හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 January 2013

අර ඉන්නේ …අර,….කෝ…? ඇයි යකෝ අර ඉන්නේ අතන – දෙවැනි කොටස – Judging Distance and Target Indication – Part Two


a-polish-soldier-allied-with-u-s-army-europes-173rd-airborne-brigade-combat-tea  පසුගිය දිනවල මා අසනීපව සිටි බැවින් නියමිත කාලය තුළ මේ ලිපිය ප්‍රකාශයට පත්කරන්නට නොහැකි වුනා. ඒ ගැන කණගාටු වන අතර මට සුවය පතමින්, ඉතා ඉවසීමෙන් මේ ලිපිය බලාපොරොත්තුවෙන් සිටි ඔබ සැමට මෙය සාදරයෙන් පිළිගන්වනවා.
පින්තුරය ගත්තේ මෙතනින්
 ’අර ඉන්නේ අර’ ලිපියේ  පළමුවැනි කොටසෙන් ඔබට මූලික අවබෝධයක් ලැබෙන්නට ඇති, භූමියේ පිහිටි වස්තුවක් තවත් කෙනෙකුට පෙන්වාදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එහිදී මා ඔබට එවැනි වස්තුවක්,  ඉලක්කයක් ලෙස ප්‍රකාශ කරන හැටිත් පැහැදිළි කර දුන්නා. නමුත් ඔබෙන් බහුතරය, හමුදා සාමාජිකයන් නොවන බැවින්, ඔබට කිසිවිටකත් එවැනි ඉලක්කයකට වෙඩි තියන්න ඉඩ නොලැබෙන නිසා, වෙඩි තැබීමේ පැත්ත අමතක කර, කිසියම් වස්තුවක් පෙන්වීමේ තවත් ක්‍රම ගැන, තවදුරටත් අද සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් මෙවැනි ලිපි වලදී මා හැකිතරම් උත්සාහ කරන්නේ පාරිභාෂික වචන අඩුකොට, එදිනෙදා ව්‍යවහාර භාෂාවේ එන වචන හැකිතරම් දීමටයි. මා සිතන්නේ එවිට මේ ලිපිවලට පදනම් වන හමුදා ප්‍රකාශන වල තිබෙන, ‘දැඩි හමුදා ගතිය’ තරමක් හෝ අඩුවී, සාමාන්‍යකරණය වනු ඇතැයි කියායි.
 භූමියේ ඇති ඉලක්ක පෙන්වීමේ තවත් ක්‍රම කීපයක් තිබෙනවා. මේවායින් සමහරක් ප්‍රධාන ක්‍රම සමග සම්බන්ධකර භාවිත කෙරෙන අධාරක ක්‍රම ලෙසයි යොදාගන්නේ. නමුත් ඔබෙන් සමහර අය පළමුවරට මේ තොරතුරු කියවන නිසා ඒ සියල්ල වෙන වෙනම දැක්වීමට මා අදහස් කරනවා. මීළඟ ක්‍රමය ඉතා සරලයි. හැබැයි භාවිතයේදී ඉතා කල්පනාවෙන් කල යුතුයි. මතකතබාගන්න, යුද්ධයේදී වැරදීමක් වෙනවා කියන්නේ, මහා විනාශයකට මුලපිරීමක් විය හැකියි. මේ සරල ක්‍රමය හඳුන්වන්නේ වරහන් ක්‍රමය (Bracketing Method) යනුවෙන්. 
space 2
වරහන් ක්‍රමය –  Bracketing Method  
17-10
පින්තුරයේ මුල් පිටපත ගත්තේ මෙතනින්

මේ පින්තුරයේ ඉන්න සොල්දාදුවාට, අර ඈත පෙනෙන ගස් යට ඉන්න සතුරකු, ඉලක්ක කරගන්න සිදුවෙනවා යයි සිතන්න. දැන් ඔහුට ඒ ඉලක්කයට ඇති දුර නිශ්චය කිරීමට ඇති එක ක්‍රමයක් තමයි වරහන් ක්‍රමය. ඔහු කලයුත්තේ මෙයයි. තමන් සිටින ස්ථානයේ සිට ඉලක්කයට ඇති උපරිම දුර මීටර්/යාර මෙපමණකැයි ඔහු මුලින්ම හොඳින් සොයාබලා තීරණය කලයුතුයි. ඊළඟට එලෙසම එම ඉලක්කයට ඇති අවම දුර මෙතෙකැයි තීරණය කලයුතුයි. දැන් ඒ උපරිම දුර සහ අවම දුර යන දෙක එකට එකතු කර දෙකෙන් බෙදීමෙන් ඉලක්කයට ඇති දුර මෙතෙකැයි යන සාධාරණ නිශ්චය කිරීමක් ලැබෙනවා. උදාහරණය:-  උපරිම දුර මීටර් 400 යි. අවම දුර මීටර් 300 යි. එකතුව මීටර් 700 යි. දෙකෙන් බෙදුවිට මීටර් 350 යි. ඒ අනුව ඉලක්කයට ඇති දුර මීටර් 350 සේ සලකා තම තුවක්කුවේ කුරුමානම සැකසිය යුතුයි. ඊළඟ ක්‍රමය හඳුන්වන්නේ භාග ක්‍රමය යනුවෙන් (halving method)
space 2
භාග ක්‍රමය – (Halving Method)
භාග ක්‍රමය වරහන් ක්‍රමයේ ප්‍රතිවිරුද්ධ පැත්ත වගේ පෙනෙනවා. මෙයත් ඉතා සරල ක්‍රමයක්. මෙහිදී කරන්නේ තමන් සිටින ස්ථානය සහ ඉලක්කය අතර හරි මැද පිහිටි කිසියම් වස්තුවක් වෙත මුලින්ම දුර නිශ්චය කිරීමයි. ඉන්පසු එය දෙකෙන් වැඩි කිරීමන් ඉලක්කයට ඇති දුර මෙතෙකැයි නිගමනය කරනවා.
bberryaug12 419පින්තුරයේ මුල් පිටපත ගත්තේ මෙතනින්
  මේ රූපය අදාළ කාරණය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කරන්නක් මිස, නිශ්චිත පරිමාණයකට අනුව සකස් කර නැති පින්තුරයක් බව විශේෂයෙන් සඳහන් කරනවා.
space 2
යතුරු ක්‍රමය – Key Ranging Method
  කිසියම් නිශ්චිත දුරක් මූලික මිනුමක් හෙවත් යතුරක් ලෙස යොදාගෙන දුර මැනීමේ ක්‍රමයක් ද තිබෙනවා. එය හඳුන්වන්නේ ‘යතුරු ක්‍රමය – Key Ranging Method’ යනුවෙන්. උදාහරණයක් වශයෙන්, අපි දන්නවා, පාපන්දු පිටියක් මීටර් 100 ක් පමණ දිග සහ මීටර් 50 ක් පමණ පළල බව. ඉතින් අප ඉදිරිපිට පාපන්දු පිටියක් තිබේ යයි සිතන්න. අපට දුර නිෂ්චය කිරීමට අවශ්‍ය වස්තුව, එම පිටියට පසු පසින්, තරමක් දුරින්, පිහිටා තිබෙනවා යයි සිතන්න. දැන් අපිට පුළුවන් අපි සිටින තැනත් ඒ වස්තුවත් අතර මැද ප්‍රදේශය පාපන්දු පිටිය මෙන් කොපමණ ගුණයක් ආවරණය කරනවාදැයි ගණනය කරන්න, අර පාපන්දු පිටියේ දිග හෝ පළල යතුරක් ලෙස යොදාගනිමින්. නමුත් එක කරුණක් මෙහිදී පැහැදිලිව මතක තබාගන්න මේ ක්‍රමය මීටර් 400 කට වඩා දුර ඉලක්ක නිශ්චය කිරීමට ගැලපෙන්නේ නැහැ. වෙනත් වචන වලින් කියනවානම්, මීටර් 400 කට වඩා ඔබ්බෙන් තිබෙන ඉලක්ක මේ ක්‍රමයෙන් නිවැරදිව නිශ්චය කරන්නට බැහැ.  
2012-09-30_08-10-48_4652
පින්තුරයේ මුල් පිටපත ගත්තේ මෙතනින්. මෙම පින්තුරය පරිමාණයකට අනුව සකස්කර නැති බව සලකන්න.
space 2
ඔරලෝසු ක්‍රමය – Clockray Method
  පසුගිය ලිපිය කියවූ සමහර අය මේ ක්‍රමය ගැන මතක් කර තිබුනා. තවත් සමහරු එය ඉගෙනගන්නට උනන්දුව දක්වා තිබුනා. හොඳයි එහෙනම් මෙන්න ඉලක්ක පෙන්වීම සඳහා වඩාත් ජනප්‍රිය ඒ ඔරලෝසු ක්‍රමය. මෙහිදී ඉලක්කය පෙන්වීම සඳහා උපයෝගී කරගන්නේ මනඃකල්පිත ඔරලෝසු මුහුණතක්, අප ඉදිරිපිට පරිසරයේ හොඳින් කැපීපෙනෙන ස්ථානයක රැඳවිමෙන්. මෙය වර්තමානයේ බහුලව යොදාගන්නා සංඛ්‍යාංක (Digital) ඔරලෝසුවක් නොව පැරණි ප්‍රතිසම (Analog) (හරිද වචනය?) ඔරලෝසුවක්. එමෙන්ම ඒ ඔරලෝසුවේ වෙලාව දක්වන ඉලක්කම් තිබුනත් ‘කටු’ (hands) පිහිටා නැහැ. කටු සවිවන, ඔරලෝසු මුහුණතේ හරි මැද, ලක්ෂ්‍යයක් ලෙස, අපිට අවශ්‍ය කැපී පෙනෙන ස්ථානය මත පිහිටවනවා.
village
  මේ රුපය ඇසුරෙන් මම ඉතිරි කරුණු ඔබට පැහැදිලි කරන්නම්. මේ ක්‍රිකට් පිටියට පසුපසින් විශාල නිවසක් තිබෙනවා. මෙම නිවසේ දුම් කවුළු කීපයක් තිබෙනවා. හොඳින් පරීක්ෂාකර බැලුවොත් ඔරලෝසුවේ 9 ඉලක්කමට පසුපසින්, ඔරලෝසුවේ හරි මැද, ඔරලෝසුවේ 3 ඉලක්කම අසල, 3 ඉලක්කමට ටිකක් ආසන්නව, 3 ඉලක්කමට ටිකක් ආසන්නව තරමක් පහලින්, සහ 3 ඉලක්කමට තරමක් ඈතින් දුම් කවුළු පිහිටා තිබෙනවා. නමුත් මේ සියලු දුම් කවුළු අතරින් වඩාත් කැපී පෙනෙන්නේ සුදුපාට විශාල දුම් කවුළුවයි. ඒ නිසා මම මට අවශ්‍ය ඉලක්කය පෙන්වීමට ඔරලෝසුව පිහිටුවන්නේ ඒ සුදුපාට විශාල දුම් කවුලුවෙයි. දැන් සිතන්න, 3 ඉලක්කමට නැගෙනහිර පැත්තෙන් ඇති, දුඹුරු පැහැති, විශාල දුම් කවුළුවෙහි සැඟවී සිටින සතුරකු, මට නිරීක්ෂණය වුනා කියා. මම ඒ බව ඔරලෝසු ක්‍රමය අනුව ඔබට කියන්නේ මෙහෙමයි. “ඉදිරියේ ඇති විශාල ගොඩනැගිල්ල”, “සුදුපාට ලොකු දුම් කවුළුව”, “3 වෙලාව”, “දුඹුරු පාට ලොකු දුම් කවුළුවේ සතුරා”. (මම ඊතලයක් ඇඳ තිබෙන්නේ 3 වෙලාව යන්න ඔබට පැහැදිලි කිරීම සඳහායි)  ඊළඟට තිබෙන්නේ ඔබ කලයුතු අභ්‍යාසයක්. මොහොතකට සිතන්න මේ ක්‍රීඩා පිටිය හිස්ව තිබෙන්නේ කියා. ඉදිරි භූමියේ ඇති කාර් දෙකෙන් එකක් අසල බිම සතුරන් දෙදෙනෙක් ඉන්නවා. (කී දෙනෙක් හිටියත් කියන්නේ ‘සතුරා’ කියලයි) හොඳයි දැන් ඔබ මට පෙන්වාදෙන්න ඒ සතුරන් දෙදෙනා සිටින තැන ඔරලෝසු ක්‍රමය අනුව.  ඉහත මා දක්වා ඇති ආකාරයට විස්තර කල යුතුයි. (ක්‍රීඩා පිටිය හිස්ව තිබෙන බව සිතන්න කිව්වේ එහි ක්‍රීඩා කරන අතරේ ඒ හරහා යන ලෙස වෙඩි තියන්න බැරි නිසා) 
  ඉලක්කය පෙන්වූවාට පසු එයට ඇති දුර නිශ්චය කර වෙඩි තැබීමේ අණ නිකුත්වන තුරු සිටිය යුතුයි. ප්‍රහාරක කණ්ඩායමේ නායකයා තමයි කියන්නේ වෙඩි තබන ආකාරය. (තනි උන්ඩද, පොකුරු වෙඩිද ආදී වශයෙන්)
  අප අවට පරිසරයේදී පුද්ගලයකු කිසියම් නිශ්චිත දුරකදී අපට පෙනෙන්නේ කෙසේද යන්න දැන සිටීමත් වැදගත්. එවිට ඔබට සිතාගන්න පුළුවන් ඒ පුද්ගලයා ආසන්න වශයෙන් ඔබට කොපමණ දුරකින් ඉන්නවාද කියා. පහත දැක්වෙන සටහන බැලීමෙන් ඔබට එය පැහැදිලි වෙනවා ඇති.
100
කිසියම් පුද්ගලයකු ඔබට මීටර් 100 ක් පමණ දුරුන් සිටින විට ඔහු හොඳින් හඳුනාගත හැකියි. මුහුණේ ඇති ලක්ෂණ, සමේ වර්ණය, අතේ තිබෙන දේවල් ආදිය පැහැදිලිව පෙනෙයි.
200
මීටර් 200 දී පුද්ගලයාගේ මුහුණේ වර්ණය පෙනේ. එහෙත් පැහැදිලිව හඳුනාගැනීමට නොහැකිය. අතේ තිබෙන්නේ මොනවාද කියා එක්වරම කීම අපහසුය.
pia-flight-swat-670-afpපින්තුරය ගත්තේ මෙතනින්
මීටර් 300 දී, එය මිනිස් රූපයක් බව, හැඩය අනුව ප්‍රකාශ කළ හැකිය. වැඩි විස්තර දැක ගැනීමට අපහසුය. මෙවැනි ලිපි වලින් ඔබේ දැනුමට යමක් එක්වන්නේනම් එය මට මහත් සතුටක්.
මීළඟට මා සිතා සිටිනවා ‘යුද්ධයේදී ඔලුව පාවිච්චි කිරීම’ ගැන ලිපියක් ලියන්න. එය තරමක් ගැඹුරු කරුණු වලින් යුක්තයි. නමුත් වර්තමානයට අතිශයින් ගැලපෙන ලිපියක්. බලාපොරොත්තුවෙන් සිටින්න.
My Signature for Blog2013 ජනවාරි මස 25 වැනි දින 2246 පැය

17 January 2013

ඩෙංගු මාරයාගෙන් ගැලවුනෙමි


dengue_mosquito-health-careපසුගිය ජනවාරි පළමුවැනිදා මමත් මගේ බිරිඳත් කුරුණෑගල මහජන පොළ වෙත ගියේ ගිනි ගණන් වුනත් එළවලු වර්ග දෙක තුනක්වත් මිලදී ගන්නටය. පොලේ ඇවිදිද්දී අපි දෙදෙනාගේම මදුරුවන් දෂ්ඨ කළා මට හොඳටම මතකය. එයට හේතුව ඒ මහා දවාලේ මදුරුවන් දෂ්ඨ කිරීම නිසයි. කුරුණෑගල මහජන පොළ ආශ්‍රිතව ඇත්තේ කුණුවූ එළවළු ගොඩවල් බහුල, අත්හැර දමන ලද වෙල්යායකි. එහි සෑම විටම ජලය රැඳී පවතී. මදුරු ජනපද ලක්ෂ ගණනක් එහි පහසුවෙන් ජීවත්වනු නොඅනුමානය.
පින්තුරය ගත්තේ මෙතනින්
අපේ නිවාසය අවට භූමියද සම්පූර්ණයෙන්ම මදුරුවන්ගෙන් තොර ප්‍රදේශයක් නොවන බව අවංකව කිවයුතුය.  එක මදුරුවකු හෝ බෝවන්නට එහි ඉඩකඩ නැතුවා නොවේ. මේ නිසා ඩෙංගු මදුරුවකු මටත් බිරිඳටත් දෂ්ඨ කලේ හරියටම පොලේදීද නැතහොත් ගෙවත්තේදීද යන්න ස්ථිරවම කිව නොහැකිය. ජනවාරි 3 වැනිදා අපි දෙදෙනාටම  උණ, ඇඟපත වේදනාව, හිසරදය, ආහාර අරුචිය ඇතිවිය. වහාම කුරුණෑගල රෝහලට ගොස් ලේ පරීක්‍ෂාවක්ද කර බෙහෙත් ගතිමු. ඩෙංගු ගැන සැකයක් අප දෙදෙනාගේම රුධිර පරීක්ෂණ වාර්තාවේ නොතිබුණි.
ජනවාරි 5 වැනිදා පහන් වනවිට මගේ බිරිඳ අසාධ්‍ය තත්වයට පත්වුයෙන්, රෝහලට ඇතුළු කලෙමි. දවල් වනවිට බාහිරින් රුධිර පරීක්‍ෂාවක් කරගෙන එන ලෙස රෝහලෙන් ලද උපදෙස් අනුව කරන ලද පරීක්ෂාවෙන් ඩෙංගු බව සනාථ විය. එදින බිරිඳ රෝහලේ නවත්වා ආපසු නිවස වෙත කාරය පදවද්දී මට පැහැදිලිව වැටහුනේ මගේ ශරීර ශක්තිය පිරිහෙන බවත්, වරින්වර ඇස් නිලංකාර වන්නාක් මෙන් දැනෙන බවත්ය. ඉතා කල්පනාවෙන් කෙසේ හෝ නිවසටම වාහනය දක්කාගෙන එන්නට හැකිවිය. වහාම මිතුරෙකුට එන්නට කියා ඔහුගේ රථයෙන් ගොස් රෝහලේ නැවතුනෙමි. මටත් ඩෙංගු වැළඳී ඇති බව සනාථ විය.
ey4යුද්ධය පටන්ගත්තේ එතැන්සිටය. අප දෙදෙනාගේම ළඟ ආවතේව කරුවකු සිටිය යුතු බව රෝහලෙන් දන්වන ලදී. ලොකු දුව ඈ සේවය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්
පින්තුරය ගත්තේ මෙතනින්
අවසරයක් ගෙන මගේ බිරිඳ ළඟ නැවතුනත්, යටත්පිරිසෙයින් දින දෙකකටවත් වරක් සේවා ස්ථානයට යායුතු විය. ඒ වෙනුවට මගේ බිරිඳ අසල රැය පහන් කරන්නට ආවේ අවසන් වසර ෛවද්ය ශිෂ්‍යාවක වශයෙන් අතිශයින් කාර්ය බහුල තත්වයක සිටින මගේ බාල දියණියයි. ඇය දවසේ වැඩ නිමකර, සවස කොළඹින් පිටත්වී, රෑ වනවිට කුරුණෑගල රෝහල වෙත එයි. රාත්‍රිය ඇගේ මව අසළ ගතකර, පාන්දර 5 බසයෙන් යලි කොළඹ ගොස් ඉගෙනීමේ කටයුතු (සමහරවිට සායන කටයුතු) වල යෙදෙයි. 
  මට ආවතේව කරන ලද්දේ වෙනත් රෝගීන් අසල සිටි සත්ගුණවත් පුද්ගලයන් විසිනි. කුරුණෑගල මහ රෝහලේ අංක 2 වාට්ටුව සියලු නවීන පහසුකම් වලින් සමන්විත පුංචි දිව්‍යලෝකයකි. එහි කාර්ය මණ්ඩලය දෙවිවරුන් හා දිව්‍යාංගනාවන් ගෙන් සමන්විතය. රෝගීන්ට සැළකීම අන්තිම ඉහලය.
  වස බිවු රෝගියකු මහ රෑ රෝහල වෙත ගෙන එන ලදී. ඔහු අමු කුණුහරපෙන් හෙදියන්ට සංසර්ගාරාධනා කරයි. වෛද්‍ය වරුන් මරණ බවට තර්ජනය කරයි. එහෙත් කාර්ය මණ්ඩලයේ කිසිවකුගේ මුහුණේ ඉරියව්වක්වත් වෙනස් නොවෙයි. දින දෙකක ප්‍රතිකාර වලින් අර ගොබිලා සුවවිය. ඉන්පසු ඔහු වාට්ටුවේ සිටියේ වාලධිය පශ්චාද්භාගයේ ගසාගත් සුනඛයකු මෙනි. මගේ බිරිඳට සෙවන වූ අංක 7 වාට්ටුවනම් අපායකි. කාර්ය මන්ඩලයනම් ඉතා ඉහල සේවයක් ලබාදෙයි. හැබැයි අපි දෙදෙනාටම වැටී සිටින්නට ඇඳන් ලැබුනේ දැන හැඳුණුම්කම් නිසාය.
  අපේ අසල්වැසි සියලුදෙනා අපේ පවුලම පෝෂණය කරන්නට තරම් මහාත්මා ගුණයෙන් යුක්තවිය. අප දෙදෙනාටම නොයෙක් පෝෂ්‍යදායක අහාරපාන තුන්වේලටම සපයමින්, දියණියන් දෙදෙනාටද ආහාරපාන ලබාදෙමින්, ඔවුහු කාලවේලාව බෙදාගෙන උදේ දවල් රෑ රෝහල වෙත පැමිණියහ. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්‌ දිනක් රෑ බෝවී මා බලන්නට වැඩම කර, ආපසු වැඩියේ, මා දෙනෙතට කඳුළු නංවමින්, උන්වහන්සේගේම වියදමින් රැගෙන ආ ආප්ප, උන්වහන්සේගේම අතින් මට කවා, තේ ද පෙවීමෙන් අනතුරුවය.  දින 5 ක්‌ රෝහලේ ගත කිරීමෙන් අනතුරුව කරන ලද රුධිර පරීක්ෂණ දෙකකදී රුධිරයේ අයහපත් තත්වය නොකඩවා යහපත් අතට හැරෙන බව සනාථ වුයෙන් අප දෙදෙනාට රෝහලෙන් පිටවීමට හැකිවිය. නමුත් ඇඳෙන් නොබැස සිටින ලෙස දැඩි වෛද්‍ය අවවාද ලැබුණි. එහෙත් නිවසේදී වුවද අප දෙදෙනාවම එකවර බලාගැනීම අපහසු කාර්යයක් බැවින්, මා ටික දිනක් මගේ සහෝදරියකගේ නිවසේ නැවතීමටත්, බිරිඳ සහ ලොකුදුව නිවසේ නතරවීමටත් තීරණය විය. මා ආපසු නිවස වෙත පැමිණියේ ඊයේ (16) දිනදීය.
  තවමත් අපේ කුදු මහත් ප්‍රවාහන කටයුතු, (දින කීපයකට වරක් කලයුතු රුධිර පරීක්ෂාව සඳහා යාම වැනි දැන්නම් අපි දෙන්නාගේම platelets count එක 250000 මට්ටමේ ඇත) පමණක් නොව කෑමබීම පවා සැපයෙන්නේ අසල්වැසියන්ගෙනි. ප්‍රතික්ෂේප කළහොත් තරහවෙන තරමට ඔවුහු අප වෙත බැඳී සිටිති. කවදා කෙසේ මේ ණය ගෙවන්නද? “පතිරූප දේස වාසෝච” යන්න මනාව වැටහෙන්නේ දැන්ය.
  ඇබ්බැහිය කොහොම නවත්වන්නද? සහෝදරියගේ නිවසේදී ඇගේ පුතාගේ පරිගණකයෙන් ජංජාලයේ ටිකක් සැරිසැරුවෙමි. අක්කා තව පොඩ්ඩෙන් අර කොල්ලාවත් මරා, ඒ අහිංසකයාගේ පරිගණකයත් පොළොවේ ගසනවාය. හෙට අනිද්දා සිට සුපුරුදු ලෙස ලිවීම පටන්ගත යුතුය. එහෙත් මගේ පරිගණකයට මොකක්දෝ වී ඇති බව පෙනේ. ඒකටත් ඩෙංගුද දන්නේ නැහැ. :D
කම්කරුවකු යොදවා මුළු ගෙවත්තම කාන්තාරයක් වන තරමට එළි පෙහෙළි කරවුයෙමි.
“ඇයි යකෝ අර ඉන්නේ” ලිපියේ දෙවැනි කොටස ඉක්මනින් දෙන්නම්. ඉවසීමෙන් ඉන්න.
My Signature for Blog2013 ජනවාරි මස 17 දින 1401 පැය

04 January 2013

අර ඉන්නේ…අර, ….කෝ…? ඇයි යකෝ අර ඉන්නේ අතන – පළමුවැනි කොටස – Judging Distance and Target Indication – Part One


Target Indicationඔයා කොහොමද සෙනග ගොඩක් මැද්දේ ඉන්න ඔයාගේ අර, ‘අරයව’ ඔයාගේ යාලුවෙකුට පෙන්වන්නේ? ඉහත මාතෘකාවේ කියලා තියන විදිහට නේද? හැබැයි ඉතින් ‘අර මල් මල් ගවුම ඇඳලා ඉන්නේ, කළු කලිසම ඇඳලා ඉන්නේ’ වගේ කිව්වොත්, යාලුවගෙන් හොඳ හරුප තමා අහගන්න වෙන්නේ. මොකද පිරිසක් මැද මල් මල් ගවුම්, කළු කලිසම් විශාල ගණනක් තියෙන්න පුළුවන්. ඒ අතරින් අර නිශ්චිත පුද්ගලයා සොයාගන්න අමාරුයි ඔහුගේ මුහුණුවර නොදන්නා කෙනෙකුට.
අපේ ජීවිතයේ බොහෝවිට අපට කරන්නට සිදුවන දෙයක් තමයි පරිසරයේ පිහිටි, ස්ථිර වස්තු හෝ චලනය වන වස්තු එහෙමත් නැත්නම් දුර සිටින පුද්ගලයන්, තවත් කෙනෙකුට පෙන්වාදීම. එමෙන්ම ඒ දේවල් පිහිටා තිබෙන්නේ ඔබ සිටින තැන සිට කොපමණ දුරකින්ද කියන එක අනුමානයෙන් සිතාගැනීම හෝ ප්‍රකාශ කිරීම. මෙහිදී අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් සමාජ සම්මත ක්‍රම විනා, ශාස්ත්‍රීය/තාක්ෂණික පදනමක් අනුව සැකසූ ක්‍රමවේදයක් නොවෙයි. නමුත් යුද බිමේදී ‘අර ඉන්නේ යකෝ’ ක්‍රමය හරියන්නේ නැහැ. ඒ නිසා 100% ක් නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා, යුද බිමේදී යම් දෙයක් (ඉලක්කයක්) පෙන්වාදීම සඳහා. එය හඳුන්වන්නේ ‘දුර නිශ්චය කිරීම සහ ඉලක්ක පෙන්වීම’ හෙවත්, ‘Judging Distance and Target Indication’ යනුවෙන්. අද අපි කතා කරන්නේ, එය කරන්නේ කොහොමද කියන එක ගැනයි.
මේ මොනවද කියන්නේ, ඉලක්කයට ඇති දුර පෙන්වන දුර දක්න, ‘Range Finders’ චන්ද්‍රිකා තාක්ෂණය ‘Global Positioning System = GPS’ වැනි අති නවීන ක්‍රම තිබෙන නිසා, පැරණි ක්‍රම මොකටද? කියා ඔබ සිතන්නට පුළුවන්. නමුත් හොඳින් මතකතබාගන්න. ඔය යන්තර සූත්තර කොයි මොහොතේ අවුල් වෙයිද, ක්‍රියා විරහිත වෙයිද, කියලා සක්කරයාගේ පුතා වයිමාට වත් (අර අපේ අධ්‍යාපනය කන එක්කෙනා නෙවේ :D )  කියන්න බැහැ. යුදබිම මැදදී, රේන්ජ් ෆයින්ඩර් එකක හෝ ජී.පී.එස්. එකක බැටරි බැස්සොත්, ‘පොඩ්ඩක් හිටපං බැටරි දාගෙන එනකං’ කියලා සතුරාට ‘වච්චිල්’ එකක් දෙන්න බැහැනේ. :D :D   ඒ නිසා තමන්ගේ මොළය පාවිච්චි කර, දුර නිශ්චය කිරීමේ ක්‍රම සහ ඉලක්ක පෙන්වීමේ ක්‍රම, අදටත් ලෝකයේ සෑම හමුදාවකම පාහේ උගන්වනවා. මේවා ඉගෙන ගැනීම ඔබටත් ප්‍රයෝජනවත්. හිතන්න ඔබ වනයේ සංචාරයක ගියා කියලා. ඒ වගේ අවස්ථාවක ඇතිවියහැකි සිදුවීම් මොනවාද? මම විස්තර කරන්නේ නැහැ. ඈතින් ඉන්න අලියෙක් ඔබේ පිරිසේ ඉන්න අනික් අයට පෙන්වීමේ සිට, ඔබ අතරමං වුනොත් ඉදිරි භූමියේ ඈතින් පෙනෙන භූමි ලක්ෂණ වලට ඇති දුර නිශ්චය කරගැනීම දක්වා, සියල්ල ගැන සිතාබලන්න.
මේ ලෝකයේ තිබෙන වඩාත්ම විශ්මයජනක දේ මොකක්ද කියා, කවුරුහරි මගෙන් ඇහුවොත්, මම නම් දෙන උත්තරේ ‘මිනිස් මොළය’ කියන එකයි. මොළය පාවිච්චි කරලා නොවැ ඔය යන්තර සූත්තර ඔක්කොම හදලා තියෙන්නේ. ඉතින් ඒ මොළයෙන් ඉතා හොඳින් හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. මොළයෙන් කල්පනා කරලා තමයි ලෝකයේ තියන අති විශිෂ්ඨතම තුවක්කුව හදන්නේ. නමුත් ඒ තුවක්කුවට බැහැනේ හිතලා වෙඩි තියන්න. ඒ තුවක්කුව පිටිපස්සේ ඉන්න හොඳ මොලයක් හා හොඳ පුහුණුවක් තියන සොල්දාදුවා තමයි ඒ තුවක්කුවේ නිසි ප්‍රයෝජනය ගන්නේ.
space 2
කොහොමද ඉතින් ඈත තියන දේ වලට ඇති දුර මැනගන්නේ?
ඒ සඳහා ක්‍රම කීපයක් තියනවා. අපි එකින් එක ගෙන බලමු. හැබැයි මෙතැනදී මම හමුදා පොතේ තියනදේ ඒ විදිහටම කියන්නේ නැහැ. නමුත් මූලික සිද්ධාන්තය වෙනස් කරන්නෙත් නැහැ. ඔබට ගැලපෙන විදිහට සුළු වෙනස්කම් පමණයි කරන්නේ. මුලින්ම කියාදිය යුතු කරුණු කීපයක් තියනවා. භූමියේ පිහිටි යම් යම් වස්තු (වස්තූන් නෙවෙයි වස්තු/හේතූන් නෙවෙයි හේතු) නිරීක්ෂණය කිරීමේදී ඒවා වෙත ඇත්තවශයෙන්ම ඇති දුර අඩුවී හෝ වැඩිවී (ඈත්වී හෝ ළංවී) පෙනීමට බලපාන යම් යම් සාධක තිබෙනවා. මේ නිසා මුලින්ම ඒ සාධක ඔබට පැහැදිලි කරදීම සුදුසුයි මා හිතනවා. පහත දැවෙන්නේ ඒ සාධක.space 2
 (1) යම් වස්තුවක් ළංවී පෙනීමට බලපාන සාධක.
  • ඉතා දැඩි ආලෝකයක් එම වස්තුව මත පතිතවී තිබීම සහ/හෝ සූර්යයා නිරීකෂකයාට පසුපසින් දීප්තිමත්ව පිහිටා තිබීම.
  • අප නිරීක්ෂණය කරන වස්තුව, එය පිහිටි පරිසරයේ හාත්පස පිහිටි අනෙක් වස්තු වල විශාලත්වයට වඩා සාපේක්ෂව, විශාල එකක් වීම.
  • එකී වස්තුව නිරීක්ෂකයා සිටින ස්ථානයට වඩා උස් භූමියක පිහිටා තිබීම.
space 2
(2) යම් වස්තුවක් ඈත්වී පෙනීමට බලපාන සාධක
  • ආලෝක තත්වය දුර්වලවීම හෝ සූර්යයා නිරීක්ෂකයාගේ මුහුනට (දෙනෙතට) ආලෝකය වැටෙනසේ පිහිටීම.
  • අප නිරීක්ෂණය කරන වස්තුව, එය පිහිටි පරිසරයේ හාත්පස පිහිටි අනෙක් වස්තු වල විශාලත්වයට වඩා සාපේක්ෂව, කුඩා එකක් වීම.
  • නිරීක්ෂකයා නිම්නයක් වැනි භූමියක් හරහා හෝ කෙලින් පිහිටි වීදියක ඈත කොණ වැනි ස්ථානයක පිහිටි දෙයක් නිරීක්ෂණය කිරීම.
  • නිරීක්ෂකයා බිම දිගාවී සිට අදාළ වස්තුව නිරීක්ෂණය කිරීම.
space 2
1. ඉඳුරාම දුර ප්‍රකාශ කිරීම – Direct Method
 ඇත්තටම අපි පාවිච්චි කරන සාමාන්‍ය සරළ ක්‍රමය හමුදා කටයුතු වලදීත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපේ අනුමාන කිරීමේ හැකියාව යොදාගනිමින්, කෙලින්ම හිතෙන දුර මැනගනීම. මෙතන ඉඳලා අතනට මීටර් මෙච්චරක් ඇති කියලා අපි හිතන්නේ. අන්න ඒ ක්‍රමය. නමුත් මේ ක්‍රමය හමුදාවේදී පාවිච්චි කිරීමට නම් ඒ දුර 99% ක් වත් නිශ්චිත විය යුතුයි. ඒ දුර කලින් මැනබලා තිබේනම් හෝ එහි තිබෙන යම් වස්තුවකට මෙතන සිට ඇති දුර මෙපමණකැයි කලින් දන්නේනම් පමණක් තමයි මේ ක්‍රමය භාවිත කරන්නේ සහ සාර්ථක වන්නේ. මේ ක්‍රමය බොහෝවිට යොදාගන්නේ ස්ථිරව පිහිටවා තියන කඳවුරක ආරක්ෂක බංකරයක්, ස්ථිරව පිහිටුවා තිබෙන මාර්ග බාධකයක්, එවැනි හමුදා ස්ථානයක්, (Military Installation) ආරක්ෂා කරගැනීම සඳහායි. සාමාන්‍යයෙන් අපේ ඉදිරිපිට භූමිය එතරම් බාධක වලින් තොරව තිබේනම් අංශක 180 ක කෝණයක් ඔස්සේ ඉදිරි භූමිය දැක ගන්න ලැබෙනවා. අපි මේ ආකාරයට දකින්නට ලැබෙන ඉදිරි භූමිය (අංශක 180 ක් හෝ ඊට අඩු වුනත්) ’වෙඩි චාපය – arc of fire’ ලෙස නම් කරනවා. මේ ස්ථානයේ සන්නද්ධ ආරක්ෂක සෙබළකු යොදවන විට ඔහුට මුලින්ම ඔහුගේ වෙඩි චාපය කුමක්ද යන්න කියා දෙනවා. නැතහොත් ඒ ස්ථානයේ අදාළ විස්තර දැක්වෙන කාඩ් පතක් සවිකර තිබෙනවා. එහි පෙන්වනවා මේ ස්ථානයේ සිට භූමියේ තිබෙන වෙනස් නොවෙන වස්තු (ලොකු තනිගහක්, තනිව පිහිටි නිවසක්, ඇන්ටෙනා කුළුණක්, වැනි) වෙත ඇති දුර කොපමණද කියා. ඉතින් මේ භූමියේ සතුරක දුටුවොත් අපිට පුළුවන් අර ස්ථිර වස්තුවකට ඇති දුර අනුව සතුරා සිටින තැනට ඇති දුර ඉතා ආසන්න වශයෙන් මැනගන්න.
arc of fire
  ආසන්න ස්ථාන දෙකක සිටින සෙබළුන් වෙත, වෙඩි චාපය ලබාදීමේදී, එම වෙඩි චාප වල වම් සහ දකුණු සීමා, ඊළඟට සිටින සෙබලාගේ වෙඩි චාපයෙන් කොටසක් සමග එක මත එක වැටෙනසේ (උපරිපතනය -Overlap) සකස් කරනවා. එවිට මුළු ඉදිරි භූමියම වෙඩි වලින් ආවරණය වෙනවා. ඔබ දන්නවා ඇති රාත්‍රී කාලයේදී ක්‍රීඩා පිටියක් ආලෝකවත් කිරීමේදී එක විදුලි පහනකින් ලැබෙන ආලෝක කවය ඒ වටා පිහිටි අනෙක් විදුලි පහන් වල ආලෝක කවය සමග උපරිපතනය වන ආකාරයටයි සකසන්නේ. වෙඩි චාපයත් ඒ වගේ. හැබැයි වෙඩි තැබීමේදී හඳුනාගත යුතුයි මේ යන වෙඩි ඊළඟ මුර සෙබළාගෙන්ද නැද්ද කියා. නැත්නම් ඔහේ හිටු කියලා දෙන්නා දෙන්නාට වෙඩි තියාගන්නවා. පහුගිය ඊලාම් යුද්ධයේ මුල් අවස්ථා වලදී එහෙම වුනා. පස්සේ පුහුණු කටයුතු වැඩි දියුණුවීමත් සමගම ඒ තත්වය මග හැරුනා. දැන් අපි බලමු මේ වෙඩි චාපය තුළ පිහිටි විවිධ වස්තු අනුව ඉලක්කයට ඇති දුර ප්‍රකාශ කරන හැටි.direct method
ඉහත රූපයේ ඔබට පෙනෙනවා වෙඩි චාපයේ එක් එක් සීමාවන් නම් කර ඇති ආකාරය. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති, එහිදී වමට සහ දකුණට කාල, භාගය, තුන්කාල, ලෙස සීමා ලකුණු කර තිබෙනවා. එමෙන්ම කලින් දුර මැන සලකුණු කරගත් ස්ථිර වස්තු ද තිබෙනවා. ඒ ස්ථානයක සතුරකු සිටියොත් කෙලින්ම ඉලක්කය ප්‍රකාශ කරන්න පහසුයි. මේ රූපයේ ඇන්ටෙනා කුළුණක්, ගෙයක් සහ ගසක් තිබෙනවා. ඒවාට ඇති දුර ද සඳහන් වෙනවා. දැන් මෙන්න මෙහෙමයි ඒ එක් එක් ඉලක්කය ප්‍රකාශ කරන්නේ. මුලින්ම තමාගේ ඉදිරි අක්ෂය (Axis of Fire) කුමක්ද යන්න පැහැදිළි කළයුතුයි. ‘මා මුහුණ යොමුකර සිටින අක්ෂය මගේ ඉදිරි අක්ෂයයි’ යන වැකිය කිව යුතුයි. එහි සිට තමයි වම් සීමාවේ සිට දකුණු සීමාව දක්වා සියල්ල තීරණය වන්නේ. එවිට තමයි ඔබ පෙන්වන ඉලක්කය වෙනත් අය විසින් තේරුම් ගන්නේ.  
1. දෙසීයයි, (මීටර් කියලා කියන්නේ නැහැ) අඩක් වම, ඇන්ටෙනා කනුව, සතුරා.
2. තුන්සීයයි, කාලක් වම, තනි ගෙය, සතුරා.
3. දෙසිය පනහයි, අඩක් දකුණ, තනි ගස, සතුරා.
 හොඳයි ඉතින් සතුරා හරියටම ඔය තැන් වලටම එන්නේ නැහැනේ. වෙඩි චාපයේ අනෙක් තැන් වලත් ඉන්න පුළුවන්නේ. එතකොට මොකද කරන්නේ? ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු ඉදිරි අක්ෂය සහ කාලක් දකුණ අතර තමයි සතුරා ඉන්නේ කියලා. ඉතින් එතකොට අර තනි ගස අනුව දුර හිතන්න පුළුවන්, ඉදිරි අක්ෂය සහ කාලක් දකුණ අතර කියලා කිව්වාම හරි. මේක ගස්කොලන්, කුඩා ගල් කඳු, හුඹස්, විශාල පඳුරු, වැනි දේවල් සහිත පරිසරයක් බව අමතක කරන්න එපා. ඒ අනුව ආසන්න වශයෙන් ඉලක්කය ප්‍රකාශ කිරීම අමාරු නැහැ.
  එක්තරා ආධුනික සෙබළුන් පිරිසකට මේ පුහුණුව පිලිබඳ දේශනය අවසන් කර, ප්‍රායෝගික කොටස සඳහා භූමිය වෙත ගෙනගියා. මෙහිදී කෝප්‍රල්, සැරයන්, වගේ නිළ වල අය තමයි ප්‍රායෝගික කොටස් මුලින්ම කියාදෙන්නේ. වරදිනකොට දෙක තුනක් වදිනවා. නැත්නම් පිනුම් ගස්සනවා (forward roll) එක ආධුනිකයෙක් ටිකක් බයට සහ කලබලයට පත්වෙලා හිටියේ. ඔහු තමන්ගේ උපදේශක කෝප්‍රල්ට ඇහෙන්න ඉලක්කය කිව්වා. දුර, දිශාව කිව්වා. පඳුරක් තිබුණා, ඒ පඳුරේ සතුරා ඉන්න බව කියන්න ඕනෙවුනේ. අර ආධුනික සෙබළා මහ හඬින් කිව්වා……………’සතුරේ පඳුරා’ කියලා.  :D :D :D
  මීට වඩා දුරට ගියොත් ටිකක් නීරස වෙනවා. ඒ නිසා ඉතිරි කොටසට ගිහින් අනෙක් ක්‍රම ඉගෙන ගනිමු.  
My Signature for Blog2013 ජනවාරි මස 04 වැනි දින 2110 පැය

01 January 2013

සුබ නව වසර අපිම උදාකරගනිමු


සෑම වසරකම ආරම්භයේ, අපට හැම පැත්තෙන්ම අහන්න දකින්න ලැබෙන්නේ, ‘සුබ නව වසරක් වේවා’ යන පැතුමනේ. එහි වරදක් නැහැ. නමුත් පැතුම සඵල කරගන්න අපි මොනවහරි කරන්න ඕනේ නේද? ඒ නිසා මට හිතෙන හැටියට කළහැකි, කලයුතු, කාර්යයන් සහිතව මම අලුත් අවුරුද්ද වෙනුවෙන් හැම දෙනාගෙන්ම ඉල්ලන දේ (මමත් උත්සාහ කරනදේ) පහත දක්වනවා.
annuncement
My Signature for Blog2013 ජනවාරි මස 01 වැනි දින 0001 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }