයන් එක්කෙනෙකුගෙන් රුපියල බැගින් ඉල්ලාගත්තොත් බැරිවෙන එකක් නැහැ. :D :D  (මතක තබාගන්න යන්තම් අවුරුදු 55 පිරිලා විශ්‍රාම ගිය, ඉතා ඉහළ විශ්‍රාම වැටුපක් ලබන, රජයේ සේවකයකුටවත්, කිසිදු ආයතනයකින් ගෙවීමේ ක්‍රමයට කිසිම භාණ්ඩයක් දෙන්නේ නැහැ) ඔන්න පහත පින්තූරයේ වැඩ ඉන්නේ මගේ වර්තමාන පරිගණක යන්ත්‍ර රාජයා.
DSC02631
  ඔන්න දැන් ඉතිං ඔබේ වාරය. කියන්න මට කොහොමද ඔබේ පළවෙනි එක. පරිගණකය, පරිගණකය, මම කියන්නේ ඔබේ පළමුවැනි පරිගණකය ගැන කියන්න කියලා. ආය මේ මංගල්ලයක් කතා කරනවා. මම කිව්වයැ එව්වා කියන්න කියලා. :D:D
My Signature for Blog2013 ජූලි මස 27 වැනි දින 0116 පැය

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }