හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

19 August 2012

20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (තුන්වැනි කොටස) Expedition Kon Tiki (Part Three)


  අපූරු යාත්‍රාව
  කොන් ටිකි කතාවේ තුන් වැනි කොටසටයි ඔබ මේ පිවිසුනේ. මෙහි කලින් පළවූ කොටස් නොබැලුවානම්,
පළමුවැනි කොටස මෙතනින්
දෙවැනි කොටස මෙතනින්බලන්න.
  හෙයඩල් සහ ඔහුගේ සගයන් පස් දෙනාත්, හෙයඩල් ගේ සුරතල් ගිරවා වූ ‘ලොරිටා’ ත්, නෝර්වේ රටේ සිට පේරු (පීරු කියලත් කියනවා) රාජ්‍යය බලා ආවේදකුණු ඇමරිකානු වැසියන්, ඉතා ඈත අතීතයේදී, ඉතා නොදියුණු යාත්‍රා භාවිත කරමින්, ශාන්තිකර සාගරය තරණය කර ගොස්, පොලිනීසියානු දූපත් ජනාවාස කළා’ කියන, හෙයඩල් ගේ  මතය සනාථ කිරීම සඳහා එවැනි යාත්‍රාවක්‌ සාදා ඒ ආකාරයේම මුහුදු ගමනක යෙදෙන්නයි.
  හෙයඩල් ගේ මතය අනුව මේ යාත්‍රාව සෑදිය යුත්තේ දකුණු ඇමරිකානු වැසි වනාන්තර වල වැවෙන එක්තරා ගස් වර්ගයකින් ගන්න, දැව කඳන් උපයෝගී කරගෙනයි. මේ ගස් වර්ගය සහ එයින් ලබාගන්න දැව වර්ගය හඳුන්වන්නේ ‘බල්සා Balsa’ යන නමින්. මෙය විශේෂ කාර්යයක් නිසාත්, මෙය විශේෂ දැව වර්ගයක් නිසාත්, මෙය විශේෂ මුහුදු ගමනක් නිසාත්, අතීතයේදී සාගර තරණයේ යෙදුන දකුණු ඇමරිකානු වැසියන්ගේ යාත්‍රා සාදා තිබුනේද මේ දැවයෙන්ම නිසාත්, මේ දැව වර්ගය ගැන ඔබත් යම් අවබෝධයක් ලබා තිබීම වැදගත්. ඒ නිසා අපි මුලින්ම බලමු බල්සා කියන්නේ කෙබඳු ශාකයක්ද කියා.
   බල්සා ගස් හොඳින් වැඩෙන්නේ දකුණු ඇමරිකාවේ සහ නිව්ගීනියාවේ පිහිටි උෂ්ණ තෙත් වනාන්තර වල. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Orchoroma lagopus යන්නය. හොඳින් ජලය බැසයන බෑවුම් සහිත බිමක් සහ වසර පුරා පැතිරුණ වර්ෂාපතන රටාවකුත්, මේ ශාකයේ මනා වර්ධනය සඳහා අවශ්‍යයි. බල්සා ගසක් අවුරුදු 6 ත් 10 ත් අතර කාලයකදී එහි උපරිම වර්ධනයට ලඟා වෙනවා.  එවැනි ගසක් සාමාන්‍යයෙන් අඩි 90 ක් පමණ උසට වැවෙන අතර අඟල් 45 ක හෝ ඊටත් වැඩි වටප්‍රමානයකින් යුක්ත වෙනවා.  මේ ශාකය සතු අමුතු ලක්ෂණ කීපයම තියනවා. එයින් පළමුවැන්න තමයි මෙහි ඇති සැහැල්ලු බව.  මේ පිළිබඳව ඇති දීර්ඝ විස්තර කියවා බැලීමේදී පෙනී යන්නේ මෙය කිරල ශාකය මෙන්  සැහැල්ලු එහෙත් ඇල්බීසියා හෝ කොට්ට පුළුන් ශාකයක ඇති තරමක් තද ගතියෙන්ද යුක්ත බවයි. මෙම ශාකයේ දැව  අද බහුල වශයෙන් යොදාගන්නේ විවිධ උපකරණ නිෂ්පාදනය කිරීමටයි. ඒ අතරින් ප්‍රධාන තැනක ගන්නේ සෙල්ලම් ගුවන් යානා, විවිධ යාන වාහන වල ආකෘති, කැටයම්, කෘත්‍රිම මල් ආදියයි. ගෘහ භාණ්ඩ වල කොටස් සෑදීමටද යොදාගන්නවා. 
  මා, බල්සා ශාකය පිලිබඳ තරමක් දිග මේ විස්තරය ඔබවෙත ඉදිරිපත් කලේ මෙය අපේ රටේ දකින්නට නොලැබෙන ශාකයක් නිසාත් මේ කතාවේ ඉදිරියේදීද මේ ශාකය ගැන වරින්වර සඳහන් වන නිසාත්. ඒ නිසා ඉදිරි කොටස් වලදී ඔබතුල ගැටළු මතු නොවනු ඇතැයි විශ්වාස කරනවා.
හෙයඩල් සහ පිරිස යන්නට සූදානම් වන්නේ ඉතා භයානක ගමනක්. ඉමක්‌ කොනක් නැති ශාන්තිකර සාගරයේ කිලෝමීටර් 8000 ක් දුර මේ යාත්‍රාවෙන් ගමන් කිරීම එක අතකට හිතාමතා දිවි නසාගැනීමක් විය හැකියි. ඔවුන්ගේ ආධාරයට වෙනත් කිසිදු යාත්‍රාවක්‌ ඔවුන් සමග ගමන් කරන්නේ නැහැ. බේරාගැනීමේ කාර්යය සඳහා කිසිවකු නැහැ. අදමෙන් GPS තාක්ෂණය එදා තිබුනේ නැහැ, අඩු ගණනේ ඔවුන් සිටින ඉසව්වවත් සොයාගැනීමට. ඔවුන් මේ ගමන යන්නේ වසර දහස් ගණනකට පෙර මානවයින් ගේ තාක්ෂණය අනුගමනය කරමින්.  හෙයඩල් මුලින්ම කලේ තම යාත්‍රාව සඳහා හොඳ සැලැස්මක් සකසා ගැනීමයි. පහතින් පෙන්වන්නේ ඒ සැලැස්මයි.
  මේ සැළැස්ම සකස් කරගැනීම සඳහා විශේෂ අධ්‍යයනයක යෙදෙමින් පර්යේෂණ යාත්‍රා අත්හදා බලන්නටත් හෙයඩල්ට සිදුවුනා. අවසානයේදී ඒ අත්දැකීම් ද එකතුකර ගනිමින් ඔහු තම යාත්‍රාව සෑදීමට තෝරා ගත්තේ දකුණු ඇමරිකාවේ තිබෙන හොඳම බල්සා ගස් වැවෙන ඉක්වදෝරයෙන් ගෙන්වාගත් බල්සා කඳන් වලිනුයි.
හෙයඩල් තම යාත්‍රාවේ පදනම ලෙස යොදාගත්තේ හොඳින් වැඩුණු බල්සා කඳන් නවයක්. හොඳින් මතක තබාගන්න මේ යාත්‍රාවේ කොතනකවත් ලෝහමය ද්‍රව්‍ය ඒ කියන්නේ යටත්පිරිසෙයින් එක යකඩ ඇණයක් වත් නැහැ යාත්‍රාව සෑදීමට භාවිත කල. සියල්ල ඒකට සවිකර සකස්කර තිබෙන්නේ විවිධ ප්‍රමාණයේ ලනු සහ කඹ වලින් බැඳීමෙන්.
  අපි දැන් බලමු කොන් ටිකි යාත්‍රාවේ ඉදිකිරීම පිලිබඳ තාක්ෂණික විස්තර . යාත්‍රාව ඉදිකෙරීම සඳහා ගත් දිගම බල්සා කඳ, මීටර් 13.7 ක් දිගයි (අඩි 45) වටප්‍රමානය සෙ.මී 60 ක්, (අඩි 2) මේ කඳන් අතර මීටරයක පරතරයක් තබා, මීටර් 5.5 ක් (අඩි 18) දිග, සෙ.මී. 30 ක වටප්‍රමානයකින් (අඩි 1)  යුත් බල්සා කඳන් හරස් අතට තබා, හණ නූලෙන් අඹරන ලද  සෙ.මී. 3.1 (අඟල් 1  3/4) මහත කඹ වලින් බැන්දා. මෙසේ ප්‍රධාන කඳන් අතර මීටරයක පරතරයක් තැබුවේ හබල් පෙති සවි කිරීමට සහ රළු මුහුදු රල එකවර යාත්‍රාවට පහර දීමේදී ඒ පහරේ බලය අඩු කරගන්නයි. හබල් පෙති කුඥ්ඥ සවි කරන ආකාරයට බල්සා කඳන් වල යට පැත්තෙන් සවි කෙරුනා.
  ප්‍රධාන කුඹ ගස සකස් කෙරුනේ A අකුරේ හැඩයට කෝනාකාරව ඇමිණු ලී රාමුවක් සමග  යාකල මීටර් 8.8 ක් උස (අඩි 29) කණුවකින්. මේ සියල්ල සඳහා යොදාගත්තේ කඩොලාන ශාක. යාත්‍රා තට්ටුව සැකසීම සඳහා විවිධ අත්හදා බැලීම් රාශියකට පසු, දෙකට පලන ලද උන බම්බු සහ ඒ මත සවි කෙරුණු බට පතුරු සහ පැතලි ලී පතුරු වලින් සාදාගත් පැලැල්ලක් තෝරා ගැනුනා.  කුඹ ගසට පසුපසින් යාත්‍රා තට්ටුව මත කුටියක්‌ හෙවත් කැබින් එකක් ඉදි කෙරුනා. ඒ සඳහා සියුම්ව වියාගත් උණබට පතුරු යොදා ගැනුනා. එම කුටිය මීටර් 4.2 (අඩි 14) දිග, මීටර් 2.4 ක් (අඩි 8) පළල, මීටර් 1.2 – 1.5 උස (අඩි 4 – 5) එකක් ලෙස සකසුනා. එහි වහලයට වසා තිබුනේ වියලාගත් කෙසෙල් කොළ. යාත්‍රාවේ පසුපස කොටස හෙවත් ඇණියේ, ප්‍රධාන හබල්පත සවි කෙරුනා. එය සාදා තිබුනේද කඩොලාන ශාක වලින් ලබාගත දැව වලින්. එය මීටර් 5.8 ක් (අඩි 19) දිග එකක්. එහි හබල්පත දේවදාර දැවයෙන් තැනුනා.  
     කොන් ටිකි යාත්‍රාවට ප්‍රධාන රුවලක්ද ඊට ඉහළින් පිහිටි තවත් රුවලක්ද යාත්‍රාව හසුරවන තවත් කුඩා රුවලක්ද සවිකර තිබුනා. ප්‍රධාන රුවල දිගින් මීටර් 4.6 ක් (අඩි 15) සහ පළලින් මීටර් 5.5 ක් (අඩි 18) වුනා. රුවල් වල පිහිටෙන් යාත්‍රා කිරීම සහ අවශ්‍යවිට හබල් ගෑම හැර යාත්‍රාව පැදවිය හැකි වෙනත් ක්‍රමයක් තිබුනේ නැහැ.
යාත්‍රාවේ ගෙනගියේ මොනවාද?
  මෙය අසාමාන්‍ය මුහුදු ගමනක් වූ නිසා යාත්‍රාවේ අනවශ්‍ය දේ කිසිවක් ගෙනයා නොහැකියි. ඒ නිසා යාත්‍රාවේ ගෙන යායුතු දේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්නට හෙයඩල් සහ පිරිසට සිදුවුනා. ප්‍රදාන වශයෙන් අහාර සහ ජලය සඳහා විශේෂ තැනක දෙන්නට සිදුවුණා. මේ තමයි ගෙනගිය දේවල්. ජලය පිරවූ කෑන් 56 ක් (ලීටර් 1041 = ගැලුම් 275) පොල් ගෙඩි 200 ක්, බතල, දියලබු ගෙඩි, වෙනත් පලතුරු වර්ග.
  මේ හැර ඇමරිකා එක්සත් ජනපද යුද හමුදාවේ උපකරණ පාලක බලකායෙන් ලබාදුන්නා, හමුදා භටයන් යුද බිමේදී පාවිච්චි කරන, ක්ෂණිකව ආහාරයට ගතහැකි කෑම පැකට්, ටින් කෑම වර්ග, සහ වෙනත් ජීවිතාරක්ෂක උපකරණ. ඒ අතර කුඩා රබර් ඩින්ජියක්ද තිබුනා.
  ඔවුන් තවත් ආකාරයකින් ආහාර සපයා ගත්තා. ඒ මුහුදු මාළු අල්ලාගැනීමෙන්. කොලේ යන හරකා කොලෙන් ටිකක් කනවානම්, මුහුදේ යන මිනිහාට මුහුදු මාළු කන්නටම වෙනවානේ. මේ පිරිස අල්ලාගත් මත්ස්‍ය වර්ග අතර පියාමැස්සන්, ඩොල්ෆින්, කහ වරල් සහිත කෙලවල්ලන්, ගල් මාළු මෙන්ම මෝරුන් ද සිටියා.
 කොන් ටිකි යාත්‍රාවට ඒ නම ලැබුනේ කොහොමද?
  දකුණු ඇමරිකානු මානව වර්ග පිළිබඳව තෝර් හෙයඩල් විසින් කරන ලද පර්යේෂණ වලදී දැනගත් කරුණක් වුයේ දකුණු ඇමරිකාවේ ඉපැරණි ගෝත්‍රයක් වූ ඉන්කා ගෝත්‍රිකයන් හිරු දෙවියන් ඇදහීම කල බවයි. හෙයඩල්ගේ මතය අනුව පොලිනීසියානු දූපත් ජනාවාස වීඒමට ඒ ගෝත්‍රිකයන් මුල්වූ බවයි කියන්නේ. ඒ ගෝත්‍රිකයන්, ඔවුන්ගේ භාෂාවෙන්, හිරු දෙවියා = Sun God යන්න හැඳින්වූ නම තමයි ‘කොන් ටිකි’ ඔන්න ඔහොමයි නම ලැබුනේ. කොන් ටිකියේ ප්‍රධාන රුවලේ ඒ ගෝත්‍රිකයන් විසින් හිරු දෙවියන් දැක්වූ ආකාරයටම හිරු දෙවියන්ගේ රූපය ඇඳ තිබුනා. මේ පින්තූරයේ එය පෙනෙනවා.
 ඊළඟ කොටසේදී ගමන ගොස් අවසන් කරමු.

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }