හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 May 2012

සපත්තුවේ ඉතුරු ටික


 සපත්තු පොලිෂ් කිරීම පිළිබඳව මා ලියනලද ලිපිය 1100 කට වැඩි පිරිසක් කියවා තිබුණා. සපත්තු ගැන මෙන්ම සපත්තු පොලිෂ් කිරීම පිළිබඳව මීට පෙර නොදත් කරුණු ඒ ලිපියෙන් දැනගත් බව සමහරු කියා තිබුනා. එලෙස දැනුම බෙදා දෙන්නට හැකිවීම සතුටට කරුණක්. අද මා සපත්තු පිළිබඳව තවත් වැදගත් කරුණු ටිකක් කියන්නයි යන්නේ.
සපත්තු දැමීම එක්තරා කලාවක්. හැබැයි සපත්තු තෝරා ගැනීමත්, අවස්ථාවට සුදුසු පරිදි පැළඳීමත් කලාවක්. වර්තමාන පරපුර මට එරෙහිව අවි අමොරාගන්නේ ඔවුන් පළඳින සපත්තු වලින් බොහොමයක් තැනට සුදුසු නොවන බව මා මෙයින් ප්‍රකාශ කල විටයි. අද තරුණ පරපුරේ බොහෝ දෙනා සිතන්නේ ක්‍රීඩා සපත්තු සෑම තැනටම සුදුසු බවයි. ඒ පිළිබඳව මාගේ නිරීක්ෂණ වලින් ලබාගත් තොරතුරුයි මේ. මිනිසාගේ ස්වභාවයක් තමයි අනුකරණය කිරීම. අප සියලුදෙනාම ජීවිත කාලය පුරාම අනුකරණයේ යෙදෙනවා. ළදරු වයසේ සිට අපි දෙමවුපියන්ව අනුකරණය කරනවාසේ. නමුත් අද වාණිජ ලෝකය ඉතා පහත් නින්දිත ආකාරයට තරුණ පරපුර ගොදුරු කරගෙන සිටිනවා. අද ජනමාධ්‍ය මගින් ජනමතය වෙනස් කිරීමට පවා පුළුවන් බව අප දන්නවා. වෙළඳ ප්‍රචාරණ උපක්‍රම මගින් ඉලක්කගත පිරිස් ග්‍රහණය කරගැනීමෙන් බහු ජාතික සමාගම් ගසාකන්නේ කෝටි ප්‍රකෝටි ගණනින්. විලාසිතා සඳහා තරුණ පරපුරෙහි ඇති කැමැත්ත (එය වරදක් නොවේ) දඩමීමා කරගනිමින් කරන ගසාකෑම් බොහෝයි. අපි සපත්තු වලින් කරන ගසාකෑම් බලමු. ඕනෑම කුණු ගොඩක් විකුනාගන්නට වෙළෙඳුන් යොදාගන්නේ ජනප්‍රිය පුද්ගලයන්, නළු නිලියන්, ගායක ගායිකාවන්, නොවැ. ඔවුන් යොදවා එක රූපවාහිනී වෙළඳ දැන්වීමක් කරගතහොත් හොඳටම ඇති. ඒ දැන්වීමේ පෙනීසිටින කෙනා ඒ ජාතියේ සපත්තු ජීවිතේටම ඇන්දේ ඒ වෙළඳ දැන්වීමට පෙනී සිටීමට පමණක් වීමට 80% කට වඩා ඉඩක් තිබෙනවා. අහවල් සබන්, අහවල් ක්‍රීම්, අහවල් ෂැම්පු, ඔය ඔක්කොම එහෙම තමයි. අනික ඔබම සොයා බලන්න, සංගීත ප්‍රසංගයකදී ඔබ දුටු ඔබේ ප්‍රියතම ගායකයා, වේදිකාවේ පිනුම් ගසමින් ගායනා කරනවිට ඇඳ සිටි ක්‍රීඩා සපත්තු, ඔහු අවමංගල්‍ය උත්සවයකට යනවිට අඳින්නේ නැහැ. (අනෙකුත් ඇඳුම් පවා එහෙමයි) නමුත් ඔබ (සමහරවිට තවම රැකියාවක් නොකලත්) රු 3000 කට වැඩි මුදලක් වැය කර මිලදීගන්නා ක්‍රීඩා සපත්තු දෙක, ඕනෑම ස්ථානයකට පැළඳගෙන ගියහොත්, ඔබ ප්‍රදර්ශනය කරන්නේ ඔබට ඇත්තේ නොමේරු මොලයක් බව මිසක්, වෙන කිසිවක් නොවේ.  මේ අකාරයටම ‘සැන්ඩ්ල්ස්’ නමින් හඳුන්වන පටි රැසක් සහිත සපත්තු/සෙරෙප්පු, නාන කාමරයට පමණක් පළඳින රබර් සෙරෙප්පු, නුසුදුසු අවස්ථාවලට පළඳින අය මම නිතර දකිමි. (දුප්පත් කමට, තියන එකම සෙරෙප්පු දෙක, රජ ගෙදර සිට මලගෙදර දක්වා පළඳින පුද්ගලයා සහ සල්ලි තිබියදීත්, මෝඩකමට නොගැලපෙන පාවහන් පළඳින පුද්ගලයා අතර වෙනස මම හඳුනමි)
 මීට කලින් ලිපියේදී මා සඳහන් කල ආකාරයටම මා ඔබට කියන්නේ ඔබට මුදල් තිබේනම් ඒ ඒ අවස්ථාවට සුදුසු ලෙස පැළඳීම සඳහා සපත්තු කුට්ටම් කීපයක් තබාගන්න. අද පවතින ආර්ථික අර්බුදය හමුවේ ජීවිත සටන ගෙනයන කෙනෙක්නම් වඩාත් සුදුසු වන්නේ පොදුවේ කොතනටත් පැළඳිය හැකි ආකාරයේ සරල සපත්තු දෙකකුයි. එහෙත් එවැනි සරල සපත්තු දෙකක් වුවද අවම වශයෙන් රු 2500 ඉක්මවන බව නොරහසක්. මේ සඳහා විකල්ප ක්‍රමත් තිබෙනවා. ඔබේ කාර්යාලයේ/ආයතනයේ පිරිමින් සපත්තු පැළඳීම අනිවාර්ය නොවේනම් පටි සහිත සපත්තු (sandals) දැමීම අඩු වියදමකින් කල හැකියි.
එහෙත් එවැනි සපත්තු දෙකක්වත් මිලදීගත නොහැකි සාමාන්‍ය හම් සෙරෙප්පු දෙකකින් සෑහීමට පත්වීමට සිදුවන පිරිසක්ද සිටිති. මේ ටික කියන්නේ ඔවුන්ටයි. විලුඹ ආවරණය නොවන සෙරෙප්පු පැළඳීමෙන්, හදිසියකදී දුවන්නට අපහසු බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. එය ඔබ ප්‍රායෝගිකවම දන්නවා.
  එමෙන්ම රියදුරු වෘත්තියේ යෙදෙන සෑහෙන පිරිසක් මෙවැනි සෙරෙප්පු පැළඳ රිය පදවනවා මා බොහෝවිට දකිනවා. එය ඉතා භයානක ක්‍රියාවක්. මෙවැනි සෙරෙප්පුවකින් කකුල ලිස්සා යාමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. විශේෂයෙන් ඔබ හදිසියේ වාහනයේ තිරිංග තද කරනවිට කකුල සෙරෙප්පුවෙන් ලිස්සා ගියොත්, ඔබෙත් වාහනයේ ගමන් කරන අනෙක් අයගෙත්, ජීවිත අනතුරට පත්වෙනවා. සෙරෙප්පුව ගලවා වාහනයේ පෙඩ්ල් අසලින් තැබීමත් භයානකයි. සෙරෙප්පුවක් බ්රේක් පෙඩලය යටට ගියොත්, ඔබ බ්රේක් පෑගුවත්, බ්රේක් පෙඩලය සෙරෙප්පුවට තදවීම නිසා, නිසි ප්‍රමාණයට බ්රේක් නැතිවීමෙන්, භයානක අනතුරු සිදුවීමට හොඳටම ඉඩකඩ තිබෙනවා. තමන් පදවාගෙන ගිය මෝටර් රථයේ බ්රේක් මේ ආකාරයට තම අඩි උස සපත්තුවට හිරවීම නිසා, අනතුරක් වලක්වාගත නොහැකිවූ ශ්‍රී ලාංකික කතක්, අනතුරට පත්ව මියගියා. ඔබ මෙවැනි සෙරෙප්පු පැළඳ, සෙමෙන් ධාවනය වන බස් රථයක හෝ දුම්රියක හදිසියේ එල්ලීමට ගියොත්, ලිස්සා වැටීමට ඇති ඉඩකඩ බොහොමයි. එය මරණීය වැටීමක් විය හැකියි. එබැවින් මෙවැනි සෙරෙප්පු, පයින්ම යන කෙටි ගමන් බිමන් වලට පමණක් පාවිච්චි කරන්න.
  ඔබේ ආදායම් මට්ටමේ හැටියට වඩා හොඳ සෙරෙප්පු දෙකක් මිලදීගත නොහැකිනම්, යටත්පිරිසෙයින් මේ පින්තූරයේ දක්වා ඇති ආකාරයේ එක පටියක්වත් විලුඹ හරහා යන සෙරෙප්පු යුවලක් පාවිච්චි කරන්න. ඔබ රියදුරකුනම් මේ ගැන සිතන්න. එවැනි වෘත්තීන්හි නියැළුන බහුතරය අන්තර්ජාලය පරිහරණය නොකරන බව මා හොඳාකාරවම දන්නවා. බ්ලොග් කියවන අයගෙන් මා කාරුණිකව ඉල්ලන්නේ අදාලවන අයව දැනුවත් කරන ලෙසයි.
 සමහර රැකියා වලදී සපත්තු පැළඳීම අනිවාර්ය වෙනවා. එහෙත් මේ මෝස්තරය කියා විශේෂයක් නැහැ. එවැනි අවස්ථා වලදී අද බොහෝ දෙනා කැමති, ලේස් නොදමන සපත්තු වලටයි. ඉක්මනින් දැමීමේ / ගැලවීමේ පහසුව සඳහා එවැනි සපත්තු තෝරාගන්නේ කලබලකාරී ජීවිත ගත කරන නිසයි.
සමහරු එලෙස පාවිච්චි කරන සපත්තු බොහෝවිට පොලිෂ් කරන්නේම නැති තරම්. එවිට ඇතිවන අවලස්සන පෙනුම ගැන ඔවුන් නොදන්නවා නොවේ. යටත්පිරිසෙයින් ක්ෂණික පොලිෂ් වර්ගයක්වත් නොගෑවොත් ඔබේ සපත්තු දෙක කරවල කූරියන් වගේ පෙනෙන බව අමතක කරන්න එපා.
 ඉක්මනින් පැළඳීමට / ගැලවීමට හැකි තවත් සපත්තු මෝස්‌තර තිබෙනවා. සිප් ෆාස්ටනර්ස් (Zip Fasteners) වලින් ඇරෙන වැසෙන සපත්තුත් සෑහෙන්න ජනප්‍රියයි. පෙනුමත් ලස්සනයි. මේ මෝස්තරයේ සපත්තු බොහොමයක් නියම සම් වලින් නිපදවා තිබෙන්නේ. එහෙත් එවැනි සපත්තු අර ජනප්‍රිය මෝස්තරයේ සපත්තු වලට වඩා මිලෙන් වැඩියි.
 සිප් ෆාස්ටනර්ස් යොදා සකසන සපත්තු බොහොමයක් ඇන්කල් බූට් (Ankle Boots) නමැති වර්ගීකරණයට අදාලවයි සකස් කරන්නේ. ඒ කියන්නේ එවැනි සපත්තු ඔබේ ඇස්වටය ප්‍රදේශයද ආවරණය කරන තරම් උසයි. මෙයින් අත්වන ප්‍රයෝජනය කුමක්ද? 1. ඇස්වටයට පහලින් ටොප්ලයින් එක හෙවත් සපත්තුවේ කට පිහිටන සපත්තුවක් දමා ඇවිදින විට, කකුල පෙරලුනොත්, සමහර විට කකුල කෙවෙන්නට හෝ උලුක් වන්නට ඉඩ තිබෙනවා. 2. ඇන්කල් බූට් එකකින් ඔබේ කකුලේ ඇස්වටයටත් ඉහලින් සිටිනසේ ආවරණය කරන බැවින්, එය පැළඳ සිටියදී වැටුනත් කකුල කෙවීමට හෝ උලුක්වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිතයි. 3. රළු භුමි ප්‍රදේශ වලදී එවැනි වැටීම් ආදිය සිදුවීමට ඉඩ ඇති බැවින්, දුෂ්කර පරිසරවල ඇවිදීම සඳහා ඇන්කල් බූට් ඉතා හොඳින් ගැලපෙනවා. 4. කකුලේ ඇස්වටය දක්වා ප්‍රදේශය ආවරනයවී ඇති බැවින්, කාර්මික වැඩබිම් වලදී, පාදයේ පහල කොටසට සිදුවියහැකි අනතුරු අවම කර ගැනීමේ හැකියාක් තිබෙනවා. 5. සර්ප දෂ්ඨයකදී, ඇස්වටය දක්වා පාදය ආවරනයවී තිබීම වාසියක් වනවා.
 කුමන ආකාරයක සපත්තු සෙරෙප්පු දැම්මත් ඒවා අනිවාර්යයෙන් පොලිෂ් කිරීම හෝ පිරිසිදු කිරීම කල යුතුයි. නැත්නම් ඒවා කුණු මාළු වගෙයි. පුද්ගලයකුගේ පෙනුම අප්‍රසන්න කරවන එක දෙයක් තමයි අපිරිසිදු පාවහන්, ඉරුණු මේස්. සපත්තු සෙරෙප්පු පමණක් නොව ඔබ දිනපතා ගෙනයන බ්‍රීෆ් කේස්, හම් වලින් නිමවූ කාර්යාලයීය බෑග්, ඉතා ලස්සනට පොලිෂ් කරන්න පුළුවන්. දැන් කාලයේ සමහරු දිනපතා පළඳින බේස් බෝල් තොප්පි ඉතා කිළුටු තත්වයෙන් පළඳින බවත් පෙනෙනවා.
 කොහොම කිව්වත් දිනපතා සපත්තු පොලිෂ් කිරීමට අකමැති පිරිස තමයි වැඩිපුර ඉන්නේ. ඒ නිසා ඔවුන්ටත් විසඳුමක් දිය යුතුයි. මම එවැනි අයට යෝජනා කරන්නේ සුඑඩ් සපත්තු පළඳින්න කියයි. සුඑඩ් සපත්තුත් හම් සපත්තු වර්ගයක්. ඒවා නිපදවා තිබෙන්නේ බැටළුවන්ගේ හෝ එළුවන්ගේ හෝ ගෝන/මුව වර්ග වල සතුන්ගේ හෝ ඌරන්ගේ බඩ ප්‍රදේශයේ සිනිඳු සම් වලින්. එම සම් විශේෂ ක්‍රමයකට පදම් කර, දිලිසීම නැති, උඩට ඉල්පුනු, වෙල්වට් වැනි මතුපිටක් නිර්මාණය කර තිබෙනවා. සුඑඩ් සපත්තු දෙකක් සාමාන්‍යයෙන් රු 3000 ත් 5000 ත් අතර වනු ඇති. සුඑඩ් සපත්තු පිරිසිදු කිරීම සඳහා තරමක් තද කෙඳි සහිත බුරුසුවක් අවශ්‍යයි. අලුත් දත් බුරුසුවක් වුනත් සෑහෙනවා. හැබැයි මතක තබාගන්න වතුර, මඩ, තෙල්, වැනි දේවල් සුඑඩ් සපත්තුවේ හතුරෝ. ඒ නිසා, ඒවාගෙන් හැකි තරම් ඈත්වී තමයි සුඑඩ් සපත්තු පැළඳිය යුතු වන්නේ. තෙල් කුණු පල්ලම් ඇති වුනොත් සබන් හෝ පිරිසිදු කිරීමේ දියරයක් ජලය සමග මිශ්‍ර කර බුරුසුවෙන් පිස දැමිය යුතුයි. සුඑඩ් සපත්තු කිසි විටකත් අව්වේ වේලන්න එපා. හැඩය වෙනස් වෙනවා. ඒවා වේලන්නේ පවනේ පමණයි.
  සපත්තු කියන වර්ගීකරණයට වැටෙන තවත් වර්ගයක් තමයි ‘පම්ප්ස්’ Pumps යනුවෙන් හැඳින්වෙන සපත්තු. මේවා මිල වැඩි අඩු වර්ග කීපයක් තිබෙනවා. කල් පවතින, ශක්තිමත් පම්ප්ස් සපත්තු දෙකක් රු 2500 සීමාවේ තමයි තිබෙන්නේ. සමහර පම්ප්ස් සපත්තු පොදුවේ කොතනටත් ගැලපෙනවා. මේ තිබෙන්නේ එවැනි පම්ප්ස් සපත්තුවක්.
මෙවැනි සපත්තු සැහැල්ලුයි, සාමාන්‍යයෙන් සෑහෙන කාලයක් පාවිච්චි කල හැකියි. හැබැයි වතුරට ඔරොත්තු දීම එතරම් සතුටුදායක නැහැ. නමුත් හොඳින් පොලිෂ් කල හැකියි. දිනපතා පාවිච්චියට නිර්දේශ කල හැකියි. අනෙකුත් හම් සපත්තුවල මෙන් මෙහි සම එතරම් ඝනකම නැහැ.
මිල අඩු පම්ප්ස් සපත්තුද තිබෙනවා. හැබැයි ඒවා දිනපතා පාවිච්චියට එකම සපත්තු කුට්ටමක් යොදා ගැනීම ණුවනට හුරු නැහැ. මාරු කරමින් පළඳින්නට කුට්ටම් තුනක්වත් තිබෙනවානම් හොඳයි.
තවත් සපත්තු වර්ගයක් තිබෙනවා බෝට් ෂූස් Boat Shoes යනුවෙන් හැඳින්වෙන. මේවාත් වැඩි දියුණු කල කැන්වස් සපත්තු විශේෂයක්. බෝට් ෂූස් කියන්නේ මේවා විශේෂයෙන් බෝට්ටු වැනි ජාල යාත්‍රා වල ගමන් කිරීමේදී පැළඳීමට සුදුසු යන අර්ථයෙන්. සාමාන්‍ය හම් සපත්තු දෙකක් තරමක් බරයි. එවැනි සපත්තු සමග වතුරේ පිහිනීම පහසු නැහැ. නමුත් බෝට් ෂූස් කකුලේ තිබියදී ඔබ වතුරට වැටුනොත් පිහිනීම එතරම් අපහසු නැහැ. එහෙත් බෝට් ෂූස් සෑම අවස්ථාවකටම පැළඳීමට සුදුසු නැහැ. විනෝද චාරිකා, සැහැල්ලු ගමන් බිමන්, වෙළඳපොළට යාම වැනිදේට සුදුසුයි. පිරිසිදු කිරීම සේදීමෙන් කල හැකියි. එහෙත් තදින් වතුරට පෙඟීම සුදුසු නැහැ. මිල රු 2500 සීමාවේ තිබෙනවා.
සපත්තු යන වර්ගීකරණය යටතේ අඩුම මිලට ලබාගතහැක්කේ කැන්වස් සපත්තු පමණයි. එහෙත් කැන්වස් සපත්තු දිනපතා පාවිච්චිය සඳහා ගන්නේනම් කුට්ටම් කීපයක් තිබිය යුතුයි. එයට හේතුව මේවා ඉක්මනින් ගෙවීයන worn out නිසයි. එමෙන්ම දැඩි උණුසුම සහිත දිනවල සහ දැඩි හිරුරැස් සපත්තු මතට පතිතවන පරිසරයක මේවා පාවිච්චි කල නොහැක්කේ ඉක්මනින් ඇතුලත උණුසුම් වන නිසයි. එවිට ඔබේ පය තැම්බෙනවා මෙන් දැනෙනවා. කැන්වස් සපත්තු වඩාත් සුදුසු සිසිල් වියලි දේශගුනයටයි. එසේම වතුරට ඔරොත්තුදීම අතින්ද කැන්වස් සපත්තු ඉතා පහල මට්ටමකයි පවතින්නේ. රසායනික ද්‍රව්‍ය, ගින්දර, සඳහාද කැන්වස් සපත්තු ඔරොත්තු දෙන්නේ නැහැ.
  සමහරුන්ට සම්පූර්ණයෙන් ආවරණය කල සපත්තු පැළඳිය නොහැකියි. කකුල පිච්චේනවාක් මෙන් දැනෙනවා. burning sensation එවැනි අයට වඩාත් සුදුසු ඇතුලට හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ සකසන ලද සපත්තුයි. නමුත් මිල අතින් බලනවිට ඒ වර්ගයේ හොඳ සපත්තු යුවලක මිල හොඳ හම් සපත්තු යුවලක මිලට ආසන්නයි. නමුත් මේ සපත්තු සාමාන්‍යයෙන් පොදුවේ කොතනටත් පාවිච්චි කල හැකියි. මේ සපත්තු  සැන්ඩ්ල්ස් යනුවෙන් හඳුන්වනවා. මේ සපත්තු මිලදී ගැනීමේදී විලුඹ සම්පූර්ණයෙන් ආවරණය වන සපත්තු දෙකක මිලදිගනීමෙන් එය සාමාන්‍ය සපත්තු පළඳින ආකාරයට පැළඳිය හැකි වෙනවා.
 අවස්ථාවට සුදුසු වන ආකාරයට සපත්තු පැළඳීම ඉතා කල්පනාකාරීව කලයුතු දෙයක්. එය තරමක් දීර්ඝව සාකච්ඡා කලයුතු කරුණක් බැවින්, මූලික කරුණු කීපයක් පමණයි මා කියන්නට අදහස් කරන්නේ. සන්නද්ධ හමුදා සහ පොලීසිය හෝ කිසියම් ආයතනයක ප්‍රධාන ආරක්ෂක නිලධාරි වැනි තනතුරකට අදාලව සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වන්නේනම්, වඩාත් සුදුසු, ලේස් සහිත, කළු, හම් සපත්තු යුවලක්. අනෙකුත් සම්මුඛ පරීක්ෂණයකදී වුවද, සුදු පාට, හෝ ලා පාට සපත්තු පළඳින්න එපා. සැන්ඩ්ල්ස් පලන්දින්නත් එපා. සෑමවිටම ඔබ අඳින කලිසමේ පාටට හැකි තරම් ආසන්න පාටක මේස් පළඳින්න.  සුදු පාට, අළු පාට, කලිසම් වලට වඩාත් ගැලපෙන්නේ කලුපාට සපත්තු. දුඹුරු පාට සපත්තු සම්මුඛ පරීක්ෂණ වලට පැළඳීම වැරද්දක් නැතත් ඒ සඳහා ගැලපෙන කලිසමක් තෝරාගන්න. (ක්‍රීම් පාට, ලා දුඹුරු පාට වැනි)   ඔබ සපත්තු මිලදිගතයුත්තේ උදය කාලයේදී. එයට හේතුව සවස්වනවිට අපේ පාදය ස්වභාවික ප්‍රමාණයට වඩා මඳක් ප්‍රසාරණය වන බැවින්. සපත්තුවක ලේස් ගැට ගැසීමත් කලාවක්. පහත ඇති වීඩියෝවෙන් එය බලා ඉගෙනගන්න.
http://www.videojug.com/player?id=a31884aa-c019-31ba-cb2e-ff0008c8e919

23 May 2012

ඔයා සපත්තු පොලිෂ් කරන්නේ කොහොමද?

අපි කුඩා දරුවන් කාලයේ ලංකාවේ ජනගහනයෙන් සපත්තු පළඳින්නට ඇත්තේ 50% කට මඳක් වැඩියෙන් වෙන්න ඇති කියා මට හිතෙනවා. ඒ කාලයේදී පාරේ තොටේ යනවිට සපත්තු සෙරෙප්පු කිසිවක් නැතිව ගමන් කරන අය ඕනෑ තරම් දකින්න ලැබුනා. අදනම් එකේ අනික්පැත්තයි තියෙන්නේ. අද  99% ක් දෙනා සපත්තු සෙරෙප්පු පළඳිනවා. ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් පමණ වන ජනගහනය වසරකට සපත්තු / සෙරෙප්පු කුට්ටම් මිලියන 50 ක් පමණ පාවිච්චි කරන බවට ප්‍රවෘත්තියක් මා දිනපතා පුවත්පතක දුටුවා.  සපත්තු මිලදී ගැනීම, සපත්තු තෝරා ගැනීම, සපත්තු දැමීම මෙන්ම, සපත්තු නඩත්තු කිරීමත්, එක්තරා කලාවක් කියලයි මටනම් හිතෙන්නේ. ඒ ගැනයි මම මේ ලිපියෙන් සහ දිග වැඩි වුනොත් තවත් ලිපියකින් ඔබ සමග සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ.
මේ කතාව ආරම්භ කරන්නට පෙර අවංකවම එක දෙයක් කිව යුතුයි. ඒ තමයි කුඩා අවධියේ මා පාසල් ගියේ සෙරෙප්පු දෙකක්වත් නොදමා බව. එයින් මට සමාජමය වශයෙන් හානියක් වුනේ නැහැ. ඒ කාලේ, මා වැනි, සේරෙප්පුවක්වත් නැති තවත් දරුවන් රැසක් සිටි නිසා. මට මතක හැටියට 1960 දී තමයි මට රබර් සෙරෙප්පු දෙකක් ලැබුනේ. මිල සත 75 යි. දැන් රුපියල් 150 කට සමාන කරන්න පුළුවන් කියලා හිතෙනවා ඒ සත 75. හැබැයි දැන් රු 150 කට ගන්න පුළුවන් සෙරෙප්පු නැහැනේ.
යුද හමුදාවේ සපත්තු පොලිෂ් කරන හැටි ගැන ලිපියක් පලකරන්න කියා ඉල්ලීම් කීපයක්ම කර තිබුනා, මගේ වෙනත් ලිපි වලට ලැබුණු කමෙන්ට්ස් වලින්. ඉතින් ඒ ඉල්ලීම් සඳහා දක්වන ප්‍රතිචාරය තමයි මේ. විශේෂයෙන්ම මේ සඳහා මාව උනන්දු කරවූ තිදෙනෙක් ඉන්නවා. ඒ තමයි හ‍රීදූපත් වැසියා, සහ ක්සැන්ඩර්, ඒ තිදෙනාටම ස්තුතිවන්ත වෙනවා මුලින්ම.
මා ඉහත සඳහන් කල පරිදි, අද කාලයෙනම් ජීවන තත්වය තරමක් උසස්වී ඇති නිසාත්, අධ්‍යාපන මට්ටමද ඉහල ගොස් ඇති නිසාත්, පාවහන් පැළඳීම 99% ක් දෙනා විසින් නොවරදවාම කරනවා. එය ඇත්තෙන්ම සතුටට කරුණක්. පාවහන් නැතිව ගමන් කිරීම දැන් ඉස්සරට වඩා අනතුරුදායකයි. විවිධ හානිකර රසායනික ද්‍රව්‍ය පවා නාගරික පරිසරයේ බිම මතුපිට දැකිය හැකියි. එමෙන්ම කාර්මික අපද්‍රව්‍යද දෙපයට හානිකරයි. මේ නිසා යටත්පිරිසෙයින් සෙරෙප්පු දෙකක්වත් පැළඳිමයි නුවණට හුරු.
අනෙකුත් සෑම ඇඳුම් පැළඳුම් මෙන් සපත්තුද අද විලාසිතාවක් වී හමාරයි. තමන්ට ගැලපෙන නොගැලපෙන බව හෝ අවස්ථාවට සුදුසු නුසුදුසු බව ගැන නොසලකා සපත්තු පළඳින අය අද සෑහෙන්න තරම් ඉන්නවා. මා දැක තිබෙනවා ක්‍රීඩා සපත්තු පැළඳ විවාහ මංගල්‍ය උත්සව වලට එන අයත්.
  මේ නිසා අවස්ථාවට සුදුසු ඇඳුම් පැළඳුම් මෙන්ම සපත්තුද ඇතිබව මතක තබාගන්න. අප බොහෝදෙනෙකුට සපත්තු කුට්ටම් කීපයක් ගැනීමට වත්කමක් නැහැ. අද සපත්තු මිල ඉතා ඉහලයි. මා වරක් පුවත්පතක කියවූ ලිපියක තිබුනා සපත්තු කර්මාන්තයෙන් 300% ක පමණ ලාභයක් ගන්නා අයත් සිටිනබව. ඉතින් අමාරුවෙන් මිලදීගන්න සපත්තුදෙක පොදුවේ කොතනටත් ගැලපෙන විදිහට ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි විලාසිතා පස්සෙම යනවානම් ඔබ හොඳ සල්ලි කාරයෙක් වියයුතුයි, සපත්තු කුට්ටම් කීපයක් මිලදී ගන්න. එසේ නැතිව තැනට නුසුදුසු සපත්තු දාගෙන සෑම අවස්ථාවකටම සහභාගී වෙනවානම් ඔබ ප්‍රදර්ශනය කරන්නේ ඔබේ අමනොඥ බව පමණයි.
අනෙකුත් ඇඳුම් පැළඳුම් මෙන් නොව බොහෝදෙනා බාල බඩු වලට රැවටෙන්නේ සපත්තු මිලදී ගැනීමේදීයි. මා කියන්නේ මිල අධිකම වර්ගය හොඳම වර්ගය කියා නොවෙයි. හොඳ සපත්තුවක් මිලදී ගැනීමත් ඉගෙනගෙන කලයුතු දෙයක්. කාන්තාවන්ගේ සපත්තු සෙරෙප්පු ගැන මා කතා කරන්නට යන්නේ නැහැ. නමුත් එකක් කියන්නම්, කාන්තාවන් තරම් බාල සෙරෙප්පු වලට අහුවෙන පිරිසක් තවත් නැහැ. එහෙම වෙන්නේ සල්ලි නැතිකම නිසාම නොවෙයි. හොඳ දේට වඩා ලස්සනදෙට පමණක් අවධානය යොමු කිරීම නිසයි. මේ මෑතකදී මගේ බිරිඳ ඉතා ලාබෙට සෙරෙප්පු කුට්ටම් දෙකක් ගෙනාවා. මම ඒවා දුටුගමන් කිව්වා ඉතාම බාල ඒවා බව. ඇය කිව්වා ඒවා අලවා සකස්කළ සෙරෙප්පු නොව, මසන ලද ඒවා බව වෙළඳ සේවකයා කිව්ව බව. මා නිහඬව සිටියා. දවස් තුනකින් එක සෙරෙප්පුවක් ගැලවුනා. හොඳින්ම පෙනුනා එය අලවපු සෙරෙප්පුවක් බව. මම ඒ කඩයට ගොස්, බිල ඉදිරිපත්කර, පාරිභෝගික ආරක්ෂක ආඥා පනතේ කරුණු පැහැදිලි කලාම, මුදල් ආපසු ගෙවන්න ඔවුන්ට සිදුවුනා.
  මේ සපත්තුව දුටු ගමන් ඔබෙන් සමහර අය කියන දේ මා හොඳින් දන්නවා. ‘මේ මොකක්ද? ගොන් ඔලු පෙයාර් එකක්නේ, කවුද මේවා දාන්නේ, ඔයා වගේ නාකි පප්පලාට තමයි මෙව්වා හරියන්නේ. ඊයා,. . .  ඈක්,. . .  හෆ්ෆා. . . ‘ (සමහර බ්ලොග් ලියන්නෝ/ලියන්නියෝ දැන් වයසට ගිහින්, දත් හැලිලා, නිකම්ම කටින් හුළං පිටවන නිසා, හප්පා කියාගන්න බැහැ, හෆ්ෆා කියලයි කියවෙන්නේ) ඔබ එසේ සිතන කෙනෙක්නම්, ඔබ සිටින්නේ බරපතල මුලාවක හෙවත් විලාසිතා මිත්‍යාවක බව මම නොබියව කියනවා. මා කියන්නේ ඔබ අනිවාර්යයෙන් මේ මෝස්තරයේ සපත්තුම දැමිය යුතුයි කියා නොවේ. මේ මෝස්තරයට ආසන්න වෙනත් හැඩයේ සපත්තු තිබෙනවා. එවැනි සපත්තු තෝරාගැනීමෙන් පොදුවේ කොතනටත් ගැලපෙනසේ යාමට හැකි වෙනවා. මෙය විශේෂයෙන් කියන්නේ එක සපත්තු කුට්ටමක් පමණක් ගතහැකි අය වෙනුවෙන් බව නැවතත් අවධාරණය කරනවා.
ආරම්භක චූර්ණිකාව ඊට වඩා දික් කිරීම අනවශ්‍ය බව හැඟෙන නිසා, ඊළඟ කොටසට යන්නයි මේ සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් මම වැඩිපුර ලියන්නේ අවි ආයුධ ගැනනේ. එහිදී ඒ අවි ආයුධවල කොටස් නම් කරනවා ඔබට මතක ඇති. ඒ වගේ සපත්තුවකත් කොටස් නම් කල හැකියි. මේ බලන්නකෝ සපත්තුවක කොටස්.
 බලනකොට සපත්තුවකත් සෑහෙන්න කොටස් ගණනක් තියනවනේ? මම මේ කොටස්වල නම් සිංහලෙන් නොයෙදුවේ, ඒවාට සිංහල නම් නැති නිසාම නෙවෙයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී සපත්තු සම්බන්ධයෙන් කතාකරන වචන, බොහෝවිට මේ ඉංග්‍රීසි වචන වලට සම්බන්ධ නිසයි.
සමහරවිට ඔබ සපත්තුවක යම් යම් කොටස් හඳුන්වන්නේ මීට වඩා ස්වල්පයක් වෙනස් නම් වලින් වෙන්න ඇති. මමත් එහෙම කරනවා. මේ පින්තූරයේ වෙල්ට් welt යනුවෙන් ඇති කොටසට, මා දන්නා කාලයේ පටන් මට කියාදී තිබෙන්නේත්, මම අදටත් කියන්නෙත්, ‘සීම්’ එක seam කියායි. කොහොම වුනත් අපි දිනපතාම අලුත් යමක් ඉගෙන ගන්නවානේ. නමුත් welt කියන්නේ, සපත්තුවේ සම්පූර්ණ පතුලටයි.
මෙහිදී කලින් අසා නැති, නම් වන්නේ, Welt, Vamp, Quarter, Throat, Eyelets, Hollow, Top Line, වැනි වචන පමණයි කියා මා සිතනවා. ඒවා අමුතුවෙන් විස්තර නොකලත්, මෙවැනි සපත්තුවක් අතටගෙන බැලුවොත් පැහැදිලිව හඳුනාගත හැකිවනු ඇති. ඒත් ඉතින් ටිකක් විස්තර කලොත් හොඳයි නේද? එහෙනම් ඉතා කෙටියෙන් කියන්නම්.
Top Line -  සපත්තුවට කකුල දාපුවාම, වටේට තියන කට වගේ කොටස.
Toung – කකුල දැමීමට ලේස් බුරුල් කරලා, කට පළල කලාම තියන, සපත්තුවේ දිව.
Shoe Lace – සපත්තු පටිය හෙවත් ලේස් එක. (මේ රූපයේ තියන විදිහට ගැටයක් නැතුව ලේස් එක දාන්න පුළුවන්. පසුව කියන්නම්)
Eyelets – සපත්තු පටිය රිංගවීමට සපත්තුවේ සාදා තිබෙන හිල්. ඒවාට ලෝහ වළලු සවිකර තිබෙනවා සමහර සපත්තුවල.
Quarter – සපත්තු කටේ වම් පැත්තේ පළුව සහ දකුණු පැත්තේ පළුව.
Throat – සපත්තුවේ දිවේ ඇතුළු කෙලවර.
Toe cap – සපත්තුව දැමුවිට කකුලේ ඇඟිලි ආවරණය කරන කොටස.
Vamp – සපත්තුව පැළඳ ඇවිදින විට නැවෙන දිගහැරෙන ප්‍රදේශය (ඊතලයෙන් පෙන්වන තැන සිට ඊට විරුද්ධ පැත්තේ කෙලවර දක්වා)
Welt – සම්පූර්ණ සපත්තු පතුල
Hollow – සපත්තු පතුලේ ඉහලට බොකු ගැසුණු කොටස
Heel cap – සපත්තුව පැළඳි විට, විලුඹ ප්‍රදේශය ආවරණය කරන කොටස.
Heel – සපත්තු අඩිය
දැන් ඉතින් පොලිෂ් කිරීම කොතනින්ද පටන්ගන්නේ? පොලිෂ් කරන්න ඉස්සර වෙලාම සපත්තු දෙකක් තියෙන්න එපාය. හරි ඊළඟට ඊළඟට ඕනේ රෙදි කෑලි, පුළුන්, සපත්තු මැදීමේ බුරුසු, සහ සපත්තු පොලිෂ්. ඔන්න පටන් ගන්නකොටම බුදු අම්මෝ කියන්න එපා ලැයිස්තුව දැකලා. සමහරු දාගෙන යන සපත්තු දැක්කම දුක හිතෙනවා. දුප්පත්කමට වඩා කම්මැලිකම නිසයි බොහෝ දෙනෙක් සපත්තු පොලිෂ් නොකරන්නේ. අපිනම් පුංචිකාලේ දුප්පත්කම නිසා සපත්තු පොලිෂ් කලේ රතුලූනු ගෙඩියක් දෙකට කපලා සපත්තුවේ ඇතිල්ලීමෙන් හෝ වදමල් පොඩිකරලා ඇතිල්ලීමෙන්.
මම දන්නවා ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ක්‍රමයට සපත්තු පොලිෂ් කරන ආකාරය නෙවෙයි. යුද හමුදාවේ අය පොලිෂ් කරන අර මූණ බලන්න පුළුවන් (සපත්තුවේ ටෝ එක කන්නාඩියක් ලෙස පාවිච්චි කරලා රැවුල කපන්නත් පුළුවන්) ක්‍රමයට පොලිෂ් කිරීම පිළිබඳවයි ඔබට දැනගන්න ඕනේ. හැබැයි සාමාන්‍ය ක්‍රමය ගැන නොකියා විශේෂ ක්‍රමය ගැන කියන්න බැහැ. විශේෂ ක්‍රමයට කියන්නේ වෝටර් පොලිෂ් Water Polish කරනවා කියලයි. එයට හේතුව එසේ පොලිෂ් කිරීමේදී වතුරත් යොදාගන්න නිසයි.
දැන් සමහර අය කියයි අයියෝ ඕක මොකක්ද දැන් තියනවානේ සපත්තුව කන්නාඩිය වගේ දිලිසෙන්න ගාන්න පුළුවන් පොලිෂ්. ඒක අතේ ගෑවෙන්නෙත් නැහැ, හරිම ඉක්මන් කියලා. දැන් අපේ ජීවිත හරිම ඉක්මන් නිසා ඒ ක්‍රමය හොඳයි. හැබැයි ඒවා පොලිෂ් නෙවෙයි ආලේපන. එයින් ලැබෙන දීප්තිය වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. එය වෝටර් පොලිෂ් එකේ අහලකින්වත් තියන්න බැහැ.
  ඉතින් ඇත්ත තත්වය ඔන්න ඔහොම නිසා, මම බොහොම කාරුණිකව ඉල්ලනවා, මෙතනින් එහාට මේ ලිපිය කියවිය යුත්තේ, කාලය වැය කර සපත්තු පොලිෂ් කිරීමට කැමති අය පමණයි කියා.
මුලින්ම අපි බලමු සපත්තු පොලිෂ් කිරීමට අවශ්‍ය උපකරණ දෙස නැවතත්. මම කිව්වා හොඳ බුරුසු අවශ්‍යයි කියා මෙන්න මේ වගේ බුරුසු තමයි වඩාත් හොඳ. ඉක්මනින් කෙඳි ගෙවීයන හෝ නැවීයන බාල බුරුසු ගන්න එපා. ඒ සඳහා වැය කරන මුදල් අපතේ යාම පමණයි සිදුවෙන්නේ. හොඳ බුරුසුවක කෙඳි අතින් තද කර බැලුවාම, තරමක් තද සහ එකවරම නොනැමෙන තත්වයේ තිබෙන බව පෙනෙනවා. තීන්ත ගාන බුරුසුනම් අපේ රටේ හොඳ තත්වයේ ඒවා තිබුනත් සපත්තු පොලිෂ් කරන බුරුසුනම් හොඳ දේශීය නිෂ්පාදන නැහැ. මේ රූපයේ මැද තිබෙන, කෙඳි අඩු, දිග මිටකින් යුත් බුරුසුව, ඔබේ විශේෂ අවධානයට ලක්වෙනවා ඇති. ඒ බුරුසුවෙන් කරන්නේ, සපත්තුවේ සියුම් දාරවල පොලිෂ් ගෑමයි. එවැනි බුරුසුවක් නැත්නම්, ඉවත දැමු, එහෙත් කෙඳි සම්පූර්ණයෙන් නැවී නැති දත් බුරුසුවක් වුවත් සුදුසුයි. එක් බුරුසුවක් පාවිච්චි කලයුත්තේ එක් වර්ණයක සපත්තු වලට පමණයි කියා ඔබට අමුතුවෙන්  කිවයුතු  නැති  සිතනවා. දුඹුරුපාට සපත්තු පොලිෂ්  කල බුරුසුවකින් කලුපාට සපත්තු පොලිෂ් කලාට එතරම් විශාල හානියක් නැතත්, කලුපාට සපත්තු පොලිෂ් කල බුරුසුවකින් දුඹුරුපාට සපත්තු පොලිෂ් කලොත්, දුඹුරුපාට සපත්තුව දම්පාට වෙනවා.
ඊළඟට අවශ්‍ය වන්නේ ටිකක් ඝන එහෙත් ඉතා රළු මතුපිටක් නැති වර්ග අඩි එකහමාරක පමත් රෙදි කෑල්ලක්. ඝන ප්ලැනල්, තරමක් සිනිඳු මතුපිටක් ඇති ඩෙනිම් රෙදි හෝ අමු රෙදි මේ සඳහා සුදුසුයි. මමනම් කැමති පරණ, ඝන තුවා කෑල්ලකටයි. ඒ වගේම පුළුන් ටිකක් සහ උඩට ඉලිප්පී ඇති කොටු හෝ ඉරි නැති, ඉතා සිනිඳු මේස් බැනියම් කෑල්ලක්ද අවශ්‍යයි. එහි දිග පළල අඟල් 10 බැගින් තිබුනාම ඇති.
මේ රෙදි කෑලි පරණ කඩමාලු වුනාට කමක් නැහැ. හැබැයි ඒවා සෝදා වියලා තිබිය යුතුයි. කුණු දූවිලි, මඩ, වැලිකැට, මේ රෙදිවල තිබුනොත් සපත්තුවේ මතුපිට සීරෙනවා.
වෝටර් පොලිෂ් කලහැක්කේ නියම හම් වලින් සෑදූ සපත්තු පමණක් බව අවධාරණය කරන්නට කැමතියි.  සමහරවිට කඩෙන් ගත් අලුත්ම සපත්තු වුවත් වෝටර් පොලිෂ් කල නොහැකි වෙනවා. එයට හේතුව සපත්තුවේ මතුපිට අවශ්‍යතරම් පදම්වී නොතිබීමයි. එමෙන්ම ටික කලක් පාවිච්චි කල සපත්තුත් වෝටර් පොලිෂ් කිරීමට පෙර, එහි මතුපිට කඩතොලුවී ඇත්නම් පළමුව ඊට පිළියම් යෙදිය යුතු වෙනවා.
දැනට ඔබ ළඟ නියම සමින් සෑදූ පාවහන් යුවලක් තිබේනම් සූදානම්වන්න එය වෝටර් පොලිෂ් කිරීමට. ඔබ පළමුවරට මෙය කරනනිසා අලුත් සපත්තුවක් නම් මෙහෙම කරන්න.
1. සපත්තුවක් පොලිෂ් කිරීමට පෙර එය කුණු දූවිලි වලින් තොරව තිබියයුතු අතර, විශේෂයෙන් හොඳ වියලි තත්වයේ තිබිය යුතුයි. තෙමී පෙඟී ඇති සපත්තු, වෝටර් පොලිෂ් තියා සාමාන්‍ය ක්‍රමයටවත් පොලිෂ් කල නොහැකියි. කිසිම අවස්ථාවක සපත්තු, දර ලිප් ළඟ, ගිනි ගොඩක් ළඟ, ගිනි අව්වේ, තබා වේලන්න එපා. එවිට සපත්තුවේ හැඩය වෙනස් වෙනවා. හම් සපත්තු කර වෙනවා. ඔබට අද අපේ රටේ තිබෙන විදුලි බිල ප්‍රශ්නයක් නොවෙයිනම් කොණ්ඩය වේලන උපකරණයකින් එන උණුසුම් වායු ධාරාවෙන් වේලන්න. එසේ කල නොහැකිනම් සැරට අව්ව නොවැටෙන ලෙස එළිමහනේ තබන්න.
2. මුලින්ම බුරුසුවෙන් සපත්තුවේ ඇති දූවිලි පිසදමන්න. අදනම් විදුලියෙන් ක්‍රියාකරන සපත්තු බුරුසු තිබෙනවා. ලයිට් බිල ගෙවන්නේ කවුද?
  මේ රූපයේ පෙනෙන ආකාරයට බුරුසුව ඇල්ලීමට ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ තමයි නිවැරදි ක්‍රමය. බුරුසුවෙන් සපත්තුව පිස දැමීමට පෙර ලේස් සම්පූර්ණයෙන් ගලවා ඉවත් කරන්න. මොකද ලේස් වෙනම පොලිෂ් කලයුතුයි. ලේස් පොලිෂ් කරනවා? . . . . .ඔවු ලේස් පොලිෂ් කරනවා තමයි. ඔහොම ඉන්න, මෙතනදීම ඒක කියා දෙන්නම්. ගැලවූ ලේස් එකේ එක කොනකින් අල්ලා ඔසවාගන්න. දැන් කුඩා රෙදි කැබැල්ලකට පොලිෂ් ටිකක් ගන්න. රෙදි කැබැල්ලේ පොලිෂ් තියන තැනට මැදිවනසේ ලේස් එකට රෙදි කැබැල්ල තබා තදකරගන්න (මහපට ඇඟිල්ල එක පැත්තක දබරැඟිල්ල සහ මැද ඇඟිල්ල ඊට විරුද්ධ පැත්තේ) දැන් ලේස් එකේ පොලිෂ් ගෑවෙනසේ රෙදි කෑල්ල ලේස් එක දිගේ පහලට ඇදගෙන යන්න. ලේස් එකේ අනිත් කොනෙන් අල්ලාගෙන නැවතත් කරන්න. බලන්න ලේස් එකේ පෙනුම වෙනස්වෙන හැටි. ඒ වගේමයි කල් පැවැත්මත් වැඩි වෙනවා.
පොලිෂ් කිරීම සඳහා සපත්තුවක් අල්ලගතයුතු ක්‍රමයක් තිබෙනවා. ඒ මෙන්න මෙහෙමයි.
3. බුරුසුවෙන් පිසදැමූ සපත්තුව, තවදුරටත් දූවිලි ඉවත් කිරීම සඳහා රෙදි කැබැල්ලකින් තදින් පිසදමන්න.
  4. ඔබ ළඟ තිබෙන්නේ අලුත් සපත්තුවක් නම් එය වෝටර් පොලිෂ් කිරීම සඳහා පදම් කරන්නේ මෙහෙමයි. කුඩා රෙදි කැබැල්ලකින් සපත්තුවේ වෙල්ට් කොටස හැර අනෙක් සෑම කොටසකම පොලිෂ් තට්ටුවක් ආලේප කරන්න. සිහින් බුරුසුවකින් වෙල්ට් කොටසේ පොලිෂ් ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ සුළඟින් වේලෙන්නට තියන්න. (ෆෑන් අවශ්‍ය නැත) ඉටිපන්දමක් පත්තුකර එහි දැල්ලට සපත්තුව පරෙස්සමෙන් අල්ලන්න. (උවමනාවට වඩා සපත්තුව ගිනිදැල්ලට ලං කලොත් පිච්චෙන බව කියන්නත් ඕනෙද? එක තැන ගොඩක් වෙලා අල්ලාගෙන ඉන්න එපා කියලා කියන්නම ඕනෙද) පොලිෂ් උනුවනවිට සපත්තුවේ වෙනත් තැනක් අල්ලන්න. ටිකක් නිවෙන්න හැර, ලොකු බුරුසුවකින් හොඳින් පොලිෂ් කරන්න.
5. ඔබ ළඟ තිබෙන්නේ පාවිච්චි කිරීම නිසා මතුපිට කඩතොලුවූ සපත්තු දෙකක් නම් මුලින්ම ඒ කඩතොළු ඉවත් කල යුතුයි. එය පරෙස්සමෙන් කලයුතු දෙයක්. එය කරන්නේ මෙහෙමයි. කලින් සපත්තුව ගාන ලද විදිහටම කඩතොලුවූ තැන්වල ටිකක් ඝන පොලිෂ් තට්ටුවක් රෙදි කෑල්ලකින් ගාන්න. කෑම කන යකඩ හැන්දක් ගෙන එහි පිට පැත්ත ඉටිපන්දමට අල්ලා හොඳින් රත් කරන්න. (රත් කරනවා කියන්නේ. . . . .පින්වත්නී. . . . ගිනියම් = රක්ත තප්ත = red hot කරනවාට නෙවෙයි පින්වත්නි. . . ) දැන් ඒ රත්වූ පිටපැත්ත අර කඩතොලුවූ තැනට තබා එක පැත්තකට පිරිමදින්න. (මේ වැඩේ දැන් කරන්නේ විදුලි පරිපථ පෑස්සීමට ගන්න ඉලෙක්ට්‍රික් බවුත් එකකින්. නමුත් මම ඔබට එසේ කරන්නට නොකියන්නේ, එය පෙර පුහුණුවකින් පසුව පමණක් කලයුතු අනතුරුදායක ක්‍රියාවක් නිසයි) කඩතොළු මැකෙන තුරු (කඩතොලුවූ සෑම තැනක්ම සම්පූර්ණයෙන් මැකිය නොහැකිය) මෙය නැවත නැවත කිරීමට සිදුවෙනවා. (වැඩේ කරලා ඉවර වුන වහාම පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයක් යොදා හැන්ද හොඳින් මදින්න. නැත්නම් පොලිෂ් හැන්දට තදින් අල්ලනවා. හැඳි මිටි පාරක් ඔලුවටම වදියි)
6. හොඳයි, දැන් අපි වෝටර් පොලිෂ් කිරීම ආරම්භ කරන්නටයි යන්නේ. (4 වැනි පියවර සහ 5 වැනි පියවර කරන්න වෙන්නේ එක වරක් පමණයි. සපත්තුව පදම් වූවාට පසු ඒ කරදරය විඳින්නට වෙන්නේ නැහැ) වෝටර් පොලිෂ් කිරීමේදී උසස් තත්වයේ පොලිෂ් පාවිච්චි කලයුතු බව මම අවධාරණය කරනවා. බාල පොලිෂ් වලින් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එමෙන්ම අපේ බොහෝදෙනෙක් පොලිෂ් ටින් එක විවෘත කලාට පසු නිවැරදිව වසන්නේ නැහැ. එවිට පොලිෂ් ගල් වෙනවා. එවැනි පොලිෂ් කිසිසේත්ම වෝටර් පොලිෂ් කිරීමට සුදුසු නැහැ. සපත්තු පොලිෂ් කිරීමට ගන්න සියලුම දේවල් (පොලිෂ්, බුරුසු, රෙදි කැබලි,) වෙනමම කුඩා පෙට්ටියක් වැනි දෙයක තබන්න. එවිට අවශ්‍යවිට පහසුවෙන් සපත්තු පොලිෂ් කලහැකියි.වෝටර් පොලිෂ් කරන්නට පෙර සපත්තුවේ පතුලේ වටේ දාරය, (වෙල්ට් එක) වගේම සපත්තුවේ අඩියේ ඉහලට එබී ඇති කොටසත් (හලෝ) පොලිෂ් කල යුතුයි. මොනවා සපත්තුවේ අඩිය පොලිෂ් කරනවා? ඔවු ආයේ කිසිම සැකයක් නැහැ. ඒ කොටසේ තමයි බොහෝවිට මඩ තට්ටු රැඳෙන්නේ. ඒවා හොඳින් පිරිසිදු කර කුඩා බුරුසුවෙන් පොලිෂ් ගා ලොකු බුරුසුවෙන් පොලිෂ් කරන්න.
 (සමහරු සපත්තු දාගෙන ගිහින් මහා සභා වල ලොක්කා වගේ කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා. සපත්තුවේ අඩිය බල්ලෝ වමනේ කලාවගේ. රූපවාහිනී නාලිකා වල සාකච්ඡා වලට එන සමහර මහා විද්වතුන්ගේ සපත්තුත් එහෙමයි)
 වෝටර් පොලිෂ් කරන කොටස් හැර, සපත්තුවේ අනෙක් සියලුම කොටස්, සාමාන්‍ය ක්‍රමයට පොලිෂ් කර අවසන් කරන්නේ, වෝටර් පොලිෂ් කල පසු, සපත්තුවේ වෙනත් කොටස් පොලිෂ් කරන්නට ගියොත්, වෝටර් පොලිෂ් එකට හානි වීමට (සීරී යාමට) ඉඩ ඇති නිසයි. වෝටර් පොලිෂ් එක ඇත්තෙන්ම පොලිෂ් සහ ජලය කිසියම් අනුපාතයකට මිශ්‍ර කරගනිමින් සපත්තුව මත ගොඩ නගන ආරක්ෂක බදාමයක් වැනියි. එහෙත් එය ඉතා තුනී පටලයක් වැනි බදාමයක්.
අධික තෙතමනය සහිත මෙන්ම වැසි හිරිකඩ වදින තැනක සිට වෝටර් පොලිෂ් කරන්න උත්සාහ කරන්න එපා. නිවැරදි ප්‍රතිඵලය එන්නේ නැහැ. වියලි පරිසරයක රාත්‍රියේදී වුනත් ප්‍රශ්නයක් නැහැ.
සාමාන්‍යයෙන් වෝටර් පොලිෂ් කිරීමේදී, අපි මූලික වශයෙන් පොලිෂ් කරන්නේ, සපත්තුවේ ටෝ කැප් එක සහ හීල් කැප් එකයි. එහෙත් ටික කලක් යනවිට, මුළු සපත්තුවම හොඳින් පදම් කරගතහොත්, වැම්ප් එකේ නැවෙන කොටස හැර, මුළු සපත්තුවම වෝටර් පොලිෂ් කල හැකි වෙනවා.
7. සපත්තුවේ අනෙක් කොටස් සියල්ලම පොලිෂ් කර අවසන් නිසා දැන් අපි ටෝ කැප් එක සහ හීල් කැප් එක වෝටර් පොලිෂ් කරමු. මේ සඳහා ඔබට ඔබේ හුරු අතේ (වම හෝ දකුණ) දබරැඟිල්ලේ දවටාගත්, සිනිඳු මේස් බැනියම් කැබැල්ලක් හෝ එවැනි මේස් බැනියම් කැබැල්ලක් තුලට පුළුන් පුරවා සාදාගත් ගුටියක් පාවිච්චි කල හැකියි.මුලින්ම ඉතා සිනිඳු පොලිෂ් පටලයක් ටෝ කැප් එකේ ගාන්න. ඒ සඳහා ඔබ ඇඟිල්ලේ දවටාගත් රෙදි කැබැල්ල යොදාගත්තාට කමක් නැත. දැන් අබ ඇට තරම් සියුම් ජල බින්දු ටෝ කැප් එක මත සිටින සේ ඇඟිලි තුඩින් හෝ මල් පැළවලට වතුර විදින ප්ලාස්ටික් බෝතල ස්ප්රේයරයකින් ජලය විදින්න. ජල බින්දු ගොඩක් අවශ්‍ය නැත. ඉන්පසු ගොඩක් තද නොකර, ඇඟිල්ලේ බරෙන් සපත්තුවේ රවුම් අඳින ආකාරයට මදින්න. එවිට පොලිෂ් සහ ජලය ක්‍රමානුකූලව මිශ්‍ර වෙමින් ඔපවත් වීම ආරම්භ වෙනවා. මෙය විනාඩි දෙක තුනකින් සිදුවන ප්‍රාතිහාර්යයක් නොවන බව අවධාරණය කරනවා. ඉවසීමෙන් නැවත නැවතත් කරන්න. එක වරකට ටෝ කැප් එකේ සුළු ප්‍රදේශයක් පමණක් මදින්න. පහත පිතූර දෙකෙන් පෙන්වන්නේ රෙදි කැබැල්ලකින් හෝ පුළුන් ගුටියකින් එසේ මදින ආකාරයයි.
   සමහරවිට පළමු දවසේ ඔබට අවසන් කරගන්නට ලැබෙන්නේ ටෝ කැප් එක හෝ එයින් කොටසක් විය හැකියි. එහෙත් එයින් පසුබට වෙන්න එපා. ඒ තමයි ආරම්භය. අනික් කරුණ ඔබ මෙය කරන්නේ ළඟ සිට කියාදීමෙන් නොවේ. මේ ලිපිය බැලීමෙන්. ඒ නිසා උත්සාහය අත්හරින්න එපා. වැරදීමට ඇති එකමදේ පොලිෂ් සහ වතුර අනුපාතය හරියටම ගලපා ගැනීමයි. වැරදීම් කීපයකට පසු එය හරියයි. වතුර දැමීමට ගොස් සපත්තුව පෙඟී ගියොත්, පොලිෂ් කිරීම නවත්වා, සපත්තුව වේලාගෙන නැවත පටන්ගන්න.
 සිනිඳු බැනියම්, ටී ෂර්ට්, හෝ ප්ලැනල් රෙදි කැබැල්ලක්, ආදී ලෙස මාරු කරමින් බලන්න, කොයි එකද වඩාත් හොඳ ප්‍රතිඵල දෙන්නේ කියා. සපත්තුව මෙන්ම රෙදි කැබැල්ල හෝ පුළුන් ගුටියද උවමනාවට වඩා තෙත් වුනොත් නිවැරදි ප්‍රතිඵලය එන්නේ නැහැ. ඒ නිසයි මම අවධාරණය කරන්නේ ක්‍රමය වෙනස් කරමින් නැවත නැවතත් උත්සාහ කරන ලෙස. වරින්වර අලුතෙන් පොලිෂ් ස්වල්පයක් වතුර බින්දු කීපයක් එකතුකරමින් නොකඩවා දිගටම කරගෙන යන්න. එක්තරා අවස්ථාවකදී ඔබට පෙනෙන්නට පටන්ගන්නවා, ඔප වැටීගෙන එනහැටි. එවිට ඔබ කලයුත්තේ, ඒ අවස්ථාවට පෙර යෙදූ පොලිෂ් සහ ජලය මාත්‍රාව හොඳින් සිතේ තබාගෙන පොලිෂ් කිරීම ඉදිරියට කරගෙන යාමයි. ඔබ සපත්තුව මත යොදන පීඩනයද වෙනස් කර බැලිය යුතුයි. මැදීම ආරම්භ කරනවිට යොදන ලද පීඩනයට වඩා අඩු පීඩනයකුයි ඔප වැටීම ඇරඹෙන විට යෙදිය යුත්තේ.
වෝටර් පොලිෂ් කිරීමේ ක්‍රමය අල්ලාගත් පසු එය එතරම්ම අමාරු දෙයක් නොවන බව ඔබට වැටහෙනවා ඇති. කිසිදු හේතුවක් නිසාවත් වෝටර් පොලිෂ් කල මතුපිට අතින් අල්ලන්න එපා. ඇඟිලි සලකුණ වදිනවා. එවිට ඒ මත නැවත පුළුන් කැබැල්ලකින් සියුම්ව පිස දැමීමෙන් එවැනි සලකුණු ඉවත් කල හැකියි.
  අවසන් ප්‍රතිඵලය පෙනෙන්නේ මෙහෙමයි. පොලිෂ් කර අවසන්වූ පසු සපත්තු දෙක පාවිච්චියට ගන්නාතුරු, බර නැති, පොලිෂ් එක නොසීරෙන, රෙදි කඩකින් සපත්තු දෙක වසා තබන්න. පාවිච්චියට නොගන්නේනම් දින දෙක තුනක් වුනත් පොලිෂ් එක වෙනස් වන්නේ නැහැ. සපත්තුව හොඳින් පදම්වූ පසුව මේ වැඩේට ගතවන්නේ උපරිම වශයෙන් විනාඩි 15 ක් පමණයි.
මේ ලිපිය මා හිතුවාට වඩා හුඟක් දීර්ඝ වුනා. මේ ලිපියේ වචන 2662 ක් තිබෙනවා. සපත්තු ගැන තවත් බොහෝ කරුණු තිබෙනවා. ඒ කරුනුත් ඉතා වැදගත්. ඒවා වෙනම ලිපියකින් ඉදිරිපත් කරන්නම්. ඔබත් ඔබේ සපත්තු වෝටර් පොලිෂ් කර ලබාගත් ප්‍රතිඵලය, ප්‍රතිචාරයක් ලෙස දක්වන්න. කාන්තා පක්ෂයේ ආකර්ෂණය වැඩිවීම අත්දුටුවයි සත්තයි.


19 May 2012

අපි මෙහෙමයි බදු ගෙවන්නෙ,අපි මෙහෙමයි බදු ගෙවන්නෙ,අපි මෙහෙමයි බදු ගෙවන්නෙ, කොන්ද කඩාගෙන

මේ බ්ලොග් එක කියවන බොහෝ දෙනෙක් දන්නවා මම ‘පැන්සොන් කාරයෙක්’ බව. රාජකාරියේ යෙදී ඉන්න කාලෙදිනම් මම මාසෙකට දුරකථන බිල්පත් ගෙව්වා රු 5000 ක් හෝ ඊට ටිකක් වැඩියෙන්. නමුත් දැන් එහෙම ඇමතුම් ගන්න අවශ්‍යතාවක් නැහැ. ස්ථාවර දුරකථනය තියාගෙන ඉන්නේ අන්තර්ජාලය පාවිච්චි කිරීමට සහ ඉතා හදිසි අවස්ථාවකදී ඇමතුම් ගැනීමට පමණයි. ජංගම දුරකතනයෙන් තමයි සියලු ඇමතුම් ගන්නේ. පැකේජ් එකක් දාගෙන ඉන්නේ පෙර ගෙවුම් ක්‍රමයේදී හදිසියේ රාත්‍රියක මුදල් අවසන් වුනොත් කියන බය නිසයි. සෑම සේවාවකටම බද්දක් අය කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙහෙම බදු ගහන රටක් ලෝකයේ වෙන කොහෙවත් තියනවාද මන්දා. බලන්න මගේ දුරකථන බිල. මේ වගේ පුංචි බිලකට මෙහෙම බදු වදිනවානම් . . . . . . . . .?????????????


18 May 2012

මම ගැලෙව්වනේ රවුටරේ

සාමාන්‍යයෙන් මම මසකට වරක් මගේ පරිගණක පද්ධතිය පිරිසිදු කරනවා. මෙහිදී බොහෝවිට කරන්නේ සී.පී.යු. එක, මොනිටරය, ප්‍රින්ටරය, යු.පී.එස්. එක, සියුම් කෙඳි සහිත බුරුසුවකින් පිස දැමීම, මොනිටරයේ තිරය ඒ සඳහා විශේෂ දියරයෙන් පිසදැමීම යන කටයුතුයි. (ප්‍රින්ටරයේ සහ සී.පී.යු. එකේ ආවරණ ගලවා පිරිසිදු කරනවා. මොනිටරය එල්.සී.ඩී. නිසා ආවරණ ගලවන්නේ නැහැ) අද මට නිකමට හිතුනා 2009 දී මිලදීගෙන අද දක්වා කිසිදු කරදරයකින් තොරව ක්‍රියාකරන මගේ රවුටරයේ ආවරණ ඉවත් කර බලන්න.
මෙන්න ආවරණ ඉවත්කළ රවුටරය.
හරි ෂෝක් නේ?. . . . .  මට පුදුම මේක මෙච්චර දවස් වැඩ කරපු එකටයි. තීන්ත ගාන අඟල් 2 බුරුසුවක් (අලුත්ම එකක්) මම තියාගෙන ඉන්නවා, අලුත්වැඩියා කිරීමට මගේ ලඟට අරන් එන, පරිගණක මව් පුවරු පිරිසිදු කරන්න. ඒ බුරුසුවෙන් හොඳට පිස දමලා, සර්ජිකල් ස්පිරිට් වලින් මේ මව් පුවරුව හේදුවා. ඉන්පසු පවනේ වේලුවා.
දැන් කොහොමද?
ඔබ මොකද හිතන්නේ ඔබේ රවුටරය ගැන? පරිගණක පද්ධතියේ මොනවා ගැලෙව්වත් රවුටරය ගලවා බලන අයනම් අඩුයි. මම වගේම. ඉතින් පුලුවන්නම් ඔබේ රවුටරයත් ගලවා බලන්න. වෙන මොකකටවත් නෙවෙයි. එහි කල් පැවැත්ම සඳහා. හැබැයි ගලවලා මොනවහරි වුනොත් මම නෑ ඔන්න. :D

17 May 2012

දියුණුව


 1970 – යුද හමුදාවේ සෑම ලිපිකරුවකුටම පාහේ ටයිප් රයිටරයක් සපයා තිබුණි. ඔවුහු දිනපතා වෙහෙසවී තම කාර්යාලයීය කටයුතුවල නියැලී සිටියහ. කලට වෙලාවට ලිපි කටයුතු නිම කළහ.
2010 – යුද හමුදාවේ සෑම ලිපිකරුවකුටම පාහේ අන්තර්ජාල පහසුකම් සහිත ඩෙස්ක්ටොප් පරිගණක සපයා ඇත. නමුත් කිසිදු ලිපි ලේඛනයක් හෝ වාර්තා සැකසීමේ කටයුතු කලට වෙලාවට සිදු නොවීම ගැන සියලු දෙනා පුදුම වෙති.
1970 – සම්පූර්ණ ස්වයංක්‍රීය අවි නැති නිසා, සෑම විටම හොඳින් සිතාබලා, ඉතා කල්පනාකාරීව ඉලක්කය ගෙන, සතුරාට වෙඩි තැබීමට පුහුණු කරනලද සොල්දාදුවෝ, අකුරටම තම රාජකාරිය ඉටු කරති.
2010 – සම්පූර්ණ ස්වයංක්‍රීය අවි වලින් සන්නද්ධවූ සෙබළු එක පඳුරකට පමණක්, විනාඩි දෙකක් තුල පතරොම් 500 ක් පමණ වෙඩි තබා. ‘හ්ම් . . . .මොකෙක්වත් නෑ. . . යමල්ලා, පතරොම් ඉවරයි. පතරොම් පුරවාගෙන එමු’ කියා ආපසු හැරෙති.
1970 – සෙබළුන්ගේ කෑම පෙට්ටි, ඇලුමිනියම් වලින් සැකසු ඒවා නිසා, එහි දමා ලැබෙන කෑම පහසුවෙන් රත් කරගෙන උණුවෙන් කෑමට හැකිවිය.
2010 – ලන්ච්ශීට් නමැති කොලවල ඔතා, ප්ලාස්ටික් පෙට්ටිවල දමා ලැබෙන කෑම, නිවී ඇති අතර, ප්ලාස්ටික් රසයෙන් යුක්තව ගිල දැමිය හැකිය.

15 May 2012

රිවෝල්වරය / පිස්තෝලය. මොකක්ද වෙනස? (දෙවැනි කොටස)


 රිවෝල්වරය සහ පිස්තෝලය අතර වෙනස ඔබ වෙත ගෙන එම සඳහා මා ඉදිරිපත් කරන ලිපි වලින්, දෙවැනි හෙවත් අවසාන කොටසයි මේ. මේ ලිපියේදී මා ඔබවෙත ගෙන එන්නේ, රිවෝල්වරය පිලිබඳ තොරතුරු ස්වල්පයක් සමග රිවෝල්වරය සහ පිස්තෝලය තාක්ෂණික වශයෙන් සංසන්දනය කිරීමක්. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මා සඳහන් කල ආකාරයර රිවෝල්වරයට වඩා අද ලෝකයේ ජනප්‍රියව පවතින්නේ පිස්තොලයයි. නමුත් රිවෝල්වරය සදාකාලයටම ඉවත දමියහැකි අවියක් නොවේ. පිස්තෝලයට වඩා රිවෝල්වරය ඉදිරියට පැමිණෙන අවස්ථා අදටත් තිබෙනවා. උදාහරණයක් වශයෙන් 2007 වසරේදී ලෝකයේ හොඳම අත් තුවක්කුව (handgun) ලෙස තේරී තිබෙන්නේ ලෝකප්‍රසිද්ධ ස්මිත් සහ වෙසන් (Smith & Wesson) සමාගමේ නිෂ්පාදිත .460 XVR Magnum නමැති රිවෝල්වරයයි. මෙය අඟල් 15 කට මඳක් වැඩි දිගකින් යුක්තයි. ආරක්ෂක අගුලක් නැහැ. එක වරකට දැමිය හැක්කේ පතරොම් 5 ක් පමණයි. නමුත් ඇත්ත වශයෙන්ම  මීටර් 50 – 75 තරම් දුරක සිට වෙඩි තැබුවොත් අලියකු මරන්නට පවා පුළුවන් අති ප්‍රබල ගිනි අවියක්. මෙන්න එහි පින්තූරයක්.
මීළඟට අපි ඉක්මනින් සලකා බලමු රිවෝල්වරයක මූලික, නැතහොත් ක්‍රියාකාරිත්වයේදී ප්‍රධාන, කොටස් මොනවාද කියා.
  දැන් ඔබට ගිනි අවි ගැන හොඳ දැනුමක් තිබෙන නිසා මේ රිවොල්වරයේ කොටස් හඳුනාගැනීම එතරම් අපහසු නොවන බව මා දන්නවා. මීට කලින් ඔබ දැක ඇති ගිනි අවි වලට වඩා වෙනස් කොටස් ලෙස මෙහිදී ඔබට හමුවන්නේ, සිලින්ඩර් එක, සිලින්ඩර් රිලීස් කැච් එක සහ ඉජෙක්ෂන් රොඩ් එක යන කොටස් පමණයි. මෙහි දැක්වෙන්නේ පැරණි මෝස්තරයේ ඉතා සරල රිවෝල්වරයක්. එහි මිට හෙවත් ග්රිප් එක ලීයෙන් නිමවා ඇති අතර අනෙක් සියලු කොටස් යකඩෙන් නිමවා තිබෙනවා. සිලින්ඩරය ගැන කෙටියෙන් කියනවානම් එය තම අක්ෂය වටා කරකැවෙන සිලින්ඩරාකාර කොටසක්. එය තුල විනිවිද යන කුහර සාදා තිබෙනවා. ඒ සෑම කුහරයක්ම චේම්බරයක් ලෙස ක්‍රියා කරනවා. සිලින්ඩරයේ පසුපසට හැමරයෙන් පහර වදින විට ෆයරින් පින් එක ඉදිරියට තල්ලුවී පතරොමේ ප්‍රයිමරයේ වදිනවා. එවිට පත්තුවෙන පතරොමේ උණ්ඩය බැරල් එක දිගේ පිටවෙනවා. සිලින්ඩරය කරකැවී ඊළඟ චෙම්බරය බැරල් එකට කෙලින් සිටිනසේ නවතිනවා. මෙලෙස පතරොම් අවසන් වනතුරු කොක් කිරීමකින් තොරව වෙඩි තබාගෙන යා හැකියි. පළමුවැනි පතරොම වෙඩි තැබීමට තමයි කොක් කිරීම හෙවත් හැමරය පසුපසට ඇදීම කලයුත්තේ.
හොඳයි දැන් අපි රිවෝල්වරය විවෘත කර එයට පතරොම් දමමු. දැන් ඔබ කලයුත්තේ දකුණු අතින් රිවොල්වරයේ ග්රිප් එක අල්ලාගෙන දකුණතේ මහපට ඇඟිල්ලෙන් සිලින්ඩර් රිලීස් කැච් එක ඉදිරියට තල්ලු කිරීමයි. එසේ කරමින් රිවෝල්වරය වම් පැත්තට ඇල කරන්න එවිට සිලින්ඩරය එලියට එනවා.
දැන් ඔබ කලයුත්තේ සිලින්ඩරයේ ඇති චෙම්බර් ගණන අනුව, එක චෙම්බරයකට එක පතරොම බැගින් ඇතුළු කිරීමයි. මෙහිදී මතක තබාගතයුතු කාරණය වන්නේ, පතරොම් දැමීමේදී සිලින්ඩරය පොළොවට සමාන්තරව හෝ රිවොල්වරයේ බැරලයේ අග කෙලවර පොලොව දෙසට පහත්ව තිබෙන ආකාරයට තබාගැනීමයි. උඩ අතට හැරුනොත් පතරොම් ආපසු බිම වැටෙනවා.
දැන් අපි රිවොල්වරයට පතරොම් පුරවා අවසන්. මීළඟට කලයුත්තේ රිවෝල්වරය කොක් කිරීමයි. පිස්තොලයකට වඩා රිවෝල්වරයක් කොක් කිරීම පහසුයි. හැබැයි මෙහිදීනම් ඔබ ඉතා දැඩි අවධානය යොමු කලයුතු කරුණක් තිබෙනවා. පිස්තෝලවල ආරක්ෂක අගුලක් හෙවත් සේෆ්ටි කැච් එකක් තිබුනත් රිවෝල්වර් වලින් 99% කම එවැන්නක් නැහැ. එබැවින් ඔබ රිවෝල්වරයක් කොක් කල යුත්තේ වෙඩි තැබීමට අවශ්‍යම මොහොතේදී පමණයි. නැතහොත් සිදුවන්නේ වැරදීමකින් හෝ ට්‍රිගරය මිරිකුණොත් ඔබ, ඔබටම හෝ ඔබ අසල සිටින්නේකුගේ මරණය සිදුකිරීම හෝ මරණීය තුවාල ඇති කිරීමයි. අපි බලමු රිවෝල්වරය කොක් කරන ආකාරය. එමෙන්ම කිසිදු ගිනි අවියක් කොක් කිරීමේදී ට්‍රිගරය මත ඇඟිල්ල නොතැබිය යුතුයි.
 කොක් කිරීමේදී හැමරය පසුපසට ගොස් ලොක් වෙන තුරුම එය පසුපසට නැවිය යුතුයි. අතරමගදී හැමරය අතහරුනොත් සිදුවන්නේ හැමරය ආපසු විත් ෆයරින් පින් එකේ වැදීමෙන් පළමුවැනි පතරොම පත්තුවීමයි. සමහරවිට බාගෙට කොක්වී හැමරය හිරවෙනවා. එවිට රිවෝල්වරය ක්‍රියාකරන්නේ නැහැ, නැවතත් හැමරය සම්පූර්ණයෙන් පසුපසට නවන තුරු.
ඊළඟට අප කලයුත්තේ වෙඩි තැබීම නොවැ. ඊට කලින් මේ සජීවීකරණයෙන් බලන්න, රිවෝල්වරයක ක්‍රියාකාරිත්වය. සජීවීකරණ පින්තූරය ලැබුණු පසු එය ක්‍රියා කරවීම සඳහා එම පින්තූරයේ ඇති රිවොල්වරයේ ට්‍රිගරය මත ක්ලික් කරන්න.
අත්දැකීම තහවුරු වනතුරු පතරොම් 15 ක් 20 ක් වෙඩි තබන්න වෙනවා. හොඳයි දැන් ඔබ මුලින්ම යෙදු පතරොම් 6 වෙඩි තබා අවසන්. අපි බලමු වෙඩි තැබූ පතරොම් හිස් කොපු රිවොල්වරයෙන් ඉවතට ගන්නේ කොහොමද කියා. මුලින්ම ඔබ කලයුත්තේ සිලින්ඩරය ඉවතට ගැනීමයි. ඉන්පසු කලයුතුදේ රූප සටහන බැලුවිට ඔබට වැටහෙනවා ඇති.
මා හිතනවා දැන් ඔබ පිස්තෝලය සහ රිවෝල්වරය යන ගිනි අවි දෙක අතර තිබෙන වෙනස හොඳින් වටහාගත්තා කියා. මීළඟට මා ඔබට ඉදිරිපත් කරන්නේ මේ අවි දෙක සංසන්දනය කර බැලීමක්.
මෙය අදටත් ඉතා විවාදාත්මක කාරණයක්. මේ සම්බන්ධව ඉතා දීර්ඝ කරුණු දැක්වීම් තිබුනත්, මා ඉදිරිපත් කරන්නේ වැදගත්ම කරුණු කීපයක් පමණයි.
white space
 පිස්තෝලය
 1. පිස්තෝලයක ඇති මැගසින් එකේ පතරොම් අවම වශයෙන් 8 ක් හෝ උපරිම වශයෙන් 20 ක් පමණ දැමිය හැකිය. නමුත් රිවෝල්වරයක ඇති සිලින්ඩරයක උපරිම වශයෙන් දැනට නිපදවා ඇත්තේ පතරොම් 8 ක් දැමිය හැකි මෝස්තරයකි. ඊට වඩා පතරොම් ගණන වැඩි කලොත් රිවෝල්වරය ඉතා විශාල වනු ඇත.
2. පිස්තෝලයක මැගසින් එක අවශ්‍යනම් ග්රිප් එකෙන් එලියටද සිටිනසේ සකසා පතරොම් විශාල ගණනක් දැමිය හැකි පරිදි සැකසිය හැකිය. නමුත් රිවොල්වරයේ එවැනි වෙනස්කම් කල නොහැකිය.
3. පිස්තෝලයක එක පතරොමක් පත්තුවූ වහාම ක්ෂණයකින් ඊළඟ පතරොම ස්වයන්ක්‍රීයව චෙම්බරය තුලට යයි. එහෙත් රිවෝල්වරයක එය සිදුවන්නේ වෙඩි තබන්නා විසින් ට්‍රිගරය මිරිකන වේගය අනුවය. පිස්තෝලයක මැගසින් එක අවසන්වූ වහාම මැගසින් කැච් එක මිරිකු විට, මැගසිනයේ  බර නිසා එය ඉබේම බිමට වැටෙයි. වෙඩි තබන්නාට වහාම අලුත් මැගසින් එකක් සවිකර දිගටම වෙඩි තැබීම කරගෙන යා හැකිය. එහෙත් රිවොල්වරයකට නැවත පතරොම් දැමීම වේලාව ගතවන ක්‍රියාවකි.
4. පිස්තෝලයක් සෑම විටම පාහේ රිවොල්වරයකට වඩා පැතලි වෙයි. මේ නිසා පිස්තෝලයක් පහසුවෙන් සඟවාගෙන යා හැකිය.
5. පිස්තෝලයක් රිවොල්වරයකට වඩා බරෙන් අඩුය. රිවෝල්වරයක මිට හැරුණු විට අනෙක් කොටස් සියල්ලම අනිවාර්යයෙන් ලෝහ වලින් සෑදිය යුතු නිසා එය බරෙන් වැඩිය. දැන් පිස්තෝලවල ස්ලයිඩ් එක පවා පොලිමර් වලින් නිපදවා ඇත.
6. සෑම පිස්තොලයකම ආරක්ෂක අගුලක් හෙවත් සේෆ්ටි කැච් එකක් ඇත. එහෙත් රිවොල්වර්වල එය නැත. මේ නිසා අත්වැරදීමකින් වෙඩි වැදීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. පිස්තෝලයක් වෙඩි තැබීමේදී හිරවීමක් සිදුවුනොත් ආරක්ෂක අගුල දමා ගැටලුව විසඳාගත හැකිය. රිවෝල්වර්  වෙඩි තබන අතර සිලින්ඩරය නිසි පරිදි නොකැරකීමෙන් චෙම්බරය තුල පතරොම පත්තුවුවද උණ්ඩය පිටනොවීමෙන් බරපතල ගැටළු මතුවිය හැකිය.
7. පිස්තෝලය බොහෝවිට රිවෝල්වරයක් තරම් විශාල වෙඩි හඬක් පිට නොකරයි. එමෙන්ම විශාල ගිනි එළියක් නිකුත් නොකරයි. සයිලන්සරයක් සවි කිරීමෙන් පිස්තෝලයක් ඉතාම නිහඬ තත්වයට ගත හැකිය. එහෙත් රිවොල්වරයකට සයිලන්සරයක් සවිකළ නොහැකිය. එබැවින් එය නිහඬ කල නොහැකිය. රිවෝල්වරයක සිලින්ඩරය සහ බැරලය අතර ඇති ඉතා කුඩා පරතරයෙන්ද, බටය අගින්ද වෙඩි තැබීමේදී ගිනි එලිය පිටවෙයි. එය වැළක්විය නොහැකිය.
8. පිස්තෝල පතරොම් සොයාගැනීම පහසුය. බොහොමයක් පිස්තෝල නිපදවන්නේ හමුදා කටයුතු සඳහා යොදාගන්නා කැලිබර වලට අනුකුලවය. එබැවින් ලොව ඕනෑම රටක පිස්තෝල පතරොම් සොයාගැනීම පහසුය. තවද පිස්තෝල වලින් බොහොමයක් සාපේක්ෂව බලන විට රිවෝල්වර් වලට වඩා බරෙන් අඩුය.
9. පිස්තෝලයක ට්‍රිගරය මිරිකීම රිවෝල්වරයක ට්‍රිගරය මිරිකීමට වඩා පහසුය. රිවෝල්වරයක ට්‍රිගරය මගින් විශාල යාන්ත්‍රණයක් මෙහෙයවන බැවින් (ඉහත සජීවීකරණය නැවත බලන්න) එය මිරිකීමට සෑහෙන ආයාසයක් යෙදිය යුතුය.
10. සාමාන්‍යයෙන් පිස්තෝලයක් අර්ධ ස්වයංක්‍රීය අවියක් වුවද, අවශ්‍යනම් එය පූර්ණ ස්වයංක්‍රීය අවියක් බවට පත්කළ හැකිය. (දැනටමත් එසේ කර ඇත) එහෙත් රිවෝල්වරයක් කිසිවිටකත් පූර්ණ ස්වයංක්‍රීය අවියක් බවට පත්කළ නොහැකිය. එයට හේතුව වන්නේ රිවෝල්වරය සකස්කර ඇති යාන්ත්‍රණයේ ස්වභාවයයි.
images
 රිවෝල්වරය
 1. රිවොල්වරයට ආරක්ෂක අගුලක් නැති නිසා එය පතරොම් දැමු මොහොතේ සිට ක්ෂණිකවම වෙඩි තැබීමට සූදානම්ය. එහෙත් පිස්තෝලයක ආරක්ෂක අගුල ඇරිය යුතු අතර ඉන්පසු ස්ලයිඩ් එක ඇද කොක් කල යුතුය.
2. රිවෝල්වරයක් නඩත්තු කිරීම ඉතා පහසුය. එයට හේතුව වන්නේ පිස්තෝලයක තරම් සංකීර්ණ කොටස් රාශියක් රිවෝල්වරයක නොතිබීමයි. යුද බිමේදී හෝ අඳුරු ස්ථානයකදී, ගලවා සවි කිරීමේදී, කොටස් නැතිවීමේ අවදානමක් නැති අතර පිස්තෝලවල තරම් වෙඩි තැබීමේදී හිරවීම් රිවෝල්වර් වල නැත.
3. පිස්තෝලයකින් වෙඩි තැබීමේදී පතරොමක් පත්තු නොවුනොත් ක්‍රියාකාරිත්වය නවතියි. එවිට ස්ලයිඩ් එක පසුපසට ඇද පත්තු නොවී හිරවූ පතරොම ඉවත් කල යුතුයි. රිවොල්වරයකදී ට්‍රිගරය මිරිකන සෑම වාරයකදීම සිලින්ඩරය කරකැවෙන නිසා එක චෙම්බරයක ඇති පතරොමක් පත්තු නොවුනද ට්‍රිගරය මිරිකු වහාම ඊළඟ පතරොම පත්තු වෙයි.
4. රිවෝල්වර වල ඇති ශක්තිමත් නිමැවුම (මිට හැර අනෙක් සියල්ල සම්පූර්ණ ලෝහ) නිසා අධිබල පතරොම් යෙදිය හැකිය. අත් තුවක්කු (handgun) සඳහා ලෝකයේ නිපදවන අධිබල පතරොම් වලින් බහුතරය සැලසුම් කර තිබෙන්නේ රිවෝල්වර් සඳහාය. එබැවින් පිස්තෝලයකින් වෙඩි තබා විනාශ කල නොහැකි ඉලක්ක රිවෝල්වරයකින් වෙඩි තබා විනාශ කලහැකිය.
5. රිවෝල්වරයකින් වෙඩි තැබූ පසු හිස් පතරොම් සියල්ල රිවොල්වරයේම රැඳී තිබෙන නිසා එකවරම් ඒ සියල්ල එකතු කරගෙන, වෙඩි තැබූ බවට ලකුණක් නොතබා ඉවත්ව යා හැකිය. නමුත් පිස්තෝලයකින් වෙඩි තබනවිට, හිස් පතරොම් කොපු අවට විසිරෙන බැවින් ඒවා වෙනමම එකතු කරගත යුතුය.
6. රිවෝල්වරයකින් කිසිදු අපහසුවකින් තොරව පුහු පතරොම් යොදා වෙඩි තැබිය හැකිය. එහෙත් පිස්තොලයකට පුහු පතරොමක් යෙදුවොත්, ඒ පතරොම පත්තු වූ පසුව ඊළඟ පතරොම ස්වයන්ක්‍රීයව චෙම්බරයට එන්නේ නැත. එසේ කරගැනීමට අවශ්‍යනම්, ඒ සඳහා පිස්තෝලයේ යම් යම් වෙනස්කම් කිරීමට සිදුවේ. එවැනි වෙනස්කම් කිරීමෙන් පසු, නැවත සාමාන්‍ය පතරොම් දමා වෙඩි තැබීමේදී ප්‍රශ්න මතුවිය හැකිය.
7. පිස්තෝල සැලසුම් කර තිබෙන්නේ එක පතරොම් වර්ගයක් පමණක් යෙදීමට හැකි අයුරිනි. (එය නැවත වෙනස් කල නොහැකිය) නමුත් රිවෝල්වරයක චේම්බරයේ සම්පූර්ණ දිගට සමාන දිගින් යුතු පතරොම් වුවද කිසිදු අපහසුවකින් තොරව පාවිච්චි කලහැකිය. මේ නිසා තරග වෙඩි තැබීම් සඳහා යොදාගන්නා දිගින් හා බලයෙන් අඩු පතරොම් වර්ග වල සිට අධිබල පතරොම් වර්ග දක්වා විවිධාකාරයේ පතරොම් එකම රිවොල්වරකට එකම අවස්ථාවේදී යෙදවිය හැකිය.
8. පිස්තෝලයක ඉලක්කය ගන්නා සයිට්ස් ඇත්තේ එහි ස්ලයිඩ් එක මත ය. එබැවින් වෙනස්වීම් වලට භාජනය වීමෙන් ඉලක්කය වැරදීමට ඉඩ ඇත. නමුත් රිවෝල්වරයක සයිට්ස් නොසෙල්වෙන ස්ථිර බැරලයක් මත තිබෙන බැවින් නිරවද්‍යතාවය අතින් ඉහලය. තවද බොහොමයක් රිවෝල්වර බැරල් පිස්තෝල බැරල් වලට වඩා දිගින් වැඩි නිසා වෙඩි තැබීමේ දුර සහ නිරවද්‍යතාව අතින් ඉහලය.
9. රිවෝල්වරයක් පතරොම් යොදා ඇතිවිට, එහි සිලින්ඩරයේ පසුපසින් බැලුවිට, පතරොම් වල රින්ග්ස් දැකිය හැකි බැවින්, පතරොම් සහිත බව නිශ්චය කරගත හැකිය. නමුත් පිස්තෝලයක පතරොම් දමා ඇතිද යන්න තහවුරු කරගනීමටනම්, පළමුව මැගසිනය ගලවා, ඉන්පසු ස්ලයිඩ් එක පසුපසට ඇද, චෙම්බරය පරීක්ෂා කිරීමට සිදුවේ.
10. රිවෝල්වරයක යාන්ත්‍රික කොටස් අඩු නිසා ගැලවීම පිරිසිදු කිරීම ආපසු සවි කිරීම පහසුය. නමුත් පිස්තෝලයක කොටස් ගණනාවක් ගැලවීමට සිදුවෙයි. හදිසියකදී ගලවා සවිකිරීම අපහසුය.
 ඉතින් දැන් ඔබ කැමති පිස්තෝලයටද රිවොල්වරයටද? ඔබම තීරණය කරන්න. ඒ වගේම මේ ගැනත් හිතන්න.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }