හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 April 2012

මොකක්ද මේ වායු රයිෆලය කියන්නේ


පසුගිය දිනවල මා පලකල ලිපි අතර තරමක් පාඨක අවධානය ලිපියක් වූ අපේ කාලයේ තුවක්කු   ලිපියේදී වායු රයිෆල් (Air Gun/Air Rifle) පිළිබඳව ‘හරීගේ’ සහ ‘උදාර’ ගේ අවධානය යොමුවී තිබුනා. ඉතින් මට හිතුනා වායු රයිෆල් පිළිබඳව ටිකක් කතා කරන්න. මොකදසෙන්නාත් මේවට කැමතියි. ඔන්න එහෙනම් කතන්දරේ පටන්ගන්නයි යන්නේ. මේ දිනවල වායු රයිෆල් පිළිබඳව අපේ රටේ විශාල අවධානයක් යොමුවී තිබෙනවා. එයට හේතුව තමයි බලපත්‍රයකින් තොරව වායු රයිෆලයක් පාවිච්චි කිරීමේ අවස්ථාව දැන් ශ්‍රීලාංකිකයන්ට ලැබී තිබීම. විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කර තිබෙන්නේ ගොවි ජනතාව සහ තම ගෙවතුවල වගා කර තිබෙන බවබෝග වල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන අයයි. රිලවුන්, දඬු ලේනුන්, හාවුන්, විවිධ පක්ෂීන්, මේ වගාවන්ට කරන හානිය අපමණයි. හැබැයි මේ හැම සතෙකුවම වායු රයිෆලයෙන් වෙඩි තබා (එය වෙඩි තැබීමක්ද නැද්ද යන්න පසුව ඔබට වැටහෙයි) මරන්නට බැහැ. ඒ ඇයිද කියන එකත් ලිපිය කියවූ විට ඔබට අවබෝධ වනු ඇති. මා හිතනවා මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ වායු රයිෆලයක් යනු කුමක්ද කියන කාරණයයි. මේ සඳහා වායු රයිෆලය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන නිර්වචනයේ සිංහල පරිවර්තනයකුයි මගේ දැනීමේ ප්‍රමාණයෙන් මා ඔබවෙත ගෙන එන්නේ.
‘සම්පීඩිත වායුව මගින් හෝ වෙනත් විශේෂ සම්පීඩිත වායුවක අධාරයෙන්, යම් ප්‍රක්ෂිප්තයක් මුදා හරින තුවක්කුව හෝ රයිෆලය, වායු තුවක්කුව (රයිෆලය) නම් වේ’.
මේ තමයි ඒ පිලිබඳ තාක්ෂණික නිර්වචනය. නමුත් නෛතික කටයුතු වලදී මේ නිර්වචනය මීට වඩා වෙනස්විය හැකියි. එමෙන්ම සමහර රටවල් අදටත් වායු රයිෆලය ‘ගිනි අවියක්’ ලෙස සලකනවා. නමුත් වායු රයිෆලයේ, කිසිදු ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි කිරීමක් හෝ ගිනි බලය උපදවන පතරොමක් පාවිච්චි කරන්නේ නැහැ.
මීළඟට අපි වායු රයිෆලයේ ඉතිහාසය සොයා යමු. මෙහිදී අප විශ්මයට පත්කරන තොරතුරු හමු වෙනවා. අප සිතනවාට වඩා ඈත අතීතයේදී, මිනිසා, සම්පීඩිත වායු ගුණ (Pneumatics) දැන සිටි බව තහවුරු වන කරුණු අනාවරණයවී තිබෙනවා.ස්වීඩනයේස්ටොක්හෝම් නුවර පිහිටි කෞතුකාගාරයක, ක්‍රි.ව. 1580 දී නිපදවූ කිසියම් ආකාරයක වායු තුවක්කුවක් තැන්පත්කර තිබෙනවා. වායු රයිෆලය තරමක් දුරට භාවිතය සඳහා යොදාගෙන තිබෙන්නේ 17 වැනි සියවසේදියි. ඒ කාලයේදී භාවිත කල වායු රයිෆල් සඳහා විශාල ටැංකියකට වායුව පොම්ප කර, එම ටැංකියේ වායු පීඩනය වැඩි කර ගැනීමෙන් තුවක්කුව සඳහා අවශ්‍ය වායු පීඩනය ලබා ගැනුනා.  මේ යුගයේදී නිපදවුණ සමහර වායු තුවක්කු විශාලත්වයෙන් හා බරෙන් වැඩිවූ අතර එහා මෙහා ගෙනයාමද පහසු නොවුයේ වායු ටැංකිද ගෙනයාමට සිදුවූ බැවින්. නමුත් එකල වායු තුවක්කු වලින් අගනා සේවයක් ඉටුවී තිබෙනවා. ඒ කාලයේ යුද කටයුතු සඳහා යොදා ගැනුනේ ‘මස්ල් ලෝඩර්ස්’ හෙවත් තුවක්කු කටෙන් වෙඩි බෙහෙත් පුරවා වෙඩි තබන තුවක්කුයි. ඔබට මතකද මා ඒ තුවක්කුගැන කිව්වා, අපේ කාලයේ තුවක්කු 2 වැනි කොටසේදී.    මස්ල් ලෝඩර්ස් තුවක්කු වැසි සහිත හෝ අධික තෙතමනය සහිත අවස්ථා වලදී පාවිච්චි කල නොහැකියි. එයට හේතුව වැස්සට තෙමුනොත් හෝ තෙතමනයට අසුවුනහොත් වෙඩි බෙහෙත් පත්තු නොවීමයි. එමෙන්ම මස්ල් ලෝඩර් තුවක්කුවෙන් වෙඩි තැබීමේදී, විශාල ගිනි එළියක් සහ දුමක් තුවක්කු කටෙන් පිටවන නිසා, සතුරාගේ නිරීක්ෂනයට පහසුවෙන්ම ලක් වෙනවා. නමුත් වායු තුවක්කුවේ ඒ එකම දුර්වලකමක් වත් නැහැ. ඕනෑම වැස්සක තෙතමනයක එය පාවිච්චි කලහැකියි. සතුරාට පෙනෙන ගිනි එළියක්, දුමක්, මෙන්ම කිසිදු හඬක්ද වායු තුවක්කුවෙන් ඇතිවන්නේ නැහැ. සමහර තුවක්කු තත්පරයකට මීටර් 200 – 300 පමණ ප්‍රවේගයකින් වෙඩි තැබීමට (මෙහිදී සිදුවන්නේ ඊයම් වැනි ලෝහ පෙලට් එකක් තුවක්කුවෙන් පිටවීමයි. එය සාමාන්‍ය තුවක්කුවකින් පිටවන ඊයම් මූනිස්සමක් මෙන් උණුවූ ස්වභාවයෙන් නොවෙයි පිටවන්නේ. මේ නිසා එය වෙඩි තැබීමක් නොව මුදා හැරීමක්.) හැකිවන පරිදි සකසා තිබුනා. එයින් සුප්‍රසිද්ධම තුවක්කුවක් වන්නේGirandoni Military Repeating Air Rifle යනුවෙන් හඳුන්වන ලද තුවක්කුවයි.
කෙසේ වෙතත් සාමාන්‍ය තුවක්කු සහ රයිෆල් වැඩි දියුණු වූ වේගයෙන්ම වායු රයිෆල් වැඩි දියුණු වුනේ නැහැ. වායු රයිෆලයේ තාක්ෂණය සංකීර්ණ වීම සහ ප්‍රායෝගික අපහසුතා මෙන්ම වායු ටැංකි පුපුරායාම වැනි අනතුරු නිසා එය යුද කටයුතුවලින් ඈත්ව, ගෙවතු ආරක්ෂාව, ඉලක්කයට වෙඩි තැබීමේ තරග, යන ක්ෂේත්‍ර වලට අද සීමාවී තිබෙනවා. අද ඔලිම්පික් තරගවලදී පවා වායු රයිෆල් වෙඩි තැබීමේ තරග පැවැත්වෙනවා. ඒ සඳහා ඉතා සියුම් සහ අතිනවීන තාක්ෂණයෙන් යුත් වායු රයිෆල් තිබෙනවා. නමුත් ඒ පිලිබඳ විශේෂඥ පුහුණුවක් නැති කෙනෙක් ඒ රයිෆලයක් හෝ පිස්තෝලයක් ක්‍රියා කරවුවොත් එය ඉක්මනින්ම කැඩෙනවා. එවැනි රයිෆල් සහ පිස්තෝල එකක් රුපියල් ලක්ෂ කීපයක් වටිනවා. අපේ රටේදී ඒවා අලුත්වැඩියා කල නොහැකියි. එය නිපදවූ රටටම යැවිය යුතුයි, අලුත්වැඩියාව සඳහා. සාමාන්‍යයෙන් ජනප්‍රිය මෝස්‌තර නිපදවන්නේ ස්වීඩනයේ. මේ තිබෙන්නේ එවැනි මිල අධික, එමෙන්ම තරග සඳහා පමණක් භාවිත කරන වායු රයිෆලයක් සහ පිස්තෝලයක්. මේවා ලංකාවේ ආරක්ෂක හමුදාවල වෙඩි තැබීමේ තරග සහ බලයලත් රයිෆල් සමාජවල තරග කටයුතු සඳහා පාවිච්චි කරනවා. විදේශීය තරග වලටද නියෝජනයක් තිබෙනවා.
 වායු තුවක්කු වර්ගීකරනයේදී ප්‍රධාන වර්ග තුනක් සහ එයින් බෙදීයන උප වර්ග කීපයක් තිබෙනවා.
1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය
2. Pneumatic Type – නියුමැටික් වර්ගය
3. CO 2 Type – කාබන් ඩයොක්සයිඩ්  වර්ගය
අප, මේ මූලික වර්ග තුන මුලින්ම අධ්‍යයනය කර, ඉන්පසු උප වර්ග වලට යාම සුදුසු බවයි  මම හිතන්නේ.
1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය:- වඩාත් බහුලවම පාවිච්චි කරන, එමෙන්ම ජනප්‍රිය, ක්‍රියාකාරීත්වයෙන් සරල, වර්ගය මෙයයි. ශ්‍රී ලංකාවේ දැනට ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට ලැබෙන්නේද මේ වර්ගය පමණයි. මෙන්න එහි පෙනුම.
මේ මෝස්තරය සාමාන්‍ය ව්‍යවහාරයේදී Barrel Break Model ‘බැරල් බ්රේක්’ මෝස්තරය කියා හඳුන්වනවා. එයට හේතුව වන්නේ මේ තුවක්කුවට පෙලට් එකක් ඇතුළු කිරීම සඳහා බැරලය තුවක්කුවට සවි වන තැනින් දෙකට නැවීමට (එවිට බැරලය කැඩුවා මෙන් පෙනෙයි) සිදුවන නිසයි. එසේ බැරලය නවා තිබෙන හැටි මේ පින්තූරයෙන් පෙනෙනවා.
බැරලය නැවීම ඔබ හිතන තරම් පහසු නැහැ. ඒ සඳහා සෑහෙන බලයක් යෙදවිය යුතුයි. තුවක්කුව වඩාත් දුරට වෙඩි තියන එකක්නම් බැරලය නැවීමට වඩාත් ශක්තියක්  යෙදවිය යුතුයි. දැන් අපි බලමු බැරලය නැව්වාම කොහොමද පෙනෙන්නේ කියලා. ඉහත දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ බැරලය නවීමෙන් පසු පෙලට් එක දමන ස්ථානයයි. ඔබට පෙනෙනවා නේද බැරලය නැවීමෙන් පසු දිස්වන අකාරය. බැරලය නැවීම සඳහා තුවක්කුව අල්ලගතයුතු ක්‍රමයක් තිබෙනවා. අපට හිතෙන හිතෙන ආකාරයට එය කරන්නට බැහැ. නිවැරදි ක්‍රමය භාවිත නොකලොත් ඔබට අනවශ්‍ය වෙහෙසක් දැරීමට සිදුවන අතර තුවක්කුවට හානි වීමටද ඉඩ තිබෙනවා. මේ පින්තූරයෙන් පෙන්වන්නේ තුවක්කුව නැවීම සඳහා අල්ලාගන්නා නිවරැදික්‍රමයයි. තුවක්කු බැරලය නැවීමෙන් පසු වරකට එක පෙලට් එකක් පමණයි ඇතුළු කල හැක්කේ. සෑම පෙලට් එකක්ම වෙඩි තැබීමෙන් පසු බැරලය නවා අලුත් පෙලට් එකක් යෙදිය යුතුයි. මෙසේ සලකා බලන විට සාමාන්‍ය තුවක්කුවකට වඩා මේ තුවක්කුවක වෙඩි තැබීමේ වේගය ඉතා අඩු බව විශේෂයෙන් සඳහන් කලයුතුයි. ඒ වගේම මතක තබාගත යුතු දෙයක් තමයි, තුවක්කුවේ ප්‍රබල බව (වෙඩි තැබීමේ දුර) වැඩි වන, විට ස්ප්‍රින් එකේ තද බවද වැඩි වෙනවා. එයට හේතුව වැඩි වායු පීඩනයක් ලබාගැනීම සඳහා වඩාත් තද ස්ප්‍රින් එකක් යෙදීමයි.
මේ සමග ඇති පින්තූර දෙකෙන් පෙන්වන්නේ ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක ඇති ස්ප්‍රින් එක සහ පිස්ටන් එකයි. මේ පිස්ටන් එකෙන් තමයි පෙලට් එක විදීම සඳහා අවශ්‍ය වායු පීඩනය සකස්කර දෙන්නේ. ස්ප්‍රින් එක කරන්නේ එක වරම පිස්ටනය ඉදිරියට තෙරපීමයි. එය සිදුවන්නේ මෙහෙමයි. බැරලය නැවූ විට ස්ප්‍රින් එක ඇදී නවතිනවා. ට්‍රිගරය මිරිකූ විට ස්ප්‍රින් එක නිදහස් වෙනවා. එවිට ස්ප්‍රින් එකෙන් පිස්ටනය තෙරපා වායු පීඩනය සකස් කර දෙනවා.
කිසිදු වායු රයිෆලයකින් වෙඩි තැබීමේදී සාමාන්‍ය රයිෆලයකින් හෝ තුවක්කුවකින් වෙඩි තැබීමේදී නිකුත්වන පුපුරන හඬක් එන්නේ නැහැ. එයට හේතුව වන්නේ වායු රයිෆලයක හෝ පිස්තෝලයක කිසිම ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි නොකිරීමයි. වායු තුවක්කුවකින් ‘පොප්’ හෝ ‘ටස්’ වැනි හඬක් තමයි නිකුත් වෙන්නේ. බැරලයේ අග කන ළඟ තබා වෙඩි තැබුවත් එතරම් අපහසුවක් නැහැ. ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගයේ තුවක්කුවකට පෙලට් එකක් දමන ආකාරය මීළඟ පින්තූරයෙන් පෙනෙනවා.ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක් කැඩුනත් අලුත්වැඩියා කරගැනීම එතරම් අපහසු නැහැ. ඒ සඳහා සුදුසු ආයතන ලංකාවේ තිබෙනවා. ඒ වගේම ස්ප්‍රින් පිස්ටන් තුවක්කුවක් නිවැරදිව පාවිච්චි කරන්නේනම් කිසිදු ආබාධයකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කල හැකියි.
මීළඟට මා ඔබේ අවධානය යොමුකරවන්නේ නියුමැටික් වායු තුවක්කුවටයි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ තුවක්කුවට සවිකළ වායු සිලින්ඩරයක් තුල වායු පීඩනය ඇතිකර ගැනීමෙන් වෙඩි තැබීමට අවශ්‍ය බලය ලබා ගැනීමයි. මෙහි දක්වා ඇති පින්තූරය ඔබට සංකීර්ණ නොවනු ඇතැයි සිතනවා. සියලු මූලික කොටස් පෙන්වා තිබෙනවා. දැන් ඔබ මගේ මීට පෙර ලිපි ගණනාවක් කියවා, තුවක්කු පිලිබඳ දැනුමක් ලබා සිටින නිසා, විශේෂයෙන් පෙන්වියයුතු කොටස් හැර, මීට පෙර කියාදී ඇති කොටස්, නැවත නැවතත් සඳහන් කරන්නේ නැහැ.
තුවක්කුවට අවශ්‍ය වායු පීඩනය ලබාගන්නේ බයිසිකල් පොම්පයක් මෙන් වායු ටැංකියට හුළං ගැසීමෙන්. එහිදී බයිසිකල් ටියුබ් එකේ ඇති වැල්ව් එක හා සමාන වෑල්ව් එකකින් සුළඟ ආපසු එන්නට නොදී හිර කර ගන්නවා. ට්‍රිගරය මිරිකන විට සුළං පීඩනයෙන් කොටසක් මුදා හරිනවා. පෙලට් කීපයක් එකවර දමාගතහැකි නිසා ටැංකියේ සුළං ඉවර වෙනතුරු වෙඩි තැබිය හැකියි. මේ ක්‍රමයේ තුවක්කු බොහෝදුරට පාවිච්චි කරන්නේ තරග වෙඩි තැබීම් සඳහායි.
  මම මුලින්ම ඔබට පෙන්වන්නේ නියුමැටික් රයිෆලයකට අතින් සුළං පොම්ප කරන ආකාරයයි. මෙහිදී රයිෆලයේම සවිකර ඇති ලීවරයක් ක්‍රියාකරවීම මගින් පොම්පය පුරවනවා. මේ ක්‍රමයේදී ගබඩාකර තබාගත හැකි සුළං ප්‍රමාණය සීමිතයි. ඒ නිසා වෙඩි තැබීම් තුන හතරකට වරක් නැවත වායුව පොම්ප කලයුතු වෙනවා. ඊළඟ පොම්ප කිරීමේ ක්‍රමය වන්නේ ඔබ හොඳට දන්නා පාගන බයිසිකල් පොම්පයකින් හෝ කකුලට පාගාගෙන ඉහල පහල යන ලීවරයෙන් සුළං ගසන පොම්පයයි. නමුත් මෙහිදී සුළං පීඩන මීටරයක් පාවිච්චි කලයුතුයි. සමහර රයිෆල් වල එය පොම්පයේ සවි කර තිබෙනවා. සමහර පොම්පවල සුළං පීඩන මීටරයක් තිබෙනවා. තුවක්කුවේ පොම්පයට හානි නොවන ලෙස සුළං පොම්ප කලයුතුයි.
මෙහි ඇති වෙනත් මෝස්තර ගැන පහත සඳහන් කරනවා. නමුත් ඒ සියල්ල ක්‍රියා කරන්නේ එකම න්‍යාය අනුවයි. සුළං පොම්ප කිරීමේ යාන්ත්‍රනය හෝ තුවක්කුවේ හැඩය වෙනස්වූවාට මූලික න්‍යාය වෙනස්වන්නේ නැහැ. සමහරවිට වාණිජ පරමාර්ථ මත ප්‍රචාරණයෙන් විවිධ අදහස් ඉදිරිපත් කලහැකියි.
මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් ක්‍රියාකරන වායු රයිෆලයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, තුවක්කුවට සවිකලහැකි, කාබන් ඩයොක්සයිඩ් වායුව පිරවූ, සිලින්ඩරයක් (කැනිස්ටරයක්) මගින් වෙඩි තැබීමට අවශ්‍ය වායු පීඩනය ලබා ගැනීමයි. මෙම වායු සිලින්ඩර අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා සෑම විටම සෙල්සියස් අංශක 49 ට අඩු උෂ්ණත්වයේ තබාගත යුතුයි. නැත්නම් ඒ සිලින්ඩර පුපුරනවා.
මේ තුවක්කු වර්ගය හේතු දෙකක් නිසා නියුමැටික් තුවක්කුවට වඩා වාසි දායකයි. 1. මෙය සරල ක්‍රමයක්. ඉතා සුළු දියර ප්‍රමාණයකින් විශාල වායු ප්‍රමාණයක් ලබාගත හැකියි. 2. වායු පීඩන මීටර් මගින් පීඩනය පරීක්ෂා කිරීමක් අවශ්‍යවන්නේ නැහැ. නියමිත් උෂ්ණත්ව පරාසය තුල තබාගන්නේනම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ තුවක්කුවේ ඇති වායු ටැංකිය පිරවිය හැකි ක්‍රම කීපයක් තිබෙනවා. දියේ කිමිදෙන විට හුස්ම ගැනීම සඳහා ගෙනයන වායු ටැංකියකින් මේ සිලින්ඩරය පුරවාගත හැකියි, තුවක්කුවට සවිකරන වර්ගයේ කලින් පිරවූ ටැංකියක් අපි ගෙදර ගෑස් ලිපේ සිලින්ඩරය මාරු කරනවා මෙන් මාරු කල හැකියි. තුවක්කුවෙන් වෙන් නොකළ හැකි ලෙස සකසා ඇති ටැංකි වලට බටයක් සවිකර ගෑස් ටැංකියකින් පුරවාගත හැකියි. මේ තුවක්කු වල නිෂ්පාදන වියදම, නියුමැටික් තුවක්කුවට සාපේක්ෂව අඩුයි, කාර්යක්ෂමතාව වැඩියි, තුවක්කුව එතරම් විශාල නැහැ. මේ නිසා වෙඩි තැබීමේ තරග වලදී බහුලව භාවිත කරනවා.
තුවක්කුවට අවශ්‍ය වායු ප්‍රමාණය ලබාගන්නේ වායු කැනිස්ටරය සහ තුවක්කුව අතර පීඩන පාලන වෑල්වයක් යෙදීමෙනුයි. තුවක්කුවේ ක්‍රියාකාරිත්වය මත එය ඇරීම වැසීම සිදුවෙනවා.
  කුඩා වායු කැනිස්ටර සහිත වායු පිස්තොලද නිපදවා තිබෙනවා. මේ තාක්ෂණය තවමත් දියුණු වෙමින් පවතින්නක්. ඒ නිසා අනාගතයේදී වඩාත් ජනප්‍රිය වීමේ ප්‍රවනතාව තිබෙන්නේ මේ වර්ගයේ තුවක්කු වලටයයි බොහෝ දුරට සිතිය හැකියි.
නියුමැටික් සහ කාබන් ඩයොක්සයිඩ් යන වර්ග දෙකේම තුවක්කුවල වරකට පෙලට් කීපයක් දියහැකි චේම්බර සකස්කර තිබෙනවා. ඒ නිසා කාලය ඉතිරි කරගනිමින් වෙඩි තැබීමට හැකි වෙනවා.
මීළඟට මා ඔබට පෙන්වන්නේ වායු තුවක්කුවල උප විශේෂයන්හි ඇති වෙනස්කම් කීපයක්.
මේ පිස්ටනය වායු පීඩනය වඩාත් හොඳින් පාලනය කිරීමට සමත්. ඉතා මෑතකදී නියුමැටික් තුවක්කු සඳහා නයිට්‍රජන් වායුව පිටවූ පිස්ටන් හඳුන්වාදී තිබෙනවා.
පර්යේෂණ මට්ටමේ පවතින තවත් වායු තුවක්කු වර්ග ඇතත්, මා මෙහිදී ඒ පිලිබඳ විස්තර නොකියන්නේ ලිපිය සංකීර්ණ වීමට ඉඩ ඇති බැවින්. මම දන්නවා දැන් ඔබ බලා ඉන්නේ මේ තුවක්කු වලට දමන පතරොම් ලැබෙනතුරු නේද? ඇත්තටම ඒවා පතරොම් නොවන බව මා මුලින්ම කිව්වා මතක ඇති. ඒවාට කියන්නේ ‘පෙලට්’ කියලයි අපි දැන් පෙලට් ගැන කරුණු දැනගනිමු.ලෝකය පුරා භාවිත කරන විවිධ වර්ගවල වායු තුවක්කු සඳහා එවැනිම විවිධාකාර පෙලට් වර්ග නිපදවනවා. සාමාන්‍යයෙන් පෙලට් නිපදවන්නේ ඊයම් වලින්. එහෙත් සමහර වායු තුවක්කු වල පෙලට් ඇතුළුකර නිසි පරිදි රඳවා තබාගැනීමට ඒවා කාන්දම් බලයෙන් රඳවා ගැනීමේ උපක්‍රමයක් තිබෙනවා. ඒ නිසා සමහර පෙලට් කාන්දම් බලයට හසුවන මිශ්‍ර ලෝහ වලින් සාදා තිබෙනවා.
හැඩය, බර, යොදාගන්නා කාර්යය, අනුව පෙලට් වර්ග කරනවා. එවැනි වර්ගකිරීම් මීළඟට දක්වනවා.
මේ පින්තූර වලින් ඔබට පෙලට් ගැන සතුටුදායක අවබෝධයක් ලැබෙන්නට ඇති සිතනවා. ‘විවිධ පෙලට් වර්ග’ යනුවෙන් ඇති රූපයේ ‘බීබී’ යනුවෙන් රවුම් හැඩයෙන් දක්වා ඇත්තේ මා කලින් සඳහන් කල මිශ්‍ර ලෝහ පෙලට්.
වායු රයිෆල් යන්න අපේ රටේ විනෝදාංශයක් ලෙස අනාගතයේදී වර්ධනය වනු ඇති බව සිතිය හැකියි. එහෙත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. වායු රයිෆල් වෙඩි තැබීම කරන්නේ ක්‍රීඩාවක් පිණිස බවත්, එය යුද පුහුණුවක් නොවන බවත් අවධාරණය කරන්නට කැමතියි.

29 April 2012

සංගීත සංදර්ශනයක් ඇසුවෙමි (නව පිටපත)


 මේ ලිපිය බැලීමට නොහැකි බව කීප දෙනෙක් දන්වා තිබුනා. ඒ නිසා නැවත පරීක්ෂා කළා. මටත් සංස්කරණ අවස්ථාවෙන් පිට සිට ඇතුළුවිය නොහැකි බව දැනුනේ එසේ පරීක්ෂා කිරීමේදීයි. මේ සංස්කරණයෙන් පසු, ඇතුළුවිය හැකිද යන්න බලනමෙන් සියලුදෙනාගෙන් කාරුණිකව ඉල්ලනවා.මෙන්න නැවතත් මුල සිට ඒ ලිපිය.
ඊයේ පෙරේදා දවසක අපේ ගම් පළාතේ සංගීත සංදර්ශනයක් පැවැත්වෙන බව දැනගත්තේ, ඒ සංදර්ශනය පැවැත්වෙන පිටිය ටකරම් වලින් වටකොට තිබෙනු දැකීමෙනි. මා එළිමහන් සංගීත සංදර්ශන බැලීම නැවත්වුයේ 1980 දශකයේ මුල් භාගයේදීයි. එයට හේතු දෙකක් තිබුණි.
  • 1. ආරක්ෂක හමුදා නිලධාරියකු වශයෙන් තරමක් දුරට මහජනයා රැස්වන තැන් මග හැර සිටීම වඩාත් සුදුසු බව මට හැඟී ගියනිසා.
  • 2. ඒ අවධිය වනවිට එවැනි ප්‍රසංග වල ඉදිරිපත් කෙරුණ ගායනා වලින් සමහරක් කෙසේවත් අසාසිටිය නොහැකි නිසා.
  ඉන්පසු කාලයේදී යුද හමුදාව විසින් සංවිධානය කල එළිමහන් ප්‍රසංග වලට රාජකාරි මට්ටමෙන් සහභාගිවීම හැර වෙනත් පොදු ප්‍රසංග කිසිවකට සහභාගිවී නැත්තෙමි. දැන් මා තරමක් විවේකී ජීවිතයක් ගත කරන නිසාත්, එදින මේ සංගීත සංදර්ශනය පැවැත්වෙන්නේ ඇසෙනතෙක් මානයේ නිසාත්, සංදර්ශනය අසා සිටීමට තීරණය කලෙමි.
  රාත්‍රී 8.00 ට පමණ මා සී.එන්.එන්. ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹමින් සිටියදී, පළාත දෙදරුම් කවමින් රතිඤ්ඤා හඬක් නැගුණි. නිවසින් එලියට පැමිණ බලන විට, ඒ අර සංගීත සංදර්ශන භූමිය දෙසිනි. ඒ සමගම ගුවනට එල්ල කෙරුණ මල් වෙඩි කීපයකි. මහා සංගීත සංදර්ශනයක් වගෙයි. මට සිතුනි. මම රූපවාහිනිය නිවා ඉස්තෝප්පුවේ පුටුවකට බර වූයේ සංගීත සංදර්ශනය ඇසීමටය. එහෙත්, ශබ්ද විකාශනයෙන් එන හඬනම් එතරම් සුබදායක නොවන බව පෙනෙයි. නිවේදකයකු හෝ වෙනත් මහා බලවත් පුද්ගලයකු ගෝරනාඩුවක් කරයි. ඒ මෙසේය. කෝ . . . . . . .පැත්තේ කොල්ලන්ට කෙල්ලන්ට අප්පුඩියක් ගහන්නවත් පණ නැද්ද. . . . . කෝ. . කෝ. . දෙන්නකෝ උඩ යන්න. . . අයියෝ ලැජ්ජයිනේ. . . ඔහොමනම් බෑ, මොකද අද කාලා නෙවෙයිද ආවේ? කිසියම් ප්‍රභූ වරයකු හෝ මැති ඇමති වරයකු පැමිණ සිටියදී, යටත්පිරිසෙයින් අත්පොලසන් නාදයක් දීමටවත් ප්‍රේක්ෂක ජනතාව අකාරුණික වී ඇති සැටියකි. නමුත් එවැනි ප්‍රභූ වරුන් කිසිවකුගේ නම නොකියවෙයි. මේ අත්පොලසන් ඉල්ලන්නේ සංගීතප්‍රසංගය ආරම්භ කිරීම සඳහාය. ඉදින්, ආරම්භ කිරීමට පෙර මෙසේ බලහත්කාරයෙන් අත්පොලසන් ගන්නේ කුමකටද? ප්‍රසංගය සාර්ථකනම් නිතැතින් අත්පොලසන් නොලැබෙන්නේද? මටනම් ගැටලුවකි.
  නිවේදකයා, දුම්මල වරම අතට ගත යකැදුරෙකු මෙන් හුස්මක් කටක් නොගෙන කියවාගෙන යයි. සෑම තත්පර දහයකට වරක්, සුවිශේෂ, වින්දනීය, ආකර්ශනීය, ලබැඳි, තාරුණ්‍යයේ, යන වචන යොදයි. අන්තිමේදී ඔහු ප්‍රකාශ කලේ අහවල් ස්ටාර් එකෙන් බිහිවූ (අම්මාගෙන් නොවෙයිද?) මන බන්දනීය, හද පිනවන, යුගයේ හඬ, අහවලා . . . . . . . .ලෙසය. මම හුස්මක්වත් නොගෙන ඒ හඬ අසනු රිසියෙන් දෙසවන් යොමු කලෙමි. අහෝ. . . එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීයක් ගයනු ඇසේ. ජෝතිපාලයන්ගේ ගීතයක් ගැයීමට ස්ටාර්ලා කුමටද? එය ස්ටාර්ගේ ස්වතන්ත්‍ර ඉදිරිපත් කිරීමක් නොවේ. අනුකරනයෙකි. ඉදින් ඔහු තරුවක් වන්නේ කෙසේද?
ඔබේ කාලය මරන්නේ නැතිව ඉතිරි කොටස කියන්නේනම් මෙසේය. ජෝතිපාලගේ ගීත තුනකට පසු ස්ටාර් යයි කියන ගායිකාවක් හඳුන්වාදෙන ලදී. ඇය කිසිදු ලැජ්ජාවකින් තොරව ලතා වල්පොල මහත්මියගේ සහ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත දෙසාබෑවාය. (එය දෙසාබෑමක් මිස ගායනයක් නොවේ)
මෙලෙස, මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි, අබේවර්ධන බාලසුරිය, ප්‍රියා සූර්යසේන, ඉන්ද්‍රානි පෙරේරා, සුජාතා අත්තනායක, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, ආදී ගායක ගායිකාවන් රැසකගේ ගීත 20 ක් ගායනය (ගායනය?) කලපසු එක්තරා තරුවකගේ අලුත්ම සී.ඩී. එකෙන් කියා ගීතයක් ඉදිරිපත් කෙරුණි. ඒ ගීතය ගුවන්විදුලි නාලිකාවක අහම්බෙන් අසා ඇත්තෙමි.එහෙත් මෙතැනදී ගායනය අහසට පොලොව මෙන් වෙනස්ය. මේ ගයන්නේ අර ගායකයාගේ නමින් වෙන කෙනෙක්ද යන සැකය පවා මට ඇතිවුනි. මේ ගායකයාට අද සිදුවී ඇති ‘අපලය’ තේරුනේ එවිටය. ඒ ගීයේ ඇතැම් කොටස් පරිගණකය මගින් සකසා පටිගත කල ඒවාය. එවැනි කොටස් සාමාන්‍ය සංගීත කණ්ඩායමකට වේදිකාවකදී ප්‍රතිනිර්මාණය කල නොහැකිය. එසේනම් කලයුත්තේ ඒ කොටස් පසුබිමෙන් (අසන්නන්ට /නරඹන්නන්ට හොරෙන්) පරිගණකයක් ඇසුරෙන් හෝ සී.ඩී. තැටියක් මගින් වාදනය කිරීමය. මේ ‘ටිරිකිස් වැඩේ’ මට නිදර්ශනාත්මකව පෙන්වා දුන්නේ එක්තරා සංගීත කණ්ඩායමක ශිල්පියෙකි.
  මෙම සංගීත සංදර්ශනයේ මා දුටු විශේෂත්වයනම්, සෑම ගායක ගායිකාවක්ම වේදිකාවට පැමිණෙන විටත්, වේදිකාවෙන් පිටව යන විටත් නිවේදකයා, පුන පුනා, නරඹන්නන්ගෙන් අත්පොලසන් ඉල්ලාසිටීමය. සල්ලිත් ගෙවා ඇනුම්පද අසමින් අත්පොලසන් දීමට කුමට යනවාදැයි මට සිතුනි. ටික වෙලාවකින් නිවේදකයා, ‘දැන් අපේ (ඒ නම මා කලින් අසා නැත) වාදක මණ්ඩලයේ කොල්ලෝ ටික. . . මේ සොමි කොල්ලොටික. . . (සොමි කියන්නේ සෞම්ය නේද? ඉතික් ඔවුන් සොමිදැයි බැලීමට ඔවුන් අතගා බැලිය යුතු නේද?) වැඩේ දෙන්නයි යන්නේ. අපේ කොල්ලට කෙල්ලන්ට හොඳ සොමියක් දෙනවා මෙතන ඉඳලා’ කිව්වේය. වාදක මණ්ඩලයේ කොල්ලෝ ටික වේදිකාව උඩ සිට පහල ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට ‘දෙන වැඩේ සහ සොමිය’ කුමක්දැයි මම අසා සිටියෙමි. අහෝ! වට්ටෝරු හින්දි චිත්‍රපටියක ප්‍රේමාලාපයක් ගයන්නේ හින්දි භාෂාවේ කෙල පැමිණියකුසේ සිතා සිටින, අර වාදක කණ්ඩායම් සාමාජිකයෙකි. පර බසක් උච්ඡාරණයේදී රැකිය යුතු රීති තිබේ. හින්දි බසෙන් එක උදාහරණයක් කියමි. ‘මුජේ’ යන වචනයේ ‘ජේ’ යන්න අල්ප ප්‍රාණ නොව මහප්‍රාණය. ඉදින් මෙලෙස, වේදිකා මත, මුදල්ද අයකර දෙසාබාන්නේ, සමහරවිට ඒ බසින් කුනුහරපද වියහැකි වචන නොවේද? එය අසාගෙන මෙලෝසිහියක් නැතුව දඟලන තරුණ කැල මම වරක් දෙකක් දැක ඇත්තෙමි. ඔවුන් අනාගතයේදී කෙබඳු රස වින්දනයකට පත්වේද?
  එතැන්සිට වාදක මණ්ඩලය හින්දි, ඉංග්‍රීසි, ද්‍රවිඩ, ගීත රැසක් ගායනා කල අතර ඒ සියල්ල චිත්‍රපට පසුබිම් ගීත හෝ වෙනත් ජනප්‍රිය ගීත මිස ඔවුන්ගේ නිර්මාණ නොවීය. නැවතත් ‘ස්ටාර්ලා’ තමන්ගේ ගීත ගායනා කලමුත් ඒ පදමාලා කෙරෙහි මට ඇතිවූයේ අනුකම්පාවකි. අපේ ගමේ ගොඩේ ඇත්තෝ, කඨෝර, ග්‍රාම්‍ය, අශ්ලීල, භාෂා විලාශය අප්‍රසිද්ධියේ හැඳින්වුයේ ‘යකෝ . . කෝ බාසාව’ යනුවෙනි. මා අසාසිටි සමහර ගීත වල පදමාලා අර ‘යකෝ . . කෝ බාසාව’ පදනම් කරගෙන ලියන ලද ඒවාය. ඒ ගීත කොතරම් රළුද යත් එයින් හුදෙක්ම පිටවන්නේ සංවර කරගතයුතු චිත්තාවේග බව පැහැදිලිව පෙනෙයි. මට ලියන්නට හැකි වචන වලින් ලිව්වොත් හරියට මෙන්න මේ වගේය.
“මම-අද-යන-කොට-පා-රට-බල්-ලෙක්-පැන්-නා-මම-උගෙ-හොම්-බට-ඇන්-නා-උගෙ-හොම්-බත්-මගෙ-කෙල්-ලගෙ-හොම්-බව-ගේමයි”
  මෙයට අර කොත්තු රොටී සංගීතය මුසුවූ විට ඇතිවන කඨෝර බව පරිසරය දෙදරවාගෙන යයි. කුමක් කරන්නද? දොර වසාගෙන ගෙතුලට ආවෙමි. මේ වර්ගයේ ගායකයෝ අහම්බෙන් රූපවාහිනියේ දැක ඇත්තෙමි. ඔවුන්ගේ විකට ස්වරූපය විකට ජවනිකා සඳහා යොදාගන්නේනම් කොපමණ හොඳද? මෙවැනි අයට මා කියන්නේ ‘රූප සින්දු කාරයෝ’ කියාය. ඔවුන්ට ඇති ගායන හැකියාවක් නැත. ඔවුන් කරන්නේ ගීතයට කිසිසේත් සබඳකමක් නැති විකාර හෝ අධි ශෘංගාරාත්මක, සමහරවිට කාමුක, රූප රැසක් තිරයේ ගලායාමට සැලැස්වීමයි. එයින් වශීවන නුණුවන දනා එයින් මත්ව, අර ගොරහැඩි ගායනය මහා ගීතයක්මැයි සිතා ඒ විප්‍රකාරයේ ඇලෙති/ගැලෙති. මේ රූප සින්දු කාරයෝ ගයන අතර තම දෑත දෙපසට දිගු කරති. අංශක 45 ක කෝණයකට දෑත තබාගෙන දෑතෙහිම දබරැඟිලිද දිගු ගරමින් හිස ඉහල පහල වනති. මට මතක්වෙන්නේ කැරපොත්තාය. ඌද උගේ ස්පර්ශක (antenna) මෙලෙසම වනයි.
මෑතකදී වෙබ් පුවත්පතක ඉහත සඳහන් වර්ගයේ එක්තරා ගායකයකු ගැන තොරතුරක් පලවිය. (මෙබඳු ගායක ගායිකාවන්ගේ, නිවේදක නිවෙදිකාවන්ගේ, නර්තන ශිල්පිනියන්ගේ, මෝස්‌තර නිරූපිකාවන්ගේ, උපන්දින, විවාහ සංවත්සර, බල්ලාගේ පූසාගේ උපන්දින, ආදී දෑ විශාල මාධ්‍ය ප්‍රචාර සහිතව පවත්වන්නේ තම ගිලිහෙන ජනප්‍රියත්වය රැකගැනීමට විනා අන් කවර කෙන්ගෙඩියකටද?) වත්මන් පරපුරේ ගායකයකු වන ඔහුගේ දියණියද බිරිඳද සහිත ඡායාරුපයක් පළකරමින් විස්තරයක් එහි පල කර තිබුණි. ඒ ගැන විවේචනාත්මක අදහසක් දැරූ පාඨකයකුට පිළිතුරු දෙමින් තවත් පාඨකයකු කියා තිබුනේ එම ගායකයා ‘ශ්‍රී ලංකා මියුසික් ඉන්ඩස්ට්‍රි’ එක ‘ඉන්ටර්නැෂනල් ෆෝරම්’ එකට ගෙන යාමට කටයුතු කල අයකු බවය. අඳෝමැයි! ඒ කියන්නේ දැන් මේ රටේ ඇත්තේ සංගීත කලාවක් නොව සංගීත කර්මාන්තයකි. හරියටම හරි. වැරදුනේ මටය. මේ ඊනියා ‘ගායකයෝ’ කරන්නේ කුමක්ද යන්න මතක්වුයේ ඉන්පසුවය. කාගේ හෝ ගීතයක තනුවේ කොටස් හෝ සම්පූර්ණ තනුවම සොරාගැනීම, නැතහොත් පැරණි ගීතයක අතුරු වාදන කොටසක් සොරා ගැනීම, ඉන්පසු එයට තවත් සක්ක වචන කෑලි සහ ‘කොම්පියුටර් ටිරිකිස් කෑලිද’ මූට්ටු කර, අලුත්ම ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස හොර ලේබල් ගසා, රට පැටවීමය. අම්මා අප්පා විකුණාගෙන කෑම හා සාකල්‍යයෙන්ම සමානය. එක්තරා පැරණි රසාංගයක් මෙලෙස අමු අමුවේ දූෂණය කල අමනයකු, ‘මේ ට්‍රැක් එක මට හම්බ වුනේ අපේ ඩැඩීගේ ඕල්ඩ් එල්.පී. රෙකෝඩ් එකකින්’ කියා කියනු, මම ගුවන්විදුලියෙන් අසා සිටියෙමි. ඒ මුල් නිර්මාණයේ හිමිකරුවන්ට එක වචනයකින් හෝ තුති නොපිදු මේ ගුණමකුවා, අදත් එය උගේ නිර්මාණයක් ලෙස ලෝකයට පෙන්වයි.
  නිදි යහනට වැටුණු මම, මනසින්, මා එදා දුටු සංගීත සදර්ශන දෙකකට ගියෙමි. එකක් 1960 දශකයේදී නැරඹු සංදර්ශනයකි. අනෙක 1970 දශකයේදීය. නගරයට සැතපුම් කීපයක් දුරින් සිටි අපි, මේවා නැරඹීමට ආවේ ගියේ පයින්ය. දුප්පත්කමද එසේ කිරීමට එක හේතුවක් විය. අනෙක ඒ ගමන රස ගුලාවකි. (මත්ද්‍රව්‍ය, මත්පැන්, සිගරට්, වනචර වැඩ වලින්තොර) ඒ ගැන වෙනම ලියමි. ඒ සංදර්ශන නොමිලේ පෙන්වූ (අදත් ඕනෑතරම් තිබේ) අතර, අපි අදමෙන් ‘ඩුප්ලිකේට් ස්ටාර්ලා’ නොව, එදා නියම ගායකයා හෝ ගායිකාව ගයනු වශීවී බලා සිටියෙමු. මට මතක හැටියට ඒ කාලයේ බොහොමක් ප්‍රසංගවල සංගීතය සැපයුවේ පැට්‍රික් දෙනිපිටිය මහතාගේ සංගීත කණ්ඩායමය. නැතහොත් ‘සියැක්’ වාදක මණ්ඩලයය. විස්තර කථකයන් ලෙස මගේ මතකයට එන දෙතුන්දෙනෙක් ඇත, කරුණාරත්න අබේසේකර, ලලිත් එස් මෛත්‍රීපාල, ගුණසේකර කේ පතිරණ, වැන්නවුන්ය. මේ සංගීත කණ්ඩායම් වල ශිල්පීහු තම රාජකාරිය වන සංගීතය සැපයීම අකුරටම කළහ. ගායනයට පැන්නේ නැත. එමෙන්ම අර නිවේදකයෝ, නරඹන්නන්ට තර්ජනය කර, අපහාස කර, ඇනුම්පද කියා අත්පොලසන් නොඉල්ලුහ. ‘ඔබේ අත්පොලසන් නාදය අපව දිරිමත් කරවන බව කාරුණිකව මතක් කරනවා’ යනුවෙන් පමණක් ඉඳහිට ප්‍රකාශ කළහ. ඒ ප්‍රසංගයක පිළිවෙලක් තිබුණි. මුලින්ම ඉඩදුන්නේ නැගීඑන ශිල්පීන්ටය. එලෙස මා දැක්කේ ලතා දිසානායක, මල්ලිකා කහවිට, රූපා ඉන්දුමතී, අයිරින් ද අල්විස්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, වැනි අයවලුන්ය. 60 දශකයේ සංදර්ශනයේදී මම මුල්වරට ධර්මදාස වල්පොල දුටු අතර ඉන්පසු කිසි දිනක නොදුටුවෙමි. මිල්ටන් පෙරේරා, එච්.ආර්.ජෝතිපාල, ලතා වල්පොල, මොහිදීන් බෙග්, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් මල්ලවාරච්චි, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, හරූන් ලන්ත්‍රා, නාරද දිසාසේකර, සිසිර සේනාරත්න, ඉන්ද්‍රානි විජේබණ්ඩාර, අයිවෝ ඩෙනිස්, තව කොපමණ දිග ලැයිස්තුවක්ද. අවසන් කොටසේදී ගායනා ඉදිරිපත් කලේ වොලී බැස්ටියන්, එම්.එස්.ප්‍රනාන්දු, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස් වැනි ගායකයන්ය. 70 දශකයේදී දුටු සංදර්ශනයේදී අබේවර්ධන බාලසුරිය, නිරංජලා සරෝජිනී, ක්ලැරන්ස් විජේවර්ධන, ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛ ත්‍රී සිස්ටර්ස්, ඇනස්ලි මාලේවන, එඩ්වඩ් ජයකොඩි, චන්ද්‍රිකා සිරිවර්ධන, චන්ද්‍රානි ගුණවර්ධන, සුනිල් එදිරිසිංහ ඇතුළු තවත් කලාකරුවන් රැසක් එක්ව සිටියහ. රාත්‍රී 8.30 ට පමණ ඇරඹෙන මේ ප්‍රසංගයක් පාන්දර 5.00 පමණ වනතුරු, බෝම්බ ගැහිලි, පිහියෙන් ඇනිලි, වැනි ‘අතුරු ආබාධ’ වලින් තොරව පැවැත්වුනි. සෑම ගායක ගායිකාවකටම අත්පොලසන් නාදයක් ලැබුණි. අපි ගියේ එකල රේඩියෝවෙන් (එෆ්.එම්. නොතිබුන නිසා රේඩියෝවේ හඬ රළුයි) ඇසුණු ගීත, වඩාත් උසස් තාක්ෂණයෙන් ශ්‍රවනය කිරීමට විනා වේදිකාවේ අඩනිරුවත් නැටුම් දැකීමට නොවේ. අපි ආදරය කල ගායකයා/ගායිකාව සජීවීව දකිමින්, ඔහුගේ/ඇයගේ හඬ සජීවීව ශ්‍රවනය කිරීමට තරම් අපි වාසනාවන්ත වූවෙමු.
  අද අපි මේ විප්‍රකාර දකින්නේ ඇයි? හේතු රාශියක් තිබෙන බව පෙනෙයි. සාහිත්‍යය සහ භාෂාව පිරිහීමට පත්ව ඇත, සාහිත්‍යය පාසලෙන් එලියට ඇදදමා ඇත. ඉතිහාසය විසිකර දමා ඇත, සංදේශ කාව්‍යයක් සම්පූර්ණයෙන් කියවූ උසස් පෙළ සිංහල විෂයය හදාරන සිසුන් කීදෙනෙක් මේ රටේ ඇද්දැයි නොදනිමි. ඒ අධ්‍යාපනයේ පැත්තය. ටියුෂන් විභාග, නැවත ටියුෂන් විභාග, නමැති ක්‍රමයට කොටුවූ දරුවෝ අන්තස්සරයන් වී හමාරය. දෙමාපියෝ ජීවිත සටනේ ගැලෙමින් අපාදුක් විඳිති. අපේ කාලයේ සිටි ගුරුවරු බොහොමයක්, පොත විතරක් කියාදී ‘ඉතුරු ටික උගන්නන්න මගේ ටියුෂන් පන්තියට වරෙන්’ කිව්වේ නැත පොතේ නැති ජීවත්වීමේ උපදෙස් රැසක් නිතර දීමට ඔවුන් උත්සුක නොවුයේනම් අපේ පරපුරෙන්ම මේ රට වැනසෙන්නට ඉඩ තිබුණි. ‘පැන මඩ කඩිති වැව් තාවුල් ඒ කාලේ, පෙන්වා මග නොමග නොවැටී යන තාලේ’ කියා සුනිල් එදිරිසිංහ කිව්වේ එවැනි ගුරුවරුන් ගැනය. අද අවවාදයක් කලත් මානව හිමිකම් නඩුවක් වැටෙන කාලයක් නිසාදෝ, ගුරුවරු, ‘යන අතක පලයන්’ න්‍යායෙන් උගන්වති.
  රේඩියෝව මුලදී ගෙයින් විසිවිය. රූප පෙට්ටිය රාත්‍රී අඳුර දුරලන පහනක් මෙන් හවස හයේ සිට ඔහේ දැල්වෙයි. ළදරුවා තම ලෝකය හඳුනාගන්නේ එහි දකින සරුවපිත්තල ලෝකයෙනි. දැන් රේඩියෝව එෆ්.එම්. නාලිකා කාරයන්ගේ බූදලයකි. ඕනෑම කුණුගොඩක් ආටෝප දමා විකිණීමට ඔවුහු දක්ෂයෝය. අර ‘හොටං පයිසි පං එක දැනිලා’ කියමින් රූප පෙට්ටියේ බඩු විකුණන වර්ගයේ උන්නැහේලා බිහිකරන්නේද, වනසන්නේද, පුද්ගලික රූපවාහිනී/ ගුවන්විදුලි නාලිකා කාරයෝය. මා ඉහත දැක්වූ කිසිදු ගායකයකු, ගායිකාවක, එකල ගුවන්විදුලි වෙළඳ දැන්වීම් වලට තම කටහඬ නොදුන්හ. රූපවාහිනී වෙළඳ දැන්වීම් වල පෙනී නොසිටියහ. ඔවුන්ගෙන් බොහොමයකට එවැනි අවස්ථා ලැබුනද සහභාගී නොවුයේ, දීඝ කාලයක් සතතාභ්‍යාසයෙන් ගොඩනගාගත් තම කීර්ති කදම්බය වෙළඳ දැන්වීමකින් සොයන තුට්ටු දෙකට වඩා ඉතා වටිනා බැවිනි. අද ඉන්න අර ‘මියුසික් ඉන්ඩස්ට්‍රී කාරයෝ’ හොයන්නේ, කාගේ වැදෑමහක් හෝ, ගීත කෑල්ලක් නැටුම් කෑල්ලක් දමා, විකුණා සාක්කුවට ගත්මනාවක් දාගන්නේ කෙසේද යන්නට, කුණු මසට ඉව අල්ලන ගිජු ලිහිණියන් මෙනි.
  ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්. රත්නායක, ගීතරචක පරපුර ප්‍රේමකීර්ති ද අල්විස් පරපුර දක්වා ගලාවිත් අද සිඳී ඇත. අජන්තා රණසින්හලාගේ සමන් චන්න්ද්‍රනාත්ලාගේ පෑන් අද නිහඬය. එදා අපි ගුවන්විදුලියෙන් ඇසූ ‘මධුවන්ති’ වැනි වැඩසටහන් අද සීනෙන් ගෑ සුවඳක් මෙනි. එදා අමරදේවලා චන්ද්‍රරත්න මානවසින්හලා මාදින්නාගොඩ වෙල්යායේ සිහිල් සුළඟ විඳිමින් කලේ හෙළ ගී කෙත අස්වැද්දීම විනා, ඩැඩීලාගේ එල්.පී. රෙකෝඩ් වලින් ට්‍රැක් හොරකම් කිරීම නොවේ. මොකක්හෝ අටාලයක් අටවා, ලෝකයේ කොහේ හෝ කොනක ඇති ටකරම් සිම්පොසියම් එකකට ගොස්, උඩපැන කෑ ගසා, විකාර ඇඳුම්, හස්ත විකාර මුඛ විකාර පෙන්වා, එය අපේ රටේ හැටියයි කියා, උන්ගේ ගෝත්‍රික ගති වලට සමාන නිසා දෙන, තුට්ටු දෙකේ සම්මාන උස්සගෙනවිත් පම්පෝරි ගැසීමට නොවේ. ඒ තවත් පැත්තකි.
  මේ ඊයේ පෙරේදා මා අපේ රටේ සිටින විශිෂ්ටතම ගායකයකුගෙන් විමසුවේ ‘ඇයි අලුතෙන් ගීත නොගයන්නේ’ යන ප්‍රශ්නයයි. මෙන්න පිළිතුර, ‘මහත්තයෝ, අපි කැමතියි අලුත් ගීත ගයන්න. පරණ ගීතම හැමදාම පට්ට ගහන්න අපිටත් ඕනේ නැහැ. නමුත් හැමදාමත් මිනිස්සු ආසයි කියා කියා ඉල්ලන්නේ ඒවා. ඒ කියන්නේ රසය දන්නා මිනිසුන්ගේ ලේ වල තවමත් දුවන්නේ ඒවා. අපට මාසෙකට ගීත රචනා සෑහෙන ගණනක් ලැබෙනවා. අනේ ඒවගේ වැඩි හරියක තියන පදමාලා කියෝපුවාම බෙල්ල මිරිකගන්න හිතෙනවා. ඒ තරම් බොළඳ හරසුන් පදමාලා එන්නේ. අමාරුවෙන් ඒ පදමාලාවක් වෙනස් කරන්න ඇහුවොත් ඒ කිසිම රචකයෙක් කැමති නැහැ. ඉතින් අපි අපේ පාඩුවේ ඉන්නවා’ මේ සිදුවී තිබෙන්නේ සාහිත්ත්‍යය පිරිහීමේ ප්‍රතිඵලය නොවේද?
  මේ කතිකාව මෙතෙකින් හමාර කල නොහැකිය. මේ විෂම චක්‍රය වෙනස් කලයුතුය. ඒ සඳහා කලයුත්තේ සංස්කෘතික පොලීසියක් දමා පුද්ගලික ගුවන්විදුලි නාලිකා රූපවාහිනී නාලිකා වැසීම නොවේ. අර ස්ටාර් වර්ගයේ ඊනියා ගායක ගායිකාවෝ හිරේ දැමීම නොවේ. බුද්ධි වර්ධනයට කටයුතු කිරීමය. කියවීම සහ ඇහුම්කන් දීම වැඩි දියුණු කිරීමය. භාෂා සහ සාහිත්‍ය ඥානය වැඩි දියුණු කිරීමය. අවබෝධය වර්ධනය කිරීමය. සංවාදයට වැඩි අවස්ථා ලබාදීමය. තිරස්චීනයන් මෙන් කාකොටා නොගෙන යතාර්ථය බුද්ධියෙන් විමසා බැලීමය. මේ සඳහා වගකිවයුත්තන්ට,
  • මෙය ඇහෙනවාද? . . .

  • පෙනෙනවාද?. . .

  • නැත්නම් මර නින්දේද?

28 April 2012

හෙලිකොප්ටර් කතා


 පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකළ උතුම් සේවය කළගුණ දත් කිසිවකුටත් කිසි දිනක අමතක නොවනු ඇති. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දැඩි ප්‍රහාර එල්ල කර, අපේ ගුවන් බලය වනසන්නට උත්සාහ කලත්, එය අසාර්ථක කරමින් ජය ගන්නට ගුවන් හමුදාවට හැකි වුනා. මේ කතා හුදෙක් ඕනෑම සන්නද්ධ සේවාවක සිදුවන සිද්ධීන් විනා කිසිවකුට හෝ පහර ගසන්නට පල කරන තොරතුරු නොවන බව මුලින්ම අවධාරණය කරනවා.
  ඒ යුද සමයේදී හෙලිකොප්ටර් යානා වලින් සිදුකල මෙහෙය වචනයෙන් විස්තර කල නොහැකි තරම්. ප්‍රහාරක හෙලිකොප්ටර් වලින් කල සේවයට නොදෙවැනි සේවාවක් ප්‍රවාහන හෙලිකොප්ටර් වලින් සිදුකලා. මේ කතා 1980 දශකයේ සිදුවූ සිද්ධීන් කීපයක් සම්බන්ධවයි.
  පළමුවැනි කතාව මේකයි. එවකට මා සේවය කලේ නැගෙනහිර පළාතේ කඳවුරක. මේ කඳවුර ඒ පළාතේ යුද බලය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් ප්‍රධාන කඳවුරක්. ඒ නිසා නිතර යුද හමුදාවේ උසස් නිලධාරීන් මෙහි ආවා. සමහරවිට ඔවුන් ආවේ හෙලිකොප්ටර් යානා මගින්. මෙසේ එන නිලධාරීන්ට මෙන්ම ගුවන් නියමුවන්ට, ගුවන් භටයන්ට කෑමෙන් බීමෙන් සංග්‍රහ කිරීම අපේ ගෙවල්වල ආගන්තුක සත්කාර කරන අකාරයටම හෝ ඊටත් වඩා හොඳට කෙරෙනවා. සාමාන්‍යයෙන් උදේ දවල් රාත්‍රී කෑම වෙලාවක තමන්ගේ කඳවුරට අයිති නැති කෙනෙක් ආවොත් ත්‍රිවිධ හමුදාවේ කිසිම කඳවුරකින් කවදාවත් ඔහුව බඩගින්නේ යවන්නේ නැහැ. ඉතින් අපේ කඳවුරට නිතර හෙලිකොප්ටර් එන නිසා, අපි ඒ යානාවල නියමුවන්ව හොඳින් හඳුනනවා. ඔවුන් අප සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින්, අත්දැකීම් මෙන්ම වැදගත් යුද තොරතුරුද හුවමාරු කරගන්නවා. නමුත් නිතර එන එක්තරා නියමුවෙක්, කිසි දිනක අපේ නිලධාරි නිවස්නය වෙත නොපැමිණ, හෙලිකොප්ටර්යානය නැවැත්වූ පසු එයින් බැස යානය අසලම සිටීම හෝ යානයේ පසුපස අසුනට වී පුවත් පතක් බලමින්, ඔහු ගෙන ආ සුළු ආහාරයක් කමින් සිසිල් බීම බොමින්, සිටින්නට පුරුදුවී සිටියා. එමෙන්ම ඔහු අපව එතරම් ගණන් ගන්නේ නැති බවත් පෙනීගියා. ඇත්තටම ඔහුට අප සමග කිසිදු රාජකාරි ගනුදෙනුවක් නැහැ. නමුත් ඔහුගේ සහායක නියමුවා අපවෙත පැමිණ ‘කොහොමද මචං’ කියා සතුටු සාමීචියේ යෙදෙන්නට පුරුදුවී සිටියා. ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිල අනුව සලකා බැලුවත්, අර නියමුවාට වඩා ජ්‍යෙෂ්ඨ නිලවල නිලධාරින් අපේ කඳවුරේ සිටියා.
  හෙලිකොප්ටරයේ ආරක්ෂාව පිළිබඳව සිතා ඔහු එහි රැඳී සිටිනවායැයි සිතන්නට බැරි, හෙලිකොප්ටරය පැමිණෙන බව දැන්වූ මොහොතේ පටන්, යුද සෙබළුන් 25 කින් පමණ යුත් දැඩි ආරක්ෂක වළල්ලක් හා සන්නද්ධ රථයක ආරක්ෂාව යොදවන නිසයි. වරක් ඔහු මෙසේ රැඳී සිටිනවිට, අපේ කඳවුරේ නිලධාරි නිවස්නයේ වේටර් වරයකු අත, ඔහුට සුළු කෑම වර්ග කීපයක් සමග තේ බඳුනක් යැව්වා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුනේ කාරුණිකව නෙවෙයි. ‘මම තේ ඉල්ලුවේ නැහැ’ යනුවෙන්. අපේ උසස් නිලධාරියකුගේ සිත මේ සිද්ධිය නිසා ටිකක් රිදුනා. ඒ පිළිබඳව එදා රාත්‍රී ආහාර ගනිද්දීද සඳහන් වුනා. මගේ කණ්ඩායම් භාර නිලධාරි වරයාද (Company Commander) මෙය අසා සිටියා. ඔහු තරමක් අමුතු දේවල් කරන්නෙක්. ඊට දින කීපයකට පසු, නැවතත් අර නියමුවා, සිය හෙලිකොප්ටරයෙන් උසස් නිලධාරියකු රැගෙන අපේ කඳවුරට ආවා. එදත් ඔහු සුපුරුදු විදිහට හෙලිකොප්ටරයේ රැඳී සිටියා. මගේ කණ්ඩායම් භාර නිලධාරියා ආරක්ෂක මුරයට කිව්වා වෙනදාට වඩා ටිකක් හෙලිකොප්ටරයට ලංවී සිටින ලෙස. ඉන්පසු ඔහු මෑතකදී සේවයට පැමිණි වේටර් වරයකුට කතාකලා. ඒ වේටර් වරයා හමුදාවක ඇති නිලතල ගැන එතරම් අවබෝධයක් ඇති පුද්ගලයෙක් නෙවෙයි. (ඔහු සොල්දාදුවකු නොව සාමාන්‍ය සිවිල් පුද්ගලයෙක්. විවිධ රාජකාරි සඳහා සිවිල් පුද්ගලයන් බඳවාගෙන සේවයේ යොදවනවා. උතුරු නැගෙනහිර සේවය කල ඔවුන්ගෙන් සමහරෙකුට, ත්‍රිවිධ හමුදාවට පිරිනමන පදක්කම්ද හිමිව තිබෙනවා) මගේ කණ්ඩායම් භාර නිලධාරියා අර වේටර් වරයාට කිව්වා ‘ඒයි, අර හෙලිකොප්ටරේ ඩ්‍රයිවර් මහත්තයට තේ බොන්න එන්න කියනවා’ කියා. වේටර් වරයා දෙවරක් නොසිතා හෙලිකොප්ටරය අසලට ගියා. ‘අපේ සර් කිව්වා ඩැයිවර් මහත්තයට තේ බොන්ඩ එන්ඩ කියලා’ කියා පණිවිඩය කිව්වා. හෙලිකොප්ටරය අසල සිටි අපේ සොල්දාදුවන්ට ‘බකස්’ ගා සිනා ගියා. අර නියමුවා වේටරයා දවා අළු කරන්නට තරම් රවා බලා, ගස්සා අහක බලාගත්තා.
  දෙවැනි කතාව යුද හමුදා නිලධාරියකුගේ ‘අතිශයින් ත්‍රාසජනක’ හෙලිකොප්ටර් අත්දැකීමක්. ඒ කාලයේ නොයෙකුත් රාජකාරි සඳහා යුද හමුදා නිලධාරීන්ට හෙලිකොප්ටර් මගින් එහා මෙහා යන්නට සිදුවෙනවා. (ඔබ පින්තූරවල දැක ඇති හෙලිකොප්ටර්වල දෙපස දොරවල් ගලවා ඉක්මනින් නැගීමට බැසීමට හැකිවන අයුරු සකසා ඇති හැටි. වරක් එවැනි හෙලිකොප්ටරයක බඳේ කෙලින් අතට ඇති යකඩ පොල්ලක මාව හොඳින් ගැට ගසනු ලැබුවා. ඒ විදිහට සිටිමින් මම මන්නාරමේ සිට වවුනියාව දක්වා යුදහමුදා බංකර් පේලිය වීඩියෝ ගත කළා. එය ත්‍රාසජනක අත්දැකීමක් වුනා) හැබැයි මේ කියන්න යන්නේ ඒ කතාව නෙවෙයි. මෙසේ නිතර ගමන් කිරීම නිසා හෙලිකොප්ටරයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ අතිශයින් මූලික දැනුමක් අපටත් ලැබෙනවා. ගුවන්ගතවීමට පෙර යානය පරීක්ෂා කිරීම, යානය ගුවනට එසවීමටනම් යානයේ කැරකෙන පෙතිවල වේගය කොපමණ මට්ටමක තිබිය යුතුද ආදිය බලන හැටි සහ යානය ඔසවන හරවන ලීවර ක්‍රියාත්මක වන ආකාරය පවා අපටත් හොඳින් නිරීක්ෂණය වෙනවා. මේ විදිහට නිතර හෙලිකොප්ටරවල යන එක්තරා යුදහමුදා නිලධාරියෙක් වරක් රාජකාරි ගමනක් සඳහා හෙලිකොප්ටරයකට නැගුනා. එහි නියමුවා වුයේ ඔහු හොඳින් හඳුනන තමන්ගේ නිලයට සමාන නිලයක නියමුවෙක්. නියමුවා යානය පරීක්ෂා කිරීමට සෑහෙන වෙලාවක් ගන්නා බව අපේ නිලධාරියාට පෙනුනා. අපේ නිලධාරියට ටිකක් කේන්ති ගියා. ඔහු නියමුවාට මෙහෙම කිව්වා. ‘මොකක්දබන් උඹ හිතුවද ඔය වැඩේ මහා ලොකු කජ්ජක් කියලා, අපිත් දන්නවනේ, මේක මෙහෙම කරා, මේක බැලුවා, මෙතන මෙන්න මෙහෙම. . . . . . . .’ ආදී වශයෙන් හෙලිකොප්ටර් පැදවීම ගැන මහා විස්තරයක් කළා. නියමුවා කිව්වා, ‘මචං මම අදනේ දන්නේ උඹට වැඩේ පුළුවන් කියලා. උඹ කැමතිද පොඩ්ඩක් එළවලා බලන්න’ කියලා අපේ නිලධාරියා නියමුවාට ‘උම්මා එකක්’ දෙන තරම් සතුටෙන් හා කිව්වා. නියමුවා කිව්වා ‘එහෙනම් වරෙන් සහාය නියමු ආසනේට’ කියලා. අපේ වීරයා ඒ ආසනයේ වාඩිවුණා. ඔන්න දැන් නියමුවා අපේ වීරයාට එකින් එක කියා දෙමින් යානය අපේ වීරයා ලවාම පණගැන්වුවා. ‘මචං පරිස්සමෙන් පරිස්සමෙන්’ යන්න දහස් වරක් කියමින් ‘දැන් ටිකක් බලපන් ප්‍රධාන අවරපෙත්තේ වේගය මෙච්චරක් වෙන්න ඕනේ’ ආදී වශයෙන් උපදෙස් දුන්නා. ‘මචං දැන් හෙමින් ඔය ලිවර් එක උස්සපන්’ නියමුවා කිව්වා. අපේ වීරයා එහෙම කලවිට යානය පොළොවේ සිට අඩි 10 ක් පමණ ඉහලට එසවුනා. දැන් ත්‍රාසය නිසා අපේ වීරයාගේ දෙකනින් දාඩිය වැගිරෙනවා. හෘදය වස්තුව උගුරට ඇවිත් වගේ. ‘හරි මචං උඹ නියමයි, දැන් ඔය කන්ට්‍රෝල් ලිවර් එකෙන් මෙහෙම අල්ලලා මෙහෙම කරපන්, එතකොට ඉස්සරහට යනවා’ නියමුවා උපදෙස් දුන්නා. දැන් යානය ගුවන් පථයට උඩින් සෙමෙන් ඉදිරියට ඇදෙනවා. අපේ වීරයා දිව්‍යලෝක ත්‍රාසයක් විඳිනවා. නියමුවා කිව්වා ‘මචං දැන් ඇති නේද, කවුරු හරි දැක්කොත් මගේ ජොබ් එකත් ඉවරයි. දැන් මම උඹට කියලා දෙන්නම් ලෑන්ඩ් කරන හැටි’ කියලා ඒ ටිකත් කියා දෙමින් යානය බිමට පහත් කළා. අපේ වීරයා දැන් ගුවන් නියමු පදවිය ලබලා ඉවරයි. යානය බිමට පහත්කල පසු නියමුවා අපේ වීරයාගෙන් ඇහුවා ‘මචං උඹ දන්නවාද මේ ලිවර් එක මොකක්ද කියලා’ අපේ වීරයාට තේරුනා පාඩම තවම ඉවර නැතිබව. ‘අනේ දන්නේ නැහැ මචං’ ඔහු කිව්වා. ‘මචං මතක තියාගනින් මේ ලිවර් එක මේ පැත්තට දැම්මොත් යානය පදවන්නේ නියමුවා. මේ පැත්තට දැම්මොත් පදවන්නේ සහායක නියමුවා. දැන් උඹට පෙනෙනවානේ, මේ ලිවර් එක තියෙන්නේ මගේ පැත්තට දාලා. ඒ කියන්නේ යානය පැදෙව්වේ උඹ නෙවෙයි මම. මචං එකක් මතක තියාගනින්, බලා ඉඳලා හෙලිකොප්ටර් එලවන්න පුලුවන්නම් නියමුවන් කිලෝගානට හදන්න පුළුවන්. එක තමයි ඇත්ත තත්වය’ කිව්වා. අපේ වීරයාට කට උත්තර නැතිවුනා.

27 April 2012

මොකක්ද මේ වායු රයිෆලය කියන්නේ


පසුගිය දිනවල මා පලකල ලිපි අතර තරමක් පාඨක අවධානය ලිපියක් වූ අපේ කාලයේ තුවක්කු   ලිපියේදී වායු රයිෆල් (Air Gun/Air Rifle) පිළිබඳව ‘හරීගේ’ සහ ‘උදාර’ ගේ අවධානය යොමුවී තිබුනා. ඉතින් මට හිතුනා වායු රයිෆල් පිළිබඳව ටිකක් කතා කරන්න. මොකදසෙන්නාත් මේවට කැමතියි. ඔන්න එහෙනම් කතන්දරේ පටන්ගන්නයි යන්නේ. මේ දිනවල වායු රයිෆල් පිළිබඳව අපේ රටේ විශාල අවධානයක් යොමුවී තිබෙනවා. එයට හේතුව තමයි බලපත්‍රයකින් තොරව වායු රයිෆලයක් පාවිච්චි කිරීමේ අවස්ථාව දැන් ශ්‍රීලාංකිකයන්ට ලැබී තිබීම. විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කර තිබෙන්නේ ගොවි ජනතාව සහ තම ගෙවතුවල වගා කර තිබෙන බවබෝග වල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන අයයි. රිලවුන්, දඬු ලේනුන්, හාවුන්, විවිධ පක්ෂීන්, මේ වගාවන්ට කරන හානිය අපමණයි. හැබැයි මේ හැම සතෙකුවම වායු රයිෆලයෙන් වෙඩි තබා (එය වෙඩි තැබීමක්ද නැද්ද යන්න පසුව ඔබට වැටහෙයි) මරන්නට බැහැ. ඒ ඇයිද කියන එකත් ලිපිය කියවූ විට ඔබට අවබෝධ වනු ඇති. මා හිතනවා මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ වායු රයිෆලයක් යනු කුමක්ද කියන කාරණයයි. මේ සඳහා වායු රයිෆලය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන නිර්වචනයේ සිංහල පරිවර්තනයකුයි මගේ දැනීමේ ප්‍රමාණයෙන් මා ඔබවෙත ගෙන එන්නේ.
‘සම්පීඩිත වායුව මගින් හෝ වෙනත් විශේෂ සම්පීඩිත වායුවක අධාරයෙන්, යම් ප්‍රක්ෂිප්තයක් මුදා හරින තුවක්කුව හෝ රයිෆලය, වායු තුවක්කුව (රයිෆලය) නම් වේ’.
මේ තමයි ඒ පිලිබඳ තාක්ෂණික නිර්වචනය. නමුත් නෛතික කටයුතු වලදී මේ නිර්වචනය මීට වඩා වෙනස්විය හැකියි. එමෙන්ම සමහර රටවල් අදටත් වායු රයිෆලය ‘ගිනි අවියක්’ ලෙස සලකනවා. නමුත් වායු රයිෆලයේ, කිසිදු ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි කිරීමක් හෝ ගිනි බලය උපදවන පතරොමක් පාවිච්චි කරන්නේ නැහැ.
මීළඟට අපි වායු රයිෆලයේ ඉතිහාසය සොයා යමු. මෙහිදී අප විශ්මයට පත්කරන තොරතුරු හමු වෙනවා. අප සිතනවාට වඩා ඈත අතීතයේදී, මිනිසා, සම්පීඩිත වායු ගුණ (Pneumatics) දැන සිටි බව තහවුරු වන කරුණු අනාවරණයවී තිබෙනවා.ස්වීඩනයේස්ටොක්හෝම් නුවර පිහිටි කෞතුකාගාරයක, ක්‍රි.ව. 1580 දී නිපදවූ කිසියම් ආකාරයක වායු තුවක්කුවක් තැන්පත්කර තිබෙනවා. වායු රයිෆලය තරමක් දුරට භාවිතය සඳහා යොදාගෙන තිබෙන්නේ 17 වැනි සියවසේදියි. ඒ කාලයේදී භාවිත කල වායු රයිෆල් සඳහා විශාල ටැංකියකට වායුව පොම්ප කර, එම ටැංකියේ වායු පීඩනය වැඩි කර ගැනීමෙන් තුවක්කුව සඳහා අවශ්‍ය වායු පීඩනය ලබා ගැනුනා.  මේ යුගයේදී නිපදවුණ සමහර වායු තුවක්කු විශාලත්වයෙන් හා බරෙන් වැඩිවූ අතර එහා මෙහා ගෙනයාමද පහසු නොවුයේ වායු ටැංකිද ගෙනයාමට සිදුවූ බැවින්. නමුත් එකල වායු තුවක්කු වලින් අගනා සේවයක් ඉටුවී තිබෙනවා. ඒ කාලයේ යුද කටයුතු සඳහා යොදා ගැනුනේ ‘මස්ල් ලෝඩර්ස්’ හෙවත් තුවක්කු කටෙන් වෙඩි බෙහෙත් පුරවා වෙඩි තබන තුවක්කුයි. ඔබට මතකද මා ඒ තුවක්කුගැන කිව්වා, අපේ කාලයේ තුවක්කු 2 වැනි කොටසේදී.    මස්ල් ලෝඩර්ස් තුවක්කු වැසි සහිත හෝ අධික තෙතමනය සහිත අවස්ථා වලදී පාවිච්චි කල නොහැකියි. එයට හේතුව වැස්සට තෙමුනොත් හෝ තෙතමනයට අසුවුනහොත් වෙඩි බෙහෙත් පත්තු නොවීමයි. එමෙන්ම මස්ල් ලෝඩර් තුවක්කුවෙන් වෙඩි තැබීමේදී, විශාල ගිනි එළියක් සහ දුමක් තුවක්කු කටෙන් පිටවන නිසා, සතුරාගේ නිරීක්ෂනයට පහසුවෙන්ම ලක් වෙනවා. නමුත් වායු තුවක්කුවේ ඒ එකම දුර්වලකමක් වත් නැහැ. ඕනෑම වැස්සක තෙතමනයක එය පාවිච්චි කලහැකියි. සතුරාට පෙනෙන ගිනි එළියක්, දුමක්, මෙන්ම කිසිදු හඬක්ද වායු තුවක්කුවෙන් ඇතිවන්නේ නැහැ. සමහර තුවක්කු තත්පරයකට මීටර් 200 – 300 පමණ ප්‍රවේගයකින් වෙඩි තැබීමට (මෙහිදී සිදුවන්නේ ඊයම් වැනි ලෝහ පෙලට් එකක් තුවක්කුවෙන් පිටවීමයි. එය සාමාන්‍ය තුවක්කුවකින් පිටවන ඊයම් මූනිස්සමක් මෙන් උණුවූ ස්වභාවයෙන් නොවෙයි පිටවන්නේ. මේ නිසා එය වෙඩි තැබීමක් නොව මුදා හැරීමක්.) හැකිවන පරිදි සකසා තිබුනා. එයින් සුප්‍රසිද්ධම තුවක්කුවක් වන්නේGirandoni Military Repeating Air Rifle යනුවෙන් හඳුන්වන ලද තුවක්කුවයි.
කෙසේ වෙතත් සාමාන්‍ය තුවක්කු සහ රයිෆල් වැඩි දියුණු වූ වේගයෙන්ම වායු රයිෆල් වැඩි දියුණු වුනේ නැහැ. වායු රයිෆලයේ තාක්ෂණය සංකීර්ණ වීම සහ ප්‍රායෝගික අපහසුතා මෙන්ම වායු ටැංකි පුපුරායාම වැනි අනතුරු නිසා එය යුද කටයුතුවලින් ඈත්ව, ගෙවතු ආරක්ෂාව, ඉලක්කයට වෙඩි තැබීමේ තරග, යන ක්ෂේත්‍ර වලට අද සීමාවී තිබෙනවා. අද ඔලිම්පික් තරගවලදී පවා වායු රයිෆල් වෙඩි තැබීමේ තරග පැවැත්වෙනවා. ඒ සඳහා ඉතා සියුම් සහ අතිනවීන තාක්ෂණයෙන් යුත් වායු රයිෆල් තිබෙනවා. නමුත් ඒ පිලිබඳ විශේෂඥ පුහුණුවක් නැති කෙනෙක් ඒ රයිෆලයක් හෝ පිස්තෝලයක් ක්‍රියා කරවුවොත් එය ඉක්මනින්ම කැඩෙනවා. එවැනි රයිෆල් සහ පිස්තෝල එකක් රුපියල් ලක්ෂ කීපයක් වටිනවා. අපේ රටේදී ඒවා අලුත්වැඩියා කල නොහැකියි. එය නිපදවූ රටටම යැවිය යුතුයි, අලුත්වැඩියාව සඳහා. සාමාන්‍යයෙන් ජනප්‍රිය මෝස්‌තර නිපදවන්නේ ස්වීඩනයේ. මේ තිබෙන්නේ එවැනි මිල අධික, එමෙන්ම තරග සඳහා පමණක් භාවිත කරන වායු රයිෆලයක් සහ පිස්තෝලයක්. මේවා ලංකාවේ ආරක්ෂක හමුදාවල වෙඩි තැබීමේ තරග සහ බලයලත් රයිෆල් සමාජවල තරග කටයුතු සඳහා පාවිච්චි කරනවා. විදේශීය තරග වලටද නියෝජනයක් තිබෙනවා.
 වායු තුවක්කු වර්ගීකරනයේදී ප්‍රධාන වර්ග තුනක් සහ එයින් බෙදීයන උප වර්ග කීපයක් තිබෙනවා.
1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය
2. Pneumatic Type – නියුමැටික් වර්ගය
3. CO 2 Type – කාබන් ඩයොක්සයිඩ්  වර්ගය
අප, මේ මූලික වර්ග තුන මුලින්ම අධ්‍යයනය කර, ඉන්පසු උප වර්ග වලට යාම සුදුසු බවයි  මම හිතන්නේ.
1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය:- වඩාත් බහුලවම පාවිච්චි කරන, එමෙන්ම ජනප්‍රිය, ක්‍රියාකාරීත්වයෙන් සරල, වර්ගය මෙයයි. ශ්‍රී ලංකාවේ දැනට ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට ලැබෙන්නේද මේ වර්ගය පමණයි. මෙන්න එහි පෙනුම.
මේ මෝස්තරය සාමාන්‍ය ව්‍යවහාරයේදී Barrel Break Model ‘බැරල් බ්රේක්’ මෝස්තරය කියා හඳුන්වනවා. එයට හේතුව වන්නේ මේ තුවක්කුවට පෙලට් එකක් ඇතුළු කිරීම සඳහා බැරලය තුවක්කුවට සවි වන තැනින් දෙකට නැවීමට (එවිට බැරලය කැඩුවා මෙන් පෙනෙයි) සිදුවන නිසයි. එසේ බැරලය නවා තිබෙන හැටි මේ පින්තූරයෙන් පෙනෙනවා.
බැරලය නැවීම ඔබ හිතන තරම් පහසු නැහැ. ඒ සඳහා සෑහෙන බලයක් යෙදවිය යුතුයි. තුවක්කුව වඩාත් දුරට වෙඩි තියන එකක්නම් බැරලය නැවීමට වඩාත් ශක්තියක්  යෙදවිය යුතුයි. දැන් අපි බලමු බැරලය නැව්වාම කොහොමද පෙනෙන්නේ කියලා. ඉහත දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ බැරලය නවීමෙන් පසු පෙලට් එක දමන ස්ථානයයි. ඔබට පෙනෙනවා නේද බැරලය නැවීමෙන් පසු දිස්වන අකාරය. බැරලය නැවීම සඳහා තුවක්කුව අල්ලගතයුතු ක්‍රමයක් තිබෙනවා. අපට හිතෙන හිතෙන ආකාරයට එය කරන්නට බැහැ. නිවැරදි ක්‍රමය භාවිත නොකලොත් ඔබට අනවශ්‍ය වෙහෙසක් දැරීමට සිදුවන අතර තුවක්කුවට හානි වීමටද ඉඩ තිබෙනවා. මේ පින්තූරයෙන් පෙන්වන්නේ තුවක්කුව නැවීම සඳහා අල්ලාගන්නා නිවරැදික්‍රමයයි. තුවක්කු බැරලය නැවීමෙන් පසු වරකට එක පෙලට් එකක් පමණයි ඇතුළු කල හැක්කේ. සෑම පෙලට් එකක්ම වෙඩි තැබීමෙන් පසු බැරලය නවා අලුත් පෙලට් එකක් යෙදිය යුතුයි. මෙසේ සලකා බලන විට සාමාන්‍ය තුවක්කුවකට වඩා මේ තුවක්කුවක වෙඩි තැබීමේ වේගය ඉතා අඩු බව විශේෂයෙන් සඳහන් කලයුතුයි. ඒ වගේම මතක තබාගත යුතු දෙයක් තමයි, තුවක්කුවේ ප්‍රබල බව (වෙඩි තැබීමේ දුර) වැඩි වන, විට ස්ප්‍රින් එකේ තද බවද වැඩි වෙනවා. එයට හේතුව වැඩි වායු පීඩනයක් ලබාගැනීම සඳහා වඩාත් තද ස්ප්‍රින් එකක් යෙදීමයි.
මේ සමග ඇති පින්තූර දෙකෙන් පෙන්වන්නේ ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක ඇති ස්ප්‍රින් එක සහ පිස්ටන් එකයි. මේ පිස්ටන් එකෙන් තමයි පෙලට් එක විදීම සඳහා අවශ්‍ය වායු පීඩනය සකස්කර දෙන්නේ. ස්ප්‍රින් එක කරන්නේ එක වරම පිස්ටනය ඉදිරියට තෙරපීමයි. එය සිදුවන්නේ මෙහෙමයි. බැරලය නැවූ විට ස්ප්‍රින් එක ඇදී නවතිනවා. ට්‍රිගරය මිරිකූ විට ස්ප්‍රින් එක නිදහස් වෙනවා. එවිට ස්ප්‍රින් එකෙන් පිස්ටනය තෙරපා වායු පීඩනය සකස් කර දෙනවා.
කිසිදු වායු රයිෆලයකින් වෙඩි තැබීමේදී සාමාන්‍ය රයිෆලයකින් හෝ තුවක්කුවකින් වෙඩි තැබීමේදී නිකුත්වන පුපුරන හඬක් එන්නේ නැහැ. එයට හේතුව වන්නේ වායු රයිෆලයක හෝ පිස්තෝලයක කිසිම ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි නොකිරීමයි. වායු තුවක්කුවකින් ‘පොප්’ හෝ ‘ටස්’ වැනි හඬක් තමයි නිකුත් වෙන්නේ. බැරලයේ අග කන ළඟ තබා වෙඩි තැබුවත් එතරම් අපහසුවක් නැහැ. ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගයේ තුවක්කුවකට පෙලට් එකක් දමන ආකාරය මීළඟ පින්තූරයෙන් පෙනෙනවා.ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක් කැඩුනත් අලුත්වැඩියා කරගැනීම එතරම් අපහසු නැහැ. ඒ සඳහා සුදුසු ආයතන ලංකාවේ තිබෙනවා. ඒ වගේම ස්ප්‍රින් පිස්ටන් තුවක්කුවක් නිවැරදිව පාවිච්චි කරන්නේනම් කිසිදු ආබාධයකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කල හැකියි.
මීළඟට මා ඔබේ අවධානය යොමුකරවන්නේ නියුමැටික් වායු තුවක්කුවටයි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ තුවක්කුවට සවිකළ වායු සිලින්ඩරයක් තුල වායු පීඩනය ඇතිකර ගැනීමෙන් වෙඩි තැබීමට අවශ්‍ය බලය ලබා ගැනීමයි. මෙහි දක්වා ඇති පින්තූරය ඔබට සංකීර්ණ නොවනු ඇතැයි සිතනවා. සියලු මූලික කොටස් පෙන්වා තිබෙනවා. දැන් ඔබ මගේ මීට පෙර ලිපි ගණනාවක් කියවා, තුවක්කු පිලිබඳ දැනුමක් ලබා සිටින නිසා, විශේෂයෙන් පෙන්වියයුතු කොටස් හැර, මීට පෙර කියාදී ඇති කොටස්, නැවත නැවතත් සඳහන් කරන්නේ නැහැ.
තුවක්කුවට අවශ්‍ය වායු පීඩනය ලබාගන්නේ බයිසිකල් පොම්පයක් මෙන් වායු ටැංකියට හුළං ගැසීමෙන්. එහිදී බයිසිකල් ටියුබ් එකේ ඇති වැල්ව් එක හා සමාන වෑල්ව් එකකින් සුළඟ ආපසු එන්නට නොදී හිර කර ගන්නවා. ට්‍රිගරය මිරිකන විට සුළං පීඩනයෙන් කොටසක් මුදා හරිනවා. පෙලට් කීපයක් එකවර දමාගතහැකි නිසා ටැංකියේ සුළං ඉවර වෙනතුරු වෙඩි තැබිය හැකියි. මේ ක්‍රමයේ තුවක්කු බොහෝදුරට පාවිච්චි කරන්නේ තරග වෙඩි තැබීම් සඳහායි.
  මම මුලින්ම ඔබට පෙන්වන්නේ නියුමැටික් රයිෆලයකට අතින් සුළං පොම්ප කරන ආකාරයයි. මෙහිදී රයිෆලයේම සවිකර ඇති ලීවරයක් ක්‍රියාකරවීම මගින් පොම්පය පුරවනවා. මේ ක්‍රමයේදී ගබඩාකර තබාගත හැකි සුළං ප්‍රමාණය සීමිතයි. ඒ නිසා වෙඩි තැබීම් තුන හතරකට වරක් නැවත වායුව පොම්ප කලයුතු වෙනවා. ඊළඟ පොම්ප කිරීමේ ක්‍රමය වන්නේ ඔබ හොඳට දන්නා පාගන බයිසිකල් පොම්පයකින් හෝ කකුලට පාගාගෙන ඉහල පහල යන ලීවරයෙන් සුළං ගසන පොම්පයයි. නමුත් මෙහිදී සුළං පීඩන මීටරයක් පාවිච්චි කලයුතුයි. සමහර රයිෆල් වල එය පොම්පයේ සවි කර තිබෙනවා. සමහර පොම්පවල සුළං පීඩන මීටරයක් තිබෙනවා. තුවක්කුවේ පොම්පයට හානි නොවන ලෙස සුළං පොම්ප කලයුතුයි.
මෙහි ඇති වෙනත් මෝස්තර ගැන පහත සඳහන් කරනවා. නමුත් ඒ සියල්ල ක්‍රියා කරන්නේ එකම න්‍යාය අනුවයි. සුළං පොම්ප කිරීමේ යාන්ත්‍රනය හෝ තුවක්කුවේ හැඩය වෙනස්වූවාට මූලික න්‍යාය වෙනස්වන්නේ නැහැ. සමහරවිට වාණිජ පරමාර්ථ මත ප්‍රචාරණයෙන් විවිධ අදහස් ඉදිරිපත් කලහැකියි.
මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් ක්‍රියාකරන වායු රයිෆලයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, තුවක්කුවට සවිකලහැකි, කාබන් ඩයොක්සයිඩ් වායුව පිරවූ, සිලින්ඩරයක් (කැනිස්ටරයක්) මගින් වෙඩි තැබීමට අවශ්‍ය වායු පීඩනය ලබා ගැනීමයි. මෙම වායු සිලින්ඩර අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා සෑම විටම සෙල්සියස් අංශක 49 ට අඩු උෂ්ණත්වයේ තබාගත යුතුයි. නැත්නම් ඒ සිලින්ඩර පුපුරනවා.
මේ තුවක්කු වර්ගය හේතු දෙකක් නිසා නියුමැටික් තුවක්කුවට වඩා වාසි දායකයි. 1. මෙය සරල ක්‍රමයක්. ඉතා සුළු දියර ප්‍රමාණයකින් විශාල වායු ප්‍රමාණයක් ලබාගත හැකියි. 2. වායු පීඩන මීටර් මගින් පීඩනය පරීක්ෂා කිරීමක් අවශ්‍යවන්නේ නැහැ. නියමිත් උෂ්ණත්ව පරාසය තුල තබාගන්නේනම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ තුවක්කුවේ ඇති වායු ටැංකිය පිරවිය හැකි ක්‍රම කීපයක් තිබෙනවා. දියේ කිමිදෙන විට හුස්ම ගැනීම සඳහා ගෙනයන වායු ටැංකියකින් මේ සිලින්ඩරය පුරවාගත හැකියි, තුවක්කුවට සවිකරන වර්ගයේ කලින් පිරවූ ටැංකියක් අපි ගෙදර ගෑස් ලිපේ සිලින්ඩරය මාරු කරනවා මෙන් මාරු කල හැකියි. තුවක්කුවෙන් වෙන් නොකළ හැකි ලෙස සකසා ඇති ටැංකි වලට බටයක් සවිකර ගෑස් ටැංකියකින් පුරවාගත හැකියි. මේ තුවක්කු වල නිෂ්පාදන වියදම, නියුමැටික් තුවක්කුවට සාපේක්ෂව අඩුයි, කාර්යක්ෂමතාව වැඩියි, තුවක්කුව එතරම් විශාල නැහැ. මේ නිසා වෙඩි තැබීමේ තරග වලදී බහුලව භාවිත කරනවා.
තුවක්කුවට අවශ්‍ය වායු ප්‍රමාණය ලබාගන්නේ වායු කැනිස්ටරය සහ තුවක්කුව අතර පීඩන පාලන වෑල්වයක් යෙදීමෙනුයි. තුවක්කුවේ ක්‍රියාකාරිත්වය මත එය ඇරීම වැසීම සිදුවෙනවා.
  කුඩා වායු කැනිස්ටර සහිත වායු පිස්තොලද නිපදවා තිබෙනවා. මේ තාක්ෂණය තවමත් දියුණු වෙමින් පවතින්නක්. ඒ නිසා අනාගතයේදී වඩාත් ජනප්‍රිය වීමේ ප්‍රවනතාව තිබෙන්නේ මේ වර්ගයේ තුවක්කු වලටයයි බොහෝ දුරට සිතිය හැකියි.
නියුමැටික් සහ කාබන් ඩයොක්සයිඩ් යන වර්ග දෙකේම තුවක්කුවල වරකට පෙලට් කීපයක් දියහැකි චේම්බර සකස්කර තිබෙනවා. ඒ නිසා කාලය ඉතිරි කරගනිමින් වෙඩි තැබීමට හැකි වෙනවා.
මීළඟට මා ඔබට පෙන්වන්නේ වායු තුවක්කුවල උප විශේෂයන්හි ඇති වෙනස්කම් කීපයක්.
මේ පිස්ටනය වායු පීඩනය වඩාත් හොඳින් පාලනය කිරීමට සමත්. ඉතා මෑතකදී නියුමැටික් තුවක්කු සඳහා නයිට්‍රජන් වායුව පිටවූ පිස්ටන් හඳුන්වාදී තිබෙනවා.
පර්යේෂණ මට්ටමේ පවතින තවත් වායු තුවක්කු වර්ග ඇතත්, මා මෙහිදී ඒ පිලිබඳ විස්තර නොකියන්නේ ලිපිය සංකීර්ණ වීමට ඉඩ ඇති බැවින්. මම දන්නවා දැන් ඔබ බලා ඉන්නේ මේ තුවක්කු වලට දමන පතරොම් ලැබෙනතුරු නේද? ඇත්තටම ඒවා පතරොම් නොවන බව මා මුලින්ම කිව්වා මතක ඇති. ඒවාට කියන්නේ ‘පෙලට්’ කියලයි අපි දැන් පෙලට් ගැන කරුණු දැනගනිමු.ලෝකය පුරා භාවිත කරන විවිධ වර්ගවල වායු තුවක්කු සඳහා එවැනිම විවිධාකාර පෙලට් වර්ග නිපදවනවා. සාමාන්‍යයෙන් පෙලට් නිපදවන්නේ ඊයම් වලින්. එහෙත් සමහර වායු තුවක්කු වල පෙලට් ඇතුළුකර නිසි පරිදි රඳවා තබාගැනීමට ඒවා කාන්දම් බලයෙන් රඳවා ගැනීමේ උපක්‍රමයක් තිබෙනවා. ඒ නිසා සමහර පෙලට් කාන්දම් බලයට හසුවන මිශ්‍ර ලෝහ වලින් සාදා තිබෙනවා.
හැඩය, බර, යොදාගන්නා කාර්යය, අනුව පෙලට් වර්ග කරනවා. එවැනි වර්ගකිරීම් මීළඟට දක්වනවා.
මේ පින්තූර වලින් ඔබට පෙලට් ගැන සතුටුදායක අවබෝධයක් ලැබෙන්නට ඇති සිතනවා. ‘විවිධ පෙලට් වර්ග’ යනුවෙන් ඇති රූපයේ ‘බීබී’ යනුවෙන් රවුම් හැඩයෙන් දක්වා ඇත්තේ මා කලින් සඳහන් කල මිශ්‍ර ලෝහ පෙලට්.
වායු රයිෆල් යන්න අපේ රටේ විනෝදාංශයක් ලෙස අනාගතයේදී වර්ධනය වනු ඇති බව සිතිය හැකියි. එහෙත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. වායු රයිෆල් වෙඩි තැබීම කරන්නේ ක්‍රීඩාවක් පිණිස බවත්, එය යුද පුහුණුවක් නොවන බවත් අවධාරණය කරන්නට කැමතියි.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }