හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 October 2012

කැප්ටන් ගේ රැක සිට පහර දීම.


   රැක සිට පහර දීම පිළිබඳව මා ලියනලද පළමුවැනි සහදෙවැනි ලිපි වලට ඔබෙන් ලැබුන ප්‍රතිචාර කියවන අතරෙදියි, මේ පුංචි කතාව මතක් වුනේ. මේ කතාව රැක සිට පහර දීම ඉගැන්වීමේ දේශනයට සම්බන්ධ රසවත් සිද්ධියක්. ඇත්ත කතාවක්. 1980 දශකයේ මුල් භාගයේදී සිදුවූවක්.
  ඔන්න එකෝමත් එක කඳවුරක හිටියා, තරමක් වයසක කපිතන් කෙනෙක්. මොහු සටන්කාරී නොවන රෙජිමේන්තුවකින් (Non Combatant Regiment) සටන්කාරී රෙජිමේන්තුවකට යා කළ කෙනෙක්. කාලයක් ගියාට පස්සේ සටන්කාරී රෙජිමේන්තුව වෙත අන්තර් රෙජිමේන්තු මාරුවීමක්‌ ගත් කෙනෙක්.  ඔහුව යොදවා තිබුනේ බොහෝවිට විනය සහ පරිපාලනයට අදාළ රාජකාරි සඳහායි. ඔහු යුද හමුදාවට බැඳෙන්නට පෙර හොඳ පාසල් ගුරුවරයෙක්. දක්ෂ ගායකයෙක්. බොක්ස් ගිටාර් වාදකයෙක්. දකුණේ මිනිහෙක්. වැඩිපුර කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. එයාට තිබුනෙත් ඉංග්‍රීසි නමක්. එයාගෙම ගී නිර්මාණත් ගායනා කරනවා.
  දවසක්‌ නිළධාරි නිවස්නයේ තිබුනා සැඳෑසාදයක්. රාත්‍රිය වනවිට සාදය උච්ඡතම අවස්ථාවට පැමිණුනා. ඔන්න අපේ කපිතන් තුමා (ඒ කාලේ අපි ලුතිතන් වරු) ගිටාරයත් අතට අරගෙන, එයා විසින්ම, මුළු බලඇණියේ කීර්තිය විදහාපෑම සඳහා නිර්මාණය කල ගීයක් ගයන්න පටන්ගත්තා. හැබැයි මේ ලෝක රහක් නැහැ. (දැනුත් ඒකමනේ වෙන්නේ. දැන් ඉන්න ‘ගායකයන්’ කියන සමහර අයගේ ගීත, එයාලට විතරයි රස විඳින්න පුළුවන්. මෙලෝ රහක් නෑ. නිකම් ජිල්බෝල හොද්ද වගේ.) එයාගේ ගීතයේ තිබුනා ……………..යේ (හිස්තැන තිබුනේ කඳවුර පිහිටි ප්‍රදේශයේ නම) ඉතින් කපිතන් තුමා …………….යේ යුද්ධ භටයෝ………..කියලා උච්ඡ ස්වරයෙන් ඇදලා කියනකොටම, තරමක් පදම් වී සිටි මගේ සහෝදර ලුතිතන් කෙනෙක්, ‘බජ්ජ හුටයෝ………..’ කියලා මහා හඬින් අර ස්වරයෙන්ම කිව්වා. කපිතන් තුමා රවලා බැලුවා අර නිළධාරියා දිහා. ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ අප මෙතෙක් අසා නැති වචන ගණනාවක් කියාගෙන කියාගෙන ගියා. ඊටපස්සේ ගිටාරයත් දමලා ගහලා යන්න ගියා. (ඒ වචන පස්සේ කාලේදී මට නම් බොහොම ප්‍රයෝජනවත් වුනා :D :D :D )
   එයා හරිම කැමතියි මහජනතාව අතරේදී තමන් සාමාන්‍ය ඇඳුමෙන් ඉන්නවිට එයාව දකින සොල්දාදුවන් එයාට ආචාර කරනවා දකින්න. එවිට ඔහු බොහොම උජාරුවෙන් වට පිට බලනවා, මිනිස්සු එය දැක්කාදැයි බලන්න. වරක් ඔහු නගරයේ සිටින විට තමන්ගේ කඳවුරේ සෙබළුන් කීප දෙනෙක් රාජකාරි අවශ්‍යතාවයකට නගරයට ඇවිත් සිටිනු දුටුවා. ඔහු සිටියේ සාමාන්‍ය ඇඳුමෙන්. සොල්දාදුවන් සිටියේ නිළ ඇඳුමෙන්. ඔන්න ඉතින් ඔහු වටේපිටේ ඉන්න මිනිස්සුන්ට ඇහෙන්න අර සොල්දාදුවන් සමග සිටි කෝප්‍රල්ට කතා කළා. ‘ කෝප්‍රල් මෙහාට එන්න’ (සාමාන්‍යයෙන් අපි සොල්දාදුවන්ට කියා තිබෙනවා, ‘අපි සාමාන්‍ය ඇඳුමෙන් සැරසී ගමනක් යනවා දැක්කොත්, අපිට ආචාර කරන්න එපා, අවශ්‍යතාවක් නැත්නම් කතා කරන්නත් එපා, දැක්ක බව ඉඟියෙන් පෙන්නුවොත් ඇති’ කියලා. ඒ අපේ ආරක්ෂාවට සහ අනවශ්‍ය ලෙස මහජනතාවගේ අවධානයට ලක්වීම වලක්වා ගන්නයි.) ඔන්න ඉතින් අර කෝප්‍රල් ‘ඇයි සර්’ කියාගෙන අරයගෙ ළඟට ආවා. නමුත් ආචාර කළේ නැහැ. මෙයා මොහොතක් බලා සිටියා ආචාර කරයි කියලා. කලේ නැහැ. මෙයා කිව්වා ‘ හරි කෝප්‍රල් යන්න’ කියලා. කෝප්‍රල් ගියා. මෙයා මොහොතකින් නැවතත් කෝප්‍රල්ට කතා කළා. කලින් වතාවේ වුන දේම තමයි සිදුවුනේ. කෝප්‍රල් ආචාර කළේ නැහැ. මෙයා එයාව ආපහු යැව්වා. ආයෙත් මොහොතකින් මෙයා කෝප්‍රල්ට කතා කළා. ඒ සැරේ කෝප්‍රල්ට කේන්ති ගිහින් ළඟ හිටිය සොල්දාදුවකුගෙන් ඇහුවා, ‘මොකක්ද බන් මේ යකාට වෙලා තියෙන්නේ’ කියලා. ‘සෙලියුට් කරන්න කෝප්‍රල්, සෙලියුට් කරන්න’ කියලා සොල්දාදුවා උත්තර දුන්නා. ඒ උපදේශය හරිගියා. කෝප්‍රල් නගරය දෙදරන හඬින් අඩිය පොළොවේ හප්පලා, සීරුවෙන් සිටගෙන ගැහුවා සෙලියුට් එකක්. ‘සර්’ කිව්වා මහා හඬින්. චඃ, මෙයාගේ මූනේ ඇඳුනා ලස්සන හිනාවක්. ‘හා කෝප්‍රල් කොහොමද, කොහෙද යන්නේ’ කියලා කෝප්‍රල් ගෙන් ඇහුවා. ඊට පස්සේ උජාරුවෙන් වටපිට බැලුවා.
   ඔන්න ඉතින් මෙයාට දවසක් බලාපොරොත්තු රහිතව දේශනයක් පවත්වන්න සිදුවුනා. අලුතෙන් බලඇණියට ඇතුළත් කළ, ආධුනික සෙබළුන් පිරිසකට, රැක සිට පහරදීම පිළිබඳ දේශනය කරණ ලෙස, අණදෙන නිලධාරි වරයා මොහුට නියෝග කළා. කරුමෙක මහත, ඔහු, මූලික නිලධාරි පුහුණුවේදී, රැක සිට පහරදීම ඉගෙනගත්තාට පස්සේ, කවදාවත් ඒ දැණුම පාවිච්චි කරලා නැහැ දේශනයක් සඳහාවත්. ඒ බව හෙළිවීම, තමන්ගේ තත්වයට මදිකමක් වගේම, අණදෙන නිලධාරිගේ නියෝගයක් නිසා බෑ කියන්නත් බැහැ. කඳවුරේ ඉන්න වෙනත් නිලධාරියකුගෙන් ඉල්ලන්නත් ලැජ්ජයි, තමන් වෙනුවෙන් ඒ දේශනය කරන්න කියලා, මොහුගෙ තියන මහන්තත්ත කමට. එහෙම නැත්නම් ඒ දේශනය පිළිබඳ පාඩම් සටහන් ඉල්ලගන්නත් ලැජ්ජයි, තරුණ නිළධාරියකුගෙන්, තමන්ගේ තියන ලොකු කමට. ඔන්න ඉතින් ඔහු දේශනය පටන් ගත්තා……… ළමයි, (මම මීට කලිනුත් කියලා ඇති නිළධාරීන් ලෙස අපි අපේ සොල්දාදුවන්ට ආදරයෙන් කතා කරන්නේ ළමයා, පුතා, කියලා. ..කොල්ලා :D ….පුතා :D  කියවෙන අවස්ථාත් තියනවා) අද අපි ඉගෙන ගන්න යන්නේ රැක සිට පහරදීම මොකක්ද? රැක……….සිට……..පහර……..දීම. ආයෙත් කියන්න රැක……..සිට……….පහර………..දීම……… හොඳයි මීට කලින් රැක සිට පහර දීලා තියන අය අත උස්සන්න. මොනවා එක්කෙනෙක් වත් නැද්ද?
   එක ආධුනිකයෙක් බයෙන් වගේ අත ඉස්සුවා ‘ඕව් හොඳයි, බොහොම හොඳයි, කොහෙදිද පුතා රැක සිට පහර දුන්නේ, දක්ෂ ළමයෙක්. අහගන්නවා අනික් අය, ඕව් පුතා කියන්න ඔයා රැක සිට පහර දුන්හැටි’. ආධුනිකයා ඇඹරෙමින් කිව්වා ‘සර්, මෙතන ඉන්න අපි ඔක්කොම ආධුනිකයෝනේ, ඉතින් අපි තවම යුද්දෙට ගිහින් නැහැනේ’ කියලා. ‘මීහරකා, බූරුවා, ඕක කියන්නද නැගිට්ටේ. ඉඳගනින්’ කියලා දේශකයා අර අහිංසකයට සැර දැම්මා.
  දැන් මෙයා දේශනය කරගෙන යනවා, මෙන්න මෙහෙම. ‘ළමයි අපි සොල්දාදුවෝ උනාම සතුරාට රැකසිට පහර දෙන්න ඕනෑ. හොඳටම පහර දෙන්න ඕනෑ. නැත්නම් සතුරා අපිට රැකසිට පහර දෙනවා. ඒ නිසා අපි හැමවිටම සතුරාට රැකසිට පහර දෙන්න ඕනෑ. කොහොමද පහර දෙන්නේ. රැකසිට තමයි පහර දෙන්නේ. ආයෙත් කියන්න……………….. රැක………..සිට……….පහර………දෙන්නේ………….අන්න හරි. අපි සතුරා එනපාරේ රැකගෙන බලාගෙන ඉඳලා පැනලා පහර දෙනවා. දැන් තේරුණාද? අපි හොඳට රැකගෙන ඉන්න ඕනේ. නැත්නම් සතුරා අපිව දැකලා බයේ පැනලා යනවා. ඒ නිසා හොඳට බලා ඉන්න ඕනේ සතුරා එන පාර අයිනට වෙලා සතුරා එනවද කියලා. එනකොටම පහර දෙන්න ඕනේ දුවන්නම. ආය මේ පැත්ත පලාතට එන්න බැරි,වෙන්න දුවන්නම ගහන්න ඕනේ.
  සාමාන්‍යයෙන් රැකසිට පහරදීම පිලිබඳ දේශනය පැයක දේශනයක්. (දැන්නම් ඉතින් ඔබටත් පුළුවන්නේ ඇම්බුෂ් ලිපි දෙක කියවා ඒ දැනුම ලබාගෙන තිබෙන නිසා :D ) ඉතින් දැන් මෙයා පැයක් දේශනය පවත්වන්න ඕනෙනේ. ඒ නිසා, මේ විදිහට, පැයක කාලය, නොයෙක් වැල්වටාරම් කියමින් ඇදගෙන යනවා හැර, වෙනත් විකල්පයක් නැහැ. හමුදාවේ සෙබළුන්ගේ පුහුණු පාඨමාලාවක දේශනයක් පවත්වනවිට, පාඨමාලාවේ සිටින කොමිෂන් නොලත් නිලධාරි උපදේශකයන් (කෝප්‍රල් සිට බළලත් නිළධාරි 1 දක්වා) දේශන ශාලාවේ පසුපසම ඇති ආසන පේළියේ වාඩිවෙනවා. එහෙම කරන්නේ විශේෂයෙන් පාඨමාලාවේ සිසුන් සම්පුර්ණ අවධානයෙන් දේශනය ශ්‍රවණය කරනවාද, දේශකයාගෙන් ප්‍රශ්ණ අසා දැණුම තහවුරු කරගන්නවාද, දේශකයා අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනවාද, පන්තියේ නිදාගන්නවාද, (නිදාගත්තොත් නම් දේශනයෙන් පස්සේ බඩුම තමයි :D ) පාඨමාලාවේ කටයුතු පිළිබඳව එහි සිසුන්ට පිළිතුරු දිය නොහැකි කිසියම් ප්‍රශ්නයක් හෝ පාඨමාලාව පිළිබඳව හෝ එම දේශනයට අදාළ විෂයය සම්බන්ධ ගැටළු ඇත්නම්, දේශකයාට ඒ සඳහා පිළිතුරු දීම හා සහාය වීම, වැනි කටයුතු සඳහායි. ඉතින් මේ උපදේශක වරුන්ට පුළුවන් අර නිළධාරියාට වඩා හොඳින් දේශනය කරන්න. මොකද එයාලා ඒ දේශනය ඉහේ කෙස් ගාණට අහලා තියන නිසා. දැන් මේ අමුතු දේශනය අහලා එයාලට හිනාව නවත්තගන්න බැරි තරම්.
  ඔවුන් අතින් කට වසාගෙන හිනාවෙමින් ඉන්නකොට, අණදෙන නිළධාරිතුමාත් ආවා දේශනය නිරීක්ෂණය කරන්න. එය සාමාන්‍ය යුදහමුදා සම්ප්‍රදායක්. පුහුණු පාසලක නම්, එසේ දේශනයක් පැවැත්වෙන විට, සේනාවිධායක,  ප්‍රධාන උපදේශක, වැනි නිලධාරීන් වරින් වර පැමිණ දේශනය නිරීක්ෂණය කරනවා. එහිදී, දේශකයා මෙන්ම සිසුන්ද නිරීක්ෂණයට ලක්කරන්නේ, පාඨමාලාවේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීමටයි. එවැනි නිළධාරියකු පැමිණිවිට, දේශකයා තම දේශනය නවත්වා, ‘පන්තිය නොසැලෙන්’ කියා විධානය කොට, ‘තුමනි, පන්තිය කරගෙන යාමට අවසර පතමි තුමනි’ කියා අවසර ඉල්ලනවා. එසේ කරන්නේ හමුදා සම්ප්‍රදාය අනුව ජ්‍යෙෂ්ට නිළධාරියාට දැක්විය යුතු නිසි ගෞරවය දැක්වීම සඳහායි.
  ඔන්න ඉතින් අපේ දේශකයාත් නිසි ගෞරව සම්ප්‍රයුක්තව අණදෙන නිළධාරියාව පිළිගත්තා. මෙහිදී, එවැනි ජ්‍යෙෂ්ට නිළධාරීන් වාඩි වෙන්නෙත්, පසුපසම ආසන පේළියේ. එහි සිට තමයි, පන්තිය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් අපේ කතා නායකයාගේ නහය මතට දාඩිය බින්දු හත අටක් දාලා. මොකද ඔහු දන්නවා එක වැරදීමක් වුනොත් තමන්ගේ තත්වය කුමක්ද යන්න අණදෙන නිළධාරි වරයාට දැනෙන බව. කරන්න දෙයක් නැහැ. ඔහු ආපහු දේශනය පටන් ගත්තා. හරි, අපි කොතනද නැවැත්තුවේ. ඔව්, අපි සතුරා එනවිට හොඳට බලා ඉඳලා ගහන්න ඕනේ. එතැන්සිට ඔහු නැවතත් අර කලින් කියන ලද වාක්‍ය ටිකම කියාගෙන යන්න පටන්ගත්තා. අණදෙන නිළධාරි වරයාට වහාම වැටහුණා, කොතැනක හෝ කුමක් හෝ වැරදී ඇති බව. ඔහු දේශකයාට කිව්වා, OK, You stop there and dismiss the class. Then come and meet me at my office’  කියලා. එහෙම කියාගෙන දඩාස් ගාලා පුටුව පස්සට තල්ලු කරලා නැගිටලා ගියා.
  අනේ ඉතින් අපේ දේශකයා, පන්තිය එතනින් අවසන් කරලා, ගියා අණදෙන නිළධාරි වරයාගේ කාර්යාලයට. අණදෙන නිළධාරි වරයා ඔහුට බඩකට විතරක් නෙවෙයි, කන්දෙකත් පිරෙන්නම දැඩි අවවාද දුන්නා. ඔහුට නියෝග කළා, වහාම නිවැරැදි දේශන සටහන සොයාගෙන, එය කියවා, දේශන සැළැස්ම හදාගෙන, තමන්ව හමුවන ලෙස පසුදිනයේ. අනේ ඉතින් අපේ නිළධාරියා රෑ නිදිමරාගෙන, කණිෂ්ට නිළධාරීන්ගේ උපදෙසුත් අරගෙන, දේශනයට සුදානම්ව අණදෙන නිළධාරිතුමාව හමුවුනා. අණදෙන නිළධාරිතුමා පැයක් පමණ ඔහුගේ දේශන සටහන් පරීක්ෂා කර, අනුමැතිය දීමෙන් පසු, ඔහු නැවත නිවැරදි ක්‍රමයට දේශනය කළා.

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }