හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 September 2012

තවත් පුංචි කතා දෙකක්

පසුගිය කාලය තුළ ස්නයිපර් වරුන් ගැන ලියන ලද දීර්ඝ ලිපි මාලාව නිසා මා සෑහෙන වෙහෙසකට පත් වුනා. ඒ නිසා නැවතත් බරපතල මාතෘකාවකට යන්නට කලින් පුංචි කතන්දර දෙකක රසය ඔබ සමග බෙදාගන්නට හිතුනා. මේ කතන්දර සියල්ලම ඇත්ත සිදුවීම් බව මුලින්ම සඳහන් කළ යුතුයි.

 
  මේ සිද්ධිය වුනේ 1989 දී විතර. ඒ කාලයේ මේ රටේ තිබුන භීෂණකාරී වාතාවරණය ඔබ දන්නවනේ. මම එවකට සේවය කරමින් සිටියේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ භීෂණකාරී ක්‍රියා සංවිධානය කරන නායකයකු අත් අඩංගුවට ගැනීමට, වහාම ක්‍රියාකරන ලෙස, එවකට ඒ ප්‍රදේශය භාරව සිටි යුද හමුදා සම්බන්ධිකරණ නිලධාරියාගෙන් මට නියෝග ලැබුනා. මේ විප්ලවවාදියා, යුද හමුදාවෙන් පැනගිය කෝප්‍රල් වරයෙක්. ටිකක් අමාරු කාරයෙක්. පිස්තෝලයකුත් සෑම විටම අතේ තිබෙන බවටත් තොරතුරු ලැබී තිබුනා. මේ නිසා, ඉතා කල්පනාකාරීව ඔහුව අත් අඩංගුවට ගැනීමට, මා සැළසුම් කළා.

   ඔහු ගැවසෙන බවට සැක කරන ප්‍රදේශවල පොලිස් සහ හමුදා මාර්ග බාධක රාශියක් යොදා තිබුනත් පළක් වුනේ නැහැ. මේ නිසා මා සෑහෙන වෙහෙසක් දරා විවිධ උපාය මාර්ග යොදා ඔහුව කොටු කර ගැනීමට කටයුතු කළා. මේ අතරේදී මට ඉතා විශ්වාසදායක තොරතුරක් ලැබුනා, එක්තරා දිනයක, ඔහු වෙළෙන්දෙකු ලෙස වෙස්වලාගෙන බණ්ඩාරවෙල බස් නැවතුම්පොළට එන බව. ඔහුගේ හැඩරුව හඳුනන, ඔහුගේ ගම් පළාතේම සෙබළකු, මගේ ඛණ්ඩයේ සිටියා. එය මට මහත් වාසියක් වුනා. දැන් මගේ සැලැස්ම, මම ද වෙළෙන්දෙකු සේ වෙස්වළාගෙන, මගේ සෙබළුන් කීප දෙනෙකුටද විවිධ ආකාරයේ සාමාන්‍ය ඇඳුම් අන්දවා, (එහෙත් සන්නද්ධව) බණ්ඩාරවෙල බස්නැවතුම්පොළේ රැක සිට ඔහුව අල්ලා ගැනීමටයි.

  ඒ දිනවල මිනිසුන් පුරුදුවී සිටියේ රෑ වෙන්නට පෙර සියලු වැඩ කටයුතු නිමවා තම තමන්ගේ ගෙවල් වලට ගොස් බියෙන් ගැහෙමින් දොර ජනෙල් වසාගෙන විදුලි පහන් ද නොදල්වා සිටීමටයි.  අපි වෙහෙසුනේ ඒ තත්වය නැතිකර ජන ජීවිතය සාමාන්‍ය තත්වයට ගෙන එමටයි. ඒ සඳහා මෙවැනි ත්‍රස්තවාදීන් අල්ලාගත යුතුයි.

  මම කොට කලිසමක් හැඳ, එහි මගේ හමුදා හැඳුනුම්පත, මගේ පිස්තෝලයේ අමතර මැගසිනය සහ මුදල් පසුම්බිය දමාගෙන, ඊට උඩින් සරමක් ඇඳගත්තා. මුදලාලිලා අඳින ආකාරයේ අත් සහිත මේස් බැනියමක්  හැඳ,  තුවායකින් ඔලුවේ සුම්බරයක් බැඳ ගත්තා. හිස් පොහොර බෑග් කීපයක් එකට ඔතාගෙන එහි මගේ පිස්තෝලය සහ අත් බෝම්බයක් සඟවා ගත්තා. මගේ සහයට ආ සොල්දාදුවන්ගේ තවත් එක් අයකු (සැරයන්) අත පිස්තෝලයක් තිබුන අතර, ඔහු රඟපෑවේ නොන්ඩි ගසමින් යන දුබල රෝගී පුද්ගලයකුගේ චරිතයක්. බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ එදා එකම හිස් ගොඩක්. මම සැරයන්ට විශේෂ උපදෙසක් දුන්නා කිසිදු හේතුවක් නිසාවත්, මිනිස්සුන්ට වදින්නේයැයි සැකයක් ඇත්නම්, වෙඩි නොතබන ලෙසත්, සතුරා පැන ගියත් මිනිසුන්ගේ ජීවිතාරක්ෂාව ඊට වඩා ලොකු බවත්. 

   තවත් සොල්දාදුවන් දෙදෙනෙකු ඕනෑම අවස්ථාවකට සුදානමින්, තම ඉනේ සඟවාගත්, වනයේ දී දිවි රැකුමට ගන්නා පිහියා  (Jungle Survival Knife සමහරු මෙයට රම්බෝ පිහියා කියා කිව්වත්, මා ඉංග්‍රීසියෙන් යොදා ඇත්තේ නිවැරදි යෙදුමයි) ද සමගින්, රස්තියාදු කාරයින් මෙන්, ඒ අවට රැඳී සිටියා. මගේ රඟපෑම වඩාත් සාර්ථක වනු පිණිස, මම අසළ තිබුණු කඩයකින් බුලත් විටක් ගෙන, එය හපමින් (කට පැලුනා වගේ දැවිල්ල. බැරි සිල් නොගන් අබරෝ කිව්වලු) බස්  නැවතුම්පොළේ පඩියක් මත ඉඳගෙන සිටියා. සතුරා හඳුනන සොල්දාදුවා මා අසළ බස් මගියකු ලෙස රැඳී සිටියා.

  ටික වෙලාවක් ගත වුනත් සතුරා පිලිබඳ සේයාවක් වත් දකින්නට ලැබුනේ නැහැ. ඒ අතරතුර මා දුටුවා නිවාඩු යන සොල්දාදුවන් ද එහෙ මෙහෙ යන ආකාරය. නමුත් කිසිවෙකුගේ අවධානයට මා ලක් නොවීම නිසා මට මගේ රඟපෑම ගැන ලොකු ආඩම්බරයක් ඇති වුනා. සාමාන්‍ය ඇඳුමෙන් සිටින සොල්දාදුවකු ඔබට වුනත් බොහෝවිට පහසුවෙන් හඳුනාගන්නට පුළුවන්. කොටට කැපු කොණ්ඩය පමණක් නොව, අලංකාරව පිළිවෙලකට ඇඳ, දිලිසෙන්නට ඔප දැමූ සපත්තු දමා, ලොකු ඇඳුම් බෑගයක් ද සහිතවයි ඔවුන් යන්නේ. ඒ අතරතුර මා දුටුවා මා හඳුනන, එහෙත් මගේ බල ඇණියටවත් අයිති නැති සොල්දාදුවකු බස් නැවතුම්පොළ දෙසට එන ආකාරය. ඔහුත් නිවාඩු යන බව පැහැදිලිවම පෙනුනා. දැන්නම් මෙතන හිටියා ඇති, ටිකක් ස්ථානය මාරු කලොත් හොඳයි, කියා සිතු මා නැගිට්ටේ වෙන තැනකට යන්නයි. මම නැගිටින විටම අර සොල්දාදුවා මා දෙසට ආවා. සීරුවෙන් හිටගත්තා, ‘ගුඩ් මෝනිං සර්, කොහේද යන්නේ’ කියා මුළු බස්නැවතුම්පොළටම ඇහෙන්න මගෙන් ඇහුවා. මම ඒ සොල්දාදුවා දෙස බලපු ආකාරයට ඔහුට හිතෙන්න ඇති, තව මොහොතකින් මගෙන් හොඳ කණේ පාරක් වදියි කියලා. ඔහු එතනින් යන්න ගියා.

  දැන් ඉතින් මොකද කරන්නේ. බස් නැවතුම්පොළේ හිටිය මිනිස්සු මා දෙස බැලුවේ අඟහරු ලෝකෙන් ආව මිනිහෙක් දිහා බලන ආකාරයටයි. මම වහාම මගේ සැරයන්ට ඇහැක් ගසා, එතනින් මාරුවුනා.  අර සහායක සෙබළුන් දෙදෙනාත් සමග, කෙලින්ම කඳවුරට ඇවිත් තමයි නැවතුනේ. මගේ මහා ක්‍රියාන්විතය අවසන් වුනේ එහෙමයි.

  

  මේ සිද්ධිය නම් බොහොම පැරණියි. ඒ කාලයේ මම සේවය කලේ නුවරඑළිය ප්‍රදේශයේ. විශේෂයෙන් මෙතරම් දියුණු සන්නිවේදන පහසුකම් එකල තිබුනේ නැහැ. ජංගම දුරකථන කියා දෙයක් තිබුනේ නැහැ. හමුදා ගුවන්විදුලි පණිවිඩ හොඳින් ක්‍රියාත්මක වුනේ පිදුරුතලාගල මුදුනේ සවි කර තිබුණු සන්නිවේදන යන්ත්‍ර සහ මහා ඇන්ටෙනා වලට පින් සිදුවෙන්නයි. එක් දිනක් සවස 6.00 ට පමණ කඳවුරට හමුදා මුලස්ථානයෙන් ගුවන්විදුලි පණිවිඩයක් ලැබුනා, හෝර්ටන් තැන්නේ, පස් වර්ග පිළිබඳ පර්යේෂණයක නියැලෙමින් සිටි, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂඥයකු අතුරුදහන් වී ඇති බවත්, ඔහුට කිසියම් අනතුරක් සිදුවී ඇති බවට සැක කරන බවත්, වහාම මේ ගැන සොයා බලන ලෙසත්.

  ඔන්න ඉතින් මට තවත් ‘මහා ක්‍රියාන්විතයක්’ සඳහා ‘ටිකට් එක ඇදුනා’. මම වහාම භට ඛණ්ඩයක් සුදානම් කරගත්තා. වාචික උපදෙස් ලබා දුන්නා කරන්නට යන ක්‍රියාන්විතය පිළිබඳව. (සුද්දා ලෝකාන්තයෙන් පහලට දෙරි ගහලානම්, කරන්න දෙයක් නැහැ. මේ රෑ ලෝකාන්තයට බහින්න බැහැනේ) කඹ, විදුලි පන්දම්, ආදී මෙකී නොකී දේවල් සුදානම් කරගන්නා අතර මට නියෝගයක් ලැබුණා, නුවරඑළිය රෝහලෙන් ගිලන් රථයක්, වෛද්‍ය වරයකු සහ හෙදියකද රැගෙන යන ලෙස. රෝහලට ගියවිට කතාව අසා, අදි මදි ප්‍රතිචාර ලැබෙන්නට පටන්ගත්තා. දැන් ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඕෆ් වෙලාය, ඇම්බියුලන්ස් (ඇඹුලස් :D ) එකත් ලෙඩ වෙලාය, ආදී වශයෙන්. 


   ‘හිතුවද මේක මගේ පුද්ගලික දෙයක් කියලා, එහෙනම් මම වාර්තා කරන්නම් යුද හමුදා රාජකාරි වලට සහාය දෙන්නේ නැහැ කියලා’ ආදී වශයෙන් මම ඉස්පිරිතාලේ දෙදරන්ඩ ගෝරනාඩු කලාම, වැඩේ හරි ගියා. (අනේ ඒ කාලේ දොස්තරලා, නේස් මිසීලා, ඇඹුලස්  ඩැයිවරලා අද ඉන්න අය තරම් ‘දියුණු’ නැත. නැත්නම් මා කළ ‘අපහාසයට’ විරුද්ධව, මා අත්අඩංගුවට ගන්නා තුරු, පිදුරුතලාගල කන්ද මුදුනට නැග, ඉස්ටයික් කොරනවා සිකුරුය) 

  අනේ ඉතින් අන්තිමට සියල්ල ලැබුනේය. නේස් නෝනාගේ තනියට තප්පදෝරු ඇටෙන්ඩන්ට් නෝනෙක්ද ආවාය. ඔවුන්වත් රැගෙන කඳවුරට පැමිණි මම, ඔවුන්ගේ බය ඇරෙන පරිදි නැවත කතාකර, උණුවෙන් කිරිතේ කෝප්පයක්ද දී වැඩේට සුදානම් වුනෙමි. (නේස් නෝනා නම් ‘නෝනා මගෙ නර්ස් නෝනා’ වගේ ලස්සන එක්කෙනෙක් බව අදටත් මතකය.  :D දොස්තර මහත්තයා කළුම කලුය. ඒ මදිවට බුකවාගෙනම හිටියේය :D :D ) දැන් මේ මහා හමුදාවටම රෑ කෑම දී, අතිරේක වශයෙන් හමුදා ආහාර පැකට්, (field ration packs) වතුර, ආදී සියල්ල සුදානම් කරගෙන යුද්ධයට පිටත්වනවිට රාත්‍රී 8.00 ට ආසන්න විය.

   නුවරඑළියේ සිට රාත්‍රියේ හෝර්ටන් තැන්නට යාම ඒ කාලයේ ඉතා භයානක ක්‍රියාවකි. මීදුම නිසා පාර නොපෙනේ. සමහර තැන්වල ඇති ප්‍රපාතයකට වාහනයක් පෙරලුනොත්, පත්තරේ දාන්න වෙන්නේ, පෙරලුනා නොව, පෙරළෙමින් තිබේ කියාය. :D ඒ ප්‍රපාත එතරම් ගැඹුරුය. මීදුම තිබෙන තැන් වලදී, සොල්දාදුවන් දෙදෙනෙකු, වාහනයට ඉදිරියෙන් පාරේ දෙපැත්ත පෙන්වමින්, පයින් ගමන් කරයි. වාහනය යායුත්තේ ඔවුන් යන වේගයටය. එපමණක් නොව, බොහෝ තැන්වල පාරක් නැති තරමට පාර අබලන්ය. පාරේ පළල, අපේ ට්‍රක් රථයේ ටයර් වල වල පරතරයට වඩා අඩු යයි සිතෙන තැන්ද ඇත. ඒ මදිවාට කිසිම වාහනයක රෝද හතරටම යාන්ත්‍රණ ජවය (four wheel) තිබුනේ නැත. මම ගමන් කළ ජීප් රථයේ ඒ පහසුව අබලන් වෙලාය. ඉස්පිරිතාලයේ කට්ටිය ‘ඇඹුලස්’ එකේය. අපේ තඩි ටාටා ට්‍රක් එක, එය පදවන රියදුරාගේ හිතේ හයියෙන් එළවනවා මිස, මෙලෝ යකෙකුට කරන්නට බැරි භයානක වැඩකි.


  අඹේවෙල ප්‍රදේශය පසු කරද්දී මට හිතුනේ හෝර්ටන් තැන්නේ අඩි පාරවල්, සතුන් යන මාවත්, ආදිය දන්නා අයකු (tracker) සොයාගතහොත්, අපේ කාර්යය පහසු වන බවයි. සංචාරකයන්ට මග පෙන්වන (සමහර විට හොරෙන් දඩයම් එහෙම කරනවද දන්නෙත් නැහැ) එවැනි පුද්ගලයන් ඒ ප්‍රදේශයේ සිටින බව මම කලින් අසා තිබුනා. අසළ නිවෙස් හත අටක දොරවල් නොකඩා තඩිබා, මිනිසුන් අවදි කරවාගත් පසු යන්තම් ට්‍රැකර් කෙනෙක් අල්ලා ගැනීමට අපි සමත්වීමු. මම ඔහුගෙන් සුද්දාගේ කතාව ඇහුවත්, අද දවසේ තමන් හෝර්ටන් තැන්න පැත්තේ නොගිය බව ඔහු කීවේය. ඔහුව මගේ වාහනයට දමාගෙන පිටත්වීමි. කොහොමින් කොහොම හරි රාත්‍රී 10.00 පමණ වනවිට දේව කරුණාවෙන් හෝර්ටන් තැන්නට ලඟාවීමට අපට හැකිවිය. 100 – 200 අතර ගෝන්නු රංචුවක් අප පිළිගැනීමට මෙන් හෝර්ටන් තැන්නේ රැඳී සිටියා මතකය. (අද හෝර්ටන් තැන්නේ ඉන්න මොඩ් ගෝනුන් මෙන් ලඟට එන්නේ නැත. සමාජ ආශ්‍රයක් නැති, ඔරිජිනල් කුලෑටි ගෝන්නු ය) එදා රෑ හෝර්ටන් තැන්න හිමාලය මෙන් තමයි, මට දැනුනේ. ඒ හීතල ඇඟේ ඇටකටු දක්වා කිඳා බසින මහා කාලකන්නි හීතලකි. ඒ කාලයේ හෝර්ටන් තැන්නේ තිබුන ‘ෆාර් ඉන් – Farr Inn’ හෝටලයට විදුලි බලය ලැබුනේ, කුඩා ජනක යන්ත්‍රයකිනි. රාත්‍රී 8.00 ට පමණ එය නිවා දමන අතර, ඉන්පසු අත්‍යවශ්‍යම තැන්වල පමණක්, ආලෝකය සපයා තිබුනේ, අපි කුඩා කළ අපේ නිවෙස්වලද පාවිච්චි කළ, නොම්මර 21 ඇලඩින් ලාම්පු වලිනි. 

  හෝටලය තිබුනේ සම්පුර්ණ අඳුරේ මෙනි. අපේ භට පිරිස වහාම ට්‍රක් රථයෙන් බැස යුද්ධයට සුදානම් වුහ. ඒ අතර, හෝටලයේ කොනක කුඩා එළියක්‌ දුටු මම, එහි ගියෙමි. චිමිනි ලාම්පුවක් දල්වාගත් මුර කරුවකු, අපේ වාහන වල හඬින් තුෂ්නිම්භූතව බලා සිටියේය.  සෙබළකු ලවා මා වෙත ගෙන්වාගත්  ඔහුගෙන් මා වහාම ඇසුවේ, හෝර්ටන් තැන්නේ අතුරුදහන් වූ සුද්දාට මොකද වුනේ කියයි. ‘මාත්තියා ඒක මැනේචර් තමා යින්නවා’ කියා අතුරුදන් වූ ඔහු විනාඩි 10 කින් පමණ හෝටලයේ කළමනාකරු සමග පැමිණියේය. මම වහාම සුද්දා ගැන සුද්දාගේ බාසාවෙන්ම ඇසුවෙමි. ‘ඇයි ලෙෆ්ටිනන්ට් කොළඹින් ආව හෙලිකොප්ටර් එකකින් එයාව අරන් ගියානේ හවස 6.00 ට විතර’ ඔහු සුද්දාගේ බාසාවෙන්ම කිව්වේය.

  %^&*$#!~*  අනේ මට හිතුන දේවල්, කටට ආව දේවල්, මෙතන ලියන්නට බැරිය. (පවු අර මිසී, හොඳ වැඩේ මට ගෙම්බර් දාන්ඩ ආපු දොස්තරයට :D )

  සිදුවී තිබෙන්නේ මෙයයි. ඇත්තටම මේ සිද්ධියට සම්බන්ධ සුද්දා අතුරුදන් බව, හෝටල් කළමනාකරු විසින් තීරණය කර තිබෙන්නේ, සවස 2.00 ට පමණය. එයට හේතුව, සුද්දා එදින දවල් 12.00 ට ෆාර් ඉන් හෝටලයෙන් ආපසු කොළඹ යන බව, හෝටලයට කියා තිබීමයි. සුද්දා එදා උදේ ටිකක් ඇවිදින්නට ගියත්, 1.00 පසුවීත් ආපසු පැමිණ  නැත. හෝටලයේ කළමනාකරු සුද්දාව හෙව්වත් හමුවී නැත. කළමනාකරු අඹේවෙලට පැමිණ, එකල රජයට අයත්ව තිබුණු, (දැන් පෞද්ගලික අංශයට වැඩිපුර අයිති, එමෙන්ම හොරෙන් විසිකරන්නට සහ ඌරන්ට බොන්නට දෙන්න තරම් කිරි තිබෙන, කාටවත් බලන්නට ඉඩ නොදෙන) පිටි කිරි කම්හලෙන්, කෙලින්ම කොළඹ පිහිටි තම හෝටලයේ ප්‍රධාන කාර්යාලයට, දුරකථන මගින්, තත්වය වාර්තා කර ඇත.

  (ඒ කාලයේ කෙලින්ම ඇමතුම් ගැනීම (direct dialling) තිබුනේ නැත. ඇමතුමක් ගැනීමටනම්, මුලින්ම 0 කරකවා, (බොත්තම් ඔබන දුරකථන තිබුනේ නැත) දුරකථන පණිවිඩ හුවමාරු ස්ථානය අමතා, මගේ අංකය මෙයයි, මට අහවල් ප්‍රදේශයේ අහවල් අංකයට, කතා කළයුතුයයි කිව යුතුයි. බොහෝවිට ලැබෙන්නේ, පැයක් නැත්නම් දෙකක් පමණ ප්‍රමාද වනවා යන පිළිතුරයි. ඇත්තටම අද කාලයේ කුමක් හෝ දෝෂයක් නිසා එහෙම කරන්න වුනොත්, මිනීමැරුම් කීයක්‌ සිදුවෙයිද? :D ) 

  හෝටලයේ ප්‍රධාන කාර්යාලයෙන් කොළඹ පොලීසියට, පොලීසියෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ කාර්යාලයට, (හොඳ වෙලාවට සුද්දා අතුරුදන් වීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියා, ඒ කාර්යාලය ඉදිරිපිට, රෑට හොරෙන් හොරෙන් කෑම කමින්, උපවාස කරන්න බූරුවංශලා එකල නොසිටියෝය :D ) එතනින් ආරක්ෂක අමාත්‍යංශයට, එතනින් හමුදා මුලස්ථානයට, එතනින් ප්‍රාදේශීය හමුදා මූලස්ථානයට, එතනින් අපේ කඳවුරට පණිවිඩය ගොස්, අපි අර අන්ධභුත නාට්‍යය රඟපාන අතරේ, හෝටලයේ පිරිසක් ට්‍රැකර් කෙනෙකු සමග හෝර්ටන් තැන්නේ ඇවිද, ගමනේදී ඇදවැටී, කකුලක් ඇමැට්ටි වී, ඇවිද ගැනීමට නොහැකිව අතරමංව සිටි සුද්දා හමුවී ඇත. ඒ පිරිස, සුද්දාවත් රැගෙන වහාම ආපසු හෝටලයට පැමිණ, යලිත් අඹේවෙලින් කොළඹට කතාකර, සුද්දා හමුවූ බව කියා ඇත. ඒ පනිවිඩය, අර දීර්ඝ ජාලය දිගේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ගිය පසු, රජයේ අනුග්‍රහයෙන්, එදින අවසන් ආලෝකයට මොහොතකට පෙර, (ඉර බැස ගියානම්, හෙලිකොප්ටර් බැස්සවීමට බැරි වන අතර, සුද්දාට ‘අපේ වීර චාරිකාව’ :D  එහි ලඟා වනතුරු ඉන්නට සිදුවෙනවා) සුද්දාව රැගෙනගොස් ඇත. ඒ බව අපිට දැනුම්දී, අපේ මහා ක්‍රියාන්විතය නවත්වන ලෙස දැනුම් දීමට තරම්, අර ලොකු මහත්වරුන්ගේ මස්තිෂ්ක කුහරය තුළ, බුද්ධිය කැටිවී නොතිබුණි.

  ‘ෆාර් ඉන්’ කළමනාකරු අපට කිරිකෝපි සංග්‍රහයක් පැවැත්වීමට තරම් කාරුණික විය. ඊට වඩා ‘ලොකු සංග්‍රහයක්’ මට දෙන්නට සුදානම් වුනත්, රාජකාරියේ යෙදී සිටින නිසාත්, ආපසු ගමන යායුතු නිසාත්, එය කාරුණිකව ප්‍රතික්ෂේප කලෙමි. (දුකේ බැරුවා, මොනවා කොරන්ටද, රාජකාරියනේ ලොකු :D )

  ගුවන්විදුලි මගින් කඳවුර ඇමතු මම තත්වය වාර්තා කලෙමි. ‘එන්න අමාරුනම් එලිය වැටෙන තුරු ඉඳලා එන්න’ යයි කඳවුරෙන් උපදෙස් ලැබුණි. නමුත් අපි සියලු දෙනාට අවශ්‍ය වුනේ, ඒ දරුණු සීතලෙන් මිදී, හැකි ඉක්මණින් ආපසු ඒමටය. අළුයම 2.30 ට, මේ ‘මහා ක්‍රියාන්විතයේ’ :D  අවසානය දැක, මගේ ඇඳේ උණුසුම් පොරෝනය යට ගුලිවීමට තරම් මම වාසනාවන්ත වුයෙමි.

26 September 2012

සැඟවුණු මරුවා (හතරවැනි කොටස – අවසානය) The Sniper (Part Four – Final)


  තවත් දීර්ඝ ලිපියක අවසාන කොටස, අද මා ඔබ වෙත රැගෙන එනවා. මේ ලිපි මාලාව අතිශයින්ම ජනප්‍රිය වූ බව, පළමුවැනි කොටස,දෙවැනි කොටස සහ තුන්වැනි කොටස වෙත ලැබුණු, ඔබේ ප්‍රතිචාරවලින් මොනවට පැහැදිලි වුනා. මෙවනි ලිපි ලිවීම, සෑහෙන වෙහෙසකර කාර්යයක් වුනත්, ඔබේ රස වින්දනය, දැනුම පෝෂණය උදෙසා, ඉදිරියේදීත් මෙවැනි ලිපි ලියන්නට ඉටා ගත්තා.
  ස්නයිපර් වරුන් පිළිබඳව මෙසේ කොටස් හතරක ලිපියකින් මා දක්වන්නේ ඉතා කල්පනාකාරීව තෝරාගත් කරුණු ස්වල්පයක් බව නැවතත් අවධාරණය කරන්නේ, එක් මාතෘකාවක් පිළිබඳව දීර්ඝ ලිපි මාලාවක් කියවීමට බ්ලොග් කියවන්නන් එතරම් උනන්දු නොවන බව, මේ බ්ලොග් අඩවිය අරඹා කෙටි කලකින්ම මට අවබෝධ වුන නිසයි. කෙසේ වෙතත් මා පල කරන ඕනෑම ලිපියක් අවම වශයෙන් 1500 ක් හෝ සමහර විට ඊටත් වඩා පිරිසක් කියවීම ගැන මම සතුටු වෙනවා. හොඳයි, එහෙනම්, සැඟවුණු මරුවා අවසන් කොටස මෙසේ අරඹනවා.
 
  ස්නයිපර් තුවක්කුව, එහි ක්‍රියාකාරිත්වය, ඉලක්ක ගැනීමේදී සහ වෙඩි තැබීමේදී අනුගමනය කලයුතු තාක්ෂණික කරුණු යනාදියට තමයි ප්‍රධාන තැන ලැබෙන්නේ. නමුත් ඒ විෂයය කරුණු මෙහි දැක්වීම කල නොහැක්කේ ඒවා රහසිගත නිසා නොවෙයි. ඉතා දීර්ඝ වන නිසයි. ඕනෑම කෙනෙකුට බලාගත හැකිවන ලෙස ඒ තොරතුරු සිංහල හැර වෙනත් භාෂා වලින් අන්තර්ජාලයේ පළකර තිබෙනවා. සමහරවිට මේ තොරතුරු සිංහලෙන් අන්තර්ජාලයේ පලවන්නේ මේ බ්ලොග් අඩවියේ පමණක් විය හැකියි. වෙඩි තැබීමේ ප්රාගුන්‍යය හෙවත් ප්‍රගුණ වෙඩි කරුවකු වීමයි මුලින්ම කලයුත්තේ. එහිදී උගන්වන කරුණු ඉතා සැකෙවින් මෙසේයි.
වෙඩි තැබීමේ මුලධර්ම අධ්‍යයනය හා කුසලතා ප්‍රවර්ධනය
  • ශාරීරික වෙහෙස අවම මට්ටමෙන් පවත්වා ගැනීම හා පාලනය.
  • තුවක්කුවේ දුරදක්නය නිසි පරිදි සකස්කර ගැනීම සහ එයින් පෙන්වන රුපය නිසි පරිදි අවබෝධ කරගැනීම.
  • හුස්ම ගැනීම පාලනය කිරීමට ඉගෙන ගැනීම.
  • තුවක්කුවේ ට්‍රිගරය මිරිකීමේ නිවරැදි ක්‍රමවේදය ඉගෙනීම.
  • උණ්ඩය පිටවූ පසු එය ඉලක්කය වෙත ගිය/නොගිය බව නිරීක්ෂණය කිරීම.
කායික මානසික සූදානම
  • නීරෝගී කයක්, නීරෝගී මනසක්, වැඩි දියුණු කල ස්ථානෝචිත ප්‍රඥාවක්, තිබීම හා නිරන්තර අභ්‍යාසය.
  • නිරවුල්ව, වෙහෙසට පත් නොවී, විවේකීව සිටින්න.
  • ඉලක්කය ඉදිරියේ ඇත යන සංවේදීතාව වැඩි දියුණු කරගන්න.
  • ඉලක්කයේ ‘සුවඳ’ දැනෙන තරමට ඔබේ හැකියාව වර්ධනය කරගන්න.
  • ස්ථාවර රටාවකට සාමාන්‍ය ලෙස හුස්ම ගන්න. ඉලක්කය දුටු පසු ඔබේ මුව මඳක් විවර කර හුස්ම ගන්න. එවිට ඔබ හුස්ම ඉහළ පහළ හෙළන හඬක් ඇති නොවේ.
  • කිසිවක් නොසිතන්න. මනස නිරවුල් කරගන්න. ඔබ කලයුතුම දේ කුමක්ද යන්න ගැන පමණක් වගබලා ගන්න.
  • ඔබව දැඩි ලෙස පාලනය කරගන්න. සිතන්න, මේ වෙඩිල්ල තැබීමට ඔබට ලැබෙන්නේ මේ අවස්ථාව පමණයි.
  ස්නයිපර් වරයකුට තම අවියේ ඇති දුරදක්නය තමන්ගේ ඇස තරම්ම වටිනවා. මේ නිසා තම දුරදක්නය නිසි පරිදි සකසා ගැනීම මෙන්ම එහි ක්‍රියාකාරිත්වය පිලිබඳ පරිපුර්ණ දැනුමක්ද ඔහුට අත්‍යවශ්‍යයි.
   දුරදක්නය මගින්ම තම ඉලක්කයට ඇති දුර දැකගැනීමේ හැකියාව නවීන දුරදක්නවල තිබෙනවා. එවැනි දුරදක්නයකින් ඉලක්කයට ඇති දුර පෙන්වන්නේ මෙහෙමයි.
  රාත්‍රී දුරදක්නයක් පාවිච්චි කිරීමේදී අතිශයින් පරෙස්සම් විය යුතුයි. සතුරා අතේද රාත්‍රී දුරදක්නයක් ඇත්නම් ඔහුටද අපව නිරීක්ෂණය වන බව මතක තබාගත් යුතුයි. රාත්‍රී දුරදක්නයක් සර ආලෝකයකට නිරාවරණය වුනොත් එහි ක්‍රියාකාරිත්වය අවුල් වෙනවා.
 
 රාත්‍රී දුරදක්නයකින් පරිසරය පෙනෙන්නේ කොළ පාටින් පමණයි. නමුත් ස්නයිපර් රාජකාරී මෙන්ම සාමාන්‍ය යුද කටයුතු සඳහාද එයින් විශාල සේවයක් වෙනවා. එහි අගය මා අත්දැකීමෙන්ම දන්නවා. 1998 වසරේදී මා, කුඩා සෙබල කණ්ඩායම් දෙකක් වෙත රාත්‍රී දුරදක්න ලබාදී, ක්ෂණික රැක සිට පහරදීමක යොදවනු ලැබුවා. එහිදී, ආරක්ෂක වළල්ල හරහා ඇතුළු වීමට පැමිණි, ත්‍රස්තවාදීන් 6 දෙනෙකු මරා දමන්නට ඒ කණ්ඩායම් දෙකට හැකි වුනා. ඔවුන් ඉතා සාර්ථකව, රාත්‍රී දුරදක්න මගින්, සතුරාගේ ගමන දැක තිබුනා.
 
 
මීට අමතරව සෑම ස්නයිපර් වරයකුටම ඉගෙනගැනීමට සිදුවන, තවත් ගැඹුරු විෂයයක් තිබෙනවා. ඒ තමයි ක්ෂේත්‍ර අධ්‍යයනය. (Field Craft) එහිදී සිතියම්, පින්තුර හෝ වෙනත් ලිඛිත, මුද්‍රිත, තොරතුරු මෙන්ම, තම දෙනෙතට නිරීක්ෂණය වන භූමියද මනාව අවබෝධ කරගනිමින්, සතුරාගේ නිරීක්ෂණයට ලක් නොවන පරිදි, ඒ භූමියේම කොටසක් මෙන් වෙස්වලා ගැනීම, සැඟවීම, තැනින් තැනට ගමන් කිරීම, සතුරා පිළිබඳව හැකි සෑම දෙයක්ම නිරීක්ෂණය ,තමන්ගේ ඉදිරි ඉලක්ක තෝරා ගැනීම සහ වැදගත් තොරතුරු තම මුලස්ථානයට වාර්තා කිරීම කලයුතු වෙනවා. මෙය දීර්ඝ කාලයක් භූමියේ ප්‍රායෝගිකවම ගතකොට ප්‍රගුණ කලයුතු කලාවක්. සතුරාට නිරීක්ෂණය වීම වැලක්වීමට හෝ සතුරු ඉලක්කයක් සාර්ථකව ලබාගැනීම සඳහා මඩ වලක, කුණු කානුවක වුවද බැසීමට ස්නයිපර්ට සිදුවෙනවා. මදුරුවන්, කෘමීන්, කූඩල්ලන් කන විට දඟලන්නේ නැතිව ඉවසා සිටීම, කැලයේ සැඟවී සිටිනවිට තම ඇඟ දිගේ සර්පයකු ගියත් උගෙන් හානියක් නොවන්නේනම් නිශ්චලව සිටීම කළයුතු වෙනවා.
  ස්නයිපර්ට හිතෙන හිතෙන ආකාරයට වෙස්වලාගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මුලින්ම ඔහු ඉතා හොඳින් තම පරිසරය අධ්‍යයනය කළ යුතුයි. ඒ අනුව ඔහුට වෙස්වලාගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා. කෙටි කාලයක් සඳහා පරිසරයේ ඇති කොළ අතු වැනි දේවල් තම ඇඳුමේ සවි කරගෙන වෙස්වලා ගැනීම. (කොළ අතු මැලවී යනවා. නැවත අලුත් කළ යුතුයි. ඒවා කරකර ඉන්නට යාම භයානකයි. තමන් සතුරාගේ නිරීක්ෂණයට ලක්විය හැකියි. නමුත් වඩාත් හොඳින් සැඟවීමට හැකියි)
 
 අනෙක් ක්‍රමය වන්නේ වෙස්වලා ගැනීම සඳහාම විශේෂයෙන් සැකසු ඇඳුමක්‌ ඇඳගැනීමයි. මේ සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුව සැකසෙන ඇඳුම් විශේෂයක් තිබෙනවා ඒවා හඳුන්වන්නේ ඝීලී ඇඳුම (Ghillie Suit) යනුවෙන්. සාමාන්‍ය හමුදා නිල ඇඳුමක් ගෙන, විශේෂ ඝන නූල් වර්ග භාවිත කරමින්, පරිසරයේ සැඟවීම පහසු කරන ආකාරයට මේ ඇඳුම සකස් කර තිබෙනවා. පින්තුරය දෙස බැලූ පමණින් එය ඔබට අවබෝධ වන නිසා වැඩි දුර විස්තර කිරීම අවශ්‍ය නොවනු ඇතැයි මා සිතනවා.   
  ඝීලී ඇඳුම් සැකසීම කලබලයෙන් කළහැකි දෙයක් නෙවෙයි. ඉදිරි කාලයේදී තමන් ගත කරන්නට යන්නේ, කෙබඳු පරිසරයකද යන්න හරිහැටි නොදැන, ඝීලී ඇඳුමක් ඇන්දොත්, එය සතුරාට තමන් හඳුනා ගැනීමට කරණ අත වැනීමක් බවට පත්වෙනවා. මේ නිසා පොදුවේ ඒ ඒ පරිසරයට අනුව යොදාගතහැකි ඝීලී ඇඳුම් සකසා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඝීලී ඇඳුම් සකස් කිරීමත් එක්තරා කලාවක්. පරිසරයේ ස්වභාවයට හැකිතරම් ආසන්න වන ආකාරයට සකසාගත් තරමට ස්නයිපර්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. හැබැයි මේ ඇඳුම ඇඳගත් විට අපහසුවකින් තොරව වෙඩි තැබීමටද හැකිවන අයුරු සැකසිය යුතුයි.
   ලෝකයේ එක් එක් ප්‍රදේශ වලට අනුව දේශගුණය, පරිසර ස්වභාවය ආදිය ගැන සිතා බලා සකස්කර ඇති ඝීලී ඇඳුම් මෙහි දැක්වෙනවා. ඔබට හොදින්ම පැහැදිලි වනවා ඇති පරිසර සාධක පිළිබඳව කොතරම් දැඩි අවධානයක් යොමු කර තිබෙනවාද කියා මේ ඇඳුම් සකස් කිරීමට.
  ස්නයිපර් වරයෙක් කොතරම් හොඳ පුහුණුවක් ලබා සිටියත්, ඔහුට තනිවම සියලු කටයුතු කරන්නට බැහැ. ඔහුට තම ආධාරය සඳහා තවත් එක් අයකුවත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසයි ස්නයිපර් වරු දෙදෙනාගේ හෝ තිදෙනාගේ කණ්ඩායම් ලෙස යොදවන්නේ. මෙහිදී ලැබෙන අන්‍යොන්‍ය සහාය මත තමයි සාර්ථකත්වය රඳා පවතින්නේ.
 
  පරිසරය අනුව ඇඳුම වෙනස් කරගැනීමේදී හිම සහිත පරිසරයකදී නම් සුදු පැහැය තමයි වැඩියෙන්ම යොදාගන්නේ. හැබැයි හිම සහිත පරිසරයක දිගු වෙලාවක් රැඳී සිටීමනම් එතරම් පහසු වැඩක් නෙවෙයි. මේ බලන්න එවැනි පරිසරයක සිටින ස්නයිපර්ගේ වෙස්වලාගැනීම.
 
  මෙසේ සහාය දක්වන්නාගේ රාජකාරිය වන්නේ ඉලක්ක සොයා ඒවා ස්නයිපර් වෙත ලබාදීම, තමන් අතේ ඇති රේන්ජ් ෆයින්ඩර් දුරදක්නයෙන් (Range Finder) ඉලක්කයට ඇති දුර මැන බලා, එය ස්නයිපර් වෙත ලබාදීම, ස්නයිපර් වෙඩි තැබූ පසු උණ්ඩය හරියටම ඉලක්කයට වැදුණේදැයි තමන් අතේ ඇති දුරදක්නයෙන් නිරීක්ෂණය කිරීම, ඉලක්කය වැරදුනේ නම් වෙඩි තැබීමේදී නිරීක්ෂනයවූ අඩුපාඩු පෙන්වාදීම, ආදියයි. මෙකී සියලු රාජකාරි වල යෙදෙන්නා හඳුන්වන්නේ ‘ස්පොටර්’ (Spotter) යනුවෙන්. හොඳින් මතක තබාගන්න සපෝටර් නෙවෙයි ස්පොටර්.
 හැබැයි ඉතින් ස්පොටර් සපෝටර් වෙන අවස්ථාත් තියනවා. මේ බලන්න ස්පොටර් අවශ්‍ය වෙලාවට ස්නයිපර්ට බොක්කෙන්ම, නෑ නෑ, කොන්දෙන්ම සපෝට් එක දෙන හැටි.
  ස්පොටර් පාවිච්චි කරණ දුරදක්නය අති විශේෂ එකක්. එම දුරදක්න අතර  ඉතා සංකීර්ණ තොරතුරු රැසක් පෙන්වන ආකාරයේ මොස්තරත් තියනවා. දිවා දුරදක්නය, රාත්‍රී දුරදක්නය, ඉලක්කයට ඇති දුර නිශ්චය කරන රේන්ජ් ෆයින්ඩරය යන සියල්ල එකට කැටිකල දුරදක්නද සපොටර් වරුන් අත තිබෙනවා. ඒවා ඉතා මිල අධිකයි. එවැනි සරල දුරදක්නයක බදු රහිතව මිල රුපියල් ලක්ෂ තුනකට මඳක් වැඩියි.
  ස්පොටර්ගේ දුර්දක්නයේ පෙන්වන තරම් සංකීර්ණ කරුණු ස්නයිපර්ගේ දුර දක්නයේ පෙන්වන්නේ නැහැ. එයට හේතුව ස්නයිපර්ට සිය දුරදක්නය තුලින් නිදහසේ අවට පරිසරය බලාගැනීමට ඉඩ තිබිය යුතු නිසයි. එය සංකීර්ණ වුනොත් ස්නයිපර්ගේ දර්ශන පථය අවුල් වෙනවා.
 ස්නයිපර් වරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ලෙස යොදවනවා. ස්කවුට් ස්නයිපර් (Scout Sniper) නමැති වර්ගයේ අය කරන්නේ හැකිතරම් සතුරු ප්‍රදේශය ඇතුලට ගොස් සතුරාගේ සියලු තොරතුරු නිරීක්ෂණය කර තම මුලස්ථානයට වාර්තාකර කාලතුවක්කු, එම්.බී.ආර.එල්. ගුවන් ප්‍රහාර, සතුරාට ලබාදෙන අතරම වැදගත් අයවලුන් තම බිල්ලට ගැනීමයි. දෙවැනි වර්ගය ප්‍රති ස්නයිපර් වරුන්. (Counter Snipers) ‘රාස්සයා කන පරාස්සයා’  :D ඔවුන් කරන්නේ සතුරු පක්ෂයේ ස්නයිපර් වරුන් සොයා පහරදී මරා දැමීමයි. ඊශ්‍රායල් ස්නයිපර් වරයකු, ප්‍රති ස්නයිපර්  කෙනෙකුගේ,  ගොදුරක්  වෙනහැටි  බලන්න.


‘සේවින්ග් ප්‍රයිවෙට් රයන්’ චිත්‍රපටියේ අර සුප්‍රසිද්ධ ස්නයිපර් ෂොට් එක නොදැම්මොත් අඩුවක් නේද? ඔන්න ඒක ආයෙත් බලන්න.



ඇමරිකානු මැරීන් සෙබළුන් ඇෆ්ඝනිස්තානයේදී ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කරන අයුරු පහත දැක්වෙනවා. බලන්න ඔවුන් කාන්තාර පරිසරයේ සිටින්නේ වෙස්වලාගැනීමෙන් තොරව, කාන්තාරයට සුදුසු ඇඳුමක් ඇඳ, බර නැති සපත්තු දමාගෙනයි. ස්පොටර්වත් දකින්න පුළුවන්. ලිපියෙන් කියා ඇති කරුණු සමහරක්, මෙම වීඩියෝවෙන් නිරීක්ෂණය කර, අවබෝධයක් ලබාගන්න. 





ස්නයිපර් චිත්‍රපටි පිස්සුවෙන් පෙලෙන සෑහෙන පිරිසක් මෙම ලිපි මාලාව කියවන බව ඔවුන්ගේ ප්‍රතිචාර වලින් පැහැදිලි වුනා. මෙන්න එහෙනම් පිස්සුව ඩබල් කරගන්නලෝකයේ හොඳම ස්නයිපර් චිත්‍රපටි 50 ක් සඳහා සබැඳියාවක්.
   ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම ස්නයිපර් වරු කවුද යන ප්‍රශ්නයත් විවාදාත්මකයි. එම තේරීම් සඳහා යොදාගෙන තිබෙන නිර්ණායක ගැනත් මතබේද තිබෙනවා. දැනට මේ පිළිබඳව ඇති තොරතුරු ලබාගතහැකි සබැඳියාවන් පහත දක්වනවා.
  ස්නයිපර් වරුන් පිලිබඳව History Channel චන්ද්‍රිකා රුපවාහිනි නාලිකාව විසින් නිපදවූ වාර්තා චිත්‍රපටියක් මෙතනින් බලන්න.
  ස්නයිපර් වරුන්ගේ ක්‍රියාකාරකම් ඇතුලත් කෙටි වීඩියෝ දර්ශන රාශියක් මෙතනින් බලන්න පුළුවන්.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රගුණ වෙඩිකරු සහ ස්නයිපර් භූමිකාව (Role of SL Army Marksman & Snipers)
  ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රගුණ වෙඩිකරු සහ ස්නයිපර් භූමිකාව වෙත යොමු වුනේ 1980 දශකයේ මුල් භාගයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවූ ස්නයිපර් ප්‍රහාර නිසා ලද අප්‍රසන්න අත්දැකීම් සමගයි. මේ නිසා නොපමාවම ප්‍රගුණ වෙඩි කරුවන් සහ ස්නයිපර් වරුන් පුහුණු කිරීමේ අවශ්‍යතාවය තදින්ම දැනුනා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රගුණ සහ සැඟවුන වෙඩිකරු පුහුණු පාසල (Sri Lanka Army Marksman & Sniper Training School = MSTS) දියතලාව යුද හමුදා පුහුණු සංකීර්ණය තුල ආරම්භ කෙරුනා.
  මේ පාසල මගින් ආරම්භ කළ පුහුණුව කොතරම් උසස් තත්වයකට පත්වීද යත්, අති විශිෂ්ඨ සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිඵල ලබාගන්නට හැකි වුනා. මේ සඳහා පුරෝගාමීව කටයුතු කල උසස් හමුදා නිලධාරීන් රාශියක් සිටියත් මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ කලක් එහි සේවය කල ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ, අද ජීවතුන් අතර නැති, කර්නල් දයා රාජසිංහ යි. මේ පුහුණු පාසැල අද වනවිට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පුහුණුව ලබාදෙන බව ප්‍රකාශ කරන්නේ සතුටෙන් සහ ආඩම්බරයෙන්. මුල් කාලයේදී ප්‍රගුණ වෙඩිකරු පුහුණුව නිසා ජාත්‍යන්තර තලයට පත්, වායු රයිෆල් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මගේ මතකයට නැගෙනවා. ඒ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සැරයන් මේජර් පුෂ්පමාලි රාමනායක සහ මාලි වික්‍රමසිංහ යි. (මාලි වික්‍රමසිංහගේ ඡායාරුපයක්වත් අන්තර්ජාලයේ සොයාගන්නට නැත)  ඔවුන් දෙදෙනා,1994 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ,කාන්තා මීටර් 100 වායු රයිෆල් තරගයෙන්, රන් පදක්කම් දිනා අති විශිෂ්ඨ දස්කම් පෑ අතර, ඒ පසුපස සිටි මහා බලවේගය වුයේ කර්නල් රාජසිංහ යි.
  ප්‍රගුණ සහ සැඟවුන වෙඩි කරු පුහුණු පාසල, සංග්‍රාමික කාර්යය සඳහා විශේෂ අවධානය යොමු කරමින්, ස්නයිපර් පුහුණුව උසස් වෘත්තීය මට්ටමෙන් පුහුණු කිරීම ආරම්භ කිරීමේ ප්‍රතිඵලය වුයේ, ශ්‍රී ලංකා යුද හමුදාව තුල, ජාත්‍යන්තර මට්ටමේ ස්නයිපර් වරුන් බිහිවීමයි. මෙයින් බිහිවූ ස්නයිපර් වරුන් නොබියව, අතිදක්ෂ ලෙස යුද බිමේ සිය රාජකාරිය අකුරටම ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ,.ටී.ටී.ඊ. ස්නයිපර් කරුවන් නැත්තටම නැති කරදැමීමට හැකිවුනා.
 ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුල, ස්නයිපර් භූමිකාවේ අද්විතීය හා නොමැකෙන සටහනක් තැබූ එකම ස්නයිපර් වරයා වන්නේ, නීරෝ ය. ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම ස්නයිපර් වරුන්ට කිසිසේත් දෙවැනි නොවන ස්නයිපර් වරයකු වන නීරෝ, ජාත්‍යන්තර පිළිගැනීමට ලක් නොවන්නේ, හුදු කුහකත්වය නිසා මිස, වෙනත් කිසිදු හේතුවක් නිසා නොවේ. අපි ජීවත්වන කුහක ලෝකයේ හැටි එහෙමය.
ත්‍රිවිධ හමුදාවේම මෙතෙක් වැඩ කාරයන් ලෙස ප්‍රසිද්ධ වුවන් එකෙක්වත් නගරයේ කොල්ලන් නොව ගමේ කොල්ලන් වීම විශේෂත්වයකි. රට දිනවීම සඳහා තම ජීවිතය පිදු ත්‍රිවිධ හමුදා, පොලිස්, ග්‍රාමාරක්ෂක, රණවිරුවන් ගෙන් බහුතරය, ගමේ එවුන් මිස (පොෂ්, මොඩ්, එල, පට්ට,) එවුන් නොවේ. උන්ගේ ලෙයින් මේ රට තෙත්වනු දුටු අපිට, උන්ගේ සිරුරු ග්රෑම් සීයේ කෑලි වලට කැඩී සුනුවිසුනු වනු  දුටු අපිට, කඳින් දෙකට කැඩුන පසුත්, තවමත් ගැහෙන හදවතක් උන්ට තිබෙන බව දුටු අපිට, සීල් තබා ගෙදර ගෙන ගිය මිනී පෙට්ටිය තබන්නට ගෙයක් නැති බව දුටු විට, අපටම වෙඩි තියාගෙන මැරෙන්නට සිතුනු අපිට, අද කොළ කඩා පාන ජෝකරයන්, හැත්ත බුරුත්තම වල පල්ලට යවන්නට තරම්, අපේ ලේ කකියන්නේ එබැවිනි.
  ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ ආනමඩුව නමැති පෞරාණික ග්‍රාමයට නොදුරු මඬලාන නමැති ග්‍රාමයේදී 1969 වර්ෂයේදී උපන් රංජිත් ප්‍රේමසිරි, මහා ප්‍රාඥයකු බවට පත් නොවන්නේ, එවැනි ගම් පලාත්වල ඇති ‘අති විශිෂ්ඨ’ අධ්‍යාපන පහසුකම් වලට පින් සිදුවන්නටය. ඒ කාලයේ ගම්වල කොයි කොල්ලාත් කෙල්ලත් ලබන තරමේ අධ්‍යාපනයක් ඔහු ලබාගත්තේ  මඬලාන මහා විද්‍යාලයෙනි. මේ කාලයේ ගමේ කොල්ලන් කෙල්ලන් බොහොමයකට ‘ආමි පිස්සුව’ තදින්ම වැදුනේ ඒ ප්‍රදේශ වලින් ඒ වනවිටත් සෑහෙන පිරිසක් ආරක්ෂක හමුදාවන්ට බැඳී සිටි බැවිනි. (ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට බැඳී සිටින බහුතරයක් වයඹ පලාතට අයත්ය) ප්‍රේමසිරි ද තම දැඩි ආශාව ඉටු කරගැනීමේ අභිලාෂයෙන් 1991 පෙබරවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බැඳෙන විට, ඔහුගේ වයස යන්තම් අවුරුදු 22 කි. පුහුණුවෙන් පසු 5 වැනි ගජබා රෙජිමේන්තුවට ඇතුලත් කරන ලද ඔහු, වෙඩි තැබීමේ දක්ෂකම් ප්‍රදර්ශනය කරන්නට වීමේ ප්‍රතිඵලය වුයේ, ප්‍රගුණ සහ සැඟවුන වෙඩිකරු පාසලට ඇතුලත් වීමට වරම් ලැබීමයි.   
  ස්නයිපර් වරයකු වීමට කොතරම් සුදුසුකම් රැසක් සම්පුර්ණ කලයුතුයි දැන් ඔබ හොඳින්ම දන්නවා. එය හිතේ හයියෙන් පමණක් කළහැකි දෙයක් නොව මොලය, ඇස, කාය ශක්තිය ආදී විවිධ හැකියා රැසක එකතුවක් බවත් ඔබ දැන් දන්නවා. ඉතින් මේ ගමේ කොල්ලා, ඒ සියලු සුදුසුකම් සම්පුර්ණ කර අති විශිෂ්ට ස්නයිපර් වරයකු බවට අභිෂේක ලබා, යුද පිටියට පිවිසියේ සිය රාජකාරිය අකුරටම ඉටු කරන්නටයි. ඇත්ත වශයෙන්ම අකුරටම නොව ඊට වඩා බොහෝ ඉහළින් ඔහු එය ඉටු කළා. හරියටම සනාථ කරගෙන තිබෙන ආකාරයට, ඔහු විසින් ලබාගෙන ඇති ඉලක්ක සංඛ්‍යාව 180 ක්. මේ අනුව මෙතෙක් ලෝකයේ බිහිවූ ස්නයිපර් වරුන් අතර 5 වැනි ස්ථානය අනිවාර්යයෙන්ම ඔහුට හිමි විය යුතුමයි.
  උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේ සේවය කරමින් සිටි නීරෝ ඉතා අවාසනාවන්ත ලෙස 2009 අප්‍රේල් මස 28 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ස්නයිපර් වරයකුට ගොදුරු වුනා. දෙදරු පියකු වූ කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි, සිය අනබිභවනීය සේවය වෙනුවෙන්, වීර වික්‍රම විභූෂණය, (WWV) රණවික්‍රම පදක්කම, (RWP) රණශුර පදක්කම, (RSP) යන වීර පදක්කම් වලින් පුදනු ලැබුවේ ඒ වනවිටත් ලබාසිටි සේවා පදක්කම් රැසකට අමතරවයි.
ස්නයිපර් වරුන්ගේ අනාගතය කෙබඳු වේද?
  දැනට පෙනෙන ආකාරයටනම් ස්නයිපර් වරුන්ගේ අනාගතය එතරම් සුබ දායක නැහැ. එයට හේතුව වන්නේ තාක්ෂණික පහසුකම් වැඩි දියුණු වීමත් සමගම, තව දුරටත් සැඟවී සිටින්නට ස්නයිපර් වරයාට නොහැකිවන නිසයි. සයිලන්සරයක් සවිකළ තුවක්කුවකින් පවා පිටවන අතිශයින් සියුම් හඬ, ස්නයිපර් වරයාගේ ගුවන්විදුලි පණිවිඩ, තුවක්කුවේ හඬ පිටවූ දිශාව, සොයාගෙන ඒ තොරතුරු දෘශ්‍ය සහ හඬ (Video & Audio) ලෙස තම සගයන් අතර සහ මුලස්ථානය වෙතද ක්ෂණිකව යැවිය හැකි සංවේදක (sensors) අනාගත සොල්දාදුවාගේ වෙඩි නොවදින හිස්වැස්මේ සවිකර තිබෙනවා. එමෙන්ම ඒවා නැරඹීමේ ඇසීමේ පහසුකම්ද ඒ හිස්වැස්මේ ම තිබෙනවා. එදාට නම් ස්නයිපර් අමාරුවේ වැටෙනවා. එපමණක් නොව, සැක සහිත ප්‍රදේශවෙත එල්ල කළහැකි ලේසර් සහ අධෝරක්ත කිරණ මගින්ද ස්නයිපර් වරුන් ‘ඉව’ කිරීමේ ක්‍රම වර්ධනය වෙමින් පවතිනවා. මේ නිසා අනාගත ස්නයිපර් වරුන්ට තම රාජකාරිය ඉටු කිරීමට පෙරකී උපක්‍රම අබිභවා යන අලුත් ක්‍රම සොයාගතයුතු වෙනවා.
  අද ලිපිය දිග වැඩිදෝ කියා දැන් සිතෙනවා. ඒ වගේමයි වෙහෙස. ඒ නිසා ටික දිනක් නිහඬව ඉන්නම්. ඉවසීමෙන් මේ දිග ලිපිය කියවූ ඔබට වෙනදා වගේම ස්තුතිවන්ත වෙනවා. ඔබේ දැනුමට යමක් එකතු වුනානම් හදවතින්ම සතුටු වෙනවා.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }