හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

31 July 2012

ඒයි ඇම්ඩන්. . . . .දන්නවද එස්.එම්.එස්. එම්ඩන් කියන්නේ කවුද කියලා?


   ඇම්ඩන් කියන්නේ කාටද කියලා මම ඔබට පැහැදිලි කිරීමට ගියොත් මම විහිලු කාරයෙක් වෙනවා. ඒ තරමට වර්තමාන සමාජය ඇම්ඩන් කියන වචනයේ තේරුම දන්නවා. අපේ ළමා කාලයේදී නම් ඇම්ඩන් කියන වචනයේ තේරුමට සමාන වුණේ, ලෝකෝත්තරයා, කයිරාටිකයා, ගල් ආඳා, සීතල ගණන් කාරයා, වැනි වචනයි.
වර්තමානයේදී නම් කටකාර, කපටි, නූල් සූත්තර කාරයන් වැහි වැහැලා ඉන්න නිසා, ඒ ඔක්කොම  ඇම්ඩන් කියන වර්ගීකරණයට තමයි වැටෙන්නේ. හැබෑට කොහෙන්ද මේ ඇම්ඩන් කියන වචනය අපේ ව්‍යවහාරයට ආවේ? ඔබ කවදා හෝ ඒ ගැන සිතා බැලුවාද? ඔබෙන් සමහරෙක් ඒ අතීත කතාව දන්නවා ඇති. මේ උත්සාහය ඒ ගැන ඔබ දැනුවත් කරන්නයි. මේ ඇම්ඩන් කතාව එලියට ආවේ හරීගේ හීනලන්තයේදී මා ඉදිරිපත් කල කමෙන්ට් එකක් නිසයි.
ලෝකයේ සෑම ජන සමාජයක් තුලම ජනකතා දකින්නට ලැබෙනවා. එමෙන්ම කාලීන සිදුවීම් ඇසුරෙන් යම් යම් කියමන් හෝ ආප්තෝපදේශ අලුතෙන් ඇතිවෙනවා. ඇම්ඩන් කතාවත් එවැනි පැරණි සිදුවීමක් පදනම් කරගනිමින් ඇතිවූවක්. එහි අතීත කතාව පහත දක්වනවා.
එස්.එම්.එස් එම්ඩන් යනු පළමුවැනි ලෝක යුද සමයේදී මහත් ආන්දෝලනාත්මක ක්‍රියාන්විත කීපයකම යෙදුනු ජර්මන් ප්‍රහාරක නැවක්. මේ සැහැල්ලු ප්‍රහාරක යාත්‍රා කාණ්ඩයට  Light Cruiser අයත් වුවද ඉතා දක්ෂ ලෙස සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල යාත්‍රාවක්‌ විය.
1908 වසරේදී නිපදවුණ මේ නව 1909 දී අධිකාරියට පත් කෙරුනා. එම්ඩන් කියන්නේ ජර්මනියේ පිහිටි නගරයක්. මේ නැව සතුරු නැවක්ද මිතුරු නැවක්ද කියා හඳුනාගන්නට අපහසුවීමේ වාසිය, තමන් වෙත තබා ගනිමින්, සතුරු නැව් රාශියකට පහරදී විනාශ කරන්නට එයට හැකිවුනා. එම්ඩන් නැවේ කපිතන් වරයා නියම ඇම්ඩන් කෙනෙක්. සාමාන්‍යයෙන් ඒ කාලයේ බ්‍රිතාන්‍යයට අයත් සෑම යුද නැවකම දුම් කවුළු හතරක් තිබුනා. වෙනත් රටවලට අයත් යාත්‍රා වල එසේ දුම් කවුළු හතරක් තිබුනේ නැහැ. එම්ඩන් නැවේ කපිතන් වරයා කලේ ඔහුගේ නැවේ බොරු දුම් කවුළුවක් සෑදීමයි. එවිට ඈත සිට බලන කෙනෙකුට පෙනෙන්නේ එය බ්‍රිතාන්‍ය නැවක් වගෙයි. මෙය වාසියට හරවා ගනිමින් තමයි එම්ඩන් සතුරු නැව් වලට පහර දුන්නේ. නමුත් කොට්ටෝරුවා කෙහෙල ගහට ඇනලා හොට පටලවා ගත්තාක් මෙන් එම්ඩන් ටත් වැඩේ වැරදුනා. ශාන්තිකර සාගරයේ කොකෝස් දිවයින් අසලදී ඔස්ට්‍රේලියාවට අයත් එච්.එම්.ඒ.එස්. සිඩ්නි නෞකාව සමග පැවති සටනින් එම්ඩන් නැව විනාශ වුනා. 1914 දී.
එහෙත් විනාශ වීමට පෙර ඒ නැව විවිධ උපක්‍රම යොදාගනිමින් සතුරු නෞකා නොමග යවමින් කල ප්‍රහාර අපමණයි. එමෙන්ම විවිධ වෙස්වලාගෙන බේරී පලාගිය අවස්ථාද තිබෙනවා. ඉතින් බටහිර ජාතීන් අතර කියමනක් ඇතිවුනා එම්ඩන් වගේ කියලා කපටි වැඩ කරන අය පිළිබඳව. එය අපේ රටට එනවිට ඇම්ඩන් වුනා. වසර 100 කට ආසන්න මේ වචනය දැන් සිංහල වචනයක් වගේ වෙලා. මතක තබාගන්න ඇම්ඩන් යනුවෙන් භාවිත කරන්නේ සිංහල කතා කරන අය පමණයි. (දෙමල කතා කරන අයත් ටික දෙනෙක්) දැන් තේරුනාද මෙය කියවන ඇම්ඩන්ලා ඔක්කොටම කොහොමද ඇම්ඩන් කියන යෙදුම හැදුනේ කියලා? හැබැයි ඔබ ජාත්‍යන්තරයේදී ඇම්ඩන් කියන වචනය යොදලා කතා කලොත් ජාත්‍යන්තර සමාජයටනම් එය වැටහෙන්නේ නැහැ. එම්ඩන්  කියන වචනයත් දැන් එතරම් භාවිතයේ නැහැ.
එම්ඩන් නැවේ කතාව පසුබිම් කරගනිමින්, ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ වරයකු විසින්, 2010 – 2011 කාලයේදී ශ්‍රී ලංකාවේදී චිත්‍රපටියක් රූ ගත කල බව, මා වරක් පුවත්පත් වාර්තාවක දුටුවා. නමුත් එම චිත්‍රපටිය ජර්මනියේ හෝ ලංකාවේ මෙතෙක් ප්‍රදර්ශනය වූවාදැයි මා දන්නේ නැහැ.

29 July 2012

ඌන පූරණයක්


යුද හමුදාවේ සාමාන්‍ය සෙබළකු හඳුන්වන නම එක් එක් රෙජිමේන්තුව අනුව වෙනස්වන බව මා සඳහන් කළා ඔබට මතක ඇති. එහිදී මා කාන්තා බලකාය ගැන සඳහන් කරමින් කියා සිටියේ, කාන්තා බලකායේ සාමාන්‍ය සෙබළියක හඳුන්වන්නේ කාන්තා සෙබළ හෙවත් කාසෙ යන නමින් බවයි. එහෙත්, යුද හමුදාවට බඳවා ගන්නා සියලුම සෙබළියන් / නිළධාරිණියන්බඳවා ගන්නේ කාන්තා බලකායටම නොවේ. උදාහරණයක් වශයෙන් යුද හමුදා පොලිස් හේවා බලකාය වෙත පොලිස් රාජකාරි සඳහාත්, යුද හමුදා පොදු සේවා බලකාය වෙත ලිපිකරු/පරිගණක දත්ත ඇතුළත් කිරීමේ ලිපිකරු, වැනි රාජකාරි සඳහාත්, සංඥා බලකායේ දුරකථන ක්‍රියාකරු/පරිගණක ක්‍රියාකරු/දත්ත සැකසුම් වැනි රාජකාරි සඳහාත්, සැලසුම් ශිල්පී වැනි කටයුතු සඳහා ඉංජිනේරු බලකාය වැනි රෙජිමේන්තු සඳහාත්, හෙද රාජකාරි සඳහා වෛද්‍ය බළකාය වෙතත්,  සෙබළියන් බඳවා ගන්නවා.
ඒ අනුව ඔවුන් පොලිස් හෝ පොදු සේවා බලකායේ නම් සාමාන්‍ය සෙබළ (සාසෙ) ලෙසත්, සංඥා බලකායේ නම් සංඥා සෙබළ (සංසෙ) ලෙසත්, ඉංජිනේරු බලකායට අයත් නම් ඉංජිනේරු සෙබළ (ඉසෙ) ලෙසත් හඳුන්වනවා. ඊයේ පෙරේදා සුපිරි තරුවක් වුනේ ඉංජිනේරු සෙබළියක්. (ඉසෙ) ඒ නිසා වරදවා වටහා ගන්නට එපා, යුද හමුදාවේ සිටින සියළුම කාන්තා නිළධාරිණියන් හා සෙබළියන් අයත්වන්නේ කාන්තා බලකායට පමණයි කියා.

27 July 2012

ඔයා බ්‍රිගේඩියර් ද, කමඩෝර් ද, ග්රූප් කැප්ටන් ද, (දෙවැනි කොටස) – Equal Ranks of Three Forces (Part Two)


  පසුගිය ලිපියෙන් ඔබට හමුදා නිල පිළිබඳව මූලික අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මා සිතනවා. එහිදී මා යුද හමුදාව විශේෂ කර කරුණු දැක්වුවත්, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සම්බන්ධයෙන්ද එම තත්වය බොහෝ දුරට එසේමයි. කෙසේ වෙතත් මේ ලිපියෙන් මම විශේෂ අවධානය යොමු කරන්නේ, ලිපියේ මාතෘකාවටද ගැලපෙන පරිදි ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිල මොනවාද යන්න පැහැදිලි කිරීමටයි. මෙහිදී මා සමහර නිල හැඳින්වීම සඳහා සිංහල නම් යොදා ඇතත්, වර්තමාන ව්‍යවහාරය ගැන සිතා ඉංග්‍රීසි නම්ද යොදා තිබෙන බව කාරුණිකව සලකන්න.
සෑම සන්නද්ධ සේවයකටම අලුතෙන්ම බැඳෙන ආධුනික නිලධාරීන් හඳුන්වන්නේ කැඩෙට් නිළධාරීන් (Officer Cadets) කියායි. මොවුන් අධිකාරියට පත්කරනතුරු ‘නිලධාරි’ (Officer) නමැති වර්ගීකරණයට වැටෙන්නේ නැහැ. ඒ නිසාත්, ඔබට ඔවුන් සාමාන්‍ය සමාජයේදී දකින්නට නොලැබෙන නිසාත්, ඔවුන්ගේ නිල ලාංඡන ගැන කතා නොකර මා ඔබට පෙන්වන්නේ අධිකාරි ලත් නිලධාරීන්ගේ (Commissioned Officers) ලාංඡන පමණයි. මුලින්ම බලමු යුද හමුදා නිලධාරීන්ගේ ලාංඡන. මේ ලාංඡන පිළිබඳව විශේෂ කරුණක් සඳහන් කල යුතුයි. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන මීට වඩා ඉතා අලංකාරයි. එහි ස්වභාවික පෙනුම සහිත මාධ්‍ය රූප සොයන්නට සෑහෙන වෙහෙසක් ගත්තත්, එය සාර්ථක වුයේ නැහැ. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන දක්වා තිබෙන්නේ ඒවා පළඳින නිල ඇඳුමේ උරහිසේ ඇති  රෙදි පටිය ද සහිතවයි. (එය හඳුන්වන්නේ ඇපලට් Epulette යන නමින්) යුද හමුදාවේ ඇපලට් එක හමුදා නිල ඇඳුමේ තිබෙන කොළපාටින් තිබිය යුතු බවත්, එම ලාංඡන, රිදී, රත්රන්, ක්‍රෝම් හෝ කළු පැහැයෙන් තිබිය යුතු බවත්, මතක තබාගන්න. එක් එක් නිලය හඳුන්වන නම් පැහැදිලි මදිනම් ඒ රූපය මත ‘ක්ලික්’ කර රූපය විශාල කර බලන්න. පිලිවෙලින් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව දක්වා තිබෙන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතාවය අනුවයි. එසේම ත්‍රිවිධ හමුදාවේ එක් එක් නිලයට සමාන නිලය බලාගැනීමටත් එයින් ඔබට පහසු වනවා ඇතැයි සිතනවා. සෑම විටම අංක 1 යොදා තිබෙන්නේ පහලම නිලයට බවද මතක තබාගන්න.
ඉහත දැක්වෙන රූප සටහන් තුන දෙස හොඳින් බැලුවොත්, ඔබට පෙනෙනවා ඇති, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් නිල 10 කට අයත් වන අතර, නාවික හමුදාවේ නිලධාරීන් අයත් වන්නේ නිල 9 කට පමණක් බව. එයට හේතුව මෙයයි. යුද හමුදාවේ 2 වැනි ලුතිතන් තනතුරට හෝ ගුවන් හමුදාවේ නියමු නිලධාරි තනතුරට හෝ සමාන නිලයක් නාවික හමුදාවේ  නැහැ. නාවික හමුදාවේ උප ලුතිතන් සමාන වන්නේ යුද හමුදාවේ ලුතිතන් සහ ගුවන් හමුදාවේ පියාසර නිලධාරි නිලයටයි. ඒ නිසා ඉහත රූප සටහන් බැලීමේදී, නාවික හමුදාවේ අංක 1 සමාන වන්නේ යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ අංක 2 ට බව මතක තබාගන්න.
මෙහිදී මා සිතුවා මේ සමගම පොලීසියේ නිළ පිළිබඳවත් රූප සටහනක් ඇතුලත් කරන්න. එය පහත දක්වනවා.
මා පසුගිය ලිපියේද සඳහන් කල පරිදි පොලීසිය යනු දෙපාර්තමේන්තුවක්. ඒ නිසා සන්නද්ධ සේවා සමග පොලීසිය සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. මෙහිදී මා අදහස් කරන්නේ ඔබේ දැනුම වර්ධනය කිරීමට විනා එක් එක් ආරක්ෂක අංශයේ උසස් පහත්කම් සෙවීම නොවන බව අවධාරණය කරනවා.
ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ එක හා සමාන නිළ මොනවාද යන්න දැනගත් නිසා, නිලධාරීන් නොවන, සෙසු නිලයන්ගේ විස්තරත් සොයා බලමු. නිලධාරීන් නොවන අය හඳුන්වන පොදු නාමය තමයි සෙසු නිළ (Other Ranks) කියන්නේ. එයින් ලාන්ස් කෝප්‍රල් සිට බලලත් නිලධාරි 1 දක්වා පිරිස හඳුන්වන්නේ කොමිෂන් නොලත් නිලධාරීන් යනුවෙන්.(Non Commissioned Officers = NCO’s) මේ කොමිෂන් නොලත් නිලධාරීන් අතරින් මාණ්ඩලික සැරයන්, බලලත් නිලධාරි 2, බලලත් නිලධාරි 1 යන නිලයන් (Staff Sergeant, Worrent Officer Class II, Worrent Officer Class I) ජ්‍යෙෂ්ට කොමිෂන් නොලත් නිලධාරීන් ලෙස හඳුන්වනවා. (Senior NCO’s) ත්‍රිවිධ හමුදාවේම මේ ආකාරයට මේ වර්ග දෙක තිබෙනවා. අපි ත්‍රිවිධ හමුදාවේ නිලධාරීනේගේ ඒක සමාන නිළ මොනවාද යන්න බැලූ ආකාරයටම සෙසු නිලන්ගේ එක සමාන නිළ මොනවාද යන්න බලමු.
සාමාන්‍යයෙන් බලලත් නිලධාරියකු තම නිලයට අදාළ ලාංඡනය අඳින්නේ ඔරලෝසුවක් බඳින ආකාරයට, බකල් එකක් සහිත හම් පටියක සවිකර, සිය දකුණු අතෙයි. එහෙත් සමහර රෙජිමේන්තු වල බලලත් නිලධාරීන් තම නිළ ලාංඡනය අඳින්නේ නිළ ඇඳුමේ කමිසයේ දකුණු අතේ උඩ බාහුවෙයි.  නාවික හමුදාවේත් ගුවන් හමුදාවේත් එවැනි වෙනස්කම් තිබෙනවා.
ඔබ දැක ඇති යුද හමුදාවේ නිලධාරීන් මෙන්ම සමහර සෙසු නිලයන්ද යෂ්ටියක් (Batton) පාවිච්චි කරන බව. නිලධාරීන් සියලු දෙනාම සාමාන්‍ය රාජකාරි නිළ ඇඳුමෙන් සිටිනවිට යෂ්ටිය දැරිය යුතුයි. සෙසු නිලයන් අතරින් යෂ්ටිය දරන ප්‍රධාන නිලයා වන්නේ බල ඇණියක රෙජිමේන්තු සැරයන් මේජර් වරයායි. (Regimental Sergeant Major – RSM) ත්‍රිවිධ හමුදාවේම එම නිලයට සමාන නිලයන් එසේ යෂ්ටියක් පාවිච්චි කරන අතර එය තමයි හමුදා නිලයකු විසින් පාවිච්චි කරන විශාලතම යෂ්ටිය. එය අඟල් 1  1/2  ක පමණ විෂ්කම්බයකින් යුක්ත වන අතර අඩි 3  1/2 ක් පමණ දිගයි. එය හඳුන්වන්නේ කේන් මලයා (මලයා කියන්නේ මල්ලි නෙවෙයි මලයාව කියන රට) යන නමින්.
මේ හැර හමුදා සරඹ උපදේශකයන් (drill Instructor) පමණක් පාවිච්චි කරන විශේෂ යෂ්ටියක් තිබෙනවා. එය හඳුන්වන්නේ ෆේස් ස්ටික් (Phase Stick) යනුවෙන්. මෙය හරියට විශාල කවකටුවක් වගෙයි. තමන් ගමන කරන අතරම මේ ෆේස් ස්ටික් එකේ පාද දෙක ‘ටක් ටක්’ හඬින් පොළොවේ තබමින්, සරඹ උපදේශකයකු ගමන් කරන ආකාරය බලන්න ලස්සනයි. හමුදාවක සියලු සරඹ (ගමන් කරන්නේ කොහොමද, ආචාර කරන්නේ කොහොමද, ආදිය) පිලිබඳ සම්මත නීති රීති තිබෙනවා. ඒවා ලියා තිබෙන විශේෂ පොත් වර්ගයක් තිබෙනවා සරඹ උපදෙස් පොත් හෙවත් (Drill Pamphlets) යනුවෙන් . ඒවා උගන්වන්නේද ගුරුවරුන් පාසලේදී පාඩම් සටහන් සකස් කරනවාක් මෙන් (Lesson Notes) වලට අනුවයි. (සෑම අවියකටම වුවත් එවැනි උපදෙස් පොත් සහ පාඩම් සටහන් තිබෙනවා. T 56 අවිය උගන්වන්නේ පාඩම් පහකින්) පෙළපාලියක ගමන කිරීමේදී සොල්දාදු පියවරක පරතරය මෙපමණකැයි සම්මතයක් තිබෙනවා. ඒ ප්‍රමාණය මනින්නේ ෆේස් ස්ටික් එකෙන්. සරඹ උපදේශකයන් යනු විශේෂඥ පුහුණුව ලද පිරිසක්. නිලධාරීන් වන අපිවත් ඒ අය එක්ක සරඹ පිළිබඳව වාද කරන්න යන්නේ නැහැ. ඉස්සරනම් හොඳම සරඹ උපදේශකයකුට අවස්තාව ලැබුනා එංගලන්තයට ගොස් පුහුණුවන්න.
මේ ලිපියට ඇතුලත් වියයුතු තවත් රූප සටහන් ඇතත් ඒවා සොයාගැනීම තරමක් අපහසුයි. පහත දැක්වෙන්නේ එයට අදාළ කරුණුයි. යුද හමුදාවේ කර්නල් සහ ඊට ඉහල නිලධාරීන්ද, ගුවන් හමුදාවේ ග්රූප් කැප්ටන් සහ ඊට ඉහල නිලධාරීන්ද (නාවික හමුදාවේ නැත) තම නිළ ඇඳුමේ කොලරයේ දෙපස අඳින ලාංඡනයක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ජෝජට් පැච් - Gorjet Patch’ යනුවෙන්.
මේ ජෝජට් පැච් අඳින්නේ කොලරයේ දෙපැත්තේ. ඒ සමගම පෙන්වන්නම් ඒවා අන්දලා ඉන්න විට පෙනෙන්නේ කොහොමද කියලා. එපමණක් නෙවෙයි, උසස් නිලධාරියකුගේ නිළ ඇඳුමේ තියන තවත් විශේෂ ලක්ෂණ කීපයකුත් පහත දැක්වෙන රූපයෙන් බලන්න.
යුද හමුදාවේ කර්නල් නිලය හා ඊට ඉහල නිලයන්හි නිලධාරීන් ජෝජට් පැච් ඇන්දත්, නාවික හමුදා නිළ ඇඳුමේ එවැනි කොටසක් නැහැ.
ගුවන් හමුදා නිලධාරීන් යුද හමුදාව මෙන් ජෝජට් පැච් අඳිනවා.
තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අඳින හිස්වැස්මේද වෙනස්කම් තිබීමයි. මා මෙහිදී දක්වන්නේ යුද හමුදාවේ උදාහරණය පමණයි.
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් පිලිබඳ ඉතා සංක්ෂිප්ත විස්තරයකුයි මා ඉදිරිපත් කලේ. මේ කාරණය සම්බන්ධ සවිස්තරව කරුණු ඉදිරිපත් කරන්නේනම්, දීර්ඝ ලිපි තුනක්වත් ලියන්නට සිදුවන අතර, එය සමහරවිට ඔබට නීරස වන්නට පුළුවන්. එක් එක් හමුදාවල අවේනික ලක්ෂණ සහ එක් එක් එක් රෙජිමේන්තුවල අවේනික ලක්ෂණ පිළිබඳව වෙනමම ලිපියකින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. අදට මේ ඇති නේද?

25 July 2012

හෑ. . . දන්නෙම නැතුව සීයෙක් වෙලානේ මම


 සාමාන්‍යයෙන් මා මේ බ්ලොග් අඩවියේ ලියන ලිපි ගණන පෙන්වන දර්ශකය දෙස බලන්නේ කලාතුරකිනි. එයට ප්‍රධාන හේතුව වන්නේ, ලියන ලිපි ගණන පිළිබඳව නොව, මා වැඩි අවධානය යොමු කරන්නේ, ලිපි වල අන්තර්ගතය පිළිබඳව වීම නිසාය. මා අවසන් වරට ප්‍රකාශයට පත්කළ ඔයා බ්‍රිගේඩියර් ද, කමඩොර් ද, ග්රූප් කැප්ටන් ද, යන ලිපියේ දෙවැනි සහ අවසාන කොටස සැකසීමෙන් පසු එහි අවසන් සංස්කරණය කරමින් සිටියදී ලිපි දර්ශකය අහම්බෙන් නෙත ගැටීමෙනුයි අවබෝධ වුනේ ලිපි 100 ක් සම්පූර්ණ කර ඇති බව.
2011 දෙසැම්බර් 15 වැනිදා ආරම්භ කල මේ බ්ලොග් අඩවිය, කොතරම් දුරට ගෙනයාහැකිවේද යන ප්‍රශ්නය, මුලදී සිත තුල තදින් බල පැවැත්වුවත්, හරියන්නට හෝ වරදින්නට කියා ජීවිතය පරදුවට තබා යුද්ධ කල මට, මෙය තවත් එවැනි අභියෝගයක් බව ටික දිනකින් අවබෝධ විය.
ලිපි සඳහා ලැබෙන ප්‍රතිචාර මගින්, මා කිසියම් අර්ථවත් සහ හරවත් දෙයක් ලියන බව තහවුරු වූ බැවින්, ගුණාත්මක බව තව දුරටත් වර්ධනය කිරීමටත්, පාඨක ඉල්ලීම් කෙරෙහි වැඩි අවධානයක්, යොමු කිරීමටත් ඉටාගතිමි.
ලිපි කෙරෙහි ඔබ සියලු දෙනාගෙන් ලද ප්‍රතිචාර, මා තව තවත් නව මානයන් වෙත යොමු කිරීමට හේතුවූ බව ප්‍රකාශ කරන්නේ, ඔබ සියලු දෙනා වෙත කෙරෙන භක්ත්යාදර පූර්වක ප්‍රනාමයෙනි.
මා සිතෙත් ගතෙත් දහිරිය නොබිඳෙන තුරු ඔබේ දැනුම වර්ධනයෙහි යෙදෙමි.

20 July 2012

ඔයා බ්‍රිගේඩියර් ද, කමඩෝර් ද, ග්රූප් කැප්ටන් ද? (පළමුවැනි කොටස) – Equal Ranks in Three Forces (Part One)


 ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිළ මොනවාද යන්න පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුනේ සෑහෙන කලක සිටයි. නමුත් කල් තබා ආරම්භ කර තිබුණු වෙනත් ලිපි සම්බන්ධ පරිවර්තන කටයුතු නිසා ඒ ඉල්ලීම් ප්‍රමාද කරන්නට සිදුවුනා. ඒ ගැන මගේ කණගාටුවද ප්‍රකාශ කරමින් අද ඒ ඉල්ලීම ඉටු කරනවා. නමුත් මේ ලිපියත් එක කොටසකින් අවසන් කරන්නට නොහැකි බව මට අවබෝධ වුනේ ලිපිය සබැඳි දළ සටහන සැකසීමෙන් පසුවයි. සමහරු ඉල්ලා තිබුනා ත්‍රිවිධ හමුදාවේ නිළ හා සමාන වන පොලිස් සේවයේ නිළ මොනවාද යන්නත් පැහැදිලි කරන ලෙස. මුලින්ම එයට පිළිතුරු දී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කලොත් හොඳයයි මා හිතනවා.

ත්‍රිවිධ හමුදා යනු  සන්නද්ධ සේවා (Armed Forces) කියන ගණයට වැටෙන විශේෂ සංවිධාන. නමුත් පොලීසිය කියන්නේ දෙපාර්තමේන්තුවක්. දෙපාර්තමේන්තුවක් සහ සන්නද්ධ සේවයක් සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. එයින් අදහස් කරන්නේ ත්‍රිවිධ හමුදාව උසස් පොලීසිය පහත් යයි කියා වරදවා වටහාගන්නට එපා. ත්‍රිවිධ හමුදා පාලනය වන්නේ ඒ සඳහා වෙන වෙනම සම්මතවූ පාර්ලිමේන්තු පනත් වලින් වන අතර පොලීසිය පාලනය වන්නේ දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආකාරයේ පනතකිනුයි. ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙත පිරිනමන්නේ අධිකාරී බලයයි. (Commission) එය පිරිනැමීමේ ව්‍යවස්ථානුකූල බලය තිබෙන්නේ සේනාධිනායකයාට පමණයි. පොලිස් නිලධාරීන් වෙත පිරිනමන්නේ අධිකාරි බලයක් නොවෙයි. එය දෙපාර්තමේන්තුවක නිළ පත්වීමක්. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායකයා (Commander in Chief) වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති වරයායි. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අතරින් කනිෂ්ඨතම අධිකාරි නිලයට පත්වන නිලධාරියාගේ අධිකාරි පත්‍රයට (Credentiels) වුවත් ශ්‍රී ලංකා ජනාධිපති වරයා පෞද්ගලිකවම අත්සන් කලයුතුයි. එතැන් සිට ඒ නිලධාරියා විශ්‍රාම යනතුරු හෝ සේවයෙන් පහ කරනතුරු ඔහු පිලිබඳ සෑම පත්වීමකදීම ජනාධිපති වරයා පෞද්ගලිකවම අත්සන් කලයුතුයි. එමෙන්ම දෙවැනි ලුතිතන් ලෙස අධිකාරියට පත්වීමේ සිට ඉහත සඳහන් පරිදි මාණ්ඩලික ශ්‍රේණියේ විශේෂ පත්වීමකදීම, සියලු නිළ උසස්වීමකදීම ඒ බව ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ පලවෙනවා. (සේවයෙන් පහ කිරීම වුනත්) නමුත් පොලිස් සේවයේ නිලධාරීන් අතරින් ගැසට් පත්‍රයේ නම පළකරන්නේ සහකාර පොලිස් අධිකාරි සිට ඉහලට ඇති නිලයන්ගේ පමණයි. එහෙත් පොලිස් නිලධාරීන්ගේ නිලය සම්බන්ධ වෙනත් වෙනස්වීම් එසේ ගැසට් පත්‍රයේ පලකෙරෙන්නේ නැහැ. එබැවින් නිළ සමාන කරන්නට ගියොත් යුද හමුදාවේ දෙවැනි ලුතිතන්ට සමාන වන්නේ සහකාර පොලිස් අධිකාරියි. සමහර ත්‍රිවිධ හමුදා රෙජිමේන්තුවල අදටත් කඳවුරු තුල නිලධාරි නිවස්න වෙත ඇරයුම් ලබන්නේ පොලීසියේ ස.පො.අ. (A.S.P.) සහ ඊට ඉහල නිලයන් පමණයි.  ඒ නිසා ඒ කරුණු එසේ තිබෙන්නට හැර, අපි ත්‍රිවිධ හමුදාව ගැන කතා කරමු.
 ලෝකයේ සෑම රටකම ත්‍රිවිධ හමුදාවට කිසියම් ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙලක් හිමිවෙනවා. අපේ රටේ එම ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල වන්නේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව යන අනුපිළිවෙළයි. සමහර රටවල නාවික හමුදාව ජ්‍යෙෂ්ටයි. මේ සඳහා පදනම වන්නේ මුලින්ම පිහිටවුයේ කුමන හමුදාවද යන්න මෙන්ම අනෙක් හමුදාවලට සාපේක්ෂව විශාලත්වය (භට පිරිස් ප්‍රමාණය) වැනි කරුණුයි. ඔබට මතකද ජනාධිපතිතුමා සහභාගිවන නිදහස් උත්සවය, රණවිරු අනුස්මරණය, වැනි විශේෂ නිළ උත්සවයකදී ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් එතුමා පසුපසින් සිටගෙන සිටින ආකාරය? මෙහිදී එතුමාට පසුපසින් එතුමාගේ දකුණු අත පැත්තේ කෙළවරම සිටගන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියායි. (Chief of Defence Staff) ඉන්පසු පිලිවෙලින් යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ ඉන් අනතුරුව පොලිස්පති සිටගන්නවා.  එසේ සිටගන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල අනුවයි.
අපේ රටේ සන්නද්ධ සේවා පවත්වාගෙන යන්නේ එංගලන්තයේ සන්නද්ධ සේවා ආකෘතිය අනුවයි. එයට හේතුව වන්නේ අපි බ්‍රිතාන්‍යයට යටත්ව සිටි සමයේ පිහිටවන සන්නද්ධ සේවා ඒ ආකෘතියට අනුව හැඩ ගැසීමයි. 1972 වනතුරු අපේ ත්‍රිවිධ හමුදා ඇන්දේ එංගලන්ත ත්‍රිවිධ හමුදාව අඳින නිළ ලාංඡනමයි. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසුවයි ලංකාවට අදාලවන ලෙස එම ලාංඡන වෙනස් කලේ.
 මෙසේ ලාංඡන වෙනස් වුනත් හමුදා සංවිධානයේ මූලික ආකෘතීන් එංගලන්තයේ ආකෘතීන් හා සසඳන විට, වෙනස්වී තිබෙන්නේ ස්වල්ප වශයෙන්. 

හමුදා සංවිධාන ව්‍යුහය වෙනමම කතා කලයුතු දීර්ඝ, සංකීර්ණ, මාතෘකාවක්. එය පසුවට තබා අපි මුලින්ම ත්‍රිවිධ හමුදා නිළ පිළිබඳව සාකච්ඡා කරමු.
වර්තමානයේදී අපේ රටේ බොහෝ දෙනෙකුට හමුදා නිළ පිළිබඳව සෑහෙන තරම් සතුටුදායක අවබෝධයක් තිබෙනවා. එයින් වඩාත් හොඳ අවබෝධය තිබෙන්නේ යුද හමුදාව ගැනයි. එයට හේතුව පසුගිය සමයේ යුද ප්‍රවෘත්ති වල වැඩිපුරම සඳහන් වුයේ යුද හමුදාව ගැන පුවත් නිසයි. කෙසේ වෙතත් නාවික හමුදාව සහ ගුවන් හමුදාවත් ඒ සටනේදී අනබිභවනීය සේවයක් කල බව අවධාරණයෙන් කිව යුතුයි.
හොඳයි, මෙතැන්සිට මා ඔබට හඳුන්වා දෙන්නේ හමුදා නිළ පිළිබඳවයි. මුලින්ම කිවයුතුයි, සන්නද්ධ හමුදාවක සාමාජිකයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි,
  • නිලධාරීන් (Officers)සහ
  • සෙසු නිලයන් (Other Ranks)වශයෙන්.
කෙටි යෙදුම (Offrs /  ORs)
  • මෙයින් නිලධාරීන් ලෙස සැලකෙන්නේ 2 වැනි ලුතිතන් සිට ජෙනරල් දක්වා නිලයන්. (ශ්‍රී ලංකාවේ මෙතෙක් ලබාදී ඇති ඉහලම නිලය ජෙනරල්. වෙනත් සමහර රටවල ෆීල්ඩ් මාර්ෂල්Field Martial යනුවෙන් ඊට ඉහල නිලයක් තිබෙනවා.)
  • සෙසු නිලයන් ලෙස සැලකෙන්නේ සාමාන්‍ය සෙබලාගේ සිට බලලත් නිලධාරි I දක්වා නිලයන්
නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ තවත් වර්ගීකරණ තිබෙනවා. කැඩෙට් නිලධාරියකු ලෙස (Cadet Officer) හමුදාවට බැඳෙන අයකු පුහුණුව සමත් වුවොත් ඔහුට ලැබෙන්නේ ක්ෂේත්‍ර අධිකාරියයි. (Field Commission) එමෙන්ම, උපකරණ පාලක රාජකාරි වල යෙදවීම සඳහා, බොහෝවිට බලලත් නිලධාරි II පන්තියේ නිලයන්, (අවශ්‍යතාවය අනුව නිලය මීට වඩා පහල හෝ මීට ඉහළින් ඇති බලලත් නිලධාරි I නිලය වියහැකියි) සුදුසුකම් පරීක්ෂාකර, කෙටිකාලීන පුහුණුවකින් පසු, අධිකාරියට පත්කරනවා. ඒ ආකාරයට අධිකාරියට පත්කිරීම හඳුන්වන්නේ උපකරණ පාලක අධිකාරිය (Quarter Master Commission = ‘Q’ Commission)යනුවෙන්. ඔවුන් පාලන රාජකාරි වල පමණයි යොදවන්නේ. අණදීමේ රාජකාරිවල හෝ ක්‍රියාන්විත (Operation)රාජකාරිවල යොදවන්නේ නැහැ. නමුත් ඔවුන් නැතුව යුද්ධ කරන්නත් බැහැ. ඔවුන් තමයි සියලු නිලයන්ගේ කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, අවි ආයුධ, පතරොම්, ප්‍රවාහන කටයුතු, වැටුප්, ආදී විශාල පාලන කටයුතු සම්භාරයක් ඉටු කරන්නේ. ඒ බර ඔවුන්ට දී අනෙක් නිලධාරීන්ට යුද්ධය කලහැකියි. මේ ‘QM’ ලා ටත්, අනෙක් නිලධාරීන්ට මෙන්ම, ජෙනරල් නිලය දක්වා වුනත් උසස්වීම් ලබාගතහැකියි. මෙතෙක් මා දන්නා තරමින් බ්‍රිගේඩියර් නිලය දක්වා ගිය එක්කෙනෙක් හිටියා. හැබැයි, ඔවුන් නම ලියනවිට QM යන්න සඳහන් කලයුතුයි. උදාහරණය කපිතන් (උපකරණ පාලක ‘උපා’ යනුවෙන් ලියන්නේ) ඒබීසී ගුණපාල Capt (QM) ABC Gunapala. 

ඒ නිලධාරීන්ටත් අනෙක් නිලධාරීන්ට මෙන්ම අචාර කිරීම, ගරු කිරීම, වෙනසක් නැතුව සිදුකල යුතුයි, ඊට පහල සියලු නිලධාරීන් හා සෙසු නිලයන් විසින්. සම නිලයේ නම්,  එනම්, ක්ෂේත්‍ර අධිකාරියේ ලුතිතන් කෙනෙකු අද කපිතන් නිලයට පත් වුනත්, මෙතෙක් කපිතන් (උපා) නිලයේ සිටි නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ට වෙනවා. ක්ෂේත්‍ර අධිකාරියට පත් කරන කැඩෙට් නිලධාරියකුට ලැබෙන්නේ දෙවැනි ලුතිතන් නිලය වුවත්, උපකරණ පාලක අධිකාරියට පත් කරන නිලධාරියකුට ලැබෙන්නේ දෙවැනි ලුතිතන් නිලය නොව කෙලින්ම ලුතිතන් නිලයයි. ක්ෂේත්‍ර අධිකාරි නිලධාරියකු සහ උපකරණ පාලක නිලධාරියකු අතර නිළ ඇඳුමේ කිසිදු වෙනසක් නැහැ.
(උපකරණ පාලක නිලයට පත්වන මාණ්ඩලික සැරයන් හෝ, බලලත් නිලධාරි I හෝ II එතෙක් කල් ජීවත් වුනේ, බලලත් නිලධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නයේ නොවැ. ඉතින් එය අතහැර අධිකාරිලත් නිලධාරීන්ගේ නිවස්නයට එනදා විශේෂ දවසක්. සමහරවිට ඔහුට කිසිදු නිළ ඇඳුමක් හෝ සිවිල් ඇඳුමක් පවා ගෙනයන්න ඔහුගේ පරණ සගයන් වන සැරයන් වරු, මාණ්ඩලික සැරයන් වරු, බලලත් නිලධාරිවරු, ඉඩ දෙන්නේ නැහැ. එය පුංචි නවක වදයක්. ‘චී. . චී. . සර්, ඕවා ඇඳන් යන්නේ කොහොමද ඔෆිසර්ස් මෙස් එකට’ කියා ඔහු ඇඳන් ඉන්න නිළ ඇඳුම පමණක් ඉතුරුවෙන්න අනික් ඔක්කොම ගන්නවා. ටික දවසකට පස්සේ දෙන්නේ. සමහරුනම් දෙන්නෙම නැහැ. හැබැයි ගත්ත අය ඒවා අඳින්නෙත් නැහැ. බොහෝවිට උපකරණ පාලක අධිකාරියට පත්ව එන නිලධාරියාගේ දරුවන්ගේ වයසේ, 2/ලුතිතන් වරුන්, ලුතිතන් වරුන් නිලධාරී නිවස්නයේ සිටිය හැකියි, ඒත් ඉතින් පුංචි නවක වදයක් නොදෙන්නෙත් නැහැ, නිලධාරි නිවස්නයට පිළිගැනීම වෙනුවෙන්. හැබැයි වයස ගැන සලකා බලා බොහොම පරිස්සමෙන් එය කරන්නේ)
හමුදාවේ නිලධාරීන් ඔවුන්ගේ නිලය අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදනවා.
  • කනිෂ්ට නිලධාරීන්. (Subaltern Officers)
  • ක්ෂේත්‍ර නිලධාරීන් (Field Officers) සහ
  • ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වශයෙන්.
  • කණිෂ්ට නිලධාරීන් (Subaltern Officers) ගණයට වැටෙන්නේ, 2/ලුතිතන්, ලුතිතන්, කපිතන්, කියන නිළ තුනයි. (2nd Lieutenant, Lieutenant, Captain) 
  • ක්ෂේත්‍ර නිලධාරි (Field Officers)  කියන ගණයට වැටෙන්නේ,  මේජර්, ලුතිතන් කර්නල්, කර්නල්, යන නිළ තුනයි. (Major, Lieutenant Colonel, Colonel)
  • ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වන්නේ, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, ලුතිතන් ජෙනරල්, ජෙනරල්, යන නිළ හතරයි. (Brigadier, Major General, Lieutenant General, General)
ප්‍රධාන නිලධාරීන් හැඳින්වීමට ඔවුන්ගේ නිළ ඇඳුමේ අඳින නිල ලාංඡන වලට අමතරව තවත් සංකේතයක් පාවිච්චි කරනවා. ඒ මෙසේයි. බ්‍රිගේඩියර් සංකේතවත් කරන්නේ එක තරුවකින්. මේජර් ජෙනරල් තරු දෙකයි. ලුතිතන් ජෙනරල් තරු තුනයි, ජෙනරල් තරු හතරයි. මෙම නිලධාරීන් ගමන් කරන නිල වාහනයේ ඉදිරිපස සහ පසුපස බෆරයේ මේ තරු සලකුණු දකින්නට ලැබෙනවා. මෙසේ නිලධාරීන් වර්ගීකරණය කිරීම හා තරු සංකේත ලබාදීම ත්‍රිවිධ හමුදාවේම එක සමානව සිදු කෙරෙනවා. නිලධාරීන් ගැන මෙතරම් සවිස්තරව කියන්නේ ඔබට ඇතිවියහැකි ගැටළු හැකි තරම් අවම කිරීමටයි.
 මේ ලිපිය දැනටම සෑහෙන්න දිග බව පෙනෙනවා. ඒ නිසා ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිළ හඳුන්වාදීම ඊළඟ ලිපියෙන් කරන්නම්.

18 July 2012

අපේ කාලයේ වීරයෙක්


 රාජේශ් ඛන්නා මියගිය පුවත මට දැනගන්නට ලැබුනේ දැනට පැය භාගයකට පමණ පෙරයි. 1960 දශකයේදී මා හඳුනාගත් මේ සිනමා වීරයා, එකල තරුණ අපේ හදවත්හි නංවාලන ලද ප්‍රේම කල්පනා අපමණය. ඇත්තෙන්ම තාරුණ්‍යයේ ප්‍රේමය අප හදවත් තුලට ඇතුළු කිරීමට මුල්වූ සිනමා නළුවකු ලෙස ඔහු හැඳින්වීමේ වරදක් නැත. මා ඔහුව සියැසින් දැක නැතිද, ඔහුගේ කුසලතාවයෙන්, සහජ දක්ෂතාවයෙන්, රංගන වින්‍යාසයෙන්, ඔප් නැංවුණු සිනමාපට විශාල සංඛ්‍යාවක් නැරඹීමෙන් ලද ආස්වාදය මෙතෙකැයි, වචනයෙන් විස්තර කිරීමට නොහැකිය. 

ප්‍රේමයේ යතාර්ථවාදී බව, පරිත්යාගශීලීබව වැනි උත්තරීතර හැඟීම් අප හදවත්හි මුල් වරට පැලපදියම් කිරීමට සමත්වූ, සිනමා විශ්වකර්මයකු ලෙස ඔහු හැඳින්වීමෙහි කිසිදු වරදක් නැත. ඔහු රඟපෑ චිත්‍රපට ලැයිස්තුව ලිවීමට හෝ එහි අග මුල සෙවීමට හෝ මේ අවස්ථාව නොවේ. ඔහුගේ සාමාන්‍ය ජීවිතය ගැන, එකල්හි පළවූ සිනමා පුවත්පත් විස්තර අප කියවුයේ, කිසියම් උන්මාදයකිනි. ඔහු වගේ කොණ්ඩය පීරන්නට, ඔහු නිතර ඇඳි කර පියවූ මෝස්තරයේ කමිස අඳින්නට, අප දැරූ බොළඳ උත්සාහයද අද මිහිරි මතකයකි. ඒ සියල්ලට වඩා මේ ශ්‍රේෂ්ට මිනිසා පිළිබඳව සමකාලීන ඉන්දීය නලු නිලියන් අතර තිබුණු ගෞරවාන්විත සැලකීම තුලින්ම, ඔහු හඳුනාගන්නට අපට හැකිවිය. සිහින කුමාරයාණනි, ශ්‍රේෂ්ඨ කලාකරුවානණි, උතුම් මිනිසාණෙනි, ඔබට මෝක්ෂ සුවය ලැබේවා.
ඔහුගේ අවසන් කටයුතු හෙට 2012 ජූලි මස 19 වැනි දින පෙරවරු 11.00 ට මුම්බායිහිදී පැවැත්වෙන බව දැනගතිමි. ඔහු රඟපෑ චිත්‍රපටි දෙකකින් උපුටාගත් ගීත ජවනිකා දෙකක් පහත දක්වමි.
ආරාධනා 1969


 කටි පතන්ග් 1970 


16 July 2012

ආසෙ, ආකාසෙ, සාසෙ, රසෙ, තුසෙ, ඉසෙ, පුසෙ, සංසෙ, රෝසෙ, කාසෙ, මොනවද අනේ මේ


 ත්‍රිවිධ හමුදාවේ නිලයන් සහ එහි නිල ලාංඡන ගැන ලිපියක් ලිවීමට බොහෝ දෙනාගේ ඉල්ලීමක් තිබෙනවා. ඒ ලිපිය ඉදිරිපත් කරන්නට පෙර එක් එක් රෙජිමේන්තු වල සාමාන්‍ය සෙබළකු හඳුන්වන ආකාරය ඉතා කෙටි ලිපියකින් කියා දෙන්නටයි මේ උත්සාහ කරන්නේ. 
ඔබ බොහෝ දෙනෙකුගේ ඥාතීන්, හිතවතුන් ඇතිනේ යුද හමුදාවේ. ඔවුන්ගේ නමට ඉදිරියෙන් ලියන නිල නාම සමහරවිට ඔබට තේරුම් ගැනීමට අපහසු මෙන්ම තරමක් විකාරරූපී බවක්ද ඇති බව පෙනීගොස් ඇති. ඉතින් එ ගැටළු සහගත බව ලිහන්නයි මේ උත්සාහය. ඉදිරියේදී සියලුම නිළ හඳුන්වා දෙනවා. අද සාමාන්‍ය සෙබලා ගැනයි ලියන්නේ.
සාමාන්‍යයෙන් ඕනෑම රැකියාවකට හෝ වෘත්තියකට අදාළ නිලනාම තිබෙනවා, ඒ ගැන ඊට පෙර අහලා නැති කෙනෙකුට අවබෝධ කරගැනීමට අපහසු. රජයේ එක්තරා කාර්යාලයකට ලිපියක් ලැබුනලු ස.සු.කො.බ.කො. කියලා අත්සන් කරලා. ඒක දැකපු ඒ කාර්යාලයේ විෂයය ලිපිකරු සටහනක් දැම්මලු මො.කො.ය.කො. කියලා. මේක දැකපු කාර්යාලයේ ලොක්කා අර විෂයය ලිපිකරු ගෙන්වලා, පොළොවේ අඩි හප්පමින් කෑගැහුවලු මොකද තමුසේ මේ ලිපියේ මොකොයකො කියලා ලිව්වේ, මේ ලිපිය එවලා තියෙන්නේ සහකාර සුරාබදු කොමසාරිස් බටහිර කොට්ඨාශය කියලා දන්නේ නැද්ද? කියලා. 

ලිපිකරු කිව්වලු කවුද සර් ඕවා දන්නේ. මම ඔය ලියලා තියෙන්නේ මොහු කොහෙද යවන්නේ කොහොමද කියලයි, කියලා කිව්වලු. ඒ වගේම මට මතකයි අපි පාසල් යන කාලයේ පොත්වල තිබුනා අ.ග්‍ර.ප්‍ර.උ.ම.ලේ. කියලා තනතුරක්. ඒ කියන්නේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ ලේකම් කියන එකයි.
ඉතින් ඒ චූර්ණිකාවෙන් පස්සේ මා ඔබව රැගෙන යන්නේ යුද හමුදාවට අලුතෙන්ම බැඳුන සෙබළකු සහ සෙබළියක හඳුන්වා දෙන්නටයි. හමුදාවට අලුතෙන්ම බැඳී පුහුණුව ලබන සොල්දාදුවා හඳුන්වන්නේ ආධුනික සෙබළ  යනුවෙන්. (Recruit – රෙක්රූට් ) ඒ සඳහා යුද හමුදාවේදී පාවිච්චි කරන කෙටි යෙදුම තමයි ආසෙ. අපි හිතමු ඒ.බී. ගුණපාල කියන තරුණයා හමුදාවට බැඳී පුහුණුව ලබනවා කියලා ආධුනික සෙබළකු ලෙස. පුහුණුව ලබන කාලයේදීඔහුගේ නම ලියන්නෙත්, කවුරු හරි හමුදා නිලධාරියකු ඇසුවොත් කියන්නෙත් , ආධුනික සෙබළ ගුණපාල ඒබී  යනුවෙන්. 

යුද හමුදාවේ බලලත් නිලධාරි 1 (මේ නිළය හා අනෙකුත් සියලු නිළ පිළිබඳව ඉදිරියේ එන ලිපියකින් විස්තර කරනවා) සහ ඊට ඉහල නිලධාරීන්ගේ හැර, ආධුනික සෙබලාගේ පටන් බලලත් නිලධාරි 2 දක්වා සියලු නිලයන්ගේ නමේ මුල අකුරු ලියන්නේ නමට අගින්. ඒ නිසයි ඉහත ආසෙ ගුණපාල ඒබී කියා මුල අකුරු අගට ලියා තිබෙන්නේ. එමෙන්ම මුල අකුරු ලිවීමේදී අකුරු අතර තිත් තබන්නේ නැහැ, කිසිදු නිලයකට අයත් කෙනෙකුගේ නම ලිවීමේදී. ඉතින් ගුණපාල අධිකාරි ලත් නිලධාරියකු වුනානම් ඔහුගේ නමට ඉදිරියෙන් තමයි මුලකුරු ලියන්නේ අපි හිතමු ගුණපාල කපිතන් (Captain) කෙනෙක් කියා, එවිට ලියන්නේ කපිතන් ඒබී ගුණපාල යනුවෙන්.
දැන් ආධුනික  සෙබළා එතන තියලා, යමු ආධුනික සෙබළිය වෙතට. හා. . . . හා. . . . ඔච්චර ලංවෙන්න එපා. නිකම් බලලා යන්න විතරනේ ආවේ. තව කොහොම තියෙයිද අර සුවඳ හමන නයිට් ගාඩ් එක දැක්කානම්? ආධුනික සෙබලියත් රෙක්රූට්ම තමයි. වැඩි විශේෂයක් නැහැ. නමුත් එයා ආසෙ නෙවෙයි ආකාසෙ ඒ කියන්නේ ආධුනික කාන්තා සෙබළ කියන එකයි. සාමාන්‍යයෙන් හමුදා කඳවුරකට ඇතුළුවීමේදී/පිටවීමේදී කඳවුරේ ප්‍රධාන දොරටුව අසල ඇති මුර හලේ (Guard Room) තමන්ගේ හමුදා අංකය,නිළය,නම,පිටවීයාමට හේතුව, එසඳහා ඇති අවසරය, ආදිය සටහන් කල යුතුයි. (නිලධාරීන් නොවන අය පමණයි) ඇතුළුවීමේදී ප්‍රධාන ගේට්ටුවේ ඉන්න සෙබලාට සැකයක් තිබේනම්, ඒ එන්නේ තමන් නොදන්නා කෙනෙකු බව, හමුදාපති ආවත් ඔබ කවුද කියා විමසිය හැකියි. 

ඔන්න ඉතින් සෙබළියක් වගේ කෙනෙක් එනවලු කඳවුරට ඇතුළුවෙන්න. ගේට්ටුවේ රාජකාරියේ හිටිය සෙබළා ඇයව දන්නේ නැහැ. අනික දැන් කළුවර වැටීගෙන එන වෙලාව. සෙබළා ඇහුවා ‘කවුද?’ කියලා. ‘ආකාසේ චන්ද්‍රා ඒවී’කියාගෙන කෙල්ල කඳවුර ඇතුලට යන්න හැදුවා. සෙබළා තුවක්කුව ඇගේ බෙල්ලට තියලා කිව්වා ‘මේ නංගි. . .  චන්ද්‍රයා නම් ආකාසේ තව ටිකකින් ඒවී, ඒක මාත් දන්නවා, අද පෝයනේ. මැරුම්කන්නේ නැතුව නම කියපන්’ කියලා. බලනකොට ඒ කෙල්ල ආධුනික කාන්තා සෙබළ චන්ද්‍රා. මුල අකූරු තමයි ඒවී. A V.
(වරක් අපේ මේජර් ජෙනරල් කෙනෙකු ගමන් කල වාහනය, සාමාන්‍ය සෙබළකු විසින්, රාත්‍රියකදී, කොළඹ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී, නැවැත්වුවා. ජෙනරල් හිටියේ නිළ ඇඳුමෙන්. සෙබළා ජෙනරල්ට අචාර කර ‘සර් කවුද’ කියා විමසුවා. ජෙනරල් කිව්වා,’ මම ජෙනරල් අහවලා’ කියලා. සොල්දාදුවාකිව්වා ‘මම සර්ව දන්නේ නැහැ, කරුණාකරලා හැඳුනුම්පත දෙන්න’ කියලා. ජෙනරල් හැඳුනුම්පත පෙන්නුවාම සෙබළා නැවතත්  ජෙනරල් ට අචාර කර, ‘බොහොම ස්තුතියි සර්’ කිව්වා. ජෙනරල් පිටත්ව ගියා. පසුවදා ඔහුව තම කාර්යාලයට ගෙන්වූ ජෙනරල්, ඔහුව ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කළා. හරියට රාජකාරිය කල නිසා.)
ආධුනික සෙබළා පුහුණුව අවසන්වී විසිර යාමෙන් (paas out) පසු සාමාන්‍ය සෙබළකු බවට පත් වෙනවා. එවිට ඔහු තම නමට ඉදිරියෙන් ලියන්නේ සාසෙ යනුවෙන් සාමාන්‍යයෙන් පාබල හමුදාවක සෙබළකු සහ සමහර සේවා ඒකක (හරි. . . .  හරි. . . .  පාබල මොනවද සේවා මොනවද පස්සේ ලිපියකින් කියනවා) සෙබළුන් තමයි සාසෙ යනුවෙන් හැඳින්වෙන්නේ. හමුදාවේ එක් එක් රෙජිමේන්තු තමන්ට විශේෂවූ සම්ප්‍රදායයන් අනුව තමයි සාමාන්‍ය සෙබලාව නම් කරන්නේ. ඒ අනුව සෙබළකු සාමාන්‍ය සෙබළ ලෙසත්, රෙජිමේන්තුවට ආවේනික විශේෂ නම් වලින් තමන්ගේ සාමාන්‍ය සෙබලාව හඳුන්වන රෙජිමේන්තුත් මෙසේයි. (නම වෙනස් වුනත් තත්වයෙන් වෙනසක් නැහැ. සියලු දෙනාම සාමාන්‍ය සෙබළු)
මෙහි දක්වා ඇත්තේ මූලික වර්ගීකරණය පමණයි. මෙයට ව්‍යතිරේක වශයෙන් යෙදෙන නිළ නාම ඇතත් ඒවා මෙහි දක්වා නැහැ. ඊළඟ ලිපියකින් ඒ පිලිබඳ විස්තර බලාපොරොත්තුවන්න.

12 July 2012

නිර්භීත සතුරා ‘බිස්මාර්ක්’ – Battleship Bismarck – (තුන්වැනි කොටස) ‘අවසන් සටන’ ‘The Final Battle’


බිස්මාර්ක් යුද්ධ නැව පිළිබඳව ගෙන එන ලිපි මාලාවේ තුන්වැන්න සහ අවසාන ලිපියයි මේ. පළමුවැනි කොටසසහ දෙවැනි කොටස කියවූ ඔබෙන් ලද ප්‍රතිචාර මා බෙහෙවින් අගය කරනවා. ඇත්තවශයෙන්ම බිස්මාර්ක් සිද්ධිය සම්බන්ධයෙන් මා අධ්‍යයනය කල තොරතුරු සමුදාය අනුව, සියලු කරුණු කාරනා ඇතුලත් කොට ලියන්නේනම්, යටත්පිරිසෙයින් ලිපි පහක්වත් ලිවිය යුතුයි. එහෙත්, බ්ලොග් කියවන්නන්, ඉතා දීර්ඝ ලිපි කියවීමට මෙන්ම, කොටස් ගණනාවක් කරා යන ලිපිද, (රැල්ලේ යන මාතෘකා හැර) කියවීමට එතරම් උනන්දුවක් නොදක්වන බව, බ්ලොග් ලෝකයට පැමිණ තවම අවුරුද්දක්වත් ගතකර නැති මා, හොඳින් අවබෝධ කරගත්තා. ඒ අනුවයි මේ ලිපි හැකි තරම් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ.
බිස්මාර්ක් නැවේ තිබුණු ප්‍රධාන කාලතුවක්කු අට කාලතුවක්කු දෙකේ පද්ධති හතරක් වශයෙන් සවි කර තිබුණු බව ඔබට මතක ඇති. එම කාලතුවක්කු අට්ටාල ඒ, බී, සී, ඩී, අනුපිලිවෙල අනුව ඇන්ටන්, බ්රූනෝ, සීසර්, සහ ඩෝරා යනුවෙන් නම්කර තිබුන අතර ඒ සඳහා කොඩි හතරක් ලබාදී තිබුනා. මේ ලිපි මාලාවේ පළමුවැනි ලිපියේදී මා සඳහන් කල ආකාරයට මේ කාලතුවක්කු වලින් නිකුත් කෙරුනේ සෙ.මී. 38 හෙවත් අඟල් 15 ක විෂ්කම්බය සහිත, එකක් කි.ග්‍රෑ. 800 ක් බර උණ්ඩයි.
මෙය එවකට ලොව වෙනත් කිසිම යුද නැවක නොතිබුණු සුපිරි වෙඩි බලයක්. බිස්මාර්ක් නොබියව උතුරු අත්ලාන්තික් සාගරයට පිවිසුනේ තමන් සතු සුපිරි බලය ගැන අධි තක්සේරුවකට එළඹෙමින්. ආධාරක නැව් 14 ක් තිබුනද ප්‍රදාන චරිතය බිස්මාර්ක් නැවටත් සහාය චරිතය ප්‍රින්ස් එව්ජින් නැවටත් රඟපාන්නට සිදුවුනා. තමන් ගැන තිබුන අධි තක්සේරුව, අධිමානය, බිස්මාර්ක් නැවට විනාශය ළඟාකරදුන් ආකාරය ඉතාම නාටකීය සිදුවීම් මාලාවක්. අදටත් ඉතා විවාදාත්මකවූ සිදුවීමක්ද සහිත ඒ පුරාවෘත්තයේ උච්ඡතම අවස්තාවටයි දැන් අපි එළඹෙන්නේ.
 ජර්මානු නාවික තාක්ෂණයේ අග්‍රඵලය ලෙස හැඳින්විය හැකි බිස්මාර්ක් 1940 අගෝස්තු මස 24 වැනිදා අධිකාරියට පත්කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ මිල කල නොහැකි නැවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා තව දුරටත් අත්හදා බැලීමේ චාරිකාවල යොදනු ලැබුවේ දැඩි ආරක්ෂක විධිවිධාන යටතේයි.
1941 මැයි මස 5 වැනිදා ජර්මානු ආඥාදායක ඇඩෝල්ෆ්ට් හිට්ලර් තම මහ සෙනෙවියන්ද පිරිවරාගෙන බිස්මාර්ක් සහ ටර්පිට්ස් යන නැව් වල නිරීක්ෂණ චාරිකාවක යෙදුනා. (1945 නොවැම්බර් මස 12 වැනි දින, බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාරයකින්, ටර්පිට්ස් විනාශ වුනා) එම චාරිකාව අවසානයේදී පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී අතිශයින් රහසිගත රයින්උබුන්ග් මෙහෙයුම හෙවත් Operation Rheinübung සඳහා බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් යන නැව්  දෙක සූදානම් බව අද්මිරාල්  ලුට්ජෙන්ස්  Lütjens හිට්ලර් වෙත වාර්තා කළා.
 ඒ අනුව 1941 මැයි මස 19 වැනි දින ක්‍රියාන්විතය ආරම්භ කිරීමට හිට්ලර් නියෝග කළා. ජර්මනියෙන් පිටත්වූ බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් පරිවාරක යාත්‍රා සමූහයකින්ද යුක්ත වුනා. ආරක්ෂාව, ආධාර සැපයීම, මුහුදු වෙඩි ඇතිරීම, කුඩා පරිමානයේ ප්‍රහාර එල්ල කිරීමද ඒ පරිවාරක යාත්‍රාවල කාර්යභාරය වුනා. ඒ සමගම ගුවන් යානා වලින්ද ආරක්ෂාව ලබා දුන්නා. මැයි මස 20 වැනිදින බිස්මාර්ක් අණදෙන්නාවූ ලින්ඩ්මාන් තම නැවේ ශබ්ද විකාශන මගින් කාර්ය මණ්ඩලයට දැනුම දුන්නා කරන්නට යන්නේ කුමක්ද යන්න. ක්‍රියාන්විතයේ අරමුණ වුනේ ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය අතර උතුරු අත්ලාන්තික් සාගරය ඔස්සේ සිදුකෙරෙන නාවික යාත්‍රා ගමනාගමනය හදිසි ප්‍රහාර මගින් අදාළ කර දැමීම සහ උතුරි අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ පාලනය සියතට ගැනීමයි.
 උතුරු අත්ලාන්තික් සාගරයට පිවිසුන ජර්මානු යුද නැව් පෙළ ස්වීඩනයට අයත් කුඩා ප්‍රහාරක යාත්‍රාවක රහසිගත නිරීක්ෂණයට ලක්වුනා. එහි ප්‍රතුඵලය වුනේ ස්වීඩනය දැනුවත්වීම සහ ස්වීඩනයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය මගින් බ්‍රිතාන්‍යයද දැනුවත් වීමයි.
කෙසේ වෙතත් හැන්ගිමුත්තම් කෙළිමින් උතුරු අත්ලාන්තික් සාගරයට පිවිසුනද බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ උකුසු ඇසින් ගැලවීමට නොහැකි බව ජර්මන් නාවික යාත්‍රා පෙළ දැන සිටියා. මැයි මස 23 වැනිදා බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය දිගේ හැකි උපරිම වේගයෙන් දකුණු දෙසට එන්නට පටන්ගත්තා.
 ජර්මන් යාත්‍රා පෙළ බ්‍රිතාන්‍ය ප්‍රහාරක යාත්‍රාවක්‌ වන සෆෝක් නැවේ නිරීක්ෂණයට ලක්වූ බවත් සටන ඇරඹීමට සිදුවන බවත් ලුට්ජෙන්ස් අවබෝධ කරගත්තා. ඔහු ප්‍රින්ස් එව්ජින් ට අණදුන්නා සෆෝක් වෙත පහර දෙන ලෙස. ප්‍රහාරය එල්ලවූ වහාම සෆෝක් පසුබැස්සා. සෆොක්හි සහයට ආවේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේම නෝෆෝක් නැවයි. එය සෆෝක් ට වඩා ප්‍රබලයි. නැව් දෙක එක්ව ආක්‍රමණිකයා පසුපස පන්නන්නට පටන්ගත්තා. ඒ නැව් ආසන්නවත්ම බිස්මාර්ක් තම මහා කාලතුවක්කු වලින් පහර දුන්නා. එයින් සිදුවුනේ සුළු හානි පමණයි බ්‍රිතාන්‍ය යාත්‍රා දුම් වෙඩි යොදා ආවරණයක් ගෙන පසුබැස්සා. ලුට්ජෙන්ස් එක්වරම බිස්මාර්ක්ට අනකලා අංශක 180 ක ආපසු හැරී බ්‍රිතාන්‍ය යාත්‍රා ලුහු බඳින ලෙස.  නමුත් බිස්මාර්ක්ගේ වෙට්ටුව තේරුම්ගත් බ්‍රිතාන්‍ය යාත්‍රා ඝන අඳුරේ ගැඹුරු මුහුදේ නොසෙල්වී සැඟවී සිටියා. පසුදින අලුයම ප්‍රින්ස් එව්ජින් නැවේ රේඩාරයට බ්‍රිතාන්‍ය නැව් දෙක අසුවුනා.  ඔවුන්ට අවබෝධ වුනා බ්‍රිතාන්‍ය යාත්‍රා තමන්ගේ ගමන්කිරීමේ දිශාව, වේගය, නැව් ගණන ආදී සියලු විස්තර රැය පුරාම බ්‍රිතාන්‍යය වෙත ලබා දෙන්නට ඇතිබව. ඒ සමගම බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ අති ප්‍රබල යුද නැව් වූ ‘හුඩ්’ සහ ‘ප්‍රින්ස් ඔෆ් වේල්ස්’ යන නැව් දෙක ජර්මන් නැව් පෙළ සොයා එමින් තිබුනා.
  මෙම නැව් බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ අද්මිරාල් ලාන්ස්ලොට්‌ හොලන්ඩ් ගේ අණදීම යටතේ කටයුතු කළා. මීටර් 26000 ක දුර සිට සිය රේඩාර් මගින් ජර්මානු නැව් අල්ලාගත් හුඩ්, කාලතුවක්කු ප්‍රහාර ආරම්භ කළා. ප්‍රින්ස් ඔෆ් වේල්ස් ද ඒ සමගම ප්‍රහාර ආරම්භ කළා. නමුත් තමන් පහර දෙන්නේ බිස්මාර්ක්ට කියා සිතමින්, හුඩ් පහර දුන්නේ ප්‍රින්ස් එව්ජින්ටයි. තමන් පහර දෙන්නේ ප්‍රින්ස් එව්ජින්ට කියා සිතමින්, ප්‍රින්ස් ඔෆ් වේල්ස් පහර දුන්නේ බිස්මාර්ක්ටයි. ලින්ඩ්මාන් ගේ ඉවසීමේ සීමාව පැන්නා. ඔහු තම අණදෙන්නා වූ ලුට්ජෙන්ස් ගෙන ඉල්ලා සිටියා ‘මගේ පස්ස පැත්ත අස්සෙන් ඇවිත් මගේ නැවට ගහන්න මම ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා ප්‍රති ප්‍රහාර දෙන්න අවසර දෙන්න’ කියා. නමුත් ලුට්ජෙන්ස් ප්‍රති ප්‍රහාර සඳහා ඉක්මන් වුනේ නැහැ. ඒ වනවිර උදෑසන හිරු එලිය යන්තමින් පතිත වෙමින් තිබුනා ලුට්ජෙන්ස් බිස්මාකයට අණ කළා ප්‍රති ප්‍රහාර දෙන ලෙස.
  හුඩ් සහ ප්‍රින්ස් ඔෆ් වේල්ස් තම ඉදිරිපස ජර්මන් නැව් දෙසට හරවා තිබුන අතර ජර්මන් නැව් සිය බඳ පෙදෙස බ්‍රිතාන්‍ය නැව් දෙසට හරවා තිබුනා. මෙහි වාසිය අත්වුණේ ජර්මන් නැව් වලටයි. මන්ද, එක වරම ඉදිරිපස සහ පසුපස කාලතුවක්කු අටෙන්ම බ්‍රිතාන්‍ය නැව් වලට පහරදීමට හැකියාව ලැබුනා. තත්වයේ බරපතලකම අවබෝධ කරගත් අද්මිරාල් හොලන්ඩ් තම නැව් ද පසෙකට හැරවූවා. නමුත් මේ අතර ජර්මානු නැව් වලින් ප්‍රහාර එල්ලවන්නට පටන්ගත්තා. හුඩ් නැවේ සුළු ගින්නක් අති කිරීමට එක ප්‍රහාරයක් සමත්වූ අතර වහාම ගින්න නිවා දැමුවා. ජර්මානු නැව් මෙතෙ තැබූ වෙඩි මගින් බ්‍රිතාන්‍ය නැව් වලට අති නිවරදි දුර තේරුම්ගෙන තමන්ගේ තුවක්කු වල ඉලක්කය නිවැරදිව සීරු මාරු කරගෙන එක වරම බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් නැව් දෙකෙන්ම හුඩ් වෙත මහා පරිමාන කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්තා.
මෙහිදී හුඩ් සහ ප්‍රින්ස් ඔෆ් වේල්ස් ආරක්ෂක පියවරක් වශයෙන් ඔවුන්ගේ කාලතුවක්කුද සම්පූර්ණයෙන් සතුරා දෙසට හැරවීමට කටයුතු කළා. නමුත් ජර්මන් නැව් බ්‍රිතාන්‍ය නැව් දෙකටම හැරෙන්නටවත් ඉඩ නොදී දිගටම පහර දෙන්නට පටන්ගත් අතර ජර්මන් පරිවාර ප්‍රහාරක යාත්‍රා නෝෆෝක් සහ සෆෝක් නැව් ආධාරයට  ඒම වැලැක්වීම සඳහා එම
 නැව් දෙකටද පහරදීම ඇරඹුවා. මාරක හෝරාව එළඹුනා. බිස්මාර්ක් නැව තම මහා කාලතුවක්කුවකින් පිටකළ කිලෝ 800 උණ්ඩයක් හුඩ් නැවේ තට්ටුව පසාරු කරගෙන ගොස් වෙඩි උණ්ඩ ගබඩාව තුල පුපුරා ගියා. මේ පිපිරීමෙන් හුඩ් නැව දෙකට කැඩුනා. බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ පතාක යෝධයකු බඳු හුඩ් නැව, අති දැවැන්ත බිස්මාර්කයේ නිර්දය ප්‍රහාරයට ලක්වීමෙන් 1941 මැයි මස 23 වැනිදා උදෑසන මුහුදේ ගිලී ගියේ, තම කාර්ය මණ්ඩලයේ 1419 දෙනාගෙන් තුන් දෙනෙකුගේ පමණක් ජීවිත ඉතිරි කරමින්.
මීළඟට ජර්මානු නැව් ප්‍රින්ස් ඔෆ් වේල්ස් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්තා. ප්‍රති ප්‍රහාර එල්ල කරමින්ම පසු බසින්නට පරිස් ඔෆ් වේල්ස් ට සිදුවුනා. නමුත් තම කාලතුවක්කු ප්‍රහාර මගින් බිස්මාකයේ තට්ටුවට හානි කරන්නටත් එයින් මුහුදු ජලය නැව තුලට ඒමේ අවදානමක් අති කරන්නටත් ප්‍රින්ස් ඔෆ් වේල්ස් ට හැකිවුනා.
 මහා සටන ඇරඹුණේ මෙතැන්සිටයි. සතුරාගේ මේ නින්දනීය ප්‍රහාරයෙන් කැළඹුන බ්‍රිතාන්‍ය රජය සියලු ශක්තිය යොදා සතුරා නිර්දය ලෙස මර්දනය කිරීමට පිඹුරුපත් සැකසුවා. බ්රිතාන්ය අගමැති වින්ස්ටන් චර්චිල් කියා සිටියේ මොන ක්‍රමයකින් හෝ බිස්මාකය ගිල්ලවිය යුතු බවයි.
තම රාජ්‍යයේ අබිමානය වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගැනීමට බ්‍රිතාන්‍ය රජය ඉටාගත්තා ඒ අනුව බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ පධාන පෙලේ සියලුම යුද නැව් සටනට කැඳවනු ලැබුවා. උතුරු අත්ලාන්තික් සාගරයේ සාමාන්‍ය නාවික ගමනාගමනයට ආරක්ෂාව සපයමින් සිටි යුද නැව් සහ ප්‍රධාන පෙලේ ප්‍රහාරක යාත්‍රා පවා යොදවාගනු ලැබුවේ මොනම ආකාරයකින් හෝ තවත් නැවක් බිස්මාකයේ බිල්ලට දීමට බ්‍රිතාන්‍යය කිසිසේත් කැමති නොවූ නිසයි.
කෘසර් වර්ගයේ ප්‍රහාරක යාත්‍රා වලට අමතරව ප්‍රධාන තැනක ගත්තේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ඉතිරි යෝධයන් ලෙස හැඳින්විය හැකි, ආක් රෝයල්, වික්ටෝරියස් (මෙය ප්‍රහාරක ගුවන් යානා සහිත නැවකි), කිං ජෝර්ජ් 5, රොඩ්නි, වැනි මහ යුද නැව් ය.
 ප්‍රින්ස් ඔෆ් වේල්ස් නැව බිස්මාර්ක් නැවෙන් පහර කා අඩපන වී තිබුනත් ආපසු  බිස්මාර්ක් වෙත් එල්ල කල කාලතුවක්කු ප්‍රහාර වලින් තුනක් බිස්මාර්ක් වෙත වැදී තිබුනා.එකක් බිස්මාර්කයේ ඉදිරිපස කෙලවරට ආසන්නව වැදුන අතර එයින් බිස්මාර්කය තුලට මුහුදු ජලය ඇතුළුවීමේ අවදානමක් ඇති කිරීමට සමත් වුනා. දෙවැන්න ටෝර්පිඩෝ බෝම්බ වලින් ආරක්ෂා වීමට යොදා තිබෙන ඝන යකඩ බඳේ වැදී සුළු හානි අති කළා. තුන්වැන්න ජීවිතාරක්ෂක බෝට්ටුවක් කඩාගෙන ගොස් නැව තුලට වැටී පුපුරා නොගොස් ඉතිරි වුනා.
කෙසේ වෙතත් ප්‍රින්ස් ඔෆ් වේල්ස් නෞකාව සිය ආරක්ෂාව වෙනුවෙන් පසුබහින්නට තීරණය කළා. තමන් විසින් හුඩ් හෝ ඒ සමාන නැවක් ගිල්ලවූ බවත් තවත් විශාල නැවක් හානිකර එලවා දැමූ බවත් ජර්මානු නාවික සෙනෙවි ලුට්ජෙන්ස් වාර්තාකලා ජර්මන් රජය වෙත.
 ප්‍රින්ස් ඔෆ් වේල්ස් නැවේ ප්‍රහාරයට ලක්වීමෙන් බිස්මාර්කයේ සමබරතාව ඉතා සුළු වශයෙන් වෙනස් වුනා. ලුට්ජෙන්ස් තීරණය කළා බිස්මාකය සහ ප්‍රින්ස් එව්ජෙන් නැවත උතුරු අත්ලාන්තික් සාගරට යා යුතු බව. නමුත් මේ වනවිට ඔවුන්ට බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙන් එල්ලවියහැකි තර්ජනයට මුහුණ දීම හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ.
බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ප්‍රධාන යුද නැව් සහ අනෙකුත් සියලු ප්‍රහාරක යාත්‍රා වහාම ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය ප්‍රදේශයට ගෙන්වාගෙන බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජෙන් ලුහුබැඳ යාමට බ්‍රිතාන්‍ය රජය තීරණය කළා. ඒ අනුව මුලින්ම එක් වූයේ සැහැල්ලු ප්‍රහාරක යාත්රායි. රොඩ්නි වැනි විශාල නැව් ඉන්පසු එක්වුණා. ප්‍රහාරක ගුවන් යානා ගෙනයන නැව් දෙකක්, ප්‍රහාරක යාත්‍රා 13 ක්, සබ්මැරීන වලට පහර දෙන යාත්‍රා 21 ක්, සතුරු නැව් හඹා යාම සඳහා යොදවනු ලැබුවා. මේ වනවිට පලාගිය ප්‍රින්ස් ඔෆ් වේල්ස් නැව සිය ප්‍රධාන තුවක්කු දහයෙන් නවයක් ම යථා තත්වයට පත්කරගෙන තිබුනා. ලුට්ජෙන්ස් උත්සාහ කලේ හානිවී ඇති ප්‍රින්ස් එව්ජෙන් අලුත්වැඩියා කිරීම සඳහා හොර රහසේම පිටත්කර යවන්නට. නමුත් අයහපත් කාලගුනට නිසා එය වැළකී ගියා.  කෝපයට පත් ලුට්ජෙන්ස් නැවතත් බිස්මාකය බ්‍රිතාන්‍ය ලුහු බඳින්නන් දෙසට හැරුණු අතර මුලින්ම පැමිණි සෆෝක් ප්‍රහාරක යාත්‍රාවට පන බේරාගෙන ආපසු හැරෙන්නට වුනා.
නෝෆෝක් සහ සෆෝක් යන යාත්‍රා දෙකේ අණ දෙන්නාවූ රියර් අද්මිරල් ෆ්‍රෙඩ්රික් වේක් වෝකර් ප්‍රින්ස් ඔෆ් වේල්ස් නැවද එකතු කර ගනිමින් ප්‍රති ප්‍රහාර සැලැස්මේ මූලික පියවර ගනු ලැබුවා.
 බිස්මාර්ක් හි අවධානය වෙනතකට යොමුකිරීම සඳහා සෆෝක් ප්‍රහාරක යාත්‍රාව බිස්මාර්ක් දෙසට එන බව පෙන්වා වෙනතකට යොමු කළා. ඒ අතර ප්‍රින්ස් ඔෆ් වේල්ස් කල්යල් බලා තම සියලුම කාලතුවක්කු එකවර වෙඩි තැබීමේ ක්‍රමයට යොදාගනිමින් (salvo) ප්‍රහාර 12 ක් බිස්මාර්ක් වෙත එල්ල කල අතර බිස්මාර්ක් එවැනිම ප්‍රහාර 9 කින් ප්‍රින්ස් ඔෆ් වේල්ස් වෙත ප්‍රතිචාර දැක්වුවා. මේ ප්‍රහාර වලින් දෙපාර්ශ්වයටම කිසිදු හානිය වුයේ නැහැ. සිදුවූ එකම දෙය මේ සටන අවස්තාවක් කරගනිමින් ප්‍රින්ස් එව්ජෙන් හෙමින් මාරුවී යාමයි. බිස්මාර්ක් නැවතත් උතුරු අත්ලාන්තික් සාගරය වෙත යාමට සූදානම් වනවාත් සමගම බ්‍රිතාන්‍ය නැව් කණ්ඩායම බිස්මාර්කයේ බඳ පෙදෙස ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගත්තා.
හුඩ් නැව ගිල්ලවා දැමූ සටනේදී සිදුවූ හානි නිසා බිස්මාර්කයේ වේගය පැයට නාවික සැතපුම් 27 – 28 පමණ අඩුවී තිබුනා. මෙය කින්ග් ජෝර්ජ් 5 නැවේ උපරිම වේගයට සමාන වුනා. බිස්මාර්කයේ වේගය අඩු නොවුනානම් එය ප්‍රංශයේ ශාන්ත නසයර් වරාය වෙත පැන යන්නට එකාන්තවම ඉඩ තිබුනා.
 මැයි මස 25 වැනිදා සවස 4.00 පමණ වනවිට බ්‍රිතාන්‍ය නාවික අද්මිරල් ටෝවී විසින් ප්‍රහාරක ගුවන්යානා රැගත් වික්ටෝරියස් නැව සටනට යොමු කරනු ලැබුවා. ඒ සමගම කෘසර් වර්ගයේ සැහැල්ලු ප්‍රහාරක යාත්‍රා 4 ක් ද සටනට එළඹුනා. වික්ටෝරියස් නැවෙන් ෆුල්මර් වර්ගයේ ගුවන්යානා 6 ක් ද, ටෝර්පිඩෝ බෝම්බ හෙලන ස්වොර්ඩ් ෆිෂ් වර්ගයේ ගුවන්යානා 9 ක් ද, පිටත්වුනා, බිස්මාර්කයට පහරදීමට. මෙහෙදී ගුවන් ප්‍රහාර ගැන එකල එතරම් අත්දැකීම් නැති නියමුවන්ගේ වැරදි ප්‍රහාර නිසා තමන්ටම අයත් නෝෆෝක් ප්‍රහාරක යාත්‍රාව නූලෙන් බේරුනා. මේ කලබගෑනිය නිසා රහසිගත බව බිඳුන අතර බිස්මාර්කයට ප්‍රහාරය ඉව වැටුනා. බිස්මාර්කය තමන්ගේ පළමුවැනි සහ දෙවැනි ගුවන්යානා නාශක තුවක්කු බතරොයි දෙකම උපරිම වෙඩි බලයෙන් ක්රියාකරවූ අතර එයින් බ්‍රිතාන්‍ය යානා වලට හානියක් නොවුනත් ගුවන් ආරක්ෂාව ලැබුනා. ඒ අතරම තමාට එල්ලවූ ටෝර්පිඩෝ ප්‍රහාර 9 න් 8 කින්ම ගැලවීමට හැකිවූ අතර එක් ප්‍රහාරයකින් බඳේ  ඉතා ඝන තහඩුවට සුළු හානි සිදුවුනා.
කෙසේ වෙතත් ප්‍රහාරයේ අතුරු ප්‍රතිඵල බිස්මාර්කය වෙත යම් යම් අවාසනාවන්ත බලපෑම් ඇතිකළා. පළමුවැනි සටන්දී නැවේ ඇණියට සිදුවූ හානි වලින් මුහුදු ජලය කාන්දුවීමේ හේතුවෙන්, බොයිලේරු දෙකක් අතහැර දැමීමට සිදුවීම, විදුලි පද්ධතියක දිශා මතුවීම, වේගය තවත් අඩාලවීම එයින් ප්‍රදාන කාරණායි. සමහර වස්ථා වලදී වේගය නාවික සැතපුම් 12 දක්වා පහත වැටුනා. මේ අතර බ්‍රිතාන්‍ය නාවික කණ්ඩායම හඹායාම අරඹා තිබුනද යූ බූට්‌ නමැති ජර්මානු සබ්මැරීන පිලිබඳ භීතිය නිසා වරින් වර ගමන විලාශය වෙනස් කරමින් ලුහු බැඳීම සිදුකලා. බ්ස්මාර්ක් ලුට්ජෙන්ස් ගේ ශූර මොලයෙන් දුන් උපදෙස් අනුව බ්‍රිතාන්‍ය නාවික රේඩාර් වලට හසුවීමෙන් වැලකීමට මුහුදේ විශාල රවුම් ආකාරයේ මාර්ගයක් අනුගමනය කල අතර එය සාර්ථක වුනා. සතුරා තම අතෙදුරින් සිට අතුරුදන් වීමෙන් බ්‍රිතාන්‍ය නාවික බලමුළුව වියරු වැටුන අතර ඔවුන් මුළු උතුරු අත්ලාන්තික් සාගරයම පීරන්නට වුනා.  මෙවැනි අවස්ථාවකදී අත්‍යවශ්‍ය බ්‍රිතාන්‍යයට අයත් ආක් රෝයල් යුද නැව ජිබ්රෝල්ටාර් පෙදෙසින් පිටත්ව අත්ලාන්තික් සාගරය වෙත එමින් සිටියද ඒ සඳහා තව දිනක්වත් ගතවන බව පෙනීගියා.
 බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා බොහොමයක් බිස්මාර්ක් සොයන්නට ගොස් මග වරද්දාගත්තා. මේ අතර ජර්මන් ගුවන්විදුලි පණිවිඩ හුවමාරු වලට රහසේ සවන්දුන් බ්‍රිතාන්‍ය නාවික හමුදාව තේරුම ගත්තා බිස්මාර්ක් උත්සාහ කරන්නේ තම පාලනයට නතු කරගෙන තිබුණු ප්‍රංශයේ බ්‍රෙස්ට් වරාය වෙත යාමට බව. මේ වනවිට ඉන්දන අවසන් වෙමින් පවතී නිසා බ්‍රිතාන්‍ය යුද නැව් කීපයකටම සටනින් ඉවත්වීමට සිදුවුනා. සටනට ආ හැකි කින්ග් ජෝර්ජ් 5 සහ රොඩ්නි යන නවුකා දෙක පිහිටියේ බොහෝ දුරින්. මේ නිසා ආක් රෝයල් නැව සටනට යොමු කරන්නට තීරණය කළා. බිස්මර්කයට නොදැනෙන පරිදි ඒ පසුපස යන්නට බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ෂෙෆීල්ඩ් ප්‍රහාරක යාත්‍රාව සමත් වුනා. ආක් රෝයල් නැවේ ස්වොර්ඩ්ෆිෂ් යානා බිස්මාර්කය තිබෙන ඉසව්ව සොයාගත් අතර ෂෙෆීල්ඩ් ගැන දැන නොසිටි බැවින් එයටද පහර දුන්නත් වාසනාවකට මෙන් ටෝර්පිඩෝ පුපුරා නොයාමෙන් ෂෙෆීල්ඩ් විනාශ වුනේ නැහැ.
ස්වොර්ඩ්ෆිෂ් ප්‍රහාර වලින් දෙකක් බිස්මාර්ක් වෙත දැඩි බලපෑම එල්ල කළා නැව හැරවීමට යොදාගන්න රඩර් නමැති කොටස් දෙකෙන් එකක් ටෝර්පිඩෝ ප්‍රහාරයෙන් අකර්මන්‍ය වුනා.
දැන් බිස්මාර්කයට ඉදිරියට යා නොහැකියි. සුක්කානම මඳක් වමාර කරකවා හිරකලවිට වාහනයක් ඒ පැත්තට රවුම් හැඩයට පමණක් යාහැකි වෙනවාක් මෙන් බිස්මාකයටද යාහැකි වුනේ මුහුදේ විශාල රවුමක පමණයි. රඩරයේ ඒ පැත්ත පුපුරවා හරින්නට යෝජනාවක් ආවද එයින් හානිය තවත් වැඩිවෙයි සිතා අත්හැරියා. තමන්ගේ ඉරණම බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් ලියා අවසන් බව ලුට්ජෙන්ස් අවබෝධ කරගත්තා. නැව තව දුරටත් ධාවනය කල නොහැකි බවත්, තමන් අවසාන උණ්ඩය දක්වා සටන් කරන බවත්, තම නායකයාවූ හිට්ලර් ට සුබ පතන බවත්, අද්මිරාල් ලුට්ජෙන්ස් ගුවන්විදුලි පණිවිඩ මගින් ජර්මනියට දැන්වූවා. ඉන්පසු තම පසුපසින් හොල්මන් කරන ෂෙෆීල්ඩ් යාත්‍රාවට ප්‍රහාරය එල්ල කල නමුත් ෂෙෆීල්ඩ් පසුබැස ගැලවී ගියා.
මේ අතර කපිතාන් ෆිලිප්ස් වීයන් යටතේ බ්‍රිතාන්‍ය ඩිස්ට්‍රොයර් යාත්‍රා 5 ක් සටනට යොමු කරවන ලද අතර ඔවුන්ගේ කාර්යභාරය වූයේ රාත්‍රිය පුරා විවේකයක් නොලැබෙන පරිදි බිස්මාර්කය සටනේම පවත්වා ගැනීමයි. ඩිස්ට්‍රොයර් යාත්‍රා එය මැනවින් ඉටුකලා. මීටර් 12000 තරම් බිස්මාර්ක් වෙත ආසන්නව සිට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. නමුත් ඩිස්ට්‍රොයර් නවුකා මගින් එල්ල කල කිසිදු ටෝර්පිඩෝ ප්‍රහාරයක් බිස්මාර්ක් වෙත වැදුනේ නැහැ.
පසුදින අලුයම බිස්මාර්ක් නාවිකයන් එහි තිබුලු සැහැල්ලු ගුවන්යානය මුහුදට පහත් කර ගුවන්ගත කිරීමට උත්සාහ කලේ බිස්මාර්කයේ යුද සටහන් පොත (War Diary) සහ හුඩ් නැවට පහර දීමේ වාර්තා ජර්මනිය වෙත යවන්නටයි. නමුත් මීට පෙට ප්‍රින්ස් ඔෆ් වේල්ස් නැවෙන් එල්ලවූ ප්‍රහාර හේතුවෙන් ගුවන්යානය පිටත් කරන කැටපල්ට් නම් උපකරණයට හානිවී තිබුණු බැවින් ඒ අදහස අතහැර දැමූ නාවිකයෝ යානය මුහුදට තල්ලු කර දැමුවා.
1941 මැයි මස 27 වැනිදා උදේ වනවිට බිස්මාර්ක් වෙත ළඟාවූ කින්ග් ජෝර්ජ් 5 සහ රොඩ්නි යන නවුකා සිය සම්පූර්ණ වෙඩි බලය යොදා බිස්මාර්ක් වෙත පහර දෙන්නට පටන්ගත්තා. බිස්මාර්ක් වෙතින් දරුණු ප්‍රති ප්‍රහාර එල්ල වුවද ඉක්මනින්ම බිස්මාර්කය දැඩි හානිවලට ලක්වුනා. රොඩ්නි වෙතින් එල්ලවූ අඟල් 16 විෂ්කම්බය සහිත අධිබල කාලතුවක්කු උණ්ඩයක් වැදීමෙන් බිස්මාර්කයේ ඉදිරිපස සැකිල්ල මුළුමනින් විනාශවුණා. උදෑසන 9.00 පමණ වනවිට අද්මිරල් ටෝවී ප්‍රහාරයේ පාලනය සියතට ගත්තා. බිස්මාර්ක් වටකර පහරදීම එතැන්සිට ඇරඹුනා. උදෑසන 09.31 වනවිට බිස්මාර්කය මුළුමනින් නිහඬ කරවන්නට බ්‍රිතාන්‍ය නාවික හමුදාව සමත් වුනා.
 තවත් එක් දෙයක් ඉතිරිවී තිබුනා. ඒ බිස්මාර්ක් මුහුදේ ගිල්ලවීමයි. සදාකාලික නින්දට යැවීමයි. එතැන් සිට ඒ කාර්යය ආරම්භ වුනා. මේ වනවිටත් බිස්මාර්ක් මඳක් වම් පැත්තට ඇලවී තිබුන අතර නැවේ ඇණිය දෙසින් මඳක් ගිලී තිබුනා. කිංග ජෝර්ජ් 5 සහ රොඩ්නි අඩපන වූ සතුරාට නාවික සැතපුම් 8 ක තරම් සමීපයට පැමිණ කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්තා. මීළඟට මේ ජවනිකාවට අවතීර්ණ වුයේ නෝෆෝක් සහ ඩෝසෙට්ෂයර් යාත්‍රා යුගලයයි. ඔවුන්ද තම උපරිම වෙඩි බලය බිස්මාර්ක් වෙත එල්ල කළා. ගිලුණු බිස්මාර්කයෙන් දිවි බේරාගත් ජර්මන් නාවිකයකු පසුව ප්‍රකාශ කල ආකාරයට මේ ප්‍රහාර වලින් ලුට්ජෙන්ස් සහ ලින්ඩ්මාන් දෙදෙනාම මියගියා.
උදෑසන 10.00 වනවිට කාලතුවක්කු උණ්ඩ 700 කට වඩා බිස්මාර්ක් වෙත එල්ල කරනු ලැබ තිබුනා. මුළු බිස්මාර්කයම සුනු විසුනු වෙමින්, ගිනි ජාලා වලින් වැසෙමින්, එකම අපායක් බවට පත්වෙමින් තිබුනා. උදෑසන 10.35 වනවිට සෙමෙන් තම වම් පැත්තෙන් මුහුදට ඇලවුණු බිස්මාර්ක් අවරය දෙසින් මුහුදේ ගිලෙන්නට පටන්ගත්තා. 10.35 වනවිට ජලයේ ගිලීගිය බිස්මාර්කයෙන් පැනගත් ජර්මානු නාවිකයන් දිවි බේරාගැනීමට උත්සාහ කරමින් ජලයට පැනගත්තා. ඩෝසෙට්ෂයර් ප්‍රමුඛ යාත්‍රා වලින් ඒ නැවියන් බේරාගත්තා. ඒ ප්‍රදේශයට පසුව පැමිණි ජර්මානු සබ්මැරීනයකින් තවත් තිදෙනෙකු බේරාගත්තා.කෙසේ වෙතත් 2200 ක්‌ පමණවූ බිස්මාර්ක් කාර්ය මණ්ඩලයෙන් දිවි බේරාගැනීමට සමත්වූයේ 114 ක්‌ පමණයි.
  දෙවැනි ලෝක යුද සමයේ ලෝකය හෙල්ලූ බිස්මාර්ක් එලෙස සදහටම සමුගත්තේ ඒ පිලිබඳ මතකයන් රැසක් මෙන්ම මතවාද කීපයක්ද ඉතිරි කරමින්. එයින් එක මතයක් වන්නේ බිස්මාර්ක් ගිලුනේ බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා ප්‍රහාර වලින් නොව, තම රටේ සහ නාවික හමුදාවේ අභිමානය රැක ගනිමින් බිස්මාර්ක් කාර්ය මණ්ඩලය විසින්ම නැව ගිල්ලවූ (scuttling) බවයි.
කෙසේ වෙතත් මෙය අද දක්වාම විවාදාත්මක කරුණක් ලෙස පවතින අතර එය වෙනම සාකච්ඡා කලයුතු කරුණක්. පහත දැක්වෙන්නේ ගිලුණු බිස්මාර්කයේ ඡායාරූප කීපයක්.
මෙම ඡායාරූප මෑතකාලීනව කල ගවේෂණ වලදී ලබාගත් ඒවායි.
 බිස්මාර්කය පිළිබඳව තොරතුරු ගවේෂණ දෙවැනි ලෝක යුද සමයෙන් පසු කීප වරක් සිදුවී තිබෙනවා. පළමුවැනි ගවේෂණය සිදුකර තිබෙන්නේ රොබට් බැලාඩ් නමැති සාගර විද්‍යාඥයකු විසින් 1989 දී. එමෙන්ම 2001 ජූනි මාසයේදී Woods Hole Oceanographic Institute නමැති ඇමෙරිකානු සාගර විද්‍යා ආයතනය මගින් 2001 ජූනි මාසයේදී දෙවැනි ගවේෂණය සිදුකලා. තුන්වැනි ගවේෂණය සිදුකලේ ටයිටනික් වැනි චිත්‍රපට රැසක අධ්‍යක්ෂවරයා වන ලෝකප්‍රකට ජේම්ස් කැමරන් විසින් 2001 ජූලි මාසයේදී. මෙහි දැක්වෙන්නේද ඔහුගේ ගවේෂණයේදී ලබාගත් ඡායාරූපයි.
බිස්මාර්ක් පිලිබඳ සජීවීකරණ සහ වීඩියෝ දර්ශන කීපයක් ඔබවෙත ලබාදෙන්නට අදහස් කරනවා. පහතින් දැක්වෙන්නේ ඒවායි.
1959 දී සී.එස්.ෆොස්ටර් නමැති ලේඛකයා විසින් ‘බිස්මාර්කයේ අවසන් දින නවය’ ‘The Last Nine days of Bismarck’ යනුවෙන් ලියනලද වෘතාන්තය පදනම් කරගෙන ‘බිස්මාර්කය ගිල්ලවනු’ ‘Sink The Bismark’ යනුවෙන් චිත්‍රපටියක් 1960 වසරේදී නිපදවුනා මේ එයින් කොටසක්.  



 මීළඟට ඔබට දකින්නට ලැබෙන්නේ දෙවැනි ලෝක යුද සමයේදී සිනමා පටිගතකල අති දුර්ලභ දර්ශන පෙළක්. මෙහි බිස්මාර්ක් හුඩ් නැවට එරෙහිව ක්‍රියාකළ ආකාරය දැක්වෙනවා.



බිස්මාර්ක් නැවේ අවසන් සටන පිලිබඳ සජීවීකරණයක් පහත දක්වනවා.

පහත දැක්වෙන්නේ, ජේම්ස් කැමරන් විසින්, බිස්මාර්ක් පිළබඳව කළ ගවේෂණය අළලා නිපදවන ලද, වාර්තා චිත්‍රපටියෙන් කොටසක්.


පසු සටහන

මෙය මා සිතා සිටියාට වඩා අතිශයින් දීර්ඝ ලිපියක් බවට පත්වුනා. එයට හේතුවුනේ අත්හල නොහැකි කරුණු රාශියක් ඇතුලත් කරන්නට සිදුවීමයි. කෙසේ වෙතත් මා මූලාශ්‍ර වලින් ලබාගත් බොහෝ කරුණු සංක්ෂිප්ත කලේ පාඨක අවධානය නොබිඳී තබාගැනීමටයි. මේ ලිපිය ඉවසීමෙන් කියවූ ඔබ සැමට හද පත්ලෙන්ම ස්තුතිවන්ත වනවා.

විශේෂ ස්තුතිය
තමන්ට මේ ලිපිය ලිවීමේ හැකියාව සහ පහසුකම්ද තිබියදීත්, මහාත්මා ගුණය, මානුෂික බව සහ පරිත්‍යාගශීලී බව පෙන්වමින් මේ ලිපිය ලිවීමට මට අවස්ථාවදී දිරි ගැන්වූසෙන්නා ට.
ජර්මානු පුද්ගල නාම සහ ස්ථාන නාම නිවැරදිව ලිවීම පිළිබඳව මා දැනුවත් කළ LA ට.la200020002000@gmail.com
මූලාශ්‍ර:-
විකිපීඩියා විශ්වකෝෂය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }