හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 June 2012

මේ අරයගෙ මල්ලිලා


 ඉබ්බගෙයි හාවගෙයි කතාව වගේම ඉබ්බා අහසින් යන්න ගිහින් කට නිසා මැරුණ හැටිත් අපි හොඳට දන්න කතා. කොක්කු දෙන්නගේ හොටවල් වල රැඳුණු කෝටුවේ එල්ලිලා යද්දී, පිට්ටනියක සෙල්ලම් කරමින් හිටිය කොල්ලෝ පිරිසකගේ හූව ඉවසන්න බැරුව, කට ඇරිය නිසානේ ඒ ඉබ්බා මැරුණේ. මේ එයාගේ මල්ලිලාගේ කතා.
සමහරවිට ඔබ මේවා මීට පෙර අසා ඇති. කෙසේ වෙතත් මතකයට නැගුන නිසයි ලියන්නේ.
ඔන්න ඉතින් අර ඉබ්බා කොක්කු දෙන්නගේ ගුවන් ගමන් උපදෙස් නිසි පරිදි පිළිපැද්දේ නැති නිසානේ මැරුණේ. මතකයි නේද. කොක්කු දෙන්නා ඒ ඉබ්බාට කිව්වා අලුතෙන් ස්ථාන මාරුව ලබන විලේ ඉතා සෞම්ය ලෙස ගොඩ බස්වනතුරු (Smooth Landing) කට අරින්න එපා කියලා. නමුත් අර කොල්ලන්ගේ හූව ඉවසන්න බැරුව උන්ට බනින්න ගිහින් ඉබ්බා හදිසියේ කඩා වැටීම නිසා (Crash Land) මැරුණා.
ඉතින් මෙහෙම කාලයක් ගතවුනා. එදා කුඩාවට හිටිය ඒ ඉබ්බාගේ ලොකු මල්ලී දැන් ලොකු ඉබ්බෙක්. ඌටත් මේ විලේ ජීවිතය එපාවුනා වතුර හිගය නිසා. අතිපන්ඩිත කමට ජල විදුලිය හදන්න ගිහින්, අර මෝඩ ඇමතියෙක්, මධ්‍යම කඳුකරයේ ජලාශවල ජලය අවසන් කළා වගේ, මේ විලේ වතුරත් ඉස්සා, ඒ ගමේ මිනිස්සු, මාළු අල්ලන්න. ඉතින් ඉබ්බා කොක්කු දෙන්නා හමුවී, ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුවා, අලුත් විලක් සොයා යාමේ කඩිනම් ව්‍යාපෘතියක් මූලෝපාය මෙන්ම සෛද්ධාන්තික වශයෙන් හා ප්‍රායෝගික වශයෙන් මෙන්ම ප්‍රාග්ධන යෙදවුම් ශක්යතාවයද සලකා බලමින්.
කොක්කු දෙන්න මුලදී මේ ව්‍යාපෘති යෝජනාව සහමුලින්ම ප්‍රතික්ෂේප කළා. අහසින් ගමන් කිරීමේදී ගිවිසුමේ සඳහන් කොන්දේසි කඩ කරමින් ‘අයියා ඉබ්බා’ ක්‍රියාකළ ආකාරය නිසා. කෙසේ වෙතත් ඉබ්බා තමන් විසින් ඉදිරිපත් කරනලද ශක්‍යතා අධ්‍යයන වාර්තාව මගින් ඔප්පු කළා, තමන්ට ගමනාන්තය දක්වා කෝටු කෑල්ල හපාගෙන ඉඳීමේ ශක්තිය තිබෙනවා කියා. මේ පිළිබඳව කොකුන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසිවාරයක් පැවැත්වීමෙන් පසු, කොකුන් දෙන්නාට අවසර ලැබුනා ඉබ්බාව අහසින් රැගෙන යන්නට. කලින් වතාවේ ලද අත්දැකීම් නිසා, මේ ඉබ්බාට අවවාද කරමින්, කොකුන් දෙදෙනා කියා සිටියේ, කිසියම් අනතුරක් සිදුවුවොත්, මෙය ඉබි පරපුර වැනසීම සඳහා කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් යන චෝදනාව තමන්ට එල්ලවිය හැකි බැවින්, ගමනාරම්භයේ සිට ගමනාන්තය දක්වා ජාත්‍යන්තර නිරීක්ෂක මණ්ඩලයක පූර්ණ අධීක්ෂනය යටතේ මේ ක්‍රියාන්විතය සිදුකලයුතු බව.  ඒ අනුව රටවල් පහකින් තෝරාගත් කොකුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කරනු ලැබුවා නිරීක්ෂණ කටයුතු සඳහා.
එමෙන්ම ද්විපාර්ශ්වීය එකඟතාවකට එළඹෙනු ලැබුවා ගුවන් ගතවීම සහ ගොඩ බෑම පිලිබඳ ක්‍රියා හැකිතරම් කෙටියෙන් හෙවත් STOL = short take off and landing ක්‍රමයේ ගුවන් යානයක පිළිවෙත් අනුව කලයුතුයි කියා.
 එමෙන්ම ගුවන් ගමන අවසන් වනතුරු කට වසාගෙන සිටීමේ පූර්ණ වගකීම ඉබ්බාගේ බවත්, එය කථනයේ සහ භාෂණයේ නිදහස ඇවිරෙන පරිදි කරන ලද, ඉබ්බාගේ මානව හිමිකම් කඩකිරීමක් ලෙස නොසැලකිය යුතු බවත්, එය පිළිගන්නා බවට අතිරේක වගන්තියක් ගිවිසුම් පත්‍රයට ඇතුළු කල යුතු බවටත්, අවසාන මොහොතේ කොකුන්ගෙන් එල්ලවූ දැඩි බලපෑම් නිසා, එකඟ වන්නට ඉබ්බාට සිදු වුනා. ජල හිගය නිසා ඉබ්බා මුහුණ දී සිටි අවදානම් තත්වය නිසා මේ සියලු කොන්දේසි වලට යටත් වනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඉබ්බාට තිබුනේ නැහැ.
නියමිත පරිදි එක සුන්දර උදෑසනක ගමන ආරම්භ කිරීමට සියල්ල සූදානම් වුනා. කලින් වතාවේ මෙන් ශක්තිමත් කෝටුවක් ගත් කොක්කු දෙන්නා එය තම හොටයෙන් අල්ලා ගත්තා. නිරීක්ෂණ මණ්ඩලයේ කොක්කු, ඊට පෙර, කොකුන් දෙදෙනාගේ මුත්‍රා සාම්පල් ලබාගත්තා, තහනම් උත්තේජක ලබාගෙන තිබේදැයි බැලීමට. එමෙන්ම උවමනාවට වඩා උඩින් හෝ උවමනාවට වඩා වේගයෙන් නොයායුතු බවට නිරීක්ෂක මණ්ඩලය කොක්කු දෙන්නාට කොන්දේසි පැනවුවා. මෙය බලාසිටි සමහර මධ්‍යස්ත මතධාරී කොකුන් කිව්වේ නිරීක්ෂක මණ්ඩලයේ කොකුන්ට එතරම් වේගයෙන් සහ උඩින් පියෑඹීමට නොහැකි නිසා මෙවැනි අසාධාරණ කොන්දේසි පැනවූ බවයි. කෙසේ වෙතත් ඉබ්බාගේ රුධිර පීඩනය, හර්දයවස්තුවේ ක්‍රියාකාරිත්වය, කෝටුව හපාගෙන සිටීම සඳහා ප්‍රමාණවත් දත් තිබේද, යන්න පරීක්ෂාකර සෑහීමකට පත්වූ නිරීක්ෂණ මණ්ඩලය, ගුවන්ගතවීමට අවසර දුන්නා.
කිසිදු අපහසුවකින් තොරව ගුවන්ගතවීම සිදුවුනා. නිරීක්ෂක මණ්ඩලයද බොහොම අමාරුවෙන් තටු ගසමින්, ඉබ්බා රැගෙන යන කොකුන් දෙන්නා පසුපස අමාරුවෙන් පියාඹාගෙන ගියා. ඔන්න දැන් අර මහා නරක කොල්ලන් ඉන්න පිට්ටනියට උඩින් තමයි ගුවන් ගමන සිදුවෙන්නේ. සුපුරුදු පරිදි කොල්ලෝ හූව පටන් ගත්තා ඒයි. . . .අර බලපල්ලා ඉබ්බෙක් ඉගිලෙනවා කියමින්. නිරීක්ෂණ මණ්ඩලය ඉබ්බාගේ ආසන්නයටම පැමිණ හෙමිහිට කිව්වා ඉබ්බාට, ‘කලබල වෙන්න එපා, කට අරින්න එපා, හොඳට හයියෙන් කෝටුව හපාගන්න’ කියලා.
ඒ උපදේශය අනුව යමින් ඉබ්බා කෝටුව කිටි කිටියේ හපාගත්තා. එවිට ඉබ්බා හපාගෙන හිටිය තැනින් කෝටුව දෙකට කැඩුනා. . . . . . . . .ඉබ්බා. . . . . . . . . .නා. ඊටපස්සේ . . . . නා.
  මේ සිද්ධිය නිසා ඉබි ලෝකයේ බලවත් කම්පනයක් සහ ඉබි ජනතා නැගිටීමක් සිදුවෙතැයි බියෙන් කොක් රජය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදවූ අතර ත්‍රි පුද්ගල කොක් ඇමති කොමිටියක් පත් කරනු ලැබුවා. ඉබි ජනතා නැගිටීමක් කොහොම වෙතත් උද්ඝෝෂණයකට යාම සඳහා ඉබ්බන් නැගිට්ටවීමට රතු කමිසධාරි ඉබිවන්ශලාට නොහැකිවුනේ ඉබි ජනතාව ඉන්දන මිල දරාගැනීමට නොහැකිව කලින්ම ලාම්පු නිවා දමා නින්දට ගිය නිසයි.  ඉතින් ඔහොම කාලයක් ගතවුනා. ඉබ්බාගේ ඉරණම පිළිබඳව ඉබි ජනතාවට මතක නැතුව ගියා. අර කොක් කොමිටි වාර්තාව කවදාවත් එලියට ආවේ නැහැ. ඒ ගැන ඉබිවන්ශලා, ඉබ්බන්වල සිට පෙළපාලියකින් පැමිණ ‘ඉබ්ටන්’ වටරවුමේ උද්ඝෝෂණ කලත් පලක් වුනේ නැහැ. කොක් රජය කිව්වේ තව දුරටත් කරුණු අධ්‍යයනය කලයුතු අතර ඒ සඳහා ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහාය ඉල්ලා ඇති බවයි.
ඉබිවන්ශලා මේ පිළිබඳව කොක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝසමක් ගොනු කළා. (නිරිතදිග හෝ ඊසානදිග මෝසම් කාලේ නොවුනත්) කොක් ප්‍රවාහන ඇමති, කොක් නීතිපති, කොක් ප්‍රවාහන සේවයේ ලේකම්, විත්තිකරුවන් ලෙස නම් කරමින්. නමුත් කොක් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මෝසම ගාස්තුවටත් යටත් කොට නිෂ්ප්‍රභ කළා.
ඉබිවන්ශලාත් වැඩේ අතෑරියේ නැහැ. අරාබි වසන්තය හා සමානව, ඉබි වසන්තයක් සඳහා ඉබි ජනතාව මහපාරට බස්සවා, විශාල උද්ඝෝෂණයක් කර, කොක් රජය පෙරලන්නට සියලු කටයුතු සංවිධානය කෙරුවා.
ඉබිවන්ශලා මේ අසාධාරණය ජාත්‍යන්තරයට ගෙන යාමට තීරණය කළා. (ඉබි වේගෙන් යන නිසා, ජාත්‍යන්තර දින රේඛාව පැත්තෙන් නොයන්න කලින්ම තීරණය කළා. ඒ වෙනුවට, අධිරාජ්‍යවාදී රටක් වන බ්‍රිතාන්‍යය හරහා වැටී ඇති, ග්‍රිනිච් රේඛාව හරහා යාමත්, තමන්ගේ ප්‍රතිප්තියට පටහැනි නිසා, මේ රේඛා දෙක අතර පිහිටි රටවල් පමණක් ජාත්‍යන්තරය ලෙස සැලකීමට තීරණය කළා) කොහොම හරි විශාල පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන්න ඉබිවන්ශලාට හැකිවුනා.
 පෝස්ටර් ව්‍යාපාරය මගින් ප්‍රචාරය කරන ලද සමුළුව, පැවැත්වෙන දිනයක් සඳහන් නොකළේ, ජාත්‍යන්තරයේ මෙන්ම දේශීය ඉබ්බන්, ඉබි ගමනින් ඉබ්බන්වලට කවදා ඒ දැයි කිව නොහැකි වූ නිසයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ඉබි ප්‍රජාව හොඳ සහයෝගයක් ලබාදුන්නා. ඔවුන් විශේෂ නියෝජිත කණ්ඩායම් දෙකක්ම ඒවා තිබුනා සමුළුවට.
අහසින් යාම පිලිබඳ විශේෂඥ දැනුම සහිත ඉබි ආචාර්ය මහාචාර්ය වරුන් මේ සඳහා පැමිණ සිටියේ ඉබි ජනතාව අතර අනාගත බලාපොරොත්තු නංවාලමින්.
 කෙසේ වෙතත් මේ අතර කොක් රජය, තමන්ට පක්ෂපාත සියලු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය, ඉතා නින්දිත ලෙස අවභාවිතා කරමින්, නිර්ලජ්ජී මඩ ගැසීමක නිරතවුනා, දේශීය කොකුන් සහ ඉබ්බන් අතර සංහිඳියාව නැති කිරීම පිණිස, ජාත්‍යන්තර ඉබි ඩයස්පෝරාවේ නියෝජිතයන්, හොර රහසේම රටට ඇතුළුවී, මහා කුමන්ත්‍රණයක් කර, සන්නද්ධ අරගලයක් වෙත අහිංසක ඉබි ජනතාව මෙහෙයවීමේ, කුමන්ත්‍රනකාරී උත්සාහයක යෙදීසිටින බව ප්‍රකාශ කරමින්. මේ සඳහා කොක් රජයට පක්ෂපාතී කොක් විද්වතුන්, කොක් ආචාර්ය මහාචාර්ය වරුන්,කොක් නාටාමි වරුන්, කොක් බාර් අයිති කරුවන්, කොක් කුඩු සංගම් නිලධාරීන්, ජනතා සුභසිද්ධිය තකා කප්පම් එකතු කරන්නන්ගේ කොක් සංගමයේ නිලධාරීන්, නිදන් ආරක්ෂා කරන්නන්ගේ කොක් සංගමයේ ගරු සාමාජිකයන්, කොක් කළා කරුවන්, කොක් කළා ව්‍යාපාරිකයන්, කොක් ගායකයන් ලෙස සැලකිය හැකි ගායකයන්, කොක් ගායිකාවන් නමැති අය, ගණිකා වෘත්තියේ නොයෙදෙන කොක් ටෙලි නිලියන්, ආදී මෙකී නොකී ඇච්චන් බැච්චන් යට ඇඳුම් නැතිවම කඩේ යන්නට පටන් ගත්තා. ඔවුන් සඳහා සියලුම ගෙවීම් කලේ අර පාඩු ලබන ‘කොකින් ලංකා’ ගුවන් සේවයේ ‘ලාභ’ (ආධාර) මුදල් වලින්. මෙයට තවත් හේතුවක් වුනේ සමුළුවට පැමිණි එක්තරා විප්ලවකාරී ඉබි රටක නියෝජිත පිරිසේ ප්‍රතිපත්ති ප්‍රකාශන කොක් රජය බලවත් අපහසුතාවයට පත්කිරීමයි.
  ඉබ්බන් පිලිබඳ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම හෙවත් Specialist Group ගැන කොක් රජයට දැඩි සැකයක් ඇතිවුනා.ඒ නිසා කොක් බුද්ධි අංශය ඉබ්බන්වල අවට සියලු ගස් වල, දුරකථන කුළුණුවල, අනෙකුත් උස ස්ථානවල යොදවනු ලැබුවා, පැය 24 පුරාම තොරතුරු නිරීක්ෂණ කර, ‘කොකාරක්ෂක’ අමාත්‍යංශයට වාර්තා කිරීම පිණිස. අංක තහඩු නැති සුදු කොක් යානා යොදාගැනීමටත් අවසර ලැබුනා.
කෙසේ වෙතත් ඉබි ඩයස්පෝරාවද සටන අතහැරියේ නැහැ. ඔවුන් දුරකථන කුළුණු අලුත්වැඩියා කරන්නන්, පාරට වැටීමට ඉඩ ඇති ගස්වල අතු කපන්නන්, උස ගොඩනැගිලිවල ජනෙල් පිරිසිදු කරන්නන් වශයෙන් බුද්ධිමත් සහ වේගවත් ඉබ්බන් යොදවනු ලැබුවා තම ආරක්ෂාව සඳහා.
ඉබි සමුළුව කිසිදු බාධාවකින් තොරව පවත්වන්නට ඉබි ප්‍රජාවට හැකිවුනා. විශේෂයෙන් ඉබි හිමිකම් උල්ලංඝනය වීම පිලිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරනු ලැබුවා.
කාන්තාවන්ට ඇතිවන කොන්දේ වේදනාව මගහරවා ගැනීම සඳහා, ඉබි කටුවකට රිංගාගෙන සිටීම, ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්මයක් බව, කොක් රාජකීය වෛකල්පික වෙර හොදෙක් නව මතයක් ඉදිරිපත් කර තිබුන නිසා, ඉබි කටු අහිමිවී යාමේ තර්ජනයකට ලක්වූ, ග්‍රාමීය පාරම්පරික ඉබි ප්‍රජාව, විශේෂ ඉල්ලීමක් කළා, තමන්ට එල්ලවී ඇති තර්ජනය ඉවත් කරදෙන ලෙස. ඒ ගැන අවබෝධතා ගිවිසුමක් ඇතිකරගැනීම පිණිස විශේෂ ඉබි කමිටුවක් පත්කළ අතර, එහි කටයුතු ඉබි ගමනින් නොකරන ලෙස, ග්‍රාමීය ඉබ්බන් හඬ නැගුවා.
 ජාත්‍යන්තර දින රේඛාවේ ප්‍රශ්නය නිසා සමුළුවට සහභාගී වීමට නොහැකිවූ ඇමරිකානු ඉබ්බෝ සුබ පැතුම් පණිවිඩයක් ඒවා තිබුන අතර ඉබි ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා නව සංකල්ප දෙකක් හඳුන්වා දෙමින් දීර්ඝ ඊ මේල් පණිවිඩයක් ඒවා තිබුනා.
ඇත්ත වශයෙන්ම එම නව සංකල්ප වලින් ගතහැකි ප්‍රයෝජන ඉතා ඉහල බව සමුළුවේ බහුතරයකගේ අදහස වුනා.
 එම ඊ මේල් පණිවිඩය මගින් හඳුන්වාදී තිබුණු එක් සංකල්පයක් වූයේ, ඉබ්බන්, පසුපස ගාත් දෙකෙන් නැගීසිට, ඉදිරිපස ගාත් දෙක වනමින්, මිනිසුන් මෙන් ඇවිදිය යුතු බවයි.
කෙසේ වෙතත් මෙය සංකල්පයක් පමණක් බවත්, තවමත් ඇමරිකානු ඉබ්බන්ට පවා එලෙස ඇවිදීමට නොහැකිවූ බවත්, එහි වැඩි දුරටත් සඳහන් වුනා.
 එමෙන්ම කොකුන් ගැන පමණක් විශ්වාසය නොතබා, වෙනත් පක්ෂි වර්ග සමග ද්වි පාර්ශවීය සහයෝගය සහ සංහිඳියාව වර්ධනය කර ගැනීමෙන්, කොකුන්ගේ ඒකාධිකාරය බිඳ දැමිය හැකි බැවින්, එවැනි සබඳතා වර්ධනය කෙරෙහි කලාපීය නායකයන්ගේ වැඩි අවධානය යොමු කිරීම කාලෝචිත බවද සඳහන්වී තිබුනා.
 ඇමරිකානු සංකල්ප අතරින් කාගේත් සිත් දිනාගත් සංකල්පය වූයේ ස්වයං චලිත ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කරගැනීම පිලිබඳ සංකල්පයයි. කෙසේ වෙතත් මෙහිදීද අවධාරණය කර තිබුනේ මෙය සංකල්පයක් පමණක් බවත්, අත්හදා බලා නොමැති බවත්, මෙය ඇසූ එක්තරා ප්‍රතිගාමී කණ්ඩායමක් ‘එහෙනම් මොන . . . . . . . . . . ද  ඔය සංකල්ප විතරක් මෙහාට එව්වේ. . . . . . . . . ඉබ්බෙකුගේ පිටේ කොහොමද හෙලිකොප්ටර් ෆෑන් එකක් හයි කරන්නේ’ කියා කෑ ගසන්නට වීම නිසා ඇමරිකානු සංකල්ප පිලිබඳ සාකච්ඡාව එතැනින්ම ඇනහිටියා.
 ඉබි වන්ශලා ඉබ්බන්වලදී පැවැත්වූ සමුළුවේ සියලු විස්තර කොක් බුද්ධි අංශය කොක්, කොක්, හඬ නගමින්, පෙර සඳහන් කල ස්ථාන වලට වී නිරීක්ෂනයකර, කොකාරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කරනු ලැබුවා. මෙයින් කොකාලන්තයම තරමක කැළඹීමකට පත්වුනා. මේ නිසා සිය ශක්තිය ප්‍රදර්ශනය කරන්නටත්, තම නායකයාගේ තටු දෙක ශක්තිමත් කරන්නට තවමත් ඕනා තරම් අය සිටින බව පෙන්වීමටත් මහා සමුළුවක් කැඳවුවා, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට කුලී නොගෙවාම.
මේ ආකාරයෙන් කාලය ගෙවීගියා. ඉබි වන්ශලා කිසිදු ප්‍රගතියක් ඇති කරගත්තේ නැහැ. කොකාලන්තය සුපුරුදු ලෙස බලයෙන් මත්ව නිද්‍රාවට වැටී උන්නා. අර පළමුවැනි ඉබ්බාගේ බාලම මල්ලී දැන් ලොකු ඉබ්බෙක්. ඔහු දිනක් කොකාලන්තයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයකුව මුණ ගැසුනා. තමන්ට දැන් ඉබිලන්තයේ උග්‍ර ජල හිගය දරාගත නොහැකි බවත්, ඉබි ප්‍රජාවගේ අනාගත අභිවෘද්ධිය සඳහා, ඉබි වන්ශලා සතුව කිසිදු න්‍යාය පත්‍රයක් නැති බවත්, එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඈත ප්‍රදේශයක පිහිටි විලකට කෝටුවේ එල්ලී යාමට තමන් සූදානම් බවත් ඉබ්බා ප්‍රකාශ කළා. මේ කතාව ඇසූ කොක් කා.කා.ස.යා, තටු ගසමින් උඩ පනිමින් කොක් හඬලමින් හිනාවෙන්න පටන් ගත්තා. ‘තමුසෙගෙ අයියල දෙන්නම උඩින් යන්න ගිහින් ‘සෙත්ත පෝච්චි’ වුනා. තමුසෙටත් ඒ ටිකම කරගන්න ඕනෙද? අම්මපා තමුසෙලාගේ ඔය උපන් ගෙයි මෝඩකම අඩු වෙන්නෙම නැද්ද? කියා කොක් කා.කා.ස.යා ඉබ්බාගෙන් ඇහුවා. ‘මේ බලනවා, මිනිහෙක් එක වරකින් දෙවරකින් වැරදීම් හරිගස්ස ගන්නවා, ඉතින් ඉබ්බෙකුටත් බැරිද තුන්වෙනි වතාවේදී වැරදි හදාගන්න? ඉබ්බා ඇහුවා. ලඟම තිබෙන තැබෑරුමට කොක් කා.කා.ස.යා රැගෙන ගිය ඉබ්බා, මනාව කරුණු පැහැදිලි කලාම, කොකා හොටය සාක්කුවේ දාගෙන ඉන්න තත්වයෙන් ඒක පිළිගත්තා.
ඊට පහුවදාම කොක් කා.කා.ස.යා තමන්ගේ ලොක්කාට ඉබ්බාගේ අදහස දැම්මා. එදා දවසම ලොක්කොකා කොක් හඬලමින් හිටියා මේ කතාව අහලා. දැන් ඉතින් ආයේ සැරයක් කියන්න අවශ්‍ය නැහැනේ, පසුගිය වාරයේ මෙන් සාකච්ඡා, සම්මන්ත්‍රණ, අවබෝධතා ගිවිසුම්, නිරීක්ෂණ මණ්ඩල, එහෙම පත් කරගෙන ගුවන් ගමනට සියල්ල සූදානම් කෙරුනා. මෙවර ඉබ්බාව ගෙනියන්න තෝරාගෙන තිබුනේ කොක් විශේෂ බලකායට අයත්, හොඳ තරුණ, එමෙන්ම  ගුවන් කරනම් පාඨමාලාව ගුවන්විදුලි මගින් හදාරන ලද, කොක්කු දෙන්නෙක්වයි. ඒ නිසා කවුරුත් විශ්වාසය පල කළා, මෙවර, කරදරයකින් තොරව ගුවන් ගමන නිම කිරීමට, ඉබ්බාට හැකිවෙයි කියා. ගුවන් ගමන සූදානම් කලේ, කෝටුව හපාගෙන සිටීම සඳහා යෙදිය යුතු ශක්තිය පිළිබඳව, ඉබ්බාට තෙදින වැඩමුළුවක් පැවැත්වීමෙන් අනතුරුවයි.
ගුවන් ගමන පිටත්වනු බැලීමට කොක් ප්‍රවාහන ඇමැතිත් ඇවිත් හිටියා ඔහු විශේෂ කතාවක් පැවැත්වුවා. ‘මම මෙහෙම හිටියට හොඳ මිකැනික් කෙනෙක්. මට පුළුවන් ඕකෙම කොකෙක්ගේ ගෙදරක පස්ස දොරෙන් රිංගලා ඉස්සරහ ජනේලෙන් පිටවෙන්න. ඕනෙනම් අර ඇන්. කුමාරිගෙන් අහන්න, අපි එහෙමයි සේවය කරන්නේ’ ආදී වශයෙන් ගබ්සා නීතිය ගැනත් ටිකක්වෙන්න කතාකලා.
 කිසිදු අතුරු අන්ත්රාවකින් තොරව ගමන පිටත් වුනා. ඉබ්බා කෝටුව හපාගෙන ඉන්න විදිහෙන්ම කාටත් වැටහුනා, තෙදින වැඩමුළුව සාර්ථක බව. කරුමෙක මහත කියන්නේ, මේ ගුවන් ගමන් පථය Flight Path වැටී තිබෙන්නේ අර වල් කොල්ලෝ ටික හැමදාම හවසට එකතුවෙලා සෙල්ලම් කරන පිට්ටනිය උඩින්. ඔන්න ඉතින් එතනට කිට්ටු කරනකොටම කොකුන් දෙන්නා තම අවධානය වැඩිකලා ඇතිවිය හැකි හදිසි තත්වයන් පිළිබඳව. හරියටම පිට්ටනිය උඩට කොක් යානය එනකොටම, අර කොල්ලෝ එදා වගේම කෑ ගහන්න පටන්ගත්තා හූ . . . .අර බලපල්ලා. . . .ඉබ්බෙක් අහසින් යනවා කියලා. නමුත් ඉබ්බා වගේ වගක් නැතුව හිටියා. කොක්කු දෙන්නට පුදුමයි ඉබ්බාගේ ඉවසීම ගැන. කොයි තරම් පුදුමයට පත්වුනාද කියනවනම් එක කොකෙකුට නිකම්ම කියවුනා ‘මූ නම් මාර ඉබ්බෙක්’ කියලා. . . . . . . .. . . . . . . . නෑ නෑ ඉබ්බා වැටුනේ නැහැ. ඉබ්බා කෝටුවේ හරි මැදනේ එල්ලිලා හිටියේ. කොකාගේ කටින් කෝටුවේ කොන ගිලිහී ගියාම, ඉබ්බා කටෙන් එල්ලිලා ඉන්න ගමන්ම, කෝටුවේ කෙලවරට ලිස්සා එන්න පටන් ගත්තා. අනෙක් කොකාටත් යානය පාලනය කර ගැනීම අපහසු වුනා. නමුත් මම කිව්වනේ මේ කොක්කු දෙන්නා කොක් විශේෂ බලකායේ කියා. ඉතින් අර කට ඇරපු කොකා, අර පැරෂූට් එකෙන් පැනලා එය දිග හැරෙන තුරු ඊයක් වගේ පහලට එන ක්‍රමයට, ගුවනේ කිමිදිලා කෝටුවේ කොන අල්ලා ගත්තා. මේ කරපු අමන මරි මෝඩ වැඩේට අනික් කොකාට අසූහාරදාහකුත් තව ටිකකට විතර කේන්ති ගියා. ‘ඉබ්බව මරන්ඩද බොල හදන්නේ’ කියා අර කලින් කට ඇරපු කොකාගෙන් මේ කොකා ඇහුවා.. . . . . . . . . . . . . . නෑ  නෑ ඒත් ඉබ්බා වැටුනේ නැහැ. අර විදිහටම කෝටුවේ අනික් කෙලවරට ලිස්සා යන්න පටන් ගත්තා. ඒ දෙවෙනි කොකාත් පලවෙනි කොකා වගේම ගුවනේ කිමිදිලා කෝටුවේ කොන අල්ලාගෙන ගුවන් අනතුර වලක්වාගත්තා. දැන් පිට්ටනිය පහුවෙලා. . . . . .  අර විල ඈතින් පෙනෙනවා. . . . . .  කොක්කු දෙන්නගේ වැඩකිඩ දැක්ක ඉබ්බා පස්වනක් නෙවෙයි විසිපස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් කොක්කු දෙන්නගෙන් ඇහුවා. . . . .  ‘තමුසෙලා හිතුවේ මමත් කට අරියි කියලානේ. . . . .ඒ. . . . . .ඒ. . . . . . .ඒ. . . .  . ආ. . . . . .ආ . . . . . . .ආ. . . . . .  යි. . . . . . .යෝ . . . . . . .ඕ. . . . . .ඕ . . . . . . . .ඕ . . . . . .දොහ්.

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }